Showing posts with label දේශීය ණය. Show all posts
Showing posts with label දේශීය ණය. Show all posts

Monday, June 26, 2023

දවස් පහේදී විය හැකි දේ...


දවස් පහක් බැංකු වහලා කියා කිවුවත් ඇත්තටම වෙලා තියෙන්නේ කොහොමටත් තිබුණු නිවාඩු දින අතරට විශේෂ බැංකු නිවාඩු දිනයක් එකතු කරන එකයි. කොහොම වුනත්, අවසාන ප්‍රතිඵලය විදිහට එක දිගට බැංකු නිවාඩු දින පහක් ලැබෙනවා. මේ දින පහ ඇතුළත රජය විසින් දේශීය ණය ප්‍රතිසංවිධානය කර අවසන් කිරීමට උත්සාහ දරන බව පේනවා. 

මෙහිදී විය හැකි දේ පිළිබඳව විස්තරාත්මක ලිපියක් බදාදා පමණ පළ කරන්න හිතාගෙන හිටියත් ඇතැම් පාඨක ප්‍රතිචාර අනුව මේ ගැන ඊට පෙර යමක් කිව යුතු බව පෙනෙනවා. නිදහසින් පසු කාලයක් තිස්සේ විශාල රජයක් නඩත්තු කරමින් සිදු කළ රාජ්‍ය මැදිහත් වීම් වල ප්‍රතිඵලයක් විදිහට පසුගිය වසරේ මුල් කාලයේ රටේ ආර්ථිකයේ ලොකු කඩා වැටීමක් සිදුවුනා. එයින් පසුව ගත වූ වසරකට වැඩි කාලය තුළ රටේ ආර්ථිකය ස්ථායීත්වය කරා සෑහෙන දුරක් ගමන් කර තිබෙනවා. මෙතෙක් ජයගෙන තිබෙන අභියෝග හා සැසඳූ විට මේ සති අන්තය තුළ පනින්න තිබෙන කඩුල්ල ගොඩක් උස එකක් නෙමෙයි. 

මේ සතිය අවසන් වන විට උද්ධමනය 12% ආසන්න මට්ටමකට පහත වැටී ඇති බව දැන ගන්න ලැබෙයි. ඇතැම් විට ආහාර උද්ධමනය තනි අංකයක් වී තිබිය හැකියි. ඉදිරි මාසය අවසන් වන විට උද්ධමනය කොහොමටත් තනි අංකයක් දක්වා අඩු වෙනවා. මීට සමාන්තරව පොලී අනුපාතිකද පහත වැටීමට තිබෙන ප්‍රධානම බාධාවක් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳව ඇති අවිනිශ්චිතතාවයයි.

දේශපාලනික ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය ගැන කලින් වැඩි දෙයක් කියන්නට නොහැකි වුවත්, අදාළ දේශපාලනික හා නීතිමය කටයුතු අපේක්ෂිත පරිදි අවසන් වුවහොත්, ලොකු වැස්සක් වැස පෑව්වාක් මෙන්, මේ දින පහේ නිවාඩුව අවසන් වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳව කාලයක් තිස්සේ පැවති අවිනිශ්චිතතා ඉවත් වී පොලී අනුපාතික ක්ෂණයකින් පහත වැටෙන්නට ඉඩ තිබෙනවා. 

පසුගිය සතියේදී සාර්ථක ලෙස සැම්බියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කෙරුණා. එහිදී ණය (මුහුණත අගය) කපා හැරීමක් සිදු වූයේ නැහැ. ඊට පෙර චාඩ් රාජ්‍යයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කෙරුණා. එහිදීද ණය (මුහුණත අගය) කපා හැරීමක් සිදු වූයේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලංකාවට ඉදිරිපත්ව ඇති කොන්දේසි ඉහත රටවලට ඉදිරිපත් වූ තරම්ම දැඩි කොන්දේසි නෙමෙයි. ඒ නිසා, ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේදී බොහෝ විට සිදු විය හැක්කේ පරිණත කාලය දිගු කිරීමක් හා පොලී අනුපාතික සීමා කිරීම මගින් ණය වල වත්මන් අගය පහත හෙලා ගනු ලැබීමක් (NPV reduction) පමණයි. 

ලංකාවේ විදේශ ණය වුවද කපා හරිනු ලැබීමේ ඉඩක් ලොකුවට පෙනෙන්නට නොමැති පසුබිමක දේශීය ණය කපා හරිනු ලැබීමක් කිසිසේත්ම සිදු විය නොහැකියි. සිදු වීමට ඉඩ ඇත්තේ පරිණත කාලය දිගු වන පරිදි ස්වේච්ඡා ණය හුවමාරුවක් පමණයි. 

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කෙරෙන බව කලින්ම පැහැදිලිව කියා තිබෙන දෙයක්. මෙය සිදු වන්නේ අලුත් මහ බැංකු පනත සම්මත කර ගනු ලැබීමට සමාන්තරවයි. එම බිල්පත් දිගුකාලීන කල් පිරීමක් සහිත ණය ලෙස පර්වර්තනය කිරීමට හෝ වෙනත් ආකාරයක පරිවර්තනයකට ලක් කිරීමට ඉඩ තිබෙනවා. සති අන්තය අවසන් වෙද්දී මේ ගැන වැඩි විස්තර දැන ගන්න ලැබෙයි. 

දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් වලින් සැලකිය යුතු කොටසක් මිල දී ගෙන තිබෙන්නේ මහ බැංකුව විසිනුයි. ඒ නිසා, එම බිල්පත් ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව වෙළඳපොළේ ඉතිරි වන්නේ සැලකිය යුතු තරම් අඩු බිල්පත් ප්‍රමාණයක්. මූල්‍ය වෙළඳපොළ සුමට ක්‍රියාකාරිත්වය සඳහා මෙන්ම මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාද යම් බිල්පත් ප්‍රමාණයක් ගනුදෙනු විය යුතුයි. ඒ නිසා, දැනට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර අනෙකුත් බිල්පත් හා අදාළව මේ සතිය අවසානයේදී හෝ ඉන් පසුව කිසිදු වෙනසක් සිදු වනු ඇතැයි මා සිතන්නේ නැහැ. මෑතකදී ඝානාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ අවස්ථාවේදීද බිල්පත් සම්බන්ධව කිසිවක් කළේ නැහැ. 

කෙසේ වුවද, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් ප්‍රතිව්‍යුහගත කළද වාණිජ බැංකු කෙරෙහි යම් තාක්ෂනික බලපෑමක් සිදු විය හැකියි. එක පැත්තකින් වාණිජ බැංකු ඔවුන්ගේ බිල්පත් ඇපයට තබා මහ බැංකුවෙන් ණය ගන්නවා. අනෙක් පැත්තෙන් මහ බැංකුවේ මුදල් තැන්පත් කර ඒ වෙනුවෙන් තාවකාලිකව මහ බැංකුව සතු බිල්පත් වල අයිතිය පවරා ගන්නවා. ඒ නිසා, මහ බැංකුව සතු බිල්පත් වල සිදුවන ආකෘතිමය වෙනසක බලපෑම වාණිජ බැංකු වල ගිණුම් තුළද පිළිබිඹු විය යුතුයි. ඒ අනුව පරිගණක දත්ත යාවත්කාලීන විය යුතුයි. බැංකු නිවාඩු දින තුළ සිදු වුවහොත් මේ වෙනස්කම් අවුලක් නැතිව කර ගැනීම පහසුයි. 

භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ ඉහත තත්ත්වය සෑහෙන තරමකින් පැහැදිලියි. මීට අමතරව භාණ්ඩාගාර බැඳුම්කර යම් ප්‍රමාණයක පරිණත කාලය දිගු වෙන පරිදි ස්වේච්ඡා හුවමාරුවක් සිදු විය හැකියි. ඝානාවේ සිදු වූයේ එවැන්නක්. භාණ්ඩාගාර බැඳුම්කර වැඩි ප්‍රමාණයක අයිතිය තිබෙන්නේ වාණිජ බැංකු හා සේවක අර්ථසාධක අරමුදල සතුවයි. මෙවැන්නක් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ කෙසේ වුවත් වාණිජ බැංකු වල කැමැත්ත ලබා ගැනීම තරමක අභියෝගයක්. විශාල පාඩුවක් වන්නේනම් බැංකු වලින් මේ කැමැත්ත ලැබෙන්නේ නැහැ.

එක්කෝ මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය විසින් මේ පිළිබඳව දැනටමත් වාණිජ බැංකු හා කතා කර අනියම් එකඟතාවයක් ලබාගෙන තිබෙනවා විය හැකියි. එය එසේනම්, සති අන්තයේදී කළ යුතුව තිබෙන්නේ තාක්ෂණික කටයුත්තක් පමණයි. එහෙත්, එවැන්නක් සිදු වී නැත්නම් සති අන්තය තුළ දෙපාර්ශ්වය අතර අදාළ සාකච්ඡා ආරම්භ වීමට ඉඩ තිබෙනවා. වෙනත් රටවල අත්දැකීම් අනුව, මෙවැනි සාකච්ඡා දවසකින් දෙකකින් අවසන් වී නැහැ. ඔය දෙකෙන් කොයි එක සිදු වුනත් බැඳුම්කර හුවමාරුවක් සිදු වනු ඇත්තේ බැංකු වල කැමැත්ත ඇතිව පමණයි. වෙනස තිබෙන්නේ මෙම එකඟතාවය ලබා ගැනීම සඳහා ගත විය හැකි කාලයේ.

කොහොම වුනත්, රටේ බැංකු පද්ධතිය කඩා වැටී රට විසාලා මහනුවරක් වනු දකින්නට කැමති අය රටේ ඕනෑ තරම් සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නෙමෙයි. පාඨක ප්‍රතිචාර දෙස බැලුවත් එවැනි දේශපාලන අභිලාශ ඇති අය හඳුනාගත හැකියි. ඉහත පරිවර්තනය සිදු වන සංක්‍රාන්තික සමය බැංකු පද්ධතිය පිළිබඳ විශ්වාසය බිඳ දැමීම සඳහා කටයුතු කරන සංවිධානාත්මක කල්ලියකට හෝ අසංවිධානත්මක එකමුතුවකට පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි කාලයක්. ඊට අමතරව මෙවැනි සංක්‍රාන්තික අවස්ථාවක මුදල් යහමින් ඇති අයෙකුට තොරතුරු අනෙක් අයට පෙර ලබා ගැනීම මගින් විශාල අනිසි වාසියක් ලැබිය හැකියි. එය වැළැක්විය හැක්කේ අදාළ කටයුතු මුළුමනින්ම අවසන් වන තුරු බැංකු හා කොටස් වෙළඳපොළ වසා තැබීමෙන් පමණයි. 

මහ බැංකුව විසින් පොලී අනුපාතික වෙනස් කරන අවස්ථාවක වුවත් මෙවැනි තත්ත්වයක් තිබෙනවා. කිසිවෙකුට අදාළ තීරණය කලින් දැනගන්නට ඉඩ නොතබා කලින් දැනුම් දී ඇති නිශ්චිත මොහොතක සියල්ලන්ටම එකවර මෙවැනි ප්‍රතිපත්ති තීරණ පිළිබඳව දැනුම් දෙන්නේ ඒ නිසා. ලෝකයේ වෙනත් රටවල මහ බැංකු කටයුතු කරන්නේද එලෙසයි. එතෙක්, මෙම තීරණය ගැන දන්නා මහ බැංකුවේ නිලධාරීන් විසින් දැඩි වගකීමකින් යුතුව තීරණය පිළිබඳ රහස්‍යභාවය රකිනවා.

මහ බැංකුවේ නිලධාරීන් මෙන්ම වාණිජ බැංකු වල අදාළ නිලධාරීන්ද රහස්‍යභාවය අවශ්‍ය පරිදි රැකීම පිළිබඳව ආචාර ධාර්මික පළපුරුද්දක් ඇති අයයි. එහෙත් අවාසනාවකට මෙන් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් සියලු දෙනාම එවැන්නන් නෙමෙයි. එමෙන්ම සාමාන්‍ය මූලධර්මයක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු රහසිගතව නොව, පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතුයි. 

ඉහත කී ප්‍රශ්න දෙකම එනම් ඇතැම් අය අනිසි ලාබ සොයන්නට යාමේ ඉඩකඩ සහ තවත් අය අනිසි බිය පැතිරවීමේ ඉඩකඩ ඇති වන්නේ ස්වේච්ඡා ණය හුවමාරුවක් සිදු විය හැකි සංක්‍රාන්ති කාලය තුළ පමණයි. අදාළ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසුව සිදු වී ඇති දේ සියල්ලන්ටම දැන ගත හැකි නිසා කොටස් වෙළඳපොළ හා බැංකු නැවත විවෘත වීමෙන් පසුව කිසිවෙකුට විශේෂ වාසියක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. 

කෙසේ වුවත්, දින පහක කාලය තුළ අවශ්‍ය නීතිමය කටයුතු අවසන් කර ගැනීමේ දේශපාලනික අභියෝගය මෙන්ම වාණිජ බැංකු හා දැනටමත් එකඟතාවයන් ඇති කරගෙන නැත්නම් එවැනි එකඟතා ඇති කර ගැනීමේ අභියෝගයද ඉතිරිව තිබෙනවා.

Friday, June 16, 2023

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද?


මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා.

ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල් අමාත්‍යංශය විසින් රජයේ ණය ප්‍රමාණ පිළිබඳ "අලුත්ම" තත්ත්වය ටික දවසකට කලින් වාර්තා කළා. අලුත්ම නොකියා "අලුත්ම" කිවුවේ මේ තියෙන්නෙත් මාර්තු 31 පැවති තත්ත්වය නිසා. මීට කලින් "අලුත්ම" තත්ත්වය වුනේ පෙර වසර අවසානයේදී පැවති තත්ත්වය. 

පහත වගුවේ විස්තරාත්මකව පෙන්වා ඇති පරිදි, පෙර වසර අවසානයේදී ඩොලර් මිලියන 84,703ක් වූ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය මාර්තු අවසානය වෙද්දී ඩොලර් මිලියන 91,561 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 6,858ක වැඩි වීමක්. ඩොලර් බිලියන හතකට ආසන්නයි.

ඒ කියන්නේ රජය විසින් ඔය මාස තුනට අලුතෙන් ඩොලර් බිලියන හතක් පමණ ණය අරගෙනද?

පළමුව, මෙහි තිබෙන්නේ සමස්ත රාජ්‍ය අංශයේ ණය. මධ්‍යම රජයේ ණය වගේම මහ බැංකුවේ සහ රාජ්‍ය සංස්ථා වල ණයත් මෙම ගණනට ඇතුළත්. දෙවනුව, මේ ණය වලට විදේශ ණය මෙන්ම දේශීය ණයද ඇතුළත්. අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශ ණයහිමියන් වෙනුවෙන් නිසා රුපියල් ණයද ඇමරිකන් ඩොලර් වලින් පෙන්වා තිබෙනවා. 

මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය කොටස පමණක් වෙන් කර ගත්තොත් ඩොලර් මිලියන 44,243 සිට ඩොලර් මිලියන 44,203 දක්වා ඩොලර් මිලියන 200ක අඩු වීමක් පෙනෙනවා. ඒ කියන්නේ ඔය කාලය ඇතුළත ලබාගත් යම් විදේශ ණය ප්‍රමාණයක් ඇත්නම් එම මුළු ප්‍රමාණය සහ තවත් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයක් විදේශ ණය ආපසු ගෙවීම සඳහා යොදවා තිබෙනවා. 

මේ විදිහට ආපසු ගෙවා තියෙන්නේ, බොහෝ දුරට, ඔය කාලය තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර. ආපසු ගෙවා තිබෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 208ක්. ඩොලර් ණයට නොගෙන ඩොලර් ණය ගෙවනවා කියන්නේ රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන ඩොලර් වලින් ණය ගෙවනවා කියන එකයි. සුළුවෙන් හෝ ණය ආපසු ගෙවීමට අමතරව ඔය කාලය තුළ විදේශ ණය වෙනුවෙන් පොලී ලෙසද සැලකිය යුතු මුදලක් ගෙවන්න ඇති.

රුපියල් නොවන විදේශ ණය සියල්ල ඇමරිකන් ඩොලර් වලින් ගත් ණය නෙමෙයි. යුරෝ, යෙන්, යුවාන් ආදී වෙනත් මුදල් වලින් ගත් ණය ඔය ගොඩේ තිබෙනවා. විණිමය අනුපාතය වෙනස් වෙද්දී එම ණය වල ඩොලර් අගය වෙනස් වෙනවා. මාස තුන ඇතුළත පොඩි පොඩි අඩුවැඩිවීම් වලට හේතුව මෙයයි. උදාහරණයක් විදිහට මහ බැංකුවේ මුදල් හුවමාරු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 25කින් අඩු වී තිබෙන්නේ යුවානයේ අගය පිරිහීම නිසා මිසක් එම මුදල ආපසු ගෙවූ නිසා නෙමෙයි. ඔය වගේ වෙනස්වීම් දෙපැත්තටම වෙන්න පුළුවන්.

ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 6,858කින් වැඩි වී තියෙන්නේ විදේශ ණය මිලියන 200කින් අඩු වෙද්දී දේශීය ණය වල ඩොලර් අගය රුපියල් මිලියන 7,058කින් ඉහළ ගොස් ඇති නිසා. රුපියල් ණය වල ඩොලර් අගය මාස තුනකදී මිලියන 38,682 සිට මිලියන 45,713 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ වැඩිවීමට ප්‍රධානම හේතුව මාර්තු අවසානයේදී ඩොලරයක මිල විශාල ලෙස පහත වැටීමයි. පෙර වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 363.11ක්. මාර්තු 31 වන විට ඩොලරයක මිල රුපියල් 327.29 දක්වා පහත වැටිලා. ඒ අනුව, පෙර වසර අවසන් වෙද්දී අරගෙන තිබුණු රුපියල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 14,046ක් (=38,682*363.11). එම රුපියල් ණය ප්‍රමාණයේම ඩොලර් අගය මාර්තු අවසාන වෙද්දී ඩොලර් වලින් මිලියන 42,916 දක්වා ඉහළ ගොස් තිබෙනවා (=14,046/327.29). ඒ කියන්නේ ඩොලර් වලින් බැලූ විට මිලියන 4,234ක වැඩි වීමක්. 

ඉහත කොටස ඉවත් කළාට පසුව, ඉතිරි ඩොලර් මිලියන 2,824 රුපියල් ණය වල ඇත්තම වැඩි වීම. එම ප්‍රමාණය රුපියල් වලින් බිලියන 924ක් පමණ. වසරේ පළමු මාස තුන ඇතුළත භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 4,126 සිට රුපියල් බිලියන 4,636 දක්වා රුපියල් බිලියන 510කින් ඉහළ ගොස් තිබෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 8,722 සිට රුපියල් බිලියන 9,131 දක්වා රුපියල් බිලියන 409කින් ඉහළ ගොස් තිබෙනවා. දෙවර්ගයේම වැඩිවීම රුපියල් බිලියන 919ක්. ඉහත ඇස්තමේන්තුවට ආසන්නව සමානයි.

පෙර වසර අවසානයේදී වූ රුපියල් බිලියන 14,046ක ණය ප්‍රමාණය තවත් රුපියල් බිලියන 919කින් ඉහළ යනවා කියන්නේ මාස තුනකදී 6.5%ක වැඩි වීමක්. ඒ කියන්නේ 26%ක පමණ වාර්ෂික පොලියක් එකතු වීමක් වැනි දෙයක්. ඔය කාලයේ පොලී අනුපාතික තිබුණේ 26%කට වඩා වැඩි හෝ ආසන්න මට්ටමක. පොලී අනුපාතික 26% මට්ටමේ තියෙද්දී තියෙන භාණ්ඩාගාර බිල්පත් ටිකම කල් පිරෙද්දී නැවත අලුත් කළ විට, අලුතෙන් සතයක්වත් ණය ගත්තේ නැතත්, මාස තුනක කාලයකදී ණය ප්‍රමාණයේ 6.5%ක වැඩි වීමක් වෙනවා. 

පසුගිය සතිය වන විට (ජූනි 8) භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 5,192 දක්වා ඉහළ ගිහින්. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 9,032 දක්වා අඩු වෙලා. ඒ  කියන්නේ තවත් රුපියල් බිලියන 457ක පමණ වැඩි වීමක්. ජූනි 8 වන විට ඩොලරයක මිල රුපියල් 290.97 දක්වා පහත වැටී තිබුණා. ඒ නිසා, පසුගිය සතියේ ගණන් බැලුවානම් ඔය ණය ප්‍රමාණය තවත් ඩොලර් බිලියන හතකටත් වඩා වැඩියෙන් වැඩි වී ඩොලර් බිලියන 99ක් පමණ වෙනවා. නමුත් දැන් නැවතත් ඩොලරයක මිල ටිකක් ඉහළ ගිහින් නිසා පොඩ්ඩක් අඩු වෙලා ඇති. 

ඩොලරයක මිල ඉහළ යන තරමට රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය පහත වැටෙනවා. ඩොලරයක මිල අඩු වෙද්දී ඔය අගය ඉහළ යනවා. මේක වෙන්නේ කවුරුවත් ණය අරගෙන ගිලින නිසා නෙමෙයි. 

ඉහත වගුව අනුව පෙර වසර අවසානයේදී මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 84,703ක්නේ. එදින පැවති විණිමය අනුපාතය සලකා (රුපියල් 363.11) රුපියල් කළොත් රුපියල් බිලියන 3,076ක්. මාර්තු අවසාන වෙද්දී මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 91,561ක්. එදින පැවති විණිමය අනුපාතය සලකා (රුපියල් 327.29) රුපියල් කළොත් රුපියල් බිලියන 2,997ක්. ඒ කියන්නේ මාස තුනක් ඇතුළත රුපියල් බිලියන 79කින් ණය අඩු වෙලා!

දැන් විණිමය අනුපාතය අනුව ගණනය කළොත් රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය රුපියල් වලින් තවත් අඩු වෙලා ඇති. හැබැයි ඔය විදිහට ණය අඩු වී ඇති බව පෙන්වන එකත්, ඩොලර් බිලියන නවයක් ණය අරගෙන කියනවා වගේම වැරදි අර්ථකථනය කිරීමක් පමණයි. කාලයක් ලංකාවේ ණය වැඩි වීම නොපෙන්වා හිටියේ ඔය ක්‍රමයට. 

Saturday, May 27, 2023

ඝානාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ ආකාරය


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වුනොත් එහි බලපෑම කුමක්ද? මෙය කාලයක් තිස්සේ කිහිප දෙනෙකු විසින්ම අසමින් සිටින ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට වැඩි කල් නොගොස් මේ ප්‍රශ්නයට නියම පිළිතුර නියම තැන් වලින්ම ලැබෙයි. මේ වගේ ප්‍රශ්නයකට පැත්තක ඉඳලා දෙන්න පුළුවන් අනුමාන පිළිතුරු වල ඒ තරම්ම තේරුමක් නැහැ.

කෙසේ වුවත්, අදාළ දැන් තැන් වල සිටින පුද්ගලයින් විසින් දැනටම වටින් ගොඩින් කියා තිබෙන දේවල් අනුව විය හැකි දේ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. එහෙම කියා තිබෙන එක දෙයක් වන්නේ මෙවැන්නක් කරනවානම් කරන්නේ ස්වේච්ඡා පදනම මත කියන එක. 

ලංකාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළොත් එය කරන විදිහ ඝානාව ඔය වැඩේ කරපු විදිහට කිට්ටු විදිහක් වෙන්න ඉඩ තිබෙනවා. ඉතා කෙටියෙන් කිවුවොත්, ඝානාව බැඳුම්කර වල අවසන් ගෙවීම කප්පාදු කළේ නැහැ. ඔවුන් කළේ කල් පිරෙන කාලය දිගු කිරීම සහ කූපන් පොලී අනුපාතික සීමා කරන එකයි. මේ වගේ ක්‍රමයකින් ලංකාවටත් අවශ්‍ය ඉලක්ක වලට පහසුවෙන්ම යන්න පුළුවන්.

දැන් මම ඝානාව කරපු දේ තරමක් විස්තරාත්මක ලෙස ඉදිරිපත් කරන්නම්. බැඳුම්කර වලින් විශාල කොටසක් හා අදාළව ඝානාව කළේ අලුතෙන් බැඳුම්කර 12ක් නිකුත් කරලා දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර එම අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කිරීමේ අවස්ථාව ලබා දීමයි. මේ අලුත් බැඳුම්කර 2027 සිට 2038 දක්වා කාලය තුළ කල් පිරෙනවා. කල් පිරීමේ කාලය වැඩි වෙද්දී කූපන් පොලී අනුපාතික 8.35% සිට 10% දක්වා ක්‍රමික ලෙස වැඩි වෙනවා. ඒ පහත ආකාරයටයි.

1. 2023-GC-1 බැඳුම්කරය: කල් පිරීම 2027, කූපන් පොලිය 8.35%, ප්‍රතිශතය 9%

2. 2023-GC-2 බැඳුම්කරය: කල් පිරීම 2028, කූපන් පොලිය 8.50%, ප්‍රතිශතය 9%

3. 2023-GC-3 බැඳුම්කරය: කල් පිරීම 2029, කූපන් පොලිය 8.65%, ප්‍රතිශතය 9%

4. 2023-GC-4 බැඳුම්කරය: කල් පිරීම 2030, කූපන් පොලිය 8.80%, ප්‍රතිශතය 9%

5. 2023-GC-5 බැඳුම්කරය: කල් පිරීම 2031, කූපන් පොලිය 8.95%, ප්‍රතිශතය 8%

6. 2023-GC-6 බැඳුම්කරය: කල් පිරීම 2032, කූපන් පොලිය 9.10%, ප්‍රතිශතය 8%

7. 2023-GC-7 බැඳුම්කරය: කල් පිරීම 2033, කූපන් පොලිය 9.25%, ප්‍රතිශතය 8%

8. 2023-GC-8 බැඳුම්කරය: කල් පිරීම 2034, කූපන් පොලිය 9.40%, ප්‍රතිශතය 8%

9. 2023-GC-9 බැඳුම්කරය: කල් පිරීම 2035, කූපන් පොලිය 8.55%, ප්‍රතිශතය 8%

10. 2023-GC-10 බැඳුම්කරය: කල් පිරීම 2036, කූපන් පොලිය 9.70%, ප්‍රතිශතය 8%

11. 2023-GC-11 බැඳුම්කරය: කල් පිරීම 2037, කූපන් පොලිය 9.85%, ප්‍රතිශතය 8%

12. 2023-GC-12 බැඳුම්කරය: කල් පිරීම 2038, කූපන් පොලිය 10.00%, ප්‍රතිශතය 8%

හුවමාරු කිරීමේ අවස්ථාව දෙනවා කිවුවත්, එයින් අදහස් වෙන්නේ ඉහත කී බැඳුම්කර වලින් කැමති එකක් එක්ක හුවමාරු කරගන්න පුළුවන් කියන එක නෙමෙයි. දැන් තියෙන බැඳුම්කරයක් වෙනුවට ඔය බැඳුම්කර දොළහෙන්ම යම් ප්‍රමාණයක් ලැබෙනවා. අන්තිමට තියෙන්නේ ඒ විදිහට ලැබෙන අනුපාතය. 2023 වර්ෂයෙන් පසුව කල් පිරෙන ඕනෑම බැඳුම්කරයක් හුවමාරු කර ගනිද්දී ඒ වෙනුවට ඔය අනුපාතයට බැඳුම්කර වෙන් කෙරෙනවා.

අපි හිතමු 2024දී කල් පිරෙන රුපියල් 100ක බැඳුම්කරයක් ඔය විදිහට හුවමාරු කළා කියලා. දැන් ඒ වෙනුවට 2027 කල් පිරෙන රුපියල් 9ක බැඳුම්කරයක් ලැබෙනවා. 2028 කල් පිරෙන තවත් රුපියල් 9ක බැඳුම්කරයක් ලැබෙනවා. ඔය විදිහට ගිහින් අන්තිම රුපියල් 8 වෙනුවෙන් 2038 කල් පිරෙන බැඳුම්කරයක් ලැබෙනවා. 

අවසාන වශයෙන් පොරොන්දු වූ මුල් මුදල ඒ විදිහටම ලැබෙනවා. නමුත් 2024දී නෙමෙයි. 2027-2038 කාලය තුළ කොටස් වශයෙන්. එම කාලය තුළ එක් එක් කොටස වෙනුවෙන් 8.35% සිට 10% දක්වා වන කූපන් පොලියකුත් ලැබෙනවා. 

සාමාන්‍ය තත්ත්වය ඔය වගේ වුනත් 2023 වසර තුළ කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් විශේෂයක් කරලා තිබෙනවා. එම බැඳුම්කර ඉහත අලුත් බැඳුම්කර දොළහ එක්ක හුවමාරු නොකර මුල් හත එක්ක පමණක් හුවමාරු කරගන්න පුළුවන්. ඒ මේ විදිහට.

1. 2023-GC-1 බැඳුම්කරය: කල් පිරීම 2027, කූපන් පොලිය 8.35%, ප්‍රතිශතය 15%

2. 2023-GC-2 බැඳුම්කරය: කල් පිරීම 2028, කූපන් පොලිය 8.50%, ප්‍රතිශතය 15%

3. 2023-GC-3 බැඳුම්කරය: කල් පිරීම 2029, කූපන් පොලිය 8.65%, ප්‍රතිශතය 14%

4. 2023-GC-4 බැඳුම්කරය: කල් පිරීම 2030, කූපන් පොලිය 8.80%, ප්‍රතිශතය 14%

5. 2023-GC-5 බැඳුම්කරය: කල් පිරීම 2031, කූපන් පොලිය 8.95%, ප්‍රතිශතය 14%

6. 2023-GC-6 බැඳුම්කරය: කල් පිරීම 2032, කූපන් පොලිය 9.10%, ප්‍රතිශතය 14%

7. 2023-GC-7 බැඳුම්කරය: කල් පිරීම 2033, කූපන් පොලිය 9.25%, ප්‍රතිශතය 14%

මෙයින් අදහස් වන්නේ 2023 කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් පමණක් මුල් මුදල ටිකක් කලින් ආපසු ලැබෙනවා කියන එකයි. මුල් මුදල ආපසු ගන්න 2038 දක්වා ඉන්න අවශ්‍ය නැහැ. 2033 දක්වා සිටියහම ඇති.

තවත් වැදගත් කරුණක්. ඔය අලුත් බැඳුම්කර දොළහෙන් කොයි එකකට වුනත් සඳහන්ව තිබෙන කූපන් පොලිය ඒ විදිහටම මුදලින් ලැබෙන්නේ 2027 වර්ෂයෙන් පසුවයි. ඊට කලින් අදාළ දිනයේදී මුදලෙන් ලැබෙන්නේ 5%ක් පමණයි. ඉතිරි කොටස ගෙවන්නේ බැඳුම්කර වලින්. උදාහරණයක් විදිහට 2023-GC-1 වෙනුවෙන් මුදලින් 5%ක් සහ බැඳුම්කර වලින් 3.35%ක්. 2023-GC-7 වෙනුවෙන් මුදලින් 5%ක් සහ බැඳුම්කර වලින් 4.25%ක්. මේ විදිහට පොලී වල කොටසක් වෙනුවෙන් ලැබෙන බැඳුම්කර වලටත් 2027 සිට ඔය පිළිවෙලටම මුදලින් කූපන් පොලී ලැබෙනවා. 

මේ ක්‍රම දෙකට අමතරව ආයතනික නොවන පුද්ගල ආයෝජකයින් සඳහා වෙනම ක්‍රමයක් තිබෙනවා. ඔවුන්ට මුල් මුදලින් 50%ක් 2027දීත් ඉතිරි 50% 2028දීත් ලැබෙන පරිදි වෙනත් බැඳුම්කර දෙකක් ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් 2023 සිටම 10%ක කූපන් පොලියක් මුදලින්ම ලැබෙනවා. විශ්‍රාමිකයන්ටනම් 15%ක කූපන් පොලියක් ලැබෙනවා. කොහොම වුනත්, බැඳුම්කර වලින් වැඩි කොටසක් හුවමාරු වෙන්නේ මුලින් කියපු ක්‍රමයට. 

මේ වැඩෙන් රජයට ලැබෙන වාසිය කුමක්ද? 

ලංකාවේ වගේම ඝානාවේ IMF වැඩපිළිවෙළ හදලා තියෙන්නෙත් වැඩපිළිවෙළ ඉදිරියට යද්දී ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වෙන විදිහට. කිසියම් රටක් විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගටම පවත්වා ගත්තොත්, යම් නිශ්චිත අවම ආර්ථික වර්ධනයක් තිබෙනවානම්, කවදා හරි දවසක ඒ රටේ ණය ගෙවිලා අවසන් වෙනවා. දවස තීරණය වෙන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය කීයද, සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය කොපමණද, දදේනියට සාපේක්ෂව දැන් ණය බර කොපමණද යන කරුණු මත. මේ අතරවාරයේ යම් කාලයක් යන තුරු තවදුරටත් ණය ඉහළ යන නමුත් දදේනි ප්‍රතිශතයක් ලෙස ණය අඩු වෙනවා. මෙය සිදු වෙන විදිහ ගණිතය උපයෝගී කරගෙන පෙන්වන්න පුළුවන්. එය පසුවට තියමු. 

ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගටම තියෙනවා කියන්නේ රජයට ණය ගන්න අවශ්‍ය වෙන්නේ දැනට අරගෙන තිබෙන ණය පියවන්න සහ පොලී ගෙවන්න පමණයි කියන එක. දැනට අරගෙන තිබෙන ණය කොහොමටත් කවදා හරි ගෙවී අවසන් වෙනවානම්, ණය ප්‍රතිවුහගත කිරීමකදී වෙන්නේ රජය විසින් ණය ගෙවන විදිහ සැලසුම් කරගැනීමක් කියා කියන්නත් පුළුවන්. කල් පිරෙන කාලය දිගු කිරීම මගින් මේ වැඩේ ප්‍රසස්ථම විදිහට කරන්න පුළුවන්. මේ කතාව මේ විදිහටම ලංකාවටත් අදාළයි. 

දැන් මෙතැනදී කිසිම ණය කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ. පොලිය වුනත් නොගෙවා ඉන්නේ නැහැ. ණය ආපසු ගෙවන්න වැඩි කාලයක් ගත්තත් ඒ කාලය වෙනුවෙන් සාධාරණ පොලියක් ගෙවනවා. හැබැයි කිසිදු වසරකදී රජය ණය ගෙවාගන්න බැරුව හිරවෙන්නේ නැහැ. ඕනෑම වසරකදී ණය හා පොලී ආපසු ගෙවීම් රජයේ ආදායමෙන් යම් ප්‍රතිශතයක් නොඉක්මන විදිහට තමයි කල් පිරීම් ආකෘතිය වෙනස් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ රජය පැත්තෙන් ප්‍රශ්නය විසඳිලා.

රජය පැත්තෙන් ප්‍රශ්නය විසඳුනා කියලා හරියන්නේ නැහැනේ. ණයහිමියන්ගේ පැත්තෙනුත් මේ වැඩේ ආකර්ශනීය විය යුතුයි. ඒක වෙන්නේ මෙහෙමයි.

ඝානාව සැලසුම් කරන්නේ උද්ධමනය 8% මට්ටමේ තියාගන්න. ඒ අනුව, 8.3%-10% අතර පොලියක් කියන්නේ උද්ධමනය ඉක්මවන සාධාරණ පොලියක්. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් 1.15%ක මූර්ත පොලියක්. ඒක නරකම පොලියක් නෙමෙයි. නමුත්, වසරකින් ලැබෙන්න තිබෙන සල්ලි වසර 15කින් ලැබෙනවා කියන්නේ ඔය කාලය ඇතුළත හිරවීමක් වෙන්න පුළුවන් කියන එක. මේ අවදානම නිසා ණයහිමියෙක් තමන්ගේ බැඳුම්කර හුවමාරු කර ගැනීම ගැන දෙවරක් හිතනවා.

ඉහත කී ද්‍රවශීලතා ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඝානාව ද්‍රවශීලතා අරමුදලක් හදලා තිබෙනවා. ඒ වගේම එම අරමුදලෙන් පහසුකම් ලබා ගැනීම සඳහා යොදාගත හැක්කේ අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වර්ග පමණයි. පරණ බැඳුම්කර තියලා මේ පහසුකම ලබා ගන්න බැහැ. ගොඩක් බැංකු තමන්ගේ බැඳුම්කර හුවමාරු කරන්න පෙළඹී තියෙන්නේ මේ සීමා කිරීම නිසා. 

ලංකාවේ වැඩසටහනේ ඉලක්කය උද්ධමනය 5% මට්ටමේ තියාගෙන පොලී අනුපාතික 6.7% වගේ මට්ටමක තියා ගන්න එක. ඒ කියන්නේ ඝානාවේ ක්‍රමයට යනවානම් 6.7% කූපන් පොලියක් ගෙවමින් කල් පිරීමේ කාලය දිගු කිරීමක්. ඔය මට්ටමේ කූපන් පොලියක් වෙනුවෙන් තමන්ගේ බැඳුම්කර හුවමාරු කරගන්න ලංකාවේ බැංකු ඇතුළු ණයහිමියෝ කැමති නොවෙන්න පුළුවන්. කාලයකට පෙරම (2014දී) 2044දී කල් පිරෙන බැඳුම්කර නිකුත් කරලා තියෙන්නේ 13.5% තරම් ඉහළ කූපන් පොලියකට. ඒ අර්බුද එන්න ගොඩක් කලින්. ඒ නිසා, 2044 වැනි ඈත වර්ෂයක් දක්වා කල් පිරීමේ කාලය දිගු කළත්, ඔය මට්ටමේ ඉහළ කූපන් පොලියක් ගෙවන්නේ නැත්නම් කවුරුවත් තමන්ගේ බැඳුම්කර හුවමාරු කර ගනියි කියලා හිතන්න අමාරුයි. 

කලින් කියපු පරිදි, 2044 වගේ ඈත වසරකදී කල් පිරෙන බැඳුම්කර ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කරන එක වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. මොකද රජයේ සහ මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය 5% මගේ මට්ටමක තියාගන්න එකනම් 13.5% වගේ කූපන් පොලියක් ඔය ඉලක්කයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ 7% ආසන්න කූපන් පොලියක්. නමුත්, 13.5% පොලියක් ලැබෙන්න තියෙද්දී ණය හිමියෙක් කැමැත්තෙන්ම අඩු කූපන් පොලියක් භාර ගන්නෙත් නැහැ. 

කෙටිකාලීනව කල් පිරෙන බැඳුම්කර වලට මේ කතාව අදාළ නැහැ. අවුරුද්දකට පමණ පසුව පොලී අනුපාතික 7% වගේ මට්ටමකට අඩු වෙලා ඉදිරි වසර 20ක පමණ කාලය පුරාවට ඒ මට්ටමේ පවතිනවා කියලා පේනවානම් දිගුකාලීනව 8%ක කූපන් පොලියක් ලැබෙන බැඳුම්කරයකට මාරු වෙන එක ණයහිමියන්ට වාසිදායක තේරීමක්. ඒ නිසා යම් ස්වේච්ඡා හුවමාරුවක් වෙන්න පුළුවන්. හැබැයි එවැන්නක් විය හැක්කේ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ එකදිගටම ක්‍රියාත්මක වීම පිළිබදව තිබෙන විශ්වාසය මත පදනම්වයි. 

එවැනි විශ්වාසයක් බැංකු ඇතුළු දේශීය ණයහිමියන්ට තිබෙනවද? මම හිතන්නේ එවැනි විශ්වාසයක් නැහැ. ඉදිරි කාලයේ සිදු විය හැකි දේශපාලන ප්‍රවණතා නිසා අනාගතයේ බොහෝ දේවල් වෙන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ මේ විදිහටම අවුරුදු විස්සක් තිහක් එක දිගටම ක්‍රියාත්මක වෙයි කියලා සහතික වෙන්න පුළුවන් කාටද? 

ඉහත හේතුව නිසා කෙටිකාලීන හා මැදිකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර 8% වැනි මට්ටමක කූපන් පොලියක් ලබා දෙන දිගුකාලීන බැඳුම්කර එක්ක හුවමාරු කරන එක වුනත් අමාරු වැඩක්. මෙය කළ හැකි එක් ක්‍රමයක්නම් උද්ධමනය හා බැඳුණු කූපන් පොලී ගෙවන බැඳුම්කර නිකුත් කිරීමයි. උදාහරණයක් වෙනුවට 7%ක ස්ථිර කූපන් පොලියක් වෙනුවට උද්ධමනයට වඩා 2%කින් වැඩි කූපන් පොලියක්. උද්ධමනය 5%නම් වියදමේ වෙනසක් නැහැ. නමුත් යම් හෙයකින් උද්ධමනය සීමාව පැන්නොත් එහි පාඩුව රජයට විඳගන්න වෙනවා. මේ ආකාරයේ ප්‍රතිව්‍යුහගත කිරීමක් කළොත් ණයහිමියන්ගේ පැත්තෙන් සාර්ව ආර්ථික වැඩපිළිවෙළ ගැන තිබෙන සැක සංකා ඉවත් වෙනවා.