Thursday, December 1, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහතුන්වන කොටස)

මේ ලිපි මාලාවේ පසුගිය (දොළොස්වන) කොටසින් අපි සාකච්ඡා කළේ ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළදපොළේ සැපයුම ඇතිවන ආකාරයයි. අපේ ලිපි මාලාවට පදනම් වූ ආන්දෝලනාත්මක වෙන්දේසියේදී බැඳුම්කර සැපයුම හිටිවනම දහ ගුණයකින් වැඩි කිරීමේ යුක්තියුක්ත භාවය ඉදිරියේදී විමසීම සඳහා එම පසුබිම සාකච්ඡා කළ යුතුවිය.

අද ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ එහි අනිත් පැත්ත වන ඉල්ලුම ඇති වන ආකාරයයි. බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළදපොළේ ඉල්ලුම ඇති වන ආකාරයයි. රජයට සිදුවූ යම් පාඩුවක් ඇත්නම් එය ඇස්තමේන්තු කිරීමට අදාළ දින පැවති සැබෑ ඉල්ලුම ගැන අවබෝධයක් ලැබිය යුතුය. ඒ සඳහා මේ ඉල්ලුම ඇති කරන පසුබිම් සාධක හඳුනාගත යුතුය.

දළ ප්‍රකාශයක් ලෙස භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළදපොළේ ඉල්ලුම ඇති වන්නේ අදාළ දින වෙළඳපොළේ ඇති අතිරික්ත ද්‍රවශීලතාව මඟිනි. සරලව කියනවානම් මෙයින් අදහස් වන්නේ වෙනත් කටයුත්තකට හිර වී නැති, කාගේ හෝ අතේ වැඩිපුර ඇති මුදල්ය.

මෙහිදී 'කාගේ හෝ' කිවුවත් ඇත්තටම රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියට සහභාගී විය හැක්කේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට සහ සේවක අර්ථසාධක අරමුදලට පමණි. එකොළොස් වන කොටසින් සාකච්ඡා කළ පරිදි, මේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ගෙන් අඩක් පමණ කිසියම් වාණිජ බැංකුවකට සම්බන්ධ ආයතන වන අතර අනෙක්වා එසේ නොවන හුදෙකලා සමාගම්ය.

අප පළමුව සේවක අර්ථසාධක අරමුදලෙන් පටන්ගත්තොත් ඔවුන්ට ප්‍රායෝගිකව කිසිදු තරඟයක් නැතිව ඉතා පහසුවෙන් ලැබෙන අරමුදල් සැපයුමක් තිබේ. මේ අරමුදල් ප්‍රමාණය ඉතාම විශාලය. එම අරමුදල් වලට සාපේක්ෂව ලංකාවේ කොටස් වෙළදපොළ අර දකුණේ භාෂාවෙන් හින්නික්කිතර එකකි. 


සේවක අර්ථසාධක අරමුදලට සිය අරමුදල් ආයෝජනය කරන්නට ඇති එකම විකල්පය වන්නේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරයි. ඔවුන්ට මේ අරමුදල් වලින් සෑහෙන ප්‍රමාණයක් දිගුකාලීනව ආයෝජනය කිරීමේ අපහසුවක් නැත. එමෙන්ම, සිය ආයෝජන කල් පිරීමට පෙර මුදල් කිරීමේ හදිස්සියක්ද නැත. ඒ නිසා, ලාභයක් ලැබිය හැකිනම් ද්වීතියික වෙළඳපොළේ විකුණන්නටත් එසේ නැත්නම් කල් පිරෙන තුරු තබා ගන්නටත් ඔවුන්ට පුළුවන. යම් හෙයකින් කල් පිරෙන්නට පෙර විකිණුවහොත් හෝ කල් පිරිණු පසු මුල් මුදල හා පොලිය ආපසු ලැබුණු විට එම මුදල් බොහෝ විට නැවත ආයෝජනය කළ යුතුය. මේ ආදී කරුණු නිසා, සේවක අර්ථසාධක අරමුදලට රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගන්නට ඇති උවමනාව රජයට සුරැකුම්පත් විකුණන්නට තිබෙන උවමනාව වැනිම වූ දැඩි උවමනාවකි. එසේ නොකළහොත්, එම අරමුදලේ මුදල් ආයෝජනය කළ හැකි වෙනත් එවැනි විකල්පයක් නැත.

දෙවනුව, අප වාණිජ බැංකු සලකා බලමු. ඔවුන්ට මුදල් ලැබෙන්නේ තැන්පතුකරුවන්ගෙනි. මේ ඇතැම් තැන්පතු නිකම්ම වගේ ලැබෙන අතර අනෙක්වාට කිසියම් පොලියක් ගෙවිය යුතුය. සිය පාරිභෝගිකයින් වෙනත් තරඟකාරී බැංකුවකට යාම වලක්වා ගැනීමට මේ පොලී අනුපාතික කිසියම් මට්ටමක පවත්වා ගත යුතුය. එය වියදමකි. ඒ නිසා මේ මුදල් ඊට වඩා වැඩි ආදායමක් ලැබෙන කටයුත්තක යෙදවිය යුතුය. මෙසේ වැඩි ආදායමක් ලැබෙන කටයුත්ත ණය දීමයි. ණය වෙළඳපොළේද තරඟයක් ඇති නිසා පොලිය ඕනෑවට වඩා වැඩි කළ නොහැකි වුවත්, තැන්පතු සඳහා ගෙවිය යුතු පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉක්මවන පොලියකට ණය දෙන්නට තරම් ණය ඉල්ලුමක් ලංකාවේ තිබේ.

වාණිජ බැංකු වල ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වන අඩු පොලියට තැන්පතු එකතු කරගෙන වැඩි පොලියට ණය දීම සැලකියයුතු ලාභ ආන්තිකයක් ඇති ව්‍යාපාරික කටයුත්තකි. එහෙත්, මෙහි පොඩි කොස්සක්ද තිබේ. බැංකුවක් තැන්පතුකරුවන් ඉල්ලා සිටි විටක තැන්පතු ආපසු ගෙවිය යුතුය. එහෙත්, ණය ලබා දෙන්නේ දිගුකාලීනව නිසා එසේ හදිස්සියට මුදල් එකතු කරගත නොහැක. මේ නිසා, එවැනි හදිස්සි වලට ගන්නට ණය ලෙස නොදී කිසියම් මුදලක් තබා ගත යුතුය. මෙසේ මුදල් නිකරුණේ ළඟ තබා ගැනීම වියදම් අධික වැඩකි. එසේ කළ විට තැන්පතු පොලිය ගෙවීමට ආදායමක් නොලැබේ.


මෙයට විකල්පය වන්නේ තැන්පතු මුදල් වලින් කිසියම් කොටසක් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. රාජ්‍ය සුරැකුම්පත් හදිස්සියකට සල්ලි කිරීම අමාරු නැත. මෙයට අමතරව ඇතැම් බැංකු පාරිභෝගිකයෝ කෙළින්ම රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්නට ඉල්ලා සිටිති. ඔවුන් වෙනුවෙන්ද කිසියම් සුරැකුම්පත් ප්‍රමාණයක් මිලදී ගෙන ළඟ තබාගත යුතුය.

තැන්පතු වැඩි වන විට වාණිජ බැංකු වල අතිරික්ත ද්‍රවශීලතාවය ඉහළ යන අතර තැන්පතු ආපසු ගන්නා විට අතිරික්ත ද්‍රවශීලතාවය අඩුවේ. එමෙන්ම, ණය ඉල්ලුම වැඩි වන විටද ද්‍රවශීලතාවය අඩුවේ. එසේ නොවන විට වැඩි වේ. මෙයට අමතරව දැනට අතේ ඇති සුරැකුම්පත් විකුණන විට හා කල් පිරෙන විටද බැංකු වලට අතට මුදල් ලැබේ.

හුදෙකලා ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අරමුදල් ලැබෙන මෙවැනි වෙනත් මාර්ග නැත. ඔවුන්ට සුරැකුම්පත් මිලදී ගන්නටනම් එක්කෝ තමන්ගේම අරමුදල් යෙදවිය යුතුය. එසේ නැත්නම් වෙනත් පාරිභෝගිකයෙකු සොයාගත යුතුය. 


ලංකාවේ මේ හුදෙකලා ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට තමන්ගේම වූ අරමුදල් ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි. ඒ නිසා ඔවුන්ට රටේ සිටින රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්නට කැමති සීමිත පාරිභෝගික පිරිස දිනා ගැනීම සඳහා ඔවුනොවුන් අතර තරඟ කරන්නට වේ. මෙසේ තරඟ කර පාරිභෝගිකයෙකු දිනාගත්තත් එම පාරිභෝගිකයාව රඳවා ගැනීමටනම් ඉතාම සුළු කොමිස් මුදලකින් සෑහීමකට පත් විය යුතුය. එසේ නැත්නම්, සියළු ප්‍රාථමික ගණුදෙනුකරුවන් එකතු වී කාටලයක් ලෙස ක්‍රියා කරමින් කිසියම් ඒකාධිකාරයක් පවත්වා ගත යුතුය.

සේවක අර්ථසාධක අරමුදලට හා වාණිජ බැංකු වලට මෙන් පහසුවෙන් අරමුදල් එන මාර්ග හෝ විශාල ප්‍රාග්ධනයක් නොමැති හුදෙකලා ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට තමන්ගේ ඇති සීමිත අරමුදල් ප්‍රමාණය කිසියම් ආයෝජනයක හිරකර නොතබා දිගින් දිගටම රෝල් කරන්නට සිදු වේ. ඒ නිසා, බොහෝ විට ඔවුන්ගේ ලාභ තීරණය වන්නේ ආයෝජන සඳහා ලැබෙන පොලී ආදායම් මත නොවේ. සුරැකුම්පත් කල් පිරීමට පෙර විකුණා ලබන ප්‍රාග්ධන ලාභ මතය.

වෙළඳපොළ පොලී අනුපාතික හදිසියේ ඉහළ ගියහොත් අතේ ඇති සුරැකුම්පත් වල වෙළඳපොළ මිල අඩුවෙයි. එවිට විකිණීම පාඩු ලැබෙන කටයුත්තකි. සේවක අර්ථසාධක අරමුදල හෝ වාණිජ බැංකුවක් වැනි ආයතනයකට මෙවැනි කාලයක සුරැකුම්පත නොවිකුණා මුදල් හිර කරගෙන සිටිය හැකිය. හුදෙකලා ප්‍රාථමික ගණුදෙනුකරුවෙකු මේ දෙයම කළ විට එවැන්නෙකුට වෙන්දේසියෙන් අළුතින් සුරැකුම්පත් මිල දී ගන්නට අරමුදල් නැති වී හිරවේ. කෙසේවුවද, පොලී අනුපාතික අඩුවන විට ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට ඉතා කෙටි කාලයක් තුළ විශාල ලාභ ලැබිය හැකිය.

කවර මිලකට හෝ රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගන්නට ප්‍රාථමික වෙන්දේසියට සහභාගී වන ආයතනයක් සතුව අරමුදල් තිබිය යුතුය. එහෙත්, මේ සෑම ආයතනයක් සතුවම, සෑම සතියකම එවැනි අතිරික්ත අරමුදල් නොරැඳේ. කෙසේ වුවද, ප්‍රාථමික ගණුදෙනුකරුවෙකු අනිවාර්යයෙන්ම වෙන්දේසියට රුපියල් මිලියන සීයක ලන්සුවක් තැබිය යුතුය.


දැන් අපි මා හයවන කොටසින් ඉදිරිපත් කළ පළමු වගුවට ආපසු යමු. අපේ සාකච්ඡාවට මුල් වූ 2015 පෙබරවාරි 27 දින පැවති ප්‍රාථමික වෙන්දේසියට ඉදිරිපත් වූ ලන්සු වලින් හරියටම රුපියල් බිලියනයක්, එනම් පෙර දැනුම් දුන් ප්‍රමාණයම, භාර ගත්තේනම් එම ප්‍රමාණයෙන් අඩකටත් වඩා එනම් රුපියල් මිලියන 508ක බැඳුම්කර හිමි වන්නේ ලංකා බැංකුවටයි. මේ, පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගම වෙනුවෙන් ලංකා බැංකුව විසින් තැබූ (* ලකුණෙන් සලකුණු කර ඇති) ලන්සු නොසැලකූ විට ඔවුන් ඉල්ලා සිටි මුළු බැඳුම්කර ප්‍රමාණයයි.

මේ අනුව පෙනී යන්නේ රුපියල් බිලියනය ඉක්මවා ලන්සු පිළි නොගත්තද එක් ආයතනයකට රුපියල් මිලියන 508ක් වැනි ගණනක බැඳුම්කර හිමි විය හැකිව තිබුණු බවයි. මෙය ලන්සුකරුවන් සියළු දෙනා දන්නා දෙයකි. ඒ නිසා, රුපියල් මිලියන 101ක, 150ක, 200ක, 300ක හෝ 500ක බැඳුම්කර මිල දී ගන්නට සූදානම් ආයතනයක් ඊට වඩා අඩුවෙන් ලන්සු තබන්නට හේතුවක් නැත.

කෙසේ වුවද, වෙන්දේසියට ඉදිරිපත් වූ ආයතන 16 අතරින් ආයතන 9 ක්ම තබා ඇත්තේ රුපියල් මිලියන සියයේ අවම ලන්සුවයි. එයින් පෙනෙන්නේ එම ආයතන වලට එක්කෝ එදින මීට වඩා බැඳුම්කර මිල දී ගන්නට තරම් අතිරික්ත අරමුදල් නොතිබුණු බවයි. එසේ නැත්නම්, ඔවුන් සතු අරමුදල් ආයෝජනය කිරීමට වඩා වාසිදායක ඉඩප්‍රස්තා පැවති බවයි. වෙන්දේසියට ඉදිරිපත් කරන බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10ක් බව දැන ගත්තද ඔවුන්ගෙන් මීට වඩා වැඩි ලන්සු ඉදිරිපත් වීමේ ලොකු ඉඩක් තිබුනේයැයි මා සිතන්නේ නැත. ඒ නිසා අප වැඩි අවධානය යොමු කළ යුත්තේ ඉතිරි ආයතන 7 වෙතය. එය අපි දැනට ඉදිරි කොටසකට තබමු.

4 comments:

  1. //මේ අනුව පෙනී යන්නේ රුපියල් බිලියනය ඉක්මවා ලන්සු පිළි නොගත්තද එක් ආයතනයකට රුපියල් මිලියන 508ක් වැනි ගණනක බැඳුම්කර හිමි විය හැකිව තිබුණු බවයි. මෙය ලන්සුකරුවන් සියළු දෙනා දන්නා දෙයකි. ඒ නිසා, රුපියල් මිලියන 101ක, 150ක, 200ක, 300ක හෝ 500ක බැඳුම්කර මිල දී ගන්නට සූදානම් ආයතනයක් ඊට වඩා අඩුවෙන් ලන්සු තබන්නට හේතුවක් නැත.//
    මේකෙන් කියන්න හදන්නේ මොකක්ද කියල තව ටිකක පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, දැන් මේ වෙන්දේසියට ඉදිරිපත් වූ අය අතරින් එක් තරඟකරුවෙක් බිලියන 15ක් ලන්සු තිබ්බනේ. බිලියනයක් වෙන්දේසි කරන විට බිලියන 15ක් ලන්සු තියන්න හේතුවක් නැති නිසා නිකුතුවේ ප්‍රමාණය බිලියන 10ක් හෝ එයිනුත් ඉහළට වැඩි කරනු ඇති බවට එම සමාගමට අභ්‍යන්තරයෙන් තොරතුරක් ලැබුණු බවත්, ඒ නිසා එම සමාගමට වාසියක් ලැබුණු බවත් අපි මොහොතකට සිතමු. එසේ වුනානම් එම සමාගමට ලැබුණු අයුතු වාසිය ගණනය කරන්න වෙන්නේ බිලියන 10ක් ම වෙන්දේසියට නිකුත් කරන බව දැන සිටියානම් අනෙක් ආයතන වෙනස් විදිහකට හැසිරිය හැකිව තිබුණාද යන කරුණ මතයි. මේ ආයතන වලින් අඩු වශයෙන් 9ක් එසේ වෙනස් ලෙස හැසිරෙන්න වැඩි ඉඩක් නොතිබුණු බවයි මෙහි මගේ තර්කය. මෙය සියයට සියයක් නිවැරදි තර්කයක් නෙමෙයි. නමුත්, මිලියන සියයේ අවම ලන්සුව පමණක් තැබූ ආයතන එසේ කර ඇත්තේ ඔවුන්ට එදින වෙන්දේසියෙන් ඊට වඩා බැඳුම්කර මිලදී ගැනීමට අතිරික්ත අරමුදල් නොතිබුණු නිසා හෝ අවශ්‍ය නොවූ නිසා විය හැකි බව මෙහි මගේ තර්කයයි. එය එසේනම් වෙන්දේසිය බිලියන 10ක් දක්වා යන බව කලින් දන්වා තිබුණත් ඔවුන් කරන්නේ මේ රුපියල් මිලියන සීයේ අවම ලන්සුව තැබීම පමණයි. (ඒ අතරම, එසේ වීනම් මේ රුපියල් මිලියන සීයට ලන්සු තබන මිල බොහෝ විට මීට වඩා වැඩි විය හැකිව තිබුණා.)

      Delete
    2. හොඳ නිරීක්ෂණයක්. ආපහු මම වගුව බැලුවා. බැන්කුටික ඇරුනම සේක්යුරිටීස් ෆ්ර්ම්ස් වලින් කිසිම සූදානමක් තිබිල නැහැනේ බැඳුම්කර ගන්න. නිකන් ජාම බේරගන්න බිඩ් කරලා විතරයි.
      //ඒ අතරම, එසේ වීනම් මේ රුපියල් මිලියන සීයට ලන්සු තබන මිල බොහෝ විට මීට වඩා වැඩි විය හැකිව තිබුණා.//
      මේක මිලියන 100 ලංසුවට විතරක් නෙමෙයි අනිත් ලන්සු වලටත් පොදු දෙයක්. ඉල්ලුම වැඩිවෙනකොට මිල ඉහල යනවා. එහෙම කියන අයම අනිත් පැත්තට බිලියන 10 මුලින් ප්‍රසිද්ද නොකළ නිසා මිල වැඩිවුණා කියල පරස්පර කතා කියන එකනේ වැඩේ.

      Delete
    3. පළමු කරුණ ගැන: ඔය මිලියන සීයේ සීමාව නොතිබුණානම් මේ ආයතන නවයෙන් සෑහෙන ගණනක් කිසිම ලන්සුවක් නොතබන්න ඉඩ තිබෙනවා. අභ්‍යන්තර වෙළඳාමක් සිදු වූ අවස්ථාවක එහි පාඩුව වැඩිපුරම තියෙන්නේ එම තොරතුරු නොලැබුණු අනෙක් තරඟකරුවන්ටයි. නමුත්, මේ සිදුවීමේදී විපක්ෂයෙන් හා ඔවුන්ගේ දැනුවත් කිරීම් අනුව යන ජනතාවගෙන් ලොකු විරෝධයක් එල්ල වෙද්දී මේ අනෙකුත් ප්‍රාථමික ගණුදෙනුකර සමාගම් හඬක් නොනඟන්නේ ඇයි කියන එකත් සිතා බැලිය යුතු දෙයක්.

      දෙවන කරුණ: ඔවු, මෙය මිලියන සීයට වඩා ලන්සු තැබූ අනෙකුත් ආයතන වලටත් අදාළයි. මම මේ පළමු නවයෙන් පටන් ගත්තේ එය ඉතාම පැහැදිලි නිසා. මේ සාධකය අනුව, බිලියන 10ම ඉදිරිපත් කළානම් මිල තවත් ඉහළ යනවා. එසේ කළානම් ඇතැම් විට මිල අඩුවීමට බලපෑ හැකිය තිබුණු වෙනත් මා තවම කතා කර නැති සාධකයකුත් තියෙනවා. අවසන් නිගමනයකට පැමිණීමට පෙර අප සියළු පැති කිරා මැන බැලිය යුතුයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.