Showing posts with label ආහාර මිල. Show all posts
Showing posts with label ආහාර මිල. Show all posts

Saturday, June 3, 2023

උද්ධමනය, මාළු මිල හා එළවළු මිල


උද්ධමනය අඩුවීම මාතෘකාවක් බවට පත් වෙද්දී සමහර අය මාළු මිල, එළවළු මිල වගේ දේවල් ගැන අවධානය යොමු කරවනවා. මෙහි ප්‍රතිචාර දක්වන අයව අපි පැත්තකින් තියමුකෝ. ඇතැම් මාධ්‍ය විසින්ද මේ වැඩේ ලොකුවටම කරනවා.

අපේ එක් පාඨකයෙක් විසින් මැයි 30 සිරස ප්‍රවෘත්ති වල කොටසක් අපේ අවධානයට යොමු කර තිබුණා. 

"තෝරා මාළු 3,800යි. පරාවෝ තියෙනවා 3,000යි. තලපත් 3,400යි." මයික් එක අල්ලද්දී එක් අයෙක් කියනවා.

"උඩරට එළවලු මිල සැසඳීමේදී වැඩිම මිල ඉහළ යාමක් සිදු වී ඇත්තේ කැරට් සඳහායි. එය 64%ක්. ... නෝකෝල් රාබු වැනි මිල ගණන්ද 40%කින් පමණ ඉහළ ගොස් තිබුණා. පහත රට එළවළු සඳහා වැඩිම මිල ඉහළ යාම සිදුව තිබුණේ කරවිල සඳහායි. එය 42%ක්." නිවේදිකාව කියනවා.

"...අපි ආවා භූමියේ යථාර්තය බලන්න." සිරස මාධ්‍යවේදිනියක් පොළේ ගිහින්. 

"...මම ගිය සතියේ එනකොට මුකුණුවැන්න මිටියක් තිබුණා රුපියල් 30ත් 50ත් අතර වගේ මිලකට. අක්කේ දැන් මේ වන විට මුකුණුවැන්න මිටියක් කීයද?"

"සීයයි"

මේ එහි ප්‍රදර්ශනය කරන තවත් මිල ගණන් කිහිපයක්.

අප්‍රේල් 28 පැවති මිල 

කැරට් - 200

බෝංචි - 280

ලීක්ස් - 240


අද (මැයි 30) මිල 

කැරට් - 480

බෝංචි - 600

ලීක්ස් - 480

"එහෙනම් මහ පොළොවේ යතාර්ථය මේකයි. දරාගන්න බැරි තරමේ ආහාර උද්ධමනයක් තවමත් ලංකාවේ දක්නට ලැබෙනවා." නිවුස්ෆස්ට් වෙනුවෙන් ඔමායා කෝවිලගොඩගේ කියනවා. 

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේදී ආහාර උද්ධමනය 21.5% දක්වා අඩු වෙලා තිබෙනවා. මාළු, එළවලු මිල ගණන් ඔය කියන තරම්ම වැඩි වෙලානම්, ආහාර උද්ධමනය 21.5% මට්ටමේ තියෙන්නේ කොහොමද?

පළමු ප්‍රශ්නය නිවුස්ෆස්ට් මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කරන මිල ගණන් මහ පොළොවේ යතාර්ථයද?

පහත තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2023 මැයි මාසයේ අවසාන සතිය තුළ එකතු කරගෙන ඉදිරිපත් කර තිබෙන සාමාන්‍ය (average) මිල ගණන්. 

පරා - 2,786.67

තලපත් - 3,120.67

කැරට් - 404.14

බෝංචි (කොළ)  - 503.20

ලීක්ස් - 451.43

මුකුණුවැන්න - 70

දැන් බැලූ බැල්මටම පේනවා සිරස මාධ්‍යවේදිනිය විසින් පෙන්වන "මහ පොළොවේ" මිල ගණන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මිල ගණන් වලට වඩා තරමක් වැඩි බව. එහෙමනම්, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව බොරු කරලද?

සිරස මාධ්‍යවේදිනිය විසින් පෙන්වන්නේ "මහ පොළොවේ" තිබෙන ඇයට පෙන්වන්න අවශ්‍ය නිශ්චිත තැනක් පමණයි. ඒ තැන ඈ විසින් හිතාමතා තෝරාගන්නා තැනක්. සිරස ප්‍රවෘත්ති ප්‍රකාශයේ මාළු ගැන කතා කරද්දී කතා කරන්නේ තෝරා, පරා, තලපත් වගේ මිල අධික මාළු ගැන විතරයි. රටේ සාමාන්‍ය මිනිස්සු ගොඩක් අය ආහාරයට ගන්න සාපේක්ෂව මිල අඩු සාලයෝ, ලින්නෝ, හුරුල්ලෝ වගේ මාළු ගැන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නැහැ. බොහෝ විට ඒ මාළු වලත් මිල වැඩි වෙලා වුනත්, මෙතැනදී සිරස ප්‍රවෘත්ති සංස්කාරක විසින් හිතාමතාම තෝරා ගන්නේ වැඩි ප්‍රවෘත්ති වටිනාකමක් තිබෙනවායැයි සිතන මිල ගණන් පමණයි. එළවලු ගැන කතා කරද්දී වුනත්, වැඩිම මිල වැඩිවීම් ගැන මිසක් මිල අඩු වීම් හෝ අඩු මිල වැඩිවීම් ගැන කතා කරන්නේ නැහැ. මහ පොළොවෙන් යථාර්තය හොයාගෙන ඉදිරිපත් කරන්නේ ප්‍රවෘත්ති වටිනාකම ගැන පමණක් සලකලා. 

එක පැත්තකින් මේක සිරස විසින් පමණක් හෝ මාධ්‍ය විසින් පොදුවේ කරන දෙයක් පමණක් නෙමෙයි. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දමන හෝ ශෙයා කරන ගොඩක් අය විසින් පෙන්වන්නෙත් තමන්ට පෙන්වන්න අවශ්‍ය දේවල්. (අපට වුනත් මේක අදාළයි). ප්‍රතිචාර දමන අයත් එහෙමයි. ඒකේ වැරැද්දක් නැහැ. තමන්ට කියන්න අවශ්‍ය දේ මිසක් වෙන අයට කියන්න අවශ්‍ය දේ කියන්නේ මොකටද?

ලංකාවේ ගොඩක් අය තවමත් හිතන්නේ තමන්ට අඩු මිලකට එළවලු, මාළු විකුණන එක රජය විසින් කළ යුතු දෙයක් කියලා. එළවලු, මාළු නිපදවන අය හිතන්නේ තමන්ගේ නිෂ්පාදන රජය විසින් වැඩි මිලකට මිල දී ගත යුතුයි කියලා. ඒ කාලයක් තිස්සේ ලංකාවේ අධ්‍යාපනය, මාධ්‍ය, කලාව, දේශපාලනය හරහා මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තිබෙන විදිහ. සමහර අය වෙළඳපොළ ගැන යාන්තමින් හෝ ඉගෙනගන්න උත්සාහ කරන්නේ අවුරුද්දකට කලින් ආර්ථිකය කඩා වැටුණු දවසේ සිටයි. ගොඩක් අය තවමත් ඔය ගොඩේ නැහැ.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මිල ගණන් එකතු කරන්නේ විධිමත් ලෙස, කිසියම් ක්‍රමවේදයකට අනුවයි. රටේ තැනින් තැන එකම භාණ්ඩයක වුනත් මිල ගණන් වෙනස්. කීල්ස් සුපර් මාර්කට් එකේ කැරට් කිලෝ එකක මිලත් දෙල්කඳ පොළේ මිලත් සමාන නැහැ. දෙල්කඳ පොළට ගියත් හැම තැනම මිල ගණන් සමාන නැහැ. සමහර තැන් වල මිල අඩුයි. තව සමහර තැන් වල මිල වැඩියි. ඒ වගේම කැරට් කියන්නේ සමජාතීය භාණ්ඩයක් නෙමෙයි. ප්‍රමාණය ලොකු පොඩි වෙද්දී මිල ගණන් වෙනස් වෙනවා. බෝංචි ගත්තත් එහෙමයි. සුදු, බටර් බෝංචි සහ කොළ පාට බෝංචි එකම මිලට විකිණෙන්නේ නැහැ. මාළු ගත්තත් ඔය වගේ වෙනස්කම් තිබෙනවා. 

මිල ගණන් අඩු වැඩි වෙන විදිහ හරි පිළිවෙලකට බලන්නම් මුලින්ම අදාළ භාණ්ඩය සම්බන්ධ කිසියම් සම්මතයක් හදාගන්න වෙනවා. දේශීය අර්තාපල් හා ආනයනික අර්තාපල් කියන්නේ වර්ග දෙකක්. සුදු බිත්තර හා රතු බිත්තර වෙනස්. ලොකු බිත්තර හා පොඩි බිත්තර එක මිලට විකිණෙන්නේ නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් එළවළු, මාළු මිල ගණන් එකතු කරන්නේ එකම සම්මතයක් අනුගමනය කරමින්. ඒ වගේම, මිල අඩු තැන් හෝ වැඩි තැන් තෝරා බේරාගෙන මිල ගණන් එකතු කරන්නේ නැහැ. හැමදාම මිල ගණන් එකතු කරන්නේ එකම තැන් වලින්. අද පොළේ මිල බලලා හෙට සුපිරි වෙළඳසැලේ මිල බැලුවොත් බොහෝ විට පෙනෙන්නේ ඒ තැන් දෙකේ මිල ගණන් වෙනස.

ඒ වගේම, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිරස මාධ්‍යවේදිනිය මෙන් එක තැනකින් පමණක් මිල ගණන් එකතු කරගන්නේ නැහැ. තැන් ගණනාවකින් මිල ගණන් අරගෙන සාමාන්‍ය අගය තමයි ඉහත ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා, සිරස මාධ්‍යවේදිනිය පෙන්වන මිල ගණන් මහ පොළොවේ යථාර්තය වෙන්න පුළුවන්. හැබැයි ඒ මහ පොළොවේ ඇය පෙන්වන තැන තිබෙන යථාර්තය. පොදුවේ ගත්තහම තත්ත්වය හරියටම ඊට සමාන නැහැ.

එහෙමනම්, මැයි මාසයේදී එළවලු, මාළු මිල ගණන් වැඩි වෙලා නැද්ද?

පහත තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2023 අප්‍රේල් මාසයේ අවසාන සතිය තුළ එකතු කරගෙන ඉදිරිපත් කර තිබෙන සාමාන්‍ය මිල ගණන්. 

පරා - 2,332.22

තලපත් - 2,539.38

කැරට් - 257.50

බෝංචි (කොළ)  - 318.33

ලීක්ස් - 346.96

මුකුණුවැන්න - 73

පැහැදිලි ලෙසම අප්‍රේල් මාසයේ එළවලු හා මාළු මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, සිරස කියන තරමට වැඩි වෙලා නැහැ. මෙහි තියෙන්නේ මාධ්‍ය විසින් වගේම දේශපාලනඥයින් විසින් මිනිස්සුන්ගේ ස්වභාවික දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවක්.

මාධ්‍යවේදිනිය විසින් පෙන්වන දැන් මිල ගණන් ඇත්ත මිල ගණන්. ඔය ගැන බොරු කියන්න බැහැනේ. මොකද ඕනෑම කෙනෙකුට අදාළ තැනට ගිහින් පරීක්ෂා කර බලන්න පුළුවන්. එතකොට වැඩේ අතේ මාට්ටු. හැබැයි මාසයකට කලින් මිල ගණන් කියලා ඉදිරිපත් කරන්නේ පට්ට බොරු. මොකද කාටවත් අතීතයට ගිහින් පරීක්ෂා කර බලන්න බැහැනේ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් බඩු මිල අඩු වෙද්දී වගේම වැඩි වෙද්දීත් එකම ක්‍රමවේදයකට අනුව මිල ගණන් එකතු කරගෙන වාර්තා කර තියන්නේ අවශ්‍ය කෙනෙකුට අතීතයේ පැවති තත්ත්වය මතක් කර ගන්න. ඒ වුනත්, ගොඩක් අය ඒ වැඩේ කරන්නේ නැහැ. දැන් පෙන්වන "භූමියේ යථාර්තය" ඇත්ත නිසා මාසයකට කලින් තත්ත්වය ගැන කියන කතාවත් ඇත්ත කියා නිකම්ම පිළිගන්නවා.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මැයි අවසානයේදී මුකුණුවැන්න මිටියක් රුපියල් 70යි. සිරස මාධ්‍යවේදිනියට අනුව රුපියල් 100යි. මේක වෙන්න පුළුවන්. සාමාන්‍ය මිල රුපියල් 70 වෙද්දී සමහර තැන් වල මිල රුපියල් 100ක් වෙන්න පුළුවන්. හැබැයි සතියකට කලින් මිල රුපියල් 30ක් කියා කියද්දී ඇය කියන්නේ පට්ට බොරුවක්. සමහර විට සමහර තැන් වල රුපියල් 50ට තිබුණා වෙන්න පුළුවන්. 

රත්නපුරේ සමන් දේවාලයේ ගල් පැලයක් තිබෙනවා. ඕක දමලා තිබෙන පෙට්ටියේ වහලේ වැදිලා නැමිලයි තියෙන්නේ. සමහර වයසක අය කියන විදිහට ඒ අය පොඩි කාලයේ ඔය ගල් පැලය ඔයිට වඩා ගොඩක් උසින් අඩුයි. හැබැයි කාටවත් ඒ කතාව විශ්වාස කරනවා හෝ සැක කරනවා මිසක් තහවුරු කරගන්න විදිහක් නැහැ. අවුරුදු විසිපහකට තිහකට කලින් ගත්ත ඡායාරූපයක් එක්ක සංසන්දනය කළොත් ගල් පැලේ වැවිලාද කියලා හරියටම දැනගන්න පුළුවන් වුනත් එහෙම පරීක්ෂාවක් නොකර තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න අය ඉන්නවා. මේකත් ඒ වගේ දෙයක්.

මැයි, ජූනි, ජූලි මාස වල එළවළු, මාළු මිල වැඩි වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ගොඩක් වෙලාවට ජූනි මාසයේදී. මේක උද්ධමනයට සම්බන්ධ දෙයක් නෙමෙයි. අගෝස්තු වගේ වෙද්දී ඔය වැඩි වෙන මිල නැවත අඩු වෙනවා.

අප්‍රේල් වෙද්දී හරාය කාලය ඉවර වෙලා වාරකන් කාලය පටන් ගන්නවා. හරාය කාලෙට මුහුද නිසලයි. මූදූ රස්සාවට ගිහින් ලේසියෙන්ම හොඳ මාළු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ කාලෙට ධීවරයන්ගේ ප්‍රශ්නය අහුවෙන මාළු ටික විකුණගන්න එක. සැපයුම වැඩි වෙද්දී මිල පහළ යනවා. මිල පහළ ගියත් ප්‍රමාණය වැඩි නිසා ධීවරයින්ගේ ආදායම් අඩු වෙන්නේ නැහැ. එහෙම මිල අඩු කරලත් විකුණගන්න බැරි මාළු ජාඩි, කරවල කරනවා. 

වාරකන් කාලෙට එහෙම නැහැ. මූදු යන්න අමාරුයි. ඒ නිසා මාළු සැපයුම අඩුයි. මිල ඉහළ යන එකෙන් ධීවරයින්ට යම් සහනයක් ලැබෙනවා. කාගෙවත් මැදිහත්වීම් නැතත් වෙළඳපොළ ප්‍රශ්න විසඳන්නේ ඔය විදිහට. මාළු කන්න සල්ලි නැති අයට කරවල කන්න පුළුවන්. කෝඩෙ ගහලා ඉන්න ධීවරයන්ට හරාය කාලෙදී වේලපු කරවල විකුණලත් කීයක් හරි හොයා ගන්න පුළුවන්. ජූනි මාසය වාරකන් කාලයේ පීක් එක. හැම අවුරුද්දෙම වගේ ඔය කාලයට මාළු මිල ඉහළ යනවා. මාළු මිලේ වගේම එළවලු මිලේත් මේ වගේ වාරික (seasonal) උච්ඡාවචනයන් සිදු වෙනවා. එළවලු මිල සාමාන්‍යයෙන් වසරකට දෙවරක් පීක් වෙනවා. ජූනි හා දෙසැම්බර් මාස වලදී. ඒ නිසා ජූනි මාසය එළවලු වගේම මාළු මිලත් ඉහළ යන මාසයක්. දෙපැත්තේ මාස දෙකටත් මෙහි බලපෑම තිබෙනවා. 

එළවළු, මාළු මිල ඉහළ යද්දී සිරස වගේ මාධ්‍ය වලට රජමගුල්. නමුත් මිල අඩු වෙද්දී එවැනි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ. එවැනි වටිනාකමක් ලැබෙන්නනම් ගොවියෝ, ධීවරයෝ තමන්ගේ අස්වනු විකුණාගත නොහැකි වී වහ බොන තරමට මිල අඩු වෙන්න ඕනෑ. කවර හෝ විපක්ෂ දේශපාලන පක්ෂ වලටත් එහෙමම තමයි. අනෙක් පැත්තෙන් ආණ්ඩු පක්ෂයට පෙනෙන්නේ මිල අඩුවීම්. 

අන්තර්ජාලයේ හොයද්දී 2021 දෙසැම්බර් 21 සිරස ප්‍රවෘත්ති වල ක්ලිප් එකක් හමු වුනා (https://www.youtube.com/watch?v=KSage9Lpwhk). මාස 18කට කලින්. උද්ධමනය වැඩි වෙන්න කලින්. ආර්ථික අර්බුදය මහ පොළොවට එන්න කලින්. මාධ්‍යවේදියා තරුෂ කුමාරසිංහ. ඒකේ කියන විදිහට කැරට් තොග මිල රුපියල් 450යි. ඒ නිසා විකුණන්න වෙන්නේ රුපියල් 600ට. මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගම් සභාපති ඩී.එන්. සිල්වා මයික් එකට කියන විදිහට "එතකොට 250ක් රුපියල් තුන්සීයක් විතර වෙනවා". ඒ කියන්නේ කිලෝවක් රුපියල් 1,200ක්. රෙකෝඩින් එක කපලා අවශ්‍ය කෑලි පමණක් ප්‍රවෘත්ති වලට පෙන්වන නිසා කැරට්ද කියා හරියටම පැහැදිලි නැහැ. 

දැන් අපි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පැත්තකින්ම තියමු. සිරස "මහ පොළොවේ යථාර්තය" අනුව 2021 දෙසැම්බර් 17 කැරට් කිලෝ එකක් රුපියල් 600ක් පමණ වෙනවා. 2023 අප්‍රේල් 28 වෙද්දී, සිරස ප්‍රවෘත්ති අනුවම, ඔය මිල රුපියල් 200 දක්වා අඩු වෙලා. රටේ උද්ධමනය මේ තරම් ඉහළ යද්දී කැරට් මිල ඔය තරම්ම අඩුවුනානම් ඒක ප්‍රවෘත්තියක් වුනේ නැත්තේ ඇයි? ඒ ගොල්ලෝ පාර කියන්නේ ඔය විදිහට තමයි.

විධිමත්, සම්මත ක්‍රමයකට එකතු කරගෙන ඉදිරිපත් කරන නිල සංඛ්‍යාලේඛණ විශ්වාස කරනවද නැත්නම් පාර කියන මාධ්‍ය වලින් පෙන්වන දේවල් ඒ විදිහටම පිළිගන්නවද කියන එක පෞද්ගලික කාරණාවක්. කොහොම වුනත් ඔය දෙකේ වෙනස තමයි පැහැදිලි කළේ. 

උද්ධමනය කියා කියන්නේ බඩු මිල වැඩි වීම නෙමෙයි. කිසියම් මුදල් ඒකකයක වටිනාකම අඩුවීම. මුදල් ඒකකයක වටිනාකම අඩු වෙන්නේ මුදල් සැපයුම වැඩි වෙද්දී. හැබැයි මුදල් සැපයුම කියන්නේ විචලනය වන දෙයක්. දිනපතා, සතිපතා හෝ මාස්පතා මුදල් සැපයුමේ සිදුවන අඩු වැඩිවීම් බොහොමයක් නැවත ආපසු හැරවෙනවා. මුදල් සැපයුම ප්‍රායෝගිකව පහසුවෙන් ආපසු හැරවිය නොහැකි පරිදි ස්ථිර ලෙස වැඩි වෙලා කියා කියන්න පුළුවන් වෙන්නේ වසරක පමණවත් කාලය තුළ සිදු වී ඇති දේ දෙස බැලීමෙන් පමණයි.

උද්ධමනය මනිද්දී ඇත්තටම කරන්නේ මුදල් ඒකකයක මිල දී ගැනීමේ හැකියාව අඩු වී ඇති ආකාරය මනින එක. වසරකට කලින් රුපියල් 1000කින් මිල දී ගත් බඩු මල්ල මිල දී ගන්න අද කීයක් යනවද? මේක මනින්න යද්දී මතුවන ප්‍රශ්නයක් වන්නේ මුදලේ වටිනාකම අඩු නොවුනත් ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල විචලනය වන එක. මෙහි විස්තර කළ එළවලු හා මාළු උදාහරණ. වාරකන් කාලයට මාළු මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා නෙමෙයි. මුදලේ වටිනාකම අඩු වෙලා නිසා නෙමෙයි. ඒ කාලයට මාළු සැපයුම අඩු නිසා. වාරකන් කාලය ඉවර වෙද්දී වැඩි වූ මිල නැවත අඩු වෙනවා. එළවළු මිලත් එහෙමයි.

උද්ධමනය මනිද්දී මිල මට්ටම සංසන්දනය කරන්නේ පසුගිය වසරේ අදාළ මාසයත් එක්ක. විශේෂ හේතුවක් නැතුව පසුගිය මාසය එක්ක සංසන්දනය කරන්නේ නැහැ. පසුගිය මාසය එක්ක සංසන්දනය කළොත් එයින් පෙනෙන්නේ සැපයුමේ සිදුවන කාලික වෙනස්කම් මිසක් උද්ධමනය නෙමෙයි. අධි-උද්ධමන කාලයකනම් මාස්පතා සිදුවන මිල ඉහළ යාම් දිහා බලන එකේ ප්‍රයෝජනයක් තිබෙනවා. ඒ වගේම, රුපියලේ වටිනාකම රටේ භාණ්ඩ හා සේවා සියල්ල එක්ක පොදුවේ සංසන්දනය කරනවා මිසක් තලපත් මාළු හෝ කැරට් එක්ක පමණක් සංසන්දනය කරන්නේ නැහැ. 

මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය තුළ මාළු වියදම රුපියල් 1,004.60කින්ද, එළවළු වියදම රුපියල් 407.29කින්ද ඉහළ ගොස් තිබෙනවා. අර්තාපල් වැනි වෙනත් ඇතැම් ආහාර වර්ග වල මිලද ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, පළතුරු, කිරිපිටි, බිත්තර වැනි වෙනත් ඇතැම් ආහාර වර්ග වල මිල අඩු වී ඇති නිසා සමස්තයක් ලෙස මාසය තුළ ආහාර පැසෙහි මිල ඉහළ ගොස් තිබෙන්නේ රුපියල් 943.11කින් පමණයි. ආහාර මිල ගණන් මාසය තුළ මෙපමණකින් ඉහළ යද්දී ආහාර නොවන වියදම් රුපියල් 986.16කින්ම අඩු වී ඇති බැවින් සමස්තයක් තුළ මිල මට්ටමෙහි සුළු හෝ අඩුවීමකුයි සිදු වී තිබෙන්නේ. 

පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මාළු වියදම රුපියල් 1,787.81කින් ඉහළ ගොස් ඇති අතර සමස්තයක් ලෙස කොළඹ පවුලක ආහාර වියදම රුපියල් 9,904.00කින් ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 0% නොවී 21.5% මට්ටමේ තිබෙන්නේ ඒ නිසා.

උද්ධමනය නිසා මුදලේ ක්‍රය ශක්තිය විශාල ලෙස අඩුවීමෙන් මාළු හෝ එළවළු මිල ඉහළ යනවානම් එය ප්‍රශ්නයක් තමයි. නමුත්, කාලික කාලගුණ වෙනස්කම් නිසා සැපයුම වෙනස් වීම හේතුවෙන් සිදුවන මිල අඩු වැඩි වීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. හරාය කාලයේදී මාළු සැපයුම වැඩි වෙද්දී මාළු මිල අඩු වෙනවා. ඒ විදිහට මිල අඩු වෙද්දී වෙළඳපොළ විසින් කරන්නේ පාරිභෝගිකයින්ට සංඥාවක් දෙන එක.

"අන්න මාළු ලාබ වෙලා. ගිහින් අරගෙන කාපල්ලා!"

පාරිභෝගිකයෝ මාළු පරිභෝජනය වැඩි කරනවා. ඒ නිසා අල්ලන මාළු ටික විකිණෙනවා. ධීවරයින්ට මාළු විකුණගන්න බැරුව වහබොන්න වෙන්නේ නැහැ. විකුණගන්න බැරි නිසා නිෂ්පාදනය කඩා වැටෙන්නේ නැහැ.

අනෙක් අතට වාරකන් කාලයට මිල වැඩි වෙනවා. ඒ හරහා වෙළඳපොළ විසින් කරන්නේ ධීවරයින්ට සංඥාවක් දෙන එක.

"මුහුද රළුයි තමයි. හැබැයි අවදානම අරගෙන මූදු ගියොත් අවදානමට හරියන ලාබයක් ලැබෙනවා!"

මිල වැඩි නිසා ධීවරයෝ යම් පිරිසක් හරි මූදු යනවා. සැපයුම ටිකක් හරි වැඩි වෙනවා. නිෂ්පාදනය අඩියටම කඩා වැටෙන්නේ නැහැ.

ඔය වැඩේ වෙළදපොල විසින් කරනවා. ඕකට ධීවර ඇමතිවරුන් හෝ අමාත්‍යංශ නිලධාරීන් මහජන බදු මුදලින් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි නිදහසෙන් පසු ලංකාවේ වෙලා තියෙන්නේ ඕක නෙමෙයි.

ලංකාවේ ධීවර ඇමති කෙනෙක් ඉන්නවා. අමාත්‍යංශයක් තිබෙනවා. මාළු මිල දී ගෙන බෙදා හරින්න හදපු ධීවර සංස්ථාවක් තිබෙනවා. සමාජවාදී මධ්‍යගත සැලසුමකට අනුව හදපු මේ ආයතන තවමත් තියෙනවා. ඒ නිසා, මාළු මිල වැඩි වෙද්දී මිනිස්සු ආණ්ඩුව දිහා බලන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ වෙළඳපොළට කරන්න බැරි දේවල් ඇමතිට කරන්න පුළුවන් කියලයි. තවමත් ඔය කතාව කියන අය ඉන්නවා.

ලංකාවේ ධීවර ඇමති රස්සාව නොකරපු දේශපාලන පක්ෂයක් නැති තරම්. එජාප, ශ්‍රීලනිප, සමසමාජ, මහජන එක්සත් පෙරමුණු, දෙමළ කොන්ග්‍රස්, වගේම ජනතා විමුක්ති පෙරමුණේ ධීවර ඇමතිලා කාටවත් වාරකන් කාලයට මිල ඉහළ යන එක නවත්තන්න පුළුවන් වෙලා නැහැ. ඇමති කවුරු වුනත්, ධීවර ඇමතිට කාලගුණේ වෙනස් කරන්න බැහැ වගේම වාරකන් කාලෙට මාළු මිල ඉහළ යන එකත් වෙනස් කරන්න බැහැ. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒකට ඉඩ දිය යුතුයි. 

හැබැයි කාලිකව සිදුවන සැපයුම් උච්ඡාවචනයන් නිසා මිල වෙනස්වීම් වෙළඳපොළ විසින්ම නියාමනය කරනවා. ජාඩි, කරවල කියා කියන්නේ මෙය සිදු වන යාන්ත්‍රනය. ලංකාවේ මූදූකරේ මිනිස්සු මාළු ජාඩි කරන්න පටන් ගත්තේ රටේ ධීවර අමාත්‍යංශයක් හැදුනට පස්සේ නෙමෙයි. මේවා වෙළඳපොළ විසින් හදා දුන් ස්වභාවික විසඳුම්. 

ජාඩි, කරවල හදන එකේ නූතන ස්වරූපය ශීතාගාර. ශීතාගාර පහසුකම් වැඩි වන තරමට හරාය කාලෙදී එකතු වන මාළු අතිරික්තය ගබඩා කරගෙන වාරකන් කාලයට වෙළඳපොළට නිකුත් කිරීම මගින් සැපයුමේ සිදුවන උච්ඡාවචනයන් පාලනය කර ඒ හරහා මිලෙහි සිදුවන උච්ඡාවචනයන් පාලනය කරන්න පුළුවන්. එළවලු වලට වුනත් මේ වැඩේ කරන්න පුළුවන්. සංවර්ධිත රටවල ඔය වැඩේ වෙනවා.

දැන් මේ වැඩේ කළ යුත්තේ කවුද? ඒකත් කළ යුත්තේ රජයද? ධීවර සංස්ථාව වගේ ආයතන පිහිටවලා තියෙන්නේනම් මේක රජය විසින් කළ යුතු දෙයක් කියන අදහසින්. ඒ නිසා, අවශ්‍යනම් හිටපු ධීවර ඇමතිවරුන්ට චෝදනා කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් ප්‍රශ්නය සල්ලි කියලා. 

ප්‍රශ්නය සල්ලිනම් එතැනම අවුලක් තිබෙනවා. කරන වැඩේ කාර්යක්ෂමනම් යට කරන සල්ලි හොයාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. කරන වැඩේ අකාර්යක්ෂමනම් ඒ වගේ වැඩකට මහජන මුදල් නාස්ති කරන එකේ තේරුමක් නැහැ. 

වැඩේ ලාබනම්, පෞද්ගලික අංශයට අත ගහන්න බාධාවක් නැත්නම්, කවුරු හෝ කෙනෙක් ඔය ආයෝජනය කරනවා. ඒ හරහා මිල විචලනය ස්වභාවික ලෙස නියාමනය වෙනවා. 

ඒ කියන්නේ වාරකන් කාලයට මිල වැඩි නොවනවා කියන එක නෙමෙයි. වාරකන් කාලයට තව දුරටත් මිල ඉහළ යනවා. නමුත් යම් සීමාවකින් එහාට යන්නේ නැහැ. මේ සීමාව කුමක්ද?

වැඩේ වෙන්නනම් වාරකන් කාලයේ මාළු මිල සහ හරාය කාලයේ මාළු මිල අතර සැලකිය යුතු මිල වෙනසක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ මිල වෙනස ඔය කාලය තුළ ශීතාගාරයක මාළු තියාගෙන එසේ කිරීමේ විචල්‍ය පිරිවැයට අමතරව ස්ථිර පිරිවැය වෙනුවෙන් අවශ්‍ය තරම් මුදලකුත් ගන්නා අවදානම වෙනුවෙන් ප්‍රමාණවත් ලාබයකුත් ලැබිය හැකි තරම් විශාල වෙනසක් විය යුතුයි. ඔය අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවානම් පෞද්ගලික ආයෝජකයෝ වැඩේට අත ගහනවා. ඊට පස්සේ වාරකන් කාලයට වුනත් යම් සීමාවකින් එහාට මාළු මිල වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම, මාළු අස්වැන්න අඩු මාස වලදී ධීවරයාට ලැබෙන මිල ඕනෑවට වඩා අඩු වෙන්නෙත් නැහැ.

ඔය වගේ විශාල ආයෝජන දහ පහළොස් දෙනෙක් එකපාර කරන්නේ නැහැ. මුලින්ම අවදානම අරගෙන අත ගහන්නේ කවුරු හෝ එක්කෙනෙක්. එතකොට ටික කාලයකට ඒකාධිකාරයක් හැදෙනවා. එතකොට ඒ මනුස්සයාව මරාගෙන කාලා හරියන්නේ නැහැ. එක්කෙනෙක් ගන්න ලාබය දිහා බලාගෙන තමයි තවත් කෙනෙක් වැඩේට අත ගහන්නේ. වෙළඳපොළ ප්‍රමාණය, අවශ්‍ය ආයෝජනයේ විශාලත්වය වගේ හේතු නිසා ව්‍යාපාරිකයෝ හතර පස් දෙනෙක් මිසක් පනහක් හැටක්නම් කොහොමටවත් හැදෙන එකක් නැහැ. සහල්/ වී කර්මාන්තයේ වෙලා තියෙන්නෙත් ඔය වගේ දෙයක්.

සහල් ව්‍යාපාරය හා අදාළවනම් අතරමැදියන්ට කරන චෝදනා වල කෙළවරක් නැහැනේ. සහල් ව්‍යාපාරයේ අතරමැදියන් හරහා වෙන්නේ ඔය විදිහට සිදු විය හැකි මිල විචලනයන් සීමා වෙන එක. ඒ මිනිස්සු අවදානමක් අරගෙන ලොකු ආයෝජනයක් කරලා තියෙන්නේ ලාබයක් ගන්න තමයි. නමුත් මාළු මිල තරමට හාල් මිල උච්ඡාවචනය නොවන්නේ මේ අතරමැදියෝ ටික නිසා. ඔවුන් හරියට බදු නොගෙවනවානම් හෝ වෙනත් අනිසි වාසි ගන්නවානම් ඒ ගැන හොයා බලන එක අදාළ නිලධාරීන්ගේ වගකීමක්. ඒක මේකට අදාළ නැහැ. මාළු කර්මාන්තය ඇතුළෙත් ඔය වගේ අතරමැදියෝ කීප දෙනෙක් හිටියානම් ජූනි, ජූලි මාස වල මාළු මිල මේ තරමටම ඉහළ යන්නේ නැහැ. 

කවුරුවත් නොකරන දේකට සල්ලි දමන එකේ ලොකු අවදානමක් තිබෙනවා. කවුරු හෝ ඒ අවදානම ගන්නේ යම් කාලයකට ඒකාධිකාරයක් පවත්වා ගන්න ලැබීමේ වාසිය දිහාත් බලාගෙන. ඒ විදිහට හැදෙන ඒකාධිකාර කිසිසේත්ම නරක නැහැ. දෙවැන්නාට වෙළඳපොළට එන්න පොළඹවන්නේ පළමුවැන්නාගේ ඉහළ ලාබ. ඒ නිසා, ඒකාධිකාරය නැති කරන්නනම් කළ යුත්තේ පුළුවන් තරම් ලාබ ගන්න ඉඩ අරින එක මිසක් ඒකට බාධා කරන එක නෙමෙයි. ඇමරිකාව වගේ රටක් හා අදාළවනම් කතාව වෙනස්. නමුත් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් ඇතුළේ ඇමරිකාවේ දමන විදිගේ සීමා කිරීම් කරන්න ගියොත් අවදානමක් ගන්න කෙනෙකුට කවදාවත් ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ. 

තරඟය වැඩි වෙලා ලාබ නැති වෙන්නේ ලාබ ලබන්න ඉඩ දෙන තරමටයි. හැදෙන්න කලින් ඒකාධිකාර කියලා ලේබල් කරලා රජය විසින් බාධාකිරීම් කරද්දී  ඇත්තටම වෙන්නේ ඒකාධිකාරය බිඳ නොවැටී පවත්වා ගන්න උදවු කිරීමක් පමණයි. මොකද එවැනි බාධා කිරීම් වලට වැඩියෙන් බය වෙන්නේ කර්මාන්තයට අලුතෙන් එන්න ඉන්න අය. 

Tuesday, December 17, 2019

බෝංචි ගණන් වැඩිද?


මේ දවස් වල ලංකාවේ ඇතැම් එළවළු වර්ග වල මිල ගණන් ගොඩක් ඉහළ ගිහින්. මහ බැංකුවේ දත්ත අනුව අද (දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 390ක්. එම දත්තම අනුව, හරියටම වසරකට පෙර (2018 දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 210ක් පමණයි. බෝංචි කිලෝවක් හිටිවනම මේ තරම් ගණන් ගිහින් තියෙන්නේ ඇයි?

බෝංචි කිලෝවක මිල තීරණය කරන්නේ රජය විසින් නෙමෙයි. රජය විසින් කරන දේවල් වල වක්‍ර බලපෑමක් බෝංචි මිලටත් තිබෙන එක වෙනම කරුණක්. බෝංචි කිලෝවක සිල්ලර මිල තීරණය වන්නේ බෝංචි වලට තිබෙන ඉල්ලුම හා සැපයුම මතයි.

බෝංචි වැනි එළවළු ලංකාවට පිටරටින් ආනයනය කරන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ හදන බෝංචි වැනි එළවළු සුරක්ෂිතව කාලයක් ගබඩා කර තබා ගෙන අවශ්‍ය අවස්ථාවක වෙළඳපොලට නිකුත් කළ හැකි තාක්ෂණයක්ද රටේ නැහැ. ඒ නිසා, අස්වනු නෙලන කාල හා කාලගුණ සාධක වැනි කරුණු මත වෙළඳපොළට සැපයෙන බෝංචි ප්‍රමාණය සතියෙන් සතියට වගේ වෙනස් වෙනවා. ඒ විදිහට සැපයුම වෙනස් වුවත්, බෝංචි වලට රටේ තිබෙන ඉල්ලුම සතියෙන් සතියට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලත් සතියෙන් සතියට වගේ වෙනස් වෙනවා. මේක සිදු වෙන්නේ කොහොමද කියලා අපි හරියටම පැහැදිලි කර ගනිමු.

අපි එක් එක් කෙනාගේ බෝංචි වලට තියෙන කැමැත්ත වෙනස්. බෝංචි එක් අයෙකුගේ ප්‍රියතම එළවලුව වෙද්දී තවත් අයෙකුට බෝංචි පෙන්නන්න බැරි වෙන්න පුළුවන්. බෝංචි වලට ලොකු කැමැත්තක් නැති අකැමැත්තකුත් නැති අය වගේම වෙන කන්නම දෙයක් නැත්නම් පමණක් බෝංචි කන අයත් ඉන්නවා. මේ ආකාරයට බෝංචි වලට තිබෙන කැමැත්ත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙද්දී ඔවුන් බෝංචි කිලෝවක් වෙනුවෙන් ගෙවන්න කැමති උපරිම මිලත් වෙනස් වෙනවා.

අපි පුද්ගලයින් පහළොස් දෙනෙක් ගනිමු. පහතින් තියෙන්නේ මේ පහළොස් දෙනා බෝංචි කිලෝවකට ගෙවන්න කැමැත්තෙන් සිටින උපරිම මිලයි. සියලුම ගණන් රුපියල් වලින්.

අමල් - 1000
බිමල් - 700
චමල් - 550
දයාල් - 500
එමිල් - 450
ෆසල් - 420
ගයාන් - 400
හසන් - 390
ඉයන් - 375
ජෙයන් - 350
කෙවින් - 320
ලොහාන් - 300
මෝහන් - 280
නුවන් - 250
ඔෂාන් - 220

දැන් කිසියම් සතියක බෝංචි සැපයුම කිලෝ 10ක් පමණක්නම් මේ 15 දෙනාටම බෝංචි මිල දී ගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඉල්ලුම හා සැපයුම සමාන විය යුතුයි. නිදහස් වෙළඳපොළක මේ බෝංචි කිලෝ 10 අයිති කර ගන්න ඉඩ ලැබෙන්නේ බෝංචි වලට වැඩිම වටිනාකමක් ලබා දෙන දහ දෙනාටයි. ඒ කියන්නේ ලැයිස්තුවේ ජෙයන්ගේ සිට උඩින් සිටින අයටයි. බෝංචි කිලෝවක සමතුලිත වෙළඳපොළ මිල වෙන්නේ ජෙයන් බෝංචි කිලෝවකට ගෙවන්න කැමති උපරිම මිල වන රුපියල් 350ක මිලයි.

ලැයිස්තුවේ ජෙයන්ට වඩා පහළින් සිටින අයට බෝංචි කිලෝවක් රුපියල් 350ක් වටින්නේ නැහැ. ඒ නිසා, ඔවුන් තමන්ගේ අතේ මුදල් තිබුණත් මිල දැක්ක හැටියේම ආපසු හැරී එනවා. මේ අය ලැයිස්තුවේ උඩින් සිටින අය තරමට බෝංචි වලට කැමැති නැති අය. ජෙයන්ගේ සිට උඩින් සිටින අයට රුපියල් 350ක මිල ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඔවුන්ට බෝංචි කිලෝවක් අඩුම වශයෙන් රුපියල් 350ක්වත් වටිනවා. ජෙයන් හැර ඉතිරි නව දෙනාට ඊටත් වඩා කීයක් හෝ වටිනවා. ඒ නිසා, රුපියල් 350 වුවත් ඒ අය දකින ආකාරයට වාසිදායක මිලක්.

ඉල්ලුම සැපයුම සමතුලිත වන මිල කාටත් සාධාරණ මිලයි. බෝංචි මිල දී ගන්නා සියලු දෙනාටම බෝංචි කිලෝවක වටිනාකම ගෙවූ මිලට වඩා වැඩියි. බෝංචි කිලෝවක වටිනාකම මිලට වඩා අඩුයි කියා හිතන අය බෝංචි මිල දී නොගෙන තමන් වඩා කැමති වෙනත් දෙයක් මිල දී ගන්නවා. වෙළඳපොළට බෝංචි සපයන අයට ලැබිය හැකි ඉහළම මිල ලැබෙනවා. බෝංචි නොවිකිණී ඉතිරි වෙන්නෙත් නැහැ. රුපියල් 350ක මිල ගෙවා බෝංචි මිල දී ගන්න කැමති අයට බෝංචි නොලැබී යන්නේත් නැහැ. එහෙත්, මේ දේවල් මේ ආකාරයට සැලසුම් කරන්නට කිසිවෙකු අවශ්‍ය වෙන්නේත් නැහැ. නිදහස් වෙළඳපොලක අපූර්වත්වය මෙයයි.

දැන් ඊළඟ සතියේ බෝංචි සැපයුම කිලෝ 12ක් දක්වා වැඩි වුනොත් වෙන්නේ මොකක්ද? පසුගිය සතියේ මිල තව දුරටත් හරියන්නේ නැහැ. බෝංචි කිලෝවක මිල රුපියල් 350 මට්ටමේම තිබුණොත් බෝංචි මිල දී ගන්නේ පෙර සතියේත් බෝංචි මිල දී ගත් ජෙයන්ගෙන් උඩ දහ දෙනා පමණයි. එහෙම වුනොත්, බෝංචි කිලෝ දෙකක් නොවිකිණී ඉතුරු වෙනවා. ඒ කිලෝ දෙකත් විකුණගන්න හැකි වෙන්නේ රුපියල් 300 දක්වා මිල අඩු වුනොත් පමණයි. කෙවින් හා ලොහාන් දෙන්නා රුපියල් 350ක් ගෙවා බෝංචි මිල දී ගන්නේ නැති වුනත්, රුපියල් 300කට බෝංචි මිල දී ගන්නවා. ඒ නිසා, මිල රුපියල් 300 දක්වා අඩු වූ විට ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා.

බෝංචි සැපයුම කිලෝ 8ක් දක්වා අඩු වුනොත් වෙන්නේ මොකක්ද? මිල 350නම් බෝංචි කිලෝ 8 පහසුවෙන්ම විකිණෙනවා. නමුත්, ඒ මිලට බෝංචි මිල දී ගන්න කැමති 10 දෙනෙක්ම ඉන්න නිසා එයින් දෙදෙනෙක්ටම බෝංචි මිල දී ගැනීමේ අවස්ථාව නැති වෙනවා. එසේ අවස්ථාව නැති වුනේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. අමල් බෝංචි කිලෝවකට රුපියල් 1000ක් වුවත් ගෙවන්න කැමතියි. එහෙත් වෙළඳපොළේ බෝංචි නැහැ. ඒ නිසා ඔහු ඉන්නේ සතුටෙන් නෙමෙයි. බෝංචි සැපයුම්කරු ඉන්නේත් සතුටෙන් නෙමෙයි. ඔහුට ලැබිය හැකිව තිබුණු උපරිම ලාබය ලැබී නැහැ. නමුත්, මිල රුපියල් 390 දක්වා ඉහළ ගිය විට මේ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ. හසන් සහ ජෙයන් රුපියල් 390ක් ගෙවා බෝංචි කිලෝවක් මිල දී නොගන්නා නිසා ඒ මිලට බෝංචි ඉල්ලා සිටින්නේ පාරිභෝගිකයින් අට දෙනෙක් පමණයි. ඔවුන් සියලු දෙනාටම බෝංචි ලැබෙනවා.

පසුගිය දිනක දේශපාලනඥයෙක් විසින් උපදෙස් දී ඇති පරිදි පාරිභෝගිකයින් විසින් මිල වැඩි එළවලු මිල දී නොගෙන ප්‍රතික්ෂේප කළොත් එළවලු මිල අඩු වෙයිද? අපි මේ උදාහරණයම බලමු. දැන් බෝංචි කිලෝවක මිල රුපියල් 390යි. හසන්ගේ සිට උඩට ඉන්න අයට සාපේක්ෂව මේ රුපියල් 390ක මිල වැඩි මිලක් නෙමෙයි. ඔවුන්ට බෝංචි ඊට වඩා වටිනවා. ඒ නිසා, ඔවුන් කොහොමටත් බෝංචි මිල දී ගන්නවා. රුපියල් 390 වැඩි මිලක් කියා හිතන හසන්ට පහළින් සිටින හත් දෙනා කොහොමටත් රුපියල් 390ක් ගෙවා බෝංචි මිල දී ගන්නේ නැහැ. ඒ නිසා, ඔවුන්ට අමුතුවෙන් බෝංචි ප්‍රතික්ෂේප කරන්න දෙයක් නැහැ. කිසිවකුගේ මිල දී ගැනීමේ තීරණ වෙනස් නොවන නිසා, බෝංචි කිලෝවක සමතුලිත මිල වෙනස් වෙන්නේත් නැහැ.

Friday, December 8, 2017

පොල් හා ඩොලර්


ඊයේ ලංකාවට කතා කළ විට අපේ ගෙදර අය මැසිවිලි නැඟුවේ පොල් ගෙඩිය රුපියල් 120ට ගොස් ඇති බව කියමිනි. අපේ ගෙදර වත්තේ පොල් ගස් සෑහෙන ගණනක් තිබුණත්, පොල් පරිභෝජනයද සැලකිය යුතු ඉහළ මට්ටමක තිබෙන නිසා හමස් වලු කාලයට ඇතැම් විට කඩෙන් පොල් මිල දී ගන්නට සිදුවේ. මෙය වැඩිපුරම සිදුවන්නේ කිසියම් කාලගුණික හේතුවක් නිසා පොල් පලදාව පහළ යන අවුරුදු වලදීය. සාමාන්‍යයෙන් ලංකාවේ පොල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේද අපේ ගෙදර අයට පොල් කඩෙන් මිල දී ගන්නට අවශ්‍ය වන දවස් වලටමය.

ඉහත සිදු වීම අහම්බයක් නොවේ. ලංකාවේ බොහෝ ගෙවල් වල, නාගරික ගෙවල් වල පවා, අඩු ගානේ පොල් ගහක් හෝ තිබේ. ගෙවල් සෑහෙන ගණනක නිවසේ පරිභෝජනයට ප්‍රමාණවත් පොල් නිෂ්පාදනයක් සාමාන්‍යයෙන් සිදුවන නිසා ඒ ගෙවල් වල අයට සාමාන්‍යයෙන් කඩෙන් පොල් මිල දී ගන්නට අවශ්‍ය වන්නේ නැත. එහෙත්, කිසියම් හේතුවක් නිසා පොල් පලදාව පහළ යන අවස්ථා වලදී මෙවැනි නිවෙස් බොහොමයක පදිංචිකරුවන්ට තමන්ගේ පොල් පරිභෝජන අවශ්‍යතාවයෙන් කොටසක් මිල දී ගන්නට සිදු වේ. 

රටේ බොහෝ දෙනෙක් මෙසේ කරන විට ලංකාවේ වෙළඳපොළේ සමස්ත පොල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යයි. මේ ඉල්ලුම සපුරාලන්නට වෙන්නේ මහා පරිමාණ පොල් නිෂ්පාදකයන්ටය. මහා පරිමාණ කියා කිවුවත් ලංකාවේ ලොකුම පොල් වතු පවා ඒ තරම්ම ලොකු නැත.

කාලගුණය නිසා පොල් පලදාව පහත වැටීම මහා පරිමාණ පොල් නිෂ්පාදකයින්ටද බලපායි. ඒ නිසා, ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළේ පොල් ඉල්ලුම ඉහළ යාමත්, පොල් සැපයුම පහත යාමත් බොහෝ විට සිදුවන්නේ එකවරය. මෙහි ප්‍රතිඵලය වන්නේ වෙළඳපොළේ පොල් මිල ඉල්ලුම් හා සැපයුම් සාධක දෙකම මත විශාල ලෙස ඉහළ යාමයි.

මෙය තරමක් දුරට සුවිශේෂී තත්ත්වයකි. සාමාන්‍යයෙන් පරිභෝජනය පහළ යන විට භාණ්ඩයක් සඳහා වන සමස්ත ඉල්ලුම පහළ යයි. එහෙත්, පොල් සැලකූ විට මිල ඉහළ යාම හා ගෙදර වත්තේ පොල් පලදාව අඩුවීම නිසා ගෘහස්ථ පොල් පරිභෝජනය අඩු වෙද්දී පවා, වෙළඳපොළට විශාල පාරිභෝගික පිරිසක් අලුතින් එකතු වීම හේතුවෙන් සමස්ත වෙළඳපොළ ඉල්ලුම ඉහළ යා හැකිය. මේ අයුරින්ම, පොල් පලදාව ඉහළ යන කාල වලදී බොහෝ නිවැසියන්ට කඩෙන් පොල් මිල දී ගන්නට අවශ්‍ය නොවන නිසා සමස්ත වෙළඳපොළ ඉල්ලුම විශාල ලෙස පහත වැටේ. එහෙත්, එයින් අදහස් වන්නේ රටේ නිවාස ඒකක වල පොල් පරිභෝජනය පහළ ගොස් ඇති බව නොවේ. 



පසුගිය දවස් වල ඇතැම් අය පොල් මිල හා ඇමරිකන් ඩොලරයක මිල සමාන වී ඇති බව පවසමින් වත්පොතේ ප්‍රතිචාර දක්වා තිබෙනු දකින්නට හැකි විය. පොල් හා ඇමරිකන් ඩොලර් යනු මීකිරි හා තක්කාලි සෝස් වැනි එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු දෙකකි. එසේනම්, මෙවැනි සැසඳීමක අරමුණ කුමක්ද?

ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ මේ වන විට තනිකරම වාගේ දේශීය වෙළඳපොළකි. ලංකාවේ ප්‍රධාන අපනයන තේ, රබර් හා පොල් බව අප ඉගෙනගෙන මේ වන විට දශක ගණනාවක් අවසන්ව ඇති අතර පොල් තවදුරටත් ලංකාවේ ප්‍රධානම අපනයන භෝගයක් නොවේ. ලංකාවේ පොල් නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම යොදාගැනෙන්නේ ලංකාව තුළ කෙරෙන පරිභෝජනය සඳහාය. එමෙන්ම, ලංකාවට පොල් ආනයනය කිරීමක් සිදුවන්නේද නැති තරම්ය. ස්ථිරවම නොදන්නා නමුත් වෘක්ෂලතා ආරක්ෂණ පණත (1999 අංක 35) අනුව ලංකාවට පොල් ආනයනය කිරීමට නීතිමය බාධාවන්ද පවතින බව මගේ අදහසයි. සරල ලෙස කියනවානම් ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ බොහෝදුරට සංවෘත වෙළඳපොළකි. පොල් මිල කලින් කලට විශාල ලෙස උච්චාවචනය වීමට හේතු වන්නේ වෙළඳපොළේ මේ සංවෘත ස්වභාවයයි.

කෙසේවුවත්, ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ සංවෘත වෙළඳපොළක් වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමට ඇති කෘතීම බාධාවන් නොවේ. එය ස්වභාවික, වඩාත් පැහැදිලිව කියනවානම් සංස්කෘතික හා පාරිසරික, හේතු මත සිදු වී ඇති දෙයකි. ලංකාවේ පාරිභෝගිකයන්ගේ ආහාර රුචිකත්වයේ ඇති සුවිශේෂිතාවයන් නිසා ලංකාවේ සිල්ලර සහල් වෙළඳපොළෙහිද මීට ආසන්න තත්ත්වයක් දැකිය හැකිය.

ලංකාවේ කිසිවෙකුත් රුපියල් මිස ඇමරිකන් ඩොලර් ගෙවා පොල් මිල දී ගන්නේ නැත. පොල් ආනයනය කිරීමක් සිදු නොවන නිසා මෙය වක්‍ර ආකාරයකින් සිදුවන්නේද නැත. එසේනම්, පොල් මිල හා ඇමරිකන් ඩොලරයක මිල සැසඳීමේ අරමුණ කුමක්ද?

ඇමරිකන් ඩොලර් කියන්නේ (ඇමරිකාවේදී කෙසේවුවත්) ලංකාවේදී වටිනාකමේ සංකේතයකි. ඇමරිකන් ඩොලරයක් මිලදී ගැනීමට ලාංකිකයෙකු විසින් ගෙවිය යුතු රුපියල් ගණන දිගින් දිගටම ඉහළ යයි. රුපියල අවප්‍රමාණය වීම ලෙස හැඳින්වෙන මෙයට හේතුව ශ්‍රී ලංකා රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම දිගින් දිගටම අඩු වීමයි.

ශ්‍රී ලංකා රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම මෙන්ම එහි අභ්‍යන්තර (දේශීය) වටිනාකමද දිගින් දිගටම අඩු වේ. මෙය හැඳින්වෙන්නේ උද්ධමනය යනුවෙනි. උද්ධමනය හේතුවෙන් කිසියම් භාණ්ඩයක් මිල දී ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු විසින් ගෙවිය යුතු රුපියල් ගණන "සාමාන්‍ය වශයෙන්" දිගින් දිගටම ඉහළ යයි. එහෙත්, මේ අයුරින් කිසියම් නිශ්චිත භාණ්ඩයක මිල උද්ධමනය නිසා ඉහළ යන අතරම, ඉල්ලුම් සැපයුම් සාධක මත එහි මිල උච්චාවචනය වීමද සිදුවන බැවින් උද්ධමනයේ බලපෑම කෙටිකාලීනව නොපෙනෙන්නටද පුළුවන.

පොල් ගෙඩියක් වැනි නිශ්චිත භාණ්ඩයක මිල උච්චාවචනය වීමට එකම හේතුව උද්ධමනය නොවේ. එහෙත්, කාලයත් සමඟ පොල් ගෙඩියක මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ඇත්නම් හා ඒ ප්‍රවණතාවය වෙනත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමට අනුරූපනම්, එයට හේතුව උද්ධමනයි. එසේත් නැත්නම්, රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම දිගින් දිගටම අඩුවීමයි.

ශ්‍රී ලංකා රුපියල වැනි කිසියම් දේශීය ව්‍යවහාර මුදලක බාහිර (විදේශීය) වටිනාකම හා එහි අභ්‍යන්තර (දේශීය) වටිනාකම වෙනස්වන්නේ එකිනෙකින් වියුක්තව නොවේ. රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම අඩුවීම දිගුකාලීනව එහි බාහිර (විදේශීය) වටිනාකම තුළද පිළිබිඹු විය යුතුය. එහෙත්, විවිධ හේතු නිසා කෙටිකාලීනව එය එසේ සිදු නොවන්නට පුළුවන.

රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම අඩුවීම නිසා ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීමට ගෙවිය යුතු රුපියල් ගණන දිනෙන් දිනම ඉහළ යයි. රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම අඩුවීම නිසා පොල් ගෙඩියක් මිල දී ගැනීමට ගෙවිය යුතු රුපියල් ගණනත් දිනෙන් දිනම ඉහළ යයි. මේ දෙකම සමානුපාතික ලෙස සිදු වේනම් පොල් ගෙඩියක ඩොලර් මිල වෙනස් වන්නට හේතුවක් නැත.

යම් හෙයකින් පොල් ගෙඩියක ඩොලර් මිල විශාල ලෙස වෙනස් වී ඇති බව පෙනේනම් එයින් අදහස් වන්නේ එක්කෝ මෙය උද්ධමනයට සම්බන්ධයක් නැති තාවකාලික තත්ත්වයක් බවයි. එසේ නැත්නම්, පවතින විණිමය අනුපාතිකයේ කිසියම් වැරැද්දක් ඇති බවයි. එසේත් නැත්නම්, ලංකාවේ පොල් නිෂ්පාදන කර්මාන්තයේ කිසියම් ආකෘතිමය ප්‍රශ්නයක් ඇති බවයි.

මහා බැංකු දත්ත අනුව, අද (දෙසැම්බර් 08) වන විට ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීමට ගෙවිය යුතු සාමාන්‍ය මිල රුපියල් 155.07කි. ඇතැම් වාර්තා අනුව, ඇතැම් තැන්වල පොල් ගෙඩියක් රුපියල් 150ක් තරම් ඉහළ මිලකට විකිණේ. මෙය ඇමරිකන් ඩොලරයක මිලට ආසන්න අගයකි. කෙසේ වුවද, නිවැරදි සැසඳීමක් කිරීම සඳහා එකම තැනකින් සංසන්දනාත්මක දත්ත ලබාගත යුතුය. පොල් ගෙඩියක සිල්ලර මිල හා අදාළව එවැනි දත්ත ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකිය.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, නොවැම්බර් අවසාන සතියේදී එම දෙපාර්තමේන්තුව විසින් දත්ත එකතු කරන වෙළඳසැල් වල පොල් ගෙඩියක් විකිණුනු සිල්ලර මිලගණන් රුපියල් 65-110 අතර පරාසයේ තිබී ඇති අතර සාමාන්‍ය අගය රුපියල් 86.02කි. මෙය ඇමරිකන් ඩොලරයක රුපියල් මිලෙන් අඩකට වඩා මඳක් වැඩි, ඩොලරයක රුපියල් අගයට බොහෝ අඩු මිලක් වුවත් පසුගිය කාලයේ පොල් ගෙඩියක් විකිණුනු සිල්ලර මිලට වඩා බොහෝ වැඩි මිලකි.

පහත වගුවේ ඇත්තේ පසුගිය වසර 13ක පමණ කාලය තුළ මැයි හා නොවැම්බර් අවසාන සති වලදී සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වූ  සාමාන්‍ය සිල්ලර මිල හා අදාළ මාස අවසානයේදී ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු වූ සාමාන්‍ය මිලයි.



වගුවේ දත්ත පරීක්ෂා කළ විට පැහැදිලිව පෙනෙන්නේ පසුගිය වසර 13ක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරයක මිල ඉහළ යනවාට වඩා ඉතා විශාල අනුපාතිකයකින් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි. ඇමරිකන් ඩොලරයක මිල 55.6%කින් ඉහළ යද්දී, පොල් ගෙඩියක මිල 413.6%කින් ඉහළ ගොස් ඇත! 

වගුවේ දත්ත වලින් පෙනෙන පරිදි, 2007 මැයි මාසයට පෙර ලංකාවේදී ඇමරිකන් ඩොලරයක් මාරු කර පොල් ගෙඩි 6ක් ගන්නට පුළුවන්කම තිබුණත් දැන් එසේ ලැබෙන මුදල පොල් ගෙඩි දෙකක් ගන්නටවත් ප්‍රමාණවත් නැත. මේ අනුව පෙනෙන්නේ පොල් වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයද බාල්දු වී ඇති බවයි.

ශ්‍රී ලංකා රුපියල මෙන්ම ඇමරිකන් ඩොලරයද එන්න එන්නම බාල්දු වේ. ඒ ලංකාවේ මහ බැංකුව මෙන්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවද දිනපතාම වාගේ අලුත් මුදල් සංසරණයට එකතු කරන බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලරයේ දේශීය වටිනාකමද එන්න එන්නම අඩු වේ. එසේ තිබියදී, ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරය හමුවේ එන්න එන්නම බාල්දු වන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වෙනවාට වඩා වැඩි වේගයකින් රුපියල බාල්දු වන බැවිනි.

අපගේ සංසන්දනය සඳහා යොදාගත් 2005 මැයි සිට 2017 නොවැම්බර් අතර කාලය තුළ ඇමරිකන් ඩොලරයක දේශීය අගය 21.11%කින් අඩු වී තිබේ. එසේ වෙද්දී රුපියලේ දේශීය අගය 60.04%කින් අඩු වී තිබේ. වෙනත් අයුරකින් කියනවානම්, 2005 මැයි මාසයේදී ඇමරිකන් ඩොලරයකින් මිල දී ගත් බඩු මිල දී ගන්නට දැන් ඇමරිකන් ඩොලර් 1.26ක් අවශ්‍ය වන අතර  2005 මැයි මාසයේදී රුපියලකින් මිල දී ගත් බඩු මිල දී ගන්නට දැන් රුපියල් 2.50ක් අවශ්‍ය වේ.

වගුව අනුව 2005 මැයි මාසයේදී පොල් ගෙඩියක මිල රුපියල් 16.75ක් වූ අතර නාමික විණිමය අනුපාතිකය අනුව එය ඇමරිකන් ඩොලර් 0.1676ක පමණ මිලකි. එක් එක් ව්‍යවහාර මුදලේ දේශීය අගය පිරිහීම සැලකූ විට 2017 නොවැම්බර් අවසානයේදී මේ මිල සමාන කළ හැක්කේ රුපියල් 41.92ක මිලකට හා ඇමරිකන් ඩොලර් 0.2124ක මිලකටය. මේ පදනම මත, 2017 නොවැම්බර් වන විට ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 197.32ක් විය යුතුය. එහෙත්, අදාළ කාලය තුළ රුපියලේ අභ්‍යන්තර අගය පිරිහීමට සාපේක්ෂව එහි බාහිර අගය පිරිහී නැති නිසා 2017 නොවැම්බර් අවසානයේදී රුපියල් 155.48ක් ගෙවා ඇමරිකන් ඩොලරයක් මිල දී ගත හැකිව තිබුණේය. මේ අනුව, අදාළ කාලය තුළ රුපියල පිරිහී ඇත්තේ ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන මට්ටමට වඩා 26.9%ක් අඩුවෙනි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද? 

ඇමරිකන් ඩොලරයක් ගෙවා 2005 මැයි මාසයේදී ලංකාවේ නිපදවන භාණ්ඩයක් මිල දී ගත් විදේශිකයෙකු දැන් එම භාණ්ඩයම මිලදී ගැනීම සඳහා ඩොලර් 1.27ක් ගෙවිය යුතුය. අනෙක් අතට, 2005 මැයි මාසයේදී රුපියල් 197.32ක් ගෙවා ආනයනික භාණ්ඩයක් මිලදී ගත් ලාංකිකයෙකුට දැන් එම භාණ්ඩයම රුපියල් 155.48ක් ගෙවා මිල දී ගත හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආනයන ඉහළ යාමත්, අපනයන පහළ යාමත්, අඩු මිලට විකිණෙන ආනයන හමුවේ දේශීය නිෂ්පාදන කර්මාන්ත බිඳ වැටීමත්, වෙළඳ ශේෂ හිඟය ඉහළ යාමත් තේරුම් ගැනීමට අපහසු නැත.

අප විසින් සලකා බැලූ කාලය තුළ පොල් ගෙඩියක රුපියල් මිල 413.6%කින්ද, ඩොලර් මිල 230.1%කින්ද ඉහළ ගොස් තිබේ. එහෙත්, රුපියලේ හා ඩොලරයේ දේශීය වටිනාකම් අඩුවීම සැලකූ විට පොල් මිල ඉහළ යා යුතුව තිබුණේ රුපියල් වලින්නම් 150%කින් හා ඩොලර් වලින්නම් 26%කින් පමණි. ඒ අනුව, රටේ අනෙකුත් භාණ්ඩ හා සේවාවන් වලට සාපේක්ෂවද පොල් මිල සැලකිය යුතු තරමින් ඉහළ ගොස් ඇති බව පැහැදිලිය. උද්ධමනයේ බලපෑම මත පොල් ගෙඩියක මිල රුපියල් 42 ඉක්මවන්නට හේතුවක් නැතත්, වෙළඳපොළේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල එමෙන් දෙගුණයකටත් අධිකය. මෙයට ප්‍රධාන හේතුව සැපයුමේ තාවකාලික පහත වැටීමක් බව පෙනෙන්නට ඇතත්, දත්ත පරීක්ෂා කළ විට පෙනෙන්නේ එය එකම හේතුව විය නොහැකි බවයි. 

සලකා බැලුණු පසුගිය කාලය තුළ ලංකාවේ පහළ ආදායම් ස්ථර වල ආදායම් සැලකිය යුතු තරමින් ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් පොල් සඳහා ඇති වෙළඳපොල ඉල්ලුමද ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතැයි සිතන්නට පුළුවන. එහෙත්, එසේ වැඩිවන ඉල්ලුමට සාපේක්ෂව දේශීය පොල් සැපයුම ඉහළ ගොස් තිබීමට හේතුවක් නොපෙනේ. මෙය ඉදිරි කාලයේදීද දකින්නට ලැබෙනු ඇතැයි සිතිය හැකි ප්‍රවණතාවයකි. ඒ නිසා, වෙනත් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව පොල් මිල ක්‍රමයෙන් ඉහළ යන්නට ඇති ඉඩකඩ අපට තේරුම් ගත හැකිය. ඒ නිසා, වත්මන් ඉහළ මිල තාවකාලික සැපයුම් කම්පන තත්ත්වයක් වුවත්, එම තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු පසුවද පොල් ගෙඩියක මිල රුපියල් 42කට වඩා අඩු මට්ටමකට නොපැමිණෙන්නට ඉඩ තිබේ.

අනෙක් අතට, ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ හා පසුගිය කාලයේ යම් අඩුවීමක් දකින්නට ලැබුණත් තවමත් දිගින් දිගටම ලබා ගන්නා විදේශ ණය නිසා ඉදිරි කාලයේදීද විණිමය අනුපාතිකය ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගත හැකි තරමට පිරිහේයැයි සිතිය නොහැකිය. එහි ප්‍රතිඵලය වන්නේ පොල් ගෙඩියක ඩොලර් මිල ක්‍රමයෙන් ඉහළ යාමයි. මේ නිසා, මෙවර නැතත් සැපයුම් කම්පනයක් නිසා පොල් මිල ඉහළ යන ඊළඟ අවස්ථාවේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල ඇමරිකන් ඩොලරයක මිල ඉක්මවන්නට ඉඩ තිබේ.

Monday, February 13, 2017

හාල් මිල, ජීවන වියදම හා උද්ධමනය

මේ දවස් වල ලංකාවේ හාල් හොඳටම ගණන්ය. හාල් විතරක් නොව පොල්ද ගණන්ය. වසර කිහිපයකට වරක් ඇති වන වියලි කාලගුණය සමඟ වී හා පොල් නිෂ්පාදනය පහත වැටී, ලංකාවේ නිපදවන හාල් වර්ග වල හා පොල් වල මිල ඉහළ යාම අමුතු දෙයක් නොවේ. ඇතැම් වසර වල මෙහි අනිත් පැත්තද මේ අයුරින්ම සිදු වේ. එහෙත්, හාල් පොල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍යයක් ගණන් යද්දී මෙන් මිල අඩුවන විට ඒ ගැන වැඩිපුර අවධානය යොමු වෙන්නේ නැත.

හාල් හා පොල් කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආහාර වේලේ මූලික කොටස් දෙකකි. වෙන මොනවා නැතත් බොහෝ ලාංකිකයින්ට හාල් හා පොල්නම් නැතුවම බැරිය. ඒ නිසා, මිල වැඩි වුනත් හාල් හා පොල් සඳහා ලංකාවේ තිබෙන ඉල්ලුම එතරම් අඩු වෙන්නේ නැත.

හාල් හා පොල් ගණන් ගිය විට බොහෝ දෙනෙකුගේ ජීවන වියදම වැඩි වේ. බොහෝ දෙනෙකුගේ කියා කීවේ හාල් හා පොල් නොකන අයත් සිටිය හැකි බැවිනි. හාල් හා පොල් මිල ඉහළ යාම නිසා හාල් හා පොල් නොකන අයගේ ජීවන වියදමට බලපෑමක් නොවේ. ජීවන වියදම කියන්නේ එක් එක් පුද්ගලයාට, වඩා නිවැරදිව කිවුවොත් පවුල් ඒකකයකට සාපේක්ෂ දෙයකි. ජීවන වියදම ඉහළ යාම කියා හඳුන්වන්නේ කිසියම් පුද්ගලයෙකුට හෝ පවුල් ඒකකයකට සාමාන්‍යයෙන් අවශ්‍ය වන භාණ්ඩ මල්ලේ මිල ඉහළ යාම නිසා ඇතිවන අපහසුතාවයයි.

උද්ධමනය කියන්නේත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම හා සම්බන්ධ දෙයකි. එහෙත්, උද්ධමනය හා ජීවන වියදම ඉහළ යාම කියන්නේ එකක් නොව දෙකකි. උද්ධමනය කියන්නේ පොදුවේ කිසියම් රටක භාණ්ඩ හා සේවා වල මිලට සාපේක්ෂව එම රටේ මුදල් ඒකකයේ අගය අඩු වීමයි. හැමවිටම වාගේ උද්ධමනයට හේතු වෙන්නේ වැඩියෙන් මුදල් අච්චු ගැසීමයි. මේ මුදල් අච්චු ගැසීම කුමක්ද කියා පෙර පැහැදිලි කර තිබේ. උද්ධමනය රටක් තුළ එකම මුදල් ඒකකය භාවිතා කරන පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පවුලෙන් පවුලට වෙනස් නොවේ. උද්ධමනය වැඩි වීම රටේ සියල්ලන්ටම පොදුවේ බලපායි.

උද්ධමනය මැනීම සඳහා පහසුවට පාරිභෝගික මිල දර්ශක යොදා ගත්තත්, පාරිභෝගික මිල දර්ශකයකින් ඇත්තටම මනින්නේ රටේ යම්කිසි කණ්ඩායමක ජීවන වියදමෙහි සිදුවන වෙනස් වීමයි. රටේ මුදල් සැපයුම වැඩි වීම හැර වෙනත් හේතු නිසාද ඇතැම් භාණ්ඩ වල මිල ඉහළ ගොස් ජීවන වියදම වැඩි වුනත් බොහෝ විට මෙවැනි මිල වැඩිවීම් කෙටිකාලීනය. එහෙත්, උද්ධමනය යනු දිගුකාලීනව සිදුවන ක්‍රියාවලියකි.

අප කවුරුත් දන්නා පරිදි මේ දවස් වල හාල් හා පොල් මිල ඉහළ ගොස් ඇත්තේ නිෂ්පාදනය අඩු වීම නිසා මිස රටේ මුදල් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් නොවේ. මුදල් ප්‍රමාණය වැඩිවීමේ බලපෑම සෑම භාණ්ඩයකට හා සේවාවකටම එකසේ බලපායි. මෙය එවැනි තත්ත්වයක් නොවේ.
(මුදල් සැපයුම වැඩි වීමේ ප්‍රතිඵල පසුව තැපෑලෙන් ලැබෙන්නට පුළුවන.) 

මුදල් සැපයුම සමාන්තරව වැඩි නොවේනම් කිසියම් භාණ්ඩයක හෝ භාණ්ඩ කිහිපයක මිල වැඩි වීම සාමාන්‍යයෙන් උද්ධමනකාරී තත්ත්වයක් ඇති නොකරයි. ඒ වෙනුවට සිදුවන්නේ වෙනත් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමෙන් රටේ සාමාන්‍ය මිල මට්ටම කිසියම් සමතුලිතතාවයකට පැමිණීමයි.

රටේ සාමාන්‍ය පවුලකට ආහාර සඳහා වියදම් කළ හැක්කේ නිශ්චිත මුදලකි. මේ මුදල සමාන්තරව වැඩි නොවේනම්, හාල් හා පොල් මිල ඉහළ ගිය විට එම පවුලට සිය පරිභෝජන මට්ටම පවත්වා ගැනීම අසීරු වේ. එවිට, හාල් හා පොල් පරිභෝජනය අඩු කරන්නට සිදුවේ. එහෙත්, ලංකාවේ බොහෝ දෙනෙකුට මෙය කළ නොහැකි දෙයකි. ඒ නිසා ඔවුන්ට සිදුවන්නේ මෙතෙක් පරිභෝජනය කළ වෙනත් දේවල් වලින් කිසියම් ප්‍රමාණයක් කපා හරින්නටය.

ලංකාවේ හාල් හා පොල් වැඩිපුර ආහාරයට ගන්නා බහුතර ජනතාව දිනපතා මස්, මාළු කන්නේ නැත. ඔවුන්ගේ ආහාර වේලට සාමාන්‍යයෙන් බොහෝ විට එකතු වන්නේ බිත්තරයක් හා එළවළු කිහිපයකි. කෑම සඳහා සාමාන්‍යයෙන් වෙන් කරන මුදලින් වැඩි කොටසක් හාල් හා පොල් වෙනුවෙන්ම පමණක් වියදම් වූ විට ඔවුන්ට වෙනදා මෙන් එළවළු හා බිත්තර වැනි දේ මිල දී ගන්නට ප්‍රමාණවත් මුදලක් අතේ ඉතිරි නොවේ. ඒ නිසා එළවළු හා බිත්තර මිල දී ගන්නට වෙන්නේ වෙනදාට වඩා අඩුවෙනි. හාල් හා පොල් ඇත්නම් සම්බෝලයක් හදාගෙන හෝ බඩ පිරෙන්නට බත් ටිකක් කන්නට පුළුවන.

බොහෝ දෙනෙක් මේ අයුරින් එළවළු හා බිත්තර මිල දී ගැනීම සීමා කරන විට ඒවාට ඇති ඉල්ලුම අඩු වේ. අනෙක් අතට, නියඟය නිසා වී වැවිය නොහැකි ඇතැම් කුඹුරු වල එළවළු වැවීම හේතුවෙන් එළවළු සැපයුම වැඩි වේ. රටේ ඉල්ලුම අඩුවුන බව කිකිළියන් දන්නේ නැති නිසා බිත්තර නිෂ්පාදනයද අඩු වෙන්නේ නැත. දැන් මේ එළවළු හා බිත්තර විකුණා ගන්නට විදිහක් නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ එළවළු හා බිත්තර වල මිල අඩුවීමයි. එවිට, නැවතත් හාල් හා පොල් වලින් බඩ පුරවාගන්නා අඩු හා පහළ මැදි ආදායම් ලබන පවුල් වලට එළවළුවක් බිත්තරයක් සමඟ කෑම කන්නට ඉඩක් ලැබේ.

පහළ හා පහළ මැදි ආදායම් ලබන පවුල් මෙන් හාල් හා පොල් වලට ආහාර වේලේ ලොකු බරක් නොදමන ඉහළ මැදි ආදායම් ලබන පවුල් වලට හාල් හා පොල් මිල ඉහළ යාම දැනෙන්නේ අඩුවෙනි. ඔවුන් අඩු ආදායම් ලබන පවුල් වලට සාපේක්ෂව එළවළු හා මස් මාළු වැඩිපුර ආහාරයට ගනිති. එළවළු හා බිත්තර මිල අඩු වීම නිසා දැන් මේ අයට තමන් පෙර ආහාර සඳහා වියදම් කළ මුදලින් කොටසක් ඉතිරි වේ. එම ඉතිරිය ඔවුහු මස් මාළු ආදිය මිලදී ගැනීමට වැය කරති. ඒ නිසා අඩු ආදායම් ලබන අයගේ මස් මාළු ඉල්ලුම අඩු වුනත්, ඉහළ ආදායම් ලබන අයගේ ඉල්ලුම වැඩි වන නිසා සමස්තයක් ලෙස සිදුවන්නේ ඉල්ලුම වැඩි වීමකි. ඒ නිසා, එළවළු හා බිත්තර වල මෙන් මස් හා මාළු වල මිල අඩු නොවේ. ඇතැම් විට තරමක් මිල වැඩි වේ. විශේෂයෙන්ම මාළු සැලකූ විට අඩු ආදායම් පවුල් වල තේරීම වන මිල අඩු පොඩි මාළු වර්ග වල මිල තරමක් හෝ අඩු වන්නටත්, ඉහළ ආදායම් ලබන අයගේ තේරීම වන මිල අධික ලොකු මාළු වර්ග වල මිල තරමක් වැඩි වන්නටත් ඉඩ ඇති බව අපට පෙනේ.

මේ සියල්ලේ ශුද්ධ ප්‍රතිඵලය ලෙස, සැපයුම් සාධක මත හාල් හා පොල් මිල විශාල ලෙස වැඩි වුවත් උද්ධමනයෙහි සැලකිය යුතු වෙනසක් නොවේ. පහත වගුවේ ඇත්තේ පසුගිය වසරක කාලය තුළ ලංකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් වෙනස් වී ඇති ආකාරයයි.



 (Image: https://nohopenofear.net/2012/03/12/eat-this-it-will-please-and-sustain-you-sri-lanka/)

Monday, January 11, 2016

සියවස් එකහමාරක් තුළ බඩු මිල ඉහළ ගිය හැටි


ලංකාවේ පළමු ලියාපදිංචි පුවත්පත වූ ලක්මිණිපහණ පළමු කලාපය එළිදැක්වී ඇත්තේ 1862 සැප්තැම්බර් මස 11 වන දිනය. මා මේ පුවත්පත කියවා නැත. කෙසේවුවද, මෑතකදී පළවූ දිනමිණ විශේෂාංගයක මේ පළමු ලක්මිණිපහණ කලාපයේ අන්තර්ගතය පිලිබඳ විස්තරයක් අඩංගුය. අදාල ලිපියේ ඇති තොරතුරු අතරින් මගේ විශේෂ අවධානයට ලක්වූයේ ඒ වන විට පැවති ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පිලිබඳ විස්තරයයි.

කඩල පළමුවෙනි තරමේ ඒවා සිලින් 8, දෙවෙනි තරමේ ඒවා බුසල සිලින් 7 පැන්ස 6.

කඩල බුසලක් රාත්තල් 60ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 27.25 පමණය. ඒ අනුව, කඩල කිලෝවක මිල සත 14 1/4-14 3/4 අතර වී ඇත.

සුදුහාල් පළමුවෙනි ත‍රමේ ඒවා සිලින් 6 පනම් 4, දෙවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6.

කාරහාල් පළමුවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 3, දෙවෙනි තරමේ ඒවා සිලින් 6, පැන්ස 2 1/2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6.

මෙහි ඇත්තේ හාල් බුසලක මිල විය යුතුය. ඒ අනුව සුදු හාල් කිලෝවක් සත 10 1/2 - 12 අතරත් කාර හාල් කිලෝවක් සත 11 3/4 - 12 අතරත් පැවතී ඇත.

තිරිඟු පිටි රාත්තල තුට්ටු 10 හෙවත් සත 15කි. පාන් ගෙඩිය තුට්ටු 6 හෙවත් සත 9කි. 

පොල් පළමුවෙනි තරමේ ඒවා 100 සිලින් 8 හා දෙවෙනි තරමේ ඒවා සිලින් 7 වේ.ඒ අනුව, පොල් ගෙඩියක මිල සත 3 1/2 - 4 අතරය.

පොල්තෙල් සේරුව පැන්ස 10 1/2කි. පොල්තෙල් සේරුවක මිලිලීටර 1024ක් පමණ ඇත. පැන්ස 10 1/2 යනු පනම් 7ක් හෙවත් සත 43 3/4කි. ඒ අනුව, පොල්තෙල් මිලිලීටර 750ක් සත 32කි.

ලුණු බුසල සිලින් 4කි. ලුණු බුසලක් රාත්තල් 50ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 22.7 පමණය. ඒ අනුව, ලුණු කිලෝවක මිල සත 8 3/4ක් පමණ වී ඇත.

මේ අයුරින් වියලි මිරිස්, සුදුළූනු, රටළූනු, මෙරටළූනු, කහ, කොත්තමල්ලි සහ අර්තාපල් වැනි තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයකම ඒ කාලයේ මිල මේ පුවත්පතේ සටහන් වී තිබේ.

මේ ආහාර ද්‍රව්‍ය සමහරක පසුගිය දෙසැම්බර් අවසානයේ සාමාන්‍ය වෙළඳපොළ මිල ගණන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක. පහත වගුවේ ඇත්තේ 1862 සැප්තැම්බර සහ 2015 දෙසැම්බර් අතර කාලය තුළ මේ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් වෙනස් වී ඇති ආකාරයයි. 




මේ ආහාර ද්‍රව්‍ය වල මිලගණන් අදාළ කාලය තුළ සාමාන්‍ය වශයෙන් 1066 ගුණයකින් වැඩි වී තිබේ. එහෙත්, මෙය එක් අයුරින්ම සිදුවී නැත. සමස්තයක් වශයෙන් ගත් කළ ආනයනික ආහාර ද්‍රව්‍ය වල මිලගණන් වැඩිවී ඇත්තේ රට තුල නිපදවන ආහාර ද්‍රව්‍ය වල මිලගණන් වැඩි වී ඇති අනුපාතයට වඩා අඩුවෙනි.

සියවස් එකහමාරකට පෙර අර්තාපල් හා රටළූණු මුළුමනින්ම පාහේ ආනයනය කරන්නට ඇතැයි විශ්වාස කළ හැක. ඒ නිසා වත්මන් මිල ගණන් සසඳා ඇත්තේ එම ද්‍රව්‍ය වල ආනයනික ප්‍රහේද වල මිලගණන් සමඟය. සංඛ්‍යාලේඛණ අනුව දේශීය අර්තාපල් හා රටළූණු වල මිල ආනයනික මිලට වඩා සැලකිය යුතු ලෙස වැඩිය.

සමස්තයක් වශයෙන් දහස් ගුණයකින් පමණ මිල ඉහළ යාමෙන් පෙන්නුම් කරන්නේ රුපියලේ අගය ආහාර ද්‍රවය වලට සාපේක්ෂව පිරිහී ඇති ආකාරයයි. ඒ අතර ඇති වෙනස්කම් මඟින් පෙන්වන්නේ සැපයුම් සාධක ඇතුළු වෙනත් සාධක වල බලපෑමයි.

දේශීය නිෂ්පාදන වල මිලගණන් වලට සාපේක්ෂව ආනයනික ද්‍රව්‍ය වල මිල අඩුවෙන් වැඩිවීමෙන් පෙන්නුම් කරන්නේ රට තුල ආහාර නිෂ්පාදන තාක්ෂණයේ සිදුවූ දියුණුව රටින් පිටත සිදුවී ඇති දියුණුවට වඩා අඩු බවයි. ඒ නිසා දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය වඩා විශාලය. එමෙන්ම, තෙල් මිල විශාල ලෙස වැඩිවීම මධ්‍යයේ වුවද ප්‍රවාහන හා ඇසිරුම් තාක්ෂණයේ දියුණුව නිසා රටින් පිට නිපදවන භාණ්ඩ ආනයනය කිරීම සාපේක්ෂව අඩු පිරිවැය කාර්යයක් වීමද මෙයට යම් තරමකින් ඉවහල් වූවා විය හැකිය.

ආදේශක ලෙස සැලකිය හැකි රතුළූණු සහ රටළූණු වල මිල වෙනස්වීම් කැපී පෙනේ. 1862දී ආනයනික රටළූණු විකිණී ඇත්තේ දේශීය රතුළූණු මෙන් හත් ගුණයක මිලකටය. එහෙත්, මේ වන විට රතුළූණු මිල රටළූණු මිලට වඩා වැඩිය.

එමෙන්ම, තිරිඟු පිටි වල මිල වැඩි වී ඇත්තේ අඩුවෙන් වුවත්, හාල් මිල සහ පාන් මිල වැඩි වී ඇත්තේ ආසන්න වශයෙන් එකම අනුපාතයකිනි. මෙයින් පෙන්වන්නේද දේශීය නිෂ්පාදන පිරිවැය සාපේක්ෂව වැඩි බවයි.

කාලයත් සමඟ රට තුළ ආනයනික ආහාර ද්‍රව්‍ය වඩා ආකර්ෂනීය වීමත්, අපේ කෘෂිකාර්මික අපනයන විදේශිකයින්ට අඩුවෙන් ආකර්ෂණීය වීමත් මේ මිලගණන් වෙනස් වී ඇති ආකාරය මඟින් පැහැදිලි කෙරේ. පුළුල් වන සෘණ වෙළඳ ශේෂය සඳහා මේ වෙනසද දායක වන්නට ඇත.

(Image: www.elakiri.com)