Showing posts with label භාණ්ඩාගාර බැඳුම්කර. Show all posts
Showing posts with label භාණ්ඩාගාර බැඳුම්කර. Show all posts

Friday, July 28, 2023

ණය ප්‍රතිව්‍යුහගත කිරීම 97%ක් සාර්ථකයි!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වටයේ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබූ ඩොලර් මිලියන 814.7ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 791.4ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති අතර එම අයදුම්පත් සියල්ල  ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙනවා. මෙය 97.1%ක සාර්ථකත්වයක්.

නිකුත් කර තිබුණු ඩොලර් මිලියන 837.6ක සංවර්ධන බැඳුම්කර වලින් තනි පුද්ගල ආයෝජකයින් සතු කොටස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ. එම ප්‍රමාණය ඩොලර් මිලියන 22.9ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 2.7%ක්. එම ප්‍රමාණයද සැලකිල්ලට ගතහොත් ප්‍රතිව්‍යුහගත කෙරෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 94.5%ක්. 

සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කිරීමේදී ණයහිමියන්ට විකල්ප තුනක් ලැබුණා. මේ එක් එක් විකල්පය තෝරාගෙන ඇති ප්‍රතිශතය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. එමෙන්ම, කිසිදු විකල්පයක් තෝරා ගෙන නැති 3%කට ආසන්න ණයහිමියන් කවුද යන්නත් පැහැදිලි නැහැ. මොවුන් බොහෝ විට විදේශ ණයහිමියන් විය හැකියි. ඔවුන්ට මුල් ගිවිසුමේ කොන්දේසී අනුව ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙන බැවින් රජයට එරෙහිව නඩු මගට යාමේ අරමුණක් නැත්නම් මෙය තාර්කික නොවන තීරණයක්. එහෙත්, විවිධ හේතු මත මෙවැනි අවස්ථාවකදී 3%ක් වැනි පිරිසක් තාර්කික නොවන ලෙස කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කළ හැකි කාලය අගෝස්තු 11 දක්වා කල් දමා ඇති අතර අගෝස්තු 16 දින ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමට නියමිතයි.

Saturday, July 8, 2023

අඩු වූ අවදානම් අධිභාරය


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳ වූ අවිනිශ්චිතතා ඉවත් වීමෙන් පසුව ද්වීතියක වෙළඳපොළ බැඳුම්කර ඵලදා අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. එම පහත වැටීම ඵලදා වක්‍රය පුරාම දැකිය හැකියි.

වසර-2 බැඳුම්කර:

මේ සතිය - 16.36%

පෙර සතිය - 25.63%

අඩු වීම - 9.57%


වසර-3 බැඳුම්කර:

මේ සතිය - 15.84%

පෙර සතිය - 24.59%

අඩු වීම - 8.75%


වසර-4 බැඳුම්කර:

මේ සතිය - 15.57%

පෙර සතිය - 23.48%

අඩු වීම - 7.91%


වසර-5 බැඳුම්කර:

මේ සතිය - 15.22%

පෙර සතිය - 22.16%

අඩු වීම - 7.94%


වසර-6 බැඳුම්කර:

මේ සතිය - 15.03%

පෙර සතිය - 21.43%

අඩු වීම - 6.40%


වසර-8 බැඳුම්කර:

මේ සතිය - 14.73%

පෙර සතිය - 20.66%

අඩු වීම - 5.93%


වසර-10 බැඳුම්කර:

මේ සතිය - 14.56%

පෙර සතිය - 19.43%

අඩු වීම - 4.87%


වසර-15 බැඳුම්කර:

මේ සතිය - 14.10%

පෙර සතිය - 18.82%

අඩු වීම - 4.72%


වසර-20 බැඳුම්කර:

මේ සතිය - 14.68%

පෙර සතිය - 18.16%

අඩු වීම - 3.48%


වසර-30 බැඳුම්කර:

මේ සතිය - 14.81%

පෙර සතිය - 17.96%

අඩු වීම - 3.15%

මෙසේ ඵලදා අනුපාතික අඩු වීම යනු බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යාමයි. පහත තිබෙන්නේ බැඳුම්කර වර්ග කිහිපයක මිල සතියක් තුළ ඉහළ ගොස් ඇති ආකාරයයි.

බැඳුම්කර වර්ගය: 11.00%2025A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 91.15

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 75.96

වැඩි වීම - 20.0%


බැඳුම්කර වර්ගය: 06.75%2026A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 81.38

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 66.43

වැඩි වීම - 22.5%


බැඳුම්කර වර්ගය: 05.35%2026A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 77.71

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 62.79

වැඩි වීම - 23.8%


බැඳුම්කර වර්ගය: 18.00%2032A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 119.33

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 89.49

වැඩි වීම - 33.3%


බැඳුම්කර වර්ගය: 20.00%2029A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 122.07

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 91.95

වැඩි වීම - 32.8%

මේ අයුරින් බැඳුම්කර මිල එක් වරම විශාල ලෙස ඉහළ යාම යනු බැඳුම්කර හිමියන්ගේ වත්කම් වල අගය ක්ෂණිකව ඉහළ යාමක්. මෙහි වාසිය සේවක අර්ථසාධක අරමුදලට, බැංකු වලට මෙන්ම අනෙකුත් සියලුම බැඳුම්කර හිමියන්ට ලැබෙනවා. කොටස් වෙළඳපොළ තුළ නිරුපණය වන්නට ඇත්තේ මෙසේ වත්කම් ඉහළ යාමේ බලපෑමයි.

පසුගිය වසර අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදල සතු වූ බැඳුම්කර වල වටිනාකම පැවතුණේ ගැනුම් මිලට වඩා 38%ක් හා මුහුණත වටිනාකමට වඩා 40%ක් පහළින්. බැංකු වල අලාභයද (unrealized losses) මීට ආසන්නව පැවතුණා විය යුතුයි. මෙම පාඩුව මුළුමනින්ම ආවරණය වීමටනම් පොලී අනුපාතික තවත් 4%-7%කින් පමණ පහළ යා යුතුයි. 

Sunday, June 18, 2023

දේශීය ණය පොලී වල අවදානම් අධිභාරය


මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර අනෙකුත් බිල්පත් ප්‍රතිව්‍යුහගත නොකරන බව මේ වන විට පැහැදිලිව කියා තිබෙනවා. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කර ගැන එවැනි කතාවක් කියා නැහැ. භාණ්ඩාගාර බැඳුම්කර වල යම් ආකාරයක ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වීමට නියමිතව තිබෙනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම නිසා පොලී අනුපාතික මත යම් අවදානම් අධිභාරයක් එකතු වී තිබුණා. එම අවදානම් අධිභාරය කොපමණ වීද?

පහත තිබෙන්නේ ගෙවුණු මාර්තු මාසය අවසානයේ විවිධ දින ගණන් වලින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතික වල සංසන්දනයක්. මෙම ඵලදා අනුපාතික පදනම් වෙන්නේ ද්වීතියික වෙළඳපොළ ගැනුම් මිල ගණන් ඉදිරිපත් කිරීම් (quotes) මතයි.  විකිණුම් මිල ගණන් ඉදිරිපත් කිරීම් දෙස බැලුවත් මීට කිට්ටු රටාවක් හඳුනා ගන්න පුළුවන්. 

දින 45කින් කල් පිරෙන බැඳුම්කරය - 24.80%

මාස-1 කින් කල් පිරෙන බිල්පත - 23.50%

මාස-2 කින් කල් පිරෙන බිල්පත - 24.51%


දින 106කින් කල් පිරෙන බැඳුම්කරය - 25.74%

මාස-3 කින් කල් පිරෙන බිල්පත - 26.11%

මාස-4 කින් කල් පිරෙන බිල්පත - 25.86%


දින 154කින් කල් පිරෙන බැඳුම්කරය 1 - 25.71%

දින 154කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 26.13%

මාස-5 කින් කල් පිරෙන බිල්පත - 25.84%


දින 184කින් කල් පිරෙන බැඳුම්කරය - 26.09%

මාස-6 කින් කල් පිරෙන බිල්පත - 25.96%


දින 276කින් කල් පිරෙන බැඳුම්කරය - 27.43%

මාස-9 කින් කල් පිරෙන බිල්පත - 25.18%


දින 350කින් කල් පිරෙන බැඳුම්කරය - 27.38%

මාස-11 කින් කල් පිරෙන බිල්පත - 24.74%

මාස-12 කින් කල් පිරෙන බිල්පත - 24.53%

ඉහත ඵලදා අනුපාතික දෙස බැලූ විට පෙනී යන්නේ මාස හයකට අඩු කාලයක් තුළ ආසන්නව සමාන කාලයකදී කල් පිරෙන බිල්පත් හා බැඳුම්කර වල අපේක්ෂිත ප්‍රතිලාභ අතර සැලකිය යුතු වෙනසක් නැති බවයි. මෙය සාමාන්‍ය තත්ත්වයක්. ඔය දෙකෙන් කොයි එකේ ආයෝජනය කළත් වෙන්නේ රජයට ණය දීමක් නිසා අපේක්ෂිත ප්‍රතිලාභ වල වෙනසක් තියෙන්න හේතුවක් නැහැ. 

කෙසේ වුවත්, කල් පිරෙන කාලය මාස 6 ඉක්මවද්දී (2023 සැප්තැම්බර් වලින් පසුව කල් පිරෙද්දී) පොලී අනුපාතික අතර 2%-3% ආසන්න වෙනසක් ඇති වෙනවා. මේ වෙනසට හේතුව ද්‍රවශීලතා වෙනස වෙන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් හදිසියකදී විකුණා ගන්න එක වඩා පහසු වීම හා ඒ නිසා සාපේක්ෂ ඉල්ලුම වැඩි වීම.

දැන් අපි පසුගිය සතියේ (ජූනි 16) පැවති තත්ත්වය දෙස බලමු. 

දින 29කින් කල් පිරෙන බැඳුම්කරය - 24.05%

මාස-1 කින් කල් පිරෙන බිල්පත - 19.71%


දින 77කින් කල් පිරෙන බැඳුම්කරය 1 - 24.23%

දින 77කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 24.52%

මාස-2 කින් කල් පිරෙන බිල්පත - 20.59%

මාස-3 කින් කල් පිරෙන බිල්පත - 22.21%


දින 107කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 24.45%

මාස-3 කින් කල් පිරෙන බිල්පත - 22.21%

මාස-4 කින් කල් පිරෙන බිල්පත - 20.89%


දින 152කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 24.45%

මාස-5 කින් කල් පිරෙන බිල්පත - 20.77%


දින 182කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 24.53%

මාස-6 කින් කල් පිරෙන බිල්පත - 20.19%


දින 273කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 25.08%

මාස-12කින් කල් පිරෙන බිල්පත - 19.61%


දින 320කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 26.61%

මාස-12කින් කල් පිරෙන බිල්පත - 18.21%


දින 365කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 25.25%

මාස-12කින් කල් පිරෙන බිල්පත - 18.01%

දැන් අපිට කෙටිකාලීන (මාස 6 දක්වා වන) බිල්පත් හා බැඳුම්කර අතර 4%ක පමණ ඵලදා අනුපාතික වෙනසක් පේනවා. කල් පිරෙන කාලයක් වසරක් වෙද්දී මෙම වෙනස 6%-7% දක්වා ඉහළ යනවා. කලින් පැවති 2%-3% ප්‍රමාණයේ ද්‍රවශීලතා අධිභාරය පැත්තකට කළොත් නැවතත් 4%ක පමණ වෙනසක්. මේ වෙනස ඇති වුනේ කොහොමද?

මෙහි තියෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම නිසා බැඳුම්කර පොලී අනුපාතික මත එකතු වී තිබෙන අධිභාරය. මේ වෙද්දී බිල්පත් පොලී අනුපාතික වල මේ අධිභාරය නැහැ. ඒ කියන්නේ, භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියා මේ වෙලාවේ කිවුවොත් පොලී අනුපාතික අඩු වෙන්නේ ඔය ප්‍රමාණයට. අනෙකුත් සාර්ව ආර්ථික සාධක මත කොහොමටත් පොලී අනුපාතික අඩු වීම වෙනම කරුණක්.

තවත් විදිහකට කිවුවොත් 4%ක පමණ පොලී කප්පාදුවකට දැනටම වෙළඳපොළ සකස් වෙලා ඉවරයි. ඒ නිසා, එවැනි පොලී කප්පාදුවකින් කිසිදු වෙළඳපොළ කම්පනයක් වෙන්නේ නැහැ. ඊට වඩා අඩු කප්පාදුවක් කියන්නේ අනපේක්ෂිත වාසියක්. පාඩුවක් වෙන්නේ 4%කට වඩා වඩා වැඩියෙන් කප්පාදු කරන කොටස පමණයි. බැඳුම්කර මිල දී ගත් අය මිල දී ගෙන තියෙන්නෙම ඔය 4% ගෙවන මිලෙන් අඩු කරගෙනයි. 

ඇතැම් විට ඉදිරි සති වල පොලී අනුපාතික පහළ යද්දී මේ පරතරය තවත් වැඩි වෙන්න පුළුවන්. එහෙම වුනොත් එහි තේරුම මීටත් වඩා වැඩි පොලී කප්පාදුවකට වෙළඳපොළ සූදානම් වෙලා ඉවරයි කියන එක. 

Saturday, May 27, 2023

ඝානාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ ආකාරය


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වුනොත් එහි බලපෑම කුමක්ද? මෙය කාලයක් තිස්සේ කිහිප දෙනෙකු විසින්ම අසමින් සිටින ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට වැඩි කල් නොගොස් මේ ප්‍රශ්නයට නියම පිළිතුර නියම තැන් වලින්ම ලැබෙයි. මේ වගේ ප්‍රශ්නයකට පැත්තක ඉඳලා දෙන්න පුළුවන් අනුමාන පිළිතුරු වල ඒ තරම්ම තේරුමක් නැහැ.

කෙසේ වුවත්, අදාළ දැන් තැන් වල සිටින පුද්ගලයින් විසින් දැනටම වටින් ගොඩින් කියා තිබෙන දේවල් අනුව විය හැකි දේ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. එහෙම කියා තිබෙන එක දෙයක් වන්නේ මෙවැන්නක් කරනවානම් කරන්නේ ස්වේච්ඡා පදනම මත කියන එක. 

ලංකාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළොත් එය කරන විදිහ ඝානාව ඔය වැඩේ කරපු විදිහට කිට්ටු විදිහක් වෙන්න ඉඩ තිබෙනවා. ඉතා කෙටියෙන් කිවුවොත්, ඝානාව බැඳුම්කර වල අවසන් ගෙවීම කප්පාදු කළේ නැහැ. ඔවුන් කළේ කල් පිරෙන කාලය දිගු කිරීම සහ කූපන් පොලී අනුපාතික සීමා කරන එකයි. මේ වගේ ක්‍රමයකින් ලංකාවටත් අවශ්‍ය ඉලක්ක වලට පහසුවෙන්ම යන්න පුළුවන්.

දැන් මම ඝානාව කරපු දේ තරමක් විස්තරාත්මක ලෙස ඉදිරිපත් කරන්නම්. බැඳුම්කර වලින් විශාල කොටසක් හා අදාළව ඝානාව කළේ අලුතෙන් බැඳුම්කර 12ක් නිකුත් කරලා දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර එම අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කිරීමේ අවස්ථාව ලබා දීමයි. මේ අලුත් බැඳුම්කර 2027 සිට 2038 දක්වා කාලය තුළ කල් පිරෙනවා. කල් පිරීමේ කාලය වැඩි වෙද්දී කූපන් පොලී අනුපාතික 8.35% සිට 10% දක්වා ක්‍රමික ලෙස වැඩි වෙනවා. ඒ පහත ආකාරයටයි.

1. 2023-GC-1 බැඳුම්කරය: කල් පිරීම 2027, කූපන් පොලිය 8.35%, ප්‍රතිශතය 9%

2. 2023-GC-2 බැඳුම්කරය: කල් පිරීම 2028, කූපන් පොලිය 8.50%, ප්‍රතිශතය 9%

3. 2023-GC-3 බැඳුම්කරය: කල් පිරීම 2029, කූපන් පොලිය 8.65%, ප්‍රතිශතය 9%

4. 2023-GC-4 බැඳුම්කරය: කල් පිරීම 2030, කූපන් පොලිය 8.80%, ප්‍රතිශතය 9%

5. 2023-GC-5 බැඳුම්කරය: කල් පිරීම 2031, කූපන් පොලිය 8.95%, ප්‍රතිශතය 8%

6. 2023-GC-6 බැඳුම්කරය: කල් පිරීම 2032, කූපන් පොලිය 9.10%, ප්‍රතිශතය 8%

7. 2023-GC-7 බැඳුම්කරය: කල් පිරීම 2033, කූපන් පොලිය 9.25%, ප්‍රතිශතය 8%

8. 2023-GC-8 බැඳුම්කරය: කල් පිරීම 2034, කූපන් පොලිය 9.40%, ප්‍රතිශතය 8%

9. 2023-GC-9 බැඳුම්කරය: කල් පිරීම 2035, කූපන් පොලිය 8.55%, ප්‍රතිශතය 8%

10. 2023-GC-10 බැඳුම්කරය: කල් පිරීම 2036, කූපන් පොලිය 9.70%, ප්‍රතිශතය 8%

11. 2023-GC-11 බැඳුම්කරය: කල් පිරීම 2037, කූපන් පොලිය 9.85%, ප්‍රතිශතය 8%

12. 2023-GC-12 බැඳුම්කරය: කල් පිරීම 2038, කූපන් පොලිය 10.00%, ප්‍රතිශතය 8%

හුවමාරු කිරීමේ අවස්ථාව දෙනවා කිවුවත්, එයින් අදහස් වෙන්නේ ඉහත කී බැඳුම්කර වලින් කැමති එකක් එක්ක හුවමාරු කරගන්න පුළුවන් කියන එක නෙමෙයි. දැන් තියෙන බැඳුම්කරයක් වෙනුවට ඔය බැඳුම්කර දොළහෙන්ම යම් ප්‍රමාණයක් ලැබෙනවා. අන්තිමට තියෙන්නේ ඒ විදිහට ලැබෙන අනුපාතය. 2023 වර්ෂයෙන් පසුව කල් පිරෙන ඕනෑම බැඳුම්කරයක් හුවමාරු කර ගනිද්දී ඒ වෙනුවට ඔය අනුපාතයට බැඳුම්කර වෙන් කෙරෙනවා.

අපි හිතමු 2024දී කල් පිරෙන රුපියල් 100ක බැඳුම්කරයක් ඔය විදිහට හුවමාරු කළා කියලා. දැන් ඒ වෙනුවට 2027 කල් පිරෙන රුපියල් 9ක බැඳුම්කරයක් ලැබෙනවා. 2028 කල් පිරෙන තවත් රුපියල් 9ක බැඳුම්කරයක් ලැබෙනවා. ඔය විදිහට ගිහින් අන්තිම රුපියල් 8 වෙනුවෙන් 2038 කල් පිරෙන බැඳුම්කරයක් ලැබෙනවා. 

අවසාන වශයෙන් පොරොන්දු වූ මුල් මුදල ඒ විදිහටම ලැබෙනවා. නමුත් 2024දී නෙමෙයි. 2027-2038 කාලය තුළ කොටස් වශයෙන්. එම කාලය තුළ එක් එක් කොටස වෙනුවෙන් 8.35% සිට 10% දක්වා වන කූපන් පොලියකුත් ලැබෙනවා. 

සාමාන්‍ය තත්ත්වය ඔය වගේ වුනත් 2023 වසර තුළ කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් විශේෂයක් කරලා තිබෙනවා. එම බැඳුම්කර ඉහත අලුත් බැඳුම්කර දොළහ එක්ක හුවමාරු නොකර මුල් හත එක්ක පමණක් හුවමාරු කරගන්න පුළුවන්. ඒ මේ විදිහට.

1. 2023-GC-1 බැඳුම්කරය: කල් පිරීම 2027, කූපන් පොලිය 8.35%, ප්‍රතිශතය 15%

2. 2023-GC-2 බැඳුම්කරය: කල් පිරීම 2028, කූපන් පොලිය 8.50%, ප්‍රතිශතය 15%

3. 2023-GC-3 බැඳුම්කරය: කල් පිරීම 2029, කූපන් පොලිය 8.65%, ප්‍රතිශතය 14%

4. 2023-GC-4 බැඳුම්කරය: කල් පිරීම 2030, කූපන් පොලිය 8.80%, ප්‍රතිශතය 14%

5. 2023-GC-5 බැඳුම්කරය: කල් පිරීම 2031, කූපන් පොලිය 8.95%, ප්‍රතිශතය 14%

6. 2023-GC-6 බැඳුම්කරය: කල් පිරීම 2032, කූපන් පොලිය 9.10%, ප්‍රතිශතය 14%

7. 2023-GC-7 බැඳුම්කරය: කල් පිරීම 2033, කූපන් පොලිය 9.25%, ප්‍රතිශතය 14%

මෙයින් අදහස් වන්නේ 2023 කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් පමණක් මුල් මුදල ටිකක් කලින් ආපසු ලැබෙනවා කියන එකයි. මුල් මුදල ආපසු ගන්න 2038 දක්වා ඉන්න අවශ්‍ය නැහැ. 2033 දක්වා සිටියහම ඇති.

තවත් වැදගත් කරුණක්. ඔය අලුත් බැඳුම්කර දොළහෙන් කොයි එකකට වුනත් සඳහන්ව තිබෙන කූපන් පොලිය ඒ විදිහටම මුදලින් ලැබෙන්නේ 2027 වර්ෂයෙන් පසුවයි. ඊට කලින් අදාළ දිනයේදී මුදලෙන් ලැබෙන්නේ 5%ක් පමණයි. ඉතිරි කොටස ගෙවන්නේ බැඳුම්කර වලින්. උදාහරණයක් විදිහට 2023-GC-1 වෙනුවෙන් මුදලින් 5%ක් සහ බැඳුම්කර වලින් 3.35%ක්. 2023-GC-7 වෙනුවෙන් මුදලින් 5%ක් සහ බැඳුම්කර වලින් 4.25%ක්. මේ විදිහට පොලී වල කොටසක් වෙනුවෙන් ලැබෙන බැඳුම්කර වලටත් 2027 සිට ඔය පිළිවෙලටම මුදලින් කූපන් පොලී ලැබෙනවා. 

මේ ක්‍රම දෙකට අමතරව ආයතනික නොවන පුද්ගල ආයෝජකයින් සඳහා වෙනම ක්‍රමයක් තිබෙනවා. ඔවුන්ට මුල් මුදලින් 50%ක් 2027දීත් ඉතිරි 50% 2028දීත් ලැබෙන පරිදි වෙනත් බැඳුම්කර දෙකක් ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් 2023 සිටම 10%ක කූපන් පොලියක් මුදලින්ම ලැබෙනවා. විශ්‍රාමිකයන්ටනම් 15%ක කූපන් පොලියක් ලැබෙනවා. කොහොම වුනත්, බැඳුම්කර වලින් වැඩි කොටසක් හුවමාරු වෙන්නේ මුලින් කියපු ක්‍රමයට. 

මේ වැඩෙන් රජයට ලැබෙන වාසිය කුමක්ද? 

ලංකාවේ වගේම ඝානාවේ IMF වැඩපිළිවෙළ හදලා තියෙන්නෙත් වැඩපිළිවෙළ ඉදිරියට යද්දී ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වෙන විදිහට. කිසියම් රටක් විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගටම පවත්වා ගත්තොත්, යම් නිශ්චිත අවම ආර්ථික වර්ධනයක් තිබෙනවානම්, කවදා හරි දවසක ඒ රටේ ණය ගෙවිලා අවසන් වෙනවා. දවස තීරණය වෙන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය කීයද, සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය කොපමණද, දදේනියට සාපේක්ෂව දැන් ණය බර කොපමණද යන කරුණු මත. මේ අතරවාරයේ යම් කාලයක් යන තුරු තවදුරටත් ණය ඉහළ යන නමුත් දදේනි ප්‍රතිශතයක් ලෙස ණය අඩු වෙනවා. මෙය සිදු වෙන විදිහ ගණිතය උපයෝගී කරගෙන පෙන්වන්න පුළුවන්. එය පසුවට තියමු. 

ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගටම තියෙනවා කියන්නේ රජයට ණය ගන්න අවශ්‍ය වෙන්නේ දැනට අරගෙන තිබෙන ණය පියවන්න සහ පොලී ගෙවන්න පමණයි කියන එක. දැනට අරගෙන තිබෙන ණය කොහොමටත් කවදා හරි ගෙවී අවසන් වෙනවානම්, ණය ප්‍රතිවුහගත කිරීමකදී වෙන්නේ රජය විසින් ණය ගෙවන විදිහ සැලසුම් කරගැනීමක් කියා කියන්නත් පුළුවන්. කල් පිරෙන කාලය දිගු කිරීම මගින් මේ වැඩේ ප්‍රසස්ථම විදිහට කරන්න පුළුවන්. මේ කතාව මේ විදිහටම ලංකාවටත් අදාළයි. 

දැන් මෙතැනදී කිසිම ණය කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ. පොලිය වුනත් නොගෙවා ඉන්නේ නැහැ. ණය ආපසු ගෙවන්න වැඩි කාලයක් ගත්තත් ඒ කාලය වෙනුවෙන් සාධාරණ පොලියක් ගෙවනවා. හැබැයි කිසිදු වසරකදී රජය ණය ගෙවාගන්න බැරුව හිරවෙන්නේ නැහැ. ඕනෑම වසරකදී ණය හා පොලී ආපසු ගෙවීම් රජයේ ආදායමෙන් යම් ප්‍රතිශතයක් නොඉක්මන විදිහට තමයි කල් පිරීම් ආකෘතිය වෙනස් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ රජය පැත්තෙන් ප්‍රශ්නය විසඳිලා.

රජය පැත්තෙන් ප්‍රශ්නය විසඳුනා කියලා හරියන්නේ නැහැනේ. ණයහිමියන්ගේ පැත්තෙනුත් මේ වැඩේ ආකර්ශනීය විය යුතුයි. ඒක වෙන්නේ මෙහෙමයි.

ඝානාව සැලසුම් කරන්නේ උද්ධමනය 8% මට්ටමේ තියාගන්න. ඒ අනුව, 8.3%-10% අතර පොලියක් කියන්නේ උද්ධමනය ඉක්මවන සාධාරණ පොලියක්. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් 1.15%ක මූර්ත පොලියක්. ඒක නරකම පොලියක් නෙමෙයි. නමුත්, වසරකින් ලැබෙන්න තිබෙන සල්ලි වසර 15කින් ලැබෙනවා කියන්නේ ඔය කාලය ඇතුළත හිරවීමක් වෙන්න පුළුවන් කියන එක. මේ අවදානම නිසා ණයහිමියෙක් තමන්ගේ බැඳුම්කර හුවමාරු කර ගැනීම ගැන දෙවරක් හිතනවා.

ඉහත කී ද්‍රවශීලතා ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඝානාව ද්‍රවශීලතා අරමුදලක් හදලා තිබෙනවා. ඒ වගේම එම අරමුදලෙන් පහසුකම් ලබා ගැනීම සඳහා යොදාගත හැක්කේ අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වර්ග පමණයි. පරණ බැඳුම්කර තියලා මේ පහසුකම ලබා ගන්න බැහැ. ගොඩක් බැංකු තමන්ගේ බැඳුම්කර හුවමාරු කරන්න පෙළඹී තියෙන්නේ මේ සීමා කිරීම නිසා. 

ලංකාවේ වැඩසටහනේ ඉලක්කය උද්ධමනය 5% මට්ටමේ තියාගෙන පොලී අනුපාතික 6.7% වගේ මට්ටමක තියා ගන්න එක. ඒ කියන්නේ ඝානාවේ ක්‍රමයට යනවානම් 6.7% කූපන් පොලියක් ගෙවමින් කල් පිරීමේ කාලය දිගු කිරීමක්. ඔය මට්ටමේ කූපන් පොලියක් වෙනුවෙන් තමන්ගේ බැඳුම්කර හුවමාරු කරගන්න ලංකාවේ බැංකු ඇතුළු ණයහිමියෝ කැමති නොවෙන්න පුළුවන්. කාලයකට පෙරම (2014දී) 2044දී කල් පිරෙන බැඳුම්කර නිකුත් කරලා තියෙන්නේ 13.5% තරම් ඉහළ කූපන් පොලියකට. ඒ අර්බුද එන්න ගොඩක් කලින්. ඒ නිසා, 2044 වැනි ඈත වර්ෂයක් දක්වා කල් පිරීමේ කාලය දිගු කළත්, ඔය මට්ටමේ ඉහළ කූපන් පොලියක් ගෙවන්නේ නැත්නම් කවුරුවත් තමන්ගේ බැඳුම්කර හුවමාරු කර ගනියි කියලා හිතන්න අමාරුයි. 

කලින් කියපු පරිදි, 2044 වගේ ඈත වසරකදී කල් පිරෙන බැඳුම්කර ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කරන එක වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. මොකද රජයේ සහ මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය 5% මගේ මට්ටමක තියාගන්න එකනම් 13.5% වගේ කූපන් පොලියක් ඔය ඉලක්කයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ 7% ආසන්න කූපන් පොලියක්. නමුත්, 13.5% පොලියක් ලැබෙන්න තියෙද්දී ණය හිමියෙක් කැමැත්තෙන්ම අඩු කූපන් පොලියක් භාර ගන්නෙත් නැහැ. 

කෙටිකාලීනව කල් පිරෙන බැඳුම්කර වලට මේ කතාව අදාළ නැහැ. අවුරුද්දකට පමණ පසුව පොලී අනුපාතික 7% වගේ මට්ටමකට අඩු වෙලා ඉදිරි වසර 20ක පමණ කාලය පුරාවට ඒ මට්ටමේ පවතිනවා කියලා පේනවානම් දිගුකාලීනව 8%ක කූපන් පොලියක් ලැබෙන බැඳුම්කරයකට මාරු වෙන එක ණයහිමියන්ට වාසිදායක තේරීමක්. ඒ නිසා යම් ස්වේච්ඡා හුවමාරුවක් වෙන්න පුළුවන්. හැබැයි එවැන්නක් විය හැක්කේ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ එකදිගටම ක්‍රියාත්මක වීම පිළිබදව තිබෙන විශ්වාසය මත පදනම්වයි. 

එවැනි විශ්වාසයක් බැංකු ඇතුළු දේශීය ණයහිමියන්ට තිබෙනවද? මම හිතන්නේ එවැනි විශ්වාසයක් නැහැ. ඉදිරි කාලයේ සිදු විය හැකි දේශපාලන ප්‍රවණතා නිසා අනාගතයේ බොහෝ දේවල් වෙන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ මේ විදිහටම අවුරුදු විස්සක් තිහක් එක දිගටම ක්‍රියාත්මක වෙයි කියලා සහතික වෙන්න පුළුවන් කාටද? 

ඉහත හේතුව නිසා කෙටිකාලීන හා මැදිකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර 8% වැනි මට්ටමක කූපන් පොලියක් ලබා දෙන දිගුකාලීන බැඳුම්කර එක්ක හුවමාරු කරන එක වුනත් අමාරු වැඩක්. මෙය කළ හැකි එක් ක්‍රමයක්නම් උද්ධමනය හා බැඳුණු කූපන් පොලී ගෙවන බැඳුම්කර නිකුත් කිරීමයි. උදාහරණයක් වෙනුවට 7%ක ස්ථිර කූපන් පොලියක් වෙනුවට උද්ධමනයට වඩා 2%කින් වැඩි කූපන් පොලියක්. උද්ධමනය 5%නම් වියදමේ වෙනසක් නැහැ. නමුත් යම් හෙයකින් උද්ධමනය සීමාව පැන්නොත් එහි පාඩුව රජයට විඳගන්න වෙනවා. මේ ආකාරයේ ප්‍රතිව්‍යුහගත කිරීමක් කළොත් ණයහිමියන්ගේ පැත්තෙන් සාර්ව ආර්ථික වැඩපිළිවෙළ ගැන තිබෙන සැක සංකා ඉවත් වෙනවා. 

Thursday, March 16, 2017

පර්පෙචුවල් ලාභ (හත්වන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)


පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 


පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)


පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)


පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)

පර්පෙචුවල් ලාභ (හයවන කොටස)

 

මහ බැංකු බැඳුම්කර සිද්ධිය අදාළව මේ වන විට අළුත් කරුණු එළිවෙමින් පවතින අතර, පර්පෙචුවල් ලාභ පිළිබඳව වඩා පරිපූර්ණ අළුත් ප්‍රවාදයක් ඉදිරිපත් වී තිබේ.

සියළු පාර්ශ්වයන්ට සම අවස්ථා ඇති පසුබිමකදී, කිසියම් සමාගමක් හෝ පුද්ගලයින් විසින් ව්‍යාපාරික කටයුත්තකින් ලාභ ලබා ගැනීම වරදක් නොවන අතර එයින් අදහස් වන්නේ එම ලාභ වලට අනුරූපව වෙනත් පාර්ශ්වයක් විසින් පාඩු ලබා ඇති බව නොවේ. තරඟකාරී තත්ත්වයකදී සියළු පාර්ශ්වයන් තමන්ගේ ලාභ හැකිතාක් වැඩි කර ගැනීමට කටයුතු කරන නිසා තමන්ගේ ආයෝජනයට, ගෙන ඇති අවදානමට හෝ සුවිශේෂී දක්ෂතාවයකට සරිලන ලාභ මිස ඊට වඩා වැඩි ලාභ ලබා ගැනීම කිසිවෙකුට පහසුවෙන් කළ නොහැකි දෙයකි.

ඉහත තත්ත්වය ඒ අයුරින්ම පවතින්නේ සියළු පාර්ශ්වයන් සිය ලාභ හැකිතාක් වැඩි කර ගැනීමට කටයුතු කරන්නේනම් පමණි. පෞද්ගලික සමාගමක හිමිකරුවන්ට එසේ නොකරන්නට හේතුවක් නැතත්, රජයට සම්බන්ධ ආයතනයක කටයුතු මේ අයුරින්ම සිදු නොවන්නට ඉඩ තිබේ. ඒ, එවැනි ආයතනයක ලාභ වැඩි කිරීමේ තීරණගන්නා පුද්ගලයින්ට එමඟින් සෘජු වාසියක් නොසැලසෙන බැවිනි.

අළුත් ප්‍රවාදය අනුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභ ලබා ඇත්තේ මහ බැංකුව විසින් පාලනය කෙරෙන සේවක අර්ථසාධක අරමුදලේ වියදමිනි. ඒ නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ බිලියන ගණනක ලාභ වලට අනුරූපව සේවක අර්ථසාධක අරමුදලට එවැනිම පාඩුවක් සිදුවී තිබේ. එමෙන්ම, මේ 'මගඩියට' පාර්ශ්ව ගණනාවක් සම්බන්ධය.

ප්‍රවාදය අනුව හිටපු මහබැංකු අධිපතිවරයාගේ උදවුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් රුපියල් 90 බැගින් බැඳුම්කර මිලදී ගෙන ඇති අතර ඉතා කෙටි කලක් තුළ එම බැඳුම්කර සේවක අර්ථසාධක අරමුදලට රුපියල් 120 බැගින් විකුණා තිබේ. මේ ගණුදෙනුව කිරීම සඳහා ලංකා බැංකුව විසින් ණය පහසුකම් සපයා ඇත. එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදලට සිය බැඳුම්කර සියල්ල සෘජුවම විකිණීම සැක උපදවන බැවින් එය කර ඇත්තේ වෙනත් ආයතන දෙකක් අතරමැදියන් ලෙස යොදාගනිමිනි.

මේ අළුත් ප්‍රවාදය පැරණි ප්‍රවාදයට වඩා තර්කානුකූල ප්‍රවාදයකි. පැරණි ප්‍රවාදය අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභ ලබා ඇත්තේ හිටපු මහබැංකු අධිපතිවරයාගේ උදවුවෙන් අඩු මිලකට, එනම් ඉහළ පොලී අනුපාතිකයකට, දිගුකාලීනව බැඳුම්කර වල ආයෝජනය කිරීම මඟිනි. මේ පළමු ප්‍රවාදය අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභ ලබා ඇත්තේ රජයට  පාඩු කරවමිනි. කෝප් වාර්තාවේ මෙන්ම විගණකාධිපති වාර්තාවේද විශ්ලේෂණ වල මූලික පදනම වූයේ මෙයයි.

පැරණි ප්‍රවාදය නිවැරදි නොවන බව මා විසින් පෙන්වා දී අවසන්ය. රජය වැඩියෙන් ණය ගන්නවානම්, වැඩි පොලී අනුපාතිකයක්ද ගෙවන්නට සිදුවන බවත්, පොලී ආදායම් මඟින් පමණක් මෙවැනි විශාල ලාභයක් ලැබිය නොහැකි බවත් මගේ පෙර ලිපි වලින් පැහැදිලි කෙරිණි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වැනි සමාගමකට ඔවුන් විසින් වාර්තා කර ඇති මට්ටමේ ඉහළ ලාභ ලැබීමේ හැකියාවක් ඇත්තේ අඩු මිලට ගන්නා බැඳුම්කර කෙටිකලක් තුළ වැඩි මිලට විකිණීම නැවත නැවතත් කිරීමෙනි. අනිසි උදවු නොලබමින්, මෙය කළ හැකි ආකාර දෙකකි.

පළමු ක්‍රමය, ප්‍රාථමික වෙන්දේසියේ ලන්සු තැබීමේදී අනෙක් තරඟකරුවන්ට සාපේක්ෂව උපාය මාර්ගිකව හැසිරීමට වැඩි කුසලතාවක් තිබීමයි. මේ මඟින් අඩු මිලට බැඳුම්කර හිමි කරගෙන ප්‍රාථමික වෙන්දේසියෙන් අනතුරුව වහාම වැඩි මිලකට විකිණීමේ හැකියාවක් තරඟකරුවෙකුට තිබේ.

දෙවන ක්‍රමය වන්නේ වෙළඳපොළ පොලී අනුපාතිකයන්ගේ කෙටිකාලීන උච්ඡාවචනයන් පසු හඹමින් පොලී අනුපාතික තාවකාලිකව ඉහළ ගොස් පහත වැටෙන්නට ආසන්න වෙද්දී ක්ෂණිකව බැඳුම්කර මිලදී ගෙන,  පොලී අනුපාතික පහත වැටී නැවත ඉහළ යන්නට ආසන්න අවස්ථා වලදී අතේ ඇති මේ බැඳුම්කර ක්‍ෂණිකව විකිණීමයි. මේ සඳහා පොලී අනුපාතික වල ඉදිරි කාලයේ හැසිරීම නිවැරදිව පුරෝකථනය කිරීමේ දක්ෂතාවයක් තිබිය යුතු අතර එය පහසු කටයුත්තක් නොවේ.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉතා සාර්ථක ලෙස මේ ක්‍රම දෙකම අනුගමනය කර තිබේ. ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස පිටුපස ඔවුන් ලද කිසියම් අයුතු වාසියක් තිබේද යන්න ඉදිරි විමර්ශන වලදී හෙළිවන්නට ඉඩ ඇති බැවින් මා මේ ලෙහෙමින් පවතින මල්ල ඔබන්නට යන්නේ නැත. දැනට මා විසින් සිදුකර ඇති විශ්ලේෂණ සියල්ල සිදුකර ඇත්තේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී ඇති පිළිගත හැකි තොරතුරු මත පදනම්ව මිස හිතළු මත නොවේ. එය ඉදිරියේදීද එසේම සිදුවනු ඇති අතර අළුතින් එකතු වනු ඇතැයි සිතිය හැකි තොරතුරු මගේ විශ්ලේෂණ සඳහා යොදා ගැනෙනු ඇත.

දෙවන ප්‍රවාදය අනුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් රුපියල් 90 බැගින් (වඩා නිවැරදිව රුපියල් 90.17 බැගින්) මිලදී ගෙන ඇත්තේ  රුපියල් මිලියන 3000ක බැඳුම්කර ප්‍රමාණයකි. මේ බැඳුම්කර එම සමාගම වෙනුවෙන් මිලදී ගෙන ඇත්තේ ලංකා බැංකුව විසින් නිසා ලංකා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට නැවත විකුණන්නට ඇත්තේ ඊට වඩා තරමක් හෝ වැඩි මිලකට බව සිතිය හැකිය. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් වෙන්දේසියෙන් සෘජුවම මිලදී ගෙන ඇති රුපියල් මිලියන 2000ක බැඳුම්කර ප්‍රමාණය මිල දී ගෙන ඇත්තේ රුපියල් 91.99-97.88 අතර වඩා ඉහළ මිලකටය. මෙයට අමතරව, ප්‍රාථමික වෙන්දේසියෙන් ගැනුම්කරුවෙකු විසින් බැඳුම්කර මිල දී ගන්නා අවස්ථාවේදී 10%ක රඳවා ගැනීමේ බද්දක්ද ගෙවිය යුතු බව මගේ අදහසයි.

දෙවන ප්‍රවාදය අනුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් කෙටි කලක් තුළ සෘජුව හා වක්‍රව සේවක අර්ථසාධක අරමුදල වෙත රුපියල් 120 බැගින් මේ බැඳුම්කර විකුණුවේද යන්න මා දන්නේ නැත. එවැන්නක් සොයා ගත හැකි විශ්වාස කටයුතු මූලාශ්‍රයක් මා සතුව නැත. එය එසේ සිදුවී ඇත්නම් එහිදී කිසියම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්ද යන්නත්, සේවක අර්ථසාධක අරමුදලට හා/හෝ රජයට එමඟින් අවාසියක් සිදුවී ඇත්ද යන්නත් අදාළ පාර්ශ්වයන් විසින් සොයා බැලිය යුතුය.

කෙසේ වුවත්, එක් කරුණක්නම් පැහැදිලිය. ඉහත ආකාරයේ සිදුවීමක් සිදුවී තිබුණත් ඒ හරහා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලබා ගත හැකි උපරිම ලාභය එම සමාගම විසින් වාර්තාකර ඇති ලාභයට වඩා බෙහෙවින්ම අඩුය. රුපියල් 90 බැගින් මිලදී ගෙන 120 බැගින් විකිණුවේනම් රුපියල් බිලියන 5ක බැඳුම්කර වලින් ලබාගත හැක්කේ රුපියල් බිලියන 1.5ක ලාභයකි. අප දන්නා පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභය එමෙන් හත් අට ගුණයකටත් වඩා වැඩිය. එමෙන්ම, 2015 වෙන්දේසියේදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම බැඳුම්කර මිලදී ගත්තේ රුපියල් 90ට වඩා තරමක් හෝ වැඩි මිලකට බවත්, එයින් ලංකා බැංකුවට හා ප්‍රවාදය අනුව මේ 'මගඩියට' හවුල් වූ අනෙකුත් ආයතන වලටද යම් ලාභයක් වෙන කළ යුතු බවත්, රඳවා ගැනීමේ බදු මුදල් ගෙවිය යුතු බවත් අපි දනිමු.

අදාළ වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා විසින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑමක් කළ බව පෙනෙන්නට තිබේ. වෙන්දේසි කාමරයට මහ බැංකු අධිපතිවරයා පැමිණීම සාමාන්‍ය දෙයක් නොවේ. මෙහිදී, ආයතන ප්‍රධානියාගේ බලතල ඉක්මවමින් ඔහු කටයුතු කර ඇත්ද යන්න අදාළ විමර්ශන කරන පුද්ගලයින්ට භාර කටයුත්තකි. 


එවැනි විමර්ශනයක ප්‍රතිඵල කවරක් වුවත්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ලබා ඇති සමස්ත ලාභය 2015 පෙබරවාරි 27 දින සිදුවූ අකටයුත්තකට බැර කළ නොහැකිය. එසේනම් මේ දෙවන ප්‍රවාදයෙන් විස්තර කෙරෙන "මගඩිය" අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලයට පෙරත්, ඔහුගේ කාලය තුළත්, ඉන් පසුවත් දිගින් දිගටම සිදුවුණා වන්නට පුළුවන.

මහ බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ප්‍රාථමික ගණුදෙණුකාර සමාගමක් ලෙස පත් කරන්නේ 2013 සැප්තැම්බර් 30 වන දිනයි. එවකට මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ අජිත් නිවාඩ් කබ්රාල්ය. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ පූර්ණ අයිතිය ඇත්තේ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමටය. අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය වන සිරෝමි වික්‍රමසිංහ, 2013 දෙසැම්බර් 23 දින පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක් බවට පත් වේ. 2014 පෙබරවාරි 05 දින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සිය රාජ්‍ය සුරැකුම්පත් ගණුදෙනු අරඹයි.

ආණ්ඩුමාරුව සිදුවී, 2015 ජනවාරි 09 දින ඉල්ලා අස්වන තුරු අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කරන අතර, සිරෝමි වික්‍රමසිංහ 2015 මාර්තු 9 දක්වා පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරයි. 2015 ජනවාරි 26 දින අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කෙරෙන අතර 'බෑණාට සැලකීම' ගැන කවුරුත් දන්නා සිදුවීම වෙන්නේ ඉන් මසකට පසුවය. 2016 ජූනි 30 දක්වා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස කටයුතු කරයි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම අධික ලාභ ලබන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් වූ දින සිට නොවේ. 2014 මාර්තු අවසානය වන විට මවු සමාගම වූ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගම විසින් යෙදවූ රුපියල් මිලියන 310.3ක ප්‍රාග්ධනයකට පමණක් හිම්කම් කියූ එම සමාගම පළමු වසර තුළ ලබන ලාභය මිලියන 959.5කි. මෙය 309.2%ක ප්‍රතිලාභ අනුපාතිකයකි.

මුල් වසරේ ලාභයෙන් වැඩි කොටසක් සමාගමේ ප්‍රාග්ධනයට එකතු කෙරෙන නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම දෙවන වසර අරඹන්නේ රුපියල් මිලියන 1,065.9ක ප්‍රාග්ධනයක් සමඟිනි. එම වසරේ ඔවුන් ලබන ලාභය රුපියල් මිලියන 5,124.3කි. ප්‍රතිලාභ අනුපාතිකය 480.7%කි.

දෙවන වසරේ අවසානය වෙද්දී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රාග්ධනය රුපියල් මිලියන 6,164.6 දක්වා ඉහළ යයි. මේ ප්‍රාග්ධනය යොදවමින් ඔවුහු ඊළඟ මාස හය තුළ තවත් රුපියල් මිලියන 6,815.3ක ලාභ උපයා තිබේ. එය සමසකට 108.8%ක හෙවත් වසරකට 229.4%ක ප්‍රතිලාභ අනුපාතිකයකි.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ කාලයේ, විශේෂයෙන්ම 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී  පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අනිසි වාසියක් සැලසුණු බව බොහෝ දෙනෙකු විශ්වාස කරති. මේ පිළිබඳ විමර්ශන තවමත් පැවැත්වේ. මේ හා අදාළව ශාක්ෂි දී ඇති ඇතැම් සාක්ෂිකාරියන්ගේ ප්‍රකාශ වල අවංකත්වය ගැන රටේ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ සහතික දීමට ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ ඔහු මේ සිද්ධිය වී ඇති ආකාරය පිළිබඳව පූර්ව නිගමනයක සිටින බවයි. මෙය යහපත් තත්ත්වයක් නොවේ.

හිටපු අධිපතිවරයාගේ ධුර කාලය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අනිසි වාසියක් ලැබී ඇති බවට මතුවන තර්කය බැහැර කළ නොහැකි වුවත්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ඉහළ ලාභ වලට එකම හේතුව එවැනි අනිසි වාසියක් විය නොහැකිය. අර්ජුන් මහේන්ද්‍රන්ට පෙර අධිපති ධුරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ පූර්ණ අයිතිය ඇති මවු සමාගමේ අධ්‍යක්ෂවරියකව සිටියද, අදාළ කාලය තුළ එම සමාගමට මහ බැංකුවෙන් කිසිදු අනිසි වාසියක් සැලසුණු බව වාර්තා වී නැත. ඒ කාලය තුළද පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රතිලාභ අනුපාතිකය 309.2% තරම් ඉහළ මට්ටමක පැවතුණේය. එමෙන්ම, අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිධුරයෙන් ඉවත් වීමෙන් පසුවද එම සමාගම 229.4% තරමේ ඉහළ ප්‍රතිලාභ අනුපාතික වාර්තා කරයි.

ඇතැම් විට පර්පෙචුවල් සමාගමේ ලාභ අනිසි ලාභ බව කිසියම් කොමිසමිකින් තීරණය කරනු ලැබ එයින් කොටසක් රජයට පවරා ගැනීම වැනි දෙයක් ඉදිරි කාලයේදී සිදුවන්නට බැරිකමක් නැත. ලංකාවේ කොමිෂන් වාර්තා වලින් කොමිෂන් පත් කරන්නන්ගේ පූර්ව නිගමන පිළිබිඹු වන්නට ඉඩකඩක් නැත්තේ නැත. එය එසේ සිදුවුවත් නොවූවත්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් හෝ වෙනත් එවැනි සමාගමක් විසින් බැඳුම්කර වෙළඳාමෙන් ඉදිරියේද මෙවැනි විශාල ලාභ ලැබීමට ඇති ඉඩකඩ තවමත් වැසී නැත.

Friday, March 3, 2017

මහ බැංකුවෙන් ගැසට් එක ගැන නිවේදනයක්!

මුදල් අමාත්‍යංශය විසින් මාධ්‍ය අවධානයට ලක් කෙරුණු ගැසට් පත්‍රය පිළිබඳව මහ බැංකුව විසින් පුවත්පත් නිවේදනයක්  නිකුත් කර තිබේ.

"ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෙන්දේසි ක්‍රමය මත පදනම් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම 1997 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. භාණ්ඩාගාර බැඳුම්කර, ප්‍රාථමික අලෙවිකරුවන් හරහා වෙන්දේසියේ නිකුත් කිරීම ආරම්භ වීමත් සමඟ භාණ්ඩාගාර බැඳුම්කරවල මිල සහ ප්‍රමාණය වෙළඳපොළ බලපෑම් හරහා තීරණය කෙරිණි. එම නිසා අදාළ ගැසට් නිවේදනයන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලින් පසුව ඉදිරිපත් වුවද දිනය සහ ගැසට් නිවේදන අංකය කලින් වෙන්කර ගන්නා ලද ඒවා විය. ශ්‍රී ලංකා මහ බැංකුව පවත්නා නීතිමය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පහත සඳහන් පියවරයන් ගන්නා ලදී.

(අ) එක් එක් මූල්‍ය වර්ෂයක් සඳහා වූ විසර්ජන පනත යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් අනුමත කරන ලද සීමාව තුළ යම් වර්ෂයක දී සිදු කරන ලද මුළු ණය ගැනීම් ප්‍රමාණය පවත්වාගෙන යන ලදී.


(ආ) මුදල් අමාත්‍යංශය මගින් සපයනු ලබන තොරතුරු මත පදනම්ව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හරහා රැස්කර ගත යුතු මුදල, පොලී අනුපාතය, වෙන්දේසි දිනය, පියවිය යුතු දිනය සහ කල්පිරීම් ඇතුළු සියලුම තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව භාෂා තුනෙන්ම ජාතික පුවත්පත්වල සහ එහි වෙබ් අඩවියෙහි ප්‍රකාශයට පත් කරනු ලබයි.


(ඇ) එක් එක් වෙන්දේසිය අවසාන වූ වහාම එම වෙන්දේසිට අදාළ ප්‍රතිපල ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා පොදු මහජනතාවගේ දැන ගැනීම පිණිස  බෙදා හැරේ.

නව භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩයක් නිකුත් කිරීමට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පවතින කාණ්ඩයන් නැවත විවෘත කිරීමක් ද සිදු කරන අතර ඒවා පිළිගත් ජාත්‍යන්තර ණය කළමනාකරණ පරිචයන්ට අනුකූලව කල්පිරීමට ඉතිරිව ඇති කාලසීමාව මත පදනම්ව නිකුත් කෙරේ. එම නිසා, සලකා බලන මූල්‍ය වර්ෂය තුළ අලුතින් නිකුත් කරන ලද මෙන්ම නැවත විවෘත කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ තොරතුරු කිසියම් වර්ෂයකට අදාල ගැසට් නිවේදනයෙහි අන්තර්ගත වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පණතේ නම් කරන ලද නීතිමය අවශ්‍යතාවයනට අනුකූලව කටයුතු කර ඇති බව තහවුරු කර සිටී.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පූර්ණ නෛතික අධිකාරීත්වයකින් සහ බලාත්මක බවකින් යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු මහජනතාව වෙත සහතික වේ.

මීට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතට අදාළ යෝග්‍ය සංශෝධනයන් කිරීමට ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශයන් සිදු කරනු ඇත.
"

මහ බැංකුව විසින් පසුගිය කාලය පුරා ක්‍රියාකර ඇති ආකාරයේ ඇති අඩුපාඩු වසා ගැනීමේ අරමුණින් නිකුත් කර ඇති මේ නිවේදනයේ කියැවී ඇත්තේ මහ බැංකුවට කියන්නට අවශ්‍ය කොටස පමණි.

පළමුව, මහ බැංකුව විසින් මේ නිවේදනය මඟින් භාණ්ඩාගාර බැඳුම්කර වල නෛතික වලංගුතාවය පිළිබඳ සහතිකයක් දී තිබේ. එය මේ වෙලාවේ කල් නොයවා කිරීම වැදගත්ය. ඇතැම් වෙබ් අඩවි වල ප්‍රචාරය කර තිබුණු පරිදි මේ බැඳුම්කර වල නෛතික වලංගු භාවයක් නොමැති බැවින් දැන් ආණ්ඩුවට පොලී මුදල් නොගෙවා සිටින්නට පුළුවන.

හෙජින් ගනුදෙනුව සිදුකිරීමෙන් පසුව ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය අනුව මෙවැනි දේවල් වුවත් වෙන්නට බැරිකමක් නැතත් එවැන්නක් සිදු වන්නට ඇත්තේ නොගිණිය හැකි තරමේ ඉඩකඩකි. යම් හෙයකින් ආණ්ඩුව බැඳුම්කර සඳහා පොලී නොගෙවා හිටියොත් හෝ එවැනි සඳහනක් හෝ කලහොත් ආණ්ඩුව ඉන්පසු ණය අරගෙන හමාරය. ඒ නිසා, ආණ්ඩුව එවැන්නක් කවදාවත් කරන්නේ නැත.

කෙසේවුවද, මේ සිදුවී ඇති දේ නිසා ආණ්ඩුවට නීතිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවන්නට බැරිකමක් නැත. කිසියම් අයෙකු මේ ගැන ප්‍රශ්න කරමින් නඩුවක් ගොනු කිරීම සිදුවිය හැක්කකි. සිදුවිය හැකි නරකම තත්ත්වයන් යටතේ උසාවියකින් මේ බැඳුම්කර වල වලංගු භාවය ප්‍රශ්න කළත්, ආණ්ඩුවට පණතක් සම්මත කරගෙන වැඩේ ගොඩදාගන්නට පුළුවන. කවුරු හෝ නඩුවක් ගොනුකරන්නට ඉඩ ඇතත්, උසාවියකින් එවැනි තීන්දුවක් දෙන්නට ඉඩකඩක් තිබීමේ හැකියාවක් වුවද පෙනෙන්නට නැත.

දැන් මේ ගැසට් පසුදාතම් දමා නිකුත් කිරීම ගැන මහ බැංකුව කියන කතාව කුමක්ද?

පුවත්පත් නිවේදනය අනුව, වෙන්දේසි ක්‍රමය මත පදනම් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම 1997 වර්ෂයේ දී ආරම්භ වී ඇති අතර එයින් පසුව භාණ්ඩාගාර බැඳුම්කරවල මිල සහ ප්‍රමාණය වෙළඳපොළ බලපෑම් හරහා තීරණය කෙරී ඇති බැවින් පවතින නීතියට අනුගත වීමේ හැකියාවක් මහ බැංකුවට තිබී නැත. ඒ නිසා, මහ බැංකුව විසින් කර ඇත්තේ මහ බැංකුවට කළ හැකි හොඳම දෙයයි. මහ බැංකුව කියන පරිදි පුවත්පත් හා මහ බැංකු වෙබ් අඩවිය හරහා තොරතුරු ප්‍රසිද්ධ කිරීම මඟින් මහා බැංකුව විසින් නීතිය අනුගමනය නොකළත්, නීතිය මඟින් අපේක්ෂා කළ දෙය ඉටු කර තිබේ. නීතියේ අරමුණ මහබැංකුව විසින් ඉටු කර ඇති නිසා මහ බැංකුවේ වැරැද්දක් නැත. වැරැද්ද තියෙන්නේ නීතියේය. ඒ නිසා, මහ බැංකුව විසින් ඉදිරියේදී නීතිය වෙනස් කිරීමට කටයුතු කරනු ඇත.

මහ බැංකුව මේ කියන්නේ ඇත්තද?

මේ කියන නීතිය, එනම් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම් ආඥා පණත 2004 වසරේදී සංශෝධනය කෙරුණු අතර මහ බැංකුව එම සංශෝධනය කිරීමේදී මූලිකත්වය ගත් ආයතනයකි. ඒ වන විට, මේ වෙන්දේසි ක්‍රමය ආරම්භ වී අවුරුදු හතක්ම ගතවී අවසානය. මෙවැනි ප්‍රශ්නයක් තිබුණානම් නීතිය ඒ වෙලාවේ සංශෝධනය කරන්නට මහ බැංකුවට පුළුවන්කම තිබුණේය. එහෙත්, මහ බැංකුව එසේ නොකළේය.

එයින් පසුව, දැන් තවත් වසර 13ක් ගෙවී ඇති අතර මේ වසර 20 පුරාවටම නීතිය වෙනස් කරගැනීමට මහ බැංකුවට මතක් වුණේ නැත. දැන් හදිසියේම එය මතක් වී ඇත!

නීතියේ ඇත්තටම ඔය කියන විදිහේ වැරැද්දක් නැත. නීතිය අනුව, පොලී අනුපාතික කලින් දැනුම් දෙන්නටද අවශ්‍ය නැති අතර පොලී අනුපාතික තීරණය කරන ක්‍රමවේදය ප්‍රසිද්ධ කිරීම ප්‍රමාණවත්ය. මහ බැංකුව එසේ නොකරන්නේ එදා මෙන්ම අදත් මහ බැංකුවට එවැනි ක්‍රමවේදයක් නැති බැවිනි.

වෙන්දේසියකදී මිල හා ප්‍රමාණය යන දෙකම එකවර තීරණය කිරීම පාරදෘශ්‍ය ක්‍රමයක් නොවේ. එවැනි ක්‍රමයක් පවතින විට තමන්ට අවශ්‍ය අයෙකුට 'සැලකිල්ලක්' කිරීමට මහ බැංකුවට නීතියෙන්ම ඉඩක් ලැබේ. ඒ නිසා, කළ යුත්තේ දැනට පවතින වැරදි ක්‍රමය නීතිගත කිරීම නොව පවතින නීතියට අනුගත වීමයි.

ආයතනික ක්‍රියාපටිපාටියක වැරැද්දක් තිබීම පුද්ගලයෙකු අතින් වැරැද්දක් සිදුවනවාට වඩා අතිශයින්ම හානිකරය. මුදල් ඇමතිලා මෙන්ම, මහ බැංකු අධිපතිලාද වෙනස් වේ. එවිට, පුද්ගලයින් වශයෙන් ඔවුන්ගෙන් සිදුවෙමින් පැවති වැරදි නැවත තවදුරටත් එසේම සිදු නොවේ. එහෙත්, ආයතනික ක්‍රියාපටිපාටියක ඇති වැරදි එසේ පුද්ගලයා මාරු වූ පමණින් නිවැරදි නොවේ. ඉදිරියේදී හෝ මහ බැංකුව විසින් කළ යුත්තේ මේ ගැසට් නිවේදනය වෙන්දේසි පැවැත්වීමට පෙර ප්‍රසිද්ධ කිරීමයි.

මෙහිදී එල්ලවී ඇති චෝදනාව වන්නේ සෘජු ප්‍රදාන ලෙස සිදු කළ නිකුතුද, වෙන්දේසි නිකුතු අස්සේම සඟවනු පිණිස මහ බැංකුව මෙසේ වසරකට පසු ගැසට් නිවේදන නිකුත් කළ බවයි. මහ බැංකුව සිය පුවත්පත් නිවේදනයේ ඒ ගැන කිසිවක් නොකියන්නට පරිස්සම් වී තිබේ.

සෘජු ප්‍රදාන ලෙස විකිණූ බැඳුම්කර පුවත්පත් වල ප්‍රසිද්ධ කර නැත. එක් එක් වෙන්දේසිය වෙනවෙනම ගැසට් නොකර එකම වර්ගයක බැඳුම්කර සියල්ල එකවර ගැසට් කිරීමෙන් මේ සෘජු ප්‍රදාන වෙන්දේසි නිකුතු අතර සැඟවිය හැකිය. මහ බැංකුව විසින් පසුදාතම් දමා ගැසට් නිවේදන මුද්‍රණය කර ඇත්තේ ඒ සඳහා වන්නට පුළුවන. එසේ නැතුව, නීතියේ අරමුණ ඇත්තටම ඉටුකර තිබේනම් ගැසට් නිවේදනයට පරණ දිනයක් දැමීමේ අවශ්‍යතාවයක් නැත. මෙසේ පරණ දිනයක් දැමූ විට පසු කාලයකදී මේ ගැසට් පරිශීලනය කරන අයෙකුට පෙනී යන්නේ වෙන්දේසි පැවැත්වීමට පෙර වසර මුලදී සියළු විස්තර ගැසට් කරමින් මහ බැංකුව පාරදෘශ්‍ය ලෙස කටයුතු කර ඇති බවයි. එහෙත්, ඇත්ත එය නොවේ.


(Image: Lankainformation.lk)

Wednesday, March 1, 2017

ගැසට් එක බොරුවක්ද?

(මෙම ලිපිය මාර්තු 01 දින සංශෝධනය කෙරෙණි. අළුතින් එකතු කළ කොටස් දුඹුරු පැහැයෙන් දක්වා තිබේ.)

අද "බැඳුම්කර නාට්‍යයේ" දෙවන සංවත්සරය සැමරෙන දිනයයි. වසර දෙකක් ගතවී ඇතත්, මේ නාට්‍යය සඳහා වන ප්‍රේක්ෂක ප්‍රතිචාර තවමත් අඩු වී නැති අතර වරින් වර නාට්‍යට එකතුවන අළුත් කොටස් හා අළුත් නළු නිලියන් නිසා කුතුහලය එන්න එන්නම වැඩි වේ.

පසුගිය සති කිහිපය තුළ මේ නාට්‍යයට අළුත් ජවනිකා දෙකක් එකතු විය. එයින් පළමුවැන්න පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ 2016 මාර්තු- සැප්තැම්බර් අතර සමසක කාලය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනයි. අදාළ කාලය තුළ එම සමාගම විසින් වලින් රුපියල් මිලියන 6,815.3 ක ලාභයක් ලබා තිබේ. ඊට පෙර වසර තුළ එම සමාගම විසින් රුපියල් මිලියන 5,124.3 ක ලාභයක් ලබා තිබුණේය. මේ අනුව, මාස 18ක් තුළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ලබා ඇති ලාභය රුපියල් බිලියන 12කට ආසන්නය.

දෙවැනියට, බැඳුම්කර නිකුතු හා අදාළව හිටපු ජනාධිපති හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කෙරුණු 2015 ජනවාරි 01 දාතමැති ගැසට් නිවේදනයක්ද, තමන්ගේ නමින් නිකුත්ව තිබුණු එම ගැසට් නිවේදනය පිළිබඳ වගකීම ප්‍රතික්ෂේප කරමින් මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ මාධ්‍ය නිවේදනයක්ද මේ ලැයිස්තුවට එකතු විය. අදාළ ගැසට් නිවේදනය අනුව, 2015 පෙබරවාරි 27 දින මහ බැංකුව විසින් රුපියල් මිලියන දසදහස් පනස් අටක් වර්ෂයකට සියයට 12.5ක පොලියකට තිස් අවුරුදු කාලයක් සඳහා ලබාගෙන ඇත්තේ 2015 ජනවාරි 01 දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් එසේ කරන ලෙසට අදාළ නිලධාරීන්ට නිකුත් කර ඇති ආඥාවක් අනුවය.

මේ ගැසට් කතාව කුමක්ද?

මේ පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් මේ වන තුරුත් කිසිදු ප්‍රධාන හෝ අප්‍රධාන මාධ්‍යයක සිදු කෙරී නොමැති බව පෙනේ. මේ ඒ දැනගන්නට උනන්දුවක් දක්වන අයට "සිදුවී ඇති දෙය ගැන" පැහැදිලි කිරීමකි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපණතේ හතරවන වගන්තිය අනුව රජය විසින් බැඳුම්කර නිකුත් කිරීම මඟින් ණය ලබා ගැනීමට පෙර පහත විධිවිධාන අනුගමනය කළ යුතුය.

"මූල්‍ය විෂය සම්බන්ධ වගකීම දරන අමාත්‍ය වරයා විසින් මෙම ආඥාපණතේ විධිවිධාන ප්‍රකාර ලබා ගැනීමට නියමිත එක් එක් ණය මුදල හා අදාළව පහත කරුණු ඇතුළත් ආඥාවක් නිකුත් කර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කළ යුතුය.
(අ) ලබා ගැනීමට නියමිත ණය මුදල
(ආ) එම ණය ලබා ගන්නා ආකාරය හා ක්‍රමවේදය
(ඇ) ගෙවන පොලී අනුපාතිකය හෝ එම පොලී අනුපාතිකය තීරණය කරන ක්‍රමය
(ඈ) පොලී මුදල් ගෙවීමට නියමිත දින වකවානු
(ඉ, ඊ) මුල් මුදල ආපසු ගෙවීම හා අදාළ දින වකවානු ඇතුළු තවත් කරුණු"

දැන් පෙනෙන්නට ඇති පරිදි කාලයක් තිස්සේම මේ දේවල් නිසි ලෙස සිදුවී නැති අතර මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය (මුදල් ඇමතිද ඇතුළුව) විසින් හොඳින් "නීතිය නවා" තිබේ. එමෙන්ම, මේ තත්ත්වය මේ වන තුරුත් වෙනස් වීද නැත.

නීතිය අනුව පාරදෘශ්‍ය ලෙස සිදුවිය යුතු වුවත්, මහ බැංකුව විසින් වෙන්දේසියකදී ලබාගන්නා අරමුදල් ප්‍රමාණය හිතුමතේට වෙනස් කර ඇති /වෙනස් කරන අතර එම හේතුව නිසාම පොලී අනුපාතිකය තීරණය කරන ක්‍රමයද පාරදෘශ්‍ය නොවන ක්‍රමයකි. මෙසේ කිරීම නීත්‍යානුකූල නොවන නිසා අදාළ නිලධාරීන් විසින් මේ කටයුත්තට නීතිමය ආවරණය ලබාගැනීම සඳහා අනුගමනය කර ඇත්තේ 1984 ප්‍රබන්ධයේ ක්‍රමයි. එනම්, තමන්ගේම ක්‍රමයකට වෙන්දේසි පවත්වා හෝ සෘජු විකිණීම් ලෙස බැඳුම්කර නිකුත්කර මාස ගණනාවකට පසුව ජනවාරි මාසයේදී නිකුත් කළ ලෙසින් ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මේ සියළු තොරතුරු ඔහු විසින්ම මේ අයුරින්ම විස්තර කර තිබේ. එයින් සිදුවී ඇත්තේ නීතිය නැවීමක් බව තවමත් ඔහුට නොතේරෙන බව එයින් පෙනේ.

මේ ආකාරයෙන් 2013 වසරේදී මිල දී ගැනීමට නියමිත බැඳුම්කර පිළිබඳව නිවේදනය එම බැඳුම්කර නිකුත් කර මාස ගණනාවකට විසිඑකකට පමණ පසුව 2014 සැප්තැම්බර් මාසයේදී 2013 ජනවාරි 01 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ ආඥාවක් ලෙස නිකුත් කර තිබේ. මේ අයුරින්ම, 2014 වසරේදී මිල දී ගැනීමට නියමිත බැඳුම්කර පිළිබඳව නිවේදනය 2014 ජනවාරි 29 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ ආඥාවක් ලෙස එම 2015 වසරේ සැප්තැම්බරයේදී පමණ නිකුත් කර තිබේ. ඒ වන විටද, මුදල් ඇමති ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ නොව රවී කරුණානායකයි. මහ බැංකුවේ අධිපති වූයේ අර්ජුන් මහේන්ද්‍රන්ය. මෙසේ 2015 අගදී පළවූ 2014 වසර සඳහා වන ගැසට් පත්‍රය වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වී නොමැති බව පෙනේ. මුද්‍රණය කළ දිනය මා අනුමාන කරන්නේ මේ ගැසට් වල පහතින් ඇති අනුක්‍රමික අංක අනුවය.

2014 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව මුදල් අමාත්‍ය ධුරය වෙනස්වූ බැවින්, වසර ගණනක් මේ අයුරින් සිදු කළ පසුදාතම් දැමීමේ  කටයුත්ත අවුල් වී ඇති බව පෙනේ. මෙහිදී, 2015 වසර සඳහා වූ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත්තේ 2015 ජනවාරි මාසයේ සිදුකරන අයුරින් වුවත් ඇත්තටම එය කර ඇත්තේ 2016 නොවැම්බර් මාසයේදී පමණ බව අනුමාන කළ හැකිය. ඇතැම් විට, මහ බැංකුවේ නිලධාරීන් විසින් 2014 හා 2015 වසර වල ජනවාරි මාසයේදී වලදී මේ ආඥාවට මහින්ද රාජපක්ෂගේ අත්සන ගෙන මාස ගණනාවකට පසු සකස් කරන ලද උපලේඛණයක්ද සමඟ නොවැම්බරයේදී රජයේ මුද්‍රණාලයට යැවුවා විය හැකිය.

පෙනී යන කරුණු අනුව, ගැටළු සහගත 2015 වසර පැත්තකින් තිබ්බත්, 2016 ජනවාරි සිට මේ දක්වා නිකුත් කර ඇති බැඳුම්කර හා අදාළ ගැසට් නිවේදන මේ වන තුරුත් ප්‍රකාශයට පත්වී නැත. ඒ නිසා ඒ සුරැකුම්පත් වල නෛතික වලංගු භාවය පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් තිබෙන්නට වුවද කිසියම් ඉඩක් තිබේ. පෙනෙන්නට ඇති පරිදි, මේ තත්ත්වය පසුගිය කාලය මුළුල්ලේම මේ අයුරින් අවිනිශ්චිතව පැවතී ඇත.
මේ ගැසට් නිවේදන පරිශීලනය කර ඇති බොහෝ දෙනෙකුට ගැටළුවක් වී ඇත්තේ පෙර වසරක නිකුත් කර ඇති බැඳුම්කර නැවත නිකුත් කිරීමට ආඥා කර ඇත්තේ ඇයිද යන්නයි. මෙය ඉතා සරල කරුණකි. පෙර නිකුත් කර ඇති කාණ්ඩ වලට අයත් සුරැකුම්පත් තවත් කිසියම් ප්‍රමාණයක් පසුව නිකුත් කිරීම මහ බැංකුව විසින් බොහෝ විට කරන දෙයකි. උදාහරණයක් ලෙස 2015 පෙබරවාරි 27 දින නිකුත් කළ 30 අවුරුදු බැඳුම්කරයක අද වන විට කල්පිරීමට ඉතිරිවී ඇති කාලය අවුරුදු 28කි. මෙහිදී මහ බැංකුව විසින් කරන්නේ අවුරුදු 28ක බැඳුම්කරයක් නිකුත් කිරීම වෙනුවට වසර දෙකක් පැරණි අවුරුදු 30ක බැඳුම්කර අද අළුතින් නිකුත් කිරීමයි. එසේ කළ විට මේ බැඳුම්කර පෙර නිකුත් කර ඇති බැඳුම්කර වලට හරියටම සමාන වන අතර එසේ කිරීමෙන් ලැබෙන වාසිය විස්තර කරන්නට මා මෙහි ඉඩ ගන්නේ නැත.

මේ කරුණ අඩුම වශයෙන් වසර ගණනක් මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරමින් මේ ආඥා නිකුත් කළ මහින්ද රාජපක්ෂට තවමත් නොතේරෙන බව පෙනේ. සිය මාධ්‍ය නිවේදනයේ 2011 සිට නිකුත් කළ බැඳුම්කර ගැන ඔහු කතාකරන්නේ ඒ නිසාය. ඇත්තටම මේ සියල්ල 2015 වසරේදී නිකුත් කළ බැඳුම්කරයි. ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් කරන්නේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලේඛණ වලට කණ අස්සන ගැහීම පමණක් බව මේ මාධ්‍ය නිවේදනය හරහා ඔහු විසින් තහවුරු කරයි. එහි වාසිය ගන්නේ නිලධාරීන් විසිනි.


එමෙන්ම, මේ හා අදාළව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ බව කියන, මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා පත්තරෙන් දැක ඇති, මාධ්‍ය නිවේදනය සඳහා දායක වූ අයටද මේ කරුණ ගැන අවබෝධයක් තිබී නැති බව පෙනේ.

(Image: http://www.dailymail.co.uk/wires/afp/article-2842108/Sri-Lanka-president-seeks-election-snap-polls.html)

Sunday, February 19, 2017

පර්පෙචුවල් ලාභ (හයවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)

 

දැන් අපි දන්නා පරිදි රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්නෙකුට ලාභ ලැබිය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න, ආයෝජනය කල් පිරෙන තෙක් සිට පොලී ආදායම ලබා ගැනීමයි. දෙවැන්න, කල් පිරෙන්නට පෙර 'සුදුසු අවස්ථාවේදී' මේ රාජ්‍ය සුරැකුම්පත් වෙනත් අයෙකුට විකුණා ප්‍රාග්ධන ලාභයක් ලැබීමයි.

පළමු ක්‍රමයේ ප්‍රතිලාභ සාපේක්ෂව අඩු අතර අවදානමද සාපේක්ෂව අඩුය. දිගුකාලීනව ආයෝජනය කිරීම කෙටිකාලීන ආයෝජන වලට සාපේක්ෂව අවදානම් සහගත වුවත් මෙසේ ආයෝජනය කරන්නේ තමන්ගේම මුදල් හෝ කෙටි කලකින් ආපසු ගෙවිය යුතු නැති වෙනත් අයෙකුගේ මුදල්නම් වැඩි ප්‍රතිලාභයක් වෙනුවෙන් මේ වැඩි අවදානම ගන්නට බැරිකමක් නැත. එමෙන්ම, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් හා අදාළව මේ 'දිගු කාලය' වන්නේ වසර තිහකි. අවදානම එම කාලය අතරතුර රජය බංකොලොත් වී ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානමයි.

රජය බංකොලොත් වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත වුවත් වසර තිහක් වැනි දිගුකාලයක් ඇතුළත ලංකාව වැනි ණය උගුලක පැටලී සිටින රටක් බංකොලොත් වීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක්කකි. කෙසේ වුවද, මෙවැනි දිගු ආයෝජනයක් කිරීමෙන් වුවද ලබාගත හැකි වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය 13-14% මට්ටම නොඉක්මවයි. පොලී ආදායම් වලින් පමණක් කිසිවකුගේ ආයෝජන වෙනුවෙන් 500%ක් වැනි විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් නැත.

ඉතා වැඩි අවදානම් සහගත ක්‍රමයක් වන දෙවැනි ක්‍රමයෙන් මුල් ආයෝජනය මෙන් 5-6 ගුණයක නොව ඊටත් වඩා වැඩි ප්‍රතිලාභයක් වුවද ලබා ගැනීමට කිසියම් ඉඩක් පවතී. මෙහිදී මා දෙවැනි ක්‍රමය ලෙස හඳුන්වන්නේ සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජන කරන, දිගු කාලයකට අරමුදල් හිරකළ හැකි, අයෙක් අවස්ථාව හඳුනාගෙන ආයෝජනයක් කලින් මුදල් කිරීම නොවේ. ආයෝජන ක්‍රමෝපායයක් ලෙසින්ම තමන් සතුව නැති හෝ තමන්ට දිගුකාලයකට හිරකළ නොහැකි අරමුදල් කෙටිකලකින් ද්වීතියික වෙළඳපොළේ විකුණා අධික ලාභයක් ලැබීමේ අරමුණින්ම දිගුකාලීනව ආයෝජනය කිරීමයි. මෙවැනි අයෙකු බොහෝ විට දිගුකාලීන සුරැකුම්පතක ආයෝජනය කරන්නේ කෙටිකාලීන ණයක් ලෙස ලබාගත් අරමුදල් වන්නට පුළුවන.

මේ දෙවන ක්‍රමයේදී ආයෝජකයා නිරත වන්නේ සූදුවකයැයි කීම නිවැරදිය. පළමු ක්‍රමයේදී, ලැබෙන ආදායම බොහෝ දුරට යටකරන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභයයි. එහි ඇති අවදානම් අධිභාරය විශාල නැත. දෙවන ක්‍රමයේ ලැබෙන ආදායම බොහෝ දුරට අවදානම් අධිභාරයකි. එහිදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභය ලෙස ලැබෙන කොටස සාපේක්ෂව අඩු මුදලකි. මෙසේ ණයට ගත් හෝ 'නැති මුදල්' ආයෝජනය කිරීම සූදුවක් වන්නේ එබැවිනි.

කෙසේවුවද, රජය බංකොලොත් වීමේ ඉඩකඩ අමතක කළහොත් මේ සූදුව 'හොඳ' සූදුවකි.

සාමාන්‍යයෙන් සූදුවක ස්වභාවය වන්නේ එහි දිගින් දිගටම නියැලෙන අයෙකු අනිවාර්යයයෙන්ම පරාජිතයෙකු වීමයි. ඒ, සාමාන්‍ය සූදුවකින් අපේක්ෂා කළ හැකි දිගුකාලීන ප්‍රතිලාභ දිගුකාලීනව සූදුව වෙනුවෙන් වැය කරන මුදලට වඩා නොවැඩි බැවිනි. එහෙත්, මේ සූදුවේදී -රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී හැර- සූදුවෙහි දිගින් දිගටම නිරත වීමෙන් ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව තිබේ.

ඉහත කරුණ මෙසේ පැහැදිලි කළ හැකිය. රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී හැර, රටක පොලී අනුපාතික වසර හත අටකට වරක් පුනරාවර්තනය වන චක්‍රයක ඉහළ පහළ ගියත් දිගුකාලීනව කිසියම් ස්ථාවර මට්ටමක පවතී. ඒ නිසා දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ යාමට හා පහළ යාමට ඇති ඉඩකඩ ආසන්නව සමානය.

අප පෙර ලිපියේ (පස්වන කොටසේ) උදාහරණයකින් පැහැදිලි කළ පරිදි, පොලී අනුපාතික වෙනස් නොවුවහොත් දෙවසරක බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට වසරකට පසු එය විකුණා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකිය. වසරක කාලය තුළ පොලී අනුපාතික පහළ ගියහොත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි අතර, පොලී අනුපාතික ඉහළ ගියද ඒ ඉහළ යාම ඉතා සුළු ඉහළ යාමක් පමණක්නම් එහිදීද වැඩි ලාභයක් ලැබිය හැකිය. පාඩුවක් වන්නේ පොලී අනුපාතික කිසියම් මට්ටමක් ඉක්මවා ඉහළ ගියහොත් පමණි. රජය (හෝ වෙනත් බැඳුම්කර නිකුත් කරන්නෙකු) ආර්ථික වශයෙන් ස්ථාවරනම් මේ ඉඩකඩ 50%ට වඩා අඩු නිසා සූදුවෙන් දිගුකාලීනව ලාභයක් ලබන්නට පුළුවන.

කෙසේ වුවද, රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී, පොලී අනුපාතික එන්න එන්නම වැඩි වනවා මිස අඩු වීමට ඉඩක් නැති නිසා ඉහත පරිදි ලාබයක් ලැබිය නොහැකි අතර විශාල අලාභයක් වුවද සිදුවන්නට පුළුවන. එවැනි විටෙක වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් මේ ආකාරයේ අවදානමක් ගන්නා ආයෝජකයෙකුට සිදුවන්නේ විශාල පාඩුවක් ලබමින් වුවත්, ඊටත් වඩා වැඩි පාඩුවක් විඳින්නට ඇති ඉඩකඩ වලක්වා ගැනීමේ අරමුණින් සිය ආයෝජන ක්ෂණිකව විකුණා දමන්නටය. මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කර ආයෝජන පාඩු ලබමින් විකුණා දැම්මේ මේ පදනමිනි.

දිගුකාලීනව මුදල් හිර කර තැබීමේ හැකියාව ඇති සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයක් අනුගමනය කරන්නේ මේ ක්‍රමවේද දෙකෙන් පළමු ක්‍රමවේදයයි. 2015 වසර තුළදී සේවක අර්ථසාධක අරමුදල විසින් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 144,226ක ආදායමක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 143,055ක්ම (99.2% ක්) උපයා ඇත්තේ පොලී අදායම් වශයෙනි. ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස උපයා ඇත්තේ රුපියල් මිලියන 1,171ක් පමණි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභාලාභ ගිණුම් දෙස බැලූ විට පෙනෙන්නේ තනිකරම මෙහි අනිත් පැත්තයි. එම සමාගම විසින් 2015 වසර තුළදී රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර උපයා ඇති රුපියල් මිලියන 5,574.8ක මුදලින් ශුද්ධ පොලී ආදායම් ලෙස උපයා ඇති රුපියල් මිලියන 353.6ක් (6.34%ක්) පමණි. ඉතිරි ආදායම් උපයා ඇත්තේ ප්‍රාග්ධන ප්‍රතිලාභ වශයෙනි.

එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් කරන්නේ ආයෝජනය කිරීමකට වඩා සූදුවක නිරත වීමක් වැනි දෙයකි. ඔවුන්ගේ රුපියල් මිලියන 353.6ක් වන ශුද්ධ පොලී ආදායමෙහි සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ වඩාත් පැහැදිලි වේ. එම සමාගම වසර තුළ පොලී ආදායම් ලෙස රුපියල් මිලියන 942.8ක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 589.2ක්ම පොලී වියදම් ලෙස ආපසු ගෙවා තිබේ. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් වැඩිපුර ආයෝජනය කර ඇත්තේ වෙනත් අයගෙන් අඩු පොලියකට ණයට ගත් මුදල් බවයි. එසේනම්, ඔවුන්ගේ ව්‍යාපාරික ක්‍රමෝපායය වී ඇත්තේ අඩු පොලියට කෙටිකාලීන ණය ගනිමින්, වැඩි පොලී ලබා දෙන දිගුකාලීන ආයෝජන වල එම අරමුදල් යොදවා, මේ දිගුකාලීන බැඳුම්කර ඉතා ඉක්මණින් නැවත ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ප්‍රාග්ධන ලාභයක් මෙන්ම පොලී ආන්තිකයක්ද ඉපැයීමයි. ඉතා අවදානම් සහගත මේ සූදුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉතා හොඳින් ක්‍රීඩා කර තිබේ.

එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉපැයූ ඉතා විශාල ප්‍රතිලාභ අනුපාතිකය ඔවුන්ගේ සුවිශේෂී අවදානම් කළමණාකරණ කුසලතාවය මත උපයාගත් දෙයක්ද? එසේ නැත්නම්, වාසනාවට ලැබුණු දෙයක්ද? එසේත් නැත්නම්, අවදානම් කළමණාකරණ කුසලතාවය සඳහා ලැබිය හැකි ප්‍රතිලාභ මඟින් හා හුදෙක් වාසනාව මත ලැබිය හැකි ප්‍රතිලාභ වලින් පමණක් පැහැදිලි කළ නොහැකි 'වෙනත්' කොටසක් මෙහි තිබෙනවාද?

මේ ප්‍රශ්න වලට අපට නිශ්චිත පිළිතුරු දිය නොහැකි වුවත්, ප්‍රසිද්ධව ඇති තොරතුරු මත පදනම්ව, සිදුවිය හැකිව තිබුණු දේවල් යම් තරමකට විමර්ශනය කිරීමට බැරිකමක් නැත. අපි එය හෙමින් සැරේ කරමු.

Friday, February 17, 2017

පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

 

දැන් අප දන්නා පරිදි, රාජ්‍ය සුරැකුම්පතක දිගුකාලීනව ආයෝජනය කිරීම වැඩි අවදානමක් ගෙන දෙනවා මෙන්ම වැඩි ප්‍රතිලාභද ගෙන දේ. ඒ නිසා, වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරන ආයෝජකයෙකු සිතන්නේ තමන්ට කොපමණ කලක් අරමුදල් හිර කර තැබිය හැකිද යන්නයි. කෙසේ වුවද, දිගු පරිණත කාලයක් ඇති රාජ්‍ය සුරැකුම්පතක් මිල දී ගන්නා ආයෝජකයෙකු තමන් මුලදී අපේක්ෂා කළ ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැම විටම සුරැකුම්පතේ පරිණත කාලය අවසන් වන තුරු සිටිය යුතු නැත.

මෙය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා අපි පසුගිය (සිවුවන) කොටස සමඟ පළ කළ, ඔබේ පහසුව සඳහා මෙහි පහත නැවත පළ කරන, දෙවන වගුවේ අවසන් සිරස් තීරුව වෙත හැරෙමු. 2015 පෙබරවාරි 11න් අවසන් වූ සතිය තුළ පැවති රාජ්‍ය සුරැකුම්පත් ද්වීතියික වෙළදපොල පොලී (ඵලදා) අනුපාතික එහි ඔබට පෙනේ. මේ වගුවේ පෙර සිරස් තීරු වලින් මෙන්ම පහතින් ඇති දෙවන රූප සටහන මඟින්ද පෙන්වා ඇති පරිදි පිළිවෙළින් වසරක හා දෙවසරක කාලයකට පසු සියළුම පරිණත කාල සඳහා වන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 



කෙසේ වුවද, මෙය 2015 පෙබරවාරි 11 දින කිසිවකු නිශ්චිතවම දැන නොසිටි තත්ත්වයකි. තවත් වසරකට පසු පොලී අනුපාතික සමස්තයක් ලෙස ඉහළ යන්නට වැඩි ඉඩකඩක් ඇති බව දැන් අපට පෙනෙන නමුත් එම ඉහළ යාම කොතරම් විය හැකිද යන්න හෝ අඩුම වශයෙන් ස්ථිරවම පොලී අනුපාතික ඉහළ යන බව වුවද අපට අද කියන්නට නුපුළුවන. එය බාහිර සාධක රැසක් මත තීරණය වන්නකි.

අපට දැන් කතා කරන්නට අවශ්‍ය කරුණ පැහැදිලි කර ගැනීම සඳහා 2015 පෙබරවාරි 11 පැවති ඵලදා වක්‍රය වෙනස් නොවී වසර ගණනාවක් එසේම තිබුනේයැයි අපි සිතමු. එසේ වීනම්, 2015 පෙබරවාරි 11 දින 6.29% පොලියකට දෙවසරක බැඳුම්කරයක මුදල් හිර කරන අයෙකු (අජිත් කියා කියමු.) වසරකට පසු මුහුණ දෙන වෙළඳපොළ තත්ත්වය කුමක්ද?

ඵලදා වක්‍රය වෙනස් නොවී තිබුණේනම්, 2016 පෙබරවාරි 10 දින මාස 12ක සුරැකුම්පතක ආයෝජනය කරන්නෙකුට (බිමල් කියා කියමු.) ලැබෙන පොලිය 6.08%කි. නමුත්, වසරකට පෙර මිලදී ගත් තවත් වසරකින් කල් පිරෙන බැඳුම්කරයට අජිත්ට 6.29%ක පොලියක් ලැබේ. (පහසුව සඳහා අප මෙහිදී සලකා බලන්නේ කූපන් ගෙවීම් රහිත බැඳුම්කරයි.)

අජිත් විසින් වසරකට පෙර මිලදී ගත් 2017 පෙබරවාරිහිදී කල් පිරෙන බැඳුම්කරයේත්, 2016 පෙබරවාරි වලදී අළුතින් නිකුත් කරන සුරැකුම්පතකත් ආයෝජකයෙකුට කිසිදු වෙනසක් නොපෙනේ. මේ දෙකේම ඇත්තේ සමාන අවදානමකි. නමුත්, එයින් එකකට 6.08%ක පොලියක්ද, අනෙකට 6.29%ක පොලියක්ද ලැබේ. මෙය විය නොහැක්කකි. ඒ නිසා වැඩි පොලියක් ලැබෙන දෙවැන්නේ වෙළදපොළ වටිනාකම ඉහළ යයි. බිමල් විසින් පළමුවන්න මිලදී ගන්නේ රුපියල් මිලියන 10 කටනම්, දෙවැන්න සඳහා ඊට වඩා ආසන්න වශයෙන් 0.20% ක පමණ මිලක් ගෙවන්නට අකැමැති වන්නේ නැත. ඒ, එසේ කිරීමෙන් වසරකට පසු ඔහු ලබන ප්‍රතිලාභය අඩු නොවන බැවිනි.

වසරකට පෙර දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කළ අජිත්ට මේ වන විට 6.29%ක පොලී ආදායමක් ලැබී ඇති අතර තවත් වසරකින් එවැනිම පොලී ආදායමක් ලැබෙනු ඇත. එහෙත්, ඔහුට එතෙක් කල් බලා නොසිට දැන් ඔහුගේ සුරැකුම්පත බිමල්ට විකුණා ක්ෂණික ප්‍රාග්ධන ලාභයක් ලැබිය හැකිය. මේ ප්‍රාග්ධන ලාභයද සමඟ අජිත් විසින් වසරක් තුළ ලබන ප්‍රතිලාභය 6.49% දක්වා ඉහළ යයි.

අජිත්ට 2015 පෙබරවාරි 11 දින වසරකට වඩා කාලයකට මුදල් හිර කිරීමේ කිසිදු හැකියාවක් නොතිබුණේයැයි සිතමු. එසේනම්, ඔහුට තමන්ගේ මුදල් ආයෝජනය කර ලබාගත හැකිව තිබුණු උපරිම ප්‍රතිලාභ අනුපාතිකය වන්නේ 6.08% කි. එහෙත්, අජිත් අවදානම් ලෝලියෙකු වීනම් ඔහු විසින් එදින වසරකින් පසු විකිණීමේ බලාපොරොත්තුවෙන් දෙවසරක බැඳුම්කරයක් මිල දී ගෙන එය වසරකට පසු විකිණීමෙන් (ඉහත උපකල්පනය පරිදි ඵලදා වක්‍රය නොවෙනස්ව පැවති තත්වයක් යටතේ) 6.08%ට වඩා 0.41%කින් වැඩි 6.49%ක ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීම සිදු විය හැකිව තිබුණි. අජිත්ගේ අතේ වසරකට හිර කරන්නටවත් මුදල් නොතිබුණු තත්ත්වයක් යටතේදී වුවද, ඔහුට වෙනත් අයෙකුගෙන් (චන්දිමාගෙන්) 6.08%ක පොලියට වසරක කාලයක් සඳහා ණයක් ගෙන දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කර වසරකට පසු එය විකුණා 0.41%ක ලාභයක් ප්‍රාග්ධන ඉපැයීමක් ලෙස ලබා ගත හැකිව තිබුණි.

ඇත්තටම කියනවානම්, අජිත් වැනි අවදානම් ලෝලියෙකුට මෙසේ ණයට මුදල් ලබාගෙන පස් වසරක, දස වසරක හෝ තිස් වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කර වුවද මිල දී ගන්නට බැරිකමක් නැත. මේ කාලය වැඩිවන විට ඔහුගේ අවදානම මෙන්ම ලාභාපේක්ෂාවන්ද විශාල ලෙස වැඩි වේ. කෙසේ වුවද, එසේ අතේ මුදල් නැතිව ලබා ගන්නා බැඳුම්කර වසරකට පසු (හෝ ණය ආපසු ගෙවිය යුතු වන විට) අනිවාර්යයෙන්ම විකුණන්නට සිදුවේ.

අජිත් විසින් 2015 පෙබරවාරි 11 දින මිල දී ගත්තේ සය වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක් යයි සිතමු. ඒ සඳහා ඔහුට ලැබෙන වාර්ෂික පොලිය 7.49% කි. වසරකට පසු, 2016 පෙබරවාරි 10 දින, මේ බැඳුම්කරය පස් අවුරුදු බැඳුම්කරයකට සමානය. ඵලදා වක්‍රය නොවෙනස්ව පැවතියේනම්, 2016 පෙබරවාරි 10 දින වන විට පස් අවුරුදු බැඳුම්කරයක පොලී අනුපාතිකය වන්නේ 7.27%ක් පමණි. එවැන්නක් මිල දී ගන්නා අයෙකුට (බිමල්ට) වසර පහකට පසු 42.03%ක (=(1.0727^5-1)*100%) ප්‍රතිලාභ අනුපාතිකයක් හිමි වෙද්දී අජිත්ගේ බැඳුම්කරයේ ඉතිරිව ඇති පස් අවුරුද්ද තුළ ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය 43.50% (=(1.0749^5-1)*100%) කි. ඒ නිසා, අජිත්ට 1.03% පමණ (=1.4350/1.4203) වැඩි මිලකට ඔහු සතු බැඳුම්කරය බිමල්ට විකිණීමට ඉඩක් ලැබෙන අතර වසරක් තුළ අජිත් ලබන ප්‍රතිලාභ අනුපාතිකය 8.52%ක් දක්වා (7.49%+1.03%) ඉහළ යයි. මෙය අජිත් විසින් චන්දිමාට ගෙවිය යුතු පොලිය වන 6.08%ට වඩා 2.44%කින් වැඩිය. මෙහිදීද පෙර මෙන්ම අප සලකා බලා ඇත්තේ කූපන් රහිත බැඳුම්කරයි. කූපන් බැඳුම්කර හා අදාළ ගණනය කිරීම් වඩා සංකීර්ණ වුවත් එහිදී වෙන්නේද මෙවැනිම දෙයකි.

කෙසේ වුවද, දැන් අප දන්නා පරිදි 2016 පෙබරවාරි 10 දින වන විට ඵලදා වක්‍රය වසරකට පෙර පැවති මට්ටමේ තිබුණේ නැත. සියළුම පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මෙසේ පොලී අනුපාතික ඉහළ යාම අජිත් වැනි අවදානම් ලෝලියෙකුට බලපාන්නේ කෙසේද?

අජිත් විසින් 2015 පෙබරවාරි 11 දින සය වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක් 7.47%ක පොලී අනුපාතිකයකට මිල දී ගත්තේය. ඒ සඳහා ඔහු චන්දිමාගෙන් 6.08% පොලියට මුදල් ලබා ගත්තේය. වසරකට පසු, 2016 පෙබරවාරි 10 දින වන විට, පස් අවුරුදු බැඳුම්කර සඳහා වන පොලී අනුපාතිකය 9.95% දක්වා ඉහළ ගියේය. මේ පොලී අනුපාතිකයට ආයෝජනය කර පස් වසරකින් 60.69% ක ප්‍රතිලාභ අනුපාතිකයක් ඉපැයිය හැකි වුවත්, අජිත්ගේ බැඳුම්කරයේ ඉතිරිව ඇති පස් අවුරුද්දට ලැබෙන්නේ 43.50%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පමණි. ඒ නිසා, අජිත්ගේ ආයෝජනයේ වෙළඳපොළ අගය දැන් 10.70% කින් අඩුවී තිබේ. එසේ වුවද, චන්දිමාගෙන් ලබාගත් කෙටිකාලීන ණය ආපසු ගෙවිය යුතු නිසා ඔහුට සිය බැඳුම්කරය විශාල පාඩුවක් විඳිමින් එහි වෙළඳපොළ වටිනාකමට විකුණන්නට සිදු වේ. අජිත් විසින් පළමු අවුරුද්දේ පොලිය ලෙස 7.47%ක් දැනටමත් උපයා ඇති නිසා චන්දිමාගේ ණය හා පොලිය ගෙවූ පසු 1.39%ක ඉතිරියක් වෙතත්, 10.70%ක ප්‍රාග්ධන අලාභය නිසා සමස්තයක් ලෙස 9.31%ක අලාභයකට මුහුණ දෙන්නට සිදුවේ.

සාමාන්‍ය කරුණක් ලෙස යමෙකු දිගුකාලීන සුරැකුම්පතක ආයෝජනය කිරීමෙන් පසු පොලී අනුපාතික ඉහළ ගියහොත් අදාළ ආයෝජනයේ වෙළදපොළ වටිනාකම අඩුවී ප්‍රාග්ධන අලාභයක් සිදුවේ. ආයෝජනයේ පරිණත කාලය වැඩි වන තරමට මෙන්ම පොලී අනුපාතික ඉහළ යන තරමට මේ අලාභයද ඉහළ යයි. මෙසේ වෙළදපොළ වටිනාකම අඩුවී අලාභ ඉහළ යද්දී ඉවසීමක් ඇති හා දිගුකාලයකට හිර කරන්නට අරමුදල් ඇති ආයෝජකයෙකුට නැවත පොලී අනුපාතික පහළ වැටෙන තුරු බලා සිටින්නට හැකි වුණත්, එවැනි දිගුකාලයක් මුදල් හිර කරගෙන සිටීමේ හැකියාවක් නැති අයෙකුට සිය සුරැකුම්පත් පාඩුවට විකුණන්නට සිදුවේ. මුදල් හිරකරගෙන සිටීමේ හැකියාවක් තිබුණත් පොලී අනුපාතික එන්න එන්නම ඉහළ යනු මිස පහත වැටෙන පාටක් නොපෙනේනම් කළ යුතු ඥානාන්විත ක්‍රියාව වන්නේ තියෙන පාඩුව තවත් වැඩි වන්නට පෙර සිය ආයෝජන මුදල් කිරීමයි. ග්‍රීක බැඳුම්කර සිද්ධියේදී මහ බැංකුව විසින් කළේ එවැන්නකි.

මේ අයුරින්ම දිගුකාලීන ආයෝජනයක් කිරීමෙන් පසු පොලී අනුපාතික පහත වැටුණොත් ආයෝජකයෙකුට විශාල ලාභයක් ලබන්නට පුළුවන.

අප පෙර ලිපි මාලාවෙන් කතා කළ 2015 පෙබරවාරි 27 බැඳුම්කර වෙන්දේසියෙන් පසුව පොලී අනුපාතික ඉහළ ගිය බව ජනප්‍රිය කතාවකි. මේ කතාව බොරුවක් නොවේ. එහෙත්, එසේ පොලී අනුපාතික ඉහළ යාම නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාබ වැඩි වූ බව කිසිවකු සිතනවානම් එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් බව දැන් ඔබට පැහැදිලි වෙනවා ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලාභ ලැබිය හැකිව තිබුණේ බැඳුම්කර මිලදී ගැනීමෙන් පසු පොලී අනුපාතික පහළ යන තරමටය.

Wednesday, February 15, 2017

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පසුගිය (තුන්වන) කොටසින් අපි රාජ්‍ය සුරැකුම්පත් වල පරිණත කාලය හා ඵලදා අනුපාතිකය අතර සම්බන්ධතාවය පෙන්වන ද්වීතියික වෙළදපොළ ඵලදා වක්‍රය හඳුනා ගත්තෙමු. පරිණත කාලය වැඩි වෙද්දී වැඩි වන අවදානම නිරූපණය කරමින් ඵලදා වක්‍රය සාමාන්‍යයෙන් මඳක් ඉහළට බෑවුම් වෙයි. එයට අමතරව, මේ ඵලදා වක්‍රය ඇසුරෙන් ඉදිරිකාලයේ පොලී අනුපාතිකයේ සිදුවීමට නියමිත වෙනස්කම් වෙළදපොළ අපේක්ෂාවන්ද හඳුනා ගත හැකිය.

ඉදිරි වසර තුළ පොලී අනුපාතික වෙනස් නොවීමට ඉඩ ඇති බව ඵලදා වක්‍රය ඇසුරෙන් හඳුනා ගන්නේ කෙසේද?

වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ඵලදා අනුපාතිකය දැන් 10%ක් බවත්, වසරකට පසුවද ඒ වන විට වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ඵලදා අනුපාතිකය 10% මට්ටමේම පවතිනු ඇති බවත් අපි සිතමු. ඒ අනුව යමෙකු අද රුපියල් මිලියනයක් වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ආයෝජනය කර, වසරකට පසු පොලිය සමඟ ආපසු ලැබෙන රුපියල් මිලියන 1.1 නැවත තවත් වසරකට ආයෝජනය කළ හොත් ඔහුට හෝ ඇයට දෙවසරකට පසු රුපියල් මිලියන 1.21ක් හිමිවේ. මෙසේ නොකර, අද එක් වරම 10%ක වාර්ෂික පොලියක් ලබාදෙන දෙවසරක ආයෝජනයක් කළද ඔහුට හෝ ඇයට දෙවසරකට පසු මේ මුදලම හිමි වේ.

අවසානයේ ලැබෙන මුදල සමාන වුවත් දෙවන තේරීමේදී මුදල් වැඩි කලකට හිර වන නිසා අවදානම වැඩි බැවින් පොලී අනුපාතික සමානනම් බොහෝ දෙනෙකුගේ තේරීම වන්නේ පළමුවැන්නයි. ඒ නිසා, දෙවසරක බැඳුම්කරයක් නිකුත් කරන අයෙකුට පොලී අනුපාතික නොවෙනස්ව පවතිනු ඇති බව පෙනී ගියත් වසරක බැඳුම්කරයකට ගෙවන මුදලට වඩා තරමක් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්නට සිදුවේ. මෙසේ වැඩිපුර ගෙවිය යුතු පොලිය පරිණත කාල අධිභාරය (term premium) ලෙස  හැඳින්වේ. ඉහත උදාහරණයේදී දෙවසරක් සඳහා වන පරිණත කාල අධිභාරය (වසරක පරිණත කාලයට සාපේක්ෂව) 0.5%ක් ලෙස සැලකුවහොත් වසරක බැඳුම්කරයක පොලිය 10% වෙද්දී, දෙවසරක බැඳුම්කරයක පොලී අනුපාතිකය 10.5%ක් වනු ඇත. පරිණත කාලය තවත් වැඩි වෙද්දී පරිණත කාල අධිභාරය තවත් වැඩි වී පොලිය ක්‍රමක්‍රමයෙන් වැඩි වන නිසා අපට මේ අවස්ථාවේදී දැකිය හැකි වන්නේ මඳක් ඉහළට බෑවුම් වුණු ඵලදා වක්‍රයකි. ඒ අනුව මඳක් ඉහළට බෑවුම් වුනු ඵලදා වක්‍රයකින් පෙන්නුම් කරන්නේ පොලී අනුපාතික නොවෙනස්ව පවතින්නට ඇති ඉඩකඩ ගැන වෙළඳපොළ අපේක්ෂාවන්ය.

ලබන වසරේදී වසරක බැඳුම්කරයක පොලිය 9% දක්වා අඩු වන්නට නියමිතනම් සිදු වන්නේ කුමක්ද? දැන් ඔබට වසරක බැඳුම්කරයක ආයෝජනය කර, වසරකට පසු ලැබෙන මුදල් නැවත ආයෝජනය කිරීමෙන් දෙවසරකින් ලබා ගත හැකි මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 1.2කි  (හරියටම මිලියන 1.199කි). දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කර මේ මුදලම ලබා ගැනීමටනම් ආසන්න වශයෙන් 9.5%ක පමණ (හරියටම 9.4989%ක) පොලී අනුපාතිකයක් ලැබිය යුතුය. කෙසේ වුවද, දෙවසරක  ආයෝජනයක් වෙනුවෙන් 0.5%ක පරිණත කාල අධිභාරයක්ද එකතු කළ යුතු නිසා මේ පොලී අනුපාතිකය ආසන්න වශයෙන් 10%ක් වේ.

දැන් මේ අවස්ථාවේදී, වසරක හා දෙවසරක පරිණත කාල සහිත බැඳුම්කර වල පොලිය සමාන නිසා එම පරාසය තුළ ඵලදා වක්‍රය තිරස් හැඩයක් ගනී. මේ අනුව පෙනී යන පරිදි තිරස් හැඩයක් ඇති ඵලදා වක්‍රයකින් පෙන්වන්නේ ඉදිරි කාලයේදී පොලී අනුපාතික අඩු වන්නට ඇති ඉඩකඩයි.

වෙළඳපොළ අපේක්ෂාව වන්නේ ඉදිරියේදී පොලී අනුපාතික ඉහළ යනු ඇති බවනම්, ඵලදා වක්‍රයේ බෑවුම වඩා දැඩි බෑවුමක් වනු ඇත. බෑවුම වැඩි වන තරමට පොලී අනුපාතික ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩිය.

ඵලදා වක්‍රය පහළට බෑවුම් වීම අඩුවෙන් දැකිය හැකි දෙයකි. එසේ පහළට බෑවුම් වී ඇත්නම් එයින් පෙනෙන්නේ පොලී අනුපාතික ඉදිරියේදී ඉතා විශාල ලෙස පහත වැටෙන්නට ඉඩ ඇති බවයි.

හැඩයේ ඉහත වෙනස්කම් පෙන්නුම් කරන අතරම, වෙළදපොළ පොලී අනුපාතික අඩු වැඩි වන විට සාමාන්‍යයෙන් ඵලදා වක්‍රය සමස්තයක් ලෙස ඉහළ පහළ යයි. පසුගිය දෙවසරක පමණ කාලය තුළ ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික සමස්තයක් ලෙස පෙන්වූයේ ඉහළ යාමේ ප්‍රවණතාවයකි. එයට මහ බැංකුව විසින් ගත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම රජයේ දේශීය ණය ගැනීම් වැඩි වීමද හේතු විය.

පහත වගුවෙන් (වගුව 2) හා රූප සටහනෙන් (රූප සටහන 2) පෙන්වන්නේ පසුගිය සතියේ, වසරකට පෙර හා දෙවසරකට පෙර ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රයේ වෙනස් වීමයි.

 


Sunday, February 12, 2017

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)


පසුගිය (දෙවන) කොටසෙන් පෙන්වා දුන් එක් මූලික කරුණක් වූයේ කොටස් වෙළඳපොළ ආයෝජන වල අවදානම වැඩි අතර ප්‍රතිලාභද වැඩි බවයි. ඊට සාපේක්ෂව රජය හෝ සමාගමක් විසින් නිකුත් කරන බැඳුම්කර වල අවදානම මෙන්ම ප්‍රතිලාභද අඩුය.

සමාගමක කොටස් මිලදී ගන්නා අයෙකුට තමන් විසින් ආයෝජනය කළ මුල් මුදල ආපසු ලැබෙන බවට කිසිදු සහතිකයක් නොලැබේ. එහිදී සිදුවන්නේ මේ ආයෝජකයා අදාළ සමාගමේ හිමිකරුවෙකු බවට පත් වීමයි. සමාගම ලබන ලාභ මෙන්ම අලාභද එක සේ දරා ගැනීමට කොටස් හිමිකරුවෙකුට සිදුවේ.

කිසියම් සමාගමක් විසින් වැඩිපුර හෝ "අධික" ලාභ උපයනවා කියා ඔබ සිතනවානම් ඔබ විසින් කළ යුත්තේ අදාළ සමාගමේ කොටස් මිල දී ගැනීමයි. ලංකාවේ සමාගම් වලින් කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කර ඇත්තේ සීමිත සමාගම් ගණනක් නිසාත්, ඉතා සුළු මුදලක් අතේ ඇති කෙනෙකුට කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීම පිණිස ප්‍රවේශ වීම සාපේක්ෂව අසීරු කරුණක් නිසාත් මෙය කියන තරම්ම සරල කරුණක් නොවූවත්, වඩා පැතිරුණු හා දියුණු කොටස් වෙළදපොළක් ඇති රටක ඉතා සුළු මුදලක් වුවද කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කර වැඩි ප්‍රතිලාභයක් ලැබීමට සාමාන්‍ය පුද්ගලයෙකුට අවස්ථාව තිබේ.

සමාගම් කොටස් වලින් වෙනස්ව, බැඳුම්කර වල ආයෝජනය කරන්නෙකුට මුල් මුදල මෙන්ම කිසියම් නිශ්චිත ප්‍රතිලාභයක්ද ලැබෙන බවට සහතිකයක් එම බැඳුම්කර නිකුත් කරන රජයෙන් හෝ සමාගමෙන් මුලදීම ලැබේ. ඒ නිසා එහි ඇත්තේ අඩු අවදානමකි. අවදානම අඩු වුවද අවදානමක් නැතුවා නොවේ.

බැඳුම්කර නිකුත් කරන රජය හෝ සමාගම විසින් මෙසේ මුලදී පොරොන්දු වුවත් අවසානයේදී ඒ පොරොන්දුව ඉටු නොකරන්නට ඉඩ තිබේ. බොහෝ විට මෙසේ වන්නේ අදාළ සමාගම හෝ රජය බංකොලොත් වීම හේතුවෙනි.

කොටස් මිල දී ගන්නෙකු කිසියම් සමාගමක අයිතිකරුවෙකු වන නිසා සමාගම බංකොලොත් වුවහොත් එහි පාඩුව අය කර ගන්නට කෙනෙක් නැත. මෙහිදී සිදු වන්නේ තමන් විසින්ම ව්‍යාපාරයක් අරඹා එය බංකොලොත් වූ විට සිදු වන පාඩුවට සමාන තත්ත්වයකි. එහෙත්, බැඳුම්කර මිල දී ගන්නෙකු කරන්නේ කිසියම් සමාගමකට හෝ රජයකට ණය දීමයි. ඒ නිසා, ණය ආපසු නොගෙවුවහොත් නඩු පැවරීමට හැකිය. කෙසේ වුවද, බංකොලොත් සමාගමක නඩු පවරා ලබා ගත හැකි තරමේ වත්කම් නොමැත. බංකොලොත් වූ රජයක තත්ත්වයේද වෙනසක් නැත!

සමාගමක් බංකොලොත් වීමට ඇති ඉඩකඩට වඩා රජයක් බංකොලොත් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු වුවත්, රජයයන් විසින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගත් ණය ආපසු නොගෙවා පැහැර හැරි අවස්ථාද ඕනෑ තරම් තිබේ. ග්‍රීක බැඳුම්කර ආසන්නම උදාහරණයකි. මෙසේ රජයක් හෝ සමාගමක් බංකොලොත් වීම නිසා ණය ආපසු නොගෙවීමේ අවදානම වැඩි වන තරමට ආයෝජකයින් බැඳුම්කර සඳහා අපේක්ෂා කරන පොලී අනුපාතික ඉහළ යයි.

බැඳුම්කරයක් කල් පිරීමට ගත වන කාලය වැඩි වන තරමට එම කාලය තුළ අදාළ බැඳුම්කරය නිකුත් කළ සමාගම හෝ රජය බංකොලොත් වීමට ඇති ඉඩකඩ වැඩිය. මේ හේතුවත්, මෙහි සාකච්ඡා කර නැති වෙනත් හේතු ගණනාවකුත් නිසා සාමාන්‍යයෙන් එකම ආයතනය මඟින් නිකුත් කරන බැඳුම්කර වල කල් පිරීමේ කාලය වැඩි වෙද්දී පොලී අනුපාතිකද ක්‍රමයෙන් වැඩි වේ. ඒ නිසා, වැඩි අවදානමක් ගෙන දිගු කල්පිරීමේ කාලයක් ඇති බැඳුම්කරයක ආයෝජනය කරන්නෙකුට වැඩි ප්‍රතිලාභයක්ද ලැබිය හැකිය. ලංකාවේ නිකුත් කෙරෙන වැඩිම පරිණත කාලයක් ඇති බැඳුම්කර වන්නේ තිස් අවුරුදු බැඳුම්කර නිසා එවැනි දිගුකලක් මුදල් හිර කර අවදානමක් ගන්නට සූදානම් අයෙකුට සිය ආයෝජනය වෙනුවෙන් සැලකිය යුතු ඉහළ පොලී අනුපාතිකයක් හිමිවේ.

පසුගිය සතියේ (2017 පෙබරවාරි 8න් අවසන් වූ) ලංකාවේ රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ද්වීතියික වෙළඳපොළෙහි පැවති සාමාන්‍ය ඵලදා අනුපාතික පහත පළමු වගුවේ පෙන්වා දී තිබේ. දත්ත මහ බැංකුවේ වෙබ් අඩවියෙනි. 


ඉහත වගුවේ ඇති තොරතුරු පහත පළමු රූප සටහනේ පරිදි ප්‍රස්තාරගත කළ විට දැකිය හැකි සම්බන්ධතාවය "ඵලදා වක්‍රය" ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් ඵලදා වක්‍රයේ හැඩය මෙහි අග කොටසේ දැකිය හැකි පරිදි මඳ බෑවුමක් සහිතව ඉහළට නැඹුරු වූවකි. එයින් පෙනෙන්නේ පරිණත කාලය වැඩි වෙද්දී පොලී අනුපාතිකද වැඩි වන බවයි.

 

Wednesday, February 8, 2017

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

 

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ ගැන කතා කරන්නට පෙර අප විසින් එම සමාගම වැනි මූල්‍ය ආයෝජන මඟින් ලාභ ඉපැයීම අරමුණු කරගත් සමාගමකට ලාභ වැඩි කරගත හැක්කේ කෙසේද යන කරුණ තේරුම් ගත යුතුය. මූල්‍ය ආයෝජන සමාගමක් විසින් ආදායම් උපයන ප්‍රධානම ප්‍රභවය වන්නේ සිය ආයෝජන වෙනුවෙන් ලැබෙන පොලී ආදායමයි.

විවිධ මූල්‍ය ආයෝජන සඳහා ලැබෙන්නේ විවිධ පොලී අනුපාතිකයන්ය. එසේනම්, වැඩි පොලී අනුපාතිකයක් ලැබෙන ආයෝජනයක් මඟහැර අඩු පොලී අනුපාතිකයක් ලැබෙන ආයෝජනයක් කරා කිසියම් ආයතනයක් යොමු වන්නේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ.

ආයෝජනය කිරීමෙන් පොලිය ලෙස ආදායමක් ලැබෙන නමුත් පොලිය මෙන්ම මුල් ආයෝජනයද නැති වී යාමේ අවදානමක්ද එහි තිබේ. බිඳ වැටුණු බැංකු ගැන හෝ සක්විතිලා හා දඬුවම් මුදලාලිලා ගැන මා විසින් අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. ඒ නිසා වැඩි අවදානමක් ඇති ආයෝජන වලට ඇත්තේ අඩු ඉල්ලුමකි. මෙහි ප්‍රතිපලයක් ලෙස, සාමාන්‍ය මූලධර්මයක් ලෙස, ආයෝජනයක ඇති අවදානම හා පොලී අනුපාතික අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයකි. එනම්, වැඩි අවදානමක් ඇති ආයෝජන සඳහා වැඩි පොලියක්ද ලබා ගත හැකි අතර අඩු අවදානමක් සහිත ආයෝජන සඳහා ලැබෙන්නේ අඩු පොලියකි.

-ආයෝජනයක මුල් මුදල ආපසු ලබා ගැනීමට ගත වන කාලය වැඩි වන තරමට අවදානම වැඩිය.
-රාජ්‍ය ණය සුරැකුම්පත් වල කරන ආයෝජන පෞද්ගලික ආයතනයකින් නිකුත් කරන ණය සුරැකුම්පත් වල හෝ ව්‍යාපාර වස්තු (කොටස් වෙළඳපොළ ආයෝජන) වල කරන ආයෝජනකට වඩා අවදානම අඩුය.
-සුරැකුම්පත් නිකුත් කරන්නෙකුගේ ණය බර වැඩි වන තරමට අවදානම වැඩි වේ.

මේ හේතු ඇතුළු කවර හේතුවකින් හෝ ආයෝජනයක අවදානම වැඩි වන විට පොලී අනුපාතිකයද වැඩි වන නිසා වැඩි අවදානමක් ගන්නා අයකුට වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කළ හැකිය. අනෙක් අතට, අවදානමක් නොගෙන වැඩි ප්‍රතිලාභයක් ලබා ගත නොහැකිය. ඒ නිසා, කිසියම් මූල්‍ය ආයෝජන සමාගමකට තමන් විසින් ගන්නට සූදානම් අවදානමේ ප්‍රමාණය ගැන තීරණයකට එළැඹෙන්නට සිදු වේ.

ලංකාවේ විශාලතම මූල්‍ය ආයෝජකයා වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. 2015 වසර අවසන් වන විට එම අරමුදල සතු වූ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1,664.6 ක් විය. මෙය කෙතරම් විශාල මුදලක්ද කියනවානම් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති සමාගම් කොටස් වලින් අඩක් මිල දී ගන්නට මේ අරමුදල් ප්‍රමාණවත් වූ අතර රජයේ මුළු දේශීය ණය ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ විය.

සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වලින් රුපියල් බිලියන 1,487.1ක් ආයෝජනය කර තිබුණේ රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලය. මේ මුදල 2015 අවසානයේදී රජය විසින් නිකුත් කර තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය වූ රුපියල් බිලියන 3,963.4 න් 37.5%ක් විය. මේ ආයෝජන මඟින් අර්ථසාධක අරමුදල ඉපැයූ පොලී ආදායම රුපියල් බිලියන 167.7කි. මෙය එම ආයෝජන මත 11.28% ක ප්‍රතිලාභ අනුපාතිකයකි. 

සේවක අර්ථසාධක අරමුදලට සෑම වසරකදීම වාගේ අළුතින් එකතුවන සාමාජික මුදල් ප්‍රමාණය වසරක් තුළ ආපසු ගෙවිය යුතු ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා වැඩිය. ඒ නිසා, අරමුදලේ වත්කම් කිසියම් ලෙසකින් "හිර වී" තිබුණද, අළුතින් එකතු වන අරමුදල් වලින් පමණක් වුවද ආපසු ගෙවීම් කරන්නට බැරිකමක් නැත. මේ හේතුව නිසා සේවක අර්ථසාධක අරමුදලට "බය නැතිව" දිගුකාලීනව අරමුදල් ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාව තිබේ.

මේ "දිගුකාලය" වසර පහළොවක් පමණ ලෙස අපි සිතමු. කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සතු අරමුදල් වසර පහළොවක් වැනි දිගුකාලයකට ආයෝජනය කිරීම සඳහා ප්‍රධාන විකල්ප දෙකක් තිබේ. පළමු විකල්පය වන්නේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. දෙවන විකල්පය කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීමයි. තෙවන විකල්පය ලෙස සැලකිය හැකි සමාගම් මඟින් නිකුත් කරන බැඳුම්කර සදහා ලංකාවේ පුළුල් වෙළඳපොළක් නැත.

රාජ්‍ය සුරැකුම්පත් වල කරන ආයෝජන වල අවදානම අඩුය. එමෙන්ම ප්‍රතිලාභද අඩුය. කොටස් වෙළඳපොළ ආයෝජන වල අවදානම මෙන්ම ප්‍රතිලාභද වැඩිය. රජය විසින් නිකුත් කරන වසර 15ක පමණ පරිණත කාලයක් ඇති බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් දිගුකාලීනව වත්කම් මත 12%ක පමණ ප්‍රතිලාභයක් ලබා ගත හැකි අතර දිගුකාලීනව කොළඹ කොටස් වෙළදපොළ සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකය 20% පමණ වේ.

කෙසේ වුවද, කෙටිකාලීනව කොටස් වෙළදපොළෙහි ආයෝජනය කිරීමෙන් මුල් ආයෝජනයන්ද කොටසක් අහිමි වීමට ඉඩ තිබේ. පසුගිය 2016 වසරේදී කොටස් වෙළදපොළ ආයෝජන කළ අයෙකුට සාමාන්‍ය වශයෙන් 9.7%ක පාඩුවක්ද, ඊට පෙර 2015 වසරේදී 5.5%ක පාඩුවක්ද සිදුවිය. රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කළ විට කෙටිකාලීනව වුවද මෙසේ මුල් මුදල අහිමි වීමේ අවදානම ඉතා අඩුය.

සේවක අර්ථසාධක අරමුදල වැනි දිගුකාලීනව අරමුදල් හිර කර තැබීම ප්‍රශ්නයක් නොවන ආයතනයක් වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීම සඳහා කළ යුත්තේ සිය ආයෝජන කළඹෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කොටස් වෙළපොළෙහි ආයෝජනය කිරීමය. එසේ කිරීමෙන් කෙටිකාලීනව පාඩු සිදු වුවද, වසර දහයක් හෝ පහළොවක් වැනි දිගුකාලයකදී අනිවාර්යයෙන්ම සැලකිය යුතු වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකිය. එහෙත්, සේවක අර්ථසාධක අරමුදල විසින් කරන්නේ එහි අනිත් පැත්තයි. එනම්, සිය ආයෝජන කළඹෙන් 90-95%ක් පමණම රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. අරමුදල විසින් කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන්නේ මුළු අරමුදල් ප්‍රමාණයෙන් 5%ක් වැනි අඩු ප්‍රතිශතයකි.

සේවක අර්ථසාධක අරමුදලට ඉහත පරිදි ක්‍රියා කරන්නට සාධාරණ හේතු තිබේ. පළමුව, අරමුදලේ ආයෝජන තීරණ ගන්නේ මහ බැංකු නිලධාරීන් විසිනි. සිය ශ්‍රේණිය අනුව නිශ්චිත වැටුප් තලයක සිටින මේ නිලධාරීන්ට අවදානමක් ගෙන අරමුදලේ වත්කම් වෙනුවෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගිණුම් හිමියන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා දුන්නා කියා විශේෂ වාසියක් නොලැබේ. එහෙත්, ආයෝජන කරන පෞද්ගලික සමාගමක සේවකයෙකුට අවදානම ගෙන එසේ ලබා ගන්නා කිසියම් ලාබයක් වෙතොත් එයින් සැලකිය යුතු කොමිස් මුදලක් ලැබේ. ඒ නිසා, පෞද්ගලික ආයෝජන සමාගමක සේවකයෙකු වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් වැඩි අවදානමක් ගන්නට පෙළඹේ.

අනෙක් අතට මෙවැනි අවදානමක් ගෙන පාඩුවක් සිදුවුවහොත්, සේවක අර්ථසාධක අරමුදලේ සේවකයෙකුට පෞද්ගලිකව ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවේ. වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවදානමක් ගෙන ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී හා හෙජින් ගනුදෙනුවේදී පාඩු සිදුකර ගැනීමෙන් පසු අදාළ මහ බැංකු නිලධාරීන්ට මුහුණ දෙන්නට සිදු වූ අපහසුතා උදාහරණයි. ඒ නිලධාරීන්ගේ පැත්තෙන් වඩා සුරක්ෂිත දෙය හැකි තරම් අඩු අවදානමක් ගැනීමයි. ඔවුහු එය කරති. ඒ නිසා, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන්නේ ලබාගත හැකි උපරිම ප්‍රතිලාභයට වඩා සැලකිය යුතු ලෙස අඩු ප්‍රතිලාභයකි.


මෙසේ ක්‍රියා කිරීමට දෙවන හේතුවක් විය හැක්කේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිය ප්‍රධාන කාර්යය විය යුත්තේ සාමාජික ගිණුම් හිමියන්ට ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම බව අමතක කර, රජයට අඩු පොලියට අරමුදල් සොයා ගැනීමට උදවු කිරීම සඳහා යොමුවීම වන්නට පුළුවන. මෙය මේ අයුරින් සිදුවීමට හේතු වන්නේ සේවක අර්ථසාධක අරමුදලෙහි පාරිභෝගිකයින් මෙන්ම "කොටස් හිමියන්" ලෙසද එක්තරා ආකාරයකින් සැලකිය හැකි සාමාජික ගිණුම් හිමියන්ට අරමුදලේ කළමනාකරණය වෙත බලපෑමක් කිරීමට තබා සිය අරමුදල් ස්ව-කැමැත්තෙන් බැහැර ගෙන යාමට හෝ හැකියාවක් නැති වීමයි. යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදලට වෙනත් තරඟකරුවකු සිටියේනම්, සාමාජිකයින් විසින් දිගුකාලීනව වැඩි ප්‍රතිලාභ ලබාදෙන ආයතනයට සිය අරමුදල් රැගෙන යා හැකිව තිබුණි.

Saturday, February 4, 2017

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

දැන් අළුතෙන් නැවත විස්තර කල යුතු නැති, මහ බැංකු බැඳුම්කර සිද්ධියට ඇති මාධ්‍ය වටිනාකම තවමත් අඩු වී නැත. මේ ගැන විග්‍රහ කරන්නට බොහෝ දෙනා ඉදිරිපත් වෙති. මේ ඇතැම් 'විශ්ලේෂණ' 'ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි තරම්' ඉතාම සරලය. සරලව විග්‍රහ කළ හැකි දෙයක් මහා ලොකු සංකීර්ණ දෙයක් ලෙස විස්තර කරන්නට යාම විකාරයකි. එහෙත්, ඇත්තටම සංකීර්ණ දෙයක් ඕනෑවට වඩා සරල කළ විට කියැවෙන්නේ අවශ්‍ය දෙය නොව වෙනත් දෙයකි.

බැඳුම්කර හා අදාළ ඇතැම් මූලික සිද්ධාන්තද පැහැදිලි කරමින් මේ සිද්ධිය ගැන ඉකොනොමැට්ටා විසින් ලිපි විස්සක් ලියා පළ කළත් ඒ ලිපි විස්සෙන්ම සමස්තයක් ලෙස සාකච්ඡා කර ඇත්තේ මේ සිද්ධියට අදාළ සම්පූර්ණ ක්‍රියාදාමයෙන් සුළු කොටසක් පමණි. එම ලිපි මාලාවෙන් මා පෙන්වා දුන්නේ අදාළ සිද්ධිය නිසා රජයට වූ පාඩුව ගැන ඇති ඇස්තමේන්තු බොහොමයක්, විගණකාධිපති වරයාගේ ඇස්තමේන්තුවද ඇතුළුව, නිවැරදි නොවන බවයි. එමෙන්ම මේ ඇස්තමේන්තු අධිතක්සේරු වන්නට ඇති ඉඩකඩ ඉතා වැඩි බවයි. කෙසේ වුවද, එම ලිපි මාලාව අවසානයේදී රජයට කිසිදු පාඩුවක් සිදු නොවූයේය යන නිගමනයට මා එළඹුණේ නැත. ඒ අතරම, රජයට වූ පාඩුව ලෙස නිශ්චිත ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේද නැත.

බොහෝ දෙනෙකු මේ ලිපි කියවීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ රජයට සිදු වූ පාඩුව ලෙස ඔවුන් සිතා සිටි මුදල තහවුරු කරන ඇස්තමේන්තුවකි. තවත් කොටසක් මේ පිලිබඳ චෝදනා වලින් එම චෝදනා ලැබූවන් නිදහස් කරමින් ලබා දෙන නිගමනයක් අපේක්ෂා කළා විය හැකිය. ලිපි මාලාව ලියාගෙන යද්දී මේ දෙපිරිසේම උනන්දුව ක්‍රමයෙන් අඩුව යන බව පෙනුණේය. කෙසේ වුවද, අවසන් නිගමනයක් වෙනුවට මේ විෂය පිළිබඳව දැනුම වැඩි කර ගැනීමේ අරමුණින් මා සමඟ රැඳී සිටි සුළු පිරිසක්ද වූහ. ලිපි මාලාව ඒ මට්ටමට හෝ ඇදගෙන යන්නට දිරිය සැපයූවේ එම සුළු පිරිසයි.

මගේ පාඨකයින් කිසිවකු නිගමන වලට එළඹීමේදී මා සමඟ එකඟ විය යුතුයැයි මා සිතන්නේ නැත. මා හෝ වෙනත් අයෙකු විසින් "අලෙවි කරන" හෝ "බලෙන් තල්ලු කරන" නිගමන සමඟ විමසුමකින් තොරව එකඟ වීම යහපත් දෙයක් නොවේ. එහෙත්, නිගමන වලට එළඹීමේදී තමන් නොදන්නා කරුණු හා පුහුණුවක් ලබා නැති තාක්ෂනික කරුණු ගැන වැඩි යමක් දැනගැනීම වඩා හොඳ නිගමනයකට එළඹීමට උදවුවකි. මගේ ලිපි වලින් ටික දෙනෙකුට හෝ ඒ සඳහා උදවුවක් ලැබී ඇති බව පෙනෙන්නට තිබීම දිරිගන්වන සුළු කරුණකි.

විගණකාධිපති වාර්තාව අනුව 2015 පෙබරවාරි 27 වෙන්දේසියෙන් රජයට වූ අලාභය රුපියල් මිලියන 889.4 කි. ඉන් පසුව, 2016 මාර්තු 29 වෙනි දිනද මෙවැනිම සිදු වීමක් නැවත සිදුවීම නිසා සිදුවූ අලාභය රුපියල් මිලියන 784.9කි. අධිතක්සේරු ලෙස මා සලකන මේ ඇස්තමේන්තු අනුව අදාළ වෙන්දේසි වලින් රජයට සිදු වී ඇති මුළු අලාභය රුපියල් මිලියන 1,674.3 කි. ඒ අතර, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් 2015 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ලබා ඇති ලාභය එමෙන් තුන් ගුණයක්ද ඉක්මවන අතර රුපියල් මිලියන 5,124.2කි. එම සමාගම විසින් පෙර වසරේ ලබා ඇති ලාභයද රුපියල් මිලියන 959.6කි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම මෙවැනි ඉහළ ලාබයක් ලැබුවේ කොහොමද?

ඇතැම් අය සරල ලෙස පැහැදිලි කර තිබුණු පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභයක් ලැබුවේ 12.5%ක ගිණි පොලියට ආණ්ඩුවට ණය දීමෙනි. ආණ්ඩුවට 12.5% ක වාර්ෂික පොලියකට ණය දී රුපියල් බිලියන 5 ක ඉක්මවන ලාභයක් ලබන්නට එසේ ණයට දෙන මුදල රුපියල් බිලියන 40 ඉක්මවන මුදලක් විය යුතුය. ආණ්ඩුවට ණයට සල්ලි දී එපමණ පොලී ආදායමක් උපයන්නට තරම් තමන්ගේම ප්‍රාග්ධනයක් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සතු නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත. වෙනත් අයෙකුගෙන් ලබාගත් මුදල් ආණ්ඩුවට ණයට දෙන්නට එම සමාගමට හැකි වුවත්, එවිට එසේ මුදල් ලබාදෙන අයට නැවත පොලී මුදලක් ගෙවිය යුතු බැවින් රජයෙන් ලබාගන්නා පොලී ආදායම සම්පූර්ණයෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාබයක් වන්නේ නැත. ඒ නිසා, මේ පළමු පැහැදිලි කිරීම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නොවේ.

ඇතැම් අය විසින් කර තිබුණු, වඩා හොඳ පැහැදිලි කිරීමක් වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් රුපියල් 90 බැගින් මිලදී ගත් බැඳුම්කර (රුපියල් 120 කට ආසන්න?) ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදලට විකිණීමෙන් මේ ලාබය ලබා ගත් බවයි. සේවක අර්ථසාධක අරමුදලට කොපමණ බැඳුම්කර ප්‍රමාණයක් විකුණුවේද, ඒ කවර මිලකටද යන්න මා නොදන්නා නමුත් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ වලින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ අඩුවට ගත් බැඳුම්කර කල් පිරීමට පෙර වැඩි මිලකට ද්වීතියික වෙළඳපොළේ විකිණීම මඟින් බව ඇත්තකි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ රුපියල් මිලියන 5,124.2ක ලාබයෙන් ශුද්ධ පොලී ආදායම වන්නේ රුපියල් මිලියන 353.6ක් පමණි. එම සමාගමේ පරිපාලන හා ප්‍රචාරණ වියදම් ලෙස රුපියල් මිලියන 197.0 ක් වසර තුළ වියදම් කර ඇති නිසා වෙනත් ආකාරයකින් ආදායමක් නොලැබුවේනම් එම සමාගමේ ශුද්ධ ලාභය වන්නේ රුපියල් මිලියන 156.6ක් පමණි. මූල්‍ය වසර ආරම්භයේදී පැවති ප්‍රාග්ධන ආයෝජනය වූ රුපියල් මිලියන 1,065.9 සැලකූ විට මෙහි ඇත්තේ 14.7%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පමණි. එය හොඳ ප්‍රතිලාභ අනුපාතිකයක් වුවත් කිසිසේත්ම අසාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකයක් නොවේ.

කෙසේවුවද, මේ පොලී ආදායම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ මුළු ලාභයෙන් සුළු කොටසක් පමණි. පොලී ආදායමට අමතරව ප්‍රාග්ධන ලාභ ලෙස එම සමාගම විසින් මූල්‍ය වසර තුළ තවත් රුපියල් මිලියන 5,377.7ක ලාභයක් උපයා ඇත. ප්‍රාග්ධන ලාභ ලෙස හඳුන්වන්නේ බැඳුම්කරයක් කල් පිරීමට පෙර එය මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට ද්වීතියික වෙළඳපොළේ විකිණීම මඟින් ලබන ලාබයි.

මෙය විශාල හා අසාමාන්‍ය ලාභයකි. සිදු කළ ආයෝජනය මෙන් 500% ඉක්මවන ප්‍රතිලාභ අනුපාතිකයකි.

තරඟකාරී වෙළඳපොල ආර්ථිකයක ලාභ උපයන්නෙකු විසින් කරන්නේ වරදක් හෝ නරක දෙයක් නොවේ. එමෙන්ම, එක් අයෙකු වැඩි ලාබයක් ඉපැයීම යනු වෙනත් අයෙකුට පාඩුවක් සිදු වීමද නොවේ.  තරඟකාරී වෙළඳපොල ආර්ථිකයකයම් සමාගමක හෝ පුද්ගලයෙකුගේ ලාභය යනු ඔහු හෝ එම සමාගම විසින් ආර්ථිකයට අළුතින් එකතු කරන දෙයකි. ඒ නිසා, යමෙකුට වසරක් තුල එක් රුපියලක් රුපියල් හයක් බවට පත් කරන්නට හැකිනම් ඔහු හෝ ඇය සුවිශේෂී පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයින් සිටීනම් ඔවුන් ජාතික සම්පත් ලෙස සැලකීමේ වරදක් නැත.

කෙසේවුවද, ඉහත තර්කය අදාළ වන්නේ තරඟකාරී තත්ත්වයන් තුළ අනෙක් කිසිවෙකුට නොමැති විශේෂ වාසි කිසිවක් නොලබමින්, තමන්ගේ කිසියම් සුවිශේෂී දක්ෂතාවයක් උපයෝගී කරගෙන එවැනි ලාබයක් ලබා පෙන්වා ඇත්තේනම් පමණි. එවැන්නෙකු විසින් "එකතු කළ දෙය" බොහෝ විට පෙනෙන්නට තිබේ. බිල් ගේට්ස්, මාක් සකබර්ග් හෝ ස්ටීව් ජොබ්ස් විසින් එසේ එකතු කළ දේවල් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිව, අනෙක් අයට නැති විශේෂ වරප්‍රසාද ලබමින් යම් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් ලාබ ලබන විට සිදුවන්නේනම් අළුත් ධනයක් නිර්මාණය වීම නොව වෙනත් අයෙකුගේ දෙයක් අහිමි වීමයි.

ඒ නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ විශ්ලේෂණය කිරීම සඳහා අප විසින් සලකා බැලිය යුතු එක් පදනමක් වන්නේ ඔවුන් විසින් උපයා ඇති විශාල ප්‍රාග්ධන ලාබ ලබා ඇත්තේ කෙසේද යන්නයි. අඩු මිලට ගන්නා දෙයක් වැඩි මිලට විකුණා ලාබයක් ලැබීම ඕනෑම ව්‍යාපාරයක් විසින් කරන, කිසිදු වැරැද්දක් නැති කටයුත්තක් වුවත් මෙසේ මිල දී ගැනීම හා විකිණීම පිලිබඳ තීරණ ගන්නා විට අනෙක් අයට නොලැබෙන විශේෂ "රහසිගත" හෝ "අභ්‍යන්තර" තොරතුරක් එක් අයෙකුට පමණක් ලැබේනම් හා ඒ හේතුවෙන් විශාල ලාභයක් ලැබිය හැකිනම් එහි පැහැදිලි ප්‍රශ්නයක් තිබේ.

මෙහි එවැන්නක් වීමට පැවති ඉඩකඩ මොනවාද? මෙවැනි වාසිදායක හා රුපියල් බිලියන ගණන් වටිනා තොරතුරු මොනවාද?

අපි ඒ ගැන ඉදිරියේදී විමසමු.

Monday, January 30, 2017

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව

අද දිවයින මුල් පුවතෙහි සඳහන් වන්නේ "ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර අක්‍රමිකතාව නිසා සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) රුපියල් කෝටි 1400 කට අධික අතිවිශාල අලාභයක්‌ සිදුව" ඇති බවකි.  ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව, මේ කියන අලාභය ඇත්තටම සිදු වී ඇති අලාභයක්ද එසේ නැත්නම් ලබා ගත හැකිව තිබුණු ලාභයක් නොලැබී යාම නිසා සිදු වූ උපකල්පිත අලාභයක් පමණක්ද යන්න පැහැදිලි නැත.

පුවත අනුව, "අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි ද එම අරමුදල විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සෘජුවම භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගත්තා නම් මේ අති විශාල අලාභය සිදු නොවීමට ඉඩ තිබුණ බව ද බැංකුව විසින් දැනට කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී තිබේ."

මේ කතාව අර්ධ සත්‍යයක් පමණි. ව්‍යාපාරික කටයුතු වල යෙදෙන රාජ්‍ය ආයතන නෛසර්ගිකවම පෞද්ගලික ආයතන වලට වඩා අකාර්යක්ෂම නිසා සේවක අර්ථසාධක අරමුදල වැනි මුල්‍ය වෙළඳපොළෙහි ආයෝජනය කර ලාභ ලැබීම ප්‍රධාන අරමුණ කරගත් ආයතනයක් එම අරමුණම වෙනුවෙන් කටයුතු කරන වෙනත් පෞද්ගලික ආයතනයක් ලබන තරමේ ලාභයක් නොලබන බව ඇත්තකි. ඒ අර්ථයෙන් සේවක අර්ථසාධක අරමුදල විසින් ඔවුන්ගේ පාලනය යටතේ ඇති අරමුදල් වෙනුවෙන් ලබා ගත හැකිව තිබුණු උපරිම ප්‍රතිලාභ ලබාගෙන නොතිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

කෙසේ වුවද, "අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි" කීම සත්‍යයක් විය හැක්කේ මෙවැනි ගනුදෙනුවක් පිටුපස කිසියම් පාරදෘශ්‍ය නොවන සිදුවීමක් සිදුව ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් පමණි.

මෙය පැහැදිලි කිරීම සඳහා මගේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ලිපි මාලාවේ හයවන කොටස සමඟ ඉදිරිපත් කළ පළමු වගුව වෙත යමු. 2015 පෙබරවාරි 27 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා සේවක අර්ථසාධක අරමුදල විසින් ලන්සු තබා ඇත්තේ රුපියල් 100 සිට 104.51 දක්වා පරාසයකය. ද්විතීයික වෙළෙඳපොළේදී සේවක අර්ථසාධක අරමුදලට භාණ්ඩාගාර බැඳුම්කර විකුණා ඇති රටේ කාලයක් තිස්සේ පුවත් මවන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් සෘජුව හෝ වක්‍රව රුපියල් 97.88 සිට 86.77 දක්වා පරාසයක ලන්සු තබා ඇති අතර ඒ අතරින් රුපියල් 90.17 ඉක්මවූ ලන්සු පිළිගැනිණි. පහළොස්වන කොටස සමඟ පළකර ඇති හත්වන වගුවෙන් පෙන්වා ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල විසින් නාමික අගය රුපියල් 100ක් වන භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ගෙවා ඇති බරිත සාමාන්‍ය මිල රුපියල් 102.23කි.

සේවක අර්ථසාධක අරමුදලට ඔවුන් වෙන්දේසියෙන් මිල දී ගත් බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ලාභයක් ලබා ගැනීමටනම් රුපියල් 102.23 ඉක්මවන මිලකට මේ බැඳුම්කර විකිණිය හැකි විය යුතුය. ඔවුන් වෙන්දේසියෙන් හිමිකර ගත් බැඳුම්කර ප්‍රමාණය (නාමික අගය අනුව) රුපියල් බිලියන දෙකක් නිසා ද්වීතියික වෙළඳපොලෙහි රුපියල් 103.23 බැගින් විකිණිය හැකි වූයේනම් රුපියල් මිලියන 20 ක ක්ෂණික ලාභයක්ද, රුපියල් 112.23 බැගින් විකිණිය හැකි වූයේනම් රුපියල් මිලියන 200 ක ක්ෂණික ලාභයක්ද සේවක අර්ථසාධක අරමුදලට ලබාගත හැකිව තිබුණි. එහෙත්, එසේ වැඩි මිලකට විකිණීමේ හැකියාවක් සේවක අර්ථසාධක අරමුදලට නොතිබුණේ එවැනි මිලකට මෙම භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට කිසිවකු සූදානම්ව නොසිටි බැවිනි.

ඇත්තටම ඉහත වෙන්දේසියෙන් පසුව තිස් අවුරුදු බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකිණිය හැකිව තිබුණේ සේවක අර්ථසාධක අරමුදලේ බරිත සාමාන්‍ය පිරිවැය වූ රුපියල් 102.23ට වඩා බොහෝ අඩු මිලකටය. ඒ නිසා, යම් හෙයකින් එම අරමුදලට සිය බැඳුම්කර මුදල් කරන්නට අවශ්‍ය වීනම් එය කළ හැකිව තිබුණේ විශාල අලාභයක් ක්ෂණිකව ලබමිනි. උදාහරණයක් ලෙස ලිපි මාලාවේ දහවන කොටස සමඟ පළකර ඇති පස්වන වගුව ඇසුරින් පැහැදිලි කර ඇති පදනම මත මේ ද්වීතියික වෙළඳපොළ මිල රුපියල් 96.02 ලෙස සැලකුවහොත්, නාමික අගය රුපියල් 100කට රුපියල් 6.21 බැගින් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 124.2ක ක්ෂණික අලාභයක් සිදුවිය හැකිව තිබුණි. මෙය දිවයින පුවතේ සඳහන් රුපියල් කෝටි 1,400ක හෙවත් බිලියන 14ක අලාභයට සාපේක්ෂව සුළු අලාභයකි.

කෙසේවුවද, මේ බිලියන දෙකේ ගණුදෙනුව සේවක අර්ථසාධක අරමුදලේ තවත් එක් ගනුදෙනුවක් පමණි. අපේ සාකච්ඡාවට අදාළ ගණුදෙනු සිදුවී ඇති 2015 අවසානයේ අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1,665ක් විය. මේ වත්කම් වලින් සුළු ප්‍රමාණයක් හැර ඉතිරිය අරමුදලේ ආයෝජන කළඹට අයත් වන අතර එයින්ද 90%ක් පමණම ආයෝජනය කෙරෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලය. ඒ නිසා, දිගින් දිගටම වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලට වඩා අඩු ලන්සු තබමින් බැඳුම්කර මිල දී ගත්තේනම් සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව බිලියන 14ක මට්ටමකට ඉහළ යන්නට බැරිකමක් නැත.

දැන් මෙසේ සේවක අර්ථසාධක අරමුදල පාඩු ලැබුවාය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙයින් අදහස් වන්නේ සේවක අරමුදල විසින් රුපියල් 102.23 බැගින් මිලදී ගත් බැඳුම්කර වල වෙළඳපොළ මිල රුපියල් 96.02 දක්වා පහත වැටීම නිසා (වෙනත් ආයෝජන නොසලකා හැරියොත්) අරමුදලේ ආයෝජන කළඹේ වෙළඳපොළ වටිනාකම ආයෝජනය කළ මුල් මුදලට වඩා අඩුවී තිබීම නිසා සිදුවූ අවාසියයි. කෙසේ වුවද, මේ පාඩුව "පොත් වල ඇති" පාඩුවකි. මේ පාඩුව සැබෑ පාඩුවක් වන්නේ පවතින මිලට මේ බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණුවහොත්ය.

මෙසේ වෙළඳපොළ මිලට විකිණීමත් සමඟ පොතේ ඇති පාඩුව සැබෑ පාඩුවක් බවට පත් වන නිසා, සල්ලි හදිස්සියක් නැත්නම්, ආයෝජකයෙකු බොහෝ විට කරන්නේ අදාළ බැඳුම්කර නොවිකුණා "යන විදිහ" බලා සිටීමයි. සේවක අර්ථසාධක අරමුදලට සාමාන්‍යයෙන් ලොකු සල්ලි හදිස්සි ඇති නොවේ.

කෙසේ වුවද, මෙසේ බලා සිටීමෙන් වැඩක් වෙන්නේ ද්වීතියික වෙළදපොළ මිල රුපියල් 102.23 මට්ටම ඉක්මවා ඉහළ යන්නට ඉඩක් ඇත්නම් පමණි. එසේ බලා සිටිද්දී යම් හෙයකින් මිල තවත් පහත වැටුණොත් සිදුවන්නේ අලාභය තවත් වැඩි වීමයි.

රුපියල් 96.02 සිට රුපියල් 102.23 දක්වා බැඳුම්කරයක මිල ඉහළ යන්නට ඇති ඉඩකඩ එතරම් වැඩි නොවන බව පැහැදිලිය. එහෙත්, මේ මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමට සැලකිය යුතු ඉඩක් තිබේ. ද්වීතියික වෙළඳපොළ මිල තමන් ගෙවූ මිලට වඩා පහත වැටී "ඇනගෙන සිටින" ආයතනයකට අනුගමනය කළ හැකි එක් උපාය මාර්ගයක් වන්නේ තමන් මුලින් බැඳුම්කර මිලදී ගත් මිලට වැඩ අඩුමිලක් වන පවතින ද්වීතියික වෙළදපොල මිලට තවත් බැඳුම්කර මිල දී ගැනීම මඟින් තමන්ගේ ආයෝජන කළඹේ බරිත සාමාන්‍ය පිරිවැය අඩු කර ගැනීමයි.

උදාහරණයක් ලෙස රුපියල් 102.23ක බරිත සාමාන්‍ය මිලකට බිලියන දෙකක බැඳුම්කර මිලදී ගෙන සිටින සේවක අර්ථසාධක අරමුදලට පවතින වෙළඳපොළ මිල වන රුපියල් 96.02 බැගින් තවත් බිලියන දෙකක බැඳුම්කර මිල දී ගැනීමෙන් ආයෝජන කළඹේ බරිත සාමාන්‍ය පිරිවැය රුපියල් 99.12 දක්වා අඩු කර ගැනීමට පුළුවන. මේ මට්ටමට මිල ඉහළ යාමට ඇති ඉඩකඩ රුපියල් 102.23දක්වා මිල ඉහළ යාමට ඇති ඉඩකඩට වඩා වැඩිය. ඒ නිසා එසේ කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදලට වඩා ඉක්මණින් අලාභය පියවා ගැනීමට ඉඩක් සැලසෙන්නට පුළුවන.

වෙන්දේසියෙන් පසුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමෙන් තවත් බැඳුම්කර මිලදී ගැනීම මඟින් සේවක අර්ථසාධක අරමුදල අපේක්ෂා කළේ මෙවැනි දෙයක් විය හැකිය. ඒ නිසා ප්‍රාථමික වෙන්දේසියෙන් බැඳුම්කර මිලදී නොගෙන ද්වීතියික වෙළඳපොළෙන් පසුව මිලදී ගැනීම මහා අමුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මෙසේ වැඩිපුර බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව මිල තවත් අඩු වුවහොත් පාඩුව තවත් ඉහළ යන නිසා මෙවැන්නක් කළ යුත්තේ සැලකිල්ලෙනි.

මේ වෙන්දේසිය පමණක් සැලකුවහොත් වෙන්දේසියෙන් පසුව සේවක අර්ථසාධක අරමුදල විසින් ද්වීතියික වෙළදපොලෙන් බැඳුම්කර මිල දී ගන්නට ඇත්තේ රුපියල් 96ක පමණ මිලකට වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. වැඩිපුර බැඳුම්කර ප්‍රමාණයක් තිබුණේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සතුව නිසාත්, අඩුම මිලකට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගැනීමට උත්සාහ කළ හැකිව තිබුණේ අඩුම පිරිවැයක් ගෙවා බැඳුම්කර හිමි කරගත් ආයතනයෙන් වීමත් නිසා එම සමාගමෙන්ම මිල දී ගැනීමද තේරුම් ගත හැකි දෙයකි.

යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික වෙන්දේසියෙන් සෘජුව බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිල දී ගත්තේනම් එසේ මිල දී ගැනීමට බොහෝ දුරට ඉඩ තිබුණේ රුපියල් 100කට ආසන්න, රුපියල් 96 ඉක්මවන මිලකටය.එසේ වීනම්,අරමුදලේ පාඩුව මීට වඩා වැඩි විය හැකිව තිබුණි. ඒ නිසා ප්‍රාථමික වෙන්දේසියෙන් මිලදී නොගෙන පසුව ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගැනීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් වූයේය යන්න බොහෝ දුරට පදනම් විරහිත කතාවක් විය හැකිය.

කෙසේ වුවද, ලබා ගත හැකිව තිබුණු ලාභය ලබා නොගත්තේය යන අරුතින් සේවක අර්ථසාධක අරමුදල පාඩු ලබා ඇති බව බොරුවක් නොවේ. එහෙත්, ඒ පාඩුව සිදුවී ඇත්තේ තරඟකාරී නොවන අඩු මිලකට ආණ්ඩුවට ණය දීම නිසාය.