Showing posts with label අපනයන. Show all posts
Showing posts with label අපනයන. Show all posts

Tuesday, January 11, 2022

අපනයන ඇත්තටම වැඩි වෙලාද?

පසුගිය ඔක්තෝබර් මාසයේදී ලංකාවේ අපනයන ආදායමෙහි වාර්තාගත වැඩි වීමක් දකින්නට ලැබෙනවා. මාසය තුළ වාර්තා වී තිබෙන අපනයන ආදායම ඔක්තෝබර් මාසයකදී වාර්තා වී තිබෙන ඉහළම අගයයි. ඒ කියන්නේ ලංකාව ගොඩද? මේ පෙනෙන්නේ සුබ අනාගතයක පෙර මග ලකුණුද?

මෙය හොඳ තත්ත්වයක්. එහෙත් විශිෂ්ඨ තත්ත්වයක් හෝ ලංකාවේ පැත්තෙන් සිදු වී තිබෙන සුවිශේෂී වර්ධනයක් නෙමෙයි.

Chart 1: World merchandise trade volume and value, 2015Q1 - 2021Q3
(Index, 2019 = 100)


Source: WTO and UNCTAD.
Note: World trade refers to average of world exports and imports.

ලෝක වෙළඳ සංවිධානයට අනුව, 2021 තෙවන කාර්තුවේදී ලෝක වෙළඳාමේ ඩොලර් අගය වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කරනවා. මෙය පෙර වසරේ තෙවන කාර්තුවට සාපේක්ෂව 24%ක වැඩි වීමක්. ලෝක වෙළඳ පරිමාව වසංගතයට පෙර මට්ටම ඉක්මවා වර්ධනය වීම හා මිල මට්ටම් විශාල ලෙස ඉහළ ගොස් තිබීම මේ වර්ධනයට හේතු වී තිබෙනවා. ඔක්තෝබර් මාසය තුළදීද මේ ප්‍රවණතාව දැකිය හැකි අතර ලෝක වෙළඳ සංවිධානයේ ඇස්තමේන්තු අනුව වසරේ අවසන් මාස දෙක තුළද ජාත්‍යන්තර වෙළඳාම විශාල ලෙස වර්ධනය වී තිබෙනවා.

මෙසේ ලෝක ආනයන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල අපනයන ආදායම් විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. එම සංවිධානය විසින්ම සකස් කර ප්‍රසිද්ධ කර ඇති පහත ප්‍රස්ථාරය අනුව, 2021 ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ අපනයන ආදායම පහළ ගොස් තිබෙන්නේ රටවල් හතක පමණයි. අපනයන ආදායම ඉහළ ගිය රටවල් අතරින් පහළින්ම සිටින රට ලංකාවයි. ඇත්තටම සිදු වී තිබෙන්නේ ලෝක වෙළඳාමෙහි ලංකාවේ අපනයන ආදායමේ භාගය සැලකිය යුතු ලෙස පහළ වැටීමයි. 

Chart 2: Merchandise export growth of selected economies, January-October 2021
(% change over same period in 2019)

a January-November.
b January-September.
Source: National statistics accessed through Trade Data Monitor (TDM).

අසුබවාදී පුවත් වාර්තා කිරීම අපේ අරමුණ නොවූවත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දිය යුතුයි.

Sunday, August 27, 2017

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයට විසඳුමක්ද?

ලංකාව කලක සිට ණය අර්බුදයක සිරවී සිටින බව දැන් කවුරුත් දන්නා කතාවකි. පසුගිය මාර්තු මාසය අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,702.8ක් විය. එයින් රුපියල් බිලියන 5,626.2ක් දේශීය ණය වූ අතර ඉතිරි රුපියල් බිලියන 4,076.7 විදේශ ණයයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ලංකාවට ණය අර්බුදයෙන් ගොඩ යන්නට හැකි වෙයිද?

මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියකදී ආසන්න වශයෙන් වසර 10ක පමණ කල් පිරීමේ කාලයක් (වසර 9කුත් මාස 10ක්) සහිත බැඳුම්කර අවසාන වරට (ජූලි 27 දින) නිකුත් කලේ 10.59%ක සඵල පොලී අනුපාතිකයකටය. ඒ අනුව, වසර දහයක කාලයකට දේශීය ණය ලබා ගැනීමේදී රජය විසින් මේ වන විට ගෙවිය යුතු පොලී අනුපාතිකය 10.59%ක් ලෙස සැලකිය හැකිය. මෙහිදී නිකුත් කළ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 11ක් වූ අතර, ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කළේනම් මේ පොලී අනුපාතිකය මීට වඩා වැඩි විය හැකිව තිබුණේය.

පසුගිය මැයි මස 4 වන දින රජය විසින් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක වටිනාකමකින් යුත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කළේය.  ඒ, 6.20%ක පොලී අනුපාතිකයකටය. මේ පොලී අනුපාතිකය රජය විසින් විදේශ ණය ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතිකය ලෙස සැලකිය හැකිය.

ණය ප්‍රතිව්‍යුගතකිරීම යන්නෙන් අදහස් වන්නේ වඩා වාසිදායක ණයක් ගෙන සාපේක්ෂව අවාසිදායක ණයක් පියවීමයි. උදාහරණයක් ලෙස, ඉදිරි වසර 10 තුළ විණිමය අනුපාතිකය දැනට පවතින මට්ටමේම තිබෙනු ඇතැයි විශ්වාස කළ හැකිනම් 10.59%ක පොලියකට රුපියල් වලින් ණය ගන්නවාට වඩා 6.20%ක පොලියකට ඩොලර් වලින් ණය ගැනීම වාසිදායකය. එහෙත්, විණිමය අනුපාතිකය එසේ ස්ථිරව නොතිබෙන බව අපි දනිමු. පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් යටතේ ඉදිරි වසර 10 තුළ රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු තරමින් පිරිහෙනු ඇති බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු කරුණක් නොවේ. ඒ නිසා, රුපියල් ණය හා ඩොලර් ණය ගැනීමේ වාසි හා අවාසි එතරම් පහසුවෙන් සැසඳිය නොහැකිය.

රජය විසින් අද (අගෝස්තු 27) ඩොලරයක් ණයට ගත්තොත් රජයට ඒ ඩොලරය මාරු කර රුපියල් 151ක් ලබා ගත හැකිය. ඉන් පසු ඒ මුදල රට ඇතුළත කැමති ආකාරයකින් වියදම් කළ හැකිය. එසේ නැත්නම් එම ඩොලරය රුපියල් වලට මාරු නොකර වෙනත් රටකින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම වෙනුවෙන් වැය කළ හැකිය. ඒ දෙකෙන් කුමක් කළත්, වසර 10කින්  පසුව 6.20%ක පොලියද සමඟ ඩොලර් ඩොලර් 1.825ක පමණ මුදලක් ආපසු ගෙවන්නට රජයට සිදු වේ.

අනෙක් අතට රජය විසින් අද රුපියල් 151ක් ණයට ගත්තොත් රජයට ඒ වෙනුවෙන් වසර 10ක් තුළ එකතු වන 10.59%ක පොලියද සමඟ රුපියල් 413.18ක් ආපසු ගෙවන්නට සිදු වේ. එසේනම්, වඩා වාසිදායක මේ විකල්ප දෙකෙන් කොයි එකද?

මෙය තීරණය වන්නේ වසර දහයකට පසු ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා රජය විසින් වැය කළ යුතු රුපියල් ගණන මතය. වසර දහයකට පසු ඩොලරයක විකුණුම් මිල රුපියල් 226.41ක් නම් ඩොලරයේ ණය ආපසු ගෙවන්නට රජයට රුපියල් 413.18ක් වැය කරන්නට වේ. මෙය රුපියල් වලින් ණය ගත්තත් රජයට ගෙවන්නට සිදුවන මුදලයි. රුපියල වසර දහයකින් එතරම් අවප්‍රමාණය වන්නට ඉඩක් නැත්නම් ඩොලර් වලින් ණය ගැනීම රජයට වාසිදායකය. රුපියල ඊට වඩා අවප්‍රමාණය වන්නට ඉඩ ඇත්නම් රුපියල් වලින් ණය ගැනීම වාසිදායකය.

ඉහත කරුණ කවුරුත් නොදන්නා රස රහසක් නොවේ. රාජ්‍ය ණය කළමනාකරණය භාරව සිටින මහා භාණ්ඩාගාරයේ හා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොඳින්ම දන්නා සරල කරුණකි. ඔවුහු නිබඳවම මේ සැසඳීම කරමින් වඩා වාසිදායක ණය මිශ්‍රණයක් පවත්වා ගැනීම සඳහා කටයුතු කරති. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඔවුන්ට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවේ. 

විදෙස් ණය යනු හැම විටම ඉහත උදාහරණයේ මෙන් ඇමරිකන් ඩොලර් ණයම නොවේ. සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන විට සැසඳීමේ පහසුවට ඇමරිකන් ඩොලර් වලින් ඉදිරිපත් කළත් රජයේ විදෙස් ණය කළඹට පවුම්, යුරෝ, යෙන් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලින් ගත් ණයද ඇතුළත්ය.

රජයට ලැබෙන බදු ආදායම් මුළුමනින්ම වාගේ ලැබෙන්නේ රුපියල් වලිනි. එහෙත්, රජයේ ඇතැම් වියදම් කරන්නට වෙන්නේ ඩොලර් වලින් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකිනි. මේ විදේශ ව්‍යවහාර මුදල් රජයට මහ බැංකුවෙන් හෝ වෙනත් බැංකුවකින් මිල දී ගන්නට සිදු වේ. එසේ කළ හැක්කේ රටේ කවරෙකු හෝ විදේශ ව්‍යවහාර මුදල් උපයන්නේනම් පමණි.

රටකට විදේශ ව්‍යවහාර මුදල් ලැබෙන ප්‍රධානම ප්‍රභවය අපනයන ආදායමයි. එසේ ලැබෙන විදේශ ව්‍යවහාර මුදල් ආනයන වියදම් සඳහාද වැය කළ යුතුය. රජයට බැංකු පද්ධතිය හරහා දිගින් දිගටම විදේශ ව්‍යවහාර මුදල් ලබා ගත හැක්කේ රටේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවන්නේනම් පමණි. එහෙත් අප දන්නා පරිදි ලංකාවේ ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයකට කිට්ටුය. කෙසේ වුවත්, අපනයන වලින් ලැබෙන ප්‍රමාණයට අමතරව ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ලෙසද ලංකාවට සැලකිය තරමින් විදේශ ව්‍යවහාර මුදල් ලැබේ.

පහත වගුවේ ඇත්තේ 2016 වසරේදී ලංකාව සමඟ අඩු වශයෙන් ඩොලර් මිලියන 500ක වෙළඳ පරිමාවක් පවත්වාගෙන ඇති රටවල ආනයන, අපනයන හා වෙළඳ ශේෂයන්ය. මේ වගුව දෙස බැලූ විට ලංකාව හා ලෝකය අතර ඇති ආර්ථික සම්බන්ධතාව කවර ආකාරයේ එකක්ද යන්න ගැන පැහැදිලි අදහසක් ගන්නට පුළුවන.



ලංකාවට වෙළඳාම හරහා වැඩිම විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එරටින් ලැබෙන අපනයන ආදායම ලංකාවේ ඇමරිකන් ආනයන වියදම මෙන් 5.2 ගුණයක් වන අතර පසුගිය වසර තුළ ඇමරිකා එක්සත් ජනපදය සමඟ කළ වෙළෙඳාම නිසා ලංකාවට ඩොලර් මිලියන 2,271ක අතිරික්ත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබී තිබේ.  ඇමරිකාවෙන් ලැබෙන්නේ ඇමරිකන් ඩොලර්ය.

එක්සත් රාජධානියට ලංකාවෙන් යවන අපනයන ප්‍රමාණයද එම රටින් ගෙන්වන අපනයන භාණ්ඩ වල වටිනාකම මෙන් 3.2 ගුණයකි. මේ අනුව, එක්සත් රාජධානිය සමඟ කරන වෙළඳාම නිසාද ලංකාවට ඩොලර් මිලියන 700 ඉක්මවන අතිරික්ත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබී තිබේ.  මෙසේ එක්සත් රාජධානියෙන් ලැබෙන්නේ ස්ටර්ලින් පවුම්ය. මේ ආකාරයෙන්ම ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපීය සංගමයේ රටවල් සමඟ කරන වෙළඳාම නිසා ලංකාවට සැලකිය යුතු යුරෝ ප්‍රමාණයක්ද ලැබේ.

ඇමරිකාවෙන් හා යුරෝපයෙන් විදෙස් වෙළඳාම හරහා ලංකාව ලබාගන්නා අතිරික්ත ඩොලර්, පවුම් හා යුරෝ ප්‍රමාණයට අමතරව එම කලාප වල රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් විසින් 2016 වසර තුළ තවත් ඩොලර් මිලියන 1,815 ක මුදලක් ලංකාවට එවා තිබේ. මේ සියල්ල එකතු කළ විට බටහිර රටවල් සමඟ කරන ගනුදෙනු හරහා ලංකාවට වසරකට ඩොලර් මිලියන 6000-7000ක පමණ අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේයැයි සිතිය හැකිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ වෙළඳාමෙන් ලංකාවට ඩොලර් මිලියන 885ක පමණ ශුද්ධ අවාසියක් සිදු වී ඇතත් මැද පෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රමිකයින් විසින් වසර තුළ ඩොලර් මිලියන 3,889ක පමණ මුදලක් ප්‍රේෂණය කර ඇති බව සැලකූ විට එම කලාපයේ රටවලින්ද ලංකාවට තවත් ඩොලර් මිලියන 3000ක පමණ අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේයැයි සිතිය හැකිය.

මෙසේ ලැබෙන අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ලංකාව විසින් වැය කරන්නේ චීනය හා ඉන්දියාව ප්‍රමුඛ ආසියානු කලාපයේය. චීන ආනයන එහි යවන අපනයන ප්‍රමාණය මෙන් 21 ගුණයකි. ඒ නිසා, චීන ආනයන වෙනුවෙන් ලංකාව ඩොලර් මිලියන 4000 ඉක්මවන අතිරික්ත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් සෙවිය යුතුය. ඉන්දියාව සමඟ කරන වෙළඳාම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 3000ක් ඉක්මවා විදේශ ව්‍යවහාර මුදල් සෙවිය යුතුය. මේ දෙරටින් ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන්නේම නැති තරම් වන අතර යම්තාක් දුරකට එහි අනිත් පැත්ත වෙන්නේයැයි සිතිය හැකිය. සිංගප්පූරුව, ජපානය ඇතුළු අනෙකුත් දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් සමඟද ලංකාව විශාල වෙළඳ අවාසියක් පවත්වා ගනී. මේ ඇතැම් රටවලින් ලංකාවට කිසියම් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණත් ඒ මුදල අදාළ රටවල් සමඟ ඇති ද්විපාර්ශ්වික වෙළඳ අවාසිය පියවන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නැති මුදලකි.

ඉහත විස්තරය සාරාංශගත කළහොත්, ලංකාව විසින් කරන්නේ බටහිර හා මැදපෙරදිග රටවල් සමඟ ගණුදෙනු කර උපයන විදේශ ව්‍යවහාර මුදල් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ වියදම් කිරීමයි. ජාත්‍යන්තර වෙළඳාම තුළ ලංකාව ඇමරිකාව, යුරෝපය හා මැදපෙරදිග රටවල් මත යැපේ. ඒ රටවලට යවන අපනයන නැත්නම් ලංකාවට යන එන මං නැත. අනිත් අතට ඉන්දියාව හා චීනය ඇතුළු ආසියාතික රටවල් ලංකාව මත යැපෙන රටවල්ය. මේ රටවල් සමඟ කරන වෙළඳාමට යම් හෙයකින් බාධා පැමිණුනොත් අමාරුවේ වැටෙන්නේ එම රටවල් මිස ලංකාව නොවේ. ලංකාවේ වෙළඳපොළ කුඩා එකක් වීම වෙනම කරුණකි.

ජපානය සිටින්නේද ඉහත ගොඩවල් දෙකෙන් ඉන්දියාව හා චීනය සිටින ගොඩේය. ජපන් ආනයන වෙනුවෙන් ලංකාව වැය කරන මුදල එරටින් ලැබෙන අපනයන ආදායම මෙන් 5.7 ගුණයකි.

රටවල් දෙකක් අතර සිදුකරන වෙළඳාමේදී දිගින් දිගටම එක් රටකට අවාසියක් වීම සිදු විය නොහැක්කක් නොවුවත්, එසේ වන විට ඒ හරහා ඇති වන අසමතුලිතතාවය බොහෝ විට වෙනත් අයුරකින් මතු වේ. ආර්ථික කරුණු වලට පරිබාහිර දේශපාලනික කරුණු මත පදනම් වෙමින් ඇතැම් බටහිර රටවල් ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීමද එක්තරා දුරකට මේ වෙළඳ අසමතුලිතාවයේ ප්‍රතිඵලයකි.

ලංකාවේ අපනයන ලොකුවට මිලදී නොගන්නා චීනය හෝ ජපානය වැනි රටකට එම රටවලින් ලංකාවට එන ආනයන පරිමාව පවත්වා ගැනීම සඳහා වෙනත් කිසියම් අයුරකින් ලංකාවට අරමුදල් පොම්ප කරන්නට සිදු වේ. එසේ නොකළහොත්, බටහිර හා මැදපෙරදිග රටවලින් ලැබෙන විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණය ලංකාවේ චීන හෝ ජපන් ආනයන ප්‍රමාණය සීමා කරන සාධකයක් බවට පත් වේ. එම රටවලට මේ සීමාව මඟ හරිමින් සිය අපනයන (ලංකාවේ ආනයන) තව දුරටත් වර්ධනය කර ගත හැකි එක් ක්‍රමයක් වන්නේ ලංකාවට ණය ලෙස නැවත අරමුදල් සැපයීම මඟින් වෙළඳ ශේෂයේ හිඟය නිසා ඇති වන අසමතුලිතතාවයෙන් කොටසක් සමනය කිරීමයි. මේ ණය කිසියම් සහනදායී පදනමකින් ලබා දුන්නත් ලංකාවට සිදු කරන අපනයන වලින් ඒ අවාසිය සමනය වන්නේනම් එම රටවලට ප්‍රශ්නයක් නැත. (ඉන්දියාව උත්සාහ කරන්නේනම් එවැනි දෙයක්වත් නොකර දේශපාලනික බලපෑම් හරහාම වැඩේ ගොඩ දා ගැනීමටය.)

ජපානයෙන් හෝ චීනයෙන් ණය ගැනීමෙන් තාවකාලිකව ලංකාවේ රාජ්‍ය ණය ප්‍රශ්නය විසඳා ගත හැකි වුවත්, එම රටවල් ලංකාවේ අපනයන විශාල ලෙස මිලදී නොගැනීම නිසා ලංකාවට යෙන් හෝ යුවාන් පැමිණෙන මාර්ග නැත. ජපානයෙන් ශ්‍රමික ප්‍රේෂණ ලෙස සීමිත මුදලක් පැමිණියත් චීනයෙන් එසේ ලැබෙන්නේද නැත. ඒ නිසා, මේ රටවලින් ලබා ගන්නා ණය ගෙවන්නට ලංකාවට යෙන් හෝ යුවාන් මිලදී ගන්නට වෙන්නේද බටහිර රටවලින් ලැබෙන ඩොලර්, පවුම් හා යුරෝ වැය කරමිනි. ඒ නිසා යෙන් හෝ යුවාන් ණය ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ එම ව්‍යවහාර මුදල් හා ඩොලර්, පවුම්, යුරෝ වැනි ව්‍යවහාර මුදල් අතර විණිමය අනුපාතිකයට ඉදිරියේදී කුමක් වේද යන්නයි.


ඇමරිකන් ෆෙඩරල් සංචිත බැංකුවෙන් දත්ත ලබාගත හැකි, යෙන් විණිමය අනුපාතිකය පාවෙන්නට හරිනු ලැබූ, 1971 වසරේ සිට සමස්තයක් ලෙස ජපන් යෙන් මුදල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අධිප්‍රමාණය විය. 1971 ජනවාරි 1 දින ජපාන යෙන් 1000ක් මිල දී ගැනීමට ඇමරිකන් ඩොලර් 2.875ක් අවශ්‍ය වුවත්, 2012 ජනවාරි 1 දින වන විට ඒ සඳහා ඇමරිකන් ඩොලර් 12.53ක් අවශ්‍ය විය. මෙය 4.36 ගුණයක වැඩි වීමකි.

ලංකාව 1977දී ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ ජපානයෙන් සිදු කරන ආනයන විශාල ලෙස ඉහළ ගියේය. එහෙත් එයට සමාන්තරව ලංකාව ජපානයට සිදුකරන අපනයන ඉහළ ගියේ නැත. මේ හරහා සිදුවූ අසමතුලිතතාවය යම් තරමකින් සමනය වුණේ ජපානයෙන් සහනදායී පොලී අනුපාතිකයකට ලැබුණු ණය නිසාය. කෙසේ වුවද, සහනදායී පොලී අනුපාතිකයකට ණය ලැබීම යනු හැම විටම වාසියක්ම නොවේ. පසුගිය දශක කිහිපය තුළ ජපාන යෙන් මුදල අනෙක් බොහෝ විදෙස් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව විශාල ලෙස අධිප්‍රමාණය වීම නිසා අවසානයේදී ජපානයෙන් ලබාගත් සහනදායී ණය හේතුවෙන් සිදුවුණේ වාසියක් නොව විශාල අවාසියකි. ලංකාවේ රාජ්‍ය ණය බර මේ තරම් වැඩි වීමට ජපානයෙන් ලබාගත් සහනදායී ණයද එක් හේතුවකි.

මෙය පැහැදිලි කිරීම සඳහා 1982 වසරේදී ලංකාව 0.5%ක ඉතා සහනදායී පොලී අනුපාතිකයක් යටතේ වසර 30කින් ආපසු ගෙවීමට ජපානයෙන් යෙන් 1000ක ණයක් ලබා ගත්තේයැයි සිතමු. පොලී අනුපාතිකය ඉතා අඩු නිසා 2012දී ආපසු ගෙවිය යුතුව තිබුණේ ජපන් යෙන් 1161ක් පමණි. 

1982දී ජපන් යෙන් එකක් ශත 8කි. මේ අනුව, ජපන් යෙන් 1000ක් යනු 1982දී රුපියල් 80කි. 2012 වන විට ජපන් යෙන් එකක් රුපියල් 1.60ක් විය. ඒ නිසා, ජපන් යෙන් 1161ක් ආපසු ගෙවන්නට රජය විසින් රුපියල් 1857.60ක් වැය කළ යුතු විය. යෙන් ණය නොගෙන 1982දී 11%ක පොලියට රුපියල් ණය ගත්තේනම් හෝ 2%ක පොලී අනුපාතිකයකට ඩොලර් ණය ගත්තේනම් 2012දී ආපසු ගෙවන්නට වෙන්නේ ආසන්න වශයෙන් මීට සමාන මුදලකි. (කෙසේ වුවත්, 1982දී ආණ්ඩුවට 11%ක පොලී අනුපාතිකයකට දේශීය ණය ගැනීමේ හැකියාවක්නම් නොතිබුණේය.)

ජපාන යෙන් මුදල වෙනත් විදෙස් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව දිගින් දිගටම අධිප්‍රමාණය වීම නිසා ජපන් ණය අඩු පොලියකට ලැබුණත් පෙනෙන තරම්ම වාසිදායක නොවන බව රාජ්‍ය ණය කළමණාකරනය කරන නිලධාරීන් විසින් තේරුම් ගැනීමෙන් පසුව දශකයකට පමණ පෙර එවැනි ණය සීමා කෙරුණේය. 

මේ අතර ද්‍රවශීලතා උගුලක කලක සිටම හිරවී ආර්ථික වර්ධනය නැවතී ඇති ජපානයේ ආර්ථිකය නැවත උත්තේජනය කිරීමට  ජපානය උත්සාහ ගනිමින් සිටියදී මෑත වසර කිහිපය තුළ ජපාන යෙන් මුදල යම් තරමකින් අවප්‍රමාණය විය. ඒ නිසා, මේ වන විට ජපාන ණය පෙර මෙන් ප්‍රශ්නකාරී නැත. තත්ත්වය හඳුනාගනිමින් රජය නැවතත් කිසියම් ප්‍රමාණයකට ජපන් ණය ලබාගෙන තිබේ. එහෙත්, යෙන් විණිමය අනුපාතිකය ඉදිරි කාලය තුළ කෙසේ හැසිරෙනු ඇත්දැයි කිසිවකුට ස්ථිරව කිව නොහැකිය.

ලංකාව අපනයන මඟින් හෝ ප්‍රේෂණ මඟින් යෙන් උපයන්නේනම් විණිමය අනුපාතිකය වෙනස් වීම එතරම් ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලංකාවට යෙන් ණය ආපසු ගෙවන්නට වෙන්නේ ඩොලර්, පවුම් හෝ යුරෝ සමඟ යෙන් හුවමාරු කර යෙන් මිල දී ගැනීම මඟිනි. එසේ තිබියදී, සහනදායී පොලී අනුපාතිකයකට ගන්නට හැකි වුවත් ඕනෑවට වඩා යෙන් ණය ගොඩ ගසාගැනීම යනු ලංකාව විසින් විශාල අවදානමක් ගැනීමකි. හොඳ වෙලාවට මෙතෙක් කල් බලයට පත් වූ රාජ්‍ය නායකයින් කිසිවෙකුට මෙවැනි විහිළු අදහස් පහළ වී නැත.

Thursday, May 18, 2017

අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම

"යහපාලන ආර්ථික දර්ශණය" නම් වූ ලිපියක් ඊයේ වෙනත් බ්ලොග් අඩවියක (ඉයන්ගේ අඩවිය) පළ වී තිබුණේය. මෙය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඌව පරණගම-යාලගම දී පවත්වා ඇති කතාවක සංක්ෂිප්තයක් බව පෙනේ. පහතින් ඇත්තේ අදාළ ලිපියෙන් උපුටාගත් කොටස් කිහිපයකි. මෙහි නැවත පළ කරන්නේ තෝරාගත් කොටස් කිහිපයක් පමණක් නිසා අවශ්‍ය අයෙකුට අදාළ අඩවියෙන් මුළු ලිපියම කියවීමේ අවස්ථාව තිබේ.

"ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.

ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.

බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා."

"පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා."

"අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා."


ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා විසින් හඳුනාගෙන සිටින බව මේ කතාවෙන් පැහැදිලිය. මේ කරුණට අදාළ විශේෂ සටහනක් මෙවර මහ බැංකු වාර්තාවේ පළ වී තිබුණේය. "අපනයන ප්‍රවර්ධනය සඳහා ජාතික උපාය මාර්ගය" මාතෘකාව යටතේ පළකර තිබුණු එම ලිපියේ මූලික අදහස මෙවැන්නකි.

-ආර්ථිකය වර්ධනය වන විට අපනයනද වර්ධනය විය යුතු බවට පොදු මතයක් තිබුණත් ලංකාවේ එය එසේ වී නැත.
-පසුගිය වසර 16ක කාලය තුළ මේ තත්ත්වය කැපී පෙනේ. 2000-2016 අතර කාලයේදී රටේ දදේනි 10.4%ක සංයුක්ත (compound) වාර්ෂික වර්ධනයක් පෙන්නුවත්, අපනයන වල සංයුක්ත වාර්ෂික වර්ධනය 4%ක් පමණි.
-2005-2012 කාලය අතරතුළ දේශීය ඉල්ලුම වර්ධනය වීම නිසා ආර්ථිකය වර්ධනය වුනත්, බාහිර ඉල්ලුමක් නැති නිසා දේශීය ඉල්ලුම අඩුවීමට සමගාමීව ආර්ථික වර්ධනය බාල වී ඇත.
-ලංකාව කලාපයේ අනෙක් රටවලට වඩා කලින් 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1977දී දදේනි ප්‍රතිශතයක් ලෙස 18.7%ක් වූ අපනයන 1979 වන විට 29.2% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
-1977දී ඇමරිකන් ඩොලර් මිලියන 767ක් වූ අපනයන ආදායම 2000 වන විට ඇමරිකන් ඩොලර් මිලියන 5,522 දක්වා ඉහළ ගියේය. එහෙත්, 2000 සිට අපනයන වර්ධනය සතුටුදායක මට්ටමක නැත.
-මේ වන විට (2016) අපනයන දදේනි ප්‍රතිශතයක් ලෙස 12.7% මට්ටමට පහත වැටී තිබේ. මෙය 1977 දී ආර්ථිකය විවෘත කිරීමට පෙර පැවති මට්ටමටත් වඩා පහත් මට්ටමකි.
-2015දී මැලේසියාවේ අපනයන දදේනි ප්‍රතිශතයක් ලෙස 67.5%ක්ද, තායිලන්තයේ 54.2%ක්ද, වියට්නාමයේ 83.7%ක්ද විය.
-2000-2015 කාලය තුල ලංකාවේ අපනයන 1.9 ගුණයකින් පමණක් වර්ධනය වෙද්දී, වියට්නාමය 11.2 ගුණයකින්ද, බංග්ලාදේශය 5.1 ගුණයකින්ද, දකුණු කොරියාව හා තායිලන්තය 3.1 ගුණයකින්ද වර්ධනය කරගෙන තිබේ.




මේ කරුණු අනුව, අග්‍රාමාත්‍යවරයා විසින්ද හඳුනාගෙන ඇති පරිදි, කලාපීය රටවල් ඔවුන්ගේ අපනයන ආර්ථිකයන් වර්ධනය කරගනිද්දී, මේ සහස්‍රයේ ආරම්භයේ සිට ලංකාවේ අපනයන ආර්ථිකය සීඝ්‍රයෙන් පල්ලම් බැස ඇති බව ඉතාම පැහැදිලිය. මහ බැංකු වාර්තාවේ අදාළ ලිපිය අනුව, මේ වන විට ලංකාව 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් පසුව අපනයන ක්ෂේත්‍රයෙහි ලබාගත් ජයග්‍රහණ සියල්ලම ආපසු හැරවී අවසන්ය.

රනිල් වික්‍රමසිංහට අනුව මෙයට හේතුව යුද්ධය නිසා ඇති වූ ආර්ථික පසුබෑම හා 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් නොකිරීමයි. ඔහුගේ කතාව අනුව, ඔහු මෙය දකින්නේ විදේශ ප්‍රතිපත්තියේ වරදක් ලෙසිනි. ඒ අනුව, "යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට" පත්වීම අපනයන වර්ධනයට හේතු වනු ඇත.

රනිල් වික්‍රමසිංහගේ කතාව අනුව, අපනයන වර්ධනය අවශ්‍ය දෙයක් බව ඔහු හඳුනාගෙන සිටියත් "රටේ ආදායම" වැඩි කරගන්නා තුරු ඔහුට මේ වැඩේ කල් දාන්නට සිදුවී තිබේ. මේ වන විට, වැට් ආදී බදු වැඩිකර ආදායම වැඩි කරගෙන තිබෙන නිසා ඔහුට අපනයන වර්ධනය කිරීම ගැන හිතන්නට ඉඩ ලැබී ඇත.

රනිල් වික්‍රමසිංහ රටේ ආදායම කියා කිවුවත් ඇත්තටම ඔහු මේ කියන්නේ රජයේ ආදායම ගැනය. රජයේ ආදායම හා රටේ ආදායම කියන්නේ එකක් නොව දෙකකි. රජයේ ආදායම කියන්නේ රටේ ආදායමෙන් රජයේ නඩත්තුව සඳහා බදු ලෙස බලහත්කාරයෙන් උදුරා ගන්නා කොටසයි. බදු වැඩි කිරීමෙන් රටේ ආදායම වැඩි නොවනවා පමණක් නොව නිෂ්පාදන අධෛර්යමත් වීමෙන් රටේ ආදායම අඩු වීමට එය හේතුවකි. මෙය අපනයන නිෂ්පාදන වලටද අදාලය. බදු වැඩිවීම හරහා නිෂ්පාදන වියදම් ඉහළයාම යනු අපනයන වර්ධනය තවදුරටත් අඩාල වීමට හේතුවකි.

රනිල් වික්‍රමසිංහ විසින්ම කියන පරිදි මෙන්ම මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි රටේ අපනයන ආර්ථිකය එන්න එන්නම පල්ලම් බැසීමෙන් පෙනෙන්නේ ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අකාර්යක්ෂමතාවයයි. මහ බැංකු වාර්තාවේ විශේෂ ලිපියට පාදක වන 2000-2016 කාලය තුළ යහපාලන ආණ්ඩුවේ අවුරුදු දෙකක්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටි වසර 10ක් මෙන්ම, ඊට පෙර රනිල් හා චන්ද්‍රිකා ආණ්ඩු කළ කාලයද ඇතුළත් බවත් මෙය එක් දේශපාලනික පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ වැරැද්දකට වඩා රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් බවත් මෙහිදී විශේෂයෙන් තේරුම් ගත යුතුය. එමෙන්ම, ලංකාවේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසු මුල් දශක දෙකක පමණ කාලය තුළ තත්ත්වය මෙයට වෙනස් වූ බවද අමතක නොකළ යුතුය.

රටේ ආදායම් වර්ධනය අවදානමේ හෙළමින් රජයේ බදු ආදායම් වැඩි කර ගන්නේ රටේ ආර්ථික වර්ධනය උදෙසා අගය එකතු කිරීමක් කරන බවක් පෙනෙන්නට නැති  අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීම සඳහාය. පරණ ණය ගැන කතා කළත්, සමස්තයක් ලෙස රජයේ ණය අඩුවී නැත. කෙසේවුවද, රජයේ බදු ආදායම් වැඩි කර නොගත්තේනම් සිදු විය හැකිව තිබුණේ රජය අලුතින් ලබාගන්නා ණය ප්‍රමාණය තවත් ඉහළ යාමයි. එයට සාපේක්ෂව බදු වැඩි කර රජයේ ආදායම වැඩි කර ගැනීම සාධනීය දෙයකි.

රජය කුඩා කිරීම දේශපාලනික කරුණකි. රටේ ඉල්ලුම තිබෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය තවත් පුළුල් කිරීමටනම් ආණ්ඩුවට එය නොසලකා කටයුතු කිරීම අසීරුය. ආණ්ඩුවට පිටින් සිටින බොහෝ කණ්ඩායම් උද්ඝෝෂණය කරන්නේ පවතින අවාසිදායක තත්ත්වයන් යටතේ වුවද අමාරුවෙන් ඇදගෙන යන පෞද්ගලික ව්‍යවසායයන් පවා රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ කරන ලෙස ඉල්ලමිනි. එවැන්නක අවසන් ප්‍රතිඵලය වන්නේ බදු බර තවත් ඉහළ යාම හා අදාළ සේවාවන්ගේ ගුණාත්මක භාවය තව දුරටත් පහත වැටීමයි.

ඇතැම් විට රනිල් වික්‍රමසිංහ විසින් ඉඟි කරන්නේ රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමෙන් පසු අපනයන සංවර්ධනය දිරිමත් කිරීම සඳහා සහනාධාර ලබාදීමට රජයට ඉඩක් ලැබෙන බව වන්නට පුළුවන. රජය විසින් සහනාධාර හරහා අපනයන දිරිමත් කිරීම ප්‍රායෝගිකව සිදුවන්නට විශාල ඉඩකඩක් නැතිවා පමණක් නොව එය රජය විසින් මේ අවස්ථාවේදී ගත යුතු ප්‍රශස්තම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයද නොවේ.

එමෙන්ම, "යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව" ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල් සමඟ "යාළු වූ" පමණින් ලංකාවේ අපනයන වර්ධනය වෙන්නේ නැත. මෙයින් කියන්නේ යහපත් විදේශ සම්බන්ධතා පවත්වා ගැනීම නොවැදගත් බව නොවේ. ලංකාව වැනි, කුඩා, දියුණු වෙමින් පවතින, ආර්ථිකයකට විදේශ සම්බන්ධතා නොසලකා හැර ආර්ථික වර්ධනය ගැන හිතන්නට නුපුළුවන. ලංකාවේ කළඹේ තිබෙන්නේ ආදේශක කිසිවක් නොමැති, වෙනත් රටවල් විසින් "පස්සෙන් ඇවිත්" මිලදී ගතයුතු දේවල්නම් විදේශ සම්බන්ධතා ලොකු ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලංකාවට එවැනි අපනයන නිෂ්පාදන නැත. ඒ නිසා, අපේ අපනයන මිලදී ගන්නා රටකට දේශපාලනික හේතු මත අපේ අපනයන ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබේ.

කෙසේ වුවද, එහි අනික් පැත්ත ඒ අයුරින්ම සිදුවන්නේ නැත. කොයි තරම් යහපත් දේශපාලන සම්බන්ධතා පවත්වාගෙන සිටියත් කිසිදු රටක් අපේ අපනයන "පාඩුවට" මිල දී ගන්නේ නැත. ලංකාවේ අපනයන වර්ධනය කර ගැනීමටනම් ලංකාවේ අපනයන නිෂ්පාදන සමාන ගුණාත්මක භාවයක් ඇති වෙනත් රටවල නිෂ්පාදන වලට සාපේක්ෂව මිලෙන් අඩුවිය යුතුය.

රජය මඟින් සහනාධාර ලබාදීම හරහා නිෂ්පාදන පිරිවැය අඩුකර අපනයන මිල ගණන් තරඟකාරී මට්ටමකට පහත හෙළිය හැකි වුවත්, ඒ සහනාධාර පිරිවැය බදු ලෙස නැවත එකතු කර ගැනීමේදී නිෂ්පාදන පිරිවැය නැවතත් ඉහළ යන බැවින් මේ උපාය මාර්ගය  තිරසාර එකක් නොවේ. 


එසේනම් කළ යුත්තේ කුමක්ද? ප්‍රශ්නයේ මුලට ගිය විට විසඳුමද හමුවේ.

ජේ ආර් ජයවර්ධන විසින් 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමට සමගාමීව විණිමය අනුපාතිකද ඉතා විශාල ලෙස අවප්‍රමාණය කෙරුණු බව අප අමතක නොකළ යුතුය. 1978 වසර තුළදී පමණක් ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 8.87 සිට 15.61 දක්වා 76%කින් ඉහළ ගියේය. ඒ සමඟම ලෝක වෙළඳපොළෙහි ලංකාවේ නිෂ්පාදන වල මිලද ඉතා විශාල ලෙස අඩුවී ලංකාවේ අපනයන තරඟකාරිත්වයද විශාල ලෙස ඉහළ ගියේය. ලංකාවේ අපනයන දෙවසරක් තුළ ඉතා විශාල ලෙස වර්ධනය වීමට හේතු වුනේ විදේශ විණිමය අනුපාතිකයෙහි සිදුවුණු මේ නිවැරදි කිරීමයි.

ඉහත විදේශ විණිමය ප්‍රතිපත්තිය 2000 වසරේදී පමණ සිට ඒ අයුරින්ම ක්‍රියාත්මක වුනේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ අපනයන වල මිල අනෙකුත් තරඟකාරී රටවල අපනයන මිලට සාපේක්ෂව විශාල ලෙස ඉහළ යද්දී විදේශ නිෂ්පාදන වල දේශීය මිල නියම මට්ටමට වඩා පහළින් පවත්වා ගැනුණේය. මේ අනුව, පසුගිය වසර පහළොවක පමණ කාලය තුළ සිදුවුණේත්, තවමත් සිදුවන්නේත් ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් වෙනත් රටවල නිෂ්පාදකයින්ට "සහනාධාර" ලැබීමයි.

මේ වාසිය වැඩිපුරම ලබාගත්තේ චීනය හා ඉන්දියාවයි. ඒ තත්ත්වය තවමත් වෙනස් වී නැත. විණිමය ප්‍රතිපත්තියේ වරද නිසා වසරින් වසර ලංකාවේ
අපනයන වර්ධනය පහළ යද්දී ආනයන ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. මේ නිසා ඇති වුනු ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇතැම් ආණ්ඩු විසින් රාජ්‍ය දේපොළ විකුණා දැමීමෙන් පියවා ගැනීමට උත්සාහ ගත් අතර, සියළුම ආණ්ඩු විසින් විශාල ලෙස විදේශ ණය ලබා ගැනීමට යොමු විය. මෙයින් ලැබුණේ තුවාලයක් කසන විට ලැබෙන ආකාරයේ සනීපයක් පමණි. දැන් තුවාලය ඔඩු දුවා තිබේ. අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම කෙසේවෙතත් ලංකාවේ ආර්ථිකය තියෙන මට්ටමින් අල්ලාගෙන සිටීම පවා දැන් පහසු වැඩක් නොවේ.

තුවාලය නිට්ටාවට සනීප කර ගැනීමටනම් විණිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වෙන්නට ඉඩ හැරිය යුතුය. ලංකාවේ අපනයන වර්ධනය කරගැනීමට අවශ්‍යනම් ඒ මඟ මිස වෙනත් මඟක් නැත!

Tuesday, May 24, 2016

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (පස්වන කොටස)


පෙර කොටසින් සාකච්ඡා කළ පරිදි, වෙනත් මාර්ග වලින් ලැබෙන ප්‍රාග්ධනය හා විදෙස් විණිමය ප්‍රවාහ සමඟ සැසඳූ විට සෘජු විදෙස් ආයෝජන වලින් රට තුළට විශාල ප්‍රාග්ධනයක් හෝ විදේශ විණිමය ප්‍රවාහ ගලාඑන්නේ නැත. කිසියම් ආයෝජකයෙකු ලංකාවේ ආයෝජනය කරන්නේ සිය ප්‍රාග්ධනයට වැඩි ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් මිස ලංකාවට යහපතක් කිරීමේ අරමුණින් නොවේ. ඒ නිසා, එවැනි ආයෝජකයෙකු සිය ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභ නැවත රටින් පිටතට ගෙනයනු ඇත. එසේනම්, සෘජු විදෙස් ආයෝජන ලබාගැනීමේ වැදගත්කම කුමක්ද?

සෘජු විදෙස් ආයෝජන හරහා රටකට වාසි ලැබෙන ප්‍රධාන නාලිකා දෙකක් තිබේ. පළමුව, එමඟින් රටේ සේවා වියුක්තව ඇති හෝ අඩු කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගැනෙන ශ්‍රමයට වටිනාකමක් ලැබේ. දෙවනුව, එමඟින් රට තුළට නවීන තාක්ෂනය පොම්ප කරයි (spillover effect). එහෙත්, හැම විටම මේ දේවල් මේ අයුරින්
සිදුවේද?

සෘජු විදෙස් ආයෝජන වලින් ලැබෙන වාසි තීරණය වන්නේ එම ආයෝජන සිදුවන කර්මාන්තය කුමක්ද යන්න මතය. කර්මාන්තය ශ්‍රමමූලික වූ තරමට හා ලැබෙන තාක්ෂනය අවශෝෂණය කරගත හැකි වූ තරමට මේ වාසි වැඩිය. ජයවර්ධන රජයේ ජනප්‍රිය තෝරාගැනීම වූ ඇඟළුම් කර්මාන්තය මේ කරුණු දෙකම අනුව ඉතා හොඳ තෝරාගැනීමක් විය.

ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා වලට ගිය බොහෝ කාන්තාවන් එවකට වෙනත් රැකියාවක් නොකළ, සාපේක්ෂව අඩු අධ්‍යාපනයක් ලබා තිබූ කණ්ඩායමකි. ඇඟළුම් කර්මාන්තය දියුණු වෙද්දී ඔවුන්ගේ ශ්‍රම සම්පත් ඵලදායී ලෙස ආයෝජනය කෙරුණු අතර ඒ ශ්‍රම සම්පත් වෙනුවෙන් ලැබුණු ප්‍රතිලාභ රට තුළ ඉතිරි විය. එමෙන්ම, ඇඟළුම් තාක්ෂනය ලංකාවට අවශෝෂණය කරගැනීමට අසීරු තාක්ෂණයක් නොවූ බැවින් වැඩි කල් නොයා දේශීය ආයෝජකයින්ටද ඇඟළුම් කම්හල් ඇරඹීමට හැකි විය.

ඉතා කෙටි කාලයකින් එවකට ලංකාවේ සම්ප්‍රදායික අපනයන වූ තේ, රබර්, පොල් සහ කුළුබඩු ආදිය අභිබවමින් ඇඟළුම් නිෂ්පාදන ලංකාවේ ප්‍රධානම අපනයන භාණ්ඩය බවට පත් විය. මේ තත්ත්වය තවමත් එසේම පවතී. පසුගිය 2015 වසර තුළදී ඇඟළුම් නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලංකාව ඩොලර් මිලියන 4,820 ක් ඉපැයූ අතර එය රටේ මුළු අපනයන ආදායමෙන් 45.9% කි.


ඇඟළුම් ක්ෂේත්‍රයේ සිදුවූ සෘජු විදෙස් ආයෝජන වලින් මෙවැනි වාසියක් ලැබුණත් වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක සිදුවන ආයෝජන වලින් එවැනි වාසියක් ලබා ගත නොහැකිය. උදාහරණයක් ලෙස දුරකථන සේවා සපයන සමාගමක් බොහෝ දුරට පදනම් වන්නේ ප්‍රාග්ධනය මතය. ඒ නිසා එවැනි සමාගමකට විශාල පිරිසකට රැකියා සැපයීමට අවශ්‍ය නොවන අතර ඒ නිසා ලාභ වලින් ශ්‍රමය වෙනුවෙන් වෙන්වන ප්‍රතිලාභද විශාල නැත. ඇතැම් විට විදෙස් ශ්‍රමය ප්‍රයෝජනයට ගැනීම නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙසද ලාභ වලින් කොටසක් රටින් පිටතට ආපසු යා හැකිය. එමෙන්ම, මෙවැනි සමාගම් සිය ගණනකට රට තුළ ඉඩක් නැති නිසා තාක්ෂනය රටතුළට ගලා ඒමේ වාසියද විශාල නැත.

වෙනත් උදාහරණයක් ලෙස සංචාරක හෝටලයක් වැනි ආයෝජනයක් සැලකුවහොත් මෙය සැලකිය යුතු ලෙස විශාලනය කළ හැකි (scalable) කර්මාන්තයක් වුවත් එම කර්මාන්තයේ අමුතුවෙන් පිටතින් ලබාගන්නට තරම් විශාල තාක්ෂණ පරතරයක් නැත. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන හඹා යාමේදී රටට වැඩිම ප්‍රතිලාභ ලැබෙන කර්මාන්ත ක්ෂේත්‍ර තෝරාගැනීම වැදගත්ය. එසේ නොකළහොත් අවසාන වශයෙන් එවැනි කර්මාන්ත වලට ලබා දෙන බදුසහන ආදියෙන් සැලසෙන්නේ අවාසියක් විය හැකිය.

අවාසනාවකට ජයවර්ධන රජය විසින් සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගනිමින් රට තුළ ඇඟළුම් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් පසු ගතවූ දශක හතර තුළ තවමත් ලංකාවට එවැනි වෙනත් වාසිදායක කර්මාන්තයක් සොයා ගැනීමට හැකි වී නැත. 


පසුගිය වසර තුළ සිදුවූ සෘජු විදෙස් ආයෝජන වලින් 55% ක්ම සිදුවී ඇත්තේ දේපල සංවර්ධන, සංචාරක හා විදුලි සංදේශ ක්ෂේත්‍ර වලය. බොහෝදුරට මේ ආයෝජන වලින් සිදුවන අයහපතක් නැතත් එම කර්මාන්ත වල සිදුවන ආයෝජන වලින් රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට තාවකාලිකව ලැබෙන සුළු වාසිය හැරුණු විට දිගුකාලීනව ඇති ආර්ථික වාසියක් ඇත්නම් එය එතරම් විශාල විය නොහැකිය.

(Image: ctmil.com)

Wednesday, May 18, 2016

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (පළමු කොටස)

පසුගිය ලිපියෙන් මා පෙන්වා දුන්නේ ලංකාවේ ණය අර්බුදය නිදහස ලැබූ කාලයේ සිටම ක්‍රමයෙන් වර්ධනය වූවක් බවයි. ජයවර්ධන යුගයේදී ප්‍රථම වරට ලංකාවේ රාජ්‍ය ණය තොගය රටේ දළ දේශීය නිෂ්පාදිතයද ඉක්මවූ අතර 2004 වසර වන විටත් ණය තොගය ජාතික ආදායමට ඉහළින් පැවතුණේය.

රටක ණය තොගය ජාතික ආදායම ඉක්මවූ පමණින් ආර්ථිකයක් ක්ෂණික කඩාවැටීමකට ලක්වන්නේ නැත. ජපානයේ රාජ්‍ය ණය තොගය රටේ ජාතික ආදායම මෙන් දෙගුණයකටත් වැඩිය. ඇමරිකාව හා සිංගප්පූරුව වැනි රට වල රාජ්‍ය ණය තොගයද  එම රටවල ජාතික ආදායමට වඩා වැඩිය. මෙවැනි තත්ත්වයක සිට පසුව ණය ප්‍රමාණය බරක් නොවන මට්ටමට අඩු කරගත් රටවල් ඕනෑ තරම් තිබේ.

රටක් හෝ පුද්ගලයෙකු ණය ගැනීම හැම විටම නරක දෙයක් නොවේ. කිසියම් ආයෝජනයකින් ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළනම් ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ලබාගෙන මුල් මුදල හා පොලිය ගෙවීමන් අනතුරුවද ලාභයක් ලැබිය හැකිය. පසුගිය දශකයක පමණ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය අඩුවීම මඟින් වුවද පෙනෙන්නේ ජාතික ආදායම වැඩි වේගයකින් වර්ධනය වේනම් ණය ආපසු ගෙවීම නොකළ හැකි දෙයක් නොවන බවයි.

පසුගිය 2004-14 කාලය තුළ ලංකාවේ ආර්ථික වර්ධනය නිදහසින් පසු එක දිගට පැවති ඉහළම ආර්ථික වර්ධනයයි. ඒ කාලය තුළ රටේ ණය ඉහළ ගොස් ඇතත් එය සිදු වී ඇත්තේ වෙනත් කාල වලදී සිදු වූවාට වඩා වැඩි වේගයකින් නොවේ. මේ කාලය තුල උද්ධමනය අඩු මට්ටමක පැවති අතර, විණිමය අනුපාතිකයද ස්ථාවරව පැවතුණේය. රටේ විදෙස් සංචිත ඉහළ ගියේය. විරැකියා අනුපාතිකය හා දරිද්‍රතාව අඩු විය. එසේනම්, මේ ආර්ථික අර්බුදයක් ගැන කියන කතාව බොරුවක්ද?

ජෙන්ගා නම් වූ ක්‍රීඩාවක් තිබේ. මේ ක්‍රීඩාවේදී පළමුව දිගටි ලී කැබලි එක මත එක තබමින් කුළුණක් සාදනු ලබයි. ඉන් පසුව ක්‍රීඩාව ඇරඹේ. තමන්ගේ වාරය පැමිණි විට ක්‍රීඩකයෙකු කළ යුත්තේ මේ කුළුණින් එක් ලී කැබැල්ලක් ඉවත් කිරීමයි. කුළුණ කඩා වැටුනහොත් ක්‍රීඩකයා පරාජයට පත් වේ. ලී කැබලි එකින් එක ඉවත් වෙද්දී කුළුන බිඳ නොවැටී ලී කැබැල්ලක් ඉවත් කිරීම එන්න එන්නම අමාරු වෙයි.

රටක ආර්ථිකය මෙහෙයවීමද ජෙන්ගා ක්‍රීඩාවකි. එහෙත්, මේ ක්‍රීඩාවේ නීති වඩා සංකීර්ණය. මේ වෙනස් ජෙන්ගා ක්‍රීඩාවේදී ක්‍රීඩකයෙකුට එක දිගට වාර ගණනක් ක්‍රීඩා කිරීමට ලැබේ. එසේ ක්‍රීඩා කරද්දී ක්‍රීඩා කිරීමේ වාරය ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු විසින් ලබා ගැනීම වැලැක්වීම සඳහා   ඉවත් කර ගන්නා ලී කැබලි යොදා ගෙන කුළුණ තවත් උස් කළ යුතුය. ඒ අතරම ලී කුළුණ ස්ථාවරව පවතින බවටද වග බලාගන්නට සිදු වේ. 

මේ ක්‍රීඩාවේදී ලකුණු ලැබෙන්නේ ක්‍රීඩා කරන වාර ගණනටය. එය කඩා වැටෙන්නට එන බව පෙනේනම් විනිශ්චයකරු විසින් අනෙක් ක්‍රීඩකයාට වාරය ලබා දෙනු ඇත. එමෙන්ම, කුළුණ ගොඩ නංවන බවක් නොපෙනේනම් එවිටද විනිශ්චයකරු විසින් අනෙක් ක්‍රීඩකයාට වාරය ලබා දෙනු ඇත.

කෙසේ වුවද, මේ ක්‍රීඩාවේදී කුළුන සාදන්නේ දැඩි සුළං ඇති තැනකය. ඒ නිසා සමබරතාවය බිඳුනොත්  සුළඟට කුළුණ කඩා වැටෙන්නට පුළුවන. එසේ කඩා වැටෙන්නට යන විට ක්‍රීඩකයෙකුට කලින් ඉවත් කළ ලී කැබලි නැවත ඒවා පැවති තැන් වලට එකතු කරන්නටද පුළුවන.  සුළං දැඩි විට කුළුණ කඩා නොවැටී තබා ගැනීම එහි උස වැඩි කරනවාට වඩා වැදගත්ය.

පසුගිය කාලයේ ඉහළ ආර්ථික වර්ධනයක් ලැබූ ලංකාවේ ආර්ථිකයද මෙසේ උසට හැදූ ජෙන්ගා කුළුණක් විය. කුළුණ උස ගියේ එහි පැවති අසමතුලිතාවයන් බොහොමයක් පිටතට නොපෙන්වමිනි. ඒ නිසා, මේ දුර්වලතා හඳුනා ගැනීම අපහසු වුවත් එය අමාරුවෙන් හෝ කිරීම ඉතා වැදගත් කරුණකි.

රජයකට ණය ආපසු ගෙවීමට විවිධ ක්‍රම තිබේ. පළමු හා පහසුම ක්‍රමය ජනතාවගෙන් බදු අය කර ගැනීමයි. බදු ආදායම ප්‍රමාණවත් නැත්නම් බදු වැඩි කළ හැකිය. එහෙත්, යම් මට්ටමක් දක්වා බදු වැඩි කිරීමෙන් පසු තව දුරටත් බදු ඉහළ දමා ආදායම වැඩි කර ගත නොහැකි වේ. (කියවන්න: වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද? ) එවිට, දෙවන විකල්පය වන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීමයි. ඒ මඟින් රටේ ජනතාව හා සමාගම් අත ඇති මුදල් ණයට ගන්නට පුළුවන. 

මෙයටද සීමාවක් තිබේ. රටේ පෞද්ගලික ඉතිරි කිරීම් අඩුවනවිට පෞද්ගලික ආයෝජන අඩුවී ආර්ථික වර්ධනය අඩුවීම නිසා රජයේ බදු ආදායම්ද අඩු වන්නට පටන් ගනී. එමෙන්ම, වාණිජ බැංකු වලටද භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණිය හැකිය. එසේ කළ විටද, රටේ බැංකු පද්ධතියේ අරමුදල් ක්ෂය වී පෞද්ගලික අංශයට ණය ලබා දීම සීමා වීම නිසා ආර්ථික වර්ධනය අඩාල වී රජයේ බදු ආදායම් අඩුවීමේ අනතුර තිබේ. 

අවසාන වශයෙන්, වෙනත් විකල්පයක් නැති වන විට රජයේ සුරැකුම්පත් මහ බැංකුවට විකුණන්නට පුළුවන. මෙහි අවසාන ප්‍රතිඵලය පළමුව උද්ධමනය හා පසුව අධි-උද්ධමනයයි. මෙවැනි සීමාවන් පවතින නමුත්, අධි-උද්ධමනයට මුහුණ දීමට සිදුවීමේ අවදානම පෙනෙන තුරු රජයකට ණය ආපසු ගෙවන්නට විවිධ ක්‍රම ගණනක් තිබේ.

පෙර කී පරිදි ඇමරිකාවේ, ජපානයේ මෙන්ම සිංගප්පූරුවේද රාජ්‍ය ණය තොගය එම රට වල ජාතික ආදායමට වඩා වැඩිය. ජපානයේ එය දෙගුණයකටත් වැඩිය. එහෙත්, මේ රටවල් වල ණය අර්බුද ගැන එතරම් ලොකු කතාබහක් සිදු නොවේ. ඒ කියන්නේ ලංකාවේ ඔය කියන විදිහේ ණය අර්බුදයක් නැද්ද?

ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තනි අංකයකින් විස්තර කළ හැකි තරමට සරල එකක් නොවේ. රටක රාජ්‍ය ණය කිසියම් හේතුවකින් ඉහළ ගිය විට (කිසියම් පැහැදිලි සීමාවක් තුළ වුවත්) බදු ඉහළ නැංවීමේ සිට අළුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම (එනම් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවි කිරීම) දක්වා විවිධ ක්‍රම වලින් අරමුදල් රැස් කරගෙන ඒ ණය කෙසේ හෝ ගෙවා දැමීමේ හැකියාව තිබේ. (එසේ කිරීමේ අහිතකර ප්‍රතිඵල වලට පසුව මුහුණ දෙන්නට වීම වෙනම කරුණකි.) මේ මොහොතේ වත්මන් රජය කරමින් සිටින්නේද එයයි.

කෙසේ වුවද, ඉහත ආකාරයෙන් බදු මුදල් හෝ අළුතින් සංසරණයට එකතු කළ මුදල් යොදාගෙන පියවීමේ හැකියාව ඇත්තේ රුපියල් වලින් ගෙවන්නට ඇති දේශීය ණය පමණි. විදේශ ණය ගෙවීමේදී මේ රුපියල් ඩොලර් වලට (හෝ වෙනත් පිළිගත් ව්‍යවහාර මුදලකට) මාරු කළ යුතුය. රජයට බදු ලෙස ඩොලර් අය කර ගැනීමේ හෝ ඩොලර් මුද්‍රණය කිරීමේ හැකියාවක් නැත!


රජය සතුව ණය ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් තිබියදී වුවත්, රට තුළ ප්‍රමාණවත් විදෙස් සංචිත නැත්නම් විදෙස් ණය පියවීමේ හැකියාවක් නැති වේ. ගෙවුම් ශේෂ අර්බුදයක් යනු මෙයයි.

ගෙවුම් ශේෂ අර්බුද වලට එකම හේතුව රාජ්‍ය ණය වැඩිවීම නොවේ. කවර හේතුවක් නිසා හෝ කිසියම් රටක ආනයන වියදම් පියවීමට ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති වුවහොත් එම රටට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දීමට සිදු වේ. සමඟි පෙරමුණු යුගයේදී රට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන්නේත්, වෙනිසියුලාවේ අද ඇති ප්‍රශ්නය ඇති වී තිබෙන්නේත් රාජ්‍ය ණය වැඩි වූ නිසාම නොවේ. කෙසේ වුවද, රාජ්‍ය ණය, විශේෂයෙන්ම විදෙස් ව්‍යවහාර මුදලින් ලබාගත් විදෙස් ණය, බොහෝ විට  ගෙවුම් ශේෂ අර්බුද වලට හේතු වේ. එවිට, ගෙවුම් ශේෂ අර්බුදය නිසා රාජ්‍ය ණය අර්බුදයත්, රාජ්‍ය ණය අර්බුදය නිසා ගෙවුම් ශේෂ අර්බුදයත් එකිනෙක පෝෂණය කිරීම සාමාන්‍යයෙන් අවසන් වන්නේ විශාල ආර්ථික කඩා වැටීමකිනි.




(මතු සම්බන්ධයි.)

(Image: www.vat19.com)

Sunday, April 24, 2016

අපනයන ආදායම් රට තුළට ගෙන එන්නට දින අනූවක කාලසීමාවක්



මහ බැංකු පුවත් නිවේදනයක් අනුව, මුදල් ඇමතිවරයා විසින් අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සම්බන්ධව 1993 මාර්තු සිට පැවති නිදහස් කිරීමක් අවලංගු කර තිබේ. මේ අනුව, 2016 අප්‍රේල් මස පළමුවැනි දින හෝ ඉන් පසුව අපනයනය කරන කිසියම් භාණ්ඩයක් සඳහා ලැබෙන විදේශ මුදල් දින 90ක් ඇතුළත අනිවාර්යයෙන්ම රට තුළට රැගෙන ආ යුතුය. එමෙන්ම, මේ වන විට රටින් පිට රඳවාගෙන සිටින එවැනි අපනයන ආදායම් ඇත්නම් ඒ මුදල් මැයි මස පළමුවෙනි දිනට පෙර රට තුළට රැගෙන ආ යුතුය.

මේ තීරණය විදේශ අංශය තුළ රජය මුහුණ දෙන අර්බුදයේ පැතිකඩකි. මේ වන විට අපනයනකරුවන් සිය ආදායම් රට තුළට රැගෙන ඒම ප්‍රමාද කරමින් සිටින බව හෝ අඩු වශයෙන් රජය එසේ සිතන බව පෙනේ. රුපියල ඉදිරියේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමට නියමිත බව පෙනේනම් විදෙස් විණිමය අත ඇති අයෙකු ඒ මුදල් රුපියල් වලට හරවන්නේ නැත. එසේ නොකර ඩොලර් හෝ වෙනත් ශක්තිමත් විදෙස් මුදලක් ලෙසම තබා ගත්විට ඉදිරියේදී වැඩි රුපියල් ගණනක් ලබා ගැනීමට ඉඩ සැලසෙන බැවිනි.

කෙසේවුවද, අළුත් ගැසට් නිවේදනය අනුව අපනයන ආදායම් රට තුළට රැගෙන විත් විදෙස් ව්‍යවහාර මුදල් වශයෙන්ම දේශීය බැංකු ගිණුමක තබා ගැනීමේ හැකියාව තිබේ. එවිට විදෙස් මුදල් අත ඇති අයෙකුට පෙර කී වාසිය අහිමි නොවන අතර මහ බැංකුවට දේශීය බැංකු හරහා ඒ විදෙස් මුදල් මිලදී ගෙන විදෙස් විණිමය හිඟයෙන් කොටසක් ආවරණය කර ගත හැකිය. ප්‍රශ්නය ඇත්තේ ඒ සඳහා අපනයනකරුවන් වෙත මෙවැනි බලපෑමක් කිරීමට රජයට සිදුව ඇත්තේ ඇයිද යන්නයි.


මේ අවස්ථාවේදී යමෙකු ඩොලර් රුපියල් බවට නොහැරවීම තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ. එහෙත්, දේශීය බැංකුවක ඩොලර් වශයෙන් නොරඳවා රටින් පිටත මෙවැනි අරමුදල් තබා ගැනීමට පෙළඹීම එයින් පැහැදිලි නොවේ. දේශීය බැංකු ඩොලර් තැන්පතු සඳහා ලබාදෙන පොලිය සාමාන්‍යයෙන් විදෙස් බැංකුවකින් ලැබෙන පොලියට වඩා වැඩිය.

කිසියම් ක්‍රමයකින් ඩොලර් උපයන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට ඩොලර් වියදම් කිරීමටද සාමාන්‍යයෙන් අවශ්‍ය
. ඒ අතින්, මේ බොහෝ දෙනෙකු විදෙස් විණිමය උපයන අනෙක් ප්‍රධාන කණ්ඩායම වන (බහුතරය අඩු ආදායම්ලාභී පවුල් වල සාමාජිකයින් වන) මැදපෙරදිග ඇතුළු රටවල වෙසෙන ශ්‍රමිකයන්ගෙන් වෙනස්ය.

ලංකාවේ විශාල ව්‍යාපාර ජාල බොහොමයක්ම සතුව අපනයන ව්‍යාපාර මෙන්ම ආනයන ව්‍යාපාරද තිබේ. ඔවුන්ට ඔවුන්ගේ අපනයන ආදායම් ආනයන වියදම් වෙනුවෙන් හිලවු කරගැනීම වාසිදායකය. බොහෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික අවශ්‍යතාවන්ට අමතරව පෞද්ගලික අවශ්‍යතා සඳහා විදෙස් විණිමය අවශ්‍යය. උදාහරණ ලෙස මේ බොහෝ දෙනෙකුගේ දරුවන් විදෙස් රටවල අධ්‍යාපනය ලබන අතර, විදෙස් රටකට යම් කලෙක සංක්‍රමනය වීම තවත් ඇතැම් අයගේ අරමුණකි. රටින් පිටත ගිණුමක් පවත්වා ගැනීම රට තුළට ඩොලර් ගෙන එනවාට වඩා මේ කටයුතු වලට පහසුය.

දේශීය බැංකු වල ව්‍යවහාර මුදල් ගිණුමකින් මුදල් ලබා ගැනීම විදෙස් රටක ඇති ගිණුමකින් මුදල් ගන්නා තරමටම පහසුනම් රට තුළට මුදල් ගෙන ඒමේ විශේෂ අවාසියක් නැත. එහෙත්, එසේ නොකිරීමෙන් පෙනෙන්නේ එක්කෝ එවැනි පහසුවක් නැති බවය. එසේ නැත්නම් මේ ගිණුම් වලින් මුදල් ආපසුගැනීම අපහසුබව මේ පිරිස විශ්වාස කරන බවය.


ඇතැම් විට ඇතැම් කණ්ඩායම් විසින් දේශපාලනික හේතු මත රටේ ආර්ථිකය අස්ථාවර කිරීම සඳහා රුපියලට පීඩනයක් එල්ල කිරීමට මෙවැන්නක් කරනවා හා/හෝ එසේ කරන බව රජය සිතනවා වීමටත් ඉඩක් තිබේ. එවැනි තත්ත්වයක් ඇත්නම් එයින් පෙනෙන්නේ අපනයනකරුවන් පවතින රජය සමඟ අප්‍රසාදයෙන් සිටින බවයි. රජයේ විදේශ විණිමය ප්‍රතිපත්තිය සමස්තයක් ලෙස අපනයනකරුවන්ට වාසිදායක නිසා එසේ ක්‍රියාකරන්නට ඔවුන්ට දේශපාලනික හේතු තිබිය හැකි වුවත් ආර්ථික හේතුනම් තිබිය නොහැකිය.

මේ සියල්ලටම වඩා තත්ත්වය භයානක වන්නේ අපනයන ආදායම් රටින් පිටත රඳවාගැනීම බොහෝ අපනයනකරුවන් විසින් විශාල ආර්ථික අර්බුදයක් ළඟ එන බව විශ්වාස කිරීමේ පිළිබිඹුවක් වන්නේනම්ය. විශාල ආර්ථික අර්බුදයක් හේතුවෙන් රටේ බැංකු පද්ධතිය අර්බුදයට ලක් වුවහොත් සිය තැන්පතු විදෙස් ව්‍යවහාර මුදලකින් තැන්පත් කර තිබුණේ වුවද ඒ මුදල් ආපසු ලැබීම පිලිබඳ සහතිකයක් නැත. යමෙක් එසේ සිතන්නේනම් බොහෝ විට පෙළඹෙන්නේ සිය අරමුදල් රටින් පිටත රඳවා තබා ගැනීමටය. අළුත් ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයේ, වෙළඳපොළ මූලධර්ම මත පදනම් නොවූ නියාමනයන් මඟින් කෙරෙන්නේ රටේ විදෙස් අංශයේ අර්බුදයක් ළඟ එන බවට පණිවුඩයක් දීමයි. ඒ නිසා මෙයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී එහි අනිත් පැත්ත සිදුවීමටද පුළුවන.

නියාමන ආයතන වල ඇසට වැලි ගසා සිය අපනයන ආදායම් රටින් පිටත තබා ගැනීමේ කලාව ලංකාවේ මහා පරිමාණ මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝද හොඳින් දනිති. බොහෝ විට ඔවුන් මෙසේ කරන්නේ නියාමනයෙන් ගැලවීමටත් වඩා බදු පැහැරහැරීමේ අරමුණෙනි. රේගු නිලධාරීන් වෙත ඉදිරිපත් කෙරෙන ඉන්වොයිස් වල හැමවිටම ඇත්තේ සැබෑ මිලගණන් නොවේ.

අපනයනකරුවෙකුට ඉහත නියාමන ක්‍රියාමාර්ගයේ බලපෑමෙන් ගැලවී විදෙස් විණිමය රටින් පිටත රඳවා ගැනීම අපහසු කාර්යයක් නොවේ. කළයුත්තේ රටේ සාර්ව-ආර්ථික තත්ත්වය පිළිබඳව විශ්වාසය ගොඩනංවා සිය කැමැත්තෙන්ම අපනයන
දායම් රට තුළට ගෙන එන්නට පෙළඹවීමක් ඇති කිරීමයි.

(Image: www.therepublicsquare.com)

Wednesday, March 30, 2016

එකසිය පණහයි! ලාබයි!!


මහ බැංකු දත්ත අනුව අද (මාර්තු 30) වන විට එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල පළමු වරට ශ්‍රී ලංකා රුපියල් 150 මට්ටම ඉක්මවා තිබේ. මේ, ඒ පිළිබඳව කෙරෙන කෙටි විමසුමකි.

ශ්‍රී ලංකාව පාවෙන විණිමය අනුපාතික ක්‍රමය හඳුන්වාදුන්නේ 2001 ජනවාරි මස 23 දිනදීය (මතකයෙන් ලියන දෙයකි). රට මුහුණ දී සිටි ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ ගත් මේ රැඩිකල් තීරණයෙන් ඒ වන විට විදේශ අංශයේ පැවති අසමතුලිතතාව සමනය විය. ඒ වන විට අධිප්‍රමාණය වී පැවති රුපියල පාකළ වහාම එය එහි නියම අගයද ඉක්මවා අවප්‍රමාණය වුවත් දින කිහිපයකින් පසු විණිමය අනුපාතිකය වෙළඳපොළ බලවේග අනුව පැවතිය යුතු මට්ටමට ලඟා වී ස්ථාවර විය. එම වසර අවසානයේදී එක්සත් ජනපද ඩොලරයක (විකිණුම් හා ගැනුම් අනුපාතික අතර) මැදි මිල රුපියල් 93.16ක් විය.

මෙයින් අදහස් වන්නේ ලංකාවේ රුපියල් 93.16ක් වූ භාණ්ඩයක් සඳහා 2001 අවසානයේදී ඇමරිකානුවෙකු ගෙවිය යුතු වූ මිල එක්සත් ජනපද ඩොලර් 1.00ක් බවයි. මෙය '2001 සමතුලිත මිල' ලෙස අපි දැනට සලකමු. මේ මිල යටතේ ඇමරිකානුවන් යම් භාණ්ඩ ප්‍රමාණයක් ලංකාවෙන් ආනයනය කළේය. එමෙන්ම, ඩොලරයකට රුපියල් 93.16 බැගින් වැය කරමින් ශ්‍රී ලාංකිකයෝද කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවෙන් මිලදී ගත්හ. වෙළඳාමට කිසිදු බාධාවක් නොපැවතියත් කිසියම් භාණ්ඩයක ඇමරිකානු හා ශ්‍රී ලාංකික නිෂ්පාදන අතර කිසිදු වෙනසක් නැත්නම් හා එහි මිල ඇමරිකාවේදී ඩොලර් 1.00ක් ලෙසත් ලංකාවේදී රුපියල් 93.16ක් ලෙසත් පවතීනම් එම භාණ්ඩය දෙරට අතර වෙළඳාම් වීමට විශේෂ හේතුවක් නැත. එහෙත්, මිල වෙනසක් ඇත්නම් එවැනි භාණ්ඩයක් එක් රටෙකින් අනෙක් රටට විකිණෙනු ඇත.

2001දී ද.දේ.නි. අවධමනක අනුව ඇමරිකාවේ හා ලංකාවේ උද්ධමන අනුපාතික පිළිවෙලින් 2.3% හා 12.4% විය. මේ අනුව, 2001 අවසාන වන විට ඇමරිකානුවෙකු විසින් වසර මුලදී ඩොලර් 1.00කට මිලදී ගත් භාණ්ඩයක් සඳහා ඩොලර් 1.023ක් ගෙවිය යුතු විය. විණිමය අනුපාතිකය නොවෙනස්ව පැවතියේනම් මේ භාණ්ඩයේ මිල ශ්‍රී ලංකා රුපියල් 95.30ක් වනු ඇත. ඒ අතර රුපියල් 93.16 කට අලෙවි වූ දේශීය භාණ්ඩයක මිල 12.4% කින් වැඩි වී රුපියල් 104.70ක් වනු ඇත. මෙසේ වීනම්, පෙර පැවති මිල සමතුලිතතාවය වෙනස් වීම නිසා ඇමරිකානු භාණ්ඩය ලංකාවේ පාරිභෝගිකයින්ට වඩා ආකර්ශනීය වනු ඇත. එමඟින් ආනයන වැඩි වී අපනයන අඩුවී වෙළඳ හිඟය වර්ධනය වනු ඇත.

කෙසේවුවද, 2001 අවසාන වන විට ඇමරිකන් ඩොලරය රුපියල් 96.73 දක්වා අවප්‍රමාණය විය. ඒ නිසා ඇමරිකාවේදී ඩොලර් 1.023ක මිලකට අලෙවි වූ භාණ්ඩයක මිල රුපියල් වලින් ඇත්තටම 98.95ක් විය. මේ මිල රුපියල් 96.73 තරම්ම ආකර්ශනීය නොවූවත් රුපියල් 104.70ට වඩා ආකර්ශනීය බැවින් ලංකාව තුළ ආනයන තවත් දිරිමත් වන බව සහ අපනයන අධෛර්යමත් වන බව පැහැදිලිය. 2001 පැවති තත්ත්වයට සාපේක්ෂව වෙළඳ ශේෂය මත බලපෑමක් නොවීමටනම් විණිමය අනුපාතිකය රුපියල් 99.59ක් විය යුතුව තිබිණි. ඒ අනුපාතිකය යටතේ, අර ඇමරිකන් භාණ්ඩයේ මිලද රුපියල් 104.70ක් වන නිසා වෙළඳශේෂය මත විශේෂ බලපෑමක් නොවේ. වෙනත් අයුරකින් කිවහොත් 2001 පැවති තත්ත්වයට සාපේක්ෂව ආනයන හෝ අපනයන ප්‍රවර්ධනය වීමක් සිදු නොවේ.

ඉහත විස්තර කළ අයුරින් රටවල් දෙකක් අතර උද්ධමන අනුපාතික අතර වෙනස සමඟ හරියටම සැසඳෙන පරිදි නාමික විණිමය
අනුපාතික වෙනස් වුවහොත් එම රටවල් දෙක අතර වෙළඳශේෂයෙහි අසමතුලිතතාවක් ඇති නොවේ (ආරම්භයේදී එවැනි අසමතුලිතතාවක් නොපැවතියානම්).

ලංකාවේ උද්ධමනය සාමාන්‍යයෙන් ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩිය. ඒ නිසා ලංකාවේ අපනයන භාණ්ඩ වල තරඟකාරිත්වය පවතින මට්ටමේමවත් පවත්වාගත හැක්කේ මේ උද්ධමන වෙනසට අනුකූලව රුපියල අවප්‍රමාණය වන්නට ඉඩ හැරීමෙනි. කෙසේවුවද, ශ්‍රී ලංකා රුපියල පාකර හැරි අවස්ථාවේ සිට මේ දක්වා එය ඒ ආකාරයෙන්ම සිදුවී නැත.


පහත වගුවේ පෙන්වා ඇති පරිදි, අඩු වශයෙන් 2001 පැවති ක්‍රය ශක්ති සාම්‍ය මට්ටම පවත්වා ගැනීමටනම් 2015 අවසානයේදී ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 213.59ක් වුවත් සැබෑ විණිමය අනුපාතිකය වූයේ රුපියල් 144.06කි. මේ අනුව, 2001 මට්ටමට යන්නටත් රුපියල තවත් 48.2%කින් අවප්‍රමාණය  විය යුතුය.



වෙනත් අයුරකින් කියවනවානම් 2001 අවසානයට සාපේක්ෂව, 2014 අවසානයේදී ආනයනික භාණ්ඩ ලංකාව තුලදී 48.2%කින් මිල අඩු වී ඇති අතර ලංකාවේ අපනයන 48.2%කින් තවමත් මිල වැඩිය. මේ වෙනස 2004දී පැවතියේ 4% මට්ටමේය. එය 2005 වන විට 14% දක්වාත්, 2008 වන විට 42% දක්වාත්, 2010 වන විට 62% දක්වාත් වැඩි විය. 2014 අවසානයේදීත් මේ වෙනස 61% මට්ටමේ පැවතියේය.

මෙවැනි තත්ත්වයක් පවතින විට රටේ ආනයන විශාල ලෙස වැඩිවීමත් අපනයන අඩුවීමත් සිදුවිය යුතුය. එය එසේ සිදුවී ඇති බව සංඛ්‍යාලේඛණ පිරික්සන විට පැහැදිලිව පෙනේ. 2001 වසරේදීද රටේ ආනයන හා අපනයන අතර සැලකියයුතු වෙනසක් තිබුණේය. මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 4.82ක් වෙද්දී මුළු ආනයන වියදම ඩොලර් බිලියන 5.97ක් විය. මේ අනුව, වෙළඳ හිඟය අපනයන ආදායමෙන් 23.9%ක් විය. 2011 වන විට මේ පරතරය 92.0% දක්වා වර්ධනය විය. එම වසරේදී ඩොලර් බිලියන 20.3 දක්වා ආනයන පිරිවැය ඉහළ යද්දී අපනයන ආදායම වූයේ ඩොලර් බිලියන 10.6ක් පමණි. පසුගිය 2015 වසර තුළදීද අපනයන ආදායම වූ ඩොලර් බිලියන 10.5ට වඩා 80.3%ක් වැඩියෙන් ඩොලර් බිලියන 18.9ක් අපනයන වෙනුවෙන් වැය කර තිබේ.


ආනයන ආදායම ඉක්මවමින් අපනයන පිරිවැය මෙසේ ඉහළ යන විට රටකට විදේශ විණිමය හිඟයකට මුහුණදීමට සිදුවන බව ඉතා පැහැදිලි කරුණකි. එය යම් තරමකින් වැලකී ඇත්තේ විදෙස් ශ්‍රමිකයින් විසින් එවන ප්‍රේෂණ නිසාය. එහෙත්, වෙළඳහිඟය සම්පූර්ණයෙන් පියවා ගැනීමට මේ ප්‍රේෂණ ප්‍රමාණවත් නැත. ප්‍රමාණවත් තරමින් ප්‍රාග්ධන ගලා ඒමක්ද සිදුනොවන විට සිදුවන්නේ පාත්තරය ගෙන ලෝ වටා පිණ්ඩපාතේ යාමටය. එහෙත්, බොහෝ විට විදෙස් විණිමය සොයාගත හැක්කේ ණය මිස ආධාර ලෙස නොවේ. ඒවා ඉන්පසු පොලියද සමඟ ගෙවීමට තවත් විදෙස් විණිමය අවශ්‍ය වේ. රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමට ඉඩ හැරීම මේ චක්‍රයෙන් ගැලවීම සඳහා ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවුවද අනිවාර්ය අවශ්‍යතාවයකි.

ඉන්දියාව සමඟ පෙර අත්සන් කළ ගිවිසුම් වලින් ලැබුණු වාසිය කුමක්දැයි ඇතැම් අය විමසති. එයට පිළිතුරක්ද මෙහි තිබේ. 2001 වසරට සාපේක්ෂව 2010-2014 කාලයේදී ආනයනික භාණ්ඩ 60%කින් පමණ මිල අඩු විය. ඒ අනුව, 2001දී ලංකාවේ අල කිලෝවක් ඉන්දියානු අල කිලෝවක මිලට සමානවීනම් 2010 වන විට දේශීය අල කිලෝවක මිල 60%කින් මිල ඉහළ ගොස් ඇත. ඒ දේශීය ගොවියාගේ අකාර්යක්ෂමතාවයක් හේතුවෙන් නොවේ. රටේ විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසාය. ඉන්දු-ලංකා වෙළඳාමෙන් ඉන්දියාවට වැඩි වාසියක් අත්කරගත හැකි වීමට මෙයද ප්‍රධාන හේතුවකි.

මේ අයුරින්ම, තේ, රබර් ආදියට ලැබෙන මිලද 60%කින් අඩු වී ඇත. විණිමය අනුපාතිකය ක්‍රය ශක්ති සාම්යය අනුව 2001 මට්ටමේ පැවතියානම් තේ, රබර් මෙන්ම ඇඟලුම් අපනයනකරුවන් රුපියල් වලින් 60%ක් ඉහළ ආදායමක් ලබන නිසා එම අංශ වල ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයද වඩා යහපත් විය හැකිව තිබුණි. එමෙන්ම, මැද පෙරදිග ශ්‍රමිකයින් එවන මුදල් වලටද 60%ක් වැඩි රුපියල් වටිනාකමක් ලැබිය හැකිව තිබුණි.

විණිමය අනුපාතිකය අඩුවීමෙන් වාසි සැලසුනේ කාටද? ඉන්ධන හා වාහන මිලගණන් 'සමතුලිත' මිලට වඩා 60%ක් අඩුවිය. එහෙත්, බදු නිසා මේ වාසිය ලැබුණේ රජයට මිස පාරිභෝගිකයින්ට නොවේ. ආනයනික ආහාර ද්‍රවය හා අදාලවනම් රජයට ලැබුණු බදු ආදායමට අමතරව පාරිභෝගිකයින්ටද වාසියක් ලැබෙන්නට ඇත.

රුපියල වැටීම බොහෝ දෙනා දකින්නේ විශාල ප්‍රශ්නයක් ලෙසය. රුපියල අවප්‍රමාණය වීම පසුපස ඇති, රාජ්‍ය අයවැය හිඟය මූලික වූ, දීර්ඝකාලීන ආකෘතිමය ප්‍රශ්න කණස්සල්ලට කරුණක් වුවත් තවමත් සිදුවන්නේ විණිමය අනුපාතිකයේ අත්‍යාවශ්‍ය නිවැරදිවීමකි.


(Image: bizenglish.adaderana.lk)

Saturday, March 5, 2016

ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...





පළමු කොටස 

දෙවන කොටස  


පසුගිය ලිපි දෙකෙන් විස්තර කළ පරිදි රටවල් දෙකක් අතර නිදහස් වෙළඳාමකින් දෙරටටම වාසි සැලසේ. එහි පදනම තුලනාත්මක වාසියයි. කිසියම් රටකට කිසිදු භාණ්ඩයක් සම්බන්ධව පරිපූර්ණ වාසියක් නැත්තේ වුවද තුලනාත්මක වාසි අනිවාර්යයෙන්ම තිබේ.

අපි දැන් අපේ පළමු ආකෘතියට ආපසු යමු. එම ආකෘතිය අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල (අල වලට සාපේක්ෂව) මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

මේ අනුව, මාළු කිලෝඑක අල කිලෝ 0.333කට වැඩි හා කිලෝ 3කට අඩු ඕනෑම පදනමකින් රටවල් අතර සාර්ථක වෙළඳාමක් සිදුවිය හැකිය. කෙසේවුවද, විවිධ බාධාවන් නිසා මෙය මේ අයුරින්ම සිදු නොවීමට ඉඩ තිබේ. මේ ඇතැම් බාධා ස්වභාවික බාධාවන්ය. තවත් ඒවා කෘතීම බාධාවන්ය.

මේ අතරින් පළමුවැන්න ප්‍රවාහන වියදමයි. මෙය පැහැදිලි කිරීමට පළමුව මම මුදල් ඒකක දෙකක්ද හඳුන්වා දෙමි. අල්ලංකාවේ මුදල් අලර් වන අතර ගලවංකාවේ මුදල් ගලර් නම් වේ. අල්ලංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම අලර් එකකි. ගලවංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම ගලර් එකකි. නාමික විනිමය අනුපාතිකය අලර් එකකට ගලර් එකකි. 

එක් එක් රටේ මිල ගණන් මෙසේය.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.

ප්‍රවාහන වියදම් නොමැතිනම් අල්ලංකාවෙන් ආනයනය කරන මාළු වල මිල ගලවංකාවේදී ගලර් 0.333ක් වනු ඇත. එමෙන්ම, ගලවංකාවෙන් ආනයනය කරන අල වල මිල අල්ලංකාවේදී අලර් 0.333ක් වනු ඇත.

රටකින් තවත් රටකට භාණ්ඩ ප්‍රවාහනයේදී වියදමක් දැරීමට සිදුවේ. අපනයනය කරන භාණ්ඩයක් වෙනත් රටක විකුණන විට මේ ප්‍රවාහන වියදමද ආවරණය කර ගැනීමට සිදුවේ. ඉහත උදාහරණදී අල හෝ මාළු කිලෝවක් අනිත් රටට ප්‍රවාහනය කිරීමට යන වියදම අලර් (හෝ ගලර්) 0.667කට වඩා වැඩිනම් දෙරට අතර වෙළඳාමක් සිදු නොවේ. ප්‍රවාහන වියදම් ඊට වඩා අඩුනම් වෙළඳාම සිදුවේ.

එමෙන්ම, මේ භාණ්ඩ කල් තබා ගත හැකි, නරක් නොවන භාණ්ඩද විය යුතුය. ප්‍රවාහනය කිරීමට ගතවන කාලය තුළ මාළු නරක් වෙනවානම් එවැනි භාණ්ඩයක් අපනයනය කිරීම අපහසු කරුණකි. යම් හෙයකින් අපනයනය කරන්නේනම් ප්‍රවාහනය කරන කාලය තුළ මාළු නරක් වීමේ අවදානම නිසා වන පාඩුවද විකිණුම් මිලට එකතු කිරීමට හැකි වන තරමේ මිල වෙනසක් පැවතිය යුතුය.

මෙවැනි ස්වභාවික බාධා නිසා යම් රටක නිපදවන සෑම භාණ්ඩයක්ම අපයනය කිරීමක් සිදු නොවේ.  කෙසේවුවද, තාක්ෂණයේ දියුණුව සමඟ ප්‍රවාහනයට ගතවන කාලය අඩුවීම හා ප්‍රවාහන වියදම් අඩුවීමත්, කල්තබා ගතහැකි ක්‍රම සහ ඇසුරුම් ක්‍රම දියුණු වීමත් සිදුවන විට මේ ස්වභාවික බාධා වල බලපෑම අඩුවේ.

මෙවැනි ස්වභාවික බාධක වලට අමතරව ජාත්‍යන්තර වෙළඳාමට කෘතීම බාධකද තිබේ. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත බාධකය ආනයන හා අපනයන බදුය.

ආනයන හා අපනයන බදු පැනවීම මඟින් යම් රටක රජයකට ආදායමක් ලැබිය හැකිය. කෙසේවුවද, එමඟින් සිදුවන්නේ සමස්තයක් ලෙස වැඩි දෙනෙකුට යහපතක් සැලසෙන ගනුදෙනුවක් කෘතීම ලෙස වලක්වනු ලැබීමයි. උදාහරණයක් ලෙස පහත තත්ත්වය සලකමු.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.
නාමික විනිමය අනුපාතිකය: අලර් එකකට ගලර් එකකි. 
ප්‍රවාහන, ඇසුරුම් හා කල්තබාගැනීම සඳහා වන වියදම් සහ ව්‍යවසායකයාගේ ශ්‍රමයේ වටිනාකම: මාළු කිලෝඑකක් සඳහා අලර් 0.167කි. අල කිලෝඑකක් සඳහා ගලර් 0.067කි. 

දැන් අල්ලංකාවේ මාළු නිෂ්පාදකයෙකුට ගලවංකාවට මාළු ප්‍රවාහනය කර එහි පාරිභෝගිකයෙකුට ගලර් 0.500 කට මාළු විකිණිය හැකිය. ඉන්පසු, ඒ මුදලින් අල කිලෝ 1.5ක් මිල දී ගත හැකිය. ඒ අල අල්ලංකාවට ප්‍රවාහනය කර කිලෝව අලර් 0.400 බැගින් විකිණිය හැකිය.

මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතන අල්ලංකාවේ රජයට අල සඳහා ආනයන බද්දක් පැනවිය හැකිය. මෙය අල කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවේ අල කිලෝවක් විකිණෙන්නේ අලර් 0.600කටය. ගලවංකාවේ නිෂ්පාදකයින්ට කිසිදු පාඩුවක් වී නැත. එහෙත්, අල්ලංකාවේ රජය ආදායමක් ලබයි. කලින් දේශීය අල කිලෝ එක අලර් 1.000කට මිලදී ගත් ලංකාවේ පාරිභෝගිකයින්ටද ආනයනික අල කිලෝව අලර් 0.600කට මිල දී ගැනීමට හැකි වීම වාසියකි. කෙසේවුවද, මෙහිදී අල්ලංකාවේ රජය විසින් නැති කර ඇත්තේ තම රටේ පාරිභෝගිකයින්ට ලබා ගත හැකිව තිබුණු වාසියකින් කොටසකි. එසේ එකතු කර ගන්නා බදුමුදල් නැවත රටේ යහපත වෙනුවෙන්ම යොදවනවානම් මේ බද්දට අල්ලංකාවේ ජනතාව විරුද්ධ නොවන්නට පුළුවන.

එමෙන්ම අල්ලංකාවේ රජයට මාළු සඳහා අපනයන බද්දක් පැනවීමටද පුළුවන. මෙය මාළු කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවෙන් අපනයනය කරන මාළු ගලවංකාවේ විකිණෙන්නේ ගලර් 0.700 කටය. මේ මිල ගලවංකාවේ දේශීය මාළු මිල වූ ගලර් 1.000ට වඩා තවදුරටත් අඩු නිසා මේ මිලට එහි මාළු විකිණීම ප්‍රශ්නයක් නොවේ. දැන් අල්ලංකාවේ රජයට අපනයන බදු වලින් ආදායමක් ලැබෙන නමුත් අල්ලංකාවේ කිසිවෙකුට එයින් අවාසියක් සිදුවී නැත. අවාසිය ඇත්තේ ගලවංකාවේ පාරිභෝගිකයින්ටය. වැඩේ නරක නැත!

ප්‍රශ්නය තියෙන්නේ  අල්ලංකාවේ රජය මෙසේ බදු පනවන විට ගලවංකාවේ රජයද එකට එක කිරීමයි. අන්තිමේදී දෙරටේම මාළු හා අල කිලෝවක මිල අලර් (හෝ ගලර්) 1.000ක් වන තුරු, එනම් තවදුරටත් බදු ඉහළ නැංවීමෙන් ලාභයක් නැති වන තුරු, රජයයන් දෙකම බදු ඉහළ නංවනු ඇත. අන්තිමට දෙරටින් එක් රටකටවත් විශේෂ වාසියක් නැත. 

ඉහත ආකාරයෙන් දෙරටක් 'තරඟයට' ආනයන අපනයන බාධක දැමීමෙන් දෙරටේම පාරිභෝගිකයින් ගෙවන මිල අන්තිමේදී වැඩි වේ. මේ වැඩි මිලේ වාසිය යන්නේ ඒ රටවල රජයන්ටය. තමන්ගේ රටේ වැසියන්ට හැකි තරම් අඩුවෙන් අවාසියක් වන පරිදි ආනයන අපනයන බදු පැනවීමට දෙරටම උත්සාහ කළත් අවසානයේ සිදුවන්නේ එක් රටකටවත් එවැනි විශේෂ වාසියක් නැති වී අකාර්යක්ෂමතාවයන් වැඩිවීම පමණි. එහෙත්, මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එය වෙනස් කිරීම පහසු නැත. එක් රටක් ඒක පාර්ශ්වීය ලෙස බදු ඉවත් කළ විට ඒ වාසිය අනිත් රටට ලබා ගැනීමට පුළුවන. එය සිදු නොවන පරිදි, දෙරටම එක් වර මෙවැනි බාධක ඉවත් කිරීම ප්‍රායෝගිකව සිදු වන්නේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟිනි.

Monday, January 11, 2016

සියවස් එකහමාරක් තුළ බඩු මිල ඉහළ ගිය හැටි


ලංකාවේ පළමු ලියාපදිංචි පුවත්පත වූ ලක්මිණිපහණ පළමු කලාපය එළිදැක්වී ඇත්තේ 1862 සැප්තැම්බර් මස 11 වන දිනය. මා මේ පුවත්පත කියවා නැත. කෙසේවුවද, මෑතකදී පළවූ දිනමිණ විශේෂාංගයක මේ පළමු ලක්මිණිපහණ කලාපයේ අන්තර්ගතය පිලිබඳ විස්තරයක් අඩංගුය. අදාල ලිපියේ ඇති තොරතුරු අතරින් මගේ විශේෂ අවධානයට ලක්වූයේ ඒ වන විට පැවති ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පිලිබඳ විස්තරයයි.

කඩල පළමුවෙනි තරමේ ඒවා සිලින් 8, දෙවෙනි තරමේ ඒවා බුසල සිලින් 7 පැන්ස 6.

කඩල බුසලක් රාත්තල් 60ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 27.25 පමණය. ඒ අනුව, කඩල කිලෝවක මිල සත 14 1/4-14 3/4 අතර වී ඇත.

සුදුහාල් පළමුවෙනි ත‍රමේ ඒවා සිලින් 6 පනම් 4, දෙවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6.

කාරහාල් පළමුවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 3, දෙවෙනි තරමේ ඒවා සිලින් 6, පැන්ස 2 1/2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6.

මෙහි ඇත්තේ හාල් බුසලක මිල විය යුතුය. ඒ අනුව සුදු හාල් කිලෝවක් සත 10 1/2 - 12 අතරත් කාර හාල් කිලෝවක් සත 11 3/4 - 12 අතරත් පැවතී ඇත.

තිරිඟු පිටි රාත්තල තුට්ටු 10 හෙවත් සත 15කි. පාන් ගෙඩිය තුට්ටු 6 හෙවත් සත 9කි. 

පොල් පළමුවෙනි තරමේ ඒවා 100 සිලින් 8 හා දෙවෙනි තරමේ ඒවා සිලින් 7 වේ.ඒ අනුව, පොල් ගෙඩියක මිල සත 3 1/2 - 4 අතරය.

පොල්තෙල් සේරුව පැන්ස 10 1/2කි. පොල්තෙල් සේරුවක මිලිලීටර 1024ක් පමණ ඇත. පැන්ස 10 1/2 යනු පනම් 7ක් හෙවත් සත 43 3/4කි. ඒ අනුව, පොල්තෙල් මිලිලීටර 750ක් සත 32කි.

ලුණු බුසල සිලින් 4කි. ලුණු බුසලක් රාත්තල් 50ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 22.7 පමණය. ඒ අනුව, ලුණු කිලෝවක මිල සත 8 3/4ක් පමණ වී ඇත.

මේ අයුරින් වියලි මිරිස්, සුදුළූනු, රටළූනු, මෙරටළූනු, කහ, කොත්තමල්ලි සහ අර්තාපල් වැනි තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයකම ඒ කාලයේ මිල මේ පුවත්පතේ සටහන් වී තිබේ.

මේ ආහාර ද්‍රව්‍ය සමහරක පසුගිය දෙසැම්බර් අවසානයේ සාමාන්‍ය වෙළඳපොළ මිල ගණන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක. පහත වගුවේ ඇත්තේ 1862 සැප්තැම්බර සහ 2015 දෙසැම්බර් අතර කාලය තුළ මේ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් වෙනස් වී ඇති ආකාරයයි. 




මේ ආහාර ද්‍රව්‍ය වල මිලගණන් අදාළ කාලය තුළ සාමාන්‍ය වශයෙන් 1066 ගුණයකින් වැඩි වී තිබේ. එහෙත්, මෙය එක් අයුරින්ම සිදුවී නැත. සමස්තයක් වශයෙන් ගත් කළ ආනයනික ආහාර ද්‍රව්‍ය වල මිලගණන් වැඩිවී ඇත්තේ රට තුල නිපදවන ආහාර ද්‍රව්‍ය වල මිලගණන් වැඩි වී ඇති අනුපාතයට වඩා අඩුවෙනි.

සියවස් එකහමාරකට පෙර අර්තාපල් හා රටළූණු මුළුමනින්ම පාහේ ආනයනය කරන්නට ඇතැයි විශ්වාස කළ හැක. ඒ නිසා වත්මන් මිල ගණන් සසඳා ඇත්තේ එම ද්‍රව්‍ය වල ආනයනික ප්‍රහේද වල මිලගණන් සමඟය. සංඛ්‍යාලේඛණ අනුව දේශීය අර්තාපල් හා රටළූණු වල මිල ආනයනික මිලට වඩා සැලකිය යුතු ලෙස වැඩිය.

සමස්තයක් වශයෙන් දහස් ගුණයකින් පමණ මිල ඉහළ යාමෙන් පෙන්නුම් කරන්නේ රුපියලේ අගය ආහාර ද්‍රවය වලට සාපේක්ෂව පිරිහී ඇති ආකාරයයි. ඒ අතර ඇති වෙනස්කම් මඟින් පෙන්වන්නේ සැපයුම් සාධක ඇතුළු වෙනත් සාධක වල බලපෑමයි.

දේශීය නිෂ්පාදන වල මිලගණන් වලට සාපේක්ෂව ආනයනික ද්‍රව්‍ය වල මිල අඩුවෙන් වැඩිවීමෙන් පෙන්නුම් කරන්නේ රට තුල ආහාර නිෂ්පාදන තාක්ෂණයේ සිදුවූ දියුණුව රටින් පිටත සිදුවී ඇති දියුණුවට වඩා අඩු බවයි. ඒ නිසා දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය වඩා විශාලය. එමෙන්ම, තෙල් මිල විශාල ලෙස වැඩිවීම මධ්‍යයේ වුවද ප්‍රවාහන හා ඇසිරුම් තාක්ෂණයේ දියුණුව නිසා රටින් පිට නිපදවන භාණ්ඩ ආනයනය කිරීම සාපේක්ෂව අඩු පිරිවැය කාර්යයක් වීමද මෙයට යම් තරමකින් ඉවහල් වූවා විය හැකිය.

ආදේශක ලෙස සැලකිය හැකි රතුළූණු සහ රටළූණු වල මිල වෙනස්වීම් කැපී පෙනේ. 1862දී ආනයනික රටළූණු විකිණී ඇත්තේ දේශීය රතුළූණු මෙන් හත් ගුණයක මිලකටය. එහෙත්, මේ වන විට රතුළූණු මිල රටළූණු මිලට වඩා වැඩිය.

එමෙන්ම, තිරිඟු පිටි වල මිල වැඩි වී ඇත්තේ අඩුවෙන් වුවත්, හාල් මිල සහ පාන් මිල වැඩි වී ඇත්තේ ආසන්න වශයෙන් එකම අනුපාතයකිනි. මෙයින් පෙන්වන්නේද දේශීය නිෂ්පාදන පිරිවැය සාපේක්ෂව වැඩි බවයි.

කාලයත් සමඟ රට තුළ ආනයනික ආහාර ද්‍රව්‍ය වඩා ආකර්ෂනීය වීමත්, අපේ කෘෂිකාර්මික අපනයන විදේශිකයින්ට අඩුවෙන් ආකර්ෂණීය වීමත් මේ මිලගණන් වෙනස් වී ඇති ආකාරය මඟින් පැහැදිලි කෙරේ. පුළුල් වන සෘණ වෙළඳ ශේෂය සඳහා මේ වෙනසද දායක වන්නට ඇත.

(Image: www.elakiri.com)