Showing posts with label ඇමරිකා එක්සත් ජනපදය. Show all posts
Showing posts with label ඇමරිකා එක්සත් ජනපදය. Show all posts

Sunday, June 4, 2023

ඇමරිකාවේ සමාජ සංරක්ෂණය


ඇමරිකාවේ ෆෙඩරල් රජයේ වියදම් දිහා බැලුවොත් ප්‍රධානම වියදම් අයිතමයන් දෙකක් වන්නේ සමාජ සංරක්ෂණ හා සෞඛ්‍ය වියදම්. මේ වියදම් වලින් අදහස් වෙන්නේ කුමක්ද? මේ වියදම් ආවරණය වෙන්නේ කොහොමද?

ලංකාවේ ගොඩක් අය දිගින් දිගටම ආණ්ඩුවේ රස්සා වලට ආකර්ෂණය වෙන්න ප්‍රධානම හේතුවක් වුණේ විශ්‍රාම වැටුපයි. පෞද්ගලික අංශයේ රැකියාවකින් වැඩි ආදායමක් ලැබිය හැකි වුවත්, විශ්‍රාම ගියාට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ගොඩක් අයගේ හිතට වද දෙන ප්‍රශ්නයක්. 

ආදායම් උපයන කාලයේ අනාගතය ගැන හිතා විශ්‍රාමික දිවිය වෙනුවෙන් සල්ලි ඉතිරි කළ යුතුයි කියලා කියන්න පහසු වුනත් ප්‍රායෝගිකව ගොඩක් අය අතින් ඔය වැඩේ කෙරෙන්නේ නැහැ. මේක ලංකාවට පමණක් සුවිශේෂී තත්ත්වයක් නෙමෙයි. 

මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල පිහිටුවා තිබුණත් එම අරමුදල් වල ඉතිරි කිරීම් විශ්‍රාම ගිය පසු එක වර ආපසු ලැබෙන නිසා විශ්‍රාම වැටුපකින් සිදු වන දේ වෙන්නේ නැහැ.

ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට අනුරූපව ඇමරිකාවේ තිබෙන්නේ සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය. මේ වෙනුවෙන් ආදායම් උපයන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම දායක මුදල් ගෙවිය යුතුයි. ඒ වෙනුවෙන් විශ්‍රාම යාමෙන් පසුව මිය යන තුරුම විශ්‍රාම වැටුපක් හිමි වෙනවා. මිය ගිය පසුවද යැපෙන්නන්ට මාසිකව මුදලක් ලැබෙනවා. විශ්‍රාම යාමට පෙර ආබාධිත තත්ත්වයට පත් වුවහොත් අදාළ විශ්‍රාම වැටුප කලින්ම ලැබෙනවා. 

මේ ක්‍රමය සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල මෙන් ආයෝජන ක්‍රමයක් නෙමෙයි. ඒ කියන්නේ එකතු කරගත් මුදල හා එම මුදල ආයෝජනය කර ලැබුණු පොලිය එලෙසම ආපසු ලැබෙන ක්‍රමයක් නෙමෙයි. මෙහිදීද ලැබෙන මුදල ගෙවා ඇති මුදල මත තීරණය වන නමුත් විශ්‍රාම වයස වැනි වෙනත් සාධක මත මාසිකව ලබාගත හැකි විශ්‍රාම වැටුප් මුදල වෙනස් වෙනවා. ඒ වගේම, විශ්‍රාම යාමට පෙර ආබාධිත වූ අවස්ථාවකදී මෙය රක්ෂණ ක්‍රමයක් සේ ක්‍රියා කරනවා.

ඇමරිකාවේ ආදායම් උපයන්නෙකු සමාජ සංරක්ෂණ බදු මුදල ලෙස, උපරිමයකට යටත්ව, ආදායමෙන් 12.6%ක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. මෙයින් 10.4%ක් විශ්‍රාම වැටුප් අරමුදලට යනවා. ඉතිරි 1.8% ආබාධිත රක්ෂණ අරමුදලට යනවා. වැටුප් ලබන රැකියා කරන අයගේ වැටුපෙන් 6.2%ක් මේ වෙනුවෙන් වැටුපෙන් කපා ගන්නවා. ඉතිරි 6.2% අදාළ සමාගම විසින් ගෙවනවා. ස්වයං රැකියාවක් කරන්නෙකුනම් 12.4%ම අතින් ගෙවිය යුතුයි. වැටුප් ලබන්නෙකු වුවද වෙනත් ආදායම් උපයන්නේනම් ඒ කොටස වෙනුවෙන් 12.4%ක් වෙනම ගෙවිය යුතුයි. 

සමාජ සංරක්ෂණ බදු අය කිරීමේදී අවම ආදායම් සීමාවක් නැහැ. එක් ඩොලරයක් උපයන අයෙකු වුවත් අදාළ බදු මුදල ගෙවිය යුතුයි. එහෙත්, උපරිම සීමාවක් තිබෙනවා. මෙම (2023) වසරේදීනම් මෙම උපරිම මුදල ඩොලර් 160,200ක්. ඊට වඩා වැඩි ආදායමක් ලබන අය එම වැඩි කොටස වෙනුවෙන් බදු ගෙවිය යුතු නැහැ.

මෙම විශ්‍රාම වැටුප ඕනෑම ඇමරිකානුවෙකුට නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අවම වශයෙන් වසර 10ක කාලයක් ප්‍රමාණවත් ආදායම් උපයන රැකියා කර තිබිය යුතුයි. ආදායම ප්‍රමාණවත් නැත්නම් මෙම කාලය වඩා වැඩි කාලයක් විය හැකියි. හරියටම කියනවානම් විශ්‍රාම වැටුපට හිමිකම් කීමට ලකුණු 40ක් ලබා ගත යුතුයි. උපයන ආදායම අනුව, වසරකට උපරිම වශයෙන් ලකුණු 4ක් ලබා ගත හැකියි. මෙම වසරේ මේ ලකුණු ලැබෙන්නේ මේ විදිහටයි.

ඩොලර් 1,640ක් හෝ වැඩි මුදලක් - ලකුණු 1යි 

ඩොලර් 3,280ක් හෝ වැඩි මුදලක් - ලකුණු 2යි 

ඩොලර් 4,920ක් හෝ වැඩි මුදලක් - ලකුණු 3යි 

ඩොලර් 6,560ක් හෝ වැඩි මුදලක් - ලකුණු 4යි 

මේ අනුව, එක් ලකුණක් හෝ ලැබෙන්නේ ඉහත අවම ආදායම උපයා ඇත්නම් පමණයි. වසර පුරා එක දිගට පූර්ණකාලීන රැකියාවක් කරන අයෙකුටනම් ලකුණු හතරක් එකතු කර ගැනීම අපහසු දෙයක් නෙමෙයි. තාවකාලික හෝ අර්ධකාලීන රැකියාවකින් අවශ්‍ය ආදායම නොලැබෙන්න පුළුවන්. ලකුණු නොලැබුණත් සමාජ සංරක්ෂණ බදු කැපෙනවා. 

කලින් කී පරිදී විශ්‍රාම වැටුපට හිමිකම් කීම සඳහා ලකුණු 40ක් එකතු කරගත යුතුයි. එසේ නැත්නම්, කිසිවක්ම ලැබෙන්නේ නැහැ. ආබාධිත රක්ෂණ හිමිකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය වයස අනුව වෙනස් වෙනවා. එහෙත් අවම ලකුණු ප්‍රමාණයක් තිබෙනවා. වයස ගොඩක් අඩුනම් අවශ්‍ය ලකුණු ප්‍රමාණය අඩුයි. වයස 24ට අඩු අයෙක්ට ලකුණු 6ක් ප්‍රමාණවත්. වයස 31ක් වන විට මෙම අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය 20ක් වෙනවා. ඔය විදිහට 40 දක්වා ඉහළ යනවා. 

සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුප් ලබාගත හැකි මුල්ම වයස අවුරුදු 62. පහු වී විශ්‍රාම ගන්නා තරමට ලැබෙන මාසික මුදල ඉහළ යනවා. විශ්‍රාම වැටුප තීරණය වන්නේ ඊට පෙර වසර 45 තුළ ඉපැයූ ආදායම මතයි. මේ සඳහා එම වසර 45න් අඩුම ආදායම් ලැබූ වසර 10 ඉවත් කර ඉතිරි වසර 35හි සාමාන්‍ය අගය ගණනය කරනවා. වසර 35ක්ම ආදායම් උපයා නැත්නම් ආදායම් නැති වසර වල ආදායම 0 සේ සලකන නිසා සාමාන්‍ය අගය අඩු වෙනවා. 

ඉහත සාමාන්‍ය ආදායම (වක්‍ර ලෙස ගෙවා ඇති බදු මුදල) ගණනය කිරීමෙන් පසුව මාසික විශ්‍රාම වැටුප් මුදල තීරණය කරන්නේ විශ්‍රාම ගන්නා කවර හෝ වයසේ ඇමරිකානුවෙකුගේ අපේක්ෂිත සාමාන්‍ය ජීවිත කාලය මත පදනම්වයි. විශ්‍රාම ගන්නේ වසර 66දීනම්, වසර 66ක අයෙකු මිය යාමට ඉඩ තිබෙන වසර අනුව විශ්‍රාම වැටුප් ගෙවිය යුතු කාලය තීරණය වෙනවා. ඒ අනුව ගෙවන මුදල තීරණය වෙනවා. 1960න් පසු ඉපදුනු අයගේ සාමාන්‍ය විශ්‍රාම වයස සේ සලකන්නේ අවුරුදු 67. එම වයසේ විශ්‍රාම යාමට සාපේක්ෂව වයස 62දී විශ්‍රාම යාමට තීරණය කළහොත් ලැබෙන්නේ 30%කින් පමණ අඩු මුදලක්. වයස 62-67 අතර උපයන ආදායම් නිසා සාමාන්‍ය ආදායමද ඉහළ යන බැවින් වෙනස මීට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. විශ්‍රාම යාම කල් දැම්මොත් වයස 70 වන තුරු ලැබෙන මුදල 8% බැගින් වැඩි වෙනවා. ඊට අමතරව, ඒ කාලයේත් පූර්ණකාලීනව වැඩ කලොත් සාමාන්‍ය ආදායම ඉහළ යා හැකියි.

ඇමරිකාවේ සෞඛ්‍ය පහසුකම් රජයෙන් නොමිලේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා, සෞඛ්‍ය වියදම් අවදානම වෙනුවෙන් වෛද්‍ය රක්ෂණයක් මිල දී ගත යුතුයි. රැකියා කරන බොහොමයක් ඇමරිකානුවන් මෙම වෛද්‍ය රක්ෂණය ලබා ගන්නේ සේවය කරන ආයතනය හරහා. එහිදී අදාළ ආයතනය විසින් වියදමෙන් කොටසක් සුබසාධනය කරනවා. විශ්‍රාම ගිය පසු මේ සහනය නැති වන නිසා බොහෝ දෙනෙකුට සෞඛ්‍ය වියදම් ප්‍රශ්නයක් වීමේ අවදානමක් තිබෙනවා. මේ හේතුව නිසා, වයස අවුරුදු 65 ඉක්මවූ අයට ඇමරිකාවේ ෆෙඩරල් රජයෙන් සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.

සමාජ සංරක්ෂණ බද්දට අමතරව ඉහත කී විශ්‍රාමික වෛද්‍ය රක්ෂණය වෙනුවෙන්ද ආදායමෙන් 2.9%ක බද්දක් ගෙවිය යුතුයි. එයින් 1.45%ක් වැටුපෙන් කැපෙනවා. පෙර මෙන්ම, ස්වයං රැකියා කරන්නන් විසින් 2.9%ම ගෙවිය යුතුයි. ආදායම ඩොලර් 200,000 ඉක්මවන්නේනම් මෙම බද්ද 0.9% දක්වා අඩු වෙනවා. මෙම විශ්‍රාමික වෛද්‍ය රක්ෂණය නොමිලයේ ලබා ගැනීම සඳහාද ඉහත විස්තර කළ පරිදි අවම ලකුණු 40ක් ලබා ගත යුතුයි. එසේ නැත්නම්, ඒ වෙනුවෙන් වාරික මුදලක් ගෙවන්නට සිදු වෙනවා.

ඇමරිකාවේ ආදායම් ලබන්නන් විසින් සමාජ සංරක්ෂණ බදු සහ වෛද්‍ය රක්ෂණ බදු ගෙවිය යුත්තේ ෆෙඩරල්, ප්‍රාන්ත හා ප්‍රාදේශීය බදු ගණනාවකට අමතරවයි. ආදායම් මට්ටම අනුව, ආදායම් බදු නොගෙවිය යුතු අයට පවා මෙම බදු දෙවර්ගය ගෙවන්නට සිදු වෙනවා. 

ඇමරිකන් රජයේ ආදායමෙන් ආදායම් බදු වලින් පසුව වැඩිම කොටස එකතු වන්නේ ඉහත කී සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුප් හා ආබාධිත රක්ෂණ වෙනුවෙන් අය කරන බදු හා වෛද්‍ය රක්ෂණ බදු වලින්. මෙම බදු ධනවතුන් විසින් නොගෙවිය යුතු හෝ අඩුවෙන් ගෙවිය යුතු "දුප්පතුන් විසින් ගෙවිය යුතු බදු" කියා කියන්න පුළුවන්. ධනවතුන්ට විශ්‍රාමික දිවියේ වියදම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ.

මෙසේ එකතු වන මුදල් අදාළ අරමුදල් වලට යොදවනු මිස වෙනත් කටයුතු වෙනුවෙන් වැය කරන්න බැහැ. මේ අරමුදල් වලට එකතු වන මුදල් අවශ්‍ය වියදම් වෙනුවෙන් වැය කිරීමෙන් පසුව ඉතිරි වන කොටස ආයෝජනය කරනු ලබනවා. මේ අනුව, අලුතෙන් එකතු වන බදු ආදායම් වලට අමතරව ආයෝජන ආදායමක්ද ලැබෙනවා. ඇමරිකන් රජය විසින් එකතු කර ගන්නා වෙනත් බදු බොහොමයක්ද මේ අයුරින් නිශ්චිත අරමුදලකට යනවා. එම මුදල් අභිමතය පරිදි වියදම් කරන්න බැහැ.

මේ ආකාරයේ රජයේම අරමුදල් වල තිබෙන මුදල් වලින් සැලකිය යුතු කොටසක් ආයෝජනය කර තිබෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් වලයි. ඒ නිසා, එම ඉතිරි කිරීම් ඇමරිකන් ෆෙඩරල් රජයේ ණය ලෙස වාර්තා වෙනවා. එහෙත්, රජයට ණය දී තිබෙන්නේ රජයේම ආයතනයක් විසින්.

ඉහත පොදු විශ්‍රාම වැටුප් ක්‍රමයට අමතරව ඇමරිකාවේ ෆෙඩරල් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වෙනම විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබෙනවා. මෙහි කටයුතු සිදු වන්නේද ඉහත ආකාරයටමයි. අදාළ දායක මුදල් මාසිකව මේ වෙනුවෙන් පවත්වා ගෙන යන අරමුදලට බැර කෙරෙනවා. අනාගතයේදී විශ්‍රාම වැටුප් ගෙවන්නේ එම අරමුදලෙන්. මේ සල්ලිත් නැවත ආයෝජනය කර තිබෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් වලයි. අනාගත රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් කලින්ම වෙන් කර අවසන් නිසා ඇමරිකානු ෆෙඩරල් රජයට මේ වෙනුවෙන් එදිනෙදා සල්ලි හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අර්ථයෙන් බැලුවොත් ඉදිරි වසර ගණනක් ලංකාව විසින් ගෙවිය යුතු රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් කියා කියන්නේ දිගුකාලීන බැඳුම්කරයකට සමාන, රජයේ දේශීය ණය වලට එකතු විය යුතු කොටසක්. 

අවසාන වශයෙන් කතාව සාරාංශගත කළොත් ඇමරිකාවේ ෆෙඩරල් රජයේ වියදම් වලින් විශාලම කොටසක් යන්නේ සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුප්, ආබාධිත විශ්‍රාම වැටුප්, විශ්‍රාමික වෛද්‍ය රක්ෂණ හා රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් සඳහා. හැබැයි මේ විදිහට ආපසු ගෙවන්නේ වැඩ කරන කාලයේදී ඒ අදාළ අයගෙන්ම එකතු කර ගන්නා මුදල්. එහෙම නැතුව වැඩ නොකර නිකම් ඉඳලා මේ ප්‍රතිලාභ ගන්න බැහැ. ඇමරිකාවට එන සංක්‍රමණිකයෙකුට, අඩුම වශයෙන් වසර දහයක් වැඩ කරන තුරු, මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. රජය විසින් කරන්නේ තමන්ගේ විශ්‍රාමික දිවියේ ප්‍රශ්න තමන්ටම විසඳාගන්න උපකාරී වෙමින් අදාළ රක්ෂණ ක්‍රම සඳහා පහසුකම් සැලසීමක්.

Tuesday, May 30, 2023

ඇමරිකාවේ ණය ප්‍රශ්නය


ටික දවසකට පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසින් රජයට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි උපරිම සීමාව රුපියල් බිලියන 5000 සිට 6000 දක්වා ඉහළ දැම්මා. බොහෝ රටවල මෙවැනි උපරිම සීමාවන් නැහැ. එහෙත්, ලංකාවේ මෙන්ම ඇමරිකාවේද මෙවැනි උපරිම සීමාවක් තිබෙනවා. එම සීමාව ඉක්මවා රජයට ණය ගැනීමේ හැකියාවක් නැහැ.

දැනට ඇමරිකාවේ මෙම සීමාව ඩොලර් ට්‍රිලියන 31.4ක්. මේ වන විට ඇමරිකාවේ ණය ප්‍රමාණය ඔය සීමාව කිට්ටුවටම ඇවිත්. ඒ නිසා, තවත් ණය ගන්නනම් සීමාව ඉහළ දමා ගත යුතුයි. එසේ නැත්නම් තාවකාලිකව ණය සීමාව අත් හිටවිය යුතුයි. මේ දෙකෙන් කොයි එක කරන්නත් ඇමරිකානු කොන්ග්‍රසයේ කොටස් දෙක වන සෙනෙට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද අනුමැතිය හිමි විය යුතුයි.

ඇමරිකාවේ වත්මන් ආණ්ඩු පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය විසින් යාන්තමින් සෙනෙට් සභාවේ බහුතර බලය හදාගෙන සිටියත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැහැදිලි බහුතර බලය තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. සාමාන්‍යයෙන් කොන්ග්‍රසයේ බලය ආණ්ඩු පක්ෂයට (ජනාධිපතිවරයාගේ පක්ෂයට) තිබෙන අවස්ථාවක ණය සීමාව ඉහළ දමා ගැනීම සරල කටයුත්තක් වුවත් එම බලය විපක්ෂය සතුව ඇති විට මේ වැඩේ ලේසියෙන් කර ගන්න බැහැ.

ණය සීමාව ඉහළ දැමු පමණින් එම සීමාව දක්වා ණය ගන්න බැහැ. රජයට වියදම් කළ හැකි උපරිම මුදල වෙනත් නීති වලින් සීමා වෙනවා. ඇමරිකාවේ මෙන්ම ලංකාවේද මෙය සිදුවන්නේ මේ විදිහටයි. උපරිම ණය සීමාව තාක්ෂනික සීමාවක් පමණක් වුවත් සාමාන්‍යයෙන් කොංග්‍රසයේ බලය විරුද්ධ පක්ෂය සතු වූ විට ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපත්ති මත බලපෑමක් කිරීම සඳහා විරුද්ධ පක්ෂයට මේ සීමාව ප්‍රයෝජනයට ගත හැකියි. මෙවර සිදු වුනේද එයයි.

උපරිම ණය සීමාව නීතිමය බාධකයක් වී තාක්ෂනික හේතුවක් නිසා ඇමරිකන් රජයට ණය ගෙවන්නට නොහැකි වුවහොත් එයින් ඇමරිකාවට මෙන්ම ලෝකයටම විශාල බලපෑමක් වෙනවා. ඒ නිසා, වගකිවයුතු විපක්ෂයක් මේ වගේ දෙයකට පෙළඹෙන්නේ නැහැ. එහෙත්, ණය සීමාව ඉහළ දමා ගැනීමට සහයෝගය දීම වෙනුවෙන් වෙනත් කොන්දේසි දැමීම මගින් ඔවුන්ට ආණ්ඩුවේ ඇතැම් අපේක්ෂිත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආපසු හරවන්න පුළුවන්. මේ වගේ වෙලාවක විපක්ෂයට විශාල හෙට්ටු කිරීමේ බලයක් ලැබෙනවා. 

ලංකාව වගේ රටකනම් මේ වගේ වෙලාවක වෙන්නේ මන්ත්‍රීවරුන් මුදලට වෙන්දේසි වීම, අලුත් ඇමති ධුර හැදෙන එක වැනි දේ. නමුත්, ඇමරිකාවේ එහෙම වෙන්නේ නැහැ. රිපබ්ලිකන් පක්ෂයේ හෙට්ටු කිරීම් වල තිබෙන්නේ එවැනි පෞද්ගලික ඉලක්ක නෙමෙයි. ආණ්ඩු පක්ෂය විසින් මහජන මුදල් වැය කිරීම පාලනය කිරීමේ හා ඒ මගින් ණය ගැනීම සීමා කිරීමේ ඉලක්කය පෙරදැරිවයි මේ සාකච්ඡා සිදු වන්නේ. සාමාන්‍යයෙන් ඔය සාකච්ඡා ටික කලක් ඇදිලා අවසානයේදී දෙපාර්ශ්වය යම් එකඟතාවයකට එනවා. මේ ගැන අපෙන් අසා තිබුණු කිහිප දෙනෙකුට අප විසින් ඔය කතාව කලින්ම කියා තිබෙනවා.

වාර්තා වී තිබෙන විදිහට පසුගිය ඉරිදා (මැයි 28) දෙපාර්ශ්වය විසින් (ජනාධිපති බයිඩන් සහ කථානායක කෙවින් මැකාති) මෙම එකඟතාවය ඇති කරගෙන තිබෙනවා. මේ අනුව හෙට (මැයි 31) දින ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ 2025 ජනවාරි දක්වා උපරිම ණය සීමාව අත්හිටවීම පිණිස යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතයි. යෝජනාව සම්මත වුවහොත්, ණය සීමාව වෙනස් නොවන නමුත් තාවකාලිකව සීමාව නොසලකා හැරීමට ඉඩ සැලසෙනවා. කෙසේ වුවත්, දෙපාර්ශ්වය විසින් ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව බයිඩන් රජය විසින් කරන්නට සිටි වියදම් රැසක් කප්පාදු කරන්නට සිදු වෙනවා. 

Sunday, November 1, 2020

ඇමරිකන් ආර්ථිකය 33%කින් වර්ධනය වෙයි!


මේ වසරේ තෙවන කාර්තුව තුළ ඇමරිකාවේ ආර්ථිකය 33.1%ක වේගයෙන් වර්ධනය වී තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකන් ආර්ථිකය වර්ධනය වෙන්නේ 2-3% අතර වේගයකින්. ඒ අනුව බැලූ බැල්මටම මෙය ඉතා දැවැන්ත ආර්ථික වර්ධනයක් වුවත්, මෙහිදී සිදු වී තිබෙන්නේ පෙර කාර්තුවේදී සිදුවූ ආර්ථික පසුබෑම ආපසු හැරවීමයි. ආර්ථික අවපාතයකින් පසුව ආර්ථිකය වේගයෙන් වර්ධනය වී සිදු වූ හානිය ආවරණය කර ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. වෙළඳපොළ යාන්ත්‍රනය මනාව ක්‍රියාත්මක වේනම්, ඒ සඳහා රජය මැදිහත් වීම අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි.

කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් දෙවන කාර්තුව තුළ ඇමරිකන් ආර්ථිකය 31.4%කින් හැකිළුනා. ඊට පෙර පළමු කාර්තුව තුළදීද 5.0%කින් හැකිළුනා. ඒ නිසා, මේ 33.1% ක වර්ධනයෙන් පසුවත් ඇමරිකන් ආර්ථිකය 2019 වසර අවසානයේදී පැවති මට්ටමට පැමිණ නැහැ. එහෙත්,  2019 අවසානයට සාපේක්ෂව ආර්ථිකයේ ප්‍රමාණය මේ වෙද්දී කුඩා වී තිබෙන්නේ 3.4%කින් පමණයි. ඒ වගේම, ශීත සෘතුවේ කෝවිඩ් දෙවන රැල්ල නැග එන විට නැවතත් ආර්ථික කටයුතු සීමා කරන්නට සිදු විය හැකි නිසා, වසරේ සිවුවන කාර්තුව තුළ මේ අඩුව පිරවෙනු ඇතැයි එතරම් බලාපොරොත්තු තැබිය නොහැකියි. 

අප්‍රේල් මාසයේදී 14.4% මට්ටමට ඉහළ ගිය ඇමරිකාවේ විරැකියා අනුපාතයද මේ වන විට 7.9% මට්ටමට අඩු වී තිබෙනවා.




Thursday, November 2, 2017

ජෙරමි පවල් ෆෙඩරල් සංචිත බැංකුවේ ලොකු පුටුවට!


ඇමරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවේ මීළඟ සභාපති ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරමි පවල්ව නම් කර තිබේ. සෙනෙට් සභාව විසින් මේ පත්වීම අනුමත කරනු ලැබුවහොත්, ලබන පෙබරවාරි මාසයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ වත්මන් සභාපතිනිය වන ජැනට් යෙලන්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසුව එම ධුරයට ජෙරමි පවල් පත් වීමට නියමිතය.

ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපිත කරනු ලැබුවේ 1914 වසරේදී වූ අතර එවකට එහි ප්‍රධාන තනතුර අධිපතිධුරය ලෙස හැඳින්වුනේය. 1948 වසරේදී මෙම ධුරය සභාපති ධුරය ලෙස වෙනස් කෙරුණු අතර එවකට ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානියා වූ හත්වන අධිපතිවරයා තාවකාලික සභාපතිවරයා ලෙස නම් කෙරුණේය.එතැන් සිට තවත් අට දෙනකු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ලෙස කටයුතු කර තිබේ.

වත්මන් සභාපතිනි ජැනට් යෙලන් එම තනතුරට පත් වුනු ප්‍රථම කාන්තාවයි. ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක වන ජැනට් යෙලන් ෆෙඩරල් සභාපති ධුරය භාර ගැනීමට පෙර හාවඩ් සරසවිය ඇතුළු ප්‍රධාන පෙළේ සරසවි කිහිපයකම මහාචාර්යවරියක ලෙස කටයුතු කළාය. ඈ විවාපත්ව සිටින්නේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝජ් අකර්ලොෆ් සමඟය.

ජැනට් යෙලන්ට පෙර 2006-2014 අතර ෆෙඩරල් සභාපති ධුරය දැරූ බෙන් බර්නැංකිද, ඔහුට පෙර 1987-2006 අතර එම තනතුර දැරූ ඇලන් ග්‍රීන්ස්පෑන්ද ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධාරීන් වූ අතර ඊටත් පෙර එම ධුරය දැරූ පෝල් වෝකර් හාර්වඩ් සරසවියෙන් දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබුණු අයෙක් විය. මීළඟ සභාපති ලෙස නම් කර ඇති ජෙරමි පවල් ආර්ථික විද්‍යාව පිළිබඳ සරසවි උපාධියක් ලබා නැති අයෙකු වීම විශේෂත්වයකි. එහෙත්, ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති අයෙකි.

ජෙරමි පවල් මෙතෙක් ෆෙඩරල් සභාපති ධුරයට පත් වූ බොහෝ දෙනෙකුට වඩා වත්කම් හිමි ධනවතෙකුද වේ. ඔහු මීට පෙර ආයෝජන බැංකුකරුවෙකු ලෙසද, භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ලෙසද සේවය කර ඇත.

Saturday, December 17, 2016

ඇමරිකානු ෆෙඩරල් සංචිත පොලී අනුපාතික තවත් ඉහළට...

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික තව දුරටත් ඉහළ දමන බව පසුගිය බදාදා (දෙසැම්බර් 14) නිවේදනය කළේය. මේ අනුව ෆෙඩරල් ඉලක්ක පොලී අනුපාතික පසුගිය වසර පුරා පැවති 0.25-0.50% මට්ටමේ සිට 0.50-0.75% මට්ටම දක්වා පාදක අංක 25කින් ඉහළ දමනු ලැබීය. ඉහත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, න්‍යායාත්මකව සිදුවිය යුතු පරිදිම, ඇමරිකානු බැඳුම්කර ඵලදා අනුපාතික ක්ෂණිකව ඉහළ යාමත්, ඇමරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත් වීමත් කොටස් වෙළඳපොළ මිලගණන් පහත වැටීමත් නිරීක්ෂණය කළ හැකි විය.

දශකයකට පෙර ෆෙඩරල් පොලී අනුපාතික 5.25% තරම් ඉහළ මට්ටමක පැවතියේය. ඇමරිකාව මුහුණ දුන් ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින් මෙම ෆෙඩරල් පොලී අනුපාතිකය කෙටි කාලාන්තර තුළ වරින් වර පහත හෙලනු ලැබූ අතර, 2008 දෙසැම්බර් මස 16 වන දින නාමික පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වා අඩු කෙරිණි. එතැන් සිට වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතියේ 0-0.25% මට්ටමේය. මෙසේ ශුන්‍ය මට්ටම ආසන්නේ පැවති පොලී අනුපාතික වසරකට පෙර, පසුගිය දෙසැම්බරයේදී 0.25-0.50% මට්ටම දක්වා ඉහළ නැංවිනි. ෆෙඩරල් සංචිත බැංකුවේ අළුත්ම තීරණය වසරකට පෙරගත් තීරණයේම දිගුවක් වන අතර ලබන වසර තුළ මෙම පොලී අනුපාතික තවත් කිහිප වරක් ඉහළ දැමීමට සිදුවිය හැකි බව ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිනී ජැනට් යෙලන්ගේ අදහසයි.

දරුණු ආර්ථික අවපාතයක් පසුකරමින් ආ ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට සිය නිෂ්පාදනය එහි විභව මට්ටම දක්වා වර්ධනය කරගෙන ඇති අතර ඉතා ඉහළ මට්ටමක පැවති විරැකියා අනුපාතිකයද පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ ස්වභාවික විරැකියා අනුපාතිකය ලෙස දැනට සැලකෙන 4.8% මට්ටමද ඉක්මවා 4.6% මට්ටමට පහත වැටී තිබේ. පසුගිය මාසයේ උද්ධමනය වූ 1.7% ඇමරිකාවේ දිගුකාලීන සාමාන්‍ය උද්ධමනය වන 2% මට්ටමට වඩා පහළින් පැවතියත් සාමාන්‍ය මට්ටමට වඩා පහළින් ඇති ඉන්ධන මිලේ බලපෑම සලකා බලමින් උද්ධමනය ඉදිරියේදී අපේක්ෂිත මට්ටම ඉක්මවීමට ඇති ඉඩකඩ ගැන ෆෙඩරල් සංචිත බැංකුව සැලකිලිමත් වී තිබේ.

ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින් 2008 දෙසැම්බරයේදී ෆෙඩරල් පොලී අනුපාතික ශුන්‍ය මට්ටම දක්වාම පහත හෙලීමෙන් පසුවද ඇමරිකානු ආර්ථිකය එහි විභව මට්ටම කරා නැවත නොපැමිණියේය. ද්‍රවශීලතා උගුලක් ලෙස හඳුනා ගැනෙන මෙවැනි අවස්ථාවකදී රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා මහ බැංකුවක පොලී අනුපාතික තවදුරටත් පහත හෙලීමේ ඉඩකඩක් නොමැති බැවින් මුදල් ප්‍රතිපත්තිය සෑහෙන දුරකට අකර්මන්‍ය වේ. මේ අනුව, එතැන් සිට ඇමරිකාවට බොහෝ දුරට රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යොදාගනිමින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගියේය. කෙසේවුවද, 2009දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8% මට්ටමට ඉහළ ගිය ඇමරිකාවේ අයවැය හිඟය පසුගිය (2015) වසර වන විට 2.4% මට්ටම දක්වා අඩු කරගැනීමට ඇමරිකානු රජය සමත් විය.

ඇමරිකානු රජයට සාමාන්‍යයෙන් ණය ගැනීම අපහසු කාර්යයක් නොවේ. ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් වල ස්ථාවරත්වය සලකමින් ලොව පුරා ආයෝජකයෝ 'ඇමරිකානු රජයට ණය දෙන්නට' පොරකති. එහෙත්, ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාතික ඉතාම අඩු මට්ටමක පැවති පසුගිය කාලයේ මෙසේ ඇමරිකා එක්සත් ජනපද රජයට ණය දීම හෙවත් ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම වෙන කාල වලදී තරම් ආකර්ශනීය වූයේ නැත. ඒ කාලයේදී අනෙක් ප්‍රධාන ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වීමද සිදු වූ නිසා ඇමරිකාවෙන් පිටත ආයෝජකයින්ට මේ ශුන්‍යයට ආසන්න පොලී අනුපාතික ඉතා ප්‍රබල බලපෑමක් කළේය. ඒ හේතුවෙන්, අවදානම වැඩි වුවත් ඉහළ පොලී අනුපාතිකයක් ලබා දෙන වෙනත් වෙළඳපොළවල් මේ ආයෝජකයන්ට ආකර්ශනීය විය.

ඉහත තත්ත්වයේ වාසිය ඒ කාලයේදී ලංකාවටද ලැබුණු අතර ලංකාවේ රජය විසින් නිකුත් කළ රාජ්‍ය සුරැකුම්පත් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගැනීමට විදේශ ආයෝජකයෝ ඉදිරිපත් වූහ. මෙය ලංකාවට විදේශ විණිමය ආකර්ශනය කිරීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් හේතු විය. කෙසේවුවද, මෙසේ පැමිණි අරමුදල් ප්‍රවාහ තාවකාලික අරමුදල් ප්‍රවාහ මිස දිගුකාලීන ආයෝජන නොවීය.

පසුගිය දෙසැම්බරයේදී ෆෙඩරල් සංචිත බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් කිරීමත් සමඟ ලංකාවට තිබූ පෙර කී වාසිදායක තත්ත්වය කණපිට හැරුණු අතර ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර තිබූ විදේශිකයින් බොහෝ දෙනෙකු එම ආයෝජන විකුණා දමා හෝ කල් පිරුණු පසු මුදල් කර වඩා සුරක්ෂිත මූල්‍ය වෙළඳපොළවල් කරා ආපසු රැගෙන ගියහ. පසුගිය කාලයේ ලංකාවේ විදේශ ණය යම් තරමකින් අඩුවූයේ (හෝ ඉහළ යාම සීමාවූයේ) මේ හේතුවෙනි. මේ තත්ත්වය ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයද උග්‍ර කළේය.

ෆෙඩරල් සංචිත බැංකුව මෙසේ වසරක සිට සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් සිටියත් ඔවුන් සිය ස්ථාවරය තවදුරටත් හඳුනාගන්නේ ලිහිල් (accommodative) ප්‍රතිපත්තියක් වශයෙනි. වෙනත් අයුරකින් කිවහොත් ඇමරිකාව තවමත් සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්නට පටන්ගෙන නැත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව කිසියම් වෙනසක් වෙන්නට ඉඩක් ඇතත්, ඉදිරි වසර තුළ ඇමරිකානු පොලී අනුපාතික තවදුරටත් ඉහළ යාමට ඇති ඉඩකඩ ඉතා විශාලය.

පොලී අනුපාතික ඉහළ යන විට ඇමරිකානු ආයෝජන වඩා ආකර්ශනීය වන නිසා අරමුදල් ප්‍රවාහ ඇමරිකාවට ඇදී ඇමරිකානු ඩොලරය වඩාත් ශක්තිමත් වේ. මේ තත්ත්වය ඇමරිකාවේ ආනයන ඉල්ලුම ඉහළ නංවන නිසා ඇමරිකාවට අපනයනය කරන රටවලට කිසියම් වාසියක්ද සැලසේ. මේ අතින් ලංකාවේ ඇඟළුම් වැනි කර්මාන්ත වලට වාසියක් සැලසෙනු ඇතත්, අනෙක් පැත්තෙන් ආනයන වියදම් හා ණය පොලී අනුපාතික ඉහළ යාමත්, ණය ගැනීම වඩා අපහසු වීමත් නිසා සමස්තයක් ලෙස රටේ උද්ධමනය හා ගෙවුම් ශේෂ හිඟය වෙත ඇති කරනු ඇත්තේ අහිතකර බලපෑමකි.


(Image: http://thestudentlawyer.com/2016/02/12/janet-yellen-cautious-over-us-interest-rates/)

Friday, November 4, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දෙවන කොටස)


පසුගිය ලිපියෙන් මම ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළඳපොළෙහි කටයුතු සිදුවන ආකාරයත්, ලංකාවේ එය සිදුවන ආකාරය ඇමරිකාවේ සිදුවන ආකාරයෙන් වෙනස්වන ආකාර කිහිපයක් ගැනත් කතා කළෙමි. මෙහිදී, මා ඇමරිකාවෙන් පටන්ගන්නේ ලංකාවට සාපේක්ෂව ඇමරිකානු ක්‍රමය වඩා හොඳයයි සිතන නිසා ලංකාවේ ක්‍රමයේ ඇති සාපේක්ෂ අඩුපාඩු පෙන්වා දීමටය. වෙනත් රටවල් ගැන කතා නොකරන්නේ ලංකාව හා ඇමරිකාව හැර වෙනත් රටවල මේ කටයුත්ත සිදුවන ආකාරය ගැන මා වැඩි හැදෑරීමක් කර නොමැති නිසාය.

ලංකාවේ නැති, ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියේ එක් ලක්ෂණයක් වන්නේ තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් කිරීමේ හැකියාවයි. එහෙත් ප්‍රායෝගිකව වෙන්දේසියට ඉදිරිපත්වන මෙවැනි ලන්සු ප්‍රමාණය මුළු ලංසු ප්‍රමාණයෙන් 1% කටත් අඩුය. උදාහරණයක් ලෙස අවසන් වරට එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් වසරක කල් පිරීමේ කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කළේ පසුගිය ඔක්තෝබර් මස 11 වෙනිදාය. මේ වෙන්දේසිය සඳහා ඩොලර් බිලියන 20 ක ($ 20,000,000,000) මුහුණත වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කෙරුණේය. ඒ සඳහා ඉදිරිපත් කෙරුණු තරඟකාරී නොවන ලන්සු ප්‍රමාණය ඩොලර් 169,708,300ක් පමණක් විය. මෙය මුළු අවශ්‍යතාවයෙන් 0.85%ක් පමණි. ඉතිරි 99.15% ම නිකුත් කෙරුණේ තරඟකාරී පදනමකිනි. මෙය සුවිශේෂී තත්ත්වයක් නොවේ. සාමාන්‍ය තත්ත්වයයි. ඒ නිසා මෙතැන් සිට මා කරන පැහැදිලි කිරීම් වලදී විශේෂ වැදගත් කමක් නැති තැන්වල මේ තරඟකාරී නොවන ලන්සු නොසලකා හරිමි.

තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් කරන්නන් එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් (වෙළඳපොළ ඉල්ලුම මත) තීරණය කරන ඕනෑම පොලී අනුපාතිකයක් භාරගැනීමට සූදානම් නිසා ඔවුන් ඉල්ලන බිල්පත් ප්‍රමාණය මුලින්ම වෙන් කිරීමෙන් පසු පෙර කී අවසන් වෙන්දේසියට ඉදිරිපත් කළ ඩොලර් බිලියන 20ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයෙන් ඉතිරිවන්නේ ඩොලර් 19,830,291,700 ක බිල්පත් පමණි. මේ බිල්පත් මිලදී ගැනීම සඳහා එමෙන් 3.5 ගුණයක පමණ එනම් ඩොලර් 69,109,210,000 ක පමණ තරඟකාරී ලන්සු ඉදිරිපත් වී තිබුණේය. ඒ පහත පරිදිය.

ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින්:                                 $ 57,995,000,000
වෙනත් අය විසින් ප්‍රාථමික ගණුදෙනුකරුවන් හරහා:      $10,634,000,000
වෙනත් අය විසින් සෘජුවම:                                                 $440,210,000

ඔවුන් එකිනෙකා ඉදිරිපත් කළ මිල ගණන් (ඩොලර් 100ක මුහුණත් වටිනාකමක් සඳහා) 99.37 සිට ක්‍රමයෙන් අඩුවන වෙනස් මිල ගණන්ය. ප්‍රාථමික ගණුදෙනුකරුවන් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නේ වෙනත් අයට නැවත විකුණා ලාභයක් ලබා ගැනීමට නිසා ඔවුන් බොහෝ විට බලන්නේ අඩු මිලකට මේ සුරැකුම්පත් ගන්නටය. ඔවුන්ට සාපේක්ෂව වෙනත් ආයෝජකයෝ වැඩි මිලක් ගෙවීමට ඉදිරිපත් වෙති.

ඉහත පරිදි වැඩි ලන්සු ප්‍රමාණයක් ලැබුණත් එක්සත් ජනපද භාණ්ඩාගාරය මුලින් වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් (හෝ අඩු ප්‍රමාණයක්) නිකුත් කරන්නේ නැත. එසේ කිරීම දූෂණ වලට දොර ඇරීමකි. ප්‍රායෝගික හේතු මත නිකුත් කරන සුරැකුම්පත් ප්‍රමාණය වෙනස් විය හැක්කේ ඉතාම සුළු වශයෙනි. උදාහරණයක් ලෙස ඉහත වෙන්දේසියේදී නිකුත් කළ මුළු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඩොලර් 20,000,186,300 කි. මෙය මුලින් ඉදිරිපත් කළ ගණනට වඩා වැඩි වන්නේ 0.00093%කින් පමණි. (ලංකාවේදීනම් මෙය 1000% දක්වා වැඩිවන්නට  මෙන්ම 0%ක් වන්නටද පුළුවන් බව අපි දනිමු.)

ඉහත බිල්පත් වෙන් කෙරුණේ පහත පරිදිය.

ප්‍රාථමික ගණුදෙනුකරුවන් වෙත:                                            $10,606,268,000 (18.3%)
ප්‍රාථමික ගණුදෙනුකරුවන් හරහා පැමිණි වෙනත් අය වෙත:        $8,784,000,000 (82.6%)
සෘජුව පැමිණි වෙනත් අය වෙත:                                                   $480,210,000 (91.7%)

ඉහත සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි, ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට ලැබී ඇත්තේ ඔවුන් ඉල්ලා සිටි සුරැකුම්පත් ප්‍රමාණයෙන් පහෙන් එකකටත් වඩා අඩුවෙනි. එහෙත් වෙනත් අයට ඉල්ලා සිටි ප්‍රමාණයට ආසන්නවම බිල්පත් ලැබී තිබේ.

මෙය මෙසේ සිදුවන්නේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට වෙනස් ලෙස සැලකීම නිසා නොවේ. ඉහත වෙන්දේසියෙන් පසු එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් කළේ, ඩොලර් 100ක මුහුණත වටිනාකමක් සඳහා ඩොලර් 99.312444 කට වඩා වැඩි මුදලක් ගෙවන්නට ඉදිරිපත් වන අයට ඔවුන් ඉල්ලා සිටි මුළු බිල්පත් ප්‍රමාණය නිකුත් කිරීමයි. ප්‍රාථමික ගණුදෙනුකරුවන්  බොහෝ විට ලන්සු තබා ඇත්තේ මේ ගණනට වඩා අඩුවෙන් නිසා ඔවුන්ගේ ලන්සු බොහොමයක්ම පිළිගැනී නැත.

දැන් එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් මේ මිල, එනම් 99.312444, තීරණය කළේ කෙසේද? එය ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලයි. ඒ මිල මීට වඩා වැඩි කළහොත් වෙන්දේසියට ඉදිරිපත් කළ මුළු බිල්පත් ප්‍රමාණය විකුණාගත නොහැකි වේ. අඩු කළහොත්, බිල්පත් මිලදී ගන්නට වැඩි පිරිසක් ඉදිරිපත් වන නිසා බිලියන 20ක බිල්පත් ඔවුන් අතර බෙදා දිය යුතු ආකාරය ගැටළුකාරී වේ. 'නියම මිල' තීරණය කළ පසු ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිසා මෙවැනි ප්‍රශ්න පැන නොනඟී.

මා දැන් මෙය සරල උදාහරණයකින් නැවතත් පැහැදිලි කරන්නම්. බිලියන විස්සක (එනම් ඩොලර් මිලියන 20,000ක) භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉදිරිපත් වූ මිල ගණන් පහත පරිදියයි සිතමු. ගණන් සියල්ල ඩොලර් මිලියන වලිනි (දැන් ඉදිරිපත් කරන ගණන් සැබෑ ගණන් නොවේ.)

99.37      2000
99.36      2000
99.35      2000
99.34      2000
99.33      2000
99.32      5000
99.31   10000
99.30   15000
99.29   10000
99.28     5000
99.27     2000
99.26     2000
99.25     2000
99.24     2000
99.22     2000
99.21     2000


මෙය ඇත්තටම, ආර්ථික විද්‍යා භාෂාවෙන්, එක්සත් ජනපද භාණ්ඩාගාරය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රයයි. එයින් පිළිබිඹු වන්නේ අදාළ දින අදාළ පරිණත කාලය සහිත සුරැකුම්පත් සඳහා ඇති ඉල්ලුමයි. එක්සත් ජනපද භාණ්ඩාගාරයට මේ ඉල්ලුම වෙනස් කිරීම අපහසුය. ඔවුන්ට කළ හැක්කේ සැපයුම තීරණය කිරීම පමණි. එවිට, ස්වයංක්‍රීයව මිල තීරණය වේ.

එක්සත් ජනපද භාණ්ඩාගාරය විකුණන්නේ ඩොලර් මිලියන 2000ක සුරැකුම්පත් පමණක්නම් 99.37කට විකිණිය හැකිය. මේ මිල 99.33 දක්වා අඩු කළ විට ඩොලර් මිලියන 10000ක සුරැකුම්පත්ද, 99.32කට ඩොලර් මිලියන 15000ක සුරැකුම්පත්ද විකිණිය හැකිය. කලින් දැනුම් දුන් පරිදි ඩොලර් මිලියන 20000ක සුරැකුම්පත් විකිණීමටනම් 99.31 දක්වා මිල පහත හෙළිය යුතුය. එම මිලට, ඇත්තටම ඩොලර් මිලියන 25000ක් වුවත් විකිණිය හැකිය. එහෙත්, එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් වෙන්දේසි කරන බව පෙර දැනුම් දී ඇත්තේ ඩොලර් මිලියන 20,000ක සුරැකුම්පත් පමණක් නිසා කිසියම් වෙන් කිරීමක් සිදු කළ යුතුය. එය සිදු කෙරෙන්නේ පහත පරිදිය.

-99.32ක් හෝ වැඩි මිලක් යෝජනා කළ අයට ඔවුන් ඉල්ලූ මුළු බිල්පත් ප්‍රමාණයම ලැබේ.
-99.30ක් හෝ අඩු මිලක් යෝජනා කළ අයට කිසිවක් නොලැබේ.
-99.31ක් යෝජනා කළ අයට ඉල්ලූ ප්‍රමාණයෙන් 50%ක් ලැබේ.
-කෙසේවුවද, වැඩි මිලක් යෝජනා කළ අයටද සමතුලිත මිල වන 99.31ටම බිල්පත් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

ලංකාවේදී මෙය සිදුවන ආකාරයේ ඇති තවත් ප්‍රධාන වෙනස් කමක් වන්නේ එක් එක් ගැනුම්කරුට බිල්පත් නිකුත් කරන්නේ ඔවුන් යෝජනා කළ මිලට මිස සමතුලිත මිලට නොවීමයි. බැලූ බැල්මටම පෙනෙන්නේ මෙය රජයට වාසිදායක බවයි.

ඇමරිකානු ක්‍රමය අනුව බිල්පත් සියල්ලම අලෙවි වන්නේ 99.31කට වුවත් ලංකාවේ ක්‍රමයට මේ මිල 99.37-99.31 අතර වෙනස් වන එකකි. ඒ අනුව ඉහත උදාහරණයේ බිල්පත් විකිණෙන බරිත සාමාන්‍ය මිල 99.3325කි.

බැලූ බැල්මටම පෙනෙන පරිදි රජයට වැඩි මිලකට බිල්පත් විකුණාගත හැකිය. එහෙත්, මෙහිදී සිදුවන දෙය මීට වඩා සංකීර්ණ එකකි.

මේ බිල්පත් මිලදී ගන්නා ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ මූලික අරමුණ වෙනත් අයට බිල්පත් විකුණා ලාභයක් ලැබීමයි. මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 99.37කට මිලදීගත් ප්‍රාථමික ගැනුම්කරුවකු ලාභයක් ලබන්නට ඊට වඩා වැඩි මිලකට මේ බිල්පත් විකිණිය යුතුය. එහෙත්, එම බිල්පත්ම 99.31කට මිලදීගත්  ප්‍රාථමික ගැනුම්කරුවකුට 99.32 වැනි මුදලකට වුවත් මේ බිල්පත් විකිණිය හැකි නිසා බොහෝ විට ද්විතියික වෙළඳපොළ මිල 99.31-99.37 අතර 99.34 වැනි අගයක් වීමට ඉඩ තිබේ. එවිට, 99.37 වැනි මිලකට මිලදී ගත් ප්‍රාථමික ගැනුම්කරුවකුට සිදුවන්නේ තමන්ගේ බිල්පත් පාඩුවට විකිණීමටය. මේ නිසා, වෙන්දේසියට ඉදිරිපත් වීමේදී බිල්පත් හිමි වීමේ අවස්ථාව ලැබෙන තරමේ ඉහළ මිලක් යෝජනා කරන අතරම, එම අවස්ථාව යාන්තමින් ලැබෙන තරමේ හැකිතාක් අඩු මිලක් ඉදිරිපත් කිරීමටද ඔවුන්ට සිදුවේ.

ඇමරිකානු ක්‍රමය යටතේ මෙය මෙසේ සිදු නොවේ. ඔබ කොතරම් වැඩි මිලක් යෝජනා කළත් වෙනත් අයෙකුට ලබාගත හැකි අවම මිලම ඔබටත් ලැබෙන නිසා ලන්සු තබන්නන් හැම විටම බලන්නේ බිල්පත් හිමි කර ගැනීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට හැකි උපරිම ලන්සුව තැබීමටය.

ලංකාවේ ක්‍රමයේදී සිදුවන ජයග්‍රාහකයාගේ ශාපය (winner's curse) නිසා වෙන්දේසියේදී ඉහළ ලන්සු තැබීම අධෛර්යමත් වන අතර සියල්ලන්ම උත්සාහ කරන්නේ වෙන්දේසියේ තීරණාත්මක (cutoff) මිලට හැකිතාක් ආසන්න මිලක් යෝජනා කිරීමටය. මෙය පහසු නැත. ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වන්නේ ලංකාවේ ප්‍රාථමික වෙන්දේසියට මහ බැංකුව විසින් ඉදිරිපත් කරන සුරැකුම්පත් ප්‍රමාණය ලන්සු ලබා ගැනීමෙන් පසුව ලන්සු තබන්නනට සාපේක්ෂව අහඹු ලෙස (මහ බැංකුවේ අභිමතය පරිදි) අඩු හෝ වැඩි කරන බැවිනි. මේ නිසා ලන්සු තබන්නනට ඉතා විශාල අවිනිශ්චිතතාවයකට මුහුණ දෙන්නට සිදුවේ. මේ අවිනිශ්චිතතාවය අවම කර ගත හැකි, නීත්‍යානුකූල නොවන ක්‍රමයක් වන්නේ කෙසේ හෝ මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබාගැනීමයි. එසේ කළ හැකි අයෙකුට විශාල ලාභයක් ලැබීමේ අවස්ථාව තිබේ. මෙය ඇමරිකාවේ හෝ එංගලන්තයේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසි ක්‍රමය තුළ නොමැති තත්ත්වයකි.

මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රාථමික ගණුදෙනුකරුවන් අතර විශාල ඉල්ලුමක් ඇති වන්නේ ඉහත පදනමිනි.

(මතු සම්බන්ධයි)
 

නැවත දැනුම්දෙන තුරු කමෙන්ට්ස් ඉකොනොමැට්ටාගේ අනුමැතියට යටත් කර ඇති අතර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි තෝරාගත් කමෙන්ට්ස් පමණක් ඉඩක් ලැබුණු විට පල කෙරෙනු ඇත.

(Image: Wikipedia)

Wednesday, October 12, 2016

රාජ් රාජරත්නම්

රාජ් රාජරත්නම් ගැන ලංකාවේ මාධ්‍ය වල වරින් වර බොහෝ දේ ලියැවී තිබේ. කොළඹදී ඉපදුනු රාජ් සිය ජීවිතයේ මුල් වසර තෙළෙස ලංකාවේම ගත කළේය. සිය දෙමවුපියන් සමඟ එංගලන්තයට සංක්‍රමණය වන තුරු ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය හැදෑරුවේය. එංගලන්තයේදී පාසැල් අධ්‍යාපනය නිමකළ ඔහු සසෙක්ස් සරසවියෙන් ඉංජිනේරු විද්‍යා මූලික උපාධියක්ද පසුව ඇමරිකාවේ පෙනිසිල්වේනියා සරසවියෙන් කළමනාකරණ පශ්චාත් උපාධියක්ද ලබා ගත්තේය. වර්ෂ 1986දී ඇමරිකානු පුරවැසිභාවය ලබා ගත්තේය.

චේස් බැංකුවේ ණය අංශයේ නිලධාරියෙකු ලෙස සේවය ඇරඹු රාජ් පසුව ආයෝජන බැංකුකරණයේ සහ වත්කම් කළමනාකරණයේ යෙදුණු නීධම් සහ සමාගමේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස සේවයට බැඳී, ක්‍රමයෙන් උසස්වීම් ලබමින් එහි සභාපති වරයා බවට පත්විය. මේ අතර නීධම් සමාගම යටතේ ගොඩ නංවනු ලැබූ අනුසමාගමක් මිලදී ගත් රාජ් එය ගැලියන් සමූහ ව්‍යාපාරය ලෙස නම් කර ඉතා කෙටි කලකින් එම සමාගම දැවැන්ත වත්කම් කළමනාකරණ සමාගමක් බවට පත් කළේය.

ගැලියන් යන නමේ තේරුම විශාල නාවික යාත්‍රාවක් යන්නයි. ගැලියන් සමාගමද එවැන්නක්ම විය. ඒ නිසා මේ සමාගම මෙහෙයවූ කප්පිත්තා වූ රාජ්ගේ වත්කම්ද විශාල ලෙස ඉහළ ගියේය. වර්ෂ 2008 වන විට ඇමරිකාවේ 262 වන ධනවතා වූ රාජ්, 2009 වන විට 236 වන ධනවතා බවට පත් විය. ඒ වන විට ඔහුගේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 1.8ක් විය. මෙය ඒ වන විට ලංකාවේ ඉපදුණු පුද්ගලයෙකු සතු වූ ඉහළම වත්කමයි. ලංකාවේ ආයෝජන සිදුකිරීම සඳහා රාජ් රාජරත්නම්ව පෙළඹවීමට සිදු කෙරුණු උත්සාහයන් ගැන මෙන්ම, එල්ටීටීඊ සංවිධානයට මුදල් ආධාර දීම ගැන චෝදනාද ඒ කාලයේ ලංකාවේ මාධ්‍ය වල කතා කෙරුණේය.

රාජ්ගේ ගැලියන් නැව කෙතරම් විශාල වුවත් රාජ් එය යාත්‍රා කරවූයේ සම්මත නාවික ගමන් මඟක නොවේ. ඒ නිසා මේ යාත්‍රාව ගල්පරයක හැපී විනාශ වුණේ රාජ්ටද බරපතල තුවාල ඇති කරමිනි. 2009 ඔක්තෝබරයේදී අභ්‍යන්තර වෙළඳාම (insider trading) යන වරදට ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය විසින් රාජ්ට එරෙහිව චෝදනා ගොනු කළ අතර දෙවසරක නඩු විභාගයකින් පසුව හරියටම වසර පහකට පෙර 2011 ඔක්තෝබර් 13 දින ඔහුව 11 වසරක සිර දඬුවමකට යටත් කෙරුණේය. ඔහු දැනටත් මේ සිර දඬුවම ගෙවමින් සිටී.

රාජ් රාජරත්නම් නඩුව අඩුම වශයෙන් කරුණු දෙකක් නිසා සුවිශේෂී එකකි. පළමුව, රාජ්ට පැනවුණු දඬුවම මේ වන තුරු අභ්‍යන්තර වෙළඳාම සිදු කිරීම වෙනුවෙන් ලබාදුන් ඉහළම දඬුවමයි. දෙවැන්න රාජ්ට එරෙහිව සාක්ෂි සොයා ගැනීමට එෆ්බීඅයි ආයතනය කටයුතු කළ ආකාරයයි. 

මෑතක් වන තුරුම අභ්‍යන්තර වෙළඳාම යන චචනය ලංකාවේ බොහෝ දෙනෙකුට හුදු පුරුදු වචනයක් නොවීය. මේ වචනය ලංකාවේ බොහෝ දෙනෙකු පළමු වරට අසන්නට ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසුවය. කලක් තරමක් යටපත්ව තිබූ මේ සිද්ධිය අදාළ සමාගමේ වාර්ෂික ලාභ ඇතුළත් ගිණුම් ප්‍රකාශන ප්‍රසිද්ධ වීමත්, ඉන් අනතුරුව මහ බැංකුවේ අධීක්ෂන වාර්තාවක් මාධ්‍ය වෙත ලැබීමත් සමඟ නැවත වටයකින් කතාබහට ලක්වී ඇත. මේ අළුත් ලිපිලේඛණ වල සඳහන් තොරතුරු සාකච්ඡා කරන්නට පෙර අපි රාජ් රාජරත්නම් සිද්ධිය ඇසුරින් අභ්‍යන්තර වෙළඳාම යන සංකල්පය හඳුනාගනිමු. මෙය මේ සඳහා විශේෂයෙන් තෝරාගත්තේ රාජ් රාජරත්නම් උපතින් ශ්‍රී ලාංකිකයෙකු වීම නිසා නොවේ. රාජ් රාජරත්නම් සිද්ධිය සරසවි පාඨමාලාවල අභ්‍යන්තර වෙළඳාම යන සංකල්පය පැහැදිලි කිරීමට යොදාගන්නා පාඨ ග්‍රන්ථ උදාහරණයක්ද වන බැවිනි.

අභ්‍යන්තර වෙළඳාම හෝ වෙනත් 'වරදක්' වරදක් වන්නේ කිසියම් සමාජයකට, සංස්කෘතියකට හා කාලයකට සාපේක්ෂවය. වැරදි නිරපේක්ෂ නැත. ඉකොනොමැට්ටාගේ පෞද්ගලික අත්දැකීම් අනුව අභ්‍යන්තර තොරතුරු ලබාගැනීම හා ඒ මත සිදුකෙරෙන අභ්‍යන්තර වෙළඳාම යනු ලංකාවේ සංස්කෘතියේ මෙන්ම වෙළදපොළ ගනුදෙනු වලද සාමාන්‍ය අංගයකි. මා දන්නා තරමින් අභ්‍යන්තර වෙළඳාම කරන්නෙකුට දඬුවම් පැමිණවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නැත.

එහෙත්, ඇමරිකාවේ තත්ත්වය එසේ නොවේ. වෙළඳපොල තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය කරා යාමට සැදී පැහැදී සිටින ඇමරිකානු සමාජය මේ තරඟකාරිත්වයට බාධා පමුණුවන භාවිතාවන් වැරදි ලෙස හඳුනාගනී. කිසියම් ගනුදෙනුවක් සඳහා උනන්දුවක් දක්වන තරඟකරුවන් අතරෙන් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට එයට සම්බන්ධ වන අනෙක් තරඟකරුවන්ට නොලැබෙන තොරතුරක් ලැබේනම් ඒ තොරතුරෙන් වාසියක් ගැනීමේ අවස්ථාවක්ද ඇති නිසා අනෙක් තරඟකරුවන්ට අවාසියක් සිදුවේ.

ලංකාවේ පොදු ආයතන වල ටෙන්ඩර් බෝඩ් වල සාමාජිකයෙකුව සිටීමේ සිට පෞද්ගලික ආයතන වල ටෙන්ඩර් පිළියෙළ කිරීම් දක්වා පුළුල් පරාසයක මගේ අත්දැකීම් අනුව ටෙන්ඩරයක් සඳහා ඉදිරිපත් වීමට පෙර ලංකාවේ සැපයුම්කරුවෙකු කරන පළමු දෙය හැකිතාක් අභ්‍යන්තර තොරතුරු සොයාගැනීමයි.  මේ සඳහා සැපයුම්කරුවකු සතුව ඇති පෞද්ගලික සම්බන්ධතා සුලභව යොදා ගැනේ. බොහෝ විට ලංකාවේදී  ටෙන්ඩරයක 'ස්පෙසිෆිකේෂන්' හැදෙන්නේම කිසියම් නිශ්චිත සැපයුම්කරුවෙකු ඉලක්ක කරගනිමිනි. මෙවැනි කටයුතු සඳහා සහභාගී වූ කාලයේදී අභ්‍යන්තර වෙළඳාම ගැන මා දැන් දන්නා දේ කිසිවක් දැන නොසිටියෙමි. මෙවැනි දේ ඇමරිකාවේ සාමාන්‍ය දේවල් නොවේ.

රාජ් රාජරත්නම් තමන් ලංකාවේ සමාජයෙන් උගත් දේ ඇමරිකාවට ගෙන ගියා වන්නට පුළුවන. ඔහු සමඟ පෙනිසිල්වේනියා සරසවියේ උගත් 'බැචාලා' වැනි පෞද්ගලික මිතුරෝ බොහෝ ආයතන වල සේවය කළහ. රාජ් එවැනි ආයතන වල කොටස් මිල දී ගත්තේ මේ මිතුරන් හරහා වෙනත් අයට 'එළියට නොයන' එම සමාගම් වල තොරතුරු ලබාගෙන ඒ තොරතුරු සිය ආයෝජන තීරණ වලට පදනම් කරගනිමිනි. මේ තොරතුරු ලබාගැනීම් රාත්‍රී භෝජන සඳහා හෝ කෝපි කෝප්පයක් සඳහා එක් වද්දී වක්‍රව මෙන්ම ඇතැම් විට සෘජුවමද සිදුවිය. මෙසේ තමන් වරදක් කරන බව දැනුවත්ව හෝ නොදැනුවත්ව පිටතට තොරතුරු ලබාදුන් බොහෝ දෙනෙකු දකුණු ආසියානු සම්භවයක් ඇත්තෝ වූහ.

තමන් විසින්ම අභ්‍යන්තර තොරතුරු එකතු කිරීමෙන් නොනැවතුණු රාජ් සිය සමාගමේ පහළ සේවකයින්ද ඔවුන්ගේ පෞද්ගලික සම්බන්ධතා උපයෝගීකරගෙන එසේ තොරතුරු එක්රැස්කිරීම දිරිමත් කළේය. මෑතකදී වේල්ස් ෆාර්ගෝ ආයතනයේ සිදුවූ ඉලක්ක හඹා යාම පිණිස ව්‍යාජ ගිණුම් තැනීම එම ආයතනයේ ආයතනික සංස්කෘතියේ කොටසක් වූවා සේම වෙනත් සමාගම් වල අභ්‍යන්තර තොරතුරු හඹා යාම ගැලියන් සමාගමේ ආයතනික සංස්කෘතියේ කොටසක් විය. එම සමාගමේ ලාභ හා වත්කම් ඉතා කෙටිකලක් තුළ සීඝ්‍රයෙන් ඉහළ යාමේ රහස වූයේ එයයි.

මෙය එෆ්බීඅයි ආයතනයට ඉව වැටුණත් මෙවැනි සියුම් වරදක් කරන්නෙකු 'බෙල්ල මුලින් අල්ලා ගැනීම' පහසු වැඩක් නොවේ. එෆ්බීඅයි ආයතනය මේ කටයුත්ත පටන් ගත්තේ 1998 තරම් ඈතකදීය. එම වසරේදී ඉන්ටෙල් ආයතනයේ සේවය කළ ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක් වූ රූමි ඛාන් විසින් කිසියම් තොරතුරක් අඩංගු ලියවිල්ලක් ගැලියන් සමාගමට ෆැක්ස් කරනු එෆ්බීඅයි ආයතනය විසින් රහසිගතව කැමරාගත කර තිබේ. පසුව රාජ් රාජරත්නම් වෙත දැලක් එළීමට එෆ්බීඅයි ආයතනය විසින් මෙම රූමි ඛාන් නමැත්තියව ඉත්තෙකු ලෙස යොදාගැනුණේය. කෙසේ වුවද, රාජ් රාජරත්නම්ට එරෙහිව නිශ්චිත සාක්ෂි එක්රැස් කර ඔහුට හා තවත් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර වරදකරු කිරීමට වසර දොළහක පමණ කාලයක් ගතවිය. මෙහිදී එෆ්බීඅයි ආයතනය විසින් සිදු කළ දුරකතන ටැප් කිරීම් වැනි දේ පෞද්ගලික නිදහස යන පදනමින් අභියෝගයට පවා ලක්විය.

අභ්‍යන්තර වෙළඳාම කිරීමේ වරදට කිසිවෙකු වරදකරු කිරීම ඉතා අමාරු හා කල් ගතවන කටයුත්තකි. එහෙත්, රාජ් රාජරත්නම් අභ්‍යන්තර වෙළඳාම කිරීමට වරදකරු වූ එකම ඇමරිකානුවා නොවේ. පසුගිය වසර කිහිපය තුළ ඇමරිකානුවන් අනූවකට වැඩි ගණනක් මේ වරදට වරදකරු කරනු ලැබ තිබේ. කැමති කෙනෙකුට පහළ සබැඳිය ක්ලික් කර ඩයල් ටික බලාගන්නට පුළුවන.

http://www.bloomberg.com/graphics/2016-insider-trading/


(Image: http://www.cnbc.com/id/100991730)

Monday, October 10, 2016

දිගුකාලීන ආයෝජනයක් වන පෙර පාසැල් අධ්‍යාපනය

ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම දරුවන්ට පාසැල් අධ්‍යාපනය නොමිලයේ ලබා ගැනීමේ අවස්ථාව ඇතත් පෙර පාසැල් අධ්‍යාපනය සම්බන්ධව එවැනි නිශ්චිත ප්‍රතිපත්තියක් නැත. කෙසේවුවද බොහෝ ප්‍රදේශ වල අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් 'හෙඩ් ස්ටාර්ට්' නම් වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

පෙර පාසැල් අධ්‍යාපනයේ වටිනාකම පෙන්වා දෙනු ලැබූ ඉතා වැදගත් පර්යේෂණ අධ්‍යයනයක් වූයේ 1962-67 අතර සිදු කෙරුණු 'පෙරී පෙරපාසැල් ව්‍යාපෘතියයි'. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල වලින් 'හෙඩ් ස්ටාර්ට්' වැඩ සටහනට සැලකිය යුතු බරක් වැටුණේය.

මෙහිදී මිචිගන් ප්‍රාන්තයේ ඉප්සිලාන්ටි ප්‍රදේශයේ වාසය කළ, පාසැල් හැර යාමේ අවදානම ඉතා ඉහළ මට්ටමක වූ, අප්‍රිකානු ඇමරිකන් දරුවන්ගෙන් වයස 3-4 පිරිසක් තෝරා ගෙන ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගත් අඩකට නොමිලේ පෙර පාසැල් අධ්‍යාපනය ලබා දෙනු ලැබීය. පර්යේෂණයේ අරමුණ වූයේ පෙර පාසැල් අධ්‍යාපනය ලැබූ කණ්ඩායමේත්, එසේ නොලැබූ කණ්ඩායමේත් පසුකාලීන කාර්ය සාධන ප්‍රතිඵල සසඳා බැලීමයි.

පාසැල් අධ්‍යාපනය ඇරඹීමෙන් පසු පෙර පාසැල් පුහුණුව ලැබූවන් ඉදිරියෙන් සිටීම ඉතා පැහැදිලි කරුණකි. ඒ නිසා, නිවැරදි සැසඳීමක් කළ හැක්කේ පාසැල් අධ්‍යාපනය නිමකර කලකට පසුවය. ඒ අනුව, මේ කණ්ඩායම් දෙකෙහි වයස අවරුදු 27ක් වන විට සිදුකළ එවැනි සැසඳීමකින් පෙනී ගියේ පෙරපාසැල් අධ්‍යාපනය සඳහා කරන ආයෝජනයන්හි සමාජ ප්‍රතිලාභ ඉතා විශාල බවයි. 




-පෙර පාසැල් ගිය සිසුන් පාසැල් හැර ගියේ අඩුවෙනි. ඔවුන් වසර 11.9ක් පාසැල් යද්දී අනෙක් කණ්ඩායම පාසැල් ගියේ වසර 11ක් පමණි.

-ඔවුන්ගෙන් 65%ක් 12 වසරක අධ්‍යාපනය (ලංකාවේ උසස්පෙළ මට්ටම) සාර්ථකව අවසන් කළ අතර අනෙක් කණ්ඩායමේ එය කළේ 45%ක් පමණි.

-ඔවුන්ගේ 43%ක් විවාහ වී දරුවන් හදද්දී අනෙක් කණ්ඩායමේ එසේ කළේ 17%ක් පමණි. ඉතිරි අය දරුවන් බිහි කළේ අවිවාහකවය.

-ඔවුන්ගේ අඩුවයස් දරු උපත් ප්‍රතිශතය අඩකින් අඩු විය.

මේ කණ්ඩායම් වල වයස අවුරුදු 40 වෙද්දී නැවතත් මෙවැනි සැසඳීමක් සිදු කෙරුණේය. පහත ඇත්තේ ඒ වන විට තත්ත්වයයි.

-ඔවුන්ගෙන් වරක් හෝ බන්ධනාගාරගතව සිටියේ සැලකිය යුතු අඩු ප්‍රමාණයකි.

-කණ්ඩායමේ මධ්‍යස්ථ ආදායම අනෙක් කණ්ඩායමට වඩා 42%කින් වැඩි විය.

-රජයෙන් සහනාධාර ගැනීම 26%කින් අඩුවිය. 


 

මෙවැනි වාසි තිබුණද වඩා වැදගත් වන්නේ ඒ වාසි වැයකළ මුදලට වඩා වැඩිද යන්නයි. මේ ගැන සිදුකළ අධ්‍යයන අනුව පෙනී ගියේ වැය කළ සෑම ඩොලරයකටම ඩොලර් 12.60ක ප්‍රතිලාභ ලැබී ඇති බවයි.

මේ සම්පූර්ණ ප්‍රතිලාභ නොවේ. වයස 40 වන විට ලැබී ඇති ප්‍රතිලාභයි. එමෙන්ම, මේ ගණනය කිරීම් කර ඇත්තේ උද්ධමනය හේතුවෙන් සිදුවන මුදලේ අගය පිරිහීම සඳහා ගැලපීමක් කරමිනි.

වැඩිම වාසියක් ලැබී තිබුණේ අපරාධ මර්දනය සඳහා යන වියදම් ඉතිරි වීමෙනි. සුබසාධන වියදම් ඉතිරි වීම, අධ්‍යාපන වියදම් අඩුවීම මෙන්ම බදු ආදායම ඉහළ යාමද මේ ප්‍රතිලාභ අතර වේ. 

 

(Images: http://www.highscope.org/content.asp?contentid=219)

Sunday, September 25, 2016

ඇමරිකාවේ වෛද්‍යවරු

ඇමරිකාවේ සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් විශාල වැටුපක් ලබාගන්නා බව බොහෝ දෙනෙකු දන්නා දෙයකි. එහෙත්, ඇමරිකාවේ වැඩිම වැටුපක් ලබාගත හැකි තනතුර ප්‍රධාන විධායක නිලධාරී තනතුර නොවේ. වසරකට පෙර සිදු කළ සමීක්ෂණයකට අනුව මේ තනතුරට වැඩිම වැටුප් ලැබෙන තනතුරු අතරින් හිමි වුණේ දහවන තැනයි. පළමු ස්ථාන නවයම හිමි වුණේ විවිධ වෛද්‍ය වෘත්තිකයින්ටය.

පහතින් ඇත්තේ මෑතකදී (2015 නොවැම්බර් හා 2016 පෙබරවාරි අතර කාලය තුළ) වෛද්‍ය වෘත්තිකයින් 19,183 දෙනෙකු යොදාගෙන සිදු කළ සමීක්ෂණයක් අනුව, එක් එක් අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් උපයන වාර්ෂික ආදායමයි.





Monday, March 28, 2016

ආර්ථිකය හොඳ කුමන පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේද?

එළැඹෙන නොවැම්බර් මස 8 වෙනි දින ඇමරිකාවේ 58වන ජනාධිපතිවරණය පැවැත්වේ. වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා මේ වන විට දෙවරක්ම ජනාධිපති ලෙස කටයුතු කර ඇති නිසා ඔහුට නැවතත් ජනාධිපති තරඟයට ඉදිරිපත් වීමේ නීතිමය හැකියාවක් නැත. ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් මෙවර තරඟයට හිලරි ක්ලින්ටන් තේරීපත්වීමට බොහෝ දුරට ඉඩතිබේ. ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වැඩිම ඉඩකඩක් ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් ඇති ඇමරිකාවේ වෙනත් තුන්වන පක්ෂයක අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීමට ඉඩකඩක් ඇත්තේම නැති තරම්ය.

ඇමරිකාවේ ආර්ථිකයට වඩා හොඳ ඩිමොක්‍රටික් අපේක්ෂකයෙක්ද එසේ නැත්නම් රිපබ්ලිකන් අපේක්ෂකයෙක්ද?

න්‍යායාත්මක පිළිතුර කුමක් වුවද, පසුගිය වසර වල දත්ත පරික්ෂා කළ විටනම් පිළිතුර ඉතා පැහැදිලිය. ජනාධිපති ට්‍රෲමන්ගේ දෙවන ධුර කාලයේ සිට ජනාධිපති ඔබාමාගේ පළමු ධුර කාලය දක්වා වසර 64ක කාලය සැලකූ විට ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ ඉහළ ආර්ථික වර්ධන වේගය කැපී පෙනේ.  ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 4.33% වෙද්දී රිපබ්ලිකන් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 2.54% පමණි. 



ප්රින්සෙන්ටන් සරසවියේ මහාචාර්ය වරුන් වන ඇලන් බ්ලයින්ඩර් සහ මාක් වොට්සන් විසින් ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ අළුත්ම කලාපයේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවක මේ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් වෙනස්කම් විශ්ලේෂණය කෙරේ. වෙනස 1.79%කි.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ආර්ථිකය යහපත් බව පෙන්වන මෙවැනි එකම දර්ශකය ආර්ථික වර්ධනය පමණක් නොවේ. උද්ධමන අනුපාතය, විරැකියා අනුපාතය, අයවැය හිඟය ඇතුළු වෙනත් බොහෝ දර්ශක අනුවද ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාව සිටින්නේ බොහෝ ඉදිරියෙනි. එමෙන්ම, රිපබ්ලිකන් ධුර කාල වල කොටස් වෙළඳපොල සාමාන්‍ය වර්ධනය 2.70% වෙද්දී ඩිමොක්‍රටික් ධුර කාල වල එම වර්ධනය 8.35% තරම් ඉහළය.

මේ වෙනසට හේතුව ජනාධිපතිවරයා අයත් වන පක්ෂය මිස ඔහුගේ පළපුරුද්ද, සුදුසුකම් වැනි වෙනත් සාධක නොවේ. එමෙන්ම, කොන්ග්‍රසයේ බලය ඇත්තේ කවර පක්ෂය සතුවද යන කරුණද මේ වෙනසට හේතු වී නැත. එසේනම්, ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වන්නේ ආර්ථිකය හොඳ අතට හැරෙන අවස්ථා වලද? වෙනත් අයුරකින් කිවහොත් ආර්ථිකය අයහපත් වර්ධනයන් පෙන්වන විට ඇමරිකානුවන් රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගන්නවාද? 


බ්ලයින්ඩර් සහ වොට්සන් විසින් පෙන්වා දෙන්නේ එය එසේද නොවන බවයි.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරයෙකු යටතේ වැඩිම ආර්ථික වර්ධනයක් සිදුවන්නේ මුල් වසර දෙක තුළදීය. එහෙත්, රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වැඩ අරඹන මුල් වසරේම ආර්ථිකය හොඳටම වැටේ. පහත ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ මේ තත්ත්වයයි.


ආර්ථිකමිතික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් පර්යේෂකයින් ඉන්පසු විමසන්නේ මේ වෙනස ඇති කරන යාන්ත්‍රණය කුමක්ද යන්නයි. ඒ, මුදල් හෝ රාජ්‍යමූල ප්‍රතිපත්තිනම් නොවේ. ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් ධුරය හොබවද්දී වඩා වාසිදායක දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් පැවතී තිබේ. 

ඒ අනුව, මේ පරතරයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති වලට වඩා වෙනත් දේශපාලන ප්‍රතිපත්ති හෝ 'වාසනාව'යි. අඩු තෙල්මිල, කොරියන් යුද සමයේ වැඩි වූ යුද වියදම්, තාක්ෂණයේ දියුණුව හේතුවෙන් සිදුවූ ඵලදායිතා වර්ධනයන්, විදෙස් රටවල ආර්ථික වර්ධනය වැනි කරුණු මඟින් මේ පරතරයෙන් 56%ක් විස්තර කරයි. 

කෙසේවුවද, මේ කරුණු වල බලපෑම ඉවත් කළද ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ආර්ථික වර්ධනයේ වෙනසින් කොටසක් තවදුරටත් ඉතිරි වේ. ඒ සඳහා මුල්වන යාන්ත්‍රණය කුමක්දැයි පැහැදිලි නැත.