Showing posts with label මුදල් ප්‍රතිපත්ති. Show all posts
Showing posts with label මුදල් ප්‍රතිපත්ති. Show all posts

Thursday, May 25, 2023

ලබන සතියේ මොනවා වෙයිද?


රටේ ආර්ථිකය හා අදාළ වැදගත් ප්‍රතිපත්ති තීරණ කිහිපයක්ම ලබන සතිය තුළ ගැනීමට යම් ඉඩක් තිබෙනවා. හරියටම කියනවානම් ආනයන පාලන සීමාවන් ඉවත් කිරීම හෝ එය කරන ආකාරය දැනුම් දීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීම හා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම යන තුනෙනේ එකක් හෝ වැඩි ගණනක් ඉදිරි සතිය මැද වන විට සිදු විය හැකියි. 

ලබන සතිය වැදගත් ඇයි?

ලබන සතිය තුළ සිදුවන සුවිශේෂී දෙය මැයි මාසය හා අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් වීමයි. මේ අනුව, උද්ධමනය 25% ආසන්න මට්ටමකට පහත වැටී තිබීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. තවත් මාසයකට පසුව මෙම අගය 12% ආසන්න මට්ටමකට පහත වැටිය හැකි ඇති අතර රටේ ජනතාව හා වෙළඳපොළ කෙරෙහි වැඩිම බලපෑමක් කෙරෙනු ඇත්තේ උද්ධමනය එම මට්ටමට පහත වැටීම බැවින් ඉහත සඳහන් වැදගත් තීරණ ගැනීමට වැඩිම ඉඩක් තිබෙන්නේ තවත් සති පහකට පසුව වුවත්, එම තීරණ වලින් එකක් හෝ කිහිපයක් ඉදිරි සතිය තුළ ගනු ලැබීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි.

පොලී අනුපාතික යම් ඉහළ මට්ටමක තිබුණත් පසුගිය කාලය මුළුල්ලේම පොලී අනුපාතික පැවතුනේ උද්ධමන අගයට වඩා පහළිනුයි. ඒ කියන්නේ මූර්ත පොලී අනුපාතික තිබුණේ සෘණ පැත්තේ. ඉදිරි සතියේදී මෙම තත්ත්වයේ යම් වෙනසක් වෙනවා. ඒ නිසා, මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සංකේතාත්මක අඩු කිරීමක් (1%කින් හෝ 0.5%කින්) කිරීමට යම් ඉඩක් තිබෙනවා. 

ඩොලරයක ගැනුම් මිල මේ වන විට පැහැදිලි ලෙසම රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. පවතින තත්ත්වයන් තුළ මේ සමතුලිතතාව ආපසු හැරවී යාමේ ලොකු ඉඩක් පෙනෙන්න නැහැ. අරමුදල සමඟ ඇති කරගත් එකඟතාව අනුව විණිමය අනුපාතය හා අදාළ සියළු සීමාවන් ක්‍රමිකව එකින් එක ඉවත් කිරීම සඳහා වසරක කාලයක් තිබෙන අතර (මාර්තු සිට) එය කරන ආකාරය ජූනි අවසානයට පෙර දැනුම් දිය යුතුයි. මේ සඳහාද තවත් මාසයක කාලයක් තිබුණත් විණිමය වෙළඳපොළෙහි පවතින ප්‍රවණතා අනුව මේ මාසය අවසානයේදී යම් ලිහිල් කිරීම් ප්‍රකාශයට පත් වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි. 

විණිමය වෙළඳපොළ සීමා සියල්ල ඉවත් කිරීමෙන් පසුවද ඩොලරයක මිල ස්ථාවරව තබා ගත හැකි තත්ත්වයක් දැනටමත් ඇති වී තිබුණත්, මෙම සමතුලිතතාවය තනිකරම මෙන් රඳා පවතින්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ලබා ගැනීමට අපේක්ෂිත සහනය මතයි. එම කටයුත්ත අවසන් වන තුරු කිසිවකුට නිදහසේ පැත්තකට හැරී නිදාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසියක් ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරලියට එන්නට (දැනටමත් පැමිණ තිබීමට) සැලකිය යුතු ඉඩක් තිබෙනවා. මේ කාරණයේදී පසුගිය සතියේ ඩොලර් බිලියන තුනක IMF වැඩසටහනකට ගිය, මේ වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කටයුතු කරමින් සිටින ඝානාව දෙස බැලිය හැකියි. එක් එක් රටේ තත්ත්වය සුවිශේෂී වුවත්, ඝානාවේ තත්ත්වය සෑහෙන තරමකින් ලංකාවේ තත්ත්වයට සමානයි. 

ඝානාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටින්නේ සාර්ථක ලෙස දේශීය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමෙන් පසුවයි. දෙරට විදේශ ණයහිමියන් බොහෝ දුරට එකම කණ්ඩායමක් නිසා ඝානාව කළ දේ ලංකාවට කළ නොහැක්කේ ඇයි කියා අහන්නට සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

ඝානාව බිල්පත් ප්‍රතිව්‍යුහගත කළේ නැහැ. එහෙත්, බැඳුම්කර වලින් 85%ක්ම ස්වේච්ඡා පදනම මත ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. මෙහිදී මුල් මුදල කප්පාදු කිරීමක් (හෙයාකට්) සිදු වී නැති අතර කල් පිරීමේ කාලය දිගු කිරීම හා කූපන් පොලී සීමා කිරීම මගින් අවශ්‍ය ඉලක්කයට ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් ලබන සතියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළත් ඒ හේතුවෙන් රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික අඩු නොවෙන්න පුළුවන්. ඒ, බැංකු පද්ධතිය තුළ විශාල අතිරික්ත ද්‍රවශීලතාවක් නොමැති නිසා. සාමාන්‍ය අවස්ථාවකදී මෙන් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සමාන්තරව බැංකු පද්ධතියට ද්‍රවශීලතාව සැපයීම සඳහා මහ බැංකුවට මේ වෙලාවේ විශාල අවකාශයක් නැහැ. අනෙක් පැත්තෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමටද සුරැකුම්පත් ආයෝජකයින් මුහුණ දෙනවා. 

මෙය එක්තරා ආකාරයක ග්‍රිඩ්ලොක් තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම පවතින තුරු පොලී අනුපාතික අඩු වෙන්නේ නැහැ. පොලී අනුපාතික අඩු වන තුරු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම තිබෙනවා. මේ තත්ත්වය වෙනස් විය හැක්කේ බාහිර වෙනසකින් පමණයි. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළ පමණින්, මේ මොහොතේ පවතින තත්ත්වයන් අනුව, මේ අවශ්‍ය වෙනස සිදු වෙන්නේ නැහැ.

මේ තත්ත්වය වෙනස් විය හැකි එක් ක්‍රමයක් වන්නේ රජයට සැලකිය යුතු විදේශ ණයක් ලැබී දේශීය ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය පහත වැටීමයි. එවැන්නක් සිදු වුවහොත් රජයේ දේශීය ණය සඳහා ඉල්ලුම අඩු වී පොලී අනුපාතික පහත වැටෙනවා. එසේ නැත්නම් රජයට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය නිවේදනය කරන්නට සිදු වෙනවා. ඝානා රජය විසින් ඔවුන්ගේ භාණ්ඩාගාර බැඳුම්කර වලින් 85%ක් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ඉතිරි 15% සඳහා පොලී සහ මුල් මුදල් පිළිවෙලට ගෙවාගෙන යනවා. 

මාර්තු මාසය වන විට පෙර වසරේ මාර්තු මාසයට සාපේක්ෂව පෞද්ගලික අංශයට දෙන ණය 5.1%කින් පහත වැටී තිබුණා. විශේෂයෙන්ම විදේශ බැංකු ඒකක වලින් ලබා දෙන ණය 20.6%කින් අඩු වී තිබුණා. මෙම හැකිලීම් මේ වන විට මීටත් වඩා වැඩි විය යුතුයි. පසුගිය සතියේ ආනයන සඳහා ලබා දෙන ණය පිළිබඳ සීමාවන් ලිහිල් කිරීම නිසා ඉහත තත්ත්වයේ යම් ක්‍රමික වෙනසක් සිදු වීමට නියමිත වුවත් එම වෙනස වැඩි වශයෙන් බලපානු ඇත්තේ විණිමය අනුපාතිකයට මිස පොලී අනුපාතික වලට නෙමෙයි.

මේ වන විට ඉල්ලුම් පීඩන විශාල ලෙස අඩු වී ඇති තත්ත්වය තුළ පුළුල් මුදල් සැපයුම, විශේෂයෙන්ම පෞද්ගලික අංශයට ලබා දෙන ණය, යම් තරමකින් වර්ධනය වෙන්නට ඉඩ හැරීමේ ලොකු වැරැද්දක් නැහැ. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහන්නේත් නැතිව, වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි කර පොලී අනුපාතික පහළ දමාගත හැකි එක් ක්‍රමයක් වන්නේ සංචිත අනුපාතය අඩු කිරීමයි.

Friday, November 16, 2018

රුපියල් බිලියන සීයක් හිඟ වුනේ කොහොමද?


මුළු රටේම අවධානය දේශපාලන අර්බුදය වෙත යොමු වී තියෙද්දී මහ බැංකුව විසින් තරමක් වෙනස් ආකාරයේ මුදල් ප්‍රතිපත්ති තීරණයක් වෙත යොමු වෙලා තිබෙනවා. තීරණයක් කියා කිවුවත් තීරණ දෙකක්. තවත් පැහැදිලිව කිවුවොත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති තීරණ දෙකක්.

එක පැත්තකින් බැංකු විසින් පවත්වාගත යුතු සංචිත අනුපාතිකය 7.5% සිට 6% දක්වා පහත දමමින් විශාල මුදල් ප්‍රමාණයක් ආර්ථිකය වෙත මුදා හැරලා තිබෙනවා. මෙය මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමක්. අනෙක් පැත්තෙන් තැන්පතු පොලී අනුපාතික 0.75%කිනුත්, ණය පොලී අනුපාතික 0.5%කිනුත් ඉහළ දමා මුදල් ප්‍රතිපත්තිය දැඩි කරලා තියෙනවා. මහ බැංකුව කියන්නේ මේ තීරණ දෙක එකිනෙක උදාසීන වන බවයි.

මේ වගේ අමුතු මුදල් ප්‍රතිපත්තියක් කරා මහ බැංකුව යොමු වෙලා තියෙන්නේ ඇයි? කියන විදිහට මේ තීරණයට එළැඹිලා තියෙන්නේ දිගින් දිගටම පවතින ද්‍රවශීලතා හිඟයට පිළියමක් ලෙසයි.

මේ කියන ද්‍රවශීලතා හිඟය කුමක්ද? මෙයින් සරලව කියන්නේ රටේ රුපියල් හිඟයක් තිබෙන බවයි. ඒ කියන්නේ රටේ පවතින මුදල් ඉල්ලුම මුදල් සැපයුමට වඩා ගොඩක් වැඩි බවයි. ප්‍රමාණාත්මකව ගත්තොත්, ඊයේ (නොවැම්බර් 16 බ්‍රහස්පතින්දා) වන විට ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 182ක්. 

රටේ මුළු සංචිත මුදල් ප්‍රමාණයම රුපියල් බිලියන 1,030ක්. ඒ කියන්නේ ඒ ප්‍රමාණයෙන් 18%ක අමතර මුදල් ඉල්ලුමක් රටේ තියෙනවා කියන එකයි. මෙය සුළුපටු නැහැ. එහෙම වුනේ කොහොමද?

මේ ද්‍රවශීලතා හිඟය ඇති වුණේ දේශපාලන අර්බුදය පටන් ගැනීමෙන් පසුව නෙමෙයි. ඔක්තෝබර් 25 වන විටත් රුපියල් බිලියන 122ක ද්‍රවශීලතා හිඟයක් තිබුණා. පසුගිය සති තුනට මේ හිඟය රුපියල් බිලියන 60කින් වැඩි වෙලා. ද්‍රවශීලතා හිඟයක් තිබෙන විට වාණිජ බැංකු විසින් කරන්නේ ඔවුන් සතු භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුවට තාවකාලිකව විකුණලා මුදල් ලබා ගන්න එකයි. සාමාන්‍යයෙන් මෙය කරන්නේ දෛනික පදනමකින්. හවසට විකුණන භාණ්ඩාගාර බිල්පත් පසුදා උදේ නැවත මිල දී ගන්නවා. ප්‍රතිවිකුණුම් කියන්නේ මේවාටයි.

මහ බැංකුවක් සාමාන්‍යයෙන් ප්‍රතිවිකුණුම් ගනුදෙනු වලට යන්නේ වාණිජ බැංකුවකට කෙටිකාලීනව, බොහෝ විට දවසකට, මුදල් අපහසුතාවක් ඇති වූ විට තාවකාලිකව ප්‍රශ්නය විසඳාගන්න ඉඩ සැලසීමක් ලෙසයි. ද්‍රවශීලතා හිඟයක් දිගින් දිගටම පවතිනවා කියන්නේ ආර්ථිකයේ දිගටම පවතින අසමතුලිතතාවයක් තිබෙනවා කියන එකයි. 

මෙවැනි අසමතුලිතතාවයක් විසඳිය හැකි ආකාර දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය වන්නේ ඉල්ලුමට ගැලපෙන පරිදි මුදල් සැපයුම වැඩි කිරීමයි. එය පසුකාලීනව උද්ධමනය ඉහළ යාමට හේතු වෙනවා. දෙවන ක්‍රමය වන්නේ මුදල් ඉල්ලුම අඩු වන තරමට පොලී අනුපාතික ඉහළ දැමීමයි. එහි ප්‍රතිඵලය ආර්ථික වර්ධනය අඩාල වීමයි.

මේ වෙලාවේ ලංකාවේ ආර්ථික වර්ධනය සාමාන්‍ය මට්ටමටත් අඩුවෙනුයි සිදු වෙන්නේ. ඒ නිසා, පොලී අනුපාතික තවත් ඉහළ දැමීම කරන්න අමාරුයි. අනික් පැත්තෙන් මුදල් සැපයුම ඉහළ දැමීම උද්ධමනය ඉහළ යන්න හේතු වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් මේ දෙපැත්තම සලකලා අතරමැදි තීරණයකටයි එළැඹිලා තියෙන්නේ. කියන විදිහට මෙය දැඩිත් නැති, ලිහිලුත් නැති උදාසීන මුදල් ප්‍රතිපත්තියක්.

මේ ආකාරයට ද්‍රවශීලතා හිඟයක් ඇති වුනේ කොහොමද? මෙය වෙන්නනම් එක්කෝ රටේ මුදල් සැපයුම අඩු විය යුතුයි. නැත්නම් මුදල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යා යුතුයි. සිංහල අවුරුදු සතිය වගේ කාලයක තාවකාලිකව ඉහළ ගියත් මුදල් ඉල්ලුම එක වර විශාල ලෙස ඉහළ යන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බොහෝ විට හේතු වෙන්නේ මුදල් සැපයුමේ සිදුවන වෙනස්කම්.

මහ බැංකුව විසින් මුදල් සැපයුම අඩු කළොත් ද්‍රවශීලතා හිඟයක් ඇති වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් තමන් සතු භාණ්ඩාගාර බිල්පත් හෝ විදේශ විණිමය විකුණා රුපියල් එකතු කර ගන්නා විට මුදල් සැපයුම අඩු වෙනවා. මෙයින් පළමුවැන්න සිදු වී නැහැ. පසුගිය තෙසතිය තුළ මහ බැංකුව විසින් කරලා තියෙන්නේ රුපියල් බිලියන 16කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමයි. ඒ කියන්නේ ඒ හරහා තවත් රුපියල් බිලියන 16ක් මුදල් වෙළඳපොළට එකතු කරලා. රුපියල් බිලියන 60කින් හිඟය ඉහළ ගිහින් තියෙන්නේ එහෙම තියෙද්දීයි. එහෙමනම් ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 60 කින් නෙමෙයි 76කින්ම වැඩි වෙලා.

ද්‍රවශීලතා හිඟය වැඩි වෙන්න පුළුවන් අනෙක් ආකාරය මහ බැංකුව විසින් හෝ විදේශිකයින් විසින් ඩොලර් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලක්) ගෙවා රුපියල් මිල දී ගැනීමයි. පසුගිය සති තුන ඇතුළත විදේශිකයෝ ලංකාවට ඩොලර් විශාල මුදලක් අරගෙන ඇවිත් රුපියල් කළාද? 

ඇත්තටම වෙලා තිබෙන්නේ එහි අනිත් පැත්තයි. පසුගිය සති තුනේ විදේශිකයින් විසින් කොටස් වෙළඳපොළේ තමන් සතු ආයෝජන වගේම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල කර තිබූ ආයෝජනත් විශාල ලෙස මුදල් කර රටින් ගෙනයන එකයි කර තිබෙන්නේ. මේ ප්‍රමාණය රුපියල් බිලියන 23.6ක්. ඒ කියන්නේ එපමණ රුපියල් ප්‍රමාණයක් මුදල් වෙළඳපොළට එකතු වී තිබෙනවා. එහෙමනම් ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 100 කින් පමණ වැඩි වෙලා. ඔය කාලය ඇතුළත ආනයන, ණය ගෙවීම්  ආදිය සඳහා තවත් ඩොලර් මිල දී නොගැනෙන්න හේතුවක් නැහැ. එහෙමනම් මේ ඇස්තමේන්තුව අවම ඇස්තමේන්තුවක්.

පසුගිය සති තුන ඇතුළත ද්‍රවශීලතා හිඟය මේ තරමින් ඉහළ යන්නනම් මහ බැංකුව සංචිත වලින් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් විකුණා දමා තිබිය යුතුයි. ඒ ප්‍රමාණය හා අදාළ සංඛ්‍යාලේඛණය සොයා ගැනීමේ ක්‍රමයක් නැහැ.

පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වලදී මාසයකට ඩොලර් මිලියන 300 පමණ බැගින් මහ බැංකුව විසින් සංචිත විකුණා තිබෙනවා. ඒ කියන්නේ ඒ මාස දෙකේ රුපියල් බිලියන 100ක් පමණ වෙළඳපොළෙන් එකතු කරගෙන තිබෙනවා. පසුගිය සති තුනේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 100 කින් පමණ වැඩි වෙලා තිබීමෙන් පෙනෙන්නේ පසුගිය සති තුන ඇතුළත ඩොලර් මිලියන 600කට ආසන්න සංචිත ප්‍රමාණයක් මහ බැංකුව විසින් විකුණා දමා ඇති බවයි. 

ඇතැම් විට නොවැම්බර් මුල එක වරම ඩොලරයක මිල පොඩ්ඩක් අඩු වුනේ මහ බැංකු මැදිහත් වීමක් නිසා වෙන්න පුළුවන්. නමුත්, දවස් දෙකකින් පසුව නැවතත් ඩොලරයක මිල ඉහළ යන්න පටන් ගත්තා. එසේ කර තිබියදීත් පසුගිය සති තුන තුළ ඩොලරයක මිල රුපියල් හතරකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. 

ලංකාවේ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ පවත්වා ගත යුතු සංචිත ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් බිලියන 400ක් පමණ. සංචිත අනුපාතය 7.5% සිට 6.0% දක්වා අඩු කළ විට මේ මුදලින් රුපියල් බිලියන 80ක් පමණ නිදහස් වෙනවා. ඉන් පසුවත් තව රුපියල් බිලියන 100ක පමණ ද්‍රවශීලතා හිඟයක් ඉතිරි වෙයි. එය පියවෙනු ඇත්තේ කොයි වෙලාවක හෝ ඩොලර් ණයක් ලැබුණු විටක තමයි. 

Friday, August 17, 2018

ව්‍යාපාර චක්‍ර (තෙවන කොටස)


පසුගිය ලිපි දෙකෙන් අපි කතා කතා කළේ ව්‍යාපාර චක්‍ර කියන්නේ මොනවාද කියන එක හා ව්‍යාපාර චක්‍රයකදී ආර්ථිකයක් තාවකාලිකව අස්ථාවර වී නැවතත් ස්වභාවික ලෙසම ස්ථාවර වෙන්නේ කොහොමද කියන එකයි. මේ විදිහට ආර්ථිකයක් තාවකාලිකව අස්ථාවර වීම රටේ සමස්ත ඉල්ලුමේ හා සමස්ත සැපයුමේ නොගැලපීමක් ඇති වීම හා එය නැවත සමතුලිත වීමක් ලෙසත් විස්තර කළ හැකියි.

රටක සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම අතර නොගැලපීමක් ඇති විය හැකි ආකාර හතරක් තිබෙනවා. මේ අවස්ථා හතරේදී දැකිය හැක්කේ එකම රෝග ලක්ෂණ නෙමෙයි.

පළමු ආකාරය:  සමස්ත ඉල්ලුම එසේම තිබියදී සමස්ත සැපයුම ඉහළ යාම
දෙවන ආකාරය:  සමස්ත ඉල්ලුම එසේම තිබියදී සමස්ත සැපයුම පහළ යාම
තෙවන ආකාරය:  සමස්ත සැපයුම එසේම තිබියදී සමස්ත ඉල්ලුම ඉහළ යාම
සිවුවන ආකාරය:  සමස්ත සැපයුම එසේම තිබියදී සමස්ත ඉල්ලුම පහළ යාම

මෙහි පළමු හා සිවුවන අවස්ථා වලදී ඉල්ලුමට වඩා සැපයුම වැඩි නිසා මිල මට්ටම් පහත වැටී උද්ධමනය අඩුවෙනවා. ඉතිරි අවස්ථා දෙකේදී මිල මට්ටම් වේගයෙන් ඉහළ ගොස් උද්ධමනය වැඩි වෙනවා. ඒ වගේම, පළමු හා දෙවන අවස්ථා වලට මුල් වෙන්නේ සමස්ත සැපයුමේ ඇතිවන තාවකාලික කම්පනයන්.

උදාහරණයක් ලෙස කෘෂිකාර්මික නිෂ්පාදිතය හා අදාළව  කාලගුණ චක්‍ර වල බලපෑම නිසා සාමාන්‍ය අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් ලැබීම හෝ අස්වනු පාළු වීම දැක්විය හැකියි. ඒ වගේම විදේශ අංශය දෙස බැලුවොත් රබර් වගේ අපනයන නිෂ්පාදනයක් සඳහා ලෝක ඉල්ලුම හදිසියේ වැඩි වී ජාත්‍යන්තර මිල ගණන් එකවර විශාල ලෙස ඉහළ යාම හෝ රටකින් තෙල් වැනි ස්වභාවික සම්පතක් හමු වීම දැක්විය හැකියි.

සමස්ත ඉල්ලුමේ විචලනයන් ඇති වන ආකාරය ඊට වඩා තරමක් සංකීර්ණයි. එක පැත්තකින් මෙයට හේතුව රටේ සමස්ත ඉල්ලුම හා සැපයුම ගැන හරියටම දැන ගැනීමේ හැකියාවක් තනි පුද්ගලයෙකුට නැතිවීම කියා කියන්න පුළුවන්. උදාහරණයක් ලෙස සමහර වෙලාවට කවර හෝ හේතුවක් නිසා තෙල් හිඟයක් ඇති වෙයි කියා බොහෝ දෙනෙකුට හිතුනහම පැට්‍රෝල් ෂෙඩ් ඉදිරිපිට පෝලිම් ගැහෙන එක පෙන්වන්න පුළුවන්.

මේ ගොඩක් අය පැට්‍රෝල් මිල දී ගන්නේ තමන්ට ඒ වෙලාවේ පැට්‍රෝල් අවශ්‍ය නිසාම නෙමෙයි. මේ විදිහට පැට්‍රෝල් දැනට අවශ්‍ය නැති අයත් කලින්ම ටැංකි පුරවා ගැනීම නිසා එකවර පැට්‍රෝල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යනවා වගේම දවසකට දෙකකට පසුව පැට්‍රෝල් ඉල්ලුම සාමාන්‍ය මට්ටමට වඩා පහත වැටීමත් අනිවාර්යයයෙන්ම සිදු වෙනවා. හැමෝගෙම ටැංකි පිරුණට පස්සේ තව කොහාට පැට්‍රෝල් ගහන්නද?

ව්‍යාපාර චක්‍ර වල ක්‍රියාකාරීත්වය යම් තරමකින් අවබෝධ කරගත්තට පස්සේ මේ ව්‍යාපාර චක්‍ර වල බලපෑම අවම කරන්න මිනිස්සුන්ට අවශ්‍යතාවයක් ඇති වීම අමුතු දෙයක් නෙමෙයි. අවිනිශ්චිතතාවන් අඩු වෙනවට ගොඩක් මිනිස්සු කැමතියි. මහ බැංකු වල මුදල් ප්‍රතිපත්ති හා රජයයන්හි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ඉස්සරහට පනින්නේ ඔන්න ඔය කැමැත්ත ප්‍රයෝජනයට ගනිමිනුයි.

කොහොම වුනත් මහ බැංකුවට හෝ රජයට රටක සමස්ත සැපයුම වෙනස් කරන්න අමාරුයි. ඔවුන්ට කළ හැක්කේ සමස්ත ඉල්ලුම පාලනය කිරීම පමණයි. එය කළ හැක්කේත් තාවකාලිකව පමණයි. මෙහිදී වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සැපයුම ගැන හරියටම නොදන්න මිනිස්සුන්ගේ තීරණ වලට බලපෑමක් කිරීමෙන් මිනිසුන්ගේ තීරණ වෙනස් කර ඒ මඟින් සමස්ත ඉල්ලුම වෙනස් කිරීමයි.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා බදු අඩු කළ විට මිනිසුන්ගේ ආදායම කලින් මට්ටමේදීම තියෙද්දී ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යනවා. බදු වැඩි නොකර, රජයේ වියදම් වැඩි කළ විට වෙන්නේත් මිනිස්සුන්ගේ අතට වැඩිපුර සල්ලි එන එකයි. ඒ වගේම, මහ බැංකුව විසින් පොලී අනුපාතික පහළ දමා රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩි කළ විට මිනිස්සු වැඩිපුර ණය ගන්න පෙළඹෙනවා. එවිට වෙන්නෙත් අතට ලැබෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන එකයි.

ස්වභාවික තත්ත්වයන් යටතේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වී මිල දී ගැනීමේ හැකියාව ඉහළ යන්නේ රටේ නිෂ්පාදිතය වැඩි වන අවස්ථා වලදීයි. සමාගමක් වැටුප් වැඩි කරන්නේ හෝ පාරිතෝෂික දෙන්නේ ලාභ වැඩි වන විට. ලාභ වැඩි වන්නේ නිෂ්පාදනය ඉහළ ගිය වෙලාවටයි. නමුත්, ඉහත ආකාරයෙන් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හෝ මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් මිනිස්සු අතට සල්ලි එන්නේ රටේ සමස්ත නිෂ්පාදනය ඒ විදිහටම තියෙද්දීයි.

කොහොම වුනත් මේ විදිහට සල්ලි අතට එනකොට මිනිස්සු වැඩියෙන් මිල දී ගන්න පෙළඹෙන නිසා රටේ සමස්ත ඉල්ලුම ඉහළ යනවා. අසමතුලිතතාවය ඇති වී තිබෙන්නේ සමස්ත ඉල්ලුමේ අඩුවක් නිසානම් ඒ අසමතුලිතතාවය ඉක්මනින් නැති වී යනවා. මේ විදිහට නැවත ඉහළ ගිය ඉල්ලුම සමඟ ගැලපිය හැකි සමස්ත සැපයුමක් රටේ තිබෙන නිසා මිල මට්ටම නියම තැනට නැවත එනවා.

හැබැයි ඔය විදිහට ඉල්ලුම හා සැපයුම නැවත සමතුලිත වීමෙන් පසුව රජය හා මහ බැංකුව විසින් අර කලින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ආපසු හැරවිය යුතුයි. ඒ කියන්නේ නැවත රජයේ වියදම් කප්පාදු කර, බදු වැඩි කර, පොලී වැඩි කර මිනිසුන්ගේ වියදම් කිරීමේ හැකියාව සීමා කළ යුතුයි. එහෙම නොකළොත්, රටේ සමස්ත ඉල්ලුම සාමාන්‍ය සැපයුම් මට්ටමටත් වඩා වැඩි වෙලා ධන නිපැයුම් පරතරයක් ඇති වෙනවා.

ඉල්ලුම සැපයුමට වඩා පහත වැටී තිබෙන්නේ ඉල්ලුමේ අඩුවක් නිසා නොව සැපයුම හදිසියේ ඉහළ යාම නිසා වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවක මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කළොත් වෙන්නේ උඩින් කියූ දෙයම නෙමෙයි. සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වල හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල බලපෑම ආර්ථිකයට එන්නත් කලින්ම වාගේ සැපයුම් කම්පන වල බලපෑම ස්වභාවිකවම වගේ නැති වී යන නිසා ඔය වගේ වෙලාවක මුදල් සැපයුම වැඩි කළොත් බොහෝ විට වෙන්නේ ඒ හේතුවෙන්ම අසමතුලිතතාවයක් ඇති වෙන එකයි.

මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා ව්‍යාපාර චක්‍ර වල බලපෑම පාලනය කරන්න උත්සාහ කරන එක ලෝකයේ සෑම රටක්ම වාගේ කරන දෙයක්. මෙය ප්‍රතිඵලදායක නොවන බව කියන්න බැරි වුනත් මේ විදිහට ව්‍යාපාර චක්‍ර පාලනය කරන්න යාමේදී නොසැලකිල්ලෙන් හෝ අත්වැරදීම් නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වූ අවස්ථා ගැන උදාහරණ ඕනෑ තරම් තියෙනවා.

මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පළමුව ව්‍යාපාර චක්‍රයේ තමන් සිටින්නේ කොතැනද කියන එක නිවැරදිව දැන ගත යුතුයි. ඒ සඳහා රටේ විභව දළ දේශීය නිෂ්පාදිතය කුමක්ද කියා හරියට දැනගත යුතුයි. උදාහරණයක් ලෙස රටේ විභව ආර්ථික වර්ධන වේගය 5%නම් හා සැබෑ වේගය 6%නම් ඒ වගේ වෙලාවක තියෙන්නේ ධන නිපැයුම් පරතරයක් නිසා අවශ්‍ය වන්නේ දැඩි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ආර්ථික වර්ධනය අඩු කිරීමයි.

නමුත්, ඔය වගේ වෙලාවක නිමැවුම් පරතරය වැඩි වී නැති බවත්, විභව ආර්ථික වර්ධන වේගය 7% දක්වා වැඩි වී ඇති බවත් කවුරු හෝ හිතුවොත් පෙනෙන්නේ සෘණ නිමැවුම් පරතරයක් තිබෙන බවයි. ඒ මත පදනම්ව මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කළොත් අන්තිමට වෙන්නේ තිබෙන ධන නිමැවුම් පරතරය තවත් වැඩි වී රටේ ආර්ථිකය එහි ස්ථාවර සමතුලිතාවයෙන් තවත් ඈතට ගමන් කිරීමයි.

(Image: https://www.teacherspayteachers.com/Product/Mini-BusinessEconomic-Unit-on-Business-Cycle-incl-activities-quiz-answer-keys-3425921)

Tuesday, March 20, 2018

යී ගැන්ග් - චීන මහ බැංකුවේ නව අධිපති


චීන රජය විසින් චීනයේ මහ බැංකුව වන චීන මහජන බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය යී ගැන්ග්ව නම් කර තිබේ. යී ගැන්ග්ගේ එක් විශේෂත්වයක් වන්නේ ඔහු ඇමරිකාවේ අධ්‍යපනය ලැබූ, වාසය කළ හා කලක් සේවය සේවය කළ අයෙකු වීමයි. මෙයින් පිළිබිඹු වන්නේ චීන ආර්ථිකයේ අනාගතය පිළිබඳව චීන රජයේ දැක්මයි.

මිනසෝටාහි හැම්ලින් සරසවියෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධියක් ලැබූ යී ඉන් අනතුරුව අර්බානා-චැම්පේන්හි ඉලිනෝයි සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්ද ලබා ගැනීමෙන් පසු ඉන්දියානාපොලිස්හි ඉන්දියානා-පර්ඩියු සරසවියේ (IUPUI) ආර්ථික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙක් හා ආශ්‍රිත මහාචාර්යවරයෙක් ලෙස වසර අටක් කටයුතු කළේය. මේ කාලයේදී ඔහු පර්යේෂණ පත්‍රිකා ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

1994 වසරේදී පීකිං සරසවියේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය ඇරැඹු යී තෙවසරකට පසුව චීන මහජන බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස සේවයට බැඳී පසුව නියෝජ්‍ය අධිපති ධුරය දක්වා උසස්වීම් ලැබීය. 2007 දෙසැම්බරයේ සිට ඔහු චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කළේය.

චීන මහජන බැංකුව වෙනත් බොහෝ සංවර්ධිත රටවල මහ බැංකු මෙන් රජයෙන් ස්වාධීන ආයතනයක් නොවේ. ඒ නිසා ඔහුට නිල වශයෙන්ම ජනාධිපති ෂී ජින්පින්ට වාර්තා කරන්නට සිදුවනු ඇත.

යී ගැන්ග්ට අපේ සුබ පැතුම්!


Thursday, November 2, 2017

ජෙරමි පවල් ෆෙඩරල් සංචිත බැංකුවේ ලොකු පුටුවට!


ඇමරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවේ මීළඟ සභාපති ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරමි පවල්ව නම් කර තිබේ. සෙනෙට් සභාව විසින් මේ පත්වීම අනුමත කරනු ලැබුවහොත්, ලබන පෙබරවාරි මාසයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ වත්මන් සභාපතිනිය වන ජැනට් යෙලන්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසුව එම ධුරයට ජෙරමි පවල් පත් වීමට නියමිතය.

ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපිත කරනු ලැබුවේ 1914 වසරේදී වූ අතර එවකට එහි ප්‍රධාන තනතුර අධිපතිධුරය ලෙස හැඳින්වුනේය. 1948 වසරේදී මෙම ධුරය සභාපති ධුරය ලෙස වෙනස් කෙරුණු අතර එවකට ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානියා වූ හත්වන අධිපතිවරයා තාවකාලික සභාපතිවරයා ලෙස නම් කෙරුණේය.එතැන් සිට තවත් අට දෙනකු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ලෙස කටයුතු කර තිබේ.

වත්මන් සභාපතිනි ජැනට් යෙලන් එම තනතුරට පත් වුනු ප්‍රථම කාන්තාවයි. ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක වන ජැනට් යෙලන් ෆෙඩරල් සභාපති ධුරය භාර ගැනීමට පෙර හාවඩ් සරසවිය ඇතුළු ප්‍රධාන පෙළේ සරසවි කිහිපයකම මහාචාර්යවරියක ලෙස කටයුතු කළාය. ඈ විවාපත්ව සිටින්නේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝජ් අකර්ලොෆ් සමඟය.

ජැනට් යෙලන්ට පෙර 2006-2014 අතර ෆෙඩරල් සභාපති ධුරය දැරූ බෙන් බර්නැංකිද, ඔහුට පෙර 1987-2006 අතර එම තනතුර දැරූ ඇලන් ග්‍රීන්ස්පෑන්ද ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධාරීන් වූ අතර ඊටත් පෙර එම ධුරය දැරූ පෝල් වෝකර් හාර්වඩ් සරසවියෙන් දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබුණු අයෙක් විය. මීළඟ සභාපති ලෙස නම් කර ඇති ජෙරමි පවල් ආර්ථික විද්‍යාව පිළිබඳ සරසවි උපාධියක් ලබා නැති අයෙකු වීම විශේෂත්වයකි. එහෙත්, ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති අයෙකි.

ජෙරමි පවල් මෙතෙක් ෆෙඩරල් සභාපති ධුරයට පත් වූ බොහෝ දෙනෙකුට වඩා වත්කම් හිමි ධනවතෙකුද වේ. ඔහු මීට පෙර ආයෝජන බැංකුකරුවෙකු ලෙසද, භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ලෙසද සේවය කර ඇත.

Friday, August 11, 2017

මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති


මේ සටහන ලියන්නේ පාඨකයෙකුගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යනු මොනවාදැයි පැහැදිලි කිරීමටය.

සාමාන්‍යයෙන් බොහෝ රටවල ආර්ථිකයන් දිගුකාලීනව වර්ධනය වෙයි. ප්‍රාග්ධනය හා ශ්‍රමය යන නිෂ්පාදක සාධක වර්ධනය වීම ආර්ථික වර්ධනයට හේතු වන නමුත් රටක් සතු මේ නිෂ්පාදන සාධක ප්‍රමාණය සාමාන්‍යයෙන් වසරක් වැනි කාලයක් තුල විශාල ලෙස වෙනස් වන්නේ නැත. ඒ නිසා, නවීන ආර්ථිකයක් වර්ධනය වීමට වැඩි වශයෙන්ම හේතු වන්නේ කාර්යක්ෂමතාවය ඉහළ යාමයි. මෙහිදී කාර්යක්ෂමතාවය වැඩිවීම ලෙස හඳුන්වන්නේ කිසියම් ආර්ථිකයක් විසින් දැනට තිබෙන නිෂ්පාදන සාධක ප්‍රමාණයම උපයෝගී කරගෙන වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලබාගැනීමයි.

කාර්යක්ෂමතාවය වැඩි වන්නේ වෙනස් ලෙස සිතිය හැකි පුද්ගලයින්ගේ ව්‍යවසායකත්වය හරහාය. මෙය සිදුවන්නේ තාක්ෂනය දියුණු වීම හරහාය. මෙහිදී තාක්ෂනය යන වචනයෙන් හඳුන්වන්නේ පරිගණක වැනි දේ පමණක්ම නොවේ. කිසියම් ආයතනයක මානව සම්පත් කළමනාකරණය පිළිබඳ නව අදහසක් වුවද මෙයට ඇතුළත් විය හැකිය. විචල්‍ය සේවා කාල, නිවසේ සිට වැඩ කිරීම වැනි මෑතකාලීන සංකල්ප උදාහරණයි. එහෙත්, බොහෝ විට තාක්ෂණ දියුණුව සිදුවන්නේ නව නිර්මාණ හරහාය. ඒ නිසා තාක්ෂනය දියුණු කිරීමට කිසියම් රටක් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කටයුතු වල ආයෝජනය කළ යුතුය.

නිෂ්පාදන සාධක නිසා සිදුවන ආර්ථික වර්ධනයේත්, තාක්ෂනය නිසා සිදුවන ආර්ථික වර්ධනයේත් එක් විශේෂ වෙනසක් තිබේ. නිෂ්පාදන සාධක එක් රටකින් වෙනත් රටකට සම්ප්‍රේෂණය වූ විට ඒවා මුල් රටට අහිමි වේ. උදාහරණයක් ලෙස ලංකාවේ තිබුණු කර්මාන්ත ශාලාවක් මැලේසියාවට ගෙන ගියොත් හෝ එය ලංකාවට අහිමි වේ. එහෙත්, මැලේසියාවේ ඇති කිසියම් තාක්ෂණයක් ලංකාවට පැමිණීම නිසා මැලේසියාවට එය අහිමි නොවේ. ඒ නිසා, කිසියම් රටක් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කටයුතු වල ආයෝජනය කර තාක්ෂනය වැඩි දියුණු කළ විට අනෙක් රට වලටද එහි වාසිය ලැබේ. 

ඉහත වාසිය වැඩිපුරම තිබෙන්නේ තාක්ෂනය අතින් පසුගාමී, අඩු ආදායම් ලබන රටවලටය. එවැනි රටවලට දියුණු රටවල තාක්ෂනය ලබාගැනීමෙන් වසරක් තුළ කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි කරගැනීමට හැකියාව තිබේ. ජපානය, කොරියාව හා සිංගප්පූරුව වැනි රටවල ආර්ථිකයන් එක් කාලයක් තුළ ඉතා වේගයෙන් වර්ධනය වුනේ මෙසේ දියුණු රටවල් අනුගමනය කරමින් කෙටි කලක් තුළ කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ බැවිනි.

එහෙත්, ඉහත රටවල ආර්ථිකයන් දියුණු වීමෙන් පසුව දැන් පෙර මෙන් වේගයෙන් එම ආර්ථිකයන් වර්ධනය නොවේ. ඒ, තාක්ෂනය අතින් ඉදිරියටම පැමිණ සිටින රටවලට තාක්ෂනය පහසුවෙන් ලබා ගන්නට පුරෝගාමීන් නැති නිසාය. එසේ පෙරමුණට පැමිණි රටවලට පර්යේෂණ හා වැඩි දියුණු කිරීම් වල ආයෝජනය කරමින් තමන් විසින්ම තාක්ෂනය දියුණු කරගන්නට සිදු වේ. සංවර්ධිත රටවල් වල ආර්ථිකයන් සංවර්ධනය නොවූ රටවල් වල ආර්ථිකයන් තරම් වේගයෙන් වර්ධනය නොවන්නේ ඒ නිසාය.

කෙසේ වුවද, තාක්ෂනය හේතුවෙන් කිසියම් රටක ආර්ථිකය දිගුකාලීනව ආසන්න ලෙස නිශ්චිත වේගයකින් වර්ධනය වුවත් මෙය ඒකාකාරී ලෙස සිදු නොවේ. ඕනෑම රටකට වරින් වර ආර්ථික අවපාත වලට මුහුණ දෙන්නට සිදු වේ. පසුව මේ ආර්ථිකයන් ටික කලක් වේගයෙන් වර්ධනය වී නැවත මුල් තත්ත්වයටම පැමිණෙන නමුත් මෙසේ කෙටිකාලීනව සිදුවන ආර්ථික වර්ධනයේ උච්චාවචනයන් නිෂ්පාදන සාධක වල හෝ තාක්ෂණයේ සිදුවන වෙනස්කම් වලින් පැහැදිලි කළ නොහැකිය. ආර්ථිකයේ මේ කෙටිකාලීන වෙනස්වීම් ව්‍යාපාර චක්‍ර (business cycles) ලෙස හැඳින්වේ.

ව්‍යාපාර චක්‍ර පිළිබඳ කේන්සියානු දැක්ම වන්නේ කිසියම් රටක සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම අසමතුලිතවීම ව්‍යාපාර චක්‍ර වලට හේතු වන බවයි. මේ අදහස අනුව ආර්ථික අවපාතයක් ඇතිවීම පහත පරිදි විස්තර කළ හැකිය.

රටක නිෂ්පාදන සාධක හා තාක්ෂනය තිබෙන ප්‍රමාණය අනුව කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය. එහෙත්, කවර හෝ හේතුවක් නිසා රටේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම මෙසේ නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණයට වඩා අඩු වී තිබේ. (කවර හෝ කියා කියන්නේ මේ හේතු විස්තර කරන්නට ගොස් කතාව වඩා සංකීර්ණ කළ යුතු නැති නිසාය.) සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදන ශක්‍යතාවයේ තරමට නිෂ්පාදනය කළොත් එම භාණ්ඩ හා සේවා විකුණා ගන්නට නොහැකිව පාඩු ලබන්නට සිදු වේ. ඒ නිසා, ඔවුන් නිෂ්පාදනය කරන්නේ අඩුවෙනි. ඇතැම් සමාගම් වැසී යයි. තවත් සමාගම් වලට සේවකයින් අඩු කිරීමට සිදු වේ. එවිට රටේ නිවාස ඒකක වල ආදායම් තවත් අඩු වී සමස්ත ඉල්ලුම තවත් අඩුවේ. අසමතුලිතතාවය තවත් වැඩි වේ. ඉල්ලුම අඩු නිසා භාණ්ඩ හා සේවා මිල අඩුවී උද්ධමනය අඩු වෙයි. ඇතැම් විට අවධමනයක් ඇති වේ. මේ නිසා සමාගම් වල ලාභ තවත් අඩුවී තවත් සමාගම් වැසී විරැකියාව ඉහළ යයි.

ඇතැම් විට මෙහි අනිත් පැත්තද සිදු වේ. එනම්, රටේ සමස්ත ඉල්ලුම රටේ ශක්‍ය නිෂ්පාදන ධාරිතාව ඉක්මවයි. එවිට, සැපයුමට වඩා ඉල්ලුම වැඩි නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වේ. මේ කතා කරන්නේ මුදල් සැපයුම වැඩි වීම නිසා දිගුකාලීනව උද්ධමනය වැඩි වීමට අමතරව කෙටිකාලීනව සිදුවන සංද්ධියක් ගැනය. ඉහළ මිල ගණන් හා අධික පාරිභෝගික ඉල්ලුම නිසා ධෛර්යමත් වන සමාගම් දැනට සිටින සේවකයින්ට අතිකාල ගෙවමින් හා අලුත් සේවකයින් බඳවා ගනිමින් වැඩිපුර නිෂ්පාදනය කිරීමට පෙළඹේ. එවිට නිවාස ඒකක වල ආදායම් ඉහළ යාමෙන් ඉල්ලුම තවත් වැඩි වේ. විරැකියාව පහළ යද්දී උද්ධමනය ඉහළ යයි. ආර්ථිකය ශක්‍ය මට්ටමට වඩා වැඩියෙන් වර්ධනය වෙයි. බැලූ බැල්මට මෙය හොඳ තත්ත්වයක් මෙන් පෙනුණත් එක්තරා ආකාරයක තාවකාලික අසමතුලිතතාවයක් නිසා සිදුවන්නක් බැවින් ආර්ථිකය කොයි වෙලාවේ හෝ කඩා වැටී නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණේ. මෙවැනි ඕනෑවට වඩා වැඩි ආර්ථික වර්ධනයක් බොහෝ විට කෙළවර වන්නේ විශාල ආර්ථික අවපාතයකින් නිසා මේ තත්ත්වයද සැලකෙන්නේ වලක්වාගත යුතු තත්ත්වයක් ලෙසිනි.

කේන්ස් විසින් යෝජනා කළේ ව්‍යාපාර චක්‍ර වල හානිය අවම කර ගැනීමට රජය ආර්ථිකයට මැදිහත් විය යුතු බවයි. මේ අදහස ලොව පුරා දේශපාලනඥයින් විසින් ඉතා කැමැත්තෙන් වැළඳගත්තේය. අද වන විට ලෝකයේ හැම රටක්ම වාගේ අඩු වැඩි වශයෙන් මේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති පිළිපදී.

මේ අදහස අනුව, රටේ සමස්ත ඉල්ලුම විභව නිෂ්පාදනය ලෙස හැඳින්වෙන ආර්ථිකයේ සාමාන්‍ය නිෂ්පාදන ශක්‍යතා මට්ටමට වඩා පහළ ගිය විට රජය හෝ මහා බැංකුව මැදිහත් වී සමස්ත ඉල්ලුම වැඩි කර එය සමස්ත සැපයුම සමඟ ගැලපිය යුතුය. රජය විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති (fiscal policy) ලෙසත් මහ බැංකුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග මුදල් ප්‍රතිපත්ති (monetary policy) ලෙසත් හැඳින්වේ.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලට අයත් වන්නේ රජය විසින් සහනාධාර ආදිය හරහා නිවාස ඒකක වෙත කිසියම් අයුරකින් මුදල් සම්ප්‍රේෂණය කිරීම හා බදු අඩු කිරීමයි. එවිට, නිවාස ඒකක සතු අරමුදල් ඉහළ යන නිසා සමස්ත ඉල්ලුම වැඩි වනු ඇති බව අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, මෙය කරන විට රජයේ ආදායම් පහළ ගොස් වියදම් වැඩි වන නිසා අයවැය හිඟයක් ඇති වේ. ඒ නිසා, මෙය සමනය කර ගැනීමට ආර්ථික අවපාතය අවසන් වූ පසු පෙර මට්ටමටත් වඩා සහනාධාර කැපීමත්, බදු වැඩි කිරීමත් කරන්නට සිදු වේ. එසේ නොකළහොත් නැවත ආර්ථික අවපාතයක් ඇති වූ විට රජයට සම්පත් හිඟයකට මුහුණ දෙන්නට සිදු වේ.

මුදල් ප්‍රතිපත්ති වලට අයත් වන්නේ මහා බැංකුව විසින් රටේ මුදල් සැපයුම වැඩි කර නිවාස ඒකක සතු අරමුදල් ඉහළ යැවීමයි. මෙය ප්‍රධාන වශයෙන්ම කරන්නේ පොලී අනුපාතික පහළ දැමීම මඟිනි. තවත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගණනාවක් තිබේ. 

පොලී අනුපාතික පහළ ගිය විට ඉතිරිකිරීම් අධෛර්යමත් වන අතර ණය ගැනීම් ඉහළ යයි. ඒ නිසා, නිවාස ඒකක වල වැඩිපුර අරමුදල් රැඳේ. මේ හේතුවෙන් සමස්ත ඉල්ලුම වැඩි වී මිල මට්ටම් ඉහළ යයි. එවිට සමාගම් නැවතත් දිරිමත් වන නිසා නිෂ්පාදනය නැවත ඉහළ යයි. කෙසේ වුවද, නිෂ්පාදනය ශක්‍ය මට්ටමට පැමිණි විට මහ බැංකුව විසින් මෙම ක්‍රියාවලිය ආපසු හරවා එළියට දැමූ අමතර මුදල් ආපසු එකතු කර නොගතහොත් උද්ධමනය පාලනය කරගත නොහැකි තරමට ඉහළ යයි. මේ සඳහා පොලී අනුපාතික ඉහළ දමන්නට සිදුවේ.

ඉහතින් විස්තර කළ පරිදි ව්‍යාපාර චක්‍ර වල බලපෑම අඩු කිරීම සඳහා රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මඟින් කලයුත්තේ ප්‍රති චක්‍රයක් ක්‍රියාත්මක කිරීම වුවත් ප්‍රායෝගිකව රජයයන් හා මහ බැංකු විසින් වැඩිපුර උනන්දු වන්නේ චක්‍රයේ පළමු කොටස ක්‍රියාත්මක කිරීමට පමණි. එමෙන්ම ලංකාව වැනි රටවල රජයයන් විසින් නිවාස ඒකක වෙත මුදල් සම්ප්‍රේෂණය කරනවා වෙනුවට කරන්නේ රජය විසින්ම සෘජුව වියදම් කිරීමයි. ඇත්තටම එහිදී වෙන්නේත් රටේ කිසියම් නිවාස ඒකක ටිකකට මුදල් සම්ප්‍රේෂණය වීමකි. 

රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති චක්‍ර වල පළමු කොටස ආණ්ඩු වල ජනප්‍රියතාවයට හේතු වන නමුත් දෙවන කොටස එසේ නොවේ. ඒ නිසා, එළියට මුදල් දමන තරමට රජය හෝ මහබැංකුව විසින් මුදල් ආපසු ඇතුළට ගන්නේ නැත. මෙහි ප්‍රතිඵලය රජයේ අයවැය හිඟය දිගටම පැවතීමයි හා මුදල් සැපයුම එන්න එන්නම වැඩි වීමයි. දිගින් දිගටම පවතින අයවැය හිඟයක් අවසාන වශයෙන් පියවෙන්නේද මහබැංකුවේ මුදල් වලින් නිසා මෙවැනි තත්ත්වයක අවසාන ප්‍රතිඵලය උද්ධමනය දිගටම ඉහළ මට්ටමක පැවතීම හා විණිමය අනුපාතිකය එන්න එන්නම දුර්වල වීමයි. රුපියල ඩොලරයට සාපේක්ෂව හැම වසරකම වාගේ අවප්‍රමාණය වීමට මෙය ප්‍රධාන හේතුවකි.

(Image: https://www.slideshare.net)

Saturday, March 25, 2017

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම ප්‍රමාණවත්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (මාර්තු 25) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25 බැගින්, එනම් 0.25% බැගින් ඉහළ නංවා තිබේ. මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.75% දක්වාත් ඉහළ නංවා තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සියළුම පොලී අනුපාතික කිසියම් ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියන්නේ කුමක්ද?

රටක පොලී අනුපාතික ව්‍යුහය (ඵලදා වක්‍රය) සෘජුව පාලනය කිරීමේ හැකියාවක් සෑම රටකම වාගේ මහ බැංකුවකට තිබේ. ඒ බැඳුම්කර වෙන්දේසි ආදිය හරහා නොවේ. මහ බැංකුව විසින් රජය වෙනුවෙන් බැඳුම්කර නිකුත් කිරීම හා අදාළ පොලී අනුපාතික තීරණය කිරීම ලංකාවේ සුවිශේෂී තත්ත්වයක් මිස සාමාන්‍ය තත්ත්වය නොවේ. එහෙත්, මහ බැංකුවක් ඇති රටක එම මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යොදාගනිමින් රටේ අනෙකුත් පොලී අනුපාතික වක්‍ර ලෙස පාලනය කිරීම සාමාන්‍ය දෙයකි.

රටක ජීවත් වන පුද්ගලයින් මෙන්ම ආයතනද විසින් විවිධ පරිණත කාල සඳහා ණය ලබාගැනීම හා එසේ ණය ලබාදීම සාමාන්‍ය තත්ත්වයකි. ලංකාවේ මූල්‍ය වෙළඳපොළෙහි මෙසේ ණය ලබාදෙන හා ණය ලබා ගන්නා දිගම කාලය වසර තිහක් ලෙස සැලකිය හැකිය. මේ වන විට බොහෝ දෙනා කතා කරන බැඳුම්කර සිදුවීමේදී රජය ණය ලබාගත්තේ වසර තිහක කාලයක් සඳහාය.

අනෙක් පැත්තෙන් ණය ලබා දෙන හා ලබාගන්නා කාලය එක් දිනක් තරම් කෙටි විය හැකිය. ඇතැම් විට දවස තුළ පැය කිහිපයක් සඳහා ණය ලබාගැනීමද සිදුවේ.

පොළේ හෝ පදික වේදිකාවේ වෙළඳාම් කරන බොහෝ අය එය කරන්නේ දවසේ පොලියට ණය ලබාගනිමින් බව ඒ සමාජ ස්ථරය ගැන දන්නා අය නොදැන සිටින්නට විදිහක් නැත. මේ වෙළඳපොළෙහිදී එක් දින ණය වෙනුවෙන් එවැනි වෙළෙන්දෙකු විශාල පොලී අනුපාතිකයක් ගෙවිය යුතුය.

වාණිජ බැංකු හා රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික ගණුදෙනුකරුවන් වැනි මූල්‍ය වෙළඳපොළෙහි දැවැන්ත ආයතන අතරද ඉතා පුළුල් හා සක්‍රිය එක් දින ණය වෙළඳපොළක් තිබේ. ඒක්ෂණ මුදල් වෙළඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති විකුණුම්/ ප්‍රති මිලදී ගැනීම් වෙළඳපොළ ලෙස මේ එක්දින ණය වෙළඳපොළෙහි ප්‍රධාන කොටස් දෙකක් ඇති අතර ලෙස මේ කොටස් දෙකේම සාමාන්‍ය පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පාලනය කිරීම මඟින් සෘජුව පාලනය කළ හැකිය.

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යනු වාණිජ බැංකුවකට තමන් සතුව ඇති අතිරික්ත අරමුදල් එක් දිනකට මහ බැංකුවේ තැන්පත් කිරීමෙන් ලබාගත හැකි පොලී අනුපාතිකයයි. මේ පොලී අනුපාතිකය 'සහතික පොලී අනුපාතිකයක්' බැවින් ඊට වඩා අඩු පොලී අනුපාතිකයකට වෙනත් අයෙකුට ණය දීමට කිසිදු බැංකුවක් නොපෙළඹේ. ඒ නිසා, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යනු එක්දින ණය වෙළඳපොළෙහි සාමාන්‍යයෙන් පැවතිය හැකි අවම පොලී අනුපාතිකයයි.

මේ අයුරින්ම, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනු වාණිජ බැංකුවකට තමන්ට අවශ්‍ය හිඟ අරමුදල් එක් දිනකට මහ බැංකුවෙන් ණයට ලබාගත හැකි පොලී අනුපාතිකයයි. මේ පොලී අනුපාතිකයද 'සහතික පොලී අනුපාතිකයක්' බැවින් ඊට වඩා වැඩි පොලී අනුපාතිකයකට වෙනත් අයෙකුගෙන් ණය ලබාගැනීමට කිසිදු බැංකුවක් නොපෙළඹේ. ඒ නිසා, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනු එක්දින ණය වෙළඳපොළෙහි සාමාන්‍යයෙන් පැවතිය හැකි උපරිම පොලී අනුපාතිකයයි.

වෙළඳපොළෙහි එක්දින ණය ඉල්ලුම හා සැපයුම සමතුලිතව ඇති විටෙක සාමාන්‍ය එක්දින පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර මැද අගයක පවතින අතර ණය දෙන්නන්ට මෙන්ම ණය ගන්නා ආයතන වලටත් මහ බැංකුවේ ප්‍රතිපත්ති අනුපාතික වලට වඩා වෙළඳපොළ පොලී අනුපාතික වාසිදායකය. ඒ නිසා, රටේ මූල්‍ය ආයතන වලට හැම තිස්සේම මහ බැංකුවට දුවන්නට නොවෙනවාක් මෙන්ම පොලී අනුපාතික විශාල ලෙස උච්ඡාවචනය වීමද වැළකේ.

රටේ එක්දින ණය ඉල්ලුම ණය සැපයුමට වඩා වැඩි වූ විට පොලී අනුපාතික ක්‍රමයෙන් ඉහළ යයි. මේ පොලී අනුපාතික මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ මට්ටමට ඉහළ ගිය විට මේ අමතර ඉල්ලුම සැපයෙන්නේ මහ බැංකුවෙනි. මහ බැංකුවෙහි තැන්පත් කරන අරමුදල් ප්‍රමාණයට වඩා මහ බැංකුවෙන් ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ ගිය විට රටේ මුදල් සැපයුම වැඩිවන අතර එය උද්ධමනයට හේතු වේ. මෙය පාලනය කරගත හැක්කේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමෙනි.

පසුගිය පෙබරවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ලංකාවේ උද්ධමනය 8.2% දක්වා ඉහළ ගියේය. මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නේ රටේ ආර්ථිකය පිළිබඳ දර්ශක ගණනාවක් පුළුල් ලෙස විමර්ශනය කරමින් වුවත්, මේ අවස්ථාවේදී පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැංකුව විසින් ගත් තීරණය සඳහා වැඩිම තල්ලුවක් ලබාදෙන්නට ඇතැයි සිතිය හැක්කේ නැඟී එන උද්ධමන පීඩනයයි.

උද්ධමනය 8.2%ක් ලෙස පැවතෙනු යනු අද රුපියල් 100කින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට තවත් වසරකට පසු ඔබට රුපියල් 108.20ක් අවශ්‍ය වන බවයි. ඒ නිසා ඔබේ වසරක තැන්පතුවකට රුපියල් 8.2%කට වඩා අඩු පොලී අනුපාතිකයක් ලැබේනම් සැබැවින්ම ඔබට ලැබෙන දෙයක් නැත. එමෙන්ම යම් හෙයකින් ඔබට 8.2% නොඉක්මවන පොලී අනුපාතිකයකට අද ණය ලබාගත හැකිනම් ඇත්තටම ඔබ ආපසු ගෙවන්නේ ගත් මුදලට වඩා අඩු මුදලකි. ඒ, එම මුදලින් අගය අඩු නොවන භාණ්ඩයක් මිලදී ගෙන (රන් වැනි) වසරකට පසුව විකුණා පොලියත් සමඟ ණය මුදල ආපසු ගෙවීමට ඔබට හැකි වන බැවිනි.

උද්ධමනය ඉහළ යනවිට ඒ හා සමානුපාතිකව නාමික පොලී අනුපාතික ඉහළ නොයයිනම් ණය ඉල්ලුම ඉහළ යන අතර ණය සැපයුම අඩුවෙයි. එවිට, මේ අඩුව පුරවන්නට වෙන්නේ මහ බැංකුවටය. ඒ අළුතින් මුදල් සංසරණයට එකතු කරමිනි. මෙහි ප්‍රතිඵලය වන්නේ උද්ධමනය නැවත වටයකින් තවත් ඉහළ යාමයි. එය වලක්වාගත හැක්කේ මහ බැංකුවේ පොලී අනුපාතික 'අවශ්‍ය මට්ටමට' ඉහළ දැමීමෙනි.

මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමා ඇතත් අවශ්‍ය තරමට පොලී අනුපාතික ඉහළ දමා ඇති බවක් නොපෙනේ. පසුගිය මාසයකට ආසන්න කාලය මුළුල්ලේම ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලී අනුපාතික පැවතියේ  මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වූ 8.5% මට්ටම ආසන්නයේය. බරිත සාමාන්‍ය ප්‍රතිමිලදී ගැනීම් අනුපාතික තිබුණේ ඊටත් තරමක් ඉහළිනි. මෙයින් අදහස් වන්නේ එක්දින ණය වෙළඳපොළෙහි ඉල්ලුම හා සැපයුම සමතුලිත වන පොලී අනුපාතිකය 8.5% ඉක්මවූ බව හා මහ බැංකුව විසින් එම අනුපාතිකය කෘතීම ලෙස පාලනය කරගෙන සිටි බවයි.

මේ අනුව, පසුගිය සති කිහිපය මුළුල්ලේ වාණිජ බැංකු ඇතුළු මූල්‍ය ආයතන විසින් මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම විශාල ලෙස ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සිතිය හැකිය. මේ වන විට තෙමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9.5%පමණ ඉහළ මට්ටමක පැවතීම තුළ මේ තත්ත්වය තේරුම් ගන්නට බැරිකමක් නැත. වාණිජ බැංකුවකට 9.5% පොලී අනුපාතිකයක් ලබමින් තෙමස් භාණ්ඩාගාර බිල්පතක සිය අරමුදල් ආයෝජනය කර, නැවත එම භාණ්ඩාගාර බිල්පත ඇපයට තබමින් මහ බැංකුවෙන් 8.5%ක පොලියකට ණය ලබාගැනීමට හැකිව තිබීම තුළ ඇතිවී තිබුණේ විශාල මූල්‍ය වෙළඳපොළ අක්‍රමිකතාවයකි (anomaly).  මේ තත්ත්වය තවමත් එසේම පවතී.

මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.75% දක්වා ඉහළ නැංවීමෙන් පසුව එක්දින පොලී අනුපාතිකද එම මට්ටමේම පැවතීමෙන් පෙනෙන්නේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ඵලදායී නොවන බවයි. මෙම පහසුකම ලබාගන්නා ආයතන වලට මහ බැංකුවෙන් අඩුපොලියට ලබාගන්නා ණය වැඩි පොලියකට රජයට ලබාදීමේ අවස්ථාව මේ හරහා තවමත් උදාවී තිබේ.

අවශ්‍ය ප්‍රමාණයට පොලී අනුපාතික ඉහළ නොදැමීම පසුගිය රජයේ මුල් කාලයේදීද මහ බැංකුව විසින් සිදුකළ අසාර්ථක පරීක්ෂණයකි. එහි මිල වසර කිහිපයකට පසු ගෙවන්නට සිදු විය. පොලී අනුපාතික අවශ්‍ය තරම් ඉහළ යන්නට ඉඩ නොදීම තුළ රටේ ණය ඉල්ලුම ඉහළ යයි. වාහන ණය පහසුකම් සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇත්තේ ඒ හේතුවෙනි.

පසුගිය කාලයේ සිදුවූවාක් මෙන් 'පරක්කු වැඩිවන්නට පෙර' මහ බැංකුව විසින් සිය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, ඒක්ෂණ වෙළඳපොළ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකයට වඩා ඉහළින් පවතින පරිදි පොලී අනුපාතික ව්‍යුහය නිවැරදි කළ යුතුය.


(Image: http://www.news.lk)

Saturday, December 17, 2016

ඇමරිකානු ෆෙඩරල් සංචිත පොලී අනුපාතික තවත් ඉහළට...

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික තව දුරටත් ඉහළ දමන බව පසුගිය බදාදා (දෙසැම්බර් 14) නිවේදනය කළේය. මේ අනුව ෆෙඩරල් ඉලක්ක පොලී අනුපාතික පසුගිය වසර පුරා පැවති 0.25-0.50% මට්ටමේ සිට 0.50-0.75% මට්ටම දක්වා පාදක අංක 25කින් ඉහළ දමනු ලැබීය. ඉහත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, න්‍යායාත්මකව සිදුවිය යුතු පරිදිම, ඇමරිකානු බැඳුම්කර ඵලදා අනුපාතික ක්ෂණිකව ඉහළ යාමත්, ඇමරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත් වීමත් කොටස් වෙළඳපොළ මිලගණන් පහත වැටීමත් නිරීක්ෂණය කළ හැකි විය.

දශකයකට පෙර ෆෙඩරල් පොලී අනුපාතික 5.25% තරම් ඉහළ මට්ටමක පැවතියේය. ඇමරිකාව මුහුණ දුන් ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින් මෙම ෆෙඩරල් පොලී අනුපාතිකය කෙටි කාලාන්තර තුළ වරින් වර පහත හෙලනු ලැබූ අතර, 2008 දෙසැම්බර් මස 16 වන දින නාමික පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වා අඩු කෙරිණි. එතැන් සිට වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතියේ 0-0.25% මට්ටමේය. මෙසේ ශුන්‍ය මට්ටම ආසන්නේ පැවති පොලී අනුපාතික වසරකට පෙර, පසුගිය දෙසැම්බරයේදී 0.25-0.50% මට්ටම දක්වා ඉහළ නැංවිනි. ෆෙඩරල් සංචිත බැංකුවේ අළුත්ම තීරණය වසරකට පෙරගත් තීරණයේම දිගුවක් වන අතර ලබන වසර තුළ මෙම පොලී අනුපාතික තවත් කිහිප වරක් ඉහළ දැමීමට සිදුවිය හැකි බව ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිනී ජැනට් යෙලන්ගේ අදහසයි.

දරුණු ආර්ථික අවපාතයක් පසුකරමින් ආ ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට සිය නිෂ්පාදනය එහි විභව මට්ටම දක්වා වර්ධනය කරගෙන ඇති අතර ඉතා ඉහළ මට්ටමක පැවති විරැකියා අනුපාතිකයද පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ ස්වභාවික විරැකියා අනුපාතිකය ලෙස දැනට සැලකෙන 4.8% මට්ටමද ඉක්මවා 4.6% මට්ටමට පහත වැටී තිබේ. පසුගිය මාසයේ උද්ධමනය වූ 1.7% ඇමරිකාවේ දිගුකාලීන සාමාන්‍ය උද්ධමනය වන 2% මට්ටමට වඩා පහළින් පැවතියත් සාමාන්‍ය මට්ටමට වඩා පහළින් ඇති ඉන්ධන මිලේ බලපෑම සලකා බලමින් උද්ධමනය ඉදිරියේදී අපේක්ෂිත මට්ටම ඉක්මවීමට ඇති ඉඩකඩ ගැන ෆෙඩරල් සංචිත බැංකුව සැලකිලිමත් වී තිබේ.

ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින් 2008 දෙසැම්බරයේදී ෆෙඩරල් පොලී අනුපාතික ශුන්‍ය මට්ටම දක්වාම පහත හෙලීමෙන් පසුවද ඇමරිකානු ආර්ථිකය එහි විභව මට්ටම කරා නැවත නොපැමිණියේය. ද්‍රවශීලතා උගුලක් ලෙස හඳුනා ගැනෙන මෙවැනි අවස්ථාවකදී රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා මහ බැංකුවක පොලී අනුපාතික තවදුරටත් පහත හෙලීමේ ඉඩකඩක් නොමැති බැවින් මුදල් ප්‍රතිපත්තිය සෑහෙන දුරකට අකර්මන්‍ය වේ. මේ අනුව, එතැන් සිට ඇමරිකාවට බොහෝ දුරට රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යොදාගනිමින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගියේය. කෙසේවුවද, 2009දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8% මට්ටමට ඉහළ ගිය ඇමරිකාවේ අයවැය හිඟය පසුගිය (2015) වසර වන විට 2.4% මට්ටම දක්වා අඩු කරගැනීමට ඇමරිකානු රජය සමත් විය.

ඇමරිකානු රජයට සාමාන්‍යයෙන් ණය ගැනීම අපහසු කාර්යයක් නොවේ. ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් වල ස්ථාවරත්වය සලකමින් ලොව පුරා ආයෝජකයෝ 'ඇමරිකානු රජයට ණය දෙන්නට' පොරකති. එහෙත්, ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාතික ඉතාම අඩු මට්ටමක පැවති පසුගිය කාලයේ මෙසේ ඇමරිකා එක්සත් ජනපද රජයට ණය දීම හෙවත් ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම වෙන කාල වලදී තරම් ආකර්ශනීය වූයේ නැත. ඒ කාලයේදී අනෙක් ප්‍රධාන ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වීමද සිදු වූ නිසා ඇමරිකාවෙන් පිටත ආයෝජකයින්ට මේ ශුන්‍යයට ආසන්න පොලී අනුපාතික ඉතා ප්‍රබල බලපෑමක් කළේය. ඒ හේතුවෙන්, අවදානම වැඩි වුවත් ඉහළ පොලී අනුපාතිකයක් ලබා දෙන වෙනත් වෙළඳපොළවල් මේ ආයෝජකයන්ට ආකර්ශනීය විය.

ඉහත තත්ත්වයේ වාසිය ඒ කාලයේදී ලංකාවටද ලැබුණු අතර ලංකාවේ රජය විසින් නිකුත් කළ රාජ්‍ය සුරැකුම්පත් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගැනීමට විදේශ ආයෝජකයෝ ඉදිරිපත් වූහ. මෙය ලංකාවට විදේශ විණිමය ආකර්ශනය කිරීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් හේතු විය. කෙසේවුවද, මෙසේ පැමිණි අරමුදල් ප්‍රවාහ තාවකාලික අරමුදල් ප්‍රවාහ මිස දිගුකාලීන ආයෝජන නොවීය.

පසුගිය දෙසැම්බරයේදී ෆෙඩරල් සංචිත බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් කිරීමත් සමඟ ලංකාවට තිබූ පෙර කී වාසිදායක තත්ත්වය කණපිට හැරුණු අතර ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර තිබූ විදේශිකයින් බොහෝ දෙනෙකු එම ආයෝජන විකුණා දමා හෝ කල් පිරුණු පසු මුදල් කර වඩා සුරක්ෂිත මූල්‍ය වෙළඳපොළවල් කරා ආපසු රැගෙන ගියහ. පසුගිය කාලයේ ලංකාවේ විදේශ ණය යම් තරමකින් අඩුවූයේ (හෝ ඉහළ යාම සීමාවූයේ) මේ හේතුවෙනි. මේ තත්ත්වය ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයද උග්‍ර කළේය.

ෆෙඩරල් සංචිත බැංකුව මෙසේ වසරක සිට සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් සිටියත් ඔවුන් සිය ස්ථාවරය තවදුරටත් හඳුනාගන්නේ ලිහිල් (accommodative) ප්‍රතිපත්තියක් වශයෙනි. වෙනත් අයුරකින් කිවහොත් ඇමරිකාව තවමත් සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්නට පටන්ගෙන නැත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව කිසියම් වෙනසක් වෙන්නට ඉඩක් ඇතත්, ඉදිරි වසර තුළ ඇමරිකානු පොලී අනුපාතික තවදුරටත් ඉහළ යාමට ඇති ඉඩකඩ ඉතා විශාලය.

පොලී අනුපාතික ඉහළ යන විට ඇමරිකානු ආයෝජන වඩා ආකර්ශනීය වන නිසා අරමුදල් ප්‍රවාහ ඇමරිකාවට ඇදී ඇමරිකානු ඩොලරය වඩාත් ශක්තිමත් වේ. මේ තත්ත්වය ඇමරිකාවේ ආනයන ඉල්ලුම ඉහළ නංවන නිසා ඇමරිකාවට අපනයනය කරන රටවලට කිසියම් වාසියක්ද සැලසේ. මේ අතින් ලංකාවේ ඇඟළුම් වැනි කර්මාන්ත වලට වාසියක් සැලසෙනු ඇතත්, අනෙක් පැත්තෙන් ආනයන වියදම් හා ණය පොලී අනුපාතික ඉහළ යාමත්, ණය ගැනීම වඩා අපහසු වීමත් නිසා සමස්තයක් ලෙස රටේ උද්ධමනය හා ගෙවුම් ශේෂ හිඟය වෙත ඇති කරනු ඇත්තේ අහිතකර බලපෑමකි.


(Image: http://thestudentlawyer.com/2016/02/12/janet-yellen-cautious-over-us-interest-rates/)

Thursday, December 15, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහසයවන කොටස)

අප කතා කරමින් සිටි ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසියට සහභාගී වූ එක් එක් ආයතනය විසින් තබා තිබුණු මුළු ලන්සු ප්‍රමාණය අපි ලිපි මාලාවේ දහහතර වන කොටසින් විමර්ශනයට ලක් කළෙමු. මේ ආයතන අතරින් වැඩි ප්‍රමාණයක් 'නමට මෙන්' අවම ලන්සුව පමණක් තබා තිබුණු අතර තවත් ආයතන කිහිපයක් මේ අවමය ඉක්මවන, එහෙත් මුලින් මහ බැංකුව විසින් ප්‍රකාශ කළ රුපියල් බිලියනයේ සීමාව නොඉක්මවන ලන්සු ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණේය. මේ 'සාමාන්‍ය' හැසිරීමෙන් වෙනසක් වූ හැසිරීමක් පෙන්වමින් ආයතන තුනක් බිලියනය ඉක්මවූ ලන්සු ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණේය. ඒ අතරින් සෙලාන් බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල විසින් වැඩිපුර තබා තිබුණු ලන්සු ප්‍රමාණය පෙර කටයුතු සිදුවී තිබුණු ආකාරය අනුව අසාමාන්‍ය නොවිය හැකි වුවත්, එක් ආයතනයක් විසින් පහළොස් ගුණයකින් වැඩි ලන්සු ප්‍රමාණයක් තබා තිබීම කිසිසේත්ම සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය නොහැකිය යන බොහෝ දෙනෙකුගේ මතය සමඟ එහිදී ඉකොනොමැට්ටා එකඟ විය.

ඉන්පසුව, පහළොස්වන කොටසින් අප විමසා සිටියේ එක් එක් ආයතනයේ ලන්සු වල බරිත සාමාන්‍ය මිලෙන්ද එවැනි අසාමාන්‍ය බවක් පෙනෙන්නේද යන්නයි. එහිදී, අඩු ලන්සු තැබූ ආයතන සමූහයක් මෙන්ම වැඩි ලන්සු තැබූ ආයතන සමූහයක්ද අපට හඳුනාගත හැකි විය. ලිපි මාලාවේ එම කොටස අවසන් කෙරුණේ මෙයින් පෙනෙන්නේ 'වෙන්නට යන දෙය ගැන' ඉවක් ආයතන ගණනාවකටම ලැබුණේද යන්න ප්‍රශ්න කරමිනි. මේ කොටසින් පටන්ගෙන ඊළඟ කොටසින් මා පැහැදිලි කරන පරිදි මෙසේ විවිධ ආයතන වල බරිත සාමාන්‍ය ලන්සු මිල ස්ථාන දෙකක හෝ වැඩි ගණනක නාභිගත වීම එවැනි 'ඉවක් වැටීමක් ලෙස' සිතනවාට වඩා වෙනත් අයුරකින් තේරුම් ගැනීම පහසුය.

දහවන කොටස කියවා අප තේරුම් ගත් පරිදි, රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියට ලන්සු තබන ආයතනයක් හැම විටම උත්සාහ කළ යුත්තේ වෙන්දේසියේ ආන්තික මිල ඉක්මවා, එහෙත් හැකිතාක් එම මිලට ආසන්නව, ලන්සු තැබීමටය. ලන්සු මිල වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලට වඩා අඩුනම් ක්ෂණික වාසියක් ලැබිය හැකි අතර ඊට වඩා වැඩිනම් වෙන්නේ ක්ෂණික අවාසියකි. මහ බැංකුව විසින් වෙන්දේසියේ ප්‍රමාණය හිතුමතේට වෙනස් නොකරනවානම් මේ වාසිදායක මිල පරාසය අනුමාන කිරීම යනු අනෙක් තරඟකරුවන්ගේ ලන්සු වල මිල පරාස අනුමාන කිරීමකි. එහෙත්, මහ බැංකුව වෙන්දේසියේ නිකුතු ප්‍රමාණය වෙනස් කරමින් ආන්තික මිලට හා බරිත සාමාන්‍ය මිලට නිදහසේ තීරණය වන්නට නොදී වලක්වන නිසා මේ කටයුත්තේදී මහ බැංකුව විසින් කරන්නට ඉඩ ඇති දේ අනුමාන කිරීමද අවශ්‍ය වේ.

ඇත්තටම කියනවානම් මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියක නිකුතුවේ ප්‍රමාණය වෙනස් කරන්නේ හිතුමතේටම නොවේ. පෙබරවාරි 27 වෙන්දේසිය පැත්තකින් තිබ්බොත්, මහ බැංකුව සාමාන්‍යයෙන් මෙය කරන්නේ මහ බැංකුවට අවශ්‍ය සීමාවේ පොලී අනුපාතික පවත්වා ගැනීමේ අරමුණද පෙරදැරි කරගෙනය. මහ බැංකුවේ මේ හැසිරීමට තාර්කික පදනමක් තිබේ.

මහ බැංකුවේ ප්‍රධාන කාර්ය භාරය රටේ මිල ස්ථායීතාවය පවත්වා ගැනීමයි. මහ බැංකුව එය කරන්නේ රටේ මුදල් සැපයුම වෙනස් කරමින්, පොලී අනුපාතික අවශ්‍ය මට්ටමේ රඳවා ගැනීම මඟිනි. ඒ නිසා, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් විටක පොලී අනුපාතික ඉහළ යාමට සැලැස්වීමටත්, තවත් විටෙක පහළ වැටීමට සැලැස්වීමටත් මහ බැංකුවට අවශ්‍ය වේ.

මේ අතර රජය වෙනුවෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේ කටයුත්තද මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් විසින්ම කරන නිසා රජයේ පොලී වියදම හැකිතාක් අඩුවෙන් පවත්වා ගැනීමටද මහ බැංකුවට අවශ්‍ය වේ. මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක සිටින විට මුදල් ප්‍රතිපත්තිය හා රාජ්‍යමූල ප්‍රතිපත්තිය ගැටෙන නමුත්, මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්තියක සිටින විට රජයට මෙන්ම මහ බැංකුවටද අවශ්‍ය වන්නේ පොලී අනුපාතික හැකිතාක් පහතින්  තබා ගැනීමටය.

කෙසේවුවද, මා දහවන කොටසින් පැහැදිලි කළ පරිදි ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි ක්‍රමය යටතේ ලන්සු තබන ආයතනයක් විසින් එයට මුහුණ දිය යුතු තාර්කිකම ක්‍රමය වන්නේ වෙන්දේසියේ ආන්තික මිල හා බරිත සාමාන්‍ය මිල අනුමාන කර ඒ අතර පරාසයේ ආන්තික මිලට හැකිතාක් ආසන්න ලන්සුවක් තැබීමයි. එහෙත්, සෑම ආයතනයක් විසින්ම එය කළ විට බරිත සාමාන්‍යයද පහළ යයි. එවිට, මෙසේ ලන්සු තබා ලාබයක් ලැබිය හැකි පරාසය තවත් පටු වී බරිත සාමාන්‍ය මිල ආන්තික මිලට ආසන්න වේ. මේ නිසා මේ වෙන්දේසි ක්‍රමයේදී තරඟකාරී තත්ත්වයක් යටතේ වුවද වැඩිම මිලට රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නට නොහැකි වීම න්‍යායාත්මකවම පැහැදිලි කළ හැකි කරුණකි.

මා සිතන පරිදි මේ වෙන්දේසි ක්‍රමය ආරම්භ කළ කාලයේ සිටම පැවතුණේ මෙවැනි තත්ත්වයකි. එයට අමතරව, දහතුන්වන කොටසින් විස්තර කළ පරිදි විවිධ ආයතන වල මේ වෙන්දේසියේ ලන්සු තැබීමේ තීරණ ගන්නා පුද්ගලයින් බොහෝ දෙනෙකු සංවෘත සමූහයක් ලෙස සැලකිය හැකිය. සරලව කියනවානම්, ඉතා දැඩි පෞද්ගලික සම්බන්ධතා සහිත 'යාළුවන් පිරිසකි'. ඒ නිසා, ඒ අයට කාටලයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් තිබේ. ඉහත පළමු න්‍යායාත්මක හේතුවට මේ දෙවන ආකෘතිමය හේතුව එක් වූ විට අවසාන ප්‍රතිඵලය වන්නේ වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල රජයට ලබා ගත හැකි හොඳම මිල ඉක්මවා පහළ යාමයි. එනම් ඵලදා (පොලී) අනුපාතික ඉහළ යාමයි.

රජයට ලොකු සල්ලි හදිස්සියක් නැති සාමාන්‍ය දවසක මේ මිල ඉහළ යාමද සාමාන්‍ය වුවත්, මහා භාණ්ඩාගාරය බෙල්ලටම හිරවී කොහොම හරි සල්ලි හොයාගන්නට දඟලන වෙලාවට ලන්සු මිලද සාමාන්‍ය මිලට වඩා බොහෝ සේ පහළ වැටේ.

රජයට හා මහ බැංකුවටද මේ තත්ත්වයට මුහුණ දීමට ආයුධ තිබේ. ඒ, රජයට කිසියම් බලපෑමක් කළ හැකි සේවක අර්ථසාධක අරමුදල හා රාජ්‍ය බැංකු යොදාගෙන අනෙක් තරඟකරුවන්ගේ ඒකාධිකාරයට මුහුණ දීමයි. දහතුන්වන කොටසේ විස්තර කර පරිදි මේ ආයතන වලට අඩු ආවස්ථික පිරිවැයකට අරමුදල් ලැබෙන නිසා රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර මහා ලොකු ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගන්නට උවමනාවක් නැත.

අනෙක් අතට, මා විසින් දහහතරවන කොටසින් විස්තර කළ ක්ෂණික අවාසිය 'පොතේ ඇති' අවාසියකි. රුපියල් ලක්ෂ විස්සකට මෝටර් රථයක් මිලදී ගැනීමෙන් පසු ආනයන බදු අඩු කිරීම වැනි කිසියම් හේතුවකින් එහි වෙළඳපොළ මිල ගත් මිලට වඩා අඩුවීම වැනි තත්ත්වයකි. මෙය අවසාන වශයෙන් සැබෑ අවාසියක් වන්නේ එය විකිණූ විටය. සල්ලි හදිස්සියක් නැත්නම් එසේ පාඩුවට නොවිකුණා කවදා හෝ මිල වැඩි වන තුරු තියා ගන්නට පුළුවන. අතේ වැඩිපුර මුදලක් නැති කාර් බ්‍රෝකර් කෙනෙක් වැනි ප්‍රාථමික ගණුදෙනුකරුවෙකුට එසේ සුරැකුම්පතක අරමුදල් හිරකරගෙන සිටීම අමාරු වුවත්, පාවිචිචියට මෝටර් රථයක් ගන්නා සල්ලි තියෙන අයෙක් වැනි වූ සේවක අර්ථසාධක අරමුදලට හා රාජ්‍ය බැංකු වලට 'ඇති වෙන්න' සල්ලි තියෙන නිසා එය කළ හැකිය.

රාජ්‍ය සුරැකුම්පත් සැපයුම ඇති වන ආකාරයත්, හිටිවනම ආණ්ඩුවට සල්ලි හදිස්සි ඇති වී ඒ සල්ලි හොයා ගන්නට රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරන්නට සිදුවන ආකාරයත් මම දොළොස්වන කොටසින් පැහැදිලි කළෙමි. එම කොටසින් විස්තර කළ පරිදි මෙවැනි ක්ෂණික මුදල් අවශ්‍යතා රජයට වැඩිපුරම ඇති වුනේ උතුරේ මෙහෙයුම් ලොකුවටම සිදු වූ වසර වලදීය. මෙවැනි අවස්ථාවක ඉතා ක්ෂණිකව අරමුදල් සොයාගන්න්ට අවශ්‍ය වූ විට වෙන්දේසිය හරහා යාමෙන් 'පිළිගත හැකි මට්ටමේ' මිලක් ලබා ගැනීම අසීරු වූ අවස්ථා සුලභ විය. සෘජු ආයෝජන ක්‍රමය කරලියට එන්නේ එවැනි පසුබිමකය.

සෘජු ආයෝජන ක්‍රමය යටතේ මුලින්ම රාජ්‍ය සුරැකුම්පත් විකිණුවේ රජය යටතේම පැවති සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයකටය. මේ මඟින් සුරැකුම්පත් ඵලදා අනුපාතික දරාගත නොහැකි මට්ටමකට ඉහළ යාම පාලනය කෙරිණි. එයද කළ නොහැකි වන විට මහ බැංකුව විසින්ම රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීමද සිදුවිය. පසුකාලීනව මේ සෘජු විකිණුම් ක්‍රමය වඩා පුළුල් වී 'සාමාන්‍ය තත්ත්වය' බවට පත් වී ඇති අතර වෙන්දේසියේ කාර්ය භාරය කලින්කලට වෙළඳපොළ ඵලදා අනුපාතික අපේක්ෂාවන් පිළිබඳ ඉඟියක් ලබාගැනීමක් බවට පත්වී තිබේ.

සෘජු විකිණුම් ක්‍රමය සාමාන්‍ය තත්ත්වය බවට පත් වී වෙන්දේසියට සහභාගී වන ඕනෑම ආයතනයකට වෙන්දේසිය පැවැත්වෙන දින හැර අනෙක් ඕනෑම දිනෙක සෘජු ක්‍රමයට සුරැකුම්පත් මිල දී ගැනීමේ හැකියාව ලැබුණු විට මේ ආයතන වෙන්දේසියට ප්‍රතිචාර දැක්විය යුතු ප්‍රශස්ත ක්‍රමයද වෙනස් වෙයි. දැන් සෘජු ආයෝජන විකල්පයට සාපේක්ෂව වෙන්දේසිය අවදානම් කටයුත්තකි. එය ආකර්ශනීය වන්නේ අවදානම් ගැනීමට කැමති අයටය. එසේ අවදානම් ගැනීමට අකැමැති අයට වෙන්දේසිය ආකර්ශනීය නොවන අතර වෙන්දේසියෙන් පසුව සෘජු ක්‍රමයට සුරැකුම්පත් මිලදී ගැනීම වඩා හොඳ උපාය මාර්ගයකි. මා විසින් පසුව විස්තර කෙරෙනු ඇති පරිදි හා මහ බැංකුවේ 'ලීක් වූ' අධීක්ෂන වාර්තාවේ අවධානයට ලක් කෙරී ඇති පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වෙන්දේසියට සහභාගී වන අනෙකුත් ආයතන වලට සාපේක්ෂව ව්‍යාපාරික උපාය මාර්ගයක් ලෙස ඉතා විශාල අවදානම් ගන්නා සමාගමක් බව පෙනේ.

සෘජු ක්‍රමය ප්‍රධාන ක්‍රමය වූ සෘජු/වෙන්දේසි මිශ්‍ර නිකුතු ක්‍රමයක් භාවිතා කෙරෙන අළුත් තත්ත්වය යටතේ වෙන්දේසිය පැවැත්වීම මඟින් මහ බැංකුව විසින් වෙළඳපොළ ඵලදා අනුපාතික අපේක්ෂාවන් පිළිබඳව දැනගැනීමට අමතරව එම ඵලදා අනුපාතික අවශ්‍ය පරිදි මාර්ගස්ථ (guide) කිරීමක්ද සිදු කරයි. මෙය කරන්නේ වෙන්දේසියේ නිකුතු ප්‍රමාණය මහ බැංකුවට අවශ්‍ය පරිදි වෙනස් කිරීම මඟිනි. වෙළදපොළ ඉල්ලා සිටින ඵලදා අනුපාතික 'නරක නැති බව' මහ බැංකුවට පෙනේනම් මහ බැංකුව කරන්නේ නිකුතුවේ ප්‍රමාණය ඉහළ දමා වැඩි සුරැකුම්පත් ප්‍රමාණයක් 'ඉහළ මිලකට' විකුණා ගැනීමයි. එය එසේ නොවී, වෙළඳපොළ ඉල්ලා සිටින ඵලදා අනුපාතික ඉතාම ඉහළ බව පෙනේනම් මහ බැංකුව විසින් කරන්නේ ලන්සු පරික්ෂා කිරීමෙන් පසුව සුරැකුම්පත් නිකුත් නොකර වෙන්දේසිය අවලංගු කර දැමීමයි. ඒ නිසා, පාරදෘශ්‍ය නොවූවත් සුරැකුම්පත් වෙන්දේසියක නිකුතු ප්‍රමාණය ලන්සු ලබාගැනීමෙන් පසුව වෙනස් කිරීම 'හිතුමතේට වාගේ' වුවත් 'හිතුමතේටම' සිදුවන දෙයක් නොවේ.

ඉහත පරිදි, මහ බැංකුව නිකුතුවේ ප්‍රමාණය 'හිතුමතේට වාගේ' වෙනස් කිරීමේ එක් හොඳක්ද තිබේ. දැන් වෙන්දේසියට සහභාගී වන ආයතන වලට අනෙක් සියළුම තරඟකරුවන් ලන්සු තැබිය හැකි මිල පරාස අනුමාන කරන්නට මහන්සි නොවී, මහ බැංකුව විසින් තීරණය කරන්නට ඉඩ ඇති ආන්තික මිල හා බරිත සාමාන්‍ය මිල අනුමාන කිරීමේ සාපේක්ෂව පහසු කටයුත්ත කරමින් තමන්ගේ ලන්සු මිල ගණන් සකස් කළ හැකිය. 2015 මුල දක්වා වසර ගණනාවක් පැවති සෘජු විකිණීම්/ වෙන්දේසි මිශ්‍ර ක්‍රමය තුළ වෙන්දේසියේ අවසාන ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මකව බලපෑවේ 'මහ බැංකුවට අවශ්‍ය සමතුලිත මිල' මිස ඉල්ලුම මත පදනම් වූ සමතුලිත මිල නොවේ. (ඇත්තටම කියනවානම් දිගුකාලීනව මේ දෙක අතර ලොකු වෙනසක් පවත්වා ගත නොහැකිය. මෙසේ මහ බැංකුව විසින් ලන්සු ලබාගැනීමෙන් පසුව නිකුතුවේ ප්‍රමාණය වෙනස් කිරීම නිසා ප්‍රායෝගිකව වෙන්නේ වෙළඳපොල ඵලදා අනුපාතික වල කෙටිකාලීන උච්ඡාවචනයන් අඩුවී සුමට වීමක් පමණි.)

අපේ ලිපි මාලාවට හේතු සැපයූ වෙන්දේසියේදී ලන්සු තැබූ එක් එක් ආයතනය විසින් මේ 'මහ බැංකුවට අවශ්‍ය සමතුලිත මිල' තීරණය කර ඇති ආකාරය ගැන කතා කිරීම අපි ඉදිරි කොටසට තබමු.

Monday, December 12, 2016

රටකට ඕනෑ කොපමණ මුදලක්?



පසුගිය ලිපියකට ප්‍රතිචාර දැක්වූ එක් පාඨකයෙකු කිසියම් රටක් 'අළුතින් සල්ලි අච්චු ගැසීමේ' ක්‍රියාපටිපාටිය ගැන විස්තර කරන මෙන් ඉල්ලා සිටියේය. මේ ලිපිය එම ඉල්ලීමට ප්‍රතිචාරයකි.

කිසියම් මොහොතක රටක ආර්ථිකය තුළ සංසරණය වන නිශ්චිත මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණයක් තිබේ. මේ අතර ඉරුණු, පොඩි වුණු, අපවිත්‍ර වුණු නෝට්ටුද තිබේ. අතින් අත ගොස් කිසියම් බැංකුවක් හරහා මෙසේ හොඳ තත්ත්වයේ නැති මුදල් නෝට්ටුවක් මහ බැංකුවට පැමිණි විට මහ බැංකුව විසින් එවැනි මුදල් නෝට්ටු විනාශ කර අළුත් මුදල් නෝට්ටු සංසරණයට එක් කරයි. මෙසේ කිරීමෙන් රටේ මුදල් සැපයුම (ආර්ථිකය තුළ සංසරණය වන මුළු මුදල් ප්‍රමාණය) වෙනස් නොවේ. ඒ නිසා, මෙහිදී සිදුවන්නේ අළුතින් සල්ලි අච්චු ගැසීමක් නොවේ. (මෑතකදී වාර්තා වී තිබුණු පුවතකට අනුව මහ බැංකුවේ සේවකයින් පිරිසක් විසින් ආදේශක ලෙස අළුතින් නෝට්ටු නිකුත් කිරීමෙන් පසු මෙසේ විනාශ කළ යුතු අපවිත්‍ර වූ නෝට්ටු විනාශ නොකර තමන් වෙත තබා ගනිමින් වංචාවක් සිදුකර තිබුණේය. එවැනි විටෙකනම් රටේ මුදල් සැපයුම වැඩි වේ.)

අළුතින් මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ කිසියම් අයුරකින් මහ බැංකුව විසින් ආර්ථිකයට පවතින ප්‍රමාණයට අමතරව අළුත් මුදල් නෝට්ටු හෝ කාසි නිකුත් කළ විටය. මෙය සිදුවන්නේ මහ බැංකුව විසින් කිසියම් පිරිවැයක් දරන විටෙකදීය.

මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවන විටත්, මහ බැංකුවට අලුතින් පරිගණකයක් මිලදී ගන්නා විටත්, මහ බැංකුව විසින් පුවත්පත් දැන්වීමක් දමන විටත් වැය කරන්නේ රජයේ වෙනත් ආයතනයක එවැනි පිරිවැයක් දැරෙන විට සිදුවනවාක් මෙන් මහජනතාවගේ බදු මුදල් නොවේ. අළුතින් මුද්‍රණය කළ මුදල්ය. ඒ නිසා මහ බැංකුවේ පිරිවැය වැඩිවන හැමවිටම රටේ මුදල් සැපයුම වැඩි වේ.

මෙහි අනිත් පැත්තද සිදුවේ. මහ බැංකුව විසින් ඔවුන්ගේ වාර්ෂික වාර්තාවේ පිටපතක් හෝ වෙනත් ප්‍රකාශනයක් විකුණන සෑම විටෙකම රටේ සංසරණයට නිකුත් කර ඇති මුදල් වලින් කිසියම් කොටසක් ආපසු මහ බැංකුවට පැමිණ සංසරණයෙන් ඉවත් වන නිසා රටේ මුදල් සැපයුම අඩුවේ.

ඉහත විස්තර කළ පරිදි මහ බැංකුව විසින් උපයන හා වැයකරන සෑම සතයක්ම රටේ මුදල් සැපයුමට බලපෑමක් කළත් රටේ මුදල් සැපයුම ප්‍රධාන වශයෙන්ම විචලනය වන්නේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත්) මිලදී ගැනීම හා විකිණීම කරන විටය. 


රටේ මුදල් සැපයුම වැඩි කරන්නට අවශ්‍ය වූ විට මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී. රටේ මුදල් සැපයුම අඩු කරන්නට අවශ්‍ය වූ විට මහ බැංකුව තමන් සතු භාණ්ඩාගාර බිල්පත් විකුණයි.

මුදල් සැපයුම වැඩි කිරීම උද්ධමනයට හේතු වන බව අප දන්නා දෙයකි. එසේනම්, මහ බැංකුවක් අළුතින් සල්ලි අච්චු ගසා මුදල් සැපයුම වැඩි කරන්නේ ඇයි?

රටේ ආර්ථිකයක් නිසි ලෙස ක්‍රියාත්මක වීමටනම් යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. රටක මහ බැංකුවක් මුදල් සැපයුම වැඩි කරන්නේ මේ මුදල් අවශ්‍යතාවය සැපිරෙන පරිදිය. එසේනම්, මේ ප්‍රමාණය කොපමණද?

මෙය ඇස්තමේන්තු කිරීම සඳහා අපට මුදල් අවශ්‍ය වන්නේ කුමකටද යන්න විමසීමට සිදුවේ. මුදල් අවශ්‍ය වන්නේ ගනුදෙනු සඳහාය. රටකට ගනුදෙනු සඳහා කොපමණ මුදලක් අවශ්‍යද?

රතු කැකුළු කිලෝවක් රුපියල් අසූවනම් කිලෝ දෙකක් මිලදී ගන්නට රුපියල් එකසිය හැටක් අවශ්‍ය වේ. බිත්තරයක් රුපියල් පහළොවනම් බිත්තර පහක් ගන්නට රුපියල් හැත්තෑ පහක් අවශ්‍ය වේ. මේ දෙකම ගන්නට රුපියල් දෙසිය තිස්පහක් අවශ්‍ය වේ. ඉහත අයුරින් රටේ සෑම අයෙකුටම මිල දී ගැනීමට අවශ්‍ය සියළුම දේ සඳහා අවශ්‍ය තර
ම් මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය.

රටේ සියළුම දෙනා විසින් කරන ගනුදෙනු පිලිබඳ සංඛ්‍යාලේඛණ එකතු කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවේ. එහෙත්, මේ ගනුදෙනු ප්‍රමාණය ආසන්න වශයෙන් ඇස්තමේන්තු කරන්නට බැරිකමක් නැත.

රටේ කවුරු හෝ මිල දී ගන්නේ වෙනත් කවුරු හෝ විසින් නිෂ්පාදනය කළ භාණ්ඩයක් හෝ සේවාවකි. ඒ නිසා, රටේ සමස්ත නිෂ්පාදනය ඇස්තමේන්තු කළ හැකිනම් හා එක් එක් භාණ්ඩයේ සාමාන්‍ය මිල දන්නේනම් රටේ සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණය ඇස්තමේන්තු කළ හැකිය. රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ලෙස ඇස්තමේන්තු කරන්නේ කිසියම් කාලයක් තුළ රටක සිදුවන සමස්ත නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකමයි. මෙම අගය රටේ වසරක් තුල සිදුවන ගනුදෙනු ප්‍රමාණයට සමාන ලෙස සැලකිය හැකිය. ඒ නිසා, එම ගනුදෙනු ප්‍රමාණය කිරීමට අවශ්‍ය තරම් මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය.

කෙසේ වුවද, වසරක් වැනි කාලයක් තුල එකම රුපියල් සීය ගනුදෙනු සඳහා කිහිප වරක්ම යෙදවේ. ඒ ගනුදෙනුවක් සිදුවන සෑම විටෙකම මේ රුපියල් සීය වෙනත් අයකුගේ අතට යාමත් ඔහු හෝ ඇය එම මුදල් නෝට්ටුවම නැවතත් ගනුදෙනු සඳහා භාවිතා කිරීමත් සිදුවන බැවිනි. මෙසේ යම්කිසි කාලයක් තුළ මුදල් නෝට්ටුවක් අතින් අත යන වාර ගණන 'මුදල් ප්‍රවේගය' ලෙස හැඳින්වේ. ලංකාවේ මුදල් නෝට්ටුවක් වසරක් තුළ මෙසේ අතින් ඇත මාරු වන වාර ගණන තුන් වරක් පමණ වේ.

දැන් අපට රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය (M) සොයාගත හැකිය. රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතය මුදල් ප්‍රවේගයෙන් බෙදූ විට පිළිතුර ලැබේ.

රටක මුදල්
ප්‍රවේගය සාමාන්‍යයෙන් විශාල ලෙස විචලනය නොවේ. එහෙත්, රටේ සමස්ත නිෂ්පාදනය සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යයි. මෙසේ සමස්ත නිෂ්පාදනය හෙවත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වීම සරලව රටේ ආර්ථික වර්ධනය ලෙස හැඳින්වේ. ආර්ථිකය වර්ධනය වන විට ඒ අනුපාතයෙන්ම රටේ ගනුදෙනු ප්‍රමාණයද ඉහළ යන නිසා එම ගණුදෙනු සුමට ලෙස කිරීමට රටට අවශ්‍ය මුදල් ප්‍රමාණයද ඉහළ යයි. ඒ නිසා රටක ආර්ථික වර්ධනය වන අනුපාතයෙන් මුදල් සැපයුම වැඩි කළ විට මිල මට්ටම ඉහළ නොයයි. එහෙත්, ආර්ථිකය වර්ධනය වන වේගයට වඩා වැඩියෙන් මුදල් සැපයුම වැඩි කළ විට එම වැඩිපුර මුදල් සැපයුමට සරිලන ඉල්ලුමක් නැති නිසා සිදුවන්නේ මිල මට්ටම ඉහළ යාමය.

උදාහරණයක් ලෙස රටේ ආර්ථික වර්ධනය 6%ක් වෙද්දී, මුදල් සැපයුම 10%කින් වර්ධනය වුවහොත්, 4%ක 'වැඩිපුර' මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වන නිසා මිල මට්ටම 4%කින් වැඩි වේ. එනම්, උද්ධමනය 4%ක් වේ. යම් හෙයකින් මුදල් සැපයුම 20%කින් වර්ධනය වුවහොත් උද්ධමනය 14%ක් පමණ වනු ඇත.

මහ බැංකුව වසර මුලදී අදාළ වසර සඳහා මුදල් සැපයුම තීරණය කරද්දී රටේ ආර්ථික වර්ධනය සැලකිල්ලට ගන්නා අතර, එයට අමතරව කිසියම් මට්ටමක 'තිබුණට කමක් නැති' උද්ධමන මට්ටමක් සලකමින් මුදල් සැපයුම වැඩිකළ යුතු ප්‍රමාණය තීරණය කරයි. මා සිතන පරිදි අඩු වශයෙන් අසූව දශකයේ මුල පමණ සිට 2006 වසර පමණ වන තුරු මහ බැංකුව මේ 'තිබුණට කමක් නැති' උද්ධමන මට්ටම 9%-10% පමණ ලෙස සැලකුවේය. ඉන්පසු කාලයේදී මහා බැංකුව මේ මට්ටම 5%-6% මට්ටම දක්වා ගෙන ආවේය.

මහ බැංකුව මෙසේ වසර මුල යම් කිසි මට්ටමකට වඩා මුදල් සැපයුම වැඩි නොකිරීමට තීරණය කළත් බොහෝ වසර වල එම මට්ටමද ඉක්මවා මුදල් සැපයුම වැඩි කරයි. මෙසේ කිරීමට පෙළඹෙන්නේ රජයේ අයවැය හිගය ඇස්තමේන්තුවට වඩා වැඩි වී වැඩිපුර රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කෙරෙන විට පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යන්නට නොදී එම සුරැකුම්පත් ප්‍රමාණය විකුණාගන්නට බැරිවන විට මහ බැංකුවට අළුතින් මුද්‍රණය කළ මුදල් යොදවා රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගන්නට සිදුවන බැවිනි. මෙයට අමතරව, බොහෝ වසර වල ලංකාවේ ආර්ථික වර්ධන වේගය වසර මුලදී බලාපොරොත්තු වන මට්ටමට යන්නේ නැත. මේ කරුණු දෙකේම ප්‍රතිඵලය වන්නේ මුලින් හිතුවාට වඩා වැඩි උද්ධමන මට්ටමක් ඇති වීමයි.

කෙසේ වුවද, තෙල් මිල අඩුවීම වැනි බාහිර සාධක නිසා මුදල් සැපයුම වැඩිවද්දීත් උද්ධමනය අඩු මට්ටමක පැවතෙන්නට පුළුවන.


(Image: http://www.therepublicsquare.com/business/2013/05/inflation-in-sri-lanka-according-to-cal-research-figures/)

Thursday, July 28, 2016

මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමයි!

අද (ජූලි 28) සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් (0.5% බැගින්) පිළිවෙලින්, 7% සහ 8.5% දක්වා ඉහළ නංවා තිබේ. මේ මඟින් අදහස් කරන්නේ රටේ ණය ඉල්ලුම අඩු කර, භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩු කිරීම මඟින් ඉදිරියේදී ඇති විය හැකි උද්ධමන තර්ජනයට මුහුණ දීමට සූදානම් වීමටය.

නැඟී එන උද්ධමන තර්ජනය මහ බැංකුව විසින් නිවැරදිව හඳුනා ගෙන ඒ සඳහා ගත හැකි ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගයක් ගෙන තිබේ. කෙසේ වුවද, උද්ධමනය තර්ජනයක් බවට පත් වීමට හේතු වූ ප්‍රධාන සාධක වල දිශානතියනම් වෙනස් වන අයුරක් නොපෙනේ.

සැලකිය යුතු ලෙස බදු ඉහළ නැංවීමෙන් පසුවත්, රජයේ ආදායම් හා වියදම් පරතරය දිනෙන් දින ඉහළ යනු මිස අඩු වන බවක් නොපෙනේ. මේ අඩුව පිරවෙන්නේ දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම මඟින් ලබා ගන්නා ණය වලිනි. එහෙත්, මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණිය හැක්කේ ඒවා සඳහා රට තුළ (හෝ රටින් පිටත) ඉල්ලුමක් ඇත්නම් පමණි. එසේ නොමැති විට, 'කාටවත් ඕනෑ නැති' මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මිල දී ගන්නට වෙන්නේ රටේ මහ බැංකුවටය. මහ බැංකුවට අළුතින් මුදල් මුද්‍රණය කිරීමේ හැකියාව ඇති නිසා රටේ සල්ලි නැතත් මහ බැංකුවේ සල්ලි නැති වෙන්නේ නැත.

පසුගිය 2015 අවසානයේ සිට 2016 මාර්තු අවසානය දක්වා ගත වූ තෙමස තුළ පමණක් රජය විසින් මහ බැංකුවෙන් ලබාගෙන ඇති ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 229.9 සිට රුපියල් බිලියන 406.6 දක්වා රුපියල් බිලියන 176.7 කින් (එනම් 77%කින්) වැඩි වී තිබේ. මෙය ඉතා විශාල වැඩි වීමක් බව නොකිවමනාය. එතැන් සිට ගත වී ඇති සිවුමස තුළ මෙසේ අළුතින් මුද්‍රණය කර රජය හරහා සංසරණයට එකතු වී ඇති මුදල් ප්‍රමාණය තවත් වැඩි වී තිබිය හැකිය.

මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණා රජයට තාවකාලිකව ගොඩ යන්නට පුළුවන. එහෙත්, එහි ප්‍රති විපාකය වන්නේ ගොනු පසු පස එන ගැල මෙන් වසරකට හෝ දෙකකට පසුව නැඟ එන උද්ධමනයයි. රටේ නිෂ්පාදනය වැඩි නොවන පසුබිමක, රජය විසින් මහ බැංකුවෙන් ලබා ගන්නා අළුත් මුදල් වියදම් කරන්නට පටන් ගත් විට රටේ ඇති නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයට ඇති ඉල්ලුම වැඩි වී මිල ඉහළ යයි. මෙයින් පීඩාවට පත් වන්නේ රජයට මෙන් මහ බැංකුවේ මුද්‍රණ යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නොමැති, දුක් මහන්සියෙන් වැඩ කර මුදලක් උපයාගත යුතු රටේ සාමාන්‍ය ජනතාවයි.

උද්ධමනයට මූලික හේතුව රටේ සමස්ත නිෂ්පාදනයට වඩා සමස්ත ඉල්ලුම වැඩි වීම නිසා, නිෂ්පාදනය වැඩි කළ නොහැකි පසුබිමක උද්ධමනය පාලනය කළ හැක්කේ ඉල්ලුම අඩු කිරීමෙනි. රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය අඩු කිරීමෙන් සමස්ත ඉල්ලුම අඩු කළ හැකිය. පොලී අනුපාතික ඉහළ දැමූ විට රටේ ජනතාවගේ (සහ සමාගම් වල) ණය ඉල්ලුම අඩු වේ. එවිට, ඔවුන් අත වියදම් කිරීමට ඇති මුදල් සීමා වන නිසා භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමද අඩු වේ. එමෙන්ම, තැන්පතු පොලී වැඩි වන විට සාමාන්‍ය ජනතාවගේ බැංකු තැන්පතු වැඩි වන නිසා එයින් සිදුවන්නේද වියදම් කරන මුදල් ප්‍රමාණය අඩු වීමයි.

කෙසේ වුවද, පොලී අනුපාතික ඉහළ දැමූ පමණින් රජයේ වියදම් අඩු වන්නේ නැත. ඒ නිසා භාණ්ඩ හා සේවා සඳහා වන රජයේ ඉල්ලුම අඩු වන්නේද නැත. එක් අතකින්, පොලිය ඉහළ දැමූ විට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණා ගැනීම පහසු වෙයි. අනෙක් අතින්, තැන්පතු ලෙස බැංකු කරා ඇදෙන මුදල් වලින් සැලකිය යුතු කොටසක් බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන නිසා රජයට දේශීය ණය ලබා ගැනීම පහසු වේ. ඒ නිසා, අවසාන වශයෙන් වෙන්නේ රජයේ වියදම් වෙනුවෙන් රටේ ජනතාවගේ වියදම් සීමා කරන්නට සිදු වීමයි.

රටේ ජනතාවගේ වියදම් අඩු වනු යනු සමාගම් වල ආදායම් අඩු වීමයි. එමෙන්ම, ණය පොලී අනුපාතික ඉහළ ගිය විට රටේ පෞද්ගලික ආයෝජනද අඩු වේ. මෙහි සමස්ත ප්‍රතිපලය වන්නේ ආර්ථික වර්ධනය තවත් සීමා වීමයි. වත්මන් ආර්ථික වර්ධන වේගය ලංකාවේ ආර්ථික වර්ධන
වේගයේ දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩුවෙන් ඇති අවස්ථාවක උද්ධමන තර්ජනයට මුහුණ දීම සඳහා ආර්ථික වර්ධනයට තව දුරටත් බාධා පමුණුවන ක්‍රියා මාර්ගයක් ගැනීමට මහ බැංකුවට සිදු වී තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. මෙයින් පෙනෙන්නේ රටේ වත්මන් ආර්ථික උපාය මාර්ග කෙතරම් දුර්වල හා අවුල් සහගතද යන්නයි. 

මේ සිදුවන්නේ හත් පොළේ ගා ගැනීමක්ද?

(Image: english.readsrilanka.com)

Monday, March 28, 2016

ආර්ථිකය හොඳ කුමන පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේද?

එළැඹෙන නොවැම්බර් මස 8 වෙනි දින ඇමරිකාවේ 58වන ජනාධිපතිවරණය පැවැත්වේ. වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා මේ වන විට දෙවරක්ම ජනාධිපති ලෙස කටයුතු කර ඇති නිසා ඔහුට නැවතත් ජනාධිපති තරඟයට ඉදිරිපත් වීමේ නීතිමය හැකියාවක් නැත. ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් මෙවර තරඟයට හිලරි ක්ලින්ටන් තේරීපත්වීමට බොහෝ දුරට ඉඩතිබේ. ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වැඩිම ඉඩකඩක් ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් ඇති ඇමරිකාවේ වෙනත් තුන්වන පක්ෂයක අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීමට ඉඩකඩක් ඇත්තේම නැති තරම්ය.

ඇමරිකාවේ ආර්ථිකයට වඩා හොඳ ඩිමොක්‍රටික් අපේක්ෂකයෙක්ද එසේ නැත්නම් රිපබ්ලිකන් අපේක්ෂකයෙක්ද?

න්‍යායාත්මක පිළිතුර කුමක් වුවද, පසුගිය වසර වල දත්ත පරික්ෂා කළ විටනම් පිළිතුර ඉතා පැහැදිලිය. ජනාධිපති ට්‍රෲමන්ගේ දෙවන ධුර කාලයේ සිට ජනාධිපති ඔබාමාගේ පළමු ධුර කාලය දක්වා වසර 64ක කාලය සැලකූ විට ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ ඉහළ ආර්ථික වර්ධන වේගය කැපී පෙනේ.  ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 4.33% වෙද්දී රිපබ්ලිකන් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 2.54% පමණි. 



ප්රින්සෙන්ටන් සරසවියේ මහාචාර්ය වරුන් වන ඇලන් බ්ලයින්ඩර් සහ මාක් වොට්සන් විසින් ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ අළුත්ම කලාපයේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවක මේ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් වෙනස්කම් විශ්ලේෂණය කෙරේ. වෙනස 1.79%කි.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ආර්ථිකය යහපත් බව පෙන්වන මෙවැනි එකම දර්ශකය ආර්ථික වර්ධනය පමණක් නොවේ. උද්ධමන අනුපාතය, විරැකියා අනුපාතය, අයවැය හිඟය ඇතුළු වෙනත් බොහෝ දර්ශක අනුවද ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාව සිටින්නේ බොහෝ ඉදිරියෙනි. එමෙන්ම, රිපබ්ලිකන් ධුර කාල වල කොටස් වෙළඳපොල සාමාන්‍ය වර්ධනය 2.70% වෙද්දී ඩිමොක්‍රටික් ධුර කාල වල එම වර්ධනය 8.35% තරම් ඉහළය.

මේ වෙනසට හේතුව ජනාධිපතිවරයා අයත් වන පක්ෂය මිස ඔහුගේ පළපුරුද්ද, සුදුසුකම් වැනි වෙනත් සාධක නොවේ. එමෙන්ම, කොන්ග්‍රසයේ බලය ඇත්තේ කවර පක්ෂය සතුවද යන කරුණද මේ වෙනසට හේතු වී නැත. එසේනම්, ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වන්නේ ආර්ථිකය හොඳ අතට හැරෙන අවස්ථා වලද? වෙනත් අයුරකින් කිවහොත් ආර්ථිකය අයහපත් වර්ධනයන් පෙන්වන විට ඇමරිකානුවන් රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගන්නවාද? 


බ්ලයින්ඩර් සහ වොට්සන් විසින් පෙන්වා දෙන්නේ එය එසේද නොවන බවයි.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරයෙකු යටතේ වැඩිම ආර්ථික වර්ධනයක් සිදුවන්නේ මුල් වසර දෙක තුළදීය. එහෙත්, රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වැඩ අරඹන මුල් වසරේම ආර්ථිකය හොඳටම වැටේ. පහත ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ මේ තත්ත්වයයි.


ආර්ථිකමිතික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් පර්යේෂකයින් ඉන්පසු විමසන්නේ මේ වෙනස ඇති කරන යාන්ත්‍රණය කුමක්ද යන්නයි. ඒ, මුදල් හෝ රාජ්‍යමූල ප්‍රතිපත්තිනම් නොවේ. ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් ධුරය හොබවද්දී වඩා වාසිදායක දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් පැවතී තිබේ. 

ඒ අනුව, මේ පරතරයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති වලට වඩා වෙනත් දේශපාලන ප්‍රතිපත්ති හෝ 'වාසනාව'යි. අඩු තෙල්මිල, කොරියන් යුද සමයේ වැඩි වූ යුද වියදම්, තාක්ෂණයේ දියුණුව හේතුවෙන් සිදුවූ ඵලදායිතා වර්ධනයන්, විදෙස් රටවල ආර්ථික වර්ධනය වැනි කරුණු මඟින් මේ පරතරයෙන් 56%ක් විස්තර කරයි. 

කෙසේවුවද, මේ කරුණු වල බලපෑම ඉවත් කළද ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ආර්ථික වර්ධනයේ වෙනසින් කොටසක් තවදුරටත් ඉතිරි වේ. ඒ සඳහා මුල්වන යාන්ත්‍රණය කුමක්දැයි පැහැදිලි නැත.

Monday, January 4, 2016

මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර හතකට අධික කාලයක් පුරා පවත්වාගෙන ගිය ලිහිල් මුදල් ප්‍රතිපත්තියෙන් ඉවත් වී දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වී තිබේ. මහ බැංකුව විසින් පසුගිය බදාදා නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය අනුව, 2016 ජනවාරි මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 6% සිට 7.5% දක්වා 1.5%කින් ඉහළ දමා තිබේ. එහෙත්, ප්‍රතිපත්ති පොලී අනුපාතික වල වෙනසක් කර නැත.

රටක මහ බැංකුවක ප්‍රධානම කාර්යය වන්නේ අදාළ රටේ ජාතික මුදල් ඒකකයේ අගය සුරක්ෂිත කිරීමයි. මිල ස්ථායීතාව පවත්වාගැනීම කියන්නේද මෙයටය. ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ යම් රටක උද්ධමනය 'අවශ්‍ය ප්‍රමාණයට' වඩා වැඩි වන්නට ඉඩ නොදී ස්ථාවරව පවත්වා ගැනීමයි. උද්ධමනය මහ බැංකුව මඟින් නිදහස් කරන මුදල් ප්‍රමාණයට කෙලින්ම සම්බන්ධ නිසා මුදල් සැපයුමට තිරිංග යෙදීමෙන් උද්ධමනය පාලනය කිරීමට පුළුවන. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ මෙසේ ආර්ථිකයට මුදල් ගලා ඒම සීමා කරන ප්‍රතිපත්තියකි. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ එසේ මුදල් ගලා ඒම දිරිමත් කරන ප්‍රතිපත්තියකි.

රටක ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට යන්නේ නිෂ්පාදනය වැඩිවීමෙනි. නිෂ්පාදනය වැඩි කිරීමටනම් එක්කෝ වැඩි වැඩියෙන් මූලික සම්පත් ලැබිය යුතුය. උදාහරණයක් ලෙස, සවුදි අරාබි ආර්ථිකය ඉදිරියට යන්නේ සවුදියේ තෙල් ලිං වල තවමත් හොඳින් තෙල් උනන නිසාය. ඒත්, හැම රටකටම හැම කාලයකම මෙවැනි ස්වීප් ඇදෙන්නේ නැත. දිගුකාලීනව බොහොමයක් ආර්ථිකයන් වර්ධනය වෙන්නේ ඵලදායීතාව දිගින් දිගටම ඉහළ නංවා ගැනීම නිසාය. මෙතැනදී,  ඵලදායීතාව කියා කියන්නේ දැනට තිබෙන මූලික සම්පත් වලින්ම වැඩි අගයක් ඇති නිෂ්පාදන සිදුකිරීමයි. මෙය සිදු කළ හැකි වන්නේ තාක්ෂණ දියුණුවේ උපකාරයෙනි. ඒ හැරුණු විට, රාජ්‍යමූල හෝ මුදල් ප්‍රතිපත්ති මඟින් දිගුකාලීනව සෘජු ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැක.

දිගුකාලීනව ලොකු දෙයක් කළ නොහැකි වුවත්, මුදල් හා රාජ්‍යමූල ප්‍රතිපත්ති මඟින් රටක කෙටිකාලීන ආර්ථික වර්ධනයට බලපෑමක් කළ හැකිය. ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් පොම්ප කර ආයෝජන හා පරිභෝජන වියදම් තාවකාලිකව දිරිමත් කිරීම මඟින් (කෘතිමව වියදම් වැඩි කරවීම මඟින්) ආර්ථික වර්ධනය තරමක් වැඩි කරගැනීමටත්, රැකියා වියුක්තිය අඩු කරගැනීමටත් පුළුවන. එහෙත්, මෙය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ආයෝජනය හෝ පරිභෝජනය වැඩිකිරීමට නිෂ්පාදනය වැඩිවීමක් සිදු විය යුතුය. නිෂ්පාදනය වැඩිවීමක් සිදු නොවන්නේනම් රටේ මුදල් වැඩි වුණත්, වැඩි වන ඉල්ලුමට ගැලපෙන තරමේ සැපයුමක්  සිදු නොවන නිසා අවසානයේදී සිදුවන්නේ මිල මට්ටම වැඩිවීම (උද්ධමනය) පමණි. ඒ නිසා, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුත්තේ යම් රටක නිෂ්පාදන ධාරිතාව තිබියදී අවශ්‍ය තරම් ඉල්ලුමක් නොතිබීම නිසා ධාරිතාවේ මට්ටමට නිෂ්පාදනයක් සිදුනොවන විටය. පසුගිය කාලයේ ඇමරිකාවේ තිබුණේ එවැනි තත්ත්වයකි.

2008 වසරේ ඔක්තෝබර් මස සිටම මහ බැංකුව විසින් පවත්වාගෙන ගියේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියකි. මහ බැංකුව මෙසේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමෙන් පෙනී ගියේ අදාළ කාලය තුළ මහ බැංකුවේ ස්ථාවරය අනුව උද්ධමනය තර්ජනයක් නොවූ බවයි. එමෙන්ම, රටේ නිෂ්පාදන ධාරිතාව නිෂ්පාදනය පැවති මට්ටමට වඩා වැඩි බවයි.

කොළඹ පාරිහෝගික මිල දර්ශකයේ වැඩිවීම අනුව මේ කාලය තුළ උද්ධමනය මෙසේ විය.
2009- 5.0%
2010- 6.8%
2011- 4.9%
2012- 9.2%
2013- 4.7%
2014- 2.1%
2015- 2.8%

මේ දත්ත අනුව, සමස්තයක් ලෙස ගත් විට මේ කාලය තුළ උද්ධමනය අඩු මට්ටමක පැවතී ඇත. ඒ නිසා ඒ කාලය තුළද රුපියලේ වටිනාකම අඩුවුනත් එය සිදුවුනේ සෙමිනි. ලංකාවේ වෘත්තීය සමිති, මාධ්‍ය හා රජයට සම්බන්ධ නැති දේශපාලන පක්ෂ මෑත දශක කිහිපය තුළ උද්ධමනය ප්‍රශ්නයක් ලෙස දැක ඇත්තේ එය 15% මට්ටමටවත් වැඩි වූ විටය. තනි අංකයේ උද්ධමනයක් ලංකාවේදී නරක දෙයක් ලෙස සැලකෙන්නේ නැත. අනෙක් අතට මහ බැංකුවේ ප්‍රකාශිත දිගුකාලීන ඉලක්කය උද්ධමනය 4-6% සීමාවේ රඳවා ගැනීමයි. මේ අනුව, අදාල කාලයේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තේරුම් ගතහැකිය.

එමෙන්ම, 2014 මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වැඩි වී ඇත්තේ මෙසේය.
2009- 3.5%
2010- 8.0%
2011- 8.2%
2012- 6.3%
2013- 7.2%
2014- 7.4%

මේ සංඛ්‍යා නරක සංඛ්‍යා නොවේ. ඒ අනුවපෙනී යන්නේ පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට උදවු වී ඇති බවය.

දැන් මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් වෙත මාරු වී ඇත. මෙමඟින් ආර්ථික වර්ධනයට බාධා කෙරේ. ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙවැනි තීරණයක් ගන්නට වෙන්නේ එසේ නොකළහොත් සිදුවන හානිය ඊට වඩා වැඩි බව පෙනෙන විටය.

මෙසේ සිදුවිය හැකි ලොකු හානිය කුමක්ද? උද්ධමනය දැනටනම් ඇත්තේ පහළ මට්ටමකය. එහෙත්, ඉදිරියේදී උද්ධමනය වැඩිවීමේ ලකුණු මහ බැංකුව විසින් නිරීක්ෂණය කර තිබේ. මෙයට එක් හේතුවක් වන්නේ පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නිසා මේ වන විට අවශ්‍ය මට්ටමත් ඉක්මවා මුදල් සැපයුම ප්‍රසාරණය වීමයි. අනෙක් අතට, ඩොලරයේ අගය ඉහළ යාම නිසා ආනයනික භාණ්ඩ වල මිල වැඩිවීමේ බලපෑමද උද්ධමනය වැඩි වීමට හේතු විය හැකිය. මෙයට අමතරව, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම මඟින් ප්‍රාග්ධනය රටෙන් පිටතට ගලායාම සීමා කිරීමටද අපේක්ෂා කරන බව පෙනේ.

(Image: www.livescience.com)