Monday, March 28, 2016

ආර්ථිකය හොඳ කුමන පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේද?

එළැඹෙන නොවැම්බර් මස 8 වෙනි දින ඇමරිකාවේ 58වන ජනාධිපතිවරණය පැවැත්වේ. වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා මේ වන විට දෙවරක්ම ජනාධිපති ලෙස කටයුතු කර ඇති නිසා ඔහුට නැවතත් ජනාධිපති තරඟයට ඉදිරිපත් වීමේ නීතිමය හැකියාවක් නැත. ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් මෙවර තරඟයට හිලරි ක්ලින්ටන් තේරීපත්වීමට බොහෝ දුරට ඉඩතිබේ. ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වැඩිම ඉඩකඩක් ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් ඇති ඇමරිකාවේ වෙනත් තුන්වන පක්ෂයක අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීමට ඉඩකඩක් ඇත්තේම නැති තරම්ය.

ඇමරිකාවේ ආර්ථිකයට වඩා හොඳ ඩිමොක්‍රටික් අපේක්ෂකයෙක්ද එසේ නැත්නම් රිපබ්ලිකන් අපේක්ෂකයෙක්ද?

න්‍යායාත්මක පිළිතුර කුමක් වුවද, පසුගිය වසර වල දත්ත පරික්ෂා කළ විටනම් පිළිතුර ඉතා පැහැදිලිය. ජනාධිපති ට්‍රෲමන්ගේ දෙවන ධුර කාලයේ සිට ජනාධිපති ඔබාමාගේ පළමු ධුර කාලය දක්වා වසර 64ක කාලය සැලකූ විට ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ ඉහළ ආර්ථික වර්ධන වේගය කැපී පෙනේ.  ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 4.33% වෙද්දී රිපබ්ලිකන් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 2.54% පමණි. 



ප්රින්සෙන්ටන් සරසවියේ මහාචාර්ය වරුන් වන ඇලන් බ්ලයින්ඩර් සහ මාක් වොට්සන් විසින් ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ අළුත්ම කලාපයේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවක මේ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් වෙනස්කම් විශ්ලේෂණය කෙරේ. වෙනස 1.79%කි.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ආර්ථිකය යහපත් බව පෙන්වන මෙවැනි එකම දර්ශකය ආර්ථික වර්ධනය පමණක් නොවේ. උද්ධමන අනුපාතය, විරැකියා අනුපාතය, අයවැය හිඟය ඇතුළු වෙනත් බොහෝ දර්ශක අනුවද ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාව සිටින්නේ බොහෝ ඉදිරියෙනි. එමෙන්ම, රිපබ්ලිකන් ධුර කාල වල කොටස් වෙළඳපොල සාමාන්‍ය වර්ධනය 2.70% වෙද්දී ඩිමොක්‍රටික් ධුර කාල වල එම වර්ධනය 8.35% තරම් ඉහළය.

මේ වෙනසට හේතුව ජනාධිපතිවරයා අයත් වන පක්ෂය මිස ඔහුගේ පළපුරුද්ද, සුදුසුකම් වැනි වෙනත් සාධක නොවේ. එමෙන්ම, කොන්ග්‍රසයේ බලය ඇත්තේ කවර පක්ෂය සතුවද යන කරුණද මේ වෙනසට හේතු වී නැත. එසේනම්, ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වන්නේ ආර්ථිකය හොඳ අතට හැරෙන අවස්ථා වලද? වෙනත් අයුරකින් කිවහොත් ආර්ථිකය අයහපත් වර්ධනයන් පෙන්වන විට ඇමරිකානුවන් රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගන්නවාද? 


බ්ලයින්ඩර් සහ වොට්සන් විසින් පෙන්වා දෙන්නේ එය එසේද නොවන බවයි.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරයෙකු යටතේ වැඩිම ආර්ථික වර්ධනයක් සිදුවන්නේ මුල් වසර දෙක තුළදීය. එහෙත්, රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වැඩ අරඹන මුල් වසරේම ආර්ථිකය හොඳටම වැටේ. පහත ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ මේ තත්ත්වයයි.


ආර්ථිකමිතික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් පර්යේෂකයින් ඉන්පසු විමසන්නේ මේ වෙනස ඇති කරන යාන්ත්‍රණය කුමක්ද යන්නයි. ඒ, මුදල් හෝ රාජ්‍යමූල ප්‍රතිපත්තිනම් නොවේ. ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් ධුරය හොබවද්දී වඩා වාසිදායක දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් පැවතී තිබේ. 

ඒ අනුව, මේ පරතරයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති වලට වඩා වෙනත් දේශපාලන ප්‍රතිපත්ති හෝ 'වාසනාව'යි. අඩු තෙල්මිල, කොරියන් යුද සමයේ වැඩි වූ යුද වියදම්, තාක්ෂණයේ දියුණුව හේතුවෙන් සිදුවූ ඵලදායිතා වර්ධනයන්, විදෙස් රටවල ආර්ථික වර්ධනය වැනි කරුණු මඟින් මේ පරතරයෙන් 56%ක් විස්තර කරයි. 

කෙසේවුවද, මේ කරුණු වල බලපෑම ඉවත් කළද ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ආර්ථික වර්ධනයේ වෙනසින් කොටසක් තවදුරටත් ඉතිරි වේ. ඒ සඳහා මුල්වන යාන්ත්‍රණය කුමක්දැයි පැහැදිලි නැත.

9 comments:

  1. කරුණු සහිත වටිනා ලිපියක්...... ඔබේ විශේෂත්වය මේකයි....

    ReplyDelete
  2. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වෙන්න වැඩි ඉඩක් තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප් යම් විදියකින් ඇමරිකාවේ ජනාධිපතිවරයා වුනොත් ඔහුගේ අන්තවාදී අදහස් නිසා නැවතත් ඇමරිකාව කිනම් හෝ යුද්ධයක පැටලෙනු ඇතැයි මට සිතෙනවා.එසේ වුවහොත් එය නිසැකවම ඇමරිකානු ආර්ථිකයට මෙන්ම සමස්ත ලෝක ආර්ථිකයටම එය අහිතකර බලපෑමක් වෙන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඩොනල්ඩ් ට්‍රම්ප් දිනන්න සෑහෙන්න ඉඩකඩ නම් තියෙනවා. ඒත්, (ලංකාවේ වගේ) ජනාධිපති ධුරයේ ඉන්න පුද්ගලයා මත විශාල වෙනසක් වෙන්න ඉඩකඩක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ.

      Delete
  3. සත්තලනේ ලංකාව ගැනත් මේ ටොපික් එකටම ලිපියක් ලියපන් දෙයියෝ...

    ReplyDelete
  4. මගේ සතපහ..
    ආර්ථිකේ මොනවා උනත් හිලරි ක්ලින්ටන් ට බලය නොදිය යුතුයි.. (මොකද මට පුද්ගලිකව හිලරි ක්ලින්ටන්ව පේන්න බෑ..)
    අනිත් එක.. ඔය සංඛ්‍යාලේඛන හොඳටම ෂුවර්ද? අපේ ඒවා වගේ නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. මොකක්ද හිලරි එක්ක තියෙන කොක්ක?

      Delete
  5. මෙහි "වාසනාව" එම පාලකයන්ගේ උපක්‍රමික භූ-දේශපාලන (Geo-political) ක්‍රියාවලියක ප්‍රථිපලයක් නොවන්නේද?

    E.g. ඩොලරය ශක්තිමත් කිරීම උදෙසා තෙල් ගණුදෙනු ඩොලරයෙන් මිල නියම කිරීම. විරුද්ධ වූ රටවල යුධ ගැටුම් ඇතිකිරීම.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.