Wednesday, December 7, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පහළොස්වන කොටස)

අපේ සාකච්ඡාවට මුල් වූ බැඳුම්කර වෙන්දේසියට ඉදිරිපත් වූ එක් එක් ආයතනය විසින් ඉදිරිපත් කර තිබුණු මුළු ලන්සු ප්‍රමාණය අපි පසුගිය ලිපියෙන් (ලිපි මාලාවේ දහහතර වන කොටසින්) විමර්ශනයට ලක් කළෙමු. එසේ ඉදිරිපත් වූ ආයතන දහසයෙන් නවයක්ම ඉදිරිපත් කර තිබුණේ ප්‍රාථමික වෙන්දේසි ක්‍රියාපටිපාටිය සමඟ අනුගත වීම සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන සියයේ අවම ලන්සුව පමණි. තවත් ආයතන හතරක් මේ අවම ලන්සු මුදල ඉක්මවූ, එහෙත් බැඳුම්කර නිකුතුවේ ප්‍රකාශිත ප්‍රමාණය වූ රුපියල් බිලියනය නොඉක්මවූ ප්‍රමාණයක ලන්සු තබා තිබුණේය. මේ ආයතන තුනේ ලන්සු වල එකතුව ලැබුණු මුළු ලන්සු ප්‍රමාණයෙන් 89%ක් වන අතර ඉතිරි ලන්සු සියල්ලේම එකතුව මුළු ලන්සු ප්‍රමාණයෙන් 11%ක් පමණි. ඉතිරි ආයතන තුනේ ලන්සු නිකුතුවේ ප්‍රකාශිත ප්‍රමාණයද ඉක්මවයි. මෙයින් පෙනෙන්නේ කුමක්ද?

පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් කිසියම් තීරණයක් ගැනීමේ පසුබිම ආර්ථික විද්‍යාඥයෙකු විසින් තේරුම් ගන්නේ පෙනෙන්නට ඇති දේ ඇසුරෙනි. මේ වෙන්දේසිය හා අදාළව, කිසියම් ආයතනයක් විසින් තැබූ ලන්සු ප්‍රමාණයෙන් පෙනෙන්නේ එම ආයතනය විසින් එදින මිල දී ගන්නට සූදානම්ව සිටි බැඳුම්කර ප්‍රමාණයයි. මේ තීරණය නිරපේක්ෂ තීරණයක් නොවන අතර අදාළ ආයතන සතු තොරතුරු, විශ්ලේෂණ හැකියාවන්, අරමුදල් සීමාවන්, විකල්ප අවස්ථාවන් මෙන්ම වෙන්දේසියේ ක්‍රමවේදය හා නීතිරීති ආදියටද සාපේක්ෂය. ඒ නිසා, වෙනත් තත්ත්වයන් යටතේ මේ තීරණයම හෝ වෙනත් තීරණයක් ගැනීමට ඉඩ තිබේ.

ආයතනයක අර්පනයකින් එම ආයතනයේ මිලදී ගැනීමේ හැකියාව හා මිල දී ගැනීමේ අවශ්‍යතාවය පිළිබිඹු වේ. එසේනම්, මා පෙර කොටසින් කතා කළ 'නොගන්නට තැබූ ලන්සු' කතාව නිවැරදිද?

ඇත්තටම මේ  'නොගන්නට තැබූ ලන්සු' කතාව හරියටම නිවැරදි නැත. මා එය ඒ අයුරින් විස්තර කළේ හරි තැනට ලඟාවීමේ පියවරක් ලෙසිනි.

රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියට සහභාගී වීමේ අවස්ථාව ඇති සෑම ආයතනයක්ම රුපියල් මිලියන සියයක අවම ලන්සුවක් තැබිය යුතු නිසා ඊට වඩා අඩු ලන්සුවක් තැබීම හෝ ලන්සු කිසිවක් නොතබා සිටීම මේ ආයතන සතු විකල්පයක් නොවේ. මේ අනුව, සිය අරමුදල් වල ආවස්ථික පිරිවැය කොපමණ වැඩි වුවත් අවම වශයෙන් රුපියල් මිලියන සියයක් ලන්සු තබන්නට මේ ආයතන සෑම එකකටම සිදුවේ.

ඇත්තටම බැඳුම්කර අවශ්‍ය නොවන අයට බැඳුම්කර නොගෙන සිටීමේ අරමුණින් අඩු මිල ලන්සු තැබිය හැකි වුවත් අනෙක් තරඟකරුවන් තබන ලන්සු වල මිල අනුව මෙවැනි අඩු ලන්සුවක් වුවද පිළිගැනෙන්නට ඉඩක් තිබේ. එයට අමතරව මහ බැංකුව විසින් මුලින් දැනුම් දුන් ප්‍රමාණය ඉක්මවා බැඳුම්කර ලන්සු පිළිගැනීමේ අවදානමක්ද ඇති නිසා මෙසේ අඩු මිල ලන්සු තැබුවත් බැඳුම්කර මිලදී ගන්නට සිදුවීමේ සැලකිය යුතු ඉඩකඩක් තිබේ. මේ නිසා, රුපියල් මිලියන සීයේ නොතබා බැරි ලන්සුව වුවද තැබිය යුත්තේ යම් හෙයකින් ලන්සුව පිළිගැනුනොත් පාඩුවක් නොවන මිලකටය. වඩා තාක්ෂණික වචනයක් යෙදුවොත් එම රුපියල් මිලියන සීය බැඳුම්කරයට හිර කිරීමේ ආවස්ථික පිරිවැයටය.

අදාළ දින, යම් ආයතනයක බැඳුම්කර ඉල්ලුම රුපියල් මිලියන සියයට අඩුනම් එම ආයතනයේ සැබෑ ඉල්ලුම ලන්සු වලින් පිළිබිඹු නොවේ. එහෙත්, මේ වෙන්දේසියේ නීතිරීති අනුව මිල සම්බන්ධව එවැනි සීමාවක් නොමැති බැවින් එවැනි ආයතයකට යම් හෙයකින් රුපියල් මිලියන සියයක බැඳුම්කර ගන්නට සිදුවුවහොත් ඒ වෙනුවෙන් ගෙවන්නට කැමති උපරිම මිල ඔවුන්ගේ ලන්සු වලින් නිවැරදිව පිළිබිඹු වේ. ඒ නිසා, එම රුපියල් මිලියන සීයේ ලන්සු වලින්ද අපට එදින පැවති වෙළඳපොළ ඉල්ලුම අවබෝධ කරගන්නට සාක්ෂි රැසක් තිබේ. මේ ආයතන වලින් අඩකටත් වඩා සිය රුපියල් මිලියන සීය රුපියල් මිලියන පනහේ ලන්සු දෙකක් ලෙස ඉදිරිපත් කර තිබීමෙන් මෙය වඩාත් තහවුරු වේ. උදාහරණයක් ලෙස, වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම රුපියල් 93.88කට රුපියල් මිලියන පණහක බැඳුම්කර මිලදී ගන්නට සූදානම් වුවත්, තවත් රුපියල් මිලියන පණහක බැඳුම්කර මිලදී ගන්නට සිදුවුවහොත් වැඩිම වුනොත් ගෙවන්නට සූදානම්ව සිටින්නේ රුපියල් 90.18ක් පමණි.

රුපියල් මිලියන 100 හා බිලියනය අතර ලන්සු තබා ඇති ආයතන වල ලන්සු වලින් එම ආයතන වල ඉල්ලුම මෙන්ම අදාළ මිලද නිවැරදිව පිළිබිඹු වන බව අපට වැඩි ගැටළුවක් නැතුව උපකල්පනය කළ හැකිය. උදාහරණයක් ලෙස, පෑන් ඒෂියා බැංකුව ගතහොත් එම ආයතනය රුපියල් 90.18 බැගින් ලැබේනම් රුපියල් මිලියන 250ක බැඳුම්කරද, රුපියල් 88.43 බැගින් ලැබේනම් තවත් රුපියල් මිලියන 150ක බැඳුම්කරද ගන්නට සූදානම්ව සිටින අතර රුපියල් 86.74 මට්ටම දක්වා ආන්තික මිල පහත වැටෙන තත්ත්වයකදී ඔවුන්ගේ බැඳුම්කර ඉල්ලුම තවත් රුපියල් මිලියන සීයකින් ඉහළ යයි.

රුපියල් බිලියනය ඉක්මවා ලන්සු තැබූ ආයතන තුනේ චර්යාවන් අප තේරුම් ගතයුත්තේ කෙසේද?

රුපියල් බිලියනයක බැඳුම්කර නිකුතුවක් වෙන්දේසි වන විට එම ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් එක් ලන්සුකරුවෙකුට හිමිවීමට ඉඩක් නොමැති බව සාමාන්‍යයෙන් පෙනෙන්නට ඇති දෙයයි. එහෙත්, ලංකාවේ ප්‍රාථමික බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ තත්ත්වය සුවිශේෂී එකකි. දැනුම්දුන් ප්‍රමාණයට වඩා මිලදී ගැනීමේ ඉඩකඩ පිළිබඳව මහ බැංකුව විසින් අවවාද කර ඇතුවා පමණක් නොව ප්‍රායෝගිකව එසේ කරන බව පෙර වෙන්දේසි වලදී ක්‍රියාවෙන්ම පෙන්වා දී තිබේ. මේ අනුව සෙලාන් බැංකුව විසින් ප්‍රකාශිත ප්‍රමාණය මෙන් 135% ගුණයක ලන්සුත්, සේවක අර්ථසාධක අරමුදල විසින් 200% ක ලන්සුත් තැබීම මහබැංකුවේ පෙර ක්‍රියාපටිපාටිය අනුව යම් තරමකට පැහැදිලි කළ හැකිය. එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගම විසින් ප්‍රකාශිත ප්‍රමාණය මෙන් 15 ගුණයක ලන්සු තැබීමත් ඒ අයුරින්ම පැහැදිලි කළ හැකිද?

එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් කෝප් වාර්තාවට එකතු කර ඇති එක් පාදක සටහනකට අනුව, මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙර දින ප්‍රාථමික ගණුදෙනුකරුවන් දුරකථනයෙන් අමතමින් වෙන්දේසියේදී නිකුතුවේ ප්‍රමාණය බිලියන දහයක් දක්වා ඉහළ දැමුවහොත් අදාළ බැඳුම්කර අලෙවි වීමේ ඉඩකඩ පිළිබඳව විමසා තිබේ (පාදක සටහන 12, පිටුව 23). මෙය කිසිවෙකු විසින් (දන්නා තරමින්) ප්‍රතික්ෂේප කර නොමැති නිසා නිවැරදි තොරතුරක් ලෙස ගිණිය හැකිය. එමෙන්ම, මීට පෙර දෙවසරක කාලය තුළ පැවති තිස් අවුරුදු බැඳුම්කර වෙන්දේසි වල නිකුතු ප්‍රමාණ රුපියල් බිලියන 2-10 අතර පැවතී තිබේ. ඒ අනුව, මේ නිකුතුවේ ප්‍රකාශිත ප්‍රමාණය සාපේක්ෂව කුඩාය.

මේ සියල්ල සැලකීමෙන් පසුව වුවද, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින්  රුපියල් බිලියන 15ක ලන්සු තැබීම ඔවුන්ගේ තොරතුරු විශ්ලේෂණය කිරීමේ දක්ෂතාවයකින් සිදුවූ දෙයක් ලෙස හඳුනාගත නොහැකිය. කෝප් වාර්තාවේ ප්‍රසිද්ධ කර ඇති කරුණු අනුව පමණක් වුවද එම සමාගමට 'අභ්‍යන්තර තොරතුරු' ලැබී තිබීමට ඇති ඉඩකඩට අපට සෑහෙන  බරක් තබන්නට සිදු වේ.


ඒ සමඟම මතුවන තවත් ප්‍රශ්නයකි. මේ 'අභ්‍යන්තර තොරතුරු'  ලැබුණා විය හැක්කේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට  පමණක්ද? එසේ නැත්නම්, වෙනත් අයටත් මේ ගැන ඉවක් වැටී තිබුණාද?

මෙහිදී, පළමුවෙන්ම අප සැකයට බඳුන් කළ යුත්තේ සේවක අර්ථසාධක අරමුදලයි. ඔවුන් ඉදිරිපත් කර ඇති ලන්සු ප්‍රමාණය ප්‍රකාශිත නිකුතුවේ ප්‍රමාණය මෙන් දෙගුණයක් වන අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් පසුව වැඩිම ලන්සු ඉදිරිපත් වන්නේද සේවක අර්ථසාධක අරමුදලෙනි.

සේවක අර්ථසාධක අරමුදලද, රාජ්‍ය ණය දෙපාර්තමේතුව වැනිම මහ බැංකුවේ තවත් දෙපාර්තමේන්තුවකි. එකම ගොඩනැඟිල්ලේ මහල් දෙකක ඇති මේ දෙපාර්තමේන්තු දෙක අතර අභ්‍යන්තර ස්ථාන මාරු ලබමින් මහ බැංකුවේ නිලධාරීන් එහා මෙහා වීම දුලබ දෙයක් නොවේ.

එකිනෙක හා ගැටෙන වෙනස් ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන දෙපාර්තමේන්තු මහ බැංකුවේ තිබේ. ඒ නිසා, ඇතැම් දෙපාර්තමේන්තුවල ඇතැම් අංශ වලට ඇතුළු වීමට වෙනත් දෙපාර්තුමේන්තුවල සේවකයින්ට තබා එම දෙපාර්තමේන්තුවේම වෙනත් අංශ වල සේවකයින්ටද අවසර නොලැබේ. මෙවැනි අභ්‍යන්තර පාලනය කිරීම් (internal controls) තිබුණද, මහ බැංකුවේ එක් දෙපාර්තමේන්තුවක සිදුවන දෙයක් වෙනත් දෙපාර්තමේන්තුවක අයෙකු දැනගන්නට ඇති ඉඩකඩ බාහිර ආයතනයක අයෙක් එවැන්නක් දැනගැනීමට ඇති ඉඩකඩට වඩා වැඩි බව පැහැදිලි කරුණකි. අනෙක් අතට, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කරන මහ බැංකු නිලධාරියෙකු බැඳුම්කර වෙළඳාමෙන් එම අරමුදලට ලොකු ලාභයක් ලබා දුන්නත් එවැන්නෙකුට ලැබෙන සැලකිය යුතු පෞද්ගලික වාසියක් ඇත්දැයි මා දන්නේ නැත. සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරීන්ගේ හා මැදි පෙළ කළමනාකාරිත්වයේ තත්ත්වය මෙසේ වුවද, මහ බැංකුවේ ඉහළ කළමණාකාරීත්වයට ආයතනයේ විවිධ දෙපාර්තමේන්තු සතුව ඇති තොරතුරු දැන ගැනීමට හැකිවා පමණක් නොව එම දෙපාර්තමේන්තුවල තීරණ මත බලපෑමක් කිරීමේ හැකියාවක්ද තිබේ. කරුණු දෙපැත්තටම ඇති නිසා මේ ගැන දැඩි නිගමනයකට නොපැමිණීම වඩා යෝග්‍යය.

ලන්සු ප්‍රමාණය අනුව තෙවන තැන ඉන්නේ සෙලාන් බැංකුවයි. වෙන්දේසියේ ප්‍රකාශිත නිකුතුවට වඩා 35%කින් වැඩි ලන්සු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම මහ බැංකුව විසින් පෙර වෙන්දේසි වලදී කටයුතු කර ඇති ආකාරය අනුව යුක්තියුක්ත කළ හැකි වුවත් සෙලාන් බැංකුව විසින් තබා ඇති ලන්සු දෙක පරීක්ෂා කළ විට එහිද කිසියම් අමුත්තක් පෙනේ.

සෙලාන් බැංකුවේ එක් ලන්සුවක් තබා ඇත්තේ රුපියල් 62.62ක ඉතාම අඩු මිලකටය. මෙය එදින ලැබුණු ලන්සු අතරින් අඩුම මිල ලන්සුවයි. ප්‍රමාණය අවම ප්‍රමාණය වන රුපියල් මිලියන සීයකි. 'නොගන්නට තැබූ' ලන්සුවක් ලෙස හැඳින්විය හැකි මේ ලන්සුව පිළිගැනී නැත.

සෙලාන් බැංකුවේ අනෙක් ලන්සුව (හයවන කොටස සමඟ ඇති වගුව 1 බලන්න) එදින වෙන්දේසියේ ආන්තික මිලට ඉතාම කිට්ටුවෙන් ඇති, වෙන්දේසියේ ප්‍රකාශිත මුළු නිකුතු ප්‍රමාණය 25%කින් ඉක්මවූ රුපියල් බිලියන 1.25ක ලන්සුවකි. මේ ලන්සුවෙන් සෙලාන් බැංකුවට මිලියන 2.7ක ක්ෂණික ලාභයක් ලැබේ (දහවන කොටස වගුව 5 බලන්න).

ඉහත ලන්සු දෙක එක්ව ගත් කළ පෙනෙන්නේ තේරුම් ගැනීමට අසීරු චර්යාවකි. රුපියල් 1,250ක සාපේක්ෂව වැඩි මිල ලන්සුවක් තබන සෙලාන් බැංකුව රුපියල් මිලියන සීයක තවත් ලන්සුවක් ඉතාම අඩු මිලකට තබන්නේ ඇයි? මෙය විස්තර කිරීමට අපට ප්‍රවාද කිහිපයක් ගොඩ නැඟිය හැකිය. ඇත්තටම සිදු වූ දෙය ඒවායින් එකක් හෝ වෙනත් දෙයක් වන්නට පුළුවන.

1. සෙලාන් බැංකුව යුනියන් බැංකුව හා කොමර්ෂල් බැංකුව මෙන් බැඳුම්කර නොගැනීමේ අරමුණින් අවම ලන්සු ප්‍රමාණය වන රුපියල් මිලියන සීය ඉතා අඩු මිලකට ඉදිරිපත් කළේය. පසුව, සෙලාන් බැංකුවේ භාණ්ඩාගාරයට 'වෙන්නට යන දෙය ගැන' කිසියම් ඉඟියක් ලැබුණේය. මෙය සෘජුව හෝ වක්‍රව ලැබුණු තොරතුරක් හෝ වෙනත් ආයතනයක චර්යාව නිරීක්ෂණය කර එළඹුණු නිගමයක් විය හැකිය. ඒ අනුව, ක්ෂණික වාසියක් ගැනීමේ අරමුණින් තවත් ලන්සුවක් තැබුවේය. ලන්සු තැබූ වේලාවල් පරීක්ෂා කිරීමේ හැකියාවක් ඇත්නම් මෙම ප්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමට හෝ එයට තවත් බර තබන්නට පුළුවන. එම තොරතුරු ඉකොනොමැට්ටා සතුව නැත.

2. රුපියල් මිලියන සීයේ ලන්සුව සෙලාන් බැංකුව වෙනුවෙන් තැබූ එකකි. රුපියල් බිලියන 1.25 ලන්සුව කිසියම් ක්‍රමයකින් (අභ්‍යන්තර තොරතුරකින් හෝ විශ්ලේෂණ හැකියාවෙන්) 'වෙන්නට යන දෙය' දැනගත් සෙලාන් බැංකුවේ පාරිභෝගිකයෙකු වෙනුවෙන් තැබූ එකකි.

3. සෙලාන් බැංකුව විශ්වාස කළ පරිදි ලන්සු විශාල ප්‍රමාණයක් (ඇත්තටම සිදු වූ පරිදි) පිළිගැනෙන්නට මෙන්ම ලන්සු සියල්ලම පිළිගැනෙන්නට වුවද කිසියම් ඉඩක් තිබුණේය. (මා පසුව පැහැදිලි කරන්නට නියමිතව ඇති පරිදි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විශ්වාස කර ඇත්තේද මෙවැනි තත්ත්වයකි. ඔවුන්ට අභ්‍යන්තර තොරතුරක් ලැබුණේ වුවද, එහි සැලකිය යුතු අවිනිශ්චිතතාවක් තිබී ඇති අතර ඔවුන්ගේ ලන්සු වලින් පෙන්වන්නේ එම තත්ත්වය හමුවේ ඔවුන්ගේ උපාය මාර්ගික ප්‍රතිචාරයයි. මෙය අපි පසුව නැවතත් විස්තරාත්මකව කතා කරමු.) මේ අනුව ඔවුන් උපාය මාර්ගික ප්‍රතිචාරයක් දක්වා තිබේ. කිසියම් හෙයකින් වෙන්දේසියේ ලන්සු සියල්ලම පිළිගැනුණේනම් ඉතා අඩු මිලකට ලැබෙන රුපියල් මිලියන සියයක බැඳුම්කර වෙළඳපොළ මිලට විකුණා ඉතාම විශාල ලාභයක් ලැබීමේ හැකියාවක් ඔවුන් සතු විය.

සිදු වූ දෙය මෙයින් කුමක් හෝ වීමේ කිසියම් ඉඩක් ඇති නිසා වෙන්දේසියේදී 'වෙන්නට යන දෙය' ගැන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අමතරව වෙනත් ඇතැම් ආයතන වලටද ඉව වැටී තිබීමේ හැකියාව අපට එක් වරම බැහැර කළ නොහැකිය. එසේනම්, වෙන්දේසියේ ප්‍රකාශිත ප්‍රමාණයට වඩා ලන්සු තැබූ ආයතන තුනට අමතරව නියමිත වේලාවෙන්ද මිනිත්තු කිහිපයකට පසුව සිය ලන්සුව තබන එච්එස්බීසී ආයතනය ඇතුළු හරියටම ආන්තික මිලට ලන්සු තැබූ ආයතන කිහිපයටත්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලන්සු මිල පරාසයට ඉතා කිට්ටුවෙන් ලන්සු තබා ඇති පෑන් ඒෂියා බැංකුව වැනි ආයතන වලටත් මෙවැනි ඉවක් වැටී තිබුණේද?

මේ ලිපි පෙළ ලිවීමේදී මගේ අරමුණ වන්නේ ක්ෂණික නිගමන වලට එළඹීම හෝ කිසියම් නිශ්චිත මතයක් තහවුරු කිරීම පිණිස තර්ක ගොඩනැඟීම නොවේ. සිදු වීමට ඇති විවිධ දේ විමර්ශනයට ලක් කිරීමයි. ඒ නිසා, ඇතැම් විට මේ ලිපි මාලාවේ ඉදිරිපත් කෙරෙන තර්ක වල පරස්පරයන් පෙනෙන්නට පුළුවන. එසේ පෙනේනම්, ඒ මා සතුව ඇති තොරතුරු මත දැඩි නිගමනයකට එළඹිය නොහැකි, ඇත්තටම එවැනි දෙපැත්තක් පෙනෙන්නට ඇති තැන්ය. ඒ අතර,  දැනට ප්‍රසිද්ධව ඇති තොරතුරු විශ්ලේෂණයෙන් පමණක් වුවද සෑහෙන විශ්වාසයකින් යුතුව කිව හැකි ඇතැම් දේද තිබේ.

එක් එක් ආයතනය විසින් තබා ඇති ලන්සු වල බරිත සාමාන්‍යයෙන් එම ආයතනය එදින වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල ඇස්තමේන්තු කර ඇති ආකාරය පිළිබිඹු වේ. පහත හත්වන වගුවෙන් පෙන්වා ඇත්තේ මේ එක් එක් ආයතනයේ ලන්සු වල බරිත සාමාන්‍ය මිල පැතිර පැවති පරාසයයි. තරමක් සැලකිල්ලෙන් බැලූ විට මේ ආයතන වල ලන්සු කොටස් දෙකකට වෙන් කිරීමේ හැකියාවක් තිබේ. කිසිදු න්‍යායක් මත පදනම් නොවූ. මගේ 'ඇහැට පේන' දෙයක් වන්නේ මේ වෙළදපොළ අපේක්ෂාවන්ගෙන් කොටසක් රුපියල් 102 පමණ වන ඉහළ මිලක් වටාත්, ඉතිරිවා රුපියල් 90ක් වැනි පහළ මිලක් වටාත් කේන්ද්‍ර වී ඇති බවයි. එසේනම්, මේ කණ්ඩායම් දෙක එදින කිසියම් 'ඉවක් වැටුණු' හා නොවැටුණු කණ්ඩායම් දෙකක්ද?




කිසියම් ආයතනයක ලන්සු වල බරිත සාමාන්‍ය මිලෙන් එදින වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල පිළිබඳව එම ආයතනයේ තක්සේරුව පිළිබිඹු වන අතරම, එම ආයතනයේ ලන්සු මෙම බරිත සාමාන්‍යයෙන් අපගමනය වී ඇති ආකාරයෙන් එම ආයතන මුහුණ දුන් අවිනිශ්චිතතාවය පිළිබිඹු වේ. පහත පළමු රූප සටහනෙන් මේ එක් එක් ආයතනයේ ලන්සු පැතිර පැවති පරාසය පෙන්වා ඇත. පළමු සිරස් ඉරට වමෙන් ඇති ලන්සු එදින වෙන්දේසියේදී ප්‍රකාශිත පරිදිම රුපියල් බිලියනයක බැඳුම්කර පමණක් නිකුත් කළේනම් පිළිගැනෙන ලන්සුයි. පළමු හා දෙවන සිරස් ඉරි අතර ඇත්තේ නිකුතුව දහගුණයකින් ඉහළ දැමීම නිසා පිළිගැනුණු ලන්සුයි. දෙවන සිරස් ඉරෙන් දකුණට ඇත්තේ මෙසේ නිකුතුවේ ප්‍රමාණය ඉහළ දැමුවද පිළි නොගැනුණු ලන්සුයි. පළමු හා දෙවන සිරස් ඉරි දෙක ආසන්නව කණ්ඩායම් දෙකකට ලන්සු එක්රැස් වී ඇති ආකාරය මේ රූප සටහනින් තවදුරටත් පැහැදිලි වේ.

එයින් පෙන්වන්නේ කුමක්ද?




No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.