Thursday, September 15, 2022

දෙවන කාර්තුවේදී ආර්ථිකය 8.4%කින් හැකිළේ!


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2022 දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, 2021 දෙවන කාර්තුවට සාපේක්ෂව 2022 දෙවන කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතය 8.8%කින් හැකිලී තිබෙනවා. කෘෂිකාර්මික නිෂ්පාදිතය 8.4%ක් හැකිලෙද්දී, කාර්මික නිෂ්පාදිතය 10.0%කින්ද, සේවා නිෂ්පාදිතය 2.2%කින්ද හැකිළී තිබෙනවා.

මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 8.8%කින් හැකිලෙද්දී නාමික දළ දේශීය නිෂ්පාදිතය 33.3%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙයට හේතුව අදාළ කාලයේදී උද්ධමනය 45.6% මට්ටමේ තිබීමයි. මෙම කාලය තුළ ඩොලරයක මිල 74.5%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ රුපියල් අගය 33.3%කින් ඉහළ යද්දී, එහි ඩොලර් අගය 23.6%කින් අඩු වී තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, 2021දී ඩොලර් බිලියන 84.5ක් වූ ලංකාවේ ආර්ථිකය 2022 දෙවන කාර්තුව වන විට ඩොලර් බිලියන 64.5ක ආර්ථිකයක් බවට පත් වී තිබෙනවා. මෙයට අනුරූපව, 2017-2018 වසර වලදී ඩොලර් 4,000 ඉක්මවා තිබුණු රටේ ඒක පුද්ගල ආදායමද ඩොලර් 2,900 පමණ මට්ටමකට පහත වැටී තිබිය යුතුයි.

කෙසේ වුවත්, වසර අවසාන වෙද්දී මේ තත්ත්වයේ වෙනසක් සිදු වීමට නියමිතයි. වසරේ දෙවන අර්ධය තුළ උද්ධමනය ඉහළ යාමට අනුරූපව ඩොලරයක මිල ඉහළ නොගිය නිසා සැබෑ ආර්ථික වර්ධනයක් සිදු නොවුනත්, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ මෙන්ම ඒක පුද්ගල ආදායමේද රුපියල් අගය ඉහළ යද්දී ඩොලර් අගයද ඊට සමාන්තරව ඉහළ යාමට නියමිතයි. මේ අනුව, වසර අවසාන වෙද්දී රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3,200ක් පමණ විය හැකියි.