Tuesday, September 29, 2020

ලංකාවේ ණය අවදානම C කාණ්ඩයට!


මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය B2 මට්ටමේ සිට Caa1 මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා. C කාණ්ඩයට වැටීම සැලකෙන්නේ රටක් බංකොලොත් වී ණය ආපසු නොගෙවා පැහැර හැරීමට ඉතාම ආසන්න තත්ත්වයක් ලෙසයි. මේ මට්ටමේ අවදානමක් ඇති සේ සැලකෙන රටවල් තිබෙන්නේ තවත් හත අටක් පමණයි.

මේ තීරණයට හේතු ලෙස මූඩීස් ආයතනය විසින් ඉදිරිපත් කරන කරුණු අතර ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණයට සාපේක්ෂව විදේශ සංචිත රට තුළ නොමැති වීම, රජය විසින් ආනයන පාලනය කරා යොමු වීම හා ඒ හේතුවෙන් කාලයක් යන තුරුම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පැමිණීමේ ඉඩක් නොපෙනීම, රාජ්‍ය ණය අර්බුදයට විසඳුමක් දීම සඳහා ආණ්ඩුව විසින් ප්‍රමුඛතාවයක් දී ඇති බවක් නොපෙනීම, රජයේ ආදායම් අඩු වී වියදම් ඉහළ යාම ආදිය ඇතුළත්ව තිබෙනවා.

ඔක්තෝබර් මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරය වෙනුවෙන් මුදල් ගෙවීමට නිල සංචිත යොදා ගනු ඇතැයි මූඩීස් ආයතනය විශ්වාසය පළ කරනවා. එහෙත්, ඉන් පසුව අයවැය හිඟය 8-9% මට්ටමට යාම, රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවීම, විණිමය අනුපාතිකය කඩා වැටීම හා උද්ධමනය ඉහළ යාම වැනි අවදානම් මූඩීස් ආයතනය විසින් දකිනවා. 

ණය ශ්‍රේණිගත කිරීම පහළ යාමත් සමඟම ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල ඵලදා අනුපාතිකද ඉහළ ගොස් තිබෙනවා.