Showing posts with label රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති. Show all posts
Showing posts with label රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති. Show all posts

Saturday, November 13, 2021

අයවැය වැය-අයක් වූ හැටි...

වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරිකද සමඟ, ඉදිරි වසර සඳහා ඉදිරිපත් කර ඇති ලංකාවේ රාජ්‍ය අයවැයෙහි වියදම් පැත්ත ආදායම් පැත්ත මෙන් දෙගුණයකටත් වඩා බරයි. මේ අයවැය පැත්තකින් තියා මතක ඇති කාලයක ඉදිරිපත් කරනු ලැබූ ලංකාවේ කොයි අයවැයක් ගත්තත් අයවැය හිඟයක් මිස අයවැය අතිරික්තයක් දකින්න ලැබී නැහැ. මෙය රාජ්‍ය අයවැයක් පිළිබඳ සාමාන්‍ය තත්ත්වයක්ද?

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ආදායම් වියදම් කරන ආකාරය පිළිබඳ සැලසුමක්. වැය කෙරෙන්නේ අය කර ගන්නා දෙයයි. මෙය අනාදිමත් කාලයක සිට සිදු වූ දෙයක්. රජෙකු වැය කළේ රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු වූ දෙයින් කොටසක්. වැය කර ඉතිරි වූ කොටස භාණ්ඩාගාරයේ ඉතිරි වුණා. වැය අය ඉක්මවා යන කාල වකවානු වලදී ප්‍රයෝජනයට ගැනුනේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. මුල් කාලයේදී රජයක් ණය වීම දුලබ සිදු වීමක්. 

ලංකාවේද කාලයක්ම දැකිය හැකි වූයේත්, ලෝකයේ රටවල් ගණනාවකම තවමත් දැකිය හැකි මේ ක්‍රමයයි. එනම් අය කර ගන්නා දෙය පසුව වැය කරන ක්‍රමයයි. එහෙත්, ලංකාවේ දැන් ක්‍රමය මෙය නොවෙයි. දැන් සිදු වන්නේ කලින් වැය කර පසුව අය කර ගැනීමයි. ඒ කියන්නේ අයවැය ක්‍රමයක් වෙනුවට වැය-අය ක්‍රමයක්!

ලංකාවේ අයවැය ක්‍රමය වැය-අය ක්‍රමයක් වුනේ කොයි කාලයේද?


ඉංග්‍රීසින් ලංකාවේ රාජ්‍ය පාලනය භාරගෙන ඉතා කෙටි කලක් ඇතුළත ලංකා කොලනිය ලාබ ලබන තැනක් බවට පත් කළා. ඉන් පසුව, බොහෝ වසරකදී ආදායමෙන් යම් කොටසක් වැය නොකර ඉතිරි කර ගත්තා. එම ඉතිරිය ආයෝජනය කර පොලී ආදායමක්ද ලැබුවා. ආදායම් අඩු වී, වියදම් ඉහළ ගිය වසර වලදී ප්‍රයෝජනයට ගත්තේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. සමස්තයක් ලෙස දිගුකාලීනව රජයේ අයවැය සමතුලිතව තිබුණා.


නිදහස ලබන කාලය දක්වාම මේ තත්ත්වය මෙලෙසම පැවතුනා. තත්ත්වය වෙනස් වුනේ නිදහස ලැබීමත් සමඟයි. ඉන් පසුව, ආදායම් ඉපැයීම වෙනුවට වියදම් කිරීමට මුල් තැන ලැබුණා. එසේ නොවුනේ 1954 හා 1955 දෙවසර තුළදී පමණයි. අනෙක් සෑම වසරකම පැවතුනේ අයවැය හිඟයක්. 


දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරද්දී ඉතිරි කරගෙන තිබුණු සංචිත ක්ෂය වී ගියා. ඉන් පසුව, අයවැය හිඟය පියවන්න වුනේ ණය වලින්. ඒ ණය වලට පොලිය එකතු වෙද්දී රජයේ වියදම් තවත් වැඩි වුනා. අයවැය හිඟය ටිකෙන් ටික පුළුල් වුනා. අයවැය වැය-අයක් වුනේ ඔය විදිහටයි.

Friday, December 20, 2019

ණය ගැනිල්ල තවත් අමාරු වෙයිද?


ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා (දෙසැම්බර් 18) ලංකාවේ රජයේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම ස්ථායී තත්ත්වයේ සිට සෘණ තත්ත්වය දක්වා පහත හෙළා තිබෙනවා. මෙයින් අදහස් වන්නේ දැනටමත් B මට්ටමට වැටී තිබෙන ණය ශ්‍රේණිය ඉදිරියේදී තවත් පහළට වැටීමේ අවදානමක් තිබෙන බවයි.

ණය ශ්‍රේණිගත කරන ප්‍රධාන ආයතන තුන වන්නේ එස්ඇන්ඩ්පී, මූඩීස් හා ෆිච් රේටින් යන සමාගම් තුනයි. මූඩීස් සමාගමේ B2 ශ්‍රේණියත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් වල B ශ්‍රේණියත් සමාන සේ සැලකෙනවා. පසුගිය 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිදු වූ බල පෙරළියෙන් පසුව ලංකාවේ  ස්වෛරීත්ව බැඳුම්කර වල අවදානම් ශ්‍රේණිය මූඩීස් සමාගම විසින් B2 මට්ටම දක්වාත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් විසින් B මට්ටම දක්වාත් පහත හෙලනු ලැබුවා. ඒ මෙතෙක් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කෙරුණු පහළම මට්ටමයි. මේ වන තුරුත් ශ්‍රේණිගත කිරීම් තිබෙන්නේ ඒ මට්ටම් වල. ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා ඉඟි කර තිබෙන්නේ ණය ශ්‍රේණිය තවත් පහළට වැටෙන්නට ඉඩ තිබෙන බවයි. ණය ශ්‍රේණිගත කිරීම් පහළ යන තරමට ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික ඉහළ යනවා.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, ආයෝජනය සඳහා සුදුසු කාණ්ඩ දහයක් තිබෙනවා. ඒවානම් AAA, AA+, AA, AA-, A+, A, A-, BBB+, BBB, BBB- යන කාණ්ඩයි. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ආදී රවවල් වලට අඩුම පොලියක් ගෙවා බැඳුම්කර නිකුත් කළ හැකිව තිබෙන්නේ එම රටවල් ඉහළින්ම තිබෙන AAA කාණ්ඩය යටතේ ශ්‍රේණිගත වී සිටින නිසයි. අසල්වැසි ඉන්දියාව ආයෝජනයට සුදුසු අවසන් කාණ්ඩය වන BBB- මට්ටමේ සිටිනවා. ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් ඊට කට්ටයක් ඉහළින් BBB මට්ටමේ ඉන්නවා. ලංකාව විසින් 2006දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට පටන් ගැනීමෙන් පසුව කිසි විටෙක මේ ආයෝජන කාණ්ඩයකට ඇතුළත් වීමට හැකි තරමට ණය ආපසු ගෙවීමේ අවදානම අඩු කර ගත හැකි වුනේ නැහැ.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, BBB- මට්ටමට පහළින් තිබෙන කාණ්ඩ සැලකෙන්නේ ලැබෙන පොලිය දෙස බලාගෙන අවදානමක් ගෙන කළ යුතු ආයෝජන ලෙසයි. මේ ආයෝජන නොවන කාණ්ඩ අතරින්ද ලංකාව දැනට වැටී සිටින B කාණ්ඩයට ඉහළින් BB+, BB, BB-, B+ යන කාණ්ඩ තිබෙනවා. B කාණ්ඩය සැලකෙන්නේ ඉතා සීමිත සුරක්ෂිතතාවක් ඇති ආයෝජනයක් ලෙසයි. දැනට ගත් ණය ගෙවාගෙන යන නමුත් කොයි වෙලාවක හෝ තත්ත්වය වෙනස් විය හැකි බව B කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමකින් අදහස් වෙනවා.

B: Highly speculative.
‘B’ ratings indicate that material default risk is present, but a limited margin of safety remains. Financial commitments are currently being met; however, capacity for continued payment is vulnerable to deterioration in the business and economic environment.

ලංකාව විශාල පාඩුවක් කරගත් ග්‍රීක බැඳුම්කර මිල දී ගන්නා විට එම බැඳුම්කර ශ්‍රේණිගත කර තිබුණේ BB+ මට්ටමේ වුවත් එම බැඳුම්කර මිල දී ගෙන දෙතුන් මාසයක් යද්දී වේගයෙන් දිගින් දිගටම පහළට වැටී CCC මට්ටමට වැටුණා. ඉන් පසුව, එම බැඳුම්කර වල මිල විශාල ලෙස පහත වැටුණා. එයින් පසුව, ග්‍රීසියට අලුතින් බැඳුම්කර විකිණීම අපහසු වී ණය වාරික නිසි පරිදි ගෙවන්න බැරි වුනා.

දැනට පවතින තත්ත්වය අනුව ලංකාවේ ණය ශ්‍රේණිය B කාණ්ඩයෙන්ද පහළට වැටීමේ අවදානමක් තිබෙනවා. ලංකාවේ ණය අවදානම හදිසියේම තවත් වැඩි වී ඇති බව ෆිච් රේටින් සමාගම විසින් තීරණය කර තිබෙන්නේ රජය විසින් කළ බදු කප්පාදුව නිසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශතාංක දෙකකින් පමණ අඩු විය හැකි බව ෆිච් රේටින් සමාගමේ ගණන් බැලීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ අයවැය හිඟය දදේනි ප්‍රතිශතයක් ලෙස කලින් ඇස්තමේන්තුවට වඩා 1.5%කින් ඉහළ ගොස් 2020දී 6.5% මට්ටමටත්, 2021දී 6.2% මට්ටමටත් යනු ඇතැයි එම සමාගම විසින් ඇස්තමේන්තු කර තිබෙනවා.

"Sri Lanka's external balance sheet is weak, with external debt obligations totalling approximately USD19.0 billion coming due between 2020-2023, compared with foreign-exchange reserves of around USD7.5 billion as of end-November 2019. We expect the current account deficit to widen to about 3.0% of GDP in 2020 and 2021, from an estimated 2.2% in 2019, as domestic demand strengthens."

ෆිච් රේටින් සමාගමේ නිවේදනය අනුව, ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 19ක විදේශ ණය ආපසු ගෙවන්න තිබුණත් විදේශ සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 7.5ක් පමණයි. මෑතකාලීන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස දේශීය ඉල්ලුම ඉහළ යාම නිසා ආනයන අපනයන පරතරය තවත් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක්. මෙහි සමස්ත ප්‍රතිඵලය ණය ආපසු ගෙවන්න ඩොලර් හොයා ගැනීම එන්න එන්නම අමාරු වන බවයි.

බදු කප්පාදුව නිසා දැනටමත් රජයේ අයවැය හිඟය විශාල ලෙස පුළුල් වීමට නියමිතව තිබියදී විශාල පිරිසකට රජයේ රැකියා ලබා දෙමින් රජයේ වියදම් තවත් වැඩි කර ගැනීමට රජය පෙළඹුනොත් එය බූරුවාගේ කොන්ද කඩන අන්තිම පිදුරු මිටිය වෙන්න පුළුවන්.

Friday, August 17, 2018

ව්‍යාපාර චක්‍ර (තෙවන කොටස)


පසුගිය ලිපි දෙකෙන් අපි කතා කතා කළේ ව්‍යාපාර චක්‍ර කියන්නේ මොනවාද කියන එක හා ව්‍යාපාර චක්‍රයකදී ආර්ථිකයක් තාවකාලිකව අස්ථාවර වී නැවතත් ස්වභාවික ලෙසම ස්ථාවර වෙන්නේ කොහොමද කියන එකයි. මේ විදිහට ආර්ථිකයක් තාවකාලිකව අස්ථාවර වීම රටේ සමස්ත ඉල්ලුමේ හා සමස්ත සැපයුමේ නොගැලපීමක් ඇති වීම හා එය නැවත සමතුලිත වීමක් ලෙසත් විස්තර කළ හැකියි.

රටක සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම අතර නොගැලපීමක් ඇති විය හැකි ආකාර හතරක් තිබෙනවා. මේ අවස්ථා හතරේදී දැකිය හැක්කේ එකම රෝග ලක්ෂණ නෙමෙයි.

පළමු ආකාරය:  සමස්ත ඉල්ලුම එසේම තිබියදී සමස්ත සැපයුම ඉහළ යාම
දෙවන ආකාරය:  සමස්ත ඉල්ලුම එසේම තිබියදී සමස්ත සැපයුම පහළ යාම
තෙවන ආකාරය:  සමස්ත සැපයුම එසේම තිබියදී සමස්ත ඉල්ලුම ඉහළ යාම
සිවුවන ආකාරය:  සමස්ත සැපයුම එසේම තිබියදී සමස්ත ඉල්ලුම පහළ යාම

මෙහි පළමු හා සිවුවන අවස්ථා වලදී ඉල්ලුමට වඩා සැපයුම වැඩි නිසා මිල මට්ටම් පහත වැටී උද්ධමනය අඩුවෙනවා. ඉතිරි අවස්ථා දෙකේදී මිල මට්ටම් වේගයෙන් ඉහළ ගොස් උද්ධමනය වැඩි වෙනවා. ඒ වගේම, පළමු හා දෙවන අවස්ථා වලට මුල් වෙන්නේ සමස්ත සැපයුමේ ඇතිවන තාවකාලික කම්පනයන්.

උදාහරණයක් ලෙස කෘෂිකාර්මික නිෂ්පාදිතය හා අදාළව  කාලගුණ චක්‍ර වල බලපෑම නිසා සාමාන්‍ය අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් ලැබීම හෝ අස්වනු පාළු වීම දැක්විය හැකියි. ඒ වගේම විදේශ අංශය දෙස බැලුවොත් රබර් වගේ අපනයන නිෂ්පාදනයක් සඳහා ලෝක ඉල්ලුම හදිසියේ වැඩි වී ජාත්‍යන්තර මිල ගණන් එකවර විශාල ලෙස ඉහළ යාම හෝ රටකින් තෙල් වැනි ස්වභාවික සම්පතක් හමු වීම දැක්විය හැකියි.

සමස්ත ඉල්ලුමේ විචලනයන් ඇති වන ආකාරය ඊට වඩා තරමක් සංකීර්ණයි. එක පැත්තකින් මෙයට හේතුව රටේ සමස්ත ඉල්ලුම හා සැපයුම ගැන හරියටම දැන ගැනීමේ හැකියාවක් තනි පුද්ගලයෙකුට නැතිවීම කියා කියන්න පුළුවන්. උදාහරණයක් ලෙස සමහර වෙලාවට කවර හෝ හේතුවක් නිසා තෙල් හිඟයක් ඇති වෙයි කියා බොහෝ දෙනෙකුට හිතුනහම පැට්‍රෝල් ෂෙඩ් ඉදිරිපිට පෝලිම් ගැහෙන එක පෙන්වන්න පුළුවන්.

මේ ගොඩක් අය පැට්‍රෝල් මිල දී ගන්නේ තමන්ට ඒ වෙලාවේ පැට්‍රෝල් අවශ්‍ය නිසාම නෙමෙයි. මේ විදිහට පැට්‍රෝල් දැනට අවශ්‍ය නැති අයත් කලින්ම ටැංකි පුරවා ගැනීම නිසා එකවර පැට්‍රෝල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යනවා වගේම දවසකට දෙකකට පසුව පැට්‍රෝල් ඉල්ලුම සාමාන්‍ය මට්ටමට වඩා පහත වැටීමත් අනිවාර්යයයෙන්ම සිදු වෙනවා. හැමෝගෙම ටැංකි පිරුණට පස්සේ තව කොහාට පැට්‍රෝල් ගහන්නද?

ව්‍යාපාර චක්‍ර වල ක්‍රියාකාරීත්වය යම් තරමකින් අවබෝධ කරගත්තට පස්සේ මේ ව්‍යාපාර චක්‍ර වල බලපෑම අවම කරන්න මිනිස්සුන්ට අවශ්‍යතාවයක් ඇති වීම අමුතු දෙයක් නෙමෙයි. අවිනිශ්චිතතාවන් අඩු වෙනවට ගොඩක් මිනිස්සු කැමතියි. මහ බැංකු වල මුදල් ප්‍රතිපත්ති හා රජයයන්හි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ඉස්සරහට පනින්නේ ඔන්න ඔය කැමැත්ත ප්‍රයෝජනයට ගනිමිනුයි.

කොහොම වුනත් මහ බැංකුවට හෝ රජයට රටක සමස්ත සැපයුම වෙනස් කරන්න අමාරුයි. ඔවුන්ට කළ හැක්කේ සමස්ත ඉල්ලුම පාලනය කිරීම පමණයි. එය කළ හැක්කේත් තාවකාලිකව පමණයි. මෙහිදී වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සැපයුම ගැන හරියටම නොදන්න මිනිස්සුන්ගේ තීරණ වලට බලපෑමක් කිරීමෙන් මිනිසුන්ගේ තීරණ වෙනස් කර ඒ මඟින් සමස්ත ඉල්ලුම වෙනස් කිරීමයි.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා බදු අඩු කළ විට මිනිසුන්ගේ ආදායම කලින් මට්ටමේදීම තියෙද්දී ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යනවා. බදු වැඩි නොකර, රජයේ වියදම් වැඩි කළ විට වෙන්නේත් මිනිස්සුන්ගේ අතට වැඩිපුර සල්ලි එන එකයි. ඒ වගේම, මහ බැංකුව විසින් පොලී අනුපාතික පහළ දමා රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩි කළ විට මිනිස්සු වැඩිපුර ණය ගන්න පෙළඹෙනවා. එවිට වෙන්නෙත් අතට ලැබෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන එකයි.

ස්වභාවික තත්ත්වයන් යටතේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වී මිල දී ගැනීමේ හැකියාව ඉහළ යන්නේ රටේ නිෂ්පාදිතය වැඩි වන අවස්ථා වලදීයි. සමාගමක් වැටුප් වැඩි කරන්නේ හෝ පාරිතෝෂික දෙන්නේ ලාභ වැඩි වන විට. ලාභ වැඩි වන්නේ නිෂ්පාදනය ඉහළ ගිය වෙලාවටයි. නමුත්, ඉහත ආකාරයෙන් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හෝ මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් මිනිස්සු අතට සල්ලි එන්නේ රටේ සමස්ත නිෂ්පාදනය ඒ විදිහටම තියෙද්දීයි.

කොහොම වුනත් මේ විදිහට සල්ලි අතට එනකොට මිනිස්සු වැඩියෙන් මිල දී ගන්න පෙළඹෙන නිසා රටේ සමස්ත ඉල්ලුම ඉහළ යනවා. අසමතුලිතතාවය ඇති වී තිබෙන්නේ සමස්ත ඉල්ලුමේ අඩුවක් නිසානම් ඒ අසමතුලිතතාවය ඉක්මනින් නැති වී යනවා. මේ විදිහට නැවත ඉහළ ගිය ඉල්ලුම සමඟ ගැලපිය හැකි සමස්ත සැපයුමක් රටේ තිබෙන නිසා මිල මට්ටම නියම තැනට නැවත එනවා.

හැබැයි ඔය විදිහට ඉල්ලුම හා සැපයුම නැවත සමතුලිත වීමෙන් පසුව රජය හා මහ බැංකුව විසින් අර කලින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ආපසු හැරවිය යුතුයි. ඒ කියන්නේ නැවත රජයේ වියදම් කප්පාදු කර, බදු වැඩි කර, පොලී වැඩි කර මිනිසුන්ගේ වියදම් කිරීමේ හැකියාව සීමා කළ යුතුයි. එහෙම නොකළොත්, රටේ සමස්ත ඉල්ලුම සාමාන්‍ය සැපයුම් මට්ටමටත් වඩා වැඩි වෙලා ධන නිපැයුම් පරතරයක් ඇති වෙනවා.

ඉල්ලුම සැපයුමට වඩා පහත වැටී තිබෙන්නේ ඉල්ලුමේ අඩුවක් නිසා නොව සැපයුම හදිසියේ ඉහළ යාම නිසා වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවක මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කළොත් වෙන්නේ උඩින් කියූ දෙයම නෙමෙයි. සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වල හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල බලපෑම ආර්ථිකයට එන්නත් කලින්ම වාගේ සැපයුම් කම්පන වල බලපෑම ස්වභාවිකවම වගේ නැති වී යන නිසා ඔය වගේ වෙලාවක මුදල් සැපයුම වැඩි කළොත් බොහෝ විට වෙන්නේ ඒ හේතුවෙන්ම අසමතුලිතතාවයක් ඇති වෙන එකයි.

මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා ව්‍යාපාර චක්‍ර වල බලපෑම පාලනය කරන්න උත්සාහ කරන එක ලෝකයේ සෑම රටක්ම වාගේ කරන දෙයක්. මෙය ප්‍රතිඵලදායක නොවන බව කියන්න බැරි වුනත් මේ විදිහට ව්‍යාපාර චක්‍ර පාලනය කරන්න යාමේදී නොසැලකිල්ලෙන් හෝ අත්වැරදීම් නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වූ අවස්ථා ගැන උදාහරණ ඕනෑ තරම් තියෙනවා.

මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පළමුව ව්‍යාපාර චක්‍රයේ තමන් සිටින්නේ කොතැනද කියන එක නිවැරදිව දැන ගත යුතුයි. ඒ සඳහා රටේ විභව දළ දේශීය නිෂ්පාදිතය කුමක්ද කියා හරියට දැනගත යුතුයි. උදාහරණයක් ලෙස රටේ විභව ආර්ථික වර්ධන වේගය 5%නම් හා සැබෑ වේගය 6%නම් ඒ වගේ වෙලාවක තියෙන්නේ ධන නිපැයුම් පරතරයක් නිසා අවශ්‍ය වන්නේ දැඩි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ආර්ථික වර්ධනය අඩු කිරීමයි.

නමුත්, ඔය වගේ වෙලාවක නිමැවුම් පරතරය වැඩි වී නැති බවත්, විභව ආර්ථික වර්ධන වේගය 7% දක්වා වැඩි වී ඇති බවත් කවුරු හෝ හිතුවොත් පෙනෙන්නේ සෘණ නිමැවුම් පරතරයක් තිබෙන බවයි. ඒ මත පදනම්ව මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කළොත් අන්තිමට වෙන්නේ තිබෙන ධන නිමැවුම් පරතරය තවත් වැඩි වී රටේ ආර්ථිකය එහි ස්ථාවර සමතුලිතාවයෙන් තවත් ඈතට ගමන් කිරීමයි.

(Image: https://www.teacherspayteachers.com/Product/Mini-BusinessEconomic-Unit-on-Business-Cycle-incl-activities-quiz-answer-keys-3425921)

Thursday, August 17, 2017

දුම්වැටි භාවිතය අඩු වෙලාද?


"යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී" ඇති බවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් කර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධව අපි පසුගිය අප්‍රේල් මාසයේදී පැහැදිලි කිරීමක් කළෙමු. එහිදී අප විසින් පෙන්වා දෙනු ලැබුවේ 2016 අවසන් කාර්තුවේදී දුම්කොළ සමාගමේ ආදායම හා දුම්වැටි අලෙවියෙන් රජය ලබන බදු ආදායම පෙර කාර්තුවට සාපේක්ෂව විශාල ලෙස අඩුවී තිබුණත් එයට ප්‍රධාන හේතුව බව පෙනෙන්නේ අලෙවි නියෝජිතයින් විසින් බදු ඉහළ දැමීමට පෙර දුම්වැටි විශාල තොග මිලදී ගෙන ගබඩා කර ගැනීම හේතුවෙන් තෙවන කාර්තුව තුළ දුම්වැටි අලෙවිය විශාල ලෙස ඉහළ යාම බවයි. මේ තොග අවසන් වන විට දුම්වැටි සමාගමේ අලෙවි ආදායම් මෙන්ම රජයේ බදු ආදායමද ඉහළ යනු ඇති බවට අපි අනාවැකි පළ කළෙමු.

දුම්කොළ සමාගම විසින් දින තුනකට පෙර 2017 මුල් අර්ධය සඳහා වන විගණනය නොකළ ගිණුම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව, 2017 පළමු මාස 6 ඇතුළත දුම්කොළ සමාගමේ දළ ආදායම් රුපියල් බිලියන 67.2 දක්වා පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව රුපියල් බිලියන 7.6කින්ද, රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 51.9 දක්වා රුපියල් බිලියන 7.2කින්ද වැඩි වී තිබේ.

පසුගිය වසරේ තෙවන කාර්තුව තුළ දුම්වැටි වෙළඳ නියෝජිතයින් විසින් තොග ගබඩා කර ගැනීම නිසා දුම්වැටි අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් රජයට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 28.0 දක්වා ඉහළ ගියේය. බදු වැඩි කිරීමෙන් අනතුරුව, සිවුවන කාර්තුව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 14.8 දක්වා අඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවුණේ අවශ්‍ය දුම්වැටි තොග කලින්ම අලෙවි වී තිබීමයි. සෞඛ්‍ය ඇමතිවරයා විසින් රටේ දුම්පානය 48%කින් අඩු වී ඇති බව ප්‍රකාශ කළේනම් ඒ සඳහා පදනම් වන්නට ඇත්තේ රජයේ බදු ආදායමේ සිදුවූ ඉහත අඩු වීමයි.

මේ වසරේ දෙවන කාර්තුව තුළ පමණක් දුම්වැටි වලින් රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 28.1කි. මෙය 2016 අවසන් කාර්තුවේ බදු ආදායම මෙන් දෙගුණයකට ආසන්නය. ඒ අනුව, සෞඛ්‍ය ඇමතිවරයාගේ පරණ තර්කය අනුවනම් නිගමනය කළ යුත්තේ රටේ දුම්වැටි භාවිතය සමසක් තුළ දෙගුණ වී ඇති බවයි. 

එහෙත්, එය නිවැරදි තර්කයක් නොවේ. දුම්කොළ සමාගමේ ලාබ හෝ රජයේ බදු ආදායම් මත පදනම්ව රටේ දුම්වැටි භාවිතය වෙනස් වී ඇති ආකාරය නිවැරදිව පුරෝකථනය කිරීම කළ නොහැක්කකි. එහෙත්, දුම්වැටි භාවිතය විශාල ලෙස අඩු වී ඇති බවක්නම් මේ සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ.

බදු වැඩි කළද දුම්කොළ සමාගමේ ආදායම්, ලාබ මෙන්ම එමඟින් රජය උපයා ඇති බදු ආදායමද වෙනත් වසර වලදී මෙන්ම වැඩි වී ඇති බවනම් පැහැදිලිය. දුම්කොළ සමාගමේ ලාබ ඉහළ යාම නිසා නිෂ්පාදන බදු වලට අමතරව එම සමාගම විසින් රජයට ගෙවන ආදායම් බදුද 2017 පළමු අර්ධය තුළ පෙර වසරේ මුල් අර්ධයට සාපේක්ෂව රුපියල් බිලියනය ඉක්මවා වැඩි වී තිබේ.

Friday, August 11, 2017

මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති


මේ සටහන ලියන්නේ පාඨකයෙකුගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යනු මොනවාදැයි පැහැදිලි කිරීමටය.

සාමාන්‍යයෙන් බොහෝ රටවල ආර්ථිකයන් දිගුකාලීනව වර්ධනය වෙයි. ප්‍රාග්ධනය හා ශ්‍රමය යන නිෂ්පාදක සාධක වර්ධනය වීම ආර්ථික වර්ධනයට හේතු වන නමුත් රටක් සතු මේ නිෂ්පාදන සාධක ප්‍රමාණය සාමාන්‍යයෙන් වසරක් වැනි කාලයක් තුල විශාල ලෙස වෙනස් වන්නේ නැත. ඒ නිසා, නවීන ආර්ථිකයක් වර්ධනය වීමට වැඩි වශයෙන්ම හේතු වන්නේ කාර්යක්ෂමතාවය ඉහළ යාමයි. මෙහිදී කාර්යක්ෂමතාවය වැඩිවීම ලෙස හඳුන්වන්නේ කිසියම් ආර්ථිකයක් විසින් දැනට තිබෙන නිෂ්පාදන සාධක ප්‍රමාණයම උපයෝගී කරගෙන වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලබාගැනීමයි.

කාර්යක්ෂමතාවය වැඩි වන්නේ වෙනස් ලෙස සිතිය හැකි පුද්ගලයින්ගේ ව්‍යවසායකත්වය හරහාය. මෙය සිදුවන්නේ තාක්ෂනය දියුණු වීම හරහාය. මෙහිදී තාක්ෂනය යන වචනයෙන් හඳුන්වන්නේ පරිගණක වැනි දේ පමණක්ම නොවේ. කිසියම් ආයතනයක මානව සම්පත් කළමනාකරණය පිළිබඳ නව අදහසක් වුවද මෙයට ඇතුළත් විය හැකිය. විචල්‍ය සේවා කාල, නිවසේ සිට වැඩ කිරීම වැනි මෑතකාලීන සංකල්ප උදාහරණයි. එහෙත්, බොහෝ විට තාක්ෂණ දියුණුව සිදුවන්නේ නව නිර්මාණ හරහාය. ඒ නිසා තාක්ෂනය දියුණු කිරීමට කිසියම් රටක් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කටයුතු වල ආයෝජනය කළ යුතුය.

නිෂ්පාදන සාධක නිසා සිදුවන ආර්ථික වර්ධනයේත්, තාක්ෂනය නිසා සිදුවන ආර්ථික වර්ධනයේත් එක් විශේෂ වෙනසක් තිබේ. නිෂ්පාදන සාධක එක් රටකින් වෙනත් රටකට සම්ප්‍රේෂණය වූ විට ඒවා මුල් රටට අහිමි වේ. උදාහරණයක් ලෙස ලංකාවේ තිබුණු කර්මාන්ත ශාලාවක් මැලේසියාවට ගෙන ගියොත් හෝ එය ලංකාවට අහිමි වේ. එහෙත්, මැලේසියාවේ ඇති කිසියම් තාක්ෂණයක් ලංකාවට පැමිණීම නිසා මැලේසියාවට එය අහිමි නොවේ. ඒ නිසා, කිසියම් රටක් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කටයුතු වල ආයෝජනය කර තාක්ෂනය වැඩි දියුණු කළ විට අනෙක් රට වලටද එහි වාසිය ලැබේ. 

ඉහත වාසිය වැඩිපුරම තිබෙන්නේ තාක්ෂනය අතින් පසුගාමී, අඩු ආදායම් ලබන රටවලටය. එවැනි රටවලට දියුණු රටවල තාක්ෂනය ලබාගැනීමෙන් වසරක් තුළ කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි කරගැනීමට හැකියාව තිබේ. ජපානය, කොරියාව හා සිංගප්පූරුව වැනි රටවල ආර්ථිකයන් එක් කාලයක් තුළ ඉතා වේගයෙන් වර්ධනය වුනේ මෙසේ දියුණු රටවල් අනුගමනය කරමින් කෙටි කලක් තුළ කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ බැවිනි.

එහෙත්, ඉහත රටවල ආර්ථිකයන් දියුණු වීමෙන් පසුව දැන් පෙර මෙන් වේගයෙන් එම ආර්ථිකයන් වර්ධනය නොවේ. ඒ, තාක්ෂනය අතින් ඉදිරියටම පැමිණ සිටින රටවලට තාක්ෂනය පහසුවෙන් ලබා ගන්නට පුරෝගාමීන් නැති නිසාය. එසේ පෙරමුණට පැමිණි රටවලට පර්යේෂණ හා වැඩි දියුණු කිරීම් වල ආයෝජනය කරමින් තමන් විසින්ම තාක්ෂනය දියුණු කරගන්නට සිදු වේ. සංවර්ධිත රටවල් වල ආර්ථිකයන් සංවර්ධනය නොවූ රටවල් වල ආර්ථිකයන් තරම් වේගයෙන් වර්ධනය නොවන්නේ ඒ නිසාය.

කෙසේ වුවද, තාක්ෂනය හේතුවෙන් කිසියම් රටක ආර්ථිකය දිගුකාලීනව ආසන්න ලෙස නිශ්චිත වේගයකින් වර්ධනය වුවත් මෙය ඒකාකාරී ලෙස සිදු නොවේ. ඕනෑම රටකට වරින් වර ආර්ථික අවපාත වලට මුහුණ දෙන්නට සිදු වේ. පසුව මේ ආර්ථිකයන් ටික කලක් වේගයෙන් වර්ධනය වී නැවත මුල් තත්ත්වයටම පැමිණෙන නමුත් මෙසේ කෙටිකාලීනව සිදුවන ආර්ථික වර්ධනයේ උච්චාවචනයන් නිෂ්පාදන සාධක වල හෝ තාක්ෂණයේ සිදුවන වෙනස්කම් වලින් පැහැදිලි කළ නොහැකිය. ආර්ථිකයේ මේ කෙටිකාලීන වෙනස්වීම් ව්‍යාපාර චක්‍ර (business cycles) ලෙස හැඳින්වේ.

ව්‍යාපාර චක්‍ර පිළිබඳ කේන්සියානු දැක්ම වන්නේ කිසියම් රටක සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම අසමතුලිතවීම ව්‍යාපාර චක්‍ර වලට හේතු වන බවයි. මේ අදහස අනුව ආර්ථික අවපාතයක් ඇතිවීම පහත පරිදි විස්තර කළ හැකිය.

රටක නිෂ්පාදන සාධක හා තාක්ෂනය තිබෙන ප්‍රමාණය අනුව කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය. එහෙත්, කවර හෝ හේතුවක් නිසා රටේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම මෙසේ නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණයට වඩා අඩු වී තිබේ. (කවර හෝ කියා කියන්නේ මේ හේතු විස්තර කරන්නට ගොස් කතාව වඩා සංකීර්ණ කළ යුතු නැති නිසාය.) සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදන ශක්‍යතාවයේ තරමට නිෂ්පාදනය කළොත් එම භාණ්ඩ හා සේවා විකුණා ගන්නට නොහැකිව පාඩු ලබන්නට සිදු වේ. ඒ නිසා, ඔවුන් නිෂ්පාදනය කරන්නේ අඩුවෙනි. ඇතැම් සමාගම් වැසී යයි. තවත් සමාගම් වලට සේවකයින් අඩු කිරීමට සිදු වේ. එවිට රටේ නිවාස ඒකක වල ආදායම් තවත් අඩු වී සමස්ත ඉල්ලුම තවත් අඩුවේ. අසමතුලිතතාවය තවත් වැඩි වේ. ඉල්ලුම අඩු නිසා භාණ්ඩ හා සේවා මිල අඩුවී උද්ධමනය අඩු වෙයි. ඇතැම් විට අවධමනයක් ඇති වේ. මේ නිසා සමාගම් වල ලාභ තවත් අඩුවී තවත් සමාගම් වැසී විරැකියාව ඉහළ යයි.

ඇතැම් විට මෙහි අනිත් පැත්තද සිදු වේ. එනම්, රටේ සමස්ත ඉල්ලුම රටේ ශක්‍ය නිෂ්පාදන ධාරිතාව ඉක්මවයි. එවිට, සැපයුමට වඩා ඉල්ලුම වැඩි නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වේ. මේ කතා කරන්නේ මුදල් සැපයුම වැඩි වීම නිසා දිගුකාලීනව උද්ධමනය වැඩි වීමට අමතරව කෙටිකාලීනව සිදුවන සංද්ධියක් ගැනය. ඉහළ මිල ගණන් හා අධික පාරිභෝගික ඉල්ලුම නිසා ධෛර්යමත් වන සමාගම් දැනට සිටින සේවකයින්ට අතිකාල ගෙවමින් හා අලුත් සේවකයින් බඳවා ගනිමින් වැඩිපුර නිෂ්පාදනය කිරීමට පෙළඹේ. එවිට නිවාස ඒකක වල ආදායම් ඉහළ යාමෙන් ඉල්ලුම තවත් වැඩි වේ. විරැකියාව පහළ යද්දී උද්ධමනය ඉහළ යයි. ආර්ථිකය ශක්‍ය මට්ටමට වඩා වැඩියෙන් වර්ධනය වෙයි. බැලූ බැල්මට මෙය හොඳ තත්ත්වයක් මෙන් පෙනුණත් එක්තරා ආකාරයක තාවකාලික අසමතුලිතතාවයක් නිසා සිදුවන්නක් බැවින් ආර්ථිකය කොයි වෙලාවේ හෝ කඩා වැටී නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණේ. මෙවැනි ඕනෑවට වඩා වැඩි ආර්ථික වර්ධනයක් බොහෝ විට කෙළවර වන්නේ විශාල ආර්ථික අවපාතයකින් නිසා මේ තත්ත්වයද සැලකෙන්නේ වලක්වාගත යුතු තත්ත්වයක් ලෙසිනි.

කේන්ස් විසින් යෝජනා කළේ ව්‍යාපාර චක්‍ර වල හානිය අවම කර ගැනීමට රජය ආර්ථිකයට මැදිහත් විය යුතු බවයි. මේ අදහස ලොව පුරා දේශපාලනඥයින් විසින් ඉතා කැමැත්තෙන් වැළඳගත්තේය. අද වන විට ලෝකයේ හැම රටක්ම වාගේ අඩු වැඩි වශයෙන් මේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති පිළිපදී.

මේ අදහස අනුව, රටේ සමස්ත ඉල්ලුම විභව නිෂ්පාදනය ලෙස හැඳින්වෙන ආර්ථිකයේ සාමාන්‍ය නිෂ්පාදන ශක්‍යතා මට්ටමට වඩා පහළ ගිය විට රජය හෝ මහා බැංකුව මැදිහත් වී සමස්ත ඉල්ලුම වැඩි කර එය සමස්ත සැපයුම සමඟ ගැලපිය යුතුය. රජය විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති (fiscal policy) ලෙසත් මහ බැංකුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග මුදල් ප්‍රතිපත්ති (monetary policy) ලෙසත් හැඳින්වේ.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලට අයත් වන්නේ රජය විසින් සහනාධාර ආදිය හරහා නිවාස ඒකක වෙත කිසියම් අයුරකින් මුදල් සම්ප්‍රේෂණය කිරීම හා බදු අඩු කිරීමයි. එවිට, නිවාස ඒකක සතු අරමුදල් ඉහළ යන නිසා සමස්ත ඉල්ලුම වැඩි වනු ඇති බව අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, මෙය කරන විට රජයේ ආදායම් පහළ ගොස් වියදම් වැඩි වන නිසා අයවැය හිඟයක් ඇති වේ. ඒ නිසා, මෙය සමනය කර ගැනීමට ආර්ථික අවපාතය අවසන් වූ පසු පෙර මට්ටමටත් වඩා සහනාධාර කැපීමත්, බදු වැඩි කිරීමත් කරන්නට සිදු වේ. එසේ නොකළහොත් නැවත ආර්ථික අවපාතයක් ඇති වූ විට රජයට සම්පත් හිඟයකට මුහුණ දෙන්නට සිදු වේ.

මුදල් ප්‍රතිපත්ති වලට අයත් වන්නේ මහා බැංකුව විසින් රටේ මුදල් සැපයුම වැඩි කර නිවාස ඒකක සතු අරමුදල් ඉහළ යැවීමයි. මෙය ප්‍රධාන වශයෙන්ම කරන්නේ පොලී අනුපාතික පහළ දැමීම මඟිනි. තවත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගණනාවක් තිබේ. 

පොලී අනුපාතික පහළ ගිය විට ඉතිරිකිරීම් අධෛර්යමත් වන අතර ණය ගැනීම් ඉහළ යයි. ඒ නිසා, නිවාස ඒකක වල වැඩිපුර අරමුදල් රැඳේ. මේ හේතුවෙන් සමස්ත ඉල්ලුම වැඩි වී මිල මට්ටම් ඉහළ යයි. එවිට සමාගම් නැවතත් දිරිමත් වන නිසා නිෂ්පාදනය නැවත ඉහළ යයි. කෙසේ වුවද, නිෂ්පාදනය ශක්‍ය මට්ටමට පැමිණි විට මහ බැංකුව විසින් මෙම ක්‍රියාවලිය ආපසු හරවා එළියට දැමූ අමතර මුදල් ආපසු එකතු කර නොගතහොත් උද්ධමනය පාලනය කරගත නොහැකි තරමට ඉහළ යයි. මේ සඳහා පොලී අනුපාතික ඉහළ දමන්නට සිදුවේ.

ඉහතින් විස්තර කළ පරිදි ව්‍යාපාර චක්‍ර වල බලපෑම අඩු කිරීම සඳහා රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මඟින් කලයුත්තේ ප්‍රති චක්‍රයක් ක්‍රියාත්මක කිරීම වුවත් ප්‍රායෝගිකව රජයයන් හා මහ බැංකු විසින් වැඩිපුර උනන්දු වන්නේ චක්‍රයේ පළමු කොටස ක්‍රියාත්මක කිරීමට පමණි. එමෙන්ම ලංකාව වැනි රටවල රජයයන් විසින් නිවාස ඒකක වෙත මුදල් සම්ප්‍රේෂණය කරනවා වෙනුවට කරන්නේ රජය විසින්ම සෘජුව වියදම් කිරීමයි. ඇත්තටම එහිදී වෙන්නේත් රටේ කිසියම් නිවාස ඒකක ටිකකට මුදල් සම්ප්‍රේෂණය වීමකි. 

රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති චක්‍ර වල පළමු කොටස ආණ්ඩු වල ජනප්‍රියතාවයට හේතු වන නමුත් දෙවන කොටස එසේ නොවේ. ඒ නිසා, එළියට මුදල් දමන තරමට රජය හෝ මහබැංකුව විසින් මුදල් ආපසු ඇතුළට ගන්නේ නැත. මෙහි ප්‍රතිඵලය රජයේ අයවැය හිඟය දිගටම පැවතීමයි හා මුදල් සැපයුම එන්න එන්නම වැඩි වීමයි. දිගින් දිගටම පවතින අයවැය හිඟයක් අවසාන වශයෙන් පියවෙන්නේද මහබැංකුවේ මුදල් වලින් නිසා මෙවැනි තත්ත්වයක අවසාන ප්‍රතිඵලය උද්ධමනය දිගටම ඉහළ මට්ටමක පැවතීම හා විණිමය අනුපාතිකය එන්න එන්නම දුර්වල වීමයි. රුපියල ඩොලරයට සාපේක්ෂව හැම වසරකම වාගේ අවප්‍රමාණය වීමට මෙය ප්‍රධාන හේතුවකි.

(Image: https://www.slideshare.net)

Friday, January 20, 2017

මහජන සම්පතක සැබෑ වටිනාකම කීයද?

ලොතරැයියක සැබෑ වටිනාකම හෙවත් ලොතරැයියක් මිල දී ගැනීමෙන් යමෙකුට ලැබෙන අපේක්ෂිත දිනුම් මුදල කොපමණද? අනිවාර්යයෙන්ම මේ මුදල ලොතරැයියක මිලට වඩා අඩුය. එය ඕනෑම සූදුවක ස්වභාවයයි. සූදුවක් මෙහෙයවන්නා එය කරන්නේ තමන්ට කිසියම් ලාභයක් ලැබීමේ අරමුණිනි. සූදු සඳහා මුදල් වැය කරන්නන්ට දිනුම් ලෙස ආපසු ලැබෙන්නේ සූදුව මෙහෙයවන්නා විසින් එකතු කරගන්නා ආදායමෙන් කොටසක් පමණි. අවුරුදු කැටපොලේ හෝ බූරුපිටියේ හා නාගරික කැසිනෝ වල සිට රජය විසින් විකුණන ලොතරැයි දක්වා යථාර්තය වන්නේ මෙයයි. ඒ නිසා ඕනෑම සූදුවක් සඳහා දිගින් දිගටම මුදල් යොදවන අයෙකු දිගුකාලීනව පරාභව සූත්‍රයේ කියා ඇති ආකාරයටම සිය ධනය හානි කරගෙන විනාශයට පත්වීම නොවැලැක්විය හැකිය.

සූදුවේ ලාභය හැම විටම වාගේ සූදුව මෙහෙයවන්නාටය. මෙසේ නොවන, දිගුකාලීනව ලාභ ලබා දෙන ලොතරැයි තිබේද? එවැනි ලොතරැයිද තිබෙන්නට පුළුවන. කිසියම් ලොතරැයියක අපේක්ෂිත දිනුම් මුදල එම ලොතරැයියේ මිලට වඩා වැඩිනම් එවැනි ලොතරැයියක් වාසිදායක ලොතරැයියකි. මේ 'අපේක්ෂිත දිනුම් මුදල' කියන්නේ දිනුමක් ලැබුනොත් ලැබෙන ත්‍යාග මුදල නොවේ. ලොතරැයියක් මිලදී ගන්නා අවස්ථාවේදී 'සාමාන්‍ය වශයෙන්' තමන්ට ලබා ගැනීමට අපේක්ෂා කළ හැකි දිනුම් මුදලයි. එය ගණනය කරන්නේ කෙසේද?

මෙය පැහැදිලි කිරීම සඳහා අපි දැනට ලංකාවේ විකිණෙන පැරණිම ලොතරැයියක් වන මහජන සම්පත ලොතරැයි දිගින් දිගටම මිල දී ගන්නා හෝ විශාල ප්‍රමාණයක් මිල දී ගන්නා අයෙකුට ලැබෙන්නට ඉඩකඩ ඇති මුදල සොයා බලමු.

මේ වන විට මහජන සම්පත ලොතරැයියක මිල රුපියල් 30ක් වන අතර එහි දිනුම් රටාව මෙසේය.

අංක 6 සමඟ ඉංග්‍රීසි අක්‍ෂරය නිවැරදි නම් රුපියල් 10,000,000න් ඇර‍‍‍‍ඹෙන සුපිරි ත්‍යාගය
අංක 6 ම නිවැරදි නම් රුපියල් 2,000,000
අවසාන අංක 5 නිවැරදි නම් රුපියල් 100,000
අවසාන අංක 4 නිවැරදි නම් රුපියල් 10,000
අවසාන අංක 3 නිවැරදි නම් රුපියල් 1,000
අවසාන අංක 2 නිවැරදි නම් රුපියල් 100
අවසාන අංක 1 නිවැරදි නම් රුපියල් 30
ප්‍රථම අංක 5 නිවැරදි නම් රුපියල් 10,000
ප්‍රථම අංක 4 නිවැරදි නම් රුපියල් 1,000
ප්‍රථම අංක 3 නිවැරදි නම් රුපියල් 100
ප්‍රථම අංක 2 නිවැරදි නම් රුපියල් 60
ඉංග්‍රීසි අක්‍ෂරය නිවැරදි නම් රුපියල් 30

මහජන සම්පත ලොතරැයියක 0-9 අතර අංක වලින් අහඹු අංක 6ක් ද, "I" අකුර හැර ඉංග්‍රීසි හෝඩියේ ඉතිරි අකුරු අකුරු 25න් අහඹු ලෙස තෝරාගත් අකුරක්ද මුද්‍රණය කර තිබේ. මේ අනුව අපට එක් එක් වර්ගයේ ත්‍යාගයක් ලැබෙන්නට තිබෙන ඉඩකඩ ගණනය කළ හැකිය.

උදාහරණයක් වශයෙන් අවසාන අංකය ගැලපීමට 1/10ක ඉඩකඩක් ඇති අතර, අවසාන අංක දෙක ගැලපීමට ඇත්තේ 1/100ක ඉඩකඩකි. ඉංග්‍රීසි අක්ෂරය නිවැරදි වීමට 1/25ක ඉඩකඩක් ඇත. අංක හයම ගැලපීමට ඇති ඉඩකඩ 1/1,000,000 වන අතර සුපිරි ත්‍යාගය ලැබෙන්නට ඇති ඉඩකඩ 1/25,000,000ක් පමණි.

එක් දිනුම් වාරයක් තුළ විකිණෙන ලොතරැයි ගණන 2,000,000 ලෙස සැලකුවහොත් ආසන්න වශයෙන් ලොතරැයි 200,000ක අවසාන අංකය ගැලපෙන්නටත්, ආසන්න වශයෙන් ලොතරැයි 20,000ක අවසාන අංක දෙක ගැලපෙන්නටත්, ආසන්න වශයෙන් ලොතරැයි 2ක අවසාන අංක හයම ගැලපෙන්නටත් ඉඩකඩ තිබෙන අතර සුපිරි ත්‍යාගය යමෙකුට ලැබෙන්නට ඉඩ ඇත්තේ ආසන්න වශයෙන් දිනුම් වාර 13කට වරකි. විකිණෙන ලොතරැයි ගණන අඩු වැඩි වන විට ලැබෙන ත්‍යාග ගණනද අඩු වැඩි වුවත් ත්‍යාගයක් ලැබෙන්නට ඇති ඉඩකඩ වෙනස් නොවේ.

මහජන සම්පත ලොතරැයියක අවසාන අංකය ගැලපුනොත් ජයග්‍රාහකයාට රුපියල් 30ක මුදලක් හිමිවන අතර සෑම ලොතරැයිපත් 10කින් එකකටම එවැනි දිනුමක් හිමි වේ. ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි 10ක් විකුණා රුපියල් 300ක ආදායමක් ලබන විට එයින් රුපියල් 30ක් මේ වර්ගයේ ත්‍යාග වෙනුවෙන් වෙන් කරන්නට සිදුවේ. ලොතරැයි මිලදී ගන්නා අයට ඔවුන් ගෙවන මුදලින් 10%ක් තෑගී ලෙස ආපසු ලැබේ.

මේ අයුරින්ම ලොතරැයි 100කින් එකක අවසන් අංක දෙක ගැලපී රුපියල් 100ක ත්‍යාගයක් හිමිවන නිසා මේ ආකාරයේ ත්‍යාග වෙනුවෙන් සෑම රුපියල් 3000කින්ම රුපියල් 100ක් හෙවත් 3.33%ක් වෙන් කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට සිදුවේ. මෙය එකතු කළ විට ලොතරැයි මිල දී ගන්නා අයෙකුගේ අපේක්ෂිත දිනුම් මුදල 13.33% හෙවත් රුපියල් 4 දක්වා ඉහළ යයි. මේ අයුරින් සියළුම ත්‍යාග වල අපේක්ෂිත මුදල එකතු කළ විට මහජන සම්පත ලොතරැයියක් මිලදී ගැනීමෙන් යමෙකුට ලැබිය හැකි 'අපේක්ෂිත ත්‍යාග මුදල' ගණනය කළ හැකිය. මේ මුදල මහජන සම්පත ලොතරැයියක සැබෑ වටිනාකමයි.

පහත වගු දෙකෙන් පෙන්වා ඇත්තේ ජනවාරියේදී මිල වැඩි කිරීමෙන් පසුව මහජන සම්පත ලොතරැයියක සැබෑ වටිනාකම වෙනස් වී ඇති ආකාරයයි. වෙනත් ලොතරැයි වල සැබෑ වටිනාකමද මේ ආකාරයෙන්ම ගණනය කළ හැකිය.





ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය විසින් සඳහන් ඇති කර පරිදිම ජනවාරිය දක්වා ලොතරැයි ආදායමෙන් 50%ක් (රුපියල් 10.00ක්) ත්‍යාග සඳහා වෙන් කර ඇතත් ජනවාරියේ සිට ත්‍යාග සඳහා වෙන්වන්නේ ආදායමෙන් 38.33%ක් (රුපියල් 11.50ක්) පමණි. වෙනත් අයුරකින් කිවහොත් වැඩි කළ රුපියල් 10ක මුදලින් ත්‍යාග මුදල් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් 1.50ක් පමණි. වෙළඳ නියෝජිතයින්ගේ කොමිස් මුදල් වැඩි කර ඇත්තේ ශත 50කින් පමණක් නිසා වැඩිකළ මුදලින් රුපියල් 8කම යන්නේ රජයටය. මේ අනුව රජයට ලොතරැයියකින් ලැබෙන මුදල රුපියල් 6.20 සිට රුපියල් 14.20 දක්වා 129%කින් වැඩි වී තිබේ. (මෙය පෙර ලිපියේ මගේ ඇස්තමේන්තුවට වඩා රුපියල් 3කින් වැඩිය. එකතු කර ඇති රුපියල් පහක එක්සයිස් බද්දට අමතරව වැට් බදු මුදල හා ඒකාබද්ධ අරමුදලට යැවෙන මුදලද ආසන්න ලෙස සමානුපාතිකව (30%) වැඩි වී ඇති බව පෙනේ. කිසියම් හෝ දිනුමක් ඇත්තේ ලොතරැයි වලින් 16%කය. මෙය වෙනස් වී නැත.)

කෙසේ වුවද, මිල වැඩි කිරීම හේතුවෙන් විකිණෙන ලොතරැයි ප්‍රමාණය පෙර ප්‍රමාණයෙන් 43.7%කට වඩා අඩු මට්ටමකට පහත වැටුණොත් රජයට සමස්තයක් ලෙස වන්නේ අලාභයකි. ඉකොනොමැට්ටාගේ කාල වේලා ප්‍රශ්න නිසා වැඩි හැදෑරීමක් නොකර උඩින් පල්ලෙන් දත්ත පරීක්ෂා කළ විට පෙනෙන්නේ ලොතරැයි අලෙවිය පෙර පැවති මට්ටමෙන් 10-30% අතර මට්ටමකට වැටී ඇති බවයි. මේ අනුව, මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජය ලොතරැයි වලින් ලැබූ ආදායම අඩකින් පමණ අඩු වී ඇතැයි සිතිය හැකිය.


මිල වැඩිවීමට දක්වන ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස තාවකාලිකව සිදුවන ඉල්ලුම පහත වැටීම හා වෙළඳ නියෝජිතයින්ගේ විරෝධයේ බලපෑම ඉවත් වෙද්දී අලෙවිය නැවත ඉහළ ගොස් කිසියම් ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇති නමුත් අවසාන ප්‍රතිඵලය ලෙස වුවද රජයට වැඩි ආදායමක් ලැබේයැයි සිතීම අසීරුය.

(Image: http://www.nlb.lk/results-info.php?lot=1)

Thursday, January 19, 2017

නොඇදුණු ලොතරැයි දිනුම

රජය විසින් සිය අයවැය යෝජනාවක් ක්‍රියාත්මක කරමින් වසර ආරම්භ වෙද්දී ලොතරැයියක මිල 50%කින් වැඩි කළේය. ඒ අනුව, සෑහෙන කාලයක් රුපියල් 20ට විකිනුණු ලොතරැයියක මිල රුපියල් 30 වෙද්දී  ආණ්ඩුවට ලොතරැයි වෙළෙන්දන්ගේ හා වෙළඳ නියෝජිතයින්ගේ විරෝධයට මුහුණ දෙන්නට විය. අවසානයේදී ලොතරැයි මිල පැවති මට්ටමේම තබා ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වී තිබේ.

ජනාධිපතිවරයා මුල් වී අයවැය යෝජනා අකුලා ගැනීම දුලබ දෙයක් නොවේ. කෙසේ වුවද, පෙනෙන ලෙසට මේ යෝජනාව අකුලා ගැනීමට තීරණය කිරීමට හේතු වී ඇත්තේ වෙළඳ නියෝජිතයින්ගේ විරෝධය නොවන බවත්, එම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් රජයේ ආදායම වැඩි වනු වෙනුවට අඩු වන්නට ඉඩ ඇති බව පෙනී යාමත් බවද ඇතැම් තැන් වල සඳහන් වී තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනියට අනුව, රුපියල් 20කට ලොතරැයියක් විකුණා ලැබෙන ආදායම වැය වන්නේ පහත පරිදිය.

තෑගි සඳහා -රුපියල් 10.00
වෙළඳ නියෝජිතයින්ට- රුපියල් 3.80
රජයට- රුපියල් 6.20

වැඩි කිරීමට බලාපොරොත්තු වූ රුපියල් දහයෙන් රුපියල් පහක්ම එක්සයිස් බද්දක් ලෙස රජයටත්, තවත් ශත පනහක් වෙළඳ නියෝජිතයින්ටත් ලැබෙන්නට නියමිතව තිබී ඇති බැවින් මේ තීරණය ක්‍රියාත්මක කළේනම් මේ ලොතරැයි විකුණා ලබන ආදායමින් තෑගි වෙනුවෙන් වෙන්වන මුදල 50%ට වඩා අඩු විය හැකිව තිබුණි.

දිනුමක් ලැබීමේ සම්භාවිතාව අඩු වූ විට ලොතරැයි සඳහා වන ඉල්ලුම අඩුවේ. මිල වැඩි වූ විටද ඉල්ලුම අඩු වේ.

ලොතරැයි වෙළඳ නියෝජිතයින් සඳහා එක් ලොතරැයියකින් ලැබෙන මුදල 13%කින් වැඩි වුවත්, විකිණෙන ලොතරැයි ප්‍රමාණය 13% ප්‍රමාණය ඉක්මවා පහත වැටෙන්නට ඉඩ ඇති නිසා ඔවුන්ගේ ආදායමද පහත වැටෙන්නට ඉඩ තිබුණේය. වෙළඳ නියෝජිතයින්ගේ විරෝධයට හේතු වූයේ මෙයයි.

කෙසේ වුවද එක් ලොතරැයියක් විකුණා රජය ලබන ආදායම රුපියල් 6.20 සිට රුපියල් 11.20 දක්වා ඉහළ යාමට නියමිතව තිබුණු බැවින් විකිණෙන ලොතරැයි ප්‍රමාණය පැවති වෙළඳාමෙන් 55% මට්ටම දක්වා පහත වැටුණද රජයට වැඩි ආදායමක් ලැබිය හැකිව තිබුණි. එහෙත්, ඊට වඩා වැඩියෙන් ඉල්ලුම පහත වැටුනේනම් රජයට විය හැකිව තිබුණේ ශුද්ධ අලාභයකි.

කිසියම් භාණ්ඩයක මිල යම් ප්‍රතිශතයකින් වැඩි කළ විට එම භාණ්ඩය සඳහා වන ඉල්ලුම අඩු වන ප්‍රතිශතය එහි ප්‍රත්‍යස්ථතාව ලෙස හැඳින්වේ. හාල්, පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ
වල ප්‍රත්‍යස්ථතාව අඩු වුවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වල ප්‍රත්‍යස්ථතාව ඉහළ අගයක් ගනී.

ලංකාවේ ලොතරැයි වල ප්‍රත්‍යස්ථතාවය ගැන සිදු කර ඇති අධ්‍යයන ගැන නොදන්නා නමුත් ඇමරිකාව හා එංගලන්තය වැනි වෙනත් රටවල සිදු කර ඇති එවැනි අධ්‍ය
නයන්ගෙන් පෙනී යන්නේ ලොතරැයි වල මිල ප්‍රත්‍යස්ථතාවය එකට ආසන්න බවයි. එයින් අදහස් වන්නේ ලොතරැයි මිල 50%කින් වැඩි වෙද්දී විකිණෙන ලොතරැයි ප්‍රමාණය 50%කින් අඩු වන බවයි. මේ සමඟම දිනුම් ඇදීමේ සම්භාවිතාවද අඩු වූ විට විකිණෙන ලොතරැයි ප්‍රමාණය තවත් අඩු වන්නට ඉඩ තිබේ.

ඒ නිසා යම් හෙයකින් රජය ලොතරැයි මිල රුපියල් 30 මට්ටමට ඉහළ නැංවූයේනම් ලොතරැයි වෙළඳ නියෝජිතයින්ගේ ආදායම විශාල ලෙස අඩුවෙනවාට අමතරව රජයේ ආදායමද පහත වැටිය හැකිව තිබුණු බවට පළවී ඇති අදහස බැහැර කළ නොහැක්කකි. ලොතරැයි වෙළඳ නියෝජිතයින් අධෛර්යමත් වීමේ බලපෑමද සැලකූ විට ලොතරැයි මිල ඉහළ දැමීමේ ශුද්ධ ප්‍රතිඵලය වීමට ඉඩ ඇත්තේ ලොතරැයි අලෙවිය 60-70%කින් පමණ පහත වැටීම හා එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම 10-20% පමණ ප්‍රමාණයකින් අඩු වීමයි.

රජයක අයවැය යෝජනා මඟින් බදු ආකෘතිය වෙනස් කළ යුත්තේ ප්‍රත්‍යස්ථතාවය ගැන ගැඹුරු ලෙස හැදෑරීමෙන් පසුවය. එසේ නොකළහොත් අපේක්ෂිත ආදායම් ජනනය වෙනුවට එහි විලෝමය සිදුවන්නට ඉඩ තිබේ.


(Image: http://www.lankac.news/no-increase-in-lottery-ticket-price/)

Thursday, December 15, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහසයවන කොටස)

අප කතා කරමින් සිටි ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසියට සහභාගී වූ එක් එක් ආයතනය විසින් තබා තිබුණු මුළු ලන්සු ප්‍රමාණය අපි ලිපි මාලාවේ දහහතර වන කොටසින් විමර්ශනයට ලක් කළෙමු. මේ ආයතන අතරින් වැඩි ප්‍රමාණයක් 'නමට මෙන්' අවම ලන්සුව පමණක් තබා තිබුණු අතර තවත් ආයතන කිහිපයක් මේ අවමය ඉක්මවන, එහෙත් මුලින් මහ බැංකුව විසින් ප්‍රකාශ කළ රුපියල් බිලියනයේ සීමාව නොඉක්මවන ලන්සු ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණේය. මේ 'සාමාන්‍ය' හැසිරීමෙන් වෙනසක් වූ හැසිරීමක් පෙන්වමින් ආයතන තුනක් බිලියනය ඉක්මවූ ලන්සු ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණේය. ඒ අතරින් සෙලාන් බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල විසින් වැඩිපුර තබා තිබුණු ලන්සු ප්‍රමාණය පෙර කටයුතු සිදුවී තිබුණු ආකාරය අනුව අසාමාන්‍ය නොවිය හැකි වුවත්, එක් ආයතනයක් විසින් පහළොස් ගුණයකින් වැඩි ලන්සු ප්‍රමාණයක් තබා තිබීම කිසිසේත්ම සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය නොහැකිය යන බොහෝ දෙනෙකුගේ මතය සමඟ එහිදී ඉකොනොමැට්ටා එකඟ විය.

ඉන්පසුව, පහළොස්වන කොටසින් අප විමසා සිටියේ එක් එක් ආයතනයේ ලන්සු වල බරිත සාමාන්‍ය මිලෙන්ද එවැනි අසාමාන්‍ය බවක් පෙනෙන්නේද යන්නයි. එහිදී, අඩු ලන්සු තැබූ ආයතන සමූහයක් මෙන්ම වැඩි ලන්සු තැබූ ආයතන සමූහයක්ද අපට හඳුනාගත හැකි විය. ලිපි මාලාවේ එම කොටස අවසන් කෙරුණේ මෙයින් පෙනෙන්නේ 'වෙන්නට යන දෙය ගැන' ඉවක් ආයතන ගණනාවකටම ලැබුණේද යන්න ප්‍රශ්න කරමිනි. මේ කොටසින් පටන්ගෙන ඊළඟ කොටසින් මා පැහැදිලි කරන පරිදි මෙසේ විවිධ ආයතන වල බරිත සාමාන්‍ය ලන්සු මිල ස්ථාන දෙකක හෝ වැඩි ගණනක නාභිගත වීම එවැනි 'ඉවක් වැටීමක් ලෙස' සිතනවාට වඩා වෙනත් අයුරකින් තේරුම් ගැනීම පහසුය.

දහවන කොටස කියවා අප තේරුම් ගත් පරිදි, රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියට ලන්සු තබන ආයතනයක් හැම විටම උත්සාහ කළ යුත්තේ වෙන්දේසියේ ආන්තික මිල ඉක්මවා, එහෙත් හැකිතාක් එම මිලට ආසන්නව, ලන්සු තැබීමටය. ලන්සු මිල වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලට වඩා අඩුනම් ක්ෂණික වාසියක් ලැබිය හැකි අතර ඊට වඩා වැඩිනම් වෙන්නේ ක්ෂණික අවාසියකි. මහ බැංකුව විසින් වෙන්දේසියේ ප්‍රමාණය හිතුමතේට වෙනස් නොකරනවානම් මේ වාසිදායක මිල පරාසය අනුමාන කිරීම යනු අනෙක් තරඟකරුවන්ගේ ලන්සු වල මිල පරාස අනුමාන කිරීමකි. එහෙත්, මහ බැංකුව වෙන්දේසියේ නිකුතු ප්‍රමාණය වෙනස් කරමින් ආන්තික මිලට හා බරිත සාමාන්‍ය මිලට නිදහසේ තීරණය වන්නට නොදී වලක්වන නිසා මේ කටයුත්තේදී මහ බැංකුව විසින් කරන්නට ඉඩ ඇති දේ අනුමාන කිරීමද අවශ්‍ය වේ.

ඇත්තටම කියනවානම් මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියක නිකුතුවේ ප්‍රමාණය වෙනස් කරන්නේ හිතුමතේටම නොවේ. පෙබරවාරි 27 වෙන්දේසිය පැත්තකින් තිබ්බොත්, මහ බැංකුව සාමාන්‍යයෙන් මෙය කරන්නේ මහ බැංකුවට අවශ්‍ය සීමාවේ පොලී අනුපාතික පවත්වා ගැනීමේ අරමුණද පෙරදැරි කරගෙනය. මහ බැංකුවේ මේ හැසිරීමට තාර්කික පදනමක් තිබේ.

මහ බැංකුවේ ප්‍රධාන කාර්ය භාරය රටේ මිල ස්ථායීතාවය පවත්වා ගැනීමයි. මහ බැංකුව එය කරන්නේ රටේ මුදල් සැපයුම වෙනස් කරමින්, පොලී අනුපාතික අවශ්‍ය මට්ටමේ රඳවා ගැනීම මඟිනි. ඒ නිසා, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් විටක පොලී අනුපාතික ඉහළ යාමට සැලැස්වීමටත්, තවත් විටෙක පහළ වැටීමට සැලැස්වීමටත් මහ බැංකුවට අවශ්‍ය වේ.

මේ අතර රජය වෙනුවෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේ කටයුත්තද මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් විසින්ම කරන නිසා රජයේ පොලී වියදම හැකිතාක් අඩුවෙන් පවත්වා ගැනීමටද මහ බැංකුවට අවශ්‍ය වේ. මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක සිටින විට මුදල් ප්‍රතිපත්තිය හා රාජ්‍යමූල ප්‍රතිපත්තිය ගැටෙන නමුත්, මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්තියක සිටින විට රජයට මෙන්ම මහ බැංකුවටද අවශ්‍ය වන්නේ පොලී අනුපාතික හැකිතාක් පහතින්  තබා ගැනීමටය.

කෙසේවුවද, මා දහවන කොටසින් පැහැදිලි කළ පරිදි ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි ක්‍රමය යටතේ ලන්සු තබන ආයතනයක් විසින් එයට මුහුණ දිය යුතු තාර්කිකම ක්‍රමය වන්නේ වෙන්දේසියේ ආන්තික මිල හා බරිත සාමාන්‍ය මිල අනුමාන කර ඒ අතර පරාසයේ ආන්තික මිලට හැකිතාක් ආසන්න ලන්සුවක් තැබීමයි. එහෙත්, සෑම ආයතනයක් විසින්ම එය කළ විට බරිත සාමාන්‍යයද පහළ යයි. එවිට, මෙසේ ලන්සු තබා ලාබයක් ලැබිය හැකි පරාසය තවත් පටු වී බරිත සාමාන්‍ය මිල ආන්තික මිලට ආසන්න වේ. මේ නිසා මේ වෙන්දේසි ක්‍රමයේදී තරඟකාරී තත්ත්වයක් යටතේ වුවද වැඩිම මිලට රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නට නොහැකි වීම න්‍යායාත්මකවම පැහැදිලි කළ හැකි කරුණකි.

මා සිතන පරිදි මේ වෙන්දේසි ක්‍රමය ආරම්භ කළ කාලයේ සිටම පැවතුණේ මෙවැනි තත්ත්වයකි. එයට අමතරව, දහතුන්වන කොටසින් විස්තර කළ පරිදි විවිධ ආයතන වල මේ වෙන්දේසියේ ලන්සු තැබීමේ තීරණ ගන්නා පුද්ගලයින් බොහෝ දෙනෙකු සංවෘත සමූහයක් ලෙස සැලකිය හැකිය. සරලව කියනවානම්, ඉතා දැඩි පෞද්ගලික සම්බන්ධතා සහිත 'යාළුවන් පිරිසකි'. ඒ නිසා, ඒ අයට කාටලයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් තිබේ. ඉහත පළමු න්‍යායාත්මක හේතුවට මේ දෙවන ආකෘතිමය හේතුව එක් වූ විට අවසාන ප්‍රතිඵලය වන්නේ වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල රජයට ලබා ගත හැකි හොඳම මිල ඉක්මවා පහළ යාමයි. එනම් ඵලදා (පොලී) අනුපාතික ඉහළ යාමයි.

රජයට ලොකු සල්ලි හදිස්සියක් නැති සාමාන්‍ය දවසක මේ මිල ඉහළ යාමද සාමාන්‍ය වුවත්, මහා භාණ්ඩාගාරය බෙල්ලටම හිරවී කොහොම හරි සල්ලි හොයාගන්නට දඟලන වෙලාවට ලන්සු මිලද සාමාන්‍ය මිලට වඩා බොහෝ සේ පහළ වැටේ.

රජයට හා මහ බැංකුවටද මේ තත්ත්වයට මුහුණ දීමට ආයුධ තිබේ. ඒ, රජයට කිසියම් බලපෑමක් කළ හැකි සේවක අර්ථසාධක අරමුදල හා රාජ්‍ය බැංකු යොදාගෙන අනෙක් තරඟකරුවන්ගේ ඒකාධිකාරයට මුහුණ දීමයි. දහතුන්වන කොටසේ විස්තර කර පරිදි මේ ආයතන වලට අඩු ආවස්ථික පිරිවැයකට අරමුදල් ලැබෙන නිසා රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර මහා ලොකු ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගන්නට උවමනාවක් නැත.

අනෙක් අතට, මා විසින් දහහතරවන කොටසින් විස්තර කළ ක්ෂණික අවාසිය 'පොතේ ඇති' අවාසියකි. රුපියල් ලක්ෂ විස්සකට මෝටර් රථයක් මිලදී ගැනීමෙන් පසු ආනයන බදු අඩු කිරීම වැනි කිසියම් හේතුවකින් එහි වෙළඳපොළ මිල ගත් මිලට වඩා අඩුවීම වැනි තත්ත්වයකි. මෙය අවසාන වශයෙන් සැබෑ අවාසියක් වන්නේ එය විකිණූ විටය. සල්ලි හදිස්සියක් නැත්නම් එසේ පාඩුවට නොවිකුණා කවදා හෝ මිල වැඩි වන තුරු තියා ගන්නට පුළුවන. අතේ වැඩිපුර මුදලක් නැති කාර් බ්‍රෝකර් කෙනෙක් වැනි ප්‍රාථමික ගණුදෙනුකරුවෙකුට එසේ සුරැකුම්පතක අරමුදල් හිරකරගෙන සිටීම අමාරු වුවත්, පාවිචිචියට මෝටර් රථයක් ගන්නා සල්ලි තියෙන අයෙක් වැනි වූ සේවක අර්ථසාධක අරමුදලට හා රාජ්‍ය බැංකු වලට 'ඇති වෙන්න' සල්ලි තියෙන නිසා එය කළ හැකිය.

රාජ්‍ය සුරැකුම්පත් සැපයුම ඇති වන ආකාරයත්, හිටිවනම ආණ්ඩුවට සල්ලි හදිස්සි ඇති වී ඒ සල්ලි හොයා ගන්නට රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරන්නට සිදුවන ආකාරයත් මම දොළොස්වන කොටසින් පැහැදිලි කළෙමි. එම කොටසින් විස්තර කළ පරිදි මෙවැනි ක්ෂණික මුදල් අවශ්‍යතා රජයට වැඩිපුරම ඇති වුනේ උතුරේ මෙහෙයුම් ලොකුවටම සිදු වූ වසර වලදීය. මෙවැනි අවස්ථාවක ඉතා ක්ෂණිකව අරමුදල් සොයාගන්න්ට අවශ්‍ය වූ විට වෙන්දේසිය හරහා යාමෙන් 'පිළිගත හැකි මට්ටමේ' මිලක් ලබා ගැනීම අසීරු වූ අවස්ථා සුලභ විය. සෘජු ආයෝජන ක්‍රමය කරලියට එන්නේ එවැනි පසුබිමකය.

සෘජු ආයෝජන ක්‍රමය යටතේ මුලින්ම රාජ්‍ය සුරැකුම්පත් විකිණුවේ රජය යටතේම පැවති සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයකටය. මේ මඟින් සුරැකුම්පත් ඵලදා අනුපාතික දරාගත නොහැකි මට්ටමකට ඉහළ යාම පාලනය කෙරිණි. එයද කළ නොහැකි වන විට මහ බැංකුව විසින්ම රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීමද සිදුවිය. පසුකාලීනව මේ සෘජු විකිණුම් ක්‍රමය වඩා පුළුල් වී 'සාමාන්‍ය තත්ත්වය' බවට පත් වී ඇති අතර වෙන්දේසියේ කාර්ය භාරය කලින්කලට වෙළඳපොළ ඵලදා අනුපාතික අපේක්ෂාවන් පිළිබඳ ඉඟියක් ලබාගැනීමක් බවට පත්වී තිබේ.

සෘජු විකිණුම් ක්‍රමය සාමාන්‍ය තත්ත්වය බවට පත් වී වෙන්දේසියට සහභාගී වන ඕනෑම ආයතනයකට වෙන්දේසිය පැවැත්වෙන දින හැර අනෙක් ඕනෑම දිනෙක සෘජු ක්‍රමයට සුරැකුම්පත් මිල දී ගැනීමේ හැකියාව ලැබුණු විට මේ ආයතන වෙන්දේසියට ප්‍රතිචාර දැක්විය යුතු ප්‍රශස්ත ක්‍රමයද වෙනස් වෙයි. දැන් සෘජු ආයෝජන විකල්පයට සාපේක්ෂව වෙන්දේසිය අවදානම් කටයුත්තකි. එය ආකර්ශනීය වන්නේ අවදානම් ගැනීමට කැමති අයටය. එසේ අවදානම් ගැනීමට අකැමැති අයට වෙන්දේසිය ආකර්ශනීය නොවන අතර වෙන්දේසියෙන් පසුව සෘජු ක්‍රමයට සුරැකුම්පත් මිලදී ගැනීම වඩා හොඳ උපාය මාර්ගයකි. මා විසින් පසුව විස්තර කෙරෙනු ඇති පරිදි හා මහ බැංකුවේ 'ලීක් වූ' අධීක්ෂන වාර්තාවේ අවධානයට ලක් කෙරී ඇති පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වෙන්දේසියට සහභාගී වන අනෙකුත් ආයතන වලට සාපේක්ෂව ව්‍යාපාරික උපාය මාර්ගයක් ලෙස ඉතා විශාල අවදානම් ගන්නා සමාගමක් බව පෙනේ.

සෘජු ක්‍රමය ප්‍රධාන ක්‍රමය වූ සෘජු/වෙන්දේසි මිශ්‍ර නිකුතු ක්‍රමයක් භාවිතා කෙරෙන අළුත් තත්ත්වය යටතේ වෙන්දේසිය පැවැත්වීම මඟින් මහ බැංකුව විසින් වෙළඳපොළ ඵලදා අනුපාතික අපේක්ෂාවන් පිළිබඳව දැනගැනීමට අමතරව එම ඵලදා අනුපාතික අවශ්‍ය පරිදි මාර්ගස්ථ (guide) කිරීමක්ද සිදු කරයි. මෙය කරන්නේ වෙන්දේසියේ නිකුතු ප්‍රමාණය මහ බැංකුවට අවශ්‍ය පරිදි වෙනස් කිරීම මඟිනි. වෙළදපොළ ඉල්ලා සිටින ඵලදා අනුපාතික 'නරක නැති බව' මහ බැංකුවට පෙනේනම් මහ බැංකුව කරන්නේ නිකුතුවේ ප්‍රමාණය ඉහළ දමා වැඩි සුරැකුම්පත් ප්‍රමාණයක් 'ඉහළ මිලකට' විකුණා ගැනීමයි. එය එසේ නොවී, වෙළඳපොළ ඉල්ලා සිටින ඵලදා අනුපාතික ඉතාම ඉහළ බව පෙනේනම් මහ බැංකුව විසින් කරන්නේ ලන්සු පරික්ෂා කිරීමෙන් පසුව සුරැකුම්පත් නිකුත් නොකර වෙන්දේසිය අවලංගු කර දැමීමයි. ඒ නිසා, පාරදෘශ්‍ය නොවූවත් සුරැකුම්පත් වෙන්දේසියක නිකුතු ප්‍රමාණය ලන්සු ලබාගැනීමෙන් පසුව වෙනස් කිරීම 'හිතුමතේට වාගේ' වුවත් 'හිතුමතේටම' සිදුවන දෙයක් නොවේ.

ඉහත පරිදි, මහ බැංකුව නිකුතුවේ ප්‍රමාණය 'හිතුමතේට වාගේ' වෙනස් කිරීමේ එක් හොඳක්ද තිබේ. දැන් වෙන්දේසියට සහභාගී වන ආයතන වලට අනෙක් සියළුම තරඟකරුවන් ලන්සු තැබිය හැකි මිල පරාස අනුමාන කරන්නට මහන්සි නොවී, මහ බැංකුව විසින් තීරණය කරන්නට ඉඩ ඇති ආන්තික මිල හා බරිත සාමාන්‍ය මිල අනුමාන කිරීමේ සාපේක්ෂව පහසු කටයුත්ත කරමින් තමන්ගේ ලන්සු මිල ගණන් සකස් කළ හැකිය. 2015 මුල දක්වා වසර ගණනාවක් පැවති සෘජු විකිණීම්/ වෙන්දේසි මිශ්‍ර ක්‍රමය තුළ වෙන්දේසියේ අවසාන ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මකව බලපෑවේ 'මහ බැංකුවට අවශ්‍ය සමතුලිත මිල' මිස ඉල්ලුම මත පදනම් වූ සමතුලිත මිල නොවේ. (ඇත්තටම කියනවානම් දිගුකාලීනව මේ දෙක අතර ලොකු වෙනසක් පවත්වා ගත නොහැකිය. මෙසේ මහ බැංකුව විසින් ලන්සු ලබාගැනීමෙන් පසුව නිකුතුවේ ප්‍රමාණය වෙනස් කිරීම නිසා ප්‍රායෝගිකව වෙන්නේ වෙළඳපොල ඵලදා අනුපාතික වල කෙටිකාලීන උච්ඡාවචනයන් අඩුවී සුමට වීමක් පමණි.)

අපේ ලිපි මාලාවට හේතු සැපයූ වෙන්දේසියේදී ලන්සු තැබූ එක් එක් ආයතනය විසින් මේ 'මහ බැංකුවට අවශ්‍ය සමතුලිත මිල' තීරණය කර ඇති ආකාරය ගැන කතා කිරීම අපි ඉදිරි කොටසට තබමු.

Sunday, November 13, 2016

අයවැය නව නිෂ්පාදනය- නාට්‍ය විචාරයක්

අයවැය නාට්‍යයේ අළුත් නිෂ්පාදනය පාර්ලිමේන්තුවේදී රඟදැක්විණි. වෙනදා වගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පිටපත ලියා තිබුණු අතර මුදල් ඇමතිවරයා සුපුරුදු පරිදි දෙබස් වරද්දමින් ප්‍රධාන චරිතය රඟපෑවේය. ඉකොනොමැට්ටා ආර්ථික විද්‍යාව මිස නාට්‍ය විචාරය හදාරා නැතත් මේ නාට්‍යය ගැන මොනවා හෝ නොලියාම බැරිය.

ප්‍රේක්ෂකයින්ගේ විසිල් බලාගෙන පිටපතට එකතු කර ඇති මුං ඇට, කඩල ජෝක් කෑලි වලින් අවධානය බිඳ නොගෙන අපි කෙලින්ම නාට්‍යයේ මූලික තේමාවට යමු.

රාජ්‍ය අයවැයක මූලික අරමුණ එළඹෙන වසරේ රජයේ ආදායම් වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමයි. පහත ඇත්තේ අයවැයේ හරය වන රජයේ ආදායම් වියදම් වල සාරාංශයයි.



මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය ඇස්තමේන්තු අනුව එළඹෙන 2017 වසරේදී රජයේ ආදායම මේ වසරට සාපේක්ෂව 26.5%කින් වැඩි වනු ඇත. මේ අනුව, බදු ආදායම 27.2%කින්ද, අනෙකුත් ආදායම් හා ප්‍රදාන 22.6%කින්ද වැඩි වීමට නියමිතය.

ආදායම 26.5%කින් වැඩි වෙද්දී රජය සිය වියදම් වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ 17%කින් පමණි. එයින්ද, පුනරාවර්තන වියදම් 9.9%කින් සුළුවෙන් වැඩි වන්නට ඉඩ හැරෙනු ඇති අතර ප්‍රාග්ධන වියදම් 41.6%කින් වැඩි කෙරෙනු ඇත. මේ අතරින් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් කෙරෙන ආයෝජන 22.6%කින්ද, යටිතලපහසුකම් ආයෝජන 47.3%කින්ද වැඩි කෙරෙනු ඇත. මෙසේ පුනරාවර්තන වියදම් සීමා කර ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම නිසා ඉදිරි වසර වලදී රජයේ ආදායම් වැඩිවී අයවැය හිඟය ක්‍රමයෙන් අඩුවනු ඇත.

බැලූ බැල්මට අයවැයේ මූලික ආකෘතියේ කියන්නට වැරැද්දක් නැත. එහෙත්, ප්‍රශ්නය තියෙන්නේ මේ සංඛ්‍යාලේඛණ තියෙන්නේ අයවැය නාට්‍ය පිටපතේ මිස සැබෑ ලෝකයේ නොවීමයි.

රාජ්‍ය ආදායම් 26.5%කින් වැඩි කර ගැනීම ප්‍රායෝගිකව ලඟා විය හැකි ඉලක්කයක් නොවේ. සාමාන්‍යයෙන් රටේ ආර්ථිකය වර්ධනය වන විට රජයේ ආදායම එම වේගයෙන් හෝ තරමක් වැඩි වේගයකින් වර්ධනය වේ. මේ අනුව, රජයේ ආදායමේ 5-6% ප්‍රමාණයේ වර්ධනයක් සිදු වනු ඇත. එමෙන්ම, උද්ධමනය හේතුවෙන් මිල මට්ටම් ඉහළ යන විට එයට අනුපාතිකව හෝ තරමක් අඩු වේගයකින් රජයේ ආදායම් ඉහළ යයි. මෙයද එක් කළ විට 10%ක පමණ ආදායම් වර්ධනයක් ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවේ. බදු ඉහල දැමීම මඟින් මේ ප්‍රතිශතය තවත් තරමක් වැඩි කර ගත හැකිවුවත්, 26.5% මට්ටමට යාම හිතන තරම් පහසු කරුණක් නොවේ.

ලංකාවේ බදු බොහොමයක්ම වක්‍ර බදුය. මේ බදු වැඩි කරන විට ඉල්ලුම අඩුවන නිසා බදු වැඩි කරන අනුපාතයෙන්ම බදු ආදායම් වැඩි නොවේ. ඕනෑවට වඩා බදු වැඩි කළොත් බදු ආදායම අඩු වන්නට වුවද පුළුවන. ප්‍රායෝගිකව රජයේ ආදායම් වැඩි වේයැයි සිතිය හැක්කේ 10-12% පමණ ප්‍රමාණයකිනි. එසේනම්, අයවැය හිඟය අපේක්ෂිත මට්ටමේ පවත්වාගනිමින් ඇස්තමේන්තුගත වියදම් ඒ අයුරින්ම කළ නොහැකි නිසා ඒ වියදම් වලින් කොටසක් කපන්නට සිදු වනු ඇත. මෙසේ කිරීමේදී, ප්‍රායෝගිකව කතුරට අහුවෙන්නේ නාස්තිකාර පුනරාවර්තන වියදම් නොවේ. කිසියම් හෝ අනාගත ප්‍රතිලාභයක් ලබාදෙන ප්‍රාග්ධන වියදම්ය. මෙය අද ඊයේ නොව වසර ගණනාවක් තිස්සේම ලංකාවේ සිදුවන දෙයකි.

මුදල් ඇමති වසරකට වරක් අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරයි. නාට්‍ය විචාරකයෝ මේ යෝජනා විශ්ලේෂණය කරති. කෙසේ වුවද, ඒ යෝජනා කියන හැටියට ක්‍රියාත්මක නොවේ. කිසිවකු පසු විපරමක් නොකරති. ඊළඟ වසරේ නැවතත් මේ දෙයම සිදු වේ.

පහතින් ඇත්තේ 2015 නොවැම්බරයේදී වත්මන් මුදල් ඇමති වරයා විසින් ඉදිරිපත් කළ 2016 වසර සඳහා වූ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තු හා එම ඇස්තමේන්තු 2016 නොවැම්බර් වන විට වෙනස් වී ඇති ආකාරයයි. සෑම වසරකම සිදුවන මේ දෙය මෙවරද එසේම සිදුවන්නට ලොකු ඉඩක් තිබේ. 



මේ වසරේ රජයේ ආදායම 38.5%කින් වැඩිවනු ඇතැයි 2015 නොවැම්බර් අයවැය කතාවේදී කියවුණත් වසරකට පසු කියන විදිහට ආදායම වැඩිවීමට නියමිතව ඇත්තේ 9.4%කින් පමණි. මුල් ඇස්තමේන්තුවට සාපේක්ෂව රජයේ ආදායම 19%කින් අඩු වී ඇත. එසේනම්, වියදමද අඩු නොකර නොහැක. කෙසේ වුවද, වියදම අඩුවන්නේ 16.5%කින් පමණි. එයින්ද, පුනරාවර්තන වියදම් අඩුවන්නේ මුල් ඇස්තමේන්තුවට වඩා 4.5%කින් පමණි. ප්‍රාග්ධන වියදම් 42.4%කින් අඩු වී ඇති අතර අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කර ඇත්තේ මුලින් කිවු ගණනට වඩා 45.2%ක් අඩුවෙනි. යටිතලපහසුකම් ආයෝජනද 41.5%කින් අඩු වී ඇත. එසේනම්, ලබන වසරේදී කියන විදිහටම කටයුතු සිදුවෙයිද?

නාට්‍ය පිටපතක් පමණක්ම වන ලංකාවේ අයවැය ගැන කතා කරන්නට කාලය යෙදවීමත් තේරුමක් නැති වැඩකි.


(Image: http://www.asiantribune.com/node/88206)

Friday, May 13, 2016

ලංකාව ණය උගුලක හිර කළේ කවුද?

ලංකාව විශාල ණය උගුලක පැටලී සිටින බව මේ වන විට බොහෝ දෙනෙකු දන්නා සහ පිළිගන්නා කරුණකි. ණය උගුලෙන් ගැලවීමේ උපාය මාර්ග සෙවීමේදී මේ ණය උගුලේ පැටළුණු ආකාරය අවබෝධ කරගැනීම වැදගත් වුවත් එහි වගකීම යම් නිශ්චිත පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මත පැටවීමෙන් ලැබෙන විශේෂ වාසියක් නැත.

ණය මල්ලට සම්මාදම් වූ අය කවුරු වුවත් එයින් ගැලවීමේ ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ප්‍රධාන වශයෙන්ම ඇත්තේ මේ වන විට රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරන පුද්ගලයින් අතේය. එසේ ගන්නා නිවැරදි ක්‍රියා මාර්ගයකට සහයෝගය දීම රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමකි. එමෙන්ම, රටේ පාලනාධිකාරිය එම සහයෝගය ලබා ගත හැකි පරිදි ක්‍රියාකිරීමද වැදගත්ය. කෙසේවුවද, සිදුවන්නේ එවැන්නක්ද යන්න සැක සහිතය.


ලංකාව නිදහස ලබන විට ඉංග්‍රීසින් විසින් භාර දී ගියේ ලෝකයටම  ගෙවන්නට ඇති ණය ගොඩක් සමඟ හිස් භාණ්ඩාගාරයක් නොවේ. 1950 වන විටද ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් පමණක් වූ අතර එම මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.9%ක් පමණි. එතැන් සිට සියළු රජයයන් යටතේ සිදු වුණේ මේ ණය මල්ල පැටවු  ගැසීමයි. 2015 අවසාන වන විට රුපියල් මිලියන 8,503,227ක් දක්වා මේ ණය මල්ල ලොකු වූ ආකාරය පහත වගුවේ පෙන්වා තිබේ.



නිදහසින් පසු කිසිම රජයක් යටතේ ලංකාවේ ණය අඩු වී නැත. එහෙත්, ඇතැම් කාලවලදී වෙනත් කාල වලදීට වඩා අඩුවෙන් ණය ගෙන තිබේ. පහත රූප සටහනේ ඇත්තේ එක් එක් කාල වකවානු තුළ රාජ්‍ය ණය ප්‍රමාණය වර්ධනය වූ සාමාන්‍ය වේගයයි.




නිදහසින් පසු පැවති බොහෝ පාලන කාලයන්හිදී  අඩු වශයෙන් 13-14% පමණ ප්‍රතිශතයකින් වාර්ෂිකව ලංකාවේ ණය ප්‍රමාණය ඉහළ ගියේය. මේ ප්‍රවණතාව ඇරඹුණේ 1950 දශකයේදීමය. 

ඒ කාලයේ ඇරඹුණු සහනාධාර ආර්ථිකයෙන් ගැලවෙන්නට ලංකාවට පහසු වුනේ නැත. කෙසේ වුවද, ණය වැඩි වීමට සමාන්තරව රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වීමේ වේගයේ සිදු වූ වෙනස්කම් නිසා රටේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇතැම් කාලාන්තර තුළදී ණය ප්‍රමාණය වැඩි වීමත් තවත් කාලාන්තර වලදී අඩු වීමත් සිදු විය.

නිදහසින් පසු ගතවූ මුල් දශක දෙක තුළදීද පෙර වසරට සාපේක්ෂව ලංකාවේ ණය වර්ධනය සිදු වූයේ පසුකාලීනව එය සිදු වූ වේගයට ආසන්න වේගයකිනි. එහෙත්, ඒ කාලයේදී ණය කන්දක් ගොඩ ගැසී නොතිබුණු නිසා මෙය බරපතල ප්‍රශ්නයක් ලෙස පෙනුණේ නැත.

සමඟි පෙරමුණු රජය ඇරඹෙන විට ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 62.5%ක් වූ අතර එම පාලන කාලය තුළ ණය ගැනීම සිදුවුනේ අඩුවෙන් නිසා ජයවර්ධන පාලනය ඇරඹෙන විට මේ ප්‍රතිශතය 58.5% දක්වා අඩු විය.

ලංකාව ණය උගුලට පා තැබුවේ නිදහස ලැබූ අළුතම වුවත් ගැලවෙන්නට නොහැකි පරිදි උගුලේ හිර වුනේ ජයවර්ධන පාලන කාලයේදීය. 1977-88 කාලය තුළ වාර්ෂික සාමාන්‍ය ණය වර්ධනය 24% පමණ  වූ අතර එම වසර 12 තුල රටේ ණය මල්ල 13 ගුණයකින් වර්ධනය වී දළ ජාතික නිෂ්පාදිතයද ඉක්මවා ගියේය. රට ණයෙන් දුවනවාට අමතරව ණයෙන් දුවන ගෘහස්ථ ආර්ථික සංස්කෘතියක් ප්‍රවර්ධනය කළේද ජයවර්ධන පාලනයයි. 


මහ බැංකු වාර්තා පරික්ෂා කර අවශ්‍ය කෙනෙකුට තහවුරු කර ගත හැකි මා ඉහත ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛණ වලින් මේ කරුණු පැහැදිලි විය යුතුය. ජයවර්ධන පාලනය අවසන් වන විට රටේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ඉක්මවා තිබුණු අතර 1988/89 කාලයේදී ජවිපෙ විසින් රටේ ආර්ථික වර්ධනය අඩාල කිරීමේ හේතුවෙන් 1989 අවසන් වන විට ලංකාවේ ණය මල්ල රටේ සමස්ත නිෂ්පාදිතයටද වඩා 8.7%කින් වැඩි විය.

ජයවර්ධන යුගයෙන් පසු අද දක්වාම ලංකාව පාලනය කෙරෙන්නේ එදාවේල ක්‍රමයටය. රජයේ ආදායම ණය පොලී හා වාරික සඳහාවත් ප්‍රමාණවත් නැති තත්ත්වයකට පත් වීමෙන් පසු, එක් වර සිදුවිය හැකි විශාල ආර්ථික කඩා වැටීමක් වහා සිදුවීම වලක්වා ගත හැකි එකම ක්‍රමය තව තවත් ණය ගැනීමයි. ජයවර්ධන යුගයෙන් පසු දිගටම සිදු වූයේත්, සිදු වන්නේත් එයයි. ණය නොගෙන සිටියහොත් ආර්ථිකය වහා අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකිය.


කෙසේ වුවද, ණය මල්ල වැඩි වෙද්දී අළුතින් තවත් ණය ගැනීම එන්න එන්නම අමාරු වේ. ණය ආපසු ලැබීමේ අවදානම වැඩි නිසා වැඩි වැඩියෙන් පොලී ගෙවන්නට සිදු වන අතර එයින් ණය බර තවත් වැඩි වේ. ඇතැම් විට අවශ්‍ය ණය අරමුදල් කවර කොන්දේසි යටතේ වුවද සපයා ගැනීම අසීරු වේ. ජයවර්ධන යුගයෙන් පසු රට පාලනය කළ සෑම රජයකටම මේ යථාර්තයට මුහුණ දෙන්නට සිදු විය. ඒ නිසා, ඒ සෑම රජයක්ම රාජ්‍ය අයවැය පරතරය අඩුවෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හඳුනා ගත්තේය. එහෙත්, ඒ සඳහා දැරුණු උත්සාහයන් බොහෝ අවස්ථා වලදී ආර්ථික නොවන දේශපාලනික කරුණු මත ව්‍යවර්ථ විය.

පසුගිය ජනධිපතිවරයාගේ ධුර කාලය තුළද රටේ ණය විශාල ලෙස ඉහළ ගිය නමුත් ඒ කාලයේ වාර්ෂිකව රාජ්‍ය ණය තොගය වර්ධනය වූ 13%ක වේගය නිදහසින් පසු ප්‍රථම අගමැති වරයාගේ ධුර කාලය හැරුණු විට අඩුම වේගයයි. අනෙක් සෑම කාලයකදී රාජ්‍ය ණය වර්ධනය මීට වඩා වේගයෙන් හෝ ආසන්නව මේ වේගයෙන්ම සිදු වී තිබේ. අනෙක් අතට, නිදහසින් පසු රටේ ආර්ථික වර්ධනය වැඩිම වේගයෙන් සිදුවූයේ මේ කාලයේදීය. ඒ නිසා, 2014 වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 70.7 දක්වා අඩු කර ගැනීමට හැකි විය. ඒ නිසා රාජ්‍ය ණය බරෙහි වගකීම පසුගිය පාලනය මත පැටවීම තේරුමක් නැති දෙයක් වනවාට අමතරව තර්කානුකූලද නැත.

ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම කවරෙකු භාර ගත්තද මේ වන විට පවතින තත්ත්වය අනුව, ඇත්ත වශයෙන්ම ජයවර්ධන යුගයෙන් පසුව දිගටම පවතින තත්ත්වය අනුව, ක්ෂණික කඩා වැටීමක් වලක්වා ගැනීම සඳහා පමණක් වුවද තව තවත් ණය ගැනීමට සිදුවීම ප්‍රායෝගික යථාර්තයකි. එසේ ගනිද්දී, යම් හෙයකින් ආර්ථිකය කඩා වැටුනොත් සිදුවන අවදානමද එන්න එන්නම වැඩි වේ.

කෙසේවුවද, කළ යුත්තේ අළුතින් ණය ගැනීම හැකිතාක් සීමා කිරීම හා තිබෙන සීමිත සම්පත් හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් ආර්ථික වර්ධනය උදෙසා උපයෝගී කර ගැනීමයි. දැනට පෙනෙන්නේනම් ණය වර්ධනය වීම පැවති වේගයටත් වඩා වැඩියෙන්
සිදුවන බවයි. පසුගිය පාලනය යටතේ ලබාගත් ණය ගැන ප්‍රචාරණය කිරීම වර්තමානයේ වැඩි වේගයකින් සිදුවන දේශීය ණය ගැනීම් ආවරණය කර ගැනීමට ගන්නා උත්සාහයක් බව පෙනේ. මෙය රජයට පාරාවළල්ලක් විය හැකි ආකාරය ගැන පසුව කතා කරමු.

මීළඟ ලිපිය: ආර්ථික අර්බුදය හඳුනාගනිමු! 

Tuesday, May 10, 2016

වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද?



මා පසුගිය සටහනෙන් ශ්‍රී ලංකාවේ ආදායම් විෂමතාවය ගැන කතා කළේ ඉන් පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාරයක් දක්වමින් පාඨකයෙකු විසින් ආර්ථික වර්ධනය ඇඟට නොදැනෙන්නේ ඇයිදැයි කළ විමසීමට හේතු දැක්වීමක් වශයෙනි. ආදායම් විෂමතාවය ආර්ථික වර්ධනය ඇඟට නොදැනීමට එකම හේතුව නොවුණත් එයද එක් හේතුවකි. රටක දළ ජාතික ආදායම වැඩි වන්නේ සීමිත පිරිසකගේ ආදායම විශාල ලෙස වර්ධනය වීම නිසා පමණක්නම් අඩු ආදායම් ලබන ඉතිරි පිරිසට ආර්ථික වර්ධනය ඇඟට දැනෙන්නේ නැත. කෙසේවුවද, ලංකාවේ පවතින සැලකිය යුතු ආදායම් විෂමතාවය මධ්‍යයේ වුවද ලංකාවේ අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වයද යම් තරමකින් හෝ උසස් වී නැතැයි කිව නොහැකිය.

ඉහත ලිපියට ප්‍රතිචාරයක් ලෙස වැට් බද්ද වැඩි කිරීම ගැන අදහසක් පළ වී තිබේ. මෙය මා ලිපිය ලියද්දී සිත යොමු කළ මානයක් නොවූවත් එම ප්‍රතිචාරය ඔස්සේ සිතුවිලි මෙහෙයවන විට වැට් බද්ද වැඩි කිරීම ගැන කතා කරන්නට වැදගත් කරුණු රැසක් මතක් වේ. මේ කරුණු සාරාංශගත කළහොත් විමසන්නට ඇති ප්‍රධාන කරුණ වන්නේ වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද යන්නයි.


රජය විසින් කිසියම් බදු අනුපාතිකයක් ඉහළ දමන්නේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට බව පැහැදිලි කරුණකි. එහෙත්, බදු අනුපාතික ඉහළ දැමීමෙන් හැම විටම රජයේ බදු ආදායම වැඩි කර ගත නොහැකිය. රජයක් විසින් අපේක්ෂා කරන ප්‍රතිඵලය නොවූවත් බදු වැඩි කිරීම නිසා රජයේ බදු ආදායම අඩු වී ඇති අවස්ථාද තිබේ.

කිසියම් භාණ්ඩයක් මත පනවන බද්දක් වැඩි කළ විට එම භාණ්ඩය නිසා ලැබෙන බදු ආදායමට සිදුවන්නේ කුමක්ද යන්න තීරණය වන්නේ අදාළ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය අනුවය. සරලව කියනවානම් භාණ්ඩයේ මිල 1%කින් වැඩි කළ විට ඒ සඳහා වන ඉල්ලුම අඩුවන්නේ කවර ප්‍රතිශතයකින්ද යන්න මතය.

උදාහරණයක් ලෙස අපි රුපියල් 600ක මිලකට විකිණෙන මත්පැන් බෝතලයක් ගැන සිතමු. මේ රුපියල් 600න් රුපියල් 500ක්ම වෙන්වන්නේ වක්‍ර බදු වෙනුවෙනි (උදාහරණයක් පමණි. එහෙත් සැබෑ තත්ත්වයේද වැඩි වෙනසක් නැත.) ඉතිරි රුපියල් 100 නිෂ්පාදකයාගේ ආදායමයි. එයින් නිෂ්පාදන වියදම අඩු කළ විට ඉතිරිය නිෂ්පාදකයාගේ ලාභයයි. මෙය රුපියල් 20යැයි සිතමු.

රුපියල් 600ක් ගෙවා මත්පැන් බෝතලයක් මිල දී ගන්නා සෑම
පාරිභෝගිකයෙක්ම එහි වටිනාකම රුපියල් 600කට වඩා වැඩියයි සිතන අයෙකි. එසේ නැත්නම් මේ මිල දී ගැනීම නොකර ඉන්නට ඔහුට හෝ ඇයට බාධාවක් නැත. මෙවැනි පාරිභෝගිකයින් මිලියනයක් රටේ සිටීනම් රජයට මත්පැන් වලින් වක්‍ර බදු ලෙස රුපියල් මිලියන 500ක් ලැබේ. නිෂ්පාදකයාට මිලියන 20ක ලාභයක් ලැබෙන අතර එයින් කොටසක්ද ආදායම් බදු ලෙස රජයට හිමි වේ.

දැන් රජය මත්පැන් බෝතලයක් සඳහා වන බද්ද රුපියල් 100කින් වැඩි කළහොත් රජයේ ආදායමෙහි කොපමණ වෙනසක් වෙයිද?


මෙය තීරණය වන්නේ රටේ පාරිභෝගිකයින්  හා මත්පැන් නිෂ්පාදකයින් මේ බදු වැඩි වීමට දක්වන ප්‍රතිචාරය මතය. නිෂ්පාදකයා මේ බද්ද මුළුමනින්ම පාරිභෝගිකයින් මත පැටවූවේයැයි සිතමු. දැන් මත්පැන් බෝතලයක මිල රුපියල් 700කි. පෙර මිලට මත්පැන් මිල දී ගත් පාරිභෝගිකයින් මිලියනයම වැඩි වූ මිල යටතේ තවදුරටත් නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළ තුළ රැඳී සිටීනම් නිෂ්පාදකයාගේ ලාභයේ වෙනසක් නොවේ. එහෙත්, රජයේ බදු ආදායම මිලියන 100කින් වැඩි වේ.

රජයට ලැබෙන මේ වාසිය ලැබෙන්නේ කොහෙන්ද? මේ අවස්ථාවේදීනම් එය තනිකරම ලැබුණේ
පාරිභෝගිකයින්ගෙනි. රජයට ලැබුණු රුපියල් මිලියන 100යේ වාසිය පාරිභෝගිකයින්ට සිදු වූ අවාසියකි. තාක්ෂණික වචනයක් යොදාගතහොත් පාරිභෝගික අතිරික්තයේ සිදු වන අඩුවීමකි.

එසේනම්, මේ පාරිභෝගික අතිරික්තය යනු කුමක්ද?


ඕනෑම පුද්ගලයෙකු භාණ්ඩයකට ගෙවීමට කැමති උපරිම මිලක් තිබේ. තුෂාර මත්පැන් බෝතලයකට ගෙවන්නට සූදානම් උපරිම මිල රුපියල් 1000ක් නම් රුපියල් 600ක් ගෙවා එය මිලදී ගන්නා විට ඔහුට රුපියල් 400ක පාරිභෝගික අතිරික්තයක් ඉතිරි වේ. මෙය තුෂාරගේ ලාභයකි. මත්පැන් බෝතලයක මිල රුපියල් 700ක් දක්වා ඉහළ ගිය විට ඔහුගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 300 දක්වා අඩුවේ. ඉහත අවස්ථාවේදී රජයේ බදු ආදායම රුපියල් මිලියන 100කින් වැඩි වෙද්දී මත්පැන් පාරිභෝගිකයින්ගේ සමස්ත පාරිභෝගික අතිරික්තය රුපියල් මිලියන 100කින් අඩු වී තිබේ.

කෙසේවුවද, සෑම පරිභෝගිකයෙකුම මත්පැන් බෝතලයක් සඳහා ගෙවීමට සූදානම් උපරිම මිල සමාන නැත. ක්‍රිෂ්ණරාජාගේ මේ මිල රුපියල් 650ක් යැයි සිතමු. මත්පැන් බෝතලයක මිල රුපියල් 600ක්ව තිබියදී ඔහුට රුපියල් 50ක පාරිභෝගික අතිරික්තයක් ලැබුණේය. එහෙත්, දැන් මිල අනුව ඔහුට එවැනි අතිරික්තයක් ලබාගත නොහැකිය. ක්‍රිෂ්ණරාජා ගෙවන්නට කැමති උපරිම මිලට වඩා රුපියල් 50ක් ගෙවා මත්පැන් බෝතලයක් මිලදී ගතහොත් ඔහුට සිදුවන්නේ පාඩුවකි.

මෙය තුෂාරට මෙන් ලැබෙන වාසියේ අඩුවීමක් නොවේ. සෘජුවම පාඩුවකි. ඒ නිසා අළුත් මිලට ක්‍රිෂ්ණරාජා මත්පැන් මිලදී නොගනී. ඔහු මත්පැන් පානයෙන් වැලකීමට හෝ නීත්‍යානුකූල නොවන මත්පැන් පරිභෝජනය ඇරඹීමට තීරණය කරනු ඇත.


බදු වැඩිවීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා භාණ්ඩයක මිල වැඩිවන සෑම විටෙකම එම භාණ්ඩයේ අලෙවිය යම් පමණෙකින් අඩුවේ. පෙර උදාහරණයේ ක්‍රිෂ්ණරාජා වැනි අය තවත් බොහෝ දෙනෙක් රටේ සිටින නිසා මිල රුපියල් 700ක් වූ විට මත්පැන් අලෙවිය පෙර පැවති මිලියනය මට්ටමේම තවදුරටත් නොපවතී.

මිල වැඩි වීමෙන් අනතුරුව මත්පැන් ඉල්ලුම 10%කින් අඩු වූයේයැයි සිතමු. මේ අනුව, දැන් විකිණෙන්නේ මත්පැන් බෝතල් 900,000ක් පමණි. ඒ අනුව, රජයට ලැබෙන බදු ආදායම මිලියන 540කි. මෙහිදී, බදු අනුපාතිකය 20%කින් ඉහළ නැංවුවද, බදු ආදායම වැඩිවී ඇත්තේ මිලියන 40කින් හෙවත් 8%කින් පමණි. මේ අතර, නිෂ්පාදකයාගේ ලාභයද, ඒ නිසාම ඒ මත අයකෙරෙන ආදායම් බදු මුදලද 10%කින් අඩුවී තිබේ.


යම් හෙයකින්, මිල වැඩි වීමෙන් අනතුරුව මත්පැන් ඉල්ලුම 20%කින් අඩු වුවහොත් සිදුවන්නේ කුමක්ද? එවිට, විකිණෙන්නේ මත්පැන් බෝතල් 800,000ක් පමණි. ඒ අනුව, රජයට ලැබෙන බදු ආදායම මිලියන 480කි. මෙහිදී, බදු අනුපාතිකය 20%කින් ඉහළ නැංවුවද, බදු ආදායම මිලියන 20කින් හෙවත් 4%කින් අඩු වී තිබේ. මේ අතර, නිෂ්පාදකයාගේ ලාභයද, ඒ නිසාම ඒ මත අයකෙරෙන ආදායම් බදු මුදලද 20%කින් අඩුවී තිබේ. අවසාන වශයෙන් බදු වැඩි කිරීම නිසා රජයේ බදු ආදායම අඩු වී තිබේ.

බදු අනුපාතික වෙනස් කිරීම සැලකිල්ලෙන් කළ යුතු දෙයකි. කෙටි කාලයක් තුළ විශාල ලෙස බදු අනුපාතික ඉහළ නැංවූ විට රජයේ බදු ආදායම අඩු වීමේ අවදානමක්ද තිබේ. එමෙන්ම, ඇතැම් තත්ත්වයන් යටතේ බදු අනුපාතික අඩු කිරීමෙන්ද රජයේ බදු ආදායම වැඩි කර ගත හැකිය. එසේ වන්නේ, බදු අනුපාතිකය අඩු කළ විට බදු පදනම පුළුල් වන අවස්ථා වලදීය.


කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අයකෙරෙන බදු අනුපාතිකය ඉහළ නැංවූ විට අපේක්ෂිත ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වන්නේ එම භාණ්ඩයේ හෝ සේවාවේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය මතය. හාල්, පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල ප්‍රත්‍යස්ථතාවය ඉතා අඩුය. සරලව කියනවානම්, මේ භාණ්ඩ වල මිල වෙනස් වන තරමට ඉල්ලුම වෙනස් නොවේ. අත්‍යවශ්‍ය නොවන, "වැඩිපුර සල්ලි තියෙන විට කරන" දේවල ප්‍රත්‍යස්ථතාවය වැඩිය. ඒ නිසා, බදු අනුපාතිකය වැඩි කිරීමෙන් රජයට ලැබෙන ආදායම වැඩිපුරම ඉහළ නංවා ගත හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන බදු අනුපාතික ඉහළ නැංවීමෙනි. කටුක වුවත් මෙය යථාර්තයයි.

කෙසේ වුවද, ඉහත උදාහරණ වලදී මා සැලකුවේ බදු බර මුළුමනින්ම පාරිභෝගිකයා වෙත පටවන අවස්ථාවක් පමණි. එය හැම විටම එසේ නොවේ. බොහෝ අවස්ථා වලදී නිෂ්පාදකයින් විසින් වැඩි වූ බද්දක අවාසිය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයින් මත නොපටවයි. ඒ ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙත ඇති අනුකම්පාවක් නිසා නොවේ. ඔවුන්ගේ ලාභය උපරිමයක් වන්නේ එසේ කිරීමෙන් බැවිනි.

අළුත් බදු සංශෝධන නිසා ජංගම දුරකථන ගාස්තු වැඩි වනු ඇත. කොපමණ ප්‍රතිශතයකින්ද?

සරල ගණනය කිරීමක් කළහොත් පෙනෙන්නේ පෙර නොපැවති 15%ක වැට් බද්දක් එකතුවීම නිසා දුරකථන ගාස්තුවද 15%කින් වැඩි වනු ඇති බවයි. එහෙත්, එය එසේම විය යුතු නැත.

දැනට ජංගම දුරකථන ඇමතුම් සඳහා මසකට රුපියල් 600ක් වැය කරන චන්දිමාට රුපියල් 1.50 බැගින් මිනිත්තු 400ක ඇමතුම් කාලයක් ලැබේයැයි සිතමු. දුරකතන සමාගම විසින් 15%ක වැට් බද්ද පාරිභෝගිකයින් මත පැටවුවහොත් චන්දිමාට මිනිත්තු 400ක් පෙර සේ නිදහසේ මල් කැඩීමට වැඩිපුර රුපියල් 90ක් වැය වනු ඇත. ඇගේ ආදායම වැඩි වී නැති නිසා මේ රුපියල් 90 ඉතිරි කර ගැනීමට ඇයට ඇගේ වෙනත් අවශ්‍යතා වලින් යම් කිසිවක් සීමා කිරීමට සිදුවේ. 


එහෙත්, වැට් වැඩිවීම අනෙක් භාණ්ඩ හා සේවාවන් බොහොමයක මිලටද බලපා ඇති නිසා මෙය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා, චන්දිමා ඇගේ මල් කැඩීමේ කාලය අඩු කර වියදම රුපියල් 600 මට්ටමේම තබා ගැනීමට හෝ ඇතැම් විට මිල වැඩි වූ අනෙකුත් භාණ්ඩ හා සේවාවන් පරිභෝජනය සීමා කිරීම වඩා අපහසුනම් දුරකථන ඇමතුම් වෙනුවෙන් වෙන්කරන මුදල අඩු කිරීමට ඉඩ තිබේ.

බොහොමයක් ජංගම දුරකථන පාරිභෝගිකයන් චන්දිමා මෙන් හැසිරී දුරකථන භාවිතය අඩු කළහොත් දුරකථන සේවා සපයන සමාගමේ ආදායම අඩුවේ. එහෙත්, දුරකථන සේවා සැපයීම විශාල ස්ථිර ප්‍රාග්ධනයක් අවශ්‍ය ආන්තික පිරිවැය ඉතා අඩු කර්මාන්තයක් බැවින් දුරකථන සමාගම් වල වියදම් අඩු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් කිසිවකු ඇමතුම් නොගත්තත් දුරකථන සමාගමේ වියදම් එසේම පවතී. ප්‍රවාහන සේවා වැනි වෙනත් ඇතැම්  සේවාවන්හි තත්ත්වයද මෙසේය. පොල් පැටෙව්වාක් මෙන් සෙනඟ සිටියත්, යාන්තම් මඟීන් දෙතුන් දෙනෙකු සිටියත් බස් රථයක් හෝ දුම්රියක් ධාවනය කරවීමේ පිරිවැයෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවේ.

මේ නිසා, ඉහත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් දුරකථන සමාගම් විසින් ඇමතුම් විනාඩියකට අය කරන මිල පහත දැමීමට ඉඩ තිබේ. අවසාන වශයෙන් සිදුවනු ඇත්තේ වැඩි වූ බදු අනුපාතිකයේ මිල පාරිභෝගිකයින් සහ නිෂ්පාදකයින් අතර බෙදී යාමයි. මේ සමඟම, සමාගම් වල ලාභද සැලකිය යුතු ලෙස අඩුවන බැවින් රජයට ලැබෙන ආදායම් බදු වලද කිසියම් අඩුවක් සිදු වනු ඇත. එමෙන්ම, පරිභෝජනය මෙන්ම නිෂ්පාදනයද අඩුවීම නිසා ආර්ථික වර්ධනයද තරමකින් හෝ දුර්වල වනු ඇත. අවසාන වශයෙන් රජයට ශුද්ධ ආදායමක් ලැබෙන්නට බොහෝ ඉඩකඩ ඇතත් එම වැඩිවන බදු ආදායම ඒ වෙනුවෙන් සිදු කරගන්නා දේශපාලනික හානියට සාපේක්ෂව හිතන තරම්ම විශාල නොවිය හැකිය.

Wednesday, April 27, 2016

ආර්ථික වර්ධනය හා පක්ෂ ප්‍රතිපත්ති


ඇමරිකාවේ ආර්ථික වර්ධනය හා බලයේ සිටින ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය පිළිබඳව ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ පළවූ පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරෙන් මම මසකට පෙර සටහනක් පළ කළෙමි. මේ සටහනට ප්‍රතිචාරයක් ලෙස පාඨකයෙකු විමසා සිටියේ ලංකාව හා අදාළවද මෙවැනි විශ්ලේෂණයක් කළ හැකිද යන්නයි. ඇමරිකාවේ මෙන් නිශ්චිත දිනයකට මැතිවරණ නොපැවැත්වෙන හා මැතිවරණ ක්‍රමය කිහිප වරක් සංශෝධනය වුනු ලංකාව හා අදාළව මෙවැන්නක් කිරීම තරමක් සංකීර්ණ කටයුත්තකි. මේ ඒ සඳහා කෙරෙන සරල උත්සාහයකි.

ඇමරිකාවේ මෙන්ම ලංකාවේද ඇත්තේ ද්විපක්ෂ ක්‍රමයකි. නිදහසින් පසු දිගටම ලංකාව පාලනය කලේ එජාප හෝ ශ්‍රීලනිප ඇතුළත් වූ සන්ධානයකි. 1977 වන තුරු ලංකාවේ රාජ්‍ය පාලනය මෙහෙයවුනේ අගමැතිවරයෙකුගේ ප්‍රධානත්වයෙනි. ඒ නිසා ඒ කාලය සැලකිල්ලට ගැනීමේදී සැලකිය යුත්තේ අගමැතිවරයා අයත් වූ දේශපාලන පක්ෂයයි. ඉන්පසුව, විධායක ජනාධිපතිවරයෙකු විසින් රාජ්‍යය මෙහෙයවුනද බොහෝ විට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත් වූයේ ජනාධිපතිවරයා අයත් වූ පක්ෂයෙන්මය. පළමු වරට මේ තත්ත්වයේ සුවිශේෂී වෙනසක් සිදුවූයේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් වූ කාල වකවානුවේදීය. කෙසේවුවද, මේ කාලය තුළ රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවූයේ එජාපය බව සැලකීමෙහි වරදක් නැත. ඉන්පසුව, පසුගිය වසරේ රාජ්‍ය පාලනය භාරගත් එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව සම්බන්ධවනම් ඇත්තේ තරමක් අපැහැදිලි තත්ත්වයකි.

පහත රූපසටහනේ ඇත්තේ එජාප හා ශ්‍රීලනිප ප්‍රමුඛ වූ සභාග අතර බලය මාරුවුනු විවිධ කාල වකවානු වල ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයයි. කිසියම් වසරක් තුළ වැඩිම කාලයක් රට පාලනය කළ පක්ෂය එම වසර තුළ රට පාලනය කළ බව සලකා තිබේ. ඒ නිසා 1960 ඩඩ්ලි සේනානායක අගමැතිව සිටි තුන්මස් එජාප ආණ්ඩුව ආණ්ඩු වෙනසක් ලෙස මෙහි නොපෙනේ. එකම පක්ෂයේ පුද්ගලයින් අතර සිදුවූ බල හුවමාරුද වෙන් වශයෙන් සලකා නැත.




රූපසටහන ලෙස බැලූ විට, නිදහසින් පසු සෑහෙන කලක් යනතුරුම එජාප ප්‍රධාන වූ ආණ්ඩු යටතේ ආර්ථික වර්ධනය ශ්‍රීලනිප ප්‍රධාන ආණ්ඩු යටතේ වූ වර්ධනයට සාපේක්ෂව කැපී පෙනේ. පසුගිය දශකය මුල පමණ දක්වා පිළිගැනුණු රටේ ආර්ථිකයට හොඳ එජාප ආණ්ඩු බවට වූ ජනප්‍රිය අදහස සමඟ මෙය ගැලපේ. මේ වෙනසට පදනමක් විය. මුල් කාලයේදී එජාප ආර්ථික ප්‍රතිපත්ති වඩා නිදහස් වූ අතර ශ්‍රීලනිප බොහෝ විට අනුගමනය කළේ ජාතිකවාදී, ආරක්ෂනවාදී ආර්ථික ප්‍රතිපත්තියකි. මුල්කාලීන එජාප රජයයන් යටතේ සිදුවී ඇති සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනය එම පක්ෂය අනුගමනය කළ නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන්හි ප්‍රතිඵලයකි.


කෙසේවුවද, පසුකාලීනව ශ්‍රීලනිප ප්‍රතිපත්තියද නිදහස් වෙළඳපොළ දෙසට යොමුවූවක් ලෙස වෙනස් වීමත් සමඟ පක්ෂ දෙක අතර කලක් තිස්සේ පැවති ආර්ථික ප්‍රතිපත්ති වෙනස මෙන්ම මේ එක් එක් පක්ෂ වල පාලනයන් යටතේ රටේ සාමාන්‍ය ආර්ථික වර්ධනයේ වෙනසද ක්ෂය විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ 2004-2014 කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය නිදහසින් පසු සියළු කාල වකවානු වල පැවති මට්ටම් ඉක්මවා කැපී පෙනේ.

වත්මන් රජයට මේ සාමාන්‍යය ඉක්මවීමට හැකියාවක් ඇත්දැයි තීරණය කිරීමට ගත වූ වසරක කාලය ප්‍රමාණවත් නැතත් එවැනි ශක්‍යතාවක් මේ වන තුරුනම් ප්‍රදර්ශනය කෙරී නැත. අනෙක් අතට දැන් පවතින්නේ එජාප රජයක්ද යන්නත් පැහැදිලි නැත.


(Image: sltoday.lk)

Wednesday, April 20, 2016

ලංකාවේ බදු


බදු වල ඉතිහාසය රාජ්‍යය නමැති ව්‍යුහයේ ඉතිහාසය තරමටම පැරණිය. රාජ්‍යයක් පවත්වාගෙන යාමේ පිරිවැය ප්‍රධාන වශයෙන්ම ආවරණය වන්නේ අදාළ රටේ මහජනතාවගෙන් අය කරගන්නා බදු වලිනි.

බදු අයකර ගැනීම විවිධ ආකාරයන්ගෙන් සිදු කෙරේ. ඇතැම් බදු සෘජු බදු වන අතර තවත් ඇතැම් බදු වක්‍ර බදු වේ.

යම් බද්දක් හා අදාලව බදු පදනමක් හා බදු ආකෘතියක් තිබේ. බදු පදනම යනු බද්ද අය කර ගන්නේ කුමක් මතද යන්නයි. මෙය යම් පුද්ගලයකුගේ ආදායම, දේපල වටිනාකම, වැටුප හෝ මිලදී ගන්නා භාණ්ඩයක මිල විය හැකිය. බදු ආකෘතිය යනු මෙසේ අර්ථ දක්වන බදු පදනම මත බදු අය කෙරෙන ක්‍රමයයි. උදාහරණයක් ලෙස යමෙකුගේ ආදායමෙන් පළමු රුපියල් ලක්ෂය මත 10%ක් හා වැඩිවන ආදායම මත 15%ක් යන්න බදු ආකෘතියකි.

බොහෝ විට යම් බද්දක් රජය විසින් අය කර ගන්නේ එය සැබෑවටම 'ගෙවන' පුද්ගලයාගෙන් නොවේ. බද්දක් සැබෑවටම ගෙවන්නේ කවුද යන්න තීරණය වන්නේ බදු පදනම මත බලපෑමක් කරන ඉල්ලුම් සැපයුම් සාධක මඟිනි. මෙය බැලූ බැල්මට හතර බීරි කතාවක් මෙන් පෙනෙන නිසා උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරමි.


රත්නසිරි රුපියල් පණහක් වැය කර කෙසෙල් කැනක් නිෂ්පාදනය කරයි. හේමලතා එය රුපියල් එකසිය පණහකට මිල දී ගනී. රත්නසිරිට මේ වෙළඳාමෙන් රුපියල් සියයක ලාබයක් ලැබේ.

රජය හිටිවනම කෙසෙල් නිෂ්පාදකයන්ට කෙසෙල් කැනකට රුපියල් පණහක බද්දක් පණවයි. මේ බද්ද රජය විසින් අයකර ගන්නේ රත්නසිරිගෙනි. එහෙත්, මේ බද්දේ පිරිවැය ඇත්තටම දරන්නේ රත්නසිරිමද?

මෙය තීරණය වන්නේ හේමලතාට කෙසෙල්කැන කෙතරම් දුරට අවශ්‍යද යන කරුණ මතය. හේමලතා කෙසෙල් කැනට ගෙවන්නට කැමති වැඩිම මුදල රුපියල් එකසිය පණහනම් රත්නසිරිට වෙන්නේ බද්දේ පාඩුව දරාගෙන කලින් මිලටම කෙසෙල් කැන විකුණනන්නටය. එහෙත්, හේමලතාට මේ කෙසෙල් කැන නැතුවම බැරිනම් රත්නසිරිට එහි මිල රුපියල් දෙසීය දක්වා වැඩි කර පෙර ලාභයම ලබා ගත හැකිය. එවිට, බද්ද රජයට ගෙවන්නේ රත්නසිරි වුවත් සැබෑවටම එහි පාඩුව ඇත්තේ හේමලතාටය.

ඉහත උදාහරණයේදී රජය විසින් බද්ද අය කර ගන්නේ නිෂ්පාදකයා වන රත්නසිරිගෙන්ද නැත්නම් පාරිභෝගිකයා වන හේමලතාගෙන්ද යන්න වැදගත් කරුණක් නොවේ. හේමලතාට කෙසෙල්කැන ගන්නටම අවශ්‍යනම් බද්දේ බර දරන්නට වෙන්නේ ඇයටය. රත්නසිරිට කෙසෙල් කැන විකුනන්නටම අවශ්‍යනම් එහි බර ඔහුට දරාගැනීමට සිදුවේ.


මෙවැනි බොහෝ අවස්ථාවල ප්‍රායෝගිකව සිදුවන්නේ බද්දක බර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදීයාමයි. රත්නසිරිට කෙසෙල් කැනෙහි මිල රුපියල් පණහකින්ම වැඩිකිරීම අපහසු වුවත් විස්සකින් හෝ තිහකින් වැඩි කළ හැකි වනු ඇත. ගණුදෙනුව සිදු කිරීමට වැඩිම අවශ්‍යතාවය ඇති තැනැත්තාට බද්දේ බරින් වැඩි මුදලක් දැරීමට සිදුවනු ඇත.

වෙනත් බදු වලට අදාලවද සිදු වන්නේ මෙවැන්නකි. ඔබේ වැටුප මත බදු මුදලක් අය කෙරෙන විට ඔබට අතට ලැබෙන මුදල අඩුවේ. එහෙත්, එසේ අතට ලැබෙන අඩු මුදල වෙනුවෙන් වැඩ කරන්නට ඔබ සූදානම් නැත්නම් සහ ඒ මුදලට වැඩ කරන්නට කැමති වෙනත් අයෙක් නැත්නම් ඔබේ ආයතනයට ඔබේ වැටුප වැඩි කිරීමට සිදුවේ. එවිට බද්දේ බර ඇත්තටම දරන්නේ ආයතනයයි. එමෙන්ම, ආනයන සඳහා බදු වැඩි කළත් එම ආනයන වලට රට තුළ ඉල්ලුමක් ඇත්නම් බදු බර දරන්නට වෙන්නේ පාරිභෝගිකයින්ටය. මෙහිදී පාරිභෝගිකයින් සෘජුව මේ බද්ද නොගෙවුවත් ඔවුන් ගෙවන මිලට ආනයන බද්ද ඇතුළත් වී තිබේ.



2016 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,646කි. තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ මුදල රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට රුපියල් 79,613කි. සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 318,452කි. වෙනත් අයුරකින් කිවහොත් රටේ රජයක් නැත්නම් සිවුදෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට දැනට ලැබෙන ආදායමට වඩා රුපියල් 318,452ක මුදලක් ඉතිරි වනු ඇත.

ඉහත රුපියල් 79,613ක මුදල රජය විසින් අය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ පහත සඳහන් පරිද්ද්දෙනි.

-ආදායම්, පොලී හා ලාභ මත අයකරන බදු: රුපියල් 12,174
-ජාත්‍යන්තර වෙළඳාම මත අයකරන බදු: රුපියල් 16,641
-දේශීය භාණ්ඩ හා සේවා මත අයකරන බදු: රුපියල් 47,073
-බලපත්‍ර හා වෙනත් බදු: රුපියල් 3,725

රජයේ වියදමින් වැඩිම කොටසක් ආවරණය කරගන්නේ දේශීය භාණ්ඩ හා සේවා මත අයකරන බදු මඟින් බව පැහැදිලි කරුණකි. ඒ යටතේ පහත බදු වර්ග ඇතුළත් වේ.
-වැට් බදු: රුපියල් 11,608
-මත්පැන්: රුපියල් 6,771
-දුම්වැටි: රුපියල් 4,111
-රථවාහන: රුපියල් 13,543
-පෙට්‍රෝලියම් නිෂ්පාදන: රුපියල් 1,835
-විදුලි සංදේශ බදු: රුපියල් 2,031

ඉහත ඇස්තමේන්තු වලින් රථවාහන මඟින් අය කරගැනීමට අපේක්ෂා කළ බදු ආදායම පසුව සිදු කළ සංශෝධන නිසා නොලැබෙනු ඇති බව මගේ අදහසයි. මේ පාඩුව අයකර ගනු ඇත්තේ වැට් බද්ද වැඩි කිරීමෙනි. අවසාන වශයෙන් මේ බදු බරින් වැඩි කොටසක් දරන්නේ රටේ අඩු හා මැදි ආදායම් ලබන ජනතාවයි.

මේ සංඛ්යල්ඛණ වල නොපෙනෙන කරුණක්ද තිබේ. රජයයන් විසින් බොහෝ විට මෙසේ එකතු කරගන්නා බදුමුදල් වලට අමතරව 'නැති මුදල්' ද සැලකිය යුතු ප්‍රමාණයක් වියදම් කිරීම සුලභ සිදුවීමකි. මෙසේ නැති මුදල් වැය කරන එක් ක්‍රමයක් වන්නේ අනාගත බදු මුදල් වලින් පියවන්නට ණය ගැනීමයි. දෙවන ක්‍රමය මුදල් අච්චු ගැසීම මඟින් මුදලේ වටිනාකම අඩුකර ඔබේ අතේ ඇති මුදලින් කොටසක් නොපෙනෙන ලෙස හොරකම් කිරීමයි. බදු හරහා මුදල් අය කර ගැනීම ඒ ක්‍රම දෙකටම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි.


(Images: www.infinitec.org)

Monday, March 28, 2016

ආර්ථිකය හොඳ කුමන පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේද?

එළැඹෙන නොවැම්බර් මස 8 වෙනි දින ඇමරිකාවේ 58වන ජනාධිපතිවරණය පැවැත්වේ. වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා මේ වන විට දෙවරක්ම ජනාධිපති ලෙස කටයුතු කර ඇති නිසා ඔහුට නැවතත් ජනාධිපති තරඟයට ඉදිරිපත් වීමේ නීතිමය හැකියාවක් නැත. ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් මෙවර තරඟයට හිලරි ක්ලින්ටන් තේරීපත්වීමට බොහෝ දුරට ඉඩතිබේ. ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වැඩිම ඉඩකඩක් ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් ඇති ඇමරිකාවේ වෙනත් තුන්වන පක්ෂයක අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීමට ඉඩකඩක් ඇත්තේම නැති තරම්ය.

ඇමරිකාවේ ආර්ථිකයට වඩා හොඳ ඩිමොක්‍රටික් අපේක්ෂකයෙක්ද එසේ නැත්නම් රිපබ්ලිකන් අපේක්ෂකයෙක්ද?

න්‍යායාත්මක පිළිතුර කුමක් වුවද, පසුගිය වසර වල දත්ත පරික්ෂා කළ විටනම් පිළිතුර ඉතා පැහැදිලිය. ජනාධිපති ට්‍රෲමන්ගේ දෙවන ධුර කාලයේ සිට ජනාධිපති ඔබාමාගේ පළමු ධුර කාලය දක්වා වසර 64ක කාලය සැලකූ විට ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ ඉහළ ආර්ථික වර්ධන වේගය කැපී පෙනේ.  ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 4.33% වෙද්දී රිපබ්ලිකන් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 2.54% පමණි. 



ප්රින්සෙන්ටන් සරසවියේ මහාචාර්ය වරුන් වන ඇලන් බ්ලයින්ඩර් සහ මාක් වොට්සන් විසින් ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ අළුත්ම කලාපයේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවක මේ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් වෙනස්කම් විශ්ලේෂණය කෙරේ. වෙනස 1.79%කි.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ආර්ථිකය යහපත් බව පෙන්වන මෙවැනි එකම දර්ශකය ආර්ථික වර්ධනය පමණක් නොවේ. උද්ධමන අනුපාතය, විරැකියා අනුපාතය, අයවැය හිඟය ඇතුළු වෙනත් බොහෝ දර්ශක අනුවද ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාව සිටින්නේ බොහෝ ඉදිරියෙනි. එමෙන්ම, රිපබ්ලිකන් ධුර කාල වල කොටස් වෙළඳපොල සාමාන්‍ය වර්ධනය 2.70% වෙද්දී ඩිමොක්‍රටික් ධුර කාල වල එම වර්ධනය 8.35% තරම් ඉහළය.

මේ වෙනසට හේතුව ජනාධිපතිවරයා අයත් වන පක්ෂය මිස ඔහුගේ පළපුරුද්ද, සුදුසුකම් වැනි වෙනත් සාධක නොවේ. එමෙන්ම, කොන්ග්‍රසයේ බලය ඇත්තේ කවර පක්ෂය සතුවද යන කරුණද මේ වෙනසට හේතු වී නැත. එසේනම්, ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වන්නේ ආර්ථිකය හොඳ අතට හැරෙන අවස්ථා වලද? වෙනත් අයුරකින් කිවහොත් ආර්ථිකය අයහපත් වර්ධනයන් පෙන්වන විට ඇමරිකානුවන් රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගන්නවාද? 


බ්ලයින්ඩර් සහ වොට්සන් විසින් පෙන්වා දෙන්නේ එය එසේද නොවන බවයි.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරයෙකු යටතේ වැඩිම ආර්ථික වර්ධනයක් සිදුවන්නේ මුල් වසර දෙක තුළදීය. එහෙත්, රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වැඩ අරඹන මුල් වසරේම ආර්ථිකය හොඳටම වැටේ. පහත ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ මේ තත්ත්වයයි.


ආර්ථිකමිතික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් පර්යේෂකයින් ඉන්පසු විමසන්නේ මේ වෙනස ඇති කරන යාන්ත්‍රණය කුමක්ද යන්නයි. ඒ, මුදල් හෝ රාජ්‍යමූල ප්‍රතිපත්තිනම් නොවේ. ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් ධුරය හොබවද්දී වඩා වාසිදායක දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් පැවතී තිබේ. 

ඒ අනුව, මේ පරතරයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති වලට වඩා වෙනත් දේශපාලන ප්‍රතිපත්ති හෝ 'වාසනාව'යි. අඩු තෙල්මිල, කොරියන් යුද සමයේ වැඩි වූ යුද වියදම්, තාක්ෂණයේ දියුණුව හේතුවෙන් සිදුවූ ඵලදායිතා වර්ධනයන්, විදෙස් රටවල ආර්ථික වර්ධනය වැනි කරුණු මඟින් මේ පරතරයෙන් 56%ක් විස්තර කරයි. 

කෙසේවුවද, මේ කරුණු වල බලපෑම ඉවත් කළද ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ආර්ථික වර්ධනයේ වෙනසින් කොටසක් තවදුරටත් ඉතිරි වේ. ඒ සඳහා මුල්වන යාන්ත්‍රණය කුමක්දැයි පැහැදිලි නැත.