Showing posts with label විදෙස් විණිමය. Show all posts
Showing posts with label විදෙස් විණිමය. Show all posts

Monday, June 19, 2023

පසුගිය සතියේ ඩොලරයේ හැසිරීම


පසුගිය සතියේ තරමක් උඩට ගිය ඩොලරයක මිල ඉහළ යාම නවත්වා හෝ පහළ යමින් තිබෙනවා. මේ වගේ අඩුවැඩි වීම් ගැන මම අනාවැකි කියන්න යන්නේ නැහැ. ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ තීරණය වන මිලක් ඔය විදිහට වරින් වර ඉහළ පහළ යන්න පුළුවන්. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. 

ඩොලරයක මිල රුපියල් විස්සකින් තිහකින් ඉහළ යාම රුපියල කඩා වැටීමක් නෙමෙයි. ඒ වගේම ඩොලරයක මිල රුපියල් විස්සකින් තිහකින් පහළ යාම ඩොලරය කඩා වැටීමකුත් නෙමෙයි. ඔය වගේ විචලනයන් පස්සේ ඕනෑවට වඩා පන්නන අයට ටික දවසක් යද්දී හති වැටෙයි. ඊට පස්සේ වෙළඳපොළක ස්වභාවය කියන්නේ මේක තමයි කියලා අවබෝධ වෙයි.

වසර අවසානය වෙද්දී ඩොලරයක මිල කීයක් වෙයිද වගේ ප්‍රශ්න ගොඩක් අයට තිබෙනවා. ලංකාවේ දැනට පවතින තත්ත්වයන් තුළ ඒ ගැන හරියටම කිව හැකි මූලධර්මයක් නැහැ. නිකම් අනුමානයක් පමණක් කරන්න පුළුවන්. එවැනි අනුමානයක් අහම්බෙන් වගේ හරියන්නත් පුළුවන්. මිල විචලනය විය හැකි පරාසය ගැන පමණක් යම් තරමකින් නිවැරදිව අනුමාන කරන්න පුළුවන්.

වසර දහයක් වැනි ඉතා දිගුකාලයක් ගත්තොත්, ලංකාවේ ඉලක්කය උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න එක. ඇමරිකාවේ ඉලක්කය උද්ධමනය 2% මට්ටමේ තියා ගන්න එක. ඒ නිසා, දිගුකාලීනව ඩොලරයක මිල වසරකට 3%කින් පමණ ඉහළ යා යුතුයි. ඒ අතර, කෙටිකාලීන විචලනයන් වෙන්න පුළුවන්. ඉල්ලුම හා සැපයුම තුලනය කරන්න එවැනි විචලනයන් අවශ්‍යයි.

ඔය දිගුකාලීන සමතුලිතතාව ඇති වෙන්නේ මුලින්ම කෙටිකාලීන අවිනිශ්චිතතා අවසන් වෙලා මිල යම් මට්ටමක ස්ථාවර වුනාට පස්සේ. මෙහිදී ස්ථාවර වෙනවා කියන්නේ විචලනයන් නවතිනවා කියන එක නෙමෙයි. විචලනයන් සැලකිය යුතු තරමින් සමමිතික වෙනවා කියන එක. 

දැනටත් විදේශ විණිමය ඉල්ලුම කෙරෙහි බලපාන සීමාවන් සියල්ල ඉවත් වී නැහැ. වාහන ආනයන තහනම හා ප්‍රාග්ධන සංචලන සීමා ඇතුළු සීමාවන් ගණනක් තවමත් ක්‍රියාත්මකයි. ඒ සීමා ඉවත් වෙද්දී ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, ඩොලරයක මිල ඉහළ යාමේ නැඹුරුව පහළ යාමේ නැඹුරුවට වඩා වැඩියි. හැබැයි මහා විශාල වැඩිවීමක් වීමේ ඉඩක්නම් පෙනෙන්න නැහැ.

පසුගිය සතියේ ඩොලරයක මිල ඉහළ යාමට ආනයන සීමා ඉවත් කිරීම බලපෑවා. ඒ බව කලින්ම පෙනෙන්න තිබුණු දෙයක්. මේ ඉල්ලුම සැපිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය බැංකු පද්ධතිය ඇතුළේ තිබුණා කියා මම හිතනවා. එහෙත්, ආනයන සීමා ඉවත් වෙද්දී ඩොලරයක මිල ඉහළ යයි කියා යම් පිරිසක් විශ්වාස කිරීම නිසාම වුවද ඉතා කෙටිකාලීනව යම් තරමකින් මිල ඉහළ යනවා. 

දැන් පැහැදිලිව පෙනෙන පරිදි පසුගිය සතියේ සිදු කළ ආනයන සීමා ඉවත් කිරීම් නිසා ආර්ථිකයට දරා ගත නොහැකි පරිදි ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් නැහැ. මගේ පෞද්ගලික අදහසනම් වඩා සුදුසු වන්නේ ඩොලරයක මිල තවත් ටිකක් ඉහළින් පැවතීම කියන එකයි. 

පසුගිය සතියේ ආනයන සීමා ඉවත් කරන්න පෙර ප්‍රතිපත්ති සම්පාදකයින්ට වගේම වෙළඳපොළ පාර්ශ්වකරුවන්ටත් එහි අවසන් ප්‍රතිඵලය පිළිබඳ යම් සැක සංකා තියෙන්න ඇති. එය එසේ නොවෙන්න හේතුවක් නැහැ. නමුත් මේ වෙද්දී ආනයන සීමා ඉවත් කළත්, එයින් ලොකු බලපෑමක් නොවන බව ඒ බොහෝ දෙනෙක්ට තේරුම් ගිහින් ඇති. ඒ නිසා, මගේ අදහසනම්, වාහන ආනයන සීමා හැර තව තිබෙන මොනවා හෝ සීමාවන් ඇත්නම් ඒ සීමාවන්ද ඉවත් කර දමන්න දැන් කාලය හරි කියන එකයි. එයින් ඩොලරයක මිලේ විශාල වෙනසක් සිදු වෙන එකක් නැහැ. ඊට පස්සේ වාහන ආනයන ගැනත් හිතා බලන්න ඉඩක් ලැබෙනවා. 

ඔය තහනම් සියල්ල ඉවත් කළාට පස්සේ වුනත් ඩොලරයක මිලෙහි විශාල වැඩිවීමක් වනු ඇතැයි මම හිතන්නේ නැහැ. එහෙත්, මෙය අනුමානයක් පමණයි. වෙළඳපොළ හැසිරීම පරීක්ෂා කරමින් සීමා එකින් එක ඉවත් කරන එකයි සුදුසු. හැබැයි ඩොලරයක මිල පහත වැටෙන්න හේතුත් නැහැ. ඒ වගේම, එහෙම ලොකුවට ඩොලරයක මිල පහත වැටෙනවානම් බොහෝ විට එහි සැඟවුණු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.

රටට එන විදේශ විණිමය ටික ආනයන ඇතුළු විණිමය අවශ්‍යතා සඳහා යොදා ගන්න ඉඩ ඇරීමෙන් පසුව මහ බැංකුවේ ඉතිරි සංචිත ඉලක්ක සපුරා ගැනීම සඳහාත් ප්‍රමාණවත් වුනත් ඩොලරයක මිල පහළට තල්ලු කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. පසුගිය මාස දෙක තුන තුළ ඩොලරය පහළට තල්ලු කර තිබෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ලෙස පැමිණි ඩොලර්. 

පසුගිය සතියේ මේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ප්‍රවාහ නැවතී තිබෙනවා. ඇතැම් විට එය තාවකලික තත්ත්වයක් වෙන්න පුළුවන්. මේ විදිහට එන ඩොලර් රටේ කිසිවෙකු විසින් ඉපැයූ ඩොලර් නොවන නිසා යම් අවස්ථාවක පොලියත් එක්කම ආපහු රටින් යනවා. එවිට විණිමය අනුපාතය මත දැනෙන තරමේ පීඩනයක් ඇති වෙන්න පුළුවන්. එයට මුහුණ දීම සඳහා ඒ විදිහට එන ඩොලර් වගේම ඒ ඩොලර් ආපසු ගෙනයාමේදී පොලී ලෙස එකතු කරගෙන යන කොටසත් සංචිත වලට එකතු කරගෙන තබා ගත යුතුයි. 

කොහොම වුනත්, පසුගිය සතියේ උදාහරණයෙන් පෙනෙන්නේ රුපියලේ බාහිර අගය මේ වන විට යම් තරමක කම්පනයකට මුහුණ දිය හැකි තරමට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩ නගාගෙන (resilient) ඇති බවයි. ඒ මේ වන විට ගොඩ නගා ගෙන තිබෙන නිල විදේශ සංචිත වල ශක්තියයි. 

Thursday, May 18, 2023

ඩොලරය 300 සීමාවෙන් පහළට?


මහ බැංකු දත්ත අනුව අද (මැයි 18) ඩොලරයක සාමාන්‍ය ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා (රුපියල් 299.2144). ලංකාවේ විණිමය වෙළඳපොළ කුඩා වෙළඳපොළක්. සුළු හිඟයක් නිසා මිල සැලකිය යුතු ලෙස ඉහළ යනවා වගේම සුළු අතිරික්තයක් නිසා මිල සැලකිය යුතු ලෙස පහළ යන්නත් පුළුවන්. 

මිල පහළ යාමෙන් පෙනෙන්නේ වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගැනීමට වඩා විකිණීමට උනන්දු වන බවයි. මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට අනවශ්‍ය අතිරික්ත ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගන්නවා විය යුතුයි.

බැංකු පද්ධතිය ඇතුළේ කලක සිටම තිබුණේ බැංකුවක් බංකොලොත් කළ හැකි තරමේ ශුද්ධ විදේශ විණිමය හිඟයක්. වත්මන් මහ බැංකු අධිපතිවරයා වැඩ භාරගත් පසුගිය (2022) අප්‍රේල් මාසයේ සිට මෙම (2023) ජනවාරි මාසය තෙක් ක්‍රමයෙන් අඩු වූ මෙම ශුද්ධ විදේශ විණිමය හිඟය පසුගිය පෙබරවාරි මාසයේදී ශුද්ධ විදේශ විණිමය අතිරික්තයක් බවට පත් වුනා. ඒ නිසා, මේ වෙද්දී වාණිජ බැංකු වල විදේශ විණිමය අවදානම මුළුමනින්ම නොවේනම් බොහෝ දුරට පහ වෙලා. 

ඉහත ගණනයේදී ස්වෛරිත්ව බැඳුම්කර වල සහ සංවර්ධන බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ඩොලර් පිළිබඳව කෙසේ සලකා ඇත්දැයි මා හරියටම දන්නේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය බැංකු වලද ඩොලර් වත්කම් අහිමි වීමක් සිදු විය හැකියි. එම පාඩුව දරා ගත හැකි එකක් වනු ඇති බව මගේ විශ්වාසයයි.

තමන්ට අනාගතයේදී ඩොලර් අවශ්‍ය වෙන්නේ නැත්නම්, වෙළඳපොළේ ඩොලර් විකුණන්නත් බැරිනම්, වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගන්න පෙළඹෙන්නේ ආයෝජනයක් ලෙස වාසියක් ඇත්නම් පමණයි. නමුත් මේ වෙලාවේ එවැනි වාසියක් නැහැ. රුපියල් ඩොලර් නොකර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක ඊට වඩා වාසියි. ඒ නිසා, වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගෙන සංචිත පවත්වා ගන්න උනන්දු වන්නේ නැහැ. 

මහ බැංකුවට අඩු මිලකට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත හැකිනම් වැඩි මිලකට ඩොලර් මිල දී ගත යුතුයි කියා යෝජනා කරන්න බැහැ. පවතින තත්ත්වය තුළ ආනයන සීමාවන් ඉවත් කිරීම සුදුසු වුවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු ඒ සඳහා කල් ගන්නවා වෙන්න පුළුවන්. එය නරක ප්‍රවේශයක් නෙමෙයි. මොන අයුරකින් හෝ වැඩේ ගැස්සුනොත් සිදු වන දේ ගැනත් සිතිය යුතු නිසා හදිස්සි නොවී ඔය මාස කිහිපයත් බලන එක නරක නැහැ. 

Sunday, September 23, 2018

රටේ ණය හා රජයේ විදේශ ණය

පසුගිය ආණ්ඩුව කාලයේ විශාල ලෙස ණය ගත් නිසා රට ආර්ථික අර්බුදයකට ගිය බව අහල ඇති වෙලා තියෙන කතාවක්. නමුත්, සංඛ්‍යාලේඛණ බැලුවහම පෙනෙන්නේ ඒ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අඩු වී ඇති බවයි. රාජ්‍ය ණය වර්ධනය වීමේ වේගය දිහා බැලුවත් පහුගිය ආණ්ඩුව කාලයේදී පැවතුනු වේගය නිදහසෙන් පසු බලයේ සිටි වෙනත් ආණ්ඩු යටතේ පැවතුණු වේගයන්ට වඩා ලොකු වෙනසක් පෙනෙන්නට නැහැ. 

ඒ වුණත්, පහුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී ලංකාවේ ආර්ථික අර්බුදය වඩා භයානක අදියරකට අවතීර්ණ වූ බව බොරුවක් නෙමෙයි. මෙයට මූලික වශයෙන් හේතු වුණේ විදේශ ණය ගනිමින්, එසේ ලබාගත් විදේශ විණිමය වෙළඳපොළට මුදාහරිමින්, විණිමය අනුපාතිකය අවප්‍රමාණය වෙන්න නොදී තියා ගැනීම හා එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාමයි. 

ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයට පහුගිය ආණ්ඩු කාලයට වඩා ගොඩක් පැරණි ඉතිහාසයක් තිබෙනවා. රාජ්‍ය ණය බර මේ වන විට තිබෙනවාට වඩා බරපතල ප්‍රශ්නයක් වූ කාලවල් තිබුණු බව සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන දෙයක්. නමුත්, රටේ විදේශ අංශය මීට පෙර යුග වලදී කවදාවත් අද තිබෙන භයානක අදියරට පිවිසිලා නැහැ. 2001 වසරේදී විනිමය අනුපාතිකය පාවෙන්න හැරීමෙන් පසුව ටික කලකට වුවත් රටේ ආර්ථිකයේ විදේශ අංශය ප්‍රශ්නයක් නැතිව ඉදිරියට ගියා. මෙය විශාල ප්‍රශ්නයක් බවට පත් වුණේ යුද්ධය අවසන් වුනාටත් පසුව පසුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී විණිමය අනුපාතිකය පහළින් තබාගැනීම රටේ ආර්ථිකය සැලසුම් කිරීමේ ප්‍රමුඛ උපායමාර්ගයක් බවට පත් වීමෙන් අනතුරුවයි. එසේ වීමේ පසුබිම ගැන විස්තර වෙන වෙලාවක ලියන්නම්.

රටේ විදේශ ණය කියන්නේ මධ්‍යම රජයේ විදේශ ණය පමණක් නෙමෙයි. මධ්‍යම රජයේ කොටසක් ලෙස නොසැලකෙන රජයේ සංස්ථා ආදිය විසින් ලබාගන්නා විදේශ ණය වල සිට පෞද්ගලික සමාගමක් හෝ තනි පුද්ගලයෙක් ලබා ගන්නා විදේශ ණය ඇතුළු සියලුම විදේශ ණය රටේ විදේශ ණය වලට ඇතුළත්.

මධ්‍යම රජය විසින් වගකිව යුත්තේ රජයේ ණය වලට පමණක් බව කාට හෝ කිව හැකියි. රජය විසින් ඇප වී තිබෙන රජයේ සංස්ථා වල ණය යම්කිසි ප්‍රමාණයක් හැර ඉතිරි ණය වලට රජය වගකිවයුතු නැති බව ඇත්ත. ඒ නිසා, එවැනි ණය රාජ්‍ය ණය ප්‍රශ්නයේ කොටසක් නෙමෙයි. නමුත්, රටේ කවුරු හෝ ලබාගත් විදේශ ණයක් ඇත්නම් එය ලංකාව මුහුණ දෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නයේ කොටසක්.

උදාහරණයක් විදිහට ශ්‍රී ලන්කන් එයාලයින්ස් විසින් 2014 ජූනි 27 වෙනිදා නිකුත් කරපු ඩොලර් මිලියන 175ක පස් අවුරුදු බැඳුම්කරය ගනිමු. මේ වෙනුවෙන් සමසකට වරක් බැගින් කූපන් පොලියක් (වාර්ෂිකව 5.3%ක් වන) ගෙවිය යුතුයි. ලබන වසරේ කල් පිරීමෙන් පසුව ගත් මුදල ආපසු ගෙවිය යුතුයි.

දැන් මේ මුදල ආපසු ගෙවන එක කරන්නේ  ශ්‍රී ලන්කන් එයාලයින්ස් විසින්නම් මධ්‍යම රජයේ අයවැයට එයින් බරක් නැහැ. එහෙත්, ඔවුන් මේ මුදල් ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිස රුපියල් වලින් නොවන නිසා අතේ ඩොලර් නැත්නම් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත යුතුයි. එහෙම මිල දී ගන්න රට ඇතුළේ කාගේ හෝ අතේ ඩොලර් තිබිය යුතුයි. 

ලංකාව දැන් මුහුණ දී සිටින ප්‍රශ්නය ඩොලර් බිලියන 50 ඉක්මවන විදේශ ණය ගොඩක් තිබුණත් ඒ ණය ගෙවන්න රට ඇතුළේ තිබෙන ඩොලර් ප්‍රමාණය බිලියන 10කට කිට්ටු ප්‍රමාණයක් පමණක් වීමයි. රට ඇතුළට ඩොලර් එන විට ඒ ඩොලර් රටේ ඉතිරි කරගත්තානම් මේ ප්‍රශ්නය නැහැ. නමුත්, විණිමය අනුපාතිකය පහළින් තබා ගැනීම පස්සේ පැන්නීම නිසා අන්තිමට රටේ ඩොලරුත් නැහැ. විණිමය අනුපාතිකය අවශ්‍ය විදිහට තබාගන්න පුළුවන් වෙලත් නැහැ. 

පහුගිය කාලයේ දිගින් දිගටම වෙලා තියෙන්නෙත්, ඉදිරි මාස වල නැවත වෙන්න ඉඩ තියෙන බව පෙනෙන්නෙත් මහදැනමුත්තා කළා වගේ එළුවගේ බෙල්ලත් කපලා පස්සේ ඔළුව එළියට ගන්න මුට්ටිය බිඳින ක්‍රමය. ඉස්සෙල්ලා විණිමය අනුපාතිකය රැකගන්න රටේ විදේශ විණිමය එළියට යන්න අරිනවා. එහෙම කරලත් බැරි වෙනකොට වැඩේ අත ඇරලා නැවත විණිමය අනුපාතිකය වැටෙන්න අරිනවා.

මේ කරුණ හා අදාළව මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්නය මේ ආණ්ඩුව ඇති කළ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් පවතින තත්ත්වය අනුව විණිමය අනුපාතිකය පාලනය කිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. රුපියල වැටෙන්නේ ඉඩ ඇරිය යුතු වුවත්, ඒ නිසා ඇතිවන අතුරු විපාක ගැනත් හිතමිනුයි එය කරන්න වෙලා තියෙන්නේ. 

මුළු ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන පණහම එකවර ගෙවිය යුතු නැති බව කාට හෝ මතක් කර දෙන්න පුළුවන්. ඇත්ත. නමුත්, කවදා හෝ ගෙවන්නේ ඕනැනේ. අනාගතයේදී රටට කොහෙන් හෝ ඩොලර් එන විදිහක් පේන්න තියෙනවානම් ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්. නමුත්, පේන්න තිබෙන්නේ ඉදිරි අවුරුදු වල තව තවත් ඩොලර් එළියට යන්න නියමිත බවයි.

ඩොලර් බිලියන පණහට පොලිය 6%ක් කියා සැලකුවොත් අවුරුද්දකට පොලිය විදිහට පමණක් ඩොලර් බිලියන 3ක් ගෙවන්න වෙනවා. මේ ප්‍රමාණය වුවත් වෙළඳපොළෙන් මිල දී ගන්න එක ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. දැන් සිදුවන ආකාරයට උද්ධමන වෙනසට අමතරව අවුරුද්දකට 10%කින් පමණ රුපියල අවප්‍රමාණය වෙන්න ඇරියොත් වැඩිම වුනොත් රුපියල් බිලියනයක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉතිරි පොලී මුදල හා ණය වාරික ගෙවන්න වෙන්නේ අලුත් ණය අරගෙනයි. ඊට අමතරව ජංගම ගිණුමේ තිබෙන ඩොලර් බිලියන දෙකක විතර හිඟයත් පියවන්න ක්‍රමයක් තියෙන්න ඕනෑ.

මේ යන විදිහට රුපියල අවප්‍රමාණය කරලා වුනත් අවුරුද්දකට රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන දෙක තුනකින් වැඩි වන එක නවත්වන්න බැහැ. අඩුම වශයෙන් විදේශ ණය ප්‍රමාණය ස්ථාවරව තබා ගන්න වුනත් අවුරුදු දෙකතුනක් යනකම් රුපියල අවුරුද්දකට 20%කින් පමණ බැගින් අවප්‍රමාණය වෙන්න අරින්න වෙයි. එය කිරීම දේශපාලනික සිය දිවි නසාගැනීමක් නිසා ආණ්ඩුව එය කරයි කියා හිතන්න බැහැ. 

තව ටික දවසකින් නැවතත් මහ බැංකුව විණිමය අනුපාතිකයට අත ගහලා එය ස්ථාවර කරයි. ආණ්ඩුව තව බිලියන දෙක තුනක් ණය ගනියි. ණය තව වැඩිවෙයි. ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුව වෙනස් වුණොත් අලුතෙන් පත්වන ආණ්ඩුව මේ ආණ්ඩුවට බැණ බැණ ඔය ටිකම කරයි. සමහර විට එහෙම කරල නොනැවතී මේ ආණ්ඩුව වගේ නැතිව "බය නැතුව" තව ණය අරගෙන ඒ මුදල් වෙළඳපොළට දාලා විණිමය අනුපාතිකය ස්ථාවර කරලා ඒ මඟින් රටේ අනාගතය අස්ථාවර කරයි.

පහත වගුවේ තියෙන්නේ 2000 වසරේ ඉඳලා රජයේ හා රටේ විදේශ ණය වැඩි වූ ආකාරය, විදේශ සම්පත් වැඩි වූ ආකාරය හා විදේශ ණය හා විදේශ සම්පත් අතර පරතරය ඉහළ ගිය ආකාරයයි.




Friday, May 20, 2016

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (දෙවන කොටස)

මෙම ලිපියේ පළමු කොටස අවසානයේ මා පළ කළ රූප සටහන් දෙකෙන් පෙන්වා දුන්නේ පසුගිය වසර පහළොවක කාලය තුළ ලංකාවේ ආනයන වියදම හා අපනයන ආදායම අතර පරතරය, එනම් වෙළඳ ශේෂය, ඉතා වේගයෙන් පුළුල් වූ ආකාරයයි. පසුගිය 2015 වසර තුළ ලංකාවේ නයන වියදම ඩොලර් මිලියන 18,935 ක් වූ අතර අපනයන ආදායම ලෙස ලැබුණේ ඩොලර් මිලියන 10,505 ක් පමණි. මේ අනුව, වෙළඳ හිඟය ඩොලර් මිලියන 8,430 ක් විය.


අයවැය හිඟය ගැන කතා කරන විට අප කතා කරන්නේ රජයේ ආදායම් හා වියදම් අතර පරතරය ගැනය. රජය දේශීය හෝ විදේශීය ණය ලබා ගන්නේ මේ පරතරය පියවීමටය. රාජ්‍ය ණය තොගය වසරින් වසර ඉහළ යන්නේ නිදහස ලැබූ මුල් කාලයෙන් පසුව සෑම වසරකම ලංකාවේ රාජ්‍ය වියදම් රාජ්‍ය ආදායම් ඉක්මවූ බැවිනි. අවසන් වරට රජයේ ආදායම වියදම ඉක්මවා අයවැය අතිරික්තයක් පෙන්වූයේ 1955දීය.

සිංගප්පූරුව වැනි රටවල බොහෝ විට ඇත්තේ අයවැය අතිරික්තයකි. එසේ සාමාන්‍යයෙන් අයවැය අතිරික්තයක් පවත්වා ගන්නා රටකට ආර්ථිකය කිසියම් අයුරකින් දුර්වල වන 'වැහි කාලයට' පායන කාලයේ සිංදු කියමින් සිටි පලඟැටියාට මෙන් අනුන්ගෙන් කෑම හිඟමනේ යන්නට අවශ්‍ය නොවන්නේ තමන්ගේම ඉතිරි කිරීම් ප්‍රමාණවත් තරම් තිබෙන නිසාය.

වෙළඳ හිඟය යනු අයවැය හිඟය මෙන් රජයේ ආදායම් හා වියදම් වලට පමණක් අදාළ දෙයක් නොවේ. එය පදනම් වන්නේ මුළු රටේම අපනයන ආදායම් හා
ආනයන වියදම් මතය. අයවැය හිඟය හා වෙළඳ හිඟය අතර ඇත්තේ සෘජු සම්බන්ධතාවයක් නොවූවත් ලංකාවේ වෙළඳ හිඟය පිලිබඳ කතාවද අයවැය හිඟය පිලිබඳ කතාවට වඩා ලොකුවට වෙනස් නැත. දැඩි ලෙස ආනයන සීමා කළ 1977දී හැරුණු විට 1967 සිටම ලංකාවේ වාර්ෂික ආනයන වියදම අපනයන ආදායම ඉක්මවීය.

ආනයන වියදම දිගින් දිගටම අපනයන වියදම ඉක්මවනවානම් මේ හිඟය පියවෙන යාන්ත්‍රණයක්ද තිබිය යුතුය. පෙර කී පරිදි, රජයට රුපියල් 'මුද්‍රණය කිරීමට' හෝ බදු මඟින් උපයා ගැනීමට හැකි වුවත් ඒ තරම් පහසුවෙන් විදෙස් විණිමය හිඟය පියවා ගත නොහැකිය. මේ රජය මෙන්ම, පසුගිය රජයයන්ද සෘජු විදෙස් ආයෝජන ගැන කතා කරන්නට කැමතිය. එහෙත්, කතා කළ පලියට සෘජු විදෙස් ආයෝජන එන්නේ නැත. මහජන මුදල් යොදවා ප්‍රවර්ධන වැඩසටහන් කළ පළියට ආයෝජන සිදුවන්නේත් නැත. සාමාන්‍යයෙන් වසරක් තුළ ලංකාවට ලැබෙන සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය වෙළඳ හිඟයට සාපේක්ෂව සොච්චමකි. උදාහරණයක් ලෙස පසුගිය 2015 වසර තුළ ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 681ක් පමණි. මෙය එම වසරේ වෙළඳ හිඟයෙන් 8%ක් පමණි. 

උපාය මාර්ගයක් ලෙස සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා කළ යුත්තේ ආයෝජන සඳහා ගැලපෙන, ආයෝජකයින්ට වැඩිපුර ලාභ ලැබිය හැකි, ආර්ථික වටපිටාවක් සකස් කිරීමයි. එවිට, කිසිදු ප්‍රවර්ධනය කිරීමකින් තොරවම වුවද ආයෝජකයින් පැමිණෙනු ඇත.

සෘජු විදෙස් ආයෝජන ලැබී නැත්නම්, ලංකාවේ වෙළද හිඟය ආවරණය වන්නේ කෙසේද? වෙළඳ හිඟය මඟින් පෙන්වන්නේ භාණ්ඩ වෙළඳපොළේ
සමතුලිතතාවයයි. මෙයට අමතරව ලංකාව සහ විදෙස් රටවල් අතර සේවා වෙළඳාමක්ද සිදුවේ. පසුගිය වසරේ ලැබුණු ශුද්ධ සේවා ආදායම ඩොලර් මිලියන 228කි. කෙසේවුවද, ලංකාවේ සේවා වෙළඳපොළ එතරම් විශාල නැතිවා පමණක් නොව බොහෝ විට පෙර වසරේ පැවතියාක් මෙන් අතිරික්තයක් පෙන්වන්නේද නැත.

ලංකාවේ වෙළඳ හිඟය ප්‍රධාන වශයෙන්ම පියවෙන්නේ මැද පෙරදිග ප්‍රධාන විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ වලිනි. පසුගිය වසර තුළ මෙසේ ලැබුණු  මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 6,193කි. මේ මුදල ඉතා විශාල මුදලක් බව නොකිවමනාය. ලංකාවේ බොහෝ දෙනෙකු භුක්ති විඳින සෞභාග්‍යය ගොඩ නැඟී ඇත්තේ මේ ශ්‍රමිකයින් හිස් ගැසුම් අවදානම් දරමින් උපයන විදෙස් විණිමය මත බව මම පසුව කරුණු සහිතව පෙන්වා දීමට බලාපොරොත්තු වෙමි. සිතන්න! අපේ සමස්ත අපනයන ආදායමම ඩොලර් මිලියන 10,505 ක් පමණක් වන විට විදෙස් ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 6,193ක් ලංකාවට ලැබේ. අපනයන ආදායමෙන් විශාල කොටසක් නිෂ්පාදන පිරිවැය බැවින් එහි ඇති අතිරික්තය එතරම් විශාල නැත. උදාහරණයක් ලෙස තේ කිලෝවක් විකුණා ඩොලර් තුනක් ලැබෙන විට එහි නිෂ්පාදන වියදම ලෙස ඩොලර් දෙකක් හෝ දෙකයි පණහක් වැය වී තිබිය හැකිය. ඇඟළුම් වල තත්ත්වයද එසේමය. එහෙත්, ප්‍රේෂණ යනු තනිකරම ලංකාවට රටේ ආර්ථිකයෙන් බාහිරව ලැබෙන මුදලකි. ඒ නිසා ගෙවුම් ශේෂයට ඇති බලපෑම සමාන වුවත් මේ ඩොලර් දෙවර්ගය සමාන නැත.

කෙසේවුවද, මෙසේ ලැබෙන ප්‍රේෂණ වලින් අනතුරුවද වෙළඳ ශේෂයේ හිඟය සම්පූර්
යෙන් පියවෙන්නේ නැත. වෙළඳ ශේෂය, ශුද්ධ සේවා ආදායම හා ශුද්ධ ප්‍රේෂණ වල එකතුව ජංගම ගිණුමේ ශේෂයයි. පසුගිය වසරේදී මේ ශේෂය ඩොලර් මිලියන 2,008 ක හිඟයක් විය. පෙර කී පරිදි, සෘජු විදෙස් ආයෝජන මඟින් පියවුණේ එම හිඟයෙන් ඩොලර් මිලියන 681ක් පමණි.

ඉහත තත්ත්වය පසුගිය වසරට පමණක් අදාළ සුවිශේෂී තත්ත්වයක් නොවේ. කලක සිටම ලංකාව මේ විදෙස් විණිමය හිඟයෙන් බැටකයි. එක් පසෙකින් අයවැය හිඟයයි. අනෙක් පසෙන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයයි.

ඉහත ප්‍රශ්න දෙකටම ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ට 'එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු බාවන' විසඳුමක් තිබේ. ඒ අයවැය හිඟය පියවීමට විදේශ ණය ගැනීමයි. රජයට මුදල්ද රටට ඩොලර්ද ලැබේ. වැඩේ ගොඩය! හැබැයි අදටය. හෙට ප්‍රශ්නය තවත් උග්‍ර වේ.

විදේශ ණය පියවීමට විදේශ විණිමය අවශ්‍යය. ඒ නිසා, බදු වැඩි කිරීම වැනි ක්‍රමයකින් රජයේ ආදායම් වැඩි කරගැනීම පමණක් ප්‍රමාණවත් නැත. විදේශ විණිමය සොයා ගැනීමටද අවශ්‍යය. දැන් රටට විදේශ විණිමය අවශ්‍ය වන්නේ ආනයන සඳහා පමණක් නොවේ. රජයේ ණය ගෙවීම සඳහාත් විදේශ විණිමය අවශ්‍යය. මෙය චක්‍රීයව සිදුවෙද්දී ගෙවුම් ශේෂ ප්‍රශ්නය මෙන්ම ණය ප්‍රශ්නයද තවතවත් උග්‍ර වේ. 

"එකක් කඩතොළු මකා ගන්නට ගිහින් මට වුනු කාරියා
දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා"

මගේ පියා නිතර කියන ඔන්න ඔහොම කතාවක් අසා ඇතත් ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නැත.


ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් විට විදෙස් විණිමය හොයා ගැනීම පහසු නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට අවශ්‍ය වන්නේ එවිටය. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන්නේ ණය දීමක්ම නොවේ. විදෙස් විණිමය ලබා දීමකි.

ඔබ බදු වැඩි කර අරමුදල් සොයාගන්න. අපි ඔබට එසේ සොයාගන්නා රුපියල් ඩොලර් කර ගැනීමට උදවු කරන්නම්. හැබැයි තාවකාලිකව!
 

Sunday, April 24, 2016

අපනයන ආදායම් රට තුළට ගෙන එන්නට දින අනූවක කාලසීමාවක්



මහ බැංකු පුවත් නිවේදනයක් අනුව, මුදල් ඇමතිවරයා විසින් අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සම්බන්ධව 1993 මාර්තු සිට පැවති නිදහස් කිරීමක් අවලංගු කර තිබේ. මේ අනුව, 2016 අප්‍රේල් මස පළමුවැනි දින හෝ ඉන් පසුව අපනයනය කරන කිසියම් භාණ්ඩයක් සඳහා ලැබෙන විදේශ මුදල් දින 90ක් ඇතුළත අනිවාර්යයෙන්ම රට තුළට රැගෙන ආ යුතුය. එමෙන්ම, මේ වන විට රටින් පිට රඳවාගෙන සිටින එවැනි අපනයන ආදායම් ඇත්නම් ඒ මුදල් මැයි මස පළමුවෙනි දිනට පෙර රට තුළට රැගෙන ආ යුතුය.

මේ තීරණය විදේශ අංශය තුළ රජය මුහුණ දෙන අර්බුදයේ පැතිකඩකි. මේ වන විට අපනයනකරුවන් සිය ආදායම් රට තුළට රැගෙන ඒම ප්‍රමාද කරමින් සිටින බව හෝ අඩු වශයෙන් රජය එසේ සිතන බව පෙනේ. රුපියල ඉදිරියේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමට නියමිත බව පෙනේනම් විදෙස් විණිමය අත ඇති අයෙකු ඒ මුදල් රුපියල් වලට හරවන්නේ නැත. එසේ නොකර ඩොලර් හෝ වෙනත් ශක්තිමත් විදෙස් මුදලක් ලෙසම තබා ගත්විට ඉදිරියේදී වැඩි රුපියල් ගණනක් ලබා ගැනීමට ඉඩ සැලසෙන බැවිනි.

කෙසේවුවද, අළුත් ගැසට් නිවේදනය අනුව අපනයන ආදායම් රට තුළට රැගෙන විත් විදෙස් ව්‍යවහාර මුදල් වශයෙන්ම දේශීය බැංකු ගිණුමක තබා ගැනීමේ හැකියාව තිබේ. එවිට විදෙස් මුදල් අත ඇති අයෙකුට පෙර කී වාසිය අහිමි නොවන අතර මහ බැංකුවට දේශීය බැංකු හරහා ඒ විදෙස් මුදල් මිලදී ගෙන විදෙස් විණිමය හිඟයෙන් කොටසක් ආවරණය කර ගත හැකිය. ප්‍රශ්නය ඇත්තේ ඒ සඳහා අපනයනකරුවන් වෙත මෙවැනි බලපෑමක් කිරීමට රජයට සිදුව ඇත්තේ ඇයිද යන්නයි.


මේ අවස්ථාවේදී යමෙකු ඩොලර් රුපියල් බවට නොහැරවීම තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ. එහෙත්, දේශීය බැංකුවක ඩොලර් වශයෙන් නොරඳවා රටින් පිටත මෙවැනි අරමුදල් තබා ගැනීමට පෙළඹීම එයින් පැහැදිලි නොවේ. දේශීය බැංකු ඩොලර් තැන්පතු සඳහා ලබාදෙන පොලිය සාමාන්‍යයෙන් විදෙස් බැංකුවකින් ලැබෙන පොලියට වඩා වැඩිය.

කිසියම් ක්‍රමයකින් ඩොලර් උපයන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට ඩොලර් වියදම් කිරීමටද සාමාන්‍යයෙන් අවශ්‍ය
. ඒ අතින්, මේ බොහෝ දෙනෙකු විදෙස් විණිමය උපයන අනෙක් ප්‍රධාන කණ්ඩායම වන (බහුතරය අඩු ආදායම්ලාභී පවුල් වල සාමාජිකයින් වන) මැදපෙරදිග ඇතුළු රටවල වෙසෙන ශ්‍රමිකයන්ගෙන් වෙනස්ය.

ලංකාවේ විශාල ව්‍යාපාර ජාල බොහොමයක්ම සතුව අපනයන ව්‍යාපාර මෙන්ම ආනයන ව්‍යාපාරද තිබේ. ඔවුන්ට ඔවුන්ගේ අපනයන ආදායම් ආනයන වියදම් වෙනුවෙන් හිලවු කරගැනීම වාසිදායකය. බොහෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික අවශ්‍යතාවන්ට අමතරව පෞද්ගලික අවශ්‍යතා සඳහා විදෙස් විණිමය අවශ්‍යය. උදාහරණ ලෙස මේ බොහෝ දෙනෙකුගේ දරුවන් විදෙස් රටවල අධ්‍යාපනය ලබන අතර, විදෙස් රටකට යම් කලෙක සංක්‍රමනය වීම තවත් ඇතැම් අයගේ අරමුණකි. රටින් පිටත ගිණුමක් පවත්වා ගැනීම රට තුළට ඩොලර් ගෙන එනවාට වඩා මේ කටයුතු වලට පහසුය.

දේශීය බැංකු වල ව්‍යවහාර මුදල් ගිණුමකින් මුදල් ලබා ගැනීම විදෙස් රටක ඇති ගිණුමකින් මුදල් ගන්නා තරමටම පහසුනම් රට තුළට මුදල් ගෙන ඒමේ විශේෂ අවාසියක් නැත. එහෙත්, එසේ නොකිරීමෙන් පෙනෙන්නේ එක්කෝ එවැනි පහසුවක් නැති බවය. එසේ නැත්නම් මේ ගිණුම් වලින් මුදල් ආපසුගැනීම අපහසුබව මේ පිරිස විශ්වාස කරන බවය.


ඇතැම් විට ඇතැම් කණ්ඩායම් විසින් දේශපාලනික හේතු මත රටේ ආර්ථිකය අස්ථාවර කිරීම සඳහා රුපියලට පීඩනයක් එල්ල කිරීමට මෙවැන්නක් කරනවා හා/හෝ එසේ කරන බව රජය සිතනවා වීමටත් ඉඩක් තිබේ. එවැනි තත්ත්වයක් ඇත්නම් එයින් පෙනෙන්නේ අපනයනකරුවන් පවතින රජය සමඟ අප්‍රසාදයෙන් සිටින බවයි. රජයේ විදේශ විණිමය ප්‍රතිපත්තිය සමස්තයක් ලෙස අපනයනකරුවන්ට වාසිදායක නිසා එසේ ක්‍රියාකරන්නට ඔවුන්ට දේශපාලනික හේතු තිබිය හැකි වුවත් ආර්ථික හේතුනම් තිබිය නොහැකිය.

මේ සියල්ලටම වඩා තත්ත්වය භයානක වන්නේ අපනයන ආදායම් රටින් පිටත රඳවාගැනීම බොහෝ අපනයනකරුවන් විසින් විශාල ආර්ථික අර්බුදයක් ළඟ එන බව විශ්වාස කිරීමේ පිළිබිඹුවක් වන්නේනම්ය. විශාල ආර්ථික අර්බුදයක් හේතුවෙන් රටේ බැංකු පද්ධතිය අර්බුදයට ලක් වුවහොත් සිය තැන්පතු විදෙස් ව්‍යවහාර මුදලකින් තැන්පත් කර තිබුණේ වුවද ඒ මුදල් ආපසු ලැබීම පිලිබඳ සහතිකයක් නැත. යමෙක් එසේ සිතන්නේනම් බොහෝ විට පෙළඹෙන්නේ සිය අරමුදල් රටින් පිටත රඳවා තබා ගැනීමටය. අළුත් ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයේ, වෙළඳපොළ මූලධර්ම මත පදනම් නොවූ නියාමනයන් මඟින් කෙරෙන්නේ රටේ විදෙස් අංශයේ අර්බුදයක් ළඟ එන බවට පණිවුඩයක් දීමයි. ඒ නිසා මෙයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී එහි අනිත් පැත්ත සිදුවීමටද පුළුවන.

නියාමන ආයතන වල ඇසට වැලි ගසා සිය අපනයන ආදායම් රටින් පිටත තබා ගැනීමේ කලාව ලංකාවේ මහා පරිමාණ මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝද හොඳින් දනිති. බොහෝ විට ඔවුන් මෙසේ කරන්නේ නියාමනයෙන් ගැලවීමටත් වඩා බදු පැහැරහැරීමේ අරමුණෙනි. රේගු නිලධාරීන් වෙත ඉදිරිපත් කෙරෙන ඉන්වොයිස් වල හැමවිටම ඇත්තේ සැබෑ මිලගණන් නොවේ.

අපනයනකරුවෙකුට ඉහත නියාමන ක්‍රියාමාර්ගයේ බලපෑමෙන් ගැලවී විදෙස් විණිමය රටින් පිටත රඳවා ගැනීම අපහසු කාර්යයක් නොවේ. කළයුත්තේ රටේ සාර්ව-ආර්ථික තත්ත්වය පිළිබඳව විශ්වාසය ගොඩනංවා සිය කැමැත්තෙන්ම අපනයන
දායම් රට තුළට ගෙන එන්නට පෙළඹවීමක් ඇති කිරීමයි.

(Image: www.therepublicsquare.com)