Wednesday, October 9, 2019

පොහොර සහනාධාරය

වත්පොතේ සංසරණය වන, පොහොර සහනාධාරය හා අදාළ, හිටපු විගණකාධිපතිගේ කතාවක් අහන්න ලැබුණා. මේ වන විට හිටපු විගණකාධිපතිව සැලකිය හැක්කේ දේශපාලනඥයෙකු මිස වෘත්තීයවේදියෙකු හැටියට නෙමෙයි. අනෙක් අතට මේ වෙද්දී හිටපු විගණකාධිපති ඇතුළු වෘත්තීයවේදීන් කණ්ඩායමක්ම දේශපාලනයට අත ගසා තිබෙන නිසා මේ කණ්ඩායම් දෙක අතර වෙනස එතරම් වැදගත් එකකුත් නෙමෙයි. ඒ වගේම, වඩා පුළුල් ලෙස බැලුවොත් දේශපාලනඥයින් කියන්නෙත් වෘත්තීයවේදීන් කණ්ඩායමක්. කොහොම වුනත්, වෘත්තීයවේදීන් විසින් කියන දේවල් වඩා නිවැරදියි කියා හිතන අය ගොඩක් ඉන්න නිසා මේ කතාවේ සඳහන් ඇතැම් කරුණු ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි.

හිටපු විගණකාධිපති විසින් අවධාරණය කර කියන ආකාරයට ලංකාවේ නිපදවන සහල් ප්‍රමාණයේ මුළු වටිනාකම මේ වෙනුවෙන් ලබා දෙන සහනාධාරයේ වියදමට වඩා වැඩියි. මෙය සැබෑවක්ද කියා ඉතා පහසුවෙන් තහවුරු කර ගත හැකියි. මේ දත්ත සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හා මහ බැංකුවේ ප්‍රකාශන වල තිබෙනවා. පහත වගුව පිළියෙළ කර තිබෙන්නේ එම දත්ත ඇසුරෙනුයි.


ගාමිණි විජේසිංහගේ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව කාට වුවත් බැලූ බැල්මටම නොපෙනෙන්න හේතුවක් නැහැ. පසුගිය 2018 වසර ගත්තොත්, රටේ නිපදවූ සහල් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 203,015 ක්. නමුත්, පොහොර සහනාධාරය ලෙස ලබා දී ඇති මුදල රුපියල් මිලියන 32,000ක් පමණයි. පෙර වසරවල් සලකා බැලුවත්, රටේ හදන හාල් වල වටිනාකමට වඩා වැඩි මුදලක් පොහොර සහනාධාරය ලෙස ලබා දෙනවා කියන එක ගාමිණී විජේසිංහ විසින් හිතාමතාම හෝ කරුණු සොයා නොබලා කියන බොරුවක්. මා කරන්නේ පොහාර සහනාධාරය අනුමත කිරීමක් නෙමෙයි. කරුණු ඇති සැටියෙන් පෙන්වා දීමක් පමණයි.

නිපදවූ සහල් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම දෙස බලා කර්මාන්තයේ ලාබ පිළිබඳව නිගමනය කරන්න බැහැ. ඒ සඳහා, නිෂ්පාදන වියදම් අඩු කළ යුතුයි. සහල් කර්මාන්තයේ එකතු කළ අගය කියා කියන්නේ මෙසේ පිරිවැය ඉවත් කළ විට ඉතිරි වන ලාබයටයි. මේ එකතු කළ අගය පිළිබඳවත් සංඛ්‍යාලේඛන තිබෙනවා. 2018 වසරේදී කර්මාන්තයේ එකතු කළ අගය රුපියල් මිලියන 118,653ක්. ඒ මුදල වුවත්, පොහොර සහනාධාරයේ පිරිවැයට වඩා කිහිප ගුණයක් වැඩියි.

කර්මාන්තයේ සැබෑ ලාබය ගණනය කරන්න ඉහත එකතු කළ අගයෙන් සහනාධාර මුදල අඩු කර ගෙවූ බදු මුදල් එකතු කළ යුතුයි. සහල් නිපදවීමේ කර්මාන්තයේ බදු වියදම් කොපමණද කියා මා දන්නේ නැහැ. නමුත්, කිසියම් හෝ බදු මුදලක් මේ කර්මාන්තයේ නියැලෙන්නන් විසින් රජයට ගෙවා තිබෙන නිසා පොහොර සහනාධාරයේ වියදම මුළුමනින්ම ඉහත එකතු කළ අගයෙන් අඩු කිරීම නිවැරදි නැහැ. එසේ කළත්, සැලකිය යුතු එකතු කළ අගයක් පෙනෙන්නට තිබෙනවා.

පෙනෙන විදිහට ගාමිණි විජේසිංහ පෙනී සිටින්නේ රාජ්‍යමූලික, ආරක්ෂණවාදී ආර්ථිකයක් වෙනුවෙනුයි. ලංකාවේ බොහෝ වෘත්තිකයින් රාජ්‍යමූලික, ආරක්ෂණවාදී ආර්ථිකයකට කැමතියි. එවැනි ක්‍රමයක් යටතේ ඔවුන්ට රටේ අනෙකුත් අයගේ වියදමෙන් වාසි ලබා ගන්න ඉඩ තිබීම මෙයට හේතුවයි. ගාමිණි විජේසිංහ කතා කරන්නේ මේ පිරිසටයි.

ගාමිණි විජේසිංහ විසින් යෝජනා කරන්නේ වෙළඳපොළ යාන්ත්‍රනය අවහිර කර රජය විසින් භාණ්ඩ හා සේවා වල මිල තීරණය කරන ක්‍රමයකුයි. මේ පැරණි සමාජවාදී රටවල තිබුණු අසාර්ථක වූ ක්‍රමය මිස අලුත් එකක් නෙමෙයි. වත්පොත් වීඩියෝව ප්‍රචාරය කෙරෙන්නේ ජාතික ජනතා ව්‍යාපාරයේ ලේබලය සමඟ නිසා මෙය එම ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිපත්තිය කියා සිතිය හැකියි.

ඔහු කියන ආකාරයට වෙළඳපොළ යාන්ත්‍රනය යටතේ මිල තීරණය වීම අවහිර කරමින්, කිසියම් භාණ්ඩයක් රට ඇතුළේ හදන්න යන වියදමේ අනුපාතයක් ලෙස මිල තීරණය වන පරිදි හා මේ මිල සූත්‍රය වෙනස් කළ නොහැකි පරිදි නීති පැනවිය යුතුයි. වියදම ඇස්තමේන්තු කරන්නේ ඔහු විසින් හෝ වෙනත් පිරිසක් විසින්. නිෂ්පාදකයෙකු ලැබිය යුතු ලාබය තීරණය කරන්නේත් මේ කණ්ඩායම විසිනුයි. අනෙක් අයට තියෙන්නේ මේ වැඩේ කරන පිරිස නඩත්තු කරන එකයි.

ගාමිණි විජේසිංහ යෝජනා කරන ආකාරයට ලංකාවේ ඇපල් ගෙඩියක් හදන්න රුපියල් දහදාහක් යනවානම් ඔවුන් කරන්නේ ඇපල් ගෙඩියක මිල රුපියල් විසිදාහක් වන ආකාරයට සූත්‍රයක් හදා එය වෙනස් කළ නොහැකි සේ නීතිගත කරන එකයි. ඊට පස්සේ ඒ මිල ගෙවා කී දෙනෙක් ඇපල් මිල දී ගනීද කියන එක ගැන හිතන්න ඔහු මහන්සි වෙන්නේ නැහැ. මේ ආකාරයේ ආර්ථික ක්‍රමයකට කැමති අය රටේ කොපමණ ඉන්නවාද කියා ජනාධිපතිවරණයෙන් පසුව බලාගන්න පුළුවන් වෙයි.

https://www.facebook.com/apemedia.lk/videos/782026978918062/