Showing posts with label බදු. Show all posts
Showing posts with label බදු. Show all posts

Friday, December 20, 2019

ණය ගැනිල්ල තවත් අමාරු වෙයිද?


ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා (දෙසැම්බර් 18) ලංකාවේ රජයේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම ස්ථායී තත්ත්වයේ සිට සෘණ තත්ත්වය දක්වා පහත හෙළා තිබෙනවා. මෙයින් අදහස් වන්නේ දැනටමත් B මට්ටමට වැටී තිබෙන ණය ශ්‍රේණිය ඉදිරියේදී තවත් පහළට වැටීමේ අවදානමක් තිබෙන බවයි.

ණය ශ්‍රේණිගත කරන ප්‍රධාන ආයතන තුන වන්නේ එස්ඇන්ඩ්පී, මූඩීස් හා ෆිච් රේටින් යන සමාගම් තුනයි. මූඩීස් සමාගමේ B2 ශ්‍රේණියත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් වල B ශ්‍රේණියත් සමාන සේ සැලකෙනවා. පසුගිය 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිදු වූ බල පෙරළියෙන් පසුව ලංකාවේ  ස්වෛරීත්ව බැඳුම්කර වල අවදානම් ශ්‍රේණිය මූඩීස් සමාගම විසින් B2 මට්ටම දක්වාත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් විසින් B මට්ටම දක්වාත් පහත හෙලනු ලැබුවා. ඒ මෙතෙක් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කෙරුණු පහළම මට්ටමයි. මේ වන තුරුත් ශ්‍රේණිගත කිරීම් තිබෙන්නේ ඒ මට්ටම් වල. ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා ඉඟි කර තිබෙන්නේ ණය ශ්‍රේණිය තවත් පහළට වැටෙන්නට ඉඩ තිබෙන බවයි. ණය ශ්‍රේණිගත කිරීම් පහළ යන තරමට ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික ඉහළ යනවා.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, ආයෝජනය සඳහා සුදුසු කාණ්ඩ දහයක් තිබෙනවා. ඒවානම් AAA, AA+, AA, AA-, A+, A, A-, BBB+, BBB, BBB- යන කාණ්ඩයි. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ආදී රවවල් වලට අඩුම පොලියක් ගෙවා බැඳුම්කර නිකුත් කළ හැකිව තිබෙන්නේ එම රටවල් ඉහළින්ම තිබෙන AAA කාණ්ඩය යටතේ ශ්‍රේණිගත වී සිටින නිසයි. අසල්වැසි ඉන්දියාව ආයෝජනයට සුදුසු අවසන් කාණ්ඩය වන BBB- මට්ටමේ සිටිනවා. ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් ඊට කට්ටයක් ඉහළින් BBB මට්ටමේ ඉන්නවා. ලංකාව විසින් 2006දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට පටන් ගැනීමෙන් පසුව කිසි විටෙක මේ ආයෝජන කාණ්ඩයකට ඇතුළත් වීමට හැකි තරමට ණය ආපසු ගෙවීමේ අවදානම අඩු කර ගත හැකි වුනේ නැහැ.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, BBB- මට්ටමට පහළින් තිබෙන කාණ්ඩ සැලකෙන්නේ ලැබෙන පොලිය දෙස බලාගෙන අවදානමක් ගෙන කළ යුතු ආයෝජන ලෙසයි. මේ ආයෝජන නොවන කාණ්ඩ අතරින්ද ලංකාව දැනට වැටී සිටින B කාණ්ඩයට ඉහළින් BB+, BB, BB-, B+ යන කාණ්ඩ තිබෙනවා. B කාණ්ඩය සැලකෙන්නේ ඉතා සීමිත සුරක්ෂිතතාවක් ඇති ආයෝජනයක් ලෙසයි. දැනට ගත් ණය ගෙවාගෙන යන නමුත් කොයි වෙලාවක හෝ තත්ත්වය වෙනස් විය හැකි බව B කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමකින් අදහස් වෙනවා.

B: Highly speculative.
‘B’ ratings indicate that material default risk is present, but a limited margin of safety remains. Financial commitments are currently being met; however, capacity for continued payment is vulnerable to deterioration in the business and economic environment.

ලංකාව විශාල පාඩුවක් කරගත් ග්‍රීක බැඳුම්කර මිල දී ගන්නා විට එම බැඳුම්කර ශ්‍රේණිගත කර තිබුණේ BB+ මට්ටමේ වුවත් එම බැඳුම්කර මිල දී ගෙන දෙතුන් මාසයක් යද්දී වේගයෙන් දිගින් දිගටම පහළට වැටී CCC මට්ටමට වැටුණා. ඉන් පසුව, එම බැඳුම්කර වල මිල විශාල ලෙස පහත වැටුණා. එයින් පසුව, ග්‍රීසියට අලුතින් බැඳුම්කර විකිණීම අපහසු වී ණය වාරික නිසි පරිදි ගෙවන්න බැරි වුනා.

දැනට පවතින තත්ත්වය අනුව ලංකාවේ ණය ශ්‍රේණිය B කාණ්ඩයෙන්ද පහළට වැටීමේ අවදානමක් තිබෙනවා. ලංකාවේ ණය අවදානම හදිසියේම තවත් වැඩි වී ඇති බව ෆිච් රේටින් සමාගම විසින් තීරණය කර තිබෙන්නේ රජය විසින් කළ බදු කප්පාදුව නිසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශතාංක දෙකකින් පමණ අඩු විය හැකි බව ෆිච් රේටින් සමාගමේ ගණන් බැලීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ අයවැය හිඟය දදේනි ප්‍රතිශතයක් ලෙස කලින් ඇස්තමේන්තුවට වඩා 1.5%කින් ඉහළ ගොස් 2020දී 6.5% මට්ටමටත්, 2021දී 6.2% මට්ටමටත් යනු ඇතැයි එම සමාගම විසින් ඇස්තමේන්තු කර තිබෙනවා.

"Sri Lanka's external balance sheet is weak, with external debt obligations totalling approximately USD19.0 billion coming due between 2020-2023, compared with foreign-exchange reserves of around USD7.5 billion as of end-November 2019. We expect the current account deficit to widen to about 3.0% of GDP in 2020 and 2021, from an estimated 2.2% in 2019, as domestic demand strengthens."

ෆිච් රේටින් සමාගමේ නිවේදනය අනුව, ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 19ක විදේශ ණය ආපසු ගෙවන්න තිබුණත් විදේශ සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 7.5ක් පමණයි. මෑතකාලීන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස දේශීය ඉල්ලුම ඉහළ යාම නිසා ආනයන අපනයන පරතරය තවත් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක්. මෙහි සමස්ත ප්‍රතිඵලය ණය ආපසු ගෙවන්න ඩොලර් හොයා ගැනීම එන්න එන්නම අමාරු වන බවයි.

බදු කප්පාදුව නිසා දැනටමත් රජයේ අයවැය හිඟය විශාල ලෙස පුළුල් වීමට නියමිතව තිබියදී විශාල පිරිසකට රජයේ රැකියා ලබා දෙමින් රජයේ වියදම් තවත් වැඩි කර ගැනීමට රජය පෙළඹුනොත් එය බූරුවාගේ කොන්ද කඩන අන්තිම පිදුරු මිටිය වෙන්න පුළුවන්.

Thursday, August 17, 2017

දුම්වැටි භාවිතය අඩු වෙලාද?


"යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී" ඇති බවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් කර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධව අපි පසුගිය අප්‍රේල් මාසයේදී පැහැදිලි කිරීමක් කළෙමු. එහිදී අප විසින් පෙන්වා දෙනු ලැබුවේ 2016 අවසන් කාර්තුවේදී දුම්කොළ සමාගමේ ආදායම හා දුම්වැටි අලෙවියෙන් රජය ලබන බදු ආදායම පෙර කාර්තුවට සාපේක්ෂව විශාල ලෙස අඩුවී තිබුණත් එයට ප්‍රධාන හේතුව බව පෙනෙන්නේ අලෙවි නියෝජිතයින් විසින් බදු ඉහළ දැමීමට පෙර දුම්වැටි විශාල තොග මිලදී ගෙන ගබඩා කර ගැනීම හේතුවෙන් තෙවන කාර්තුව තුළ දුම්වැටි අලෙවිය විශාල ලෙස ඉහළ යාම බවයි. මේ තොග අවසන් වන විට දුම්වැටි සමාගමේ අලෙවි ආදායම් මෙන්ම රජයේ බදු ආදායමද ඉහළ යනු ඇති බවට අපි අනාවැකි පළ කළෙමු.

දුම්කොළ සමාගම විසින් දින තුනකට පෙර 2017 මුල් අර්ධය සඳහා වන විගණනය නොකළ ගිණුම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව, 2017 පළමු මාස 6 ඇතුළත දුම්කොළ සමාගමේ දළ ආදායම් රුපියල් බිලියන 67.2 දක්වා පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව රුපියල් බිලියන 7.6කින්ද, රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 51.9 දක්වා රුපියල් බිලියන 7.2කින්ද වැඩි වී තිබේ.

පසුගිය වසරේ තෙවන කාර්තුව තුළ දුම්වැටි වෙළඳ නියෝජිතයින් විසින් තොග ගබඩා කර ගැනීම නිසා දුම්වැටි අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් රජයට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 28.0 දක්වා ඉහළ ගියේය. බදු වැඩි කිරීමෙන් අනතුරුව, සිවුවන කාර්තුව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 14.8 දක්වා අඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවුණේ අවශ්‍ය දුම්වැටි තොග කලින්ම අලෙවි වී තිබීමයි. සෞඛ්‍ය ඇමතිවරයා විසින් රටේ දුම්පානය 48%කින් අඩු වී ඇති බව ප්‍රකාශ කළේනම් ඒ සඳහා පදනම් වන්නට ඇත්තේ රජයේ බදු ආදායමේ සිදුවූ ඉහත අඩු වීමයි.

මේ වසරේ දෙවන කාර්තුව තුළ පමණක් දුම්වැටි වලින් රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 28.1කි. මෙය 2016 අවසන් කාර්තුවේ බදු ආදායම මෙන් දෙගුණයකට ආසන්නය. ඒ අනුව, සෞඛ්‍ය ඇමතිවරයාගේ පරණ තර්කය අනුවනම් නිගමනය කළ යුත්තේ රටේ දුම්වැටි භාවිතය සමසක් තුළ දෙගුණ වී ඇති බවයි. 

එහෙත්, එය නිවැරදි තර්කයක් නොවේ. දුම්කොළ සමාගමේ ලාබ හෝ රජයේ බදු ආදායම් මත පදනම්ව රටේ දුම්වැටි භාවිතය වෙනස් වී ඇති ආකාරය නිවැරදිව පුරෝකථනය කිරීම කළ නොහැක්කකි. එහෙත්, දුම්වැටි භාවිතය විශාල ලෙස අඩු වී ඇති බවක්නම් මේ සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ.

බදු වැඩි කළද දුම්කොළ සමාගමේ ආදායම්, ලාබ මෙන්ම එමඟින් රජය උපයා ඇති බදු ආදායමද වෙනත් වසර වලදී මෙන්ම වැඩි වී ඇති බවනම් පැහැදිලිය. දුම්කොළ සමාගමේ ලාබ ඉහළ යාම නිසා නිෂ්පාදන බදු වලට අමතරව එම සමාගම විසින් රජයට ගෙවන ආදායම් බදුද 2017 පළමු අර්ධය තුළ පෙර වසරේ මුල් අර්ධයට සාපේක්ෂව රුපියල් බිලියනය ඉක්මවා වැඩි වී තිබේ.

Sunday, July 9, 2017

අධ්‍යාපන සේවා වෙළඳපොළ වඩා කාර්යක්ෂම කළ හැකිද?


පසුගිය ලිපියෙන් අපි වැඩිහිටි සිසුන් වෙනුවෙන් ඉංග්‍රීසි කතාව පුහුණු කිරීම සඳහා පන්ති පවත්වන වෙළඳපොළ ගැන කතා කළෙමු. මේ වෙළඳපොල නියාමනය නොවන්නකි. මෙහි පාරිභෝගිකයින් තමන්ගේ මුදල් හා කාලය ඇතුළු වෙනත් දේ කැප කරමින් ස්ව කැමැත්තෙන් ඉංග්‍රීසි කතාව ඉගෙන ගන්නා අයයි. ඔවුන් එසේ කරන්නේ ඒ වෙනුවෙන් තමන් දරන ආවස්ථික පිරිවැයට සරිලන ලාබයක් ඔවුන්ට ලැබෙන බැවිනි. එවැනි වාසියක් නැති අය ආවස්ථික පිරිවැයක් දරමින් ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට නොපෙළඹෙති.

මුදල් අයකර ඉංග්‍රීසි කතාව උගන්වන පන්තියක් පැවැත්වීමට නිශ්චිත අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැත. එහෙත්, මේ වෙළඳපොළේ ගුරුවරුන් ලෙස සිටින්නේ ඉංග්‍රීසි කතාව ඉගැන්වීමට නිපුණතාවයක් ඇති අයයි. එවැනි නිපුණතාවයක් නැති අය වෙළඳපොළ තුළ ස්වභාවිකවම ප්‍රතික්ෂේප වේ. රට පුරා ඉංග්‍රීසි කතාව උගන්වන පන්ති පැවැත්වෙන තැන්ද ස්වභාවික ලෙසම නිශ්චය වෙයි. එය සිදුවන්නේ පාරිභෝගික ඉල්ලුම අනුවය. ඇතැම් ගුරුවරු තමන්ගේ නගරයේ පමණක් පන්ති කරද්දී තවත් අය රටපුරා නගර ගණනක පන්ති කරති.

රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට උවමනාවක් නැත. මේ අයගෙන් කොටසක් පවුල් පසුබිම හෝ වෙනත් හේතුවක් නිසා ඉංග්‍රීසි කොහොමටත් කතා කළ හැකි අයයි. තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙනීමට යොමු නොවන්නේ ඒ සඳහා වැය කළ යුතු ආවස්ථික පිරිවැය එයින් ලැබෙන වාසි වලට වඩා අඩු බැවිනි. ආවස්ථික පිරිවැය අඩුනම් තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට යොමු වනු ඇත.

මෙවැනි අවස්ථාවක ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගැනීමට රටේ සියලු දෙනාටම ඉඩප්‍රස්ථා සැලසීම සඳහා රජයක් මැදිහත් වන්නට ඉඩ තිබේ. මෙහිදී, රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට කැමැත්තෙන් සිටින බොහෝ දෙනෙකුට ඒ සඳහා ඉඩප්‍රස්ථා නැති බැවින් නිදහස් වෙළඳපොළ තුළ සිදුවන "වැරැද්ද" හරි ගස්වා සමාජ සාධාරණත්වය ඇති කරන්නට තමන් දන්නා බව රජය සිතයි. දැන් මේ වෙළඳපොළෙහි සිදු වන්නේ කුමක්ද?

පළමුව රජයට මේ කටයුත්ත කිරීමට අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් ඇති කර නිලධාරීන් පිරිසක් පත් කරන්නට සිදු වේ. අදාළ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව සඳහා වෙනත් සම්පත්ද සම්පාදනය කර ගත යුතුය. ඉන්පසුව අවශ්‍ය ගුරුවරුන් බඳවා ගන්නට සිදුවේ. මෙය කරන්නට සිදු වන්නේ අධ්‍යාපන සුදුසුකම් හා කිසියම් තරඟ විභාගයක ප්‍රතිඵල වැනි දෙයක් දෙස බලමිනි. අවසාන වශයෙන් රජයට අවශ්‍ය සියලු දෙනාටම "නොමිලේ" ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට ඉඩප්‍රස්ථා සැලැස්වීමට හැකි වේ.

ඉහත කටයුතු සියල්ල සඳහා සැලකිය යුතු පිරිවැයක් දරන්නට රජයට සිදුවේ. ඒ සඳහා අරමුදල් අවශ්‍ය වෙයි. ලංකාවේ ක්‍රමයට සාමාන්‍යයෙන් රජය විසින් මේ අරමුදල් එකතු කර ගන්නේ වක්‍ර බදු හරහාය. වක්‍ර බදු ඉහළ යන විට රටේ ජනතාවට සිය පරිභෝජනය සීමා කරන්නට සිදු වේ. ඒ අනුව, නොමිලේ ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට ලැබීමේ ඉඩප්‍රස්ථාව සඳහා රටේ සියලුම අයට සිය පරිභෝජනයෙන් කොටසක් කැප කරන්නට සිදු වේ.

දැන් මේ "නොමිලේ" පැවැත්වෙන පන්ති වලින් යහපතක් සැලසෙන්නේ කාටද?

කලින් මුදල් ගෙවා ඉංග්‍රීසි ඉගෙනගත් අයට දැන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන. ඒ අයට කලින් මුදල් ගෙවීමෙන් පසුවද වාසියක් තිබුණේය. දැන් ඔවුන් ලබන වාසිය වැඩි වී තිබේ. එහෙත්, ඒ අතරම කලින් නොතිබුණු පිරිවැයක්ද දැන් ඔවුන්ට දරන්නට සිදු වේ. මෙහි ශුද්ධ ප්‍රතිඵලය කිසියම් වාසියක් විය හැකිය.

කලින් රැකියා නොතිබුණු පිරිසකට දැන් රැකියා ලැබී තිබෙනවා විය හැකිය. ඔවුන්ටද වාසියක් සිදු වී තිබේ. එය ඔවුන් ගෙවන අමතර බදු මුදලට වඩා වැඩි විය යුතුය.

කලින් මුදල් නොමැතිකම නිසා ඉංග්‍රීසි පන්ති යන්නට නොසිතූ පිරිසකට දැන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. ඔවුන්ගෙන් කොටසකට මේ දැනුම හේතුවෙන් රැකියා ලැබෙන්නටද ඉඩ තිබේ. එය වාසියකි.

කෙසේ වුවද, "නොමිලේ" ලැබෙන නිසා බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතාව ඉගෙන ගත්තත් ඒ සියල්ලන්ටම ඒ හේතුව නිසා රැකියා ලැබෙන්නේ නැත. ඔවුන්ට අවසාන වශයෙන් තමන් ගෙවූ බදු වලට සරිලන තරමේ වාසියක් නොලැබේ.

කලින් ටියුෂන් කළ ගුරුවරුන්ට දැන් ඉල්ලුමක් නැත. ඔවුන්ගෙන් ඇතැමෙක්ට රජයේ රැකියා ලැබී තිබෙන්නට ඉඩ ඇතත් එයින් ලැබෙන වේතනය පෙර ලැබූ ආදායමට වඩා අඩු විය හැකිය. මේ අයට ගෙවන්නට සිදුවන අමතර බදු හා අහිමි වූ ටියුෂන් ආදායම ලෙස අවාසි වර්ග දෙකකි.

ඉංග්‍රීසි පන්ති නොමිලේ පැවැත්වුනද ඉංග්‍රීසි ඉගෙනීම සඳහා ගත කළ යුතු කාලය ඇතුළු වෙනත් ආවස්ථික පිරිවැය නැති වන්නේ නැත. ඒ නිසා, රටේ බොහෝ දෙනෙකු තව දුරටත් මේ ඉංග්‍රීසි පන්ති වලට සහභාගී වන්නේ නැත. එහෙත්, ඒ අයටද බදු බරට කර ගහන්නට වේ. මෙය ඔවුන්ට සිදුවන අවාසියකි.

අවසාන වශයෙන් රජයේ මැදිහත්වීම නිසා සුළු පිරිසකට වාසියක් සැලසෙන නමුත් විශාල පිරිසකට සිදුවන්නේ අවාසියක් නිසා ශුද්ධ ලෙස සිදු වන්නේ සමාජ අතිරික්තය අඩු වීමකි.

නිදහස් වෙළඳපොළකට වෙනස් වන තත්වයන් හමුවේ හැඩගැසී අකාර්යක්ෂමතාවයන් ඉවත් කිරීමට ඇති හැකියාව සමඟ රජයකට අලගු තියන්නටවත් නුපුළුවන. ප්‍රවාහන ගාස්තු හා ප්‍රවාහනය සඳහා ගත වන කාලය මේ වෙළපොලෙහි කාර්යක්ෂමතාවයට බලපාන ස්වභාවික බාධාවකි. මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කර වෙළඳපොල යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්නේ තාක්ෂනය විසිනි. ස්කයිප් හරහා පැවැත්වෙන ඉංග්‍රීසි ටියුෂන් පන්ති වලින් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළකට මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කිරීමට ඇති ස්වභාවික හැකියාවයි.


නියාමනයක් නැති, අධ්‍යාපනය විකුණන වෙළඳපොලක පවතින තවත් ස්වභාවික බාධාවක් වන්නේ නිෂ්පාදකයා (ගුරුවරයා) හා පාරිභෝගිකයා (ශිෂ්‍යයා) අතර ඇති තොරතුරු අසමමිතියයි. තමන් මුදල් ගෙවා ලබා ගන්නා භාණ්ඩයේ ගුණාත්මක භාවය ගැන ශිෂ්‍යයා දැනගන්නේ මුදල් ගෙවීමෙන් පසුවය. ඒ වන විට භාණ්ඩය පරිභෝජනය කර අවසන් නිසා එය ආපසු දීමේ හැකියාවක් ශිෂ්‍යයා සතුව නැත. "පළමු දිනය නොමිලේ" ඉගෙන ගන්නට ලැබීම මෙයට විසඳුමක් ලෙස ස්වභාවිකව බිහි වී ඇති විසඳුමකි.


රජයක් කිසියම් හේතුවක් නිසා නිදහස් වෙළඳපොළක් නියාමනය කිරීමට යොමු වන්නේනම් එසේ කළ යුත්තේ නිදහස් වෙළඳපොල ක්‍රියාකාරීත්වයට ඉඩ නොසලසන ස්වභාවික බාධාවන් ඇත්නම් ඒවා හඳුනාගෙන ඉවත් කිරීම සඳහා මිස නැති අකාර්යක්ෂමතාවයන් ඇති කිරීම සඳහා නොවේ.

Wednesday, April 19, 2017

බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන්නේ කොහොමද?

මෙය බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන ආකාරය පිළිබඳ ඉතා සරල පැහැදිලි කිරීමකි. 

කිසියම් රටක නිෂ්පාදකයෝ හතර දෙනෙක් සිටිති.

අමල්: කිරි ගොවියෙකි. ප්‍රාග්ධනය ලෙස එළදෙනක් සිටී. එළදෙන ඔහුගේ වත්තේ තණකොළ කයි. අමල්ගේ ප්‍රාග්ධන හා ශ්‍රම වියදම් ගැන සලකා ඔහු කිරි බෝතලයක් රුපියල් සීයකට විකුණයි.

කමල්: මී කිරි නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් මී කිරි හට්ටියක් හදන්නට පුළුවන. මී කිරි හට්ටියක් රුපියල් 110කට අලෙවි කළ හැකිය.

බිමල්: යෝගට් නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් යෝගට් කෝප්පය දෙකක් සැදිය හැකිය. එක් කෝප්පයක් රුපියල් 60කට අලෙවි කළ හැකිය.

චමල්: කල්කිරි නිෂ්පාදනය කරන්නෙකි. ඔහුට අළුත් කිරි බෝතලයකින් කලකිරි බෝතලයක් සැදිය හැකිය. එහෙත්, පාරිභෝගිකයින් අළුත් කිරි වලට තරම් කල් කිරි වලට කැමති නැත. ඒ නිසා ඔහුට කල් කිරි බෝතලයක් විකිණිය හැක්කේ රුපියල් 90කටය.

රජයේ මැදිහත්වීමක් නැත්නම් අමල් කිරි නිපදවනු ඇත. කමල් මීකිරිද, බිමල් යෝගට්ද නිපදවනු ඇත. චමල් කල් කිරි නිපදවීමට යොමු නොවනු ඇත.

-අමල් නිපදවන කිරි බෝතලයකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 100ක දායකත්වයක් ලැබේ.
-කමල් නිපදවන මීකිරි හට්ටියකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 10ක දායකත්වයක් ලැබේ.
-බිමල් නිපදවන යෝගට් කෝප්ප දෙකකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 20ක දායකත්වයක් ලැබේ.
-චමල්ගෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වයක් නැත.

දැන් රජය විසින් කිරි බෝතලයකට රුපියල් 5ක බදු මුදලක් අය කළොත් (ඉල්ලුම වෙනස්වීම නොසලකා) වෙන්නේ කුමක්ද?
-අමල්ට කිරි බෝතලයකින් ලැබෙන්නේ රුපියල් 100කි. ඔහුගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය රුපියල් 5කට සීමා වේ.
-බිමල්ටද කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 15කට සීමා වේ.
-චමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-මී කිරි හා යෝගට් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අඩුවේ.
-එහෙත්, රජයට බදු ලෙස ලැබෙන මුදල් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නිසා සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට බලපෑමක් නැත.

කෙසේ වුවද, මෙය මෙසේ සිදුවීමටනම් රජය විසින් කිරිවලින් ලබාගත් මුදල් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් වැය කළ යුතුය.

උදාහරණයක් ලෙස, රජයට බදු මුදල් වැය කරමින් චමල්ට කිරි මිලදී ගැනීම සඳහා රුපියල් 10ක සහනාධාරයක් ලබා දිය හැකිය. දැන් ඔහුට කිරි බෝතලයක් මිලදී ගැනීමේදී වැය වන්නේ රුපියල් 90ක් පමණක් නිසා ඔහු කල් කිරි නිපදවන නමුත් විකුණුම් මිලද රුපියල් 90ක්ම නිසා ඔහු කිසිදු අගයක් එකතු නොකරයි. අවසාන වශයෙන් මෙහිදී දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙයි. ඒ රජය විසින් බදු ලෙස අයකරගත් මුදල් අකාර්යක්ෂම (අගය එකතු කිරීමක් නොකරන) කර්මාන්තයක් දිරිමත් කිරීම පිණිස වැය කර ඇති බැවිනි.

දැන් රජය මේ බදු මුදල කිරි බෝතලයකට රුපියල් 15 දක්වා වැඩි කළොත් වෙන්නේ කුමක්ද?

-අමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු මී කිරි නිෂ්පාදනය කිරීම නවත්වයි.
-බිමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 5කට සීමා වේ.
-චමල්ට වැඩි මුදලක් සහනාධාර ලෙස ලැබෙන නිසා ඔහු කිසියම් අගය එකතු කිරීමක් කරන බව දැකිය හැකි වනු ඇත. එහෙත්, සහනාධාරය ඉවත් කළ විට අගය එකතු කිරීම සෘණ අගයකි.

බදු වැඩි වීම නිසා කමල් නිෂ්පාදනයෙන් ඉවත් වී ඇත. මෙය හඳුන්වන්නේ බදු නිසා අතුරුදහන්වන නිෂ්පාදිතය (Deadweight Loss of Taxation) ලෙසය. ආණ්ඩුව බදු ලෙස එක් අයෙක්ගෙන් එකතු කර ගන්නා මුදල් අන්තිමේදී වෙනත් අයෙක් වියදම් කරන නිසා එසේ වියදම් කරන කොටස අවසානයේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක්ව පවතී. එහෙත්, මේ 'අතුරුදහන්වන නිෂ්පාදිතය' පාරිභෝගිකයාට හෝ නිෂ්පාදකයාට හෝ රජයට යන කිසිදු පාර්ශ්වයකට නොලැබී නැත්තටම නැති වී යයි, බදු වල ඇති ලොකුම ප්‍රශ්නය මේ  අතුරුදහන්වන නිෂ්පාදිතයයි.

Monday, April 17, 2017

ආර්ථික වර්ධනය, බදු හා සහනාධාර

පසුගිය 2016 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4%ක් විය. මේ ආර්ථික වර්ධනය යනු වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතය හෙවත් එකතු කළ අගය වැඩි වීමයි. මේ එකතු කළ අගය ගණනය කරන්නේ එක් එක් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදිත වල අවසන් වෙළඳපොළ අගයෙන් එහි අමුද්‍රව්‍ය වියදම් අඩු කිරීමෙනි.

කෙසේවුවද රජය විසින් ලබාදෙන සහනාධාර නිසා මේ අමුද්‍රව්‍ය වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් ලැබේනම් මේ වෙනසට හේතුව අගය එකතු වීමක් නොවීමට පුළුවන. ඒ නිසා, නියම ආර්ථික වර්ධනය ගණනය කිරීමටනම් එවැනි සහනාධාර වල වටිනාකම අඩු කළ යුතුය.

අනෙක් අතට, රජය මඟින් අය කරන බදු නිසා අමුද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වී ඇත්නම් සැබෑ එකතු කළ අගය නොපෙනී යන්නට පුළුවන. ඒ නිසා අමුද්‍රව්‍ය සඳහා ගෙවූ බදු මුදල් එකතු කළ අගයට එකතු විය යුතුය.

පසුගිය වසරේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල එකතු කළ අගයට බදු මුදල් එකතු කර, සහනාධාර මුදල් අඩු කර දළ දේශීය නිෂ්පාදිතය ගණනය කර ඇත්තේ පහත සඳහන් පරිදිය.



Friday, January 20, 2017

මහජන සම්පතක සැබෑ වටිනාකම කීයද?

ලොතරැයියක සැබෑ වටිනාකම හෙවත් ලොතරැයියක් මිල දී ගැනීමෙන් යමෙකුට ලැබෙන අපේක්ෂිත දිනුම් මුදල කොපමණද? අනිවාර්යයෙන්ම මේ මුදල ලොතරැයියක මිලට වඩා අඩුය. එය ඕනෑම සූදුවක ස්වභාවයයි. සූදුවක් මෙහෙයවන්නා එය කරන්නේ තමන්ට කිසියම් ලාභයක් ලැබීමේ අරමුණිනි. සූදු සඳහා මුදල් වැය කරන්නන්ට දිනුම් ලෙස ආපසු ලැබෙන්නේ සූදුව මෙහෙයවන්නා විසින් එකතු කරගන්නා ආදායමෙන් කොටසක් පමණි. අවුරුදු කැටපොලේ හෝ බූරුපිටියේ හා නාගරික කැසිනෝ වල සිට රජය විසින් විකුණන ලොතරැයි දක්වා යථාර්තය වන්නේ මෙයයි. ඒ නිසා ඕනෑම සූදුවක් සඳහා දිගින් දිගටම මුදල් යොදවන අයෙකු දිගුකාලීනව පරාභව සූත්‍රයේ කියා ඇති ආකාරයටම සිය ධනය හානි කරගෙන විනාශයට පත්වීම නොවැලැක්විය හැකිය.

සූදුවේ ලාභය හැම විටම වාගේ සූදුව මෙහෙයවන්නාටය. මෙසේ නොවන, දිගුකාලීනව ලාභ ලබා දෙන ලොතරැයි තිබේද? එවැනි ලොතරැයිද තිබෙන්නට පුළුවන. කිසියම් ලොතරැයියක අපේක්ෂිත දිනුම් මුදල එම ලොතරැයියේ මිලට වඩා වැඩිනම් එවැනි ලොතරැයියක් වාසිදායක ලොතරැයියකි. මේ 'අපේක්ෂිත දිනුම් මුදල' කියන්නේ දිනුමක් ලැබුනොත් ලැබෙන ත්‍යාග මුදල නොවේ. ලොතරැයියක් මිලදී ගන්නා අවස්ථාවේදී 'සාමාන්‍ය වශයෙන්' තමන්ට ලබා ගැනීමට අපේක්ෂා කළ හැකි දිනුම් මුදලයි. එය ගණනය කරන්නේ කෙසේද?

මෙය පැහැදිලි කිරීම සඳහා අපි දැනට ලංකාවේ විකිණෙන පැරණිම ලොතරැයියක් වන මහජන සම්පත ලොතරැයි දිගින් දිගටම මිල දී ගන්නා හෝ විශාල ප්‍රමාණයක් මිල දී ගන්නා අයෙකුට ලැබෙන්නට ඉඩකඩ ඇති මුදල සොයා බලමු.

මේ වන විට මහජන සම්පත ලොතරැයියක මිල රුපියල් 30ක් වන අතර එහි දිනුම් රටාව මෙසේය.

අංක 6 සමඟ ඉංග්‍රීසි අක්‍ෂරය නිවැරදි නම් රුපියල් 10,000,000න් ඇර‍‍‍‍ඹෙන සුපිරි ත්‍යාගය
අංක 6 ම නිවැරදි නම් රුපියල් 2,000,000
අවසාන අංක 5 නිවැරදි නම් රුපියල් 100,000
අවසාන අංක 4 නිවැරදි නම් රුපියල් 10,000
අවසාන අංක 3 නිවැරදි නම් රුපියල් 1,000
අවසාන අංක 2 නිවැරදි නම් රුපියල් 100
අවසාන අංක 1 නිවැරදි නම් රුපියල් 30
ප්‍රථම අංක 5 නිවැරදි නම් රුපියල් 10,000
ප්‍රථම අංක 4 නිවැරදි නම් රුපියල් 1,000
ප්‍රථම අංක 3 නිවැරදි නම් රුපියල් 100
ප්‍රථම අංක 2 නිවැරදි නම් රුපියල් 60
ඉංග්‍රීසි අක්‍ෂරය නිවැරදි නම් රුපියල් 30

මහජන සම්පත ලොතරැයියක 0-9 අතර අංක වලින් අහඹු අංක 6ක් ද, "I" අකුර හැර ඉංග්‍රීසි හෝඩියේ ඉතිරි අකුරු අකුරු 25න් අහඹු ලෙස තෝරාගත් අකුරක්ද මුද්‍රණය කර තිබේ. මේ අනුව අපට එක් එක් වර්ගයේ ත්‍යාගයක් ලැබෙන්නට තිබෙන ඉඩකඩ ගණනය කළ හැකිය.

උදාහරණයක් වශයෙන් අවසාන අංකය ගැලපීමට 1/10ක ඉඩකඩක් ඇති අතර, අවසාන අංක දෙක ගැලපීමට ඇත්තේ 1/100ක ඉඩකඩකි. ඉංග්‍රීසි අක්ෂරය නිවැරදි වීමට 1/25ක ඉඩකඩක් ඇත. අංක හයම ගැලපීමට ඇති ඉඩකඩ 1/1,000,000 වන අතර සුපිරි ත්‍යාගය ලැබෙන්නට ඇති ඉඩකඩ 1/25,000,000ක් පමණි.

එක් දිනුම් වාරයක් තුළ විකිණෙන ලොතරැයි ගණන 2,000,000 ලෙස සැලකුවහොත් ආසන්න වශයෙන් ලොතරැයි 200,000ක අවසාන අංකය ගැලපෙන්නටත්, ආසන්න වශයෙන් ලොතරැයි 20,000ක අවසාන අංක දෙක ගැලපෙන්නටත්, ආසන්න වශයෙන් ලොතරැයි 2ක අවසාන අංක හයම ගැලපෙන්නටත් ඉඩකඩ තිබෙන අතර සුපිරි ත්‍යාගය යමෙකුට ලැබෙන්නට ඉඩ ඇත්තේ ආසන්න වශයෙන් දිනුම් වාර 13කට වරකි. විකිණෙන ලොතරැයි ගණන අඩු වැඩි වන විට ලැබෙන ත්‍යාග ගණනද අඩු වැඩි වුවත් ත්‍යාගයක් ලැබෙන්නට ඇති ඉඩකඩ වෙනස් නොවේ.

මහජන සම්පත ලොතරැයියක අවසාන අංකය ගැලපුනොත් ජයග්‍රාහකයාට රුපියල් 30ක මුදලක් හිමිවන අතර සෑම ලොතරැයිපත් 10කින් එකකටම එවැනි දිනුමක් හිමි වේ. ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි 10ක් විකුණා රුපියල් 300ක ආදායමක් ලබන විට එයින් රුපියල් 30ක් මේ වර්ගයේ ත්‍යාග වෙනුවෙන් වෙන් කරන්නට සිදුවේ. ලොතරැයි මිලදී ගන්නා අයට ඔවුන් ගෙවන මුදලින් 10%ක් තෑගී ලෙස ආපසු ලැබේ.

මේ අයුරින්ම ලොතරැයි 100කින් එකක අවසන් අංක දෙක ගැලපී රුපියල් 100ක ත්‍යාගයක් හිමිවන නිසා මේ ආකාරයේ ත්‍යාග වෙනුවෙන් සෑම රුපියල් 3000කින්ම රුපියල් 100ක් හෙවත් 3.33%ක් වෙන් කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට සිදුවේ. මෙය එකතු කළ විට ලොතරැයි මිල දී ගන්නා අයෙකුගේ අපේක්ෂිත දිනුම් මුදල 13.33% හෙවත් රුපියල් 4 දක්වා ඉහළ යයි. මේ අයුරින් සියළුම ත්‍යාග වල අපේක්ෂිත මුදල එකතු කළ විට මහජන සම්පත ලොතරැයියක් මිලදී ගැනීමෙන් යමෙකුට ලැබිය හැකි 'අපේක්ෂිත ත්‍යාග මුදල' ගණනය කළ හැකිය. මේ මුදල මහජන සම්පත ලොතරැයියක සැබෑ වටිනාකමයි.

පහත වගු දෙකෙන් පෙන්වා ඇත්තේ ජනවාරියේදී මිල වැඩි කිරීමෙන් පසුව මහජන සම්පත ලොතරැයියක සැබෑ වටිනාකම වෙනස් වී ඇති ආකාරයයි. වෙනත් ලොතරැයි වල සැබෑ වටිනාකමද මේ ආකාරයෙන්ම ගණනය කළ හැකිය.





ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය විසින් සඳහන් ඇති කර පරිදිම ජනවාරිය දක්වා ලොතරැයි ආදායමෙන් 50%ක් (රුපියල් 10.00ක්) ත්‍යාග සඳහා වෙන් කර ඇතත් ජනවාරියේ සිට ත්‍යාග සඳහා වෙන්වන්නේ ආදායමෙන් 38.33%ක් (රුපියල් 11.50ක්) පමණි. වෙනත් අයුරකින් කිවහොත් වැඩි කළ රුපියල් 10ක මුදලින් ත්‍යාග මුදල් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් 1.50ක් පමණි. වෙළඳ නියෝජිතයින්ගේ කොමිස් මුදල් වැඩි කර ඇත්තේ ශත 50කින් පමණක් නිසා වැඩිකළ මුදලින් රුපියල් 8කම යන්නේ රජයටය. මේ අනුව රජයට ලොතරැයියකින් ලැබෙන මුදල රුපියල් 6.20 සිට රුපියල් 14.20 දක්වා 129%කින් වැඩි වී තිබේ. (මෙය පෙර ලිපියේ මගේ ඇස්තමේන්තුවට වඩා රුපියල් 3කින් වැඩිය. එකතු කර ඇති රුපියල් පහක එක්සයිස් බද්දට අමතරව වැට් බදු මුදල හා ඒකාබද්ධ අරමුදලට යැවෙන මුදලද ආසන්න ලෙස සමානුපාතිකව (30%) වැඩි වී ඇති බව පෙනේ. කිසියම් හෝ දිනුමක් ඇත්තේ ලොතරැයි වලින් 16%කය. මෙය වෙනස් වී නැත.)

කෙසේ වුවද, මිල වැඩි කිරීම හේතුවෙන් විකිණෙන ලොතරැයි ප්‍රමාණය පෙර ප්‍රමාණයෙන් 43.7%කට වඩා අඩු මට්ටමකට පහත වැටුණොත් රජයට සමස්තයක් ලෙස වන්නේ අලාභයකි. ඉකොනොමැට්ටාගේ කාල වේලා ප්‍රශ්න නිසා වැඩි හැදෑරීමක් නොකර උඩින් පල්ලෙන් දත්ත පරීක්ෂා කළ විට පෙනෙන්නේ ලොතරැයි අලෙවිය පෙර පැවති මට්ටමෙන් 10-30% අතර මට්ටමකට වැටී ඇති බවයි. මේ අනුව, මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජය ලොතරැයි වලින් ලැබූ ආදායම අඩකින් පමණ අඩු වී ඇතැයි සිතිය හැකිය.


මිල වැඩිවීමට දක්වන ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස තාවකාලිකව සිදුවන ඉල්ලුම පහත වැටීම හා වෙළඳ නියෝජිතයින්ගේ විරෝධයේ බලපෑම ඉවත් වෙද්දී අලෙවිය නැවත ඉහළ ගොස් කිසියම් ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇති නමුත් අවසාන ප්‍රතිඵලය ලෙස වුවද රජයට වැඩි ආදායමක් ලැබේයැයි සිතීම අසීරුය.

(Image: http://www.nlb.lk/results-info.php?lot=1)

Wednesday, November 30, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දොළොස්වන කොටස)

ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ තේරුම් ගැනීම සඳහා මේ දෙවර්ගයේ රාජ්‍ය සුරැකුම්පත් ඉල්ලුම හා සැපයුම ඇති වන ආකාරය තේරුම්ගත යුතුය. මේ වෙළඳපොළේ සැපයුම තනිකරම පැමිණෙන්නේ එක් ප්‍රභවයකිනි. ඒ, රජයට ණය ගැනීමට ඇති අවශ්‍යතාවයයි.

ලංකාවේ රජය දශක ගණනාවක සිට සෑම වසරකම බදු හා වෙනත් බදු නොවන වෙනත් මාර්ග වලින් උපයන ආදායමට වඩා වියදම් කරයි. මෙසේ ආදායමට වඩා වියදම් කිරීමේදී ඇතිවන අයවැය හිඟය පියවා ගැනීමට ණය ලබා ගන්නට සිදුවේ.

රජයේ ණය අවශ්‍යතාවයෙන් කොටසක් රටෙන් පිටත මුලාශ්‍ර වලින් ලබා ගැනේ. මෙසේ ලබා ගන්නා විදේශ ණය වලින් අයවැය හිඟයෙන් කොටසක් පියවෙන අතර, ඉතිරිය පියවෙන්නේ දේශීය ණය වලිනි. දේශීය ණය ලබාගන්නා ප්‍රධානම ක්‍රමය භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමයි.

වාර්ෂික අයවැය ඇස්තමේන්තු වල ඉදිරිපත් කෙරෙන රජයේ අයවැය හිඟය වසර තුළදී මෙසේ දේශීය හා විදේශීය ප්‍රභව වලින් මූලනය කරගත යුතුය. එහෙත්, මේ ණය ගැනීම වසරේ කවර දිනෙක හෝ කරන්නට නුපුළුවන. රාජ්‍ය අයවැය හිඟය මූලනය කළ යුත්තේ මාස්පතා මෙන්ම දිනපතා රජයේ ආදායම් මෙන්ම වියදම් වෙනස් වන රටාව සමඟ ගලපමිනි.

රජයේ ආදායම් වසරේ සෑම දිනකම සමානව නොලැබේ. ආදායම් ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ බදු හරහා නිසා මේ ආදායම් ලැබෙන්නේ බදු මුදල් ගෙවීමට නියමිත අවසන් දිනයට (deadline) ආසන්නවය. වැට් වැනි වක්‍ර බදු පාරිභෝගිකයින් විසින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා අවස්ථාවේදී ගෙවන නමුත් මේ ආදායම සමාගම් විසින් රජයට ගෙවන්නේ මසකට හෝ දෙසතියකට වරකි. වෙනත් බොහෝ බදුද මෙසේම දෙසතියකට, මසකට හෝ කාර්තුවකට වරක් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කෙරේ. මේ ආදායම් ලැබීම් හැකිතාක් සුමට වන පරිදි පිණිස ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික බදු කාල සටහනක් සදා තිබේ. රටේ ජාතික ආදායම ඇස්තමේන්තු වලින් වෙනස් වන විට මෙසේ එකතු වන බදු මුදල්ද ඇස්තමේන්තුගත මුදලට වඩා වෙනස් වේ. රේගුව විසින් එකතු කරන විදේශ වෙළඳාම මත පනවන බදු වසර පුරා එකතු වන නමුත් ආනයන හා අපනයන සිදුවන රටාව අනුව වෙනස් වේ. 


මේ ආකාරයෙන්ම රජයේ වාර්ෂික වියදම්ද වසර පුරා පැතිර පවතී. රජයේ සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සෑම මසකම නිශ්චිත දිනක ගෙවිය යුතුය. රජයට නියමිත දින වැටුප් ගෙවා ගන්නට බැරි වුණොත් එය විශාල ප්‍රශ්නයකි. ඇතැම් විට මේ වියදම් සාමාන්‍ය රටාව අනුව එන දිනයට පෙර වැය කළ යුතුය. අප්‍රේල් මාසය උදාහරණයකි. ප්‍රාග්ධන වියදම් දැරිය යුතු දින සම්බන්ධව තරමක නම්‍යතාවයක් තිබේ. එවැනි වියදම් දින, සති හෝ මාස ගණනක් කල් දමන්නට බැරිම නැත. රජයේ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ලැබෙන ආකාරය ගැන මෙය කියවන ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල සිටින අයට අමුතුවෙන් විස්තර කළ යුතු නැත. කෙසේ වුවද, විශාල ප්‍රාග්ධන ආයෝජන සඳහා බොහෝ විට එක වර විශාල මුදලක් වැය කළ යුතුය.

ලංකාවේ රජයේ දෛනික මුදල් අවශ්‍යතා අතර පසුගිය ණය වාරික හා පොලී ගෙවීම් ඉහළින්ම තිබේ. මේ මුදල් හරියටම නියමිත දිනම ගෙවිය යුතුය. එවැනි ගෙවීමක් වරක් පැහැර හැරියොත් එය ලංකා රජයේ නියමිත වේලාවට ණය ආපසු ගෙවීමේ දිගුකාලීන වාර්තාවට කළු පැල්ලමකි. දශක ගණනක සිට ණයෙන්ම දුවන, තවත්  චිරාත් කාලයක් ණයෙන්ම දුවන්නට බලාගෙන සිටින ලංකා රජය එවැනි කළු පැල්ලමක් වැටෙනවාට කිසිසේත්ම කැමති නැත.

දැන් මා විස්තර කළ පරිදි රජයේ වියදම් පැත්තේ ඇති බොහෝ අයිතමයන් හරියටම නිශ්චිත දිනක ස්ථිරවම වැය කළ යුතු ආකාරයේ වියදම්ය. පසුගිය ණය වාරික, පොලී ගෙවීම් හා රාජ්‍ය සේවක වැටුප් ඒ අතර ඉදිරියෙන්ම තිබේ. ගෙවිය යුතු දිනය මෙන්ම ගෙවිය යුතු මුදලද නිශ්චිත මුදලකි. මේ වියදම් වලට සාපේක්ෂව රජයේ ආදායම් සම්බන්ධව ඇත්තේ අවිනිශ්චිතතාවයකි. බදු ආදායම් ප්‍රමාණ මෙන්ම ලැබෙන දිනද දළ වශයෙන් ඇස්තමේන්තු කළ හැකි වුවත්, මේ ඇස්තමේන්තු බොහෝ විට වෙනස් වේ.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් මා පෙර විස්තර කළ රජයේ අපේක්ෂිත ආදායම් හා වියදම් ගලපමින් වසර තුළ ආදායම් වියදම් හිඟය උච්ඡාවචනය වන ආකාරය අනුව ණය ගැනීමේ කාල සටහනක් පිළියෙළ කළ යුතුය. මෙය සරල කටයුත්තක් නොවේ.

ඉහත කී ලෙස ණය අවශ්‍යතාවය වෙනස් වන ආකාරය ඇස්තමේන්තු කිරීමෙන් පසුව ණය ගන්නා ආකාරය තීරණය කළ යුතුය. මෙහිදී, විදේශ ණය වලට ප්‍රමුඛතාවයක් ලැබේ. එයට හේතු කිහිපයකි. පළමුව, විදේශ ණය ගැනීම සාපේක්ෂව අමාරුය. දෙවනුව, විදේශ ණය හරියටම අවශ්‍ය දවසටම ගන්නට නුපුළුවන. ඒ නිසා කිසියම් පෙර සූදානමක් අවශ්‍යය. තෙවනුව, විදේශ ණය ගන්නා විට 'සොච්චම් ණය කෑලි' ගැනීම ප්‍රායෝගික නැත. ණය ලබාගැනීම සඳහා ලොකු මහන්සියක් දැරිය යුතු නිසා එකවර ලොකු කුට්ටියක්ම ණය ගත යුතුය. දේශීය ණය වෙළදපොළ වෙත යොමුවන්නේ මෙසේ අපේක්ෂිත විදේශ ණය ලබා ගැනීමෙන් පසුවද ඉතිරි වන හිස්තැන් පුරවා ගැනීමටය.

රජය වසර පුරා කිසියම් දේශීය ණය ප්‍රමාණයක් ගන්නවා යනුවෙන් අදහස් වන්නේ වසර තුළ ටික ටික ණය ගැනීම නිසා වසර අවසානය වන විට එම ණය ප්‍රමාණය එකතු වනවා යන්නම නොවේ. වසර මැද ඇතැම් දිනවල රජයේ ණය ප්‍රමාණය වසර අවසන් වන විට ගණනද ඉක්මවා විශාල ලෙස ඉහළ යයි. රජයේ ආදායම් හා වියදම් රටාව අනුව සමස්තයක් ලෙස වියදම ආදායමට වඩා වැඩි වුවත්, කිසියම් අරමුදල් අතිරික්තයක් තිබෙන දවස්ද තිබේ. එවැනි දිනවල මේ මුදල් නිකරුණේ ළඟ තබා ගෙන නොඉඳ ණය වලින් කොටසක් ගෙවා, දින කිහිපයකින් නැවත අරමුදල් අවශ්‍ය වන විට ආපසු ණය ගැනීමෙන් රජයේ පොලී වියදම් අඩු කරගත හැකිය. ඇත්තටම රජය එසේ කරයි. එමෙන්ම, ලොකු විදේශ ණය මුදලක් (හෝ රාජ්‍ය දේපලක් විකිණීමෙන් වැනි දෙයකින් ලැබෙන ලොකු මුදලක්) එක වර ලැබුණු විට ඒ මුළු මුදලම එක වර වියදම් කරන්නට අවශ්‍ය නොවන නිසා තාවකාලිකව දේශීය ණය වලින් කොටසක් පියවන්නට පුළුවන. එමෙන්ම, ලොකු විදේශ ණයක් ළඟ එන විට දේශීය වෙළදපොලෙන් දිගුකාලීන ණය නොගෙන, කෙටිකාලීන ණයක් ගැන පෙර කී විදේශ ණය අතට ලැබෙන තුරු රෝලක් දාගත හැකිය.

මේ සියල්ල එකතු කළ විට රජයේ දේශීය ණය අවශ්‍යතාවය පිලිබඳ චිත්‍රය සිතේ ඇඳගන්නට බැරිකමක් නැත. යම් අරමුදල් ප්‍රමාණයක් වසර ගණනාවක් වැනි දිගු කාලයකට අවශ්‍ය වන අතර ඇතැම් මුදල් අවශ්‍යතා කෙටිකාලීනය. මෙවැනි දිගුකාලීන ණය අවශ්‍යතා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්ද, කෙටිකාලීන අවශ්‍යතා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන්ද සපුරා ගත හැකිය. මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එක් එක සතිය තුළ වෙන්දේසි කරන රාජ්‍ය සුරැකුම්පත් වල පරිණත කාලය තීරණය කරන්නේ ඉහත විස්තර කළ පරිදි රජයේ ණය අවශ්‍යතා සමඟ කාල ගැලපුම් කරමිනි.

මුදල් අමාත්‍යංශය හා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එක්ව විසින් වසර මුලදී අදාළ වසර සඳහා ණය වැඩසටහන පිළියෙළ කළත් මෙය ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම පහසු නැත. අපේක්ෂිත ආදායම් බොහෝ විට ඒ අයුරින්ම නොලැබේ. ලැබුණත් අපේක්ෂිත දිනටම නොලැබේ. එමෙන්ම, බොහෝ විට වියදම් ඇස්තමේන්තු ඉක්මවා යයි. ඇතැම් විට අනපේක්ෂිත වියදම් දරන්නට සිදු වේ. යුද්ධය පැවති කාලයේ බොහෝ විට මෙවැනි අනපේක්ෂිත වියදම් ඇති වූයේ යුද්ධයට හා අදාළවය. කොළඹට එල්ටීටීඊ ප්‍රහාර එල්ල වන විට හෝ උතුරේ හමුදා කඳවුරකට දරුණු ප්‍රහාරයක් එල්ල වන විට ආරක්ෂක මණ්ඩලය රැස් වී අළුතින් ආයුධ මිලදී ගැනීමට ක්ෂණිකව තීරණය කරයි. මේ වෙනුවෙන් ක්ෂණිකව වැය කරන්නට අරමුදල් අවශ්‍ය වේ. ඒ අරමුදල් කෙසේ හෝ සෙවිය යුතුය. (මෙවැනි අවස්ථා වලදී පිට
ට පෙනෙන පරිදි යුද්ධයට කිසි සම්බන්ධයක් නොමැති බොහෝ පිරිස්ද වක්‍රව යුද්ධයට දායක වී තිබේ.) ඡන්දයක් ලං වන විට ආණ්ඩුවේ ලොකු තැන් ලොකු වියදම් වලට පෙළඹේ. මේවාද වසර මුල හදන ණය වැඩ සටහනේ නැත.

රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළදපොළේ සැපයුමෙහි ප්‍රභවය එක් තැනක් වුවත්, මෙකී නොකී බොහෝ හේතු නිසා භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් සැපයුම (හෙවත් දළ ප්‍රකාශයක් ලෙස රජයේ දේශීය ණය ඉල්ලුම) වසර පුරා බොහෝ සේ උච්ඡාවචනය වේ. මේ අයුරින්ම, මේ භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් සඳහා වන ඉල්ලුමද වසර පුරා වෙනස් වේ. ඒ සඳහා හේතු වන කරුණු මෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම ඇති වන ආකාරය ඉදිරි ලිපියකින් කතා කරමු.

Thursday, November 10, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පස්වන කොටස)

පහත උපුටා ගැනීම් කෝප් වාර්තාවේ 3.2 ඡේදයෙනි (ලේඛණයේ 12 වන පිටුව).

"බැඳුම්කර වෙන්දේසියන්හිදී ගනුදෙනුකරුවන් විසින් මහා බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන පොලී අනුපාතික මත පදනම්ව විවිධ මිලගණන් යටතේ ලන්සු ඉදිරිපත් කරනු ලබයි. එම ලන්සු අධි මිලකට එනම් මුහුණත වටිනාකමට වඩා වැඩි මිලකට, සම මිලට එනම් මුහුණත වටිනාකමට සමාන වූ මිලකට සහ අව මිලකට එනම් මුහුණත වටිනාකමට වඩා අඩු වූ මිලකටද ඉදිරිපත් කරනු ලබයි."

මෙසේ අධිමිල, සමමිල හා අවමිල ලන්සු ඉදිරිපත් වීමේ පදනම හා ප්‍රායෝගිකව ඉදිරිපත් වූ එවැනි ලන්සු පිලිබඳ උදාහරණ මගේ පසුගිය ලිපියේ මා ඉදිරිපත් කර තිබේ.

"මෙහිදී ඔවුන් අධි මිලට ඉල්ලුම් කළහොත් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය පොලී අනුපාතිකයට වඩා පහළ අගයක් ගන්නා අතර සම මිලට ඉල්ලුම් කළහොත් පොලී අනුපාතිකයට සමාන අගයක්ද අව මිලට ඉල්ලුම් කළහොත් පොලී අනුපාතයට වඩා ඉහළ අගයක්ද ගනු ලබයි."

මෙය සාමාන්‍යයෙන් සිදු විය යුතු තත්ත්වයයි. මෙය සිදුවන ආකාරය මා පෙර කොටසින් දැනටමත් පැහැදිලි කර අවසන්ය. කෙසේවුවද, මා විසින් මතු විස්තර කරන පරිදි ලංකාවේ මෙය මෙලෙසම සිදු නොවේ. ඒ, රජය මඟින් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර උපයන පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද හේතුවෙන් මේ තත්ත්වයේ විකෘතියක් සිදු වන බැවිනි.

උදාහරණයක් ලෙස 2015 පෙබරවාරි මස 27 දින වෙන්දේසි කළ තිස් අවුරුදු බැඳුම්කර වල කූපන් පොලී අනුපාතිකය 12.5%ක් වූ බැවින් සමමිල ලන්සුවකට අනුරූප ඵලදා අනුපාතිකය 12.5%ක් විය යුතුය. වෙනත් අයුරකින් කිවහොත් 12.5%ක ඵලදා අනුපාතිකයක් බලාපොරොත්තු වන තරඟකරුවකු ඉහත මූලධර්මය අනුව රුපියල් 100ක මුහුණත වටිනාකමක් වෙනුවෙන් හරියටම රුපියල් 100කට ලන්සු තැබිය යුතුය. එහෙත් පෙර කී වෙන්දේසියට තරඟකරන ලංකා බැංකුව, එච්එස්බීසී, පෑන් ඒෂියා බැංකුව, කැපිටල් එලයන්ස්, වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස් වැනි ආයතන 12.5%ක පමණ ඵලදා අනුපාතිකයක් ලබා ගැනීමේ අරමුණින් රුපියල් 100ක මුහුණත වටිනාකමක් ඉල්ලා සිටින්නේ ඊට වඩා බෙහෙවින්ම අඩු රුපියල් 90.17ක් පමණ වූ අවමිලකටය.

මෙසේ කූපන් පොලී අනුපාතිකයට සමාන ඵලදා අනුපාතිකයක් ලබාගැනීමට වුවත් අවමිලට ලන්සු තබන්නට වෙන්නේ පොලී ආදායමෙන් 10%ක් රඳවාගැනීමේ බද්ද ලෙස නැවත රජයට ගෙවිය යුතු බැවිනි. ඒ අනුව, එදින සමමිලට ලන්සු තබා භාණ්ඩාගාර බිල්පත් හිමිකරගන්නා නැට්වෙල්ත් සිකියුරිටීස් සමාගමට හා සේවක අර්ථසාධක අරමුදලට ඇත්තටම ලැබෙන ඵලදා අනුපාතිකය වන්නේ කූපන් පොලී අනුපාතිකය වන 12.5%න් 10%ක රඳවා ගැනීමේ බදු මුදල් ඉවත් කළ විට ලැබෙන 11.25%ක පොලී අනුපාතිකයයි. මේ අනුව, කූපන් පොලියට සමාන ඵලදා අනුපාතිකයක් ලබා ගැනීම සඳහා කූපන් පොලී අනුපාතිකයට වඩා 1/9කින් වැඩි 13.89%ක පොලී අනුපාතිකයකට අනුරූප රුපියල් 90.20කට ආසන්න මිලක් ලන්සු තබන්නට ලන්සු තබන්නෙකුට සිදු වේ. ලංකා බැංකුව, එච්එස්බීසී, පෑන් ඒෂියා බැංකුව, කැපිටල් එලයන්ස්, වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස් වැනි ආයතන විසින් එදින කර ඇත්තේ මෙයයි.

ඇත්තටම රාජ්‍ය සුරැකුම්පත් පොලිය මත මෙසේ අය කෙරෙන රඳවාගැනීමේ බද්දෙන් සිදුවන ප්‍රයෝජනවත් කාර්ය භාරයක් නැත. වෙන්දේසියට සහභාගී වන ආයතන ලන්සු තබන්නේ මේ බදු වියදම් ඉවත් කළ පසු තමන් බලාපොරොත්තු වන ඵලදා අනුපාතිකය ලැබෙන පරිදිය. ඒ නිසා, මෙහිදී සිදුවන්නේ රජය විසින් 10%ක වැඩිපුර පොලී මුදලක් ගෙවා එය නැවත ආපසු ගැනීමකි. ඇත්තටම කියනවානම් කූපන් පොලී මුදල් ගෙවන්නේම මේ රඳවා ගැනීමේ බද්ද අඩු කරගෙන නිසා අඩුවශයෙන් මෙහිදී එවැනි මුදල් හුවමාරුවක් හෝ සිදු නොවේ. එය රජයේ ගිණුම් වල ආදායම් හා වියදම් ලෙස දෙපැත්තටම ලියවෙන සටහන් දෙකක් පමණි.

එසේනම් මේ බද්ද මෙසේ අය කර ගැනීමේ අරමුණ කුමක්ද? එය සරල සංඛ්‍යාලේඛණ විජ්ජාවක් පමණි. (මෙය වත්මන් රජයේ සොයාගැනීමක් නොවේ.) මෙසේ කිරීමෙන් නාමිකව රජයේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තරමක් වැඩියෙන් පෙන්වන්නට පුළුවන. එහෙත්, මේ ආදායම 'නැති ආදායමකි'. එයින් ලැබෙන එකම ප්‍රයෝජනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන පොඩ්ඩක් අන්දන්නට හැකි වීම පමණි.

කෝප් වාර්තාවේ සඳහන් පරිදි භාණ්ඩාගාර බිල්පතක් අධිමිලට, අවමිලට හෝ සමමිලට වෙන්දේසි වීමත් රජයට එමඟින් සිදුවන පාඩුව හෝ ලාභයත් අතර සෘජු සම්බන්ධයක් නැත. මෙය තීරණය වන්නේ අදාළ බැඳුම්කරයේ කූපන් පොලී අනුපාතිකය සහ වෙළඳපොළ සාධක මත රජය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය අනුවය. මේ කරුණ අදාළ කෝප් වාර්තාවේම එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් නිවැරදිව පැහැදිලි කර තිබේ. මෙය තවදුරටත් පැහැදිලි කිරීමට පහත උදාහරණ තුන දෙස බලමු.

1. වසර 30 ක බැඳුම්කරයක කූපන් පොලිය 12.5%කි. මෙය මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 100ක් ලෙස සම මිලට විකිණේ.
2. වසර 30 ක බැඳුම්කරයක කූපන් පොලිය 12.75%කි. මෙය මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 101.94ක් ලෙස අධි මිලට විකිණේ.
3. වසර 30 ක බැඳුම්කරයක කූපන් පොලිය 12.25%කි. මෙය මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 98.06ක් ලෙස අව මිලට විකිණේ.

ඉහත අවස්ථා තුනේදී රජය විසින් ලබාගන්නා ණය ප්‍රමාණය සමානනම්, වැය කළ යුත්තේ සමාන පිරිවැයකි. අවස්ථා තුනේදීම (පහසුව තකා රඳවාගැනීමේ බද්දේ බලපෑම නොසලකා හැර) භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතිකය සමානය. ඒ නිසා, රාජ්‍ය සුරැකුම්පත් අධිමිලට විකිණීමෙන් රජයට වාසි ලැබිය හැකිනම් කරන්නට තියෙන්නේ කූපන් පොලී අනුපාතිකය අපේක්ෂිත සමතුලිත වෙළදපොළ මිලට වඩා වැඩි කිරීමය. එසේ කිරීමෙන් රජයේ පිරිවැය අඩුනොවන බව හා රජයට වාසි නොසැලසෙන බව කිව යුතු නැත. රාජ්‍ය සුරැකුම්පත් අධිමිලට විකිණීමෙන් රජයට වාසි ලැබිය හැකි බව හා අවමිලට විකිණීමෙන් පාඩු සිදුවන බව පදනමක් නැති, තාක්ෂණිකව වැරදි තර්කයකි. 


රජයට පාඩු වීම හෝ නොවීම මෙයට සෘජුව අදාළ නොවන, වෙනත් මූලධර්ම මත ඇස්තමේන්තු කළ යුතු දෙයකි. 

Sunday, July 31, 2016

වැට් වැඩි වන විට බඩු මිල වැඩි වන්නේ ඇයි?


වැට් වැනි බදු වැඩි වන විට බඩු මිල ඉහළ යාම බොහෝ දෙනෙකුට පෙනෙන පරිදි සරල කරුණකි. එහි මහා ලොකු නොතේරෙන දෙයක් බැලූ බැල්මට පෙනෙන්නට නැත. එහෙත්, ඇත්තටම මෙය පෙනෙන තරම්ම සරල දෙයක් නොවේ.

මා පෙර ලිපියකින් පැහැදිලි කර පරිදි කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අළුතින් බද්දක් පැනවූ විට හෝ පවතින බද්දක් වැඩි කළ විට, ඒ බද්දේ බර බොහෝ විට සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා මත නොපැටවී, පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යයි. මෙසේ බෙදී යන අනුපාතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා වන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය ප්‍රධාන කරුණු කිහිපයක් මතය. ඒ අනුව, සෛද්ධාන්තිකව අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල බදු ඉහළ දැමීමෙන් පසුවද නොවෙනස්ව පැවතිය හැකිය.

උදාහරණයක් ලෙස කිසියම් වෛද්‍යවරයෙකු විසින් සපයන සේවාවක් සඳහා එම වෛද්‍යවරයාගේ පාරිභෝගිකයින් විසින් දැනට අය කරන මිල වන රුපියල් දහස ගෙවන්නට කැමති වුවත් ඊට වඩා සතයක්වත් ගෙවන්නට සූදානම් නැත්නම්, එම සේවාව සඳහා අය කරන මිල මත පැනවෙන බද්දක බරෙන් කොටසක් සිය පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමේ හැකියාවක් අදාළ වෛද්‍යවරයාට නැත. ඒ නිසා එවැනි වෛද්‍යවරයෙකුට අදාළ බද්දේ බර සම්පූර්ණයෙන්ම දරාගැනීමට සිදුවේ.

රටේ සියළුම (හෝ බොහොමයක්) භාණ්ඩ හා සේවා මත හදිසියේම වැට් වැනි බද්දක් පැනවූ විට හෝ එවැනි බද්දක් වැඩි කළ විට සිදු වන්නේ කුමක්ද?

උදාහරණයක් ලෙස හදිසියේම රටේ සියළු භාණ්ඩ හා සේවා මත 10%ක වැට් බද්දක් පැනවූයේයැයි සිතමු. මේ බද්ද භාණ්ඩ හා සේවාවන්හි මිලට සෘජුවම එකතු වී රටේ බඩු මිල 10%කින් ඉහළ යාමේ හැකියාවක් පවතීද?

මෙය තේරුම් ගැනීමේ පහසුව සඳහා එය එසේ වීයැයි අපි මොහොතකට සිතමු. දැන් කිසියම් පුද්ගලයෙකු විසින් පෙර මිල දී ගත් භාණ්ඩ හා සේවාවන් ඒ අයුරින්ම මිලදී ගැනීම සඳහා ඔහුට හෝ ඇයට 10%ක් වැඩිපුර ගෙවන්නට සිදුවේ. මේ පුද්ගලයාගේ ආදායම නිශ්චිතනම් සහ පෙර එය මුළුමනින්ම වියදම් කළේනම්, මෙසේ වැඩි වූ පිරිවැය හමුවේ මුල් පරිභෝජන මට්ටම පවත්වා ගත හැක්කේ ණය වීමෙන් පමණි.

රටක එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් ගණනාවකට මේ අයුරින් වෙනකෙකුට ණය වී සිය පරිභෝජන මට්ටම පවත්වා ගත හැකිය. එහෙත්, කෙනෙකු රුපියලක් ණයට ගන්නා හැම විටකම රුපියලක් ණයට දෙන්නට අයෙක්ද සිටිය යුතුය. මෙසේ ණය දීම නිසා අත ඇති මුදල් සීමා වන නිසා ඒ පුද්ගලයාට සිය පරිභෝජනය අඩු කිරීමට සිදු වේ. මේ අනුව, රටේ සෑම භාණ්ඩයක හා සේවාවකම මිල එක් වර ඉහළ ගියහොත්, පුද්ගල ආදායම් වෙනස් නොවන පසු බිමක, භාණ්ඩ හා සේවා සඳහා වන සමස්ත ඉල්ලුම අනුපාතිකව අඩු විය යුතුය.

මෙසේ ක්ෂණිකව භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම අඩු වූ විට රටක භාණ්ඩ හා සේවා අතිරික්තයක් ඇති වේ. එවිට, නිෂ්පාදකයෝ මිල අඩු කිරීම මඟින් අළුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, වැඩි වූ බද්දේ බර හේතුවෙන් රටේ භාණ්ඩ හා සේවාවන්හි සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු නොවේ. ඒ අනුව, වැට් වැඩි වූ රටේ බඩු මිල අනුපාතිකව වැඩි වේනම්, රටේ සමස්ත ඉල්ලුම නොවෙනස්ව පවත්වා ගත හැකි තරමේ ආදායම් වැඩි වීමක්ද සිදු විය යුතුය.

එය එසේ සිදු වනවාද?

මෙය තීරණය වන්නේ වැඩි කළ වැට් මුදල් හරහා රජය විසින් එකතු කර ගන්නා ආදායම වියදම් කරන ආකාරය අනුවය. උදාහරණයක් ලෙස, ඒ මුදලින් පැරණි විදෙස් ණයක් පියවේනම් රට තුළ එවැනි ආදායම් වැඩි වීමක් නොවේ. එහෙත්, එම මුදලින් රටේ (මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය සේවකයින් වැනි) කිසියම් පිරිසකගේ වැටුප් වැඩි කෙරේනම් හෝ රාජ්‍ය සේවකයින් අළුතින් බඳවා ගැනේනම්, එම පිරිසගේ ආදායම් වැඩි වී මිල දී ගැනීමේ හැකියාව වැඩි වන නිසා සමස්ත ඉල්ලුම ඉහළ ගොස් බඩු මිලද වැඩි වේ. එවිට අවසාන වශයෙන් සිදු වන්නේ මේ පිරිසගේ වැඩි වූ පරිභෝජනය වෙනුවෙන් රටේ ඉතිරි කොටසට සිය පරිභෝජනය අඩු කරන්නට සිදු වීමයි.

වැට් වැඩි කළ විට බඩු මිල ඉහළ යාමට හේතු වන්නේ එම වැඩි කිරීමම නොවේ. රජය විසින් එසේ එකතු කර ගන්නා මුදල් නැවත කිසියම් පිරිසක් වෙත සම්ප්‍රේෂණය වී, ඔවුන්ගේ ආදායම් වැඩි වී රටේ සමස්ත ඉල්ලුමද ඉහළ යාමයි. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ වැට් වැඩි කිරීමට එරෙහි වන පිරිස්ම, රජයේ වියදම් වැඩි කරවන ඉල්ලීම්ද දිගින් දිගටම කිරීමයි.

රජය බදු පනවන්නේ සිය වියදම් ආවරණය කර ගැනීමටය. බදු මඟින් මේ වියදම් ආවරණය කර ගැනීම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි. එමඟින් බඩු මිල ඉහළ යා හැකිය.

රජයේ වියදම් එසේම පවතිද්දී ඉහළ දැමූ බද්දක් නැවත පහත හෙළූ විට හෝ ඉවත් කළ විට කුමක් සිදු වේද? මෙය දේශපාලනික වශයෙන් ජනප්‍රිය කටයුත්තක් විය හැකිය. එහෙත්, බද්ද අහෝසි කළ පමණින් එය පැනවීමට මුල් වූ රජයේ ආදායම් වියදම් පරතරය වෙනස් නොවේ. ප්‍රායෝගිකව මේ අඩුව පිරවෙන්නේ එතරම් පාරදෘශ්‍ය ක්‍රමයක් නොවන 'සල්ලි අච්චු ගැසීමෙනි'.

සල්ලි අච්චු ගැසීම හෙවත් මහ බැංකුවට රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවි කිරීම සිදු කර ලැබෙන ආදායම වියදම් කළ විට සිදු වන්නේද රටේ කිසියම් සීමිත පිරිසකගේ ආදායම් වැඩි වී, සමස්ත ඉල්ලුම ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමයි. ඒ නිසා, වැට් බද්ද අඩු හෝ අහෝසි කළ විට සිදු වේයැයි පෙනෙන භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වීම මායාවක් පමණි.


(Image: www.hirunews.lk)

Tuesday, June 28, 2016

චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ගැන තව දුරටත්...


වෙළඳපොළ ආර්ථිකයක් විස්තර කෙරෙන ඉතා සරල ආකෘතියක් වන චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ගැන අපි පසුගිය ලිපියෙන් කතා කළෙමු. එම ආකෘතිය අනුව, ගෘහස්ථ ඒකක හා සමාගම් ලෙස එකිනෙකට වෙනස් ඒකක වර්ග දෙකකි. මේ ඒකක වර්ග දෙකෙන් සමාගම් වල කාර්යභාරය සංකල්පීය එකක් වන අතර ගෘහස්ථ ඒකක වල කාර්ය භාරය ඊට වඩා සක්‍රිය එකකි.

සමාගමකට නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය ලැබෙන්නේ ගෘහස්ථ ඒකක වලිනි. එම නිෂ්පාදන සාධක උපයෝගී කරගෙන ලබාගන්නා ලාභයද අවසාන වශයෙන් ගෘහස්ථ ඒකක කරා සම්ප්‍රේෂණය වේ.

නිෂ්පාදන සාධක ඇත්තේ ගෘහස්ථ ඒකක වලය. එහෙත්, නිෂ්පාදනයක් සිදුක
ලාභයක් ලැබිය හැක්කේ සමාගමකට හෝ වෙළඳ ව්‍යාපාරයකටය. මේ බෙදීම සංකල්පීය බෙදීමක් නිසා කිසියම් වෙළඳ ව්‍යාපාරයක් භෞතිකව ක්‍රියාත්මක වන්නේ ගෘහස්ථ ඒකකයක් තුළම වුවද මේ ආකෘතිය වලංගුය.

ගෘහස්ථ ඒකකයක් සතු ශ්‍රමය හා ප්‍රාග්ධනය තරඟකාරී වෙළඳපො
ක ආයෝජනය කරද්දී එය කරන්නේ වැඩිම ප්‍රතිලාභ ලැබෙන අයුරිනි. ඒ නිසා, කිසියම් සමාගමකින් ඔබේ ශ්‍රමය හෝ ප්‍රාග්ධනය (හෝ ඔබට අයිති ස්වභාවික සම්පත්) වෙනුවෙන් ගෙවන 'කුලිය' එවැනි වෙනත් සමාගමකින් ගෙවන කුලියට වඩා අඩුනම් ඔබ විසින් ඔබට හිමි නිෂ්පාදන සාධක ඒ 'වෙනත් තැනට' විතැන් කරනු ඇත. මේ නිසා, සමාගමකට හෝ වෙළඳ ව්‍යාපාරයකට එමඟින් 'කුලියට' ලබාගන්නා නිෂ්පාදන සාධක වෙනුවෙන් ගෙවිය යුතු වැඩිම මිල ගෙවන්නට සිදුවේ. ශ්‍රමය හා අදාළව මේ කුලිය යනු වැටුප්, වේතන ආදියයි. ප්‍රාග්ධනය හා අදාළව පොලියයි. අවසාන වශයෙන් සමාගම් විසින් ලබන ලාභ වල ප්‍රතිලාභ භුක්ති විඳින්නේ ගෘහස්ථ ඒකක වල වෙසෙන සැබෑ පුද්ගලයින්මය.

ආරම්භයේදී පුද්ගලයෙකුට ප්‍රාග්ධනය හෝ ඉඩම් වැනි ස්වභාවික සම්පත් හිමි කරගත හැක්කේ දෙමවුපිය උරුමයෙනි. එහෙත්, මේ වාසිය සියල්ලන්ටම එකසේ නොලැබේ. ඒ නිසා, ප්‍රාග්ධනය හා/හෝ ස්වභාවික සම්පත් හිමිකම 'වාසනාවට' ලැබෙන පුද්ගලයෙකුට එසේ නොලැබෙන කෙනෙකුට වඩා වැඩි ආරම්භක වාසියක් තිබේ. ප්‍රාග්ධන හිමිකම් නොමැති අයෙකුට ප්‍රාග්ධනය හිමි කර ගත හැකි වන්නේ තමන් සතු ශ්‍රම සම්පත් සඳහා ලබා ගත හැකි ප්‍රතිලාභ සම්පූර්ණයෙන්ම පරිභෝජනය නොකර කොටසක් ඉතිරි කර ගැනීම මඟිනි.

ශ්‍රම සම්පත භෞතික ශ්‍රමය හා මානව සම්පත් ලෙස වර්ග කළ හැකිය. අද වන විට, මේ දෙකෙන් වඩා වැදගත් වන්නේ මානව සම්පතයි. බොහෝවිට භෞතික ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වලින් මූලික පරිභෝජන අවශ්‍යතා ඉටු කරගැනීමෙන් පසු කොටසක් ඉතිරි කර ගැනීම පහසු නැත.

මානව සම්පත යනු ප්‍රාග්ධන සම්පත මෙන්ම ආයෝජනය කිරීමෙන් වර්ධනය කර ගත යුතු දෙයකි. අද වන විට, ලෝකයේ බොහෝ රටවල සියල්ලන්ටම නොමිලේ මූලික අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ඇති නිසා උරුමයේ වාසනාව නැති අයෙකුට වුවද තමන් සතු මානව සම්පත වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබී තිබේ. මේ නිසා, සුවිශේෂී ව්‍යවසායකත්ව දක්ෂතා නැති, ප්‍රාග්ධනය අහිමි අයෙකුගේ දරුවෙකුට ප්‍රාග්ධනයේ හිමිකරුවෙකු වීමට ඉඩ සැලසීම මඟින් ආදායම් විෂමතා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා නොමිලේ ලබාදෙන අධ්‍යාපනය මඟින් ඉඩකඩ සලසයි.


තරමක් සංකීර්ණ චක්‍රීය ප්‍රවාහ ආකෘතියකට තවත් වැදගත් ඒකක වර්ග දෙකක් ඇතුළත්ය. ඒ රජය හා බැංකු ඒකකයි. ගෘහස්ථ ඒකක සතු ප්‍රාග්ධනය නිෂ්පාදන ඒකක කරා සම්ප්‍රේෂණය කිරීමේදී බැංකු මඟින් අතරමැදි කාර්යයක් සිදු කරයි. මෙසේ ගෘහස්ථ ඒකක හා නිෂ්පාදන ඒකක අතර සිදුවන සෘජු මූල්‍යකරණය වෙනුවට බැංකු හරහා සිදුවන වක්‍ර මූල්‍යකරණය ජනප්‍රිය වී ඇත්තේ ඇයිද යන්න මේ ලිපියෙන් කතා කරන්නේ නැත.

රජය මඟින් කරන්නේ නිෂ්පාදන ඒකක සඳහා ගෘහස්ථ ඒකක වෙත ලැබෙන ප්‍රතිලාභ වලින් කොටසක් ලබාගෙන ගෘහස්ථ ඒකක වෙතම වෙනත් ක්‍රමයකට නැවත බෙදාහැරීමයි. මෙහි අරමුණ සමානාත්මතාවය, නිදහස් වෙළඳපොළ ක්‍රමයේ ඇතැම් අඩුපාඩු මඟ හරවා ගැනීම හෝ රටක ජනතාව එකඟ වන වෙනත් හේතුවක් විය හැකිය. මේ නිසා, කිසියම් ගෘහස්ථ ඒකකයකට අවසාන වශයෙන් සම්ප්‍රේෂණය වන (පරිභෝජනය හා ආයෝජනය සඳහා යොදාගත හැකි) ශුද්ධ ප්‍රතිලාභ ප්‍රමාණය එම ඒකකයෙන් සමාගම් වෙත ලබාදී ඇති නිෂ්පාදන සාධක වෙනුවෙන් ලැබිය යුතු ප්‍රශස්ථ ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි විය හැකිය. (නිෂ්පාදන සාධක මත පනවන බදු වලට අමතරව රජයයන් විසින් බොහෝ විට පරිභෝජනය මතද බදු පනවයි. ලංකාවේ බදු වලින් වැඩි ප්‍රමාණයක් මෙවැනි වක්‍ර බදුය.)

ලංකාවේදී ශ්‍රමය සඳහා ලැබෙන ප්‍රතිලාභ මත පනවන බද්දක් ලෙස උපයන විට ගෙවීමේ බද්ද සඳහන් කළ හැකිය. ඇතැම් ආයෝජන සඳහා ලැබෙන පොලිය මත පනවන රඳවා ගැනීමේ බද්ද හා ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ප්‍රාග්ධන බද්ද ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ මත පනවන බදු ලෙස හැඳින්විය හැකිය. ආදායම් බදු යනු මේ දෙයාකාරයේම ප්‍රතිලාභ මත පොදුවේ පැනවෙන බද්දකි.  


අවසාන වශයෙන් මේ ආකෘතියට විදේශ අංශයද එකතු කළ යුතුය.

(Image: wp.lps.org)

Tuesday, May 10, 2016

වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද?



මා පසුගිය සටහනෙන් ශ්‍රී ලංකාවේ ආදායම් විෂමතාවය ගැන කතා කළේ ඉන් පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාරයක් දක්වමින් පාඨකයෙකු විසින් ආර්ථික වර්ධනය ඇඟට නොදැනෙන්නේ ඇයිදැයි කළ විමසීමට හේතු දැක්වීමක් වශයෙනි. ආදායම් විෂමතාවය ආර්ථික වර්ධනය ඇඟට නොදැනීමට එකම හේතුව නොවුණත් එයද එක් හේතුවකි. රටක දළ ජාතික ආදායම වැඩි වන්නේ සීමිත පිරිසකගේ ආදායම විශාල ලෙස වර්ධනය වීම නිසා පමණක්නම් අඩු ආදායම් ලබන ඉතිරි පිරිසට ආර්ථික වර්ධනය ඇඟට දැනෙන්නේ නැත. කෙසේවුවද, ලංකාවේ පවතින සැලකිය යුතු ආදායම් විෂමතාවය මධ්‍යයේ වුවද ලංකාවේ අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වයද යම් තරමකින් හෝ උසස් වී නැතැයි කිව නොහැකිය.

ඉහත ලිපියට ප්‍රතිචාරයක් ලෙස වැට් බද්ද වැඩි කිරීම ගැන අදහසක් පළ වී තිබේ. මෙය මා ලිපිය ලියද්දී සිත යොමු කළ මානයක් නොවූවත් එම ප්‍රතිචාරය ඔස්සේ සිතුවිලි මෙහෙයවන විට වැට් බද්ද වැඩි කිරීම ගැන කතා කරන්නට වැදගත් කරුණු රැසක් මතක් වේ. මේ කරුණු සාරාංශගත කළහොත් විමසන්නට ඇති ප්‍රධාන කරුණ වන්නේ වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද යන්නයි.


රජය විසින් කිසියම් බදු අනුපාතිකයක් ඉහළ දමන්නේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට බව පැහැදිලි කරුණකි. එහෙත්, බදු අනුපාතික ඉහළ දැමීමෙන් හැම විටම රජයේ බදු ආදායම වැඩි කර ගත නොහැකිය. රජයක් විසින් අපේක්ෂා කරන ප්‍රතිඵලය නොවූවත් බදු වැඩි කිරීම නිසා රජයේ බදු ආදායම අඩු වී ඇති අවස්ථාද තිබේ.

කිසියම් භාණ්ඩයක් මත පනවන බද්දක් වැඩි කළ විට එම භාණ්ඩය නිසා ලැබෙන බදු ආදායමට සිදුවන්නේ කුමක්ද යන්න තීරණය වන්නේ අදාළ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය අනුවය. සරලව කියනවානම් භාණ්ඩයේ මිල 1%කින් වැඩි කළ විට ඒ සඳහා වන ඉල්ලුම අඩුවන්නේ කවර ප්‍රතිශතයකින්ද යන්න මතය.

උදාහරණයක් ලෙස අපි රුපියල් 600ක මිලකට විකිණෙන මත්පැන් බෝතලයක් ගැන සිතමු. මේ රුපියල් 600න් රුපියල් 500ක්ම වෙන්වන්නේ වක්‍ර බදු වෙනුවෙනි (උදාහරණයක් පමණි. එහෙත් සැබෑ තත්ත්වයේද වැඩි වෙනසක් නැත.) ඉතිරි රුපියල් 100 නිෂ්පාදකයාගේ ආදායමයි. එයින් නිෂ්පාදන වියදම අඩු කළ විට ඉතිරිය නිෂ්පාදකයාගේ ලාභයයි. මෙය රුපියල් 20යැයි සිතමු.

රුපියල් 600ක් ගෙවා මත්පැන් බෝතලයක් මිල දී ගන්නා සෑම
පාරිභෝගිකයෙක්ම එහි වටිනාකම රුපියල් 600කට වඩා වැඩියයි සිතන අයෙකි. එසේ නැත්නම් මේ මිල දී ගැනීම නොකර ඉන්නට ඔහුට හෝ ඇයට බාධාවක් නැත. මෙවැනි පාරිභෝගිකයින් මිලියනයක් රටේ සිටීනම් රජයට මත්පැන් වලින් වක්‍ර බදු ලෙස රුපියල් මිලියන 500ක් ලැබේ. නිෂ්පාදකයාට මිලියන 20ක ලාභයක් ලැබෙන අතර එයින් කොටසක්ද ආදායම් බදු ලෙස රජයට හිමි වේ.

දැන් රජය මත්පැන් බෝතලයක් සඳහා වන බද්ද රුපියල් 100කින් වැඩි කළහොත් රජයේ ආදායමෙහි කොපමණ වෙනසක් වෙයිද?


මෙය තීරණය වන්නේ රටේ පාරිභෝගිකයින්  හා මත්පැන් නිෂ්පාදකයින් මේ බදු වැඩි වීමට දක්වන ප්‍රතිචාරය මතය. නිෂ්පාදකයා මේ බද්ද මුළුමනින්ම පාරිභෝගිකයින් මත පැටවූවේයැයි සිතමු. දැන් මත්පැන් බෝතලයක මිල රුපියල් 700කි. පෙර මිලට මත්පැන් මිල දී ගත් පාරිභෝගිකයින් මිලියනයම වැඩි වූ මිල යටතේ තවදුරටත් නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළ තුළ රැඳී සිටීනම් නිෂ්පාදකයාගේ ලාභයේ වෙනසක් නොවේ. එහෙත්, රජයේ බදු ආදායම මිලියන 100කින් වැඩි වේ.

රජයට ලැබෙන මේ වාසිය ලැබෙන්නේ කොහෙන්ද? මේ අවස්ථාවේදීනම් එය තනිකරම ලැබුණේ
පාරිභෝගිකයින්ගෙනි. රජයට ලැබුණු රුපියල් මිලියන 100යේ වාසිය පාරිභෝගිකයින්ට සිදු වූ අවාසියකි. තාක්ෂණික වචනයක් යොදාගතහොත් පාරිභෝගික අතිරික්තයේ සිදු වන අඩුවීමකි.

එසේනම්, මේ පාරිභෝගික අතිරික්තය යනු කුමක්ද?


ඕනෑම පුද්ගලයෙකු භාණ්ඩයකට ගෙවීමට කැමති උපරිම මිලක් තිබේ. තුෂාර මත්පැන් බෝතලයකට ගෙවන්නට සූදානම් උපරිම මිල රුපියල් 1000ක් නම් රුපියල් 600ක් ගෙවා එය මිලදී ගන්නා විට ඔහුට රුපියල් 400ක පාරිභෝගික අතිරික්තයක් ඉතිරි වේ. මෙය තුෂාරගේ ලාභයකි. මත්පැන් බෝතලයක මිල රුපියල් 700ක් දක්වා ඉහළ ගිය විට ඔහුගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 300 දක්වා අඩුවේ. ඉහත අවස්ථාවේදී රජයේ බදු ආදායම රුපියල් මිලියන 100කින් වැඩි වෙද්දී මත්පැන් පාරිභෝගිකයින්ගේ සමස්ත පාරිභෝගික අතිරික්තය රුපියල් මිලියන 100කින් අඩු වී තිබේ.

කෙසේවුවද, සෑම පරිභෝගිකයෙකුම මත්පැන් බෝතලයක් සඳහා ගෙවීමට සූදානම් උපරිම මිල සමාන නැත. ක්‍රිෂ්ණරාජාගේ මේ මිල රුපියල් 650ක් යැයි සිතමු. මත්පැන් බෝතලයක මිල රුපියල් 600ක්ව තිබියදී ඔහුට රුපියල් 50ක පාරිභෝගික අතිරික්තයක් ලැබුණේය. එහෙත්, දැන් මිල අනුව ඔහුට එවැනි අතිරික්තයක් ලබාගත නොහැකිය. ක්‍රිෂ්ණරාජා ගෙවන්නට කැමති උපරිම මිලට වඩා රුපියල් 50ක් ගෙවා මත්පැන් බෝතලයක් මිලදී ගතහොත් ඔහුට සිදුවන්නේ පාඩුවකි.

මෙය තුෂාරට මෙන් ලැබෙන වාසියේ අඩුවීමක් නොවේ. සෘජුවම පාඩුවකි. ඒ නිසා අළුත් මිලට ක්‍රිෂ්ණරාජා මත්පැන් මිලදී නොගනී. ඔහු මත්පැන් පානයෙන් වැලකීමට හෝ නීත්‍යානුකූල නොවන මත්පැන් පරිභෝජනය ඇරඹීමට තීරණය කරනු ඇත.


බදු වැඩිවීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා භාණ්ඩයක මිල වැඩිවන සෑම විටෙකම එම භාණ්ඩයේ අලෙවිය යම් පමණෙකින් අඩුවේ. පෙර උදාහරණයේ ක්‍රිෂ්ණරාජා වැනි අය තවත් බොහෝ දෙනෙක් රටේ සිටින නිසා මිල රුපියල් 700ක් වූ විට මත්පැන් අලෙවිය පෙර පැවති මිලියනය මට්ටමේම තවදුරටත් නොපවතී.

මිල වැඩි වීමෙන් අනතුරුව මත්පැන් ඉල්ලුම 10%කින් අඩු වූයේයැයි සිතමු. මේ අනුව, දැන් විකිණෙන්නේ මත්පැන් බෝතල් 900,000ක් පමණි. ඒ අනුව, රජයට ලැබෙන බදු ආදායම මිලියන 540කි. මෙහිදී, බදු අනුපාතිකය 20%කින් ඉහළ නැංවුවද, බදු ආදායම වැඩිවී ඇත්තේ මිලියන 40කින් හෙවත් 8%කින් පමණි. මේ අතර, නිෂ්පාදකයාගේ ලාභයද, ඒ නිසාම ඒ මත අයකෙරෙන ආදායම් බදු මුදලද 10%කින් අඩුවී තිබේ.


යම් හෙයකින්, මිල වැඩි වීමෙන් අනතුරුව මත්පැන් ඉල්ලුම 20%කින් අඩු වුවහොත් සිදුවන්නේ කුමක්ද? එවිට, විකිණෙන්නේ මත්පැන් බෝතල් 800,000ක් පමණි. ඒ අනුව, රජයට ලැබෙන බදු ආදායම මිලියන 480කි. මෙහිදී, බදු අනුපාතිකය 20%කින් ඉහළ නැංවුවද, බදු ආදායම මිලියන 20කින් හෙවත් 4%කින් අඩු වී තිබේ. මේ අතර, නිෂ්පාදකයාගේ ලාභයද, ඒ නිසාම ඒ මත අයකෙරෙන ආදායම් බදු මුදලද 20%කින් අඩුවී තිබේ. අවසාන වශයෙන් බදු වැඩි කිරීම නිසා රජයේ බදු ආදායම අඩු වී තිබේ.

බදු අනුපාතික වෙනස් කිරීම සැලකිල්ලෙන් කළ යුතු දෙයකි. කෙටි කාලයක් තුළ විශාල ලෙස බදු අනුපාතික ඉහළ නැංවූ විට රජයේ බදු ආදායම අඩු වීමේ අවදානමක්ද තිබේ. එමෙන්ම, ඇතැම් තත්ත්වයන් යටතේ බදු අනුපාතික අඩු කිරීමෙන්ද රජයේ බදු ආදායම වැඩි කර ගත හැකිය. එසේ වන්නේ, බදු අනුපාතිකය අඩු කළ විට බදු පදනම පුළුල් වන අවස්ථා වලදීය.


කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අයකෙරෙන බදු අනුපාතිකය ඉහළ නැංවූ විට අපේක්ෂිත ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වන්නේ එම භාණ්ඩයේ හෝ සේවාවේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය මතය. හාල්, පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල ප්‍රත්‍යස්ථතාවය ඉතා අඩුය. සරලව කියනවානම්, මේ භාණ්ඩ වල මිල වෙනස් වන තරමට ඉල්ලුම වෙනස් නොවේ. අත්‍යවශ්‍ය නොවන, "වැඩිපුර සල්ලි තියෙන විට කරන" දේවල ප්‍රත්‍යස්ථතාවය වැඩිය. ඒ නිසා, බදු අනුපාතිකය වැඩි කිරීමෙන් රජයට ලැබෙන ආදායම වැඩිපුරම ඉහළ නංවා ගත හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන බදු අනුපාතික ඉහළ නැංවීමෙනි. කටුක වුවත් මෙය යථාර්තයයි.

කෙසේ වුවද, ඉහත උදාහරණ වලදී මා සැලකුවේ බදු බර මුළුමනින්ම පාරිභෝගිකයා වෙත පටවන අවස්ථාවක් පමණි. එය හැම විටම එසේ නොවේ. බොහෝ අවස්ථා වලදී නිෂ්පාදකයින් විසින් වැඩි වූ බද්දක අවාසිය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයින් මත නොපටවයි. ඒ ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙත ඇති අනුකම්පාවක් නිසා නොවේ. ඔවුන්ගේ ලාභය උපරිමයක් වන්නේ එසේ කිරීමෙන් බැවිනි.

අළුත් බදු සංශෝධන නිසා ජංගම දුරකථන ගාස්තු වැඩි වනු ඇත. කොපමණ ප්‍රතිශතයකින්ද?

සරල ගණනය කිරීමක් කළහොත් පෙනෙන්නේ පෙර නොපැවති 15%ක වැට් බද්දක් එකතුවීම නිසා දුරකථන ගාස්තුවද 15%කින් වැඩි වනු ඇති බවයි. එහෙත්, එය එසේම විය යුතු නැත.

දැනට ජංගම දුරකථන ඇමතුම් සඳහා මසකට රුපියල් 600ක් වැය කරන චන්දිමාට රුපියල් 1.50 බැගින් මිනිත්තු 400ක ඇමතුම් කාලයක් ලැබේයැයි සිතමු. දුරකතන සමාගම විසින් 15%ක වැට් බද්ද පාරිභෝගිකයින් මත පැටවුවහොත් චන්දිමාට මිනිත්තු 400ක් පෙර සේ නිදහසේ මල් කැඩීමට වැඩිපුර රුපියල් 90ක් වැය වනු ඇත. ඇගේ ආදායම වැඩි වී නැති නිසා මේ රුපියල් 90 ඉතිරි කර ගැනීමට ඇයට ඇගේ වෙනත් අවශ්‍යතා වලින් යම් කිසිවක් සීමා කිරීමට සිදුවේ. 


එහෙත්, වැට් වැඩිවීම අනෙක් භාණ්ඩ හා සේවාවන් බොහොමයක මිලටද බලපා ඇති නිසා මෙය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා, චන්දිමා ඇගේ මල් කැඩීමේ කාලය අඩු කර වියදම රුපියල් 600 මට්ටමේම තබා ගැනීමට හෝ ඇතැම් විට මිල වැඩි වූ අනෙකුත් භාණ්ඩ හා සේවාවන් පරිභෝජනය සීමා කිරීම වඩා අපහසුනම් දුරකථන ඇමතුම් වෙනුවෙන් වෙන්කරන මුදල අඩු කිරීමට ඉඩ තිබේ.

බොහොමයක් ජංගම දුරකථන පාරිභෝගිකයන් චන්දිමා මෙන් හැසිරී දුරකථන භාවිතය අඩු කළහොත් දුරකථන සේවා සපයන සමාගමේ ආදායම අඩුවේ. එහෙත්, දුරකථන සේවා සැපයීම විශාල ස්ථිර ප්‍රාග්ධනයක් අවශ්‍ය ආන්තික පිරිවැය ඉතා අඩු කර්මාන්තයක් බැවින් දුරකථන සමාගම් වල වියදම් අඩු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් කිසිවකු ඇමතුම් නොගත්තත් දුරකථන සමාගමේ වියදම් එසේම පවතී. ප්‍රවාහන සේවා වැනි වෙනත් ඇතැම්  සේවාවන්හි තත්ත්වයද මෙසේය. පොල් පැටෙව්වාක් මෙන් සෙනඟ සිටියත්, යාන්තම් මඟීන් දෙතුන් දෙනෙකු සිටියත් බස් රථයක් හෝ දුම්රියක් ධාවනය කරවීමේ පිරිවැයෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවේ.

මේ නිසා, ඉහත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් දුරකථන සමාගම් විසින් ඇමතුම් විනාඩියකට අය කරන මිල පහත දැමීමට ඉඩ තිබේ. අවසාන වශයෙන් සිදුවනු ඇත්තේ වැඩි වූ බදු අනුපාතිකයේ මිල පාරිභෝගිකයින් සහ නිෂ්පාදකයින් අතර බෙදී යාමයි. මේ සමඟම, සමාගම් වල ලාභද සැලකිය යුතු ලෙස අඩුවන බැවින් රජයට ලැබෙන ආදායම් බදු වලද කිසියම් අඩුවක් සිදු වනු ඇත. එමෙන්ම, පරිභෝජනය මෙන්ම නිෂ්පාදනයද අඩුවීම නිසා ආර්ථික වර්ධනයද තරමකින් හෝ දුර්වල වනු ඇත. අවසාන වශයෙන් රජයට ශුද්ධ ආදායමක් ලැබෙන්නට බොහෝ ඉඩකඩ ඇතත් එම වැඩිවන බදු ආදායම ඒ වෙනුවෙන් සිදු කරගන්නා දේශපාලනික හානියට සාපේක්ෂව හිතන තරම්ම විශාල නොවිය හැකිය.

Wednesday, April 20, 2016

ලංකාවේ බදු


බදු වල ඉතිහාසය රාජ්‍යය නමැති ව්‍යුහයේ ඉතිහාසය තරමටම පැරණිය. රාජ්‍යයක් පවත්වාගෙන යාමේ පිරිවැය ප්‍රධාන වශයෙන්ම ආවරණය වන්නේ අදාළ රටේ මහජනතාවගෙන් අය කරගන්නා බදු වලිනි.

බදු අයකර ගැනීම විවිධ ආකාරයන්ගෙන් සිදු කෙරේ. ඇතැම් බදු සෘජු බදු වන අතර තවත් ඇතැම් බදු වක්‍ර බදු වේ.

යම් බද්දක් හා අදාලව බදු පදනමක් හා බදු ආකෘතියක් තිබේ. බදු පදනම යනු බද්ද අය කර ගන්නේ කුමක් මතද යන්නයි. මෙය යම් පුද්ගලයකුගේ ආදායම, දේපල වටිනාකම, වැටුප හෝ මිලදී ගන්නා භාණ්ඩයක මිල විය හැකිය. බදු ආකෘතිය යනු මෙසේ අර්ථ දක්වන බදු පදනම මත බදු අය කෙරෙන ක්‍රමයයි. උදාහරණයක් ලෙස යමෙකුගේ ආදායමෙන් පළමු රුපියල් ලක්ෂය මත 10%ක් හා වැඩිවන ආදායම මත 15%ක් යන්න බදු ආකෘතියකි.

බොහෝ විට යම් බද්දක් රජය විසින් අය කර ගන්නේ එය සැබෑවටම 'ගෙවන' පුද්ගලයාගෙන් නොවේ. බද්දක් සැබෑවටම ගෙවන්නේ කවුද යන්න තීරණය වන්නේ බදු පදනම මත බලපෑමක් කරන ඉල්ලුම් සැපයුම් සාධක මඟිනි. මෙය බැලූ බැල්මට හතර බීරි කතාවක් මෙන් පෙනෙන නිසා උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරමි.


රත්නසිරි රුපියල් පණහක් වැය කර කෙසෙල් කැනක් නිෂ්පාදනය කරයි. හේමලතා එය රුපියල් එකසිය පණහකට මිල දී ගනී. රත්නසිරිට මේ වෙළඳාමෙන් රුපියල් සියයක ලාබයක් ලැබේ.

රජය හිටිවනම කෙසෙල් නිෂ්පාදකයන්ට කෙසෙල් කැනකට රුපියල් පණහක බද්දක් පණවයි. මේ බද්ද රජය විසින් අයකර ගන්නේ රත්නසිරිගෙනි. එහෙත්, මේ බද්දේ පිරිවැය ඇත්තටම දරන්නේ රත්නසිරිමද?

මෙය තීරණය වන්නේ හේමලතාට කෙසෙල්කැන කෙතරම් දුරට අවශ්‍යද යන කරුණ මතය. හේමලතා කෙසෙල් කැනට ගෙවන්නට කැමති වැඩිම මුදල රුපියල් එකසිය පණහනම් රත්නසිරිට වෙන්නේ බද්දේ පාඩුව දරාගෙන කලින් මිලටම කෙසෙල් කැන විකුණනන්නටය. එහෙත්, හේමලතාට මේ කෙසෙල් කැන නැතුවම බැරිනම් රත්නසිරිට එහි මිල රුපියල් දෙසීය දක්වා වැඩි කර පෙර ලාභයම ලබා ගත හැකිය. එවිට, බද්ද රජයට ගෙවන්නේ රත්නසිරි වුවත් සැබෑවටම එහි පාඩුව ඇත්තේ හේමලතාටය.

ඉහත උදාහරණයේදී රජය විසින් බද්ද අය කර ගන්නේ නිෂ්පාදකයා වන රත්නසිරිගෙන්ද නැත්නම් පාරිභෝගිකයා වන හේමලතාගෙන්ද යන්න වැදගත් කරුණක් නොවේ. හේමලතාට කෙසෙල්කැන ගන්නටම අවශ්‍යනම් බද්දේ බර දරන්නට වෙන්නේ ඇයටය. රත්නසිරිට කෙසෙල් කැන විකුනන්නටම අවශ්‍යනම් එහි බර ඔහුට දරාගැනීමට සිදුවේ.


මෙවැනි බොහෝ අවස්ථාවල ප්‍රායෝගිකව සිදුවන්නේ බද්දක බර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදීයාමයි. රත්නසිරිට කෙසෙල් කැනෙහි මිල රුපියල් පණහකින්ම වැඩිකිරීම අපහසු වුවත් විස්සකින් හෝ තිහකින් වැඩි කළ හැකි වනු ඇත. ගණුදෙනුව සිදු කිරීමට වැඩිම අවශ්‍යතාවය ඇති තැනැත්තාට බද්දේ බරින් වැඩි මුදලක් දැරීමට සිදුවනු ඇත.

වෙනත් බදු වලට අදාලවද සිදු වන්නේ මෙවැන්නකි. ඔබේ වැටුප මත බදු මුදලක් අය කෙරෙන විට ඔබට අතට ලැබෙන මුදල අඩුවේ. එහෙත්, එසේ අතට ලැබෙන අඩු මුදල වෙනුවෙන් වැඩ කරන්නට ඔබ සූදානම් නැත්නම් සහ ඒ මුදලට වැඩ කරන්නට කැමති වෙනත් අයෙක් නැත්නම් ඔබේ ආයතනයට ඔබේ වැටුප වැඩි කිරීමට සිදුවේ. එවිට බද්දේ බර ඇත්තටම දරන්නේ ආයතනයයි. එමෙන්ම, ආනයන සඳහා බදු වැඩි කළත් එම ආනයන වලට රට තුළ ඉල්ලුමක් ඇත්නම් බදු බර දරන්නට වෙන්නේ පාරිභෝගිකයින්ටය. මෙහිදී පාරිභෝගිකයින් සෘජුව මේ බද්ද නොගෙවුවත් ඔවුන් ගෙවන මිලට ආනයන බද්ද ඇතුළත් වී තිබේ.



2016 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,646කි. තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ මුදල රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට රුපියල් 79,613කි. සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 318,452කි. වෙනත් අයුරකින් කිවහොත් රටේ රජයක් නැත්නම් සිවුදෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට දැනට ලැබෙන ආදායමට වඩා රුපියල් 318,452ක මුදලක් ඉතිරි වනු ඇත.

ඉහත රුපියල් 79,613ක මුදල රජය විසින් අය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ පහත සඳහන් පරිද්ද්දෙනි.

-ආදායම්, පොලී හා ලාභ මත අයකරන බදු: රුපියල් 12,174
-ජාත්‍යන්තර වෙළඳාම මත අයකරන බදු: රුපියල් 16,641
-දේශීය භාණ්ඩ හා සේවා මත අයකරන බදු: රුපියල් 47,073
-බලපත්‍ර හා වෙනත් බදු: රුපියල් 3,725

රජයේ වියදමින් වැඩිම කොටසක් ආවරණය කරගන්නේ දේශීය භාණ්ඩ හා සේවා මත අයකරන බදු මඟින් බව පැහැදිලි කරුණකි. ඒ යටතේ පහත බදු වර්ග ඇතුළත් වේ.
-වැට් බදු: රුපියල් 11,608
-මත්පැන්: රුපියල් 6,771
-දුම්වැටි: රුපියල් 4,111
-රථවාහන: රුපියල් 13,543
-පෙට්‍රෝලියම් නිෂ්පාදන: රුපියල් 1,835
-විදුලි සංදේශ බදු: රුපියල් 2,031

ඉහත ඇස්තමේන්තු වලින් රථවාහන මඟින් අය කරගැනීමට අපේක්ෂා කළ බදු ආදායම පසුව සිදු කළ සංශෝධන නිසා නොලැබෙනු ඇති බව මගේ අදහසයි. මේ පාඩුව අයකර ගනු ඇත්තේ වැට් බද්ද වැඩි කිරීමෙනි. අවසාන වශයෙන් මේ බදු බරින් වැඩි කොටසක් දරන්නේ රටේ අඩු හා මැදි ආදායම් ලබන ජනතාවයි.

මේ සංඛ්යල්ඛණ වල නොපෙනෙන කරුණක්ද තිබේ. රජයයන් විසින් බොහෝ විට මෙසේ එකතු කරගන්නා බදුමුදල් වලට අමතරව 'නැති මුදල්' ද සැලකිය යුතු ප්‍රමාණයක් වියදම් කිරීම සුලභ සිදුවීමකි. මෙසේ නැති මුදල් වැය කරන එක් ක්‍රමයක් වන්නේ අනාගත බදු මුදල් වලින් පියවන්නට ණය ගැනීමයි. දෙවන ක්‍රමය මුදල් අච්චු ගැසීම මඟින් මුදලේ වටිනාකම අඩුකර ඔබේ අතේ ඇති මුදලින් කොටසක් නොපෙනෙන ලෙස හොරකම් කිරීමයි. බදු හරහා මුදල් අය කර ගැනීම ඒ ක්‍රම දෙකටම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි.


(Images: www.infinitec.org)