Showing posts with label ලාභය. Show all posts
Showing posts with label ලාභය. Show all posts
Saturday, September 16, 2017
හැදෙන පිපිරෙන මිල බුබුළු
ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මේ වන විට මිල බුබුලක් වර්ධනය වෙමින් පවතින බව මේ දින වල සාකච්ඡාවට බඳුන් වන කරුණකි. මේ ගැන කතා කරන්නට පෙර මිල බුබුලක් යනු කුමක්දැයි හඳුනාගත යුතුය.
මේ ගැන කතා කරන ඇතැම් අය මෙය ඔවුන් කොහෙන් හෝ අහුලාගෙන ඇති "ධනවාදයේ ව්‍යුහාත්මක අවධි" ගැන සම්බන්ධ කරමින් කතා කළත් මිල බුබුළු වල ඉතිහාසය සියවස් ගණනක් ඈතට දිව යන්නකි. දැනට නිශ්චිත වාර්තා ඇති, බොහෝ දෙනෙකු දන්නා ඕලන්දයේ ටියුලිප් බුබුල ඇති වී, වර්ධනය වී, බිඳ වැටුණේ කාල් මාක්ස් ඉපදෙන්නටත් සියවස් දෙකකට කලිනි. ඒ වන විට යුරෝපයේ කාර්මික විප්ලවය හෝ ඇරැඹී නොතිබුණේය.
දහසයවන සියවසේ අගභාගය වන විට එවකට ලෝක බලවතුන් වූ ස්පාඤ්ඤයට හා පෘතුගාලයට අභියෝගයක් වෙමින් ජාත්‍යන්තර වෙළඳාමේ ආධිපත්‍යය ඕලන්දය විසින් හිමි කර ගනිමින් සිටි අතර ඕලන්දයේ ස්වර්ණමය යුගය ඇරඹුනේය. පෘතුගීසීන් විසින් පාලනය කළ ලංකාවේ පහතරට ප්‍රදේශ වල පාලනය ලන්දේසීන් සතුවීමද මේ රැල්ලටම සිදුවූවක් වුවත් මේ කතා කරන කාලය ඊට පෙර කාලයකි.
ජාත්‍යන්තර වෙළඳාම හරහා පොහොසතුන් වී සිටි ලන්දේසීන් සිය ධනවත්කම ප්‍රදර්ශනය කරමින් මන්දිර ගොඩ නගද්දී ඕලන්දය එවකට ලෝකයේ වැඩියෙන්ම නාගරිකරණය වූ රටක් බවට පත් විය. මේ අලුත් ධනවතුන් සිය ධනවත්කම ප්‍රදර්ශනය කළ හැකි සංකේත වෙනුවෙන් ලොකු මිලක් ගෙවන්නට සූදානම්ව සිටියේය.
දැන් ලෝකයේ ප්‍රධානම ටියුලිප් අපනයනකරු නෙදර්ලන්තය (පැරණි ඕලන්දය) වුවත්, මේ කාලය වන විට ඕලන්දයේ ටියුලිප් නොතිබුණේය. ටියුලිප් ශාකය තුර්කියෙන් ඕලන්දයට පැමිණෙන්නේ 1593 වසරේදීය. ඉතා වර්ණවත් මල් සහිත මේ ශාකයට ඕලන්දයේ ඉහළම ධනවතුන් අතර සැලකිය යුතු ඉල්ලුමක් ඇති විය.
ලංකාවට සෙල්ටෙල් පැමිණි කාලයේ සිදුවුනාක් මෙන් ටික කළක් යද්දී තමන්ගේ වත්තේ ටියුලිප් පඳුරක් තිබීම ඕලන්ද වැසියෙකුගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන සංකේතයක් බවට පත් විය. ඒ සමඟම තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන්නට අවශ්‍ය වූ තවත් බොහෝ දෙනෙකුට වත්තේ ටියුලිප් පඳුරක් වවන්නට අවශ්‍ය විය. මේ නිසා, ටියුලිප් අල වලට විශාල ඉල්ලුමක් ඇති විය.
ඉල්ලුමක් ඇති විට ඉල්ලුම හඳුනාගන්නා නිෂ්පාදකයෝ සැපයුම ඉහළ දමති. එහෙත්, ටියුලිප් ශාකයකින් වසරක් තුළ බල්බ එකකට හෝ දෙකකට වඩා ලබාගත නොහැකිය. මේ නිසා, ඉල්ලුම වැඩි වන වේගයෙන් සැපයුම වැඩි වුණේ නැත.
ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති වූ විට ඒ වෙනස සමනය කරන්නේ මිල යාන්ත්‍රණයයි. ඒ අනුව, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන තුරු ටියුලිප් බල්බ වල මිල ඉහළ ගියේය. මිල ඉහළ යනවිට ධනවත්කමේ සංකේතයක් ලෙස ටියුලිප් වල වටිනාකම තවත් ඉහළ යයි. එවිට, ඉල්ලුම නැවත වටයකින් වැඩි වේ. නමුත්, සැපයුම සීමිතය. මේ නිසා, කෙටි කලක් තුළ මිල ඉතා වේගයෙන් ඉහළ යන්නට විය. මුල් කාලයේදී මේ අයුරින් ඉතා විශාල මිලකට අලෙවි වුණේ දුර්ලභ ටියුලිප් ප්‍රභේදයි. සාමාන්‍ය ටියුලිප් ප්‍රභේද අලෙවි වුණේ සාපේක්ෂව අඩු මිලකටය.
කෙසේවුවද, 1630 පමණ වන විට ටියුලිප් ඉල්ලුමේ ස්වභාවය වෙනස් වන්නට විය. මුල් කාලයේදී ටියුලිප් බල්බ මිල දී ගත් අය එසේ කළේ ඒවා තමන්ගේ වත්තේ රෝපණය කිරීමේ අරමුණින් වුවත්, මිල වෙනස් වන වේගය අනුව මේ කාලය වන විට ටියුලිප් බල්බ මිලදී ගෙන ටික කලකට පසු නැවත විකිණීම ඉතා හොඳ ආයෝජනයක් බවට පත් වී තිබුණේය. ඒ නිසා, ටියුලිප් බල්බ ඇත්තටම අවශ්‍ය නොවූ අයත් කෙටි කලකින් මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස සිතමින්, ඇතැම් විට සිය දේපොළ උගස් කර ණය ගනිමින්, ටියුලිප් බල්බ මිල දී ගන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය ටියුලිප් ප්‍රභේද වල මිල පවා විශාල ලෙස ඉහළ ගියේය.
ටියුලිප් වෙළඳපොළේ මිල බුබුලක් ඇති වීම නිසා ඇතැම් දුර්ලභ ටියුලිප් බල්බ වල මිල ධනවත් වෙළෙන්දෙකුගේ වාර්ෂික ආදායම තරමට, එසේත් නැත්නම් වඩුවෙකුගේ වසර 20ක ආදායම තරමට ඉහළ ගියේය. මිල බුබුලක් ඇති වන්නේද ඉල්ලුම හා සැපයුම මත වුවත්, සැපයුමට වඩා විශාල වේගයකින් ඉල්ලුම ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා ටික කලක් යද්දී මේ ඉල්ලුම අඩු වන්නට පටන් ගනී. එවිට, මිල වැඩි වන වේගය ක්‍රමයෙන් අඩුවී එහි උපරිමය කරා ළඟා වේ. ඉන්පසුව මිල ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනී.
මෙය සිදුවන විට, නැවත විකිණීම සඳහා භාණ්ඩය මිල දී ගත් අය සිය අලාහ අවම කර ගැනීම පිණිස හැකි ඉක්මණින් එය විකුණා දමන්නට උත්සාහ කරන නිසා එක වර සැපයුම විශාල ලෙස ඉහළ යයි. එහෙත්, ඒ වන විට අදාළ භාණ්ඩයට සැලකිය යුතු ඉල්ලුමක් තව දුරටත් නැත. එහි ප්‍රතිඵලයද ඉල්ලුම හා සැපයුම අතර විශාල අසමතුලිතතාවයකි. ඒ අනුව, නැවතත් මිල යාන්ත්‍රනය ක්‍රියාත්මක වීම නිසා භාණ්ඩයේ මිල ක්ෂණිකව විශාල ලෙස පහත වැටේ. එවිට, ඉක්මණින් ධනවත් වන්නට බලාගෙන දේපොළ උගස් තබා භාණ්ඩය මිල දී ගත් අයට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වේ.
ඕලන්දයේ සිදු වුනේද මෙයයි. 1637 පෙබරවාරි මාසය වන විට ටියුලිප් බල්බ වල මිල එහි උපරිමය කරා ළඟා වූ අතර ඉන්පසු ටියුලිප් බුබුල බිඳ වැටුණේය. බල්බයක මිල ඉතා කෙටි කලක් තුළ 90%කින් පමණ පහත වැටුණේය. 1638 මැයි මාසයේදී සිංහල හමුදා වල උදවුවෙන් ලන්දේසීන් විසින් එවකට පෘතුගීසින් සතුව පැවති මඩකලපුව කොටුවේ බලය අල්ලාගන්නා විට ටියුලිප් බුබුල බිඳ වැටී වසරක් ගත වී තිබුණේය.
මෙවැනි මිල බුබුළු දැනටත් දුලබ නැත. කොටස් වෙළඳපොළ, නිවාස වෙළඳපොළ හා විදේශ විණිමය වෙළඳපොළ වැනි තැන්වල සමපේක්ෂණය නිසා ඇති වන මිල බුබුළු කලින් කලට දැකිය හැකිය.
මිල බුබුලක් ඇති වීමේ ආරම්භක අවස්ථාව මූල්‍ය උපකරණයකට හෝ වෙනත් කිසියම් භාණ්ඩයකට ඇති ඉල්ලුම කෙටි කලක් තුළ ස්වභාවික ලෙසම විශාල ලෙස වැඩිවීම හේතුවෙන් සිදුවන මිල ඉහළ යාමයි. මෙය ස්ථිර ඉල්ලුමක් නිසා සිදුවන දෙයක් මිස බුබුලක් නොවේ. මෙවැනි මිල ඉහළ යාමක් මිල බුබුලක් බවට පත් වන්නේ මිල ඉහළ යාමේ වාසිය ලබා ගැනීමේ අරමුණින්ම අදාළ මූල්‍ය උපකරණය හෝ භාණ්ඩය මිලදී ගන්නන් නිසාය.
ඉහත පරිදි මිල බුබුළු හඹන්නන් බොහෝ විට එසේ කරන්නේ කොයි මොහොතක හෝ බුබුල පුපුරන බව දැන දැනමය. එය එවැන්නන් විසින් ගන්නා අවදානමකි.
මිල බුබුලක් පිපිරීම රටක ආර්ථිකයට කෙටිකාලීන බලපෑමක් කරන්නට ඉඩ ඇතත් ඒ හේතුවෙන් ආර්ථිකයක් ගොඩගන්නට නොහැකි පරිදි බිඳ වැටෙන්නේ නැත. ටියුලිප් බුබුල පුපුරා ගිය පමණින් ඕලන්දයේ ස්වර්ණමය යුගය අවසන් නොවූ අතර ඔවුන් ලංකාවේ සිය ආධිපත්‍යය පැතිරවුයේ ටියුලිප් බුබුල පිපිරී දශක කිහිපයකට පසුවය. එමෙන්ම අඩු වශයෙන් ටියුලිප් බල්බ නිපදවීමේ කර්මාන්තය හෝ බිඳ වැටුනේ නැත. නෙදර්ලන්තය අදටත් ලෝකයේ ප්‍රධානම ටියුලිප් අපනයනකරු ලෙස සැලකිය යුතු විදේශ විණිමයක් උපයයි.
බුබුළු පිපිරීම යනු බුබුළු ඇතිවීම නිසා සිදුවන තාවකාලික මිල වෙනස්වීම නැවත නිවැරදි කරන ස්වභාවික යාන්ත්‍රණයක් මිස "ධනවාදයේ කඩාවැටීමක්" හෝ වෙනත් අමුතු දෙයක් නොවේ. මිල බුබුලක් බිඳ වැටුණද අදාළ භාණ්ඩයේ දිගුකාලීන ඉල්ලුම මත තීරණය වන මිල මට්ටමේ එය තව දුරටත් රැඳේ. ඒ නිසා, මිල බුබුළු වලට ඕනෑවට වඩා බිය විය යුතු නැත.
Labels:
ඉල්ලුම හා සැපයුම,
ඕලන්දය,
ධනවාදය,
මිල බුබුළු,
ලාභය,
වත්කම්
Thursday, August 17, 2017
දුම්වැටි භාවිතය අඩු වෙලාද?
"යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී" ඇති බවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් කර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධව අපි පසුගිය අප්‍රේල් මාසයේදී පැහැදිලි කිරීමක් කළෙමු. එහිදී අප විසින් පෙන්වා දෙනු ලැබුවේ 2016 අවසන් කාර්තුවේදී දුම්කොළ සමාගමේ ආදායම හා දුම්වැටි අලෙවියෙන් රජය ලබන බදු ආදායම පෙර කාර්තුවට සාපේක්ෂව විශාල ලෙස අඩුවී තිබුණත් එයට ප්‍රධාන හේතුව බව පෙනෙන්නේ අලෙවි නියෝජිතයින් විසින් බදු ඉහළ දැමීමට පෙර දුම්වැටි විශාල තොග මිලදී ගෙන ගබඩා කර ගැනීම හේතුවෙන් තෙවන කාර්තුව තුළ දුම්වැටි අලෙවිය විශාල ලෙස ඉහළ යාම බවයි. මේ තොග අවසන් වන විට දුම්වැටි සමාගමේ අලෙවි ආදායම් මෙන්ම රජයේ බදු ආදායමද ඉහළ යනු ඇති බවට අපි අනාවැකි පළ කළෙමු.
දුම්කොළ සමාගම විසින් දින තුනකට පෙර 2017 මුල් අර්ධය සඳහා වන විගණනය නොකළ ගිණුම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර තිබේ.
ඒ අනුව, 2017 පළමු මාස 6 ඇතුළත දුම්කොළ සමාගමේ දළ ආදායම් රුපියල් බිලියන 67.2 දක්වා පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව රුපියල් බිලියන 7.6කින්ද, රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 51.9 දක්වා රුපියල් බිලියන 7.2කින්ද වැඩි වී තිබේ.
පසුගිය වසරේ තෙවන කාර්තුව තුළ දුම්වැටි වෙළඳ නියෝජිතයින් විසින් තොග ගබඩා කර ගැනීම නිසා දුම්වැටි අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් රජයට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 28.0 දක්වා ඉහළ ගියේය. බදු වැඩි කිරීමෙන් අනතුරුව, සිවුවන කාර්තුව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 14.8 දක්වා අඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවුණේ අවශ්‍ය දුම්වැටි තොග කලින්ම අලෙවි වී තිබීමයි. සෞඛ්‍ය ඇමතිවරයා විසින් රටේ දුම්පානය 48%කින් අඩු වී ඇති බව ප්‍රකාශ කළේනම් ඒ සඳහා පදනම් වන්නට ඇත්තේ රජයේ බදු ආදායමේ සිදුවූ ඉහත අඩු වීමයි.
මේ වසරේ දෙවන කාර්තුව තුළ පමණක් දුම්වැටි වලින් රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 28.1කි. මෙය 2016 අවසන් කාර්තුවේ බදු ආදායම මෙන් දෙගුණයකට ආසන්නය. ඒ අනුව, සෞඛ්‍ය ඇමතිවරයාගේ පරණ තර්කය අනුවනම් නිගමනය කළ යුත්තේ රටේ දුම්වැටි භාවිතය සමසක් තුළ දෙගුණ වී ඇති බවයි.
එහෙත්, එය නිවැරදි තර්කයක් නොවේ. දුම්කොළ සමාගමේ ලාබ හෝ රජයේ බදු ආදායම් මත පදනම්ව රටේ දුම්වැටි භාවිතය වෙනස් වී ඇති ආකාරය නිවැරදිව පුරෝකථනය කිරීම කළ නොහැක්කකි. එහෙත්, දුම්වැටි භාවිතය විශාල ලෙස අඩු වී ඇති බවක්නම් මේ සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ.
බදු වැඩි කළද දුම්කොළ සමාගමේ ආදායම්, ලාබ මෙන්ම එමඟින් රජය උපයා ඇති බදු ආදායමද වෙනත් වසර වලදී මෙන්ම වැඩි වී ඇති බවනම් පැහැදිලිය. දුම්කොළ සමාගමේ ලාබ ඉහළ යාම නිසා නිෂ්පාදන බදු වලට අමතරව එම සමාගම විසින් රජයට ගෙවන ආදායම් බදුද 2017 පළමු අර්ධය තුළ පෙර වසරේ මුල් අර්ධයට සාපේක්ෂව රුපියල් බිලියනය ඉක්මවා වැඩි වී තිබේ.
Labels:
බදු,
රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති,
ලාභය,
සෞඛ්‍ය ආර්ථික විද්‍යාව,
සෞඛ්‍යය
Friday, June 30, 2017
අධ්‍යාපනය විකිණීම වැරදිද?
ඇතැම් අය සිතා සිටින්නේ අධ්‍යාපනය යනු මිල කළ නොහැකි, විකිණිය නොයුතු, හා කිසියම් පිරිසක් (රජය) විසින් මධ්‍යගතව සැලසුම් කළ යුතු, වෙනත් භාණ්ඩ හා සේවා වලට වඩා වෙනස් දෙයක් බවයි. එසේ සිතන අයට කිසිදු සැලසුම්කරුවෙකු නැතිව අධ්‍යාපන සේවා වෙළදපොලක් කාර්යක්ෂමව පැවතිය හැකි බව සිතාගන්නට නොහැකිය. ඒ නිසා ඔවුහු අධ්‍යාපන සේවා සැපයීම "හරියට" සැලසුම් කිරීම සඳහා රජයට කැමැත්තෙන්ම මුදල් ගෙවති. ඉන් පසුව, තමන් අපේක්ෂා කළ අරමුණ ඉටු නොවන විට සැලසුම්කරුට චෝදනා කරති.
එහෙත්, වැරැද්ද බොහෝ විට තිබෙන්නේ සැලසුමේ හෝ සැලසුම්කරුගේ නොව අධ්‍යපනය "හරියට" සැලසුම් කරන්නට යන ආකෘතියේ බව තේරුම් නොගනිති. අධ්‍යාපන සේවා සැපයීම මධ්‍යගතව සැලසුම් නොකර එය කාර්යක්ෂමව සිදු විය නොහැකි බවට වන අදහස කෙතරම් ජනගතව ඇත්දැයි විමසූ විට පෙනෙන්නේ කාලයක් තිස්සේ සැලසුම් සහගත ලෙස වැරදි න්‍යායයන් ප්‍රචලිත කිරීම සඳහා ගැනුණු සංවිධානාත්මක උත්සාහයන් හේතුවෙන් සිදුවී ඇති බලපෑමේ තරමයි.
අඩු වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ වන ඕනෑම ක්‍රියාවලියක් තුළ මිල සාධකය තිබේ. එය පැහැදිලිව පෙනෙන්නට නැත්නම් සැඟවී තිබේ.
ගුරුවරයෙකු විසින් සිසුවෙකුට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය එහි මූලික ලක්ෂණ අනුව වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොලෙහි විකිණීමේ අවස්ථාවකින් කිසිසේත්ම වෙනස් නොවේ. මෙහිදී ගුරුවරයා නිෂ්පාදකයාය. ඔහු පිරිවැයක් දරමින් අධ්‍යාපන සේවා නිෂ්පාදනය කරයි. සිසුවා වැඩිහිටියෙක්නම් ඔහු පාරිභෝගිකයාය. වැඩිහිටියෙක් නොවේනම් පාරිභෝගිකයා ඔහුගේ මව, පියා හෝ වෙනත් වැඩිහිටි භාරකරුවෙකු විය හැක.
දෙදෙනෙකු අතර ස්වේච්ඡා ගනුදෙනුවක් සිදුවන සෑම විටකම පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද සතුටු වෙති. දෙදෙනාටම වාසිද සැලසේ. නිෂ්පාදකයාට ලාභ ආන්තිකයක් ලැබෙන අතර පාරිභෝගිකයාට පාරිභෝගික අතිරික්තයක් හිමි වේ. අපි ගනුදෙනු කිහිපයකදී මෙය සිදුවන ආකාරය විමසා බලමු.
ආරම්භයක් ලෙස අපි පහත උදාහරණය දෙස බලමු.
වැඩිහිටි සිසුවෙකු ඉංග්‍රීසි කතාකිරීම ඉගෙන ගැනීමට පෞද්ගලික පන්තියකට යයි. මේ අවස්ථාවේදී, සිසුවා ගුරුවරයාට කිසියම් නිශ්චිත මුදලක් ගෙවයි. ගුරුවරයා එම මුදල ලබාගෙන සිසුවාට ඉංග්‍රීසි උගන්වයි. දැනට මේ සරල උදාහරණය ගන්නේ වඩා සංකීර්ණ උදාහරණ වෙත පසුව යන්නට ප්‍රවේශයක් වශයෙනි.
මෙහි සිසුවා පාරිභෝගිකයාය. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගැනීම වෙනුවෙන් පිරිවැයක් දරයි. ඔහු ගුරුවරයාට ගෙවන මුදල මේ පිරිවැයෙහි කොටසකි. එහෙත්, එම මුදල ඔහුගේ මුළු පිරිවැය නොවේ. පන්තියට යාමට ඔහුට වැය වන බස් ගාස්තුද එහි කොටසකි. පාඨමාලාවට අදාළ පොත් හා ලිපි ද්‍රව්‍ය වෙනුවෙන් තවත් මුදලක් වැය වේ. ගුරුවරයාට ගෙවන මුදලට අමතරව සිසුවා විසින් මේ වියදම්ද දැරිය යුතුය. මේ සියල්ලේ එකතුවද ඔහුගේ මුළු පිරිවැය නොවේ. අතින් මුදලක් නොගියත්, පන්තියට සහභාගී වීමට හා ගෙදරදී අභ්‍යාස කිරීමට ගතවන කාලයද ඔහුගේ ආවස්ථික පිරිවැයේ කොටසකි. එම කාලය තුළ ඔහුට වෙනත් යමක් කර කිසියම් මුදලක් ඉපැයීමේ ඉඩක් ඇත්නම් එයද පිරිවැයට එකතු විය යුතුය. ඒ කාලය තුළ ටෙලිනාට්‍යයක් බලන්නට තිබුණු අවස්ථාව මඟ හැරීමද එහිම කොටසකි. ඒ නිසා ඇති වන අසතුට කිසියම් නිශ්චිත මුදලක් නැති වූ විට ඇතිවන අසතුටට සමාන කළ හැකිය.
මේ සියලු පිරිවැය දරාගෙන සිසුවා ඉංග්‍රීසි ඉගෙන ගන්නේ එයින් ඔහුට ලැබෙන ලාභය වැය කරන පිරිවැයට වඩා වැඩි බැවිනි. ඉංග්‍රීසි කතා කරන්නට පුළුවන් වූ විට වඩා හොඳ රැකියාවක් කරන්නට ඉඩ සැලසේ. එවිට ආදායම ඉහළ යයි. මෙය ජීවිත කාලය පුරාවට දිගටම, එසේ නැත්නම් විශ්‍රාම යන තුරු ලැබෙන සෘජු මුදල් වාසියකි. ඊට අමතරව ඉංග්‍රීසි කතා කළ හැකි වූ විට සමාජයේ තැනක් ලැබේ. මේ හේතුවෙන් මුදල් නොලැබුනත් එමඟින් ලැබෙන සතුට කිසියම් මුදලකට සමාන කළ හැකිය.
ඉහතින් විස්තර කළ වාසි හා අවාසි සිසුවාගෙන් සිසුවාට වෙනස් වේ. අයෙකුගේ වාසි අවාසි වලට වඩා වැඩිය. ඔහු පන්තියට යයි. තවත් අයෙකුගේ වාසි වලට වඩා අවාසි වැඩිය. ඔහු පන්තියට නොයයි. අයෙකුගේ වාසි හා අවාසි සමානය. ඔහුට ගියත් එකයි නැතත් එකයි වගේය. ඒ නිසා යන්නත් පුළුවන. නොයන්නත් පුළුවන.
දැන් පන්ති ගාස්තු වැඩි වුනොත් වෙන්නේ කුමක්ද? සියලුම පාරිභෝගිකයින්ගේ එනම් ඉංග්‍රීසි කතා කරන්නට කැමැත්තෙන් සිටි අයගේ වියදම් කොටස ඉහළ යයි. වාසි කොටසේ වෙනසක් නොවේ. ඒ නිසා කලින් ශුද්ධ වාසියක් තිබුණු ඇතැම් අයට දැන් ශුද්ධ අවාසියක් සිදු වේ. ඒ නිසා පන්තියට එන සිසුන් ගණන අඩු වේ. මේ අයුරින්ම, පන්ති ගාස්තු අඩුවන විට පැමිණෙන සිසුන් ගණන වැඩි වේ.
පන්ති ගාස්තු වෙනස් නොවී බස් ගාස්තු වැඩි වූ විටද මේ අයුරින්ම පන්තියට ඇති ඉල්ලුම අඩු වේ. එහෙත් එහි බලපෑම පෙර මෙන් සියලු සිසුන්ට එකසේ ඇති එකක් නොවේ. මේ වෙලාවේ පන්තියට ආසන්නව සිටින, පයින් හෝ බයිසිකලයකින් එන සිසුන් පන්තියෙන් හැලෙන්නේ නැත. ඒ වෙනුවට පන්තියට වඩා දුරින් සිටින සිසුන් පිරිසක් හැලේ.
දැන් අපි මෙහි නිෂ්පාදකයා වන ගුරුවරයාගේ පැත්ත බලමු. පන්තිය වෙනුවෙන් ඔහුට තැනක් කුලියට ගන්නට සිදු වේ. ඒ සඳහා ඔහු මුදලක් ගෙවිය යුතුය. එහි පැමිණෙන්නට ප්‍රවාහන වියදම්ද දැරිය යුතුය. උගන්වන්නට සහ ඒ සඳහා සූදානම් වීමට ඔහු වැය කරන්නේ ඔහුට වෙනත් දෙයක් සඳහා වැය කළ හැකි කාලයයි. ඔහු ඉංග්‍රීසි පන්තිය කරන්නේ පන්ති ගාස්තු ලෙස එකතුවන මුදලින් මේ සියලු වියදම් පියවී ලාබයක් ඇත්තේනම් පමණි.
ගුරුවරයාට සිය ලාබ වැඩි කර ගැනීමට පන්ති ගාස්තු ඉහළ දැමිය හැකි වුවත් එය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ගාස්තු ඕනෑවට වඩා වැඩි කළොත්, එක් සිසුවෙකුගෙන් ලැබෙන මුදල ඉහළ ගියත් පැමිණෙන සිසුන් ගණන අඩු වීම නිසා ලැබෙන ආදායම පහළ යන්නට පුළුවන. බස් ගාස්තු ඉහළ ගිය විට ඇතැම් සිසුන් පන්තියෙන් ගිලිහෙන්නට පුළුවන. කෙසේවුවද, ඈතක තිබූ වෙනත් පන්තියකට ගිය සිසුන් මේ පන්තියට එන්නට වුවද ඉඩ තිබේ. එසේ වුවහොත් ඉල්ලුම ඉහළ යයි.
දැන් මේ පන්තියේ පන්ති ගාස්තු තීරණය වන්නේ එහි පැමිණෙන හෝ නොපැමිණෙන එක් එක් සිසුවාගේ අපේක්ෂිත වාසි හා ආවස්ථික පිරිවැය මෙන්ම ගුරුවරයාගේ ආවස්ථික පිරිවැයද මතය. මේ එක් දෙයක් හෝ වෙනස් වීමෙන් පන්ති ගාස්තු වෙනස් විය හැකිය. ඒ හැම විටකම සිදු වන්නේ සියලු දෙනාටම සතුටු විය හැකි ප්‍රසස්ථ මට්ටමකට මිල ස්වභාවිකවම වෙනස් වීමයි. එය ගුරුවරයා විසින් වෙනස් කරන බව පෙනෙන්නට තිබුණත් ඇත්තටම එය සමස්ත පද්ධතියේම අන්තර් සම්බන්ධතා මත සිදුවන්නකි.
වැඩිහිටි සිසුන්ට ඉංග්‍රීසි කතා කිරීම උගන්වන පංති කිසිවකුගේ නියාමනයකට ලක් නොවන නිසා මධ්‍යගත සැලසුම්කරුවෙකු නැතුවම මේ වෙලදපොල කාර්යක්ෂමව පවතී. ඒ කාර්යක්ෂමතාවය පවත්වා ගැනෙන්නේ මිල සාධකය හරහාය. කාමර කුලී වැඩි වන විට ගුරුවරුන්ගේ ලාභ අඩු වේ. එවිට, පන්ති ගාස්තු වැඩි කරන්නට සිදු වේ. පන්ති ගාස්තු වැඩි වන විට සිසුන්ගෙන් කොටසක් හැලේ. එවිට, දක්ෂ ගුරුවරයෙකුට වෙළඳපොළේ තවදුරටත් රැඳී සිටිය හැකි වුවත් සාපේක්ෂව අදක්ෂ ගුරුවරයෙකුට (වඩා අකාර්යක්ෂම නිෂ්පාදකයෙකුට) ප්‍රමාණවත් සිසුන් පිරිසක් නැති නිසා පන්තිය පවත්වාගෙන යාම අසීරු වේ. මිල සාධකය හරහා අදක්ෂ ගුරුවරුන් ස්වභාවිකම වෙළඳපොලෙන් ඉවත් කරයි. දක්ෂ ගුරුවරුන් ඉතුරු කරයි. මෙය කරන්නට රජයේ අමාත්‍යංශයක මහජන මුලින් යැපෙන නිලධාරීන් පිරිසක් බදු මුදලින් නඩත්තු කිරීමට අවශ්‍ය නැත.
කිසියම් නගරයක පන්තියක් කරන දක්ෂ ගුරුවරයෙකුට විශාල සිසුන් පිරිසක් ආකර්ශනය වෙයි. ලාභ ඉහළ යයි. මෙය දකින තවත් අයට ඉංග්‍රීසි පන්ති පටන් ගන්නට හිතේ. නගරයේ දෙවන ඉංග්‍රීසි පන්තියක් ඇරඹේ. මේ ගුරුවරයා පළමු ගුරුවරයා තරම් දක්ෂ නැතත් පන්තියේ තදබදය අඩුය. ගුරුවරයා සමඟ පෞද්ගලිකව කතා කරන්නට වැඩි ඉඩක් ලැබේ.
දැන් සිසුන්ට තෝරා ගැනීමක් තිබේ. පළමු ගුරුවරයා ගුරුවරයෙකු ලෙස වඩා සාර්ථක වුවත් සිසුන් සිය ගණනක් සිටින පන්තියකට වඩා අඩු සිසුන් ගණනක් සිටින පන්තියකට කැමති සිසුන් දෙවන ගුරුවරයා වෙත යයි. පන්තියේ ප්‍රමාණය ප්‍රශ්නයක් ලෙස නොසිතන අය පළමු ගුරුවරයා ලෙස රැඳේ. සිසුන් වඩා කැමති කුඩා පන්තියකටද නැත්නම් ලොකු පන්තිකටද කියා පරීක්ෂා කර අදාළ පන්තියට සිසුන් යොමු කිරීම සඳහා බදු මුදලින් යැපෙන නිලධාරියෙකු අවශ්‍ය නැත.
අලුත් ආයතනයකට ඉංග්‍රීසි උගත් පිරිස් අවශ්‍ය වී රැකියා අවස්ථා වැඩි වන විට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ඇති වාසි වැඩි වේ. එවිට ඉංග්‍රීසි ඉගෙන ගන්නට ඇති ඉල්ලුම වැඩි වේ. රජයේ නිලධාරියෙකු සමීක්ෂණයක් කර මේ බව දැනගෙන අලුත් ඉංග්‍රීසි පන්තියක් පටන් ගත යුතු බව ඇමතිවරයාට යෝජනා කරන්නට අවශ්‍ය නැත. ඉල්ලුම වැඩි වන විට ස්වභාවිකවම අලුතින් ඉංග්‍රීසි පන්ති ඇති වේ. එය සිදු වන්නේ මිනිසුන්ට ස්වභාවිකමව ඇති ලාභ ලැබීමේ ආශාව තුලිනි. රජය විසින් බාධා නොකරන තාක් කල් සිසුන්ගේ අවශ්‍යතා වලට සරිලන තරමේ අධ්‍යාපනයක් ස්වභාවික ලෙසම ඔවුන්ට ලැබේ. නියාමකයෙකු නැතත් වෙළඳපොළ යාන්ත්‍රනය විසින් වෙළඳපොල නියාමනය කරයි.
අදක්ෂ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්නා සිසුවෙකුට කලක් පන්ති ගියත් හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැක. දක්ෂ ගුරුවරයාගේ පන්තියට යන අයට ඉතා ඉක්මනින් ඉංග්‍රීසි ප්‍රවීණතාවය ලැබේ. රැකියා සඳහා වන සම්මුඛ පරීක්ෂණයේදී වැඩි වශයෙන් තේරෙන්නේ දක්ෂ ගුරුවරයාගේ පන්තියේ අයයි. ඒ නිසා ඒ පන්තියට ස්වභාවික ලෙසම ඉල්ලුම වැඩි වේ. අදක්ෂ ගුරුවරයාගේ පන්තියට ඉල්ලුම අඩු වේ. ප්‍රමාණවත් සිසුන් ගණනක් නැති නිසා ඔහුගේ වියදම නොපියවේ. ඒ නිසා ඒ පන්තිය වැසී යයි. මෙසේ වැසී යන්නේ ගුණාත්මක භාවයෙන් අඩු සේවාවක් සපයන ගුරුවරයාගේ පන්තියයි.
කෙසේවුවද, වැසී ගිය පන්තියේ ගුරුවරයාට අනෙක් ගුරුවරයාට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් තිබෙන්නට පුළුවන. ගුරුවරයෙකුගේ අධ්‍යාපන සුදුසුකම් වලින් ඔහු ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන ඉඟි කරන නමුත් හැමවිටම වැඩි අධ්‍යාපන සුදුසුකම් වලින් වැඩි ගුණාත්මක භාවයක් අදහස් කෙරෙන්නේ නැත. නියාමනයක් නැති වෙළඳපොළ යාන්ත්‍රණය තුල ගුණාත්මක භාවයෙන් වැඩි අධ්‍යපනයක් ලබා දෙන ගුරුවරුන් ඉතිරි වී එසේ නොකරන අය ස්වභාවිකවම ඉවත් වේ. ගුණාත්මක භාවය එක් එක් (වැඩිහිටි) සිසුවා හෙවත් මුදල් ගෙවන පාරිභෝගිකයා විසින් තීරණය කරන්නක් මිස සියලු දෙනා පොදුවේ එකඟ වන දෙයක් නොවේ. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෙයක් සම්බන්ධව සියලු දෙනාට පොදුවේ එකඟ වීම අසීරුය. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා වෙනස් නිසා ගුණාත්මක භාවය පිළිබඳ සියලු දෙනාටම පොදු නිර්ණායක නැත.
එහෙත් මධ්‍යගත සැලසුම්කරුවෙකු ලෙස ක්‍රියාකරන රජයේ නිලධාරියෙකුට ප්‍රායෝගිකව සියලු සිසුන්ගෙන් ඔවුන් අපේක්ෂා කරන ගුණාත්මක භාවය කුමක්ද කියා විමසීමේ හැකියාවක් නැත. එසේ විමසුවද එය කාලය සමඟ නොවෙනස්ව තිබෙන දෙයක් නොවේ. ඒ නිසා ඔහුට කළ හැක්කේ අධ්‍යාපන සුදුසුකම් වැනි ගුණාත්මක භාවය ගැන ඉඟි කරන කිසියම් නිර්ණායකයක් යොදාගැනීමටය. මේ නිලධාරියා අපක්ෂපාතී හා අවංක (පගාවට වැඩ නොකරන) එමෙන්ම මහන්සි වී වැඩ කරන (කාලය අපතේ නොයවන) නිලධාරියෙක් වන්නට පුළුවන. එසේ වූ පමණින් ඔහු කාර්යක්ෂම නිලධාරියෙක් වන්නේ නැත. බදු මුදල් වැය කරමින් ඔහු මහන්සි වන්නේ වෙළදපොළ යාන්ත්‍රණයට ස්වභාවික ලෙසම කළ හැකි දෙයක් "වඩා හොඳින්" කරන්නටය.
තනි පුද්ගලයෙකු වන රජයේ නිලධාරියෙකු (හෝ කණ්ඩායමක්) කොයි තරම් දක්ෂ සැලසුම්කරුවෙකු (හෝ සැලසුම්කරුවන්) වුවත් ඔහුට (ඔවුන්ට) එය කළ නොහැකිය. ලක්ෂ ගණනක් සිතන පතන ආකාරය පිළිබඳ දත්ත හා ඒ සිතන ආකාරය අනාගතයේ වෙනස්වන ආකාරය නිවැරදිව පුරෝකථනය කළ හැකි ආකෘති ඔහු සතුව නැත. ඒ නිසා, ඔහුට සැලසුම් හදන්නට වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ලෙස ඔහු අදහස් කරන දෙය මත පදනම්වය. මෙය රටේ සිසුන් හා ගුරුවරුන් බොහෝ දෙනෙක් ගුණාත්මක භාවය ලෙස දකින දෙයම නොවේ. ඔහුට වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකු ගුරු තනතුරකට තෝරා ගත හැකි වුවත්, වැඩි ඉගෙන්වීමේ හැකියාවක් ඇති අයෙකු තෝරා ගැනීම අසීරුය.
දැන් අපි අවසානයට කතා කළ නගරයට නැවත ගියහොත් ඒ නගරයේදී වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති එහෙත් අදක්ෂ ගුරුවරයාගේ පන්තිය වැසී ගොස් අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති දක්ෂ ගුරුවරයාගේ පන්තිය ඉතිරි විය. මේ හේතුවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුවන බව රජය විසින් හඳුනා ගන්නට පුළුවන. එයට පිළියමක් ලෙස රජය විසින් ඉංග්‍රීසි කතා කිරීම උගන්වන ගුරුවරුන් සඳහා අවශ්‍ය වන මූලික අධ්‍යාපන සුදුසුකම් නියම කරන්නට පුළුවන. එසේ කළ විට, දක්ෂ ගුරුවරයාට ඉංග්‍රීසි පන්ති කිරීමේ හැකියාව නැති වේ.
දැන් දක්ෂ ගුරුවරයා නැති නිසා අදක්ෂ ගුරුවරයාට සිසුන් පිරිසක් සිටී. ඒ නිසා, ඔහුට පන්තිය පවත්වාගෙන යා හැකිය. පන්තියට පැමිණෙන සිසුන් අතරින් ඉගෙන ගැනීමේ දක්ෂතාවය වැඩි සිසුහු ගුරුවරයා අදක්ෂ වුවත් කෙසේ හෝ ඉගෙන ගනිති. එහෙත් අදක්ෂ සිසුන්ට අනෙක් ගුරුවරයා මෙන් "ඉංග්‍රීසි පෙවීමේ" හැකියාවක් ඔහුට නැත. ඒ නිසා අන්තිමේදී පන්තියේ ඉතිරි වන්නේ සාපේක්ෂව දක්ෂ සිසුන් පමණි. රජයේ නියාමනය හේතුවෙන් අනෙක් සිසුන්ට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගැනීමට තිබුණු අවස්ථාව නැති වේ.
අලුතින් ඇරඹුණු ආයතනයට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි කතා කිරීමට මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදනයට අදාළ වෙනත් කුසලතාවයක් හෝ ගුණාංගයක් (උදාහරණයක් ලෙස වඩු කර්මාන්තය පිළිබඳ දක්ෂතාවය හෝ උස අඩි හයක් වීම) ඇති අයයි. ඉංග්‍රීසි උගත් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට එන විට ඒ අය අතරින් තමන්ට අවශ්‍ය අනෙක් කුසලතාවන් ඇති අය ප්‍රමාණවත් පිරිසක් හඳුනා ගන්නට ආයතනයට හැකි වුවත් දැන් එන ඉංග්‍රීසි කතා කළ හැකි සීමිත පිරිස අතර ඒ කුසලතාව ඇති අය නැත. ඒ නිසා, ඉංග්‍රීසි කතා කළ හැකි වුවත් මේ අයට රැකියා නොලැබේ. රැකියා නොලැබෙන නිසා ඉංග්‍රීසි පංතියට ඇති ඉල්ලුමද අඩු වී එය පවත්වා ගැනීම අසීරු වී වැසී යයි. අවශ්‍ය සේවකයින් සොයාගත නොහැකි නිසා අලුතින් ඇරැඹු ආයතනයද උපන්ගෙයිම මිය යයි.
කිසියම් නගරයක කොයි තරම් දක්ෂ ගුරුවරයෙකුගේ ඉංග්‍රීසි පන්තියක් තිබුනත් ඒ පන්තියට රටේම සිටින සිසුන් පැමිණෙන්නේ නැත. ඒ ප්‍රවාහනය සඳහා වැය වන මුදලේ හා කාලයේ ආවස්ථික පිරිවැය පන්තියට ඇති දුර සමඟ වැඩි වන බැවිනි. නියාමනයක් නැති වෙළදපොළ යාන්ත්‍රණයට මේ ප්‍රශ්නයටද විසඳුම් තිබේ. සිසුන්ගේ ප්‍රවාහන වියදම වැඩි වන විට සිසුන් ගුරුවරයා වෙත යනු වෙනුවට ගුරුවරයා සිසුන් වෙත යයි. දක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන් නගර ගණනක පන්ති කරන්නේ ඒ නිසාය.
ගුරුවරයෙකුට වෙනත් නගරයකට ගොස් පන්තියක් කිරීමට වැඩි ආවස්ථික පිරිවැයක් දරන්නට සිදු වේ. එක පැත්තකින් ප්‍රවාහන වියදම්ය. අනෙක් පැත්තෙන් ප්‍රවාහනය වෙනුවෙන් ගත වන කාලය තුළ තමන් සිටින නගරයේ තවත් පන්තියක් කිරීමට ඇති අවස්ථාවයි. මේ නිසා ගුරුවරයකු වෙනත් නගරයක පන්ති කරන්නේ විශාල ඉල්ලුමක් ඇත්නම් පමණි. ඒ නගරයේම සිටින ගුරුවරයෙකුට සංසන්දනාත්මක වාසියක් ඇති නිසා සිසුන් ගණන අඩු වුවත් පන්තියක් පවත්වාගෙන යන්නට පුළුවන.
ඉහත පැහැදිලි කිරීම අනුව ගුරුවරයෙකුට වැඩිපුර සිසුන් සිටීම යනු හැමවිටම වැඩිපුර ලාබ තිබීම නොවේ. අඩු සිසුන් ගණනක් සිටින ගමේ ගුරුවරයාගේ පන්තියෙන් හා වැඩි සිසුන් පිරිසක් සිටින පිටින් එන ගුරුවරයාගේ පන්තියෙන් ලැබෙන ලාබ සමාන වන්නට පුළුවන. ගුරුවරයෙකු වෙනත් නගරයක පන්තියක් කිරීම ගැන හිතන්නේ තමන් සිටින නගරයේ දෙවන (හෝ තවත් අමතර) පන්තියක් වෙනුවෙන් ඇති ඉල්ලුම විශාල ලෙස අඩුනම් පමණි. මේ යාන්ත්‍රණය තුල රටේ සිටින දක්ෂම ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව බොහෝ නගර වල සිසුන්ට හිමි වේ. එවැනි ගුරුවරයෙකු විශාල පැය ගණනක් මහන්සි නොබලා වැඩ කරන්නේ තමන්ගේ මහන්සියට සරිලන ලාබයක් ඇති බැවිනි. එහෙත්, අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම වෙනුවෙන් කියා රජය විසින් ගුරුවරයෙකුට සිටිය යුතු උපරිම සිසුන් ගණන සීමා කළහොත් දක්ෂ ගුරුවරයෙකු වෙනත් නගර වලට ගොස් පන්ති කිරීම නවතී.
වෙළඳපොළ යාන්ත්‍රණයට රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට අවශ්‍ය සිසුන් සිටින තැන් වලට ගුරුවරුන් යොමු කිරීමේ ස්වභාවික හැකියාවක් තිබේ. එය සිදුවන්නේ ස්වාභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කිරීමට වැඩිහිටි සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ඇති හැකියාව මත මිල යාන්ත්‍රනය හරහාය. රජය මැදිහත් නොවන තුරු මෙය කාර්යක්ෂම ලෙස සිදු වේ.
කිසියම් නගරයක අලුතින් ආයතනයක් ඇරැඹී ඉංග්‍රීසි කතා කළ අය හැකි අයට ඇති ඉල්ලුම වැඩි වන විට එම නගරයේ පන්ති වලට සිසුන් වැඩි වේ. එවිට එම නගරය රටේ සිටින දක්ෂ ගුරුවරුන්ට ආකර්ශනීය වී ස්වභාවික ලෙසම ඔවුන් එහි ඇදේ. ආයතනය අලුතින් පටන් ගැනෙන බව දැනගෙන ගුරුවරුන් එහි යොමු කිරීම සඳහා බදු මුදලින් නඩත්තු වන නිලධාරීන් අවශ්‍ය නැත. මධ්‍යගත සැලසුම්කරුවෙකුට දක්ෂ ගුරුවරුන් තෝරාගැනීමේ හැකියාවක් නැතුවාට අමතරව ඒ ඒ නගරයට අවශ්‍ය ප්‍රමාණයට හා වඩාත්ම සුදුසු ගුරුවරුන් යොමු කිරීමේ හැකියාවක්ද නැත.
නැවතත් කියනවානම්, මධ්‍යගත සැලසුම්කරුවෙකුට වඩාත්ම කාර්යක්ෂම ගුරුවරුන් හරියටම තෝරා ගැනීමේ හැකියාවක් නැතිවා පමණක් නොව, නිදහස් වෙළඳපොළක ස්වභාවිකව සිදුවන අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් යොමු කිරීම හෝ අවශ්‍ය පුද්ගලයින් යොමුකිරීමේ හැකියාවද නැත. මෙය සැලසුම්කරු වෙනස් කිරීමෙන් විසඳිය නොහැකි ක්‍රමයේ ප්‍රශ්නයකි. වඩා හොඳ සැලසුම්කරුවන් සිටින්නට පුළුවන් වුවත්, ඉතා සුවිශේෂී තත්ත්වයන් යටතේ හැර සැලසුම්කරුවෙකුට නිදහස් වෙළඳපොළක ස්වභාවිකව සිදුවන දෙයට වඩා හොඳින් සැලසුම් කළ නොහැකිය.
එහෙත්, රජයයන් විසින් හැමවිටම පෙන්වන්නේ රජයකට නිදහස් වෙළඳපොළට වඩා හොඳින් සම්පත් කළමනාකරණය කළ හැකි බවයි. මෙය පෙන්වමින් රජයයන් විසින් ඒ වෙනුවෙන් බදු මුදල් එකතු කරයි. එහෙත්, එය එසේ සිදු නොවන විට බදු ගෙවන්නන් හා රජය අතර ප්‍රශ්න ඇති වේ. රජයයන් වෙනස් වීමෙන් මෙවැනි ප්‍රශ්න කෙළවර වේ. හිටපු සැලසුම්කරුවන් වෙනුවට අලුත් සැලසුම්කරුවෝ පැමිණෙති. එහෙත් ප්‍රශ්නය වන්නේ සැලසුම්කරුවන් කවුද යන්න නොව සැලසුම්කරුවන් සිටීම නිසා ප්‍රශ්නය එයින් නො විසඳේ.
මෙය වෙනස් වන්නටනම් නිදහස් වෙළඳපොළකට වඩා හොඳින් මධ්‍යගත සැලසුම් කරන රජයකට සම්පත් කළමනාකරණය කළ හැකි බවට සමාජයේ ඇති විශ්වාසය නැති විය යුතුය. එහෙත්, කාලයක් තිස්සේ රජයයන් විසින් ප්‍රචලිත කර ඇති මේ මතය සමාජයෙන් ඉවත් කිරීම පහසු නොවනවා පමණක් නොව කිසිදු රජයක් එයට කැමති වන්නේද නැත. මේ මතය ප්‍රචලිත කිරීම සඳහා රජයයන් විසින් යොදාගන්නා ප්‍රමුඛ උපාංගය "නිදහස් අධ්‍යපනය" ලෙස හඳුන්වන නිදහස නැති කරන අධ්‍යාපනය වීම මෙහි ඇති උත්ප්‍රාසයයි.
සාමාන්‍ය තත්ත්වය වන්නේ මධ්‍යගත සැලසුම් නොතිබීම නිසා එවැන්නක් අවශ්‍ය වන හැම විටකම අදාළ සැලසුම හේතුවෙන් නිදහස් වෙළඳපොලක සිදුවනවාට වඩා කාර්යක්ෂම ලෙස සම්පත් කළමනාකරණය සිදුවන්නේ කෙසේද යන්න පෙන්වීම සැලසුම්කරුවන් විසින් කළ යුතු දෙයකි. එසේ අවශ්‍ය වන සුවිශේෂී තත්ත්වයන් තිබෙන්නට පුළුවන. මේ ලිපියේ උදාහරණයේ පාරිභෝගිකයා ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට අපේක්ෂා කරන වැඩිහිටි සිසුවෙකි. ඔහු වැය කරන්නේ තමන්ගේම මුදල්ය. ගනුදෙනුවට තෙවන පාර්ශ්වයන් සම්බන්ධ වන තරමට විශ්ලේෂණය වඩා සංකීර්ණ වේ. එවැනි, වඩා සංකීර්ණ අධ්‍යාපන සේවා වෙළඳපොළවල් ගැන ඉදිරියේදී කතා කරමු.
Labels:
අධ්‍යාපනය,
ධනවාදය,
නියාමනය,
පාරිභෝගික අතිරික්තය,
ලාභය,
වෙළඳපොළ ආර්ථිකය
Monday, June 12, 2017
කොටස් වෙළඳපොළ ලාභ
පහතින් ඇත්තේ දෙසතියකට පෙර පාඨකයෙකු ඇසූ ප්‍රශ්නයකි.
"සම්පත් බැංකුවේ නවීන Annual report - http://www.sampath.lk/images/annual_reports/ar2016.pdf
මේකට අනුව ධම්මික පෙරේරා ට,
----------------------------
Dividend per Share -Rs.18.75
Net asset value per share -Rs. 251.38
Market value per share at the yearend -Rs. 260.40
No of Shares(For Mr. Dhamika) - 26463803
Dividend per Share Monthly income -41349692 (26463803 * 18.75)/12
Total Share income - 6891174301.20 (26463803 * 260.40)
If He open fix deposits(Annual 10%) Monthly income - 5742645251 ((26463803 * 260.40)*10)/12
Difference -5701295559 (5742645251 - 41349692 )
මොකක්ද Mr ධම්මික පෙරේරා ට Stock Market වැදගත් ?"
සම්පත් බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව අනුව මෙහි ඇති සංඛ්‍යාලේඛණ නිවැරදිය. එහි හයවන පිටුවේ මේ සංඛ්‍යාලේඛණ පළ කර තිබේ.
ඔහුගේ ප්‍රශ්නය මට වෙනත් අයුරකින් (වඩා සරලව) මෙසේ සටහන් කළ හැකිය. ධම්මික පෙරේරා තමන් සතු අරමුදල් ස්ථිර තැන්පතුවක දැම්මොත් ඔහුට 10%ක පොලියක් ලැබේ. එහෙත්, කොටස් වෙළදපොල ආයෝජනය කිරීමෙන් ඔහුට ලැබී ඇත්තේ ඊට වඩා අඩු ප්‍රතිලාභ අනුපාතිකයකි. එසේනම්, ධම්මික පෙරේරා විසින් පාඩු ලබමින් කොටස් වෙළදපොළ ආයෝජනය කර ඇත්තේ ඇයි?
ඉහත කමෙන්ටුවේ කොටස් වෙළදපොල ප්‍රතිලාභ ගණනය කර ඇති ආකාරයේ වරදක් තිබේ. එහිදී, ප්‍රතිලාභ ලෙස සලකා ඇත්තේ ධම්මික පෙරේරාට සිය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ලාභාංශ ආදායම පමණි. එය එක් කොටසකට රුපියල් 18.75කි.
කොටස් වෙළඳපොල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය ගණනය කිරීමේදී ලාභාංශ අනුපාතිකය මෙන්ම කොටසක මිල වෙනස්වීම නිසා හිමිවන ප්‍රාග්ධන ලාභය හෝ අලාභයද සලකා බැලිය යුතුය. වාර්ෂික වාර්තාවේ ඇති දත්ත අනුව 2016 වසර තුළ සම්පත් බැංකුවේ කොටසක මිල රුපියල් 248.00 සිට 260.40 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අනුව 2016 වසර මුල සම්පත් බැංකුවේ කොටස් මිලදීගත් අයෙකු එක් කොටසක් සඳහා වැය කර ඇත්තේ රුපියල් 248.00ක මුදලකි. ඒ වෙනුවෙන් ඔහුට හෝ ඇයට රුපියල් 18.75ක් ලාභාංශ ලෙස හිමිවේ. මෙය 7.56%ක ප්‍රතිලාභ අනුපාතිකයකි.
මේ ලාභාංශ ලබා ගැනීමෙන් අනතුරුව ආයෝජකයාට දැන් සිය කොටස් එහි වත්මන් වෙළඳපොළ වටිනාකම වන රුපියල් 260.40කට විකුණා තවත් රුපියල් 12.40ක (260.40-248.00) ලාභයක් ලැබිය හැකිය. මෙය අනුපාතයක් ලෙස 5.00%කි. මේ අනුව, ආයෝජනය වෙනුවෙන් ලැබෙන මුළු ප්‍රතිලාභය 12.56%කි. වෙනත් ලෙසකින් කිවහොත් එක් කොටසකට රුපියල් 31.15කි (=18.75 + 260.40 - 248.00).
2015 වසර අවසානයේදී වසරක කාලයක් සඳහා භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ලබා ගත හැකි වූ පොලිය 7.30% ක් වූ අතර වාණිජ බැංකු වල එක් අවුරුදු ස්ථිර තැන්පත් පොලී අනුපාතික පැවතුනේද ආසන්න වශයෙන් ඒ මට්ටමේය. මේ අනුව, වසර මුලදී රුපියල් 248.00ක් (සැබවින්ම එහි ගුණාකාරයක්) භාණ්ඩාගාර බිල්පත් වල (හෝ ස්ථිර තැන්පතුවක) ආයෝජනය කළේනම් හිමි වන ප්‍රතිලාභය රුපියල් 18.10ක් පමණි. ඒ අනුව, කොටස් වෙළඳපොළ ප්‍රතිලාභය ඊට වඩා 72%කින් වැඩිය.
භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය නොකර කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීමෙන් ධම්මික පෙරේරා සිය අරමුදල් වෙනුවෙන් 72%කින් වැඩි ආදායමක් උපයා ඇති අතර ඔහු ගත් අවදානම වෙනුවෙන් ලැබී ඇති ප්‍රතිලාභය නරක නැත. එමෙන්ම, අවදානම සැලකූ විට ඒ ප්‍රතිලාභය අසාමාන්‍යද නැත.
සමාගමක් විසින් ගෙවන ලාභාංශ ප්‍රමාණය නිශ්චිත නැත. සමාගම පාඩු ලැබුවොත් ලාභාංශ කිසිවක් නැත. ඇතැම් විට සමාගම ලාභ ලැබුවද ලාභාංශ නොගෙවා ලාභය නැවත ආයෝජනය කිරීමට අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය තීරණය කරන්නට පුළුවන. ෆේස්බුක් සමාගම දිගින් දිගටම ලාභ ලැබුවත් මෙතෙක් කල් සිය ආයෝජකයින්ට කිසිදු ලාභාංශයක් ගෙවා නැත. එහෙත්, ෆේස්බුක් සමාගමේ කොටස් මිල දිගින් දිගටම විශාල ලෙස වැඩි වී ඇති බැවින් ආයෝජකයින්ට එයින් පාඩුවක් වී නැත.
කෙසේ වුවද, සමාගමක කොටස් මිල ඉහළ නොගොස් පහත වැටෙන්නටද ඉඩ ඇති අතර එසේ වුවහොත් ලාභ අඩුවීම පමණක් නොව මුල් ආයෝජනයෙන් කොටසක්ද අහිමි වීමේ අවදානමක් තිබේ. කොටස් වෙළදපොල ඉහළ ප්‍රතිලාභ ලැබෙන්නේ මේ අවදානමට හිලවුවක් වශයෙනි.
Labels:
ආයෝජනය,
කොටස් වෙළඳපොළ,
පොලී අනුපාතික,
ලාභය
Sunday, June 4, 2017
ශ්‍රම වෙළඳපොළ සමතුලිතතාවය හා අවම වැටුප්
පුහුණු හෝ නුපුහුණු ශ්‍රමය සඳහා වන වෙළඳපොළද මූලික ආකෘතිය අතින් වෙනත් භාණ්ඩ හෝ සේවා වෙළඳපොලකින් වෙනස් නොවේ. රජයේ ඇඟිලිගැසීමක් නැත්නම් මේ වෙළදපොලේ මිල හෙවත් වැටුප් තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතය.
මෙය පැහැදිලි කිරීම සඳහා අපි ලංකාවේ පෞද්ගලික ආරක්ෂක සේවා සැපයීමේ වෙළඳපොල වෙත හැරෙමු. උස අයට වගේම මිටි අයට පවා තමන් කැමතිනම් කම්කරු රස්සාවක් වෙනුවට සිකියුරිටි රස්සාවක් හොයා ගැනීම එතරම් අපහසු කරුණක් නොවේ. වැටුප් එතරම් ඉහළ නොවූවත් සිකියුරිටි රස්සා සඳහා ලංකාවේ පුරප්පාඩු අඩුවක් නැතුව තිබේ.
සිකියුරිටි රස්සාවක් කිරීමේ හැකියාව තිබුණු පමණින්ම බොහෝ දෙනෙක් එවැනි රස්සාවකට අයදුම් කිරීම ගැන හිතන්නේ නැත. මේ අයගෙන් කොටසක් එසේ අයදුම් නොකරන්නේ ඒ රස්සාවට කැමති නැති නිසාය. තවත් බොහෝ දෙනෙකුට රස්සාවේ අවුලක් නැතත් වැටුප ගැන සෑහීමකට පත් නොවන නිසා අයදුම් නොකරති. සිකියුරිටි රැකියාවක් සඳහා වඩා වැඩි වැටුපක් ලැබෙනවානම් මේ දෙවන කාණ්ඩයේ අය එවැනි රැකියා සඳහා අයදුම් කරන්නට පැකිලෙන්නේ නැත. ඒ වගේම, යම් හෙයකින් මේ වැටුප් ඉතාම විශාල ලෙස ඉහළ ගියහොත් පළමු කාණ්ඩයේ අය වුවද සිකියුරිටි රස්සාවකට කැමති වෙන්නට ඉඩ තිබේ.
පුද්ගලයින් හත් දෙනෙකු විසින් සිකියුරිටි රස්සාවක් භාර ගැනීමට කැමති වන අවම මාසික වැටුප් පහත පරිදියැයි සිතමු.
අජිත් - රුපියල් 8,000
ආනන්ද - රුපියල් 10,000
ඇන්ටන් - රුපියල් 11,000
ඈශ්ලි - රුපියල් 12,000
ඉරාජ් -රුපියල් 12,500
ඊශ්වරන් -රුපියල් 15,000
උතුම් -රුපියල් 25,000
මුදල් ඉපයිය හැකි වෙනත් විකල්ප අවස්ථාවක් ඇති කෙනෙක් සිකියුරිටි රැකියාවකට එන්නේ වඩා වැඩි වැටුපක් ලැබේනම් පමණි. තමන්ට ඇති විකල්ප රැකියා අවස්ථා අනුව, එක් එක් පුද්ගලයා අපේක්ෂා කරන අවම වැටුප වෙනස් වේ. අඩු වැටුපකට රැකියාවට එන්නට කැමැත්තෙන් සිටින්නේ, වෙනත් විකල්ප අවස්ථා නැති, රැකියාවක් වැඩියෙන්ම අවශ්‍ය අයයි. වැඩි වැටුප් ඉල්ලන්නේ, වෙනත් රැකියා අවස්ථා ඇති, ඒ නිසා සිකියුරිටි රැකියාව "තිබුණත් එකයි නැතත් එකයි" අයයි.
ඉහත තොරතුරු අනුව අපට සිකියුරිටි සේවා සඳහා වන සැපයුම් වක්‍රය හෙවත් වැටුප් ඉහළ යද්දී සේවයට එන්නට කැමති පුද්ගලයින් ගණන වැඩිවන ආකාරය හදාගන්නට පුළුවන. එය පහත පරිදි වේ.
රුපියල් 7,999 දක්වා - 0
රුපියල් 8,000-9,999- 1
රුපියල් 10,000-10,999- 2
රුපියල් 11,000-11,999- 3
රුපියල් 12,000-12,499- 4
රුපියල් 12,500-14,999- 5
රුපියල් 15,000-24,999- 6
රුපියල් 25,000ට වැඩි - 7
අනෙක් අතට කිසියම් ආයතනයක් විසින් සිකියුරිටි කෙනෙක් තබා ගැනීමට තීරණය කරන්නේ ආයතනයේ වියදම ඕනෑවට වඩා වැඩි නොවනවානම් පමණි. ආයතන කිහිපයක් සිකියුරිටි කෙනෙක් වෙනුවෙන් ගෙවන්නට කැමති උපරිම මිල පහත පරිදියයි සිතමු. (අපේ පහසුවට අතරමැදි සිකියුරිටි සමාගමක් නැතැයි සිතමු.)
අබාන්ස් - රුපියල් 15,000
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500
ඇන්සල් - රුපියල් 12,000
ඈපාසිංහ ස්ටෝර්ස් - රුපියල් 11,000
ඉක්බාල් බ්‍රදර්ස්- රුපියල් 10,000
ඊරියගම ස්ටෝර්ස්- රුපියල් 9,000
උදාර ට්‍රේඩර්ස්- රුපියල් 8,000
දැන් අපට සිකියුරිටි සේවා සඳහා වන ඉල්ලුම් වක්‍රයද හදාගන්නට පුළුවන.
රුපියල් 15,000ට වැඩි - 0
රුපියල් 12,501-15,000- 1
රුපියල් 12,001-12,500- 2
රුපියල් 11,001-12,000- 3
රුපියල් 10,001-11,000- 4
රුපියල් 9,001-10,000- 5
රුපියල් 8,001-9,000- 6
රුපියල් 8,000ට අඩු - 7
සේවා සපයන්නට හා සේවා ලබාගන්නා ආයතන වලට නිදහසේ ගිවිසුම් වලට එළැඹීමට ඉඩ ඇත්නම් ඉල්ලුම හා සැපයුම ස්වභාවිකවම සමතුලිත වේ. එසේ සමතුලිත වන "නියම" මිල රුපියල් 11,001-11,999 අතර මිලකි. මේ මිල රුපියල් 11,500ක් යැයි අපි හිතමු. නිදහස් ශ්‍රම වෙළඳපොළක් ඇති විට මෙසේ තීරණය වන මිල සමස්තයක් ලෙස සියලු පාර්ශ්වයන් විට හොඳම මිලයි. මේ මිල යටතේ තිදෙනෙකුට රැකියාව ලැබේ. අනිත් අයට නොලැබේ.
රැකියා ලැබෙන්නේ රැකියා වඩාත්ම අවශ්‍ය තිදෙනා වන අජිත්ට, ආනන්දට හා ඇන්ටන්ටය. ඒ තිදෙනාටම, තමන් අපේක්ෂා කරන අවම වැටුපට වඩා වැටුපක් ලැබේ. එය ඔවුන් ලබන අතිරික්ත ලාබයකි. අදාළ ලාබ මෙසේය.
අජිත් - රුපියල් 11,500- 8,000 = රුපියල් 3,500
ආනන්ද - රුපියල් 11,500- 10,000 = රුපියල් 1,500
ඇන්ටන් - රුපියල් 11,500- 11,000 = රුපියල් 500
ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තයේ එකතුව = රුපියල් 5,500
මෙහිදී ඉතිරි හතර දෙනාට රැකියා නොලැබී යයි. එහෙත්, ඒ සිකියුරිටි රැකියාවක් සඳහා ගෙවන රුපියල් 11,500 වැටුපට සේවය කරන්නට ඔවුන් කැමති නැති බැවිනි. ඔවුන් එසේ අකැමැති වන්නේ ඔවුන්ට වඩා හොඳ විකල්ප අවස්ථාවන් ඇති බැවිනි. එසේ නොවීනම් ඔවුන් රුපියල් 11,500ක වැටුපට සිකියුරිටි රැකියාවක් භාර ගැනීමට පැකිලෙන්නේ නැත. ඒ නිසා, සිකියුරිටි රැකියාවකට නොපැමිණීමෙන් ඔවුන්ටද වෙන්නේ යහපතකි. මෙහිදී කිසිවකුගේ ශ්‍රමය "සූරාකෑමක්" සිදුවී නැත.
අනෙක් අතට, ආරක්ෂක සේවා ලබාගැනීමට බලාපොරොත්තු වූ ආයතන අතරින් ඒ අවස්ථාව ලැබෙන්නේ ආයතන තුනකට පමණි. ඒ, වැඩිම වැටුප් ගෙවන්නට සූදානමින් සිටි අබාන්ස්, ආරාධනා ටෙක්ස්ටයිල්ස් හා ඇන්සල් යන ආයතන තුනටය. ඔවුන් රුපියල් 11,500 ඉක්මවන වැඩි වැටුප් ගෙවීමට සූදානම්ව ඉන්නේ ගෙවන මුදලට සරිලන සේවයක් ඔවුන්ට ලැබෙන නිසාය. දැන්, මේ ආයතන තුනටම ඔවුන් ගෙවන්නට බලාපොරොත්තු වූ මිලට වඩා අඩුවෙන් සිකියුරිටිවරුන් සේවයට බඳවාගන්නට ලැබීම නිසා ඔවුන්ටද සිදුවන්නේ ලාභයකි. එය මෙසේය.
අබාන්ස් - රුපියල් 15,000 - 11,500 = රුපියල් 3,500
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 11,500 = රුපියල් 1,000
ඇන්සල් - රුපියල් 12,000 - 11,500 = රුපියල් 500
ආයතන වල ලාභයේ එකතුව = රුපියල් 5,000
අවසාන වශයෙන් ආයතන වලට රුපියල් 5,000ක් හා ශ්‍රමය සපයන්නන්ට රුපියල් 5,500ක් ලෙස සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 10,500කි.
ආයතන හතරකට සිකියුරිටිවරුන් බඳවා ගැනීමට නොලැබෙන්නේ එම ආයතන විසින් ගෙවන්නට කැමැත්තෙන් සිටින වැටුප් රුපියල් 11,500ට වඩා අඩු නිසාය. එසේ ගෙවන්නන්ට කැමතිනම් ඔවුන්ට සිකියුරිටි කෙනෙකු බඳවා ගැනීමේ හැකියාව තිබේ. එහෙත්, ඔවුන් ඊට වඩා වැඩිපුර ගෙවන්නට අකැමැති වන්නේ ඔවුන්ට සිකියුරිටි කෙනෙකු සපයන සේවාවේ වටිනාකම රුපියල් 11,500ට වඩා අඩු බැවිනි. ඒ නිසා, මෙහිදී ඒ ආයතන වලටද අසාධාරණයක් වී නැත.
දැන් අබාන්ස් ආයතනය අලුත් ශාඛාවක් විවෘත කිරීම නිසා ඔවුන්ට තවත් සිකියුරිටි කෙනෙක් අවශ්‍ය වුනායයි සිතමු. එම සමාගම ඔහු වෙනුවෙන්ද රුපියල් 15,000 නොඉක්මවන මුදලක් ගෙවන්නට කැමැත්තෙන් සිටී. මේ අනුව, සිකියුරිටි සේවා සඳහා වන ඉල්ලුම පහත පරිදි ඉහළ යයි.
රුපියල් 15,000ට වැඩි - 0
රුපියල් 12,501-15,000- 2
රුපියල් 12,001-12,500- 3
රුපියල් 11,001-12,000- 4
රුපියල් 10,001-11,000- 5
රුපියල් 9,001-10,000- 6
රුපියල් 8,001-9,000- 7
රුපියල් 8,000ට අඩු - 8
දැන් වෙළඳපොළ සමතුලිත මිල රුපියල් 12,000 දක්වා ඉහළ යයි. කලින් රැකියා විරහිතව (හෝ අඩු වැටුපකට වෙනත් රැකියාවක් කරමින්) සිටි ඈෂ්ලිටද දැන් රැකියාවක් හිමිවේ. එය සමස්ත අතිරික්තය කෙරෙහි බලපාන්නේ පහත අයුරිනි.
අජිත් - රුපියල් 12,000- 8,000 = රුපියල් 4,000
ආනන්ද - රුපියල් 12,000- 10,000 = රුපියල් 2,000
ඇන්ටන් - රුපියල් 12,000- 11,000 = රුපියල් 1,000
ඈෂ්ලි - රුපියල් 12,000 - 12,000 = රුපියල් 0
ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තයේ එකතුව = රුපියල් 7,000
අබාන්ස් 1- රුපියල් 15,000 - 12,000 = රුපියල් 3,000
අබාන්ස් 2- රුපියල් 15,000 - 12,000 = රුපියල් 3,000
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 12,000 = රුපියල් 500
ඇන්සල් - රුපියල් 12,000 - 12,000 = රුපියල් 0
ආයතන වල ලාභයේ එකතුව = රුපියල් 6,500
මෙහි පෙනෙන පරිදි, එක් ආයතනයක් තවදුරටත් ව්‍යාප්ත වීම නිසා සමස්තයක් ලෙස ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තය මෙන්ම ආයතන වල ලාභද වැඩිවී තිබේ. දැන් ආයතන වලට රුපියල් 6,500ක් හා ශ්‍රමය සපයන්නන්ට රුපියල් 7,000ක් ලෙස සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 13,500කි.
දැන් අලුතින් පත්වුනු කම්කරු ඇමතිවරයෙකු පෞද්ගලික ආරක්ෂක සේවා සපයන්නන්ව සමාගම් විසින් "සූරාකන බව" කියා එය වැළැක්වීමට රුපියල් 13,000ක අවම වැටුපක් නියම කරයි. දැන් සිදුවන්නේ කුමක්ද?
මේ වැටුපට සේවය කරන්නට කැමැත්තෙන් සිටින පස් දෙනෙක් සිටිති. ඒ අය හා ඔවුන් බලාපොරොත්තු වන අවම වැටුප් මෙසේය.
අජිත් - රුපියල් 8,000
ආනන්ද - රුපියල් 10,000
ඇන්ටන් - රුපියල් 11,000
ඈශ්ලි - රුපියල් 12,000
ඉරාජ් -රුපියල් 12,500
රුපියල් 13,000ක අවම වැටුප ගෙවන්නට සූදානම්ව සිටින්නේ අබාන්ස් සමාගම පමණි. එම සමාගම රුපියල් 15,000 දක්වා වන වැටුපකට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බඳවා ගැනීමට සූදානම්ව සිටියත් වෙනත් කිසිදු සමාගමක් දැන් අවම වැටුප වන රුපියල් 13,000ක් ගෙවා ආරක්ෂක නිලධාරියෙකු නඩත්තු කිරීමට සූදානම් නැත. මේ නිසා, ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වේ. පුරප්පාඩු දෙකක් වෙනුවෙන් තරඟකරුවන් පස්දෙනෙකි. රජය අවම වැටුපක් නියම නොකළානම් මෙවැනි තත්ත්වයක් ඇති නොවේ.
කම්කරු ඇමතිවරයාගේ ලියුමක් රැගෙන එන ඉරාජ්ට හා ඈශ්ලිට අබාන්ස් සමාගමේ රැකියා දෙක හිමිවේ. කවුරු ගත්තත් ගෙවන්නට වෙන්නේ අවම වැටුප වන රුපියල් 13,000 නිසා අබාන්ස් සමාගමට ඒ දෙදෙනාව රැකියා සඳහා තෝරාගැනීම ප්‍රශ්නයක් නොවේ.
කෙසේ වුවද, ඉරාජ් හා ඈශ්ලි වෙනත් රැකියා අවස්ථාද ඇති අයයි. රැකියාවක් වැඩිපුරම අවශ්‍ය කරන අජිත්ට හා ආනන්දට දැන් රැකියා නැත. සමස්ත අතිරික්තය දැන් මෙසේය.
ඉරාජ් - රුපියල් 13,000- 12,500 = රුපියල් 500
ඈෂ්ලි - රුපියල් 13,000 - 12,000 = රුපියල් 1,000
එකතුව = රුපියල් 1,500
අබාන්ස් 1- රුපියල් 15,000 - 13,000 = රුපියල් 2,000
අබාන්ස් 2- රුපියල් 15,000 - 13,000 = රුපියල් 2,000
එකතුව = 4,000
දැන් ආයතන වල ලාබය රුපියල් 6,500 සිට 4,000 දක්වාද. ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තය රුපියල් 7,000 සිට 1,500 දක්වාද අඩුවී තිබේ. සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 13,500 සිට 5,500 දක්වා රුපියල් 8,000කින් අඩුවී තිබේ. ඊට අමතරව රැකියා හිමි වී ඇත්තේ අවශ්‍යම පුද්ගලයින්ටද නොවේ.
දැන් රැකියා විරහිතව සිටින අජිත්, ආනන්ද හා ඇන්ටන් සිටින්නේ අසතුටෙනි. ඔවුන් තිදෙනා රුපියල් 11,000ක වැටුපකට සේවය කරන්නට කැමැත්තෙන් සිටි අතර එසේ කිරීමෙන් ඔවුන්ගෙන් දෙදෙනෙකුටම අතිරික්ත ලාබයක්ද ලැබිය හැකිව තිබුණි.
අජිත් - රුපියල් 11,000- 8,000 = රුපියල් 3,000
ආනන්ද - රුපියල් 11,000- 10,000 = රුපියල් 1,000
ඇන්ටන් - රුපියල් 11,000 - 11,000 = රුපියල් 0
ඔවුන්ව රුපියල් 11,000ක වැටුපකට සේවයට බඳවා ගැනීමට සූදානම්ව සිටි ආයතන තුනක්ද තිබුණි. එසේ කිරීමෙන් මේ ආයතන තුනෙන් දෙකකටම අතිරික්ත ලාබයක්ද ලැබිය හැකිව තිබුණි.
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 11,000 = රුපියල් 1,500
ඇන්සල් - රුපියල් 12,000 - 11,000 = රුපියල් 1,000
ඈපාසිංහ ස්ටෝර්ස් - රුපියල් 11,000 -11,000 = රුපියල් 0
එහෙත්, සිතින් මවාගත් හෝ තමන්වත් විශ්වාස නොකරන "සූරාකෑමක්" ගැන කියමින් කම්කරු ඇමතිවරයා විසින් අජිත්ට, ආනන්දට හා ඇන්ටන්ට රැකියා කිරීමට ඇති අවස්ථා නැති කර ඔවුන්ගේ ජීවිත අඳුරට ඇද දමා ඇති අතර රටේ සමාගම් තුනකට අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමේ අවස්ථාවද නැති වී තිබේ.
වාසනාවට ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැති නිසා වෙනත් රැකියාවක් නැති අයෙකුට අඩු ගානේ පෞද්ගලික අංශයේ සිකියුරිටි රැකියාවක් හෝ කරන්නට හැකියාවක් තවමත් තිබේ.
එහෙත්, ආණ්ඩුවේ රැකියා හා අදාළවනම් තිබෙන්නේ වෙනස් තත්ත්වයකි. පොදු අරමුදල් වලින් නඩත්තු වන ආයතනයක කාකාස තනතුරකට යන්නට වුවත් තල්ලුවක් අවශ්‍ය වීමෙන් පෙනෙන්නේ එවැනි තනතුරු භාර ගන්නට කැමැත්තෙන් සිටින පිරිස පවතින තනතුරු ගණනට වඩා වැඩි බවයි. එයින් අදහස් වන්නේ එවැනි අය කරන සේවයට වඩා ලබාගන්නා වැටුප් බොහෝ වැඩි බවයි.
Sunday, February 19, 2017
පර්පෙචුවල් ලාභ (හයවන කොටස)
පර්පෙචුවල් ලාභ (පළමු කොටස)
පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)
පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)
පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)
පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)
දැන් අපි දන්නා පරිදි රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්නෙකුට ලාභ ලැබිය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න, ආයෝජනය කල් පිරෙන තෙක් සිට පොලී ආදායම ලබා ගැනීමයි. දෙවැන්න, කල් පිරෙන්නට පෙර 'සුදුසු අවස්ථාවේදී' මේ රාජ්‍ය සුරැකුම්පත් වෙනත් අයෙකුට විකුණා ප්‍රාග්ධන ලාභයක් ලැබීමයි.
පළමු ක්‍රමයේ ප්‍රතිලාභ සාපේක්ෂව අඩු අතර අවදානමද සාපේක්ෂව අඩුය. දිගුකාලීනව ආයෝජනය කිරීම කෙටිකාලීන ආයෝජන වලට සාපේක්ෂව අවදානම් සහගත වුවත් මෙසේ ආයෝජනය කරන්නේ තමන්ගේම මුදල් හෝ කෙටි කලකින් ආපසු ගෙවිය යුතු නැති වෙනත් අයෙකුගේ මුදල්නම් වැඩි ප්‍රතිලාභයක් වෙනුවෙන් මේ වැඩි අවදානම ගන්නට බැරිකමක් නැත. එමෙන්ම, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් හා අදාළව මේ 'දිගු කාලය' වන්නේ වසර තිහකි. අවදානම එම කාලය අතරතුර රජය බංකොලොත් වී ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානමයි.
රජය බංකොලොත් වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත වුවත් වසර තිහක් වැනි දිගුකාලයක් ඇතුළත ලංකාව වැනි ණය උගුලක පැටලී සිටින රටක් බංකොලොත් වීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක්කකි. කෙසේ වුවද, මෙවැනි දිගු ආයෝජනයක් කිරීමෙන් වුවද ලබාගත හැකි වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය 13-14% මට්ටම නොඉක්මවයි. පොලී ආදායම් වලින් පමණක් කිසිවකුගේ ආයෝජන වෙනුවෙන් 500%ක් වැනි විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් නැත.
ඉතා වැඩි අවදානම් සහගත ක්‍රමයක් වන දෙවැනි ක්‍රමයෙන් මුල් ආයෝජනය මෙන් 5-6 ගුණයක නොව ඊටත් වඩා වැඩි ප්‍රතිලාභයක් වුවද ලබා ගැනීමට කිසියම් ඉඩක් පවතී. මෙහිදී මා දෙවැනි ක්‍රමය ලෙස හඳුන්වන්නේ සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජන කරන, දිගු කාලයකට අරමුදල් හිරකළ හැකි, අයෙක් අවස්ථාව හඳුනාගෙන ආයෝජනයක් කලින් මුදල් කිරීම නොවේ. ආයෝජන ක්‍රමෝපායයක් ලෙසින්ම තමන් සතුව නැති හෝ තමන්ට දිගුකාලයකට හිරකළ නොහැකි අරමුදල් කෙටිකලකින් ද්වීතියික වෙළඳපොළේ විකුණා අධික ලාභයක් ලැබීමේ අරමුණින්ම දිගුකාලීනව ආයෝජනය කිරීමයි. මෙවැනි අයෙකු බොහෝ විට දිගුකාලීන සුරැකුම්පතක ආයෝජනය කරන්නේ කෙටිකාලීන ණයක් ලෙස ලබාගත් අරමුදල් වන්නට පුළුවන.
මේ දෙවන ක්‍රමයේදී ආයෝජකයා නිරත වන්නේ සූදුවකයැයි කීම නිවැරදිය. පළමු ක්‍රමයේදී, ලැබෙන ආදායම බොහෝ දුරට යටකරන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභයයි. එහි ඇති අවදානම් අධිභාරය විශාල නැත. දෙවන ක්‍රමයේ ලැබෙන ආදායම බොහෝ දුරට අවදානම් අධිභාරයකි. එහිදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභය ලෙස ලැබෙන කොටස සාපේක්ෂව අඩු මුදලකි. මෙසේ ණයට ගත් හෝ 'නැති මුදල්' ආයෝජනය කිරීම සූදුවක් වන්නේ එබැවිනි.
කෙසේවුවද, රජය බංකොලොත් වීමේ ඉඩකඩ අමතක කළහොත් මේ සූදුව 'හොඳ' සූදුවකි.
සාමාන්‍යයෙන් සූදුවක ස්වභාවය වන්නේ එහි දිගින් දිගටම නියැලෙන අයෙකු අනිවාර්යයයෙන්ම පරාජිතයෙකු වීමයි. ඒ, සාමාන්‍ය සූදුවකින් අපේක්ෂා කළ හැකි දිගුකාලීන ප්‍රතිලාභ දිගුකාලීනව සූදුව වෙනුවෙන් වැය කරන මුදලට වඩා නොවැඩි බැවිනි. එහෙත්, මේ සූදුවේදී -රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී හැර- සූදුවෙහි දිගින් දිගටම නිරත වීමෙන් ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව තිබේ.
ඉහත කරුණ මෙසේ පැහැදිලි කළ හැකිය. රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී හැර, රටක පොලී අනුපාතික වසර හත අටකට වරක් පුනරාවර්තනය වන චක්‍රයක ඉහළ පහළ ගියත් දිගුකාලීනව කිසියම් ස්ථාවර මට්ටමක පවතී. ඒ නිසා දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ යාමට හා පහළ යාමට ඇති ඉඩකඩ ආසන්නව සමානය.
අප පෙර ලිපියේ (පස්වන කොටසේ) උදාහරණයකින් පැහැදිලි කළ පරිදි, පොලී අනුපාතික වෙනස් නොවුවහොත් දෙවසරක බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට වසරකට පසු එය විකුණා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකිය. වසරක කාලය තුළ පොලී අනුපාතික පහළ ගියහොත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි අතර, පොලී අනුපාතික ඉහළ ගියද ඒ ඉහළ යාම ඉතා සුළු ඉහළ යාමක් පමණක්නම් එහිදීද වැඩි ලාභයක් ලැබිය හැකිය. පාඩුවක් වන්නේ පොලී අනුපාතික කිසියම් මට්ටමක් ඉක්මවා ඉහළ ගියහොත් පමණි. රජය (හෝ වෙනත් බැඳුම්කර නිකුත් කරන්නෙකු) ආර්ථික වශයෙන් ස්ථාවරනම් මේ ඉඩකඩ 50%ට වඩා අඩු නිසා සූදුවෙන් දිගුකාලීනව ලාභයක් ලබන්නට පුළුවන.
කෙසේ වුවද, රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී, පොලී අනුපාතික එන්න එන්නම වැඩි වනවා මිස අඩු වීමට ඉඩක් නැති නිසා ඉහත පරිදි ලාබයක් ලැබිය නොහැකි අතර විශාල අලාභයක් වුවද සිදුවන්නට පුළුවන. එවැනි විටෙක වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් මේ ආකාරයේ අවදානමක් ගන්නා ආයෝජකයෙකුට සිදුවන්නේ විශාල පාඩුවක් ලබමින් වුවත්, ඊටත් වඩා වැඩි පාඩුවක් විඳින්නට ඇති ඉඩකඩ වලක්වා ගැනීමේ අරමුණින් සිය ආයෝජන ක්ෂණිකව විකුණා දමන්නටය. මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කර ආයෝජන පාඩු ලබමින් විකුණා දැම්මේ මේ පදනමිනි.
දිගුකාලීනව මුදල් හිර කර තැබීමේ හැකියාව ඇති සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයක් අනුගමනය කරන්නේ මේ ක්‍රමවේද දෙකෙන් පළමු ක්‍රමවේදයයි. 2015 වසර තුළදී සේවක අර්ථසාධක අරමුදල විසින් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 144,226ක ආදායමක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 143,055ක්ම (99.2% ක්) උපයා ඇත්තේ පොලී අදායම් වශයෙනි. ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස උපයා ඇත්තේ රුපියල් මිලියන 1,171ක් පමණි.
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභාලාභ ගිණුම් දෙස බැලූ විට පෙනෙන්නේ තනිකරම මෙහි අනිත් පැත්තයි. එම සමාගම විසින් 2015 වසර තුළදී රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර උපයා ඇති රුපියල් මිලියන 5,574.8ක මුදලින් ශුද්ධ පොලී ආදායම් ලෙස උපයා ඇති රුපියල් මිලියන 353.6ක් (6.34%ක්) පමණි. ඉතිරි ආදායම් උපයා ඇත්තේ ප්‍රාග්ධන ප්‍රතිලාභ වශයෙනි.
එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් කරන්නේ ආයෝජනය කිරීමකට වඩා සූදුවක නිරත වීමක් වැනි දෙයකි. ඔවුන්ගේ රුපියල් මිලියන 353.6ක් වන ශුද්ධ පොලී ආදායමෙහි සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ වඩාත් පැහැදිලි වේ. එම සමාගම වසර තුළ පොලී ආදායම් ලෙස රුපියල් මිලියන 942.8ක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 589.2ක්ම පොලී වියදම් ලෙස ආපසු ගෙවා තිබේ. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් වැඩිපුර ආයෝජනය කර ඇත්තේ වෙනත් අයගෙන් අඩු පොලියකට ණයට ගත් මුදල් බවයි. එසේනම්, ඔවුන්ගේ ව්‍යාපාරික ක්‍රමෝපායය වී ඇත්තේ අඩු පොලියට කෙටිකාලීන ණය ගනිමින්, වැඩි පොලී ලබා දෙන දිගුකාලීන ආයෝජන වල එම අරමුදල් යොදවා, මේ දිගුකාලීන බැඳුම්කර ඉතා ඉක්මණින් නැවත ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ප්‍රාග්ධන ලාභයක් මෙන්ම පොලී ආන්තිකයක්ද ඉපැයීමයි. ඉතා අවදානම් සහගත මේ සූදුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉතා හොඳින් ක්‍රීඩා කර තිබේ.
එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉපැයූ ඉතා විශාල ප්‍රතිලාභ අනුපාතිකය ඔවුන්ගේ සුවිශේෂී අවදානම් කළමණාකරණ කුසලතාවය මත උපයාගත් දෙයක්ද? එසේ නැත්නම්, වාසනාවට ලැබුණු දෙයක්ද? එසේත් නැත්නම්, අවදානම් කළමණාකරණ කුසලතාවය සඳහා ලැබිය හැකි ප්‍රතිලාභ මඟින් හා හුදෙක් වාසනාව මත ලැබිය හැකි ප්‍රතිලාභ වලින් පමණක් පැහැදිලි කළ නොහැකි 'වෙනත්' කොටසක් මෙහි තිබෙනවාද?
මේ ප්‍රශ්න වලට අපට නිශ්චිත පිළිතුරු දිය නොහැකි වුවත්, ප්‍රසිද්ධව ඇති තොරතුරු මත පදනම්ව, සිදුවිය හැකිව තිබුණු දේවල් යම් තරමකට විමර්ශනය කිරීමට බැරිකමක් නැත. අපි එය හෙමින් සැරේ කරමු.
Friday, February 17, 2017
පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)
පර්පෙචුවල් ලාභ (පළමු කොටස)
පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)
පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)
පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)
මෙය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා අපි පසුගිය (සිවුවන) කොටස සමඟ පළ කළ, ඔබේ පහසුව සඳහා මෙහි පහත නැවත පළ කරන, දෙවන වගුවේ අවසන් සිරස් තීරුව වෙත හැරෙමු. 2015 පෙබරවාරි 11න් අවසන් වූ සතිය තුළ පැවති රාජ්‍ය සුරැකුම්පත් ද්වීතියික වෙළදපොල පොලී (ඵලදා) අනුපාතික එහි ඔබට පෙනේ. මේ වගුවේ පෙර සිරස් තීරු වලින් මෙන්ම පහතින් ඇති දෙවන රූප සටහන මඟින්ද පෙන්වා ඇති පරිදි පිළිවෙළින් වසරක හා දෙවසරක කාලයකට පසු සියළුම පරිණත කාල සඳහා වන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
කෙසේ වුවද, මෙය 2015 පෙබරවාරි 11 දින කිසිවකු නිශ්චිතවම දැන නොසිටි තත්ත්වයකි. තවත් වසරකට පසු පොලී අනුපාතික සමස්තයක් ලෙස ඉහළ යන්නට වැඩි ඉඩකඩක් ඇති බව දැන් අපට පෙනෙන නමුත් එම ඉහළ යාම කොතරම් විය හැකිද යන්න හෝ අඩුම වශයෙන් ස්ථිරවම පොලී අනුපාතික ඉහළ යන බව වුවද අපට අද කියන්නට නුපුළුවන. එය බාහිර සාධක රැසක් මත තීරණය වන්නකි.
අපට දැන් කතා කරන්නට අවශ්‍ය කරුණ පැහැදිලි කර ගැනීම සඳහා 2015 පෙබරවාරි 11 පැවති ඵලදා වක්‍රය වෙනස් නොවී වසර ගණනාවක් එසේම තිබුනේයැයි අපි සිතමු. එසේ වීනම්, 2015 පෙබරවාරි 11 දින 6.29% පොලියකට දෙවසරක බැඳුම්කරයක මුදල් හිර කරන අයෙකු (අජිත් කියා කියමු.) වසරකට පසු මුහුණ දෙන වෙළඳපොළ තත්ත්වය කුමක්ද?
ඵලදා වක්‍රය වෙනස් නොවී තිබුණේනම්, 2016 පෙබරවාරි 10 දින මාස 12ක සුරැකුම්පතක ආයෝජනය කරන්නෙකුට (බිමල් කියා කියමු.) ලැබෙන පොලිය 6.08%කි. නමුත්, වසරකට පෙර මිලදී ගත් තවත් වසරකින් කල් පිරෙන බැඳුම්කරයට අජිත්ට 6.29%ක පොලියක් ලැබේ. (පහසුව සඳහා අප මෙහිදී සලකා බලන්නේ කූපන් ගෙවීම් රහිත බැඳුම්කරයි.)
අජිත් විසින් වසරකට පෙර මිලදී ගත් 2017 පෙබරවාරිහිදී කල් පිරෙන බැඳුම්කරයේත්, 2016 පෙබරවාරි වලදී අළුතින් නිකුත් කරන සුරැකුම්පතකත් ආයෝජකයෙකුට කිසිදු වෙනසක් නොපෙනේ. මේ දෙකේම ඇත්තේ සමාන අවදානමකි. නමුත්, එයින් එකකට 6.08%ක පොලියක්ද, අනෙකට 6.29%ක පොලියක්ද ලැබේ. මෙය විය නොහැක්කකි. ඒ නිසා වැඩි පොලියක් ලැබෙන දෙවැන්නේ වෙළදපොළ වටිනාකම ඉහළ යයි. බිමල් විසින් පළමුවන්න මිලදී ගන්නේ රුපියල් මිලියන 10 කටනම්, දෙවැන්න සඳහා ඊට වඩා ආසන්න වශයෙන් 0.20% ක පමණ මිලක් ගෙවන්නට අකැමැති වන්නේ නැත. ඒ, එසේ කිරීමෙන් වසරකට පසු ඔහු ලබන ප්‍රතිලාභය අඩු නොවන බැවිනි.
වසරකට පෙර දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කළ අජිත්ට මේ වන විට 6.29%ක පොලී ආදායමක් ලැබී ඇති අතර තවත් වසරකින් එවැනිම පොලී ආදායමක් ලැබෙනු ඇත. එහෙත්, ඔහුට එතෙක් කල් බලා නොසිට දැන් ඔහුගේ සුරැකුම්පත බිමල්ට විකුණා ක්ෂණික ප්‍රාග්ධන ලාභයක් ලැබිය හැකිය. මේ ප්‍රාග්ධන ලාභයද සමඟ අජිත් විසින් වසරක් තුළ ලබන ප්‍රතිලාභය 6.49% දක්වා ඉහළ යයි.
අජිත්ට 2015 පෙබරවාරි 11 දින වසරකට වඩා කාලයකට මුදල් හිර කිරීමේ කිසිදු හැකියාවක් නොතිබුණේයැයි සිතමු. එසේනම්, ඔහුට තමන්ගේ මුදල් ආයෝජනය කර ලබාගත හැකිව තිබුණු උපරිම ප්‍රතිලාභ අනුපාතිකය වන්නේ 6.08% කි. එහෙත්, අජිත් අවදානම් ලෝලියෙකු වීනම් ඔහු විසින් එදින වසරකින් පසු විකිණීමේ බලාපොරොත්තුවෙන් දෙවසරක බැඳුම්කරයක් මිල දී ගෙන එය වසරකට පසු විකිණීමෙන් (ඉහත උපකල්පනය පරිදි ඵලදා වක්‍රය නොවෙනස්ව පැවති තත්වයක් යටතේ) 6.08%ට වඩා 0.41%කින් වැඩි 6.49%ක ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීම සිදු විය හැකිව තිබුණි. අජිත්ගේ අතේ වසරකට හිර කරන්නටවත් මුදල් නොතිබුණු තත්ත්වයක් යටතේදී වුවද, ඔහුට වෙනත් අයෙකුගෙන් (චන්දිමාගෙන්) 6.08%ක පොලියට වසරක කාලයක් සඳහා ණයක් ගෙන දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කර වසරකට පසු එය විකුණා 0.41%ක ලාභයක් ප්‍රාග්ධන ඉපැයීමක් ලෙස ලබා ගත හැකිව තිබුණි.
ඇත්තටම කියනවානම්, අජිත් වැනි අවදානම් ලෝලියෙකුට මෙසේ ණයට මුදල් ලබාගෙන පස් වසරක, දස වසරක හෝ තිස් වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කර වුවද මිල දී ගන්නට බැරිකමක් නැත. මේ කාලය වැඩිවන විට ඔහුගේ අවදානම මෙන්ම ලාභාපේක්ෂාවන්ද විශාල ලෙස වැඩි වේ. කෙසේ වුවද, එසේ අතේ මුදල් නැතිව ලබා ගන්නා බැඳුම්කර වසරකට පසු (හෝ ණය ආපසු ගෙවිය යුතු වන විට) අනිවාර්යයෙන්ම විකුණන්නට සිදුවේ.
අජිත් විසින් 2015 පෙබරවාරි 11 දින මිල දී ගත්තේ සය වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක් යයි සිතමු. ඒ සඳහා ඔහුට ලැබෙන වාර්ෂික පොලිය 7.49% කි. වසරකට පසු, 2016 පෙබරවාරි 10 දින, මේ බැඳුම්කරය පස් අවුරුදු බැඳුම්කරයකට සමානය. ඵලදා වක්‍රය නොවෙනස්ව පැවතියේනම්, 2016 පෙබරවාරි 10 දින වන විට පස් අවුරුදු බැඳුම්කරයක පොලී අනුපාතිකය වන්නේ 7.27%ක් පමණි. එවැන්නක් මිල දී ගන්නා අයෙකුට (බිමල්ට) වසර පහකට පසු 42.03%ක (=(1.0727^5-1)*100%) ප්‍රතිලාභ අනුපාතිකයක් හිමි වෙද්දී අජිත්ගේ බැඳුම්කරයේ ඉතිරිව ඇති පස් අවුරුද්ද තුළ ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය 43.50% (=(1.0749^5-1)*100%) කි. ඒ නිසා, අජිත්ට 1.03% පමණ (=1.4350/1.4203) වැඩි මිලකට ඔහු සතු බැඳුම්කරය බිමල්ට විකිණීමට ඉඩක් ලැබෙන අතර වසරක් තුළ අජිත් ලබන ප්‍රතිලාභ අනුපාතිකය 8.52%ක් දක්වා (7.49%+1.03%) ඉහළ යයි. මෙය අජිත් විසින් චන්දිමාට ගෙවිය යුතු පොලිය වන 6.08%ට වඩා 2.44%කින් වැඩිය. මෙහිදීද පෙර මෙන්ම අප සලකා බලා ඇත්තේ කූපන් රහිත බැඳුම්කරයි. කූපන් බැඳුම්කර හා අදාළ ගණනය කිරීම් වඩා සංකීර්ණ වුවත් එහිදී වෙන්නේද මෙවැනිම දෙයකි.
කෙසේ වුවද, දැන් අප දන්නා පරිදි 2016 පෙබරවාරි 10 දින වන විට ඵලදා වක්‍රය වසරකට පෙර පැවති මට්ටමේ තිබුණේ නැත. සියළුම පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මෙසේ පොලී අනුපාතික ඉහළ යාම අජිත් වැනි අවදානම් ලෝලියෙකුට බලපාන්නේ කෙසේද?
අජිත් විසින් 2015 පෙබරවාරි 11 දින සය වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක් 7.47%ක පොලී අනුපාතිකයකට මිල දී ගත්තේය. ඒ සඳහා ඔහු චන්දිමාගෙන් 6.08% පොලියට මුදල් ලබා ගත්තේය. වසරකට පසු, 2016 පෙබරවාරි 10 දින වන විට, පස් අවුරුදු බැඳුම්කර සඳහා වන පොලී අනුපාතිකය 9.95% දක්වා ඉහළ ගියේය. මේ පොලී අනුපාතිකයට ආයෝජනය කර පස් වසරකින් 60.69% ක ප්‍රතිලාභ අනුපාතිකයක් ඉපැයිය හැකි වුවත්, අජිත්ගේ බැඳුම්කරයේ ඉතිරිව ඇති පස් අවුරුද්දට ලැබෙන්නේ 43.50%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පමණි. ඒ නිසා, අජිත්ගේ ආයෝජනයේ වෙළඳපොළ අගය දැන් 10.70% කින් අඩුවී තිබේ. එසේ වුවද, චන්දිමාගෙන් ලබාගත් කෙටිකාලීන ණය ආපසු ගෙවිය යුතු නිසා ඔහුට සිය බැඳුම්කරය විශාල පාඩුවක් විඳිමින් එහි වෙළඳපොළ වටිනාකමට විකුණන්නට සිදු වේ. අජිත් විසින් පළමු අවුරුද්දේ පොලිය ලෙස 7.47%ක් දැනටමත් උපයා ඇති නිසා චන්දිමාගේ ණය හා පොලිය ගෙවූ පසු 1.39%ක ඉතිරියක් වෙතත්, 10.70%ක ප්‍රාග්ධන අලාභය නිසා සමස්තයක් ලෙස 9.31%ක අලාභයකට මුහුණ දෙන්නට සිදුවේ.
සාමාන්‍ය කරුණක් ලෙස යමෙකු දිගුකාලීන සුරැකුම්පතක ආයෝජනය කිරීමෙන් පසු පොලී අනුපාතික ඉහළ ගියහොත් අදාළ ආයෝජනයේ වෙළදපොළ වටිනාකම අඩුවී ප්‍රාග්ධන අලාභයක් සිදුවේ. ආයෝජනයේ පරිණත කාලය වැඩි වන තරමට මෙන්ම පොලී අනුපාතික ඉහළ යන තරමට මේ අලාභයද ඉහළ යයි. මෙසේ වෙළදපොළ වටිනාකම අඩුවී අලාභ ඉහළ යද්දී ඉවසීමක් ඇති හා දිගුකාලයකට හිර කරන්නට අරමුදල් ඇති ආයෝජකයෙකුට නැවත පොලී අනුපාතික පහළ වැටෙන තුරු බලා සිටින්නට හැකි වුණත්, එවැනි දිගුකාලයක් මුදල් හිර කරගෙන සිටීමේ හැකියාවක් නැති අයෙකුට සිය සුරැකුම්පත් පාඩුවට විකුණන්නට සිදුවේ. මුදල් හිරකරගෙන සිටීමේ හැකියාවක් තිබුණත් පොලී අනුපාතික එන්න එන්නම ඉහළ යනු මිස පහත වැටෙන පාටක් නොපෙනේනම් කළ යුතු ඥානාන්විත ක්‍රියාව වන්නේ තියෙන පාඩුව තවත් වැඩි වන්නට පෙර සිය ආයෝජන මුදල් කිරීමයි. ග්‍රීක බැඳුම්කර සිද්ධියේදී මහ බැංකුව විසින් කළේ එවැන්නකි.
මේ අයුරින්ම දිගුකාලීන ආයෝජනයක් කිරීමෙන් පසු පොලී අනුපාතික පහත වැටුණොත් ආයෝජකයෙකුට විශාල ලාභයක් ලබන්නට පුළුවන.
අප පෙර ලිපි මාලාවෙන් කතා කළ 2015 පෙබරවාරි 27 බැඳුම්කර වෙන්දේසියෙන් පසුව පොලී අනුපාතික ඉහළ ගිය බව ජනප්‍රිය කතාවකි. මේ කතාව බොරුවක් නොවේ. එහෙත්, එසේ පොලී අනුපාතික ඉහළ යාම නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාබ වැඩි වූ බව කිසිවකු සිතනවානම් එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් බව දැන් ඔබට පැහැදිලි වෙනවා ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලාභ ලැබිය හැකිව තිබුණේ බැඳුම්කර මිලදී ගැනීමෙන් පසු පොලී අනුපාතික පහළ යන තරමටය.
Labels:
ආයෝජනය,
පොලී අනුපාතික,
භාණ්ඩාගාර බැඳුම්කර,
භාණ්ඩාගාර බිල්පත්,
ලාභය
Saturday, February 4, 2017
පර්පෙචුවල් ලාභ (පළමු කොටස)
දැන් අළුතෙන් නැවත විස්තර කල යුතු නැති, මහ බැංකු බැඳුම්කර සිද්ධියට ඇති මාධ්‍ය වටිනාකම තවමත් අඩු වී නැත. මේ ගැන විග්‍රහ කරන්නට බොහෝ දෙනා ඉදිරිපත් වෙති. මේ ඇතැම් 'විශ්ලේෂණ' 'ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි තරම්' ඉතාම සරලය. සරලව විග්‍රහ කළ හැකි දෙයක් මහා ලොකු සංකීර්ණ දෙයක් ලෙස විස්තර කරන්නට යාම විකාරයකි. එහෙත්, ඇත්තටම සංකීර්ණ දෙයක් ඕනෑවට වඩා සරල කළ විට කියැවෙන්නේ අවශ්‍ය දෙය නොව වෙනත් දෙයකි.
බැඳුම්කර හා අදාළ ඇතැම් මූලික සිද්ධාන්තද පැහැදිලි කරමින් මේ සිද්ධිය ගැන ඉකොනොමැට්ටා විසින් ලිපි විස්සක් ලියා පළ කළත් ඒ ලිපි විස්සෙන්ම සමස්තයක් ලෙස සාකච්ඡා කර ඇත්තේ මේ සිද්ධියට අදාළ සම්පූර්ණ ක්‍රියාදාමයෙන් සුළු කොටසක් පමණි. එම ලිපි මාලාවෙන් මා පෙන්වා දුන්නේ අදාළ සිද්ධිය නිසා රජයට වූ පාඩුව ගැන ඇති ඇස්තමේන්තු බොහොමයක්, විගණකාධිපති වරයාගේ ඇස්තමේන්තුවද ඇතුළුව, නිවැරදි නොවන බවයි. එමෙන්ම මේ ඇස්තමේන්තු අධිතක්සේරු වන්නට ඇති ඉඩකඩ ඉතා වැඩි බවයි. කෙසේ වුවද, එම ලිපි මාලාව අවසානයේදී රජයට කිසිදු පාඩුවක් සිදු නොවූයේය යන නිගමනයට මා එළඹුණේ නැත. ඒ අතරම, රජයට වූ පාඩුව ලෙස නිශ්චිත ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේද නැත.
බොහෝ දෙනෙකු මේ ලිපි කියවීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ රජයට සිදු වූ පාඩුව ලෙස ඔවුන් සිතා සිටි මුදල තහවුරු කරන ඇස්තමේන්තුවකි. තවත් කොටසක් මේ පිලිබඳ චෝදනා වලින් එම චෝදනා ලැබූවන් නිදහස් කරමින් ලබා දෙන නිගමනයක් අපේක්ෂා කළා විය හැකිය. ලිපි මාලාව ලියාගෙන යද්දී මේ දෙපිරිසේම උනන්දුව ක්‍රමයෙන් අඩුව යන බව පෙනුණේය. කෙසේ වුවද, අවසන් නිගමනයක් වෙනුවට මේ විෂය පිළිබඳව දැනුම වැඩි කර ගැනීමේ අරමුණින් මා සමඟ රැඳී සිටි සුළු පිරිසක්ද වූහ. ලිපි මාලාව ඒ මට්ටමට හෝ ඇදගෙන යන්නට දිරිය සැපයූවේ එම සුළු පිරිසයි.
මගේ පාඨකයින් කිසිවකු නිගමන වලට එළඹීමේදී මා සමඟ එකඟ විය යුතුයැයි මා සිතන්නේ නැත. මා හෝ වෙනත් අයෙකු විසින් "අලෙවි කරන" හෝ "බලෙන් තල්ලු කරන" නිගමන සමඟ විමසුමකින් තොරව එකඟ වීම යහපත් දෙයක් නොවේ. එහෙත්, නිගමන වලට එළඹීමේදී තමන් නොදන්නා කරුණු හා පුහුණුවක් ලබා නැති තාක්ෂනික කරුණු ගැන වැඩි යමක් දැනගැනීම වඩා හොඳ නිගමනයකට එළඹීමට උදවුවකි. මගේ ලිපි වලින් ටික දෙනෙකුට හෝ ඒ සඳහා උදවුවක් ලැබී ඇති බව පෙනෙන්නට තිබීම දිරිගන්වන සුළු කරුණකි.
විගණකාධිපති වාර්තාව අනුව 2015 පෙබරවාරි 27 වෙන්දේසියෙන් රජයට වූ අලාභය රුපියල් මිලියන 889.4 කි. ඉන් පසුව, 2016 මාර්තු 29 වෙනි දිනද මෙවැනිම සිදු වීමක් නැවත සිදුවීම නිසා සිදුවූ අලාභය රුපියල් මිලියන 784.9කි. අධිතක්සේරු ලෙස මා සලකන මේ ඇස්තමේන්තු අනුව අදාළ වෙන්දේසි වලින් රජයට සිදු වී ඇති මුළු අලාභය රුපියල් මිලියන 1,674.3 කි. ඒ අතර, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් 2015 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ලබා ඇති ලාභය එමෙන් තුන් ගුණයක්ද ඉක්මවන අතර රුපියල් මිලියන 5,124.2කි. එම සමාගම විසින් පෙර වසරේ ලබා ඇති ලාභයද රුපියල් මිලියන 959.6කි.
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම මෙවැනි ඉහළ ලාබයක් ලැබුවේ කොහොමද?
ඇතැම් අය සරල ලෙස පැහැදිලි කර තිබුණු පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභයක් ලැබුවේ 12.5%ක ගිණි පොලියට ආණ්ඩුවට ණය දීමෙනි. ආණ්ඩුවට 12.5% ක වාර්ෂික පොලියකට ණය දී රුපියල් බිලියන 5 ක ඉක්මවන ලාභයක් ලබන්නට එසේ ණයට දෙන මුදල රුපියල් බිලියන 40 ඉක්මවන මුදලක් විය යුතුය. ආණ්ඩුවට ණයට සල්ලි දී එපමණ පොලී ආදායමක් උපයන්නට තරම් තමන්ගේම ප්‍රාග්ධනයක් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සතු නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත. වෙනත් අයෙකුගෙන් ලබාගත් මුදල් ආණ්ඩුවට ණයට දෙන්නට එම සමාගමට හැකි වුවත්, එවිට එසේ මුදල් ලබාදෙන අයට නැවත පොලී මුදලක් ගෙවිය යුතු බැවින් රජයෙන් ලබාගන්නා පොලී ආදායම සම්පූර්ණයෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාබයක් වන්නේ නැත. ඒ නිසා, මේ පළමු පැහැදිලි කිරීම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නොවේ.
ඇතැම් අය විසින් කර තිබුණු, වඩා හොඳ පැහැදිලි කිරීමක් වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් රුපියල් 90 බැගින් මිලදී ගත් බැඳුම්කර (රුපියල් 120 කට ආසන්න?) ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදලට විකිණීමෙන් මේ ලාබය ලබා ගත් බවයි. සේවක අර්ථසාධක අරමුදලට කොපමණ බැඳුම්කර ප්‍රමාණයක් විකුණුවේද, ඒ කවර මිලකටද යන්න මා නොදන්නා නමුත් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ වලින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ අඩුවට ගත් බැඳුම්කර කල් පිරීමට පෙර වැඩි මිලකට ද්වීතියික වෙළඳපොළේ විකිණීම මඟින් බව ඇත්තකි.
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ රුපියල් මිලියන 5,124.2ක ලාබයෙන් ශුද්ධ පොලී ආදායම වන්නේ රුපියල් මිලියන 353.6ක් පමණි. එම සමාගමේ පරිපාලන හා ප්‍රචාරණ වියදම් ලෙස රුපියල් මිලියන 197.0 ක් වසර තුළ වියදම් කර ඇති නිසා වෙනත් ආකාරයකින් ආදායමක් නොලැබුවේනම් එම සමාගමේ ශුද්ධ ලාභය වන්නේ රුපියල් මිලියන 156.6ක් පමණි. මූල්‍ය වසර ආරම්භයේදී පැවති ප්‍රාග්ධන ආයෝජනය වූ රුපියල් මිලියන 1,065.9 සැලකූ විට මෙහි ඇත්තේ 14.7%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පමණි. එය හොඳ ප්‍රතිලාභ අනුපාතිකයක් වුවත් කිසිසේත්ම අසාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකයක් නොවේ.
කෙසේවුවද, මේ පොලී ආදායම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ මුළු ලාභයෙන් සුළු කොටසක් පමණි. පොලී ආදායමට අමතරව ප්‍රාග්ධන ලාභ ලෙස එම සමාගම විසින් මූල්‍ය වසර තුළ තවත් රුපියල් මිලියන 5,377.7ක ලාභයක් උපයා ඇත. ප්‍රාග්ධන ලාභ ලෙස හඳුන්වන්නේ බැඳුම්කරයක් කල් පිරීමට පෙර එය මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට ද්වීතියික වෙළඳපොළේ විකිණීම මඟින් ලබන ලාබයි.
මෙය විශාල හා අසාමාන්‍ය ලාභයකි. සිදු කළ ආයෝජනය මෙන් 500% ඉක්මවන ප්‍රතිලාභ අනුපාතිකයකි.
තරඟකාරී වෙළඳපොල ආර්ථිකයක ලාභ උපයන්නෙකු විසින් කරන්නේ වරදක් හෝ නරක දෙයක් නොවේ. එමෙන්ම, එක් අයෙකු වැඩි ලාබයක් ඉපැයීම යනු වෙනත් අයෙකුට පාඩුවක් සිදු වීමද නොවේ. තරඟකාරී වෙළඳපොල ආර්ථිකයකයම් සමාගමක හෝ පුද්ගලයෙකුගේ ලාභය යනු ඔහු හෝ එම සමාගම විසින් ආර්ථිකයට අළුතින් එකතු කරන දෙයකි. ඒ නිසා, යමෙකුට වසරක් තුල එක් රුපියලක් රුපියල් හයක් බවට පත් කරන්නට හැකිනම් ඔහු හෝ ඇය සුවිශේෂී පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයින් සිටීනම් ඔවුන් ජාතික සම්පත් ලෙස සැලකීමේ වරදක් නැත.
කෙසේවුවද, ඉහත තර්කය අදාළ වන්නේ තරඟකාරී තත්ත්වයන් තුළ අනෙක් කිසිවෙකුට නොමැති විශේෂ වාසි කිසිවක් නොලබමින්, තමන්ගේ කිසියම් සුවිශේෂී දක්ෂතාවයක් උපයෝගී කරගෙන එවැනි ලාබයක් ලබා පෙන්වා ඇත්තේනම් පමණි. එවැන්නෙකු විසින් "එකතු කළ දෙය" බොහෝ විට පෙනෙන්නට තිබේ. බිල් ගේට්ස්, මාක් සකබර්ග් හෝ ස්ටීව් ජොබ්ස් විසින් එසේ එකතු කළ දේවල් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිව, අනෙක් අයට නැති විශේෂ වරප්‍රසාද ලබමින් යම් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් ලාබ ලබන විට සිදුවන්නේනම් අළුත් ධනයක් නිර්මාණය වීම නොව වෙනත් අයෙකුගේ දෙයක් අහිමි වීමයි.
ඒ නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ විශ්ලේෂණය කිරීම සඳහා අප විසින් සලකා බැලිය යුතු එක් පදනමක් වන්නේ ඔවුන් විසින් උපයා ඇති විශාල ප්‍රාග්ධන ලාබ ලබා ඇත්තේ කෙසේද යන්නයි. අඩු මිලට ගන්නා දෙයක් වැඩි මිලට විකුණා ලාබයක් ලැබීම ඕනෑම ව්‍යාපාරයක් විසින් කරන, කිසිදු වැරැද්දක් නැති කටයුත්තක් වුවත් මෙසේ මිල දී ගැනීම හා විකිණීම පිලිබඳ තීරණ ගන්නා විට අනෙක් අයට නොලැබෙන විශේෂ "රහසිගත" හෝ "අභ්‍යන්තර" තොරතුරක් එක් අයෙකුට පමණක් ලැබේනම් හා ඒ හේතුවෙන් විශාල ලාභයක් ලැබිය හැකිනම් එහි පැහැදිලි ප්‍රශ්නයක් තිබේ.
මෙහි එවැන්නක් වීමට පැවති ඉඩකඩ මොනවාද? මෙවැනි වාසිදායක හා රුපියල් බිලියන ගණන් වටිනා තොරතුරු මොනවාද?
අපි ඒ ගැන ඉදිරියේදී විමසමු.

අභ්‍යන්තර වෙළඳාම,
ආයෝජනය,
පොලී අනුපාතික,
භාණ්ඩාගාර බැඳුම්කර,
මහ බැංකුව,
ලාභය
Monday, January 30, 2017
සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව
අද දිවයින මුල් පුවතෙහි සඳහන් වන්නේ "ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර අක්‍රමිකතාව නිසා සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) රුපියල් කෝටි 1400 කට අධික අතිවිශාල අලාභයක් සිදුව" ඇති බවකි. ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව, මේ කියන අලාභය ඇත්තටම සිදු වී ඇති අලාභයක්ද එසේ නැත්නම් ලබා ගත හැකිව තිබුණු ලාභයක් නොලැබී යාම නිසා සිදු වූ උපකල්පිත අලාභයක් පමණක්ද යන්න පැහැදිලි නැත.
පුවත අනුව, "අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක් විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි ද එම අරමුදල විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සෘජුවම භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගත්තා නම් මේ අති විශාල අලාභය සිදු නොවීමට ඉඩ තිබුණ බව ද බැංකුව විසින් දැනට කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී තිබේ."
මේ කතාව අර්ධ සත්‍යයක් පමණි. ව්‍යාපාරික කටයුතු වල යෙදෙන රාජ්‍ය ආයතන නෛසර්ගිකවම පෞද්ගලික ආයතන වලට වඩා අකාර්යක්ෂම නිසා සේවක අර්ථසාධක අරමුදල වැනි මුල්‍ය වෙළඳපොළෙහි ආයෝජනය කර ලාභ ලැබීම ප්‍රධාන අරමුණ කරගත් ආයතනයක් එම අරමුණම වෙනුවෙන් කටයුතු කරන වෙනත් පෞද්ගලික ආයතනයක් ලබන තරමේ ලාභයක් නොලබන බව ඇත්තකි. ඒ අර්ථයෙන් සේවක අර්ථසාධක අරමුදල විසින් ඔවුන්ගේ පාලනය යටතේ ඇති අරමුදල් වෙනුවෙන් ලබා ගත හැකිව තිබුණු උපරිම ප්‍රතිලාභ ලබාගෙන නොතිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ.
කෙසේ වුවද, "අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක් විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි" කීම සත්‍යයක් විය හැක්කේ මෙවැනි ගනුදෙනුවක් පිටුපස කිසියම් පාරදෘශ්‍ය නොවන සිදුවීමක් සිදුව ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් පමණි.
මෙය පැහැදිලි කිරීම සඳහා මගේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ලිපි මාලාවේ හයවන කොටස සමඟ ඉදිරිපත් කළ පළමු වගුව වෙත යමු. 2015 පෙබරවාරි 27 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා සේවක අර්ථසාධක අරමුදල විසින් ලන්සු තබා ඇත්තේ රුපියල් 100 සිට 104.51 දක්වා පරාසයකය. ද්විතීයික වෙළෙඳපොළේදී සේවක අර්ථසාධක අරමුදලට භාණ්ඩාගාර බැඳුම්කර විකුණා ඇති රටේ කාලයක් තිස්සේ පුවත් මවන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් සෘජුව හෝ වක්‍රව රුපියල් 97.88 සිට 86.77 දක්වා පරාසයක ලන්සු තබා ඇති අතර ඒ අතරින් රුපියල් 90.17 ඉක්මවූ ලන්සු පිළිගැනිණි. පහළොස්වන කොටස සමඟ පළකර ඇති හත්වන වගුවෙන් පෙන්වා ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල විසින් නාමික අගය රුපියල් 100ක් වන භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ගෙවා ඇති බරිත සාමාන්‍ය මිල රුපියල් 102.23කි.
සේවක අර්ථසාධක අරමුදලට ඔවුන් වෙන්දේසියෙන් මිල දී ගත් බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ලාභයක් ලබා ගැනීමටනම් රුපියල් 102.23 ඉක්මවන මිලකට මේ බැඳුම්කර විකිණිය හැකි විය යුතුය. ඔවුන් වෙන්දේසියෙන් හිමිකර ගත් බැඳුම්කර ප්‍රමාණය (නාමික අගය අනුව) රුපියල් බිලියන දෙකක් නිසා ද්වීතියික වෙළඳපොලෙහි රුපියල් 103.23 බැගින් විකිණිය හැකි වූයේනම් රුපියල් මිලියන 20 ක ක්ෂණික ලාභයක්ද, රුපියල් 112.23 බැගින් විකිණිය හැකි වූයේනම් රුපියල් මිලියන 200 ක ක්ෂණික ලාභයක්ද සේවක අර්ථසාධක අරමුදලට ලබාගත හැකිව තිබුණි. එහෙත්, එසේ වැඩි මිලකට විකිණීමේ හැකියාවක් සේවක අර්ථසාධක අරමුදලට නොතිබුණේ එවැනි මිලකට මෙම භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට කිසිවකු සූදානම්ව නොසිටි බැවිනි.
ඇත්තටම ඉහත වෙන්දේසියෙන් පසුව තිස් අවුරුදු බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකිණිය හැකිව තිබුණේ සේවක අර්ථසාධක අරමුදලේ බරිත සාමාන්‍ය පිරිවැය වූ රුපියල් 102.23ට වඩා බොහෝ අඩු මිලකටය. ඒ නිසා, යම් හෙයකින් එම අරමුදලට සිය බැඳුම්කර මුදල් කරන්නට අවශ්‍ය වීනම් එය කළ හැකිව තිබුණේ විශාල අලාභයක් ක්ෂණිකව ලබමිනි. උදාහරණයක් ලෙස ලිපි මාලාවේ දහවන කොටස සමඟ පළකර ඇති පස්වන වගුව ඇසුරින් පැහැදිලි කර ඇති පදනම මත මේ ද්වීතියික වෙළඳපොළ මිල රුපියල් 96.02 ලෙස සැලකුවහොත්, නාමික අගය රුපියල් 100කට රුපියල් 6.21 බැගින් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 124.2ක ක්ෂණික අලාභයක් සිදුවිය හැකිව තිබුණි. මෙය දිවයින පුවතේ සඳහන් රුපියල් කෝටි 1,400ක හෙවත් බිලියන 14ක අලාභයට සාපේක්ෂව සුළු අලාභයකි.
කෙසේවුවද, මේ බිලියන දෙකේ ගණුදෙනුව සේවක අර්ථසාධක අරමුදලේ තවත් එක් ගනුදෙනුවක් පමණි. අපේ සාකච්ඡාවට අදාළ ගණුදෙනු සිදුවී ඇති 2015 අවසානයේ අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1,665ක් විය. මේ වත්කම් වලින් සුළු ප්‍රමාණයක් හැර ඉතිරිය අරමුදලේ ආයෝජන කළඹට අයත් වන අතර එයින්ද 90%ක් පමණම ආයෝජනය කෙරෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලය. ඒ නිසා, දිගින් දිගටම වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලට වඩා අඩු ලන්සු තබමින් බැඳුම්කර මිල දී ගත්තේනම් සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව බිලියන 14ක මට්ටමකට ඉහළ යන්නට බැරිකමක් නැත.
දැන් මෙසේ සේවක අර්ථසාධක අරමුදල පාඩු ලැබුවාය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙයින් අදහස් වන්නේ සේවක අරමුදල විසින් රුපියල් 102.23 බැගින් මිලදී ගත් බැඳුම්කර වල වෙළඳපොළ මිල රුපියල් 96.02 දක්වා පහත වැටීම නිසා (වෙනත් ආයෝජන නොසලකා හැරියොත්) අරමුදලේ ආයෝජන කළඹේ වෙළඳපොළ වටිනාකම ආයෝජනය කළ මුල් මුදලට වඩා අඩුවී තිබීම නිසා සිදුවූ අවාසියයි. කෙසේ වුවද, මේ පාඩුව "පොත් වල ඇති" පාඩුවකි. මේ පාඩුව සැබෑ පාඩුවක් වන්නේ පවතින මිලට මේ බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණුවහොත්ය.
මෙසේ වෙළඳපොළ මිලට විකිණීමත් සමඟ පොතේ ඇති පාඩුව සැබෑ පාඩුවක් බවට පත් වන නිසා, සල්ලි හදිස්සියක් නැත්නම්, ආයෝජකයෙකු බොහෝ විට කරන්නේ අදාළ බැඳුම්කර නොවිකුණා "යන විදිහ" බලා සිටීමයි. සේවක අර්ථසාධක අරමුදලට සාමාන්‍යයෙන් ලොකු සල්ලි හදිස්සි ඇති නොවේ.
කෙසේ වුවද, මෙසේ බලා සිටීමෙන් වැඩක් වෙන්නේ ද්වීතියික වෙළදපොළ මිල රුපියල් 102.23 මට්ටම ඉක්මවා ඉහළ යන්නට ඉඩක් ඇත්නම් පමණි. එසේ බලා සිටිද්දී යම් හෙයකින් මිල තවත් පහත වැටුණොත් සිදුවන්නේ අලාභය තවත් වැඩි වීමයි.
රුපියල් 96.02 සිට රුපියල් 102.23 දක්වා බැඳුම්කරයක මිල ඉහළ යන්නට ඇති ඉඩකඩ එතරම් වැඩි නොවන බව පැහැදිලිය. එහෙත්, මේ මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමට සැලකිය යුතු ඉඩක් තිබේ. ද්වීතියික වෙළඳපොළ මිල තමන් ගෙවූ මිලට වඩා පහත වැටී "ඇනගෙන සිටින" ආයතනයකට අනුගමනය කළ හැකි එක් උපාය මාර්ගයක් වන්නේ තමන් මුලින් බැඳුම්කර මිලදී ගත් මිලට වැඩ අඩුමිලක් වන පවතින ද්වීතියික වෙළදපොල මිලට තවත් බැඳුම්කර මිල දී ගැනීම මඟින් තමන්ගේ ආයෝජන කළඹේ බරිත සාමාන්‍ය පිරිවැය අඩු කර ගැනීමයි.
උදාහරණයක් ලෙස රුපියල් 102.23ක බරිත සාමාන්‍ය මිලකට බිලියන දෙකක බැඳුම්කර මිලදී ගෙන සිටින සේවක අර්ථසාධක අරමුදලට පවතින වෙළඳපොළ මිල වන රුපියල් 96.02 බැගින් තවත් බිලියන දෙකක බැඳුම්කර මිල දී ගැනීමෙන් ආයෝජන කළඹේ බරිත සාමාන්‍ය පිරිවැය රුපියල් 99.12 දක්වා අඩු කර ගැනීමට පුළුවන. මේ මට්ටමට මිල ඉහළ යාමට ඇති ඉඩකඩ රුපියල් 102.23දක්වා මිල ඉහළ යාමට ඇති ඉඩකඩට වඩා වැඩිය. ඒ නිසා එසේ කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදලට වඩා ඉක්මණින් අලාභය පියවා ගැනීමට ඉඩක් සැලසෙන්නට පුළුවන.
වෙන්දේසියෙන් පසුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමෙන් තවත් බැඳුම්කර මිලදී ගැනීම මඟින් සේවක අර්ථසාධක අරමුදල අපේක්ෂා කළේ මෙවැනි දෙයක් විය හැකිය. ඒ නිසා ප්‍රාථමික වෙන්දේසියෙන් බැඳුම්කර මිලදී නොගෙන ද්වීතියික වෙළඳපොළෙන් පසුව මිලදී ගැනීම මහා අමුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මෙසේ වැඩිපුර බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව මිල තවත් අඩු වුවහොත් පාඩුව තවත් ඉහළ යන නිසා මෙවැන්නක් කළ යුත්තේ සැලකිල්ලෙනි.
මේ වෙන්දේසිය පමණක් සැලකුවහොත් වෙන්දේසියෙන් පසුව සේවක අර්ථසාධක අරමුදල විසින් ද්වීතියික වෙළදපොලෙන් බැඳුම්කර මිල දී ගන්නට ඇත්තේ රුපියල් 96ක පමණ මිලකට වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. වැඩිපුර බැඳුම්කර ප්‍රමාණයක් තිබුණේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සතුව නිසාත්, අඩුම මිලකට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගැනීමට උත්සාහ කළ හැකිව තිබුණේ අඩුම පිරිවැයක් ගෙවා බැඳුම්කර හිමි කරගත් ආයතනයෙන් වීමත් නිසා එම සමාගමෙන්ම මිල දී ගැනීමද තේරුම් ගත හැකි දෙයකි.
යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික වෙන්දේසියෙන් සෘජුව බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිල දී ගත්තේනම් එසේ මිල දී ගැනීමට බොහෝ දුරට ඉඩ තිබුණේ රුපියල් 100කට ආසන්න, රුපියල් 96 ඉක්මවන මිලකටය.එසේ වීනම්,අරමුදලේ පාඩුව මීට වඩා වැඩි විය හැකිව තිබුණි. ඒ නිසා ප්‍රාථමික වෙන්දේසියෙන් මිලදී නොගෙන පසුව ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගැනීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් වූයේය යන්න බොහෝ දුරට පදනම් විරහිත කතාවක් විය හැකිය.
කෙසේ වුවද, ලබා ගත හැකිව තිබුණු ලාභය ලබා නොගත්තේය යන අරුතින් සේවක අර්ථසාධක අරමුදල පාඩු ලබා ඇති බව බොරුවක් නොවේ. එහෙත්, ඒ පාඩුව සිදුවී ඇත්තේ තරඟකාරී නොවන අඩු මිලකට ආණ්ඩුවට ණය දීම නිසාය.

ආයෝජන කළඹ,
ආයෝජනය,
භාණ්ඩාගාර බැඳුම්කර,
මහ බැංකුව,
ලාභය,
සේවක අර්ථසාධක අරමුදල
Friday, January 20, 2017
මහජන සම්පතක සැබෑ වටිනාකම කීයද?
සූදුවේ ලාභය හැම විටම වාගේ සූදුව මෙහෙයවන්නාටය. මෙසේ නොවන, දිගුකාලීනව ලාභ ලබා දෙන ලොතරැයි තිබේද? එවැනි ලොතරැයිද තිබෙන්නට පුළුවන. කිසියම් ලොතරැයියක අපේක්ෂිත දිනුම් මුදල එම ලොතරැයියේ මිලට වඩා වැඩිනම් එවැනි ලොතරැයියක් වාසිදායක ලොතරැයියකි. මේ 'අපේක්ෂිත දිනුම් මුදල' කියන්නේ දිනුමක් ලැබුනොත් ලැබෙන ත්‍යාග මුදල නොවේ. ලොතරැයියක් මිලදී ගන්නා අවස්ථාවේදී 'සාමාන්‍ය වශයෙන්' තමන්ට ලබා ගැනීමට අපේක්ෂා කළ හැකි දිනුම් මුදලයි. එය ගණනය කරන්නේ කෙසේද?
මෙය පැහැදිලි කිරීම සඳහා අපි දැනට ලංකාවේ විකිණෙන පැරණිම ලොතරැයියක් වන මහජන සම්පත ලොතරැයි දිගින් දිගටම මිල දී ගන්නා හෝ විශාල ප්‍රමාණයක් මිල දී ගන්නා අයෙකුට ලැබෙන්නට ඉඩකඩ ඇති මුදල සොයා බලමු.
මේ වන විට මහජන සම්පත ලොතරැයියක මිල රුපියල් 30ක් වන අතර එහි දිනුම් රටාව මෙසේය.
අංක 6 සමඟ ඉංග්‍රීසි අක්ෂරය නිවැරදි නම් රුපියල් 10,000,000න් ඇරඹෙන සුපිරි ත්‍යාගය
අංක 6 ම නිවැරදි නම් රුපියල් 2,000,000
අවසාන අංක 5 නිවැරදි නම් රුපියල් 100,000
අවසාන අංක 4 නිවැරදි නම් රුපියල් 10,000
අවසාන අංක 3 නිවැරදි නම් රුපියල් 1,000
අවසාන අංක 2 නිවැරදි නම් රුපියල් 100
අවසාන අංක 1 නිවැරදි නම් රුපියල් 30
ප්‍රථම අංක 5 නිවැරදි නම් රුපියල් 10,000
ප්‍රථම අංක 4 නිවැරදි නම් රුපියල් 1,000
ප්‍රථම අංක 3 නිවැරදි නම් රුපියල් 100
ප්‍රථම අංක 2 නිවැරදි නම් රුපියල් 60
ඉංග්‍රීසි අක්ෂරය නිවැරදි නම් රුපියල් 30
මහජන සම්පත ලොතරැයියක 0-9 අතර අංක වලින් අහඹු අංක 6ක් ද, "I" අකුර හැර ඉංග්‍රීසි හෝඩියේ ඉතිරි අකුරු අකුරු 25න් අහඹු ලෙස තෝරාගත් අකුරක්ද මුද්‍රණය කර තිබේ. මේ අනුව අපට එක් එක් වර්ගයේ ත්‍යාගයක් ලැබෙන්නට තිබෙන ඉඩකඩ ගණනය කළ හැකිය.
උදාහරණයක් වශයෙන් අවසාන අංකය ගැලපීමට 1/10ක ඉඩකඩක් ඇති අතර, අවසාන අංක දෙක ගැලපීමට ඇත්තේ 1/100ක ඉඩකඩකි. ඉංග්‍රීසි අක්ෂරය නිවැරදි වීමට 1/25ක ඉඩකඩක් ඇත. අංක හයම ගැලපීමට ඇති ඉඩකඩ 1/1,000,000 වන අතර සුපිරි ත්‍යාගය ලැබෙන්නට ඇති ඉඩකඩ 1/25,000,000ක් පමණි.
එක් දිනුම් වාරයක් තුළ විකිණෙන ලොතරැයි ගණන 2,000,000 ලෙස සැලකුවහොත් ආසන්න වශයෙන් ලොතරැයි 200,000ක අවසාන අංකය ගැලපෙන්නටත්, ආසන්න වශයෙන් ලොතරැයි 20,000ක අවසාන අංක දෙක ගැලපෙන්නටත්, ආසන්න වශයෙන් ලොතරැයි 2ක අවසාන අංක හයම ගැලපෙන්නටත් ඉඩකඩ තිබෙන අතර සුපිරි ත්‍යාගය යමෙකුට ලැබෙන්නට ඉඩ ඇත්තේ ආසන්න වශයෙන් දිනුම් වාර 13කට වරකි. විකිණෙන ලොතරැයි ගණන අඩු වැඩි වන විට ලැබෙන ත්‍යාග ගණනද අඩු වැඩි වුවත් ත්‍යාගයක් ලැබෙන්නට ඇති ඉඩකඩ වෙනස් නොවේ.
මහජන සම්පත ලොතරැයියක අවසාන අංකය ගැලපුනොත් ජයග්‍රාහකයාට රුපියල් 30ක මුදලක් හිමිවන අතර සෑම ලොතරැයිපත් 10කින් එකකටම එවැනි දිනුමක් හිමි වේ. ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි 10ක් විකුණා රුපියල් 300ක ආදායමක් ලබන විට එයින් රුපියල් 30ක් මේ වර්ගයේ ත්‍යාග වෙනුවෙන් වෙන් කරන්නට සිදුවේ. ලොතරැයි මිලදී ගන්නා අයට ඔවුන් ගෙවන මුදලින් 10%ක් තෑගී ලෙස ආපසු ලැබේ.
මේ අයුරින්ම ලොතරැයි 100කින් එකක අවසන් අංක දෙක ගැලපී රුපියල් 100ක ත්‍යාගයක් හිමිවන නිසා මේ ආකාරයේ ත්‍යාග වෙනුවෙන් සෑම රුපියල් 3000කින්ම රුපියල් 100ක් හෙවත් 3.33%ක් වෙන් කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට සිදුවේ. මෙය එකතු කළ විට ලොතරැයි මිල දී ගන්නා අයෙකුගේ අපේක්ෂිත දිනුම් මුදල 13.33% හෙවත් රුපියල් 4 දක්වා ඉහළ යයි. මේ අයුරින් සියළුම ත්‍යාග වල අපේක්ෂිත මුදල එකතු කළ විට මහජන සම්පත ලොතරැයියක් මිලදී ගැනීමෙන් යමෙකුට ලැබිය හැකි 'අපේක්ෂිත ත්‍යාග මුදල' ගණනය කළ හැකිය. මේ මුදල මහජන සම්පත ලොතරැයියක සැබෑ වටිනාකමයි.
පහත වගු දෙකෙන් පෙන්වා ඇත්තේ ජනවාරියේදී මිල වැඩි කිරීමෙන් පසුව මහජන සම්පත ලොතරැයියක සැබෑ වටිනාකම වෙනස් වී ඇති ආකාරයයි. වෙනත් ලොතරැයි වල සැබෑ වටිනාකමද මේ ආකාරයෙන්ම ගණනය කළ හැකිය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය විසින් සඳහන් ඇති කර පරිදිම ජනවාරිය දක්වා ලොතරැයි ආදායමෙන් 50%ක් (රුපියල් 10.00ක්) ත්‍යාග සඳහා වෙන් කර ඇතත් ජනවාරියේ සිට ත්‍යාග සඳහා වෙන්වන්නේ ආදායමෙන් 38.33%ක් (රුපියල් 11.50ක්) පමණි. වෙනත් අයුරකින් කිවහොත් වැඩි කළ රුපියල් 10ක මුදලින් ත්‍යාග මුදල් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් 1.50ක් පමණි. වෙළඳ නියෝජිතයින්ගේ කොමිස් මුදල් වැඩි කර ඇත්තේ ශත 50කින් පමණක් නිසා වැඩිකළ මුදලින් රුපියල් 8කම යන්නේ රජයටය. මේ අනුව රජයට ලොතරැයියකින් ලැබෙන මුදල රුපියල් 6.20 සිට රුපියල් 14.20 දක්වා 129%කින් වැඩි වී තිබේ. (මෙය පෙර ලිපියේ මගේ ඇස්තමේන්තුවට වඩා රුපියල් 3කින් වැඩිය. එකතු කර ඇති රුපියල් පහක එක්සයිස් බද්දට අමතරව වැට් බදු මුදල හා ඒකාබද්ධ අරමුදලට යැවෙන මුදලද ආසන්න ලෙස සමානුපාතිකව (30%) වැඩි වී ඇති බව පෙනේ. කිසියම් හෝ දිනුමක් ඇත්තේ ලොතරැයි වලින් 16%කය. මෙය වෙනස් වී නැත.)
කෙසේ වුවද, මිල වැඩි කිරීම හේතුවෙන් විකිණෙන ලොතරැයි ප්‍රමාණය පෙර ප්‍රමාණයෙන් 43.7%කට වඩා අඩු මට්ටමකට පහත වැටුණොත් රජයට සමස්තයක් ලෙස වන්නේ අලාභයකි. ඉකොනොමැට්ටාගේ කාල වේලා ප්‍රශ්න නිසා වැඩි හැදෑරීමක් නොකර උඩින් පල්ලෙන් දත්ත පරීක්ෂා කළ විට පෙනෙන්නේ ලොතරැයි අලෙවිය පෙර පැවති මට්ටමෙන් 10-30% අතර මට්ටමකට වැටී ඇති බවයි. මේ අනුව, මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජය ලොතරැයි වලින් ලැබූ ආදායම අඩකින් පමණ අඩු වී ඇතැයි සිතිය හැකිය.
මිල වැඩිවීමට දක්වන ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස තාවකාලිකව සිදුවන ඉල්ලුම පහත වැටීම හා වෙළඳ නියෝජිතයින්ගේ විරෝධයේ බලපෑම ඉවත් වෙද්දී අලෙවිය නැවත ඉහළ ගොස් කිසියම් ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇති නමුත් අවසාන ප්‍රතිඵලය ලෙස වුවද රජයට වැඩි ආදායමක් ලැබේයැයි සිතීම අසීරුය.
(Image: http://www.nlb.lk/results-info.php?lot=1)
Labels:
ප්‍රත්‍යස්ථතාවය,
බදු,
රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති,
ලාභය,
සම්භාවිතාව
Thursday, January 19, 2017
නොඇදුණු ලොතරැයි දිනුම
රජය විසින් සිය අයවැය යෝජනාවක් ක්‍රියාත්මක කරමින් වසර ආරම්භ වෙද්දී ලොතරැයියක මිල 50%කින් වැඩි කළේය. ඒ අනුව, සෑහෙන කාලයක් රුපියල් 20ට විකිනුණු ලොතරැයියක මිල රුපියල් 30 වෙද්දී ආණ්ඩුවට ලොතරැයි වෙළෙන්දන්ගේ හා වෙළඳ නියෝජිතයින්ගේ විරෝධයට මුහුණ දෙන්නට විය. අවසානයේදී ලොතරැයි මිල පැවති මට්ටමේම තබා ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වී තිබේ.
ජනාධිපතිවරයා මුල් වී අයවැය යෝජනා අකුලා ගැනීම දුලබ දෙයක් නොවේ. කෙසේ වුවද, පෙනෙන ලෙසට මේ යෝජනාව අකුලා ගැනීමට තීරණය කිරීමට හේතු වී ඇත්තේ වෙළඳ නියෝජිතයින්ගේ විරෝධය නොවන බවත්, එම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් රජයේ ආදායම වැඩි වනු වෙනුවට අඩු වන්නට ඉඩ ඇති බව පෙනී යාමත් බවද ඇතැම් තැන් වල සඳහන් වී තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනියට අනුව, රුපියල් 20කට ලොතරැයියක් විකුණා ලැබෙන ආදායම වැය වන්නේ පහත පරිදිය.
තෑගි සඳහා -රුපියල් 10.00
වෙළඳ නියෝජිතයින්ට- රුපියල් 3.80
රජයට- රුපියල් 6.20
වැඩි කිරීමට බලාපොරොත්තු වූ රුපියල් දහයෙන් රුපියල් පහක්ම එක්සයිස් බද්දක් ලෙස රජයටත්, තවත් ශත පනහක් වෙළඳ නියෝජිතයින්ටත් ලැබෙන්නට නියමිතව තිබී ඇති බැවින් මේ තීරණය ක්‍රියාත්මක කළේනම් මේ ලොතරැයි විකුණා ලබන ආදායමින් තෑගි වෙනුවෙන් වෙන්වන මුදල 50%ට වඩා අඩු විය හැකිව තිබුණි.
දිනුමක් ලැබීමේ සම්භාවිතාව අඩු වූ විට ලොතරැයි සඳහා වන ඉල්ලුම අඩුවේ. මිල වැඩි වූ විටද ඉල්ලුම අඩු වේ.
ලොතරැයි වෙළඳ නියෝජිතයින් සඳහා එක් ලොතරැයියකින් ලැබෙන මුදල 13%කින් වැඩි වුවත්, විකිණෙන ලොතරැයි ප්‍රමාණය 13% ප්‍රමාණය ඉක්මවා පහත වැටෙන්නට ඉඩ ඇති නිසා ඔවුන්ගේ ආදායමද පහත වැටෙන්නට ඉඩ තිබුණේය. වෙළඳ නියෝජිතයින්ගේ විරෝධයට හේතු වූයේ මෙයයි.
කෙසේ වුවද එක් ලොතරැයියක් විකුණා රජය ලබන ආදායම රුපියල් 6.20 සිට රුපියල් 11.20 දක්වා ඉහළ යාමට නියමිතව තිබුණු බැවින් විකිණෙන ලොතරැයි ප්‍රමාණය පැවති වෙළඳාමෙන් 55% මට්ටම දක්වා පහත වැටුණද රජයට වැඩි ආදායමක් ලැබිය හැකිව තිබුණි. එහෙත්, ඊට වඩා වැඩියෙන් ඉල්ලුම පහත වැටුනේනම් රජයට විය හැකිව තිබුණේ ශුද්ධ අලාභයකි.
කිසියම් භාණ්ඩයක මිල යම් ප්‍රතිශතයකින් වැඩි කළ විට එම භාණ්ඩය සඳහා වන ඉල්ලුම අඩු වන ප්‍රතිශතය එහි ප්‍රත්‍යස්ථතාව ලෙස හැඳින්වේ. හාල්, පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල ප්‍රත්‍යස්ථතාව අඩු වුවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වල ප්‍රත්‍යස්ථතාව ඉහළ අගයක් ගනී.
ලංකාවේ ලොතරැයි වල ප්‍රත්‍යස්ථතාවය ගැන සිදු කර ඇති අධ්‍යයන ගැන නොදන්නා නමුත් ඇමරිකාව හා එංගලන්තය වැනි වෙනත් රටවල සිදු කර ඇති එවැනි අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ ලොතරැයි වල මිල ප්‍රත්‍යස්ථතාවය එකට ආසන්න බවයි. එයින් අදහස් වන්නේ ලොතරැයි මිල 50%කින් වැඩි වෙද්දී විකිණෙන ලොතරැයි ප්‍රමාණය 50%කින් අඩු වන බවයි. මේ සමඟම දිනුම් ඇදීමේ සම්භාවිතාවද අඩු වූ විට විකිණෙන ලොතරැයි ප්‍රමාණය තවත් අඩු වන්නට ඉඩ තිබේ.
ඒ නිසා යම් හෙයකින් රජය ලොතරැයි මිල රුපියල් 30 මට්ටමට ඉහළ නැංවූයේනම් ලොතරැයි වෙළඳ නියෝජිතයින්ගේ ආදායම විශාල ලෙස අඩුවෙනවාට අමතරව රජයේ ආදායමද පහත වැටිය හැකිව තිබුණු බවට පළවී ඇති අදහස බැහැර කළ නොහැක්කකි. ලොතරැයි වෙළඳ නියෝජිතයින් අධෛර්යමත් වීමේ බලපෑමද සැලකූ විට ලොතරැයි මිල ඉහළ දැමීමේ ශුද්ධ ප්‍රතිඵලය වීමට ඉඩ ඇත්තේ ලොතරැයි අලෙවිය 60-70%කින් පමණ පහත වැටීම හා එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම 10-20% පමණ ප්‍රමාණයකින් අඩු වීමයි.
රජයක අයවැය යෝජනා මඟින් බදු ආකෘතිය වෙනස් කළ යුත්තේ ප්‍රත්‍යස්ථතාවය ගැන ගැඹුරු ලෙස හැදෑරීමෙන් පසුවය. එසේ නොකළහොත් අපේක්ෂිත ආදායම් ජනනය වෙනුවට එහි විලෝමය සිදුවන්නට ඉඩ තිබේ.
(Image: http://www.lankac.news/no-increase-in-lottery-ticket-price/)

Monday, September 19, 2016
ලංකාවට වෛද්‍යවරු ප්‍රමාණවත්ද?
ඉල්ලුම් සැපයුම් බලවේග නිදහසේ තුලනය වන වෙළඳපොළක් නොවන ලංකාවේ වෛද්‍යවරුන් සඳහා වන වෙළඳපොළ කිහිප අයුරකින්ම නියාමනයට ලක්වන්නකි. පළමුව වෛද්‍ය අධ්‍යාපනයේ මිල සුබසාධනය කිරීම හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම වැඩි කර තිබේ. දෙවනුව, එහිම ප්‍රමාණය සීමා කිරීම මඟින් ඉල්ලුම හා සැපයුම අතර විශාල පරතරයක් ඇති කර තිබේ. තෙවනුව, වෛද්‍යවරුන්ට රැකියා සැපයීම කෙරෙහි ඇති රාජ්‍ය ඒකාධිකාරය උපයෝගී කර ගනිමින් රටේ වෛද්‍ය වෘත්තිකයින් ප්‍රමාණය හා ඔවුන්ට ගෙවන මිල පාලනය කර තිබේ. මේ අතර, දැනට රාජ්‍ය සේවයේ රැකියා කරන වෛද්‍ය වෘත්තිකයෝ කාටලයක් ලෙස ක්‍රියා කරමින් මෙසේ රජය විසින් පවත්වාගෙන යනු ලබන මිල හා ප්‍රමාණ රෙගුලාසිකරණයට බලපෑම් කරති. කෙසේ වුවද, ඔවුහු මේ වෙළඳපොළේ ඇති රාජ්‍ය ඒකාධිකාරය බිඳීමට උත්සාහ නොකරති. මෙවැනි අච්චාරුවක් වී ඇති වෙළඳපොලක පවතින සමතුලිතතාවය විශ්ලේෂණය කිරීම තරමක් සංකීර්ණ වැඩකි.
ලංකාවට වෛද්‍යවරු ප්‍රමාණවත්ද යන ප්‍රශ්නයට ඇත්තේ සාපේක්ෂ පිළිතුරකි. උදාහරණයක් ලෙස, ලෙඩ වීම දෙවියන්ගේ කැමැත්ත නිසා හෝ කර්මය නිසා වන බවත්, ප්‍රතිකාර ගැනීම යනු ඒ බලවේග වලට විරුද්ධ වීමක් බවත් සමාජයේ හැම දෙනාම සිතනවානම් රටකට වෛද්‍යවරු අවශ්‍යම නැත. එහෙත්, ලෝකයේ වැඩි දෙනෙකු එසේ නොසිතති. ඒ නිසා ලෝකයේ හැම රටකම වෛද්‍යවරුන් සඳහා කිසියම් ඉල්ලුමක් ඇත. ලංකාවේ ප්‍රමාණවත් තරමට වෛද්‍යවරු සිටිනවාද යන්න විමසීමේදී කිසියම් අයෙකුට ආනුභාවික දත්ත ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍යනම් කළ යුතු හොඳම දෙය වෙනත් රටවල හා කලාප වල පවතින තත්ත්වය සමඟ සැසඳීමයි.
පහතින් ඇත්තේ එවැනි අවශ්‍යතාවයක් ඇති අයෙකුට මූලාශ්‍ර කර ගත හැකි සංසන්දනාත්මක ලෝක බැංකු දත්ත අනුව එක් එක් තෝරාගත් රටේ හෝ කලාපයේ ජනගහණයෙන් දස ලක්ෂයකට සිටින වෛද්‍යවරු ගණනයි. වරහන් තුල ඇත්තේ වඩාත්ම යාවත්කාලීන දත්තය හා අදාළ වසරයි. තෝරාගත් රටවල් අතර නිදහස් සෞඛ්‍ය පහසුකම සියල්ලන්ටම ඇති හා නැති සංවර්ධිත රටවල්, පැරණි හා වත්මන් සමාජවාදී රටවල්, මුස්ලිම් රටවල්, කලාපීය රටවල් හා අඩු ආදායම් රටවල් ඇතුළත්ය.
ශ්‍රී ලංකාව - 680 (2010)
ඉන්දියාව - 743 (2011)
පකිස්තානය - 827 (2010)
මාල දිවයින - 1,415 (2010)
දකුණු ආසියාව - 675 (2011)
පහළ මැදි ආදායම් රටවල් - 754 (2011)
ලෝකය - 1,539 (2011)
චීනය - 1,940 (2012)
කියුබාව - 6,723 (2010)
රුසියාව - 4,309 (2010)
යුක්‍රේනය - 3,543 (2013)
ඇමරිකා එක්සත් ජනපදය - 2,452 (2011)
කැනඩාව - 2,068 (2010)
එක්සත් රාජධානිය - 2,809 (2013)
ජපානය - 2,297 (2010)
ඕස්ට්‍රේලියාව - 3,273 (2011)
ස්වීඩනය - 3,926 (2011)
සිංගප්පූරුව - 1,950 (2013)
සවුදි අරාබිය - 2,491 (2012)
කටාර් - 7,739 (2010)
උගන්ඩාව - 117 (2011)
සිම්බාබ්වේ - 83 (2011)
කිසියම් කර්මාන්තයක සුපිරි ලාභ ලැබීමේ ඉඩකඩක් පවතීනම් එයින් අදහස් වන්නේ එම කර්මාන්තයේ සැපයුම් හිඟයක් පවතින බවයි. යම් කර්මාන්තයක් කෙරෙහි අළුත් ව්‍යවසායකයන් විශාල ලෙස ආකර්ෂණය වන්නේනම් එයින් පෙන්නුම් කරන්නේ එම කර්මාන්තයේ සුපිරි ලාභ ඇති බවයි. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට ඇති විශාල තරඟය අමතක කළත්, මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගෙන මෙම කර්මාන්තයට පිවිසීමට ඇති විශාල ඉල්ලුමෙන් පෙනෙන්නේ මෙම කර්මාන්තයෙහි ආයෝජනයට හා අවදානමට සරිලන නිසි ලාභ ඉක්මවන සුපිරි ලාභ ඇති බවයි.
(Image: okpolicy.org)

වෛද්‍ය සේවා වෙළඳපොළ,
සුපිරි ලාභ,
සෞඛ්‍ය ආර්ථික විද්‍යාව
Thursday, February 25, 2016
ලාහය, ලාභයට හේතුව සහ ලාභය නැති කිරීමේ මාර්ගය
ප්‍රදීප්ගේ පසුගිය ප්‍රතිචාරය ගැන කතා කිරීම බොහෝ සේ කල් පසුවිය. ඇත්තටම මට කතා කරන්නට අවශ්‍ය එහි කොටස් කිහිපයක් ගැන පමණි.
"මෙවැනි තත්වයක් මෙම වෙළද පොලතුල ඇතිකිරීමට සිදුවී ඇත්තේ සමාගම් සහ බහුතරයක් මිනිසුන් ලාභය ලැබිමේ අපේක්ෂාවෙන් පමණක් කටයුතු කිරීම නිසාය. අපි මොහොතකට මිනිසුන් ලාභය පිලිබදව අපේක්ෂා නොකර මිනිසුන්ගේ යහපත පිලිබදව සිතන්නේයැයි සිතමු. එවිට සිදුවනු ඇත්තේ නව නිශ්පාදනයන් සිදුවීම සදහාවන පෙළඹිම අඩුවීමක්ද නැතහොත් නව නීශ්පාදනයන් වෙගවත් වීමක්ද?"
ඔහු කියන්නේ මිනිසුන් සහ සමාගම් පෞද්ගලික ලාභ වෙනුවෙන් කටයුතු නොකර මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නේනම් අවසන් ප්‍රතිඵලය වඩා හොඳ එකක් වනු ඇති බවයි. මෙයට මට දෙන්නට ඇති සරලම පිළිතුර මිනිසුන් සාමාන්‍යයෙන් එසේ කටයුතු නොකරන බවයි. ඇතැම් අවස්ථා වල ඇතැම් මිනිසුන් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය නොතකා වෙනත් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන අවස්ථා ඇතත් සමස්තයක් වශයෙන් මිනිස්සු එසේ ක්‍රියා නොකරති. එහෙත්, තමන්ගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් බොහෝ විට බොහෝ දෙනා කටයුතු කරති.
අපට මැටි වලින් රන් පිළිම තැනිය නොහැකිය. රන් නැත්නම් අපට කළ හැක්කේ වඩා හොඳ මැටි පිළිමයක් සැදීමයි. ස්වභාවිකව පරිණාමය වන මිනිසා හෝ මිනිස් සමාජය බලහත්කාරයෙන් පරිවර්තනයකට ලක් කළ නොහැකිය. නිදහස් වෙළඳපොළ ක්‍රමයකින් කරන්නේ වත්මන් සමාජයේ බොහෝ පුද්ගලයින් බොහෝ අවස්ථා වලදී සිය පෞද්ගලික වාසිය වෙනුවෙන් කටයුතු කරන්නේය යන පදනම මත, ඔවුන් එසේ කළත් අවසන් ප්‍රතිපලය හොඳ එකක් වන ක්‍රමවේදයක් තහවුරු කිරීමයි.
ලාභ වලට නැවත පැමිණියහොත් පළමුව ලාභයේ ඇති වැරැද්ද කුමක්දැයි විමසන්නට සිදුවේ. අප ඉතාම සරල උදාහරණයකට ගියහොත් මා සිටවන කෙසෙල් ගසක ලොකු කැනක් වැටුණොත් මට ලාභයක් වෙයි. කෙසෙල් ගස වඳ පීදුනොත් පාඩුවක් වෙයි. ඇතැම් විටක, මා සිටවන කෙසෙල් ගස් දිගින් දිගටම වඳ බහිද්දී මගේ අසල්වැසියාගේ වත්තේ දිගින් දිගටම ලොකු කෙසෙල්කැන් වැටෙන්නට පුළුවන. මගේ වැස්සීගේ පැටවුන් අඩු මාසෙන් ගබ්සා වෙද්දී අල්ලපු ගෙදර වැස්සී අවුරුදුපතා පැටවූ දමන්නට පුළුවන. මෙවැනි අවස්ථාවක මගේ අසල්වැසියාගේ ලාභය ගැන මා අසතුටු වේනම් එය ඊර්ශ්යාවට වඩා වැඩි දෙයක් නොවන බව ඉතා පැහැදිලිය.
ලාභය පිලිබඳ ප්‍රශ්නය වඩා සංකීර්ණ වන්නේ නිෂ්පාදන කාර්යයේදී එක් අයෙකුගේ ශ්‍රමය වෙනත් අයෙකු විසින් මිල දී ගන්නා විටය. මා දවස් පඩියට අල්ලපු වත්තේ කෙසෙල් හිටවද්දී මගේ අසල්වැසියා කෙසෙල් විකුණා විශාල ලාභයක් ලබයි. මෙහිදී මා මගේ කැමැත්තෙන් දවස් පඩියට වැඩ කරන්නේ එසේ වැඩකිරීම මට වාසියක් ඇති නිසාය. කෙසේවුවද, මට වැඩිපුර මුදලක් ගෙවනවානම්, එනම් මගේ ලාභය වැඩි වනවානම්, මා වඩා සතුටුය.
අසල්වැසියාගේ පැත්තෙන් ගත් විට මගේ ශ්‍රමයට ඔහු ගෙවන මුදල ආයෝජනයකි. මේ මුදල ආයෝජනය කිරීමේදී ඔහු අවදානමක් ගනී. ඔහුගේ භූමි සම්පතද මේ සඳහා යොදවයි. භෞතික ශ්‍රමයක් නොවුවත් යම්කිසි ශ්‍රමයක්ද යොදවයි. මේ සියල්ල වෙනුවෙන් ඔහුට ආපසු ගෙවීමක් ලැබිය යුතුය. මේ හා අදාළව ප්‍රදීප්ද එකඟ වේ. මෙහි පෙනෙන්නට ඇති ප්‍රශ්නය මේ සියළු කාර්යයන් සඳහා ලැබිය යුතු 'සාධාරණ' ලාභයට අමතරව මගේ අසල්වැසියා තවත් වැඩිපුර ලාභයක් ලබන්නේද යන්නයි. එමෙන්ම, එසේ වැඩිපුර ලාභයක් ලබයිනම් ඒ ලාභයෙන් කොටසක් මටත් ලැබෙන ආර්ථික ක්‍රමයක් වඩා සාධාරණ නොවන්නේද යන්නයි.
ඉහත උදාහරණය ඉතා සරලය. එහෙත්, විශාල සමාගමක සිදුවන කාර්යයද මීට වඩා බොහෝ සේ සංකීර්ණ නැත. කවරෙකු හෝ තමන්ට හිමි 'සාධාරණ' ලාභයට වඩා වැඩි ලාභයක් ලබනවානම් එය වැළැක්විය යුතුය. නිදහස් ආර්ථික ක්‍රමයකින් කරන්නේ මෙයයි. ඒ සඳහා මිනිසුන්ගේ ලාභ ලැබීමේ අපේක්ෂාවන් බාධාවක් නොවේ. ඇත්තටම මේ අසාධාරණ ලාභ නැති වෙන්නේම මිනිසුන්ගේ ලාභ ලැබීමේ අපේක්ෂාවන් නිසාය.
නිදහස් වෙළඳපොළක් යනු තමන් කැමති (භාණ්ඩ හෝ සේවා) නිෂ්පාදන කාර්යයකට දායක වී නිසි ලාභයක් ලැබීමට සියල්ලන්ටම ඉඩප්‍රස්තා ඇති සමාජයකි. මගේ අසල්වැසියා අසාධාරණ ලාභයක් ලබන්නේයැයි මොහොතකට සිතමු. වැඩි කල් නොයා, මේ බව වෙනත් අයට පෙනේ. එවිට වෙනත් අයද ඔහු කරන දෙයම කිරීමට පෙළඹේ. එවිට මගේ අසල්වැසියාට මගේ ශ්‍රමය මිල දී ගැනීමට තරඟයකට මුහුණ දීමට සිදුවේ. වෙනත් අයෙකු වැඩි දවස් පඩියක් ගෙවනවානම් මා මගේ අසල්වැසියාට අඩු මිලකට ශ්‍රමය විකුණන්නේ නැත. අවසානයේදී මගේ දවස් පඩිය ඉහළ යයි. මගේ අසල්වැසියාගේ ලාභය අඩුවෙයි.
මෙය සිදුවන්නේ සමාජයේ බොහෝ දෙනෙකු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කිරීම නිසා මිස එසේ නොකිරීම නිසා නොවේ. මට අඩු වැටුපකට වැඩ කිරීමට වෙන්නේ බොහෝ දෙනෙකු ලාභ අපේක්ෂාවෙන් කටයුතු නොකරන්නේනම්ය.
එමෙන්ම, කිසියම් අයුරකින් සියල්ලන්ටම මෙසේ සමාන ඉඩප්‍රස්තා නොලැබේනම් එවිටද ඇතැම් අයට අසාධාරණ ලාභ ලැබිය හැකිය. අනිසි ලාභ නැති වන්නේ තරඟය නිසාය. අනිසි ලාභ වලට හේතුව ප්‍රමාණවත් තරඟකාරිත්වයක් නැතිවීමයි.
"ඹෟෂධ (හෝ වෙනත් ඕනෑම ක්ෂෙත්‍රයක) සමාගම් තමන් අතර දැනුම හුවමාරු කරගනු ලබන ක්‍රමවේදයක් හෝ සියලු සමාගම් වෙනුවෙන් පරියේෂණ සිදුකරනු ලබන ආයතන කිහිපයක් නිර්මාණය කරවා ගැනීම මගින් බහුතරයක්වන ජනතාවට ලබාගතහැකි ලාභය වැඩිකල හැකියැයි මම දකිමි."
මේ ගැන කියන්නට ඇත්තේද ඉහත කරුණමය. ස්වේච්ඡාවෙන් දැනුම හුවමාරු කරගැනීමක් සිදු නොවේනම් එය බලහත්කාරයෙන් කළ හැකි ක්‍රමයක් නැත. කළ හැකි එකම දෙය රජය මුල් වී පර්යේෂණ කිරීමයි. මෙය ඕනෑ තරම් අත්හදා බලා ඇති දෙයකි. එයින් වැඩක් වෙන්නේම නැතැයි කිව නොහැකි නමුත්, සමස්තයක් වශයෙන් ලාභ මුල් කරගත් සමාගම් අතින් සිදුවන තරමේ වටිනාකම එකතු කිරීමක් සිදු වී නැත.
"මෙම නිර්මාණය වන නව දැනුම යම් නිශ්චිත කාලයක් දක්වා සමාජයට ලබාදීම ප්‍රමාද කරමින් සිටින්නේ එම දැනුම සොයා ගැනිම වෙනුවෙන් එම ආයතනය විසින් සිදුකරන ලද වියදම පියවා ගැනිම සදහාය. ඒ මගින් එම ක්ෂෙත්‍රයේ සිදුවිය හැකි වර්ධනයට යම් බාධාවක් ඇතිවිය හැකි බව මම සිතමි."
පේටන්ට් අහෝසි කළහොත් යම් නව නිර්මාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව එක් වරම බොහෝ දෙනෙකුට ලැබෙන නිසා එක් වරම බොහෝ දෙනෙකුට වාසියක් සිදුවනු ඇත. එහෙත්, ඉන්පසු පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම අධෛර්යමත් වන නිසා නව නිෂ්පාදන බිහිවීම අඩුවනු ඇත. මේ නිසා ක්ෂණිකව වාසියක් ලැබුණත් දිගුකාලීනව සිදුවන්නේ අවාසියකි.
කෙසේවුවද, පේටන්ට් නැති කිරීම නිසා පර්යේෂණ සඳහා සිදුකෙරෙන වියදම් විශාල ලෙස අඩු වනු ඇතත් බොහෝ දේ කවදා හෝ දිනෙක අහම්බෙන් හෝ සොයාගැනෙනු ඇත. පේටන්ට් මඟින් කෙරෙන්නේ කෘතීම ලෙස මෙය ඉක්මන් කිරීමකි. අනෙක් අතට පෞද්ගලික දේපල අයිතිය පිළිගන්නා සමාජයකට වුවද පෞද්ගලික දේපලක් යනු කුමක්ද යන්න පිළිබඳව (සෛද්ධාන්තිකව) නිශ්චිත නිර්වචනයක් නැත. බොහෝ විට බුද්ධිමය දේපලක් යනු කුමක්ද යන ගැටළුව මතුවේ. මෙය නිශ්චිත පිළිතුරක් දීමට අපහසු ප්‍රශ්නයකි.
මේ ලිපිය පළ කිරීමෙන් පසු එහි අයිතිය ඇත්තේ මටද? නැත්නම් සමාජයටද? නීතිය අමතක කළහොත් මෙයට "හරි" පිළිතුරක් දීම පහසු නැත. එවැනි ගැටළුකාරී ප්රශ්න වලට ලබාදෙන පිළිතුරුද කලින් කලට සිදුවන සමාජ තේරීම්ය.
උඩින්ම මාතෘකාවට ආපසු පැමිණියහොත්,
-ලාභය යනු යම් නිෂ්පාදන කාර්යයකදී යොදාගන්නා නිෂ්පාදන සාධක වල ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ගෙවිය යුතු පිරිවැය වෙන් කළ පසු ඉතිරි වන අමතර ලාභයයි.
-ලාභයට හේතුව කිසියම් වෙළඳපොළ දුර්වලතාවයකි.
-ලාභය නැති කිරීමේ මඟ වෙළඳපොළ බාධක ඉවත් කර තරඟකාරිත්වය ඇති කිරීමයි.
-ලාභ ලැබීමට මිනිසුන්ගේ ඇති ස්වභාවික කැමැත්තට බාධා නොකර ඉඩදුන් විට තරඟකාරිත්වය නිසා සියල්ලන්ටම ලැබෙන්නේ තමන් යොදවන නිෂ්පාදන සාධක වල ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ලැබිය යුතු මිල පමණි.
(Image: www.netpicks.com)
Subscribe to:
Posts (Atom)