Showing posts with label මධ්‍යගත සැලසුම්. Show all posts
Showing posts with label මධ්‍යගත සැලසුම්. Show all posts
Saturday, November 4, 2017
සමාන වැටුප් සමානද?
වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක සියලුම ශ්‍රමිකයින්ට සමාන වැටුප් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට, කිසියම් ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප තීරණය වන්නේ අදාළ ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය මතය. එහෙත්, මෙය ස්වභාවික ලෙසම සිදුවන දෙයක් මිස කිසිවකුගේ සැලසුමක් අනුව සිදුවන්නක් නොවේ.
එසේනම්, ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය තීරණය වන්නේ කෙසේද? ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය යනු අදාළ ශ්‍රමිකයා කිසියම් නිෂ්පාදන කාර්යයකට සම්බන්ධ වීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකමයි. මෙය හඳුන්වන්නේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය වශයෙනි. ශ්‍රමිකයා විසින් තමන් විසින් ලබා දෙන ශ්‍රමයේ ප්‍රමාණය තීරණය කරයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගන්නා තාක්ෂනය හා ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය අනුව මේ ශ්‍රමිකයා විසින් එකතු කළ ශ්‍රමය හේතුවෙන් ඉහළ යන නිෂ්පාදිතය තීරණය වෙයි. පාරිභෝගිකයෝ නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම තීරණය කරති.
වෙළඳපොළ ආර්ථිකයක් තුළ කිසියම් නිෂ්පාදන කාර්යයක නියැලෙන සමාගම් කටයුතු කරන්නේ තමන්ගේ ලාභ හැකිතාක් වැඩි කර ගැනීම ඉලක්ක කර ගනිමිනි. එවැනි සමාගමකට කිසියම් ශ්‍රමිකයෙකුගේ ශ්‍රමයේ ඵලදායීතාවය ඉක්මවන වැටුපක් ශ්‍රමිකයෙකුට ගෙවිය නොහැකිය. ඒ නිසා, ලබා ගන්නා වැටුපට ප්‍රමාණවත් තරම් නිෂ්පාදන දායකත්වයක් ලබා නොදෙන ශ්‍රමිකයින්ගේ වැටුප් අඩු කිරීමට හෝ ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට සමාගමකට සිදු වේ. එබැවින්, නිදහස් වෙළඳපොළක අකාර්යක්ෂම සේවකයෙකුට දිගුකාලීන පැවැත්මක් නැත.
නිදහස් වෙළඳපොළක නිෂ්පාදන කාර්යයක නියැලෙන සමාගමකට සිය ශ්‍රමිකයින්ගේ ඵලදායීතාවයට සරිලන වැටුපක් නොගෙවා සිය ලාභ ඉහළ නංවා ගත හැකිද? මෙයද දිගුකාලීනව සිදු නොවිය හැක්කකි.
සමාගම් ලාභ වැඩි කර ගැනීමට උත්සාහ කරනවාක් මෙන්ම ශ්‍රමිකයෝ හැකිතාක් සිය වැටුප් වැඩි කර ගැනීමට උත්සාහ දරති. ඒ නිසා, දැනට සේවය කරන සමාගමෙන් සිය නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුපක් නොලැබෙන විට වැඩි වැටුප් ගෙවන වෙනත් තරඟකාරී සමාගමක් වෙත යාමට ශ්‍රමිකයෝ පෙළඹෙති. අදාළ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැත්නම් තමන්ගේ ඵලදායීතාවයට සරිලන වැටුපක් හිමිවන තුරු ශ්‍රමිකයෙකුට සමාගම් අතර මාරු විය හැකිය. මේ නිසා කිසියම් ශ්‍රමිකයෙකුට සිය නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුපක් නොලැබී යන්නේද නැත.
ශ්‍රමිකයින් වැඩි වැටුප් සෙවීමේත්, සමාගම් විසින් වැඩි ලාබ සෙවීමේත් ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් සියලුම ශ්‍රමිකයන්ගේ වැටුප් ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායීතාවයට සමාන වෙයි.
ඇතැම් විට කිසියම් ශ්‍රමිකයෙකු වෙනත් ආයතනයක් තුළ දැන් සේවය සපයන ආයතනයේදීට වඩා ඵලදායී වන්නට පුළුවන. වෙනත් අයුරකින් කියනවානම් දැන් සපයන ශ්‍රමයම වෙනත් ආයතනකට ලබාදී වැඩි නිෂ්පාදිත වටිනාකමක් එකතු කරන්නටත්, වැඩි වැටුපක් ලබන්නටත් ශ්‍රමිකයෙකුට හැකි වන්නට පුළුවන. ඒ, නිෂ්පාදන තාක්ෂනය සමාගමෙන් සමාගමට වෙනස් විය හැකි නිසාය. මෙවැනි හැකියාවක් ඇති විටද ශ්‍රමිකයෝ රැකියා මාරු කරති. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ කිසිවෙකුගේ මධ්‍යගත සැලසුමකින් තොරවම, එක් එක් ශ්‍රමිකයා තමන්ට වඩාත්ම කාර්යක්ෂම විය හැකි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමයි.
භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය කරන්නේ පාරිභෝගිකයින් විසින් නිසා සමාගමකට හිතුමතේ මිල වැඩි කර ලාභ වැඩි කරගත නොහැකිය. එසේ කළහොත්, පාරිභෝගිකයින් වෙනත් තරඟකාරී සමාගමක් වෙත යොමු වන්නට ඉඩ ඇති නිසා දැනට ලැබෙන ආදායමත් අඩු වී පාඩු විඳින්නට විය හැකිය. එමෙන්ම, කිසියම් ශ්‍රමිකයෙකුට ඔහුගේ හෝ ඇයගේ නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුප් නොගෙවා ලාබ ලැබීමේ හැකියාවක්ද නැත. එසේ කළහොත්, ඔවුන් සමාගමෙන් ඉවත් වී වෙනත් තරඟකාරී සමාගමකට සේවය සපයන්නට ඉඩ තිබේ.
නිදහස් වෙළඳපොළක කිසියම් නිෂ්පාදන කාර්යයක නියැලෙන තරඟකාරී සමාගමකට සාමාන්‍යයෙන් උපයාගත හැක්කේ සිය ප්‍රාග්ධන ආයෝජනයට සරිලන ලාභයක් පමණි. මේ නිසි ලාභයනම් කිසියම් අයෙකු විසින් එකතු කළ ප්රාග්ධනය හේතුවෙන් ඉහළ ගිය නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකමයි. මෙය හඳුන්වන්නේ ප්රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය වශයෙනි. ප්රාග්ධනය සපයාගෙන තිබෙන්නේ බැංකු ණයක් වැනි ක්‍රමයකින්නම් මේ කොටස ණය පොලී ලෙස වැයවේ. එසේ නැත්නම් කොටස් හිමියන්ගේ ලාභ ලෙස ඉතිරි වේ. ඊට වඩා වැඩි ලාභයක් ලබා ගත හැක්කේ තමන්ගේ ව්‍යවසායකත්වය තුළින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමෙන් පමණි. සමාගමක සැබෑ ලාභ ලෙස සැලකිය හැක්කේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය හා ප්රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය වෙන් කිරීමෙන් පසුවද තවත් ලාභ ඉතිරි වන්නේනම් එවැනි අතිරික්ත ඉතිරියක් පමණි.
වෙළඳපොළ ආර්ථිකයක වඩාත්ම වැදගත් පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ පාරිභෝගිකයාය. පළමුව භාණ්ඩයක හෝ සේවාවක මිලත්, දෙවනුව සමාගම් වල ලාභත්, තෙවනුව ශ්‍රමය හා ප්රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභත් තීරණය කරන්නේ පාරිභෝගිකයා විසිනි. ඒ නිසා වෙළදපොළ තරඟය යනු පාරිභෝගිකයා සතුටෙන් තැබීමට කරන තරඟයකි. වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ සමාජයේ සියලු දෙනා විසින්ම අනෙකාව සතුටෙන් තබන්නට මහන්සි වෙන, අනෙකාගේ රුචිඅරුචිකම් ගැන සොයා බලන්නට උනන්දු කරවන සමාජ සැකසුමකි. එසේ නැතුව, තමන් තනියෙන් ගොඩ යන්නට හදන ක්‍රමයක් නොවේ.
වෙළඳපොළ ආර්ථිකයක් තුළ ඕනෑම නිෂ්පාදන කාර්යයක යෙදෙන අයෙකුට තමන්ගේ ශ්‍රමය, ප්රාග්ධනය හෝ ව්‍යවසායකත්වය වෙනුවෙන් ලැබෙන ප්රතිලාභ ඉහළ යන්නේ අනෙකා ධනවත් වූ තරමටය. ඒ නිසා, කවුරු හෝ ධනවත් වන විට ධනවාදියෙකු සතුටු වේ. වැඩි දෙනෙකු ධනවත් වන විට වැඩියෙන් සතුටු වේ.
ධනවාදය තුළ සියලු මිනිසුන්ගේ රුචිඅරුචිකම් සමාන නොවන බව පිළිගැනේ. ඒ නිසා, එකම භාණ්ඩයට හෝ සේවාවට විවිධ පුද්ගලයින් විසින් වෙනස් වටිනාකම් දීම ධනවාදියෙකුට ප්‍රශ්නයක් නොවේ.
එහෙත්, ඉහත තත්ත්වය භෞතිකවාදියෙකු විසින් දකින්නේ විඥානවාදී අදහසක් ලෙසිනි. භෞතිකවාදියෙකු වූ කාල් මාක්ස්ටද පුද්ගලයින්ගේ රුචිඅරුචිකම් වල වෙනස්වීම් මත භාණ්ඩයක වටිනාකම (හා මිල) තීරණය වීම පිළිගත නොහැකි කරුණක් විය. ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය ඇතැම් දේවල් මුදලට නොවිකිණෙන අතර එතරම් විශාල ප්රයෝජ්ය අගයක් නැති දේවල් සැලකිය යුතු මිලකට විකිණෙන්නේ ඇයිද යන්න ඔහුට ගැටලුවක් විය. ඒ නිසා, භාණ්ඩයක සැබෑ මිල සඳහා පුද්ගලයින් මත තීරණය නොවන නිරපේක්ෂ අර්ථදැක්වීමක් සොයන්නට ඔහු උත්සාහ කළේය.
කාල් මාක්ස්ගේ උත්සාහය ගොන්පාර්ට් එකක් නොවේ. ඔහු එතෙක් මේ හා අදාළව සියවස් ගණනක් පුරා සිදු කෙරුණු අධ්‍යයනයන් හදාරා සිටි, තමන් ජීවත්ව සිටි කාලයේ නිෂ්පාදන බලවේග හැසිරුණු ආකාරය ගැන පැහැදිලි දැනීමක් තිබූ විද්වතෙකි. එහෙත්, ඔහු පළමුව භෞතිකවාදයේත් වඩා සීමිත අවස්ථාවක් ලෙස සැලකිය හැකි ද්‍රව්‍යවාදය තුළත්, දෙවනුව "සියලුම මිනිසුන් සමානය" යන දාර්ශනික (හෝ ආගමික) විශ්වාසය තුළත් හිර වී සිටියේය. ඒ නිසා, ඔහුගේ සම්පූර්ණ ප්රවාදයම ගොඩ නැඟුණේ මේ සීමාවන් ඇතුළේය. මාක්ස්වාදයේ මූලික උපකල්පන සමඟ එකඟ විය හැකි අයෙකුට එහි අනෙකුත් ගොඩනැඟුම් සමඟ එකඟ වීම අපහසු කරුණක් නොවේ.
මාක්ස්ගේ ප්‍රවාදය අනුව ස්වභාව ධර්මයේ ඇති දෙයක ප්රයෝජ්ය වටිනාකමක් තිබුණත් ආර්ථික වටිනාකමක් නැත. එවැනි භාණ්ඩයකට ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඒ වෙනුවෙන් වැය කරන මිනිස් ශ්‍රමයේ ප්‍රමාණයටය. උදාහරණයක් ලෙස පැත්තක තිබෙන ලොකු කළුගලක ආර්ථික වටිනාකමක් නැති අතර කිසියම් අයෙකු කුළුගෙඩි පහර යොදා ඒ ලොකු ගල කුඩා සක්ක කැබලි බවට පරිවර්තනය කළ විට සක්ක කැබලි වලට ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ ඒ වෙනුවෙන් වැය කළ ශ්‍රමය නිසාය. මේ වටිනාකම ගල් කැඩීම වෙනුවෙන් වැය කළ ශ්රමයට, එනම් ශ්‍රමිකයෙකු හෝ ශ්‍රමිකයින් විසින් ශ්‍රමය යෙදවූ පැය ගණනට සමානුපාතිකය.
සියලුම මිනිසුන් සමානනම් සියලුම මිනිසුන්ගේ පැයක ශ්‍රමයේ වටිනාකමද සමාන විය යුතුය. මේ පදනම මත, මාක්ස්වාදියෙකුට ඕනෑම භාණ්ඩයක ආර්ථික වටිනාකම එම භාණ්ඩය නිපදවීම සඳහා වැය කළ මිනිස් පැය ගණන අනුව තීරණය කළ හැකිය. එමෙන්ම, වෙනස් භාණ්ඩ වල එකිනෙකට සාපේක්ෂ වටිනාකම්ද තීරණය කළ හැකිය.
කෙසේ වුවද, මේ ප්‍රවාදය සමඟ ඉදිරියට යන මාක්ස්ට මුහුණ දෙන්නට වන පළමු ප්රශ්නය සියලුම මිනිසුන් එක තරමට කාර්යක්ෂම නොවීමයි. එක් ශ්‍රමිකයෙකු පැයකට ගල් පෙට්ටියක් කඩන විට දෙවැන්නෙකු ඒ සඳහා පැය දෙකක් ගත කරයි. ඉහත මූලික ප්‍රවාදය අනුව, දෙවැන්නා විසින් කඩන ගල් දෙගුණයක් වටින්නේ විය යුතුය. එහෙත්, එය එසේ විය නොහැකිය.
මෙයට විසඳුමක් ලෙස කාල් මාක්ස් විසින් නිෂ්පාදනය සඳහා යෙදවිය යුතු සාමාන්‍ය ශ්‍රමය යන අදහස ඉදිරිපත් කරයි. මේ අනුව, පළමුවැන්නා හා දෙවැන්නා විසින් කඩන ගල් ආර්ථික වටිනාකම අනුව වෙනස් ලෙස නොසැලකේ. දෙදෙනා විසින් එකතුව පැයක් තුළ ගල්පෙට්ටි 1.5ක් කඩන නිසා ගල් පෙට්ටියක වටිනාකම ශ්‍රම ඒකක 1.33ක් (=2/1.5) ලෙස සැලකීම විසඳුමකි. ඒ අනුව, මේ දෙදෙනාටම ඔවුන්ගේ පැයක ශ්‍රමය වෙනුවෙන් ගල් පෙට්ටි 1.33ක වටිනාකමට සමාන මුදලක් ගෙවීම මාක්ස්වාදීන්ගේ ක්‍රමයයි. එහෙත්, ධනවාදී ආර්ථිකයකනම් සිදුවන්නේ දෙවැන්නාට පළමුවැන්නා මෙන් දෙගුණයක ආදායමක් ලැබීමයි.
දෙවනුව මතු වන ප්රශ්නය වන්නේ කිසිවකුට වැඩක් නැති කාර්යයක් සඳහා යොදවන ශ්‍රමය වෙනුවෙන්ද මුදල් ගෙවිය යුතුද යන්නයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මාක්ස්වාදය තුළ "ඵලදායී නිෂ්පාදන කාර්යයක් සඳහා වැය කෙරෙන ශ්‍රමය" යනුවෙන් විශේෂණයක් යෙදේ. මේ අනුව, මාක්ස්වාදී ආර්ථිකයක් යටතේ ශ්‍රමිකයින්ට තමන් විසින් ලබා දෙන නිෂ්පාදන දායකත්වය මත නොව ශ්‍රමය වැය කරන කාලය අනුව වැටුප් හිමිවේ. එහෙත්, ඒ සඳහා ඵලදායී නිෂ්පාදන කාර්යයක යෙදීමද අවශ්‍ය වේ.
මේ "ඵලදායී නිෂ්පාදන කාර්යයක්" යන්න තවත් අතුරු ප්‍රශ්නයක් මතු කරයි. වෙළඳපොළ ආර්ථිකයක් තුළ සිදුකෙරෙන කිසියම් නිෂ්පාදන කාර්යයක ඵලදායීත්වය වෙළඳපොළ යාන්ත්‍රණය තුළම පරීක්ෂාවට ලක් වේ. ධනවාදී ආර්ථිකයක විකිණිය නොහැකි භාණ්ඩයක් නිපදවීමට යොදන ශ්‍රමය ඵලදායී නොවන ශ්රමයකි. එහෙත්, සමාජවාදී ආර්ථිකයක මෙවැනි පරීක්ෂාවක් සිදුවිය හැකි ස්වභාවික යාන්ත්‍රණයක් නැති නිසා රටේ නිෂ්පාදන සැලසුම මධ්‍යගත ලෙස සැලසුම් කරන අයෙකුට මෙය තීරණය කරන්නට සිදුවේ.
ඉහත උදාහරණයේ ගල් කඩන්නන් දෙදෙනා මෙන් සමාජවාදී රටක පැයක් තුළ ගල් පෙට්ටියක් කඩන අයෙකුටත්, ගල් පෙට්ටි දෙකක් කඩන අයකුටත් ලැබෙන්නේ සමාන වැටුපකි. මෙහි ප්‍රතිඵලය වන්නේ දෙවැන්නා අධෛර්යමත් වී ඔහුත් පළමුවැන්නා මෙන් අඩුවෙන් ගල් කඩන්නට පෙළඹීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සිදුවිය හැකිව තිබුණු නිෂ්පාදනයක් සිදු නොවීමයි. සමාජවාදී ආර්ථිකයන් අකාර්යක්ෂම වන්නේ මේ හේතුව නිසාය.
වෙළඳපොළ යාන්ත්‍රණයක් යටතේ සමාගම් විසින් නිෂ්පාදන කාර්යයෙහි නියැලෙන විට හැම විටම ලාබ වැඩි කරගැනීමට උත්සාහ කළත්, රජය විසින් මධ්‍යගත ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවන විට එවැන්නක් සිදු නොවේ. එහෙත්, එසේ වූ පමණින් ශ්‍රමිකයින් වැඩි වාසි හොයන්නට උත්සාහ කිරීම නවත්වන්නේ නැත. සමාජ ක්‍රමය ධනවාදී වුවත්, සමාජවාදී වුවත් ස්වඅභිමතාර්ථය පිණිස කටයුතු කිරීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි.
ධනවාදී රටකදී මෙන් සමාජවාදී රටකදී ශ්‍රමිකයෙකුට රැකියා ස්ථානය මාරු කර වැටුප් වැඩි කර ගත නොහැකිය. සමාජවාදී රටවල පමණක් නොව ධනවාදී රටවල පවා රජයේ රැකියා කරන්නන්ට ලැබෙන්නේ නිශ්චිත වැටුපකි. එය ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායීතාවය අනුව වෙනස් වන්නේ නැත. එසේ නැත්නම්, වෙනස් වන්නේ ඉතා අඩුවෙනි. මෙවැනි තත්ත්වයක ශ්‍රමිකයින් රැකියා තෝරාගන්නේ කවර පදනමකින්ද? ආර්ථික සාධක මෙහිදී වැදගත් වන්නේ නැද්ද?
පැරණි සෝවියට් දේශයේ ශ්‍රමිකයින්ගේ හැසිරීම අධ්‍යයනය කරමින් සිදු කර ඇති පර්යේෂණ අනුව පෙනී යන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ ආර්ථික සාධක වෙනත් ආකාර වලින් ක්‍රියාත්මක වී ඇති බවයි. ලංකාවේ වත්මන් රාජ්‍ය සේවය දෙස බැලූ විටද මේ තත්ත්වයන් හඳුනාගත හැකිය. සමාන වැටුප් ලැබෙන සමාජ ආකෘතියක් යටතේ වැඩි ආදායම් ඉපැයීම සඳහා ශ්‍රමිකයින් ක්‍රියාකර ඇති ආකාර තුනක් මෙසේය.
1. අඩු පැය ගණනක් වැඩ කිරීම: මෙසේ කිරීමෙන් පැයක ශ්‍රමයේ වටිනාකම ඉහළ යයි.
2. වෙනත් නීත්‍යානුකූල නොවන ආදායම් ඉපැයීම: අල්ලස් ආදිය
3. පොදු දේපොළ හොරකම් කිරීම
මෙහිදී සිදු වී ඇත්තේ ශ්‍රමිකයින්ට වැඩි වැටුප් ගෙවන තැන් සෙවීම තේරීමක්ව නොතිබුණු පසුබිමක ඔවුන් විසින් අඩුවෙන් වැඩ කළ හැකි, වෙනත් ආදායම් හෙවිය හැකි හා පොදු දේපොළ හොරකම් කරන්නට ඉඩ සැලසෙන රැකියා හොයන්නට උත්සුක වීමයි. මේ කටයුතු වලදී කාර්යක්ෂම වූ අය සමාන වැටුප් ලබන්නන් අතරින් "වඩා සමාන වැටුප්" ලබා තිබේ.
Labels:
කාල් මාක්ස්,
මධ්‍යගත සැලසුම්,
ශ්‍රම වෙළඳපොළ,
ශ්‍රමය,
සමාජවාදය
Monday, May 23, 2016
ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (සිවුවන කොටස)
ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන කරන කතිකාවකදී ජයවර්ධන රජයේ ආර්ථික ප්‍රතිපත්ති මඟ හැර යා නොහැකිය. එක් අතෙකින්, නිදහසින් පසු ආර්ථික ප්‍රතිපත්තියේ දැනෙන වෙනසක් කළේ ජයවර්ධන රජයයි. අනෙක් අතින්, එතැන් සිට අද දක්වා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් මේ ආර්ථික ආකෘතියෙන් බැහැර වී නැත. සිදු වී ඇත්තේ සුළු අපගමනයන් පමණි.
ජයවර්ධන රජය විසින් ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේය යන්න ජනප්‍රිය අදහසකි. ඇත්තටම ඉතිහාසය පුරා ලංකාවේ තිබුණේ විවෘත ආර්ථිකයකි. මේ විවෘත ආර්ථිකය සංවෘත ආර්ථිකයක් බවට පත් කිරීමට නිදහසින් පසු ලංකාව පාලනය කළ ඇතැම් පාලකයින් කටයුතු කර තිබුණේය. එමෙන්ම, ජේආර් ජයවර්ධනට රාජ්‍ය බලය ලැබෙන විට රටේ ජනතාවට හොඳ දෙය ඒ ජනතාවට වඩා හොඳින් දන්නේයැයි සිතා සිටි ටික දෙනෙකු විසින් මධ්‍යගත ලෙස සැලසුම් කිරීම කරාද රට යොමු වෙමින් පැවතුණේය.
ජේආර් ජයවර්ධන විසින් ආනයන හා අපනයන සීමාවන් බොහෝ දුරට ඉවත් කරමින් හා ප්‍රාග්ධන ගලායෑම් සඳහා පැවති සීමාවන්ද තරමක් දුරට ඉවත් කරමින් ආර්ථිකය ලෝකයට විවෘත කළේය. මේ කටයුත්ත ඉතා කෙටි කලක් තුළ කිරීම නිසා දේශීය නිෂ්පාදන වලට වඩා කාර්යක්ෂම ලෙස නිපදවුණු විදෙස් නිපැයුම් සමඟ තරඟ කිරීමට පහසු වන පරිදි විණිමය අනුපාතිකයද අවප්‍රමාණය කෙරුණි.
අපේක්ෂිත පරිදිම ආනයන සඳහා දේශීය වෙළඳපොල විවෘත කෙරුණු වහාම, විශේෂයෙන්ම මුල් අවුරුදු දෙක තුන තුළ, ආනයනික භාණ්ඩ වලින් වෙළඳසැල් පිරුණේය. වෙළඳ ශේෂය තව දුරටත් පුළුල් වුණේය. එහෙත්, මෙයට හේතුව වූයේ වෙළඳපොළ විවෘත කිරීම නොවේ. පෙර දශක කිහිපය තුල ආරක්ෂණවාදී ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් දේශීය නිෂ්පාදකයින්ගේ තරඟකාරී නිෂ්පාදන හැකියාවන් බිඳ දමනු ලැබ තිබීමයි.
රට තුළට ආනයන ගලා එද්දී අකාර්යක්ෂම කර්මාන්ත බිඳ වැටුණු අතර එම කර්මාන්ත සඳහා යොදාගැනුණු නිෂ්පාදන සාධක, විශේෂයන්ම ශ්‍රම සම්පත්, වඩා කාර්යක්ෂම කර්මාන්ත වෙත විතැන් විය. 1982 පමණ සිට 1998 පමණ දක්වා කාලය තුළ දේශීය නිපැයුම් වල තරඟකාරීත්වය යලි වර්ධනය වීමට සමාන්තරව වෙළඳ හිඟය ක්‍රමයෙන් අඩු වන්නට විය. කෙසේවුවද, මේ කාලය තුළද වෙළඳ ශේෂය දිගටම පැවතුණේ හිඟයක් වශයෙනි.
පෙර ලිපියකින් පෙන්වා දුන් පරිදි ලංකාව ගොඩ යන්නට අමාරු පරිදි ණය උගුලක පැටළුනේද ජයවර්ධන යුගයේදීය. මෙයට හේතුව ජයවර්ධන රජයේ නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්තිය බව සිතන අය සිටින්නට පුළුවන. එහෙත්, ඇත්තටම ලංකාව මෙසේ ණය උගුලක පැටලීමට හේතුව ජයවර්ධන රජයේ විවෘත නොවූ, මධ්‍යගත ආර්ථික ප්රතිපත්තීන්ය.
ජයවර්ධන පාලනය බොහෝ භාණ්ඩ හා සේවාවන් විවෘත වෙළඳපොළ තරඟයට (නැවතත්) නිරාවරණය කළ බව ඇත්තකි. එහෙත්, ඒ අතරම එම පාලනය පෙර රජයයන් විසින් අනුගමනය කළ මධ්‍යගත සැලසුම් සහිත රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකයද තවදුරටත් පවත්වා ගත්තේය. වඩා නිවැරදිව කියනවානම්, ජයවර්ධන පාලන කාලය තුල රාජ්‍යය තව දුරටත් විශාල විය. පෞද්ගලීකරණය කිරීම් ඇරඹුණේ එජාප පාලනය යටතේ වුවත් ජයවර්ධන යුගයෙන් පසුවය. සමඟි පෙරමුණු පාලනය මෙන්ම ජයවර්ධන පාලනයද සිතුවේ රටේ සියල්ලන්ටම හොඳ දේ දන්නේ තමන් ඇතුළු කණ්ඩායමක් බවයි.
අද දක්වාත්, රාජ්‍ය බලය වරින් වර මාරු වුණත්, මේ මධ්‍යගත ආකෘතිය සැලකිය යුතු ලෙස වෙනස් වී නැත. එක් අතකින් එය එසේ වන්නේ එය රටේ ජනතාවගේ ඉල්ලීම බැවිනි. තමන්ට හොඳ දෙය තමන්ගේ නියෝජිතයින් තමන්ට වඩා හොඳින් දන්නේයැයි සිතන ජනතාවක් සිටින තාක් මේ තත්ත්වය වෙනස් නොවනු ඇත. මෙසේ යම් නියෝජිත පිරිසක් කෙරෙහි විශ්වාසය තබා එම විශ්වාසය බිඳුණු පසු ලංකාවේ ජනතාව මෙතෙක් කර ඇත්තේ එම නියෝජිත පිරිස මාරු කිරීමයි.
සමඟි පෙරමුණු රජය රටේ පොදු ජනතාවගේ මුදලින් මහවැලි ව්‍යාපෘතිය වසර තිහක් තුළ නිම කිරීමට සැලසුම් කළේය. ඔවුන් සිතා සිටි පරිදි රටේ ජනතාවට එයින් යහපතක් සැලසිය හැකිව තිබුණි. ජයවර්ධන රජයේ සැලසුම්කරුවන් සිතුවේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සමඟි පෙරමුණු සැලසුම්කරුවන්ට වඩා හොඳින් ඔවුන් දන්නා බවයි. ඒ අනුව, වසර හයක කාලයකට සීමා වූ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ආදේශ විය.
මේ තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ජයවර්ධන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ වෙළඳපොළ සංකල්පය හෝ ධනවාදය නොවේ. සෝවියට් දේශයේ පස් අවුරුදු සැලසුම් ආකාරයේ, සීමිත පිරිසක් විසින් ආර්ථිකය මධ්‍යගත ලෙස සැලසුම් කිරීමකි. රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ එවැනි සැලසුම් ක්‍රියාත්මක වන විට දූෂණයට හා නාස්තියට ඉඩකඩ විවර වීම වැළැක්වීම අසීරු කරුණකි.
මේ ව්‍යාපෘති හරහා රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ වී සිටි පිරිසකට සැලකිය යුතු ප්රතිලාභ ලැබුණේය. මෙහිදී මා මතු කරන කරුණ මේ ව්‍යාපෘති නොකළ යුතුව තිබුණු ව්‍යාපෘති බව නොවේ. කවර ආකාරයේ හෝ ඒකාධිකාරයන් විසින් නාස්තියට හා දූෂණයට ඉඩ සලස්වන බවයි.
එහෙත්, බොහෝ දෙනෙකු විසින් තවමත් කරන්නේ නාස්තියට හා දූෂණයට එරෙහිව කෑගසන අතරම රාජ්‍යය තවතවත් විශාල කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. මේ නාස්ති හා දූෂණ වැළැක්වීමට කොමිෂන් සභා සහ කොමසාරිස්වරුන් පත් කරමින් රාජ්‍යය තවදුරටත් අකාර්යක්ෂම කළ හැකිය. අන්තිමේදී අල්ලස් කොමසාරිස්වරුත් අල්ලස් ගනිති. ඒ අයව අල්ලන්නට තවත් අය අවශ්‍ය වේ.
ජයවර්ධන යුගයේ ආනයන වියදම් වැඩි වීමට මහවැලි ව්‍යාපෘතිය ආදී මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් සිදුකළ ප්‍රාග්ධන ආයෝජනද හේතු විය. මහවැලි ව්‍යාපෘතියේ ශුද්ධ ප්රතිලාභ ගණනය කිරීමේදී මේ හේතුවෙන් වෙළඳ ශේෂයට සිදුවූ බලපෑම සහ රාජ්‍ය ණය ඉහළ යාම නිසා සිදුවූ අවාසියද සැලකිල්ලට ගත යුතුය.
කෙසේ වුවද, මේ අයුරින් ජයවර්ධන රජය විසින් රාජ්‍ය ආයෝජන වලට බර තබන අතර සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීම සඳහාද සැලකිය යුතු බරක් තැබුවේය. ජයවර්ධන රජයේ මේ සෘජු විදේශ ආයෝජන ඇද ගැනීමේ උත්සාහය ගැන තවදුරටත් කතා කළ යුත්තේ එදා මෙදාතුර ලංකාවේ සියළු රජයයන් සිය ආර්ථික ප්‍රතිපත්ති තුළ සෘජු විදේශ ආයෝජන වලට විශාල බරක් තැබූ බැවිනි. පවතින රජය උත්සාහ කරන්නේද සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීමටය.
නිදහසින් පසු හැත්තෑ හත දක්වා කාලය තුළ සමස්තයක් වශයෙන් සිදු වූයේ රට තුළ පැවති ප්රාග්ධනය රටින් පිටතට ඇදී යාමයි. මෙය පහත රූප සටහන දෙස බැලූ විට පැහැදිලි විය යුතුය. පෙර රජයන්හි පෞද්ගලික දේපල රජය සතු කිරීමේ ප්‍රතිපත්තිය මෙයට හේතුවිය.
තීරණාත්මක ලෙස ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට ජයවර්ධන පාලනය සමත්වූ බව 1979 පමණ සිට සෘජු විදෙස් ආයෝජන ලංකාවට ගලා ඒම ඇරඹීමෙන් පෙනීයයි. එතැන් සිට අද දක්වාම සෑම වසරකදීම ලංකාවට යම් සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් පැමිණේ.
කෙසේ වුවද, ප්‍රාග්ධන ප්‍රභවයක් ලෙස හෝ වෙළඳ හිඟය ආවරණය කර ගත හැකි මෙවලමක් ලෙස සෘජු විදෙස් ආයෝජන කිසි විටෙකත් විශාල කාර්ය භාරයක් ඉටුකළේ නැත. සෘජු විදෙස් ආයෝජන ලෙස පැමිණි ප්‍රාග්ධන ප්‍රවාහ සංඛ්‍යාත්මකව ආනයන වියදමෙන් 5% ඉක්මවූයේ 1997 වසරේදී පමණි. (එම වසරේ මේ වැඩි වීම සිදු වුණේ එන්ටීටී සමාගම විසින් ටෙලිකොම්හි කළ විශාල ආයෝජනය නිසායැයි සිතමි.) මෑත වසර වලදී වසරක් තුළ විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ හරහා ලැබුණු අරමුදල් සෘජු විදෙස් ආයෝජන වලින් ලැබුණු මුදල මෙන් දහ ගුණයකටත් වඩා වැඩිය.
සෘජු විදෙස් ආයෝජන රටට ලැබෙන්නේ රට තුළ ඇති සමාගම් වල අයිතියද විදේශිකයන්ට හිමි කර දෙමිනි. ඒ නිසා, මේ සමාගම් ලාභ ලබන විට එම ලාභයන්හි හිමිකරුවන් වන්නේද ඔවුන්ය. වෙනත් විදිහකින් කිවහොත්, රට තුළට සෘජු විදෙස් ආයෝජන නිසා ගලා එන ප්රාග්ධනය හේතුවෙන් අළුතෙන් නිර්මාණය වන සම්පත් වලින් සැලකිය යුතු කොටසක් නැවතත් රටින් පිටතට ප්රාග්ධනය ලෙස ගලා යයි. මෙසේ එකතුවන අගය රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නමුත් ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය නොවේ. ඒ නිසා එවැනි ආයෝජන හරහා සිදුවන ආර්ථික වර්ධනය රටවැසියන්ගේ 'ඇඟට නොදැනෙන්නට' පුළුවන.
මා මෙහිදී කියන්නේ සෘජු විදෙස් ආයෝජන නොවැදගත් බව නොවේ. ප්‍රාග්ධන ප්‍රභවයක් ලෙස සෘජු විදෙස් ආයෝජන මත වැඩිපුර විශ්වාසය තැබීම නුවණට හුරු නැති බවයි. සෘජු විදෙස් ආයෝජන නිසා රටකට ලබා ගත හැකි වෙනත් ප්රතිලාභ රැසක් තිබේ.
මේ වන විට ලෝකයේ බොහෝ ආර්ථිකයන් වර්ධනය වන්නේ ප්රාග්ධනය හේතුවෙන් නොවේ. ප්රාග්ධනය හේතුවෙන් ආර්ථිකයක් එක දිගට වර්ධනය වීමටනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ප්රාග්ධනය ගලා ආ යුතුය. එය ප්‍රායෝගිකව සිදුවිය හැක්කක් නොවේ. දිගුකාලීනව ස්ථාවර ලෙස ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත හැක්කේ ඵලදායීතාව ඉහළ නැංවීම මඟිනි. මෙය කළ හැක්කේ දිගින් දිගටම තාක්ෂනය අළුත් කිරීමෙනි. ඒ සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කළ යුතුය.
කෙසේ වුවද, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින, තාක්ෂනය අතින් පිටුපසින් සිටින රටකට ඇමරිකාවට හෝ ජපානය වැනි රටකට නැති වාසියක් තිබේ. ඒ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැඩි වියදමක් නොදරා සංවර්ධිත රටවල් සතු තාක්ෂණය ප්‍රයෝජනයට ගත හැකි වීමයි. අනෙකුත් ප්‍රධාන නිෂ්පාදන සාධක දෙක වන ශ්‍රමය හා ප්රාග්ධනය එක් රටකින් තවත් රටකට ගලා යන විට මුල් රටෙහි එම සාධක අඩුවන නමුත් තාක්ෂනය හා අදාලව එවැන්නක් සිදු නොවේ. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටකට තාක්ෂනය ලබා ගැනීම ශ්‍රමය හා ප්රාග්ධනය ලබා ගැනීම තරම් අසීරු කටයුත්තක් නොවේ.
කෙසේ වුවද, සංවර්ධිත රටවල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් කරා නවීන තාක්ෂනය පියඹා එන්නේ නැත. ඒ සඳහා තාක්ෂණ ඥානය සම්ප්‍රේෂණය විය හැකි යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. සෘජු විදේශ ආයෝජන සමඟ පහසුවෙන් නවීන තාක්ෂනය සම්ප්‍රේෂණය වේ.
(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)
(Image: flickriver.com)
Subscribe to:
Posts (Atom)


