Wednesday, April 20, 2016
ලංකාවේ බදු
බදු වල ඉතිහාසය රාජ්‍යය නමැති ව්‍යුහයේ ඉතිහාසය තරමටම පැරණිය. රාජ්‍යයක් පවත්වාගෙන යාමේ පිරිවැය ප්‍රධාන වශයෙන්ම ආවරණය වන්නේ අදාළ රටේ මහජනතාවගෙන් අය කරගන්නා බදු වලිනි.
බදු අයකර ගැනීම විවිධ ආකාරයන්ගෙන් සිදු කෙරේ. ඇතැම් බදු සෘජු බදු වන අතර තවත් ඇතැම් බදු වක්‍ර බදු වේ.
යම් බද්දක් හා අදාලව බදු පදනමක් හා බදු ආකෘතියක් තිබේ. බදු පදනම යනු බද්ද අය කර ගන්නේ කුමක් මතද යන්නයි. මෙය යම් පුද්ගලයකුගේ ආදායම, දේපල වටිනාකම, වැටුප හෝ මිලදී ගන්නා භාණ්ඩයක මිල විය හැකිය. බදු ආකෘතිය යනු මෙසේ අර්ථ දක්වන බදු පදනම මත බදු අය කෙරෙන ක්‍රමයයි. උදාහරණයක් ලෙස යමෙකුගේ ආදායමෙන් පළමු රුපියල් ලක්ෂය මත 10%ක් හා වැඩිවන ආදායම මත 15%ක් යන්න බදු ආකෘතියකි.
බොහෝ විට යම් බද්දක් රජය විසින් අය කර ගන්නේ එය සැබෑවටම 'ගෙවන' පුද්ගලයාගෙන් නොවේ. බද්දක් සැබෑවටම ගෙවන්නේ කවුද යන්න තීරණය වන්නේ බදු පදනම මත බලපෑමක් කරන ඉල්ලුම් සැපයුම් සාධක මඟිනි. මෙය බැලූ බැල්මට හතර බීරි කතාවක් මෙන් පෙනෙන නිසා උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරමි.
රත්නසිරි රුපියල් පණහක් වැය කර කෙසෙල් කැනක් නිෂ්පාදනය කරයි. හේමලතා එය රුපියල් එකසිය පණහකට මිල දී ගනී. රත්නසිරිට මේ වෙළඳාමෙන් රුපියල් සියයක ලාබයක් ලැබේ.
රජය හිටිවනම කෙසෙල් නිෂ්පාදකයන්ට කෙසෙල් කැනකට රුපියල් පණහක බද්දක් පණවයි. මේ බද්ද රජය විසින් අයකර ගන්නේ රත්නසිරිගෙනි. එහෙත්, මේ බද්දේ පිරිවැය ඇත්තටම දරන්නේ රත්නසිරිමද?
මෙය තීරණය වන්නේ හේමලතාට කෙසෙල්කැන කෙතරම් දුරට අවශ්‍යද යන කරුණ මතය. හේමලතා කෙසෙල් කැනට ගෙවන්නට කැමති වැඩිම මුදල රුපියල් එකසිය පණහනම් රත්නසිරිට වෙන්නේ බද්දේ පාඩුව දරාගෙන කලින් මිලටම කෙසෙල් කැන විකුණනන්නටය. එහෙත්, හේමලතාට මේ කෙසෙල් කැන නැතුවම බැරිනම් රත්නසිරිට එහි මිල රුපියල් දෙසීය දක්වා වැඩි කර පෙර ලාභයම ලබා ගත හැකිය. එවිට, බද්ද රජයට ගෙවන්නේ රත්නසිරි වුවත් සැබෑවටම එහි පාඩුව ඇත්තේ හේමලතාටය.
ඉහත උදාහරණයේදී රජය විසින් බද්ද අය කර ගන්නේ නිෂ්පාදකයා වන රත්නසිරිගෙන්ද නැත්නම් පාරිභෝගිකයා වන හේමලතාගෙන්ද යන්න වැදගත් කරුණක් නොවේ. හේමලතාට කෙසෙල්කැන ගන්නටම අවශ්‍යනම් බද්දේ බර දරන්නට වෙන්නේ ඇයටය. රත්නසිරිට කෙසෙල් කැන විකුනන්නටම අවශ්‍යනම් එහි බර ඔහුට දරාගැනීමට සිදුවේ.
මෙවැනි බොහෝ අවස්ථාවල ප්‍රායෝගිකව සිදුවන්නේ බද්දක බර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදීයාමයි. රත්නසිරිට කෙසෙල් කැනෙහි මිල රුපියල් පණහකින්ම වැඩිකිරීම අපහසු වුවත් විස්සකින් හෝ තිහකින් වැඩි කළ හැකි වනු ඇත. ගණුදෙනුව සිදු කිරීමට වැඩිම අවශ්‍යතාවය ඇති තැනැත්තාට බද්දේ බරින් වැඩි මුදලක් දැරීමට සිදුවනු ඇත.
වෙනත් බදු වලට අදාලවද සිදු වන්නේ මෙවැන්නකි. ඔබේ වැටුප මත බදු මුදලක් අය කෙරෙන විට ඔබට අතට ලැබෙන මුදල අඩුවේ. එහෙත්, එසේ අතට ලැබෙන අඩු මුදල වෙනුවෙන් වැඩ කරන්නට ඔබ සූදානම් නැත්නම් සහ ඒ මුදලට වැඩ කරන්නට කැමති වෙනත් අයෙක් නැත්නම් ඔබේ ආයතනයට ඔබේ වැටුප වැඩි කිරීමට සිදුවේ. එවිට බද්දේ බර ඇත්තටම දරන්නේ ආයතනයයි. එමෙන්ම, ආනයන සඳහා බදු වැඩි කළත් එම ආනයන වලට රට තුළ ඉල්ලුමක් ඇත්නම් බදු බර දරන්නට වෙන්නේ පාරිභෝගිකයින්ටය. මෙහිදී පාරිභෝගිකයින් සෘජුව මේ බද්ද නොගෙවුවත් ඔවුන් ගෙවන මිලට ආනයන බද්ද ඇතුළත් වී තිබේ.
2016 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,646කි. තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ මුදල රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට රුපියල් 79,613කි. සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 318,452කි. වෙනත් අයුරකින් කිවහොත් රටේ රජයක් නැත්නම් සිවුදෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට දැනට ලැබෙන ආදායමට වඩා රුපියල් 318,452ක මුදලක් ඉතිරි වනු ඇත.
ඉහත රුපියල් 79,613ක මුදල රජය විසින් අය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ පහත සඳහන් පරිද්ද්දෙනි.
-ආදායම්, පොලී හා ලාභ මත අයකරන බදු: රුපියල් 12,174
-ජාත්‍යන්තර වෙළඳාම මත අයකරන බදු: රුපියල් 16,641
-දේශීය භාණ්ඩ හා සේවා මත අයකරන බදු: රුපියල් 47,073
-බලපත්‍ර හා වෙනත් බදු: රුපියල් 3,725
රජයේ වියදමින් වැඩිම කොටසක් ආවරණය කරගන්නේ දේශීය භාණ්ඩ හා සේවා මත අයකරන බදු මඟින් බව පැහැදිලි කරුණකි. ඒ යටතේ පහත බදු වර්ග ඇතුළත් වේ.
-වැට් බදු: රුපියල් 11,608
-මත්පැන්: රුපියල් 6,771
-දුම්වැටි: රුපියල් 4,111
-රථවාහන: රුපියල් 13,543
-පෙට්‍රෝලියම් නිෂ්පාදන: රුපියල් 1,835
-විදුලි සංදේශ බදු: රුපියල් 2,031
ඉහත ඇස්තමේන්තු වලින් රථවාහන මඟින් අය කරගැනීමට අපේක්ෂා කළ බදු ආදායම පසුව සිදු කළ සංශෝධන නිසා නොලැබෙනු ඇති බව මගේ අදහසයි. මේ පාඩුව අයකර ගනු ඇත්තේ වැට් බද්ද වැඩි කිරීමෙනි. අවසාන වශයෙන් මේ බදු බරින් වැඩි කොටසක් දරන්නේ රටේ අඩු හා මැදි ආදායම් ලබන ජනතාවයි.
මේ සංඛ්යල්ඛණ වල නොපෙනෙන කරුණක්ද තිබේ. රජයයන් විසින් බොහෝ විට මෙසේ එකතු කරගන්නා බදුමුදල් වලට අමතරව 'නැති මුදල්' ද සැලකිය යුතු ප්‍රමාණයක් වියදම් කිරීම සුලභ සිදුවීමකි. මෙසේ නැති මුදල් වැය කරන එක් ක්‍රමයක් වන්නේ අනාගත බදු මුදල් වලින් පියවන්නට ණය ගැනීමයි. දෙවන ක්‍රමය මුදල් අච්චු ගැසීම මඟින් මුදලේ වටිනාකම අඩුකර ඔබේ අතේ ඇති මුදලින් කොටසක් නොපෙනෙන ලෙස හොරකම් කිරීමයි. බදු හරහා මුදල් අය කර ගැනීම ඒ ක්‍රම දෙකටම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි.
(Images: )
14 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
මගේ නංගී ගේ පොඩි එකා උදේ ඉදලා රැ වෙනකන් නෙට් එකේ ඒ උනාට ඌ බ්ලොග් ගැන දන්නේ නැහැ බ්ලොග් කියන්නේ මොනතරම් දැනුම එකතු කරන්න පුලුවන් තැනක්ද ඒ වයසේ එවුන්ට මේක කියවන්න හුරු කරන්න ක්‍රමයක හදන්න අපිට බැරිවෙයිද//
ReplyDeleteමේ මම සැහැල්ලුව බ්ලොග් එකේ අද උදේ දාපු කෙමෙන්ට් ඒක.. මේ වගේ ලිපියක් ඉගන ගන්න ළමයෙකුට මොනතරම් වටිනවද ?
විසිටරයා දැන් ලියන්නේ නැහැ ඒ ලිපිත් මීටත් වඩා සරලයි වටිනවා
මදාවියාගේ ලිපි ගොඩක් සරලයි. මමත් කැමතියි.
DeleteI will pay tax willingly hereafter. Thanks econo. :)
ReplyDeleteවිත් හොල්ඩින් ටැක්ස් නිසා මට මම ගෙවිය යුතු මුදලටත් වඩා ගෙවන්නයි වෙලා තියෙන්නේ, ඒ ගැන මම ටිකක් ආඩම්බරයි, ඒත් බිරිඳ රජයේ සේවයේ නිසා මතුවෙන පුංචි කණගාටුවකින් ඒ සතුට මැකෙනවා.
Deleteවිත්හෝල්ඩින් ටැක්ස් වල හරි අදහස අනුවනම් වැඩිපුර ගෙවූ මුදල ආපසු ලැබිය යුතුයි. ඒත් ලංකාවේ වැඩිපුර ගෙවූ බදු ආපසු ගත හැකි ක්‍රමය ගැන මම දන්නේ නෑ.
Deleteමම මගෙන් රජය කොපමණ මුදලක් අයකර ගන්නවාද? ඒ මුදල රජය වැය කර ඇත්තේ කෙසේද කියා දැණගැණිමට කැමතියි. මටම එම ගණනය කර ගත හැකි වෙතැයි සිතා වසර ගනනාවක් මුළුල්ලේ මගේ සියළු ආදායම් සහ වියදම් විස්තර ස්ප්‍රෙඩ් ෂීට් වල දැම්මා, එත් මට ඒ ගණනය කර ගැනීමට බැරිවුනා. කවුරුන් හෝ කෙනෙකුට එවැනි ගණනයක් තමන්විසින්ම කර ගත හැකි වෙබ් සයිට් හදල අප්ඩේට් කරනවානම් මහජනයාට තමුන්ගේ ගෙන් අයකර ගන්නා බදු මුදල් රජය කෙසේ පරිහරනය කරනවාද කියා ඉතා හොඳින් පැහැදිලි වේවි, එය යහපාලනයේ අත්‍යවශ්‍ය පියවරක් කියා මට හිතෙනවා.
ReplyDeleteඔබ ඉදිරිපත් කර ඇති එක් අයකු විසින් ගෙවිය යුතු මුදල සාලයේ ඉන්නා අළුත් අවුරුදු අමුත්තන්ට කීවා, ඒ පැත්ත තාමත් පත්තුවෙලා.
ගොඩක් බදු ගන්නේ වක්‍රව නිසා මෙය ඉතාම සංකීර්ණයි. සෘජු බදු වල වැදගත්කම වන්නේ අපි ගෙවන මුදල හරියටම පේන එකයි.
Deleteමගේ යාලුවෙක් චීනයෙන් කුඩ ගෙන්වන්න බලාපොර්ත්තු වෙනවා එයාට දැනගන්න ඕනේ මේකෙට අය කරන ටැක්ස් ගැන දැන ගන්න විදිහක්. මට උපදෙසක් දෙන්න පුලුවන්ද
ReplyDeletemendissajith@gmail.com
සොරි, මෙන්ඩා. ඒ ගැන හරියටම කියන්න තරම් මට දැනුමක් නැහැ. මේ පිටුවේනම් (http://www.customs.gov.lk/cus_tariff.html) තොරතුරු තියෙනවා. ඒත් නියම ගණන හදාගන්න එක පහසු වෙන එකක් නැහැ.
Deleteසල්ලි අච්චු ගහනවාට වඩා බදු අය කර ගැනීමෙන් මුදල් හොයන්න ආණ්ඩුව කටයුතු කිරීම හොඳයි.
ReplyDeleteනමුත් මේ විදියට බදු මුදල් වැඩි කිරීම ගැන බොරු නොකියා ජනතාවට ඇත්ත පවසනවා නම් මෙයට වඩා අගෙයි.
අපේ බදු ක්‍රමය මෙයට වඩා සරල විය යුතු නොවේද?මට හිතෙනවා අපේ ගොඩක් අය බදු වලින් සැහැල්ලුවෙන් රිංගා යනවා කියලා.
ඔවු. බදු සංකීර්ණ කළ තරමට නොගෙවා සිටීම පහසුවෙනවා.
Deleteබදු වැඩිවීම නිසා රත්නසිරිට කෙසෙල් කැන විකුණාගන්න බැරිවී එය කුණුවී යනවා. අන්තිමට රත්නසිරිටයි රජයටයි දෙකටම ලොස් !.
ReplyDeleteඔබ හරි. බදු වැඩි කරන හැමවිටකම කිසියම් කෙහෙල්කැන් ගණනක් නොවිකිණී, කිසිවකුට වාසියක් නැති අවාසියක් (Dead Weight Loss) සිදුවෙනවා.
Deleteසරළම පැහැදිළි කිරීමක්......ස්තුතියි
ReplyDelete