Showing posts with label ආර්ථික විද්‍යාඥයින්. Show all posts
Showing posts with label ආර්ථික විද්‍යාඥයින්. Show all posts

Tuesday, March 20, 2018

යී ගැන්ග් - චීන මහ බැංකුවේ නව අධිපති


චීන රජය විසින් චීනයේ මහ බැංකුව වන චීන මහජන බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය යී ගැන්ග්ව නම් කර තිබේ. යී ගැන්ග්ගේ එක් විශේෂත්වයක් වන්නේ ඔහු ඇමරිකාවේ අධ්‍යපනය ලැබූ, වාසය කළ හා කලක් සේවය සේවය කළ අයෙකු වීමයි. මෙයින් පිළිබිඹු වන්නේ චීන ආර්ථිකයේ අනාගතය පිළිබඳව චීන රජයේ දැක්මයි.

මිනසෝටාහි හැම්ලින් සරසවියෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධියක් ලැබූ යී ඉන් අනතුරුව අර්බානා-චැම්පේන්හි ඉලිනෝයි සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්ද ලබා ගැනීමෙන් පසු ඉන්දියානාපොලිස්හි ඉන්දියානා-පර්ඩියු සරසවියේ (IUPUI) ආර්ථික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙක් හා ආශ්‍රිත මහාචාර්යවරයෙක් ලෙස වසර අටක් කටයුතු කළේය. මේ කාලයේදී ඔහු පර්යේෂණ පත්‍රිකා ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

1994 වසරේදී පීකිං සරසවියේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය ඇරැඹු යී තෙවසරකට පසුව චීන මහජන බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස සේවයට බැඳී පසුව නියෝජ්‍ය අධිපති ධුරය දක්වා උසස්වීම් ලැබීය. 2007 දෙසැම්බරයේ සිට ඔහු චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කළේය.

චීන මහජන බැංකුව වෙනත් බොහෝ සංවර්ධිත රටවල මහ බැංකු මෙන් රජයෙන් ස්වාධීන ආයතනයක් නොවේ. ඒ නිසා ඔහුට නිල වශයෙන්ම ජනාධිපති ෂී ජින්පින්ට වාර්තා කරන්නට සිදුවනු ඇත.

යී ගැන්ග්ට අපේ සුබ පැතුම්!


Sunday, October 29, 2017

ආර්ථික විද්‍යාව වඩා මානුෂික කළ රිචඩ් තේලර්


මෙයට දශක දෙකකට පමණ පෙර ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනු ප්‍රමුඛ අපේක්ෂිකාවගේ උද්‍යෝග පාඨය වූයේ ධනවාදයට මානුෂික මුහුණුවරක් දීමයි. මෙමඟින් ඈ විසින් ජනගත කළ අදහස වූයේ ධනවාදය මානුෂික නොවන බවයි.

ධනවාදය අමුතුවෙන් මානුෂික කරන්නට අවශ්‍ය නැත. ධනවාදයේ පදනමම මානුෂික වීමයි. එය "වඩා හොඳ" සමාජයක් තැනීමේ අරමුණින් මිනිස් ස්වභාවය කෘතීම ලෙස වෙනස් කරන්නට උත්සාහ කරන අමානුෂික ක්‍රමයක් නොවේ. මිනිස් ස්වභාවය හඳුනාගනිමින් එයට ඉඩදෙන ක්‍රමයකි.

ඉහත අපේක්ෂිකාවට එම උද්‍යෝග පාඨය ඉදිරිපත් කරන්නට වුනු පසුබිම තේරුම් ගැනීමට අපහසු නැත. නිදහසින් පසු මාරුවෙන් මාරුවට ලංකාව පාලනය කළ සමාජවාදී ආණ්ඩු විසින් ප්‍රචලිත කර තිබුණේත්, තවමත් ප්‍රචලිත කරන්නේත් එම අදහසයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හා කලා කෘති ආදිය හරහා ජනගත කරන ප්‍රමුඛ මතයද එයයි.

ලංකාවේ සමාජවාදී ආණ්ඩු වලට ප්‍රතිසංස්කරණ නොකර තව දුරටත් ඉදිරියට යන්නට නොහැකි මට්ටමට ආර්ථිකය වරින් වර බිඳ වැටෙන විට ඇතැම් ධනවාදී ප්‍රතිසංස්කරණ ගෙන ආවත් ආර්ථිකයේ රාජ්‍ය මූලික මධ්‍යගත සැලසුම් ස්වභාවය මේ දක්වාත් එසේම පවතී. ජේ ආර් ජයවර්ධන විසින් නොකරම බැරි නිසා ආර්ථිකය යම් තරමකින් විවෘත කළත් එහි රාජ්‍ය මූලික ස්වභාවය හැත්තෑ හතේදී තබා අද දක්වාත් වෙනස් වී නැත.

ජේ ආර් විසින් හඳුන්වාදුන් සීමිත ප්‍රතිසංස්කරණ හේතුවෙන් වුවද ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත්තේය. මේ සීමිත ප්‍රතිසංස්කරණ වලට පවා මුලදී විරෝධය දැක්වූ ශ්‍රීලනිපයට දශක දෙකක් පමණ විපක්ෂයේ සිටීමෙන් පසු තව දුරටත් සිය පක්ෂයේ යල් පැනගිය ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යා නොහැකි බව අවබෝධ වී තිබුණේය.

ඉහත සඳහන් කළ ජනාධිපති අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා කුමාරණතුංග විසින් අදාළ උද්‍යෝග පාඨය ඉදිරිපත් කරන්නට ඇත්තේ තම පක්ෂය විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කළ ප්‍රතිසංස්කරණ ආපසු නොහරවන බවට පොරොන්දුවක් නොදී ඇයට ඉදිරි ගමනක් ගැන සිතිය නොහැකිව තිබුණු නිසා මිස ධනවාදය අමානුෂිකයැයි ඇය සිතූ නිසා නොවිය හැකිය.

ධනවාදය තුළ පිළිගැනෙන මූලික මිනිස් ස්වභාවයක් වනුයේ මිනිසුන් ස්ව අභිමතාර්ථය පිණිස කටයුතු කරන බවයි. එසේ කටයුතු නොකරන සත්ත්ව වර්ගයක් පරිණාමීය ක්‍රියාවලිය තුළදී වඳවී නොයා ඉතිරි විය නොහැකිය. මෙයින් අදහස් වන්නේ මිනිසුන්ට සාමූහිකව කටයුතු කරන්නට ස්වභාවික පෙළඹීමක් නැති බව හෝ අනෙක් මිනිසුන්, ගහවැල, සතුන් ඇතුළු ස්වභාව ධර්මය ගැන සැලකිලිමත් වන්නට පෙළඹීමක් නැති බව නොවේ. මිනිස්සු ඒ සියලු දේ කරති. එහෙත්, ඒ හැමවිටම වාගේ සෘජුව හෝ වක්‍රව මුල් වන්නේ ස්ව අභිමතාර්ථයයි.

ආර්ථික විද්‍යාවේදී පිළිගැනෙන සරල මූලධර්මයක් වන්නේ මිනිසුන් තාර්කික තීරණ ගන්නා බවයි. තාර්කික තීරණයක් යනු තමන්ගේ යහපත පිණිස හේතු වන තීරණයි.

කෙසේ වුවද, අප කවුරුත් දන්නා පරිදි ඕනෑම කෙනෙක් තාර්කික නොවන "මෝඩ" තීරණ ගන්නා අවස්ථා තිබේ. එමෙන්ම, බොහෝ විට අතාර්කික තීරණම ගන්නා සුළු පිරිසක්ද අප අතර සිටිති. එසේනම්, මිනිසුන් තාර්කික තීරණ ගන්නේය යන උපකල්පනය නිවැරදිද?

ඉහත උපකල්පනය මත පදනම්ව කරන විශේලේෂණ නිවැරදි වීම සඳහා සෑම පුද්ගලයෙකුම සෑම අවස්ථාවකදීම තාර්කික තීරණ ගැනීම අත්‍යවශ්‍ය නැත. පුද්ගලයින් බහුතරයක් බොහෝ අවස්ථා වල තාර්කික තීරණ ගැනීම ප්‍රමාණවත්ය. පුද්ගලයින් බහුතරයක් බොහෝ අවස්ථා වල තාර්කික තීරණ ගැනීම මානුෂික ස්වභාවයයි.

කෙසේ වුවත්, ඇතැම් තත්ත්වයන් යටතේ බොහෝ මිනිසුන් අතාර්කික ලෙස හැසිරෙති. මේ බව ආර්ථික විද්‍යාඥයින් මුල සිටම දැන සිටියත් තාර්කික තීරණ මෙන් නොව අතාර්කික තීරණ පුරෝකථනය කිරීම අසීරුය. ඒ නිසා පුද්ගලයින්ගේ අතාර්කික තීරණ ආකෘතිගත කිරීම අසීරුය.

මෙවර ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබූ චිකාගෝ සරසවියේ මහාචාර්ය රිචඩ් තේලර් මේ අසීරු කටයුත්තට අත ගැසූ අයෙකි. නොබෙල් ත්‍යාගය කියා කීවත් වෙනත් විෂයයන් සඳහා ලබා දෙන නොබෙල් ත්‍යාගයන්ට සමාන්තරව ආර්ථික විද්‍යාව සඳහා ලබා දෙන ත්‍යාගය පිරිනමන්නේ ස්වීඩනයේ මහ බැංකුවයි. රිචඩ් තේලර් විසින් මෙසේ ලැබූ ත්‍යාග මුදල ස්වීඩිෂ් ක්‍රෝනා මිලියන නවයක්, එනම් රුපියල් මිලියන 160ක පමණ මුදලකි.

රිචඩ් තේලර් විසින් පෙන්වා දුන්නේ මිනිසුන්ගේ ඇතැම් අතාර්කික තීරණ වුවද පුරෝකථනය කිරීමේ හැකියාවක් ඇති බවයි. මේ සඳහා ඔහු මනෝ විද්‍යාවේ මූලධර්ම ආර්ථික විද්‍යාව සමඟ බද්ධ කළේය. චර්යාත්මක ආර්ථික විද්‍යාව බිහිවන්නේ මිනිසුන්ගේ මෙවැනි අතාර්කික ලෙස පෙනෙන හැසිරීම් විග්‍රහ කරමිනි.

චර්යාත්මක ආර්ථික විද්‍යාවේදී හඳුනා ගැනෙන, මිනිසුන් තාර්කික නොවන ලෙස හැසිරීමට හේතුවන කරුණු කිහිපයක් පහත දැක්වේ.

සීමිත විශ්ලේෂණ හැකියාව: මිනිසුන් බොහෝ තීරණ ගන්නේ ලොකුවට විශ්ලේෂණ කරමින් නොවේ. හදිසියට තීරණ ගැනීමේදී සියලුම කරුණු සලකා බලන්නට වෙලාවක් නැත. එමෙන්ම, මිනිසුන් යනු පරිගණක නොවේ. ඒ නිසා බොහෝ මිනිසුන්ට මනසින් ලොකු ගණනය කිරීම් කළ නොහැකිය. මේ නිසා, තමන්ට හොඳම දෙය කියා සිතා මිනිසුන් විසින් ඇතැම් විට තෝරාගන්නේ හොඳම දෙය නොවේ. ලොතරැයි වලට ඇති ඉල්ලුම උදාහරණයකි.

සාධාරණත්වය පිළිබඳ අදහස: මිනිසුන් මූලික වශයෙන් ස්ව අභිමතාර්ථය පිණිස කටයුතු කළත් ඔවුන්ට සාධාරණත්වය පිළිබඳ හැඟීමක්ද තිබේ. ආර්ථික විද්‍යා විද්‍යාගාර පර්යේෂණ වලින් පෙනෙන පරිදි මිනිසුන්ට ඉඩ ලැබුණු පමණින් ඔවුන් දොඩම් ගොඩම බදා ගන්නේ නැත. තමන්ට යම් අවාසියක් වුවත් වෙනත් අයගේ යහපත සලකමින් එය විඳ දරා ගන්නට බොහෝ මිනිසුන් කැමතිය. යාචකයෙකුට කීයක් හෝ දෙන හැම දෙනාම එසේ කරන්නේ ප්‍රදර්ශනාත්මකව හෝ පිං පිණිසම නොවේ.

ස්වයං පාලනය පිළිබඳ ගැටළු: තමන්ගේ ඇතැම් තීරණ තමන්ගේ අයහපතට හේතුවන බව දැන සිටියත් එවැනි තීරණ නොගෙන සිටීම ඇතැම් මිනිසුන්ට අපහසුය. සුරා පොදක් තොල ගන්නට හෝ පැණිරස කන්නට ඇති කැමැත්ත උදාහරණයි.

තරමක් පමා වී වුවත් රිචඩ් තේලර්ට අපේ සුබ පැතුම්!

Thursday, September 8, 2016

රේන්හාර්ඩ් සෙල්ටන්


1930 වසරේ ඔක්තෝබර් මස පස්වන දින, එවකට ජර්මනියට අයත් ප්‍රදේශයක් වූ බ්‍රෙස්ලෝහිදී යුදෙවුවෙකු වූ ඇඩොල්ෆ් සෙල්ටන්ට දාව ප්‍රොතෙස්තන්ත ආගම ඇදහූ කැතී ලූතර්ගේ කුසින් දරුවකු බිහි වේ. මේ දරුවා රේන්හාර්ඩ් ජස්ටස් රෙජිනෝල්ඩ් සෙල්ටන් (Reinhard Justus Reginald Selten) ලෙස නම් කෙරේ.

එවකට ඇඩොල්ෆ් සෙල්ටන් සුළු ව්‍යාපාරයක නිරතව සිටියේය. ඒ, පැරණි පොත් හා සඟරා ගොනු කියවන්නට කැමති අයට සතියක කාලයකට කුලියට දීමයි. වසර තුනක පාසැල් අධ්‍යාපනයක් පමණක් ලබා සිටි මේ යුදෙවුවා සිය තරුණ වියේදීම අන්ධ බව උරුම කරගෙන සිටි නමුත් සිය ව්‍යාපාරය සාර්ථක ලෙස කරගෙන යන්නට එය ඔහුට බාධාවක් වුනේ නැත.

කෙසේ වුවද, යුදෙවුවෙකු වූ ඇඩොල්ෆ් සෙල්ටන්ට හිට්ලර්ගේ ජර්මනියේදී මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්නට නොලැබේ. මාධ්‍ය සම්බන්ධ ව්‍යාපාර වල යෙදීම යුදෙවුවන්ට තහනම් කෙරෙන බැවින් ඔහුට සිය ව්‍යාපාරය විකුණා දමන්නට සිදුවේ.

ඇඩොල්ෆ් සෙල්ටන් උපතින් යුදෙවුවෙකු වුවද ඇත්තටම ඔහු කිසිදු ආගමක් නොඇදහූ පුද්ගලයෙකු විය. ඔහු සිය දරුවා වන රේන්හාර්ඩ්ව ඇති දැඩි කරන්නේද අනාගමික පසුබිමකය.

"ඒ මඟින් ඔහු අදහස් කළේ ලොකු වුනාම කැමති ආගමක් තෝරා ගැනීමට (හෝ නොගැනීමට) මට ඉඩ හරින්නයි. ඒත්, ඒ වන විට පැවති දේශපාලන වාතාවරණය අනුව අනාගමිකයෙකු ලෙස සිටීම අවදානම් වැඩක්. මේ නිසා ඔහු තීරණය කළා මාව නමට හෝ බෞතීස්ම කළ යුතුයි කියා."

මේ ඇඩොල්ෆ් සෙල්ටන්ගේ පුත් රේන්හාර්ඩ් සෙල්ටන් සිය ළමා කාලය ගෙවුණු හැටි විස්තර කරන ආකාරයයි.

ඇඩොල්ෆ් සෙල්ටන් ඔහුගේ 'වාසනාවට' 1942දී ස්වභාවික හේතුවකින් මිය යයි. එසේ නොවූවානම් ඔහු බොහෝ විට හිට්ලර්ගේ යුදෙවු සමූලඝාතනයේ (holocaust) ගොදුරක් විය විය හැකිව තිබුණි. 



ඉන්පසුව තමන් මුහුණදුන් අත්දැකීම් රේන්හාර්ඩ් සෙල්ටන් විසින් මෙසේ විස්තර කරයි.


"හිට්ලර්ගේ ඒකාධිපතිත්වය යටතේ බාග-යුදෙවු කොල්ලෙකු සේ ගත කළ ජීවිතය පහසු එකක් වුනේ නැහැ. වයස දාහතරේදී පාසැල් අධ්‍යාපනය අතරමඟ අවසන් කරන්නට සිදුවීමෙන් පසු වැඩිදුර ඉගෙනීම සඳහා කිසිදු ඉඩප්‍රස්තාවක් මට ලැබුණේ නැහැ. නාසි ජර්මනියේ මට කරන්න ඉඩකඩ තිබුණු එකම දෙය නුපුහුණු ශ්‍රමිකයෙකු ලෙස වැඩ කිරීම පමණයි."

"කොහොම වුනත් අපි මේ විදිහට ජීවත් වුනේ මාස හයක් පමණයි. මගේ මවත්, සොහොයුරනුත්, සොහොයුරියත්, මමත් යාන්තම් අන්තිම කෝච්චියෙන් ජර්මනියෙන් පැනගත්තා. එහෙම පැන නොගත් අයට ඉන්පසු රටෙන් පිටවෙන්න අවසරයක් ලැබුණේ නැහැ."

දේශපාලන සරණාගතයෙකු ලෙස බ්‍රෙස්ලෝවෙන් පිට වන රේන්හාර්ඩ් සෙල්ටන්ට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කිහිප වරක්ම පදිංචිය වෙනස් කරමින් තැනින් තැනට යන්නට සිදුවේ. 1946 දක්වා වසර හතරක් ගොවිපොළ සේවකයෙකු ලෙස වැඩ කරන රේන්හාර්ඩ් සෙල්ටන් 1947දී පාසැල් නැවත විවෘත කිරීමෙන් පසු සිය ඉගෙනුම නැවැත්වූ තැනින් යළිත් පටන්ගෙන 1951දී පාසැල් අධ්‍යාපනය නිම කරයි.

පාසැල් අධ්‍යාපනය නිම කරන රේන්හාර්ඩ් සෙල්ටන් ගණිත විෂයයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට තීරණය කරයි. එහෙත්, ආර්ථික විද්‍යාව හා මනෝ විද්‍යාව යන විෂයයන්
ද ඔහුගේ ඇත්තේ දැඩි කැමැත්තකි. මේ නිසා උපාධිය ලබා ගැනීමට අවශ්‍ය පාඨමාලා වලට අමතරව වෙනත් විෂයයන්ද ඔහු හදාරයි. මෙහි ආවස්ථික පිරිවැය වන්නේ රේන්හාර්ඩ් සෙල්ටන්ට උපාධිය ලබා ගැනීමට සාමාන්‍යයෙන් ගතවන කාලයට වඩා වැඩි කාලයක් ගත වීමයි.

අධ්‍යාපන ඉණිමඟේ ඉහළටම නඟින රේන්හාර්ඩ් සෙල්ටන් 1957දී ජොහෑන්-වුල්ෆ්ගැන්ග්-ගොතේ සරසවියෙන් (Johann-Wolfgang-Goethe-University) පශ්චාත් උපාධියක්ද, 1961 දී ෆ්‍රෑන්ක්ෆර්ට් සරසවියෙන් ආචාර්ය උපාධියක්ද ලබා ගනී. ඉන්පසුව, සරසවි කිහිපයකටම සම්බන්ධ වී ශාස්ත්‍රාලීය පර්යේෂණ වල නිරත වන රේන්හාර්ඩ් සෙල්ටන් අවසානයේ නවතින්නේ ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලයේය. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍ර වන්නේ ක්‍රීඩා න්‍යාය (Game Theory) හා පරීක්ෂණාත්මක ආර්ථික විද්‍යාවයි.

සමාජ විද්‍යාවක් ලෙස වර්ධනය වූ ආර්ථික විද්‍යාව රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව වැනි ශුද්ධ විද්‍යාවක් මෙන් විද්‍යාගාර වල කෙරෙන පරීක්ෂණ, නිරීක්ෂන හා නිගමන හරහා ඉදිරියට ගෙන යා හැකි විද්‍යාවක් බව දශක කිහිපයකට පෙර වැඩි දෙනෙකු විශ්වාස නොකරන්නට ඇත. එහෙත්, අද වන විට ලෝකයේ සරසවි බොහොමයක ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තු වල චර්යාත්මක ආර්ථික විද්‍යා (Behavioral Economics) මූලධර්ම තේරුම් ගැනීමට උදවු කරන ආර්ථික විද්‍යා පර්යේෂණාගාර (Experimental Laboratories) ප්‍රමුඛ අංගයක් බවට පත් වී ඇත.

බොහෝ ආර්ථික විද්‍යා ආකෘතීන්හිදී සිදු කෙරෙන උපකල්පනයක් වන්නේ මිනිසුන් තාර්කික තීරණ ගන්නා බවයි. එහෙත්, ඇතැම් මිනිසුන් බොහෝ විටත්, බොහෝ මිනිසුන් ඇතැම් විටත් අතාර්කික තීරණ ගනිති. පර්යේෂණාත්මක ආර්ථික විද්‍යාඥයන් විසින් මෙය නැවත නැවතත් නිරීක්ෂනය කර තහවුරු කර තිබේ. චර්යාත්මක ආර්ථික විද්‍යාඥයෝ ඒ සඳහා පාදක වන කරුණු ඉදිරිපත් කරමින් පවතින ආර්ථික විද්‍යා ආකෘති වඩා සවිබල ගන්වති.

චර්යාත්මක ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම ක්‍රීඩා න්‍යාය දියුණු කිරීමට, ලබාදුන් දායකත්වය වෙනුවෙන් රේන්හාර්ඩ් සෙල්ටන් 1994 වසරේදී ('බියුටිෆුල් මයින්ඩ්' චිත්‍රපට කතාවට මුල් වූ ජෝන් නෑෂ් සහ ජෝන් හාසානි සමඟ හවුලේ) ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයට හිමිකම් ලැබීය. මේ ජර්මානුවෙකු ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් පළමු අවස්ථාවයි.

දෙසතිකට පෙර පසුගිය අගෝස්තු 23 දින රේන්හාර්ඩ් සෙල්ටන් සිය දිවිසැරිය නිමා කළේය.


(Image: www.nobelprize.org)