Showing posts with label මුදල්. Show all posts
Showing posts with label මුදල්. Show all posts

Friday, November 16, 2018

රුපියල් බිලියන සීයක් හිඟ වුනේ කොහොමද?


මුළු රටේම අවධානය දේශපාලන අර්බුදය වෙත යොමු වී තියෙද්දී මහ බැංකුව විසින් තරමක් වෙනස් ආකාරයේ මුදල් ප්‍රතිපත්ති තීරණයක් වෙත යොමු වෙලා තිබෙනවා. තීරණයක් කියා කිවුවත් තීරණ දෙකක්. තවත් පැහැදිලිව කිවුවොත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති තීරණ දෙකක්.

එක පැත්තකින් බැංකු විසින් පවත්වාගත යුතු සංචිත අනුපාතිකය 7.5% සිට 6% දක්වා පහත දමමින් විශාල මුදල් ප්‍රමාණයක් ආර්ථිකය වෙත මුදා හැරලා තිබෙනවා. මෙය මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමක්. අනෙක් පැත්තෙන් තැන්පතු පොලී අනුපාතික 0.75%කිනුත්, ණය පොලී අනුපාතික 0.5%කිනුත් ඉහළ දමා මුදල් ප්‍රතිපත්තිය දැඩි කරලා තියෙනවා. මහ බැංකුව කියන්නේ මේ තීරණ දෙක එකිනෙක උදාසීන වන බවයි.

මේ වගේ අමුතු මුදල් ප්‍රතිපත්තියක් කරා මහ බැංකුව යොමු වෙලා තියෙන්නේ ඇයි? කියන විදිහට මේ තීරණයට එළැඹිලා තියෙන්නේ දිගින් දිගටම පවතින ද්‍රවශීලතා හිඟයට පිළියමක් ලෙසයි.

මේ කියන ද්‍රවශීලතා හිඟය කුමක්ද? මෙයින් සරලව කියන්නේ රටේ රුපියල් හිඟයක් තිබෙන බවයි. ඒ කියන්නේ රටේ පවතින මුදල් ඉල්ලුම මුදල් සැපයුමට වඩා ගොඩක් වැඩි බවයි. ප්‍රමාණාත්මකව ගත්තොත්, ඊයේ (නොවැම්බර් 16 බ්‍රහස්පතින්දා) වන විට ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 182ක්. 

රටේ මුළු සංචිත මුදල් ප්‍රමාණයම රුපියල් බිලියන 1,030ක්. ඒ කියන්නේ ඒ ප්‍රමාණයෙන් 18%ක අමතර මුදල් ඉල්ලුමක් රටේ තියෙනවා කියන එකයි. මෙය සුළුපටු නැහැ. එහෙම වුනේ කොහොමද?

මේ ද්‍රවශීලතා හිඟය ඇති වුණේ දේශපාලන අර්බුදය පටන් ගැනීමෙන් පසුව නෙමෙයි. ඔක්තෝබර් 25 වන විටත් රුපියල් බිලියන 122ක ද්‍රවශීලතා හිඟයක් තිබුණා. පසුගිය සති තුනට මේ හිඟය රුපියල් බිලියන 60කින් වැඩි වෙලා. ද්‍රවශීලතා හිඟයක් තිබෙන විට වාණිජ බැංකු විසින් කරන්නේ ඔවුන් සතු භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුවට තාවකාලිකව විකුණලා මුදල් ලබා ගන්න එකයි. සාමාන්‍යයෙන් මෙය කරන්නේ දෛනික පදනමකින්. හවසට විකුණන භාණ්ඩාගාර බිල්පත් පසුදා උදේ නැවත මිල දී ගන්නවා. ප්‍රතිවිකුණුම් කියන්නේ මේවාටයි.

මහ බැංකුවක් සාමාන්‍යයෙන් ප්‍රතිවිකුණුම් ගනුදෙනු වලට යන්නේ වාණිජ බැංකුවකට කෙටිකාලීනව, බොහෝ විට දවසකට, මුදල් අපහසුතාවක් ඇති වූ විට තාවකාලිකව ප්‍රශ්නය විසඳාගන්න ඉඩ සැලසීමක් ලෙසයි. ද්‍රවශීලතා හිඟයක් දිගින් දිගටම පවතිනවා කියන්නේ ආර්ථිකයේ දිගටම පවතින අසමතුලිතතාවයක් තිබෙනවා කියන එකයි. 

මෙවැනි අසමතුලිතතාවයක් විසඳිය හැකි ආකාර දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය වන්නේ ඉල්ලුමට ගැලපෙන පරිදි මුදල් සැපයුම වැඩි කිරීමයි. එය පසුකාලීනව උද්ධමනය ඉහළ යාමට හේතු වෙනවා. දෙවන ක්‍රමය වන්නේ මුදල් ඉල්ලුම අඩු වන තරමට පොලී අනුපාතික ඉහළ දැමීමයි. එහි ප්‍රතිඵලය ආර්ථික වර්ධනය අඩාල වීමයි.

මේ වෙලාවේ ලංකාවේ ආර්ථික වර්ධනය සාමාන්‍ය මට්ටමටත් අඩුවෙනුයි සිදු වෙන්නේ. ඒ නිසා, පොලී අනුපාතික තවත් ඉහළ දැමීම කරන්න අමාරුයි. අනික් පැත්තෙන් මුදල් සැපයුම ඉහළ දැමීම උද්ධමනය ඉහළ යන්න හේතු වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් මේ දෙපැත්තම සලකලා අතරමැදි තීරණයකටයි එළැඹිලා තියෙන්නේ. කියන විදිහට මෙය දැඩිත් නැති, ලිහිලුත් නැති උදාසීන මුදල් ප්‍රතිපත්තියක්.

මේ ආකාරයට ද්‍රවශීලතා හිඟයක් ඇති වුනේ කොහොමද? මෙය වෙන්නනම් එක්කෝ රටේ මුදල් සැපයුම අඩු විය යුතුයි. නැත්නම් මුදල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යා යුතුයි. සිංහල අවුරුදු සතිය වගේ කාලයක තාවකාලිකව ඉහළ ගියත් මුදල් ඉල්ලුම එක වර විශාල ලෙස ඉහළ යන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බොහෝ විට හේතු වෙන්නේ මුදල් සැපයුමේ සිදුවන වෙනස්කම්.

මහ බැංකුව විසින් මුදල් සැපයුම අඩු කළොත් ද්‍රවශීලතා හිඟයක් ඇති වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් තමන් සතු භාණ්ඩාගාර බිල්පත් හෝ විදේශ විණිමය විකුණා රුපියල් එකතු කර ගන්නා විට මුදල් සැපයුම අඩු වෙනවා. මෙයින් පළමුවැන්න සිදු වී නැහැ. පසුගිය තෙසතිය තුළ මහ බැංකුව විසින් කරලා තියෙන්නේ රුපියල් බිලියන 16කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමයි. ඒ කියන්නේ ඒ හරහා තවත් රුපියල් බිලියන 16ක් මුදල් වෙළඳපොළට එකතු කරලා. රුපියල් බිලියන 60කින් හිඟය ඉහළ ගිහින් තියෙන්නේ එහෙම තියෙද්දීයි. එහෙමනම් ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 60 කින් නෙමෙයි 76කින්ම වැඩි වෙලා.

ද්‍රවශීලතා හිඟය වැඩි වෙන්න පුළුවන් අනෙක් ආකාරය මහ බැංකුව විසින් හෝ විදේශිකයින් විසින් ඩොලර් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලක්) ගෙවා රුපියල් මිල දී ගැනීමයි. පසුගිය සති තුන ඇතුළත විදේශිකයෝ ලංකාවට ඩොලර් විශාල මුදලක් අරගෙන ඇවිත් රුපියල් කළාද? 

ඇත්තටම වෙලා තිබෙන්නේ එහි අනිත් පැත්තයි. පසුගිය සති තුනේ විදේශිකයින් විසින් කොටස් වෙළඳපොළේ තමන් සතු ආයෝජන වගේම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල කර තිබූ ආයෝජනත් විශාල ලෙස මුදල් කර රටින් ගෙනයන එකයි කර තිබෙන්නේ. මේ ප්‍රමාණය රුපියල් බිලියන 23.6ක්. ඒ කියන්නේ එපමණ රුපියල් ප්‍රමාණයක් මුදල් වෙළඳපොළට එකතු වී තිබෙනවා. එහෙමනම් ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 100 කින් පමණ වැඩි වෙලා. ඔය කාලය ඇතුළත ආනයන, ණය ගෙවීම්  ආදිය සඳහා තවත් ඩොලර් මිල දී නොගැනෙන්න හේතුවක් නැහැ. එහෙමනම් මේ ඇස්තමේන්තුව අවම ඇස්තමේන්තුවක්.

පසුගිය සති තුන ඇතුළත ද්‍රවශීලතා හිඟය මේ තරමින් ඉහළ යන්නනම් මහ බැංකුව සංචිත වලින් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් විකුණා දමා තිබිය යුතුයි. ඒ ප්‍රමාණය හා අදාළ සංඛ්‍යාලේඛණය සොයා ගැනීමේ ක්‍රමයක් නැහැ.

පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වලදී මාසයකට ඩොලර් මිලියන 300 පමණ බැගින් මහ බැංකුව විසින් සංචිත විකුණා තිබෙනවා. ඒ කියන්නේ ඒ මාස දෙකේ රුපියල් බිලියන 100ක් පමණ වෙළඳපොළෙන් එකතු කරගෙන තිබෙනවා. පසුගිය සති තුනේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 100 කින් පමණ වැඩි වෙලා තිබීමෙන් පෙනෙන්නේ පසුගිය සති තුන ඇතුළත ඩොලර් මිලියන 600කට ආසන්න සංචිත ප්‍රමාණයක් මහ බැංකුව විසින් විකුණා දමා ඇති බවයි. 

ඇතැම් විට නොවැම්බර් මුල එක වරම ඩොලරයක මිල පොඩ්ඩක් අඩු වුනේ මහ බැංකු මැදිහත් වීමක් නිසා වෙන්න පුළුවන්. නමුත්, දවස් දෙකකින් පසුව නැවතත් ඩොලරයක මිල ඉහළ යන්න පටන් ගත්තා. එසේ කර තිබියදීත් පසුගිය සති තුන තුළ ඩොලරයක මිල රුපියල් හතරකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. 

ලංකාවේ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ පවත්වා ගත යුතු සංචිත ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් බිලියන 400ක් පමණ. සංචිත අනුපාතය 7.5% සිට 6.0% දක්වා අඩු කළ විට මේ මුදලින් රුපියල් බිලියන 80ක් පමණ නිදහස් වෙනවා. ඉන් පසුවත් තව රුපියල් බිලියන 100ක පමණ ද්‍රවශීලතා හිඟයක් ඉතිරි වෙයි. එය පියවෙනු ඇත්තේ කොයි වෙලාවක හෝ ඩොලර් ණයක් ලැබුණු විටක තමයි. 

Sunday, January 8, 2017

මේ අවුරුද්දේදී මහ බැංකුව මොනවා කරයිද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන ප්‍රතිපත්ති පෙර දැක්ම මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් පසුගිය අඟහරුවදා (ජනවාරි 3) ඉදිරිපත් කර තිබේ. වසර තුළ මහ බැංකුව විසින් ලඟා කරගැනීමට අපේක්ෂිත ආර්ථික ඉලක්ක හා එම ඉලක්ක කරා ලඟා වනු පිණිස ගැනීමට අදහස් කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රහසක්ව නොතබාගෙන වසර මුලදීම ප්‍රකාශයට පත් කිරීම මේ වාර්ෂික ප්‍රතිපත්ති පෙර දැක්ම ඉදිරිපත් කිරීම මඟින් සිදුවේ.

රටක මුදල් මුද්‍රණය කර නිකුත්කිරීමේ නීත්‍යානුකූල ඒකාධිකාරය ඇති මහ බැංකුවට ඒ ඒකාධිකාරී බලය යොදාගෙන රටේ ජනතාවගේ සාක්කු පහසුවෙන් සූරා ගැනීමේ හැකියාවක් තිබේ. මේ කටයුත්තම රජය විසින් කරන විට එය කරන්නට වෙන්නේ වඩා පාරදෘශ්‍ය ලෙස බදු ඉහළ නැංවීම මඟින් නිසා රජයකට මහජන විරෝධයට මුහුණ නොදී ජනතාවගේ සාක්කු වලට බැසීම පහසු කටයුත්තක් නොවේ. මහ බැංකුවක් විසින් මුදලේ සැබෑ වටිනාකම අඩුවෙන්නට හැරීමෙන් ඒ දෙයම කරන විට රටේ ජනතාවගේ සාක්කු හිස් වන්නේ ඔවුන්ටත් නොදැනීමය. මේ නිසා නිවැරදි දෙය කිරීම මෙන්ම, තමන් නිවැරදි දෙය කරන බව රටේ ජනතාවට පෙනෙන්නට සැලැස්වීමද මහ බැංකුවක යුතුකමකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල පාරදෘශ්‍යභාවය ඉහළ නංවමින් වසර මුල සිය ප්‍රතිපත්ති පෙරදැක්ම එළිදැක්වීම මහ බැංකුව විසින් ඇරඹුවේ 2007 වසරේදීය. ඒ, අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමෙන් පසුවය. එතැන් සිට වාර්ෂිකව සිදු කෙරෙනු මේ කටයුත්ත අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිව සිටි පසුගිය වසරේදී (දන්නා තරමින්) සිදු නොවුණේය. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් නැවතත් මේ වසරේදී මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම ප්‍රසිද්ධියට පත්කිරීම පැසසිය යුත්තකි.

අධිපති කුමාරස්වාමිගේ ප්‍රතිපත්ති පෙරදැක්මෙන් රටේ ආර්ථිකයේ ස්වභාවය ඇති සැටියෙන්ම විස්තර කර ඇති බව පෙනේ. ලෙඩකට සැබෑ ප්‍රතිකාර සෙවිය හැක්කේ ලෙඩේ නිවැරදිව හඳුනා ගතහොත් පමණි. පෙර වසර වලදී බොහෝ විට දක්නට ලැබුණේ රටේ ආර්ථිකය ඇති සැටියෙන් විස්තර කරනවාට වඩා, ශුභවාදී චිත්‍රයක් කෘතීම ලෙස පින්තාරු කරන ස්වභාවයකි.

ලංකාවේ ආර්ථිකයේ වත්මන් ස්වභාවය ගැන අධිපතිවරයා මෙසේ කියයි.

"ආසියානු රටවල් අතරින් බොහෝ සමාජ ආර්ථික දර්ශක අනුව ජපානයට පමණක් පසුපසින් සිටි ලංකාව ඒ තත්ත්වයෙන් බොහෝ පහළට වැටුණේ ඇයි කියා අප විමසා බැලිය යුතුයි. ආසියානු සියවස ලෙස හැඳින්වෙන මේ කාලයේදී ආසියා-ශාන්තිකර කලාපයේ රටවල් අතරින් ඇෆ්ඝනිස්තානය හැරුණු විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබමින් සිටින්නේ ලංකාව පමණයි. මෙය සමාන කළ හැක්කේ රෝහල්ගතව සිටීමකටයි. අප ඉන්නේ දැඩි සත්කාර ඒකකයක නොවූවත්, පැහැදිලිවම රෝහල්ගතවයි. ලෙඩේ සහ ලෙඩේට බෙහෙත නොදන්නා එකක් නෙමෙයි. දැනටම ප්‍රතිකාර ඇරඹී තිබීම අපව දිරිගන්වන්නක්."

මහ බැංකුව විසින් නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි ලෙඩේට මුල දිගින් දිගටම පවත්වාගෙන යන රජයේ අයවැය හිඟයයි. මේ අනුව, මේ රෝගයට ප්‍රතිකාරය වන අයවැය හිඟය අඩුකර ගැනීමේ කටයුත්තේදී රජය විසින් ප්‍රගතියක් පෙන්වා ඇති බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි. ඔහු මෙය අගය කරන අතරම මේ ප්‍රවණතාව දිගටම පැවතීමේ වැදගත්කමද පෙන්වා දෙයි.

පසුගිය වසර තුල 4.5-5% කින් ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇතැයි සිතන මහ බැංකුව මෙම වසර තුළ ආර්ථික වර්ධනය 5.5-6% මට්ටමේ පවතිනු ඇතැයි ඇස්තමේන්තු කරයි. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති සකස්වනු ඇත්තේ ඉදිරි වසර තුළ ලංකාවේ උද්ධමනය 4-6% මට්ටමේ පවතින පරිදිය.

මහ බැංකුව විසින් රටේ මුදල් සඳහා වන ඉල්ලුම ඉක්මවමින් මුදල් සැපයුම වැඩි කිරීම උද්ධමනයට හේතු වේ. ආර්ථික වර්ධනය වැඩි වන විට මුදල් ඉල්ලුම වැඩි වේ. ඒ නිසා උද්ධමනයට හේතුවන්නේ අපේක්ෂිත ආර්ථික වර්ධනය ඉක්මවා අලුතින් මුදල් මුද්‍රණය කිරීමයි. රජයේ අයවැය හිඟයෙන් කොටසක් බොහෝ විට පියවෙන්නේ මෙසේ මහ බැංකුව විසින් අලුතින් මුද්‍රණය කර ඒ මුදල් යොදවා රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීම මඟින් සංසරණයට එකතු කරන මුදල් වලිනි.

රටේ මුදල් සැපයුම හා උද්ධමනය අතර පවතින ඉහත සම්බන්ධතාවය නිසා 1980 පමණ සිට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සකස්වුනේ රටේ මුදල් සැපයුම ඉලක්ක කරගනිමිනි. පසුගිය වසර කිහිපය තුළ මහ බැංකුව විසින් ක්‍රමයෙන් සෘජුවම උද්ධමනය ඉලක්ක කිරීමේ ප්‍රතිපත්තියක් කරා මාරු වෙමින් සිටී. මේ අනුව, මහ බැංකුව විසින් උද්ධමනය 4-6% මට්ටමේ පවත්වා ගැනීමට සෘජුවම ඉලක්ක කරනු ඇත. රජයේ අයවැය හිඟය අඩුමට්ටමක දිගටම පැවතීම මේ සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.


(Image: http://www.dailymirror.lk/article/Central-Bank-unveils-monetary-and-financial-sector-policy-road-map-for-and-beyond-121676.html)

Monday, December 12, 2016

රටකට ඕනෑ කොපමණ මුදලක්?



පසුගිය ලිපියකට ප්‍රතිචාර දැක්වූ එක් පාඨකයෙකු කිසියම් රටක් 'අළුතින් සල්ලි අච්චු ගැසීමේ' ක්‍රියාපටිපාටිය ගැන විස්තර කරන මෙන් ඉල්ලා සිටියේය. මේ ලිපිය එම ඉල්ලීමට ප්‍රතිචාරයකි.

කිසියම් මොහොතක රටක ආර්ථිකය තුළ සංසරණය වන නිශ්චිත මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණයක් තිබේ. මේ අතර ඉරුණු, පොඩි වුණු, අපවිත්‍ර වුණු නෝට්ටුද තිබේ. අතින් අත ගොස් කිසියම් බැංකුවක් හරහා මෙසේ හොඳ තත්ත්වයේ නැති මුදල් නෝට්ටුවක් මහ බැංකුවට පැමිණි විට මහ බැංකුව විසින් එවැනි මුදල් නෝට්ටු විනාශ කර අළුත් මුදල් නෝට්ටු සංසරණයට එක් කරයි. මෙසේ කිරීමෙන් රටේ මුදල් සැපයුම (ආර්ථිකය තුළ සංසරණය වන මුළු මුදල් ප්‍රමාණය) වෙනස් නොවේ. ඒ නිසා, මෙහිදී සිදුවන්නේ අළුතින් සල්ලි අච්චු ගැසීමක් නොවේ. (මෑතකදී වාර්තා වී තිබුණු පුවතකට අනුව මහ බැංකුවේ සේවකයින් පිරිසක් විසින් ආදේශක ලෙස අළුතින් නෝට්ටු නිකුත් කිරීමෙන් පසු මෙසේ විනාශ කළ යුතු අපවිත්‍ර වූ නෝට්ටු විනාශ නොකර තමන් වෙත තබා ගනිමින් වංචාවක් සිදුකර තිබුණේය. එවැනි විටෙකනම් රටේ මුදල් සැපයුම වැඩි වේ.)

අළුතින් මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ කිසියම් අයුරකින් මහ බැංකුව විසින් ආර්ථිකයට පවතින ප්‍රමාණයට අමතරව අළුත් මුදල් නෝට්ටු හෝ කාසි නිකුත් කළ විටය. මෙය සිදුවන්නේ මහ බැංකුව විසින් කිසියම් පිරිවැයක් දරන විටෙකදීය.

මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවන විටත්, මහ බැංකුවට අලුතින් පරිගණකයක් මිලදී ගන්නා විටත්, මහ බැංකුව විසින් පුවත්පත් දැන්වීමක් දමන විටත් වැය කරන්නේ රජයේ වෙනත් ආයතනයක එවැනි පිරිවැයක් දැරෙන විට සිදුවනවාක් මෙන් මහජනතාවගේ බදු මුදල් නොවේ. අළුතින් මුද්‍රණය කළ මුදල්ය. ඒ නිසා මහ බැංකුවේ පිරිවැය වැඩිවන හැමවිටම රටේ මුදල් සැපයුම වැඩි වේ.

මෙහි අනිත් පැත්තද සිදුවේ. මහ බැංකුව විසින් ඔවුන්ගේ වාර්ෂික වාර්තාවේ පිටපතක් හෝ වෙනත් ප්‍රකාශනයක් විකුණන සෑම විටෙකම රටේ සංසරණයට නිකුත් කර ඇති මුදල් වලින් කිසියම් කොටසක් ආපසු මහ බැංකුවට පැමිණ සංසරණයෙන් ඉවත් වන නිසා රටේ මුදල් සැපයුම අඩුවේ.

ඉහත විස්තර කළ පරිදි මහ බැංකුව විසින් උපයන හා වැයකරන සෑම සතයක්ම රටේ මුදල් සැපයුමට බලපෑමක් කළත් රටේ මුදල් සැපයුම ප්‍රධාන වශයෙන්ම විචලනය වන්නේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත්) මිලදී ගැනීම හා විකිණීම කරන විටය. 


රටේ මුදල් සැපයුම වැඩි කරන්නට අවශ්‍ය වූ විට මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී. රටේ මුදල් සැපයුම අඩු කරන්නට අවශ්‍ය වූ විට මහ බැංකුව තමන් සතු භාණ්ඩාගාර බිල්පත් විකුණයි.

මුදල් සැපයුම වැඩි කිරීම උද්ධමනයට හේතු වන බව අප දන්නා දෙයකි. එසේනම්, මහ බැංකුවක් අළුතින් සල්ලි අච්චු ගසා මුදල් සැපයුම වැඩි කරන්නේ ඇයි?

රටේ ආර්ථිකයක් නිසි ලෙස ක්‍රියාත්මක වීමටනම් යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. රටක මහ බැංකුවක් මුදල් සැපයුම වැඩි කරන්නේ මේ මුදල් අවශ්‍යතාවය සැපිරෙන පරිදිය. එසේනම්, මේ ප්‍රමාණය කොපමණද?

මෙය ඇස්තමේන්තු කිරීම සඳහා අපට මුදල් අවශ්‍ය වන්නේ කුමකටද යන්න විමසීමට සිදුවේ. මුදල් අවශ්‍ය වන්නේ ගනුදෙනු සඳහාය. රටකට ගනුදෙනු සඳහා කොපමණ මුදලක් අවශ්‍යද?

රතු කැකුළු කිලෝවක් රුපියල් අසූවනම් කිලෝ දෙකක් මිලදී ගන්නට රුපියල් එකසිය හැටක් අවශ්‍ය වේ. බිත්තරයක් රුපියල් පහළොවනම් බිත්තර පහක් ගන්නට රුපියල් හැත්තෑ පහක් අවශ්‍ය වේ. මේ දෙකම ගන්නට රුපියල් දෙසිය තිස්පහක් අවශ්‍ය වේ. ඉහත අයුරින් රටේ සෑම අයෙකුටම මිල දී ගැනීමට අවශ්‍ය සියළුම දේ සඳහා අවශ්‍ය තර
ම් මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය.

රටේ සියළුම දෙනා විසින් කරන ගනුදෙනු පිලිබඳ සංඛ්‍යාලේඛණ එකතු කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවේ. එහෙත්, මේ ගනුදෙනු ප්‍රමාණය ආසන්න වශයෙන් ඇස්තමේන්තු කරන්නට බැරිකමක් නැත.

රටේ කවුරු හෝ මිල දී ගන්නේ වෙනත් කවුරු හෝ විසින් නිෂ්පාදනය කළ භාණ්ඩයක් හෝ සේවාවකි. ඒ නිසා, රටේ සමස්ත නිෂ්පාදනය ඇස්තමේන්තු කළ හැකිනම් හා එක් එක් භාණ්ඩයේ සාමාන්‍ය මිල දන්නේනම් රටේ සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණය ඇස්තමේන්තු කළ හැකිය. රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ලෙස ඇස්තමේන්තු කරන්නේ කිසියම් කාලයක් තුළ රටක සිදුවන සමස්ත නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකමයි. මෙම අගය රටේ වසරක් තුල සිදුවන ගනුදෙනු ප්‍රමාණයට සමාන ලෙස සැලකිය හැකිය. ඒ නිසා, එම ගනුදෙනු ප්‍රමාණය කිරීමට අවශ්‍ය තරම් මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය.

කෙසේ වුවද, වසරක් වැනි කාලයක් තුල එකම රුපියල් සීය ගනුදෙනු සඳහා කිහිප වරක්ම යෙදවේ. ඒ ගනුදෙනුවක් සිදුවන සෑම විටෙකම මේ රුපියල් සීය වෙනත් අයකුගේ අතට යාමත් ඔහු හෝ ඇය එම මුදල් නෝට්ටුවම නැවතත් ගනුදෙනු සඳහා භාවිතා කිරීමත් සිදුවන බැවිනි. මෙසේ යම්කිසි කාලයක් තුළ මුදල් නෝට්ටුවක් අතින් අත යන වාර ගණන 'මුදල් ප්‍රවේගය' ලෙස හැඳින්වේ. ලංකාවේ මුදල් නෝට්ටුවක් වසරක් තුළ මෙසේ අතින් ඇත මාරු වන වාර ගණන තුන් වරක් පමණ වේ.

දැන් අපට රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය (M) සොයාගත හැකිය. රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතය මුදල් ප්‍රවේගයෙන් බෙදූ විට පිළිතුර ලැබේ.

රටක මුදල්
ප්‍රවේගය සාමාන්‍යයෙන් විශාල ලෙස විචලනය නොවේ. එහෙත්, රටේ සමස්ත නිෂ්පාදනය සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යයි. මෙසේ සමස්ත නිෂ්පාදනය හෙවත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වීම සරලව රටේ ආර්ථික වර්ධනය ලෙස හැඳින්වේ. ආර්ථිකය වර්ධනය වන විට ඒ අනුපාතයෙන්ම රටේ ගනුදෙනු ප්‍රමාණයද ඉහළ යන නිසා එම ගණුදෙනු සුමට ලෙස කිරීමට රටට අවශ්‍ය මුදල් ප්‍රමාණයද ඉහළ යයි. ඒ නිසා රටක ආර්ථික වර්ධනය වන අනුපාතයෙන් මුදල් සැපයුම වැඩි කළ විට මිල මට්ටම ඉහළ නොයයි. එහෙත්, ආර්ථිකය වර්ධනය වන වේගයට වඩා වැඩියෙන් මුදල් සැපයුම වැඩි කළ විට එම වැඩිපුර මුදල් සැපයුමට සරිලන ඉල්ලුමක් නැති නිසා සිදුවන්නේ මිල මට්ටම ඉහළ යාමය.

උදාහරණයක් ලෙස රටේ ආර්ථික වර්ධනය 6%ක් වෙද්දී, මුදල් සැපයුම 10%කින් වර්ධනය වුවහොත්, 4%ක 'වැඩිපුර' මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වන නිසා මිල මට්ටම 4%කින් වැඩි වේ. එනම්, උද්ධමනය 4%ක් වේ. යම් හෙයකින් මුදල් සැපයුම 20%කින් වර්ධනය වුවහොත් උද්ධමනය 14%ක් පමණ වනු ඇත.

මහ බැංකුව වසර මුලදී අදාළ වසර සඳහා මුදල් සැපයුම තීරණය කරද්දී රටේ ආර්ථික වර්ධනය සැලකිල්ලට ගන්නා අතර, එයට අමතරව කිසියම් මට්ටමක 'තිබුණට කමක් නැති' උද්ධමන මට්ටමක් සලකමින් මුදල් සැපයුම වැඩිකළ යුතු ප්‍රමාණය තීරණය කරයි. මා සිතන පරිදි අඩු වශයෙන් අසූව දශකයේ මුල පමණ සිට 2006 වසර පමණ වන තුරු මහ බැංකුව මේ 'තිබුණට කමක් නැති' උද්ධමන මට්ටම 9%-10% පමණ ලෙස සැලකුවේය. ඉන්පසු කාලයේදී මහා බැංකුව මේ මට්ටම 5%-6% මට්ටම දක්වා ගෙන ආවේය.

මහ බැංකුව මෙසේ වසර මුල යම් කිසි මට්ටමකට වඩා මුදල් සැපයුම වැඩි නොකිරීමට තීරණය කළත් බොහෝ වසර වල එම මට්ටමද ඉක්මවා මුදල් සැපයුම වැඩි කරයි. මෙසේ කිරීමට පෙළඹෙන්නේ රජයේ අයවැය හිගය ඇස්තමේන්තුවට වඩා වැඩි වී වැඩිපුර රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කෙරෙන විට පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යන්නට නොදී එම සුරැකුම්පත් ප්‍රමාණය විකුණාගන්නට බැරිවන විට මහ බැංකුවට අළුතින් මුද්‍රණය කළ මුදල් යොදවා රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගන්නට සිදුවන බැවිනි. මෙයට අමතරව, බොහෝ වසර වල ලංකාවේ ආර්ථික වර්ධන වේගය වසර මුලදී බලාපොරොත්තු වන මට්ටමට යන්නේ නැත. මේ කරුණු දෙකේම ප්‍රතිඵලය වන්නේ මුලින් හිතුවාට වඩා වැඩි උද්ධමන මට්ටමක් ඇති වීමයි.

කෙසේ වුවද, තෙල් මිල අඩුවීම වැනි බාහිර සාධක නිසා මුදල් සැපයුම වැඩිවද්දීත් උද්ධමනය අඩු මට්ටමක පැවතෙන්නට පුළුවන.


(Image: http://www.therepublicsquare.com/business/2013/05/inflation-in-sri-lanka-according-to-cal-research-figures/)

Saturday, January 23, 2016

නෝනාගේ පස්ස පැත්තේ තිබුණු පොල්ල කුමක්ද?

එළඹෙන මාර්තු 17 දිනට ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයගෙන දශක දෙකකි. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් අවසන් තරඟයෙන් ජයගෙන ලෝක කුසලානය ජයගත් මොහොත ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු කලකට පසු සතුටු වූ මොහොතකි. මේ ජයග්‍රහණයේ පළමු සුබ ලකුණ දැකගන්නට ලැබුණේ තරඟයේ ආරම්භයේදීමය. අර්ධ අවසාන හෝ අර්ධ අවසාන පූර්ව වට වලදී නොලැබුණු කාසියේ වාසිය අර්ජුන රණතුංගට මේ තරඟයේදී ලැබුණේය.

අර්ජුන රණතුංග ඔහුගේ හැකියාව උපයෝගී කරගෙන කාසි වාසි ලබාගන්නා අවස්ථා ඕනෑ තරම් තිබුණත් මේ අවස්ථාවේදීනම් කාසියේ වාසිය ලැබුණේ ඔහුගේ හැකියාව නිසා නොවේ. වාසනාවටය. පෙර පිනටය. දෙවියන්ගේ කැමැත්තටය. එහෙමත් නැත්නම්, අහඹු ලෙස සම්භාවිතාව අනුවය. ඔය කොයි වචනය යෙදුවත් එයින් කියවෙන්නේ අප නොදන්නා, අපට පාලනය කළ නොහැකි හේතුවකින් එය සිදු වූ බවයි.

උඩ දැමූ කාසියක් බිම වැටුණු විට උඩ පැත්තේ තිබෙනු ඇත්තේ අගයද සිරසද කියා කිසිවෙකුට නිශ්චිතව කියන්නට නොහැකිය. එහෙත්, විශාල වාර ගණනක් එක දිගටම මේ පරීක්ෂණය කළහොත් අගය හා සිරස වැටෙන්නේ ආසන්නව සමාන වාර ගණනක් බව ඕනෑම කෙනෙකුට පරික්ෂා කර තහවුරු කර ගත හැකි දෙයකි.

මේ අගය හා සිරස යන වචන දෙක මා මුලින්ම ඉගෙන ගත්තේ නවවන ශ්‍රේණියේදී නව ගණිතය විෂයයට සම්භාවිතාව ඉගෙන ගනිද්දීය. උඩ දමන්නට ගත් සතයකටනම් ඔය කාලයේදීවත් අගයක් නොතිබුණත් සත විසිපහකටනම් අදට සාපේක්ෂව යම්කිසි අගයක් තිබුණේය. ඒ නැතත්, අඩු වශයෙන් සතයේ වගේම සත විසිපහේත් එහි නාමික අගය ටංකනය කර තිබුණේය. අගය කෙසේ වෙතත් රූප පෙට්ටි වලට තුන් හුලස් සිරස් රිංගන්නට පෙර යුගයක් වූ ඔය කියන කාලයේදී මේ කාසි වල තුන්හුලස් තබා වෙනත් කවරාකාරයේ හෝ කැපී පෙනුණු සිරසක්නම් පෙනෙන්නට නොතිබුණේය.

එසේ කැපී පෙනුණු සිරසක් නොතිබුණත් හොඳින් බැලු විට මේ කාසි බොහොමයක සිරස් තුනක්ම තිබුණේය. ඒ, රාජ්‍ය ලාංඡනය ඇතුලෙ සිටි ඉරමාමාගේ, හඳමාමාගේ සහ සිංහ මී මුත්තාගේ සිරස් තුනයි. ඉරමාමාත් හඳමාමාත් දෙදෙනාම එකවර බැස ගොස් සිටියත් සිංහයාගේ කකුල් දෙකට යටින් දෙන්නා කෙසේ හෝ ඔළුව උස්සාගෙන සිටියේය.

අළුත් කාසි වල මෙසේ සිරස් තුනක් තිබුණත්, තරමක් පරණ කාසිවල තිබුණේ එක් හිසක් පමණි. ඒ සිංහයාගේ හිසයි. සිරස් අඩු වුණත් ඒ අඩුව මකන්නට ඔටුන්නක්නම් තිබුණේය.

පාසැල් පෙළ පොතේ ඔය විදිහට අගය හා සිරස කියා කියා තිබුණත් අර්ජුනලාගේ සෙල්ලම අපි කරන විට අපි ඕකට කිවුවේ නෝනාපොල්ල දැමීම කියාය. ජනරජ ලාංඡනය නැත්නම් රාජ්‍ය මුද්‍රාව සටහන් වී ඇති පැත්ත නෝනාය. අගය සටහන් වී ඇති පැත්ත පොල්ලයි. ඔය නෝනා කවුද කියා හොයන්නට හෝ නෝනාගේ පස්ස පැත්තේ ඇති පොල්ල හොයන්නට ඒ දවස්වල අපට එතරම් උවමනාවක් තිබුණේ නැත.

ඔය කියන කාලය වන විට නෝනා කෙනෙක් හොඳින් පෙනෙන්නට සිටි අළුත්ම කාසිය වූයේ අතරින් පතර දකින්නට ලැබුණු, 1957 වසරේදී නිකුත් කළ සත දෙකේ කාසියකි. මේ කාසියේ 1953දී ඔටුණු පළන් දෙවන එලිසබෙත් රැජිනගේ සිරස ටංකනය කර තිබුණේය. මේ නෝනාගේ සිරස දකින්නට හැකි ලංකාවේ භාවිතා වූ එකම කාසිය සතදෙකේ කාසියයි. කෙසේවුවද, මේ කාසියේ නෝනා හිටියත් පොල්ලක්නම් පෙනෙන්නට නොතිබුණේය. නෝනාගේ සිරස හොඳින් පෙනෙන්නට තිබුණු බැවින් සිරස හා අගය යන භාවිතයනම් මේ කාසියට අදාළව නිවැරදිය.

දෙවන එලිසබෙත් රැජිනගේ මෞලි මංගල්‍යයට පෙර අඩසියවසක පමණ කාලය තුළ නිකුත් කෙරුණු කාසි වල අදාළ කාලයේ බ්‍රිතාන්‍ය කිරීටය හෙබවූ හත්වන එඩ්වඩ්, පස්වන ජෝජ් සහ හයවන ජෝජ් රජවරුන්ගේ මුහුණු ඇලවී තිබුණු බැවින් ඒ කාලයටද සිරස හා අගය යෙදුම ගැලපුනත් මේ කාසි වල සිටි නෝනෙක්නම් නැත.

කාසියේ සිටි නෝනාව හොයා ගැනීමට මුලින්ම රුපියල් සත භාවිතය ඇරඹී කාසි නිකුත් කෙරෙනු 1870 කාලයට යන්නට සිදුවේ. එම වසරේ සිට 1901 දක්වා නිකුත් කෙරුණු කාසිවල පිටුපස පැත්තේ අපට මේ නෝනා හමුවේ. ඇය අදාළ කාලයේ බ්‍රිතාන්‍ය කිරීටය හෙබවූ වික්ටෝරියා රැජිනයි.

දැන් නෝනා සිටී. එතකොට පොල්ල? පොල්ල හොයාගන්නට මේ කාසි වල සිටින නෝනා පැත්ත අනිත් පසට හරවා කාසි වල අගය සටහන් වී ඇති පැත්ත බැලිය යුතුය. එවිට, පොල්ල කෙසේ වෙතත් දාර පොල්ගසක්නම් හමුවේ. මේ පොල්ගස නෝනා වෙනුවට වෙනත් මහත්තුරුන් කාසිවල පිටුපසට පැමිණීමෙන් පසුවද, අඩු වශයෙන් 1942 පමණ වන තුරු ලංකාවේ භාවිතා වූ කාසි වල දකින්නට ලැබුණු සංකේතයකි.

කෙසේවුවද, නෝනා සහ පොල්ල කෙසේවෙතත් නෝනා සහ පොල්ගහ දෙකම සහිත කාසි නිකුත් කෙරුණේ 1870 සිට 1901 දක්වා කාලයේදීය. එහෙත්, මේ කාසි තවත් දශක කිහිපයක්ම භාවිතයේ තිබෙන්නට ඇත.

බොහෝ විට මුල් කාලයේදී කාසියක් උඩ දමා අසන්නට ඇති ප්‍රශ්නය "නෝනද පොල්ගහද?" යන්නයි. පසුව මෙය හදිසියට "නෝනද පොල්ලහද?" වී, එයින් පසුව "නෝනද පොල්ලාද?" වී, එයින්ද පසුව "නෝනද පොල්ලද?" වන්නට ඇතැයි සිතිය හැකිය.





(Image: http://coins.lakdiva.org/british_ceylon)

Thursday, January 7, 2016

සතපහ ඇගේ බාප්පලා හා සීයලා

සතපහේ උපත ගැන අපි පෙර ලිපියකින් කතා කළෙමු. මේ ලිපියෙන් කතා කරන්නේ සතපහේ උපත හා සමාන්තරව සිදුවූ රුපියල් සත භාවිතය ඇරඹෙන විට ලංකාවේ භාවිතා වෙමින් තිබූ වෙනත් මුදල් ඒකක ගැනය. මේ මුදල් වර්ග ගැන වෙනත් තැන් වලද විස්තරාත්මකව ලියැවී ඇති අතර, පනම්, තුට්ටු, අලුක්කාල් වැනි වචන දැනටත් භාවිතයේ ඇත.

කෙසේවුවද, මගේ ලිපියේ මූලික අරමුණ ලංකාවේ පැරණි කාසි ගැන කතාකිරීම නොවේ. රුපියල් සත ලංකාවට හඳුන්වා දුන් තැන් පටන් රුපියලේ වටිනාකම වෙනස් වූ ආකාරය සාකච්ඡා කිරීමය. රුපියල් සත වල බාප්පලා හා සීයලා ගැන කතා කරන්නේ ඒ සඳහා ආරම්භයක් වශයෙනි. රුපියල් සත ඉපදෙන විට මියගොස් සිටි රුපියල් සත වල මී මුත්තන් සහ කිරිකිත්තන් ගැන මෙහි කතා කරන්නේ නැත.

උඩරට ගිවිසුම අත්සන් කෙරුණු 1815 වසරට පෙර සියවස් කිහිපයක්ම ලංකාවේ ඒකීය පාලනයක් නොතිබුණේය. ඒ නිසා රට පුරාම පිළිගත් එක් මුදල් ඒකකයක් තිබුණේද නැත. 1802 වසරේදී ලංකාවේ ඉංග්‍රීසින් විසින් පාලනය කළ ප්‍රදේශ බ්‍රිතාන්‍යයේ යටත්විජිත පිලිබඳ රාජ්‍ය ලේකම් යටතට පත් වූ තැන් සිට අදාළ ප්‍රදේශ වල ගිණුම් කටයුතු සිදු කෙරුණේ රික්ස්ඩොලර්, පනම් සහ පයිසා වලිනි. උඩරට ගිවිසුමෙන් අනතුරුව දිවයින පුරාම මේ භාවිතය ක්‍රියාත්මක විය.


1825 මාර්තු 23 දින පැනවූ බ්‍රිතාන්‍ය රජයේ නියෝගයක ප්‍රතිපාදන අනුව එම වසරේම ජූලි මස 4 දින පැනවූ රෙගුලාසි අංක 8 මඟින් ලංකා රජය ඇතුළු සියළුම යටත් විජිත වල මහා බ්‍රිතාන්‍යයේ පවුම්, සිලිං සහ පැන්ස භාවිතා කිරීමටත්, රජයේ ගිණුම් අදාල මුදල් ඒකක වලින් සටහන් කිරීමටත් නියෝග කෙරිණි. කෙසේවුවද, ඒ වන විට භාවිතයේ පැවති රික්ස්ඩොලර්, පනම්, පයිසා, ෆාර්දින් මෙන්ම ඕලන්ද යුගයේදී නිකුත් කරනු ලැබ තවදුරටත් භාවිතයේ තිබූ තඹසල්ලිද (Dutch challie) උපරිම ගණුදෙනු සීමාවන්ට යටත්ව තවදුරටත් වලංගු විය.
මේ අතර 1835 අගෝස්තු මාසයේදී අංක 17 දරන ඉන්දියානු පණත මඟින් ඉන්දියාව පුරා රුපියල් හඳුන්වා දෙනු ලැබීය. "කොම්පැනි රුපියල්" ලෙස හැඳින්වුණු මේ රිදී රුපියල් 1836 සැප්තැම්බර් 26 දින ආණ්ඩුකාර විල්මට්-හෝර්ටන් විසින් ගත් තීරණයක් අනුව ලංකාව තුළද හඳුන්වාදෙනු ලැබීය. ඒ සමඟම මේ ඉන්දියානු රුපියල් ඉතා සීඝ්‍රයෙන් ලංකාව තුළද ජනප්‍රිය විය. කලක් ගතවන විට රික්ස්ඩොලර් සහ එංගලන්ත රිදී කාසි භාවිතයෙන් ඉවත්ව ඒ වෙනුවට රුපියල් ආදේශ විය. එහෙත්, රුපියලට ලංකාව තුළ 1872 වසර වනතුරුම නීත්‍යානුකූල පදනමක් නොවීය. මේ ව්‍යාකූල තත්ත්වය නිරවුල් කරමින්, 1871 මැයි මස 23 දාතමැති ප්‍රකාශනයක් අනුව, රුපියල් හා එයින් සියයෙන් පංගු වන සත 1872 ජනවාරි මස පළමු දින සිට ලංකාවේ වලංගු මුදල් ඒකක බවට පත් විය. මුල් වරට සතපහේ, සතයේ හා සතබාගයේ තඹ කාසි නිකුත් කිරීමද මේ සමඟම සිදුවිය.

රුපියල හඳුන්වාදුන් අළුත භාවිතයේ පැවති වටිනාම කාසියක් වූ බ්‍රිතාන්‍ය පවුමක වටිනාකම රුපියල් දහයක් විය. වටිනාකම අඩුම අලුක්කාලක වටිනාකම සත කාලක් පමණ වුවත් මේ කාලයේ රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නට බැරි කමක් තිබුණේ නැත. රුපියල් සත හමුවේ මනුස්සකම නැති වී යන බව සමහර අය කියති. ඒ බව කෙසේ වෙතත්, රුපියල් සත ලංකාවේ නීත්‍යානුකූල මුදල් ඒකකය බවට පත්වීමෙන් අනතුරුව ඒ වන විට මහජනතාවගේ අතේ ගැවසුණු රුපියලේ බාප්පලා සහ සීයලා රැසක් ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් විය.

පහතින් ඇත්තේ රුපියලට පැරදී එසේ භාවිතයෙන් ඉවත්වූ කාසි වර්ග කිහිපයක සිංහල නම, ඉංග්‍රීසි නම, සැබෑ හුවමාරු වටිනාකම සහ ඇතැම් කාසි වල ප්‍රායෝගික භාවිතයේදී පැවති හුවමාරු වටිනාකමයි.

-පවුම (Pound): වටිනාකම රුපියල් 10කි.
-පතාගය/රිදීපහ (Rix-dollar): වටිනාකම සත 75කි.
-සිලිම (Shilling): පනම්අට ලෙසද හැඳින්විණි. වටිනාකම සත 50කි.
-පනම (Fanam): සැබෑ වටිනාකම සත 6 1/4කි. භාවිත වටිනාකම සත 6ක් විය. එහෙත්, පනම්හතරේ කාසියක භාවිත වටිනාකම එහි සැබෑ වටිනාකම වන සත 25ක් විය.
-තුට්ටුව (Stuiver/ Pice): සැබෑ වටිනාකම සත 1 9/16කි. භාවිත වටිනාකම සත 1 1/2 කි. තුට්ටු හයේ කාසියක් 'සට්ටලිය' ලෙස හැඳින්විණි. එහි සැබෑ වටිනාකම සත 9 6/16 ක්ද, භාවිත වටිනාකම සත 9ක් ද විය.
-සල්ලිය (English Challie): සැබෑ වටිනාකම සත 25/64කි. භාවිත වටිනාකම සත 1/2 කි.
-තඹසල්ලිය (Dutch Challie): සැබෑ වටිනාකම සත 25/48කි. භාවිත වටිනාකම සත 1/2 කි.
-අලුක්කාල (1/2 Dutch Challie): සැබෑ වටිනාකම සත 25/96කි. භාවිත වටිනාකම සත 1/4 කි.

මේ අනුව, "පනම් අටෙන් මට වැඩි කර දුන්න" කියන විට කතා කරන්නේ සහ පණහක වැටුප් වර්ධකයක් ගැනය. "තුට්ටුවෙ වාසියවත් මට ලැබෙන්නේ ඔහෙලා වගේ අයගෙන්නේ" කියන විට ලැබෙන වාසිය සත 1 9/16කි. "සිලිං තුනයි වැල උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ- සත දහයක් අඩු කරලා දෙන්නම් ගන්නවාද මැගි අක්කේ" කියන විට මැගි අක්කාට ලැබෙන වට්ටම 6.67%කි.

1872දී රුපියල ලංකාවේ නීත්‍යානුකූල මුදල් ඒකකය වන විට රුපියල් 10ක් බ්‍රිතාන්‍ය පවුමක් සමඟත්, රුපියල් 1.83ක් ඇමරිකානු ඩොලරයක් සමඟත් හුවමාරු විය. රුපියල සියවස සැමරූ 1972 ආරම්භයේදී රුපියල් 14.45ක් බ්‍රිතාන්‍ය පවුමක් සමඟත්, රුපියල් 5.96ක් ඇමරිකානු ඩොලරයක් සමඟත් හුවමාරු විය. තවත් වසර 44කට පසු, මේ වන විට බ්‍රිතාන්‍ය පවුමක් මිලදී ගැනීමට රුපියල් 214ක් අවශ්‍ය වන අතර ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීමට රුපියල් 146ක් අවශ්‍යය.


(Image: www.abccoinsandtokens.com)


Friday, January 1, 2016

සතපහක උපත

සමහර දේවල් වල සතපහක වටිනාකමක් නැත. ලංකාවේ සතපහත් එවැනි දෙයකි. ලංකාවේ සතපහ මේ වන විට පත් වී ඇති තත්ත්වය එසේ වුවද, මේ සතපහට උජාරු අතීතයක් තිබේ. සතපහ බිහි වූ කාලයේදී තුට්ටුවක් නොවටිනා දේවල් අතර සතපහක් හෝ වටිනා දෙයක් යනු වටිනා දෙයකි.

ඉකොනොමැට්ටාගේ යාළුවෙකුට ඒ යාළුවාගේ පාසැල් යාළුවන් ආදරයට ඇමතුවේ සතපහ යනුවෙනි. ඒ, ඉකොනොමැට්ටාගේ යාළුවාගේ වටිනාකම ඒ දිනවල සතපහක වටිනාකමට සමාන වූ නිසා නොවේ. හදිසියේවත් රවුමට තිබුණානම් දෙවරක් නොසිතා හතරැස් කරන්නට හිතෙන ඔහුගේ හතරැස් මූණේ ඒ තරම් වටිනාකමක් පසුකාලීනව හඳුනාගත් අප ඇතුළු කාටවත් පෙනුණේ නැත. ඔහුට මෙසේ ආදරයට ඇමතුවේ සතපහක ලෝහ වටිනාකම සතපහකට වැඩි වූ නිසා සතපහේ කාසි උණුකර ඇණ හැදීම ප්‍රශ්නයක් වී තිබුණු මේ කාලයේ අපේ පොර ලාබෙට හදා ගත හැකිව තිබුණු හොඳම ඇණයක් වී සිටි නිසාද නොවේ. යාළුවාගේ ජපන් පැණි කොමඩු ගෙඩියක් වැනි පැණි බේරෙන හතරැස් මූණ නිසාය.

(Image: http://www.kcci.com/news/check-out-this-hot-food-trend-square-watermelons/26695364)

සතපහේ විශේෂත්වය වුණේම මේ හතරැස් හැඩයයි. ලංකාවේ මෑත කාලයේදී නිකුත් කෙරුණු එකම හතරැස් කාසිය සතපහයි. සතපහේ ලෝහයත්, ඒ නිසාම වර්ණයත්, රාජ්‍ය මුද්‍රාව වගේම රටේ නමත් වෙනස් වෙද්දී මේ හතරැස් හැඩය පමණක් සෑහෙන කාලයක් වෙනස් නොවී තිබුණේ අපේ පොර පහු වී හරහට උස යනවිට ඔහුගේ සුන්දර හතරැස් මූණ රවුම් නොවී තිබුණු ආකාරයටමය. දවාලෙ පායන චන්ද්‍රයා රෑට බැසයන්නට පෙර හතරැස් කිරීමට වුවත් හැකියාවක් තිබුණු ඔහුගේ යාළුවන් කිසිවෙකුටත් පොරගේ හතරැස් මූණේ හතරැසනම් එක අංශකයකින් හෝ වෙනස් කරන්නට බැරි විය.

(Image: http://dawgama.deviantart.com/art/Square-Moon-119094851)

අපේ පොරගේ හතරැස් මුහුණට රවුම් මුහුණක් තිබුණු ඔහුගේ පෙම්වතිය පුරුදු වී සිටියාක් මෙන් සතපහේ කාසියේ හතරැසටද අප හුරු වී සිටියත් අපේ සතපහ උපත ලැබුවේ මේ හතරැස අත මිට මොලවාගෙන නොවේ. මුලින්ම, මෙලොව එළිය දුටු සතපහේ කාසියට තිබුණේ ඉකොනොමැට්ටාගේ අළුත් ප්‍රොෆයිල් මූණ වැනි රවුම් මූණකි. සතපහ මූණ හතරැස් කරගත්තේ වයස විසිඑකක් වී වැඩිහිටියෙකු වෙන කාලයේදීය.

සතපහේ කාසියේ ඉතිහාසය ලංකාවේ රුපියල් සත භාවිතයේ ඉතිහාසය තරමටම පැරණිය. සතපහේ කාසියක් මුලින්ම නිකුත් කෙරුණේ 1870 වසරේදීය. ඒ සමඟ නිකුත් කෙරුණු කාසි කිහිපය අතරින් වටිනාම කාසිය වූයේ සතපහයි.


මේ තියෙන්නේ 1870දී එසේ නිකුත් කළ සතපහේ කාසියයි. මේ කාසිය ඇතුළු කාසි කිහිපයක් මුලින්ම නිකුත් වන්නේ 1869 ජූනි මස 18 දාතමැති ඉංග්‍රීසි රජයේ ප්‍රකාශනයක් (proclamation) අනුවය. එහෙත්, මේ ප්‍රකාශනය මඟින් රුපියල් හා සත ලංකාවේ වලංගු නිත්‍යානුකූල මුදල් ඒකකය බවට පත් වන්නේ නැත. එය සිදුවන්නේ 1871 මැයි මස 23 දාතමැති ප්‍රකාශනයක් අනුවය. මෙමඟින් රුපියල් හා සත 1872 ජනවාරි මස පළමු දින සිට ලංකාවේ වලංගු මුදල් ඒකක බවට පත් විය.

එදා මෙදාතුර ගතවුණු හරියටම වසර 144ක කාලය තුළ, කාසි හා නෝට්ටු වල බාහිර ස්වභාවයේත්, දේශීය හා බාහිර වටිනාකම් වලත් සිදුවුණු වෙනස්වීම් හැරුණු විට, මුදල් ඒකකයේ මූලික ආකෘතියේ වෙනස්කම් රහිතව රුපියල් හා සත ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස පැවතී ඇත. එය තවත් වසර ගණනාවක් එලෙසම පවතිනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු!