Thursday, January 19, 2017

නොඇදුණු ලොතරැයි දිනුම

රජය විසින් සිය අයවැය යෝජනාවක් ක්‍රියාත්මක කරමින් වසර ආරම්භ වෙද්දී ලොතරැයියක මිල 50%කින් වැඩි කළේය. ඒ අනුව, සෑහෙන කාලයක් රුපියල් 20ට විකිනුණු ලොතරැයියක මිල රුපියල් 30 වෙද්දී  ආණ්ඩුවට ලොතරැයි වෙළෙන්දන්ගේ හා වෙළඳ නියෝජිතයින්ගේ විරෝධයට මුහුණ දෙන්නට විය. අවසානයේදී ලොතරැයි මිල පැවති මට්ටමේම තබා ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වී තිබේ.

ජනාධිපතිවරයා මුල් වී අයවැය යෝජනා අකුලා ගැනීම දුලබ දෙයක් නොවේ. කෙසේ වුවද, පෙනෙන ලෙසට මේ යෝජනාව අකුලා ගැනීමට තීරණය කිරීමට හේතු වී ඇත්තේ වෙළඳ නියෝජිතයින්ගේ විරෝධය නොවන බවත්, එම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් රජයේ ආදායම වැඩි වනු වෙනුවට අඩු වන්නට ඉඩ ඇති බව පෙනී යාමත් බවද ඇතැම් තැන් වල සඳහන් වී තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනියට අනුව, රුපියල් 20කට ලොතරැයියක් විකුණා ලැබෙන ආදායම වැය වන්නේ පහත පරිදිය.

තෑගි සඳහා -රුපියල් 10.00
වෙළඳ නියෝජිතයින්ට- රුපියල් 3.80
රජයට- රුපියල් 6.20

වැඩි කිරීමට බලාපොරොත්තු වූ රුපියල් දහයෙන් රුපියල් පහක්ම එක්සයිස් බද්දක් ලෙස රජයටත්, තවත් ශත පනහක් වෙළඳ නියෝජිතයින්ටත් ලැබෙන්නට නියමිතව තිබී ඇති බැවින් මේ තීරණය ක්‍රියාත්මක කළේනම් මේ ලොතරැයි විකුණා ලබන ආදායමින් තෑගි වෙනුවෙන් වෙන්වන මුදල 50%ට වඩා අඩු විය හැකිව තිබුණි.

දිනුමක් ලැබීමේ සම්භාවිතාව අඩු වූ විට ලොතරැයි සඳහා වන ඉල්ලුම අඩුවේ. මිල වැඩි වූ විටද ඉල්ලුම අඩු වේ.

ලොතරැයි වෙළඳ නියෝජිතයින් සඳහා එක් ලොතරැයියකින් ලැබෙන මුදල 13%කින් වැඩි වුවත්, විකිණෙන ලොතරැයි ප්‍රමාණය 13% ප්‍රමාණය ඉක්මවා පහත වැටෙන්නට ඉඩ ඇති නිසා ඔවුන්ගේ ආදායමද පහත වැටෙන්නට ඉඩ තිබුණේය. වෙළඳ නියෝජිතයින්ගේ විරෝධයට හේතු වූයේ මෙයයි.

කෙසේ වුවද එක් ලොතරැයියක් විකුණා රජය ලබන ආදායම රුපියල් 6.20 සිට රුපියල් 11.20 දක්වා ඉහළ යාමට නියමිතව තිබුණු බැවින් විකිණෙන ලොතරැයි ප්‍රමාණය පැවති වෙළඳාමෙන් 55% මට්ටම දක්වා පහත වැටුණද රජයට වැඩි ආදායමක් ලැබිය හැකිව තිබුණි. එහෙත්, ඊට වඩා වැඩියෙන් ඉල්ලුම පහත වැටුනේනම් රජයට විය හැකිව තිබුණේ ශුද්ධ අලාභයකි.

කිසියම් භාණ්ඩයක මිල යම් ප්‍රතිශතයකින් වැඩි කළ විට එම භාණ්ඩය සඳහා වන ඉල්ලුම අඩු වන ප්‍රතිශතය එහි ප්‍රත්‍යස්ථතාව ලෙස හැඳින්වේ. හාල්, පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ
වල ප්‍රත්‍යස්ථතාව අඩු වුවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වල ප්‍රත්‍යස්ථතාව ඉහළ අගයක් ගනී.

ලංකාවේ ලොතරැයි වල ප්‍රත්‍යස්ථතාවය ගැන සිදු කර ඇති අධ්‍යයන ගැන නොදන්නා නමුත් ඇමරිකාව හා එංගලන්තය වැනි වෙනත් රටවල සිදු කර ඇති එවැනි අධ්‍ය
නයන්ගෙන් පෙනී යන්නේ ලොතරැයි වල මිල ප්‍රත්‍යස්ථතාවය එකට ආසන්න බවයි. එයින් අදහස් වන්නේ ලොතරැයි මිල 50%කින් වැඩි වෙද්දී විකිණෙන ලොතරැයි ප්‍රමාණය 50%කින් අඩු වන බවයි. මේ සමඟම දිනුම් ඇදීමේ සම්භාවිතාවද අඩු වූ විට විකිණෙන ලොතරැයි ප්‍රමාණය තවත් අඩු වන්නට ඉඩ තිබේ.

ඒ නිසා යම් හෙයකින් රජය ලොතරැයි මිල රුපියල් 30 මට්ටමට ඉහළ නැංවූයේනම් ලොතරැයි වෙළඳ නියෝජිතයින්ගේ ආදායම විශාල ලෙස අඩුවෙනවාට අමතරව රජයේ ආදායමද පහත වැටිය හැකිව තිබුණු බවට පළවී ඇති අදහස බැහැර කළ නොහැක්කකි. ලොතරැයි වෙළඳ නියෝජිතයින් අධෛර්යමත් වීමේ බලපෑමද සැලකූ විට ලොතරැයි මිල ඉහළ දැමීමේ ශුද්ධ ප්‍රතිඵලය වීමට ඉඩ ඇත්තේ ලොතරැයි අලෙවිය 60-70%කින් පමණ පහත වැටීම හා එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම 10-20% පමණ ප්‍රමාණයකින් අඩු වීමයි.

රජයක අයවැය යෝජනා මඟින් බදු ආකෘතිය වෙනස් කළ යුත්තේ ප්‍රත්‍යස්ථතාවය ගැන ගැඹුරු ලෙස හැදෑරීමෙන් පසුවය. එසේ නොකළහොත් අපේක්ෂිත ආදායම් ජනනය වෙනුවට එහි විලෝමය සිදුවන්නට ඉඩ තිබේ.


(Image: http://www.lankac.news/no-increase-in-lottery-ticket-price/)

8 comments:

  1. මේ දවස් ටිකේ අතරින් පතර ටිකට් විකිනිල්ල නැවතුන නිසා ...පුරුද්දක් විදිහට ටිකට් ගත්ත අය ....වැඩේ නැවැත්තුවා ...වර්ජනය තිබිලා දෙවනි වර්ජනය අතරේ දවස්දෙක තුනේ සුවිප් විකුනන අය ....හවසට ගෙදර ගියේ රුපියල් හාරපන්සියක් අරගන

    ReplyDelete
    Replies
    1. ලොතරැයි මණ්ඩලයේ සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන්නේ ලොතරැයි අලෙවිය පෙර පැවති මට්ටමෙන් 10-30% පමණ මට්ටමකට පහත වැටී ඇති බවයි. මෙය ලොතරැයි විකුණා ජීවත් වන අයට විශාල බලපෑමක් කරනු ඇත.

      Delete
  2. ලංකාවේ ලොතරැයියක මා දන්නා තරමින් අවම දිණුම රුපියල් විස්සකි. අය වැයෙන් ලොතරැයි මිල ඉහළ දමා රජයේ ආදායම වැඩි කර ගන්නට සැළසුම් කළ "ලෝකයේ හොඳම" මුදල් ඇමති තුමාට ඒ බව පෙන්වා දීමට ලොතරැයි මංඩලයේ ජගතෙක් නොසිටියේද යන්න පුදුමයකි.

    මේ සඳහා ඔබට මා නිපදවූ සමීකරණයක් දෙන්නම්.
    * දිනුම් මුදල් අපේක්‍ෂාව = තෑගී ලෙස වෙන් කෙරුණු මුළු මුදල / මුළු ලොතරැයි තොගයේ විකුණුම් වටිනාකම.

    හරිහැටි සංඛ්‍යාලේඛන නැතත්, මා සිතන්නේ මහජන සම්පත සහ ශනිදා වාසනාව සඳහා මේ අගය 1 ට වඩා වැඩි බවයි. එසේ වන්නේ දිනුම් ලැබිය හැකි ටිකට් පත් මුද්‍රණය නොකෙරෙන නිසයි (මහජන සම්පත ඉංගිරිසි අකුරක් සහ අංක 6 කි. මේ අනුව මුද්‍රණය කළ හැකි ටිකට් පත් සංඛ්‍යාව 999,999 x 25 = 24,999,975 වේ. මේ සංඛ්‍යාව මුද්‍රණය කර ගැනීම කෙසේ වෙතත් අළෙවි කර ගැනීම ප්‍රයෝගික නැත.). බොහෝ ලොතරැයි වල "සුපිරි" තෑග්ග කිසිවෙකුට නොඇදී ඊළඟ වටයට යන්නේ මේ හේතුවෙන් විය යුතුයි.

    මේ තවත් සමීකරණයක්
    * අවම දිනුම් අපේක්‍ෂාව = අවම තෑගී මුදල / ලොතරැයියේ විකුණුම් මිල.

    පැවති තත්වය යටතේ මේ අගය 1 කි. එනම් අවම දිනුම ඇදුනොත් පාරිභෝගිකයා පරාජය වී නැත. එහෙත් ලෝකයේ හොඳම මුදල් ඇමති තුමාගේ නව ලොතරැයි ක්‍රමය යටතේ මෙය 0.6667 වී ඇත. තේරෙන භාෂාවෙන් කීවොත් දිනුමක් ඇදුනත් රුපියල් දහයක් පාඩුයි.

    දැන් කාටද ලොතරැයි විකුණන්නේ ??

    ප.ලි.: 2014 ජනවාරි නම් මෙවැනි පාරිභෝගිකයින් බහුතරය වුවත් දැන් ඒ ගණන ඊට වැඩ බොහෝ අඩු වී තිබෙන බව පැහැදිළි වන්නේ පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල් යන බැවිණි.

    ReplyDelete
    Replies
    1. //දිනුම් මුදල් අපේක්‍ෂාව = තෑගී ලෙස වෙන් කෙරුණු මුළු මුදල / මුළු ලොතරැයි තොගයේ විකුණුම් වටිනාකම.//
      මෙය නිවැරදියි. ඉතිරි කොටස් වල අඩුපාඩු තියෙනවා.

      //ලංකාවේ ලොතරැයියක මා දන්නා තරමින් අවම දිණුම රුපියල් විස්සකි.//
      මෙය රුපියල් 30 දක්වා ඉහළ දමා තිබෙනවා. එහෙත්, ලොකු දිනුම් වෙනස් කර නැහැ.

      මේ කරුණු පැහැදිලි කර පෝස්ට් එකක් දමන්නම්.

      Delete
  3. This may related to the article you have written, This morning I listened to the radio news and one news item was about dropping of sales of sweep tickets. there were several things;
    1. Weekly sales is 200 Million Rs.
    2. After the price hike from 20Rs a ticket to 30Rs a ticket, the sales has dropped by 25% weekly resulting 50 Million Rs per week.
    3. Still can't drop the ticket price back to 20Rs until they could sell off already printed 30Rs tickets.

    ReplyDelete
    Replies
    1. Thanks for the info. That's a huge revenue loss to the government. It takes several weeks to reprint tickets.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ලොතරැයි වල ප්රත්යස්ථතාවය සොයන ආකාරය ගැනත් පුලුවන් නම් පෝස්ට් එකක් දාන්න

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.