Showing posts with label ප්‍රාදේශීය විෂමතා. Show all posts
Showing posts with label ප්‍රාදේශීය විෂමතා. Show all posts

Thursday, February 11, 2016

කොළඹ: ඉක්මන් මරණයකට අගනා නගරයක්!


"මගෙ පුතු හරි හපනා -හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා- මටත් එකක් දෙනවා"

ලංකාවේ ඒක පුද්ගල ගෘහස්ත ආදායම වැඩිම නගරය කොළඹයි. සියවස් ගණනක සිටම ගම් පළාත් වල ඉපදුණු අයගේ අපේක්ෂාවේ නගරය වුනේ කොළඹය. ඒක ඒ දවස්වල සිට අද දක්වාම එහෙමය. කොළඹ හැරුණු විට ලංකාවේ ඇති දෙවන ප්‍රධානම නගරය ලෙස සැලකිය හැක්කේ මහනුවරයි.

අනෙක් අතට මොණරාගල හා හම්බන්තොට කාලයක සිටම සැලකුණේ ලංකාවේ දුෂ්කරම ප්‍රදේශ ලෙසය. පසුගිය කාලයේනම් මේ තත්ත්වයේ තරමක වෙනසක් සිදුවිය.

මොණරාගල හා හම්බන්තොට ජීවිතය කොළඹ හා මහනුවර වැනි නාගරික ප්‍රදේශයක ජීවිතයට වඩා ඇත්තටම දුෂ්කරද?

පහත වගුවේ ඇත්තේ 1981 හා 2001 වසර වල පැවැත්වූ ජන සංගණන අනුව ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයේ වැසියෙකුගේ අපේක්ෂිත ආයුකාලයයි. සංගණන දත්ත සාමාන්‍යයෙන් නිරවද්‍යතාව අතින් වෙනත් සමීක්ෂණ දත්ත වලට වඩා බොහෝ නිවැරදිය. 2012 වසරේදීද සංගණනයක් පැවැත්වූ නමුත් එම සංගණනය ඇසුරින් මේ සංඛ්‍යාලේඛණ තවමත් සකස් කර නොමැති බව පෙනේ.



1980-2000 අතර දශක දෙකක කාලය තුළ ආයු අපේක්ෂාවේ ප්‍රාදේශීය විෂමතාවන්ගේ රටාව සැලකිය යුතු ලෙස වෙනස් වී නැත. මේ කාලය තුළ සමස්තයක් ලෙස පිරිමින්ගේ ආයු අපේක්ෂාව සුළු වශයෙනුත් ගැහැණුන්ගේ ආයු අපේක්ෂාව තරමක් වැඩියෙනුත් ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එහි ආයු අපේක්ෂාව වෙනත් දිස්ත්‍රික්ක වලට වඩා විශාල ලෙස අඩුය. කොළඹට අමතරව පසුපසින්ම සිටින දිස්ත්‍රික්කය මහනුවරයි. ආයු අපේක්ෂාව අතින් ඉදිරියෙන් සිටින්නේ හම්බන්තොට හා මොනරාගල වැනි දුෂ්කර ලෙස සැලකෙන දිස්ත්‍රික්කයි.


මෙයට හේතුව කුමක්ද? කොළඹ ඇතැයි සිතන වැඩි පහසුකම් වැඩි පිරිසක් අතර බෙදීයාමද? නැත්නම් වැඩි ආදායම් විෂමතාවයද? කාර්ය බහුල ජීවන රටාවද? ආහාර පුරුදු වල වෙනස්කම්ද? නැත්නම් අපිරිසිදු වාතයද?

මේ කවරක් වුවද, ඉසුරු සොයා නගරයට ඇදෙන්නන් ඒ වෙනුවෙන් ගෙවන මිලට සිය ජීවිත කාලයෙන් සැලකිය යුතු වසර ගණනක්ද ඇතුළත් වන බවනම් පැහැදිලිය.


(Image: www.srilanka-guide.org)