Showing posts with label ආයෝජනය. Show all posts
Showing posts with label ආයෝජනය. Show all posts

Monday, June 12, 2017

කොටස් වෙළඳපොළ ලාභ


පහතින් ඇත්තේ දෙසතියකට පෙර පාඨකයෙකු ඇසූ ප්‍රශ්නයකි.

"සම්පත් බැංකුවේ නවීන Annual report - http://www.sampath.lk/images/annual_reports/ar2016.pdf

මේකට අනුව ධම්මික පෙරේරා ට,
----------------------------
Dividend per Share -Rs.18.75
Net asset value per share -Rs. 251.38
Market value per share at the yearend -Rs. 260.40
No of Shares(For Mr. Dhamika) - 26463803
Dividend per Share Monthly income -41349692 (26463803 * 18.75)/12
Total Share income - 6891174301.20 (26463803 * 260.40)
If He open fix deposits(Annual 10%) Monthly income - 5742645251 ((26463803 * 260.40)*10)/12
Difference -5701295559 (5742645251 - 41349692 )

මොකක්ද Mr ධම්මික පෙරේරා ට Stock Market වැදගත් ?"

 

සම්පත් බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව අනුව මෙහි ඇති සංඛ්‍යාලේඛණ නිවැරදිය. එහි හයවන පිටුවේ මේ සංඛ්‍යාලේඛණ පළ කර තිබේ.

ඔහුගේ ප්‍රශ්නය මට වෙනත් අයුරකින් (වඩා සරලව) මෙසේ සටහන් කළ හැකිය. ධම්මික පෙරේරා තමන් සතු අරමුදල් ස්ථිර තැන්පතුවක දැම්මොත් ඔහුට 10%ක පොලියක් ලැබේ. එහෙත්, කොටස් වෙළදපොල ආයෝජනය කිරීමෙන් ඔහුට ලැබී ඇත්තේ ඊට වඩා අඩු ප්‍රතිලාභ අනුපාතිකයකි. එසේනම්, ධම්මික පෙරේරා විසින් පාඩු ලබමින් කොටස් වෙළදපොළ ආයෝජනය කර ඇත්තේ ඇයි?

ඉහත කමෙන්ටුවේ කොටස් වෙළදපොල ප්‍රතිලාභ ගණනය කර ඇති ආකාරයේ වරදක් තිබේ. එහිදී, ප්‍රතිලාභ ලෙස සලකා ඇත්තේ ධම්මික පෙරේරාට සිය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ලාභාංශ ආදායම පමණි. එය එක් කොටසකට රුපියල් 18.75කි.

කොටස් වෙළඳපොල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය ගණනය කිරීමේදී ලාභාංශ අනුපාතිකය මෙන්ම කොටසක මිල වෙනස්වීම නිසා හිමිවන ප්‍රාග්ධන ලාභය හෝ අලාභයද සලකා බැලිය යුතුය. වාර්ෂික වාර්තාවේ ඇති දත්ත අනුව 2016 වසර තුළ සම්පත් බැංකුවේ කොටසක මිල රුපියල් 248.00 සිට 260.40 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව 2016 වසර මුල සම්පත් බැංකුවේ කොටස් මිලදීගත් අයෙකු එක් කොටසක් සඳහා වැය කර ඇත්තේ රුපියල් 248.00ක මුදලකි. ඒ වෙනුවෙන් ඔහුට හෝ ඇයට රුපියල් 18.75ක් ලාභාංශ ලෙස හිමිවේ. මෙය 7.56%ක ප්‍රතිලාභ අනුපාතිකයකි.

මේ ලාභාංශ ලබා ගැනීමෙන් අනතුරුව ආයෝජකයාට දැන් සිය කොටස් එහි වත්මන් වෙළඳපොළ වටිනාකම වන රුපියල් 260.40කට විකුණා තවත් රුපියල් 12.40ක (260.40-248.00) ලාභයක් ලැබිය හැකිය. මෙය අනුපාතයක් ලෙස 5.00%කි. මේ අනුව, ආයෝජනය වෙනුවෙන් ලැබෙන මුළු ප්‍රතිලාභය 12.56%කි. වෙනත් ලෙසකින් කිවහොත් එක් කොටසකට රුපියල් 31.15කි (=18.75 + 260.40 - 248.00).

2015 වසර අවසානයේදී වසරක කාලයක් සඳහා භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ලබා ගත හැකි වූ පොලිය 7.30% ක් වූ අතර වාණිජ බැංකු වල එක් අවුරුදු ස්ථිර තැන්පත් පොලී අනුපාතික පැවතුනේද ආසන්න වශයෙන් ඒ මට්ටමේය. මේ අනුව, වසර මුලදී රුපියල් 248.00ක් (සැබවින්ම එහි ගුණාකාරයක්) භාණ්ඩාගාර බිල්පත් වල (හෝ ස්ථිර තැන්පතුවක) ආයෝජනය කළේනම් හිමි වන ප්‍රතිලාභය රුපියල් 18.10ක් පමණි. ඒ අනුව, කොටස් වෙළඳපොළ ප්‍රතිලාභය ඊට වඩා 72%කින් වැඩිය.

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය නොකර කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීමෙන් ධම්මික පෙරේරා සිය අරමුදල් වෙනුවෙන් 72%කින් වැඩි ආදායමක් උපයා ඇති අතර ඔහු ගත් අවදානම වෙනුවෙන් ලැබී ඇති ප්‍රතිලාභය නරක නැත. එමෙන්ම, අවදානම සැලකූ විට ඒ ප්‍රතිලාභය අසාමාන්‍යද නැත.

සමාගමක් විසින් ගෙවන ලාභාංශ ප්‍රමාණය නිශ්චිත නැත. සමාගම පාඩු ලැබුවොත් ලාභාංශ කිසිවක් නැත. ඇතැම් විට සමාගම ලාභ ලැබුවද ලාභාංශ නොගෙවා ලාභය නැවත ආයෝජනය කිරීමට අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය තීරණය කරන්නට පුළුවන. ෆේස්බුක් සමාගම දිගින් දිගටම ලාභ ලැබුවත් මෙතෙක් කල් සිය ආයෝජකයින්ට කිසිදු ලාභාංශයක් ගෙවා නැත. එහෙත්, ෆේස්බුක් සමාගමේ කොටස් මිල දිගින් දිගටම විශාල ලෙස වැඩි වී ඇති බැවින් ආයෝජකයින්ට එයින් පාඩුවක් වී නැත.

කෙසේ වුවද, සමාගමක කොටස් මිල ඉහළ නොගොස් පහත වැටෙන්නටද ඉඩ ඇති අතර එසේ වුවහොත් ලාභ අඩුවීම පමණක් නොව මුල් ආයෝජනයෙන් කොටසක්ද අහිමි වීමේ අවදානමක් තිබේ. කොටස් වෙළදපොල ඉහළ ප්‍රතිලාභ ලැබෙන්නේ මේ අවදානමට හිලවුවක් වශයෙනි.

Sunday, February 19, 2017

පර්පෙචුවල් ලාභ (හයවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)

 

දැන් අපි දන්නා පරිදි රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්නෙකුට ලාභ ලැබිය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න, ආයෝජනය කල් පිරෙන තෙක් සිට පොලී ආදායම ලබා ගැනීමයි. දෙවැන්න, කල් පිරෙන්නට පෙර 'සුදුසු අවස්ථාවේදී' මේ රාජ්‍ය සුරැකුම්පත් වෙනත් අයෙකුට විකුණා ප්‍රාග්ධන ලාභයක් ලැබීමයි.

පළමු ක්‍රමයේ ප්‍රතිලාභ සාපේක්ෂව අඩු අතර අවදානමද සාපේක්ෂව අඩුය. දිගුකාලීනව ආයෝජනය කිරීම කෙටිකාලීන ආයෝජන වලට සාපේක්ෂව අවදානම් සහගත වුවත් මෙසේ ආයෝජනය කරන්නේ තමන්ගේම මුදල් හෝ කෙටි කලකින් ආපසු ගෙවිය යුතු නැති වෙනත් අයෙකුගේ මුදල්නම් වැඩි ප්‍රතිලාභයක් වෙනුවෙන් මේ වැඩි අවදානම ගන්නට බැරිකමක් නැත. එමෙන්ම, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් හා අදාළව මේ 'දිගු කාලය' වන්නේ වසර තිහකි. අවදානම එම කාලය අතරතුර රජය බංකොලොත් වී ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානමයි.

රජය බංකොලොත් වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත වුවත් වසර තිහක් වැනි දිගුකාලයක් ඇතුළත ලංකාව වැනි ණය උගුලක පැටලී සිටින රටක් බංකොලොත් වීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක්කකි. කෙසේ වුවද, මෙවැනි දිගු ආයෝජනයක් කිරීමෙන් වුවද ලබාගත හැකි වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය 13-14% මට්ටම නොඉක්මවයි. පොලී ආදායම් වලින් පමණක් කිසිවකුගේ ආයෝජන වෙනුවෙන් 500%ක් වැනි විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් නැත.

ඉතා වැඩි අවදානම් සහගත ක්‍රමයක් වන දෙවැනි ක්‍රමයෙන් මුල් ආයෝජනය මෙන් 5-6 ගුණයක නොව ඊටත් වඩා වැඩි ප්‍රතිලාභයක් වුවද ලබා ගැනීමට කිසියම් ඉඩක් පවතී. මෙහිදී මා දෙවැනි ක්‍රමය ලෙස හඳුන්වන්නේ සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජන කරන, දිගු කාලයකට අරමුදල් හිරකළ හැකි, අයෙක් අවස්ථාව හඳුනාගෙන ආයෝජනයක් කලින් මුදල් කිරීම නොවේ. ආයෝජන ක්‍රමෝපායයක් ලෙසින්ම තමන් සතුව නැති හෝ තමන්ට දිගුකාලයකට හිරකළ නොහැකි අරමුදල් කෙටිකලකින් ද්වීතියික වෙළඳපොළේ විකුණා අධික ලාභයක් ලැබීමේ අරමුණින්ම දිගුකාලීනව ආයෝජනය කිරීමයි. මෙවැනි අයෙකු බොහෝ විට දිගුකාලීන සුරැකුම්පතක ආයෝජනය කරන්නේ කෙටිකාලීන ණයක් ලෙස ලබාගත් අරමුදල් වන්නට පුළුවන.

මේ දෙවන ක්‍රමයේදී ආයෝජකයා නිරත වන්නේ සූදුවකයැයි කීම නිවැරදිය. පළමු ක්‍රමයේදී, ලැබෙන ආදායම බොහෝ දුරට යටකරන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභයයි. එහි ඇති අවදානම් අධිභාරය විශාල නැත. දෙවන ක්‍රමයේ ලැබෙන ආදායම බොහෝ දුරට අවදානම් අධිභාරයකි. එහිදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභය ලෙස ලැබෙන කොටස සාපේක්ෂව අඩු මුදලකි. මෙසේ ණයට ගත් හෝ 'නැති මුදල්' ආයෝජනය කිරීම සූදුවක් වන්නේ එබැවිනි.

කෙසේවුවද, රජය බංකොලොත් වීමේ ඉඩකඩ අමතක කළහොත් මේ සූදුව 'හොඳ' සූදුවකි.

සාමාන්‍යයෙන් සූදුවක ස්වභාවය වන්නේ එහි දිගින් දිගටම නියැලෙන අයෙකු අනිවාර්යයයෙන්ම පරාජිතයෙකු වීමයි. ඒ, සාමාන්‍ය සූදුවකින් අපේක්ෂා කළ හැකි දිගුකාලීන ප්‍රතිලාභ දිගුකාලීනව සූදුව වෙනුවෙන් වැය කරන මුදලට වඩා නොවැඩි බැවිනි. එහෙත්, මේ සූදුවේදී -රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී හැර- සූදුවෙහි දිගින් දිගටම නිරත වීමෙන් ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව තිබේ.

ඉහත කරුණ මෙසේ පැහැදිලි කළ හැකිය. රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී හැර, රටක පොලී අනුපාතික වසර හත අටකට වරක් පුනරාවර්තනය වන චක්‍රයක ඉහළ පහළ ගියත් දිගුකාලීනව කිසියම් ස්ථාවර මට්ටමක පවතී. ඒ නිසා දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ යාමට හා පහළ යාමට ඇති ඉඩකඩ ආසන්නව සමානය.

අප පෙර ලිපියේ (පස්වන කොටසේ) උදාහරණයකින් පැහැදිලි කළ පරිදි, පොලී අනුපාතික වෙනස් නොවුවහොත් දෙවසරක බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට වසරකට පසු එය විකුණා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකිය. වසරක කාලය තුළ පොලී අනුපාතික පහළ ගියහොත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි අතර, පොලී අනුපාතික ඉහළ ගියද ඒ ඉහළ යාම ඉතා සුළු ඉහළ යාමක් පමණක්නම් එහිදීද වැඩි ලාභයක් ලැබිය හැකිය. පාඩුවක් වන්නේ පොලී අනුපාතික කිසියම් මට්ටමක් ඉක්මවා ඉහළ ගියහොත් පමණි. රජය (හෝ වෙනත් බැඳුම්කර නිකුත් කරන්නෙකු) ආර්ථික වශයෙන් ස්ථාවරනම් මේ ඉඩකඩ 50%ට වඩා අඩු නිසා සූදුවෙන් දිගුකාලීනව ලාභයක් ලබන්නට පුළුවන.

කෙසේ වුවද, රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී, පොලී අනුපාතික එන්න එන්නම වැඩි වනවා මිස අඩු වීමට ඉඩක් නැති නිසා ඉහත පරිදි ලාබයක් ලැබිය නොහැකි අතර විශාල අලාභයක් වුවද සිදුවන්නට පුළුවන. එවැනි විටෙක වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් මේ ආකාරයේ අවදානමක් ගන්නා ආයෝජකයෙකුට සිදුවන්නේ විශාල පාඩුවක් ලබමින් වුවත්, ඊටත් වඩා වැඩි පාඩුවක් විඳින්නට ඇති ඉඩකඩ වලක්වා ගැනීමේ අරමුණින් සිය ආයෝජන ක්ෂණිකව විකුණා දමන්නටය. මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කර ආයෝජන පාඩු ලබමින් විකුණා දැම්මේ මේ පදනමිනි.

දිගුකාලීනව මුදල් හිර කර තැබීමේ හැකියාව ඇති සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයක් අනුගමනය කරන්නේ මේ ක්‍රමවේද දෙකෙන් පළමු ක්‍රමවේදයයි. 2015 වසර තුළදී සේවක අර්ථසාධක අරමුදල විසින් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 144,226ක ආදායමක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 143,055ක්ම (99.2% ක්) උපයා ඇත්තේ පොලී අදායම් වශයෙනි. ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස උපයා ඇත්තේ රුපියල් මිලියන 1,171ක් පමණි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභාලාභ ගිණුම් දෙස බැලූ විට පෙනෙන්නේ තනිකරම මෙහි අනිත් පැත්තයි. එම සමාගම විසින් 2015 වසර තුළදී රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර උපයා ඇති රුපියල් මිලියන 5,574.8ක මුදලින් ශුද්ධ පොලී ආදායම් ලෙස උපයා ඇති රුපියල් මිලියන 353.6ක් (6.34%ක්) පමණි. ඉතිරි ආදායම් උපයා ඇත්තේ ප්‍රාග්ධන ප්‍රතිලාභ වශයෙනි.

එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් කරන්නේ ආයෝජනය කිරීමකට වඩා සූදුවක නිරත වීමක් වැනි දෙයකි. ඔවුන්ගේ රුපියල් මිලියන 353.6ක් වන ශුද්ධ පොලී ආදායමෙහි සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ වඩාත් පැහැදිලි වේ. එම සමාගම වසර තුළ පොලී ආදායම් ලෙස රුපියල් මිලියන 942.8ක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 589.2ක්ම පොලී වියදම් ලෙස ආපසු ගෙවා තිබේ. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් වැඩිපුර ආයෝජනය කර ඇත්තේ වෙනත් අයගෙන් අඩු පොලියකට ණයට ගත් මුදල් බවයි. එසේනම්, ඔවුන්ගේ ව්‍යාපාරික ක්‍රමෝපායය වී ඇත්තේ අඩු පොලියට කෙටිකාලීන ණය ගනිමින්, වැඩි පොලී ලබා දෙන දිගුකාලීන ආයෝජන වල එම අරමුදල් යොදවා, මේ දිගුකාලීන බැඳුම්කර ඉතා ඉක්මණින් නැවත ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ප්‍රාග්ධන ලාභයක් මෙන්ම පොලී ආන්තිකයක්ද ඉපැයීමයි. ඉතා අවදානම් සහගත මේ සූදුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉතා හොඳින් ක්‍රීඩා කර තිබේ.

එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉපැයූ ඉතා විශාල ප්‍රතිලාභ අනුපාතිකය ඔවුන්ගේ සුවිශේෂී අවදානම් කළමණාකරණ කුසලතාවය මත උපයාගත් දෙයක්ද? එසේ නැත්නම්, වාසනාවට ලැබුණු දෙයක්ද? එසේත් නැත්නම්, අවදානම් කළමණාකරණ කුසලතාවය සඳහා ලැබිය හැකි ප්‍රතිලාභ මඟින් හා හුදෙක් වාසනාව මත ලැබිය හැකි ප්‍රතිලාභ වලින් පමණක් පැහැදිලි කළ නොහැකි 'වෙනත්' කොටසක් මෙහි තිබෙනවාද?

මේ ප්‍රශ්න වලට අපට නිශ්චිත පිළිතුරු දිය නොහැකි වුවත්, ප්‍රසිද්ධව ඇති තොරතුරු මත පදනම්ව, සිදුවිය හැකිව තිබුණු දේවල් යම් තරමකට විමර්ශනය කිරීමට බැරිකමක් නැත. අපි එය හෙමින් සැරේ කරමු.

Friday, February 17, 2017

පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

 

දැන් අප දන්නා පරිදි, රාජ්‍ය සුරැකුම්පතක දිගුකාලීනව ආයෝජනය කිරීම වැඩි අවදානමක් ගෙන දෙනවා මෙන්ම වැඩි ප්‍රතිලාභද ගෙන දේ. ඒ නිසා, වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරන ආයෝජකයෙකු සිතන්නේ තමන්ට කොපමණ කලක් අරමුදල් හිර කර තැබිය හැකිද යන්නයි. කෙසේ වුවද, දිගු පරිණත කාලයක් ඇති රාජ්‍ය සුරැකුම්පතක් මිල දී ගන්නා ආයෝජකයෙකු තමන් මුලදී අපේක්ෂා කළ ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැම විටම සුරැකුම්පතේ පරිණත කාලය අවසන් වන තුරු සිටිය යුතු නැත.

මෙය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා අපි පසුගිය (සිවුවන) කොටස සමඟ පළ කළ, ඔබේ පහසුව සඳහා මෙහි පහත නැවත පළ කරන, දෙවන වගුවේ අවසන් සිරස් තීරුව වෙත හැරෙමු. 2015 පෙබරවාරි 11න් අවසන් වූ සතිය තුළ පැවති රාජ්‍ය සුරැකුම්පත් ද්වීතියික වෙළදපොල පොලී (ඵලදා) අනුපාතික එහි ඔබට පෙනේ. මේ වගුවේ පෙර සිරස් තීරු වලින් මෙන්ම පහතින් ඇති දෙවන රූප සටහන මඟින්ද පෙන්වා ඇති පරිදි පිළිවෙළින් වසරක හා දෙවසරක කාලයකට පසු සියළුම පරිණත කාල සඳහා වන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 



කෙසේ වුවද, මෙය 2015 පෙබරවාරි 11 දින කිසිවකු නිශ්චිතවම දැන නොසිටි තත්ත්වයකි. තවත් වසරකට පසු පොලී අනුපාතික සමස්තයක් ලෙස ඉහළ යන්නට වැඩි ඉඩකඩක් ඇති බව දැන් අපට පෙනෙන නමුත් එම ඉහළ යාම කොතරම් විය හැකිද යන්න හෝ අඩුම වශයෙන් ස්ථිරවම පොලී අනුපාතික ඉහළ යන බව වුවද අපට අද කියන්නට නුපුළුවන. එය බාහිර සාධක රැසක් මත තීරණය වන්නකි.

අපට දැන් කතා කරන්නට අවශ්‍ය කරුණ පැහැදිලි කර ගැනීම සඳහා 2015 පෙබරවාරි 11 පැවති ඵලදා වක්‍රය වෙනස් නොවී වසර ගණනාවක් එසේම තිබුනේයැයි අපි සිතමු. එසේ වීනම්, 2015 පෙබරවාරි 11 දින 6.29% පොලියකට දෙවසරක බැඳුම්කරයක මුදල් හිර කරන අයෙකු (අජිත් කියා කියමු.) වසරකට පසු මුහුණ දෙන වෙළඳපොළ තත්ත්වය කුමක්ද?

ඵලදා වක්‍රය වෙනස් නොවී තිබුණේනම්, 2016 පෙබරවාරි 10 දින මාස 12ක සුරැකුම්පතක ආයෝජනය කරන්නෙකුට (බිමල් කියා කියමු.) ලැබෙන පොලිය 6.08%කි. නමුත්, වසරකට පෙර මිලදී ගත් තවත් වසරකින් කල් පිරෙන බැඳුම්කරයට අජිත්ට 6.29%ක පොලියක් ලැබේ. (පහසුව සඳහා අප මෙහිදී සලකා බලන්නේ කූපන් ගෙවීම් රහිත බැඳුම්කරයි.)

අජිත් විසින් වසරකට පෙර මිලදී ගත් 2017 පෙබරවාරිහිදී කල් පිරෙන බැඳුම්කරයේත්, 2016 පෙබරවාරි වලදී අළුතින් නිකුත් කරන සුරැකුම්පතකත් ආයෝජකයෙකුට කිසිදු වෙනසක් නොපෙනේ. මේ දෙකේම ඇත්තේ සමාන අවදානමකි. නමුත්, එයින් එකකට 6.08%ක පොලියක්ද, අනෙකට 6.29%ක පොලියක්ද ලැබේ. මෙය විය නොහැක්කකි. ඒ නිසා වැඩි පොලියක් ලැබෙන දෙවැන්නේ වෙළදපොළ වටිනාකම ඉහළ යයි. බිමල් විසින් පළමුවන්න මිලදී ගන්නේ රුපියල් මිලියන 10 කටනම්, දෙවැන්න සඳහා ඊට වඩා ආසන්න වශයෙන් 0.20% ක පමණ මිලක් ගෙවන්නට අකැමැති වන්නේ නැත. ඒ, එසේ කිරීමෙන් වසරකට පසු ඔහු ලබන ප්‍රතිලාභය අඩු නොවන බැවිනි.

වසරකට පෙර දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කළ අජිත්ට මේ වන විට 6.29%ක පොලී ආදායමක් ලැබී ඇති අතර තවත් වසරකින් එවැනිම පොලී ආදායමක් ලැබෙනු ඇත. එහෙත්, ඔහුට එතෙක් කල් බලා නොසිට දැන් ඔහුගේ සුරැකුම්පත බිමල්ට විකුණා ක්ෂණික ප්‍රාග්ධන ලාභයක් ලැබිය හැකිය. මේ ප්‍රාග්ධන ලාභයද සමඟ අජිත් විසින් වසරක් තුළ ලබන ප්‍රතිලාභය 6.49% දක්වා ඉහළ යයි.

අජිත්ට 2015 පෙබරවාරි 11 දින වසරකට වඩා කාලයකට මුදල් හිර කිරීමේ කිසිදු හැකියාවක් නොතිබුණේයැයි සිතමු. එසේනම්, ඔහුට තමන්ගේ මුදල් ආයෝජනය කර ලබාගත හැකිව තිබුණු උපරිම ප්‍රතිලාභ අනුපාතිකය වන්නේ 6.08% කි. එහෙත්, අජිත් අවදානම් ලෝලියෙකු වීනම් ඔහු විසින් එදින වසරකින් පසු විකිණීමේ බලාපොරොත්තුවෙන් දෙවසරක බැඳුම්කරයක් මිල දී ගෙන එය වසරකට පසු විකිණීමෙන් (ඉහත උපකල්පනය පරිදි ඵලදා වක්‍රය නොවෙනස්ව පැවති තත්වයක් යටතේ) 6.08%ට වඩා 0.41%කින් වැඩි 6.49%ක ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීම සිදු විය හැකිව තිබුණි. අජිත්ගේ අතේ වසරකට හිර කරන්නටවත් මුදල් නොතිබුණු තත්ත්වයක් යටතේදී වුවද, ඔහුට වෙනත් අයෙකුගෙන් (චන්දිමාගෙන්) 6.08%ක පොලියට වසරක කාලයක් සඳහා ණයක් ගෙන දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කර වසරකට පසු එය විකුණා 0.41%ක ලාභයක් ප්‍රාග්ධන ඉපැයීමක් ලෙස ලබා ගත හැකිව තිබුණි.

ඇත්තටම කියනවානම්, අජිත් වැනි අවදානම් ලෝලියෙකුට මෙසේ ණයට මුදල් ලබාගෙන පස් වසරක, දස වසරක හෝ තිස් වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කර වුවද මිල දී ගන්නට බැරිකමක් නැත. මේ කාලය වැඩිවන විට ඔහුගේ අවදානම මෙන්ම ලාභාපේක්ෂාවන්ද විශාල ලෙස වැඩි වේ. කෙසේ වුවද, එසේ අතේ මුදල් නැතිව ලබා ගන්නා බැඳුම්කර වසරකට පසු (හෝ ණය ආපසු ගෙවිය යුතු වන විට) අනිවාර්යයෙන්ම විකුණන්නට සිදුවේ.

අජිත් විසින් 2015 පෙබරවාරි 11 දින මිල දී ගත්තේ සය වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක් යයි සිතමු. ඒ සඳහා ඔහුට ලැබෙන වාර්ෂික පොලිය 7.49% කි. වසරකට පසු, 2016 පෙබරවාරි 10 දින, මේ බැඳුම්කරය පස් අවුරුදු බැඳුම්කරයකට සමානය. ඵලදා වක්‍රය නොවෙනස්ව පැවතියේනම්, 2016 පෙබරවාරි 10 දින වන විට පස් අවුරුදු බැඳුම්කරයක පොලී අනුපාතිකය වන්නේ 7.27%ක් පමණි. එවැන්නක් මිල දී ගන්නා අයෙකුට (බිමල්ට) වසර පහකට පසු 42.03%ක (=(1.0727^5-1)*100%) ප්‍රතිලාභ අනුපාතිකයක් හිමි වෙද්දී අජිත්ගේ බැඳුම්කරයේ ඉතිරිව ඇති පස් අවුරුද්ද තුළ ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය 43.50% (=(1.0749^5-1)*100%) කි. ඒ නිසා, අජිත්ට 1.03% පමණ (=1.4350/1.4203) වැඩි මිලකට ඔහු සතු බැඳුම්කරය බිමල්ට විකිණීමට ඉඩක් ලැබෙන අතර වසරක් තුළ අජිත් ලබන ප්‍රතිලාභ අනුපාතිකය 8.52%ක් දක්වා (7.49%+1.03%) ඉහළ යයි. මෙය අජිත් විසින් චන්දිමාට ගෙවිය යුතු පොලිය වන 6.08%ට වඩා 2.44%කින් වැඩිය. මෙහිදීද පෙර මෙන්ම අප සලකා බලා ඇත්තේ කූපන් රහිත බැඳුම්කරයි. කූපන් බැඳුම්කර හා අදාළ ගණනය කිරීම් වඩා සංකීර්ණ වුවත් එහිදී වෙන්නේද මෙවැනිම දෙයකි.

කෙසේ වුවද, දැන් අප දන්නා පරිදි 2016 පෙබරවාරි 10 දින වන විට ඵලදා වක්‍රය වසරකට පෙර පැවති මට්ටමේ තිබුණේ නැත. සියළුම පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මෙසේ පොලී අනුපාතික ඉහළ යාම අජිත් වැනි අවදානම් ලෝලියෙකුට බලපාන්නේ කෙසේද?

අජිත් විසින් 2015 පෙබරවාරි 11 දින සය වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක් 7.47%ක පොලී අනුපාතිකයකට මිල දී ගත්තේය. ඒ සඳහා ඔහු චන්දිමාගෙන් 6.08% පොලියට මුදල් ලබා ගත්තේය. වසරකට පසු, 2016 පෙබරවාරි 10 දින වන විට, පස් අවුරුදු බැඳුම්කර සඳහා වන පොලී අනුපාතිකය 9.95% දක්වා ඉහළ ගියේය. මේ පොලී අනුපාතිකයට ආයෝජනය කර පස් වසරකින් 60.69% ක ප්‍රතිලාභ අනුපාතිකයක් ඉපැයිය හැකි වුවත්, අජිත්ගේ බැඳුම්කරයේ ඉතිරිව ඇති පස් අවුරුද්දට ලැබෙන්නේ 43.50%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පමණි. ඒ නිසා, අජිත්ගේ ආයෝජනයේ වෙළඳපොළ අගය දැන් 10.70% කින් අඩුවී තිබේ. එසේ වුවද, චන්දිමාගෙන් ලබාගත් කෙටිකාලීන ණය ආපසු ගෙවිය යුතු නිසා ඔහුට සිය බැඳුම්කරය විශාල පාඩුවක් විඳිමින් එහි වෙළඳපොළ වටිනාකමට විකුණන්නට සිදු වේ. අජිත් විසින් පළමු අවුරුද්දේ පොලිය ලෙස 7.47%ක් දැනටමත් උපයා ඇති නිසා චන්දිමාගේ ණය හා පොලිය ගෙවූ පසු 1.39%ක ඉතිරියක් වෙතත්, 10.70%ක ප්‍රාග්ධන අලාභය නිසා සමස්තයක් ලෙස 9.31%ක අලාභයකට මුහුණ දෙන්නට සිදුවේ.

සාමාන්‍ය කරුණක් ලෙස යමෙකු දිගුකාලීන සුරැකුම්පතක ආයෝජනය කිරීමෙන් පසු පොලී අනුපාතික ඉහළ ගියහොත් අදාළ ආයෝජනයේ වෙළදපොළ වටිනාකම අඩුවී ප්‍රාග්ධන අලාභයක් සිදුවේ. ආයෝජනයේ පරිණත කාලය වැඩි වන තරමට මෙන්ම පොලී අනුපාතික ඉහළ යන තරමට මේ අලාභයද ඉහළ යයි. මෙසේ වෙළදපොළ වටිනාකම අඩුවී අලාභ ඉහළ යද්දී ඉවසීමක් ඇති හා දිගුකාලයකට හිර කරන්නට අරමුදල් ඇති ආයෝජකයෙකුට නැවත පොලී අනුපාතික පහළ වැටෙන තුරු බලා සිටින්නට හැකි වුණත්, එවැනි දිගුකාලයක් මුදල් හිර කරගෙන සිටීමේ හැකියාවක් නැති අයෙකුට සිය සුරැකුම්පත් පාඩුවට විකුණන්නට සිදුවේ. මුදල් හිරකරගෙන සිටීමේ හැකියාවක් තිබුණත් පොලී අනුපාතික එන්න එන්නම ඉහළ යනු මිස පහත වැටෙන පාටක් නොපෙනේනම් කළ යුතු ඥානාන්විත ක්‍රියාව වන්නේ තියෙන පාඩුව තවත් වැඩි වන්නට පෙර සිය ආයෝජන මුදල් කිරීමයි. ග්‍රීක බැඳුම්කර සිද්ධියේදී මහ බැංකුව විසින් කළේ එවැන්නකි.

මේ අයුරින්ම දිගුකාලීන ආයෝජනයක් කිරීමෙන් පසු පොලී අනුපාතික පහත වැටුණොත් ආයෝජකයෙකුට විශාල ලාභයක් ලබන්නට පුළුවන.

අප පෙර ලිපි මාලාවෙන් කතා කළ 2015 පෙබරවාරි 27 බැඳුම්කර වෙන්දේසියෙන් පසුව පොලී අනුපාතික ඉහළ ගිය බව ජනප්‍රිය කතාවකි. මේ කතාව බොරුවක් නොවේ. එහෙත්, එසේ පොලී අනුපාතික ඉහළ යාම නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාබ වැඩි වූ බව කිසිවකු සිතනවානම් එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් බව දැන් ඔබට පැහැදිලි වෙනවා ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලාභ ලැබිය හැකිව තිබුණේ බැඳුම්කර මිලදී ගැනීමෙන් පසු පොලී අනුපාතික පහළ යන තරමටය.

Wednesday, February 15, 2017

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පසුගිය (තුන්වන) කොටසින් අපි රාජ්‍ය සුරැකුම්පත් වල පරිණත කාලය හා ඵලදා අනුපාතිකය අතර සම්බන්ධතාවය පෙන්වන ද්වීතියික වෙළදපොළ ඵලදා වක්‍රය හඳුනා ගත්තෙමු. පරිණත කාලය වැඩි වෙද්දී වැඩි වන අවදානම නිරූපණය කරමින් ඵලදා වක්‍රය සාමාන්‍යයෙන් මඳක් ඉහළට බෑවුම් වෙයි. එයට අමතරව, මේ ඵලදා වක්‍රය ඇසුරෙන් ඉදිරිකාලයේ පොලී අනුපාතිකයේ සිදුවීමට නියමිත වෙනස්කම් වෙළදපොළ අපේක්ෂාවන්ද හඳුනා ගත හැකිය.

ඉදිරි වසර තුළ පොලී අනුපාතික වෙනස් නොවීමට ඉඩ ඇති බව ඵලදා වක්‍රය ඇසුරෙන් හඳුනා ගන්නේ කෙසේද?

වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ඵලදා අනුපාතිකය දැන් 10%ක් බවත්, වසරකට පසුවද ඒ වන විට වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ඵලදා අනුපාතිකය 10% මට්ටමේම පවතිනු ඇති බවත් අපි සිතමු. ඒ අනුව යමෙකු අද රුපියල් මිලියනයක් වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ආයෝජනය කර, වසරකට පසු පොලිය සමඟ ආපසු ලැබෙන රුපියල් මිලියන 1.1 නැවත තවත් වසරකට ආයෝජනය කළ හොත් ඔහුට හෝ ඇයට දෙවසරකට පසු රුපියල් මිලියන 1.21ක් හිමිවේ. මෙසේ නොකර, අද එක් වරම 10%ක වාර්ෂික පොලියක් ලබාදෙන දෙවසරක ආයෝජනයක් කළද ඔහුට හෝ ඇයට දෙවසරකට පසු මේ මුදලම හිමි වේ.

අවසානයේ ලැබෙන මුදල සමාන වුවත් දෙවන තේරීමේදී මුදල් වැඩි කලකට හිර වන නිසා අවදානම වැඩි බැවින් පොලී අනුපාතික සමානනම් බොහෝ දෙනෙකුගේ තේරීම වන්නේ පළමුවැන්නයි. ඒ නිසා, දෙවසරක බැඳුම්කරයක් නිකුත් කරන අයෙකුට පොලී අනුපාතික නොවෙනස්ව පවතිනු ඇති බව පෙනී ගියත් වසරක බැඳුම්කරයකට ගෙවන මුදලට වඩා තරමක් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්නට සිදුවේ. මෙසේ වැඩිපුර ගෙවිය යුතු පොලිය පරිණත කාල අධිභාරය (term premium) ලෙස  හැඳින්වේ. ඉහත උදාහරණයේදී දෙවසරක් සඳහා වන පරිණත කාල අධිභාරය (වසරක පරිණත කාලයට සාපේක්ෂව) 0.5%ක් ලෙස සැලකුවහොත් වසරක බැඳුම්කරයක පොලිය 10% වෙද්දී, දෙවසරක බැඳුම්කරයක පොලී අනුපාතිකය 10.5%ක් වනු ඇත. පරිණත කාලය තවත් වැඩි වෙද්දී පරිණත කාල අධිභාරය තවත් වැඩි වී පොලිය ක්‍රමක්‍රමයෙන් වැඩි වන නිසා අපට මේ අවස්ථාවේදී දැකිය හැකි වන්නේ මඳක් ඉහළට බෑවුම් වුණු ඵලදා වක්‍රයකි. ඒ අනුව මඳක් ඉහළට බෑවුම් වුනු ඵලදා වක්‍රයකින් පෙන්නුම් කරන්නේ පොලී අනුපාතික නොවෙනස්ව පවතින්නට ඇති ඉඩකඩ ගැන වෙළඳපොළ අපේක්ෂාවන්ය.

ලබන වසරේදී වසරක බැඳුම්කරයක පොලිය 9% දක්වා අඩු වන්නට නියමිතනම් සිදු වන්නේ කුමක්ද? දැන් ඔබට වසරක බැඳුම්කරයක ආයෝජනය කර, වසරකට පසු ලැබෙන මුදල් නැවත ආයෝජනය කිරීමෙන් දෙවසරකින් ලබා ගත හැකි මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 1.2කි  (හරියටම මිලියන 1.199කි). දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කර මේ මුදලම ලබා ගැනීමටනම් ආසන්න වශයෙන් 9.5%ක පමණ (හරියටම 9.4989%ක) පොලී අනුපාතිකයක් ලැබිය යුතුය. කෙසේ වුවද, දෙවසරක  ආයෝජනයක් වෙනුවෙන් 0.5%ක පරිණත කාල අධිභාරයක්ද එකතු කළ යුතු නිසා මේ පොලී අනුපාතිකය ආසන්න වශයෙන් 10%ක් වේ.

දැන් මේ අවස්ථාවේදී, වසරක හා දෙවසරක පරිණත කාල සහිත බැඳුම්කර වල පොලිය සමාන නිසා එම පරාසය තුළ ඵලදා වක්‍රය තිරස් හැඩයක් ගනී. මේ අනුව පෙනී යන පරිදි තිරස් හැඩයක් ඇති ඵලදා වක්‍රයකින් පෙන්වන්නේ ඉදිරි කාලයේදී පොලී අනුපාතික අඩු වන්නට ඇති ඉඩකඩයි.

වෙළඳපොළ අපේක්ෂාව වන්නේ ඉදිරියේදී පොලී අනුපාතික ඉහළ යනු ඇති බවනම්, ඵලදා වක්‍රයේ බෑවුම වඩා දැඩි බෑවුමක් වනු ඇත. බෑවුම වැඩි වන තරමට පොලී අනුපාතික ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩිය.

ඵලදා වක්‍රය පහළට බෑවුම් වීම අඩුවෙන් දැකිය හැකි දෙයකි. එසේ පහළට බෑවුම් වී ඇත්නම් එයින් පෙනෙන්නේ පොලී අනුපාතික ඉදිරියේදී ඉතා විශාල ලෙස පහත වැටෙන්නට ඉඩ ඇති බවයි.

හැඩයේ ඉහත වෙනස්කම් පෙන්නුම් කරන අතරම, වෙළදපොළ පොලී අනුපාතික අඩු වැඩි වන විට සාමාන්‍යයෙන් ඵලදා වක්‍රය සමස්තයක් ලෙස ඉහළ පහළ යයි. පසුගිය දෙවසරක පමණ කාලය තුළ ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික සමස්තයක් ලෙස පෙන්වූයේ ඉහළ යාමේ ප්‍රවණතාවයකි. එයට මහ බැංකුව විසින් ගත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම රජයේ දේශීය ණය ගැනීම් වැඩි වීමද හේතු විය.

පහත වගුවෙන් (වගුව 2) හා රූප සටහනෙන් (රූප සටහන 2) පෙන්වන්නේ පසුගිය සතියේ, වසරකට පෙර හා දෙවසරකට පෙර ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රයේ වෙනස් වීමයි.

 


Sunday, February 12, 2017

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)


පසුගිය (දෙවන) කොටසෙන් පෙන්වා දුන් එක් මූලික කරුණක් වූයේ කොටස් වෙළඳපොළ ආයෝජන වල අවදානම වැඩි අතර ප්‍රතිලාභද වැඩි බවයි. ඊට සාපේක්ෂව රජය හෝ සමාගමක් විසින් නිකුත් කරන බැඳුම්කර වල අවදානම මෙන්ම ප්‍රතිලාභද අඩුය.

සමාගමක කොටස් මිලදී ගන්නා අයෙකුට තමන් විසින් ආයෝජනය කළ මුල් මුදල ආපසු ලැබෙන බවට කිසිදු සහතිකයක් නොලැබේ. එහිදී සිදුවන්නේ මේ ආයෝජකයා අදාළ සමාගමේ හිමිකරුවෙකු බවට පත් වීමයි. සමාගම ලබන ලාභ මෙන්ම අලාභද එක සේ දරා ගැනීමට කොටස් හිමිකරුවෙකුට සිදුවේ.

කිසියම් සමාගමක් විසින් වැඩිපුර හෝ "අධික" ලාභ උපයනවා කියා ඔබ සිතනවානම් ඔබ විසින් කළ යුත්තේ අදාළ සමාගමේ කොටස් මිල දී ගැනීමයි. ලංකාවේ සමාගම් වලින් කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කර ඇත්තේ සීමිත සමාගම් ගණනක් නිසාත්, ඉතා සුළු මුදලක් අතේ ඇති කෙනෙකුට කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීම පිණිස ප්‍රවේශ වීම සාපේක්ෂව අසීරු කරුණක් නිසාත් මෙය කියන තරම්ම සරල කරුණක් නොවූවත්, වඩා පැතිරුණු හා දියුණු කොටස් වෙළදපොළක් ඇති රටක ඉතා සුළු මුදලක් වුවද කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කර වැඩි ප්‍රතිලාභයක් ලැබීමට සාමාන්‍ය පුද්ගලයෙකුට අවස්ථාව තිබේ.

සමාගම් කොටස් වලින් වෙනස්ව, බැඳුම්කර වල ආයෝජනය කරන්නෙකුට මුල් මුදල මෙන්ම කිසියම් නිශ්චිත ප්‍රතිලාභයක්ද ලැබෙන බවට සහතිකයක් එම බැඳුම්කර නිකුත් කරන රජයෙන් හෝ සමාගමෙන් මුලදීම ලැබේ. ඒ නිසා එහි ඇත්තේ අඩු අවදානමකි. අවදානම අඩු වුවද අවදානමක් නැතුවා නොවේ.

බැඳුම්කර නිකුත් කරන රජය හෝ සමාගම විසින් මෙසේ මුලදී පොරොන්දු වුවත් අවසානයේදී ඒ පොරොන්දුව ඉටු නොකරන්නට ඉඩ තිබේ. බොහෝ විට මෙසේ වන්නේ අදාළ සමාගම හෝ රජය බංකොලොත් වීම හේතුවෙනි.

කොටස් මිල දී ගන්නෙකු කිසියම් සමාගමක අයිතිකරුවෙකු වන නිසා සමාගම බංකොලොත් වුවහොත් එහි පාඩුව අය කර ගන්නට කෙනෙක් නැත. මෙහිදී සිදු වන්නේ තමන් විසින්ම ව්‍යාපාරයක් අරඹා එය බංකොලොත් වූ විට සිදු වන පාඩුවට සමාන තත්ත්වයකි. එහෙත්, බැඳුම්කර මිල දී ගන්නෙකු කරන්නේ කිසියම් සමාගමකට හෝ රජයකට ණය දීමයි. ඒ නිසා, ණය ආපසු නොගෙවුවහොත් නඩු පැවරීමට හැකිය. කෙසේ වුවද, බංකොලොත් සමාගමක නඩු පවරා ලබා ගත හැකි තරමේ වත්කම් නොමැත. බංකොලොත් වූ රජයක තත්ත්වයේද වෙනසක් නැත!

සමාගමක් බංකොලොත් වීමට ඇති ඉඩකඩට වඩා රජයක් බංකොලොත් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු වුවත්, රජයයන් විසින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගත් ණය ආපසු නොගෙවා පැහැර හැරි අවස්ථාද ඕනෑ තරම් තිබේ. ග්‍රීක බැඳුම්කර ආසන්නම උදාහරණයකි. මෙසේ රජයක් හෝ සමාගමක් බංකොලොත් වීම නිසා ණය ආපසු නොගෙවීමේ අවදානම වැඩි වන තරමට ආයෝජකයින් බැඳුම්කර සඳහා අපේක්ෂා කරන පොලී අනුපාතික ඉහළ යයි.

බැඳුම්කරයක් කල් පිරීමට ගත වන කාලය වැඩි වන තරමට එම කාලය තුළ අදාළ බැඳුම්කරය නිකුත් කළ සමාගම හෝ රජය බංකොලොත් වීමට ඇති ඉඩකඩ වැඩිය. මේ හේතුවත්, මෙහි සාකච්ඡා කර නැති වෙනත් හේතු ගණනාවකුත් නිසා සාමාන්‍යයෙන් එකම ආයතනය මඟින් නිකුත් කරන බැඳුම්කර වල කල් පිරීමේ කාලය වැඩි වෙද්දී පොලී අනුපාතිකද ක්‍රමයෙන් වැඩි වේ. ඒ නිසා, වැඩි අවදානමක් ගෙන දිගු කල්පිරීමේ කාලයක් ඇති බැඳුම්කරයක ආයෝජනය කරන්නෙකුට වැඩි ප්‍රතිලාභයක්ද ලැබිය හැකිය. ලංකාවේ නිකුත් කෙරෙන වැඩිම පරිණත කාලයක් ඇති බැඳුම්කර වන්නේ තිස් අවුරුදු බැඳුම්කර නිසා එවැනි දිගුකලක් මුදල් හිර කර අවදානමක් ගන්නට සූදානම් අයෙකුට සිය ආයෝජනය වෙනුවෙන් සැලකිය යුතු ඉහළ පොලී අනුපාතිකයක් හිමිවේ.

පසුගිය සතියේ (2017 පෙබරවාරි 8න් අවසන් වූ) ලංකාවේ රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ද්වීතියික වෙළඳපොළෙහි පැවති සාමාන්‍ය ඵලදා අනුපාතික පහත පළමු වගුවේ පෙන්වා දී තිබේ. දත්ත මහ බැංකුවේ වෙබ් අඩවියෙනි. 


ඉහත වගුවේ ඇති තොරතුරු පහත පළමු රූප සටහනේ පරිදි ප්‍රස්තාරගත කළ විට දැකිය හැකි සම්බන්ධතාවය "ඵලදා වක්‍රය" ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් ඵලදා වක්‍රයේ හැඩය මෙහි අග කොටසේ දැකිය හැකි පරිදි මඳ බෑවුමක් සහිතව ඉහළට නැඹුරු වූවකි. එයින් පෙනෙන්නේ පරිණත කාලය වැඩි වෙද්දී පොලී අනුපාතිකද වැඩි වන බවයි.

 

Wednesday, February 8, 2017

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

 

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ ගැන කතා කරන්නට පෙර අප විසින් එම සමාගම වැනි මූල්‍ය ආයෝජන මඟින් ලාභ ඉපැයීම අරමුණු කරගත් සමාගමකට ලාභ වැඩි කරගත හැක්කේ කෙසේද යන කරුණ තේරුම් ගත යුතුය. මූල්‍ය ආයෝජන සමාගමක් විසින් ආදායම් උපයන ප්‍රධානම ප්‍රභවය වන්නේ සිය ආයෝජන වෙනුවෙන් ලැබෙන පොලී ආදායමයි.

විවිධ මූල්‍ය ආයෝජන සඳහා ලැබෙන්නේ විවිධ පොලී අනුපාතිකයන්ය. එසේනම්, වැඩි පොලී අනුපාතිකයක් ලැබෙන ආයෝජනයක් මඟහැර අඩු පොලී අනුපාතිකයක් ලැබෙන ආයෝජනයක් කරා කිසියම් ආයතනයක් යොමු වන්නේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ.

ආයෝජනය කිරීමෙන් පොලිය ලෙස ආදායමක් ලැබෙන නමුත් පොලිය මෙන්ම මුල් ආයෝජනයද නැති වී යාමේ අවදානමක්ද එහි තිබේ. බිඳ වැටුණු බැංකු ගැන හෝ සක්විතිලා හා දඬුවම් මුදලාලිලා ගැන මා විසින් අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. ඒ නිසා වැඩි අවදානමක් ඇති ආයෝජන වලට ඇත්තේ අඩු ඉල්ලුමකි. මෙහි ප්‍රතිපලයක් ලෙස, සාමාන්‍ය මූලධර්මයක් ලෙස, ආයෝජනයක ඇති අවදානම හා පොලී අනුපාතික අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයකි. එනම්, වැඩි අවදානමක් ඇති ආයෝජන සඳහා වැඩි පොලියක්ද ලබා ගත හැකි අතර අඩු අවදානමක් සහිත ආයෝජන සඳහා ලැබෙන්නේ අඩු පොලියකි.

-ආයෝජනයක මුල් මුදල ආපසු ලබා ගැනීමට ගත වන කාලය වැඩි වන තරමට අවදානම වැඩිය.
-රාජ්‍ය ණය සුරැකුම්පත් වල කරන ආයෝජන පෞද්ගලික ආයතනයකින් නිකුත් කරන ණය සුරැකුම්පත් වල හෝ ව්‍යාපාර වස්තු (කොටස් වෙළඳපොළ ආයෝජන) වල කරන ආයෝජනකට වඩා අවදානම අඩුය.
-සුරැකුම්පත් නිකුත් කරන්නෙකුගේ ණය බර වැඩි වන තරමට අවදානම වැඩි වේ.

මේ හේතු ඇතුළු කවර හේතුවකින් හෝ ආයෝජනයක අවදානම වැඩි වන විට පොලී අනුපාතිකයද වැඩි වන නිසා වැඩි අවදානමක් ගන්නා අයකුට වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කළ හැකිය. අනෙක් අතට, අවදානමක් නොගෙන වැඩි ප්‍රතිලාභයක් ලබා ගත නොහැකිය. ඒ නිසා, කිසියම් මූල්‍ය ආයෝජන සමාගමකට තමන් විසින් ගන්නට සූදානම් අවදානමේ ප්‍රමාණය ගැන තීරණයකට එළැඹෙන්නට සිදු වේ.

ලංකාවේ විශාලතම මූල්‍ය ආයෝජකයා වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. 2015 වසර අවසන් වන විට එම අරමුදල සතු වූ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1,664.6 ක් විය. මෙය කෙතරම් විශාල මුදලක්ද කියනවානම් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති සමාගම් කොටස් වලින් අඩක් මිල දී ගන්නට මේ අරමුදල් ප්‍රමාණවත් වූ අතර රජයේ මුළු දේශීය ණය ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ විය.

සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වලින් රුපියල් බිලියන 1,487.1ක් ආයෝජනය කර තිබුණේ රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලය. මේ මුදල 2015 අවසානයේදී රජය විසින් නිකුත් කර තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය වූ රුපියල් බිලියන 3,963.4 න් 37.5%ක් විය. මේ ආයෝජන මඟින් අර්ථසාධක අරමුදල ඉපැයූ පොලී ආදායම රුපියල් බිලියන 167.7කි. මෙය එම ආයෝජන මත 11.28% ක ප්‍රතිලාභ අනුපාතිකයකි. 

සේවක අර්ථසාධක අරමුදලට සෑම වසරකදීම වාගේ අළුතින් එකතුවන සාමාජික මුදල් ප්‍රමාණය වසරක් තුළ ආපසු ගෙවිය යුතු ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා වැඩිය. ඒ නිසා, අරමුදලේ වත්කම් කිසියම් ලෙසකින් "හිර වී" තිබුණද, අළුතින් එකතු වන අරමුදල් වලින් පමණක් වුවද ආපසු ගෙවීම් කරන්නට බැරිකමක් නැත. මේ හේතුව නිසා සේවක අර්ථසාධක අරමුදලට "බය නැතිව" දිගුකාලීනව අරමුදල් ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාව තිබේ.

මේ "දිගුකාලය" වසර පහළොවක් පමණ ලෙස අපි සිතමු. කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සතු අරමුදල් වසර පහළොවක් වැනි දිගුකාලයකට ආයෝජනය කිරීම සඳහා ප්‍රධාන විකල්ප දෙකක් තිබේ. පළමු විකල්පය වන්නේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. දෙවන විකල්පය කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීමයි. තෙවන විකල්පය ලෙස සැලකිය හැකි සමාගම් මඟින් නිකුත් කරන බැඳුම්කර සදහා ලංකාවේ පුළුල් වෙළඳපොළක් නැත.

රාජ්‍ය සුරැකුම්පත් වල කරන ආයෝජන වල අවදානම අඩුය. එමෙන්ම ප්‍රතිලාභද අඩුය. කොටස් වෙළඳපොළ ආයෝජන වල අවදානම මෙන්ම ප්‍රතිලාභද වැඩිය. රජය විසින් නිකුත් කරන වසර 15ක පමණ පරිණත කාලයක් ඇති බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් දිගුකාලීනව වත්කම් මත 12%ක පමණ ප්‍රතිලාභයක් ලබා ගත හැකි අතර දිගුකාලීනව කොළඹ කොටස් වෙළදපොළ සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකය 20% පමණ වේ.

කෙසේ වුවද, කෙටිකාලීනව කොටස් වෙළදපොළෙහි ආයෝජනය කිරීමෙන් මුල් ආයෝජනයන්ද කොටසක් අහිමි වීමට ඉඩ තිබේ. පසුගිය 2016 වසරේදී කොටස් වෙළදපොළ ආයෝජන කළ අයෙකුට සාමාන්‍ය වශයෙන් 9.7%ක පාඩුවක්ද, ඊට පෙර 2015 වසරේදී 5.5%ක පාඩුවක්ද සිදුවිය. රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කළ විට කෙටිකාලීනව වුවද මෙසේ මුල් මුදල අහිමි වීමේ අවදානම ඉතා අඩුය.

සේවක අර්ථසාධක අරමුදල වැනි දිගුකාලීනව අරමුදල් හිර කර තැබීම ප්‍රශ්නයක් නොවන ආයතනයක් වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීම සඳහා කළ යුත්තේ සිය ආයෝජන කළඹෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කොටස් වෙළපොළෙහි ආයෝජනය කිරීමය. එසේ කිරීමෙන් කෙටිකාලීනව පාඩු සිදු වුවද, වසර දහයක් හෝ පහළොවක් වැනි දිගුකාලයකදී අනිවාර්යයෙන්ම සැලකිය යුතු වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකිය. එහෙත්, සේවක අර්ථසාධක අරමුදල විසින් කරන්නේ එහි අනිත් පැත්තයි. එනම්, සිය ආයෝජන කළඹෙන් 90-95%ක් පමණම රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. අරමුදල විසින් කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන්නේ මුළු අරමුදල් ප්‍රමාණයෙන් 5%ක් වැනි අඩු ප්‍රතිශතයකි.

සේවක අර්ථසාධක අරමුදලට ඉහත පරිදි ක්‍රියා කරන්නට සාධාරණ හේතු තිබේ. පළමුව, අරමුදලේ ආයෝජන තීරණ ගන්නේ මහ බැංකු නිලධාරීන් විසිනි. සිය ශ්‍රේණිය අනුව නිශ්චිත වැටුප් තලයක සිටින මේ නිලධාරීන්ට අවදානමක් ගෙන අරමුදලේ වත්කම් වෙනුවෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගිණුම් හිමියන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා දුන්නා කියා විශේෂ වාසියක් නොලැබේ. එහෙත්, ආයෝජන කරන පෞද්ගලික සමාගමක සේවකයෙකුට අවදානම ගෙන එසේ ලබා ගන්නා කිසියම් ලාබයක් වෙතොත් එයින් සැලකිය යුතු කොමිස් මුදලක් ලැබේ. ඒ නිසා, පෞද්ගලික ආයෝජන සමාගමක සේවකයෙකු වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් වැඩි අවදානමක් ගන්නට පෙළඹේ.

අනෙක් අතට මෙවැනි අවදානමක් ගෙන පාඩුවක් සිදුවුවහොත්, සේවක අර්ථසාධක අරමුදලේ සේවකයෙකුට පෞද්ගලිකව ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවේ. වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවදානමක් ගෙන ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී හා හෙජින් ගනුදෙනුවේදී පාඩු සිදුකර ගැනීමෙන් පසු අදාළ මහ බැංකු නිලධාරීන්ට මුහුණ දෙන්නට සිදු වූ අපහසුතා උදාහරණයි. ඒ නිලධාරීන්ගේ පැත්තෙන් වඩා සුරක්ෂිත දෙය හැකි තරම් අඩු අවදානමක් ගැනීමයි. ඔවුහු එය කරති. ඒ නිසා, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන්නේ ලබාගත හැකි උපරිම ප්‍රතිලාභයට වඩා සැලකිය යුතු ලෙස අඩු ප්‍රතිලාභයකි.


මෙසේ ක්‍රියා කිරීමට දෙවන හේතුවක් විය හැක්කේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිය ප්‍රධාන කාර්යය විය යුත්තේ සාමාජික ගිණුම් හිමියන්ට ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම බව අමතක කර, රජයට අඩු පොලියට අරමුදල් සොයා ගැනීමට උදවු කිරීම සඳහා යොමුවීම වන්නට පුළුවන. මෙය මේ අයුරින් සිදුවීමට හේතු වන්නේ සේවක අර්ථසාධක අරමුදලෙහි පාරිභෝගිකයින් මෙන්ම "කොටස් හිමියන්" ලෙසද එක්තරා ආකාරයකින් සැලකිය හැකි සාමාජික ගිණුම් හිමියන්ට අරමුදලේ කළමනාකරණය වෙත බලපෑමක් කිරීමට තබා සිය අරමුදල් ස්ව-කැමැත්තෙන් බැහැර ගෙන යාමට හෝ හැකියාවක් නැති වීමයි. යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදලට වෙනත් තරඟකරුවකු සිටියේනම්, සාමාජිකයින් විසින් දිගුකාලීනව වැඩි ප්‍රතිලාභ ලබාදෙන ආයතනයට සිය අරමුදල් රැගෙන යා හැකිව තිබුණි.

Saturday, February 4, 2017

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

දැන් අළුතෙන් නැවත විස්තර කල යුතු නැති, මහ බැංකු බැඳුම්කර සිද්ධියට ඇති මාධ්‍ය වටිනාකම තවමත් අඩු වී නැත. මේ ගැන විග්‍රහ කරන්නට බොහෝ දෙනා ඉදිරිපත් වෙති. මේ ඇතැම් 'විශ්ලේෂණ' 'ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි තරම්' ඉතාම සරලය. සරලව විග්‍රහ කළ හැකි දෙයක් මහා ලොකු සංකීර්ණ දෙයක් ලෙස විස්තර කරන්නට යාම විකාරයකි. එහෙත්, ඇත්තටම සංකීර්ණ දෙයක් ඕනෑවට වඩා සරල කළ විට කියැවෙන්නේ අවශ්‍ය දෙය නොව වෙනත් දෙයකි.

බැඳුම්කර හා අදාළ ඇතැම් මූලික සිද්ධාන්තද පැහැදිලි කරමින් මේ සිද්ධිය ගැන ඉකොනොමැට්ටා විසින් ලිපි විස්සක් ලියා පළ කළත් ඒ ලිපි විස්සෙන්ම සමස්තයක් ලෙස සාකච්ඡා කර ඇත්තේ මේ සිද්ධියට අදාළ සම්පූර්ණ ක්‍රියාදාමයෙන් සුළු කොටසක් පමණි. එම ලිපි මාලාවෙන් මා පෙන්වා දුන්නේ අදාළ සිද්ධිය නිසා රජයට වූ පාඩුව ගැන ඇති ඇස්තමේන්තු බොහොමයක්, විගණකාධිපති වරයාගේ ඇස්තමේන්තුවද ඇතුළුව, නිවැරදි නොවන බවයි. එමෙන්ම මේ ඇස්තමේන්තු අධිතක්සේරු වන්නට ඇති ඉඩකඩ ඉතා වැඩි බවයි. කෙසේ වුවද, එම ලිපි මාලාව අවසානයේදී රජයට කිසිදු පාඩුවක් සිදු නොවූයේය යන නිගමනයට මා එළඹුණේ නැත. ඒ අතරම, රජයට වූ පාඩුව ලෙස නිශ්චිත ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේද නැත.

බොහෝ දෙනෙකු මේ ලිපි කියවීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ රජයට සිදු වූ පාඩුව ලෙස ඔවුන් සිතා සිටි මුදල තහවුරු කරන ඇස්තමේන්තුවකි. තවත් කොටසක් මේ පිලිබඳ චෝදනා වලින් එම චෝදනා ලැබූවන් නිදහස් කරමින් ලබා දෙන නිගමනයක් අපේක්ෂා කළා විය හැකිය. ලිපි මාලාව ලියාගෙන යද්දී මේ දෙපිරිසේම උනන්දුව ක්‍රමයෙන් අඩුව යන බව පෙනුණේය. කෙසේ වුවද, අවසන් නිගමනයක් වෙනුවට මේ විෂය පිළිබඳව දැනුම වැඩි කර ගැනීමේ අරමුණින් මා සමඟ රැඳී සිටි සුළු පිරිසක්ද වූහ. ලිපි මාලාව ඒ මට්ටමට හෝ ඇදගෙන යන්නට දිරිය සැපයූවේ එම සුළු පිරිසයි.

මගේ පාඨකයින් කිසිවකු නිගමන වලට එළඹීමේදී මා සමඟ එකඟ විය යුතුයැයි මා සිතන්නේ නැත. මා හෝ වෙනත් අයෙකු විසින් "අලෙවි කරන" හෝ "බලෙන් තල්ලු කරන" නිගමන සමඟ විමසුමකින් තොරව එකඟ වීම යහපත් දෙයක් නොවේ. එහෙත්, නිගමන වලට එළඹීමේදී තමන් නොදන්නා කරුණු හා පුහුණුවක් ලබා නැති තාක්ෂනික කරුණු ගැන වැඩි යමක් දැනගැනීම වඩා හොඳ නිගමනයකට එළඹීමට උදවුවකි. මගේ ලිපි වලින් ටික දෙනෙකුට හෝ ඒ සඳහා උදවුවක් ලැබී ඇති බව පෙනෙන්නට තිබීම දිරිගන්වන සුළු කරුණකි.

විගණකාධිපති වාර්තාව අනුව 2015 පෙබරවාරි 27 වෙන්දේසියෙන් රජයට වූ අලාභය රුපියල් මිලියන 889.4 කි. ඉන් පසුව, 2016 මාර්තු 29 වෙනි දිනද මෙවැනිම සිදු වීමක් නැවත සිදුවීම නිසා සිදුවූ අලාභය රුපියල් මිලියන 784.9කි. අධිතක්සේරු ලෙස මා සලකන මේ ඇස්තමේන්තු අනුව අදාළ වෙන්දේසි වලින් රජයට සිදු වී ඇති මුළු අලාභය රුපියල් මිලියන 1,674.3 කි. ඒ අතර, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් 2015 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ලබා ඇති ලාභය එමෙන් තුන් ගුණයක්ද ඉක්මවන අතර රුපියල් මිලියන 5,124.2කි. එම සමාගම විසින් පෙර වසරේ ලබා ඇති ලාභයද රුපියල් මිලියන 959.6කි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම මෙවැනි ඉහළ ලාබයක් ලැබුවේ කොහොමද?

ඇතැම් අය සරල ලෙස පැහැදිලි කර තිබුණු පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභයක් ලැබුවේ 12.5%ක ගිණි පොලියට ආණ්ඩුවට ණය දීමෙනි. ආණ්ඩුවට 12.5% ක වාර්ෂික පොලියකට ණය දී රුපියල් බිලියන 5 ක ඉක්මවන ලාභයක් ලබන්නට එසේ ණයට දෙන මුදල රුපියල් බිලියන 40 ඉක්මවන මුදලක් විය යුතුය. ආණ්ඩුවට ණයට සල්ලි දී එපමණ පොලී ආදායමක් උපයන්නට තරම් තමන්ගේම ප්‍රාග්ධනයක් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සතු නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත. වෙනත් අයෙකුගෙන් ලබාගත් මුදල් ආණ්ඩුවට ණයට දෙන්නට එම සමාගමට හැකි වුවත්, එවිට එසේ මුදල් ලබාදෙන අයට නැවත පොලී මුදලක් ගෙවිය යුතු බැවින් රජයෙන් ලබාගන්නා පොලී ආදායම සම්පූර්ණයෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාබයක් වන්නේ නැත. ඒ නිසා, මේ පළමු පැහැදිලි කිරීම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නොවේ.

ඇතැම් අය විසින් කර තිබුණු, වඩා හොඳ පැහැදිලි කිරීමක් වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් රුපියල් 90 බැගින් මිලදී ගත් බැඳුම්කර (රුපියල් 120 කට ආසන්න?) ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදලට විකිණීමෙන් මේ ලාබය ලබා ගත් බවයි. සේවක අර්ථසාධක අරමුදලට කොපමණ බැඳුම්කර ප්‍රමාණයක් විකුණුවේද, ඒ කවර මිලකටද යන්න මා නොදන්නා නමුත් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ වලින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ අඩුවට ගත් බැඳුම්කර කල් පිරීමට පෙර වැඩි මිලකට ද්වීතියික වෙළඳපොළේ විකිණීම මඟින් බව ඇත්තකි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ රුපියල් මිලියන 5,124.2ක ලාබයෙන් ශුද්ධ පොලී ආදායම වන්නේ රුපියල් මිලියන 353.6ක් පමණි. එම සමාගමේ පරිපාලන හා ප්‍රචාරණ වියදම් ලෙස රුපියල් මිලියන 197.0 ක් වසර තුළ වියදම් කර ඇති නිසා වෙනත් ආකාරයකින් ආදායමක් නොලැබුවේනම් එම සමාගමේ ශුද්ධ ලාභය වන්නේ රුපියල් මිලියන 156.6ක් පමණි. මූල්‍ය වසර ආරම්භයේදී පැවති ප්‍රාග්ධන ආයෝජනය වූ රුපියල් මිලියන 1,065.9 සැලකූ විට මෙහි ඇත්තේ 14.7%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පමණි. එය හොඳ ප්‍රතිලාභ අනුපාතිකයක් වුවත් කිසිසේත්ම අසාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකයක් නොවේ.

කෙසේවුවද, මේ පොලී ආදායම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ මුළු ලාභයෙන් සුළු කොටසක් පමණි. පොලී ආදායමට අමතරව ප්‍රාග්ධන ලාභ ලෙස එම සමාගම විසින් මූල්‍ය වසර තුළ තවත් රුපියල් මිලියන 5,377.7ක ලාභයක් උපයා ඇත. ප්‍රාග්ධන ලාභ ලෙස හඳුන්වන්නේ බැඳුම්කරයක් කල් පිරීමට පෙර එය මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට ද්වීතියික වෙළඳපොළේ විකිණීම මඟින් ලබන ලාබයි.

මෙය විශාල හා අසාමාන්‍ය ලාභයකි. සිදු කළ ආයෝජනය මෙන් 500% ඉක්මවන ප්‍රතිලාභ අනුපාතිකයකි.

තරඟකාරී වෙළඳපොල ආර්ථිකයක ලාභ උපයන්නෙකු විසින් කරන්නේ වරදක් හෝ නරක දෙයක් නොවේ. එමෙන්ම, එක් අයෙකු වැඩි ලාබයක් ඉපැයීම යනු වෙනත් අයෙකුට පාඩුවක් සිදු වීමද නොවේ.  තරඟකාරී වෙළඳපොල ආර්ථිකයකයම් සමාගමක හෝ පුද්ගලයෙකුගේ ලාභය යනු ඔහු හෝ එම සමාගම විසින් ආර්ථිකයට අළුතින් එකතු කරන දෙයකි. ඒ නිසා, යමෙකුට වසරක් තුල එක් රුපියලක් රුපියල් හයක් බවට පත් කරන්නට හැකිනම් ඔහු හෝ ඇය සුවිශේෂී පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයින් සිටීනම් ඔවුන් ජාතික සම්පත් ලෙස සැලකීමේ වරදක් නැත.

කෙසේවුවද, ඉහත තර්කය අදාළ වන්නේ තරඟකාරී තත්ත්වයන් තුළ අනෙක් කිසිවෙකුට නොමැති විශේෂ වාසි කිසිවක් නොලබමින්, තමන්ගේ කිසියම් සුවිශේෂී දක්ෂතාවයක් උපයෝගී කරගෙන එවැනි ලාබයක් ලබා පෙන්වා ඇත්තේනම් පමණි. එවැන්නෙකු විසින් "එකතු කළ දෙය" බොහෝ විට පෙනෙන්නට තිබේ. බිල් ගේට්ස්, මාක් සකබර්ග් හෝ ස්ටීව් ජොබ්ස් විසින් එසේ එකතු කළ දේවල් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිව, අනෙක් අයට නැති විශේෂ වරප්‍රසාද ලබමින් යම් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් ලාබ ලබන විට සිදුවන්නේනම් අළුත් ධනයක් නිර්මාණය වීම නොව වෙනත් අයෙකුගේ දෙයක් අහිමි වීමයි.

ඒ නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ විශ්ලේෂණය කිරීම සඳහා අප විසින් සලකා බැලිය යුතු එක් පදනමක් වන්නේ ඔවුන් විසින් උපයා ඇති විශාල ප්‍රාග්ධන ලාබ ලබා ඇත්තේ කෙසේද යන්නයි. අඩු මිලට ගන්නා දෙයක් වැඩි මිලට විකුණා ලාබයක් ලැබීම ඕනෑම ව්‍යාපාරයක් විසින් කරන, කිසිදු වැරැද්දක් නැති කටයුත්තක් වුවත් මෙසේ මිල දී ගැනීම හා විකිණීම පිලිබඳ තීරණ ගන්නා විට අනෙක් අයට නොලැබෙන විශේෂ "රහසිගත" හෝ "අභ්‍යන්තර" තොරතුරක් එක් අයෙකුට පමණක් ලැබේනම් හා ඒ හේතුවෙන් විශාල ලාභයක් ලැබිය හැකිනම් එහි පැහැදිලි ප්‍රශ්නයක් තිබේ.

මෙහි එවැන්නක් වීමට පැවති ඉඩකඩ මොනවාද? මෙවැනි වාසිදායක හා රුපියල් බිලියන ගණන් වටිනා තොරතුරු මොනවාද?

අපි ඒ ගැන ඉදිරියේදී විමසමු.

Monday, January 30, 2017

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව

අද දිවයින මුල් පුවතෙහි සඳහන් වන්නේ "ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර අක්‍රමිකතාව නිසා සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) රුපියල් කෝටි 1400 කට අධික අතිවිශාල අලාභයක්‌ සිදුව" ඇති බවකි.  ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව, මේ කියන අලාභය ඇත්තටම සිදු වී ඇති අලාභයක්ද එසේ නැත්නම් ලබා ගත හැකිව තිබුණු ලාභයක් නොලැබී යාම නිසා සිදු වූ උපකල්පිත අලාභයක් පමණක්ද යන්න පැහැදිලි නැත.

පුවත අනුව, "අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි ද එම අරමුදල විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සෘජුවම භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගත්තා නම් මේ අති විශාල අලාභය සිදු නොවීමට ඉඩ තිබුණ බව ද බැංකුව විසින් දැනට කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී තිබේ."

මේ කතාව අර්ධ සත්‍යයක් පමණි. ව්‍යාපාරික කටයුතු වල යෙදෙන රාජ්‍ය ආයතන නෛසර්ගිකවම පෞද්ගලික ආයතන වලට වඩා අකාර්යක්ෂම නිසා සේවක අර්ථසාධක අරමුදල වැනි මුල්‍ය වෙළඳපොළෙහි ආයෝජනය කර ලාභ ලැබීම ප්‍රධාන අරමුණ කරගත් ආයතනයක් එම අරමුණම වෙනුවෙන් කටයුතු කරන වෙනත් පෞද්ගලික ආයතනයක් ලබන තරමේ ලාභයක් නොලබන බව ඇත්තකි. ඒ අර්ථයෙන් සේවක අර්ථසාධක අරමුදල විසින් ඔවුන්ගේ පාලනය යටතේ ඇති අරමුදල් වෙනුවෙන් ලබා ගත හැකිව තිබුණු උපරිම ප්‍රතිලාභ ලබාගෙන නොතිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

කෙසේ වුවද, "අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි" කීම සත්‍යයක් විය හැක්කේ මෙවැනි ගනුදෙනුවක් පිටුපස කිසියම් පාරදෘශ්‍ය නොවන සිදුවීමක් සිදුව ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් පමණි.

මෙය පැහැදිලි කිරීම සඳහා මගේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ලිපි මාලාවේ හයවන කොටස සමඟ ඉදිරිපත් කළ පළමු වගුව වෙත යමු. 2015 පෙබරවාරි 27 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා සේවක අර්ථසාධක අරමුදල විසින් ලන්සු තබා ඇත්තේ රුපියල් 100 සිට 104.51 දක්වා පරාසයකය. ද්විතීයික වෙළෙඳපොළේදී සේවක අර්ථසාධක අරමුදලට භාණ්ඩාගාර බැඳුම්කර විකුණා ඇති රටේ කාලයක් තිස්සේ පුවත් මවන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් සෘජුව හෝ වක්‍රව රුපියල් 97.88 සිට 86.77 දක්වා පරාසයක ලන්සු තබා ඇති අතර ඒ අතරින් රුපියල් 90.17 ඉක්මවූ ලන්සු පිළිගැනිණි. පහළොස්වන කොටස සමඟ පළකර ඇති හත්වන වගුවෙන් පෙන්වා ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල විසින් නාමික අගය රුපියල් 100ක් වන භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ගෙවා ඇති බරිත සාමාන්‍ය මිල රුපියල් 102.23කි.

සේවක අර්ථසාධක අරමුදලට ඔවුන් වෙන්දේසියෙන් මිල දී ගත් බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ලාභයක් ලබා ගැනීමටනම් රුපියල් 102.23 ඉක්මවන මිලකට මේ බැඳුම්කර විකිණිය හැකි විය යුතුය. ඔවුන් වෙන්දේසියෙන් හිමිකර ගත් බැඳුම්කර ප්‍රමාණය (නාමික අගය අනුව) රුපියල් බිලියන දෙකක් නිසා ද්වීතියික වෙළඳපොලෙහි රුපියල් 103.23 බැගින් විකිණිය හැකි වූයේනම් රුපියල් මිලියන 20 ක ක්ෂණික ලාභයක්ද, රුපියල් 112.23 බැගින් විකිණිය හැකි වූයේනම් රුපියල් මිලියන 200 ක ක්ෂණික ලාභයක්ද සේවක අර්ථසාධක අරමුදලට ලබාගත හැකිව තිබුණි. එහෙත්, එසේ වැඩි මිලකට විකිණීමේ හැකියාවක් සේවක අර්ථසාධක අරමුදලට නොතිබුණේ එවැනි මිලකට මෙම භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට කිසිවකු සූදානම්ව නොසිටි බැවිනි.

ඇත්තටම ඉහත වෙන්දේසියෙන් පසුව තිස් අවුරුදු බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකිණිය හැකිව තිබුණේ සේවක අර්ථසාධක අරමුදලේ බරිත සාමාන්‍ය පිරිවැය වූ රුපියල් 102.23ට වඩා බොහෝ අඩු මිලකටය. ඒ නිසා, යම් හෙයකින් එම අරමුදලට සිය බැඳුම්කර මුදල් කරන්නට අවශ්‍ය වීනම් එය කළ හැකිව තිබුණේ විශාල අලාභයක් ක්ෂණිකව ලබමිනි. උදාහරණයක් ලෙස ලිපි මාලාවේ දහවන කොටස සමඟ පළකර ඇති පස්වන වගුව ඇසුරින් පැහැදිලි කර ඇති පදනම මත මේ ද්වීතියික වෙළඳපොළ මිල රුපියල් 96.02 ලෙස සැලකුවහොත්, නාමික අගය රුපියල් 100කට රුපියල් 6.21 බැගින් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 124.2ක ක්ෂණික අලාභයක් සිදුවිය හැකිව තිබුණි. මෙය දිවයින පුවතේ සඳහන් රුපියල් කෝටි 1,400ක හෙවත් බිලියන 14ක අලාභයට සාපේක්ෂව සුළු අලාභයකි.

කෙසේවුවද, මේ බිලියන දෙකේ ගණුදෙනුව සේවක අර්ථසාධක අරමුදලේ තවත් එක් ගනුදෙනුවක් පමණි. අපේ සාකච්ඡාවට අදාළ ගණුදෙනු සිදුවී ඇති 2015 අවසානයේ අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1,665ක් විය. මේ වත්කම් වලින් සුළු ප්‍රමාණයක් හැර ඉතිරිය අරමුදලේ ආයෝජන කළඹට අයත් වන අතර එයින්ද 90%ක් පමණම ආයෝජනය කෙරෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලය. ඒ නිසා, දිගින් දිගටම වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලට වඩා අඩු ලන්සු තබමින් බැඳුම්කර මිල දී ගත්තේනම් සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව බිලියන 14ක මට්ටමකට ඉහළ යන්නට බැරිකමක් නැත.

දැන් මෙසේ සේවක අර්ථසාධක අරමුදල පාඩු ලැබුවාය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙයින් අදහස් වන්නේ සේවක අරමුදල විසින් රුපියල් 102.23 බැගින් මිලදී ගත් බැඳුම්කර වල වෙළඳපොළ මිල රුපියල් 96.02 දක්වා පහත වැටීම නිසා (වෙනත් ආයෝජන නොසලකා හැරියොත්) අරමුදලේ ආයෝජන කළඹේ වෙළඳපොළ වටිනාකම ආයෝජනය කළ මුල් මුදලට වඩා අඩුවී තිබීම නිසා සිදුවූ අවාසියයි. කෙසේ වුවද, මේ පාඩුව "පොත් වල ඇති" පාඩුවකි. මේ පාඩුව සැබෑ පාඩුවක් වන්නේ පවතින මිලට මේ බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණුවහොත්ය.

මෙසේ වෙළඳපොළ මිලට විකිණීමත් සමඟ පොතේ ඇති පාඩුව සැබෑ පාඩුවක් බවට පත් වන නිසා, සල්ලි හදිස්සියක් නැත්නම්, ආයෝජකයෙකු බොහෝ විට කරන්නේ අදාළ බැඳුම්කර නොවිකුණා "යන විදිහ" බලා සිටීමයි. සේවක අර්ථසාධක අරමුදලට සාමාන්‍යයෙන් ලොකු සල්ලි හදිස්සි ඇති නොවේ.

කෙසේ වුවද, මෙසේ බලා සිටීමෙන් වැඩක් වෙන්නේ ද්වීතියික වෙළදපොළ මිල රුපියල් 102.23 මට්ටම ඉක්මවා ඉහළ යන්නට ඉඩක් ඇත්නම් පමණි. එසේ බලා සිටිද්දී යම් හෙයකින් මිල තවත් පහත වැටුණොත් සිදුවන්නේ අලාභය තවත් වැඩි වීමයි.

රුපියල් 96.02 සිට රුපියල් 102.23 දක්වා බැඳුම්කරයක මිල ඉහළ යන්නට ඇති ඉඩකඩ එතරම් වැඩි නොවන බව පැහැදිලිය. එහෙත්, මේ මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමට සැලකිය යුතු ඉඩක් තිබේ. ද්වීතියික වෙළඳපොළ මිල තමන් ගෙවූ මිලට වඩා පහත වැටී "ඇනගෙන සිටින" ආයතනයකට අනුගමනය කළ හැකි එක් උපාය මාර්ගයක් වන්නේ තමන් මුලින් බැඳුම්කර මිලදී ගත් මිලට වැඩ අඩුමිලක් වන පවතින ද්වීතියික වෙළදපොල මිලට තවත් බැඳුම්කර මිල දී ගැනීම මඟින් තමන්ගේ ආයෝජන කළඹේ බරිත සාමාන්‍ය පිරිවැය අඩු කර ගැනීමයි.

උදාහරණයක් ලෙස රුපියල් 102.23ක බරිත සාමාන්‍ය මිලකට බිලියන දෙකක බැඳුම්කර මිලදී ගෙන සිටින සේවක අර්ථසාධක අරමුදලට පවතින වෙළඳපොළ මිල වන රුපියල් 96.02 බැගින් තවත් බිලියන දෙකක බැඳුම්කර මිල දී ගැනීමෙන් ආයෝජන කළඹේ බරිත සාමාන්‍ය පිරිවැය රුපියල් 99.12 දක්වා අඩු කර ගැනීමට පුළුවන. මේ මට්ටමට මිල ඉහළ යාමට ඇති ඉඩකඩ රුපියල් 102.23දක්වා මිල ඉහළ යාමට ඇති ඉඩකඩට වඩා වැඩිය. ඒ නිසා එසේ කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදලට වඩා ඉක්මණින් අලාභය පියවා ගැනීමට ඉඩක් සැලසෙන්නට පුළුවන.

වෙන්දේසියෙන් පසුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමෙන් තවත් බැඳුම්කර මිලදී ගැනීම මඟින් සේවක අර්ථසාධක අරමුදල අපේක්ෂා කළේ මෙවැනි දෙයක් විය හැකිය. ඒ නිසා ප්‍රාථමික වෙන්දේසියෙන් බැඳුම්කර මිලදී නොගෙන ද්වීතියික වෙළඳපොළෙන් පසුව මිලදී ගැනීම මහා අමුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මෙසේ වැඩිපුර බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව මිල තවත් අඩු වුවහොත් පාඩුව තවත් ඉහළ යන නිසා මෙවැන්නක් කළ යුත්තේ සැලකිල්ලෙනි.

මේ වෙන්දේසිය පමණක් සැලකුවහොත් වෙන්දේසියෙන් පසුව සේවක අර්ථසාධක අරමුදල විසින් ද්වීතියික වෙළදපොලෙන් බැඳුම්කර මිල දී ගන්නට ඇත්තේ රුපියල් 96ක පමණ මිලකට වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. වැඩිපුර බැඳුම්කර ප්‍රමාණයක් තිබුණේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සතුව නිසාත්, අඩුම මිලකට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගැනීමට උත්සාහ කළ හැකිව තිබුණේ අඩුම පිරිවැයක් ගෙවා බැඳුම්කර හිමි කරගත් ආයතනයෙන් වීමත් නිසා එම සමාගමෙන්ම මිල දී ගැනීමද තේරුම් ගත හැකි දෙයකි.

යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික වෙන්දේසියෙන් සෘජුව බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිල දී ගත්තේනම් එසේ මිල දී ගැනීමට බොහෝ දුරට ඉඩ තිබුණේ රුපියල් 100කට ආසන්න, රුපියල් 96 ඉක්මවන මිලකටය.එසේ වීනම්,අරමුදලේ පාඩුව මීට වඩා වැඩි විය හැකිව තිබුණි. ඒ නිසා ප්‍රාථමික වෙන්දේසියෙන් මිලදී නොගෙන පසුව ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගැනීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් වූයේය යන්න බොහෝ දුරට පදනම් විරහිත කතාවක් විය හැකිය.

කෙසේ වුවද, ලබා ගත හැකිව තිබුණු ලාභය ලබා නොගත්තේය යන අරුතින් සේවක අර්ථසාධක අරමුදල පාඩු ලබා ඇති බව බොරුවක් නොවේ. එහෙත්, ඒ පාඩුව සිදුවී ඇත්තේ තරඟකාරී නොවන අඩු මිලකට ආණ්ඩුවට ණය දීම නිසාය.

Sunday, November 13, 2016

අයවැය නව නිෂ්පාදනය- නාට්‍ය විචාරයක්

අයවැය නාට්‍යයේ අළුත් නිෂ්පාදනය පාර්ලිමේන්තුවේදී රඟදැක්විණි. වෙනදා වගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පිටපත ලියා තිබුණු අතර මුදල් ඇමතිවරයා සුපුරුදු පරිදි දෙබස් වරද්දමින් ප්‍රධාන චරිතය රඟපෑවේය. ඉකොනොමැට්ටා ආර්ථික විද්‍යාව මිස නාට්‍ය විචාරය හදාරා නැතත් මේ නාට්‍යය ගැන මොනවා හෝ නොලියාම බැරිය.

ප්‍රේක්ෂකයින්ගේ විසිල් බලාගෙන පිටපතට එකතු කර ඇති මුං ඇට, කඩල ජෝක් කෑලි වලින් අවධානය බිඳ නොගෙන අපි කෙලින්ම නාට්‍යයේ මූලික තේමාවට යමු.

රාජ්‍ය අයවැයක මූලික අරමුණ එළඹෙන වසරේ රජයේ ආදායම් වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමයි. පහත ඇත්තේ අයවැයේ හරය වන රජයේ ආදායම් වියදම් වල සාරාංශයයි.



මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය ඇස්තමේන්තු අනුව එළඹෙන 2017 වසරේදී රජයේ ආදායම මේ වසරට සාපේක්ෂව 26.5%කින් වැඩි වනු ඇත. මේ අනුව, බදු ආදායම 27.2%කින්ද, අනෙකුත් ආදායම් හා ප්‍රදාන 22.6%කින්ද වැඩි වීමට නියමිතය.

ආදායම 26.5%කින් වැඩි වෙද්දී රජය සිය වියදම් වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ 17%කින් පමණි. එයින්ද, පුනරාවර්තන වියදම් 9.9%කින් සුළුවෙන් වැඩි වන්නට ඉඩ හැරෙනු ඇති අතර ප්‍රාග්ධන වියදම් 41.6%කින් වැඩි කෙරෙනු ඇත. මේ අතරින් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් කෙරෙන ආයෝජන 22.6%කින්ද, යටිතලපහසුකම් ආයෝජන 47.3%කින්ද වැඩි කෙරෙනු ඇත. මෙසේ පුනරාවර්තන වියදම් සීමා කර ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම නිසා ඉදිරි වසර වලදී රජයේ ආදායම් වැඩිවී අයවැය හිඟය ක්‍රමයෙන් අඩුවනු ඇත.

බැලූ බැල්මට අයවැයේ මූලික ආකෘතියේ කියන්නට වැරැද්දක් නැත. එහෙත්, ප්‍රශ්නය තියෙන්නේ මේ සංඛ්‍යාලේඛණ තියෙන්නේ අයවැය නාට්‍ය පිටපතේ මිස සැබෑ ලෝකයේ නොවීමයි.

රාජ්‍ය ආදායම් 26.5%කින් වැඩි කර ගැනීම ප්‍රායෝගිකව ලඟා විය හැකි ඉලක්කයක් නොවේ. සාමාන්‍යයෙන් රටේ ආර්ථිකය වර්ධනය වන විට රජයේ ආදායම එම වේගයෙන් හෝ තරමක් වැඩි වේගයකින් වර්ධනය වේ. මේ අනුව, රජයේ ආදායමේ 5-6% ප්‍රමාණයේ වර්ධනයක් සිදු වනු ඇත. එමෙන්ම, උද්ධමනය හේතුවෙන් මිල මට්ටම් ඉහළ යන විට එයට අනුපාතිකව හෝ තරමක් අඩු වේගයකින් රජයේ ආදායම් ඉහළ යයි. මෙයද එක් කළ විට 10%ක පමණ ආදායම් වර්ධනයක් ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවේ. බදු ඉහල දැමීම මඟින් මේ ප්‍රතිශතය තවත් තරමක් වැඩි කර ගත හැකිවුවත්, 26.5% මට්ටමට යාම හිතන තරම් පහසු කරුණක් නොවේ.

ලංකාවේ බදු බොහොමයක්ම වක්‍ර බදුය. මේ බදු වැඩි කරන විට ඉල්ලුම අඩුවන නිසා බදු වැඩි කරන අනුපාතයෙන්ම බදු ආදායම් වැඩි නොවේ. ඕනෑවට වඩා බදු වැඩි කළොත් බදු ආදායම අඩු වන්නට වුවද පුළුවන. ප්‍රායෝගිකව රජයේ ආදායම් වැඩි වේයැයි සිතිය හැක්කේ 10-12% පමණ ප්‍රමාණයකිනි. එසේනම්, අයවැය හිඟය අපේක්ෂිත මට්ටමේ පවත්වාගනිමින් ඇස්තමේන්තුගත වියදම් ඒ අයුරින්ම කළ නොහැකි නිසා ඒ වියදම් වලින් කොටසක් කපන්නට සිදු වනු ඇත. මෙසේ කිරීමේදී, ප්‍රායෝගිකව කතුරට අහුවෙන්නේ නාස්තිකාර පුනරාවර්තන වියදම් නොවේ. කිසියම් හෝ අනාගත ප්‍රතිලාභයක් ලබාදෙන ප්‍රාග්ධන වියදම්ය. මෙය අද ඊයේ නොව වසර ගණනාවක් තිස්සේම ලංකාවේ සිදුවන දෙයකි.

මුදල් ඇමති වසරකට වරක් අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරයි. නාට්‍ය විචාරකයෝ මේ යෝජනා විශ්ලේෂණය කරති. කෙසේ වුවද, ඒ යෝජනා කියන හැටියට ක්‍රියාත්මක නොවේ. කිසිවකු පසු විපරමක් නොකරති. ඊළඟ වසරේ නැවතත් මේ දෙයම සිදු වේ.

පහතින් ඇත්තේ 2015 නොවැම්බරයේදී වත්මන් මුදල් ඇමති වරයා විසින් ඉදිරිපත් කළ 2016 වසර සඳහා වූ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තු හා එම ඇස්තමේන්තු 2016 නොවැම්බර් වන විට වෙනස් වී ඇති ආකාරයයි. සෑම වසරකම සිදුවන මේ දෙය මෙවරද එසේම සිදුවන්නට ලොකු ඉඩක් තිබේ. 



මේ වසරේ රජයේ ආදායම 38.5%කින් වැඩිවනු ඇතැයි 2015 නොවැම්බර් අයවැය කතාවේදී කියවුණත් වසරකට පසු කියන විදිහට ආදායම වැඩිවීමට නියමිතව ඇත්තේ 9.4%කින් පමණි. මුල් ඇස්තමේන්තුවට සාපේක්ෂව රජයේ ආදායම 19%කින් අඩු වී ඇත. එසේනම්, වියදමද අඩු නොකර නොහැක. කෙසේ වුවද, වියදම අඩුවන්නේ 16.5%කින් පමණි. එයින්ද, පුනරාවර්තන වියදම් අඩුවන්නේ මුල් ඇස්තමේන්තුවට වඩා 4.5%කින් පමණි. ප්‍රාග්ධන වියදම් 42.4%කින් අඩු වී ඇති අතර අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කර ඇත්තේ මුලින් කිවු ගණනට වඩා 45.2%ක් අඩුවෙනි. යටිතලපහසුකම් ආයෝජනද 41.5%කින් අඩු වී ඇත. එසේනම්, ලබන වසරේදී කියන විදිහටම කටයුතු සිදුවෙයිද?

නාට්‍ය පිටපතක් පමණක්ම වන ලංකාවේ අයවැය ගැන කතා කරන්නට කාලය යෙදවීමත් තේරුමක් නැති වැඩකි.


(Image: http://www.asiantribune.com/node/88206)

Wednesday, August 31, 2016

ආණ්ඩුව නැත්නම් ආයෝජන නැද්ද?

ලංකාව විසින් දශක ගණනක් පුරා දිගින් දිගටම ලබා ගත් විදෙස් ණය හේතුවෙන් මේ වන විට ලංකාව ණය උගුලක පැටලී සිටින බව රජය විසින් නිල වශයෙන්ම පිළිගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් පහසුකමේ උදවුවෙන් තාවකාලිකව ගොඩ දාගෙන සිටියත් දිගුකාලීනව ප්‍රශ්නය එසේමය.

ලංකාව ණය උගුලක පැටලුනේ රටේ ආදායම ඉක්මවා වියදම් කළ බැවිනි. එසේ කරන්නට සිදුවුනේ සුබසාධන වියදම් වැඩි නිසා බව කියවෙතත්, ලංකාව මෙන් ලෝකයට ණය නැති අධික සුබසාධන වියදම් සහිත රටවල්ද තිබේ. වෙනස තියෙන්නේ සුබසාධනය වෙනුවෙන් වියදම් කිරීමේ නොව සුබසාධනය හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් ආදායමට වඩා වියදම් කිරීමෙහිය.

ලංකාවට මෙසේ ආදායමට වඩා වියදම් කිරීමට සිදුවී තිබීම සාධාරණීකරනය කෙරෙන එක් තර්කයක් වන්නේ රටේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කරන මට්ටමට ආයෝජන කිරීමට තරම් ප්‍රාග්ධනය රට තුල නැති බවයි. ඒ නිසා ණය ගන්නට සිදුවේ. (නැත්නම් ආයෝජකයින් පස්සේ යන්නට සිදුවේ.)

තර්කයක් ලෙස ඉහත කතාවේ වැරැද්දක් නැත. ණය ගැනීම යනු පුද්ගලයෙකු හෝ රටක් කිසිවිටක නොකළ යුතු මහා නරක දෙයක් නොවේ. ණය ගැනීමේ ප්‍රතිපලය තීරණය වන්නේ එසේ ගත් ණය වියදම් කරන ආකාරය අනුවය. ණය ගත් විට ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය. එහෙත්, ගත් ණය ආයෝජනය කර ලැබෙන ආදායම ණය හා පොලිය ගෙවා තවත් ගණනක් ඉතිරි කර ගැනීමටත් ප්‍රමාණවත්නම් ණය ගැනීමෙන් දිගුකාලීනව සිදුවන්නේ යහපතකි. අළුතින් ණය ගන්නා හැම විටකම ලංකාවේ රජය ණය ලබා දෙන්නන්ට කියන්නේත්, රටේ ජීවත් වන අයට කියන්නේත් එය එසේ වන බවයි.

පහත කොටස මගේ පසුගිය ලිපියෙනි.

"ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?

පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?"


රටවැසියන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගැනීමට ඉඩ දෙන අතරම, ජාතික ඉතිරි කිරීම් ඉක්මවා දිගින් දිගටම ආයෝජන ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ලංකාවට හැකිවී තිබෙන්නේ දිගින් දිගටම විදෙස් ණය ගැනීම මඟිනි. මෙසේ දිගින් දිගටම ආදායම ඉක්මවා විදෙස් ණය ගැනීම හේතුවෙන් විදෙස් ණය මල්ල අවුරුදු පතා ලොකු වේ.

පහත පළමු ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ලංකාවේ ආයෝජන අනුපාතය හා ජාතික ඉතිරිකිරීම් අනුපාතයයි. ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු රටේ ජාතික ආදායමෙන් පරිභෝජන වියදම් ඉවත් කළ විට ඉතිරි වන කොටසයි. බාහිර ප්‍රාග්ධනය රට තුළට නොපැමිණේනම් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉතිරිවන්නේ මේ කොටස පමණි.





ප්‍රස්ථාරයේ පෙනෙන පරිදි ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම රටේ ජාතික ඉතිරිකිරීම් ඉක්මවා ආයෝජන සිදු කර තිබේ. ඒ ණය ගැනීම මඟිනි. එසේනම්, එහි ඇති වරද කුමක්ද?

පළමුව බැලිය යුත්තේ මෙසේ ණය ලබා ගනිමින් ආයෝජන සිදු කිරීමෙන් වැඩක් සිදුවී ඇත්ද යන්නයි. ආයෝජන අනුපාතය හා ජාතික ආදායම වර්ධනය වීම අතර ඇති සම්බන්ධය එක් වසරකට සීමා වූ සරල සම්බන්ධයක් නොවේ. එහෙත්, එක් එක් වසර තුළ මේ විචල්‍යයන් දෙකේ හැසිරීම සරල ලෙස හැදෑරීමෙන් වුවද එසේ 'වැඩක් වී ඇති බව' පැහැදිලිය.




පහත දෙවන ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි යම් වසරක් තුළ ලංකාවේ ආයෝජන අනුපාතය 10%කින් වැඩිවන විට ආර්ථික වර්ධනය 1.5%කින් පමණ වැඩි වී තිබේ. ණය වෙනුවෙන් ගෙවන පොලිය ආදායම් වර්ධනයට වඩා අඩුනම් වැඩේ නරක නැත. එසේනම්, කළ යුත්තේ ණය වී හෝ ආයෝජනය කිරීමද? ලංකාවේ ආණ්ඩු ලෝකයට ණය නොවේනම් රටට ගොඩ යාමට වෙන විදිහක් නැද්ද?

රටක ජාතික ඉතිරිකිරීම් හැදෙන්නේ කොටස් දෙකකිනි. ඒ පෞද්ගලික ඉතිරි කිරීම් හා රාජ්‍ය ඉතිරි කිරීම්ය. පෞද්ගලික ඉතිරිකිරීම් යනු ගෘහස්ථ ඒකක වල පුද්ගලයින් විසින් බදු ගෙවීමෙන් අනතුරුව කරන (ශුද්ධ) ඉතිරි කිරීම් හා සමාගම් මඟින් බදු ගෙවීමෙන් පසුව (ලාභ ලාභාංශ ලෙස බෙදා නොදී) කරන ඉතිරි කිරීම්ය. රාජ්‍ය ඉතිරි කිරීම් යනු රජයේ බදු හා වෙනත් ආදායම් වලින් රජයේ වියදම් පියවූ පසු ඉතිරි වන කොටසයි.

ලංකාවේ රාජ්‍ය ආදායම වියදමට වඩා අඩු නිසා රාජ්‍ය ඉතිරි කිරීම් සෘණ අගයකි. ඒ නිසා ලංකාවේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු පෞද්ගලික ඉතිරිකිරීම් අනුපාතයෙන් අයවැය හිඟය අඩු කළ විට ඉතිරිවන කොටසයි. වෙනත් විදිහකින් කියනවානම් රජයේ අයවැය හිඟය ශුන්‍ය වී රාජ්‍ය ඉතිරි කිරීම්ද ශුන්‍ය වුවහොත් රටේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය පවතින අගයට වඩා බොහෝ වැඩි වනු ඇත.

පහත තෙවන ප්‍රස්ථාරයේ පෙන්වා ඇත්තේ ලංකාවේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය සහ ආයෝජන අනුපාතයයි. එසේනම්, රටට විදෙස් ණය අවශ්‍ය වී තියෙන්නේ රට තුළ ප්‍රාග්ධනය නැති නිසාද? එසේ නැත්නම් පෞද්ගලික අංශයට අකාර්යක්ෂම රජයක් නඩත්තු කිරීමට සිදු වී ඇති නිසාද? 



Monday, August 22, 2016

නැති සල්ලි වියදම් කරන්නේ කොහොමද?


 
වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරය ගැන අපි පෙර ලිපි දෙකකින් කතා කළෙමු. එහිදී, මම තා සරල ආකෘතියක් වන චක්‍රීය ප්‍රවාහ ආකෘතිය හඳුන්වා දුන්නෙමි. මේ ආකෘතිය අනුව, පුද්ගලයකුට තමන් සතු නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය 'කුලියට දී' ආදායමක් ලබා ගත හැකිය. ඒ අනුව, ව්‍යාපාර අංශයේ කාර්යක්ෂමතාව වෙනස් නොවේනම්, පුද්ගලයෙකුට  සිය ආදායම වැඩි කර ගත හැක්කේ තමන් සතු නිෂ්පාදන සාධක වැඩි කර ගැනීමෙනි.

කෙසේවුවද, ශ්‍රම සාධකය ප්‍රමාණාත්මකව වැඩි කර ගැනීම අපහසුය. මිනිසෙකුට වැය කළ හැකි භෞතික ශ්‍රමය වැඩි කළ හැක්කේ ඉතා සීමිතවය. එවිට ඉතිරි වන්නේ ප්‍රාග්ධනයයි. ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ කෙසේද?

පුද්ගලයෙකුට සිය ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ ලැබෙන ආදායමෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කිරීම මඟිනි. පුද්ගල ඒකක රැසක එකතුවක් ලෙස සැලකිය හැකි රටකටද මේ කරුණ අදාළය. මෙසේ ඉතිරි කළ යුත්තේ පුද්ගලයෙකුගේ හෝ රටක ආදායමෙන් කොපමණ කොටසක්ද?

යමෙකුගේ ආදායමෙන් වැඩි කොටසක් ඉතිරි කිරීම යනු වත්මන් පරිභෝජනය දැඩි ලෙස සීමා කිරීමකි. යමෙකු එසේ කිරීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් අනාගත පරිභෝජනය වැඩි කර ගැනීමේ අරමුණෙනි. කෙසේවුවද, පුද්ගලයෙකු මෙය කරන්නේ සිය වත්මන් පරිභෝජනය හා අනාගත පරිභෝජනය කිසියම් අයුරකින් සමතුලිත වන ලෙසිනි. වැඩිපුර ඉතිරිකර, වැඩිපුර ආයෝජනය කිරීමෙන් අනාගත ආදායම් ඉහළ නංවාගෙන අනාගත පරිභෝජනය වැඩි කර ගත හැකිය. එහෙත්, අද ඉතිරි කළ පමණින්ම අනාගත ආදායම් වැඩි වෙනවාද?

මෙය තීරණය වන්නේ ඉතිරි කරන ප්‍රමාණය අනුවය. පුද්ගලයෙකු හෝ රටක් සතු ප්‍රාග්ධනය සදාකාලිකවම එලෙසම පවතින්නේ නැත. කාලයත් සමඟ ප්‍රාග්ධන සම්පත් ක්ෂය වී යයි. මෙය භෞතික සම්පත් වලට මෙන්ම මානව සම්පත් වලටද පොදුය. ඒ නිසා, එසේ අඩුවන ප්‍රාග්ධන සම්පත් නැවත ප්‍රතිස්ථාපනය නොකළහොත් පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් තත්ත්වයද කාලයත් සමඟ ක්ෂය වෙයි. මෙය වලක්වා ගැනීමටනම් අඩුම වශයෙන් එසේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත ප්‍රතිස්ථාපනය කළ හැකි මට්ටමටවත් ඉතිරි කිරීම් අවශ්‍ය වේ. ආයෝජන වැඩි කිරීමෙන් ආදායම් ඉහළ නංවා ගත හැක්කේ මේ මට්ටම ඉක්මවා ඉතිරි කර ආයෝජනය කිරීමෙනි. එහෙත්, ඒ සඳහා වත්මන් පරිභෝජනය කැප කළ යුතුය.

ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?

පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?

අනෙක් පැත්තෙන් මෙයින් පෙනෙන්නේ අපේ ආනයන අපනයන පරතරයයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.4කි. අප නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා පරිභෝජනය (හෝ ආයෝජනය) කරනවානම් එසේ කිරීමට හැකි වන පරිදි භාණ්ඩ හා සේවා රට තුළට පැමිණිය යුතුය. ආනයන අපනයන අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින්නේ අපේ නිෂ්පාදනය (ආදායම්) හා වියදම් අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින බැවිනි. මේ පරතරය තිබෙන තුරු අපට කොහෙන් හෝ විදේශ විණිමය හොයන්නට සිදුවේ. විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වලින් එයින් කොටසක් පියවේ. ඉතිරිය පියවෙන්නේ දිගින් දිගටම වැඩි වන විදෙස් ණය වලිනි.

ආයෝජන අඩුකිරීම යනු අනාගත ආර්ථික වර්ධනයට රිදවීමකි. පරිභෝජනය අඩු කරන්නට සමාජය සූදානම් නැත. එසේනම්, පවතින තත්ත්වය තුළ, පරිභෝජනය අඩු නොකර ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා රජයන් විසින් දිගින් දිගටම විදෙස් ණය ගැනීමේ වරදක් තිබේද? වෙනත් විදිහකට කියනවානම්, ලංකාවේ රජයන්ට දිගින් දිගටම විදෙස් ණය ගන්නට වී තිබෙන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය මට්ටමට ආයෝජන කිරීමට තරම් දේශීය ඉතිරි කිරීම් නැති නිසාද?

මේ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු. 


(Image: www.financialexpress.com)