Showing posts with label නියාමනය. Show all posts
Showing posts with label නියාමනය. Show all posts

Friday, May 26, 2023

මොළයට චිප් එකක්!


ඊලොන් මස්ක්ගේ නියුරෝලින්ක් සමාගම විසින් ඊයේ (මැයි 25) ට්විටර් හරහා දැනුම් දී ඇති පරිදි ඔවුන්ට මිනිසුන් යොදාගෙන පර්යේෂණ කිරීම සඳහා ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ (FDA) අනුමැතිය ලැබී තිබෙනවා. මුල් ට්විටර් පණිවිඩයෙහි මේ පිළිබඳ මීට වඩා වැඩිමනත් විස්තරයක් සඳහන්ව නැතත්, ලෝකයේ ප්‍රධාන ජනමාධ්‍ය ගණනාවක් විසින් ප්‍රමුඛ ප්‍රවෘත්තියක් සේ වාර්තා කරමින් විස්තර ඇති පරිදි මෙම අනුමැතිය ලැබී තිබෙන්නේ මිනිස් මොළයට විද්‍යුත් පරිපථයක් සම්බන්ධ කර ඒ හරහා පරිගණයකයක් මගින් මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමේ සහ මිනිස් මොළය ජාලගත කිරීමේ ක්‍රියාවලියක මුල් අදියරකටයි. මේ ක්‍රමයෙන් අන්ධයන්ට පෙනීම ලබා දීම, කොරුන් ඇවිදවීම මෙන්ම දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම වැනි දේ කිරීමේ ශක්‍යතාවයක් තිබෙනවා.

ජනමාධ්‍ය වලින් මෙවැනි පුවත් වලට මුල් තැනක් දෙන්නේ මෙතෙක් මිනිස් මොළයේ උදවුවෙන් පමණක් කළ හැකි වූ ක්‍රියාකාරකම් ගණනාවක් ස්වයංකරණය කිරීමේ හැකියාව වේගයෙන් වැඩිදියුණු වෙමින් තිබෙන හා ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති වෙමින් තිබෙන පසුබිමකයි. මෙම "විප්ලවය" සාමාන්‍ය මිනිසුන්ට එකවර ඇඟට දැනෙන්න පටන් ගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිදි චැට්ජීපීටී ප්‍රචලිත වීමත් සමඟයි. 

අධ්‍යාපන ආයතන වලට චැට්ජීපීටී දැනටමත් විශාල අභියෝගයක් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපන ආයතනයක් විසින් (හැම රටකම නොවේ!) රචනා චෞරත්වයට (plagiarism) එරෙහිව දැඩි ස්ථාවරයක සිටිනවා. මෙය කොයි තරම් බරපතල වරදක්ද යන්න පිළිබඳව ඇමරිකානු සිසුවෙකුටනම් කුඩා කාලයේ සිටම පුහුණුවක් ලැබෙනවා. ඒ නිසා, ඔවුන් සාමාන්‍යයෙන් මෙම වරදට පෙළඹෙන්නේ නැහැ. එහෙත් එම පුහුණුව නොමැති, වෙනත් රටවලින් ඇමරිකාවට අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණෙන සිසුන් විසින් බොහෝ විට රචනා චෞරත්වය සිදු කරන්නේ මෙම වරදෙහි බරපතලකම තබා අඩු වශයෙන් තමන් මෙවැනි වරදක් කරන බව හෝ නොදැනයි. එක්තරා දුරකට මෙය සංස්කෘතික ප්‍රශ්නයක්.

චැට්ජීපීටී යුගයට කලින්ම අන්තර්ජාලය තොරතුරු වලින් පිරී ගියා. ගූගල් සෙවුමක දුරින් ඕනෑ තරම් දේ තිබුණු නිසා රචනා චෞරත්වයටද විශාල අවකාශයක් විවර වුනත් එවැනි ක්‍රියාකාරකම් පහසුවෙන්ම හඳුනාගත හැකි මෘදුකාංගද සමාන්තරව දියුණු වීම නිසා යම් අයෙකුට තමන් නොදැන හෝ මේ බරපතල වරද කර ඇත්නම් ඒ බව කලින් හඳුනා ගැනීමේ මාර්ග විවෘත වුනා. එමෙන්ම අවශ්‍ය අයෙකුට මේ වරද කරන්නන් අපහසුවකින් තොරව හඳුනාගත හැකි වුනා. 

චැට්ජීපීටී ප්‍රචලිත වීමත් සමඟ මේ තත්ත්වයෙහි වෙනසක් වී තිබෙනවා. එකම ප්‍රශ්නයට වුවත් එයින් දෙවරකදී එකම පිළිතුර නොලැබෙන නිසා මේ හරහා සිදු විය හැකි රචනා චෞරත්වය හඳුනා ගැනීම පහසු නැහැ. පැහැදිලි සැකයක් ඇති වුවත් ඒ බව තහවුරු කර ගැනීමේ හැකියාවක් නැහැ. මෙය අධ්‍යාපන ආයතන වලට අභියෝගයක්.

කෙසේ වුවත්, ඇමරිකාවේ අධ්‍යාපන ආයතන මෙම අලුත් තත්ත්වය හඳුනා ගනිමින් අනුවර්තය වෙමින් සිටිනවා. තාක්ෂනය වැඩි දියුණුවීම හා ප්‍රචලිත වීම නොවැලැක්විය හැකි අතර එසේ කළ යුතුද නැහැ. සිදුවිය යුත්තේ පවත්නා ආයතන හැකි ඉක්මණින් අලුත් තාක්ෂනය වැළඳගෙන අවශ්‍ය පරිදි අනුවර්තනය වීමයි. එසේ නොකරන ආයතනයකට වෙළඳපොළ තුළ පැවැත්මක් නැහැ. බොහෝ අධ්‍යාපන ආයතන වල ප්‍රවේශය වී තිබෙන්නේ සිසුන් මෙවැනි අලුත් මෙවලම් භාවිතයට ගැනීම දිරිමත් කරමින් හා ප්‍රවර්ධනය කරමින් එවැනි මෙවලම් පුද්ගල සංවර්ධනය පිණිස වඩා ඵලදායී ලෙස යොදා ගත හැකි ආකාරය පිලිබඳව මාර්ගෝපදේශනය කිරීමයි. 

චැට්ජීපීටී යනු වේගයෙන් සිදුවෙමින් තිබෙන ස්වයංකරණ විප්ලවයක එක් කුඩා කොටසක් පමණයි. මීට පෙර මිනිසුන්ගේ කායික ශ්‍රමය හා මානසික ශ්‍රමය යොදා ගෙන ඉටු කළ බොහෝ දේ මේ වන විට යන්ත්‍ර විසින් සිදු කරමින් සිටිනවා. බොහෝ දේවල් තවමත් මිනිසුන් අතින් සිදු වන්නේ තාක්ෂනය නැතිකමට වඩා ශ්‍රමය තව දුරටත් ලාබදායී නිසයි. යාන්ත්‍රික ශ්‍රමයේ පිරිවැය මිනිස් ශ්‍රමයේ (කායික මෙන්ම මානසික) පිරිවැය ඉක්මවා ගිය වහාම තත්ත්වය වෙනස් වෙනවා. මෙය නොවැලැක්විය හැකි පරිවර්තනයක්.

මේ තාක්ෂනික පරිවර්තනය එකවර වේගවත් වීම සඳහා බලපා තිබෙන දේශපාලනික සාධකයක්ද තිබෙනවා. ඒ ලෝකය පුරා හමා ගිය ජාතිකවාදී රැල්ලයි. මෙයම වෙනත් අයුරකින් කිවහොත් මේ පරිවර්තනය මෙතෙක් ප්‍රමාද කරනු ලැබූයේ කාලයක් තිස්සේ ලෝකය පුරා හමා ගිය ජාත්‍යන්තරවාදී රැල්ලයි. 

යම් හෙයකින් ඇමරිකාව වැනි දියුණු, විශාල රටක්, එහෙමත් නැත්නම් සියලුම බටහිර සංවර්ධිත රටවල් ඇතුළත් "සංවර්ධිත කලාපය" සෙසු ලෝකයෙන් වෙන් වී තමන්ගේ ආර්ථිකයන් සංවෘතව පවත්නා ගත්තේනම් මීට බොහෝ කලකට පෙර ශ්‍රමයේ පිරිවැය අවශ්‍ය තීරණාත්මක සීමාව පසු කර ගොස් මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර ආදේශ වෙනවා. එහෙත්, මෙම සංවර්ධිත කලාපයට බාහිරව වූ ලෝකයෙන් දිගින් දිගටම සෘජුව හෝ වක්‍රව ලාබ ශ්‍රමය පොම්ප වූ නිසා, ප්‍රතිපරිසිද්ධික තත්ත්වයට සාපේක්ෂව, ස්වයංකරණය වෙනුවෙන් සිදු කෙරෙන ආයෝජන සිදුවුනේ අඩු වේගයකින්. 

උදාහරණයක් විදිහට ලංකාව වැනි රටවල ඇඟලුම් කම්හල් හරහා ඇඳුම් නිපදවා ගැනීමේ විකල්පය ඇමරිකාව සතු නොවූයේනම් ඇමරිකානුවන් ඇඳුම් නොඇඳ ඉන්නේ නැහැ. එසේනම් ඒ ඇඳුම් ඇමරිකාව තුළම නිපදවෙනවා. නමුත් මෙහිදී ලංකාව වැනි රටකින් ලබා ගන්නා තරම් අඩුවට ශ්‍රමය මිල දී ගැනීමට හැකි නොවන නිසා පිරිවැය ඉහළ යනවා. එයින් සිදුවන්නේ ස්වයංකරණය දිරිගැන්වීමයි. අවසාන වශයෙන් ඇමරිකන් ශ්‍රමිකයා මේ කර්මාන්තයෙන් ඉවත් වන නමුත් එවැනි ප්‍රතිපරිසිද්ධික තත්ත්වයකදී ඇමරිකන් ශ්‍රමිකයා වෙනුවට වෙනත් රටක ශ්‍රමිකයෙකු ආදේශ වන්නේ නැහැ. ඒ තැන ගන්නේ යන්ත්‍රයක් විසින්. 

ජාත්‍යන්තරකරණය තුළ ඉහත ස්වයංකරණ ක්‍රියාවලියේ වේගය සීමා වුනත්, තවත් තීරණාත්මක සීමාවකින් පසුව ස්වයංකරණයට ජාත්‍යන්තරකරණ අභියෝගය නොසලකා හැරිය හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙය සංස්කෘතීන් අතර ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන සීමාවක්.

වත්මන් ලෝකයේ සංවර්ධනය සේ හඳුනාගන්නා දේවල් බොහොමයක තිඹිරිගෙය බටහිර සංස්කෘතියයි. මෙය බටහිර සංස්කෘතික ආධිපත්‍යයක් සේ යම් අයෙකුට විස්තර කළ හැකි වුවත්, එවැනි ආධිපත්‍යයක් ඇත්නම් එය ඇති වී තිබෙන්නේ පරිණාමික තරඟය ජයගැනීම තුළයි. මෙම ප්‍රමුඛ සංස්කෘතිය නියෝජනය කරන රටවලට මෙහි නිසග වාසිය ලැබෙන අතර එම සංස්කෘතිය හා අනුගත වන තරමට වෙනත් රටවලටද එම වාසිය වඩා වැඩියෙන් ලැබෙනවා. 

මෙයම වෙනත් විදිහකින් කිවුවොත්, සංවර්ධනය හඹා යද්දී තමන්ගේ සංස්කෘතියේ තිබෙන එයට උපකාරී නොවන අංග අතහැර දමන්නට බටහිර නොවන රටකට සිදු වෙනවා. එසේ නැත්නම්, පරිණාමික වාසියක් නොමැති එවැනි අංග තවදුරටත් පවත්වා ගැනීම වෙනුවෙන් මිලක් ගෙවන්නට සිදු වෙනවා. වේගයෙන් ස්වයංකරණය සිදුවන වත්මන් යුගයේදී මෙසේ ගෙවන්නට සිදුවන මිල විශාල මිලක්. 

ජාත්‍යන්තරකරණ රැල්ල ආපසු හැරවුණේ ඔය පරිවර්තනය ඔය ආකාරයෙන් සිදු නොවූ නිසයි. බොහෝ දෙනෙක් තමන්ගේ සංස්කෘතියේ අංග වෙනස් වනු දැකීමට දක්වන ප්‍රතිරෝධය විසින් අවසාන වශයෙන් සිදුවන්නේ ප්‍රමුඛ සංස්කෘතිය හා අනෙකුත් සංස්කෘතීන් අතර ආදායම් පරතරය පුළුල් කිරීමයි. ස්වයංකරණ පෙරහැර එද්දී යම් අවස්ථාවක මේ පරතරය වේගයෙන් ඉහළ ගොස් සංවර්ධිත රටවල් හා අනෙකුත් රටවල් අතර කවදාවත් නොතිබුණු ආකාරයේ උස තාප්පයක් හැදෙන්න පුළුවන්. 

එක උදාහරණයක් විදිහට ඇමරිකාවේ කෘෂිකර්මය ගත්තොත් මහා පරිමාණ වගාබිම් කලකට පෙර සිටම මුළුමනින්ම මෙන් කාර්මීකරණය වී ඇතත් වෙනත් ඇතැම් කෘෂිකාර්මික කටයුතු සඳහා තව දුරටත් මිනිස් ශ්‍රමය අවශ්‍ය වුනා.  මෙම ශ්‍රමයෙන් සැලකිය යුතු කොටසක් සංක්‍රමණිකයින් විසින් සැපයූවා. ලංකාවේ සන්දර්භයෙන් උදාහරණයක් ගත්තොත්, තේ දළු කැඩීම සඳහා යොදවන මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය ආදේශ කිරීම අපහසු නැහැ. නමුත්, යාන්ත්‍රික ශ්‍රමය යොදාගෙන ගහක අඹ කඩන එක ඒ තරම් පහසු නැහැ. අමු අඹ ඉතිරි කර ඉදුණු අඹ පමණක් කඩන එක යන්ත්‍රයකට පහසුවෙන් කළ නොහැකි දෙයක්. එහෙත් දැන් මේ වගේ සංකීර්ණ කටයුතු පවා තාක්ෂනය යොදාගෙන කළ හැකියි. කැමරා මගින් ගහේ ඇපල් ගෙඩියෙන් ගෙඩිය නිරීක්ෂණය කර අවශ්‍ය පමණ පැසුණු ඇපල් ගෙඩි පමණක් කඩා එකතු කර ගැනීම සඳහා ඩ්‍රෝන යන්ත්‍ර යොදා ගත හැකියි. 

අනෙක් අතින් මෙතෙක් වෘත්තිකයින් විසින් කළ කටයුතු බොහොමයක් ඉතා ඉක්මණින් කෘතීම බුද්ධි යන්ත්‍ර විසින් අත්පත් කර ගැනීමට නියමිතයි. එහිදී පහළ යන ශ්‍රම අවශ්‍යතාවය හේතුවෙන් මුලින්ම සිදු වනු ඇත්තේ සංවර්ධිත ලෝකය හා බාහිර ලෝකය අතර තාප්පය තවත් උස් වී සංක්‍රමණයට තිබෙන ඉඩප්‍රස්තා සීමා වීමයි.

ස්වයංකරණය නිසා මිනිස්සුන්ට රස්සා නැති වෙයිද?

රස්සා නැති වෙනවානම් එහි බලපෑම වැඩියෙන්ම දැනෙනු ඇත්තේ සංවර්ධිත ලෝකයට පිටත රටවලටයි. මොකද වැඩි වැඩියෙන් ස්වයංකරණය වෙනවා කියන්නේ රට ඇතුළේ තිබෙන ශ්‍රමය ප්‍රමාණවත් වෙනවා කියන එක. ඒ නිසා රටක් ස්වයංකරණය  වී ගෙන යද්දී වැඩි වශයෙන් ප්‍රතිස්ථාපනය වෙන්නේ රටට පිටින් ලබා ගන්නා ශ්‍රමය වීමටයි වැඩි ඉඩක් තිබෙන්නේ. 

හැබැයි ඔය විදිහට රටට පිටින් ලබා ගන්නා ශ්‍රමය ප්‍රතිස්ථාපනය කළත් යම් වෙලාවට රට ඇතුළේ තිබෙන ශ්‍රමය වුනත් අවශ්‍ය නැති වෙලා ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ප්‍රශ්නයට රටකට මුහුණ දෙන්න වෙනවා නේද?

අනිවාර්යයෙන්ම ප්‍රශ්නය මතු වෙනවා. නමුත්, ප්‍රශ්නය මතු වෙන්නේ ප්‍රශ්නයට විසඳුම්ද එක්ක. විසඳුම ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබෙනවා. අවසාන වශයෙන් කොයි පැත්තට යනවද කියන එක තීරණය කරන්නේ දේශපාලනය.

සරල පැහැදිලි කිරීමක් විදිහට ස්වයංකරණයේ අනාගතය කියා කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ලම මෙන් යන්ත්‍ර මගින් හදන තත්ත්වයක්. ඒ නිසා, මිනිස් ශ්‍රමය අවශ්‍ය නැතුව යනවා. හැබැයි යන්ත්‍ර විසින් භාණ්ඩ හා සේවා කොයි තරම් හැදුවත් ඒ භාණ්ඩ හා සේවා වලට වටිනාකම් දෙන්නේ මිනිස්සු. වටිනාකම ලැබෙන්නේ එම භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේදී. මිනිස්සු භාණ්ඩ හා සේවා මිල දී ගන්නනම් මිනිස්සු අතේ සල්ලි තියෙන්න ඕනෑ. මිනිස්සු අතේ සල්ලි නැත්නම් භාණ්ඩ හා සේවා වල වටිනාකමක් නැතිව යනවා. වටිනාකමක් නැත්නම් හදන එකේ තේරුමක් නැහැ. 

දැන් ප්‍රශ්නය යන්ත්‍ර මගින් හදන භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා මිනිස්සුන්ට සල්ලි කොහෙන්ද කියන එක. එක ක්‍රමයක්නම් හැමෝම වගේ ප්‍රාග්ධනයේ අයිතිකරුවන් වීම. යන විදිහට එහෙම දෙයක් වෙන්න ඉඩකඩ අඩුයි. හැමෝම ප්‍රාග්ධනයේ අයිතිකරුවන් විය හැකි වුවත් ප්‍රාග්ධනය සමානව බෙදී යාමේ ඉඩක් නැහැ. ඒ නිසා, වැඩි ප්‍රාග්ධනයක් තිබෙන පිරිස "ලොක්කෝ" වෙන එක වලක්වන්න බැහැ. හැබැයි ඒ වගේ ක්‍රමයක් පවතින්නනම් ඔය "ලොක්කෝ" ටික තමන්ගේ ආදායමෙන් කොටසක් අනෙක් අයටත් බෙදලා දෙන්න වෙනවා. විශ්වීය මූලික ආදායම් සංකල්පය (UPI) වගේ දේවල් වලින් වෙන්නේ ඔය වගේ දෙයක්. ඔය ක්‍රමයට ගියොත්නම් යම් පිරිසක් වහල්ලු තමයි. 

ඕක වෙන්න පුළුවන් වෙනත් ක්‍රමයකුත් තිබෙනවා. භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා මිනිස් ශ්‍රමය අඩුවෙන් අවශ්‍ය වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ කාලය ඉතිරි වෙනවා කියන එක. මේ ඉතිරි වන කාලය යොදවන්නේ මොන වගේ දේවල් වලටද? 

කාලය ඉතුරු වන තරමට මිනිස්සු තමන් සතුටු වන දේවල් වෙනුවෙන් ඒ කාලය යොදවනවා. ක්‍රීඩා කරන්න, චිත්‍රපට නාට්‍ය බලන්න, සිංදු අහන්න වගේ දේවල්. තව අවන්හලකට ගිහින් කාලා බීලා සතුටු වෙන්න. වැඩි වැඩියෙන් කාලය ඉතුරු වෙනවා කියන්නේ ඔය වගේ දේවල් වලට ඉල්ලුම විශාල ලෙස වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ අනෙක් මිනිසුන් සතුටු වන දේවල් කරලා සල්ලි හොයන්න ඕනෑ තරම් අවස්ථා තිබෙනවා කියන එකයි. "ලොක්කෝ" ටිකක් එකතු වෙලා "පොඩ්ඩන්ට" නිකම් සල්ලි බෙදුවොත් නොවිය හැකි වුනත්, එහෙම සල්ලි නිකම් ලැබෙන්නේ නැත්නම් මිනිස්සුන්ට සල්ලි හොයන්න මොනවා හෝ කරන්න වෙනවා. යන්ත්‍ර වලින් හැදුවත් භාණ්ඩ හා සේවා වලට වටිනාකමක් දෙන්නේ මිනිසුන්ම නිසා අවසාන වශයෙන් වෙන්නේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මිනිස් ශ්‍රමයේ මිල ඉහළ යන එක.

විනෝදාස්වාද කටයුතු හා අදාළ නිෂ්පාදන වගේ දේවල් වුනත් මිනිස් ශ්‍රමය නැතුව යන්ත්‍ර වලින්ම කරන්න පුළුවන් වෙයි. නමුත් මිනිස් ශ්‍රමය යොදාගෙන කරන දේවල් වලට වෙනම ප්‍රීමියම් මාකට් එකක් හැදෙයි. නිකම් බිත්තර වලට වඩා ඕගනික් බිත්තර මිල වැඩියි වගේ. උදාහරණයක් විදිහට මිනිස් වේටර්ලා ඉන්න අවන්හලකින් කෑම ගන්න එක මිල අධික, සුඛෝපභෝගී දෙයක් වෙන්න පුළුවන්. එතකොට කවුරු හෝ කියන්න පුළුවන් "අපේ දහවෙනි විවාහ සංවත්සරයට අපි මිනිස් වේටර්ලා ඉන්න අවන්හලකට ගිහිං මිනිස් කෝකියෝ හදපු කෑම වේලක් කමු!" වගේ කතාවක්. 

ඔය විදිහට ශ්‍රම වෙළඳපොළ නැවත සකස් විය හැකි නිසා ශ්‍රමය පමණක් තිබෙන කෙනෙකුට වුවත් මහන්සි වෙලා උඩට ගිහින් ප්‍රාග්ධනයේ හිමිකරුවෙකු වීමේ අවස්ථාව තවදුරටත් ඉතිරි වෙයි. නමුත්, විශ්වීය මූලික ආදායම් ක්‍රමය වගේ දේවල් පුළුල් වන තරමට ඕකේ අනෙක් පැත්ත වීමේ අවදානම ඉහළ යනවා. ප්‍රායෝගිකව සිදු විය හැක්කේ, දැන් වගේම, ඔය අන්ත දෙකේ අතරමැදි තත්ත්වයක්. 

පසුගිය සතියේ (මැයි 16) ඇමරිකාවේ සිදු වුනු තවත් වැදගත් දෙයක්නම් සෙනෙට් කමිටුවක් විසින් කෘතීම බුද්ධි ක්‍රියාකාරකම් නියාමනය කිරීම පිළිබඳව මෙහි නියැලෙන ප්‍රධාන සමාගම් වලින් අදහස් විමසීමයි. මේ හා අදාළ නීති මාලාවක් මේ වෙද්දීත් හැදෙමින් තිබෙනවා. මෙම අවස්ථාවේදී චැට්ජීපීටී හඳුවාදුන් ඕපන්ඒඅයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් පළ කළ අදහස තරමක් අනපේක්ෂිත එකක්. ඔහු විසින් ඉල්ලා සිටියේ සිදුවිය හැකි වැරදි වලක්වා ගැනීම සඳහා රජය විසින් කෘතීම බුද්ධි ක්‍රියාකාරකම් නියාමනය කළ යුතු බවයි. කෘතීම බුද්ධිය භාවිතය වර්ධනය වීම මෙන්ම ඒ හරහා රාජ්‍ය මැදිහත්වීම් ඉහළ යාමද පැහැදිලිව පෙනෙන්නට තිබෙන ප්‍රවණතාවක්. 

Sunday, July 9, 2017

අධ්‍යාපන සේවා වෙළඳපොළ වඩා කාර්යක්ෂම කළ හැකිද?


පසුගිය ලිපියෙන් අපි වැඩිහිටි සිසුන් වෙනුවෙන් ඉංග්‍රීසි කතාව පුහුණු කිරීම සඳහා පන්ති පවත්වන වෙළඳපොළ ගැන කතා කළෙමු. මේ වෙළඳපොල නියාමනය නොවන්නකි. මෙහි පාරිභෝගිකයින් තමන්ගේ මුදල් හා කාලය ඇතුළු වෙනත් දේ කැප කරමින් ස්ව කැමැත්තෙන් ඉංග්‍රීසි කතාව ඉගෙන ගන්නා අයයි. ඔවුන් එසේ කරන්නේ ඒ වෙනුවෙන් තමන් දරන ආවස්ථික පිරිවැයට සරිලන ලාබයක් ඔවුන්ට ලැබෙන බැවිනි. එවැනි වාසියක් නැති අය ආවස්ථික පිරිවැයක් දරමින් ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට නොපෙළඹෙති.

මුදල් අයකර ඉංග්‍රීසි කතාව උගන්වන පන්තියක් පැවැත්වීමට නිශ්චිත අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැත. එහෙත්, මේ වෙළඳපොළේ ගුරුවරුන් ලෙස සිටින්නේ ඉංග්‍රීසි කතාව ඉගැන්වීමට නිපුණතාවයක් ඇති අයයි. එවැනි නිපුණතාවයක් නැති අය වෙළඳපොළ තුළ ස්වභාවිකවම ප්‍රතික්ෂේප වේ. රට පුරා ඉංග්‍රීසි කතාව උගන්වන පන්ති පැවැත්වෙන තැන්ද ස්වභාවික ලෙසම නිශ්චය වෙයි. එය සිදුවන්නේ පාරිභෝගික ඉල්ලුම අනුවය. ඇතැම් ගුරුවරු තමන්ගේ නගරයේ පමණක් පන්ති කරද්දී තවත් අය රටපුරා නගර ගණනක පන්ති කරති.

රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට උවමනාවක් නැත. මේ අයගෙන් කොටසක් පවුල් පසුබිම හෝ වෙනත් හේතුවක් නිසා ඉංග්‍රීසි කොහොමටත් කතා කළ හැකි අයයි. තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙනීමට යොමු නොවන්නේ ඒ සඳහා වැය කළ යුතු ආවස්ථික පිරිවැය එයින් ලැබෙන වාසි වලට වඩා අඩු බැවිනි. ආවස්ථික පිරිවැය අඩුනම් තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට යොමු වනු ඇත.

මෙවැනි අවස්ථාවක ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගැනීමට රටේ සියලු දෙනාටම ඉඩප්‍රස්ථා සැලසීම සඳහා රජයක් මැදිහත් වන්නට ඉඩ තිබේ. මෙහිදී, රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට කැමැත්තෙන් සිටින බොහෝ දෙනෙකුට ඒ සඳහා ඉඩප්‍රස්ථා නැති බැවින් නිදහස් වෙළඳපොළ තුළ සිදුවන "වැරැද්ද" හරි ගස්වා සමාජ සාධාරණත්වය ඇති කරන්නට තමන් දන්නා බව රජය සිතයි. දැන් මේ වෙළඳපොළෙහි සිදු වන්නේ කුමක්ද?

පළමුව රජයට මේ කටයුත්ත කිරීමට අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් ඇති කර නිලධාරීන් පිරිසක් පත් කරන්නට සිදු වේ. අදාළ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව සඳහා වෙනත් සම්පත්ද සම්පාදනය කර ගත යුතුය. ඉන්පසුව අවශ්‍ය ගුරුවරුන් බඳවා ගන්නට සිදුවේ. මෙය කරන්නට සිදු වන්නේ අධ්‍යාපන සුදුසුකම් හා කිසියම් තරඟ විභාගයක ප්‍රතිඵල වැනි දෙයක් දෙස බලමිනි. අවසාන වශයෙන් රජයට අවශ්‍ය සියලු දෙනාටම "නොමිලේ" ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට ඉඩප්‍රස්ථා සැලැස්වීමට හැකි වේ.

ඉහත කටයුතු සියල්ල සඳහා සැලකිය යුතු පිරිවැයක් දරන්නට රජයට සිදුවේ. ඒ සඳහා අරමුදල් අවශ්‍ය වෙයි. ලංකාවේ ක්‍රමයට සාමාන්‍යයෙන් රජය විසින් මේ අරමුදල් එකතු කර ගන්නේ වක්‍ර බදු හරහාය. වක්‍ර බදු ඉහළ යන විට රටේ ජනතාවට සිය පරිභෝජනය සීමා කරන්නට සිදු වේ. ඒ අනුව, නොමිලේ ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට ලැබීමේ ඉඩප්‍රස්ථාව සඳහා රටේ සියලුම අයට සිය පරිභෝජනයෙන් කොටසක් කැප කරන්නට සිදු වේ.

දැන් මේ "නොමිලේ" පැවැත්වෙන පන්ති වලින් යහපතක් සැලසෙන්නේ කාටද?

කලින් මුදල් ගෙවා ඉංග්‍රීසි ඉගෙනගත් අයට දැන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන. ඒ අයට කලින් මුදල් ගෙවීමෙන් පසුවද වාසියක් තිබුණේය. දැන් ඔවුන් ලබන වාසිය වැඩි වී තිබේ. එහෙත්, ඒ අතරම කලින් නොතිබුණු පිරිවැයක්ද දැන් ඔවුන්ට දරන්නට සිදු වේ. මෙහි ශුද්ධ ප්‍රතිඵලය කිසියම් වාසියක් විය හැකිය.

කලින් රැකියා නොතිබුණු පිරිසකට දැන් රැකියා ලැබී තිබෙනවා විය හැකිය. ඔවුන්ටද වාසියක් සිදු වී තිබේ. එය ඔවුන් ගෙවන අමතර බදු මුදලට වඩා වැඩි විය යුතුය.

කලින් මුදල් නොමැතිකම නිසා ඉංග්‍රීසි පන්ති යන්නට නොසිතූ පිරිසකට දැන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. ඔවුන්ගෙන් කොටසකට මේ දැනුම හේතුවෙන් රැකියා ලැබෙන්නටද ඉඩ තිබේ. එය වාසියකි.

කෙසේ වුවද, "නොමිලේ" ලැබෙන නිසා බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතාව ඉගෙන ගත්තත් ඒ සියල්ලන්ටම ඒ හේතුව නිසා රැකියා ලැබෙන්නේ නැත. ඔවුන්ට අවසාන වශයෙන් තමන් ගෙවූ බදු වලට සරිලන තරමේ වාසියක් නොලැබේ.

කලින් ටියුෂන් කළ ගුරුවරුන්ට දැන් ඉල්ලුමක් නැත. ඔවුන්ගෙන් ඇතැමෙක්ට රජයේ රැකියා ලැබී තිබෙන්නට ඉඩ ඇතත් එයින් ලැබෙන වේතනය පෙර ලැබූ ආදායමට වඩා අඩු විය හැකිය. මේ අයට ගෙවන්නට සිදුවන අමතර බදු හා අහිමි වූ ටියුෂන් ආදායම ලෙස අවාසි වර්ග දෙකකි.

ඉංග්‍රීසි පන්ති නොමිලේ පැවැත්වුනද ඉංග්‍රීසි ඉගෙනීම සඳහා ගත කළ යුතු කාලය ඇතුළු වෙනත් ආවස්ථික පිරිවැය නැති වන්නේ නැත. ඒ නිසා, රටේ බොහෝ දෙනෙකු තව දුරටත් මේ ඉංග්‍රීසි පන්ති වලට සහභාගී වන්නේ නැත. එහෙත්, ඒ අයටද බදු බරට කර ගහන්නට වේ. මෙය ඔවුන්ට සිදුවන අවාසියකි.

අවසාන වශයෙන් රජයේ මැදිහත්වීම නිසා සුළු පිරිසකට වාසියක් සැලසෙන නමුත් විශාල පිරිසකට සිදුවන්නේ අවාසියක් නිසා ශුද්ධ ලෙස සිදු වන්නේ සමාජ අතිරික්තය අඩු වීමකි.

නිදහස් වෙළඳපොළකට වෙනස් වන තත්වයන් හමුවේ හැඩගැසී අකාර්යක්ෂමතාවයන් ඉවත් කිරීමට ඇති හැකියාව සමඟ රජයකට අලගු තියන්නටවත් නුපුළුවන. ප්‍රවාහන ගාස්තු හා ප්‍රවාහනය සඳහා ගත වන කාලය මේ වෙළඳපොලෙහි කාර්යක්ෂමතාවයට බලපාන ස්වභාවික බාධාවකි. මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කර වෙළඳපොල යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්නේ තාක්ෂනය විසිනි. ස්කයිප් හරහා පැවැත්වෙන ඉංග්‍රීසි ටියුෂන් පන්ති වලින් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළකට මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කිරීමට ඇති ස්වභාවික හැකියාවයි.


නියාමනයක් නැති, අධ්‍යාපනය විකුණන වෙළඳපොලක පවතින තවත් ස්වභාවික බාධාවක් වන්නේ නිෂ්පාදකයා (ගුරුවරයා) හා පාරිභෝගිකයා (ශිෂ්‍යයා) අතර ඇති තොරතුරු අසමමිතියයි. තමන් මුදල් ගෙවා ලබා ගන්නා භාණ්ඩයේ ගුණාත්මක භාවය ගැන ශිෂ්‍යයා දැනගන්නේ මුදල් ගෙවීමෙන් පසුවය. ඒ වන විට භාණ්ඩය පරිභෝජනය කර අවසන් නිසා එය ආපසු දීමේ හැකියාවක් ශිෂ්‍යයා සතුව නැත. "පළමු දිනය නොමිලේ" ඉගෙන ගන්නට ලැබීම මෙයට විසඳුමක් ලෙස ස්වභාවිකව බිහි වී ඇති විසඳුමකි.


රජයක් කිසියම් හේතුවක් නිසා නිදහස් වෙළඳපොළක් නියාමනය කිරීමට යොමු වන්නේනම් එසේ කළ යුත්තේ නිදහස් වෙළඳපොල ක්‍රියාකාරීත්වයට ඉඩ නොසලසන ස්වභාවික බාධාවන් ඇත්නම් ඒවා හඳුනාගෙන ඉවත් කිරීම සඳහා මිස නැති අකාර්යක්ෂමතාවයන් ඇති කිරීම සඳහා නොවේ.

Friday, June 30, 2017

අධ්‍යාපනය විකිණීම වැරදිද?


ඇතැම් අය සිතා සිටින්නේ අධ්‍යාපනය යනු මිල කළ නොහැකි, විකිණිය නොයුතු, හා කිසියම් පිරිසක් (රජය) විසින් මධ්‍යගතව සැලසුම් කළ යුතු, වෙනත් භාණ්ඩ හා සේවා වලට වඩා වෙනස් දෙයක් බවයි. එසේ සිතන අයට කිසිදු සැලසුම්කරුවෙකු නැතිව අධ්‍යාපන සේවා වෙළදපොලක් කාර්යක්ෂමව පැවතිය හැකි බව සිතාගන්නට නොහැකිය. ඒ නිසා ඔවුහු අධ්‍යාපන සේවා සැපයීම "හරියට" සැලසුම් කිරීම සඳහා රජයට කැමැත්තෙන්ම මුදල් ගෙවති. ඉන් පසුව, තමන් අපේක්ෂා කළ අරමුණ ඉටු නොවන විට සැලසුම්කරුට චෝදනා කරති. 

එහෙත්, වැරැද්ද බොහෝ විට තිබෙන්නේ සැලසුමේ හෝ සැලසුම්කරුගේ නොව අධ්‍යපනය "හරියට" සැලසුම් කරන්නට යන ආකෘතියේ බව තේරුම් නොගනිති. අධ්‍යාපන සේවා සැපයීම මධ්‍යගතව සැලසුම් නොකර එය කාර්යක්ෂමව සිදු විය නොහැකි බවට වන අදහස කෙතරම් ජනගතව ඇත්දැයි විමසූ විට පෙනෙන්නේ කාලයක් තිස්සේ සැලසුම් සහගත ලෙස වැරදි න්‍යායයන් ප්‍රචලිත කිරීම සඳහා ගැනුණු සංවිධානාත්මක උත්සාහයන් හේතුවෙන් සිදුවී ඇති බලපෑමේ තරමයි.

අඩු වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ වන ඕනෑම ක්‍රියාවලියක් තුළ මිල සාධකය තිබේ. එය පැහැදිලිව පෙනෙන්නට නැත්නම් සැඟවී තිබේ.

ගුරුවරයෙකු විසින් සිසුවෙකුට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය එහි මූලික ලක්ෂණ අනුව වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොලෙහි විකිණීමේ අවස්ථාවකින් කිසිසේත්ම වෙනස් නොවේ. මෙහිදී ගුරුවරයා නිෂ්පාදකයාය. ඔහු පිරිවැයක් දරමින් අධ්‍යාපන සේවා නිෂ්පාදනය කරයි. සිසුවා වැඩිහිටියෙක්නම් ඔහු පාරිභෝගිකයාය. වැඩිහිටියෙක් නොවේනම් පාරිභෝගිකයා ඔහුගේ මව, පියා හෝ වෙනත් වැඩිහිටි භාරකරුවෙකු විය හැක.

දෙදෙනෙකු අතර ස්වේච්ඡා ගනුදෙනුවක් සිදුවන සෑම විටකම පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද සතුටු වෙති. දෙදෙනාටම වාසිද සැලසේ. නිෂ්පාදකයාට ලාභ ආන්තිකයක් ලැබෙන අතර පාරිභෝගිකයාට පාරිභෝගික අතිරික්තයක් හිමි වේ. අපි ගනුදෙනු කිහිපයකදී මෙය සිදුවන ආකාරය විමසා බලමු.

ආරම්භයක් ලෙස අපි පහත උදාහරණය දෙස බලමු.

වැඩිහිටි සිසුවෙකු ඉංග්‍රීසි කතාකිරීම ඉගෙන ගැනීමට පෞද්ගලික පන්තියකට යයි. මේ අවස්ථාවේදී, සිසුවා ගුරුවරයාට කිසියම් නිශ්චිත මුදලක් ගෙවයි. ගුරුවරයා එම මුදල ලබාගෙන සිසුවාට ඉංග්‍රීසි උගන්වයි. දැනට මේ සරල උදාහරණය ගන්නේ වඩා සංකීර්ණ උදාහරණ වෙත පසුව යන්නට ප්‍රවේශයක් වශයෙනි.

මෙහි සිසුවා පාරිභෝගිකයාය. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගැනීම වෙනුවෙන් පිරිවැයක් දරයි. ඔහු ගුරුවරයාට ගෙවන මුදල මේ පිරිවැයෙහි කොටසකි. එහෙත්, එම මුදල ඔහුගේ මුළු පිරිවැය නොවේ. පන්තියට යාමට ඔහුට වැය වන බස් ගාස්තුද එහි කොටසකි. පාඨමාලාවට අදාළ පොත් හා ලිපි ද්‍රව්‍ය වෙනුවෙන් තවත් මුදලක් වැය වේ. ගුරුවරයාට ගෙවන මුදලට අමතරව සිසුවා විසින් මේ වියදම්ද දැරිය යුතුය. මේ සියල්ලේ එකතුවද ඔහුගේ මුළු පිරිවැය නොවේ. අතින් මුදලක් නොගියත්, පන්තියට සහභාගී වීමට හා ගෙදරදී අභ්‍යාස කිරීමට ගතවන කාලයද ඔහුගේ ආවස්ථික පිරිවැයේ කොටසකි. එම කාලය තුළ ඔහුට වෙනත් යමක් කර කිසියම් මුදලක් ඉපැයීමේ ඉඩක් ඇත්නම් එයද පිරිවැයට එකතු විය යුතුය. ඒ කාලය තුළ ටෙලිනාට්‍යයක් බලන්නට තිබුණු අවස්ථාව මඟ හැරීමද එහිම කොටසකි. ඒ නිසා ඇති වන අසතුට කිසියම් නිශ්චිත මුදලක් නැති වූ විට ඇතිවන අසතුටට සමාන කළ හැකිය.

මේ සියලු පිරිවැය දරාගෙන සිසුවා ඉංග්‍රීසි ඉගෙන ගන්නේ එයින් ඔහුට ලැබෙන ලාභය වැය කරන පිරිවැයට වඩා වැඩි බැවිනි. ඉංග්‍රීසි කතා කරන්නට පුළුවන් වූ විට වඩා හොඳ රැකියාවක් කරන්නට ඉඩ සැලසේ. එවිට ආදායම ඉහළ යයි. මෙය ජීවිත කාලය පුරාවට දිගටම, එසේ නැත්නම් විශ්‍රාම යන තුරු ලැබෙන සෘජු මුදල් වාසියකි. ඊට අමතරව ඉංග්‍රීසි කතා කළ හැකි වූ විට සමාජයේ තැනක් ලැබේ. මේ හේතුවෙන් මුදල් නොලැබුනත් එමඟින් ලැබෙන සතුට කිසියම් මුදලකට සමාන කළ හැකිය.

ඉහතින් විස්තර කළ වාසි හා අවාසි සිසුවාගෙන් සිසුවාට වෙනස් වේ. අයෙකුගේ වාසි අවාසි වලට වඩා වැඩිය. ඔහු පන්තියට යයි. තවත් අයෙකුගේ වාසි වලට වඩා අවාසි වැඩිය. ඔහු පන්තියට නොයයි. අයෙකුගේ වාසි හා අවාසි සමානය. ඔහුට ගියත් එකයි නැතත් එකයි වගේය. ඒ නිසා යන්නත් පුළුවන. නොයන්නත් පුළුවන.

දැන් පන්ති ගාස්තු වැඩි වුනොත් වෙන්නේ කුමක්ද? සියලුම පාරිභෝගිකයින්ගේ එනම් ඉංග්‍රීසි කතා කරන්නට කැමැත්තෙන් සිටි අයගේ වියදම් කොටස ඉහළ යයි. වාසි කොටසේ වෙනසක් නොවේ. ඒ නිසා කලින් ශුද්ධ වාසියක් තිබුණු ඇතැම් අයට දැන් ශුද්ධ අවාසියක් සිදු වේ. ඒ නිසා පන්තියට එන සිසුන් ගණන අඩු වේ. මේ අයුරින්ම, පන්ති ගාස්තු අඩුවන විට පැමිණෙන සිසුන් ගණන වැඩි වේ.

පන්ති ගාස්තු වෙනස් නොවී බස් ගාස්තු වැඩි වූ විටද මේ අයුරින්ම පන්තියට ඇති ඉල්ලුම අඩු වේ. එහෙත් එහි බලපෑම පෙර මෙන් සියලු සිසුන්ට එකසේ ඇති එකක් නොවේ. මේ වෙලාවේ පන්තියට ආසන්නව සිටින, පයින් හෝ බයිසිකලයකින් එන සිසුන් පන්තියෙන් හැලෙන්නේ නැත. ඒ වෙනුවට පන්තියට වඩා දුරින් සිටින සිසුන් පිරිසක් හැලේ.

දැන් අපි මෙහි නිෂ්පාදකයා වන ගුරුවරයාගේ පැත්ත බලමු. පන්තිය වෙනුවෙන් ඔහුට තැනක් කුලියට ගන්නට සිදු වේ. ඒ සඳහා ඔහු මුදලක් ගෙවිය යුතුය. එහි පැමිණෙන්නට ප්‍රවාහන වියදම්ද දැරිය යුතුය. උගන්වන්නට සහ ඒ සඳහා සූදානම් වීමට ඔහු වැය කරන්නේ ඔහුට වෙනත් දෙයක් සඳහා වැය කළ හැකි කාලයයි. ඔහු ඉංග්‍රීසි පන්තිය කරන්නේ පන්ති ගාස්තු ලෙස එකතුවන මුදලින් මේ සියලු වියදම් පියවී ලාබයක් ඇත්තේනම් පමණි.

ගුරුවරයාට සිය ලාබ වැඩි කර ගැනීමට පන්ති ගාස්තු ඉහළ දැමිය හැකි වුවත් එය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ගාස්තු ඕනෑවට වඩා වැඩි කළොත්, එක් සිසුවෙකුගෙන් ලැබෙන මුදල ඉහළ ගියත් පැමිණෙන සිසුන් ගණන අඩු වීම නිසා ලැබෙන ආදායම පහළ යන්නට පුළුවන. බස් ගාස්තු ඉහළ ගිය විට ඇතැම් සිසුන් පන්තියෙන් ගිලිහෙන්නට පුළුවන. කෙසේවුවද, ඈතක තිබූ වෙනත් පන්තියකට ගිය සිසුන් මේ පන්තියට එන්නට වුවද ඉඩ තිබේ. එසේ වුවහොත් ඉල්ලුම ඉහළ යයි.

දැන් මේ පන්තියේ පන්ති ගාස්තු තීරණය වන්නේ එහි පැමිණෙන හෝ නොපැමිණෙන එක් එක් සිසුවාගේ අපේක්ෂිත වාසි හා ආවස්ථික පිරිවැය මෙන්ම ගුරුවරයාගේ ආවස්ථික පිරිවැයද මතය. මේ එක් දෙයක් හෝ වෙනස් වීමෙන් පන්ති ගාස්තු වෙනස් විය හැකිය. ඒ හැම විටකම සිදු වන්නේ සියලු දෙනාටම සතුටු විය හැකි ප්‍රසස්ථ මට්ටමකට මිල ස්වභාවිකවම වෙනස් වීමයි. එය ගුරුවරයා විසින් වෙනස් කරන බව පෙනෙන්නට තිබුණත් ඇත්තටම එය සමස්ත පද්ධතියේම අන්තර් සම්බන්ධතා මත සිදුවන්නකි.

වැඩිහිටි සිසුන්ට ඉංග්‍රීසි කතා කිරීම උගන්වන පංති කිසිවකුගේ නියාමනයකට ලක් නොවන නිසා මධ්‍යගත සැලසුම්කරුවෙකු නැතුවම මේ වෙලදපොල කාර්යක්ෂමව පවතී. ඒ කාර්යක්ෂමතාවය පවත්වා ගැනෙන්නේ මිල සාධකය හරහාය. කාමර කුලී වැඩි වන විට ගුරුවරුන්ගේ ලාභ අඩු වේ. එවිට, පන්ති ගාස්තු වැඩි කරන්නට සිදු වේ. පන්ති ගාස්තු වැඩි වන විට සිසුන්ගෙන් කොටසක් හැලේ. එවිට, දක්ෂ ගුරුවරයෙකුට වෙළඳපොළේ තවදුරටත් රැඳී සිටිය හැකි වුවත් සාපේක්ෂව අදක්ෂ ගුරුවරයෙකුට (වඩා අකාර්යක්ෂම නිෂ්පාදකයෙකුට) ප්‍රමාණවත් සිසුන් පිරිසක් නැති නිසා පන්තිය පවත්වාගෙන යාම අසීරු වේ. මිල සාධකය හරහා අදක්ෂ ගුරුවරුන් ස්වභාවිකම වෙළඳපොලෙන් ඉවත් කරයි. දක්ෂ ගුරුවරුන් ඉතුරු කරයි. මෙය කරන්නට රජයේ අමාත්‍යංශයක මහජන මුලින් යැපෙන නිලධාරීන් පිරිසක් බදු මුදලින් නඩත්තු කිරීමට අවශ්‍ය නැත.

කිසියම් නගරයක පන්තියක් කරන දක්ෂ ගුරුවරයෙකුට විශාල සිසුන් පිරිසක් ආකර්ශනය වෙයි.  ලාභ ඉහළ යයි. මෙය දකින තවත් අයට ඉංග්‍රීසි පන්ති පටන් ගන්නට හිතේ. නගරයේ දෙවන ඉංග්‍රීසි පන්තියක් ඇරඹේ. මේ ගුරුවරයා පළමු ගුරුවරයා තරම් දක්ෂ නැතත් පන්තියේ තදබදය අඩුය. ගුරුවරයා සමඟ පෞද්ගලිකව කතා කරන්නට වැඩි ඉඩක් ලැබේ.

දැන් සිසුන්ට තෝරා ගැනීමක් තිබේ. පළමු ගුරුවරයා ගුරුවරයෙකු ලෙස වඩා සාර්ථක වුවත් සිසුන් සිය ගණනක් සිටින පන්තියකට වඩා අඩු සිසුන් ගණනක් සිටින පන්තියකට කැමති සිසුන් දෙවන ගුරුවරයා වෙත යයි. පන්තියේ ප්‍රමාණය ප්‍රශ්නයක් ලෙස නොසිතන අය පළමු ගුරුවරයා ලෙස රැඳේ. සිසුන් වඩා කැමති කුඩා පන්තියකටද නැත්නම් ලොකු පන්තිකටද කියා පරීක්ෂා කර අදාළ පන්තියට සිසුන් යොමු කිරීම සඳහා බදු මුදලින් යැපෙන නිලධාරියෙකු අවශ්‍ය නැත.

අලුත් ආයතනයකට ඉංග්‍රීසි උගත් පිරිස් අවශ්‍ය වී රැකියා අවස්ථා වැඩි වන විට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ඇති වාසි වැඩි වේ. එවිට ඉංග්‍රීසි ඉගෙන ගන්නට ඇති ඉල්ලුම වැඩි වේ. රජයේ නිලධාරියෙකු සමීක්ෂණයක් කර මේ බව දැනගෙන අලුත් ඉංග්‍රීසි පන්තියක් පටන් ගත යුතු බව ඇමතිවරයාට යෝජනා කරන්නට අවශ්‍ය නැත. ඉල්ලුම වැඩි වන විට ස්වභාවිකවම අලුතින් ඉංග්‍රීසි පන්ති ඇති වේ. එය සිදු වන්නේ මිනිසුන්ට ස්වභාවිකමව ඇති ලාභ ලැබීමේ ආශාව තුලිනි. රජය විසින් බාධා නොකරන තාක් කල් සිසුන්ගේ අවශ්‍යතා වලට සරිලන තරමේ අධ්‍යාපනයක් ස්වභාවික ලෙසම ඔවුන්ට ලැබේ. නියාමකයෙකු නැතත් වෙළඳපොළ යාන්ත්‍රනය විසින් වෙළඳපොල නියාමනය කරයි.

අදක්ෂ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්නා සිසුවෙකුට කලක් පන්ති ගියත් හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැක. දක්ෂ ගුරුවරයාගේ පන්තියට යන අයට ඉතා ඉක්මනින් ඉංග්‍රීසි ප්‍රවීණතාවය ලැබේ. රැකියා සඳහා වන සම්මුඛ පරීක්ෂණයේදී වැඩි වශයෙන් තේරෙන්නේ දක්ෂ ගුරුවරයාගේ පන්තියේ අයයි. ඒ නිසා ඒ පන්තියට ස්වභාවික ලෙසම ඉල්ලුම වැඩි වේ. අදක්ෂ ගුරුවරයාගේ පන්තියට ඉල්ලුම අඩු වේ. ප්‍රමාණවත් සිසුන් ගණනක් නැති නිසා ඔහුගේ වියදම නොපියවේ. ඒ නිසා ඒ පන්තිය වැසී යයි. මෙසේ වැසී යන්නේ ගුණාත්මක භාවයෙන් අඩු සේවාවක් සපයන ගුරුවරයාගේ පන්තියයි.

කෙසේවුවද, වැසී ගිය පන්තියේ ගුරුවරයාට අනෙක් ගුරුවරයාට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් තිබෙන්නට පුළුවන. ගුරුවරයෙකුගේ අධ්‍යාපන සුදුසුකම් වලින් ඔහු ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන ඉඟි කරන නමුත් හැමවිටම වැඩි අධ්‍යාපන සුදුසුකම් වලින් වැඩි ගුණාත්මක භාවයක් අදහස් කෙරෙන්නේ නැත. නියාමනයක් නැති වෙළඳපොළ යාන්ත්‍රණය තුල ගුණාත්මක භාවයෙන් වැඩි අධ්‍යපනයක් ලබා දෙන ගුරුවරුන් ඉතිරි වී එසේ නොකරන අය ස්වභාවිකවම ඉවත් වේ. ගුණාත්මක භාවය එක් එක් (වැඩිහිටි) සිසුවා හෙවත් මුදල් ගෙවන පාරිභෝගිකයා විසින් තීරණය කරන්නක් මිස සියලු දෙනා පොදුවේ එකඟ වන දෙයක් නොවේ. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෙයක් සම්බන්ධව සියලු දෙනාට පොදුවේ එකඟ වීම අසීරුය. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා වෙනස් නිසා ගුණාත්මක භාවය පිළිබඳ සියලු දෙනාටම පොදු නිර්ණායක නැත.

එහෙත් මධ්‍යගත සැලසුම්කරුවෙකු ලෙස ක්‍රියාකරන රජයේ නිලධාරියෙකුට ප්‍රායෝගිකව සියලු සිසුන්ගෙන් ඔවුන් අපේක්ෂා කරන ගුණාත්මක භාවය කුමක්ද කියා විමසීමේ හැකියාවක් නැත. එසේ විමසුවද එය කාලය සමඟ නොවෙනස්ව තිබෙන දෙයක් නොවේ. ඒ නිසා ඔහුට කළ හැක්කේ අධ්‍යාපන සුදුසුකම් වැනි ගුණාත්මක භාවය ගැන ඉඟි කරන කිසියම් නිර්ණායකයක් යොදාගැනීමටය. මේ නිලධාරියා අපක්ෂපාතී හා අවංක (පගාවට වැඩ නොකරන) එමෙන්ම මහන්සි වී වැඩ කරන (කාලය අපතේ නොයවන) නිලධාරියෙක් වන්නට පුළුවන. එසේ වූ පමණින් ඔහු කාර්යක්ෂම නිලධාරියෙක් වන්නේ නැත. බදු මුදල් වැය කරමින් ඔහු මහන්සි වන්නේ වෙළදපොළ යාන්ත්‍රණයට ස්වභාවික ලෙසම කළ හැකි දෙයක් "වඩා හොඳින්" කරන්නටය.

තනි පුද්ගලයෙකු වන රජයේ නිලධාරියෙකු (හෝ කණ්ඩායමක්) කොයි තරම් දක්ෂ සැලසුම්කරුවෙකු (හෝ සැලසුම්කරුවන්) වුවත් ඔහුට (ඔවුන්ට) එය කළ නොහැකිය. ලක්ෂ ගණනක් සිතන පතන ආකාරය පිළිබඳ දත්ත හා ඒ සිතන ආකාරය අනාගතයේ වෙනස්වන ආකාරය නිවැරදිව පුරෝකථනය කළ හැකි ආකෘති ඔහු සතුව නැත. ඒ නිසා, ඔහුට සැලසුම් හදන්නට වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ලෙස ඔහු අදහස් කරන දෙය මත පදනම්වය. මෙය රටේ සිසුන් හා ගුරුවරුන් බොහෝ දෙනෙක් ගුණාත්මක භාවය ලෙස දකින දෙයම නොවේ. ඔහුට වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකු ගුරු තනතුරකට තෝරා ගත හැකි වුවත්, වැඩි ඉගෙන්වීමේ හැකියාවක් ඇති අයෙකු තෝරා ගැනීම අසීරුය.

දැන් අපි අවසානයට කතා කළ නගරයට නැවත ගියහොත් ඒ නගරයේදී වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති එහෙත් අදක්ෂ ගුරුවරයාගේ පන්තිය වැසී ගොස් අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති දක්ෂ ගුරුවරයාගේ පන්තිය ඉතිරි විය. මේ හේතුවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුවන බව රජය විසින් හඳුනා ගන්නට පුළුවන. එයට පිළියමක් ලෙස රජය විසින් ඉංග්‍රීසි කතා කිරීම උගන්වන ගුරුවරුන් සඳහා අවශ්‍ය වන මූලික අධ්‍යාපන සුදුසුකම් නියම කරන්නට පුළුවන. එසේ කළ විට, දක්ෂ ගුරුවරයාට ඉංග්‍රීසි පන්ති කිරීමේ හැකියාව නැති වේ.

දැන් දක්ෂ ගුරුවරයා නැති නිසා අදක්ෂ ගුරුවරයාට සිසුන් පිරිසක් සිටී. ඒ නිසා, ඔහුට පන්තිය පවත්වාගෙන යා හැකිය. පන්තියට පැමිණෙන සිසුන් අතරින් ඉගෙන ගැනීමේ දක්ෂතාවය වැඩි සිසුහු ගුරුවරයා අදක්ෂ වුවත් කෙසේ හෝ ඉගෙන ගනිති. එහෙත් අදක්ෂ සිසුන්ට අනෙක් ගුරුවරයා මෙන් "ඉංග්‍රීසි පෙවීමේ" හැකියාවක් ඔහුට නැත. ඒ නිසා අන්තිමේදී පන්තියේ ඉතිරි වන්නේ සාපේක්ෂව දක්ෂ සිසුන් පමණි. රජයේ නියාමනය හේතුවෙන් අනෙක් සිසුන්ට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගැනීමට තිබුණු අවස්ථාව නැති වේ.

අලුතින් ඇරඹුණු ආයතනයට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි කතා කිරීමට මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදනයට අදාළ වෙනත් කුසලතාවයක් හෝ ගුණාංගයක් (උදාහරණයක් ලෙස වඩු කර්මාන්තය පිළිබඳ දක්ෂතාවය හෝ උස අඩි හයක් වීම) ඇති අයයි. ඉංග්‍රීසි උගත් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට එන විට ඒ අය අතරින් තමන්ට අවශ්‍ය අනෙක් කුසලතාවන් ඇති අය ප්‍රමාණවත් පිරිසක් හඳුනා ගන්නට ආයතනයට හැකි වුවත් දැන් එන ඉංග්‍රීසි කතා කළ හැකි සීමිත පිරිස අතර ඒ කුසලතාව ඇති අය නැත. ඒ නිසා, ඉංග්‍රීසි කතා කළ හැකි වුවත් මේ අයට රැකියා නොලැබේ. රැකියා නොලැබෙන නිසා ඉංග්‍රීසි පංතියට ඇති ඉල්ලුමද අඩු වී එය පවත්වා ගැනීම අසීරු වී වැසී යයි. අවශ්‍ය සේවකයින් සොයාගත නොහැකි නිසා අලුතින් ඇරැඹු ආයතනයද උපන්ගෙයිම මිය යයි.

කිසියම් නගරයක කොයි තරම් දක්ෂ ගුරුවරයෙකුගේ ඉංග්‍රීසි පන්තියක් තිබුනත් ඒ පන්තියට රටේම සිටින සිසුන් පැමිණෙන්නේ නැත. ඒ ප්‍රවාහනය සඳහා වැය වන මුදලේ හා කාලයේ ආවස්ථික පිරිවැය පන්තියට ඇති දුර සමඟ වැඩි වන බැවිනි. නියාමනයක් නැති වෙළදපොළ යාන්ත්‍රණයට මේ ප්‍රශ්නයටද විසඳුම් තිබේ. සිසුන්ගේ ප්‍රවාහන වියදම වැඩි වන විට සිසුන් ගුරුවරයා වෙත යනු වෙනුවට ගුරුවරයා සිසුන් වෙත යයි. දක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන් නගර ගණනක පන්ති කරන්නේ ඒ නිසාය.

ගුරුවරයෙකුට වෙනත් නගරයකට ගොස් පන්තියක් කිරීමට වැඩි ආවස්ථික පිරිවැයක් දරන්නට සිදු වේ. එක පැත්තකින් ප්‍රවාහන වියදම්ය. අනෙක් පැත්තෙන් ප්‍රවාහනය වෙනුවෙන් ගත වන කාලය තුළ තමන් සිටින නගරයේ තවත් පන්තියක් කිරීමට ඇති අවස්ථාවයි. මේ නිසා ගුරුවරයකු වෙනත් නගරයක පන්ති කරන්නේ විශාල ඉල්ලුමක් ඇත්නම් පමණි. ඒ නගරයේම සිටින ගුරුවරයෙකුට සංසන්දනාත්මක වාසියක් ඇති නිසා සිසුන් ගණන අඩු වුවත් පන්තියක් පවත්වාගෙන යන්නට පුළුවන.

ඉහත පැහැදිලි කිරීම අනුව ගුරුවරයෙකුට වැඩිපුර සිසුන් සිටීම යනු හැමවිටම වැඩිපුර ලාබ තිබීම නොවේ. අඩු සිසුන් ගණනක් සිටින ගමේ ගුරුවරයාගේ පන්තියෙන් හා වැඩි සිසුන් පිරිසක් සිටින පිටින් එන ගුරුවරයාගේ පන්තියෙන් ලැබෙන ලාබ සමාන වන්නට පුළුවන. ගුරුවරයෙකු වෙනත් නගරයක පන්තියක් කිරීම ගැන හිතන්නේ තමන් සිටින නගරයේ දෙවන (හෝ තවත් අමතර) පන්තියක් වෙනුවෙන් ඇති ඉල්ලුම විශාල ලෙස අඩුනම් පමණි. මේ යාන්ත්‍රණය තුල රටේ සිටින දක්ෂම ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව බොහෝ නගර වල සිසුන්ට හිමි වේ. එවැනි ගුරුවරයෙකු විශාල පැය ගණනක් මහන්සි නොබලා වැඩ කරන්නේ තමන්ගේ මහන්සියට සරිලන ලාබයක් ඇති බැවිනි. එහෙත්, අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම වෙනුවෙන් කියා රජය විසින් ගුරුවරයෙකුට සිටිය යුතු උපරිම සිසුන් ගණන සීමා කළහොත් දක්ෂ ගුරුවරයෙකු වෙනත් නගර වලට ගොස් පන්ති කිරීම නවතී.

වෙළඳපොළ යාන්ත්‍රණයට රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට අවශ්‍ය සිසුන් සිටින තැන් වලට ගුරුවරුන් යොමු කිරීමේ ස්වභාවික හැකියාවක් තිබේ. එය සිදුවන්නේ ස්වාභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කිරීමට වැඩිහිටි සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ඇති හැකියාව මත මිල යාන්ත්‍රනය හරහාය. රජය මැදිහත් නොවන තුරු මෙය කාර්යක්ෂම ලෙස සිදු වේ.

කිසියම් නගරයක අලුතින් ආයතනයක් ඇරැඹී ඉංග්‍රීසි කතා කළ අය හැකි අයට ඇති ඉල්ලුම වැඩි වන විට එම නගරයේ පන්ති වලට සිසුන් වැඩි වේ. එවිට එම නගරය රටේ සිටින දක්ෂ ගුරුවරුන්ට ආකර්ශනීය වී ස්වභාවික ලෙසම ඔවුන් එහි ඇදේ. ආයතනය අලුතින් පටන් ගැනෙන බව දැනගෙන ගුරුවරුන් එහි යොමු කිරීම සඳහා බදු මුදලින් නඩත්තු වන නිලධාරීන් අවශ්‍ය නැත. මධ්‍යගත සැලසුම්කරුවෙකුට දක්ෂ ගුරුවරුන් තෝරාගැනීමේ හැකියාවක් නැතුවාට අමතරව ඒ ඒ නගරයට අවශ්‍ය ප්‍රමාණයට හා වඩාත්ම සුදුසු ගුරුවරුන් යොමු කිරීමේ හැකියාවක්ද නැත.

නැවතත් කියනවානම්, මධ්‍යගත සැලසුම්කරුවෙකුට වඩාත්ම කාර්යක්ෂම ගුරුවරුන් හරියටම තෝරා ගැනීමේ හැකියාවක් නැතිවා පමණක් නොව, නිදහස් වෙළඳපොළක ස්වභාවිකව සිදුවන අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් යොමු කිරීම හෝ අවශ්‍ය පුද්ගලයින් යොමුකිරීමේ හැකියාවද නැත. මෙය සැලසුම්කරු වෙනස් කිරීමෙන් විසඳිය නොහැකි ක්‍රමයේ ප්‍රශ්නයකි. වඩා හොඳ සැලසුම්කරුවන් සිටින්නට පුළුවන් වුවත්, ඉතා සුවිශේෂී තත්ත්වයන් යටතේ හැර සැලසුම්කරුවෙකුට නිදහස් වෙළඳපොළක ස්වභාවිකව සිදුවන දෙයට වඩා හොඳින් සැලසුම් කළ නොහැකිය.

එහෙත්, රජයයන් විසින් හැමවිටම පෙන්වන්නේ රජයකට නිදහස් වෙළඳපොළට වඩා හොඳින් සම්පත් කළමනාකරණය කළ හැකි බවයි. මෙය පෙන්වමින් රජයයන් විසින් ඒ වෙනුවෙන් බදු මුදල් එකතු කරයි. එහෙත්, එය එසේ සිදු නොවන විට බදු ගෙවන්නන් හා රජය අතර ප්‍රශ්න ඇති වේ. රජයයන් වෙනස් වීමෙන් මෙවැනි ප්‍රශ්න කෙළවර වේ. හිටපු සැලසුම්කරුවන් වෙනුවට අලුත් සැලසුම්කරුවෝ පැමිණෙති. එහෙත් ප්‍රශ්නය වන්නේ සැලසුම්කරුවන් කවුද යන්න නොව සැලසුම්කරුවන් සිටීම නිසා ප්‍රශ්නය එයින් නො විසඳේ.

මෙය වෙනස් වන්නටනම් නිදහස් වෙළඳපොළකට වඩා හොඳින් මධ්‍යගත සැලසුම් කරන රජයකට සම්පත් කළමනාකරණය කළ හැකි බවට සමාජයේ ඇති විශ්වාසය නැති විය යුතුය. එහෙත්, කාලයක් තිස්සේ රජයයන් විසින් ප්‍රචලිත කර ඇති මේ මතය සමාජයෙන් ඉවත් කිරීම පහසු නොවනවා පමණක් නොව කිසිදු රජයක් එයට කැමති වන්නේද නැත. මේ මතය ප්‍රචලිත කිරීම සඳහා රජයයන් විසින් යොදාගන්නා ප්‍රමුඛ උපාංගය "නිදහස් අධ්‍යපනය" ලෙස හඳුන්වන නිදහස නැති කරන අධ්‍යාපනය වීම මෙහි ඇති උත්ප්‍රාසයයි.

සාමාන්‍ය තත්ත්වය වන්නේ මධ්‍යගත සැලසුම් නොතිබීම නිසා එවැන්නක් අවශ්‍ය වන හැම විටකම අදාළ සැලසුම හේතුවෙන් නිදහස් වෙළඳපොලක සිදුවනවාට වඩා කාර්යක්ෂම ලෙස සම්පත් කළමනාකරණය සිදුවන්නේ කෙසේද යන්න පෙන්වීම සැලසුම්කරුවන් විසින් කළ යුතු දෙයකි. එසේ අවශ්‍ය වන සුවිශේෂී තත්ත්වයන් තිබෙන්නට පුළුවන. මේ ලිපියේ උදාහරණයේ පාරිභෝගිකයා ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට අපේක්ෂා කරන වැඩිහිටි සිසුවෙකි. ඔහු වැය කරන්නේ තමන්ගේම මුදල්ය. ගනුදෙනුවට තෙවන පාර්ශ්වයන් සම්බන්ධ වන තරමට විශ්ලේෂණය වඩා සංකීර්ණ වේ. එවැනි, වඩා සංකීර්ණ අධ්‍යාපන සේවා වෙළඳපොළවල් ගැන ඉදිරියේදී කතා කරමු.

Sunday, June 4, 2017

ශ්‍රම වෙළඳපොළ සමතුලිතතාවය හා අවම වැටුප්


පුහුණු හෝ නුපුහුණු ශ්‍රමය සඳහා වන වෙළඳපොළද මූලික ආකෘතිය අතින් වෙනත් භාණ්ඩ හෝ සේවා වෙළඳපොලකින් වෙනස් නොවේ. රජයේ ඇඟිලිගැසීමක් නැත්නම් මේ වෙළදපොලේ මිල හෙවත් වැටුප් තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතය.

මෙය පැහැදිලි කිරීම සඳහා අපි ලංකාවේ පෞද්ගලික ආරක්ෂක සේවා සැපයීමේ වෙළඳපොල වෙත හැරෙමු. උස අයට වගේම මිටි අයට පවා තමන් කැමතිනම් කම්කරු රස්සාවක් වෙනුවට සිකියුරිටි රස්සාවක් හොයා ගැනීම එතරම් අපහසු කරුණක් නොවේ. වැටුප් එතරම් ඉහළ නොවූවත් සිකියුරිටි රස්සා සඳහා ලංකාවේ පුරප්පාඩු අඩුවක් නැතුව තිබේ.

සිකියුරිටි රස්සාවක් කිරීමේ හැකියාව තිබුණු පමණින්ම බොහෝ දෙනෙක් එවැනි රස්සාවකට අයදුම් කිරීම ගැන හිතන්නේ නැත. මේ අයගෙන් කොටසක් එසේ අයදුම් නොකරන්නේ ඒ රස්සාවට කැමති නැති නිසාය. තවත් බොහෝ දෙනෙකුට රස්සාවේ අවුලක් නැතත් වැටුප ගැන සෑහීමකට පත් නොවන නිසා අයදුම් නොකරති. සිකියුරිටි රැකියාවක් සඳහා වඩා වැඩි වැටුපක් ලැබෙනවානම් මේ දෙවන කාණ්ඩයේ අය එවැනි රැකියා සඳහා අයදුම් කරන්නට පැකිලෙන්නේ නැත. ඒ වගේම, යම් හෙයකින් මේ වැටුප් ඉතාම විශාල ලෙස ඉහළ ගියහොත් පළමු කාණ්ඩයේ අය වුවද සිකියුරිටි රස්සාවකට කැමති වෙන්නට ඉඩ තිබේ.

පුද්ගලයින් හත් දෙනෙකු විසින් සිකියුරිටි රස්සාවක් භාර ගැනීමට කැමති වන අවම මාසික වැටුප් පහත පරිදියැයි සිතමු.

අජිත් - රුපියල් 8,000
ආනන්ද - රුපියල් 10,000
ඇන්ටන් - රුපියල් 11,000
ඈශ්ලි - රුපියල් 12,000
ඉරාජ් -රුපියල් 12,500
ඊශ්වරන් -රුපියල් 15,000
උතුම් -රුපියල් 25,000

මුදල් ඉපයිය හැකි වෙනත් විකල්ප අවස්ථාවක් ඇති කෙනෙක් සිකියුරිටි රැකියාවකට එන්නේ වඩා වැඩි වැටුපක් ලැබේනම් පමණි. තමන්ට ඇති විකල්ප රැකියා අවස්ථා අනුව, එක් එක් පුද්ගලයා අපේක්ෂා කරන අවම වැටුප වෙනස් වේ. අඩු වැටුපකට රැකියාවට එන්නට කැමැත්තෙන් සිටින්නේ, වෙනත් විකල්ප අවස්ථා නැති, රැකියාවක් වැඩියෙන්ම අවශ්‍ය අයයි. වැඩි වැටුප් ඉල්ලන්නේ, වෙනත් රැකියා අවස්ථා ඇති, ඒ නිසා සිකියුරිටි රැකියාව "තිබුණත් එකයි නැතත් එකයි" අයයි.

ඉහත තොරතුරු අනුව අපට සිකියුරිටි සේවා සඳහා වන සැපයුම් වක්‍රය හෙවත් වැටුප් ඉහළ යද්දී සේවයට එන්නට කැමති පුද්ගලයින් ගණන වැඩිවන ආකාරය හදාගන්නට පුළුවන. එය පහත පරිදි වේ.

රුපියල් 7,999 දක්වා - 0
රුපියල් 8,000-9,999- 1
රුපියල් 10,000-10,999- 2
රුපියල් 11,000-11,999- 3
රුපියල් 12,000-12,499- 4
රුපියල් 12,500-14,999- 5
රුපියල් 15,000-24,999- 6
රුපියල් 25,000ට වැඩි - 7

අනෙක් අතට කිසියම් ආයතනයක් විසින් සිකියුරිටි කෙනෙක් තබා ගැනීමට තීරණය කරන්නේ ආයතනයේ වියදම ඕනෑවට වඩා වැඩි නොවනවානම් පමණි. ආයතන කිහිපයක් සිකියුරිටි කෙනෙක් වෙනුවෙන් ගෙවන්නට කැමති උපරිම මිල පහත පරිදියයි සිතමු. (අපේ පහසුවට අතරමැදි සිකියුරිටි සමාගමක් නැතැයි සිතමු.)

අබාන්ස් - රුපියල් 15,000
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500
ඇන්සල් - රුපියල් 12,000
ඈපාසිංහ ස්ටෝර්ස් - රුපියල් 11,000
ඉක්බාල් බ්‍රදර්ස්- රුපියල් 10,000
ඊරියගම ස්ටෝර්ස්- රුපියල් 9,000
උදාර ට්‍රේඩර්ස්- රුපියල් 8,000

දැන් අපට සිකියුරිටි සේවා සඳහා වන ඉල්ලුම් වක්‍රයද හදාගන්නට පුළුවන.

රුපියල් 15,000ට වැඩි - 0
රුපියල් 12,501-15,000- 1
රුපියල් 12,001-12,500- 2
රුපියල් 11,001-12,000- 3
රුපියල් 10,001-11,000- 4
රුපියල් 9,001-10,000- 5
රුපියල් 8,001-9,000- 6
රුපියල් 8,000ට අඩු - 7

සේවා සපයන්නට හා සේවා ලබාගන්නා ආයතන වලට නිදහසේ ගිවිසුම් වලට එළැඹීමට ඉඩ ඇත්නම් ඉල්ලුම හා සැපයුම ස්වභාවිකවම සමතුලිත වේ. එසේ සමතුලිත වන "නියම" මිල රුපියල් 11,001-11,999 අතර මිලකි. මේ මිල රුපියල් 11,500ක් යැයි අපි හිතමු. නිදහස් ශ්‍රම වෙළඳපොළක් ඇති විට මෙසේ තීරණය වන මිල සමස්තයක් ලෙස සියලු පාර්ශ්වයන් විට හොඳම මිලයි. මේ මිල යටතේ තිදෙනෙකුට රැකියාව ලැබේ. අනිත් අයට නොලැබේ.

රැකියා ලැබෙන්නේ රැකියා වඩාත්ම අවශ්‍ය තිදෙනා වන අජිත්ට, ආනන්දට හා ඇන්ටන්ටය. ඒ තිදෙනාටම, තමන් අපේක්ෂා කරන අවම වැටුපට වඩා වැටුපක් ලැබේ. එය ඔවුන් ලබන අතිරික්ත ලාබයකි. අදාළ ලාබ මෙසේය.

අජිත් - රුපියල් 11,500- 8,000 = රුපියල් 3,500
ආනන්ද - රුපියල් 11,500- 10,000 = රුපියල් 1,500
ඇන්ටන් - රුපියල් 11,500- 11,000 = රුපියල් 500
ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තයේ එකතුව = රුපියල් 5,500

මෙහිදී ඉතිරි හතර දෙනාට රැකියා නොලැබී යයි. එහෙත්, ඒ සිකියුරිටි රැකියාවක් සඳහා ගෙවන රුපියල් 11,500 වැටුපට සේවය කරන්නට ඔවුන් කැමති නැති බැවිනි. ඔවුන් එසේ අකැමැති වන්නේ ඔවුන්ට වඩා හොඳ විකල්ප අවස්ථාවන් ඇති බැවිනි. එසේ නොවීනම් ඔවුන් රුපියල් 11,500ක වැටුපට සිකියුරිටි රැකියාවක් භාර ගැනීමට පැකිලෙන්නේ නැත. ඒ නිසා, සිකියුරිටි රැකියාවකට නොපැමිණීමෙන් ඔවුන්ටද වෙන්නේ යහපතකි. මෙහිදී කිසිවකුගේ ශ්‍රමය "සූරාකෑමක්" සිදුවී නැත.

අනෙක් අතට, ආරක්ෂක සේවා ලබාගැනීමට බලාපොරොත්තු වූ ආයතන අතරින් ඒ අවස්ථාව ලැබෙන්නේ ආයතන තුනකට පමණි. ඒ, වැඩිම වැටුප් ගෙවන්නට සූදානමින් සිටි අබාන්ස්, ආරාධනා ටෙක්ස්ටයිල්ස් හා ඇන්සල් යන ආයතන තුනටය. ඔවුන් රුපියල් 11,500 ඉක්මවන වැඩි වැටුප් ගෙවීමට සූදානම්ව ඉන්නේ ගෙවන මුදලට සරිලන සේවයක් ඔවුන්ට ලැබෙන නිසාය. දැන්, මේ ආයතන තුනටම ඔවුන් ගෙවන්නට බලාපොරොත්තු වූ මිලට වඩා අඩුවෙන් සිකියුරිටිවරුන් සේවයට බඳවාගන්නට ලැබීම නිසා ඔවුන්ටද සිදුවන්නේ ලාභයකි. එය මෙසේය.

අබාන්ස් - රුපියල් 15,000 - 11,500 = රුපියල් 3,500
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 11,500 = රුපියල් 1,000
ඇන්සල් - රුපියල් 12,000 - 11,500 = රුපියල් 500
ආයතන වල ලාභයේ එකතුව = රුපියල් 5,000

අවසාන වශයෙන් ආයතන වලට රුපියල් 5,000ක් හා ශ්‍රමය සපයන්නන්ට රුපියල් 5,500ක් ලෙස සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 10,500කි.

ආයතන හතරකට සිකියුරිටිවරුන් බඳවා ගැනීමට නොලැබෙන්නේ එම ආයතන විසින් ගෙවන්නට කැමැත්තෙන් සිටින වැටුප් රුපියල් 11,500ට වඩා අඩු නිසාය. එසේ ගෙවන්නන්ට කැමතිනම් ඔවුන්ට සිකියුරිටි කෙනෙකු බඳවා ගැනීමේ හැකියාව තිබේ. එහෙත්, ඔවුන් ඊට වඩා වැඩිපුර ගෙවන්නට අකැමැති වන්නේ ඔවුන්ට සිකියුරිටි කෙනෙකු සපයන සේවාවේ වටිනාකම රුපියල් 11,500ට වඩා අඩු බැවිනි. ඒ නිසා, මෙහිදී ඒ ආයතන වලටද අසාධාරණයක් වී නැත.

දැන් අබාන්ස් ආයතනය අලුත් ශාඛාවක් විවෘත කිරීම නිසා ඔවුන්ට තවත් සිකියුරිටි කෙනෙක් අවශ්‍ය වුනායයි සිතමු. එම සමාගම ඔහු වෙනුවෙන්ද රුපියල් 15,000 නොඉක්මවන මුදලක් ගෙවන්නට කැමැත්තෙන් සිටී. මේ අනුව, සිකියුරිටි සේවා සඳහා වන ඉල්ලුම පහත පරිදි ඉහළ යයි.

රුපියල් 15,000ට වැඩි - 0
රුපියල් 12,501-15,000- 2
රුපියල් 12,001-12,500- 3
රුපියල් 11,001-12,000- 4
රුපියල් 10,001-11,000- 5
රුපියල් 9,001-10,000- 6
රුපියල් 8,001-9,000- 7
රුපියල් 8,000ට අඩු - 8

දැන් වෙළඳපොළ සමතුලිත මිල රුපියල් 12,000 දක්වා ඉහළ යයි. කලින් රැකියා විරහිතව (හෝ අඩු වැටුපකට වෙනත් රැකියාවක් කරමින්) සිටි ඈෂ්ලිටද දැන් රැකියාවක් හිමිවේ. එය සමස්ත අතිරික්තය කෙරෙහි බලපාන්නේ පහත අයුරිනි.

අජිත් - රුපියල් 12,000- 8,000 = රුපියල් 4,000
ආනන්ද - රුපියල් 12,000- 10,000 = රුපියල් 2,000
ඇන්ටන් - රුපියල් 12,000- 11,000 = රුපියල් 1,000
ඈෂ්ලි - රුපියල් 12,000 - 12,000 = රුපියල් 0
ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තයේ එකතුව = රුපියල් 7,000

අබාන්ස් 1- රුපියල් 15,000 - 12,000 = රුපියල් 3,000
අබාන්ස් 2- රුපියල් 15,000 - 12,000 = රුපියල් 3,000
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 12,000 = රුපියල් 500
ඇන්සල් - රුපියල් 12,000 - 12,000 = රුපියල් 0
ආයතන වල ලාභයේ එකතුව = රුපියල් 6,500

මෙහි පෙනෙන පරිදි, එක් ආයතනයක් තවදුරටත් ව්‍යාප්ත වීම නිසා සමස්තයක් ලෙස ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තය මෙන්ම ආයතන වල ලාභද වැඩිවී තිබේ. දැන් ආයතන වලට රුපියල් 6,500ක් හා ශ්‍රමය සපයන්නන්ට රුපියල් 7,000ක් ලෙස සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 13,500කි.

දැන් අලුතින් පත්වුනු කම්කරු ඇමතිවරයෙකු පෞද්ගලික ආරක්ෂක සේවා සපයන්නන්ව සමාගම් විසින් "සූරාකන බව"  කියා එය වැළැක්වීමට රුපියල් 13,000ක අවම වැටුපක් නියම කරයි. දැන් සිදුවන්නේ කුමක්ද?

මේ වැටුපට සේවය කරන්නට කැමැත්තෙන් සිටින පස් දෙනෙක් සිටිති. ඒ අය හා ඔවුන් බලාපොරොත්තු වන අවම වැටුප් මෙසේය.

අජිත් - රුපියල් 8,000
ආනන්ද - රුපියල් 10,000
ඇන්ටන් - රුපියල් 11,000
ඈශ්ලි - රුපියල් 12,000
ඉරාජ් -රුපියල් 12,500

රුපියල් 13,000ක අවම වැටුප ගෙවන්නට සූදානම්ව සිටින්නේ අබාන්ස් සමාගම පමණි. එම සමාගම රුපියල් 15,000 දක්වා වන වැටුපකට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බඳවා ගැනීමට සූදානම්ව සිටියත් වෙනත් කිසිදු සමාගමක් දැන් අවම වැටුප වන රුපියල් 13,000ක් ගෙවා ආරක්ෂක නිලධාරියෙකු නඩත්තු කිරීමට සූදානම් නැත. මේ නිසා, ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වේ. පුරප්පාඩු දෙකක් වෙනුවෙන් තරඟකරුවන් පස්දෙනෙකි. රජය අවම වැටුපක් නියම නොකළානම් මෙවැනි තත්ත්වයක් ඇති නොවේ.

කම්කරු ඇමතිවරයාගේ ලියුමක් රැගෙන එන ඉරාජ්ට හා ඈශ්ලිට අබාන්ස් සමාගමේ රැකියා දෙක හිමිවේ. කවුරු ගත්තත් ගෙවන්නට වෙන්නේ අවම වැටුප වන රුපියල් 13,000 නිසා අබාන්ස් සමාගමට ඒ දෙදෙනාව රැකියා සඳහා තෝරාගැනීම ප්‍රශ්නයක් නොවේ.

කෙසේ වුවද,  ඉරාජ් හා ඈශ්ලි වෙනත් රැකියා අවස්ථාද ඇති අයයි. රැකියාවක් වැඩිපුරම අවශ්‍ය කරන අජිත්ට හා ආනන්දට දැන් රැකියා නැත. සමස්ත අතිරික්තය දැන් මෙසේය.

ඉරාජ් - රුපියල් 13,000- 12,500 = රුපියල් 500
ඈෂ්ලි - රුපියල් 13,000 - 12,000 = රුපියල් 1,000
එකතුව = රුපියල් 1,500

අබාන්ස් 1- රුපියල් 15,000 - 13,000 = රුපියල් 2,000
අබාන්ස් 2- රුපියල් 15,000 - 13,000 = රුපියල් 2,000
එකතුව = 4,000

දැන් ආයතන වල ලාබය රුපියල් 6,500 සිට 4,000 දක්වාද. ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තය රුපියල් 7,000 සිට 1,500 දක්වාද අඩුවී තිබේ. සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 13,500 සිට 5,500 දක්වා රුපියල් 8,000කින් අඩුවී තිබේ. ඊට අමතරව රැකියා හිමි වී ඇත්තේ අවශ්‍යම පුද්ගලයින්ටද නොවේ.

දැන් රැකියා විරහිතව සිටින අජිත්, ආනන්ද හා ඇන්ටන් සිටින්නේ අසතුටෙනි. ඔවුන් තිදෙනා රුපියල් 11,000ක වැටුපකට සේවය කරන්නට කැමැත්තෙන් සිටි අතර එසේ කිරීමෙන් ඔවුන්ගෙන් දෙදෙනෙකුටම අතිරික්ත ලාබයක්ද ලැබිය හැකිව තිබුණි.

අජිත් - රුපියල් 11,000- 8,000 = රුපියල් 3,000
ආනන්ද - රුපියල් 11,000- 10,000 = රුපියල් 1,000
ඇන්ටන් - රුපියල් 11,000 - 11,000 = රුපියල් 0

ඔවුන්ව රුපියල් 11,000ක වැටුපකට සේවයට බඳවා ගැනීමට සූදානම්ව සිටි ආයතන තුනක්ද
තිබුණි. එසේ කිරීමෙන් මේ ආයතන තුනෙන් දෙකකටම අතිරික්ත ලාබයක්ද ලැබිය හැකිව තිබුණි.

ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 11,000 = රුපියල් 1,500
ඇන්සල් - රුපියල් 12,000 - 11,000 = රුපියල් 1,000
ඈපාසිංහ ස්ටෝර්ස් - රුපියල් 11,000 -11,000 = රුපියල් 0

එහෙත්, සිතින් මවාගත් හෝ තමන්වත් විශ්වාස නොකරන "සූරාකෑමක්" ගැන කියමින් කම්කරු ඇමතිවරයා විසින් අජිත්ට, ආනන්දට හා ඇන්ටන්ට රැකියා කිරීමට ඇති අවස්ථා නැති කර ඔවුන්ගේ ජීවිත අඳුරට ඇද දමා ඇති අතර රටේ සමාගම් තුනකට අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමේ අවස්ථාවද නැති වී තිබේ.


වාසනාවට ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැති නිසා වෙනත් රැකියාවක් නැති අයෙකුට අඩු ගානේ පෞද්ගලික අංශයේ සිකියුරිටි රැකියාවක් හෝ කරන්නට හැකියාවක් තවමත් තිබේ. 

එහෙත්, ආණ්ඩුවේ රැකියා හා අදාළවනම් තිබෙන්නේ වෙනස් තත්ත්වයකි. පොදු අරමුදල් වලින් නඩත්තු වන ආයතනයක කාකාස තනතුරකට යන්නට වුවත් තල්ලුවක් අවශ්‍ය වීමෙන් පෙනෙන්නේ එවැනි තනතුරු භාර ගන්නට කැමැත්තෙන් සිටින පිරිස පවතින තනතුරු ගණනට වඩා වැඩි බවයි. එයින් අදහස් වන්නේ එවැනි අය කරන සේවයට වඩා ලබාගන්නා වැටුප් බොහෝ වැඩි බවයි.

Wednesday, October 12, 2016

රාජ් රාජරත්නම්

රාජ් රාජරත්නම් ගැන ලංකාවේ මාධ්‍ය වල වරින් වර බොහෝ දේ ලියැවී තිබේ. කොළඹදී ඉපදුනු රාජ් සිය ජීවිතයේ මුල් වසර තෙළෙස ලංකාවේම ගත කළේය. සිය දෙමවුපියන් සමඟ එංගලන්තයට සංක්‍රමණය වන තුරු ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය හැදෑරුවේය. එංගලන්තයේදී පාසැල් අධ්‍යාපනය නිමකළ ඔහු සසෙක්ස් සරසවියෙන් ඉංජිනේරු විද්‍යා මූලික උපාධියක්ද පසුව ඇමරිකාවේ පෙනිසිල්වේනියා සරසවියෙන් කළමනාකරණ පශ්චාත් උපාධියක්ද ලබා ගත්තේය. වර්ෂ 1986දී ඇමරිකානු පුරවැසිභාවය ලබා ගත්තේය.

චේස් බැංකුවේ ණය අංශයේ නිලධාරියෙකු ලෙස සේවය ඇරඹු රාජ් පසුව ආයෝජන බැංකුකරණයේ සහ වත්කම් කළමනාකරණයේ යෙදුණු නීධම් සහ සමාගමේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස සේවයට බැඳී, ක්‍රමයෙන් උසස්වීම් ලබමින් එහි සභාපති වරයා බවට පත්විය. මේ අතර නීධම් සමාගම යටතේ ගොඩ නංවනු ලැබූ අනුසමාගමක් මිලදී ගත් රාජ් එය ගැලියන් සමූහ ව්‍යාපාරය ලෙස නම් කර ඉතා කෙටි කලකින් එම සමාගම දැවැන්ත වත්කම් කළමනාකරණ සමාගමක් බවට පත් කළේය.

ගැලියන් යන නමේ තේරුම විශාල නාවික යාත්‍රාවක් යන්නයි. ගැලියන් සමාගමද එවැන්නක්ම විය. ඒ නිසා මේ සමාගම මෙහෙයවූ කප්පිත්තා වූ රාජ්ගේ වත්කම්ද විශාල ලෙස ඉහළ ගියේය. වර්ෂ 2008 වන විට ඇමරිකාවේ 262 වන ධනවතා වූ රාජ්, 2009 වන විට 236 වන ධනවතා බවට පත් විය. ඒ වන විට ඔහුගේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 1.8ක් විය. මෙය ඒ වන විට ලංකාවේ ඉපදුණු පුද්ගලයෙකු සතු වූ ඉහළම වත්කමයි. ලංකාවේ ආයෝජන සිදුකිරීම සඳහා රාජ් රාජරත්නම්ව පෙළඹවීමට සිදු කෙරුණු උත්සාහයන් ගැන මෙන්ම, එල්ටීටීඊ සංවිධානයට මුදල් ආධාර දීම ගැන චෝදනාද ඒ කාලයේ ලංකාවේ මාධ්‍ය වල කතා කෙරුණේය.

රාජ්ගේ ගැලියන් නැව කෙතරම් විශාල වුවත් රාජ් එය යාත්‍රා කරවූයේ සම්මත නාවික ගමන් මඟක නොවේ. ඒ නිසා මේ යාත්‍රාව ගල්පරයක හැපී විනාශ වුණේ රාජ්ටද බරපතල තුවාල ඇති කරමිනි. 2009 ඔක්තෝබරයේදී අභ්‍යන්තර වෙළඳාම (insider trading) යන වරදට ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය විසින් රාජ්ට එරෙහිව චෝදනා ගොනු කළ අතර දෙවසරක නඩු විභාගයකින් පසුව හරියටම වසර පහකට පෙර 2011 ඔක්තෝබර් 13 දින ඔහුව 11 වසරක සිර දඬුවමකට යටත් කෙරුණේය. ඔහු දැනටත් මේ සිර දඬුවම ගෙවමින් සිටී.

රාජ් රාජරත්නම් නඩුව අඩුම වශයෙන් කරුණු දෙකක් නිසා සුවිශේෂී එකකි. පළමුව, රාජ්ට පැනවුණු දඬුවම මේ වන තුරු අභ්‍යන්තර වෙළඳාම සිදු කිරීම වෙනුවෙන් ලබාදුන් ඉහළම දඬුවමයි. දෙවැන්න රාජ්ට එරෙහිව සාක්ෂි සොයා ගැනීමට එෆ්බීඅයි ආයතනය කටයුතු කළ ආකාරයයි. 

මෑතක් වන තුරුම අභ්‍යන්තර වෙළඳාම යන චචනය ලංකාවේ බොහෝ දෙනෙකුට හුදු පුරුදු වචනයක් නොවීය. මේ වචනය ලංකාවේ බොහෝ දෙනෙකු පළමු වරට අසන්නට ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසුවය. කලක් තරමක් යටපත්ව තිබූ මේ සිද්ධිය අදාළ සමාගමේ වාර්ෂික ලාභ ඇතුළත් ගිණුම් ප්‍රකාශන ප්‍රසිද්ධ වීමත්, ඉන් අනතුරුව මහ බැංකුවේ අධීක්ෂන වාර්තාවක් මාධ්‍ය වෙත ලැබීමත් සමඟ නැවත වටයකින් කතාබහට ලක්වී ඇත. මේ අළුත් ලිපිලේඛණ වල සඳහන් තොරතුරු සාකච්ඡා කරන්නට පෙර අපි රාජ් රාජරත්නම් සිද්ධිය ඇසුරින් අභ්‍යන්තර වෙළඳාම යන සංකල්පය හඳුනාගනිමු. මෙය මේ සඳහා විශේෂයෙන් තෝරාගත්තේ රාජ් රාජරත්නම් උපතින් ශ්‍රී ලාංකිකයෙකු වීම නිසා නොවේ. රාජ් රාජරත්නම් සිද්ධිය සරසවි පාඨමාලාවල අභ්‍යන්තර වෙළඳාම යන සංකල්පය පැහැදිලි කිරීමට යොදාගන්නා පාඨ ග්‍රන්ථ උදාහරණයක්ද වන බැවිනි.

අභ්‍යන්තර වෙළඳාම හෝ වෙනත් 'වරදක්' වරදක් වන්නේ කිසියම් සමාජයකට, සංස්කෘතියකට හා කාලයකට සාපේක්ෂවය. වැරදි නිරපේක්ෂ නැත. ඉකොනොමැට්ටාගේ පෞද්ගලික අත්දැකීම් අනුව අභ්‍යන්තර තොරතුරු ලබාගැනීම හා ඒ මත සිදුකෙරෙන අභ්‍යන්තර වෙළඳාම යනු ලංකාවේ සංස්කෘතියේ මෙන්ම වෙළදපොළ ගනුදෙනු වලද සාමාන්‍ය අංගයකි. මා දන්නා තරමින් අභ්‍යන්තර වෙළඳාම කරන්නෙකුට දඬුවම් පැමිණවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නැත.

එහෙත්, ඇමරිකාවේ තත්ත්වය එසේ නොවේ. වෙළඳපොල තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය කරා යාමට සැදී පැහැදී සිටින ඇමරිකානු සමාජය මේ තරඟකාරිත්වයට බාධා පමුණුවන භාවිතාවන් වැරදි ලෙස හඳුනාගනී. කිසියම් ගනුදෙනුවක් සඳහා උනන්දුවක් දක්වන තරඟකරුවන් අතරෙන් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට එයට සම්බන්ධ වන අනෙක් තරඟකරුවන්ට නොලැබෙන තොරතුරක් ලැබේනම් ඒ තොරතුරෙන් වාසියක් ගැනීමේ අවස්ථාවක්ද ඇති නිසා අනෙක් තරඟකරුවන්ට අවාසියක් සිදුවේ.

ලංකාවේ පොදු ආයතන වල ටෙන්ඩර් බෝඩ් වල සාමාජිකයෙකුව සිටීමේ සිට පෞද්ගලික ආයතන වල ටෙන්ඩර් පිළියෙළ කිරීම් දක්වා පුළුල් පරාසයක මගේ අත්දැකීම් අනුව ටෙන්ඩරයක් සඳහා ඉදිරිපත් වීමට පෙර ලංකාවේ සැපයුම්කරුවෙකු කරන පළමු දෙය හැකිතාක් අභ්‍යන්තර තොරතුරු සොයාගැනීමයි.  මේ සඳහා සැපයුම්කරුවකු සතුව ඇති පෞද්ගලික සම්බන්ධතා සුලභව යොදා ගැනේ. බොහෝ විට ලංකාවේදී  ටෙන්ඩරයක 'ස්පෙසිෆිකේෂන්' හැදෙන්නේම කිසියම් නිශ්චිත සැපයුම්කරුවෙකු ඉලක්ක කරගනිමිනි. මෙවැනි කටයුතු සඳහා සහභාගී වූ කාලයේදී අභ්‍යන්තර වෙළඳාම ගැන මා දැන් දන්නා දේ කිසිවක් දැන නොසිටියෙමි. මෙවැනි දේ ඇමරිකාවේ සාමාන්‍ය දේවල් නොවේ.

රාජ් රාජරත්නම් තමන් ලංකාවේ සමාජයෙන් උගත් දේ ඇමරිකාවට ගෙන ගියා වන්නට පුළුවන. ඔහු සමඟ පෙනිසිල්වේනියා සරසවියේ උගත් 'බැචාලා' වැනි පෞද්ගලික මිතුරෝ බොහෝ ආයතන වල සේවය කළහ. රාජ් එවැනි ආයතන වල කොටස් මිල දී ගත්තේ මේ මිතුරන් හරහා වෙනත් අයට 'එළියට නොයන' එම සමාගම් වල තොරතුරු ලබාගෙන ඒ තොරතුරු සිය ආයෝජන තීරණ වලට පදනම් කරගනිමිනි. මේ තොරතුරු ලබාගැනීම් රාත්‍රී භෝජන සඳහා හෝ කෝපි කෝප්පයක් සඳහා එක් වද්දී වක්‍රව මෙන්ම ඇතැම් විට සෘජුවමද සිදුවිය. මෙසේ තමන් වරදක් කරන බව දැනුවත්ව හෝ නොදැනුවත්ව පිටතට තොරතුරු ලබාදුන් බොහෝ දෙනෙකු දකුණු ආසියානු සම්භවයක් ඇත්තෝ වූහ.

තමන් විසින්ම අභ්‍යන්තර තොරතුරු එකතු කිරීමෙන් නොනැවතුණු රාජ් සිය සමාගමේ පහළ සේවකයින්ද ඔවුන්ගේ පෞද්ගලික සම්බන්ධතා උපයෝගීකරගෙන එසේ තොරතුරු එක්රැස්කිරීම දිරිමත් කළේය. මෑතකදී වේල්ස් ෆාර්ගෝ ආයතනයේ සිදුවූ ඉලක්ක හඹා යාම පිණිස ව්‍යාජ ගිණුම් තැනීම එම ආයතනයේ ආයතනික සංස්කෘතියේ කොටසක් වූවා සේම වෙනත් සමාගම් වල අභ්‍යන්තර තොරතුරු හඹා යාම ගැලියන් සමාගමේ ආයතනික සංස්කෘතියේ කොටසක් විය. එම සමාගමේ ලාභ හා වත්කම් ඉතා කෙටිකලක් තුළ සීඝ්‍රයෙන් ඉහළ යාමේ රහස වූයේ එයයි.

මෙය එෆ්බීඅයි ආයතනයට ඉව වැටුණත් මෙවැනි සියුම් වරදක් කරන්නෙකු 'බෙල්ල මුලින් අල්ලා ගැනීම' පහසු වැඩක් නොවේ. එෆ්බීඅයි ආයතනය මේ කටයුත්ත පටන් ගත්තේ 1998 තරම් ඈතකදීය. එම වසරේදී ඉන්ටෙල් ආයතනයේ සේවය කළ ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක් වූ රූමි ඛාන් විසින් කිසියම් තොරතුරක් අඩංගු ලියවිල්ලක් ගැලියන් සමාගමට ෆැක්ස් කරනු එෆ්බීඅයි ආයතනය විසින් රහසිගතව කැමරාගත කර තිබේ. පසුව රාජ් රාජරත්නම් වෙත දැලක් එළීමට එෆ්බීඅයි ආයතනය විසින් මෙම රූමි ඛාන් නමැත්තියව ඉත්තෙකු ලෙස යොදාගැනුණේය. කෙසේ වුවද, රාජ් රාජරත්නම්ට එරෙහිව නිශ්චිත සාක්ෂි එක්රැස් කර ඔහුට හා තවත් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර වරදකරු කිරීමට වසර දොළහක පමණ කාලයක් ගතවිය. මෙහිදී එෆ්බීඅයි ආයතනය විසින් සිදු කළ දුරකතන ටැප් කිරීම් වැනි දේ පෞද්ගලික නිදහස යන පදනමින් අභියෝගයට පවා ලක්විය.

අභ්‍යන්තර වෙළඳාම කිරීමේ වරදට කිසිවෙකු වරදකරු කිරීම ඉතා අමාරු හා කල් ගතවන කටයුත්තකි. එහෙත්, රාජ් රාජරත්නම් අභ්‍යන්තර වෙළඳාම කිරීමට වරදකරු වූ එකම ඇමරිකානුවා නොවේ. පසුගිය වසර කිහිපය තුළ ඇමරිකානුවන් අනූවකට වැඩි ගණනක් මේ වරදට වරදකරු කරනු ලැබ තිබේ. කැමති කෙනෙකුට පහළ සබැඳිය ක්ලික් කර ඩයල් ටික බලාගන්නට පුළුවන.

http://www.bloomberg.com/graphics/2016-insider-trading/


(Image: http://www.cnbc.com/id/100991730)

Sunday, October 2, 2016

අධ්‍යාපනය සුබසාධනය කළ යුත්තේ ඇයි?

නිදහස් වෙළඳපොළ ක්‍රමය යටතේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ නිදහස් තේරීමක් යනු ඔහුට හෝ ඇයට වඩාත්ම හොඳ තීරණයයි. එය එසේ වන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට වඩාත්ම හොඳ තේරීම එම පුද්ගලයාට වඩා හොඳින් වෙනත් පුද්ගලයෙකු නොදන්නා බැවිනි. ඒ නිසා කිසියම් වෙළඳපොළක නිදහස් සමතුලිතතාවයට බාධා නොකළ තරමට සමස්තයක් ලෙස සියළු පාර්ශ්වයන්ගේ යහපත උපරිමයක් වන සමතුලිතතාවයක් ඇති වේ. මිල පාලනය, නියාමනය, බදු හෝ සුබසාධනය මඟින් බොහෝ විට සිදුවන්නේ ඉහත ප්‍රසස්ථ තත්ත්වයෙන් මේ සමතුලිතතාවය අපගමනය වීමයි.

කෙසේ වුවද, පාරිභෝගිකයෙකුට තේරීමක් ඇති ඇතැම් වෙළඳපොළවල් වල මේ සාමාන්‍ය තත්ත්වයට වඩා සුවිශේෂී තත්ත්වයක් තිබෙන්නට පුළුවන. අධ්‍යාපනය හා සෞඛ්‍යය යනු එවැනි වෙළඳපොළවල් දෙකකි.

අප වෙළඳපොළෙන් කෙසෙල්ගෙඩියක් හෝ පොල් ගෙඩියක් ගන්නා විට අප ගෙවන මිලට අපට ලැබෙන දෙය ගැන අපට හොඳ අවබෝධයක් තිබේ. ඇඳුමක් තෝරන විට යමෙකු කැමති පාට හෝ මෝස්තරය වඩා හොඳින් දන්නේ එය විකුණන වෙළෙන්දා නොව මිල දී ගන්නා පාරිභෝගිකයාය. මේ වෙළඳපොළවල් වල තොරතුරු අසමමිතිය විශාල ප්‍රශ්නයක් නොවේ.

අප මූලික අධ්‍යාපනය හෝ සෞඛ්‍යය හා අදාළ මිල දී ගැනීම් කරන විට මේ තත්ත්වය බොහෝ විට වෙනස් වේ. මෙහිදී යමෙකුට වඩාත්ම හොඳ තේරීම පාරිභෝගිකයාට වඩා හොඳින් සැපයුම්කරු දැන සිටීමේ ඉඩකඩ ඉතා විශාලය. වඩා හොඳ "දැනුම" ගැන ගුරුවරයා තරමට ශිෂ්‍යයෙකු නොදනී. එමෙන්ම, වඩා හොඳ "ප්‍රතිකාරය" ගැන තබා "ප්‍රතිකාර ගත යුතු රෝගය" ගැන වුවද බොහෝ විට රෝගියාට වඩා හොඳින් වෛද්‍යවරයා දනී. මේ තොරතුරු අසමමිතියෙන් ප්‍රයෝජන ගෙන සිය පාරිභෝගිකයා "රවටා" මූල්‍ය හෝ මූල්‍යමය නොවන වාසියක් ලබා ගැනීමේ හැකියාව ගුරුවරයෙකු හෝ වෛද්‍යවරයෙකු සතුව තිබේ. ගුරුවරුන්ගේ හා වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම ගැන කෙරෙන කතිකාවන් අනෙක් ක්ෂේත්‍ර වලට වඩා වැඩි වන්නේ ඒ නිසාය. කෙසේ වුවද, සැපයුම්කරුවන් අතර තරඟය වැඩි වූ තරමට මේ හැකියාව අඩු වේ. මේ කරුණ යම් තරමකට බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයටද අදාළය. බොහෝ රටවල අධ්‍යාපනය, සෞඛ්‍යය හා මූල්‍ය සේවා සැපයීම නියාමනයකට ලක් කෙරෙනේ ඒ නිසාය.

අධ්‍යාපනය හා විශේෂයෙන්ම හා යම් තරමකට සෞඛ්‍යය හා අදාළ තවත් ගැටළුවක් තිබේ. අධ්‍යාපනය තනිකරම  පෞද්ගලික ආයෝජනයක් වූ විට යමෙකු ඒ සඳහා ආයෝජනය කරන්නේ තමන්ගේ අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ වැය කෙරෙන පිරිවැයට සමාන වන මට්ටම දක්වා පමණි. එහෙත්, මේ මට්ටම සමාජයක් ලෙස ගත් විට ප්‍රසස්ථ ආයෝජන මට්ටම නොවේ. එක් පුද්ගලයෙකුගේ අධ්‍යාපන මට්ටම ඉහළ ගිය විට එහි ප්‍රතිඵල ඔහුට හෝ ඇයට සම්බන්ධයක් නැති අය ඇතුළු තවත් බොහෝ පිරිසකට ලැබේ. උදාහරණයක් ලෙස වෙනත් අයට ලැබෙන මේ වාසි අතර කණ්ඩායම් ලෙස කරන කටයුතු වල කාර්යක්ෂමතාවය වැඩි වීම, අපරාධ අඩු වීම නිසා සමාජය වඩා සුරක්ෂිත වීම වැනි දේ දැක්විය හැකිය. සෞඛ්‍යය හා අදාළවනම් ලෙඩ රෝග පැතිරීම අඩුවීම නිසා ඇතැම් බෝවන රෝග වැළඳීමේ ඉඩකඩ අඩුවීම මෙසේ වෙනත් අයට ලැබෙන වාසියකි.

මෙසේ වෙනත් අයට 'නොමිලේ' ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ ඒ අය මිලක් ගෙවන්නේ නැත. ඒ නිසා, අධ්‍යාපනය සඳහා නිදහස් වෙළඳපොළක සිදුකෙරෙන ආයෝජන පුද්ගලයෙකු සඳහා ප්‍රසස්ථ මට්ටම වුවත් සමස්ථ සමාජයම සැලකූ විට ප්‍රසස්ථ මට්ටම නොවේ. අධ්‍යාපනය කිසියම් මට්ටමකට සුබසාධනය කිරීම මේ ප්‍රශ්නයට විසඳුමකි.

කෙසේවුවද, නිසි හැදෑරීමකින් අනතුරුව ඉහත මූලධර්මය අනුව ප්‍රසස්ථ මට්ටමට අධ්‍යාපනය සුබසාධනය කළ විට එම ආයෝජනය නැවත අය කර ගැනීම ගැටළුවක් වන්නේ නැත. ක්‍රමය තුළ ස්වයංක්‍රීයවම අදාළ ප්‍රතිලාභ සමාජයට ලැබේ. ඒ නිසා, ඔබ නොමිලේ ලබාගත් දෙය වෙනුවෙන් යමක් කළ යුතුයැයි කිසිවකුට මතක් කරන්නට අවශ්‍ය නොවේ. සුබසාධනයේ වාසිය ලබා ගන්නා අයෙකු පසුකාලීනව කෙතෙක් ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කළද සමාජයට මේ වාසි නොලැබී නොයයි.

යම් හෙයකින් එය එසේ සිදු නොවේනම්, එයින් පෙනෙන්නේ සුබසාධන ආකෘතියේ කිසියම් වරදක් ඇති බවයි. එමෙන්ම, සුබසාධන බරපැන වැටෙන්නේ සමස්ථ සමාජයේ උරමත බැවින් එය සමාජයට වාසිදායකනම් සමාජය විසින් එම පිරිවැය නොදැරෙන්නට හේතුවක් නැත. ඒ නිසා, අධ්‍යාපනය සුබසාධනය කළ යුත්තේ ඇයි යන කරුණ සමාජයට කරුණු සහිතව (සංඛ්‍යාත්මක විශ්ලේෂණයන් සමඟ) පෙන්වාදීම සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින අයට කළ හැකි වඩා ප්‍රතිඵලදායක කටයුත්තකි.


(Image: www.sundaytimes.lk)

Monday, September 19, 2016

ලංකාවට වෛද්‍යවරු ප්‍රමාණවත්ද?

ඉල්ලුම් සැපයුම් බලවේග නිදහසේ තුලනය වන වෙළඳපොළක් නොවන ලංකාවේ වෛද්‍යවරුන් සඳහා වන වෙළඳපොළ කිහිප අයුරකින්ම නියාමනයට ලක්වන්නකි. පළමුව වෛද්‍ය අධ්‍යාපනයේ මිල සුබසාධනය කිරීම හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම වැඩි කර තිබේ. දෙවනුව, එහිම ප්‍රමාණය සීමා කිරීම මඟින් ඉල්ලුම හා සැපයුම අතර විශාල පරතරයක් ඇති කර තිබේ. තෙවනුව, වෛද්‍යවරුන්ට රැකියා සැපයීම කෙරෙහි ඇති රාජ්‍ය ඒකාධිකාරය උපයෝගී කර ගනිමින් රටේ වෛද්‍ය වෘත්තිකයින් ප්‍රමාණය හා ඔවුන්ට ගෙවන මිල පාලනය කර තිබේ. මේ අතර, දැනට රාජ්‍ය සේවයේ රැකියා කරන වෛද්‍ය වෘත්තිකයෝ කාටලයක් ලෙස ක්‍රියා කරමින් මෙසේ රජය විසින් පවත්වාගෙන යනු ලබන මිල හා ප්‍රමාණ රෙගුලාසිකරණයට බලපෑම් කරති. කෙසේ වුවද, ඔවුහු මේ වෙළඳපොළේ ඇති රාජ්‍ය ඒකාධිකාරය බිඳීමට උත්සාහ නොකරති. මෙවැනි අච්චාරුවක් වී ඇති වෙළඳපොලක පවතින සමතුලිතතාවය විශ්ලේෂණය කිරීම තරමක් සංකීර්ණ වැඩකි.

ලංකාවට වෛද්‍යවරු ප්‍රමාණවත්ද යන ප්‍රශ්නයට ඇත්තේ සාපේක්ෂ පිළිතුරකි. උදාහරණයක් ලෙස, ලෙඩ වීම දෙවියන්ගේ කැමැත්ත නිසා හෝ කර්මය නිසා වන බවත්, ප්‍රතිකාර ගැනීම යනු ඒ බලවේග වලට විරුද්ධ වීමක් බවත් සමාජයේ හැම දෙනාම සිතනවානම් රටකට වෛද්‍යවරු අවශ්‍යම නැත. එහෙත්, ලෝකයේ වැඩි දෙනෙකු එසේ නොසිතති. ඒ නිසා ලෝකයේ හැම රටකම වෛද්‍යවරුන් සඳහා කිසියම් ඉල්ලුමක් ඇත. ලංකාවේ ප්‍රමාණවත් තරමට වෛද්‍යවරු සිටිනවාද යන්න විමසීමේදී කිසියම් අයෙකුට ආනුභාවික දත්ත ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍යනම් කළ යුතු හොඳම දෙය වෙනත් රටවල හා කලාප වල පවතින තත්ත්වය සමඟ සැසඳීමයි.

පහතින් ඇත්තේ එවැනි අවශ්‍යතාවයක් ඇති අයෙකුට මූලාශ්‍ර කර ගත හැකි සංසන්දනාත්මක ලෝක බැංකු දත්ත අනුව එක් එක් තෝරාගත් රටේ හෝ කලාපයේ ජනගහණයෙන් දස ලක්ෂයකට සිටින වෛද්‍යවරු ගණනයි. වරහන් තුල ඇත්තේ වඩාත්ම යාවත්කාලීන දත්තය හා අදාළ වසරයි. තෝරාගත් රටවල් අතර නිදහස් සෞඛ්‍ය පහසුකම සියල්ලන්ටම ඇති හා නැති සංවර්ධිත රටවල්, පැරණි හා වත්මන් සමාජවාදී රටවල්, මුස්ලිම් රටවල්, කලාපීය රටවල් හා අඩු ආදායම් රටවල් ඇතුළත්ය.

ශ්‍රී ලංකාව -  680 (2010)
ඉන්දියාව - 743 (2011)
පකිස්තානය - 827 (2010)
මාල දිවයින - 1,415 (2010)
දකුණු ආසියාව - 675 (2011)
පහළ මැදි ආදායම් රටවල් - 754 (2011)
ලෝකය - 1,539 (2011)

චීනය - 1,940 (2012)
කියුබාව - 6,723 (2010)
රුසියාව - 4,309 (2010)
යුක්‍රේනය - 3,543 (2013)

ඇමරිකා එක්සත් ජනපදය - 2,452 (2011)
කැනඩාව - 2,068 (2010)
එක්සත් රාජධානිය - 2,809 (2013)
ජපානය - 2,297 (2010)
ඕස්ට්‍රේලියාව - 3,273 (2011)
ස්වීඩනය - 3,926 (2011)
සිංගප්පූරුව - 1,950 (2013)

සවුදි අරාබිය - 2,491 (2012)
කටාර් - 7,739 (2010)

උගන්ඩාව - 117 (2011)
සිම්බාබ්වේ -  83 (2011)

කිසියම් කර්මාන්තයක සුපිරි ලාභ ලැබීමේ ඉඩකඩක් පවතීනම් එයින් අදහස් වන්නේ එම කර්මාන්තයේ සැපයුම් හිඟයක් පවතින බවයි. යම් කර්මාන්තයක් කෙරෙහි අළුත් ව්‍යවසායකයන් විශාල ලෙස ආකර්ෂණය වන්නේනම් එයින් පෙන්නුම් කරන්නේ එම කර්මාන්තයේ සුපිරි ලාභ ඇති බවයි. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට ඇති විශාල තරඟය අමතක කළත්, මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගෙන මෙම කර්මාන්තයට පිවිසීමට ඇති විශාල ඉල්ලුමෙන් පෙනෙන්නේ මෙම කර්මාන්තයෙහි ආයෝජනයට හා අවදානමට සරිලන නිසි ලාභ ඉක්මවන සුපිරි ලාභ ඇති බවයි.


(Image: okpolicy.org)

Sunday, April 24, 2016

අපනයන ආදායම් රට තුළට ගෙන එන්නට දින අනූවක කාලසීමාවක්



මහ බැංකු පුවත් නිවේදනයක් අනුව, මුදල් ඇමතිවරයා විසින් අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සම්බන්ධව 1993 මාර්තු සිට පැවති නිදහස් කිරීමක් අවලංගු කර තිබේ. මේ අනුව, 2016 අප්‍රේල් මස පළමුවැනි දින හෝ ඉන් පසුව අපනයනය කරන කිසියම් භාණ්ඩයක් සඳහා ලැබෙන විදේශ මුදල් දින 90ක් ඇතුළත අනිවාර්යයෙන්ම රට තුළට රැගෙන ආ යුතුය. එමෙන්ම, මේ වන විට රටින් පිටත රඳවාගෙන සිටින එවැනි අපනයන ආදායම් ඇත්නම් ඒ මුදල් මැයි මස පළමුවෙනි දිනට පෙර රට තුළට රැගෙන ආ යුතුය.

මේ තීරණය විදේශ අංශය තුළ රජය මුහුණ දෙන අර්බුදයේ පැතිකඩකි. මේ වන විට අපනයනකරුවන් සිය ආදායම් රට තුළට රැගෙන ඒම ප්‍රමාද කරමින් සිටින බව හෝ අඩු වශයෙන් රජය එසේ සිතන බව පෙනේ. රුපියල ඉදිරියේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමට නියමිත බව පෙනේනම් විදෙස් විණිමය අත ඇති අයෙකු ඒ මුදල් රුපියල් වලට හරවන්නේ නැත. එසේ නොකර ඩොලර් හෝ වෙනත් ශක්තිමත් විදෙස් මුදලක් ලෙසම තබා ගත්විට ඉදිරියේදී වැඩි රුපියල් ගණනක් ලබා ගැනීමට ඉඩ සැලසෙන බැවිනි.

කෙසේවුවද, අළුත් ගැසට් නිවේදනය අනුව අපනයන ආදායම් රට තුළට රැගෙන විත් විදෙස් ව්‍යවහාර මුදල් වශයෙන්ම දේශීය බැංකු ගිණුමක තබා ගැනීමේ හැකියාව තිබේ. එවිට විදෙස් මුදල් අත ඇති අයෙකුට පෙර කී වාසිය අහිමි නොවන අතර මහ බැංකුවට දේශීය බැංකු හරහා ඒ විදෙස් මුදල් මිලදී ගෙන විදෙස් විණිමය හිඟයෙන් කොටසක් ආවරණය කර ගත හැකිය. ප්‍රශ්නය ඇත්තේ ඒ සඳහා අපනයනකරුවන් වෙත මෙවැනි බලපෑමක් කිරීමට රජයට සිදුව ඇත්තේ ඇයිද යන්නයි.


මේ අවස්ථාවේදී යමෙකු ඩොලර් රුපියල් බවට නොහැරවීම තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ. එහෙත්, දේශීය බැංකුවක ඩොලර් වශයෙන් නොරඳවා රටින් පිටත මෙවැනි අරමුදල් තබා ගැනීමට පෙළඹීම එයින් පැහැදිලි නොවේ. දේශීය බැංකු ඩොලර් තැන්පතු සඳහා ලබාදෙන පොලිය සාමාන්‍යයෙන් විදෙස් බැංකුවකින් ලැබෙන පොලියට වඩා වැඩිය.

කිසියම් ක්‍රමයකින් ඩොලර් උපයන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට ඩොලර් වියදම් කිරීමටද සාමාන්‍යයෙන් අවශ්‍ය
ය. ඒ අතින්, මේ බොහෝ දෙනෙකු විදෙස් විණිමය උපයන අනෙක් ප්‍රධාන කණ්ඩායම වන (බහුතරය අඩු ආදායම්ලාභී පවුල් වල සාමාජිකයින් වන) මැදපෙරදිග ඇතුළු රටවල වෙසෙන ශ්‍රමිකයන්ගෙන් වෙනස්ය.

ලංකාවේ විශාල ව්‍යාපාර ජාල බොහොමයක්ම සතුව අපනයන ව්‍යාපාර මෙන්ම ආනයන ව්‍යාපාරද තිබේ. ඔවුන්ට ඔවුන්ගේ අපනයන ආදායම් ආනයන වියදම් වෙනුවෙන් හිලවු කරගැනීම වාසිදායකය. බොහෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික අවශ්‍යතාවන්ට අමතරව පෞද්ගලික අවශ්‍යතා සඳහා විදෙස් විණිමය අවශ්‍යය. උදාහරණ ලෙස මේ බොහෝ දෙනෙකුගේ දරුවන් විදෙස් රටවල අධ්‍යාපනය ලබන අතර, විදෙස් රටකට යම් කලෙක සංක්‍රමනය වීම තවත් ඇතැම් අයගේ අරමුණකි. රටින් පිටත ගිණුමක් පවත්වා ගැනීම රට තුළට ඩොලර් ගෙන එනවාට වඩා මේ කටයුතු වලට පහසුය.

දේශීය බැංකු වල ව්‍යවහාර මුදල් ගිණුමකින් මුදල් ලබා ගැනීම විදෙස් රටක ඇති ගිණුමකින් මුදල් ගන්නා තරමටම පහසුනම් රට තුළට මුදල් ගෙන ඒමේ විශේෂ අවාසියක් නැත. එහෙත්, එසේ නොකිරීමෙන් පෙනෙන්නේ එක්කෝ එවැනි පහසුවක් නැති බවය. එසේ නැත්නම් මේ ගිණුම් වලින් මුදල් ආපසුගැනීම අපහසුබව මේ පිරිස විශ්වාස කරන බවය.


ඇතැම් විට ඇතැම් කණ්ඩායම් විසින් දේශපාලනික හේතු මත රටේ ආර්ථිකය අස්ථාවර කිරීම සඳහා රුපියලට පීඩනයක් එල්ල කිරීමට මෙවැන්නක් කරනවා හා/හෝ එසේ කරන බව රජය සිතනවා වීමටත් ඉඩක් තිබේ. එවැනි තත්ත්වයක් ඇත්නම් එයින් පෙනෙන්නේ අපනයනකරුවන් පවතින රජය සමඟ අප්‍රසාදයෙන් සිටින බවයි. රජයේ විදේශ විණිමය ප්‍රතිපත්තිය සමස්තයක් ලෙස අපනයනකරුවන්ට වාසිදායක නිසා එසේ ක්‍රියාකරන්නට ඔවුන්ට දේශපාලනික හේතු තිබිය හැකි වුවත් ආර්ථික හේතුනම් තිබිය නොහැකිය.

මේ සියල්ලටම වඩා තත්ත්වය භයානක වන්නේ අපනයන ආදායම් රටින් පිටත රඳවාගැනීම බොහෝ අපනයනකරුවන් විසින් විශාල ආර්ථික අර්බුදයක් ළඟ එන බව විශ්වාස කිරීමේ පිළිබිඹුවක් වන්නේනම්ය. විශාල ආර්ථික අර්බුදයක් හේතුවෙන් රටේ බැංකු පද්ධතිය අර්බුදයට ලක් වුවහොත් සිය තැන්පතු විදෙස් ව්‍යවහාර මුදලකින් තැන්පත් කර තිබුණේ වුවද ඒ මුදල් ආපසු ලැබීම පිලිබඳ සහතිකයක් නැත. යමෙක් එසේ සිතන්නේනම් බොහෝ විට පෙළඹෙන්නේ සිය අරමුදල් රටින් පිටත රඳවා තබා ගැනීමටය. අළුත් ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයේ, වෙළඳපොළ මූලධර්ම මත පදනම් නොවූ නියාමනයන් මඟින් කෙරෙන්නේ රටේ විදෙස් අංශයේ අර්බුදයක් ළඟ එන බවට පණිවුඩයක් දීමයි. ඒ නිසා මෙයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී එහි අනිත් පැත්ත සිදුවීමටද පුළුවන.

නියාමන ආයතන වල ඇසට වැලි ගසා සිය අපනයන ආදායම් රටින් පිටත තබා ගැනීමේ කලාව ලංකාවේ මහා පරිමාණ මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝද හොඳින් දනිති. බොහෝ විට ඔවුන් මෙසේ කරන්නේ නියාමනයෙන් ගැලවීමටත් වඩා බදු පැහැරහැරීමේ අරමුණෙනි. රේගු නිලධාරීන් වෙත ඉදිරිපත් කෙරෙන ඉන්වොයිස් වල හැමවිටම ඇත්තේ සැබෑ මිලගණන් නොවේ.

අපනයනකරුවෙකුට ඉහත නියාමන ක්‍රියාමාර්ගයේ බලපෑමෙන් ගැලවී විදෙස් විණිමය රටින් පිටත රඳවා ගැනීම අපහසු කාර්යයක් නොවේ. කළයුත්තේ රටේ සාර්ව-ආර්ථික තත්ත්වය පිළිබඳව විශ්වාසය ගොඩනංවා සිය කැමැත්තෙන්ම අපනයන
ආදායම් රට තුළට ගෙන එන්නට පෙළඹවීමක් ඇති කිරීමයි.

(Image: www.therepublicsquare.com)