Showing posts with label පාරිභෝගික අතිරික්තය. Show all posts
Showing posts with label පාරිභෝගික අතිරික්තය. Show all posts
Friday, June 30, 2017
අධ්‍යාපනය විකිණීම වැරදිද?
ඇතැම් අය සිතා සිටින්නේ අධ්‍යාපනය යනු මිල කළ නොහැකි, විකිණිය නොයුතු, හා කිසියම් පිරිසක් (රජය) විසින් මධ්‍යගතව සැලසුම් කළ යුතු, වෙනත් භාණ්ඩ හා සේවා වලට වඩා වෙනස් දෙයක් බවයි. එසේ සිතන අයට කිසිදු සැලසුම්කරුවෙකු නැතිව අධ්‍යාපන සේවා වෙළදපොලක් කාර්යක්ෂමව පැවතිය හැකි බව සිතාගන්නට නොහැකිය. ඒ නිසා ඔවුහු අධ්‍යාපන සේවා සැපයීම "හරියට" සැලසුම් කිරීම සඳහා රජයට කැමැත්තෙන්ම මුදල් ගෙවති. ඉන් පසුව, තමන් අපේක්ෂා කළ අරමුණ ඉටු නොවන විට සැලසුම්කරුට චෝදනා කරති.
එහෙත්, වැරැද්ද බොහෝ විට තිබෙන්නේ සැලසුමේ හෝ සැලසුම්කරුගේ නොව අධ්‍යපනය "හරියට" සැලසුම් කරන්නට යන ආකෘතියේ බව තේරුම් නොගනිති. අධ්‍යාපන සේවා සැපයීම මධ්‍යගතව සැලසුම් නොකර එය කාර්යක්ෂමව සිදු විය නොහැකි බවට වන අදහස කෙතරම් ජනගතව ඇත්දැයි විමසූ විට පෙනෙන්නේ කාලයක් තිස්සේ සැලසුම් සහගත ලෙස වැරදි න්‍යායයන් ප්‍රචලිත කිරීම සඳහා ගැනුණු සංවිධානාත්මක උත්සාහයන් හේතුවෙන් සිදුවී ඇති බලපෑමේ තරමයි.
අඩු වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ වන ඕනෑම ක්‍රියාවලියක් තුළ මිල සාධකය තිබේ. එය පැහැදිලිව පෙනෙන්නට නැත්නම් සැඟවී තිබේ.
ගුරුවරයෙකු විසින් සිසුවෙකුට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය එහි මූලික ලක්ෂණ අනුව වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොලෙහි විකිණීමේ අවස්ථාවකින් කිසිසේත්ම වෙනස් නොවේ. මෙහිදී ගුරුවරයා නිෂ්පාදකයාය. ඔහු පිරිවැයක් දරමින් අධ්‍යාපන සේවා නිෂ්පාදනය කරයි. සිසුවා වැඩිහිටියෙක්නම් ඔහු පාරිභෝගිකයාය. වැඩිහිටියෙක් නොවේනම් පාරිභෝගිකයා ඔහුගේ මව, පියා හෝ වෙනත් වැඩිහිටි භාරකරුවෙකු විය හැක.
දෙදෙනෙකු අතර ස්වේච්ඡා ගනුදෙනුවක් සිදුවන සෑම විටකම පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද සතුටු වෙති. දෙදෙනාටම වාසිද සැලසේ. නිෂ්පාදකයාට ලාභ ආන්තිකයක් ලැබෙන අතර පාරිභෝගිකයාට පාරිභෝගික අතිරික්තයක් හිමි වේ. අපි ගනුදෙනු කිහිපයකදී මෙය සිදුවන ආකාරය විමසා බලමු.
ආරම්භයක් ලෙස අපි පහත උදාහරණය දෙස බලමු.
වැඩිහිටි සිසුවෙකු ඉංග්‍රීසි කතාකිරීම ඉගෙන ගැනීමට පෞද්ගලික පන්තියකට යයි. මේ අවස්ථාවේදී, සිසුවා ගුරුවරයාට කිසියම් නිශ්චිත මුදලක් ගෙවයි. ගුරුවරයා එම මුදල ලබාගෙන සිසුවාට ඉංග්‍රීසි උගන්වයි. දැනට මේ සරල උදාහරණය ගන්නේ වඩා සංකීර්ණ උදාහරණ වෙත පසුව යන්නට ප්‍රවේශයක් වශයෙනි.
මෙහි සිසුවා පාරිභෝගිකයාය. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගැනීම වෙනුවෙන් පිරිවැයක් දරයි. ඔහු ගුරුවරයාට ගෙවන මුදල මේ පිරිවැයෙහි කොටසකි. එහෙත්, එම මුදල ඔහුගේ මුළු පිරිවැය නොවේ. පන්තියට යාමට ඔහුට වැය වන බස් ගාස්තුද එහි කොටසකි. පාඨමාලාවට අදාළ පොත් හා ලිපි ද්‍රව්‍ය වෙනුවෙන් තවත් මුදලක් වැය වේ. ගුරුවරයාට ගෙවන මුදලට අමතරව සිසුවා විසින් මේ වියදම්ද දැරිය යුතුය. මේ සියල්ලේ එකතුවද ඔහුගේ මුළු පිරිවැය නොවේ. අතින් මුදලක් නොගියත්, පන්තියට සහභාගී වීමට හා ගෙදරදී අභ්‍යාස කිරීමට ගතවන කාලයද ඔහුගේ ආවස්ථික පිරිවැයේ කොටසකි. එම කාලය තුළ ඔහුට වෙනත් යමක් කර කිසියම් මුදලක් ඉපැයීමේ ඉඩක් ඇත්නම් එයද පිරිවැයට එකතු විය යුතුය. ඒ කාලය තුළ ටෙලිනාට්‍යයක් බලන්නට තිබුණු අවස්ථාව මඟ හැරීමද එහිම කොටසකි. ඒ නිසා ඇති වන අසතුට කිසියම් නිශ්චිත මුදලක් නැති වූ විට ඇතිවන අසතුටට සමාන කළ හැකිය.
මේ සියලු පිරිවැය දරාගෙන සිසුවා ඉංග්‍රීසි ඉගෙන ගන්නේ එයින් ඔහුට ලැබෙන ලාභය වැය කරන පිරිවැයට වඩා වැඩි බැවිනි. ඉංග්‍රීසි කතා කරන්නට පුළුවන් වූ විට වඩා හොඳ රැකියාවක් කරන්නට ඉඩ සැලසේ. එවිට ආදායම ඉහළ යයි. මෙය ජීවිත කාලය පුරාවට දිගටම, එසේ නැත්නම් විශ්‍රාම යන තුරු ලැබෙන සෘජු මුදල් වාසියකි. ඊට අමතරව ඉංග්‍රීසි කතා කළ හැකි වූ විට සමාජයේ තැනක් ලැබේ. මේ හේතුවෙන් මුදල් නොලැබුනත් එමඟින් ලැබෙන සතුට කිසියම් මුදලකට සමාන කළ හැකිය.
ඉහතින් විස්තර කළ වාසි හා අවාසි සිසුවාගෙන් සිසුවාට වෙනස් වේ. අයෙකුගේ වාසි අවාසි වලට වඩා වැඩිය. ඔහු පන්තියට යයි. තවත් අයෙකුගේ වාසි වලට වඩා අවාසි වැඩිය. ඔහු පන්තියට නොයයි. අයෙකුගේ වාසි හා අවාසි සමානය. ඔහුට ගියත් එකයි නැතත් එකයි වගේය. ඒ නිසා යන්නත් පුළුවන. නොයන්නත් පුළුවන.
දැන් පන්ති ගාස්තු වැඩි වුනොත් වෙන්නේ කුමක්ද? සියලුම පාරිභෝගිකයින්ගේ එනම් ඉංග්‍රීසි කතා කරන්නට කැමැත්තෙන් සිටි අයගේ වියදම් කොටස ඉහළ යයි. වාසි කොටසේ වෙනසක් නොවේ. ඒ නිසා කලින් ශුද්ධ වාසියක් තිබුණු ඇතැම් අයට දැන් ශුද්ධ අවාසියක් සිදු වේ. ඒ නිසා පන්තියට එන සිසුන් ගණන අඩු වේ. මේ අයුරින්ම, පන්ති ගාස්තු අඩුවන විට පැමිණෙන සිසුන් ගණන වැඩි වේ.
පන්ති ගාස්තු වෙනස් නොවී බස් ගාස්තු වැඩි වූ විටද මේ අයුරින්ම පන්තියට ඇති ඉල්ලුම අඩු වේ. එහෙත් එහි බලපෑම පෙර මෙන් සියලු සිසුන්ට එකසේ ඇති එකක් නොවේ. මේ වෙලාවේ පන්තියට ආසන්නව සිටින, පයින් හෝ බයිසිකලයකින් එන සිසුන් පන්තියෙන් හැලෙන්නේ නැත. ඒ වෙනුවට පන්තියට වඩා දුරින් සිටින සිසුන් පිරිසක් හැලේ.
දැන් අපි මෙහි නිෂ්පාදකයා වන ගුරුවරයාගේ පැත්ත බලමු. පන්තිය වෙනුවෙන් ඔහුට තැනක් කුලියට ගන්නට සිදු වේ. ඒ සඳහා ඔහු මුදලක් ගෙවිය යුතුය. එහි පැමිණෙන්නට ප්‍රවාහන වියදම්ද දැරිය යුතුය. උගන්වන්නට සහ ඒ සඳහා සූදානම් වීමට ඔහු වැය කරන්නේ ඔහුට වෙනත් දෙයක් සඳහා වැය කළ හැකි කාලයයි. ඔහු ඉංග්‍රීසි පන්තිය කරන්නේ පන්ති ගාස්තු ලෙස එකතුවන මුදලින් මේ සියලු වියදම් පියවී ලාබයක් ඇත්තේනම් පමණි.
ගුරුවරයාට සිය ලාබ වැඩි කර ගැනීමට පන්ති ගාස්තු ඉහළ දැමිය හැකි වුවත් එය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ගාස්තු ඕනෑවට වඩා වැඩි කළොත්, එක් සිසුවෙකුගෙන් ලැබෙන මුදල ඉහළ ගියත් පැමිණෙන සිසුන් ගණන අඩු වීම නිසා ලැබෙන ආදායම පහළ යන්නට පුළුවන. බස් ගාස්තු ඉහළ ගිය විට ඇතැම් සිසුන් පන්තියෙන් ගිලිහෙන්නට පුළුවන. කෙසේවුවද, ඈතක තිබූ වෙනත් පන්තියකට ගිය සිසුන් මේ පන්තියට එන්නට වුවද ඉඩ තිබේ. එසේ වුවහොත් ඉල්ලුම ඉහළ යයි.
දැන් මේ පන්තියේ පන්ති ගාස්තු තීරණය වන්නේ එහි පැමිණෙන හෝ නොපැමිණෙන එක් එක් සිසුවාගේ අපේක්ෂිත වාසි හා ආවස්ථික පිරිවැය මෙන්ම ගුරුවරයාගේ ආවස්ථික පිරිවැයද මතය. මේ එක් දෙයක් හෝ වෙනස් වීමෙන් පන්ති ගාස්තු වෙනස් විය හැකිය. ඒ හැම විටකම සිදු වන්නේ සියලු දෙනාටම සතුටු විය හැකි ප්‍රසස්ථ මට්ටමකට මිල ස්වභාවිකවම වෙනස් වීමයි. එය ගුරුවරයා විසින් වෙනස් කරන බව පෙනෙන්නට තිබුණත් ඇත්තටම එය සමස්ත පද්ධතියේම අන්තර් සම්බන්ධතා මත සිදුවන්නකි.
වැඩිහිටි සිසුන්ට ඉංග්‍රීසි කතා කිරීම උගන්වන පංති කිසිවකුගේ නියාමනයකට ලක් නොවන නිසා මධ්‍යගත සැලසුම්කරුවෙකු නැතුවම මේ වෙලදපොල කාර්යක්ෂමව පවතී. ඒ කාර්යක්ෂමතාවය පවත්වා ගැනෙන්නේ මිල සාධකය හරහාය. කාමර කුලී වැඩි වන විට ගුරුවරුන්ගේ ලාභ අඩු වේ. එවිට, පන්ති ගාස්තු වැඩි කරන්නට සිදු වේ. පන්ති ගාස්තු වැඩි වන විට සිසුන්ගෙන් කොටසක් හැලේ. එවිට, දක්ෂ ගුරුවරයෙකුට වෙළඳපොළේ තවදුරටත් රැඳී සිටිය හැකි වුවත් සාපේක්ෂව අදක්ෂ ගුරුවරයෙකුට (වඩා අකාර්යක්ෂම නිෂ්පාදකයෙකුට) ප්‍රමාණවත් සිසුන් පිරිසක් නැති නිසා පන්තිය පවත්වාගෙන යාම අසීරු වේ. මිල සාධකය හරහා අදක්ෂ ගුරුවරුන් ස්වභාවිකම වෙළඳපොලෙන් ඉවත් කරයි. දක්ෂ ගුරුවරුන් ඉතුරු කරයි. මෙය කරන්නට රජයේ අමාත්‍යංශයක මහජන මුලින් යැපෙන නිලධාරීන් පිරිසක් බදු මුදලින් නඩත්තු කිරීමට අවශ්‍ය නැත.
කිසියම් නගරයක පන්තියක් කරන දක්ෂ ගුරුවරයෙකුට විශාල සිසුන් පිරිසක් ආකර්ශනය වෙයි. ලාභ ඉහළ යයි. මෙය දකින තවත් අයට ඉංග්‍රීසි පන්ති පටන් ගන්නට හිතේ. නගරයේ දෙවන ඉංග්‍රීසි පන්තියක් ඇරඹේ. මේ ගුරුවරයා පළමු ගුරුවරයා තරම් දක්ෂ නැතත් පන්තියේ තදබදය අඩුය. ගුරුවරයා සමඟ පෞද්ගලිකව කතා කරන්නට වැඩි ඉඩක් ලැබේ.
දැන් සිසුන්ට තෝරා ගැනීමක් තිබේ. පළමු ගුරුවරයා ගුරුවරයෙකු ලෙස වඩා සාර්ථක වුවත් සිසුන් සිය ගණනක් සිටින පන්තියකට වඩා අඩු සිසුන් ගණනක් සිටින පන්තියකට කැමති සිසුන් දෙවන ගුරුවරයා වෙත යයි. පන්තියේ ප්‍රමාණය ප්‍රශ්නයක් ලෙස නොසිතන අය පළමු ගුරුවරයා ලෙස රැඳේ. සිසුන් වඩා කැමති කුඩා පන්තියකටද නැත්නම් ලොකු පන්තිකටද කියා පරීක්ෂා කර අදාළ පන්තියට සිසුන් යොමු කිරීම සඳහා බදු මුදලින් යැපෙන නිලධාරියෙකු අවශ්‍ය නැත.
අලුත් ආයතනයකට ඉංග්‍රීසි උගත් පිරිස් අවශ්‍ය වී රැකියා අවස්ථා වැඩි වන විට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ඇති වාසි වැඩි වේ. එවිට ඉංග්‍රීසි ඉගෙන ගන්නට ඇති ඉල්ලුම වැඩි වේ. රජයේ නිලධාරියෙකු සමීක්ෂණයක් කර මේ බව දැනගෙන අලුත් ඉංග්‍රීසි පන්තියක් පටන් ගත යුතු බව ඇමතිවරයාට යෝජනා කරන්නට අවශ්‍ය නැත. ඉල්ලුම වැඩි වන විට ස්වභාවිකවම අලුතින් ඉංග්‍රීසි පන්ති ඇති වේ. එය සිදු වන්නේ මිනිසුන්ට ස්වභාවිකමව ඇති ලාභ ලැබීමේ ආශාව තුලිනි. රජය විසින් බාධා නොකරන තාක් කල් සිසුන්ගේ අවශ්‍යතා වලට සරිලන තරමේ අධ්‍යාපනයක් ස්වභාවික ලෙසම ඔවුන්ට ලැබේ. නියාමකයෙකු නැතත් වෙළඳපොළ යාන්ත්‍රනය විසින් වෙළඳපොල නියාමනය කරයි.
අදක්ෂ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්නා සිසුවෙකුට කලක් පන්ති ගියත් හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැක. දක්ෂ ගුරුවරයාගේ පන්තියට යන අයට ඉතා ඉක්මනින් ඉංග්‍රීසි ප්‍රවීණතාවය ලැබේ. රැකියා සඳහා වන සම්මුඛ පරීක්ෂණයේදී වැඩි වශයෙන් තේරෙන්නේ දක්ෂ ගුරුවරයාගේ පන්තියේ අයයි. ඒ නිසා ඒ පන්තියට ස්වභාවික ලෙසම ඉල්ලුම වැඩි වේ. අදක්ෂ ගුරුවරයාගේ පන්තියට ඉල්ලුම අඩු වේ. ප්‍රමාණවත් සිසුන් ගණනක් නැති නිසා ඔහුගේ වියදම නොපියවේ. ඒ නිසා ඒ පන්තිය වැසී යයි. මෙසේ වැසී යන්නේ ගුණාත්මක භාවයෙන් අඩු සේවාවක් සපයන ගුරුවරයාගේ පන්තියයි.
කෙසේවුවද, වැසී ගිය පන්තියේ ගුරුවරයාට අනෙක් ගුරුවරයාට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් තිබෙන්නට පුළුවන. ගුරුවරයෙකුගේ අධ්‍යාපන සුදුසුකම් වලින් ඔහු ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන ඉඟි කරන නමුත් හැමවිටම වැඩි අධ්‍යාපන සුදුසුකම් වලින් වැඩි ගුණාත්මක භාවයක් අදහස් කෙරෙන්නේ නැත. නියාමනයක් නැති වෙළඳපොළ යාන්ත්‍රණය තුල ගුණාත්මක භාවයෙන් වැඩි අධ්‍යපනයක් ලබා දෙන ගුරුවරුන් ඉතිරි වී එසේ නොකරන අය ස්වභාවිකවම ඉවත් වේ. ගුණාත්මක භාවය එක් එක් (වැඩිහිටි) සිසුවා හෙවත් මුදල් ගෙවන පාරිභෝගිකයා විසින් තීරණය කරන්නක් මිස සියලු දෙනා පොදුවේ එකඟ වන දෙයක් නොවේ. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෙයක් සම්බන්ධව සියලු දෙනාට පොදුවේ එකඟ වීම අසීරුය. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා වෙනස් නිසා ගුණාත්මක භාවය පිළිබඳ සියලු දෙනාටම පොදු නිර්ණායක නැත.
එහෙත් මධ්‍යගත සැලසුම්කරුවෙකු ලෙස ක්‍රියාකරන රජයේ නිලධාරියෙකුට ප්‍රායෝගිකව සියලු සිසුන්ගෙන් ඔවුන් අපේක්ෂා කරන ගුණාත්මක භාවය කුමක්ද කියා විමසීමේ හැකියාවක් නැත. එසේ විමසුවද එය කාලය සමඟ නොවෙනස්ව තිබෙන දෙයක් නොවේ. ඒ නිසා ඔහුට කළ හැක්කේ අධ්‍යාපන සුදුසුකම් වැනි ගුණාත්මක භාවය ගැන ඉඟි කරන කිසියම් නිර්ණායකයක් යොදාගැනීමටය. මේ නිලධාරියා අපක්ෂපාතී හා අවංක (පගාවට වැඩ නොකරන) එමෙන්ම මහන්සි වී වැඩ කරන (කාලය අපතේ නොයවන) නිලධාරියෙක් වන්නට පුළුවන. එසේ වූ පමණින් ඔහු කාර්යක්ෂම නිලධාරියෙක් වන්නේ නැත. බදු මුදල් වැය කරමින් ඔහු මහන්සි වන්නේ වෙළදපොළ යාන්ත්‍රණයට ස්වභාවික ලෙසම කළ හැකි දෙයක් "වඩා හොඳින්" කරන්නටය.
තනි පුද්ගලයෙකු වන රජයේ නිලධාරියෙකු (හෝ කණ්ඩායමක්) කොයි තරම් දක්ෂ සැලසුම්කරුවෙකු (හෝ සැලසුම්කරුවන්) වුවත් ඔහුට (ඔවුන්ට) එය කළ නොහැකිය. ලක්ෂ ගණනක් සිතන පතන ආකාරය පිළිබඳ දත්ත හා ඒ සිතන ආකාරය අනාගතයේ වෙනස්වන ආකාරය නිවැරදිව පුරෝකථනය කළ හැකි ආකෘති ඔහු සතුව නැත. ඒ නිසා, ඔහුට සැලසුම් හදන්නට වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ලෙස ඔහු අදහස් කරන දෙය මත පදනම්වය. මෙය රටේ සිසුන් හා ගුරුවරුන් බොහෝ දෙනෙක් ගුණාත්මක භාවය ලෙස දකින දෙයම නොවේ. ඔහුට වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකු ගුරු තනතුරකට තෝරා ගත හැකි වුවත්, වැඩි ඉගෙන්වීමේ හැකියාවක් ඇති අයෙකු තෝරා ගැනීම අසීරුය.
දැන් අපි අවසානයට කතා කළ නගරයට නැවත ගියහොත් ඒ නගරයේදී වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති එහෙත් අදක්ෂ ගුරුවරයාගේ පන්තිය වැසී ගොස් අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති දක්ෂ ගුරුවරයාගේ පන්තිය ඉතිරි විය. මේ හේතුවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුවන බව රජය විසින් හඳුනා ගන්නට පුළුවන. එයට පිළියමක් ලෙස රජය විසින් ඉංග්‍රීසි කතා කිරීම උගන්වන ගුරුවරුන් සඳහා අවශ්‍ය වන මූලික අධ්‍යාපන සුදුසුකම් නියම කරන්නට පුළුවන. එසේ කළ විට, දක්ෂ ගුරුවරයාට ඉංග්‍රීසි පන්ති කිරීමේ හැකියාව නැති වේ.
දැන් දක්ෂ ගුරුවරයා නැති නිසා අදක්ෂ ගුරුවරයාට සිසුන් පිරිසක් සිටී. ඒ නිසා, ඔහුට පන්තිය පවත්වාගෙන යා හැකිය. පන්තියට පැමිණෙන සිසුන් අතරින් ඉගෙන ගැනීමේ දක්ෂතාවය වැඩි සිසුහු ගුරුවරයා අදක්ෂ වුවත් කෙසේ හෝ ඉගෙන ගනිති. එහෙත් අදක්ෂ සිසුන්ට අනෙක් ගුරුවරයා මෙන් "ඉංග්‍රීසි පෙවීමේ" හැකියාවක් ඔහුට නැත. ඒ නිසා අන්තිමේදී පන්තියේ ඉතිරි වන්නේ සාපේක්ෂව දක්ෂ සිසුන් පමණි. රජයේ නියාමනය හේතුවෙන් අනෙක් සිසුන්ට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගැනීමට තිබුණු අවස්ථාව නැති වේ.
අලුතින් ඇරඹුණු ආයතනයට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි කතා කිරීමට මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදනයට අදාළ වෙනත් කුසලතාවයක් හෝ ගුණාංගයක් (උදාහරණයක් ලෙස වඩු කර්මාන්තය පිළිබඳ දක්ෂතාවය හෝ උස අඩි හයක් වීම) ඇති අයයි. ඉංග්‍රීසි උගත් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට එන විට ඒ අය අතරින් තමන්ට අවශ්‍ය අනෙක් කුසලතාවන් ඇති අය ප්‍රමාණවත් පිරිසක් හඳුනා ගන්නට ආයතනයට හැකි වුවත් දැන් එන ඉංග්‍රීසි කතා කළ හැකි සීමිත පිරිස අතර ඒ කුසලතාව ඇති අය නැත. ඒ නිසා, ඉංග්‍රීසි කතා කළ හැකි වුවත් මේ අයට රැකියා නොලැබේ. රැකියා නොලැබෙන නිසා ඉංග්‍රීසි පංතියට ඇති ඉල්ලුමද අඩු වී එය පවත්වා ගැනීම අසීරු වී වැසී යයි. අවශ්‍ය සේවකයින් සොයාගත නොහැකි නිසා අලුතින් ඇරැඹු ආයතනයද උපන්ගෙයිම මිය යයි.
කිසියම් නගරයක කොයි තරම් දක්ෂ ගුරුවරයෙකුගේ ඉංග්‍රීසි පන්තියක් තිබුනත් ඒ පන්තියට රටේම සිටින සිසුන් පැමිණෙන්නේ නැත. ඒ ප්‍රවාහනය සඳහා වැය වන මුදලේ හා කාලයේ ආවස්ථික පිරිවැය පන්තියට ඇති දුර සමඟ වැඩි වන බැවිනි. නියාමනයක් නැති වෙළදපොළ යාන්ත්‍රණයට මේ ප්‍රශ්නයටද විසඳුම් තිබේ. සිසුන්ගේ ප්‍රවාහන වියදම වැඩි වන විට සිසුන් ගුරුවරයා වෙත යනු වෙනුවට ගුරුවරයා සිසුන් වෙත යයි. දක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන් නගර ගණනක පන්ති කරන්නේ ඒ නිසාය.
ගුරුවරයෙකුට වෙනත් නගරයකට ගොස් පන්තියක් කිරීමට වැඩි ආවස්ථික පිරිවැයක් දරන්නට සිදු වේ. එක පැත්තකින් ප්‍රවාහන වියදම්ය. අනෙක් පැත්තෙන් ප්‍රවාහනය වෙනුවෙන් ගත වන කාලය තුළ තමන් සිටින නගරයේ තවත් පන්තියක් කිරීමට ඇති අවස්ථාවයි. මේ නිසා ගුරුවරයකු වෙනත් නගරයක පන්ති කරන්නේ විශාල ඉල්ලුමක් ඇත්නම් පමණි. ඒ නගරයේම සිටින ගුරුවරයෙකුට සංසන්දනාත්මක වාසියක් ඇති නිසා සිසුන් ගණන අඩු වුවත් පන්තියක් පවත්වාගෙන යන්නට පුළුවන.
ඉහත පැහැදිලි කිරීම අනුව ගුරුවරයෙකුට වැඩිපුර සිසුන් සිටීම යනු හැමවිටම වැඩිපුර ලාබ තිබීම නොවේ. අඩු සිසුන් ගණනක් සිටින ගමේ ගුරුවරයාගේ පන්තියෙන් හා වැඩි සිසුන් පිරිසක් සිටින පිටින් එන ගුරුවරයාගේ පන්තියෙන් ලැබෙන ලාබ සමාන වන්නට පුළුවන. ගුරුවරයෙකු වෙනත් නගරයක පන්තියක් කිරීම ගැන හිතන්නේ තමන් සිටින නගරයේ දෙවන (හෝ තවත් අමතර) පන්තියක් වෙනුවෙන් ඇති ඉල්ලුම විශාල ලෙස අඩුනම් පමණි. මේ යාන්ත්‍රණය තුල රටේ සිටින දක්ෂම ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව බොහෝ නගර වල සිසුන්ට හිමි වේ. එවැනි ගුරුවරයෙකු විශාල පැය ගණනක් මහන්සි නොබලා වැඩ කරන්නේ තමන්ගේ මහන්සියට සරිලන ලාබයක් ඇති බැවිනි. එහෙත්, අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම වෙනුවෙන් කියා රජය විසින් ගුරුවරයෙකුට සිටිය යුතු උපරිම සිසුන් ගණන සීමා කළහොත් දක්ෂ ගුරුවරයෙකු වෙනත් නගර වලට ගොස් පන්ති කිරීම නවතී.
වෙළඳපොළ යාන්ත්‍රණයට රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට අවශ්‍ය සිසුන් සිටින තැන් වලට ගුරුවරුන් යොමු කිරීමේ ස්වභාවික හැකියාවක් තිබේ. එය සිදුවන්නේ ස්වාභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කිරීමට වැඩිහිටි සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ඇති හැකියාව මත මිල යාන්ත්‍රනය හරහාය. රජය මැදිහත් නොවන තුරු මෙය කාර්යක්ෂම ලෙස සිදු වේ.
කිසියම් නගරයක අලුතින් ආයතනයක් ඇරැඹී ඉංග්‍රීසි කතා කළ අය හැකි අයට ඇති ඉල්ලුම වැඩි වන විට එම නගරයේ පන්ති වලට සිසුන් වැඩි වේ. එවිට එම නගරය රටේ සිටින දක්ෂ ගුරුවරුන්ට ආකර්ශනීය වී ස්වභාවික ලෙසම ඔවුන් එහි ඇදේ. ආයතනය අලුතින් පටන් ගැනෙන බව දැනගෙන ගුරුවරුන් එහි යොමු කිරීම සඳහා බදු මුදලින් නඩත්තු වන නිලධාරීන් අවශ්‍ය නැත. මධ්‍යගත සැලසුම්කරුවෙකුට දක්ෂ ගුරුවරුන් තෝරාගැනීමේ හැකියාවක් නැතුවාට අමතරව ඒ ඒ නගරයට අවශ්‍ය ප්‍රමාණයට හා වඩාත්ම සුදුසු ගුරුවරුන් යොමු කිරීමේ හැකියාවක්ද නැත.
නැවතත් කියනවානම්, මධ්‍යගත සැලසුම්කරුවෙකුට වඩාත්ම කාර්යක්ෂම ගුරුවරුන් හරියටම තෝරා ගැනීමේ හැකියාවක් නැතිවා පමණක් නොව, නිදහස් වෙළඳපොළක ස්වභාවිකව සිදුවන අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් යොමු කිරීම හෝ අවශ්‍ය පුද්ගලයින් යොමුකිරීමේ හැකියාවද නැත. මෙය සැලසුම්කරු වෙනස් කිරීමෙන් විසඳිය නොහැකි ක්‍රමයේ ප්‍රශ්නයකි. වඩා හොඳ සැලසුම්කරුවන් සිටින්නට පුළුවන් වුවත්, ඉතා සුවිශේෂී තත්ත්වයන් යටතේ හැර සැලසුම්කරුවෙකුට නිදහස් වෙළඳපොළක ස්වභාවිකව සිදුවන දෙයට වඩා හොඳින් සැලසුම් කළ නොහැකිය.
එහෙත්, රජයයන් විසින් හැමවිටම පෙන්වන්නේ රජයකට නිදහස් වෙළඳපොළට වඩා හොඳින් සම්පත් කළමනාකරණය කළ හැකි බවයි. මෙය පෙන්වමින් රජයයන් විසින් ඒ වෙනුවෙන් බදු මුදල් එකතු කරයි. එහෙත්, එය එසේ සිදු නොවන විට බදු ගෙවන්නන් හා රජය අතර ප්‍රශ්න ඇති වේ. රජයයන් වෙනස් වීමෙන් මෙවැනි ප්‍රශ්න කෙළවර වේ. හිටපු සැලසුම්කරුවන් වෙනුවට අලුත් සැලසුම්කරුවෝ පැමිණෙති. එහෙත් ප්‍රශ්නය වන්නේ සැලසුම්කරුවන් කවුද යන්න නොව සැලසුම්කරුවන් සිටීම නිසා ප්‍රශ්නය එයින් නො විසඳේ.
මෙය වෙනස් වන්නටනම් නිදහස් වෙළඳපොළකට වඩා හොඳින් මධ්‍යගත සැලසුම් කරන රජයකට සම්පත් කළමනාකරණය කළ හැකි බවට සමාජයේ ඇති විශ්වාසය නැති විය යුතුය. එහෙත්, කාලයක් තිස්සේ රජයයන් විසින් ප්‍රචලිත කර ඇති මේ මතය සමාජයෙන් ඉවත් කිරීම පහසු නොවනවා පමණක් නොව කිසිදු රජයක් එයට කැමති වන්නේද නැත. මේ මතය ප්‍රචලිත කිරීම සඳහා රජයයන් විසින් යොදාගන්නා ප්‍රමුඛ උපාංගය "නිදහස් අධ්‍යපනය" ලෙස හඳුන්වන නිදහස නැති කරන අධ්‍යාපනය වීම මෙහි ඇති උත්ප්‍රාසයයි.
සාමාන්‍ය තත්ත්වය වන්නේ මධ්‍යගත සැලසුම් නොතිබීම නිසා එවැන්නක් අවශ්‍ය වන හැම විටකම අදාළ සැලසුම හේතුවෙන් නිදහස් වෙළඳපොලක සිදුවනවාට වඩා කාර්යක්ෂම ලෙස සම්පත් කළමනාකරණය සිදුවන්නේ කෙසේද යන්න පෙන්වීම සැලසුම්කරුවන් විසින් කළ යුතු දෙයකි. එසේ අවශ්‍ය වන සුවිශේෂී තත්ත්වයන් තිබෙන්නට පුළුවන. මේ ලිපියේ උදාහරණයේ පාරිභෝගිකයා ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට අපේක්ෂා කරන වැඩිහිටි සිසුවෙකි. ඔහු වැය කරන්නේ තමන්ගේම මුදල්ය. ගනුදෙනුවට තෙවන පාර්ශ්වයන් සම්බන්ධ වන තරමට විශ්ලේෂණය වඩා සංකීර්ණ වේ. එවැනි, වඩා සංකීර්ණ අධ්‍යාපන සේවා වෙළඳපොළවල් ගැන ඉදිරියේදී කතා කරමු.
Labels:
අධ්‍යාපනය,
ධනවාදය,
නියාමනය,
පාරිභෝගික අතිරික්තය,
ලාභය,
වෙළඳපොළ ආර්ථිකය
Tuesday, May 10, 2016
වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද?
මා පසුගිය සටහනෙන් ශ්‍රී ලංකාවේ ආදායම් විෂමතාවය ගැන කතා කළේ ඉන් පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාරයක් දක්වමින් පාඨකයෙකු විසින් ආර්ථික වර්ධනය ඇඟට නොදැනෙන්නේ ඇයිදැයි කළ විමසීමට හේතු දැක්වීමක් වශයෙනි. ආදායම් විෂමතාවය ආර්ථික වර්ධනය ඇඟට නොදැනීමට එකම හේතුව නොවුණත් එයද එක් හේතුවකි. රටක දළ ජාතික ආදායම වැඩි වන්නේ සීමිත පිරිසකගේ ආදායම විශාල ලෙස වර්ධනය වීම නිසා පමණක්නම් අඩු ආදායම් ලබන ඉතිරි පිරිසට ආර්ථික වර්ධනය ඇඟට දැනෙන්නේ නැත. කෙසේවුවද, ලංකාවේ පවතින සැලකිය යුතු ආදායම් විෂමතාවය මධ්‍යයේ වුවද ලංකාවේ අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වයද යම් තරමකින් හෝ උසස් වී නැතැයි කිව නොහැකිය.
ඉහත ලිපියට ප්‍රතිචාරයක් ලෙස වැට් බද්ද වැඩි කිරීම ගැන අදහසක් පළ වී තිබේ. මෙය මා ලිපිය ලියද්දී සිත යොමු කළ මානයක් නොවූවත් එම ප්‍රතිචාරය ඔස්සේ සිතුවිලි මෙහෙයවන විට වැට් බද්ද වැඩි කිරීම ගැන කතා කරන්නට වැදගත් කරුණු රැසක් මතක් වේ. මේ කරුණු සාරාංශගත කළහොත් විමසන්නට ඇති ප්‍රධාන කරුණ වන්නේ වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද යන්නයි.
රජය විසින් කිසියම් බදු අනුපාතිකයක් ඉහළ දමන්නේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට බව පැහැදිලි කරුණකි. එහෙත්, බදු අනුපාතික ඉහළ දැමීමෙන් හැම විටම රජයේ බදු ආදායම වැඩි කර ගත නොහැකිය. රජයක් විසින් අපේක්ෂා කරන ප්‍රතිඵලය නොවූවත් බදු වැඩි කිරීම නිසා රජයේ බදු ආදායම අඩු වී ඇති අවස්ථාද තිබේ.
කිසියම් භාණ්ඩයක් මත පනවන බද්දක් වැඩි කළ විට එම භාණ්ඩය නිසා ලැබෙන බදු ආදායමට සිදුවන්නේ කුමක්ද යන්න තීරණය වන්නේ අදාළ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය අනුවය. සරලව කියනවානම් භාණ්ඩයේ මිල 1%කින් වැඩි කළ විට ඒ සඳහා වන ඉල්ලුම අඩුවන්නේ කවර ප්‍රතිශතයකින්ද යන්න මතය.
උදාහරණයක් ලෙස අපි රුපියල් 600ක මිලකට විකිණෙන මත්පැන් බෝතලයක් ගැන සිතමු. මේ රුපියල් 600න් රුපියල් 500ක්ම වෙන්වන්නේ වක්‍ර බදු වෙනුවෙනි (උදාහරණයක් පමණි. එහෙත් සැබෑ තත්ත්වයේද වැඩි වෙනසක් නැත.) ඉතිරි රුපියල් 100 නිෂ්පාදකයාගේ ආදායමයි. එයින් නිෂ්පාදන වියදම අඩු කළ විට ඉතිරිය නිෂ්පාදකයාගේ ලාභයයි. මෙය රුපියල් 20යැයි සිතමු.
රුපියල් 600ක් ගෙවා මත්පැන් බෝතලයක් මිල දී ගන්නා සෑම පාරිභෝගිකයෙක්ම එහි වටිනාකම රුපියල් 600කට වඩා වැඩියයි සිතන අයෙකි. එසේ නැත්නම් මේ මිල දී ගැනීම නොකර ඉන්නට ඔහුට හෝ ඇයට බාධාවක් නැත. මෙවැනි පාරිභෝගිකයින් මිලියනයක් රටේ සිටීනම් රජයට මත්පැන් වලින් වක්‍ර බදු ලෙස රුපියල් මිලියන 500ක් ලැබේ. නිෂ්පාදකයාට මිලියන 20ක ලාභයක් ලැබෙන අතර එයින් කොටසක්ද ආදායම් බදු ලෙස රජයට හිමි වේ.
දැන් රජය මත්පැන් බෝතලයක් සඳහා වන බද්ද රුපියල් 100කින් වැඩි කළහොත් රජයේ ආදායමෙහි කොපමණ වෙනසක් වෙයිද?
මෙය තීරණය වන්නේ රටේ පාරිභෝගිකයින් හා මත්පැන් නිෂ්පාදකයින් මේ බදු වැඩි වීමට දක්වන ප්‍රතිචාරය මතය. නිෂ්පාදකයා මේ බද්ද මුළුමනින්ම පාරිභෝගිකයින් මත පැටවූවේයැයි සිතමු. දැන් මත්පැන් බෝතලයක මිල රුපියල් 700කි. පෙර මිලට මත්පැන් මිල දී ගත් පාරිභෝගිකයින් මිලියනයම වැඩි වූ මිල යටතේ තවදුරටත් නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළ තුළ රැඳී සිටීනම් නිෂ්පාදකයාගේ ලාභයේ වෙනසක් නොවේ. එහෙත්, රජයේ බදු ආදායම මිලියන 100කින් වැඩි වේ.
රජයට ලැබෙන මේ වාසිය ලැබෙන්නේ කොහෙන්ද? මේ අවස්ථාවේදීනම් එය තනිකරම ලැබුණේ පාරිභෝගිකයින්ගෙනි. රජයට ලැබුණු රුපියල් මිලියන 100යේ වාසිය පාරිභෝගිකයින්ට සිදු වූ අවාසියකි. තාක්ෂණික වචනයක් යොදාගතහොත් පාරිභෝගික අතිරික්තයේ සිදු වන අඩුවීමකි.
එසේනම්, මේ පාරිභෝගික අතිරික්තය යනු කුමක්ද?
ඕනෑම පුද්ගලයෙකු භාණ්ඩයකට ගෙවීමට කැමති උපරිම මිලක් තිබේ. තුෂාර මත්පැන් බෝතලයකට ගෙවන්නට සූදානම් උපරිම මිල රුපියල් 1000ක් නම් රුපියල් 600ක් ගෙවා එය මිලදී ගන්නා විට ඔහුට රුපියල් 400ක පාරිභෝගික අතිරික්තයක් ඉතිරි වේ. මෙය තුෂාරගේ ලාභයකි. මත්පැන් බෝතලයක මිල රුපියල් 700ක් දක්වා ඉහළ ගිය විට ඔහුගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 300 දක්වා අඩුවේ. ඉහත අවස්ථාවේදී රජයේ බදු ආදායම රුපියල් මිලියන 100කින් වැඩි වෙද්දී මත්පැන් පාරිභෝගිකයින්ගේ සමස්ත පාරිභෝගික අතිරික්තය රුපියල් මිලියන 100කින් අඩු වී තිබේ.
කෙසේවුවද, සෑම පරිභෝගිකයෙකුම මත්පැන් බෝතලයක් සඳහා ගෙවීමට සූදානම් උපරිම මිල සමාන නැත. ක්‍රිෂ්ණරාජාගේ මේ මිල රුපියල් 650ක් යැයි සිතමු. මත්පැන් බෝතලයක මිල රුපියල් 600ක්ව තිබියදී ඔහුට රුපියල් 50ක පාරිභෝගික අතිරික්තයක් ලැබුණේය. එහෙත්, දැන් මිල අනුව ඔහුට එවැනි අතිරික්තයක් ලබාගත නොහැකිය. ක්‍රිෂ්ණරාජා ගෙවන්නට කැමති උපරිම මිලට වඩා රුපියල් 50ක් ගෙවා මත්පැන් බෝතලයක් මිලදී ගතහොත් ඔහුට සිදුවන්නේ පාඩුවකි.
මෙය තුෂාරට මෙන් ලැබෙන වාසියේ අඩුවීමක් නොවේ. සෘජුවම පාඩුවකි. ඒ නිසා අළුත් මිලට ක්‍රිෂ්ණරාජා මත්පැන් මිලදී නොගනී. ඔහු මත්පැන් පානයෙන් වැලකීමට හෝ නීත්‍යානුකූල නොවන මත්පැන් පරිභෝජනය ඇරඹීමට තීරණය කරනු ඇත.
බදු වැඩිවීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා භාණ්ඩයක මිල වැඩිවන සෑම විටෙකම එම භාණ්ඩයේ අලෙවිය යම් පමණෙකින් අඩුවේ. පෙර උදාහරණයේ ක්‍රිෂ්ණරාජා වැනි අය තවත් බොහෝ දෙනෙක් රටේ සිටින නිසා මිල රුපියල් 700ක් වූ විට මත්පැන් අලෙවිය පෙර පැවති මිලියනය මට්ටමේම තවදුරටත් නොපවතී.
මිල වැඩි වීමෙන් අනතුරුව මත්පැන් ඉල්ලුම 10%කින් අඩු වූයේයැයි සිතමු. මේ අනුව, දැන් විකිණෙන්නේ මත්පැන් බෝතල් 900,000ක් පමණි. ඒ අනුව, රජයට ලැබෙන බදු ආදායම මිලියන 540කි. මෙහිදී, බදු අනුපාතිකය 20%කින් ඉහළ නැංවුවද, බදු ආදායම වැඩිවී ඇත්තේ මිලියන 40කින් හෙවත් 8%කින් පමණි. මේ අතර, නිෂ්පාදකයාගේ ලාභයද, ඒ නිසාම ඒ මත අයකෙරෙන ආදායම් බදු මුදලද 10%කින් අඩුවී තිබේ.
යම් හෙයකින්, මිල වැඩි වීමෙන් අනතුරුව මත්පැන් ඉල්ලුම 20%කින් අඩු වුවහොත් සිදුවන්නේ කුමක්ද? එවිට, විකිණෙන්නේ මත්පැන් බෝතල් 800,000ක් පමණි. ඒ අනුව, රජයට ලැබෙන බදු ආදායම මිලියන 480කි. මෙහිදී, බදු අනුපාතිකය 20%කින් ඉහළ නැංවුවද, බදු ආදායම මිලියන 20කින් හෙවත් 4%කින් අඩු වී තිබේ. මේ අතර, නිෂ්පාදකයාගේ ලාභයද, ඒ නිසාම ඒ මත අයකෙරෙන ආදායම් බදු මුදලද 20%කින් අඩුවී තිබේ. අවසාන වශයෙන් බදු වැඩි කිරීම නිසා රජයේ බදු ආදායම අඩු වී තිබේ.
බදු අනුපාතික වෙනස් කිරීම සැලකිල්ලෙන් කළ යුතු දෙයකි. කෙටි කාලයක් තුළ විශාල ලෙස බදු අනුපාතික ඉහළ නැංවූ විට රජයේ බදු ආදායම අඩු වීමේ අවදානමක්ද තිබේ. එමෙන්ම, ඇතැම් තත්ත්වයන් යටතේ බදු අනුපාතික අඩු කිරීමෙන්ද රජයේ බදු ආදායම වැඩි කර ගත හැකිය. එසේ වන්නේ, බදු අනුපාතිකය අඩු කළ විට බදු පදනම පුළුල් වන අවස්ථා වලදීය.
කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අයකෙරෙන බදු අනුපාතිකය ඉහළ නැංවූ විට අපේක්ෂිත ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වන්නේ එම භාණ්ඩයේ හෝ සේවාවේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය මතය. හාල්, පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල ප්‍රත්‍යස්ථතාවය ඉතා අඩුය. සරලව කියනවානම්, මේ භාණ්ඩ වල මිල වෙනස් වන තරමට ඉල්ලුම වෙනස් නොවේ. අත්‍යවශ්‍ය නොවන, "වැඩිපුර සල්ලි තියෙන විට කරන" දේවල ප්‍රත්‍යස්ථතාවය වැඩිය. ඒ නිසා, බදු අනුපාතිකය වැඩි කිරීමෙන් රජයට ලැබෙන ආදායම වැඩිපුරම ඉහළ නංවා ගත හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන බදු අනුපාතික ඉහළ නැංවීමෙනි. කටුක වුවත් මෙය යථාර්තයයි.
කෙසේ වුවද, ඉහත උදාහරණ වලදී මා සැලකුවේ බදු බර මුළුමනින්ම පාරිභෝගිකයා වෙත පටවන අවස්ථාවක් පමණි. එය හැම විටම එසේ නොවේ. බොහෝ අවස්ථා වලදී නිෂ්පාදකයින් විසින් වැඩි වූ බද්දක අවාසිය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයින් මත නොපටවයි. ඒ ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙත ඇති අනුකම්පාවක් නිසා නොවේ. ඔවුන්ගේ ලාභය උපරිමයක් වන්නේ එසේ කිරීමෙන් බැවිනි.
අළුත් බදු සංශෝධන නිසා ජංගම දුරකථන ගාස්තු වැඩි වනු ඇත. කොපමණ ප්‍රතිශතයකින්ද?
සරල ගණනය කිරීමක් කළහොත් පෙනෙන්නේ පෙර නොපැවති 15%ක වැට් බද්දක් එකතුවීම නිසා දුරකථන ගාස්තුවද 15%කින් වැඩි වනු ඇති බවයි. එහෙත්, එය එසේම විය යුතු නැත.
දැනට ජංගම දුරකථන ඇමතුම් සඳහා මසකට රුපියල් 600ක් වැය කරන චන්දිමාට රුපියල් 1.50 බැගින් මිනිත්තු 400ක ඇමතුම් කාලයක් ලැබේයැයි සිතමු. දුරකතන සමාගම විසින් 15%ක වැට් බද්ද පාරිභෝගිකයින් මත පැටවුවහොත් චන්දිමාට මිනිත්තු 400ක් පෙර සේ නිදහසේ මල් කැඩීමට වැඩිපුර රුපියල් 90ක් වැය වනු ඇත. ඇගේ ආදායම වැඩි වී නැති නිසා මේ රුපියල් 90 ඉතිරි කර ගැනීමට ඇයට ඇගේ වෙනත් අවශ්‍යතා වලින් යම් කිසිවක් සීමා කිරීමට සිදුවේ.
එහෙත්, වැට් වැඩිවීම අනෙක් භාණ්ඩ හා සේවාවන් බොහොමයක මිලටද බලපා ඇති නිසා මෙය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා, චන්දිමා ඇගේ මල් කැඩීමේ කාලය අඩු කර වියදම රුපියල් 600 මට්ටමේම තබා ගැනීමට හෝ ඇතැම් විට මිල වැඩි වූ අනෙකුත් භාණ්ඩ හා සේවාවන් පරිභෝජනය සීමා කිරීම වඩා අපහසුනම් දුරකථන ඇමතුම් වෙනුවෙන් වෙන්කරන මුදල අඩු කිරීමට ඉඩ තිබේ.
බොහොමයක් ජංගම දුරකථන පාරිභෝගිකයන් චන්දිමා මෙන් හැසිරී දුරකථන භාවිතය අඩු කළහොත් දුරකථන සේවා සපයන සමාගමේ ආදායම අඩුවේ. එහෙත්, දුරකථන සේවා සැපයීම විශාල ස්ථිර ප්‍රාග්ධනයක් අවශ්‍ය ආන්තික පිරිවැය ඉතා අඩු කර්මාන්තයක් බැවින් දුරකථන සමාගම් වල වියදම් අඩු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් කිසිවකු ඇමතුම් නොගත්තත් දුරකථන සමාගමේ වියදම් එසේම පවතී. ප්‍රවාහන සේවා වැනි වෙනත් ඇතැම් සේවාවන්හි තත්ත්වයද මෙසේය. පොල් පැටෙව්වාක් මෙන් සෙනඟ සිටියත්, යාන්තම් මඟීන් දෙතුන් දෙනෙකු සිටියත් බස් රථයක් හෝ දුම්රියක් ධාවනය කරවීමේ පිරිවැයෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවේ.
මේ නිසා, ඉහත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් දුරකථන සමාගම් විසින් ඇමතුම් විනාඩියකට අය කරන මිල පහත දැමීමට ඉඩ තිබේ. අවසාන වශයෙන් සිදුවනු ඇත්තේ වැඩි වූ බදු අනුපාතිකයේ මිල පාරිභෝගිකයින් සහ නිෂ්පාදකයින් අතර බෙදී යාමයි. මේ සමඟම, සමාගම් වල ලාභද සැලකිය යුතු ලෙස අඩුවන බැවින් රජයට ලැබෙන ආදායම් බදු වලද කිසියම් අඩුවක් සිදු වනු ඇත. එමෙන්ම, පරිභෝජනය මෙන්ම නිෂ්පාදනයද අඩුවීම නිසා ආර්ථික වර්ධනයද තරමකින් හෝ දුර්වල වනු ඇත. අවසාන වශයෙන් රජයට ශුද්ධ ආදායමක් ලැබෙන්නට බොහෝ ඉඩකඩ ඇතත් එම වැඩිවන බදු ආදායම ඒ වෙනුවෙන් සිදු කරගන්නා දේශපාලනික හානියට සාපේක්ෂව හිතන තරම්ම විශාල නොවිය හැකිය.
Subscribe to:
Posts (Atom)

