Showing posts with label සෞඛ්‍ය ආර්ථික විද්‍යාව. Show all posts
Showing posts with label සෞඛ්‍ය ආර්ථික විද්‍යාව. Show all posts

Thursday, August 17, 2017

දුම්වැටි භාවිතය අඩු වෙලාද?


"යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී" ඇති බවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් කර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධව අපි පසුගිය අප්‍රේල් මාසයේදී පැහැදිලි කිරීමක් කළෙමු. එහිදී අප විසින් පෙන්වා දෙනු ලැබුවේ 2016 අවසන් කාර්තුවේදී දුම්කොළ සමාගමේ ආදායම හා දුම්වැටි අලෙවියෙන් රජය ලබන බදු ආදායම පෙර කාර්තුවට සාපේක්ෂව විශාල ලෙස අඩුවී තිබුණත් එයට ප්‍රධාන හේතුව බව පෙනෙන්නේ අලෙවි නියෝජිතයින් විසින් බදු ඉහළ දැමීමට පෙර දුම්වැටි විශාල තොග මිලදී ගෙන ගබඩා කර ගැනීම හේතුවෙන් තෙවන කාර්තුව තුළ දුම්වැටි අලෙවිය විශාල ලෙස ඉහළ යාම බවයි. මේ තොග අවසන් වන විට දුම්වැටි සමාගමේ අලෙවි ආදායම් මෙන්ම රජයේ බදු ආදායමද ඉහළ යනු ඇති බවට අපි අනාවැකි පළ කළෙමු.

දුම්කොළ සමාගම විසින් දින තුනකට පෙර 2017 මුල් අර්ධය සඳහා වන විගණනය නොකළ ගිණුම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව, 2017 පළමු මාස 6 ඇතුළත දුම්කොළ සමාගමේ දළ ආදායම් රුපියල් බිලියන 67.2 දක්වා පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව රුපියල් බිලියන 7.6කින්ද, රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 51.9 දක්වා රුපියල් බිලියන 7.2කින්ද වැඩි වී තිබේ.

පසුගිය වසරේ තෙවන කාර්තුව තුළ දුම්වැටි වෙළඳ නියෝජිතයින් විසින් තොග ගබඩා කර ගැනීම නිසා දුම්වැටි අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් රජයට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 28.0 දක්වා ඉහළ ගියේය. බදු වැඩි කිරීමෙන් අනතුරුව, සිවුවන කාර්තුව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 14.8 දක්වා අඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවුණේ අවශ්‍ය දුම්වැටි තොග කලින්ම අලෙවි වී තිබීමයි. සෞඛ්‍ය ඇමතිවරයා විසින් රටේ දුම්පානය 48%කින් අඩු වී ඇති බව ප්‍රකාශ කළේනම් ඒ සඳහා පදනම් වන්නට ඇත්තේ රජයේ බදු ආදායමේ සිදුවූ ඉහත අඩු වීමයි.

මේ වසරේ දෙවන කාර්තුව තුළ පමණක් දුම්වැටි වලින් රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 28.1කි. මෙය 2016 අවසන් කාර්තුවේ බදු ආදායම මෙන් දෙගුණයකට ආසන්නය. ඒ අනුව, සෞඛ්‍ය ඇමතිවරයාගේ පරණ තර්කය අනුවනම් නිගමනය කළ යුත්තේ රටේ දුම්වැටි භාවිතය සමසක් තුළ දෙගුණ වී ඇති බවයි. 

එහෙත්, එය නිවැරදි තර්කයක් නොවේ. දුම්කොළ සමාගමේ ලාබ හෝ රජයේ බදු ආදායම් මත පදනම්ව රටේ දුම්වැටි භාවිතය වෙනස් වී ඇති ආකාරය නිවැරදිව පුරෝකථනය කිරීම කළ නොහැක්කකි. එහෙත්, දුම්වැටි භාවිතය විශාල ලෙස අඩු වී ඇති බවක්නම් මේ සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ.

බදු වැඩි කළද දුම්කොළ සමාගමේ ආදායම්, ලාබ මෙන්ම එමඟින් රජය උපයා ඇති බදු ආදායමද වෙනත් වසර වලදී මෙන්ම වැඩි වී ඇති බවනම් පැහැදිලිය. දුම්කොළ සමාගමේ ලාබ ඉහළ යාම නිසා නිෂ්පාදන බදු වලට අමතරව එම සමාගම විසින් රජයට ගෙවන ආදායම් බදුද 2017 පළමු අර්ධය තුළ පෙර වසරේ මුල් අර්ධයට සාපේක්ෂව රුපියල් බිලියනය ඉක්මවා වැඩි වී තිබේ.

Tuesday, August 1, 2017

ලාංකිකයින් වෛද්‍ය උපාධි ගන්නේ කුමන සරසවි වලින්ද?


සෑම වසරකම විදේශ උපාධිධාරී වෛද්‍යවරුන් විශාල පිරිසක් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ලංකාවේ වෛද්‍ය වෘත්තියට ඇතුලත් වෙති. මේ සිසුන් අධ්‍යාපනය ලබන්නේ ගුණාත්මක භාවය අතින් කොතැනක ඇති සරසවි වලද? ඒ වෙනුවෙන්, ඔවුන් කොපමණ මුදලක් වැය කරවනවාද?

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දත්ත අනුව, 2005-2010 අතර ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කළ විදේශ උපාධිධාරීන්ගෙන් 61%ක්ම ඔවුන්ගේ වෛද්‍ය උපාධි ලබාගෙන තිබුණේ වෛද්‍ය පීඨ අටකිනි. මේ අටෙන් පහක්ම රුසියන් සරසවි වල වෛද්‍ය පීඨ වන අතර ඉතිරි තුන බංග්ලාදේශ, නේපාල් හා ඉන්දියානු සරසවි වලට අනුබද්ධ වෛද්‍ය පීඨයි.

පහතින් ඇත්තේ මෙසේ ශ්‍රී ලාංකික සිසුන් වැඩිම පිරිසක් වෛද්‍ය උපාධි ලබාගන්නා විදෙස් වෛද්‍ය පීඨ හා ඒ සඳහා වැය කරන මුදලයි. සරසවි ලැයිස්තුගත කර ඇත්තේ 2005-2010 අතර වැඩිම සිසුන් පිරිසක් වෛද්‍ය උපාධි ලබා ලංකාවට පැමිණි අනුපිළිවෙළ අනුවය.

1.  KURSK STATE MEDICAL UNIVERSITY (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 136 ( මුළු සිසුන් ගණනින් 12.6% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 51%
webometrics ශ්‍රේණිගත කිරීම- 10,016
4icu.org ශ්‍රේණිගත කිරීම- 6,492
වසර හයක වියදම- ඩොලර් 37,200 (මෙයට පාඨමාලා ගාස්තු, නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ඇතුළත්ය.)
මූලාශ්‍රය: http://www.kurskeducation.com/fees-structure

2. University of Science and Technology Chittagong (BANGLADESH)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 122 ( මුළු සිසුන් ගණනින් 11.3% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 47%
webometrics ශ්‍රේණිගත කිරීම- 10,359
4icu.org ශ්‍රේණිගත කිරීම- 5,722
වසර හයක වියදම- ඩොලර් 35,900 (පාඨමාලා ගාස්තු හා පීඨයට ගෙවන අනෙකුත් ගාස්තු පමණි. නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ආදිය ඇතුළත් නැත.)
මූලාශ්‍රය: http://ustc.virtualdesignbd.com/index.php/article/load/94

3.  Nizhny Novgorod STATE MEDICAL ACADEMY (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 96 ( මුළු සිසුන් ගණනින් 8.9% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 44%
webometrics ශ්‍රේණිගත කිරීම- 7,153
4icu.org ශ්‍රේණිගත කිරීම- 5,809
වසර හයක වියදම- ඩොලර් 37,620 (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ඇතුළත්ය.)
මූලාශ්‍රය: https://static.secure.website/wscfus/193394/5607696/mbbs-in-russia-nizhny-novgorod-state-medical-university.pdf

4. Manipal College of Medical Sciences (NEPAL)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 76 ( මුළු සිසුන් ගණනින් 7.0% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 71%
webometrics ශ්‍රේණිගත කිරීම-
15,862
4icu.org ශ්‍රේණිගත කිරීම- සොයාගත නොහැකි විය.  
වසර හයක වියදම- ඩොලර් 75,000 (පාඨමාලා ගාස්තු පමණි.)
මූලාශ්‍රය: https://www.manipal.edu.np/mcoms/admission/fee-structure.html

5.  People's Friendship University (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 66 ( මුළු සිසුන් ගණනින් 6.1% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 70%
webometrics ශ්‍රේණිගත කිරීම- 2,178
4icu.org ශ්‍රේණිගත කිරීම- 1,217
වසර හයක වියදම- ඩොලර් 54,300 (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම් හා වෛද්‍ය රක්ෂණ ගාස්තු ඇතුළත්යැයි සිතමි. පාඨමාලා ගාස්තු පමණක් ඩොලර් 47,400කි.)
මූලාශ්‍ර: http://www.ruseducation.in/peoples-friendship-university-of-russia.html, http://www.rudn.ru/en_new/?pagec=1362

6. Manipal University (INDIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 64 ( මුළු සිසුන් ගණනින් 5.9% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 58%
webometrics ශ්‍රේණිගත කිරීම- 1,681
4icu.org ශ්‍රේණිගත කිරීම- 1,654
වසර හයක වියදම- ඩොලර් 207,700 (පාඨමාලා ගාස්තු පමණි.)
මූලාශ්‍රය: https://manipal.edu/mu/admission/international-students/undergraduate-admissions0/course-fee.html

7. St. Petersburg State Medical University (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 51 ( මුළු සිසුන් ගණනින් 4.7% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 34%
webometrics ශ්‍රේණිගත කිරීම-  සොයාගත නොහැකි විය.
4icu.org ශ්‍රේණිගත කිරීම- සොයාගත නොහැකි විය.
වසර හයක වියදම- ඩොලර් 28,220 (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම්, වෛද්‍ය රක්ෂණ ගාස්තු හා තවත් අමතර ගාස්තු කිහිපයක් ඇතුළත්ය.)
මූලාශ්‍ර: http://www.medstudies.org/mechnikov/

8. Tver State Medical University (RUSSIA)
උපාධි ලබා ඇති සිසුන් ගණන- 49 ( මුළු සිසුන් ගණනින් 4.5% කි.)
ERPM සමත් වී ඇති ප්‍රතිශතය- 35%
webometrics ශ්‍රේණිගත කිරීම-  12,969
4icu.org ශ්‍රේණිගත කිරීම- 4,838
වසර හයක වියදම- ඩොලර් 30,700 පමණ (මෙයට පාඨමාලා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, නේවාසිකාගාර වියදම්, වෛද්‍ය රක්ෂණ ගාස්තු හා තවත් අමතර ගාස්තු කිහිපයක් ඇතුළත්ය.)
මූලාශ්‍ර: http://www.medstudies.org/mechnikov/


(Image: http://gmfadmission.in/mbbs-in-abroad/)

Monday, July 31, 2017

ලාංකිකයින් වෛද්‍ය උපාධි ගන්නේ කුමන රටවලින්ද?

ලංකාවේ රජයේ සරසවි වල ප්‍රධාන වෛද්‍ය පීඨ අටෙන් එකකින් හෝ කොතලාවල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ගන්නා අයෙකුට වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ලියාපදිංචි වීම සාපේක්ෂව පහසු කටයුත්තකි. එහෙත්, විදේශ වෛද්‍ය උපාධියක් ගන්නා අයෙකු ඒ සඳහා පළමුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri Lanka Medical Council) විසින් පවත්වන විභාගයක් (ERPM- Examination for Registration to Practice Medicine) සමත් විය යුතුය. මෙය Act 16 Examination ලෙසද හැඳින්වුණේය.

ලෝකයේ පිළිගත් බටහිර වෛද්‍ය පීඨ වල උගන්වන න්‍යායාත්මක කරුණු වල විශාල වෙනස්කම් නැතත්, සාර්ථක ලෙස කිසියම් රටක වෛද්‍ය වෘත්තියේ යෙදීමට එම රටේ සෞඛ්‍ය සේවය පිළිබඳවත්, ලෙඩරෝග හා සංස්කෘතික කරුණු පිළිබඳවත් දැනුමක් වෛද්‍යවරයෙකුට අවශ්‍ය වේ. ඒ නිසා, බොහෝ විට කිසියම් රටක වෛද්‍ය උපාධියක් ලබාගත් අයෙකුට, වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය කොතරම් ඉහළ වුවත්, වෙනත් රටක වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරන්නට අවසර ලැබෙන්නේ එම රටට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුවය.

ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බොහෝ දෙනෙකු මුදල් ගෙවා හෝ ඇතැම් විට ශිෂ්‍යත්ව මත විදෙස් වෛද්‍ය උපාධි ලබාගනිති. ඔවුන් අතරින් ලංකාවේ වෛද්‍ය වරයෙකු ලෙස ලියාපදිංචි විය හැක්කේ ඉහත විභාගය සමත් වන අයට පමණි.



ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේඛණ අනුව, 2005 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා වසර හයක කාලය තුළ විදෙස් වෛද්‍ය උපාධිධාරීන් 1078 දෙනෙකුට ඉහත විභාගයට පෙනී සිටීම අනුමත වී ඇති අතර ඔවුන්ගෙන් 1015 දෙනෙකු විභාගයට පෙනී සිට තිබේ. විභාගයට පෙනී සිටි අයගෙන් හරි අඩක් එනම් 508 දෙනෙකු විභාගය සමත් වී තිබේ.

අයදුම්කරුවන්ගෙන් 51%ක් පමණම උපාධි ලබා ඇත්තේ රුසියාවෙනි. තවත් 8%ක් පමණ පැරණි සෝවියට් දේශයේ අනෙකුත් රටවලින් වෛද්‍ය උපාධි ලබාගෙන ඇති අතර 33%ක් උපාධි ලබාගෙන ඇත්තේ ඉන්දියාවෙන්, පකිස්ථානයෙන්, බංග්ලා දේශයෙන් හා නේපාලයෙනි. බටහිර රටවලින් (එංගලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන්) වෛද්‍ය උපාධි ලබාගෙන ඇත්තේ 2.6%ක් පමණි. තවත්, 2.4%ක් අප්‍රිකානු හා මැදපෙරදිග රටවලින්ද, 2.3%ක් චීනයෙන්ද වෛද්‍ය උපාධි ලබාගෙන තිබේ.

ඉහත කාලය තුළ වසරකට විභාගයට පෙනී සිට ඇති සාමාන්‍ය ගණන 169 දෙනෙකු වුවත්, මේ වසරේදී (2017) මෙම විභාගයට 598 දෙනෙකු පෙනී සිට ඇත. මෙයින් පෙනෙන්නේ විදෙස් වෛද්‍ය උපාධි ලබා ලංකාවට ආපසු පැමිණෙන ගණන පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස වැඩි වී ඇති බවයි. විභාගය අසමත්ව නැවත පෙනී සිටින්නන් විශාල පිරිසක්ද මේ අතර සිටින බව සිතිය හැකිය.

උපාධිය ලබාගත් රට මෙම විභාගය සමත් වීමට ඇති හැකියාව පිළිබඳ නිර්ණායකයක් බව පෙනෙන්නට නැත.



Sunday, September 25, 2016

ඇමරිකාවේ වෛද්‍යවරු

ඇමරිකාවේ සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් විශාල වැටුපක් ලබාගන්නා බව බොහෝ දෙනෙකු දන්නා දෙයකි. එහෙත්, ඇමරිකාවේ වැඩිම වැටුපක් ලබාගත හැකි තනතුර ප්‍රධාන විධායක නිලධාරී තනතුර නොවේ. වසරකට පෙර සිදු කළ සමීක්ෂණයකට අනුව මේ තනතුරට වැඩිම වැටුප් ලැබෙන තනතුරු අතරින් හිමි වුණේ දහවන තැනයි. පළමු ස්ථාන නවයම හිමි වුණේ විවිධ වෛද්‍ය වෘත්තිකයින්ටය.

පහතින් ඇත්තේ මෑතකදී (2015 නොවැම්බර් හා 2016 පෙබරවාරි අතර කාලය තුළ) වෛද්‍ය වෘත්තිකයින් 19,183 දෙනෙකු යොදාගෙන සිදු කළ සමීක්ෂණයක් අනුව, එක් එක් අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් උපයන වාර්ෂික ආදායමයි.





Monday, September 19, 2016

ලංකාවට වෛද්‍යවරු ප්‍රමාණවත්ද?

ඉල්ලුම් සැපයුම් බලවේග නිදහසේ තුලනය වන වෙළඳපොළක් නොවන ලංකාවේ වෛද්‍යවරුන් සඳහා වන වෙළඳපොළ කිහිප අයුරකින්ම නියාමනයට ලක්වන්නකි. පළමුව වෛද්‍ය අධ්‍යාපනයේ මිල සුබසාධනය කිරීම හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම වැඩි කර තිබේ. දෙවනුව, එහිම ප්‍රමාණය සීමා කිරීම මඟින් ඉල්ලුම හා සැපයුම අතර විශාල පරතරයක් ඇති කර තිබේ. තෙවනුව, වෛද්‍යවරුන්ට රැකියා සැපයීම කෙරෙහි ඇති රාජ්‍ය ඒකාධිකාරය උපයෝගී කර ගනිමින් රටේ වෛද්‍ය වෘත්තිකයින් ප්‍රමාණය හා ඔවුන්ට ගෙවන මිල පාලනය කර තිබේ. මේ අතර, දැනට රාජ්‍ය සේවයේ රැකියා කරන වෛද්‍ය වෘත්තිකයෝ කාටලයක් ලෙස ක්‍රියා කරමින් මෙසේ රජය විසින් පවත්වාගෙන යනු ලබන මිල හා ප්‍රමාණ රෙගුලාසිකරණයට බලපෑම් කරති. කෙසේ වුවද, ඔවුහු මේ වෙළඳපොළේ ඇති රාජ්‍ය ඒකාධිකාරය බිඳීමට උත්සාහ නොකරති. මෙවැනි අච්චාරුවක් වී ඇති වෙළඳපොලක පවතින සමතුලිතතාවය විශ්ලේෂණය කිරීම තරමක් සංකීර්ණ වැඩකි.

ලංකාවට වෛද්‍යවරු ප්‍රමාණවත්ද යන ප්‍රශ්නයට ඇත්තේ සාපේක්ෂ පිළිතුරකි. උදාහරණයක් ලෙස, ලෙඩ වීම දෙවියන්ගේ කැමැත්ත නිසා හෝ කර්මය නිසා වන බවත්, ප්‍රතිකාර ගැනීම යනු ඒ බලවේග වලට විරුද්ධ වීමක් බවත් සමාජයේ හැම දෙනාම සිතනවානම් රටකට වෛද්‍යවරු අවශ්‍යම නැත. එහෙත්, ලෝකයේ වැඩි දෙනෙකු එසේ නොසිතති. ඒ නිසා ලෝකයේ හැම රටකම වෛද්‍යවරුන් සඳහා කිසියම් ඉල්ලුමක් ඇත. ලංකාවේ ප්‍රමාණවත් තරමට වෛද්‍යවරු සිටිනවාද යන්න විමසීමේදී කිසියම් අයෙකුට ආනුභාවික දත්ත ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍යනම් කළ යුතු හොඳම දෙය වෙනත් රටවල හා කලාප වල පවතින තත්ත්වය සමඟ සැසඳීමයි.

පහතින් ඇත්තේ එවැනි අවශ්‍යතාවයක් ඇති අයෙකුට මූලාශ්‍ර කර ගත හැකි සංසන්දනාත්මක ලෝක බැංකු දත්ත අනුව එක් එක් තෝරාගත් රටේ හෝ කලාපයේ ජනගහණයෙන් දස ලක්ෂයකට සිටින වෛද්‍යවරු ගණනයි. වරහන් තුල ඇත්තේ වඩාත්ම යාවත්කාලීන දත්තය හා අදාළ වසරයි. තෝරාගත් රටවල් අතර නිදහස් සෞඛ්‍ය පහසුකම සියල්ලන්ටම ඇති හා නැති සංවර්ධිත රටවල්, පැරණි හා වත්මන් සමාජවාදී රටවල්, මුස්ලිම් රටවල්, කලාපීය රටවල් හා අඩු ආදායම් රටවල් ඇතුළත්ය.

ශ්‍රී ලංකාව -  680 (2010)
ඉන්දියාව - 743 (2011)
පකිස්තානය - 827 (2010)
මාල දිවයින - 1,415 (2010)
දකුණු ආසියාව - 675 (2011)
පහළ මැදි ආදායම් රටවල් - 754 (2011)
ලෝකය - 1,539 (2011)

චීනය - 1,940 (2012)
කියුබාව - 6,723 (2010)
රුසියාව - 4,309 (2010)
යුක්‍රේනය - 3,543 (2013)

ඇමරිකා එක්සත් ජනපදය - 2,452 (2011)
කැනඩාව - 2,068 (2010)
එක්සත් රාජධානිය - 2,809 (2013)
ජපානය - 2,297 (2010)
ඕස්ට්‍රේලියාව - 3,273 (2011)
ස්වීඩනය - 3,926 (2011)
සිංගප්පූරුව - 1,950 (2013)

සවුදි අරාබිය - 2,491 (2012)
කටාර් - 7,739 (2010)

උගන්ඩාව - 117 (2011)
සිම්බාබ්වේ -  83 (2011)

කිසියම් කර්මාන්තයක සුපිරි ලාභ ලැබීමේ ඉඩකඩක් පවතීනම් එයින් අදහස් වන්නේ එම කර්මාන්තයේ සැපයුම් හිඟයක් පවතින බවයි. යම් කර්මාන්තයක් කෙරෙහි අළුත් ව්‍යවසායකයන් විශාල ලෙස ආකර්ෂණය වන්නේනම් එයින් පෙන්නුම් කරන්නේ එම කර්මාන්තයේ සුපිරි ලාභ ඇති බවයි. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට ඇති විශාල තරඟය අමතක කළත්, මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගෙන මෙම කර්මාන්තයට පිවිසීමට ඇති විශාල ඉල්ලුමෙන් පෙනෙන්නේ මෙම කර්මාන්තයෙහි ආයෝජනයට හා අවදානමට සරිලන නිසි ලාභ ඉක්මවන සුපිරි ලාභ ඇති බවයි.


(Image: okpolicy.org)