පසුගිය ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමාජ ජාල වල පුළුල් ලෙස සංසරණය විය. මේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමාන බවයි.
අදාළ වාර්තාව අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අටදෙනා හා ඔවුන්ගේ වත්කම් පිළිවෙලින් මෙසේය.
බිල් ගේට්ස් - ඩොලර් බිලියන 75
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 67
වොරන් බුෆේ - ඩොලර් බිලියන 60.8
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 50
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 45.2
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 44.6
ලැරී එලිසන් - ඩොලර් බිලියන 43.6
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 40
මේ ලැයිස්තුවේ සිටින්නන්ගෙන් ඇමන්සියෝ ඔටේගා හා කාලෝස් ස්ලිම් හෙලු දෙදෙනා හැරුණු විට ඉතිරි හය දෙනාම ඇමරිකානුවන් වීම විශේෂත්වයකි. අනෙක් අතට, ඉහත ඔක්ස්ෆෑම් වාර්තාව පිළියෙළ කිරීම සඳහා පදනම් කරගෙන ඇති ක්‍රෙඩිට් සුවිස් වාර්තාව අනුව, ලෝකයේ දුප්පත්ම බිලියන 3.6න් වැඩි දෙනෙකු ජීවත් වන්නේ ඉන්දියාව, චීනය, නයිජීරියාව, ඉතියෝපියාව, කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, බංග්ලා දේශය, පකිස්ථානය, ඉන්දුනීසියාව හා බ්‍රසීලය වැනි රටවලය. අදාළ වාර්තාව අනුව ඇමරිකා එක්සත් ජනපදයේද වත්කම් අතින් දුප්පත් සැලකිය යුතු පිරිසක් සිටිති.
බැලූ බැල්මටම මේ ආදායම් විෂමතාවය විශාල ප්‍රශ්නයක් බව පෙනේ. එහෙත්, එය සැබෑවටම ප්‍රශ්නයක් වන්නේ ඉහළ ලැයිස්තුවේ සිටින අටදෙනා ඔවුන්ගේ වත්කම් උපයා ගැනීමේදී අඩු වත්කම් සහිත අය සතු විය යුතුව තිබුණු වත්කම් ඔවුන්ගෙන් කිසියම් අයුරකින් සෘජුව හෝ වක්‍රව උදුරාගෙන ඇත්නම් පමණි.
මෙය විමසා බැලීමට පෙර අපි වත්කම් යනු මොනවාද යන්න පැහැදිලි කර ගත යුතුය. විශේෂයෙන්ම වත්කම් හා ආදායම් අතර ඇති වෙනසත්, වත්කම්, ආදායම් හා පරිභෝජනය අතර ඇති සම්බන්ධතාවයත් අප පැහැදිලිව අවබෝධ කරගත යුතුය.
වත්කමක් ලෙස හැඳින්වෙන්නේ අනාගතයේදී ආදායම් උපදවන කිසියම් දෙයකි. ඔබ සතු මුදල් බැංකුවක තැන්පත් කර පොලී ආදායම් ඉපදවිය හැකි නිසා එය වත්කමකි. ඔබට හිමි නිවසක් කුලියට දී ආදායම් ඉපදවිය හැකි නිසා එය වත්කමකි. එය කුලියට නොදී ඔබම එහි ජීවත් වූවද එසේ කිරීමෙන් ඔබට ඉතිරි වන ගෙවල් කුලී මුදල ඔබේ ආදායමකට සමාන නිසා ගෙයක් යනු බොහෝ විට කෙනෙකුගේ වත්කමකි. මේ අයුරින්ම ඔබ සතු ඉඩම්, යන්ත්‍ර සූත්‍ර වැනි ආයෝජනද වත්කම් ලෙස සැලකිය හැකිය.
අනෙක් අතට අනාගතයේදී ඔබට වියදම් හදන දේ ඔබේ බැරකම්ය. ඔබ නිවාස ණයක් හෝ වාහන ණයක් ලබාගෙන ඇත්නම් ඒ වෙනුවෙන් මාසිකව හෝ වාර්ෂිකව පොලී වියදමක් දැරිය යුතුය. ඒ නිසා, මේවා ඔබේ බැරකම්ය. වත්කම් අනුව කෙනෙකුගේ පොහොසත්කම මනින විට උපයෝගී කරගන්නා නිර්ණායකය වන්නේ වත්කම් වලින් බැරකම් අඩු කළ විට ශුද්ධ වත්කම්ය. යම් කෙනෙකුගේ වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් ශුද්ධ වත්කම් සෘණ අගයක් ගනී.
කෙනෙකුගේ ආදායම යනු වත්කම් වලට සෘජු ලෙස සම්බන්ධ දෙයක් නොවේ. ශුද්ධ වත්කම් සෘණ අගයක් ගන්නා බොහෝ දෙනෙකුට සැලකිය යුතු ආදායමක් තිබේ. එමෙන්ම, වැඩි ශුද්ධ වත්කම් ඇති අයෙකුගේ ආදායමට වඩා අඩු ශුද්ධ වත්කම් ඇති අයෙකුගේ ආදායම වැඩි වන්නට පුළුවන. එහෙත්, වත්කම් මත පදනම් නොවූ ආදායම් (උදාහරණයක් ලෙස රැකියාවෙන්) සමාන තරමට උපයන දෙදෙනෙකු අතරින් වැඩි වත්කම් හිමි අයෙකුගේ සමස්ත ආදායම වැඩි එකකි.
වත්කම්, ආදායම් හා පරිභෝජනය අතර ඇති සම්බන්ධතාවයද තරමක් සංකීර්ණය. ආදායම් හා පරිභෝජන වියදම් අතර වෙනස පුද්ගලයෙකුගේ වත්කම් වලට එකතු වේ. එවිට වත්කම් තවත් වැඩි වේ. ආදායමට වඩා පරිභෝජන වියදම් වැඩිනම් සිදුවන්නේ ශුද්ධ වත්කම් ක්‍රමයෙන් අඩු වී යාමයි. අනෙක් අතට පරිභෝජනය සීමා කරමින් උපයන ආදායම් වලට වඩා අඩු මට්ටමක තබා ගන්නා අයෙකුගේ වත්කම් ක්‍රමයෙන් ඉහළ යයි. මෙය ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි දෙයකි.
මේ අනුව පැහැදිලි වන්නේ අධි පරිභෝජනය කෙනෙකුගේ වත්කම් වැඩි කිරීමට නොව අඩු කිරීමට හේතු වන්නක් බවයි.
තමන් සතුව දෙමවුපිය උරුමයෙන් ලැබුණු වත්කම් නැති අයෙකුට වත්කම් ඒකරාශි කර ගත හැක්කේ සකසුරුවම් කමින් වියදම් කර තමන්ගේ ආදායමෙන් කොටසක් ඉතිරි කරගෙන ඒ ආදායම් අනාගතයේ තවත් ආදායම් උපදවන වත්කම් වල ආයෝජනය කිරීමෙනි. අනෙක් අතට, දෙමවුපිය උරුමයෙන් විශාල වත්කමක් ලැබී ඇති අයෙකු වුවද, ඒ වත්කම් ආයෝජනය කර හෝ වෙනත් ක්‍රමයකින් උපයන ආදායම් ඉක්මවා පරිභෝජනය කරයිනම් ඔහුගේ හෝ ඇයගේ ශුද්ධ වත්කම් ක්‍රමයෙන් ක්ෂය වී යයි.
මේ අනුව පැහැදිලි විය යුත්තේ වත්කම් යනු හැමවිටම පුද්ගලයෙකුගේ පරිභෝජන මට්ටම හෝ ජීවන තත්ත්වය පිළිබඳ නිර්ණායකයක් නොවන බවයි.
මේ ලැයිස්තුවේ සිටින අය ගැනත් ඔවුන්ගේ වත්කම් ගැනත්, ආදායම් හා වියදම් ගැනත් ඉදිරියේදී කතා කරමු.
