Tuesday, April 26, 2016

2015 මහ බැංකු වාර්තාව එළි දකී!


පසුගිය 2015 වසර සඳහා වූ මහ බැංකු වාර්ෂික වාර්තාව එළි දක්වා තිබේ. 2015 යනු පැවති රජය මෙන්ම මහ බැංකුවේ අධිපතිවරයාද වෙනස් වීමෙන් පසුව ගෙවුණු පළමු වසරයි.

මේ ලිපියෙන් මහ බැංකු වාර්තාවේ ඇති කරුණු පිළිබඳව පුළුල් විග්‍රහයක් කිරීමට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එහි බොහෝ දෙනෙකු බලා සිටින ප්‍රධානම කරුණු අතරින් ආර්ථික වර්ධනය දෙස පළමුව බැලූ විට පසුගිය වසරේ ලංකාවේ ආර්ථිකය 4.8%කින් වර්ධනය වී තිබේ. මෙය 1977දී ලංකාවට නිදහස් ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පවත්වාගත් සාමාන්‍ය වර්ධන වේගයට වඩා අඩු අගයකි.

මහ බැංකුවේ ප්‍රවෘත්ති නිවේදනය අනුව "රාජ්‍ය අයවැයෙහි වියදම් විශාල ලෙස ඉහළ යාම, ද.දේ.නි.හි ප්‍රතිශතයක් ලෙස 4.4%ක් වූ ඉලක්කගත අයවැය හිඟය 7.4% දක්වා ඉහළ යෑමට" හා "මධ්‍යම රජයේ ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 76.0% දක්වා ඉහළ යෑමට" හේතු වී තිබේ. 2014 අවසාන වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9ක් වූ අතර වසර අවසානය වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503.2ක් දක්වා 15%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. 2014 අවසානයේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රජයේ ණය ප්‍රමාණය 70.7% මට්ටමේ පැවතුණි. වෙනත් අයුරකින් කිවහොත් රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වසර මුල වූ රුපියල් 355,799 සිට රුපියල් 405,571 දක්වා ඉහළ ගොස් ඇත.

2015 මුලදී ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය කළමණාකරන වාර්තාවෙන් අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 4.4% දක්වා අඩුකර ගැනීමටද රාජ්‍ය ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 72% මට්ටමේ පවත්වා ගැනීමටත් සැලසුම් කර තිබුනද රජය මේ ඉලක්ක සපුරාගැනීමට අසමත්ව ඇති බව මහ බැංකු පුවත් නිවේදනය පෙන්වා දෙයි. පොලී ගෙවීමේ වියදම් ඉවත් කර හදන ප්‍රාථමික ගිණුමේ හිඟයද 2014දී පැවති 1.5% සිට 2.9% දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම, වසර තුළ ගෙවුම් තුලනය ඩොලර් මිලියන 1,489කින් "පිරිහීමත් සමඟ රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය 2014 වසරේ තිබූ ඩොලර් බිලියන 8.2හි සිට 2015 වසර අවසානය වන විට ඩොලර් බිලියන 7.3ක් දක්වා" අඩු වී තිබේ.

බැංකු අංශයෙන් රජයට ලබා දෙන ණය මුලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණය ඉක්මවා "රුපියල් බිලියන 326කින් සැලකිය යුතු ලෙස" වැඩි වී ඇති අතර වසර තුල මහ බැංකුව විසින් රටේ ආර්ථිකයට අළුතින් සංචිත මුදල් රුපියල් බිලියන 95.5ක පමණ මුදලක් පොම්ප කර තිබේ. මේ අනුව, රටේ පුළුල් මුදල් සැපයුම පෙර වසරේ පැවති 13.4% වර්ධනය සැලකිය යුතු ලෙස ඉක්මවමින් 17.8%කින් වර්ධනය වී තිබේ.

සමස්තයක් වශයෙන් පසුගිය වසරේ ආර්ථික වර්ධනයන් පිළිබඳව මහ බැංකු වාර්තාවෙන් පෙන්වන චිත්‍රය එතරම් හොඳ නැති බව කිව යුතු නොවේ.

(Image: www.cbsl.lk)

2 comments:

  1. // මේ අනුව, රටේ පුළුල් මුදල් සැපයුම පෙර වසරේ පැවති 13.4% වර්ධනය සැලකිය යුතු ලෙස ඉක්මවමින් 17.8%කින් වර්ධනය වී තිබේ. //

    උද්දමනය?

    ReplyDelete
    Replies
    1. උද්ධමනය දැන්ම ප්‍රශ්නයක් වන එකක් නැහැ. සාමාන්‍යයෙන් උද්ධමනය ඇතිවන්නේ මුදල් සැපයුම වැඩිවී වසර දෙකකට පමණ පසුව. ඒ කාලය වන විට බොහෝ විට උද්ධමනය ප්‍රශ්නයක් වෙයි. හැබැයි ඊට පෙර ඊට වඩා ලොකු ප්‍රශ්න එන්න පුළුවන්.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.