Friday, December 20, 2019

ණය ගැනිල්ල තවත් අමාරු වෙයිද?


ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා (දෙසැම්බර් 18) ලංකාවේ රජයේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම ස්ථායී තත්ත්වයේ සිට සෘණ තත්ත්වය දක්වා පහත හෙළා තිබෙනවා. මෙයින් අදහස් වන්නේ දැනටමත් B මට්ටමට වැටී තිබෙන ණය ශ්‍රේණිය ඉදිරියේදී තවත් පහළට වැටීමේ අවදානමක් තිබෙන බවයි.

ණය ශ්‍රේණිගත කරන ප්‍රධාන ආයතන තුන වන්නේ එස්ඇන්ඩ්පී, මූඩීස් හා ෆිච් රේටින් යන සමාගම් තුනයි. මූඩීස් සමාගමේ B2 ශ්‍රේණියත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් වල B ශ්‍රේණියත් සමාන සේ සැලකෙනවා. පසුගිය 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිදු වූ බල පෙරළියෙන් පසුව ලංකාවේ  ස්වෛරීත්ව බැඳුම්කර වල අවදානම් ශ්‍රේණිය මූඩීස් සමාගම විසින් B2 මට්ටම දක්වාත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් විසින් B මට්ටම දක්වාත් පහත හෙලනු ලැබුවා. ඒ මෙතෙක් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කෙරුණු පහළම මට්ටමයි. මේ වන තුරුත් ශ්‍රේණිගත කිරීම් තිබෙන්නේ ඒ මට්ටම් වල. ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා ඉඟි කර තිබෙන්නේ ණය ශ්‍රේණිය තවත් පහළට වැටෙන්නට ඉඩ තිබෙන බවයි. ණය ශ්‍රේණිගත කිරීම් පහළ යන තරමට ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික ඉහළ යනවා.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, ආයෝජනය සඳහා සුදුසු කාණ්ඩ දහයක් තිබෙනවා. ඒවානම් AAA, AA+, AA, AA-, A+, A, A-, BBB+, BBB, BBB- යන කාණ්ඩයි. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ආදී රවවල් වලට අඩුම පොලියක් ගෙවා බැඳුම්කර නිකුත් කළ හැකිව තිබෙන්නේ එම රටවල් ඉහළින්ම තිබෙන AAA කාණ්ඩය යටතේ ශ්‍රේණිගත වී සිටින නිසයි. අසල්වැසි ඉන්දියාව ආයෝජනයට සුදුසු අවසන් කාණ්ඩය වන BBB- මට්ටමේ සිටිනවා. ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් ඊට කට්ටයක් ඉහළින් BBB මට්ටමේ ඉන්නවා. ලංකාව විසින් 2006දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට පටන් ගැනීමෙන් පසුව කිසි විටෙක මේ ආයෝජන කාණ්ඩයකට ඇතුළත් වීමට හැකි තරමට ණය ආපසු ගෙවීමේ අවදානම අඩු කර ගත හැකි වුනේ නැහැ.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, BBB- මට්ටමට පහළින් තිබෙන කාණ්ඩ සැලකෙන්නේ ලැබෙන පොලිය දෙස බලාගෙන අවදානමක් ගෙන කළ යුතු ආයෝජන ලෙසයි. මේ ආයෝජන නොවන කාණ්ඩ අතරින්ද ලංකාව දැනට වැටී සිටින B කාණ්ඩයට ඉහළින් BB+, BB, BB-, B+ යන කාණ්ඩ තිබෙනවා. B කාණ්ඩය සැලකෙන්නේ ඉතා සීමිත සුරක්ෂිතතාවක් ඇති ආයෝජනයක් ලෙසයි. දැනට ගත් ණය ගෙවාගෙන යන නමුත් කොයි වෙලාවක හෝ තත්ත්වය වෙනස් විය හැකි බව B කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමකින් අදහස් වෙනවා.

B: Highly speculative.
‘B’ ratings indicate that material default risk is present, but a limited margin of safety remains. Financial commitments are currently being met; however, capacity for continued payment is vulnerable to deterioration in the business and economic environment.

ලංකාව විශාල පාඩුවක් කරගත් ග්‍රීක බැඳුම්කර මිල දී ගන්නා විට එම බැඳුම්කර ශ්‍රේණිගත කර තිබුණේ BB+ මට්ටමේ වුවත් එම බැඳුම්කර මිල දී ගෙන දෙතුන් මාසයක් යද්දී වේගයෙන් දිගින් දිගටම පහළට වැටී CCC මට්ටමට වැටුණා. ඉන් පසුව, එම බැඳුම්කර වල මිල විශාල ලෙස පහත වැටුණා. එයින් පසුව, ග්‍රීසියට අලුතින් බැඳුම්කර විකිණීම අපහසු වී ණය වාරික නිසි පරිදි ගෙවන්න බැරි වුනා.

දැනට පවතින තත්ත්වය අනුව ලංකාවේ ණය ශ්‍රේණිය B කාණ්ඩයෙන්ද පහළට වැටීමේ අවදානමක් තිබෙනවා. ලංකාවේ ණය අවදානම හදිසියේම තවත් වැඩි වී ඇති බව ෆිච් රේටින් සමාගම විසින් තීරණය කර තිබෙන්නේ රජය විසින් කළ බදු කප්පාදුව නිසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශතාංක දෙකකින් පමණ අඩු විය හැකි බව ෆිච් රේටින් සමාගමේ ගණන් බැලීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ අයවැය හිඟය දදේනි ප්‍රතිශතයක් ලෙස කලින් ඇස්තමේන්තුවට වඩා 1.5%කින් ඉහළ ගොස් 2020දී 6.5% මට්ටමටත්, 2021දී 6.2% මට්ටමටත් යනු ඇතැයි එම සමාගම විසින් ඇස්තමේන්තු කර තිබෙනවා.

"Sri Lanka's external balance sheet is weak, with external debt obligations totalling approximately USD19.0 billion coming due between 2020-2023, compared with foreign-exchange reserves of around USD7.5 billion as of end-November 2019. We expect the current account deficit to widen to about 3.0% of GDP in 2020 and 2021, from an estimated 2.2% in 2019, as domestic demand strengthens."

ෆිච් රේටින් සමාගමේ නිවේදනය අනුව, ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 19ක විදේශ ණය ආපසු ගෙවන්න තිබුණත් විදේශ සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 7.5ක් පමණයි. මෑතකාලීන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස දේශීය ඉල්ලුම ඉහළ යාම නිසා ආනයන අපනයන පරතරය තවත් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක්. මෙහි සමස්ත ප්‍රතිඵලය ණය ආපසු ගෙවන්න ඩොලර් හොයා ගැනීම එන්න එන්නම අමාරු වන බවයි.

බදු කප්පාදුව නිසා දැනටමත් රජයේ අයවැය හිඟය විශාල ලෙස පුළුල් වීමට නියමිතව තිබියදී විශාල පිරිසකට රජයේ රැකියා ලබා දෙමින් රජයේ වියදම් තවත් වැඩි කර ගැනීමට රජය පෙළඹුනොත් එය බූරුවාගේ කොන්ද කඩන අන්තිම පිදුරු මිටිය වෙන්න පුළුවන්.

Tuesday, December 17, 2019

බෝංචි ගණන් වැඩිද?


මේ දවස් වල ලංකාවේ ඇතැම් එළවළු වර්ග වල මිල ගණන් ගොඩක් ඉහළ ගිහින්. මහ බැංකුවේ දත්ත අනුව අද (දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 390ක්. එම දත්තම අනුව, හරියටම වසරකට පෙර (2018 දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 210ක් පමණයි. බෝංචි කිලෝවක් හිටිවනම මේ තරම් ගණන් ගිහින් තියෙන්නේ ඇයි?

බෝංචි කිලෝවක මිල තීරණය කරන්නේ රජය විසින් නෙමෙයි. රජය විසින් කරන දේවල් වල වක්‍ර බලපෑමක් බෝංචි මිලටත් තිබෙන එක වෙනම කරුණක්. බෝංචි කිලෝවක සිල්ලර මිල තීරණය වන්නේ බෝංචි වලට තිබෙන ඉල්ලුම හා සැපයුම මතයි.

බෝංචි වැනි එළවළු ලංකාවට පිටරටින් ආනයනය කරන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ හදන බෝංචි වැනි එළවළු සුරක්ෂිතව කාලයක් ගබඩා කර තබා ගෙන අවශ්‍ය අවස්ථාවක වෙළඳපොලට නිකුත් කළ හැකි තාක්ෂණයක්ද රටේ නැහැ. ඒ නිසා, අස්වනු නෙලන කාල හා කාලගුණ සාධක වැනි කරුණු මත වෙළඳපොළට සැපයෙන බෝංචි ප්‍රමාණය සතියෙන් සතියට වගේ වෙනස් වෙනවා. ඒ විදිහට සැපයුම වෙනස් වුවත්, බෝංචි වලට රටේ තිබෙන ඉල්ලුම සතියෙන් සතියට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලත් සතියෙන් සතියට වගේ වෙනස් වෙනවා. මේක සිදු වෙන්නේ කොහොමද කියලා අපි හරියටම පැහැදිලි කර ගනිමු.

අපි එක් එක් කෙනාගේ බෝංචි වලට තියෙන කැමැත්ත වෙනස්. බෝංචි එක් අයෙකුගේ ප්‍රියතම එළවලුව වෙද්දී තවත් අයෙකුට බෝංචි පෙන්නන්න බැරි වෙන්න පුළුවන්. බෝංචි වලට ලොකු කැමැත්තක් නැති අකැමැත්තකුත් නැති අය වගේම වෙන කන්නම දෙයක් නැත්නම් පමණක් බෝංචි කන අයත් ඉන්නවා. මේ ආකාරයට බෝංචි වලට තිබෙන කැමැත්ත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙද්දී ඔවුන් බෝංචි කිලෝවක් වෙනුවෙන් ගෙවන්න කැමති උපරිම මිලත් වෙනස් වෙනවා.

අපි පුද්ගලයින් පහළොස් දෙනෙක් ගනිමු. පහතින් තියෙන්නේ මේ පහළොස් දෙනා බෝංචි කිලෝවකට ගෙවන්න කැමැත්තෙන් සිටින උපරිම මිලයි. සියලුම ගණන් රුපියල් වලින්.

අමල් - 1000
බිමල් - 700
චමල් - 550
දයාල් - 500
එමිල් - 450
ෆසල් - 420
ගයාන් - 400
හසන් - 390
ඉයන් - 375
ජෙයන් - 350
කෙවින් - 320
ලොහාන් - 300
මෝහන් - 280
නුවන් - 250
ඔෂාන් - 220

දැන් කිසියම් සතියක බෝංචි සැපයුම කිලෝ 10ක් පමණක්නම් මේ 15 දෙනාටම බෝංචි මිල දී ගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඉල්ලුම හා සැපයුම සමාන විය යුතුයි. නිදහස් වෙළඳපොළක මේ බෝංචි කිලෝ 10 අයිති කර ගන්න ඉඩ ලැබෙන්නේ බෝංචි වලට වැඩිම වටිනාකමක් ලබා දෙන දහ දෙනාටයි. ඒ කියන්නේ ලැයිස්තුවේ ජෙයන්ගේ සිට උඩින් සිටින අයටයි. බෝංචි කිලෝවක සමතුලිත වෙළඳපොළ මිල වෙන්නේ ජෙයන් බෝංචි කිලෝවකට ගෙවන්න කැමති උපරිම මිල වන රුපියල් 350ක මිලයි.

ලැයිස්තුවේ ජෙයන්ට වඩා පහළින් සිටින අයට බෝංචි කිලෝවක් රුපියල් 350ක් වටින්නේ නැහැ. ඒ නිසා, ඔවුන් තමන්ගේ අතේ මුදල් තිබුණත් මිල දැක්ක හැටියේම ආපසු හැරී එනවා. මේ අය ලැයිස්තුවේ උඩින් සිටින අය තරමට බෝංචි වලට කැමැති නැති අය. ජෙයන්ගේ සිට උඩින් සිටින අයට රුපියල් 350ක මිල ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඔවුන්ට බෝංචි කිලෝවක් අඩුම වශයෙන් රුපියල් 350ක්වත් වටිනවා. ජෙයන් හැර ඉතිරි නව දෙනාට ඊටත් වඩා කීයක් හෝ වටිනවා. ඒ නිසා, රුපියල් 350 වුවත් ඒ අය දකින ආකාරයට වාසිදායක මිලක්.

ඉල්ලුම සැපයුම සමතුලිත වන මිල කාටත් සාධාරණ මිලයි. බෝංචි මිල දී ගන්නා සියලු දෙනාටම බෝංචි කිලෝවක වටිනාකම ගෙවූ මිලට වඩා වැඩියි. බෝංචි කිලෝවක වටිනාකම මිලට වඩා අඩුයි කියා හිතන අය බෝංචි මිල දී නොගෙන තමන් වඩා කැමති වෙනත් දෙයක් මිල දී ගන්නවා. වෙළඳපොළට බෝංචි සපයන අයට ලැබිය හැකි ඉහළම මිල ලැබෙනවා. බෝංචි නොවිකිණී ඉතිරි වෙන්නෙත් නැහැ. රුපියල් 350ක මිල ගෙවා බෝංචි මිල දී ගන්න කැමති අයට බෝංචි නොලැබී යන්නේත් නැහැ. එහෙත්, මේ දේවල් මේ ආකාරයට සැලසුම් කරන්නට කිසිවෙකු අවශ්‍ය වෙන්නේත් නැහැ. නිදහස් වෙළඳපොලක අපූර්වත්වය මෙයයි.

දැන් ඊළඟ සතියේ බෝංචි සැපයුම කිලෝ 12ක් දක්වා වැඩි වුනොත් වෙන්නේ මොකක්ද? පසුගිය සතියේ මිල තව දුරටත් හරියන්නේ නැහැ. බෝංචි කිලෝවක මිල රුපියල් 350 මට්ටමේම තිබුණොත් බෝංචි මිල දී ගන්නේ පෙර සතියේත් බෝංචි මිල දී ගත් ජෙයන්ගෙන් උඩ දහ දෙනා පමණයි. එහෙම වුනොත්, බෝංචි කිලෝ දෙකක් නොවිකිණී ඉතුරු වෙනවා. ඒ කිලෝ දෙකත් විකුණගන්න හැකි වෙන්නේ රුපියල් 300 දක්වා මිල අඩු වුනොත් පමණයි. කෙවින් හා ලොහාන් දෙන්නා රුපියල් 350ක් ගෙවා බෝංචි මිල දී ගන්නේ නැති වුනත්, රුපියල් 300කට බෝංචි මිල දී ගන්නවා. ඒ නිසා, මිල රුපියල් 300 දක්වා අඩු වූ විට ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා.

බෝංචි සැපයුම කිලෝ 8ක් දක්වා අඩු වුනොත් වෙන්නේ මොකක්ද? මිල 350නම් බෝංචි කිලෝ 8 පහසුවෙන්ම විකිණෙනවා. නමුත්, ඒ මිලට බෝංචි මිල දී ගන්න කැමති 10 දෙනෙක්ම ඉන්න නිසා එයින් දෙදෙනෙක්ටම බෝංචි මිල දී ගැනීමේ අවස්ථාව නැති වෙනවා. එසේ අවස්ථාව නැති වුනේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. අමල් බෝංචි කිලෝවකට රුපියල් 1000ක් වුවත් ගෙවන්න කැමතියි. එහෙත් වෙළඳපොළේ බෝංචි නැහැ. ඒ නිසා ඔහු ඉන්නේ සතුටෙන් නෙමෙයි. බෝංචි සැපයුම්කරු ඉන්නේත් සතුටෙන් නෙමෙයි. ඔහුට ලැබිය හැකිව තිබුණු උපරිම ලාබය ලැබී නැහැ. නමුත්, මිල රුපියල් 390 දක්වා ඉහළ ගිය විට මේ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ. හසන් සහ ජෙයන් රුපියල් 390ක් ගෙවා බෝංචි කිලෝවක් මිල දී නොගන්නා නිසා ඒ මිලට බෝංචි ඉල්ලා සිටින්නේ පාරිභෝගිකයින් අට දෙනෙක් පමණයි. ඔවුන් සියලු දෙනාටම බෝංචි ලැබෙනවා.

පසුගිය දිනක දේශපාලනඥයෙක් විසින් උපදෙස් දී ඇති පරිදි පාරිභෝගිකයින් විසින් මිල වැඩි එළවලු මිල දී නොගෙන ප්‍රතික්ෂේප කළොත් එළවලු මිල අඩු වෙයිද? අපි මේ උදාහරණයම බලමු. දැන් බෝංචි කිලෝවක මිල රුපියල් 390යි. හසන්ගේ සිට උඩට ඉන්න අයට සාපේක්ෂව මේ රුපියල් 390ක මිල වැඩි මිලක් නෙමෙයි. ඔවුන්ට බෝංචි ඊට වඩා වටිනවා. ඒ නිසා, ඔවුන් කොහොමටත් බෝංචි මිල දී ගන්නවා. රුපියල් 390 වැඩි මිලක් කියා හිතන හසන්ට පහළින් සිටින හත් දෙනා කොහොමටත් රුපියල් 390ක් ගෙවා බෝංචි මිල දී ගන්නේ නැහැ. ඒ නිසා, ඔවුන්ට අමුතුවෙන් බෝංචි ප්‍රතික්ෂේප කරන්න දෙයක් නැහැ. කිසිවකුගේ මිල දී ගැනීමේ තීරණ වෙනස් නොවන නිසා, බෝංචි කිලෝවක සමතුලිත මිල වෙනස් වෙන්නේත් නැහැ.