Showing posts with label රාජ්‍ය ණය. Show all posts
Showing posts with label රාජ්‍ය ණය. Show all posts

Friday, June 16, 2023

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද?


මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා.

ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල් අමාත්‍යංශය විසින් රජයේ ණය ප්‍රමාණ පිළිබඳ "අලුත්ම" තත්ත්වය ටික දවසකට කලින් වාර්තා කළා. අලුත්ම නොකියා "අලුත්ම" කිවුවේ මේ තියෙන්නෙත් මාර්තු 31 පැවති තත්ත්වය නිසා. මීට කලින් "අලුත්ම" තත්ත්වය වුනේ පෙර වසර අවසානයේදී පැවති තත්ත්වය. 

පහත වගුවේ විස්තරාත්මකව පෙන්වා ඇති පරිදි, පෙර වසර අවසානයේදී ඩොලර් මිලියන 84,703ක් වූ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය මාර්තු අවසානය වෙද්දී ඩොලර් මිලියන 91,561 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 6,858ක වැඩි වීමක්. ඩොලර් බිලියන හතකට ආසන්නයි.

ඒ කියන්නේ රජය විසින් ඔය මාස තුනට අලුතෙන් ඩොලර් බිලියන හතක් පමණ ණය අරගෙනද?

පළමුව, මෙහි තිබෙන්නේ සමස්ත රාජ්‍ය අංශයේ ණය. මධ්‍යම රජයේ ණය වගේම මහ බැංකුවේ සහ රාජ්‍ය සංස්ථා වල ණයත් මෙම ගණනට ඇතුළත්. දෙවනුව, මේ ණය වලට විදේශ ණය මෙන්ම දේශීය ණයද ඇතුළත්. අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශ ණයහිමියන් වෙනුවෙන් නිසා රුපියල් ණයද ඇමරිකන් ඩොලර් වලින් පෙන්වා තිබෙනවා. 

මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය කොටස පමණක් වෙන් කර ගත්තොත් ඩොලර් මිලියන 44,243 සිට ඩොලර් මිලියන 44,203 දක්වා ඩොලර් මිලියන 200ක අඩු වීමක් පෙනෙනවා. ඒ කියන්නේ ඔය කාලය ඇතුළත ලබාගත් යම් විදේශ ණය ප්‍රමාණයක් ඇත්නම් එම මුළු ප්‍රමාණය සහ තවත් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයක් විදේශ ණය ආපසු ගෙවීම සඳහා යොදවා තිබෙනවා. 

මේ විදිහට ආපසු ගෙවා තියෙන්නේ, බොහෝ දුරට, ඔය කාලය තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර. ආපසු ගෙවා තිබෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 208ක්. ඩොලර් ණයට නොගෙන ඩොලර් ණය ගෙවනවා කියන්නේ රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන ඩොලර් වලින් ණය ගෙවනවා කියන එකයි. සුළුවෙන් හෝ ණය ආපසු ගෙවීමට අමතරව ඔය කාලය තුළ විදේශ ණය වෙනුවෙන් පොලී ලෙසද සැලකිය යුතු මුදලක් ගෙවන්න ඇති.

රුපියල් නොවන විදේශ ණය සියල්ල ඇමරිකන් ඩොලර් වලින් ගත් ණය නෙමෙයි. යුරෝ, යෙන්, යුවාන් ආදී වෙනත් මුදල් වලින් ගත් ණය ඔය ගොඩේ තිබෙනවා. විණිමය අනුපාතය වෙනස් වෙද්දී එම ණය වල ඩොලර් අගය වෙනස් වෙනවා. මාස තුන ඇතුළත පොඩි පොඩි අඩුවැඩිවීම් වලට හේතුව මෙයයි. උදාහරණයක් විදිහට මහ බැංකුවේ මුදල් හුවමාරු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 25කින් අඩු වී තිබෙන්නේ යුවානයේ අගය පිරිහීම නිසා මිසක් එම මුදල ආපසු ගෙවූ නිසා නෙමෙයි. ඔය වගේ වෙනස්වීම් දෙපැත්තටම වෙන්න පුළුවන්.

ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 6,858කින් වැඩි වී තියෙන්නේ විදේශ ණය මිලියන 200කින් අඩු වෙද්දී දේශීය ණය වල ඩොලර් අගය රුපියල් මිලියන 7,058කින් ඉහළ ගොස් ඇති නිසා. රුපියල් ණය වල ඩොලර් අගය මාස තුනකදී මිලියන 38,682 සිට මිලියන 45,713 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ වැඩිවීමට ප්‍රධානම හේතුව මාර්තු අවසානයේදී ඩොලරයක මිල විශාල ලෙස පහත වැටීමයි. පෙර වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 363.11ක්. මාර්තු 31 වන විට ඩොලරයක මිල රුපියල් 327.29 දක්වා පහත වැටිලා. ඒ අනුව, පෙර වසර අවසන් වෙද්දී අරගෙන තිබුණු රුපියල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 14,046ක් (=38,682*363.11). එම රුපියල් ණය ප්‍රමාණයේම ඩොලර් අගය මාර්තු අවසාන වෙද්දී ඩොලර් වලින් මිලියන 42,916 දක්වා ඉහළ ගොස් තිබෙනවා (=14,046/327.29). ඒ කියන්නේ ඩොලර් වලින් බැලූ විට මිලියන 4,234ක වැඩි වීමක්. 

ඉහත කොටස ඉවත් කළාට පසුව, ඉතිරි ඩොලර් මිලියන 2,824 රුපියල් ණය වල ඇත්තම වැඩි වීම. එම ප්‍රමාණය රුපියල් වලින් බිලියන 924ක් පමණ. වසරේ පළමු මාස තුන ඇතුළත භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 4,126 සිට රුපියල් බිලියන 4,636 දක්වා රුපියල් බිලියන 510කින් ඉහළ ගොස් තිබෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 8,722 සිට රුපියල් බිලියන 9,131 දක්වා රුපියල් බිලියන 409කින් ඉහළ ගොස් තිබෙනවා. දෙවර්ගයේම වැඩිවීම රුපියල් බිලියන 919ක්. ඉහත ඇස්තමේන්තුවට ආසන්නව සමානයි.

පෙර වසර අවසානයේදී වූ රුපියල් බිලියන 14,046ක ණය ප්‍රමාණය තවත් රුපියල් බිලියන 919කින් ඉහළ යනවා කියන්නේ මාස තුනකදී 6.5%ක වැඩි වීමක්. ඒ කියන්නේ 26%ක පමණ වාර්ෂික පොලියක් එකතු වීමක් වැනි දෙයක්. ඔය කාලයේ පොලී අනුපාතික තිබුණේ 26%කට වඩා වැඩි හෝ ආසන්න මට්ටමක. පොලී අනුපාතික 26% මට්ටමේ තියෙද්දී තියෙන භාණ්ඩාගාර බිල්පත් ටිකම කල් පිරෙද්දී නැවත අලුත් කළ විට, අලුතෙන් සතයක්වත් ණය ගත්තේ නැතත්, මාස තුනක කාලයකදී ණය ප්‍රමාණයේ 6.5%ක වැඩි වීමක් වෙනවා. 

පසුගිය සතිය වන විට (ජූනි 8) භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 5,192 දක්වා ඉහළ ගිහින්. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 9,032 දක්වා අඩු වෙලා. ඒ  කියන්නේ තවත් රුපියල් බිලියන 457ක පමණ වැඩි වීමක්. ජූනි 8 වන විට ඩොලරයක මිල රුපියල් 290.97 දක්වා පහත වැටී තිබුණා. ඒ නිසා, පසුගිය සතියේ ගණන් බැලුවානම් ඔය ණය ප්‍රමාණය තවත් ඩොලර් බිලියන හතකටත් වඩා වැඩියෙන් වැඩි වී ඩොලර් බිලියන 99ක් පමණ වෙනවා. නමුත් දැන් නැවතත් ඩොලරයක මිල ටිකක් ඉහළ ගිහින් නිසා පොඩ්ඩක් අඩු වෙලා ඇති. 

ඩොලරයක මිල ඉහළ යන තරමට රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය පහත වැටෙනවා. ඩොලරයක මිල අඩු වෙද්දී ඔය අගය ඉහළ යනවා. මේක වෙන්නේ කවුරුවත් ණය අරගෙන ගිලින නිසා නෙමෙයි. 

ඉහත වගුව අනුව පෙර වසර අවසානයේදී මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 84,703ක්නේ. එදින පැවති විණිමය අනුපාතය සලකා (රුපියල් 363.11) රුපියල් කළොත් රුපියල් බිලියන 3,076ක්. මාර්තු අවසාන වෙද්දී මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 91,561ක්. එදින පැවති විණිමය අනුපාතය සලකා (රුපියල් 327.29) රුපියල් කළොත් රුපියල් බිලියන 2,997ක්. ඒ කියන්නේ මාස තුනක් ඇතුළත රුපියල් බිලියන 79කින් ණය අඩු වෙලා!

දැන් විණිමය අනුපාතය අනුව ගණනය කළොත් රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය රුපියල් වලින් තවත් අඩු වෙලා ඇති. හැබැයි ඔය විදිහට ණය අඩු වී ඇති බව පෙන්වන එකත්, ඩොලර් බිලියන නවයක් ණය අරගෙන කියනවා වගේම වැරදි අර්ථකථනය කිරීමක් පමණයි. කාලයක් ලංකාවේ ණය වැඩි වීම නොපෙන්වා හිටියේ ඔය ක්‍රමයට. 

Tuesday, May 30, 2023

ඇමරිකාවේ ණය ප්‍රශ්නය


ටික දවසකට පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසින් රජයට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි උපරිම සීමාව රුපියල් බිලියන 5000 සිට 6000 දක්වා ඉහළ දැම්මා. බොහෝ රටවල මෙවැනි උපරිම සීමාවන් නැහැ. එහෙත්, ලංකාවේ මෙන්ම ඇමරිකාවේද මෙවැනි උපරිම සීමාවක් තිබෙනවා. එම සීමාව ඉක්මවා රජයට ණය ගැනීමේ හැකියාවක් නැහැ.

දැනට ඇමරිකාවේ මෙම සීමාව ඩොලර් ට්‍රිලියන 31.4ක්. මේ වන විට ඇමරිකාවේ ණය ප්‍රමාණය ඔය සීමාව කිට්ටුවටම ඇවිත්. ඒ නිසා, තවත් ණය ගන්නනම් සීමාව ඉහළ දමා ගත යුතුයි. එසේ නැත්නම් තාවකාලිකව ණය සීමාව අත් හිටවිය යුතුයි. මේ දෙකෙන් කොයි එක කරන්නත් ඇමරිකානු කොන්ග්‍රසයේ කොටස් දෙක වන සෙනෙට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද අනුමැතිය හිමි විය යුතුයි.

ඇමරිකාවේ වත්මන් ආණ්ඩු පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය විසින් යාන්තමින් සෙනෙට් සභාවේ බහුතර බලය හදාගෙන සිටියත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැහැදිලි බහුතර බලය තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. සාමාන්‍යයෙන් කොන්ග්‍රසයේ බලය ආණ්ඩු පක්ෂයට (ජනාධිපතිවරයාගේ පක්ෂයට) තිබෙන අවස්ථාවක ණය සීමාව ඉහළ දමා ගැනීම සරල කටයුත්තක් වුවත් එම බලය විපක්ෂය සතුව ඇති විට මේ වැඩේ ලේසියෙන් කර ගන්න බැහැ.

ණය සීමාව ඉහළ දැමු පමණින් එම සීමාව දක්වා ණය ගන්න බැහැ. රජයට වියදම් කළ හැකි උපරිම මුදල වෙනත් නීති වලින් සීමා වෙනවා. ඇමරිකාවේ මෙන්ම ලංකාවේද මෙය සිදුවන්නේ මේ විදිහටයි. උපරිම ණය සීමාව තාක්ෂනික සීමාවක් පමණක් වුවත් සාමාන්‍යයෙන් කොංග්‍රසයේ බලය විරුද්ධ පක්ෂය සතු වූ විට ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපත්ති මත බලපෑමක් කිරීම සඳහා විරුද්ධ පක්ෂයට මේ සීමාව ප්‍රයෝජනයට ගත හැකියි. මෙවර සිදු වුනේද එයයි.

උපරිම ණය සීමාව නීතිමය බාධකයක් වී තාක්ෂනික හේතුවක් නිසා ඇමරිකන් රජයට ණය ගෙවන්නට නොහැකි වුවහොත් එයින් ඇමරිකාවට මෙන්ම ලෝකයටම විශාල බලපෑමක් වෙනවා. ඒ නිසා, වගකිවයුතු විපක්ෂයක් මේ වගේ දෙයකට පෙළඹෙන්නේ නැහැ. එහෙත්, ණය සීමාව ඉහළ දමා ගැනීමට සහයෝගය දීම වෙනුවෙන් වෙනත් කොන්දේසි දැමීම මගින් ඔවුන්ට ආණ්ඩුවේ ඇතැම් අපේක්ෂිත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආපසු හරවන්න පුළුවන්. මේ වගේ වෙලාවක විපක්ෂයට විශාල හෙට්ටු කිරීමේ බලයක් ලැබෙනවා. 

ලංකාව වගේ රටකනම් මේ වගේ වෙලාවක වෙන්නේ මන්ත්‍රීවරුන් මුදලට වෙන්දේසි වීම, අලුත් ඇමති ධුර හැදෙන එක වැනි දේ. නමුත්, ඇමරිකාවේ එහෙම වෙන්නේ නැහැ. රිපබ්ලිකන් පක්ෂයේ හෙට්ටු කිරීම් වල තිබෙන්නේ එවැනි පෞද්ගලික ඉලක්ක නෙමෙයි. ආණ්ඩු පක්ෂය විසින් මහජන මුදල් වැය කිරීම පාලනය කිරීමේ හා ඒ මගින් ණය ගැනීම සීමා කිරීමේ ඉලක්කය පෙරදැරිවයි මේ සාකච්ඡා සිදු වන්නේ. සාමාන්‍යයෙන් ඔය සාකච්ඡා ටික කලක් ඇදිලා අවසානයේදී දෙපාර්ශ්වය යම් එකඟතාවයකට එනවා. මේ ගැන අපෙන් අසා තිබුණු කිහිප දෙනෙකුට අප විසින් ඔය කතාව කලින්ම කියා තිබෙනවා.

වාර්තා වී තිබෙන විදිහට පසුගිය ඉරිදා (මැයි 28) දෙපාර්ශ්වය විසින් (ජනාධිපති බයිඩන් සහ කථානායක කෙවින් මැකාති) මෙම එකඟතාවය ඇති කරගෙන තිබෙනවා. මේ අනුව හෙට (මැයි 31) දින ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ 2025 ජනවාරි දක්වා උපරිම ණය සීමාව අත්හිටවීම පිණිස යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතයි. යෝජනාව සම්මත වුවහොත්, ණය සීමාව වෙනස් නොවන නමුත් තාවකාලිකව සීමාව නොසලකා හැරීමට ඉඩ සැලසෙනවා. කෙසේ වුවත්, දෙපාර්ශ්වය විසින් ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව බයිඩන් රජය විසින් කරන්නට සිටි වියදම් රැසක් කප්පාදු කරන්නට සිදු වෙනවා. 

Monday, May 29, 2023

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?


ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ  තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු ගෙවන්න වෙනවා. 

කලින් කළේ අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. දැන් කරන්නෙත් අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. කලින් අලුත් ණය අරගෙන පරණ ණය හා පොලී ගෙවද්දී ණය එන්න එන්නම වැඩි වුනා. අන්තිමට ණය තිරසාරත්වය නැති වෙලා ණය පැහැර හරින්න සිදු වුනා. දැන් අලුත් ණය අරගෙන පරණ ණය හා පොලී ගෙවද්දීත් ණය එන්න එන්නම වැඩි වෙනවා. එහෙමනම් මොකක්ද වෙනස? කලින් නැතිවුණු ණය තිරසාරත්වය දැන් ඇති වෙන්නේ කොහොමද?

මේක පැහැදිලි කරන්න ලොකුවට ආර්ථික විද්‍යා සංකල්ප අවශ්‍ය වන්නේ නැහැ. සරල ගණිතයෙන් පැහැදිලි කරන්න පුළුවන්. කැමති අය ඉන්නවානම් එක්සෙල් ෂීට් එකක් ඇරගන්න. කියන දේ තමන්ටම පැහැදිලි කරගන්න පුළුවන් වෙයි.

රටක ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේදී කරන්නේ ගතික සමතුලිතතාවයක් වෙනස් කරන එක. ගතික සමතුලිතතාවයක් වෙනස් කරද්දී සිදු වෙන දෙය ස්ථිතික සමතුලිතතාවයක් වෙනස් කරද්දී කරන දේවල් වලට වඩා ටිකක් සංකීර්ණයි. සිදු වෙන වෙනස තේරුම් ගන්න තරම් පුහුණුවක් නැති කෙනෙකුට ප්‍රතිඵල එක පාරට පේන්නේ නැහැ.

ඕනෑවටත් වඩා සරල කරලා කිවුවොත් මේක වාහනයක් එළවනවා වගේ වැඩක්. ගොඩක් වෙලාවට අනතුරක් වලකන්න තිරිංග තද කරන්න වෙනවා. නමුත් සමහර වෙලාවට ඇක්සලරේටරේ පාගලා වේගය වැඩි කරලා ඉක්මණින් අදාළ තැන පහු කරන්න වෙනවා. ඔය දෙකෙන් කොයි එක කළත් අන්තිමට අනතුර වළක්වාගෙන ගමන යා යුතුයි. 

කලින් කළ දේ සහ දැන් කරන දේ අතර ප්‍රධානම වෙනස ප්‍රාථමික අයවැය හිඟයක් වෙනුවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම. මේක ඉතාම වැදගත් වෙනසක්.

රටක රජයක් කවදා හරි දවසක තමන් විසින් ගත් ණය ගෙවලා ඉවර කළ යුතුයිද කියන ප්‍රශ්නයම වුනත් විවාදාත්මක ප්‍රශ්නයක්. වත්මන් රජය හෝ මහ බැංකුව විසින් එහෙම හිතනවා කියලා මම හිතන්නේ නැහැ. IMF එක එහෙම හිතන බවක් පෙනෙන්නෙත් නැහැ. ඒ ප්‍රශ්නය අපි පැත්තකින් තියමුකෝ. මේක ආර්ථික ප්‍රශ්නයක් ලෙස නොසිතා ගණිත ප්‍රශ්නයක් කියලා හිතමු. 

රටක රජයක් විසින් දිගින් දිගටම ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්නවා කියන්නේ ඒ රටේ ණය එන්න එන්නම වැඩි වෙනවා මිසක් කිසිම දවසක අඩු වෙන්නේ නැහැ කියන එක. මේක ගණිතමය සත්‍යයයක්. අනන්ත කාලයක් ගියත් ණය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඊට කලින් කොයි වෙලාවක හරි ණය තිරසාරත්වය නැති වෙලා ණය අර්බුදයක් එන්න පුළුවන්. එතෙක් යම් කාලයක් වැඩේ ඇදගෙන යන්න පුළුවන්. ලංකාවට වුනේ ඕකනේ.

කවදා හෝ දවසක රජයේ ණය ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තොත් පමණයි. මෙය ප්‍රමාණවත් නැති එහෙත් අනිවාර්යයෙන්ම අවශ්‍ය කොන්දේසියක්. 

ඔය ප්‍රාථමික අයවැය කොන්දේසිය සපුරලා, සපුරා ගන්න ගොඩක් අමාරු නැති තවත් එක් කොන්දේසියක් පමණක් සම්පූර්ණ කළොත්, කවදා හරි දවසක අනිවාර්යයෙන්ම රජයේ ණය ගෙවිලා අවසන් වෙනවා. ඊට කලින් යම් සැලකිය යුතු කාලයක් එන්න එන්නම ණය තව තව වැඩි වුනත්, කිසිසේත්ම බය වෙන්න අවශ්‍ය නැහැ. අන්තිමට අවශ්‍ය වැඩේ වෙනවා.

මොකක්ද මේ දෙවන කොන්දේසිය?

දෙවන කොන්දේසිය ණය වලට ගෙවන මූර්ත පොලී අනුපාතිකය ඉක්මවන මූර්ත ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම. උද්ධමනය පහළ මට්ටමක ස්ථාවරව තියා ගත්තොත් 2%ක පමණ මූර්ත පොලී අනුපාතිකයකට පහසුවෙන්ම ණය ගන්න පුළුවන්. ඒ වගේම, දිගුකාලීනව ඔය මට්ටමේ මූර්ත ආර්ථික වර්ධනයක් නිකම්ම එනවා. ඒ සඳහා අමුතුවෙන් මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ, ඉහත පළමු කොන්දේසිය සපුරා ගන්න පුළුවන්නම් දෙවැන්න ප්‍රායෝගිකව ප්‍රශ්නයක් නෙමෙයි. අවසාන වශයෙන් කවදා හරි දවසක ණය ටික ගෙවලා ඉවර වෙනවා.

මේ කියන "කවදා හරි දවස" තීරණය වන ප්‍රධාන සාධක තුනක් තිබෙනවා. පළමුවැන්න දැනට තිබෙන ණය ප්‍රමාණය. දදේනි අනුපාතයක් විදිහට මේ ප්‍රමාණය වැඩි වන තරමට ණය ගෙවලා ඉවර කරන්න වැඩි කාලයක් යනවා. දෙවැන්න ප්‍රාථමික අයවැය අතිරික්තය. දදේනි අනුපාතයක් විදිහට මෙය වැඩි වන තරමට වඩා ඉක්මණින් ණය ගෙවලා ඉවර කරන්න පුළුවන්. තුන් වන එක මූර්ත ආර්ථික වර්ධන වේගය. වැඩි වූ තරමට වඩා ඉක්මණින් ණය ටික ගෙවෙනවා. 

ඔය කරුණු තුනෙන් පළමුවැන්න සම්බන්ධව කළ හැකි දෙයක් නැහැනේ. ප්‍රමාණය කොයි තරම් ලොකු වුනත් දැන් වැඩේ වෙලා ඉවරයි. තුන් වන එක වන මූර්ත ආර්ථික වර්ධනය කියන්නෙත් දිගුකාලීනව රජයට සෘජුව පාලනය කළ නොහැකි දෙයක්. ණය අරගෙන රජයට කෙටිකාලීනව ආර්ථිකය වැඩි වේගයකින් වර්ධනය කරවන්න පුළුවන්. හැබැයි ණය ගෙවන්න යද්දී නැවත ආර්ථිකය කඩා වැටෙනවා. අන්තිමට දිගුකාලීනව වෙනසක් නැහැ. රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් වෙලා පෞද්ගලික අංශයට වැඩි අවස්ථා ලබා දීම, රට ලෝකයට විවෘත වීමට තිබෙන බාධා ඉවත් කිරීම, තරඟය හා ලාබ ලැබීමට තිබෙන උනන්දුව දිරිමත් කිරීම වගේ දේවල් වලින් රජයට වක්‍ර ලෙස ආර්ථික වර්ධනයට දායක වෙන්න පුළුවන්. මොනවා කළත් අවසාන වශයෙන් රටක ආර්ථික වර්ධනය තීරණය කරන්නේ පෞද්ගලික අංශය.

ණය ටික ඉක්මණින් ගෙවලා ඉවර කරන්නනම් රජයට කළ හැකි ප්‍රධානම දෙය ප්‍රාථමික අයවැය අතිරික්තය ස්ථාවර හා හැකි තරම් ඉහළ මට්ටමක තියා ගන්න එක. වෙන කිසිම ක්‍රමයක් නැහැ. රජයට කාර්යක්ෂම විය හැකි ක්‍රම ගණනාවක් තිබුණත් අවසාන වශයෙන් කවර ආකාරයකින් හෝ රජය කාර්යක්ෂම වීම පිළිබඳ නිර්ණායකය වෙන්නේ ප්‍රාථමික අයවැය ශේෂය. 

වෙනත් හේතු නිසා රටේ ණය අඩු වැඩි වෙන්න පුළුවන් වුනත් ඒ වෙනස්වීම් තාවකාලිකයි. උදාහරණයක් විදිහට රටේ උද්ධමනය ඉහළ මට්ටමක තියෙද්දී ඩොලරයක මිල අඩු වුනොත් රටේ ණය අඩු වෙන්න පුළුවන්. නමුත් එවැන්නක් දෘශ්‍ය මායාවක් පමණයි. ඒ වගේම, උද්ධමනයට වඩා අඩුවෙන් පොලී අනුපාතික තියාගෙන ණය වර්ධනය පාලනය කරන්න පුළුවන්. නමුත් මේ වගේ දෙයක් දිගුකාලීනව කරන්න බැහැ. විණිමය අනුපාතය හෝ පොලී අනුපාතික එහාමෙහා වීම නිසා ණය ප්‍රමාණයේ සිදු වන වෙනස්කම් තාවකාලිකයි. දිගුකාලීනව වැදගත් වන ප්‍රධානම සාධක තුන වත්මන් ණය ප්‍රමාණය, ප්‍රාථමික අයවැය ශේෂය සහ මූර්ත ආර්ථික වර්ධන වේගයයි.

අපි හිතමු දැනට ක්‍රියාත්මක IMF වැඩසටහන සාර්ථකව අවසන් වුනා කියලා. සමහර විට එහෙම නොවෙන්න පුළුවන්. සමහර විට, දැනට තිබෙන ප්‍රවණතාව අනුව, හිතුවටත් වඩා සාර්ථක වෙන්නත් පුළුවන්. ඒක අදාළ නැහැ. අපි වැඩේ පටන් ගන්න IMF එකේ ඇස්තමේන්තු යොදා ගනිමු. IMF ඇස්තම්නේතු අනුව, වැඩ සටහන අවසන් වෙද්දී 2028 තත්ත්වය මේ වගේ. මේ ගණන් අදාළ ලියවිල්ලෙන්ම ගත්ත ගණන්.

2028 දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 46,154යි 

2028 රාජ්‍ය ණය රුපියල් බිලියන 44,601යි 

2028 රාජ්‍ය ණය දදේනි ප්‍රතිශතයක් ලෙස 96.6%යි

2028 සිට ඉදිරියට ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.3%යි 

2028 සිට ඉදිරියට උද්ධමනය 5%යි.

2028 සිට ඉදිරියට මූර්ත ආර්ථික වර්ධන වේගය 3.1%යි.

අපි හිතමු පොලී අනුපාතික 7% මට්ටමේ තියා ගත්තා කියලා. ඒ කියන්නේ, 2%ක මූර්ත පොලී අනුපාතයක්. 

දැන් මේ අනුව, රාජ්‍ය ණය දදේනියෙන් 100%කටම කිට්ටු නිසා පොලී වියදම් විදිහට දදේනියෙන් 6.8%කට ආසන්න මුදලක් අවශ්‍ය වෙනවා. නමුත්, ප්‍රාථමික අතිරික්තය 2.3%ක් නිසා පොලී වියදම් වලින් කොටසක් වෙනුවෙනුත් අළුතෙන් ණය ගන්න වෙනවා. ඒ කියන්නේ තවදුරටත් වසරින් වසර ණය ප්‍රමාණය ඉහළ යනවා. හැබැයි ඔය වැඩේ හැමදාම ඔය විදිහටම වෙන්නේ නැහැ.

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.3%ක් වුනත් දදේනි අගය වසරෙන් වසර ඉහළ යද්දී මේ විදිහට රජය විසින් ඉතිරි කරන මුදලත් වසරින් වසර ඉහළ යනවා. මූර්ත ආර්ථික වර්ධන වේගය 3.1 හා උද්ධමනය 5% නිසා දදේනි වසරකට 8.3%කින් පමණ වැඩි වෙනවා. ඒ කියන්නේ රජයේ ඉතිරි කිරීම්ද එම වේගයෙන් වර්ධනය වෙනවා. හරියටමනම් (1+5%)*(1+3.1%) වේගයෙන්. 

පොලී වියදම් වලින් යම් කොටසක් ප්‍රාථමික අතිරික්තයෙන් ගෙවන නිසා ණය වැඩි වෙන්නේ වසරකට 6.8%කට වඩා අඩු 4.6%ක පමණ  සිට ක්‍රමයෙන් පහළ යන වේගයකින්. ණය 4.6%කට නොවැඩි වේගයකින් වැඩි වෙද්දී දදේනි 8.3% වේගයකින් වැඩි වෙන නිසා, වසරින් වසර තව දුරටත් ණය ඉහළ ගියත් දදේනි අනුපාතයක් විදිහට වසරින් වසර ණය පහළ යනවා. ඔහොම අඩු ණය අනුපාතිකව අඩු වෙද්දී පොලී ගෙවීම පිණිස අලුතෙන් ගන්න අවශ්‍ය ණය ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. අඩු වෙලා යම් කිසි වසරකදී රජයේ ඉතිරි කිරීම් පොලී වියදමට වඩා වැඩි වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික මුල් මුදලත් අඩු වෙන්න පටන් ගන්නවා. 

දැනට පුරෝකථනය කර තිබෙන විදිහට 2.3% ප්‍රාථමික අතිරික්තය එක දිගටම ඒ විදිහට පවත්වා ගත්තොත්, ආර්ථික වර්ධනය 3.1% මට්ටමේ දිගටම තිබුනොත්, 2051 වන තුරුම රජයේ ණය තව දුරටත් ඉහළ යනවා. මොකද රජයේ ඉතිරි කිරීම් වලට වඩා පොලී වියදම් වැඩි නිසා. නමුත් 2052 සිට ඔය තත්ත්වය වෙනස් වෙලා 2065 වන විට රජයට ණයෙන් නිදහස් වෙන්න ලැබෙනවා. ඒ කියන්නේ තව අවුරුදු 42ක් යනවා. එක්සෙල් ෂීට් ඇරගත්ත අය ඉන්නවනම් මේ ගණන් තමන් විසින්ම හදල බලන එක ඒ තරම් සංකීර්ණ වැඩක් නෙමෙයි.

ඔය වැඩේ ඔයිට කලින් කරගන්න බැරිද? 

ආර්ථික වර්ධන වේගය 3.1%ට වඩා වැඩි වුනොත් වැඩේ ඉක්මන් වෙනවා. වර්ධන වේගය 5% මට්ටමට ගියොත්, 2045 වෙද්දී ණය උපරිමයකට ගිහින් 2057දී ගෙවිලා ඉවර වෙනවා. තව අවුරුදු 34ක්. වර්ධන වේගය 10% මට්ටමට ගියොත්, 2048 වන විට ණය ගෙවලා ඉවර කරන්න පුළුවන්. තව අවුරුදු 25ක්. 5% පමණ ආර්ථික වර්ධන වේගයක් ගැන හිතන එක යථාර්ථවාදී වුනත්, 10% වැනි විශාල ආර්ථික වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වා ගන්නවා කියන එක ටිකක් මනෝරාජිකයි. ඒ නිසා, දැන් තිබෙන ණය ගෙවල ඉවර කරන්නනම් අඩු වශයෙන් අවුරුදු තිහ හතළිහක්වත් යනවා. ඒ කාලය තුළ ඔය 2.3% ප්‍රාථමික අයවැය අතිරික්තය ඔය මට්ටමේ තියාගත යුතුයි.

රජයට සැලසුම් කර ආර්ථික වර්ධන වේගය විශාල ලෙස වැඩි කරන්න බැහැ. එය සිදු විය හැකි දෙයක් වුවත් සිදු කළ හැකි දෙයක් නෙමෙයි. එහෙත්, රජයට පහසුවෙන්ම රජයේ අයවැය සැලසුම් කරගන්න පුළුවන්. ආර්ථික වර්ධන වේගය 3.1% මට්ටමේ තිබියදීම ප්‍රාථමික අයවැය අතිරික්තය 5% දක්වා වැඩි කළොත්, 2033 සිටම ණය අඩු වෙන්න පටන් අරන් 2047 වෙද්දී ණය සියල්ල ගෙවිලා අවසන් වෙනවා. 

රජයේ ණය ගෙවලා අවසන් කළ යුතුද, එසේනම් කොයි තරම් කාලයකින්ද කියන එක දේශපාලනික කරුණක්. හැබැයි ඔය වැඩේ කාට හරි කරන්න අවශ්‍යනම් කරන්න පුළුවන්. යතුර තියෙන්නේ ප්‍රාථමික අයවැය ශේෂයේ. නිදහසේ සිටම ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්න පුරුදු වී සිටින රජයක් ඒ හිඟය අතිරික්තයක් කිරීම මේ තරම්ම සුවිශේෂී කරුණක් වන්නේ ඒකයි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම එක ආණ්ඩුවකට කළ හැකි දෙයක් නෙමෙයි. එවැන්නක් දශක කිහිපයක් කල් ගත වන වැඩක්. මේ වගේ දෙයක් කරන්න දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති වලින් එහාට යන ජාතික ප්‍රතිපත්ති හා ජාතික එකඟතා අවශ්‍යයි. ණය ප්‍රශ්නය ගැන හෝ ණය ගෙවීම ගැන කතා කරන ඕනෑම කෙනෙක් වැඩේ පටන් ගත යුත්තේ මේ ගණිතය අමතක නොකරයි. ණය ගෙවන්න අවශ්‍යනම් මූලිකම ප්‍රතිපත්ති ප්‍රශ්නය තමන් ඉලක්ක කරන ප්‍රාථමික අයවැය ශේෂය කොපමණද කියන එක සහ ඒ ඉලක්කයට යන්නේ කොහොමද කියන එක. 

YearGDP (Rs. Bn)Savings (Rs. Bn)Debt (Rs. Bn)Debt/GDP
202846,1541,06244,60196.6%
202949,9641,14946,66293.4%
203054,0891,24448,77990.2%
203158,5541,34750,94987.0%
203263,3871,45853,16983.9%
203368,6201,57855,43380.8%
203474,2841,70957,73577.7%
203580,4161,85060,06874.7%
203687,0552,00262,42371.7%
203794,2412,16864,79068.7%
2038102,0212,34667,15865.8%
2039110,4432,54069,51362.9%
2040119,5602,75071,83860.1%
2041129,4292,97774,11757.3%
2042140,1143,22376,32854.5%
2043151,6803,48978,44951.7%
2044164,2013,77780,45149.0%
2045177,7564,08882,30646.3%
2046192,4304,42683,98043.6%
2047208,3154,79185,43241.0%
2048225,5115,18786,62138.4%
2049244,1275,61587,49835.8%
2050264,2806,07888,00833.3%
2051286,0966,58088,09030.8%
2052309,7147,12387,67628.3%
2053335,2817,71186,69025.9%
2054362,9588,34885,04723.4%
2055392,9209,03782,65221.0%
2056425,3569,78379,40018.7%
2057460,46910,59175,17516.3%
2058498,48111,46569,84714.0%
2059539,63012,41163,27111.7%
2060584,17713,43655,2889.5%
2061632,40014,54545,7237.2%
2062684,60515,74634,3785.0%
2063741,11917,04621,0392.8%
2064802,29918,4535,4650.7%
2065868,52819,976-12,605-1.5%

Wednesday, January 12, 2022

S&P ආයතනය ලංකාව තවත් පහළට දමයි!


ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කර ණයක් පියවන්නට සැරසෙමින් සිටියදී S&P ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම CCC+ කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබෙනවා. එම ආයතනයට අනුව ලංකාවේ දිගුකාලීන ණය ආපසු ගෙවීමේ හැකියාව ඉතා වේගයෙන් ක්ෂය වෙමින් පවතිනවා. මෑතකදී රජය විසින් ලබා දුන් සහන පැකේජය හේතුවෙන්ද රජයේ ණය ගෙවීමේ හැකියාව තවදුරටත් දුර්වල වී ඇති බව ඔවුන්ගේ අදහසයි. මෙම ආයතනයේ ඇස්තමේන්තු අනුව 2022 ආර්ථික වර්ධනය 2.2% මට්ටම දක්වා පහත වැටෙනු ඇති අතර 2022-2025 කාලය තුළ ආර්ථික වර්ධනය 2.7% මට්ටමේ පැවතීමට නියමිතයි.

මේ වන විට ලංකාව වැටී තිබෙන CCC කාණ්ඩයද වැටිය හැකි නරකම තැන නෙමෙයි. S&P ආයතනය විසින් ණය පැහැර හැරීමෙන් පසුව දමන D කාණ්ඩයට ඉහළින් තවත් කාණ්ඩ තුනක් තිබෙනවා. එම කාණ්ඩයකට වැටීමෙන් අදහස් වන්නේ "ණය පැහැර හැරීමක් වහාම සිදු විය හැකි හා එයින් ගැලවී වී සිටීමට ඉතාම කුඩා ඉඩක් පමණක් ඇති" බවයි. 

මූඩිස් ආයතනය විසින් මේ වන විට ලංකාව වර්ග කර තිබෙන්නේ Caa2 කාණ්ඩය යටතේ. එයද S&P ආයතනයේ CCC කාණ්ඩයට සමාන කළ හැකි කාණ්ඩයක්. කෙසේ වුවද, ෆිච් රේටිං සමාගම විසින් සති කිහිපයකට පෙර ලංකාව CC කාණ්ඩය දක්වා පහත හෙළුවා. ණය පැහැර හැරීමට පෙර ඊට පහළින් තිබෙන්නේ තවත් එක් කාණ්ඩයක් පමණයි. ෆිච් රේටිං සමාගමට අනුව මේ වන විටද ලංකාව ඉන්නේ "ණය පැහැර හැරීමක් වහාම සිදු විය හැකි හා එයින් ගැලවී වී සිටීමට ඉතාම කුඩා ඉඩක් පමණක් ඇති" තත්ත්වයකයි.

සුපුරුදු පරිදිම මහ බැංකුව විසින් මේ පහත දැමීම පිළිබඳව විරුද්ධත්වය පළ කර නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Saturday, November 13, 2021

අයවැය වැය-අයක් වූ හැටි...

වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරිකද සමඟ, ඉදිරි වසර සඳහා ඉදිරිපත් කර ඇති ලංකාවේ රාජ්‍ය අයවැයෙහි වියදම් පැත්ත ආදායම් පැත්ත මෙන් දෙගුණයකටත් වඩා බරයි. මේ අයවැය පැත්තකින් තියා මතක ඇති කාලයක ඉදිරිපත් කරනු ලැබූ ලංකාවේ කොයි අයවැයක් ගත්තත් අයවැය හිඟයක් මිස අයවැය අතිරික්තයක් දකින්න ලැබී නැහැ. මෙය රාජ්‍ය අයවැයක් පිළිබඳ සාමාන්‍ය තත්ත්වයක්ද?

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ආදායම් වියදම් කරන ආකාරය පිළිබඳ සැලසුමක්. වැය කෙරෙන්නේ අය කර ගන්නා දෙයයි. මෙය අනාදිමත් කාලයක සිට සිදු වූ දෙයක්. රජෙකු වැය කළේ රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු වූ දෙයින් කොටසක්. වැය කර ඉතිරි වූ කොටස භාණ්ඩාගාරයේ ඉතිරි වුණා. වැය අය ඉක්මවා යන කාල වකවානු වලදී ප්‍රයෝජනයට ගැනුනේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. මුල් කාලයේදී රජයක් ණය වීම දුලබ සිදු වීමක්. 

ලංකාවේද කාලයක්ම දැකිය හැකි වූයේත්, ලෝකයේ රටවල් ගණනාවකම තවමත් දැකිය හැකි මේ ක්‍රමයයි. එනම් අය කර ගන්නා දෙය පසුව වැය කරන ක්‍රමයයි. එහෙත්, ලංකාවේ දැන් ක්‍රමය මෙය නොවෙයි. දැන් සිදු වන්නේ කලින් වැය කර පසුව අය කර ගැනීමයි. ඒ කියන්නේ අයවැය ක්‍රමයක් වෙනුවට වැය-අය ක්‍රමයක්!

ලංකාවේ අයවැය ක්‍රමය වැය-අය ක්‍රමයක් වුනේ කොයි කාලයේද?


ඉංග්‍රීසින් ලංකාවේ රාජ්‍ය පාලනය භාරගෙන ඉතා කෙටි කලක් ඇතුළත ලංකා කොලනිය ලාබ ලබන තැනක් බවට පත් කළා. ඉන් පසුව, බොහෝ වසරකදී ආදායමෙන් යම් කොටසක් වැය නොකර ඉතිරි කර ගත්තා. එම ඉතිරිය ආයෝජනය කර පොලී ආදායමක්ද ලැබුවා. ආදායම් අඩු වී, වියදම් ඉහළ ගිය වසර වලදී ප්‍රයෝජනයට ගත්තේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. සමස්තයක් ලෙස දිගුකාලීනව රජයේ අයවැය සමතුලිතව තිබුණා.


නිදහස ලබන කාලය දක්වාම මේ තත්ත්වය මෙලෙසම පැවතුනා. තත්ත්වය වෙනස් වුනේ නිදහස ලැබීමත් සමඟයි. ඉන් පසුව, ආදායම් ඉපැයීම වෙනුවට වියදම් කිරීමට මුල් තැන ලැබුණා. එසේ නොවුනේ 1954 හා 1955 දෙවසර තුළදී පමණයි. අනෙක් සෑම වසරකම පැවතුනේ අයවැය හිඟයක්. 


දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරද්දී ඉතිරි කරගෙන තිබුණු සංචිත ක්ෂය වී ගියා. ඉන් පසුව, අයවැය හිඟය පියවන්න වුනේ ණය වලින්. ඒ ණය වලට පොලිය එකතු වෙද්දී රජයේ වියදම් තවත් වැඩි වුනා. අයවැය හිඟය ටිකෙන් ටික පුළුල් වුනා. අයවැය වැය-අයක් වුනේ ඔය විදිහටයි.

Tuesday, September 29, 2020

ලංකාවේ ණය අවදානම C කාණ්ඩයට!


මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය B2 මට්ටමේ සිට Caa1 මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා. C කාණ්ඩයට වැටීම සැලකෙන්නේ රටක් බංකොලොත් වී ණය ආපසු නොගෙවා පැහැර හැරීමට ඉතාම ආසන්න තත්ත්වයක් ලෙසයි. මේ මට්ටමේ අවදානමක් ඇති සේ සැලකෙන රටවල් තිබෙන්නේ තවත් හත අටක් පමණයි.

මේ තීරණයට හේතු ලෙස මූඩීස් ආයතනය විසින් ඉදිරිපත් කරන කරුණු අතර ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණයට සාපේක්ෂව විදේශ සංචිත රට තුළ නොමැති වීම, රජය විසින් ආනයන පාලනය කරා යොමු වීම හා ඒ හේතුවෙන් කාලයක් යන තුරුම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පැමිණීමේ ඉඩක් නොපෙනීම, රාජ්‍ය ණය අර්බුදයට විසඳුමක් දීම සඳහා ආණ්ඩුව විසින් ප්‍රමුඛතාවයක් දී ඇති බවක් නොපෙනීම, රජයේ ආදායම් අඩු වී වියදම් ඉහළ යාම ආදිය ඇතුළත්ව තිබෙනවා.

ඔක්තෝබර් මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරය වෙනුවෙන් මුදල් ගෙවීමට නිල සංචිත යොදා ගනු ඇතැයි මූඩීස් ආයතනය විශ්වාසය පළ කරනවා. එහෙත්, ඉන් පසුව අයවැය හිඟය 8-9% මට්ටමට යාම, රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවීම, විණිමය අනුපාතිකය කඩා වැටීම හා උද්ධමනය ඉහළ යාම වැනි අවදානම් මූඩීස් ආයතනය විසින් දකිනවා. 

ණය ශ්‍රේණිගත කිරීම පහළ යාමත් සමඟම ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල ඵලදා අනුපාතිකද ඉහළ ගොස් තිබෙනවා. 

Friday, December 20, 2019

ණය ගැනිල්ල තවත් අමාරු වෙයිද?


ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා (දෙසැම්බර් 18) ලංකාවේ රජයේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම ස්ථායී තත්ත්වයේ සිට සෘණ තත්ත්වය දක්වා පහත හෙළා තිබෙනවා. මෙයින් අදහස් වන්නේ දැනටමත් B මට්ටමට වැටී තිබෙන ණය ශ්‍රේණිය ඉදිරියේදී තවත් පහළට වැටීමේ අවදානමක් තිබෙන බවයි.

ණය ශ්‍රේණිගත කරන ප්‍රධාන ආයතන තුන වන්නේ එස්ඇන්ඩ්පී, මූඩීස් හා ෆිච් රේටින් යන සමාගම් තුනයි. මූඩීස් සමාගමේ B2 ශ්‍රේණියත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් වල B ශ්‍රේණියත් සමාන සේ සැලකෙනවා. පසුගිය 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිදු වූ බල පෙරළියෙන් පසුව ලංකාවේ  ස්වෛරීත්ව බැඳුම්කර වල අවදානම් ශ්‍රේණිය මූඩීස් සමාගම විසින් B2 මට්ටම දක්වාත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් විසින් B මට්ටම දක්වාත් පහත හෙලනු ලැබුවා. ඒ මෙතෙක් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කෙරුණු පහළම මට්ටමයි. මේ වන තුරුත් ශ්‍රේණිගත කිරීම් තිබෙන්නේ ඒ මට්ටම් වල. ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා ඉඟි කර තිබෙන්නේ ණය ශ්‍රේණිය තවත් පහළට වැටෙන්නට ඉඩ තිබෙන බවයි. ණය ශ්‍රේණිගත කිරීම් පහළ යන තරමට ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික ඉහළ යනවා.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, ආයෝජනය සඳහා සුදුසු කාණ්ඩ දහයක් තිබෙනවා. ඒවානම් AAA, AA+, AA, AA-, A+, A, A-, BBB+, BBB, BBB- යන කාණ්ඩයි. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ආදී රවවල් වලට අඩුම පොලියක් ගෙවා බැඳුම්කර නිකුත් කළ හැකිව තිබෙන්නේ එම රටවල් ඉහළින්ම තිබෙන AAA කාණ්ඩය යටතේ ශ්‍රේණිගත වී සිටින නිසයි. අසල්වැසි ඉන්දියාව ආයෝජනයට සුදුසු අවසන් කාණ්ඩය වන BBB- මට්ටමේ සිටිනවා. ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් ඊට කට්ටයක් ඉහළින් BBB මට්ටමේ ඉන්නවා. ලංකාව විසින් 2006දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට පටන් ගැනීමෙන් පසුව කිසි විටෙක මේ ආයෝජන කාණ්ඩයකට ඇතුළත් වීමට හැකි තරමට ණය ආපසු ගෙවීමේ අවදානම අඩු කර ගත හැකි වුනේ නැහැ.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, BBB- මට්ටමට පහළින් තිබෙන කාණ්ඩ සැලකෙන්නේ ලැබෙන පොලිය දෙස බලාගෙන අවදානමක් ගෙන කළ යුතු ආයෝජන ලෙසයි. මේ ආයෝජන නොවන කාණ්ඩ අතරින්ද ලංකාව දැනට වැටී සිටින B කාණ්ඩයට ඉහළින් BB+, BB, BB-, B+ යන කාණ්ඩ තිබෙනවා. B කාණ්ඩය සැලකෙන්නේ ඉතා සීමිත සුරක්ෂිතතාවක් ඇති ආයෝජනයක් ලෙසයි. දැනට ගත් ණය ගෙවාගෙන යන නමුත් කොයි වෙලාවක හෝ තත්ත්වය වෙනස් විය හැකි බව B කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමකින් අදහස් වෙනවා.

B: Highly speculative.
‘B’ ratings indicate that material default risk is present, but a limited margin of safety remains. Financial commitments are currently being met; however, capacity for continued payment is vulnerable to deterioration in the business and economic environment.

ලංකාව විශාල පාඩුවක් කරගත් ග්‍රීක බැඳුම්කර මිල දී ගන්නා විට එම බැඳුම්කර ශ්‍රේණිගත කර තිබුණේ BB+ මට්ටමේ වුවත් එම බැඳුම්කර මිල දී ගෙන දෙතුන් මාසයක් යද්දී වේගයෙන් දිගින් දිගටම පහළට වැටී CCC මට්ටමට වැටුණා. ඉන් පසුව, එම බැඳුම්කර වල මිල විශාල ලෙස පහත වැටුණා. එයින් පසුව, ග්‍රීසියට අලුතින් බැඳුම්කර විකිණීම අපහසු වී ණය වාරික නිසි පරිදි ගෙවන්න බැරි වුනා.

දැනට පවතින තත්ත්වය අනුව ලංකාවේ ණය ශ්‍රේණිය B කාණ්ඩයෙන්ද පහළට වැටීමේ අවදානමක් තිබෙනවා. ලංකාවේ ණය අවදානම හදිසියේම තවත් වැඩි වී ඇති බව ෆිච් රේටින් සමාගම විසින් තීරණය කර තිබෙන්නේ රජය විසින් කළ බදු කප්පාදුව නිසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශතාංක දෙකකින් පමණ අඩු විය හැකි බව ෆිච් රේටින් සමාගමේ ගණන් බැලීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ අයවැය හිඟය දදේනි ප්‍රතිශතයක් ලෙස කලින් ඇස්තමේන්තුවට වඩා 1.5%කින් ඉහළ ගොස් 2020දී 6.5% මට්ටමටත්, 2021දී 6.2% මට්ටමටත් යනු ඇතැයි එම සමාගම විසින් ඇස්තමේන්තු කර තිබෙනවා.

"Sri Lanka's external balance sheet is weak, with external debt obligations totalling approximately USD19.0 billion coming due between 2020-2023, compared with foreign-exchange reserves of around USD7.5 billion as of end-November 2019. We expect the current account deficit to widen to about 3.0% of GDP in 2020 and 2021, from an estimated 2.2% in 2019, as domestic demand strengthens."

ෆිච් රේටින් සමාගමේ නිවේදනය අනුව, ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 19ක විදේශ ණය ආපසු ගෙවන්න තිබුණත් විදේශ සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 7.5ක් පමණයි. මෑතකාලීන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස දේශීය ඉල්ලුම ඉහළ යාම නිසා ආනයන අපනයන පරතරය තවත් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක්. මෙහි සමස්ත ප්‍රතිඵලය ණය ආපසු ගෙවන්න ඩොලර් හොයා ගැනීම එන්න එන්නම අමාරු වන බවයි.

බදු කප්පාදුව නිසා දැනටමත් රජයේ අයවැය හිඟය විශාල ලෙස පුළුල් වීමට නියමිතව තිබියදී විශාල පිරිසකට රජයේ රැකියා ලබා දෙමින් රජයේ වියදම් තවත් වැඩි කර ගැනීමට රජය පෙළඹුනොත් එය බූරුවාගේ කොන්ද කඩන අන්තිම පිදුරු මිටිය වෙන්න පුළුවන්.

Thursday, January 17, 2019

මහබැංකුව කෝටි නමදාහක් සල්ලි අච්චු ගහයි!


ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන පරිදි "2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා" මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. "ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා" මහා භාණ්ඩාගාරය විසින් කර ඇති මෙම ඉල්ලීම සඳහා මුදල් මණ්ඩලය විසින් එකඟතාව පළ කළ බවයි එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.

සාමාන්‍යයෙන් මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම කියන එකෙන් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමයි. එසේ නැතිව, පැරණි මුදල් නෝට්ටු වෙනුවට අළුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ නැහැ. රටේ මුදල් ඉල්ලුම සපුරමින් සැලසුම් සහගතව බැංකු පද්ධතිය හරහා ක්‍රමිකව අලුත් මුදල් සංසරණයට එකතු කිරීමත් මුදල් අච්චු ගැහීමක් වුවත් එය පාලනයක් ඇතිව සිදුවන්නක්. මේ නිවේදනය අනුව පෙනෙන පරිදි මේ රුපියල් බිලියන 90 මහ බැංකුවේ මුදල් ප්‍රසාරණ සැලසුමක කොටසක් නෙමෙයි. රජයේ ඉල්ලීම මත "නොකර බැරි නිසා" කරන්නක්. ඔය සල්ලි අච්චු ගැහිල්ල මැතිවරණයකට යන්න බලාගෙන කරන වැඩක් වෙන්නත් පුළුවන්. 

මහ බැංකුව විසින් මේ ආකාරයට  මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම හෝ බලකිරීම මත මුදල් අච්චු ගැසීම අලුත් දෙයක් නෙමෙයි. පසුගිය ආණ්ඩුව බලයට පත් වූ මුල් දෙවසරක පමණ කාලය තුළත් මේ වැඩේ ජයටම සිදුවුණා. එහි ප්‍රතිඵලයක් විදිහට 2006 පමණ වන විට රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගියා. රාජපක්ෂ ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීම සීමා කර විශාල ලෙස විදේශ ණය ගන්න පෙළඹුනේ එයින් පසුවයි.

ආණ්ඩුවක් ආදායමට වඩා වියදම් කරන තාක් කල් ඒ අඩුව කොහෙන් හෝ පියවා ගන්නත් වෙනවා. එසේ කිරීමේදී දේශීය වෙළඳපොළෙන් හෝ විදේශීය වෙළඳපොළෙන් ණය ගන්න සිදු වෙනවා. දේශීය ණය වැඩි වැඩියෙන් ගනිද්දී ඒ විදිහට ණය ගැනීම වඩ වඩා අසීරු වෙනවා. එවිට පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ අරින්න වෙනවා. පොලී අනුපාතික ඉහළ යන විට රජයේ වියදම් තවත් ඉහළ ගිහින් අයවැය හිඟය තවත් පුළුල් වෙනවා.

මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධනය සාමාන්‍ය මට්ටමට වඩා පහත වැටිලයි තිබෙන්නේ. පහුගිය කාලයේ ආර්ථික වර්ධනය රටට දරා ගත නොහැකි මට්ටමකට ඉහළ ගිහින් තිබුණු නිසා යම් නිවැරදි වීමක් අවශ්‍යව තිබුණත් දැන් ඒ නිවැරදි වීම සිදු වෙලා ඉවරයි. ආර්ථිකය මේ වන විට තිබිය යුතු මට්ටමෙන් පහළට වැටී තිබෙන බව පැහැදිලියි. එහෙම වෙලාවක පොලී අනුපාතික ඉහළ යාමෙන් වෙන්නේ ආර්ථික වර්ධනය තවත් පහළ වැටීමයි. පොලී අනුපාතික ගොඩක් ඉහළ ගියොත් ඇතැම් විට ආර්ථිකය හැකිලෙන්න වුවත් බැරි කමක් නැහැ.

සල්ලි අච්චු ගැහීම මෙයට තාවකාලික "විසඳුමක්". හැබැයි එය තුවාලයක් කහනවා වගේ විසඳුමක්.

භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ සම්ප්‍රදායික අර්ථයෙන් නිකම්ම නිකම් කඩදාසියක්. දැන්නම් කඩදාසියක්වත් නැහැ. ඩේටා බේස් එකක රෙකෝඩ් එකක් විතරයි. මේ කඩදාසියේ නැත්නම් රෙකෝඩ් එකේ ආණ්ඩුව විසින් අනාගතයේ පොලියක් එක්ක කිසියම් මුදලක් ආපහු දෙන බවට වන පොරොන්දුවක් තිබෙනවා. ඒ පොරොන්දුව මත ආණ්ඩුව කාගෙන් හෝ මුදල් අරගෙන ඒ විදිහට ගත්ත මුදල් රටේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට වියදම් කරනවා. 

අපි හිතමු මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තේ රටේ සමාගමක් හෝ පුද්ගලයෙක් විසින් කියලා. ඒ පුද්ගලයා හෝ සමාගම ඒ මුදල උපයාගෙන තියෙන්නේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලයි. ඒ නිසා, රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් නිකම්ම කඩදාසි වුවත්, ඒ කඩදාසි සමඟ හුවමාරු කරගෙන රජයට මුදල් දෙන පුද්ගලයා හෝ සමාගම විසින් ඒ මුදලට සමාන කිසියම් නිෂ්පාදනයක් කරලා තියෙනවා. ඒ නිසා, එවැනි භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් උද්ධමනකාරී වෙන්නේ නැහැ. 

නමුත්, මහ බැංකුව රටේ අනෙක් පුද්ගලයින් හෝ සමාගම් මෙන් මුදල් උපයන්නේ නැහැ. මහ බැංකුව කරන්නේ කිසිදු සැබෑ නිෂ්පාදනයකට දායක නොවී මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට යොදවන්නේ මේ මුදල්. මේ වැඩේ ඕනෑ තරම් ලොකුවට කළ හැකියි. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම වගේම මහ බැංකුව විසින් අලුත් මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීමත් ඉතා පහසුවෙන් කළ හැකි දේවල්. එය පුද්ගලයෙක් හෝ සමාගමක් විසින් කිසියම් නිෂ්පාදනයක් කර ආදායම් උපදනවා වගේ අමාරු නැහැ. 

මේ ආකාරයට අච්චු ගැසූ සල්ලි ආණ්ඩුව විසින් අත දිග හැර වියදම් කිරීමේ ප්‍රතිඵලය වන්නේ රටේ සංසරණය වන මුදල් ප්‍රමාණයේ තරමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් නොමැති නිසා මිල මට්ටම් ඉහළ යාමයි. නමුත්, රටේ මුදල් ප්‍රමාණය ඉහළ ගොස් මුදලේ වටිනාකම අඩු වී ඇති බව මිනිස්සුන්ට තේරෙන්න කලක් යන නිසා සාමාන්‍යයෙන් උද්ධමනය ඉහළ යන්නේ මුදල් අච්චු ගසා අවුරුදු දෙකකට පමණ පසුවයි. 2004 හා 2005 වසර වල සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස 2006දී ලංකාවේ උද්ධමනය 30% පමණ දක්වා ඉහළ ගියා. ඉන්පසුව, පසුගිය ආණ්ඩුව සල්ලි අච්චු ගැසීම නවත්වා විදේශ ණය වැඩි වැඩියෙන් ගන්න පෙළඹුණා.

විදේශ ණය ගත්තත්, ඒ විදිහට ණය ලෙස ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් රටේ සංචිත වලට එකතු කර ගත්තොත් මිල මට්ටම් ඉහළ යාම හෙවත් උද්ධමනය වහ ගන්න බැහැ. මහ බැංකුව විදේශ ව්‍යවහාර මුදල් මිල දී ගන්නා විට රුපියල් එළියට ඇවිත් මුදල් සංසරණය ඉහළ යනවා. එවිට මිල මට්ටම් වැඩි වෙනවා.

නමුත් විදේශ ණය සේ ලබා ගත් මුදල් සංචිත වලට එකතු කර නොගත්තොත් රටේ සංසරණය වන විදේශ මුදල් ඉහළ යාම නිසා රුපියල ශක්තිමත් වෙනවා. විදේශ ආනයන වඩා ලාබදායී වෙනවා. එවිට ආනයන ඉහළ ගිහින් ආනයන හා අපනයන අතර පරතරයක් හැදෙනවා. සංසරණයේ තිබුණු විදේශ මුදල් ආනයන වෙනුවෙන් එළියට යනවා. විදේශ ආනයන වඩා ලාබ නිසා දේශීය නිෂ්පාදන වැටෙනවා. නමුත්, භාණ්ඩ හා සේවා පිටරටින් එන නිසා රටේ භාණ්ඩ හා සේවා ඉල්ලුම සැපිරෙනවා. තවත් විදිහකින් කිවුවොත් මහ බැංකුව මුදල් අච්චු ගසා නැති නිසා මුදල් සැපයුම වැඩි වෙලා නැතත්, විදේශ ණය ලෙස ගත් මුදලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නිසා රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම් පහළ යනවා. ඔන්න ඕක තමයි සරලව පහුගිය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වුනේ.

පහුගිය ආණ්ඩුව කාලයේ රටේ විදේශ සංචිත ඉහළ ගිය බව කාට හෝ පෙන්වා දෙන්න පුළුවන්. ඇත්ත. නමුත්, ඒ කාලයේ ලබාගත් විදේශ ණය ප්‍රමාණය ඊට වඩා ගොඩක්ම වැඩියි. සංචිත වලට එකතු නොවූ ඒ ණය හරහා වක්‍ර ලෙස සිදුවුනේ කිසිදු වියදමක් හෝ මහන්සියක් නැතිව, නිෂ්පාදනයක්ද නැතිව, රටේ භාණ්ඩ හා සේවා පරිභෝජනය ඉහළ දමන්න හැකි වීමයි. ඒ දවස් වල පෙනෙන්නට තිබුණු සෞභාග්‍යයේ රහස එයයි. ප්‍රශ්නය වන්නේ මේ විදිහට ණයට ගෙන පරිභෝජනය කළ විට එහි වියදම පොලියත් සමඟ පසුව ගෙවන්නට සිදු වීමයි.

පොඩි පොඩි සාධනීය වෙනස්කම් ටිකක් සිදුවුනත් මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුවත් ඔය සෙල්ලම ලොකුවට වෙනස් වුනේ නැහැ. මේ ආණ්ඩුව රජයේ වියදම් යම් තරමකින් අඩු කළා. ආදායම් යම් තරමකින් වැඩි කරගත්තා. ඒත් මේ ආණ්ඩුව දිගටම දිවුවේත් හිඟයක් පවත්වා ගනිමිනුයි. අයවැය හිඟයක් සමඟ දුවන සෑම වසරකදීම රටේ ණය තවතවත් ඉහළ යනවා. ඒ අනුව, මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවත් වසරින් වසර ණය වැඩි වෙන එක දිගටම සිදු වුණා. ඒ වගේම මේ ආණ්ඩුවත් දේශපාලනික හේතු මත ආණ්ඩුවේ වියදම් තවත් ඉහළ නංවන ඇතැම් තීරණ ගත්තා.

අනෙක් පැත්තෙන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් ගොඩයාම සඳහා වුවත් මේ ආණ්ඩුවෙන් ප්‍රමාණවත් දෙයක් සිදුවුණේ නැහැ. රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියත් එය කළේ නොකරම බැරිවෙන වෙලාවල් වලදී පමණයි. මේ ආණ්ඩුව යටතේත් බොහෝ විට සිදු වී තිබෙන්නේ තවත් විදේශ ණය අරගෙන රුපියල අවප්‍රමාණය වීම යම් තරමකින් හෝ පාලනය කරගන්න උත්සාහ කරන එකයි. ඒ වෙනුවෙන් විදේශ සංචිත වැය කිරීම පවා සිදු වෙලා තිබෙනවා. අවසාන වශයෙන් පසුගිය වසර හතරක කාලය ඇතුළත වෙලා තියෙන්නෙත් විදේශ ණය ප්‍රමාණය වගේම දේශීය ණය ප්‍රමාණයත් ඉහළ යාමයි. පසුගිය ආණ්ඩුවේ කාලයට සාපේක්ෂව ණය වර්ධන වේගයේ යම් අඩුවක් පමණයි වෙනසකට කියලා පේන්න තියෙන්නේ.

දැන් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න වෙලා තියෙන්නේ ඇයි?

ආණ්ඩුවට ණය ලෙස ගන්න තරම් මුදල් රටේ දේශීය වෙළඳපොළේ නැහැ. එහෙමනං තිබුණු සල්ලි වලට මොකද වුනේ?

පහුගිය මාස ගණන තිස්සේම මහ බැංකුව විසින් කළේ සංචිත විකුණන එකයි. දේශපාලන අර්බුදය තිබුණු දින පණහ ඇතුළත පමණක් ඩොලර් බිලියනයකට කිට්ටුව විකුණලා තිබුණනේ. කොහොම වුවත් සංචිත විකිණීම පටන් ගත්තේ ඊටත් කලින්. ඔය විදිහට සංචිත විකුණමින් රුපියල කෘතිමව රැකගන්න දැඟලීම තමයි ගොඩක් අවුල් වලට මුල.

මහ බැංකුව විසින් ඩොලර් එකක් එළියට දමන හැම වෙලාවෙම රුපියල් 180ක් විතර ඇතුළට ගන්නවනේ. එතකොට ඩොලර් බිලියනයක් එළියට දමන කොටස රටේ රුපියල් බිලියන 180ක හිඟයක් ඇති වෙනවා. ඉතිං කොහෙද ආණ්ඩුවට ණය ගන්න සල්ලි ඉතුරු වෙන්නේ. අන්තිමට ආණ්ඩුවට ණය දෙන එක මහ බැංකුවටම කරන්න වෙලා. 

ඉදිරි මාස කිහිපය ඇතුළත රෝලක් ගහලා ආණ්ඩුව මහ බැංකුවේ ණය පියවන කතාවකුයි මහ බැංකුවේ නිවේදනයේ තියෙන්නේ. ඒ කොටස පහළ තියෙනවා. 

"ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීම තුළින් ඇති විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිවිපාකයන් සලකා බැලීමෙන් පසු, රජයේ ණය ලබා ගැනීමේ වැඩසටහනේ අපේක්ෂිත මූල්‍යයන ක්‍රියාමාර්ගයන් සාක්ෂාත් කර ගැනීමට හැකිවීමත් සමග පෙබ‍රවාරි මාසයේ දී මෙම ගනුදෙනුවේ කොටසක් ආපසු ගෙවීමටත් ඉතිරි කොටස 2019 පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් රජය විසින් එකඟ වී ඇත."

Tuesday, October 16, 2018

රාජපක්ෂ ණය


අද දිනයේ (ඔක්තෝබර් 15) රුපියල තරමක් අධිප්‍රමාණය වී තිබෙනවා. පසුගිය සති කිහිපය මුළුල්ලේ සිදුවුනේ රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමයි. එය වැළැක්වීමට රජය වගේම මහ බැංකුවත් විවිධ පියවර ගත්තා. අද සිදු වූ වෙනසට හේතුව වෙළඳපොල සාධක වල ප්‍රතිඵලයක්ද, මහ බැංකු මැදිහත්වීමක්ද, රජය විසින් විදේශ ණයක් ලබා ගැනීමේ ප්‍රතිඵලයක්ද කියා මා දන්නේ නැහැ.

ලංකාව මේ වන විට මුහුණ දෙන ගෙවුම් ශේෂ අර්බුදයට පාර කැපුණේ පසුගිය ආණ්ඩුව කාලයේ බව මා කියා තිබෙනවා. එයට හේතු වුණේ විදේශ ණය අරගෙන වෙළඳපොළට ඩොලර් මුදාහැරීම හරහා රුපියල ඕනෑවට වඩා ශක්තිමත් මට්ටමක තැබීම හේතුවෙන් රටේ අපනයන ආර්ථිකයට වර්ධනය වීමට තිබුණු ඉඩ වසරක් ගණනාවක් තිස්සේ අහුරා දැමීමයි. මේ තත්ත්වය යටතේ ඉන්දියානු හා චීන ආනයන වලින් ලංකාවේ කඩවල රාක්ක පිරෙන්න ගත්තා. රට පුරා දිලිසුණේ ණයට ගත් සමෘද්ධියයි.

ඒ එක්කම පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2004-2014 කාලයේ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 102.3% සිට 71.3% දක්වා අඩු වුන බවත් අපි දන්නවනේ. එහෙමනම් මේ කතා දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද?

සීසර්ගේ දේ සීසර්ට දිය යුතුයි කියනවනේ. ඒ වගේ රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වුනු දේ වල හොඳ වගේම නරකත් තිබෙනවා. රටේ ආර්ථිකය හා අදාළව ගත්තොත් හැම හොඳ දෙයක්ම කළේ රාජපක්ෂ ආණ්ඩුව නොවනවාක් වගේම හැම නරක දෙයක්ම කළේත් රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයි.

ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය දැන් තියෙන අදියරට ගෙන ගියේ පහුගිය ආණ්ඩුව වුවත්, ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයට වගකිවයුත්තේ රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයි. රාජ්‍ය ණය අර්බුදය රාජපක්ෂ ආණ්ඩුවට ඊට පෙර ආණ්ඩු වලින් උරුම වූවක්. පහුගිය ආණ්ඩුව ලංකාවේ වෙනත් ආණ්ඩු වලට වඩා විශාල ලෙස වැඩි වේගයකින් රාජ්‍ය ණය ප්‍රමාණය වර්ධනය වෙන්න ඉඩ දී නැති බව මම මීට පෙරත් පෙන්වා දී තිබෙන කරුණක්.

රාජපක්ෂ ණය ගැන තවත් විවේචන තිබෙනවා. ලබාගත් ණය ඵලදායී කටයුතු වෙනුවෙන් වැය නොකෙරුණු බව එක් විවේචනයක්. මේ විවේචනය අඩු වැඩි වශයෙන් අනෙක් ආණ්ඩු වලටත් කළ හැකි එකක්. රජයේ ආයෝජන වල ඵලදායීතාව හොයන එක පහසු කටයුත්තක් නෙමෙයි.

ඒ වගේම, රාජපක්ෂ ආණ්ඩුවේ විවේචකයින් විසින් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ සහනදායී ණය වෙනුවට වැඩි පොලියට වානිජ ණය ලබාගත් බවයි. කතාවනම් සම්පූර්ණ ඇත්ත. නමුත්, මගේ අදහස ඔය කාලයේ කවර ආණ්ඩුවක් බලයේ සිටියත් ඔයිට වඩා වෙනස් දෙයක් කරන්න ඉඩ නොතිබුණු බවයි. ලංකාව මැදි ආදායම් තත්ත්වයට ගියාට පස්සේ සහනදායී ණය ලබා ගැනීම අමාරු වීමෙන් පසුව වාණිජ ණය වලට නොයා සිටීම පහසු කටයුත්තක් වුණේ නැහැ.

රාජපක්ෂ ආණ්ඩුව රට ආර්ථික අර්බුදයකට තල්ලු කළේ වැඩිපුර විදේශ ණය ගැනීම හරහා නෙමෙයි. එසේ ගත් ණය යොදාගෙන රුපියල කෘතිමව පහළින් තබා ගැනීම හරහායි. ඔවුන් එසේ කළ බව ඒ කාලයේ ආර්ථිකය මෙහෙයවූ අය දැනටත් පාරම්බාන කරුණක්.

පහුගිය ආණ්ඩු කාලයේ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය වැඩි වුනේ නැතත්, මේ සංඛ්‍යාලේඛණය පෙන්වන තරම් පහළට වැටුනේනම් රුපියල කෘතිමව පහළින් තබා ගැනීම නිසයි. මෙය මම සංඛ්‍යාලේඛණ ඇසුරෙන්ම පැහැදිලි කරන්නම්.

දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය අඩු වෙන එක හේතු දෙකක් මත සිදු විය හැකියි. රාජ්‍ය ණය අඩුවීම නිසා හෝ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වීම නිසා. 2004-2014 කාලය තුළ රාජ්‍ය ණය අඩු වුනේ නැහැ.

ඇත්තටම සිදු වුනේ 2004-2014 කාලය තුළ රුපියල් බිලියන 2,140 සිට 7,391 දක්වා 3.45 ගුණයකින් රාජ්‍ය ණය ඉහළ යාමයි. නමුත්, ඔය කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2,091 සිට 10,361 දක්වා 4.96 ගුණයකින් ඉහළ ගියා. වසරකට 13.20%ක සාමාන්‍ය වේගයකින් රාජ්‍ය ණය වැඩි වෙද්දී, 17.36%ක වාර්ෂික වේගයකින් නාමික ද.දේ.නි. ඉහළ ගිය නිසා ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස ගත්තහම රාජ්‍ය ණය 102.3% සිට 71.3% දක්වා පහළ ගියා.

සංඛ්‍යාලේඛණ දිහා බැලුවහම ඉහත කී අඩුවීම දේශීය ණය වලින් වගේම විදේශීය ණය වලිනුත් පෙන්වනවා. දේශීය ණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 54.7% සිට 41.3% දක්වා ප්‍රතිශතාංක 13.4%කින් පහළ යන කොට විදේශ ණය ප්‍රමාණය 47.6% සිට 30.0% දක්වා 17.6%කින්ම පහළ ගියා. නමුත්, ඔය දෙවනු කී පහළ යාම දිහා අපි වඩා සැලකිල්ලෙන් බැලිය යුතුයි. මොකද මේ ණය රුපියල් ණය නෙමෙයි. සැසඳීම කරන්නේ ඩොලර් ණය පවතින විනිමය අනුපාතිකය යටතේ රුපියල් වලට හරවලා.

අප විසින් සංසන්දනයට ලක් කළ 2004 හා 2014 වසර වලදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් වලින් බැලුවොත් මිලියන 9,522 සිට මිලියන 23,755 දක්වා 2.49 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. මෙය 9.57%ක වාර්ෂික වර්ධනයක්. ඔය කාලයේ ඩොලරයේ මිල රුපියල් 104.61 සිට 131.05 දක්වා 1.25 ගුණයකින් ඉහළ ගිහින් තිබෙනවා. ලංකාවේ විදේශ ණය රුපියල් වලින් බැලුවහම 3.13 ගුණයකින් වැඩි වී තිබෙන්නේ මේ කරුණු දෙකේම එකතුවක් ලෙසයි. මෙයින් පැහැදිලි වන පරිදි, ඩොලරයක රුපියල් මිල මීට වඩා වැඩි වුනානම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ලංකාවේ රාජ්‍ය ණය මීට වඩා වැඩි වෙනවා.

ඉහත සංඛ්‍යාලේඛණ සියල්ලම ගත්තේ මහ බැංකු වාර්තා වලින්. මේ ලිපියේ මතුකර පෙන්වන කරුණට යන්න කලින් රාජ්‍ය ණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස බැලීමේ පදනම කුමක්ද කියා අප විමසිය යුතුයි.

සරලව කියනවානම් ද.දේ.නි. කියන්නේ රටක සමස්ත ආදායම. බදු අනුපාතික නියතව තිබුණොත් රටේ ආදායම වැඩි වන විට රජයේ ආදායමත් ඉහළ යනවා. රජයේ ආදායම වැඩිවන විට ණය ගෙවීමේ හැකියාවත් ඉහළ යනවා. ඒ නිසා, රටේ (හා රජයේ) ආදායම වැඩි වන අනුපාතයට හෝ අඩු අනුපාතයකින් රාජ්‍ය ණය ඉහළ යාමේ ලොකු අවදානමක් නැහැ.

කොහොම වුනත්, ඉහත තර්කයේ අඩුපාඩු තියෙනවා. රටක ජාතික ආදායම උපයන්නේ වගේම රජය බදු එකතු කරන්නෙත් රටේ ව්‍යවහාර මුදලින්. නමුත්, ලංකාවේ විදේශ ණය රුපියල් ණය නෙමෙයි. ලංකාවේ මහ බැංකුවට රුපියල් මුද්‍රණය කරන්න පුළුවන් වුනත් ඩොලර් මුද්‍රණය කරන්න බැහැ. ඒ නිසා, රජයේ ආදායම් ඉහළ ගියත් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගැනීමේ අමතර ප්‍රශ්නයටත් මුහුණ දෙන්න වෙනවා.

ඇමරිකාවත් චීනය ජපානය වගේ රටවල් වලින් ණය අරගෙන තියෙනවා. නමුත්, ඒ ණය යෙන් ණය හෝ යුවාන් ණය නෙමෙයි. ඩොලර් ණය. ඒ නිසා, ඇමරිකාවට මේ ණය ආපසු ගෙවන්න අමාරුම වුනොත් ඩොලර් මුද්‍රණය කරලා ණය ගෙවන්න පුළුවන්. එහෙම කළොත් ඩොලර් එකේ වටිනාකම අඩු වෙනවා තමයි. ඒ වුණත්, එයින් අන්තිමේදී අමාරුවේ වැටෙන්නෙත් ණය දුන් අයමයි. ඒ අයට ආපසු ලැබෙන ඩොලර් වල යෙන් වටිනාකම නැත්නම් යුවාන් වටිනාකම අඩු වුනොත් ණය දී කළ ආයෝජනයේ පලක් නැති වෙනවා.

ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාවේ රුපියල අවප්‍රමාණය වන විට වෙන්නේ ණය ආපසු ගෙවන්න ඩොලර් හොයා ගැනීම වඩා වියදම් අධික දෙයක් වීමයි. ඩොලර් වලින් හෝ යෙන් වලින් ණය දුන් අයට ඒ මුදල් වලින්ම ණය එක්කම පොලියත් ආපසු ලැබෙන නිසා අවදානමක් නැහැ.

දැන් අපි ආපහු අප මුලින්ම ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ වලට ගියොත්, 2004-2014 අතර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.96 ගුණයකින් ඉහළ ගියා. මෙය 17.36%ක වාර්ෂික වර්ධන වේගයක්.

මතක තියාගන්න අපි මේ කතා කරන්නේ ලංකාවේ නාමික ද.දේ.නි. ගැන. නාමික ද.දේ.නි. කියන්නේ කිසියම් රටක කිසියම් වසරක් තුළ නිපදවන භාණ්ඩ හා සේවාවන් සියල්ලේ වටිනාකම. එය ගණනය කරන්නේ පවතින වෙළඳපොල මිල ගණන් අනුව.

නාමික ද.දේ.නි. හේතු දෙකක් මත වැඩිවන බව මා මීට පෙර පැහැදිලි කර තිබෙන දෙයක්. පළමුවැන්න රටේ නිපදවන භාණ්ඩ හා සේවාවන් ප්‍රමාණය ඉහළ යාම. එයට අපි රටේ මූර්ත ද.දේ.නි. වැඩිවීම එහෙමත් නැත්නම් සරලව ආර්ථික වර්ධනය කියා කියනවා. දෙවැන්න ඒ විදිහට නිපදවන භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළ යාම. මෙයට කියන්නේ උද්ධමනය කියලයි. උද්ධමනය නිසාත් රටක නාමික ද.දේ.නි. වැඩි වෙනවා. 

රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ලංකාවේ ආර්ථිකය පිම්මක් පැන්නා. එයට හේතු වුනේ ඒ කාලය තුළ වසර 26ක් පැවති යුද්ධය අවසන් වීම. මේ ගැන විස්තර කර ලියන්න හිටි දේවල් ලියන්න තවමත් වෙලාවක් ලැබුණේ නැහැ.

යුද්ධය අවසන් කරන්න දේශපාලන නායකත්වය සැපයූවේ රාජපක්ෂ ආණ්ඩුවයි. ඒ නිසා, ඒ හේතුවෙන් ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය වීමේ ගෞරවයත් ඒ ආණ්ඩුවට හිමි විය යුතුයි. නමුත්, ඒ හැර ඒ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ද.දේ.නි. කොයි තරම් ඉහළ ගියාද කියන එක විවාදාත්මක කරුණක්. ඒ ගැන කතා කිරීමත් අපි පස්සට තියමු.

රාජපක්ෂ දශකයේදී ලංකාවේ මූර්ත ද.දේ.නි. 1.86 ගුණයකින් ඉහළ ගියා. මෙය 6.39%ක වාර්ෂික වර්ධනයක්. 1977 සිට රාජපක්ෂ යුගය දක්වා ලංකාව පවත්වාගත් සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 5%කට වඩා වැඩි නැති බව මා කලින් පෙන්වා දී ඇති දෙයක්. 

රටේ මූර්ත ද.දේ.නි. ඉහළ යන විට රජයේ බදු ආදායම් ඉහළ ගිහින් ණය ගෙවීමේ හැකියාව ඉහළ යාම අපේක්ෂා කළ හැකි දෙයක්. රාජපක්ෂ දශකයේදී රජයේ බදු ආදායම් ඒ ආකාරයටම ඉහළ නොගිය නමුත් ඒ ගැන කතා කිරීමත් අපි පසුවට තියමු.

ඉහත ආකාරයෙන් ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දශකයක් තුළ 1.86 ගුණයකින් ඉහළ යද්දී ඒ භාණ්ඩ හා සේවාවන් වල මිල 2.67 ගුණයකින් ඉහළ ගියා. ඒ කියන්නේ 10.31%ක සාමාන්‍ය උද්ධමන වේගයක් මේ කාලයේදී පැවතුණා. නාමික දදේනි වර්ධනය කියන්නේ ආර්ථික වර්ධනයේත් උද්ධමනයේත් සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය. නාමික දදේනි 4.96 ගුණයකින් ඉහළ ගියේ ඔය විදිහටයි.

දැන් මෙයින් පෙනෙනවා ඇති රටක උද්ධමනය ඉහළ යන තරමට දදේනි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය පහළ යන බව. ඒ වගේම අලුතින් මුදල් මුද්‍රණය කරන තරමට රටක උද්ධමනය ඉහළ යනවා කියන එකත්  මෙහි පළවන ලිපි දිගටම කියවන අය නොදැන ඉන්න විදිහක් නැහැනේ. රාජපක්ෂ දශකයේදී රාජ්‍ය ණය ප්‍රමාණය දදේනි ප්‍රතිශතයක් ලෙස 71.3% දක්වා අඩු වූ බව නිරීක්ෂණය කරන්නෙකුට මේ කරුණ බැහැර කරන්න බැහැ.

උද්ධමනය හේතුවෙනුත් නාමික දදේනි වැඩි වනවානම් දදේනි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ගණනය කිරීමේ අවුලක් නැද්ද?

ඇත්තටම නැහැ. රටේ ආර්ථිකය වර්ධනය නොවී මිල ගණන් පමණක් වැඩි වුනත් රජයට ලැබෙන බදු මුදල් ප්‍රමාණය ඉහළ යනවා. මොකද බදු අය කරන්නේ පවතින මිල ගණන් යටතේ ප්‍රතිශතයක් ලෙස නිසා. ඒ නිසා, රජයේ ණය ගෙවීමේ හැකියාවත් ඉහළ යනවා. එහෙම බලද්දී රටේ උද්ධමනය වැඩි වීමට අනුපාතිකව රාජ්‍ය ණය ඉහළ යාමේ විශාල අවුලක් නැහැ. (මෙහිත් අවුල් නැත්තේ නැහැ. ඒවා ගැන දැනට කතා නොකර ඉමු.) හැබැයි ඉතින් ඔය කොයි ආකාරයෙන් රජයේ ආදායම් ඉහළ ගියත් මේ සියලු ආදායම් රුපියල් ආදායම් නිසා රට ඇතුළේ ඩොලර් නැත්නම් ප්‍රශ්නයක් වෙනවා.

උද්ධමනය නිසා රුපියලේ වටිනාකම එන්න එන්නම අඩු වෙනවා. 2004දී රුපියල් 100ක් ගෙවා මිල දී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිල දී ගන්න 2014 දී රුපියල් 266.83ක් ගෙවිය යුතු තරමටම ඒ කාලයේදී උද්ධමනය හේතුවෙන් රුපියල පිරිහුණා. ඒ නිසා, 2004 රුපියල් හා 2014 රුපියල් සමාන සේ සැලකීම නිවැරදි නැහැ.

අප කලින් පෙන්වා දුන් පරිදි 2004දී ලංකාවේ දදේනි රුපියල් බිලියන 2,091ක්. 2014දී රුපියල් බිලියන 10,361ක්. නමුත්, 2004 රුපියල් වලින් බැලුවොත් 2014 ලංකාවේ දදේනි රුපියල් බිලියන 3,883ක් පමණයි. එය 10,361ක් සේ පෙනෙන්නේ මිල ගණන් 2.67 ගුණයකින් වැඩි වූ නිසයි.

මේ විදිහටම බැලුවොත් ලංකාවේ රජයේ දේශීය ණය ප්‍රමාණය 2014දී රුපියල් බිලියන 4,278ක් වුවත්, 2004 රුපියල් වලින් බැලුවොත් 1,603ක් පමණයි. ඒ කියන්නේ 1.40 ගුණයක වැඩි වීමක්. මෙය ඒ කාලයේදී ලංකාවේ මූර්ත දදේනි වර්ධනය වූ 1.86 අනුපාතයට වඩා අඩුයි. ඒ නිසා, රාජපක්ෂ දශකය තුළ ලංකාවේ රජයේ දේශීය ණය ප්‍රමාණය දදේනි ප්‍රතිශතයක් ලෙස 54.7% සිට 41.3% දක්වා අඩු වුණා කියන එක පැහැදිලි කරුණක්.

විදේශීය ණය දිහා මේ විදිහටම බලන්න බැහැ. ඒ ණය රුපියල් ණය නොවන නිසා උද්ධමනය හේතුවෙන් රජයේ බදු ආදායම් ඉහළ ගියා කියා ණය ගෙවීම පහසු වෙන්නේ නැහැ. 2004දී ලංකාවේ විදේශ ණය ඩොලර් මිලියන 9,522ක්. 2014 වෙද්දී 23,755ක්. 

ලංකාවේ තරමටම නැතත් ඇමරිකාවේත් උද්ධමනය තිබෙනවා. ඒ නිසා, 2004දී ඇමරිකන් ඩොලර් 100කින් මිලදී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිලදී ගන්න 2014දී ඇමරිකන් ඩොලර් 123.39ක් අවශ්‍ය වුනා. මේ අනුව බැලුවහම 2004 සිට 2014 දක්වා ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 9,522 සිට 23,755 දක්වා ඉහළ ගොස් තිබුණත් 2004 ඩොලර් වලින් බැලුවොත් 2014 විදේශ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 19,252ක් පමණයි. වැඩිවීම 2.02 ගුණයක්. එය 7.29% ක වාර්ෂික වර්ධන වේගයක්.

රාජපක්ෂ දශකයේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6.39%ක් වූ බව අප කලින් කිවුවනේ. උද්ධමනයේ බලපෑම ඉවත් කළොත් ඒ කාලයේ දේශීය ණය වර්ධනය වුණේ 3.44%ක වේගයකින්. දදේනි ප්‍රතිශතයක් ලෙස දේශීය ණය පහළ ගියේ ඒ නිසයි. නමුත්, උද්ධමන බලපෑම ඉවත් කිරීමෙන් පසුවත් සාමාන්‍ය විදේශ ණය වර්ධන වේගය ආර්ථික වර්ධන වේගයට වඩා වැඩියි. එයින් පැහැදිලිව පෙනෙන්නේ දදේනි ප්‍රතිශතයක් ලෙස විදේශ ණය අඩුවීම විණිමය අනුපාතිකය පහළින් තබාගැනීම නිසා පෙනෙන මායාවක් පමණක් බවයි. මූර්ත ඩොලර් වලින් බැලුවොත් රාජපක්ෂ දශකය තුළ ලංකාවේ විදේශ ණය දදේනි ප්‍රතිශතයක් ලෙස 47.6% සිට 51.9% දක්වා 4.3%කින් ඉහළ ගිහින්.

විදේශ ණය මේ විදිහට දදේනි ප්‍රතිශතයක් ලෙස 4.3%කින් ඉහළ ගියත් ඔය කාලය තුළ දේශීය ණය ප්‍රමාණය 13.4කින් පහළ ගියානේ. ඒ නිසා, විණිමය අනුපාතිකය පහළින් තබාගැනීමේ බලපෑම ඉවත් කළොත් දදේනි ප්‍රතිශතයක් ලෙස 2014 දී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙන්වන 71.3% සිට 93.2% දක්වා ඉහළ යනවා. නමුත්, එය වුවත් 2004දී වූ 102.3% ප්‍රතිශතයට වඩා අඩුයි. 

මේ කරුණු හරහා මා නැවතත් පෙන්වා දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළේ ණය අර්බුදයක් නොවන බවයි. වත්මන් ආණ්ඩුව දැන් මුහුණ දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ ගෙවුම් ශේෂ අර්බුදයටයි. ඩොලරයක මිල අවශ්‍ය පමණට ඉහළ යන්න දුන්නොත් වසර දෙක තුනකින් ඒ අර්බුදයෙන් මිදෙන්න බැරිකමක් නැහැ.