Showing posts with label මිල පාලනය. Show all posts
Showing posts with label මිල පාලනය. Show all posts

Wednesday, October 9, 2019

පොහොර සහනාධාරය

වත්පොතේ සංසරණය වන, පොහොර සහනාධාරය හා අදාළ, හිටපු විගණකාධිපතිගේ කතාවක් අහන්න ලැබුණා. මේ වන විට හිටපු විගණකාධිපතිව සැලකිය හැක්කේ දේශපාලනඥයෙකු මිස වෘත්තීයවේදියෙකු හැටියට නෙමෙයි. අනෙක් අතට මේ වෙද්දී හිටපු විගණකාධිපති ඇතුළු වෘත්තීයවේදීන් කණ්ඩායමක්ම දේශපාලනයට අත ගසා තිබෙන නිසා මේ කණ්ඩායම් දෙක අතර වෙනස එතරම් වැදගත් එකකුත් නෙමෙයි. ඒ වගේම, වඩා පුළුල් ලෙස බැලුවොත් දේශපාලනඥයින් කියන්නෙත් වෘත්තීයවේදීන් කණ්ඩායමක්. කොහොම වුනත්, වෘත්තීයවේදීන් විසින් කියන දේවල් වඩා නිවැරදියි කියා හිතන අය ගොඩක් ඉන්න නිසා මේ කතාවේ සඳහන් ඇතැම් කරුණු ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි.

හිටපු විගණකාධිපති විසින් අවධාරණය කර කියන ආකාරයට ලංකාවේ නිපදවන සහල් ප්‍රමාණයේ මුළු වටිනාකම මේ වෙනුවෙන් ලබා දෙන සහනාධාරයේ වියදමට වඩා වැඩියි. මෙය සැබෑවක්ද කියා ඉතා පහසුවෙන් තහවුරු කර ගත හැකියි. මේ දත්ත සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හා මහ බැංකුවේ ප්‍රකාශන වල තිබෙනවා. පහත වගුව පිළියෙළ කර තිබෙන්නේ එම දත්ත ඇසුරෙනුයි.


ගාමිණි විජේසිංහගේ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව කාට වුවත් බැලූ බැල්මටම නොපෙනෙන්න හේතුවක් නැහැ. පසුගිය 2018 වසර ගත්තොත්, රටේ නිපදවූ සහල් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 203,015 ක්. නමුත්, පොහොර සහනාධාරය ලෙස ලබා දී ඇති මුදල රුපියල් මිලියන 32,000ක් පමණයි. පෙර වසරවල් සලකා බැලුවත්, රටේ හදන හාල් වල වටිනාකමට වඩා වැඩි මුදලක් පොහොර සහනාධාරය ලෙස ලබා දෙනවා කියන එක ගාමිණී විජේසිංහ විසින් හිතාමතාම හෝ කරුණු සොයා නොබලා කියන බොරුවක්. මා කරන්නේ පොහාර සහනාධාරය අනුමත කිරීමක් නෙමෙයි. කරුණු ඇති සැටියෙන් පෙන්වා දීමක් පමණයි.

නිපදවූ සහල් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම දෙස බලා කර්මාන්තයේ ලාබ පිළිබඳව නිගමනය කරන්න බැහැ. ඒ සඳහා, නිෂ්පාදන වියදම් අඩු කළ යුතුයි. සහල් කර්මාන්තයේ එකතු කළ අගය කියා කියන්නේ මෙසේ පිරිවැය ඉවත් කළ විට ඉතිරි වන ලාබයටයි. මේ එකතු කළ අගය පිළිබඳවත් සංඛ්‍යාලේඛන තිබෙනවා. 2018 වසරේදී කර්මාන්තයේ එකතු කළ අගය රුපියල් මිලියන 118,653ක්. ඒ මුදල වුවත්, පොහොර සහනාධාරයේ පිරිවැයට වඩා කිහිප ගුණයක් වැඩියි.

කර්මාන්තයේ සැබෑ ලාබය ගණනය කරන්න ඉහත එකතු කළ අගයෙන් සහනාධාර මුදල අඩු කර ගෙවූ බදු මුදල් එකතු කළ යුතුයි. සහල් නිපදවීමේ කර්මාන්තයේ බදු වියදම් කොපමණද කියා මා දන්නේ නැහැ. නමුත්, කිසියම් හෝ බදු මුදලක් මේ කර්මාන්තයේ නියැලෙන්නන් විසින් රජයට ගෙවා තිබෙන නිසා පොහොර සහනාධාරයේ වියදම මුළුමනින්ම ඉහත එකතු කළ අගයෙන් අඩු කිරීම නිවැරදි නැහැ. එසේ කළත්, සැලකිය යුතු එකතු කළ අගයක් පෙනෙන්නට තිබෙනවා.

පෙනෙන විදිහට ගාමිණි විජේසිංහ පෙනී සිටින්නේ රාජ්‍යමූලික, ආරක්ෂණවාදී ආර්ථිකයක් වෙනුවෙනුයි. ලංකාවේ බොහෝ වෘත්තිකයින් රාජ්‍යමූලික, ආරක්ෂණවාදී ආර්ථිකයකට කැමතියි. එවැනි ක්‍රමයක් යටතේ ඔවුන්ට රටේ අනෙකුත් අයගේ වියදමෙන් වාසි ලබා ගන්න ඉඩ තිබීම මෙයට හේතුවයි. ගාමිණි විජේසිංහ කතා කරන්නේ මේ පිරිසටයි.

ගාමිණි විජේසිංහ විසින් යෝජනා කරන්නේ වෙළඳපොළ යාන්ත්‍රනය අවහිර කර රජය විසින් භාණ්ඩ හා සේවා වල මිල තීරණය කරන ක්‍රමයකුයි. මේ පැරණි සමාජවාදී රටවල තිබුණු අසාර්ථක වූ ක්‍රමය මිස අලුත් එකක් නෙමෙයි. වත්පොත් වීඩියෝව ප්‍රචාරය කෙරෙන්නේ ජාතික ජනතා ව්‍යාපාරයේ ලේබලය සමඟ නිසා මෙය එම ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිපත්තිය කියා සිතිය හැකියි.

ඔහු කියන ආකාරයට වෙළඳපොළ යාන්ත්‍රනය යටතේ මිල තීරණය වීම අවහිර කරමින්, කිසියම් භාණ්ඩයක් රට ඇතුළේ හදන්න යන වියදමේ අනුපාතයක් ලෙස මිල තීරණය වන පරිදි හා මේ මිල සූත්‍රය වෙනස් කළ නොහැකි පරිදි නීති පැනවිය යුතුයි. වියදම ඇස්තමේන්තු කරන්නේ ඔහු විසින් හෝ වෙනත් පිරිසක් විසින්. නිෂ්පාදකයෙකු ලැබිය යුතු ලාබය තීරණය කරන්නේත් මේ කණ්ඩායම විසිනුයි. අනෙක් අයට තියෙන්නේ මේ වැඩේ කරන පිරිස නඩත්තු කරන එකයි.

ගාමිණි විජේසිංහ යෝජනා කරන ආකාරයට ලංකාවේ ඇපල් ගෙඩියක් හදන්න රුපියල් දහදාහක් යනවානම් ඔවුන් කරන්නේ ඇපල් ගෙඩියක මිල රුපියල් විසිදාහක් වන ආකාරයට සූත්‍රයක් හදා එය වෙනස් කළ නොහැකි සේ නීතිගත කරන එකයි. ඊට පස්සේ ඒ මිල ගෙවා කී දෙනෙක් ඇපල් මිල දී ගනීද කියන එක ගැන හිතන්න ඔහු මහන්සි වෙන්නේ නැහැ. මේ ආකාරයේ ආර්ථික ක්‍රමයකට කැමති අය රටේ කොපමණ ඉන්නවාද කියා ජනාධිපතිවරණයෙන් පසුව බලාගන්න පුළුවන් වෙයි.

https://www.facebook.com/apemedia.lk/videos/782026978918062/

Sunday, June 4, 2017

ශ්‍රම වෙළඳපොළ සමතුලිතතාවය හා අවම වැටුප්


පුහුණු හෝ නුපුහුණු ශ්‍රමය සඳහා වන වෙළඳපොළද මූලික ආකෘතිය අතින් වෙනත් භාණ්ඩ හෝ සේවා වෙළඳපොලකින් වෙනස් නොවේ. රජයේ ඇඟිලිගැසීමක් නැත්නම් මේ වෙළදපොලේ මිල හෙවත් වැටුප් තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතය.

මෙය පැහැදිලි කිරීම සඳහා අපි ලංකාවේ පෞද්ගලික ආරක්ෂක සේවා සැපයීමේ වෙළඳපොල වෙත හැරෙමු. උස අයට වගේම මිටි අයට පවා තමන් කැමතිනම් කම්කරු රස්සාවක් වෙනුවට සිකියුරිටි රස්සාවක් හොයා ගැනීම එතරම් අපහසු කරුණක් නොවේ. වැටුප් එතරම් ඉහළ නොවූවත් සිකියුරිටි රස්සා සඳහා ලංකාවේ පුරප්පාඩු අඩුවක් නැතුව තිබේ.

සිකියුරිටි රස්සාවක් කිරීමේ හැකියාව තිබුණු පමණින්ම බොහෝ දෙනෙක් එවැනි රස්සාවකට අයදුම් කිරීම ගැන හිතන්නේ නැත. මේ අයගෙන් කොටසක් එසේ අයදුම් නොකරන්නේ ඒ රස්සාවට කැමති නැති නිසාය. තවත් බොහෝ දෙනෙකුට රස්සාවේ අවුලක් නැතත් වැටුප ගැන සෑහීමකට පත් නොවන නිසා අයදුම් නොකරති. සිකියුරිටි රැකියාවක් සඳහා වඩා වැඩි වැටුපක් ලැබෙනවානම් මේ දෙවන කාණ්ඩයේ අය එවැනි රැකියා සඳහා අයදුම් කරන්නට පැකිලෙන්නේ නැත. ඒ වගේම, යම් හෙයකින් මේ වැටුප් ඉතාම විශාල ලෙස ඉහළ ගියහොත් පළමු කාණ්ඩයේ අය වුවද සිකියුරිටි රස්සාවකට කැමති වෙන්නට ඉඩ තිබේ.

පුද්ගලයින් හත් දෙනෙකු විසින් සිකියුරිටි රස්සාවක් භාර ගැනීමට කැමති වන අවම මාසික වැටුප් පහත පරිදියැයි සිතමු.

අජිත් - රුපියල් 8,000
ආනන්ද - රුපියල් 10,000
ඇන්ටන් - රුපියල් 11,000
ඈශ්ලි - රුපියල් 12,000
ඉරාජ් -රුපියල් 12,500
ඊශ්වරන් -රුපියල් 15,000
උතුම් -රුපියල් 25,000

මුදල් ඉපයිය හැකි වෙනත් විකල්ප අවස්ථාවක් ඇති කෙනෙක් සිකියුරිටි රැකියාවකට එන්නේ වඩා වැඩි වැටුපක් ලැබේනම් පමණි. තමන්ට ඇති විකල්ප රැකියා අවස්ථා අනුව, එක් එක් පුද්ගලයා අපේක්ෂා කරන අවම වැටුප වෙනස් වේ. අඩු වැටුපකට රැකියාවට එන්නට කැමැත්තෙන් සිටින්නේ, වෙනත් විකල්ප අවස්ථා නැති, රැකියාවක් වැඩියෙන්ම අවශ්‍ය අයයි. වැඩි වැටුප් ඉල්ලන්නේ, වෙනත් රැකියා අවස්ථා ඇති, ඒ නිසා සිකියුරිටි රැකියාව "තිබුණත් එකයි නැතත් එකයි" අයයි.

ඉහත තොරතුරු අනුව අපට සිකියුරිටි සේවා සඳහා වන සැපයුම් වක්‍රය හෙවත් වැටුප් ඉහළ යද්දී සේවයට එන්නට කැමති පුද්ගලයින් ගණන වැඩිවන ආකාරය හදාගන්නට පුළුවන. එය පහත පරිදි වේ.

රුපියල් 7,999 දක්වා - 0
රුපියල් 8,000-9,999- 1
රුපියල් 10,000-10,999- 2
රුපියල් 11,000-11,999- 3
රුපියල් 12,000-12,499- 4
රුපියල් 12,500-14,999- 5
රුපියල් 15,000-24,999- 6
රුපියල් 25,000ට වැඩි - 7

අනෙක් අතට කිසියම් ආයතනයක් විසින් සිකියුරිටි කෙනෙක් තබා ගැනීමට තීරණය කරන්නේ ආයතනයේ වියදම ඕනෑවට වඩා වැඩි නොවනවානම් පමණි. ආයතන කිහිපයක් සිකියුරිටි කෙනෙක් වෙනුවෙන් ගෙවන්නට කැමති උපරිම මිල පහත පරිදියයි සිතමු. (අපේ පහසුවට අතරමැදි සිකියුරිටි සමාගමක් නැතැයි සිතමු.)

අබාන්ස් - රුපියල් 15,000
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500
ඇන්සල් - රුපියල් 12,000
ඈපාසිංහ ස්ටෝර්ස් - රුපියල් 11,000
ඉක්බාල් බ්‍රදර්ස්- රුපියල් 10,000
ඊරියගම ස්ටෝර්ස්- රුපියල් 9,000
උදාර ට්‍රේඩර්ස්- රුපියල් 8,000

දැන් අපට සිකියුරිටි සේවා සඳහා වන ඉල්ලුම් වක්‍රයද හදාගන්නට පුළුවන.

රුපියල් 15,000ට වැඩි - 0
රුපියල් 12,501-15,000- 1
රුපියල් 12,001-12,500- 2
රුපියල් 11,001-12,000- 3
රුපියල් 10,001-11,000- 4
රුපියල් 9,001-10,000- 5
රුපියල් 8,001-9,000- 6
රුපියල් 8,000ට අඩු - 7

සේවා සපයන්නට හා සේවා ලබාගන්නා ආයතන වලට නිදහසේ ගිවිසුම් වලට එළැඹීමට ඉඩ ඇත්නම් ඉල්ලුම හා සැපයුම ස්වභාවිකවම සමතුලිත වේ. එසේ සමතුලිත වන "නියම" මිල රුපියල් 11,001-11,999 අතර මිලකි. මේ මිල රුපියල් 11,500ක් යැයි අපි හිතමු. නිදහස් ශ්‍රම වෙළඳපොළක් ඇති විට මෙසේ තීරණය වන මිල සමස්තයක් ලෙස සියලු පාර්ශ්වයන් විට හොඳම මිලයි. මේ මිල යටතේ තිදෙනෙකුට රැකියාව ලැබේ. අනිත් අයට නොලැබේ.

රැකියා ලැබෙන්නේ රැකියා වඩාත්ම අවශ්‍ය තිදෙනා වන අජිත්ට, ආනන්දට හා ඇන්ටන්ටය. ඒ තිදෙනාටම, තමන් අපේක්ෂා කරන අවම වැටුපට වඩා වැටුපක් ලැබේ. එය ඔවුන් ලබන අතිරික්ත ලාබයකි. අදාළ ලාබ මෙසේය.

අජිත් - රුපියල් 11,500- 8,000 = රුපියල් 3,500
ආනන්ද - රුපියල් 11,500- 10,000 = රුපියල් 1,500
ඇන්ටන් - රුපියල් 11,500- 11,000 = රුපියල් 500
ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තයේ එකතුව = රුපියල් 5,500

මෙහිදී ඉතිරි හතර දෙනාට රැකියා නොලැබී යයි. එහෙත්, ඒ සිකියුරිටි රැකියාවක් සඳහා ගෙවන රුපියල් 11,500 වැටුපට සේවය කරන්නට ඔවුන් කැමති නැති බැවිනි. ඔවුන් එසේ අකැමැති වන්නේ ඔවුන්ට වඩා හොඳ විකල්ප අවස්ථාවන් ඇති බැවිනි. එසේ නොවීනම් ඔවුන් රුපියල් 11,500ක වැටුපට සිකියුරිටි රැකියාවක් භාර ගැනීමට පැකිලෙන්නේ නැත. ඒ නිසා, සිකියුරිටි රැකියාවකට නොපැමිණීමෙන් ඔවුන්ටද වෙන්නේ යහපතකි. මෙහිදී කිසිවකුගේ ශ්‍රමය "සූරාකෑමක්" සිදුවී නැත.

අනෙක් අතට, ආරක්ෂක සේවා ලබාගැනීමට බලාපොරොත්තු වූ ආයතන අතරින් ඒ අවස්ථාව ලැබෙන්නේ ආයතන තුනකට පමණි. ඒ, වැඩිම වැටුප් ගෙවන්නට සූදානමින් සිටි අබාන්ස්, ආරාධනා ටෙක්ස්ටයිල්ස් හා ඇන්සල් යන ආයතන තුනටය. ඔවුන් රුපියල් 11,500 ඉක්මවන වැඩි වැටුප් ගෙවීමට සූදානම්ව ඉන්නේ ගෙවන මුදලට සරිලන සේවයක් ඔවුන්ට ලැබෙන නිසාය. දැන්, මේ ආයතන තුනටම ඔවුන් ගෙවන්නට බලාපොරොත්තු වූ මිලට වඩා අඩුවෙන් සිකියුරිටිවරුන් සේවයට බඳවාගන්නට ලැබීම නිසා ඔවුන්ටද සිදුවන්නේ ලාභයකි. එය මෙසේය.

අබාන්ස් - රුපියල් 15,000 - 11,500 = රුපියල් 3,500
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 11,500 = රුපියල් 1,000
ඇන්සල් - රුපියල් 12,000 - 11,500 = රුපියල් 500
ආයතන වල ලාභයේ එකතුව = රුපියල් 5,000

අවසාන වශයෙන් ආයතන වලට රුපියල් 5,000ක් හා ශ්‍රමය සපයන්නන්ට රුපියල් 5,500ක් ලෙස සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 10,500කි.

ආයතන හතරකට සිකියුරිටිවරුන් බඳවා ගැනීමට නොලැබෙන්නේ එම ආයතන විසින් ගෙවන්නට කැමැත්තෙන් සිටින වැටුප් රුපියල් 11,500ට වඩා අඩු නිසාය. එසේ ගෙවන්නන්ට කැමතිනම් ඔවුන්ට සිකියුරිටි කෙනෙකු බඳවා ගැනීමේ හැකියාව තිබේ. එහෙත්, ඔවුන් ඊට වඩා වැඩිපුර ගෙවන්නට අකැමැති වන්නේ ඔවුන්ට සිකියුරිටි කෙනෙකු සපයන සේවාවේ වටිනාකම රුපියල් 11,500ට වඩා අඩු බැවිනි. ඒ නිසා, මෙහිදී ඒ ආයතන වලටද අසාධාරණයක් වී නැත.

දැන් අබාන්ස් ආයතනය අලුත් ශාඛාවක් විවෘත කිරීම නිසා ඔවුන්ට තවත් සිකියුරිටි කෙනෙක් අවශ්‍ය වුනායයි සිතමු. එම සමාගම ඔහු වෙනුවෙන්ද රුපියල් 15,000 නොඉක්මවන මුදලක් ගෙවන්නට කැමැත්තෙන් සිටී. මේ අනුව, සිකියුරිටි සේවා සඳහා වන ඉල්ලුම පහත පරිදි ඉහළ යයි.

රුපියල් 15,000ට වැඩි - 0
රුපියල් 12,501-15,000- 2
රුපියල් 12,001-12,500- 3
රුපියල් 11,001-12,000- 4
රුපියල් 10,001-11,000- 5
රුපියල් 9,001-10,000- 6
රුපියල් 8,001-9,000- 7
රුපියල් 8,000ට අඩු - 8

දැන් වෙළඳපොළ සමතුලිත මිල රුපියල් 12,000 දක්වා ඉහළ යයි. කලින් රැකියා විරහිතව (හෝ අඩු වැටුපකට වෙනත් රැකියාවක් කරමින්) සිටි ඈෂ්ලිටද දැන් රැකියාවක් හිමිවේ. එය සමස්ත අතිරික්තය කෙරෙහි බලපාන්නේ පහත අයුරිනි.

අජිත් - රුපියල් 12,000- 8,000 = රුපියල් 4,000
ආනන්ද - රුපියල් 12,000- 10,000 = රුපියල් 2,000
ඇන්ටන් - රුපියල් 12,000- 11,000 = රුපියල් 1,000
ඈෂ්ලි - රුපියල් 12,000 - 12,000 = රුපියල් 0
ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තයේ එකතුව = රුපියල් 7,000

අබාන්ස් 1- රුපියල් 15,000 - 12,000 = රුපියල් 3,000
අබාන්ස් 2- රුපියල් 15,000 - 12,000 = රුපියල් 3,000
ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 12,000 = රුපියල් 500
ඇන්සල් - රුපියල් 12,000 - 12,000 = රුපියල් 0
ආයතන වල ලාභයේ එකතුව = රුපියල් 6,500

මෙහි පෙනෙන පරිදි, එක් ආයතනයක් තවදුරටත් ව්‍යාප්ත වීම නිසා සමස්තයක් ලෙස ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තය මෙන්ම ආයතන වල ලාභද වැඩිවී තිබේ. දැන් ආයතන වලට රුපියල් 6,500ක් හා ශ්‍රමය සපයන්නන්ට රුපියල් 7,000ක් ලෙස සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 13,500කි.

දැන් අලුතින් පත්වුනු කම්කරු ඇමතිවරයෙකු පෞද්ගලික ආරක්ෂක සේවා සපයන්නන්ව සමාගම් විසින් "සූරාකන බව"  කියා එය වැළැක්වීමට රුපියල් 13,000ක අවම වැටුපක් නියම කරයි. දැන් සිදුවන්නේ කුමක්ද?

මේ වැටුපට සේවය කරන්නට කැමැත්තෙන් සිටින පස් දෙනෙක් සිටිති. ඒ අය හා ඔවුන් බලාපොරොත්තු වන අවම වැටුප් මෙසේය.

අජිත් - රුපියල් 8,000
ආනන්ද - රුපියල් 10,000
ඇන්ටන් - රුපියල් 11,000
ඈශ්ලි - රුපියල් 12,000
ඉරාජ් -රුපියල් 12,500

රුපියල් 13,000ක අවම වැටුප ගෙවන්නට සූදානම්ව සිටින්නේ අබාන්ස් සමාගම පමණි. එම සමාගම රුපියල් 15,000 දක්වා වන වැටුපකට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බඳවා ගැනීමට සූදානම්ව සිටියත් වෙනත් කිසිදු සමාගමක් දැන් අවම වැටුප වන රුපියල් 13,000ක් ගෙවා ආරක්ෂක නිලධාරියෙකු නඩත්තු කිරීමට සූදානම් නැත. මේ නිසා, ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වේ. පුරප්පාඩු දෙකක් වෙනුවෙන් තරඟකරුවන් පස්දෙනෙකි. රජය අවම වැටුපක් නියම නොකළානම් මෙවැනි තත්ත්වයක් ඇති නොවේ.

කම්කරු ඇමතිවරයාගේ ලියුමක් රැගෙන එන ඉරාජ්ට හා ඈශ්ලිට අබාන්ස් සමාගමේ රැකියා දෙක හිමිවේ. කවුරු ගත්තත් ගෙවන්නට වෙන්නේ අවම වැටුප වන රුපියල් 13,000 නිසා අබාන්ස් සමාගමට ඒ දෙදෙනාව රැකියා සඳහා තෝරාගැනීම ප්‍රශ්නයක් නොවේ.

කෙසේ වුවද,  ඉරාජ් හා ඈශ්ලි වෙනත් රැකියා අවස්ථාද ඇති අයයි. රැකියාවක් වැඩිපුරම අවශ්‍ය කරන අජිත්ට හා ආනන්දට දැන් රැකියා නැත. සමස්ත අතිරික්තය දැන් මෙසේය.

ඉරාජ් - රුපියල් 13,000- 12,500 = රුපියල් 500
ඈෂ්ලි - රුපියල් 13,000 - 12,000 = රුපියල් 1,000
එකතුව = රුපියල් 1,500

අබාන්ස් 1- රුපියල් 15,000 - 13,000 = රුපියල් 2,000
අබාන්ස් 2- රුපියල් 15,000 - 13,000 = රුපියල් 2,000
එකතුව = 4,000

දැන් ආයතන වල ලාබය රුපියල් 6,500 සිට 4,000 දක්වාද. ශ්‍රමය සපයන්නන්ගේ අතිරික්තය රුපියල් 7,000 සිට 1,500 දක්වාද අඩුවී තිබේ. සමාජයට සිදුවන සමස්ත යහපතෙහි වටිනාකම රුපියල් 13,500 සිට 5,500 දක්වා රුපියල් 8,000කින් අඩුවී තිබේ. ඊට අමතරව රැකියා හිමි වී ඇත්තේ අවශ්‍යම පුද්ගලයින්ටද නොවේ.

දැන් රැකියා විරහිතව සිටින අජිත්, ආනන්ද හා ඇන්ටන් සිටින්නේ අසතුටෙනි. ඔවුන් තිදෙනා රුපියල් 11,000ක වැටුපකට සේවය කරන්නට කැමැත්තෙන් සිටි අතර එසේ කිරීමෙන් ඔවුන්ගෙන් දෙදෙනෙකුටම අතිරික්ත ලාබයක්ද ලැබිය හැකිව තිබුණි.

අජිත් - රුපියල් 11,000- 8,000 = රුපියල් 3,000
ආනන්ද - රුපියල් 11,000- 10,000 = රුපියල් 1,000
ඇන්ටන් - රුපියල් 11,000 - 11,000 = රුපියල් 0

ඔවුන්ව රුපියල් 11,000ක වැටුපකට සේවයට බඳවා ගැනීමට සූදානම්ව සිටි ආයතන තුනක්ද
තිබුණි. එසේ කිරීමෙන් මේ ආයතන තුනෙන් දෙකකටම අතිරික්ත ලාබයක්ද ලැබිය හැකිව තිබුණි.

ආරාධනා ටෙක්ස්ටයිල්ස් - රුපියල් 12,500 - 11,000 = රුපියල් 1,500
ඇන්සල් - රුපියල් 12,000 - 11,000 = රුපියල් 1,000
ඈපාසිංහ ස්ටෝර්ස් - රුපියල් 11,000 -11,000 = රුපියල් 0

එහෙත්, සිතින් මවාගත් හෝ තමන්වත් විශ්වාස නොකරන "සූරාකෑමක්" ගැන කියමින් කම්කරු ඇමතිවරයා විසින් අජිත්ට, ආනන්දට හා ඇන්ටන්ට රැකියා කිරීමට ඇති අවස්ථා නැති කර ඔවුන්ගේ ජීවිත අඳුරට ඇද දමා ඇති අතර රටේ සමාගම් තුනකට අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමේ අවස්ථාවද නැති වී තිබේ.


වාසනාවට ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැති නිසා වෙනත් රැකියාවක් නැති අයෙකුට අඩු ගානේ පෞද්ගලික අංශයේ සිකියුරිටි රැකියාවක් හෝ කරන්නට හැකියාවක් තවමත් තිබේ. 

එහෙත්, ආණ්ඩුවේ රැකියා හා අදාළවනම් තිබෙන්නේ වෙනස් තත්ත්වයකි. පොදු අරමුදල් වලින් නඩත්තු වන ආයතනයක කාකාස තනතුරකට යන්නට වුවත් තල්ලුවක් අවශ්‍ය වීමෙන් පෙනෙන්නේ එවැනි තනතුරු භාර ගන්නට කැමැත්තෙන් සිටින පිරිස පවතින තනතුරු ගණනට වඩා වැඩි බවයි. එයින් අදහස් වන්නේ එවැනි අය කරන සේවයට වඩා ලබාගන්නා වැටුප් බොහෝ වැඩි බවයි.

Monday, August 1, 2016

මිල පාලනය නිසා නැඟී එන උද්ධමනය නොපෙනී යයිද?

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින්යැයි පවසමින් රජය අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් මිල පාලනයට ලක් කර තිබේ. මේ මිල පාලනය ගැන කෙටියෙන්ම කියන්නට තියෙන්නේ "ඕක කවදාවත් හරියන්නේ නැති දෙයක් !" යන්නයි. ඉදිරි දෙවසරක පමණ කාලය තුළ මේ මිල පාලනය පවත්වාගෙන යන බවද කියැවී තිබුණේය.

මේ වන විට මිල පාලනයට ලක් කර ඇති භාණ්ඩ සියල්ලේම පාහේ මිල සාමාන්‍යයෙන් තීරණය වන්නේ තරඟකාරී වෙළඳපොළ තත්ත්වයකට ඉතා ආසන්න තත්ත්වයන් යටතේය. ඒ නිසා සාමාන්‍යයෙන් ඒ භාණ්ඩ වල ඉල්ලුම හා සැපයුම මනාව සමතුලිත වන අතර භාණ්ඩ හිඟයක් (හෝ නිෂ්පාදන අතිරික්තයක්) නොපවතී. මිල පාලනය යටතේ සිදුවන්නේ
වෙළඳපොළ මිල මට්ටම නිදහස් වෙළඳපොළෙහි සමතුලිත මිලට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට බල කිරීමයි.

යම් භාණ්ඩයක මිල එහි නියම මිලට වඩා කෘතීම ලෙස පහත හෙලනු ලැබූ විට ඒ සඳහා වන ඉල්ලුම වඩාත් වැඩිවීමත්, සැපයුම වඩාත් අඩුවීමත් හේතුවෙන් ඉල්ලුම හා සැපයුම අසමතුලිත වී භාණ්ඩ හිඟයක් ඇති වේ. මේ තත්ත්වය මේ වන විටද රට තුළ ඇති වී ඇති බව පුවත්පත් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, සුපිරි වෙළඳසැල් වල මෙන්ම සතොස ශාඛා වලද දැනටම මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙමින් පවතී. "පොතේ හැටියට" භාණ්ඩයක මිල අඩු වුවත් ඒ මිලට ගන්නට කඩේ බඩු නැත්නම් සිදුවන්නේ පාරිභෝගික ජනතාවට සහන සැලසීම නොව ඔවුන්ගේ අසහනය තවදුරටත් වර්ධනය වීමයි.

රටේ භාණ්ඩ වල මිල පොදුවේ ඉහළ යන්නේනම් එයින් පෙනෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සමස්ත භාණ්ඩ සැපයුම (නිෂ්පාදනය + ආනයන - අපනයන) අතර පරතරයක් ඇති බවයි. රටේ ඇති භාණ්ඩ තොගයට සාපේක්ෂව මුදල් තොගය වැඩි වූ විට මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිය. උද්ධමනය කියන්නේද මෙයමය. මිල පාලනය උද්ධමනයට විසඳුමක් නොවේ.

උද්ධමනය යනු කිසියම් රටක මුදල් ඒකකයට සාපේක්ෂව එම රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල පොදුවේ ඉහළ යාමයි. එය හරියටම මනින්නටනම් රට තුළ අළෙවි වන සියළුම භාණ්ඩ හා සේවාවන්හි මිල නිරන්තරෙන් නිරීක්ෂණය කළ යුතුය. මෙය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බැවින්, සාමාන්‍යයෙන් උද්ධමනය මනිනු ලබන්නේ රටේ ආර්ථිකය නියෝජනය වන පරිදි තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක මිල වෙනස්වීම නිරීක්ෂණය කිරීම මඟිනි. රට තුළ බහුලව විකිණෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට මේ භාණ්ඩ
පැසෙහි ලොකු බරක් තිබේ.

කිසියම් හෙයකින් උද්ධමනය මැනීම සඳහා නියැදියක් ලෙස උපයෝගී කර ගන්නා භාණ්ඩ හා සේවාවන්හි මිල රටේ අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩිවීමට අනුරූප ලෙස වැඩි නොවේනම්, උද්ධමනය ලෙස මැනෙන අගය සැබෑ උද්ධමනයට වඩා අඩු අගයකි. එමඟින් රටේ සැබෑ උද්ධමනය සැඟවී යා හැකිය.

රජයේ අයවැය පරතරය පියවීම සඳහා මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම හේතුවෙන් රටේ මුදල් සැපයුම වැඩි වී උද්ධමනකාරී තත්ත්වයක් ඇති වන්නට ඉඩ ඇති අවස්ථාවක, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය කිරීම හේතුවෙන් උද්ධමනය ලෙස නිල වශයෙන් මනින අගය අඩුවෙන් පෙනේනම් පාරිභෝගික ජනතාවට සහන ලැබීම කෙසේ වුවත් රජයටනම් සැලසෙන්නේ වාසියකි.