Showing posts with label අයවැය හිඟය. Show all posts
Showing posts with label අයවැය හිඟය. Show all posts

Saturday, November 13, 2021

අයවැය වැය-අයක් වූ හැටි...

වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරිකද සමඟ, ඉදිරි වසර සඳහා ඉදිරිපත් කර ඇති ලංකාවේ රාජ්‍ය අයවැයෙහි වියදම් පැත්ත ආදායම් පැත්ත මෙන් දෙගුණයකටත් වඩා බරයි. මේ අයවැය පැත්තකින් තියා මතක ඇති කාලයක ඉදිරිපත් කරනු ලැබූ ලංකාවේ කොයි අයවැයක් ගත්තත් අයවැය හිඟයක් මිස අයවැය අතිරික්තයක් දකින්න ලැබී නැහැ. මෙය රාජ්‍ය අයවැයක් පිළිබඳ සාමාන්‍ය තත්ත්වයක්ද?

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ආදායම් වියදම් කරන ආකාරය පිළිබඳ සැලසුමක්. වැය කෙරෙන්නේ අය කර ගන්නා දෙයයි. මෙය අනාදිමත් කාලයක සිට සිදු වූ දෙයක්. රජෙකු වැය කළේ රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු වූ දෙයින් කොටසක්. වැය කර ඉතිරි වූ කොටස භාණ්ඩාගාරයේ ඉතිරි වුණා. වැය අය ඉක්මවා යන කාල වකවානු වලදී ප්‍රයෝජනයට ගැනුනේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. මුල් කාලයේදී රජයක් ණය වීම දුලබ සිදු වීමක්. 

ලංකාවේද කාලයක්ම දැකිය හැකි වූයේත්, ලෝකයේ රටවල් ගණනාවකම තවමත් දැකිය හැකි මේ ක්‍රමයයි. එනම් අය කර ගන්නා දෙය පසුව වැය කරන ක්‍රමයයි. එහෙත්, ලංකාවේ දැන් ක්‍රමය මෙය නොවෙයි. දැන් සිදු වන්නේ කලින් වැය කර පසුව අය කර ගැනීමයි. ඒ කියන්නේ අයවැය ක්‍රමයක් වෙනුවට වැය-අය ක්‍රමයක්!

ලංකාවේ අයවැය ක්‍රමය වැය-අය ක්‍රමයක් වුනේ කොයි කාලයේද?


ඉංග්‍රීසින් ලංකාවේ රාජ්‍ය පාලනය භාරගෙන ඉතා කෙටි කලක් ඇතුළත ලංකා කොලනිය ලාබ ලබන තැනක් බවට පත් කළා. ඉන් පසුව, බොහෝ වසරකදී ආදායමෙන් යම් කොටසක් වැය නොකර ඉතිරි කර ගත්තා. එම ඉතිරිය ආයෝජනය කර පොලී ආදායමක්ද ලැබුවා. ආදායම් අඩු වී, වියදම් ඉහළ ගිය වසර වලදී ප්‍රයෝජනයට ගත්තේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. සමස්තයක් ලෙස දිගුකාලීනව රජයේ අයවැය සමතුලිතව තිබුණා.


නිදහස ලබන කාලය දක්වාම මේ තත්ත්වය මෙලෙසම පැවතුනා. තත්ත්වය වෙනස් වුනේ නිදහස ලැබීමත් සමඟයි. ඉන් පසුව, ආදායම් ඉපැයීම වෙනුවට වියදම් කිරීමට මුල් තැන ලැබුණා. එසේ නොවුනේ 1954 හා 1955 දෙවසර තුළදී පමණයි. අනෙක් සෑම වසරකම පැවතුනේ අයවැය හිඟයක්. 


දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරද්දී ඉතිරි කරගෙන තිබුණු සංචිත ක්ෂය වී ගියා. ඉන් පසුව, අයවැය හිඟය පියවන්න වුනේ ණය වලින්. ඒ ණය වලට පොලිය එකතු වෙද්දී රජයේ වියදම් තවත් වැඩි වුනා. අයවැය හිඟය ටිකෙන් ටික පුළුල් වුනා. අයවැය වැය-අයක් වුනේ ඔය විදිහටයි.

Saturday, April 18, 2020

පීබීට ගණන් වැරදිලාද?


ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ඇති නිවේදනයකට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර විසින් සිය මැයි මස වැටුප හා අනෙකුත් දීමනා සියල්ල ස්වේච්ඡාවෙන් රජයේ වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කර තිබෙන බව ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා. රජයේ හා අනුබද්ධ ආයතන වල සියළු සේවකයින්ගේ මුළු වැටුප් ප්‍රමාණය රුපියල් බිලියන 100කට ආසන්න බව සඳහන් කරන ඔහු මේ සියලුම දෙනා තමන්ගේ වැටුපෙන් අඩක් රජයේ වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කළහොත් රජයට ලැබෙන වාසිය ගැන අපූරු කතාවක් කියනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ මේ වන විටත් තිබෙන ආචාර්ය පී බී ජයසුන්දරගේ ඉංග්‍රීසි බසින් පළ කර ඇති නිවේදනය අනුව සියලු රජයේ සේවකයින් විසින් ඔහු මෙන් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයේ වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කළහොත් රජයේ වියදම් රුපියල් බිලියන 50කින් අඩු වී ආදායම්ද රුපියල් බිලියන 50කින් ඉහළ ගොස් රජයේ අයවැය හිඟය රුපියල් බිලියන 100කින් පහළ යනවා. ආචාර්ය පී බී ජයසුන්දර යනු වසර ගණනාවක්ම ලංකාවේ අයවැය හදන්නට දායක වූ ප්‍රධාන පුද්ගලයෙකු නිසාත්, ප්‍රවෘත්ති නිවේදනය පළ වී තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ නිසාත් මෙය මේ දවස් වල ප්‍රචාරය වන ඇතැම් විහිළු මෙන් තවත් විහිළුවක් ලෙස සලකන්නට බැහැ.

ලංකාවේ බොහෝ දෙනෙක් මේ වගේ දෙයක් කියූ පමණින්ම පිළිගන්නවා වෙන්න පුළුවන්. මේ ආකාරයට එකම රුපියල් බිලියන 50න් රජයේ වියදම් අඩු කරගන්නා අතරම ආදායම්ද වැඩි කරගෙන අයවැය හිඟය දෙගුණයකින් අඩු කර ගත හැකිනම් එය ඊට වඩා පහසුවෙන් කර ගත හැකි වෙනත් ආකාරත් තිබෙනවා. පහත තිබෙන්නේ ඒ සඳහා උපදෙස් මාලාවක්.

1. සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් හා දීමනා 100%කින් වැඩි කරන්න. රජයේ වියදම් රුපියල් බිලියන 100කින් වැඩි වන නමුත් ආදායම් වැඩි නොවන නිසා අයවැය හිඟය රුපියල් බිලියන 100කින් ඉහළ යනු ඇත.

2. මේ වැඩි කළ වැටුප් වහාම කප්පාදු කර එම මුදල්  රජයේ වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කරන්න. ආචාර්ය පී බී ජයසුන්දරගේ තර්කය අනුව රජයේ වියදම් රුපියල් බිලියන 100කින් අඩු වී රජයේ ආදායම්ද රුපියල් බිලියන 100කින් වැඩි වනු ඇති අතර අයවැය හිඟය රුපියල් බිලියන 200කින් අඩු වනු ඇත.

3. ඉහත (1) හා (2) පියවර කැමති වාර ගණනක් එක දිගටම කළ හැකිය. එසේ කරන වාරයක් පාසා අයවැය හිඟය රුපියල් බිලියන 100කින් අඩු වනු ඇත.

මා දන්නා තරමින් පීබී කියන්නේ දක්ෂ හා පළපුරුදු පුද්ගලයෙක්. ඔහු මේ වගේ අත්වැරදි කර ගැනීමෙන් පෙනී යන්නේ රට දැනට මුහුණ පා ඇති තත්ත්වය හමුවේ ඔහු පෙළෙන මානසික ආතතිය විය හැකියි. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ඇති නිවේදනය පහත එළෙසින්ම තිබෙනවා.

Secretary to the President surrenders his salary for May to W and OP Social Security Contribution

Secretary to the President, Mr. P.B. Jayasundara has donated his full salary and allowances for the month of May to Government’s W and OP Social Security Contribution.

The Secretary to the President has informed the President that he is making this contribution voluntarily because the President as the Head of State of this nation needs a stress free budget.

Mr. P.B. Jayasundara said that the monthly wage bill of the Government is about Rs.80 billion. If government corporations, Banks and Universities are added, its closer to Rs. 90 to Rs.100 billion.

The President’s visionary leadership and deep commitment to help the poor and vulnerable people by keeping them healthy and protected in the midst of COVID-19 is far in excellence than any other nation. Mr. Jayasundara further stated that he was inspired by the President’s commitment and leadership to make this decision.

If all public servants do so by half of their salary to their own widows and dependents, the Government revenue will increase by about Rs.50 billion and expenditure will decline by Rs.50 billion, thereby budget deficit by Rs.100 billion in one month, Mr. Jayasundara stated.

Friday, December 20, 2019

ණය ගැනිල්ල තවත් අමාරු වෙයිද?


ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා (දෙසැම්බර් 18) ලංකාවේ රජයේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම ස්ථායී තත්ත්වයේ සිට සෘණ තත්ත්වය දක්වා පහත හෙළා තිබෙනවා. මෙයින් අදහස් වන්නේ දැනටමත් B මට්ටමට වැටී තිබෙන ණය ශ්‍රේණිය ඉදිරියේදී තවත් පහළට වැටීමේ අවදානමක් තිබෙන බවයි.

ණය ශ්‍රේණිගත කරන ප්‍රධාන ආයතන තුන වන්නේ එස්ඇන්ඩ්පී, මූඩීස් හා ෆිච් රේටින් යන සමාගම් තුනයි. මූඩීස් සමාගමේ B2 ශ්‍රේණියත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් වල B ශ්‍රේණියත් සමාන සේ සැලකෙනවා. පසුගිය 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිදු වූ බල පෙරළියෙන් පසුව ලංකාවේ  ස්වෛරීත්ව බැඳුම්කර වල අවදානම් ශ්‍රේණිය මූඩීස් සමාගම විසින් B2 මට්ටම දක්වාත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් විසින් B මට්ටම දක්වාත් පහත හෙලනු ලැබුවා. ඒ මෙතෙක් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කෙරුණු පහළම මට්ටමයි. මේ වන තුරුත් ශ්‍රේණිගත කිරීම් තිබෙන්නේ ඒ මට්ටම් වල. ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා ඉඟි කර තිබෙන්නේ ණය ශ්‍රේණිය තවත් පහළට වැටෙන්නට ඉඩ තිබෙන බවයි. ණය ශ්‍රේණිගත කිරීම් පහළ යන තරමට ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික ඉහළ යනවා.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, ආයෝජනය සඳහා සුදුසු කාණ්ඩ දහයක් තිබෙනවා. ඒවානම් AAA, AA+, AA, AA-, A+, A, A-, BBB+, BBB, BBB- යන කාණ්ඩයි. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ආදී රවවල් වලට අඩුම පොලියක් ගෙවා බැඳුම්කර නිකුත් කළ හැකිව තිබෙන්නේ එම රටවල් ඉහළින්ම තිබෙන AAA කාණ්ඩය යටතේ ශ්‍රේණිගත වී සිටින නිසයි. අසල්වැසි ඉන්දියාව ආයෝජනයට සුදුසු අවසන් කාණ්ඩය වන BBB- මට්ටමේ සිටිනවා. ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් ඊට කට්ටයක් ඉහළින් BBB මට්ටමේ ඉන්නවා. ලංකාව විසින් 2006දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට පටන් ගැනීමෙන් පසුව කිසි විටෙක මේ ආයෝජන කාණ්ඩයකට ඇතුළත් වීමට හැකි තරමට ණය ආපසු ගෙවීමේ අවදානම අඩු කර ගත හැකි වුනේ නැහැ.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, BBB- මට්ටමට පහළින් තිබෙන කාණ්ඩ සැලකෙන්නේ ලැබෙන පොලිය දෙස බලාගෙන අවදානමක් ගෙන කළ යුතු ආයෝජන ලෙසයි. මේ ආයෝජන නොවන කාණ්ඩ අතරින්ද ලංකාව දැනට වැටී සිටින B කාණ්ඩයට ඉහළින් BB+, BB, BB-, B+ යන කාණ්ඩ තිබෙනවා. B කාණ්ඩය සැලකෙන්නේ ඉතා සීමිත සුරක්ෂිතතාවක් ඇති ආයෝජනයක් ලෙසයි. දැනට ගත් ණය ගෙවාගෙන යන නමුත් කොයි වෙලාවක හෝ තත්ත්වය වෙනස් විය හැකි බව B කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමකින් අදහස් වෙනවා.

B: Highly speculative.
‘B’ ratings indicate that material default risk is present, but a limited margin of safety remains. Financial commitments are currently being met; however, capacity for continued payment is vulnerable to deterioration in the business and economic environment.

ලංකාව විශාල පාඩුවක් කරගත් ග්‍රීක බැඳුම්කර මිල දී ගන්නා විට එම බැඳුම්කර ශ්‍රේණිගත කර තිබුණේ BB+ මට්ටමේ වුවත් එම බැඳුම්කර මිල දී ගෙන දෙතුන් මාසයක් යද්දී වේගයෙන් දිගින් දිගටම පහළට වැටී CCC මට්ටමට වැටුණා. ඉන් පසුව, එම බැඳුම්කර වල මිල විශාල ලෙස පහත වැටුණා. එයින් පසුව, ග්‍රීසියට අලුතින් බැඳුම්කර විකිණීම අපහසු වී ණය වාරික නිසි පරිදි ගෙවන්න බැරි වුනා.

දැනට පවතින තත්ත්වය අනුව ලංකාවේ ණය ශ්‍රේණිය B කාණ්ඩයෙන්ද පහළට වැටීමේ අවදානමක් තිබෙනවා. ලංකාවේ ණය අවදානම හදිසියේම තවත් වැඩි වී ඇති බව ෆිච් රේටින් සමාගම විසින් තීරණය කර තිබෙන්නේ රජය විසින් කළ බදු කප්පාදුව නිසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශතාංක දෙකකින් පමණ අඩු විය හැකි බව ෆිච් රේටින් සමාගමේ ගණන් බැලීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ අයවැය හිඟය දදේනි ප්‍රතිශතයක් ලෙස කලින් ඇස්තමේන්තුවට වඩා 1.5%කින් ඉහළ ගොස් 2020දී 6.5% මට්ටමටත්, 2021දී 6.2% මට්ටමටත් යනු ඇතැයි එම සමාගම විසින් ඇස්තමේන්තු කර තිබෙනවා.

"Sri Lanka's external balance sheet is weak, with external debt obligations totalling approximately USD19.0 billion coming due between 2020-2023, compared with foreign-exchange reserves of around USD7.5 billion as of end-November 2019. We expect the current account deficit to widen to about 3.0% of GDP in 2020 and 2021, from an estimated 2.2% in 2019, as domestic demand strengthens."

ෆිච් රේටින් සමාගමේ නිවේදනය අනුව, ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 19ක විදේශ ණය ආපසු ගෙවන්න තිබුණත් විදේශ සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 7.5ක් පමණයි. මෑතකාලීන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස දේශීය ඉල්ලුම ඉහළ යාම නිසා ආනයන අපනයන පරතරය තවත් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක්. මෙහි සමස්ත ප්‍රතිඵලය ණය ආපසු ගෙවන්න ඩොලර් හොයා ගැනීම එන්න එන්නම අමාරු වන බවයි.

බදු කප්පාදුව නිසා දැනටමත් රජයේ අයවැය හිඟය විශාල ලෙස පුළුල් වීමට නියමිතව තිබියදී විශාල පිරිසකට රජයේ රැකියා ලබා දෙමින් රජයේ වියදම් තවත් වැඩි කර ගැනීමට රජය පෙළඹුනොත් එය බූරුවාගේ කොන්ද කඩන අන්තිම පිදුරු මිටිය වෙන්න පුළුවන්.

Sunday, September 23, 2018

රටේ ණය හා රජයේ විදේශ ණය

පසුගිය ආණ්ඩුව කාලයේ විශාල ලෙස ණය ගත් නිසා රට ආර්ථික අර්බුදයකට ගිය බව අහල ඇති වෙලා තියෙන කතාවක්. නමුත්, සංඛ්‍යාලේඛණ බැලුවහම පෙනෙන්නේ ඒ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අඩු වී ඇති බවයි. රාජ්‍ය ණය වර්ධනය වීමේ වේගය දිහා බැලුවත් පහුගිය ආණ්ඩුව කාලයේදී පැවතුනු වේගය නිදහසෙන් පසු බලයේ සිටි වෙනත් ආණ්ඩු යටතේ පැවතුණු වේගයන්ට වඩා ලොකු වෙනසක් පෙනෙන්නට නැහැ. 

ඒ වුණත්, පහුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී ලංකාවේ ආර්ථික අර්බුදය වඩා භයානක අදියරකට අවතීර්ණ වූ බව බොරුවක් නෙමෙයි. මෙයට මූලික වශයෙන් හේතු වුණේ විදේශ ණය ගනිමින්, එසේ ලබාගත් විදේශ විණිමය වෙළඳපොළට මුදාහරිමින්, විණිමය අනුපාතිකය අවප්‍රමාණය වෙන්න නොදී තියා ගැනීම හා එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාමයි. 

ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයට පහුගිය ආණ්ඩු කාලයට වඩා ගොඩක් පැරණි ඉතිහාසයක් තිබෙනවා. රාජ්‍ය ණය බර මේ වන විට තිබෙනවාට වඩා බරපතල ප්‍රශ්නයක් වූ කාලවල් තිබුණු බව සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන දෙයක්. නමුත්, රටේ විදේශ අංශය මීට පෙර යුග වලදී කවදාවත් අද තිබෙන භයානක අදියරට පිවිසිලා නැහැ. 2001 වසරේදී විනිමය අනුපාතිකය පාවෙන්න හැරීමෙන් පසුව ටික කලකට වුවත් රටේ ආර්ථිකයේ විදේශ අංශය ප්‍රශ්නයක් නැතිව ඉදිරියට ගියා. මෙය විශාල ප්‍රශ්නයක් බවට පත් වුණේ යුද්ධය අවසන් වුනාටත් පසුව පසුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී විණිමය අනුපාතිකය පහළින් තබාගැනීම රටේ ආර්ථිකය සැලසුම් කිරීමේ ප්‍රමුඛ උපායමාර්ගයක් බවට පත් වීමෙන් අනතුරුවයි. එසේ වීමේ පසුබිම ගැන විස්තර වෙන වෙලාවක ලියන්නම්.

රටේ විදේශ ණය කියන්නේ මධ්‍යම රජයේ විදේශ ණය පමණක් නෙමෙයි. මධ්‍යම රජයේ කොටසක් ලෙස නොසැලකෙන රජයේ සංස්ථා ආදිය විසින් ලබාගන්නා විදේශ ණය වල සිට පෞද්ගලික සමාගමක් හෝ තනි පුද්ගලයෙක් ලබා ගන්නා විදේශ ණය ඇතුළු සියලුම විදේශ ණය රටේ විදේශ ණය වලට ඇතුළත්.

මධ්‍යම රජය විසින් වගකිව යුත්තේ රජයේ ණය වලට පමණක් බව කාට හෝ කිව හැකියි. රජය විසින් ඇප වී තිබෙන රජයේ සංස්ථා වල ණය යම්කිසි ප්‍රමාණයක් හැර ඉතිරි ණය වලට රජය වගකිවයුතු නැති බව ඇත්ත. ඒ නිසා, එවැනි ණය රාජ්‍ය ණය ප්‍රශ්නයේ කොටසක් නෙමෙයි. නමුත්, රටේ කවුරු හෝ ලබාගත් විදේශ ණයක් ඇත්නම් එය ලංකාව මුහුණ දෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නයේ කොටසක්.

උදාහරණයක් විදිහට ශ්‍රී ලන්කන් එයාලයින්ස් විසින් 2014 ජූනි 27 වෙනිදා නිකුත් කරපු ඩොලර් මිලියන 175ක පස් අවුරුදු බැඳුම්කරය ගනිමු. මේ වෙනුවෙන් සමසකට වරක් බැගින් කූපන් පොලියක් (වාර්ෂිකව 5.3%ක් වන) ගෙවිය යුතුයි. ලබන වසරේ කල් පිරීමෙන් පසුව ගත් මුදල ආපසු ගෙවිය යුතුයි.

දැන් මේ මුදල ආපසු ගෙවන එක කරන්නේ  ශ්‍රී ලන්කන් එයාලයින්ස් විසින්නම් මධ්‍යම රජයේ අයවැයට එයින් බරක් නැහැ. එහෙත්, ඔවුන් මේ මුදල් ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිස රුපියල් වලින් නොවන නිසා අතේ ඩොලර් නැත්නම් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත යුතුයි. එහෙම මිල දී ගන්න රට ඇතුළේ කාගේ හෝ අතේ ඩොලර් තිබිය යුතුයි. 

ලංකාව දැන් මුහුණ දී සිටින ප්‍රශ්නය ඩොලර් බිලියන 50 ඉක්මවන විදේශ ණය ගොඩක් තිබුණත් ඒ ණය ගෙවන්න රට ඇතුළේ තිබෙන ඩොලර් ප්‍රමාණය බිලියන 10කට කිට්ටු ප්‍රමාණයක් පමණක් වීමයි. රට ඇතුළට ඩොලර් එන විට ඒ ඩොලර් රටේ ඉතිරි කරගත්තානම් මේ ප්‍රශ්නය නැහැ. නමුත්, විණිමය අනුපාතිකය පහළින් තබා ගැනීම පස්සේ පැන්නීම නිසා අන්තිමට රටේ ඩොලරුත් නැහැ. විණිමය අනුපාතිකය අවශ්‍ය විදිහට තබාගන්න පුළුවන් වෙලත් නැහැ. 

පහුගිය කාලයේ දිගින් දිගටම වෙලා තියෙන්නෙත්, ඉදිරි මාස වල නැවත වෙන්න ඉඩ තියෙන බව පෙනෙන්නෙත් මහදැනමුත්තා කළා වගේ එළුවගේ බෙල්ලත් කපලා පස්සේ ඔළුව එළියට ගන්න මුට්ටිය බිඳින ක්‍රමය. ඉස්සෙල්ලා විණිමය අනුපාතිකය රැකගන්න රටේ විදේශ විණිමය එළියට යන්න අරිනවා. එහෙම කරලත් බැරි වෙනකොට වැඩේ අත ඇරලා නැවත විණිමය අනුපාතිකය වැටෙන්න අරිනවා.

මේ කරුණ හා අදාළව මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්නය මේ ආණ්ඩුව ඇති කළ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් පවතින තත්ත්වය අනුව විණිමය අනුපාතිකය පාලනය කිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. රුපියල වැටෙන්නේ ඉඩ ඇරිය යුතු වුවත්, ඒ නිසා ඇතිවන අතුරු විපාක ගැනත් හිතමිනුයි එය කරන්න වෙලා තියෙන්නේ. 

මුළු ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන පණහම එකවර ගෙවිය යුතු නැති බව කාට හෝ මතක් කර දෙන්න පුළුවන්. ඇත්ත. නමුත්, කවදා හෝ ගෙවන්නේ ඕනැනේ. අනාගතයේදී රටට කොහෙන් හෝ ඩොලර් එන විදිහක් පේන්න තියෙනවානම් ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්. නමුත්, පේන්න තිබෙන්නේ ඉදිරි අවුරුදු වල තව තවත් ඩොලර් එළියට යන්න නියමිත බවයි.

ඩොලර් බිලියන පණහට පොලිය 6%ක් කියා සැලකුවොත් අවුරුද්දකට පොලිය විදිහට පමණක් ඩොලර් බිලියන 3ක් ගෙවන්න වෙනවා. මේ ප්‍රමාණය වුවත් වෙළඳපොළෙන් මිල දී ගන්න එක ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. දැන් සිදුවන ආකාරයට උද්ධමන වෙනසට අමතරව අවුරුද්දකට 10%කින් පමණ රුපියල අවප්‍රමාණය වෙන්න ඇරියොත් වැඩිම වුනොත් රුපියල් බිලියනයක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉතිරි පොලී මුදල හා ණය වාරික ගෙවන්න වෙන්නේ අලුත් ණය අරගෙනයි. ඊට අමතරව ජංගම ගිණුමේ තිබෙන ඩොලර් බිලියන දෙකක විතර හිඟයත් පියවන්න ක්‍රමයක් තියෙන්න ඕනෑ.

මේ යන විදිහට රුපියල අවප්‍රමාණය කරලා වුනත් අවුරුද්දකට රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන දෙක තුනකින් වැඩි වන එක නවත්වන්න බැහැ. අඩුම වශයෙන් විදේශ ණය ප්‍රමාණය ස්ථාවරව තබා ගන්න වුනත් අවුරුදු දෙකතුනක් යනකම් රුපියල අවුරුද්දකට 20%කින් පමණ බැගින් අවප්‍රමාණය වෙන්න අරින්න වෙයි. එය කිරීම දේශපාලනික සිය දිවි නසාගැනීමක් නිසා ආණ්ඩුව එය කරයි කියා හිතන්න බැහැ. 

තව ටික දවසකින් නැවතත් මහ බැංකුව විණිමය අනුපාතිකයට අත ගහලා එය ස්ථාවර කරයි. ආණ්ඩුව තව බිලියන දෙක තුනක් ණය ගනියි. ණය තව වැඩිවෙයි. ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුව වෙනස් වුණොත් අලුතෙන් පත්වන ආණ්ඩුව මේ ආණ්ඩුවට බැණ බැණ ඔය ටිකම කරයි. සමහර විට එහෙම කරල නොනැවතී මේ ආණ්ඩුව වගේ නැතිව "බය නැතුව" තව ණය අරගෙන ඒ මුදල් වෙළඳපොළට දාලා විණිමය අනුපාතිකය ස්ථාවර කරලා ඒ මඟින් රටේ අනාගතය අස්ථාවර කරයි.

පහත වගුවේ තියෙන්නේ 2000 වසරේ ඉඳලා රජයේ හා රටේ විදේශ ණය වැඩි වූ ආකාරය, විදේශ සම්පත් වැඩි වූ ආකාරය හා විදේශ ණය හා විදේශ සම්පත් අතර පරතරය ඉහළ ගිය ආකාරයයි.




Saturday, September 22, 2018

රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?


කිසියම් රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යාමට සාපේක්ෂව සංසරණයට එකතු කරන මුදල් ප්‍රමාණය වැඩි වුනොත් දේශීය ව්‍යවහාර මුදලේ දේශීය අගය පහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකටයි. ලංකාවේ වෙළඳපොළේ ගොඩක් භාණ්ඩ වල මිල දිගින් දිගටම ඉහළ යන්නේ උද්ධමනය නිසයි.

උද්ධමනයට අමතරව වෙනත් සාධක හේතුවෙනුත් භාණ්ඩ මිල ඉහළ යනවා. උදාහරණයක් විදිහට කලින් කලට කාලගුණ ප්‍රශ්න නිසා ලංකාවේ හාල්, පොල් මිල ගණන් ඉහළ යාම පෙන්වා දෙන්න පුළුවන්. මේ විදිහට සැපයුම් සාධක මත මිල ඉහළ ගිය විට, ඒ සාධක වල බලපෑම ඉවත් වූ වහාම නැවතත් මිල අඩු වෙනවා. නමුත්, රටේ මුදල් සැපයුම වැඩිවීම නිසා සිදුවන මිල වැඩිවීම් ඒ  විදිහට ආපසු හැරෙන්නේ නැහැ.

ඔය අලුතින් මුදල් සංසරණයට එකතු කර ලාබයක් ලැබීම, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැසීම, ලංකාව විතරක් කරන වැඩක් නෙමෙයි. ඇමරිකාව ඇතුළු හැම රටක්ම වගේ ඔය වැඩේ කරනවා. ඒ නිසා, ඇමරිකන් ඩොලරය ඇතුළු සෑම මුදල් ඒකකයකම දේශීය අගය කාලයත් එක්ක පහත වැටෙනවා. මතක තියා ගන්න ව්‍යවහාර මුදලක දේශීය අගයයි මේ විදිහට පහත වැටෙන්නේ.

ඇමරිකන් ඩොලරයේ දේශීය අගය කාලයත් එක්ක පහත වැටීම නිසා ඇමරිකාව ඇතුළේ ඩොලරයක් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. පසුගිය ජනවාරි මාසයේ ඩොලර් 100කට මිල දී ගත් බඩු ප්‍රමාණය මිලදී ගන්න අගෝස්තු වෙද්දී ඩොලර් 102.26ක් අවශ්‍යව තිබුණා. ඒ කියන්නේ පොදුවේ ඇමරිකාවේ මිල මට්ටම මේ මාස අටට 2.36%කින් ඉහළ ගියා. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ඇමරිකාවට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වෙලා.

කොහොම වුනත් පසුගිය මාස අටක කාලය තුළ ලංකාවේ සිදු වී තිබෙන්නේ මෙහි අනිත් පැත්තයි. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය දෙසැම්බරයේදී රුපියල් 100කින් මිල දී ගත් භාණ්ඩ හා සේවා මිල දී ගන්න අගෝස්තුවේදී ඕනෑ වුනේ රුපියල් 99.05ක් පමණයි. ඒ කියන්නේ ඔය මාස අටක කාලය තුළ රුපියලේ දේශීය අගය 1%කින් පමණ ඉහළ ගිහින්. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ලංකාවට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙලා.

විණිමය අනුපාතිකය කියන්නේ එක රටක ව්‍යවහාර මුදලක් තවත් රටක ව්‍යවහාර මුදලක් සමඟ වෙළඳපොළේ ගනුදෙනු වන අනුපාතය. මේ අනුපාතයෙන් කිසියම් ව්‍යවහාර මුදල් ඒකකයක බාහිර අගය පිළිබිඹු වෙනවා. පසුගිය මාස අටක කාලය තුළ ඩොලරය ඇමරිකාවට සාපේක්ෂව දුර්වල වෙද්දී රුපියල ලංකාවට සාපේක්ෂව ශක්තිමත් වුනත්, එකිනෙකට සාපේක්ෂව ගත්තහම වෙලා තියෙන්නේ රුපියල දුර්වල වෙලා ඩොලරය ශක්තිමත් වෙන එකයි. ඒ කියන්නේ ඩොලරයේ බාහිර අගය ඉහළ ගිහින්. රුපියලේ බාහිර අගය පහළ ගිහින්.

සාමාන්‍යයෙන් විය යුත්තේ කිසියම් ව්‍යවහාර මුදලක් රට ඇතුළේ ශක්තිමත් වෙන කොට එයට රටින් පිටත තියෙන ඉල්ලුමත් ඉහළ ගිහින් එහි බාහිර අගය ඉහළ යන එකයි. නමුත්, පසුගිය කාලයේ ලංකාවේ සිදු වී තිබෙන්නේ එය නෙමෙයි. එහෙම වුනේ කොහොමද?

ඩොලරයේ දේශීය අගය 2.3%කින් අඩු වී රුපියලේ දේශීය අගය 0.9%කින් ඉහළ යනවා කියන්නේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 3.2%කින් ඉහළ යා යුතු බවයි. එසේ නොවුනොත් ලංකාවේ භාණ්ඩ ඇමරිකාවට සාපේක්ෂව 3.2%කින් මිල අඩු වෙනවා. මේ විදිහට රටවල් දෙකක ව්‍යවහාර මුදල් වල දේශීය අගය අඩු වැඩි වීමට සමානුපාතිකව ඒවායේ බාහිර අගයත් වෙනස් වෙනවානම් ඒ දෙරට අතර ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගැනෙන බව අපට කියන්න පුළුවන්.

නමුත්, මෙය මේ ආකාරයට සිදු නොවුණේ පසුගිය දෙසැම්බරය වන විට පැවති රුපියලේ බාහිර අගය ඒ මට්ටමේ පවත්වාගෙන තිබුණේ වසර ගණනාවක් තිස්සේ ඇති දැවැන්ත විදේශ ණය ප්‍රමාණයක් ගනිමින් ඒ මුදල් උපයෝගී කරගෙන රුපියලේ බාහිර අගය තිබිය යුතු තරමට වඩා ගොඩක් උඩින් තබාගෙන සිටි නිසයි. 2001 වසරේදී ඩොලරයක රුපියල් මිල "නියම මිල" කියා උපකල්පනය කළොත්, ඒ වසරේ සිට රුපියලේ හා ඩොලරයේ දේශීය අගය වෙනස් වීම සැලකූ විට 2017 දෙසැම්බර් වෙද්දී ඩොලරයක මිල රුපියල් 229.92ක් විය යුතුව තිබුණා.

කෙසේ වුවත්, පසුගිය මාස අට තුළ මේ තත්ත්වය රුපියලට වාසිදායක ලෙස ආපසු හැරී ඇති නිසා දැන් මේ ගණන ඩොලරයට රුපියල් 222.66ක්. රුපියල තවමත් තියෙන්නේ ඊට වඩා ගොඩක් පහළින්. ඒ නිසා, තවමත් ලංකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්න වලින් බේරී සිටින්න ඉඩක් නැහැ.

විදේශ ණය ගනිමින් රුපියල වසර ගණනාවක් තිස්සේම තිබිය යුතු මට්ටමට වඩා පහළින් තියා ගැනීම නිසා ලංකාවේ ආනයන අපනයන පරතරය පසුගිය කාලයේදී විශාල ලෙස පුළුල් වුණා. ඩොලරයක මිල රුපියල් 222ක් වුනොත් මේ ආනයන අපනයන පරතරය නැවතත් 2001 මට්ටමට අඩු වෙයි. නමුත්, එය නැති වන එකක් නැහැ. ඒ 2001 අවුරුද්දෙත් ආනයන අපනයන පරතරයක් තිබුනු නිසා.

කොහොම වුනත් 2001 අවුරුද්දේදී ලංකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ අවුරුද්දේ තිබුණු ආනයන අපනයන පරතරය පියවන්න ශ්‍රමික ප්‍රේෂණ සෑහෙන දුරට ප්‍රමාණවත් වූ නිසා, ජංගම ගිණුමේ තිබුණේ ඉතා අඩු හිඟයක්. 2001දීත් ලංකාවේ විදේශ ණය ඉහළ ගියත් ඒ ඉතා සුළුවෙන්. ඊට වඩා වැඩියෙන් විදේශ වත්කම් ඉහළ ගිය නිසා 2001දී රටේ ශුද්ධ විදේශ බැරකම් ඇමරිකන් ඩොලර් බිලියන 6.1 දක්වා අඩු වුණා. එවැනි තැනකට එන්න පුළුවන් වුණේ රුපියල ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීම මඟිනුයි.

අවාසනාවට 2001න් පසුව කතාව එතරම් සුන්දර නැහැ. වැඩි වැඩියෙන් අලුතින් මුදල් සංසරණයට එක් කිරීම නිසා වසරින් වසරම රුපියලේ දේශීය අගය පිරිහෙද්දී එයට සමාන්තරව විදේශ අගය පිරිහෙන්න නොදී කෘතිමව රුපියල ශක්තිමත්ව තබා ගත්තේ විදේශ ණය අරගෙන විණිමය වෙළඳපොළට මුදා හැරීම මඟිනුයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2017 අවසානය වෙද්දී ඩොලර් බිලියන 51.8ක් දක්වා විදේශ ණය ඉහළ ගොස් තිබුණත් විදේශ වත්කම් තිබුණේ ඩොලර් බිලියන 10.4ක් පමණයි. හිඟය ඩොලර් බිලියන 41.4ක්.

දැනට අරගෙන තිබෙන විදේශ ණය ආපසු ගෙවන්නනම් රටේ තිබෙන විදේශ සංචිත සියල්ල වැය කිරීමෙන් පසුව තවත් ඩොලර් බිලියන 41.4ක් හොයන්න වෙනවා. මේ මුදල රටේ වාර්ෂික අපනයන ආදායම මෙන් හතර ගුණයක මුදලක්. පසුගිය වසර දෙක තුන තුළ ඩොලරයට යම් තරමකින් ඉහළ යන්න දුන් නිසා ජංගම ගිණුමේ හිඟය යාන්තමින් අඩු වී ඇතත් තවමත් වසරකට ඩොලර් බිලියන 2ක පමණ හිඟයක් තිබෙන නිසා කලින් කී ඩොලර් බිලියන 41.4ක ශුද්ධ විදේශ බැරකම වසරින් වසර ඉහළ යාමයි වෙමින් තියෙන්නේ. රුපියල පාලනයක් ඇතුව සැලකිය යුතු තරමින් අවප්‍රමාණය වෙන්න ඉඩ නොදී, ඔය ඩොලර් බිලියන 41.4ක මුදලට තවත් ඩොලර් බිලියන ගාණක් එකතු වෙලා එක පාරටම ලොකු මුදලක් ආපසු ගියොත්, ඒ මුදල නැවත ණය ලෙස ලබාගෙන රෝල ගෙනියන එක අපහසු වී හිර වුණොත්, ඩොලරයක රුපියල් මිල කොහේ නතර වෙයිද කියා කියන්න බැහැ.

ආසියානු අර්බුදය වෙලාවේ 1997 අප්‍රේල් සිට 1998 ජනවාරි දක්වා කාලය තුළ ඇමරිකන් ඩොලරයක තායි භාත් මිල 25 සිට 53 දක්වා ඉහළ ගියා. ඉන්දුනීසියන් රුපියා මිල 2,900 ඉඳලා 10,000 මට්ටමට ගියා. ඒ වගේ දෙයක් එක වර වුනොත් එය දරාගන්න අමාරුයි. පාලනයක් ඇතුව ක්‍රමයෙන් රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දිය යුත්තේ ඒ නිසයි.

(Image: https://blog.oureducation.in/impact-rupee-depreciation-indian-economy/)

Friday, August 11, 2017

මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති


මේ සටහන ලියන්නේ පාඨකයෙකුගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යනු මොනවාදැයි පැහැදිලි කිරීමටය.

සාමාන්‍යයෙන් බොහෝ රටවල ආර්ථිකයන් දිගුකාලීනව වර්ධනය වෙයි. ප්‍රාග්ධනය හා ශ්‍රමය යන නිෂ්පාදක සාධක වර්ධනය වීම ආර්ථික වර්ධනයට හේතු වන නමුත් රටක් සතු මේ නිෂ්පාදන සාධක ප්‍රමාණය සාමාන්‍යයෙන් වසරක් වැනි කාලයක් තුල විශාල ලෙස වෙනස් වන්නේ නැත. ඒ නිසා, නවීන ආර්ථිකයක් වර්ධනය වීමට වැඩි වශයෙන්ම හේතු වන්නේ කාර්යක්ෂමතාවය ඉහළ යාමයි. මෙහිදී කාර්යක්ෂමතාවය වැඩිවීම ලෙස හඳුන්වන්නේ කිසියම් ආර්ථිකයක් විසින් දැනට තිබෙන නිෂ්පාදන සාධක ප්‍රමාණයම උපයෝගී කරගෙන වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලබාගැනීමයි.

කාර්යක්ෂමතාවය වැඩි වන්නේ වෙනස් ලෙස සිතිය හැකි පුද්ගලයින්ගේ ව්‍යවසායකත්වය හරහාය. මෙය සිදුවන්නේ තාක්ෂනය දියුණු වීම හරහාය. මෙහිදී තාක්ෂනය යන වචනයෙන් හඳුන්වන්නේ පරිගණක වැනි දේ පමණක්ම නොවේ. කිසියම් ආයතනයක මානව සම්පත් කළමනාකරණය පිළිබඳ නව අදහසක් වුවද මෙයට ඇතුළත් විය හැකිය. විචල්‍ය සේවා කාල, නිවසේ සිට වැඩ කිරීම වැනි මෑතකාලීන සංකල්ප උදාහරණයි. එහෙත්, බොහෝ විට තාක්ෂණ දියුණුව සිදුවන්නේ නව නිර්මාණ හරහාය. ඒ නිසා තාක්ෂනය දියුණු කිරීමට කිසියම් රටක් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කටයුතු වල ආයෝජනය කළ යුතුය.

නිෂ්පාදන සාධක නිසා සිදුවන ආර්ථික වර්ධනයේත්, තාක්ෂනය නිසා සිදුවන ආර්ථික වර්ධනයේත් එක් විශේෂ වෙනසක් තිබේ. නිෂ්පාදන සාධක එක් රටකින් වෙනත් රටකට සම්ප්‍රේෂණය වූ විට ඒවා මුල් රටට අහිමි වේ. උදාහරණයක් ලෙස ලංකාවේ තිබුණු කර්මාන්ත ශාලාවක් මැලේසියාවට ගෙන ගියොත් හෝ එය ලංකාවට අහිමි වේ. එහෙත්, මැලේසියාවේ ඇති කිසියම් තාක්ෂණයක් ලංකාවට පැමිණීම නිසා මැලේසියාවට එය අහිමි නොවේ. ඒ නිසා, කිසියම් රටක් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කටයුතු වල ආයෝජනය කර තාක්ෂනය වැඩි දියුණු කළ විට අනෙක් රට වලටද එහි වාසිය ලැබේ. 

ඉහත වාසිය වැඩිපුරම තිබෙන්නේ තාක්ෂනය අතින් පසුගාමී, අඩු ආදායම් ලබන රටවලටය. එවැනි රටවලට දියුණු රටවල තාක්ෂනය ලබාගැනීමෙන් වසරක් තුළ කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි කරගැනීමට හැකියාව තිබේ. ජපානය, කොරියාව හා සිංගප්පූරුව වැනි රටවල ආර්ථිකයන් එක් කාලයක් තුළ ඉතා වේගයෙන් වර්ධනය වුනේ මෙසේ දියුණු රටවල් අනුගමනය කරමින් කෙටි කලක් තුළ කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ බැවිනි.

එහෙත්, ඉහත රටවල ආර්ථිකයන් දියුණු වීමෙන් පසුව දැන් පෙර මෙන් වේගයෙන් එම ආර්ථිකයන් වර්ධනය නොවේ. ඒ, තාක්ෂනය අතින් ඉදිරියටම පැමිණ සිටින රටවලට තාක්ෂනය පහසුවෙන් ලබා ගන්නට පුරෝගාමීන් නැති නිසාය. එසේ පෙරමුණට පැමිණි රටවලට පර්යේෂණ හා වැඩි දියුණු කිරීම් වල ආයෝජනය කරමින් තමන් විසින්ම තාක්ෂනය දියුණු කරගන්නට සිදු වේ. සංවර්ධිත රටවල් වල ආර්ථිකයන් සංවර්ධනය නොවූ රටවල් වල ආර්ථිකයන් තරම් වේගයෙන් වර්ධනය නොවන්නේ ඒ නිසාය.

කෙසේ වුවද, තාක්ෂනය හේතුවෙන් කිසියම් රටක ආර්ථිකය දිගුකාලීනව ආසන්න ලෙස නිශ්චිත වේගයකින් වර්ධනය වුවත් මෙය ඒකාකාරී ලෙස සිදු නොවේ. ඕනෑම රටකට වරින් වර ආර්ථික අවපාත වලට මුහුණ දෙන්නට සිදු වේ. පසුව මේ ආර්ථිකයන් ටික කලක් වේගයෙන් වර්ධනය වී නැවත මුල් තත්ත්වයටම පැමිණෙන නමුත් මෙසේ කෙටිකාලීනව සිදුවන ආර්ථික වර්ධනයේ උච්චාවචනයන් නිෂ්පාදන සාධක වල හෝ තාක්ෂණයේ සිදුවන වෙනස්කම් වලින් පැහැදිලි කළ නොහැකිය. ආර්ථිකයේ මේ කෙටිකාලීන වෙනස්වීම් ව්‍යාපාර චක්‍ර (business cycles) ලෙස හැඳින්වේ.

ව්‍යාපාර චක්‍ර පිළිබඳ කේන්සියානු දැක්ම වන්නේ කිසියම් රටක සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම අසමතුලිතවීම ව්‍යාපාර චක්‍ර වලට හේතු වන බවයි. මේ අදහස අනුව ආර්ථික අවපාතයක් ඇතිවීම පහත පරිදි විස්තර කළ හැකිය.

රටක නිෂ්පාදන සාධක හා තාක්ෂනය තිබෙන ප්‍රමාණය අනුව කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය. එහෙත්, කවර හෝ හේතුවක් නිසා රටේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම මෙසේ නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණයට වඩා අඩු වී තිබේ. (කවර හෝ කියා කියන්නේ මේ හේතු විස්තර කරන්නට ගොස් කතාව වඩා සංකීර්ණ කළ යුතු නැති නිසාය.) සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදන ශක්‍යතාවයේ තරමට නිෂ්පාදනය කළොත් එම භාණ්ඩ හා සේවා විකුණා ගන්නට නොහැකිව පාඩු ලබන්නට සිදු වේ. ඒ නිසා, ඔවුන් නිෂ්පාදනය කරන්නේ අඩුවෙනි. ඇතැම් සමාගම් වැසී යයි. තවත් සමාගම් වලට සේවකයින් අඩු කිරීමට සිදු වේ. එවිට රටේ නිවාස ඒකක වල ආදායම් තවත් අඩු වී සමස්ත ඉල්ලුම තවත් අඩුවේ. අසමතුලිතතාවය තවත් වැඩි වේ. ඉල්ලුම අඩු නිසා භාණ්ඩ හා සේවා මිල අඩුවී උද්ධමනය අඩු වෙයි. ඇතැම් විට අවධමනයක් ඇති වේ. මේ නිසා සමාගම් වල ලාභ තවත් අඩුවී තවත් සමාගම් වැසී විරැකියාව ඉහළ යයි.

ඇතැම් විට මෙහි අනිත් පැත්තද සිදු වේ. එනම්, රටේ සමස්ත ඉල්ලුම රටේ ශක්‍ය නිෂ්පාදන ධාරිතාව ඉක්මවයි. එවිට, සැපයුමට වඩා ඉල්ලුම වැඩි නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වේ. මේ කතා කරන්නේ මුදල් සැපයුම වැඩි වීම නිසා දිගුකාලීනව උද්ධමනය වැඩි වීමට අමතරව කෙටිකාලීනව සිදුවන සංද්ධියක් ගැනය. ඉහළ මිල ගණන් හා අධික පාරිභෝගික ඉල්ලුම නිසා ධෛර්යමත් වන සමාගම් දැනට සිටින සේවකයින්ට අතිකාල ගෙවමින් හා අලුත් සේවකයින් බඳවා ගනිමින් වැඩිපුර නිෂ්පාදනය කිරීමට පෙළඹේ. එවිට නිවාස ඒකක වල ආදායම් ඉහළ යාමෙන් ඉල්ලුම තවත් වැඩි වේ. විරැකියාව පහළ යද්දී උද්ධමනය ඉහළ යයි. ආර්ථිකය ශක්‍ය මට්ටමට වඩා වැඩියෙන් වර්ධනය වෙයි. බැලූ බැල්මට මෙය හොඳ තත්ත්වයක් මෙන් පෙනුණත් එක්තරා ආකාරයක තාවකාලික අසමතුලිතතාවයක් නිසා සිදුවන්නක් බැවින් ආර්ථිකය කොයි වෙලාවේ හෝ කඩා වැටී නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණේ. මෙවැනි ඕනෑවට වඩා වැඩි ආර්ථික වර්ධනයක් බොහෝ විට කෙළවර වන්නේ විශාල ආර්ථික අවපාතයකින් නිසා මේ තත්ත්වයද සැලකෙන්නේ වලක්වාගත යුතු තත්ත්වයක් ලෙසිනි.

කේන්ස් විසින් යෝජනා කළේ ව්‍යාපාර චක්‍ර වල හානිය අවම කර ගැනීමට රජය ආර්ථිකයට මැදිහත් විය යුතු බවයි. මේ අදහස ලොව පුරා දේශපාලනඥයින් විසින් ඉතා කැමැත්තෙන් වැළඳගත්තේය. අද වන විට ලෝකයේ හැම රටක්ම වාගේ අඩු වැඩි වශයෙන් මේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති පිළිපදී.

මේ අදහස අනුව, රටේ සමස්ත ඉල්ලුම විභව නිෂ්පාදනය ලෙස හැඳින්වෙන ආර්ථිකයේ සාමාන්‍ය නිෂ්පාදන ශක්‍යතා මට්ටමට වඩා පහළ ගිය විට රජය හෝ මහා බැංකුව මැදිහත් වී සමස්ත ඉල්ලුම වැඩි කර එය සමස්ත සැපයුම සමඟ ගැලපිය යුතුය. රජය විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති (fiscal policy) ලෙසත් මහ බැංකුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග මුදල් ප්‍රතිපත්ති (monetary policy) ලෙසත් හැඳින්වේ.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලට අයත් වන්නේ රජය විසින් සහනාධාර ආදිය හරහා නිවාස ඒකක වෙත කිසියම් අයුරකින් මුදල් සම්ප්‍රේෂණය කිරීම හා බදු අඩු කිරීමයි. එවිට, නිවාස ඒකක සතු අරමුදල් ඉහළ යන නිසා සමස්ත ඉල්ලුම වැඩි වනු ඇති බව අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, මෙය කරන විට රජයේ ආදායම් පහළ ගොස් වියදම් වැඩි වන නිසා අයවැය හිඟයක් ඇති වේ. ඒ නිසා, මෙය සමනය කර ගැනීමට ආර්ථික අවපාතය අවසන් වූ පසු පෙර මට්ටමටත් වඩා සහනාධාර කැපීමත්, බදු වැඩි කිරීමත් කරන්නට සිදු වේ. එසේ නොකළහොත් නැවත ආර්ථික අවපාතයක් ඇති වූ විට රජයට සම්පත් හිඟයකට මුහුණ දෙන්නට සිදු වේ.

මුදල් ප්‍රතිපත්ති වලට අයත් වන්නේ මහා බැංකුව විසින් රටේ මුදල් සැපයුම වැඩි කර නිවාස ඒකක සතු අරමුදල් ඉහළ යැවීමයි. මෙය ප්‍රධාන වශයෙන්ම කරන්නේ පොලී අනුපාතික පහළ දැමීම මඟිනි. තවත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගණනාවක් තිබේ. 

පොලී අනුපාතික පහළ ගිය විට ඉතිරිකිරීම් අධෛර්යමත් වන අතර ණය ගැනීම් ඉහළ යයි. ඒ නිසා, නිවාස ඒකක වල වැඩිපුර අරමුදල් රැඳේ. මේ හේතුවෙන් සමස්ත ඉල්ලුම වැඩි වී මිල මට්ටම් ඉහළ යයි. එවිට සමාගම් නැවතත් දිරිමත් වන නිසා නිෂ්පාදනය නැවත ඉහළ යයි. කෙසේ වුවද, නිෂ්පාදනය ශක්‍ය මට්ටමට පැමිණි විට මහ බැංකුව විසින් මෙම ක්‍රියාවලිය ආපසු හරවා එළියට දැමූ අමතර මුදල් ආපසු එකතු කර නොගතහොත් උද්ධමනය පාලනය කරගත නොහැකි තරමට ඉහළ යයි. මේ සඳහා පොලී අනුපාතික ඉහළ දමන්නට සිදුවේ.

ඉහතින් විස්තර කළ පරිදි ව්‍යාපාර චක්‍ර වල බලපෑම අඩු කිරීම සඳහා රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මඟින් කලයුත්තේ ප්‍රති චක්‍රයක් ක්‍රියාත්මක කිරීම වුවත් ප්‍රායෝගිකව රජයයන් හා මහ බැංකු විසින් වැඩිපුර උනන්දු වන්නේ චක්‍රයේ පළමු කොටස ක්‍රියාත්මක කිරීමට පමණි. එමෙන්ම ලංකාව වැනි රටවල රජයයන් විසින් නිවාස ඒකක වෙත මුදල් සම්ප්‍රේෂණය කරනවා වෙනුවට කරන්නේ රජය විසින්ම සෘජුව වියදම් කිරීමයි. ඇත්තටම එහිදී වෙන්නේත් රටේ කිසියම් නිවාස ඒකක ටිකකට මුදල් සම්ප්‍රේෂණය වීමකි. 

රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති චක්‍ර වල පළමු කොටස ආණ්ඩු වල ජනප්‍රියතාවයට හේතු වන නමුත් දෙවන කොටස එසේ නොවේ. ඒ නිසා, එළියට මුදල් දමන තරමට රජය හෝ මහබැංකුව විසින් මුදල් ආපසු ඇතුළට ගන්නේ නැත. මෙහි ප්‍රතිඵලය රජයේ අයවැය හිඟය දිගටම පැවතීමයි හා මුදල් සැපයුම එන්න එන්නම වැඩි වීමයි. දිගින් දිගටම පවතින අයවැය හිඟයක් අවසාන වශයෙන් පියවෙන්නේද මහබැංකුවේ මුදල් වලින් නිසා මෙවැනි තත්ත්වයක අවසාන ප්‍රතිඵලය උද්ධමනය දිගටම ඉහළ මට්ටමක පැවතීම හා විණිමය අනුපාතිකය එන්න එන්නම දුර්වල වීමයි. රුපියල ඩොලරයට සාපේක්ෂව හැම වසරකම වාගේ අවප්‍රමාණය වීමට මෙය ප්‍රධාන හේතුවකි.

(Image: https://www.slideshare.net)

Sunday, January 8, 2017

මේ අවුරුද්දේදී මහ බැංකුව මොනවා කරයිද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන ප්‍රතිපත්ති පෙර දැක්ම මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් පසුගිය අඟහරුවදා (ජනවාරි 3) ඉදිරිපත් කර තිබේ. වසර තුළ මහ බැංකුව විසින් ලඟා කරගැනීමට අපේක්ෂිත ආර්ථික ඉලක්ක හා එම ඉලක්ක කරා ලඟා වනු පිණිස ගැනීමට අදහස් කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රහසක්ව නොතබාගෙන වසර මුලදීම ප්‍රකාශයට පත් කිරීම මේ වාර්ෂික ප්‍රතිපත්ති පෙර දැක්ම ඉදිරිපත් කිරීම මඟින් සිදුවේ.

රටක මුදල් මුද්‍රණය කර නිකුත්කිරීමේ නීත්‍යානුකූල ඒකාධිකාරය ඇති මහ බැංකුවට ඒ ඒකාධිකාරී බලය යොදාගෙන රටේ ජනතාවගේ සාක්කු පහසුවෙන් සූරා ගැනීමේ හැකියාවක් තිබේ. මේ කටයුත්තම රජය විසින් කරන විට එය කරන්නට වෙන්නේ වඩා පාරදෘශ්‍ය ලෙස බදු ඉහළ නැංවීම මඟින් නිසා රජයකට මහජන විරෝධයට මුහුණ නොදී ජනතාවගේ සාක්කු වලට බැසීම පහසු කටයුත්තක් නොවේ. මහ බැංකුවක් විසින් මුදලේ සැබෑ වටිනාකම අඩුවෙන්නට හැරීමෙන් ඒ දෙයම කරන විට රටේ ජනතාවගේ සාක්කු හිස් වන්නේ ඔවුන්ටත් නොදැනීමය. මේ නිසා නිවැරදි දෙය කිරීම මෙන්ම, තමන් නිවැරදි දෙය කරන බව රටේ ජනතාවට පෙනෙන්නට සැලැස්වීමද මහ බැංකුවක යුතුකමකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල පාරදෘශ්‍යභාවය ඉහළ නංවමින් වසර මුල සිය ප්‍රතිපත්ති පෙරදැක්ම එළිදැක්වීම මහ බැංකුව විසින් ඇරඹුවේ 2007 වසරේදීය. ඒ, අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමෙන් පසුවය. එතැන් සිට වාර්ෂිකව සිදු කෙරෙනු මේ කටයුත්ත අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිව සිටි පසුගිය වසරේදී (දන්නා තරමින්) සිදු නොවුණේය. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් නැවතත් මේ වසරේදී මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම ප්‍රසිද්ධියට පත්කිරීම පැසසිය යුත්තකි.

අධිපති කුමාරස්වාමිගේ ප්‍රතිපත්ති පෙරදැක්මෙන් රටේ ආර්ථිකයේ ස්වභාවය ඇති සැටියෙන්ම විස්තර කර ඇති බව පෙනේ. ලෙඩකට සැබෑ ප්‍රතිකාර සෙවිය හැක්කේ ලෙඩේ නිවැරදිව හඳුනා ගතහොත් පමණි. පෙර වසර වලදී බොහෝ විට දක්නට ලැබුණේ රටේ ආර්ථිකය ඇති සැටියෙන් විස්තර කරනවාට වඩා, ශුභවාදී චිත්‍රයක් කෘතීම ලෙස පින්තාරු කරන ස්වභාවයකි.

ලංකාවේ ආර්ථිකයේ වත්මන් ස්වභාවය ගැන අධිපතිවරයා මෙසේ කියයි.

"ආසියානු රටවල් අතරින් බොහෝ සමාජ ආර්ථික දර්ශක අනුව ජපානයට පමණක් පසුපසින් සිටි ලංකාව ඒ තත්ත්වයෙන් බොහෝ පහළට වැටුණේ ඇයි කියා අප විමසා බැලිය යුතුයි. ආසියානු සියවස ලෙස හැඳින්වෙන මේ කාලයේදී ආසියා-ශාන්තිකර කලාපයේ රටවල් අතරින් ඇෆ්ඝනිස්තානය හැරුණු විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබමින් සිටින්නේ ලංකාව පමණයි. මෙය සමාන කළ හැක්කේ රෝහල්ගතව සිටීමකටයි. අප ඉන්නේ දැඩි සත්කාර ඒකකයක නොවූවත්, පැහැදිලිවම රෝහල්ගතවයි. ලෙඩේ සහ ලෙඩේට බෙහෙත නොදන්නා එකක් නෙමෙයි. දැනටම ප්‍රතිකාර ඇරඹී තිබීම අපව දිරිගන්වන්නක්."

මහ බැංකුව විසින් නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි ලෙඩේට මුල දිගින් දිගටම පවත්වාගෙන යන රජයේ අයවැය හිඟයයි. මේ අනුව, මේ රෝගයට ප්‍රතිකාරය වන අයවැය හිඟය අඩුකර ගැනීමේ කටයුත්තේදී රජය විසින් ප්‍රගතියක් පෙන්වා ඇති බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි. ඔහු මෙය අගය කරන අතරම මේ ප්‍රවණතාව දිගටම පැවතීමේ වැදගත්කමද පෙන්වා දෙයි.

පසුගිය වසර තුල 4.5-5% කින් ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇතැයි සිතන මහ බැංකුව මෙම වසර තුළ ආර්ථික වර්ධනය 5.5-6% මට්ටමේ පවතිනු ඇතැයි ඇස්තමේන්තු කරයි. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති සකස්වනු ඇත්තේ ඉදිරි වසර තුළ ලංකාවේ උද්ධමනය 4-6% මට්ටමේ පවතින පරිදිය.

මහ බැංකුව විසින් රටේ මුදල් සඳහා වන ඉල්ලුම ඉක්මවමින් මුදල් සැපයුම වැඩි කිරීම උද්ධමනයට හේතු වේ. ආර්ථික වර්ධනය වැඩි වන විට මුදල් ඉල්ලුම වැඩි වේ. ඒ නිසා උද්ධමනයට හේතුවන්නේ අපේක්ෂිත ආර්ථික වර්ධනය ඉක්මවා අලුතින් මුදල් මුද්‍රණය කිරීමයි. රජයේ අයවැය හිඟයෙන් කොටසක් බොහෝ විට පියවෙන්නේ මෙසේ මහ බැංකුව විසින් අලුතින් මුද්‍රණය කර ඒ මුදල් යොදවා රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීම මඟින් සංසරණයට එකතු කරන මුදල් වලිනි.

රටේ මුදල් සැපයුම හා උද්ධමනය අතර පවතින ඉහත සම්බන්ධතාවය නිසා 1980 පමණ සිට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සකස්වුනේ රටේ මුදල් සැපයුම ඉලක්ක කරගනිමිනි. පසුගිය වසර කිහිපය තුළ මහ බැංකුව විසින් ක්‍රමයෙන් සෘජුවම උද්ධමනය ඉලක්ක කිරීමේ ප්‍රතිපත්තියක් කරා මාරු වෙමින් සිටී. මේ අනුව, මහ බැංකුව විසින් උද්ධමනය 4-6% මට්ටමේ පවත්වා ගැනීමට සෘජුවම ඉලක්ක කරනු ඇත. රජයේ අයවැය හිඟය අඩුමට්ටමක දිගටම පැවතීම මේ සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.


(Image: http://www.dailymirror.lk/article/Central-Bank-unveils-monetary-and-financial-sector-policy-road-map-for-and-beyond-121676.html)

Saturday, December 17, 2016

ඇමරිකානු ෆෙඩරල් සංචිත පොලී අනුපාතික තවත් ඉහළට...

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික තව දුරටත් ඉහළ දමන බව පසුගිය බදාදා (දෙසැම්බර් 14) නිවේදනය කළේය. මේ අනුව ෆෙඩරල් ඉලක්ක පොලී අනුපාතික පසුගිය වසර පුරා පැවති 0.25-0.50% මට්ටමේ සිට 0.50-0.75% මට්ටම දක්වා පාදක අංක 25කින් ඉහළ දමනු ලැබීය. ඉහත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, න්‍යායාත්මකව සිදුවිය යුතු පරිදිම, ඇමරිකානු බැඳුම්කර ඵලදා අනුපාතික ක්ෂණිකව ඉහළ යාමත්, ඇමරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත් වීමත් කොටස් වෙළඳපොළ මිලගණන් පහත වැටීමත් නිරීක්ෂණය කළ හැකි විය.

දශකයකට පෙර ෆෙඩරල් පොලී අනුපාතික 5.25% තරම් ඉහළ මට්ටමක පැවතියේය. ඇමරිකාව මුහුණ දුන් ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින් මෙම ෆෙඩරල් පොලී අනුපාතිකය කෙටි කාලාන්තර තුළ වරින් වර පහත හෙලනු ලැබූ අතර, 2008 දෙසැම්බර් මස 16 වන දින නාමික පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වා අඩු කෙරිණි. එතැන් සිට වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතියේ 0-0.25% මට්ටමේය. මෙසේ ශුන්‍ය මට්ටම ආසන්නේ පැවති පොලී අනුපාතික වසරකට පෙර, පසුගිය දෙසැම්බරයේදී 0.25-0.50% මට්ටම දක්වා ඉහළ නැංවිනි. ෆෙඩරල් සංචිත බැංකුවේ අළුත්ම තීරණය වසරකට පෙරගත් තීරණයේම දිගුවක් වන අතර ලබන වසර තුළ මෙම පොලී අනුපාතික තවත් කිහිප වරක් ඉහළ දැමීමට සිදුවිය හැකි බව ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිනී ජැනට් යෙලන්ගේ අදහසයි.

දරුණු ආර්ථික අවපාතයක් පසුකරමින් ආ ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට සිය නිෂ්පාදනය එහි විභව මට්ටම දක්වා වර්ධනය කරගෙන ඇති අතර ඉතා ඉහළ මට්ටමක පැවති විරැකියා අනුපාතිකයද පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ ස්වභාවික විරැකියා අනුපාතිකය ලෙස දැනට සැලකෙන 4.8% මට්ටමද ඉක්මවා 4.6% මට්ටමට පහත වැටී තිබේ. පසුගිය මාසයේ උද්ධමනය වූ 1.7% ඇමරිකාවේ දිගුකාලීන සාමාන්‍ය උද්ධමනය වන 2% මට්ටමට වඩා පහළින් පැවතියත් සාමාන්‍ය මට්ටමට වඩා පහළින් ඇති ඉන්ධන මිලේ බලපෑම සලකා බලමින් උද්ධමනය ඉදිරියේදී අපේක්ෂිත මට්ටම ඉක්මවීමට ඇති ඉඩකඩ ගැන ෆෙඩරල් සංචිත බැංකුව සැලකිලිමත් වී තිබේ.

ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින් 2008 දෙසැම්බරයේදී ෆෙඩරල් පොලී අනුපාතික ශුන්‍ය මට්ටම දක්වාම පහත හෙලීමෙන් පසුවද ඇමරිකානු ආර්ථිකය එහි විභව මට්ටම කරා නැවත නොපැමිණියේය. ද්‍රවශීලතා උගුලක් ලෙස හඳුනා ගැනෙන මෙවැනි අවස්ථාවකදී රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා මහ බැංකුවක පොලී අනුපාතික තවදුරටත් පහත හෙලීමේ ඉඩකඩක් නොමැති බැවින් මුදල් ප්‍රතිපත්තිය සෑහෙන දුරකට අකර්මන්‍ය වේ. මේ අනුව, එතැන් සිට ඇමරිකාවට බොහෝ දුරට රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යොදාගනිමින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගියේය. කෙසේවුවද, 2009දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8% මට්ටමට ඉහළ ගිය ඇමරිකාවේ අයවැය හිඟය පසුගිය (2015) වසර වන විට 2.4% මට්ටම දක්වා අඩු කරගැනීමට ඇමරිකානු රජය සමත් විය.

ඇමරිකානු රජයට සාමාන්‍යයෙන් ණය ගැනීම අපහසු කාර්යයක් නොවේ. ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් වල ස්ථාවරත්වය සලකමින් ලොව පුරා ආයෝජකයෝ 'ඇමරිකානු රජයට ණය දෙන්නට' පොරකති. එහෙත්, ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාතික ඉතාම අඩු මට්ටමක පැවති පසුගිය කාලයේ මෙසේ ඇමරිකා එක්සත් ජනපද රජයට ණය දීම හෙවත් ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම වෙන කාල වලදී තරම් ආකර්ශනීය වූයේ නැත. ඒ කාලයේදී අනෙක් ප්‍රධාන ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වීමද සිදු වූ නිසා ඇමරිකාවෙන් පිටත ආයෝජකයින්ට මේ ශුන්‍යයට ආසන්න පොලී අනුපාතික ඉතා ප්‍රබල බලපෑමක් කළේය. ඒ හේතුවෙන්, අවදානම වැඩි වුවත් ඉහළ පොලී අනුපාතිකයක් ලබා දෙන වෙනත් වෙළඳපොළවල් මේ ආයෝජකයන්ට ආකර්ශනීය විය.

ඉහත තත්ත්වයේ වාසිය ඒ කාලයේදී ලංකාවටද ලැබුණු අතර ලංකාවේ රජය විසින් නිකුත් කළ රාජ්‍ය සුරැකුම්පත් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගැනීමට විදේශ ආයෝජකයෝ ඉදිරිපත් වූහ. මෙය ලංකාවට විදේශ විණිමය ආකර්ශනය කිරීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් හේතු විය. කෙසේවුවද, මෙසේ පැමිණි අරමුදල් ප්‍රවාහ තාවකාලික අරමුදල් ප්‍රවාහ මිස දිගුකාලීන ආයෝජන නොවීය.

පසුගිය දෙසැම්බරයේදී ෆෙඩරල් සංචිත බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් කිරීමත් සමඟ ලංකාවට තිබූ පෙර කී වාසිදායක තත්ත්වය කණපිට හැරුණු අතර ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර තිබූ විදේශිකයින් බොහෝ දෙනෙකු එම ආයෝජන විකුණා දමා හෝ කල් පිරුණු පසු මුදල් කර වඩා සුරක්ෂිත මූල්‍ය වෙළඳපොළවල් කරා ආපසු රැගෙන ගියහ. පසුගිය කාලයේ ලංකාවේ විදේශ ණය යම් තරමකින් අඩුවූයේ (හෝ ඉහළ යාම සීමාවූයේ) මේ හේතුවෙනි. මේ තත්ත්වය ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයද උග්‍ර කළේය.

ෆෙඩරල් සංචිත බැංකුව මෙසේ වසරක සිට සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් සිටියත් ඔවුන් සිය ස්ථාවරය තවදුරටත් හඳුනාගන්නේ ලිහිල් (accommodative) ප්‍රතිපත්තියක් වශයෙනි. වෙනත් අයුරකින් කිවහොත් ඇමරිකාව තවමත් සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්නට පටන්ගෙන නැත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව කිසියම් වෙනසක් වෙන්නට ඉඩක් ඇතත්, ඉදිරි වසර තුළ ඇමරිකානු පොලී අනුපාතික තවදුරටත් ඉහළ යාමට ඇති ඉඩකඩ ඉතා විශාලය.

පොලී අනුපාතික ඉහළ යන විට ඇමරිකානු ආයෝජන වඩා ආකර්ශනීය වන නිසා අරමුදල් ප්‍රවාහ ඇමරිකාවට ඇදී ඇමරිකානු ඩොලරය වඩාත් ශක්තිමත් වේ. මේ තත්ත්වය ඇමරිකාවේ ආනයන ඉල්ලුම ඉහළ නංවන නිසා ඇමරිකාවට අපනයනය කරන රටවලට කිසියම් වාසියක්ද සැලසේ. මේ අතින් ලංකාවේ ඇඟළුම් වැනි කර්මාන්ත වලට වාසියක් සැලසෙනු ඇතත්, අනෙක් පැත්තෙන් ආනයන වියදම් හා ණය පොලී අනුපාතික ඉහළ යාමත්, ණය ගැනීම වඩා අපහසු වීමත් නිසා සමස්තයක් ලෙස රටේ උද්ධමනය හා ගෙවුම් ශේෂ හිඟය වෙත ඇති කරනු ඇත්තේ අහිතකර බලපෑමකි.


(Image: http://thestudentlawyer.com/2016/02/12/janet-yellen-cautious-over-us-interest-rates/)

Sunday, November 13, 2016

අයවැය නව නිෂ්පාදනය- නාට්‍ය විචාරයක්

අයවැය නාට්‍යයේ අළුත් නිෂ්පාදනය පාර්ලිමේන්තුවේදී රඟදැක්විණි. වෙනදා වගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පිටපත ලියා තිබුණු අතර මුදල් ඇමතිවරයා සුපුරුදු පරිදි දෙබස් වරද්දමින් ප්‍රධාන චරිතය රඟපෑවේය. ඉකොනොමැට්ටා ආර්ථික විද්‍යාව මිස නාට්‍ය විචාරය හදාරා නැතත් මේ නාට්‍යය ගැන මොනවා හෝ නොලියාම බැරිය.

ප්‍රේක්ෂකයින්ගේ විසිල් බලාගෙන පිටපතට එකතු කර ඇති මුං ඇට, කඩල ජෝක් කෑලි වලින් අවධානය බිඳ නොගෙන අපි කෙලින්ම නාට්‍යයේ මූලික තේමාවට යමු.

රාජ්‍ය අයවැයක මූලික අරමුණ එළඹෙන වසරේ රජයේ ආදායම් වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමයි. පහත ඇත්තේ අයවැයේ හරය වන රජයේ ආදායම් වියදම් වල සාරාංශයයි.



මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය ඇස්තමේන්තු අනුව එළඹෙන 2017 වසරේදී රජයේ ආදායම මේ වසරට සාපේක්ෂව 26.5%කින් වැඩි වනු ඇත. මේ අනුව, බදු ආදායම 27.2%කින්ද, අනෙකුත් ආදායම් හා ප්‍රදාන 22.6%කින්ද වැඩි වීමට නියමිතය.

ආදායම 26.5%කින් වැඩි වෙද්දී රජය සිය වියදම් වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ 17%කින් පමණි. එයින්ද, පුනරාවර්තන වියදම් 9.9%කින් සුළුවෙන් වැඩි වන්නට ඉඩ හැරෙනු ඇති අතර ප්‍රාග්ධන වියදම් 41.6%කින් වැඩි කෙරෙනු ඇත. මේ අතරින් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් කෙරෙන ආයෝජන 22.6%කින්ද, යටිතලපහසුකම් ආයෝජන 47.3%කින්ද වැඩි කෙරෙනු ඇත. මෙසේ පුනරාවර්තන වියදම් සීමා කර ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම නිසා ඉදිරි වසර වලදී රජයේ ආදායම් වැඩිවී අයවැය හිඟය ක්‍රමයෙන් අඩුවනු ඇත.

බැලූ බැල්මට අයවැයේ මූලික ආකෘතියේ කියන්නට වැරැද්දක් නැත. එහෙත්, ප්‍රශ්නය තියෙන්නේ මේ සංඛ්‍යාලේඛණ තියෙන්නේ අයවැය නාට්‍ය පිටපතේ මිස සැබෑ ලෝකයේ නොවීමයි.

රාජ්‍ය ආදායම් 26.5%කින් වැඩි කර ගැනීම ප්‍රායෝගිකව ලඟා විය හැකි ඉලක්කයක් නොවේ. සාමාන්‍යයෙන් රටේ ආර්ථිකය වර්ධනය වන විට රජයේ ආදායම එම වේගයෙන් හෝ තරමක් වැඩි වේගයකින් වර්ධනය වේ. මේ අනුව, රජයේ ආදායමේ 5-6% ප්‍රමාණයේ වර්ධනයක් සිදු වනු ඇත. එමෙන්ම, උද්ධමනය හේතුවෙන් මිල මට්ටම් ඉහළ යන විට එයට අනුපාතිකව හෝ තරමක් අඩු වේගයකින් රජයේ ආදායම් ඉහළ යයි. මෙයද එක් කළ විට 10%ක පමණ ආදායම් වර්ධනයක් ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවේ. බදු ඉහල දැමීම මඟින් මේ ප්‍රතිශතය තවත් තරමක් වැඩි කර ගත හැකිවුවත්, 26.5% මට්ටමට යාම හිතන තරම් පහසු කරුණක් නොවේ.

ලංකාවේ බදු බොහොමයක්ම වක්‍ර බදුය. මේ බදු වැඩි කරන විට ඉල්ලුම අඩුවන නිසා බදු වැඩි කරන අනුපාතයෙන්ම බදු ආදායම් වැඩි නොවේ. ඕනෑවට වඩා බදු වැඩි කළොත් බදු ආදායම අඩු වන්නට වුවද පුළුවන. ප්‍රායෝගිකව රජයේ ආදායම් වැඩි වේයැයි සිතිය හැක්කේ 10-12% පමණ ප්‍රමාණයකිනි. එසේනම්, අයවැය හිඟය අපේක්ෂිත මට්ටමේ පවත්වාගනිමින් ඇස්තමේන්තුගත වියදම් ඒ අයුරින්ම කළ නොහැකි නිසා ඒ වියදම් වලින් කොටසක් කපන්නට සිදු වනු ඇත. මෙසේ කිරීමේදී, ප්‍රායෝගිකව කතුරට අහුවෙන්නේ නාස්තිකාර පුනරාවර්තන වියදම් නොවේ. කිසියම් හෝ අනාගත ප්‍රතිලාභයක් ලබාදෙන ප්‍රාග්ධන වියදම්ය. මෙය අද ඊයේ නොව වසර ගණනාවක් තිස්සේම ලංකාවේ සිදුවන දෙයකි.

මුදල් ඇමති වසරකට වරක් අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරයි. නාට්‍ය විචාරකයෝ මේ යෝජනා විශ්ලේෂණය කරති. කෙසේ වුවද, ඒ යෝජනා කියන හැටියට ක්‍රියාත්මක නොවේ. කිසිවකු පසු විපරමක් නොකරති. ඊළඟ වසරේ නැවතත් මේ දෙයම සිදු වේ.

පහතින් ඇත්තේ 2015 නොවැම්බරයේදී වත්මන් මුදල් ඇමති වරයා විසින් ඉදිරිපත් කළ 2016 වසර සඳහා වූ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තු හා එම ඇස්තමේන්තු 2016 නොවැම්බර් වන විට වෙනස් වී ඇති ආකාරයයි. සෑම වසරකම සිදුවන මේ දෙය මෙවරද එසේම සිදුවන්නට ලොකු ඉඩක් තිබේ. 



මේ වසරේ රජයේ ආදායම 38.5%කින් වැඩිවනු ඇතැයි 2015 නොවැම්බර් අයවැය කතාවේදී කියවුණත් වසරකට පසු කියන විදිහට ආදායම වැඩිවීමට නියමිතව ඇත්තේ 9.4%කින් පමණි. මුල් ඇස්තමේන්තුවට සාපේක්ෂව රජයේ ආදායම 19%කින් අඩු වී ඇත. එසේනම්, වියදමද අඩු නොකර නොහැක. කෙසේ වුවද, වියදම අඩුවන්නේ 16.5%කින් පමණි. එයින්ද, පුනරාවර්තන වියදම් අඩුවන්නේ මුල් ඇස්තමේන්තුවට වඩා 4.5%කින් පමණි. ප්‍රාග්ධන වියදම් 42.4%කින් අඩු වී ඇති අතර අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කර ඇත්තේ මුලින් කිවු ගණනට වඩා 45.2%ක් අඩුවෙනි. යටිතලපහසුකම් ආයෝජනද 41.5%කින් අඩු වී ඇත. එසේනම්, ලබන වසරේදී කියන විදිහටම කටයුතු සිදුවෙයිද?

නාට්‍ය පිටපතක් පමණක්ම වන ලංකාවේ අයවැය ගැන කතා කරන්නට කාලය යෙදවීමත් තේරුමක් නැති වැඩකි.


(Image: http://www.asiantribune.com/node/88206)

Wednesday, August 31, 2016

ආණ්ඩුව නැත්නම් ආයෝජන නැද්ද?

ලංකාව විසින් දශක ගණනක් පුරා දිගින් දිගටම ලබා ගත් විදෙස් ණය හේතුවෙන් මේ වන විට ලංකාව ණය උගුලක පැටලී සිටින බව රජය විසින් නිල වශයෙන්ම පිළිගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් පහසුකමේ උදවුවෙන් තාවකාලිකව ගොඩ දාගෙන සිටියත් දිගුකාලීනව ප්‍රශ්නය එසේමය.

ලංකාව ණය උගුලක පැටලුනේ රටේ ආදායම ඉක්මවා වියදම් කළ බැවිනි. එසේ කරන්නට සිදුවුනේ සුබසාධන වියදම් වැඩි නිසා බව කියවෙතත්, ලංකාව මෙන් ලෝකයට ණය නැති අධික සුබසාධන වියදම් සහිත රටවල්ද තිබේ. වෙනස තියෙන්නේ සුබසාධනය වෙනුවෙන් වියදම් කිරීමේ නොව සුබසාධනය හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් ආදායමට වඩා වියදම් කිරීමෙහිය.

ලංකාවට මෙසේ ආදායමට වඩා වියදම් කිරීමට සිදුවී තිබීම සාධාරණීකරනය කෙරෙන එක් තර්කයක් වන්නේ රටේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කරන මට්ටමට ආයෝජන කිරීමට තරම් ප්‍රාග්ධනය රට තුල නැති බවයි. ඒ නිසා ණය ගන්නට සිදුවේ. (නැත්නම් ආයෝජකයින් පස්සේ යන්නට සිදුවේ.)

තර්කයක් ලෙස ඉහත කතාවේ වැරැද්දක් නැත. ණය ගැනීම යනු පුද්ගලයෙකු හෝ රටක් කිසිවිටක නොකළ යුතු මහා නරක දෙයක් නොවේ. ණය ගැනීමේ ප්‍රතිපලය තීරණය වන්නේ එසේ ගත් ණය වියදම් කරන ආකාරය අනුවය. ණය ගත් විට ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය. එහෙත්, ගත් ණය ආයෝජනය කර ලැබෙන ආදායම ණය හා පොලිය ගෙවා තවත් ගණනක් ඉතිරි කර ගැනීමටත් ප්‍රමාණවත්නම් ණය ගැනීමෙන් දිගුකාලීනව සිදුවන්නේ යහපතකි. අළුතින් ණය ගන්නා හැම විටකම ලංකාවේ රජය ණය ලබා දෙන්නන්ට කියන්නේත්, රටේ ජීවත් වන අයට කියන්නේත් එය එසේ වන බවයි.

පහත කොටස මගේ පසුගිය ලිපියෙනි.

"ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?

පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?"


රටවැසියන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගැනීමට ඉඩ දෙන අතරම, ජාතික ඉතිරි කිරීම් ඉක්මවා දිගින් දිගටම ආයෝජන ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ලංකාවට හැකිවී තිබෙන්නේ දිගින් දිගටම විදෙස් ණය ගැනීම මඟිනි. මෙසේ දිගින් දිගටම ආදායම ඉක්මවා විදෙස් ණය ගැනීම හේතුවෙන් විදෙස් ණය මල්ල අවුරුදු පතා ලොකු වේ.

පහත පළමු ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ලංකාවේ ආයෝජන අනුපාතය හා ජාතික ඉතිරිකිරීම් අනුපාතයයි. ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු රටේ ජාතික ආදායමෙන් පරිභෝජන වියදම් ඉවත් කළ විට ඉතිරි වන කොටසයි. බාහිර ප්‍රාග්ධනය රට තුළට නොපැමිණේනම් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉතිරිවන්නේ මේ කොටස පමණි.





ප්‍රස්ථාරයේ පෙනෙන පරිදි ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම රටේ ජාතික ඉතිරිකිරීම් ඉක්මවා ආයෝජන සිදු කර තිබේ. ඒ ණය ගැනීම මඟිනි. එසේනම්, එහි ඇති වරද කුමක්ද?

පළමුව බැලිය යුත්තේ මෙසේ ණය ලබා ගනිමින් ආයෝජන සිදු කිරීමෙන් වැඩක් සිදුවී ඇත්ද යන්නයි. ආයෝජන අනුපාතය හා ජාතික ආදායම වර්ධනය වීම අතර ඇති සම්බන්ධය එක් වසරකට සීමා වූ සරල සම්බන්ධයක් නොවේ. එහෙත්, එක් එක් වසර තුළ මේ විචල්‍යයන් දෙකේ හැසිරීම සරල ලෙස හැදෑරීමෙන් වුවද එසේ 'වැඩක් වී ඇති බව' පැහැදිලිය.




පහත දෙවන ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි යම් වසරක් තුළ ලංකාවේ ආයෝජන අනුපාතය 10%කින් වැඩිවන විට ආර්ථික වර්ධනය 1.5%කින් පමණ වැඩි වී තිබේ. ණය වෙනුවෙන් ගෙවන පොලිය ආදායම් වර්ධනයට වඩා අඩුනම් වැඩේ නරක නැත. එසේනම්, කළ යුත්තේ ණය වී හෝ ආයෝජනය කිරීමද? ලංකාවේ ආණ්ඩු ලෝකයට ණය නොවේනම් රටට ගොඩ යාමට වෙන විදිහක් නැද්ද?

රටක ජාතික ඉතිරිකිරීම් හැදෙන්නේ කොටස් දෙකකිනි. ඒ පෞද්ගලික ඉතිරි කිරීම් හා රාජ්‍ය ඉතිරි කිරීම්ය. පෞද්ගලික ඉතිරිකිරීම් යනු ගෘහස්ථ ඒකක වල පුද්ගලයින් විසින් බදු ගෙවීමෙන් අනතුරුව කරන (ශුද්ධ) ඉතිරි කිරීම් හා සමාගම් මඟින් බදු ගෙවීමෙන් පසුව (ලාභ ලාභාංශ ලෙස බෙදා නොදී) කරන ඉතිරි කිරීම්ය. රාජ්‍ය ඉතිරි කිරීම් යනු රජයේ බදු හා වෙනත් ආදායම් වලින් රජයේ වියදම් පියවූ පසු ඉතිරි වන කොටසයි.

ලංකාවේ රාජ්‍ය ආදායම වියදමට වඩා අඩු නිසා රාජ්‍ය ඉතිරි කිරීම් සෘණ අගයකි. ඒ නිසා ලංකාවේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු පෞද්ගලික ඉතිරිකිරීම් අනුපාතයෙන් අයවැය හිඟය අඩු කළ විට ඉතිරිවන කොටසයි. වෙනත් විදිහකින් කියනවානම් රජයේ අයවැය හිඟය ශුන්‍ය වී රාජ්‍ය ඉතිරි කිරීම්ද ශුන්‍ය වුවහොත් රටේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය පවතින අගයට වඩා බොහෝ වැඩි වනු ඇත.

පහත තෙවන ප්‍රස්ථාරයේ පෙන්වා ඇත්තේ ලංකාවේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය සහ ආයෝජන අනුපාතයයි. එසේනම්, රටට විදෙස් ණය අවශ්‍ය වී තියෙන්නේ රට තුළ ප්‍රාග්ධනය නැති නිසාද? එසේ නැත්නම් පෞද්ගලික අංශයට අකාර්යක්ෂම රජයක් නඩත්තු කිරීමට සිදු වී ඇති නිසාද? 



Sunday, July 31, 2016

වැට් වැඩි වන විට බඩු මිල වැඩි වන්නේ ඇයි?


වැට් වැනි බදු වැඩි වන විට බඩු මිල ඉහළ යාම බොහෝ දෙනෙකුට පෙනෙන පරිදි සරල කරුණකි. එහි මහා ලොකු නොතේරෙන දෙයක් බැලූ බැල්මට පෙනෙන්නට නැත. එහෙත්, ඇත්තටම මෙය පෙනෙන තරම්ම සරල දෙයක් නොවේ.

මා පෙර ලිපියකින් පැහැදිලි කර පරිදි කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අළුතින් බද්දක් පැනවූ විට හෝ පවතින බද්දක් වැඩි කළ විට, ඒ බද්දේ බර බොහෝ විට සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා මත නොපැටවී, පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යයි. මෙසේ බෙදී යන අනුපාතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා වන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය ප්‍රධාන කරුණු කිහිපයක් මතය. ඒ අනුව, සෛද්ධාන්තිකව අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල බදු ඉහළ දැමීමෙන් පසුවද නොවෙනස්ව පැවතිය හැකිය.

උදාහරණයක් ලෙස කිසියම් වෛද්‍යවරයෙකු විසින් සපයන සේවාවක් සඳහා එම වෛද්‍යවරයාගේ පාරිභෝගිකයින් විසින් දැනට අය කරන මිල වන රුපියල් දහස ගෙවන්නට කැමති වුවත් ඊට වඩා සතයක්වත් ගෙවන්නට සූදානම් නැත්නම්, එම සේවාව සඳහා අය කරන මිල මත පැනවෙන බද්දක බරෙන් කොටසක් සිය පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමේ හැකියාවක් අදාළ වෛද්‍යවරයාට නැත. ඒ නිසා එවැනි වෛද්‍යවරයෙකුට අදාළ බද්දේ බර සම්පූර්ණයෙන්ම දරාගැනීමට සිදුවේ.

රටේ සියළුම (හෝ බොහොමයක්) භාණ්ඩ හා සේවා මත හදිසියේම වැට් වැනි බද්දක් පැනවූ විට හෝ එවැනි බද්දක් වැඩි කළ විට සිදු වන්නේ කුමක්ද?

උදාහරණයක් ලෙස හදිසියේම රටේ සියළු භාණ්ඩ හා සේවා මත 10%ක වැට් බද්දක් පැනවූයේයැයි සිතමු. මේ බද්ද භාණ්ඩ හා සේවාවන්හි මිලට සෘජුවම එකතු වී රටේ බඩු මිල 10%කින් ඉහළ යාමේ හැකියාවක් පවතීද?

මෙය තේරුම් ගැනීමේ පහසුව සඳහා එය එසේ වීයැයි අපි මොහොතකට සිතමු. දැන් කිසියම් පුද්ගලයෙකු විසින් පෙර මිල දී ගත් භාණ්ඩ හා සේවාවන් ඒ අයුරින්ම මිලදී ගැනීම සඳහා ඔහුට හෝ ඇයට 10%ක් වැඩිපුර ගෙවන්නට සිදුවේ. මේ පුද්ගලයාගේ ආදායම නිශ්චිතනම් සහ පෙර එය මුළුමනින්ම වියදම් කළේනම්, මෙසේ වැඩි වූ පිරිවැය හමුවේ මුල් පරිභෝජන මට්ටම පවත්වා ගත හැක්කේ ණය වීමෙන් පමණි.

රටක එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් ගණනාවකට මේ අයුරින් වෙනකෙකුට ණය වී සිය පරිභෝජන මට්ටම පවත්වා ගත හැකිය. එහෙත්, කෙනෙකු රුපියලක් ණයට ගන්නා හැම විටකම රුපියලක් ණයට දෙන්නට අයෙක්ද සිටිය යුතුය. මෙසේ ණය දීම නිසා අත ඇති මුදල් සීමා වන නිසා ඒ පුද්ගලයාට සිය පරිභෝජනය අඩු කිරීමට සිදු වේ. මේ අනුව, රටේ සෑම භාණ්ඩයක හා සේවාවකම මිල එක් වර ඉහළ ගියහොත්, පුද්ගල ආදායම් වෙනස් නොවන පසු බිමක, භාණ්ඩ හා සේවා සඳහා වන සමස්ත ඉල්ලුම අනුපාතිකව අඩු විය යුතුය.

මෙසේ ක්ෂණිකව භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම අඩු වූ විට රටක භාණ්ඩ හා සේවා අතිරික්තයක් ඇති වේ. එවිට, නිෂ්පාදකයෝ මිල අඩු කිරීම මඟින් අළුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, වැඩි වූ බද්දේ බර හේතුවෙන් රටේ භාණ්ඩ හා සේවාවන්හි සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු නොවේ. ඒ අනුව, වැට් වැඩි වූ රටේ බඩු මිල අනුපාතිකව වැඩි වේනම්, රටේ සමස්ත ඉල්ලුම නොවෙනස්ව පවත්වා ගත හැකි තරමේ ආදායම් වැඩි වීමක්ද සිදු විය යුතුය.

එය එසේ සිදු වනවාද?

මෙය තීරණය වන්නේ වැඩි කළ වැට් මුදල් හරහා රජය විසින් එකතු කර ගන්නා ආදායම වියදම් කරන ආකාරය අනුවය. උදාහරණයක් ලෙස, ඒ මුදලින් පැරණි විදෙස් ණයක් පියවේනම් රට තුළ එවැනි ආදායම් වැඩි වීමක් නොවේ. එහෙත්, එම මුදලින් රටේ (මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය සේවකයින් වැනි) කිසියම් පිරිසකගේ වැටුප් වැඩි කෙරේනම් හෝ රාජ්‍ය සේවකයින් අළුතින් බඳවා ගැනේනම්, එම පිරිසගේ ආදායම් වැඩි වී මිල දී ගැනීමේ හැකියාව වැඩි වන නිසා සමස්ත ඉල්ලුම ඉහළ ගොස් බඩු මිලද වැඩි වේ. එවිට අවසාන වශයෙන් සිදු වන්නේ මේ පිරිසගේ වැඩි වූ පරිභෝජනය වෙනුවෙන් රටේ ඉතිරි කොටසට සිය පරිභෝජනය අඩු කරන්නට සිදු වීමයි.

වැට් වැඩි කළ විට බඩු මිල ඉහළ යාමට හේතු වන්නේ එම වැඩි කිරීමම නොවේ. රජය විසින් එසේ එකතු කර ගන්නා මුදල් නැවත කිසියම් පිරිසක් වෙත සම්ප්‍රේෂණය වී, ඔවුන්ගේ ආදායම් වැඩි වී රටේ සමස්ත ඉල්ලුමද ඉහළ යාමයි. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ වැට් වැඩි කිරීමට එරෙහි වන පිරිස්ම, රජයේ වියදම් වැඩි කරවන ඉල්ලීම්ද දිගින් දිගටම කිරීමයි.

රජය බදු පනවන්නේ සිය වියදම් ආවරණය කර ගැනීමටය. බදු මඟින් මේ වියදම් ආවරණය කර ගැනීම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි. එමඟින් බඩු මිල ඉහළ යා හැකිය.

රජයේ වියදම් එසේම පවතිද්දී ඉහළ දැමූ බද්දක් නැවත පහත හෙළූ විට හෝ ඉවත් කළ විට කුමක් සිදු වේද? මෙය දේශපාලනික වශයෙන් ජනප්‍රිය කටයුත්තක් විය හැකිය. එහෙත්, බද්ද අහෝසි කළ පමණින් එය පැනවීමට මුල් වූ රජයේ ආදායම් වියදම් පරතරය වෙනස් නොවේ. ප්‍රායෝගිකව මේ අඩුව පිරවෙන්නේ එතරම් පාරදෘශ්‍ය ක්‍රමයක් නොවන 'සල්ලි අච්චු ගැසීමෙනි'.

සල්ලි අච්චු ගැසීම හෙවත් මහ බැංකුවට රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවි කිරීම සිදු කර ලැබෙන ආදායම වියදම් කළ විට සිදු වන්නේද රටේ කිසියම් සීමිත පිරිසකගේ ආදායම් වැඩි වී, සමස්ත ඉල්ලුම ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමයි. ඒ නිසා, වැට් බද්ද අඩු හෝ අහෝසි කළ විට සිදු වේයැයි පෙනෙන භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වීම මායාවක් පමණි.


(Image: www.hirunews.lk)

Tuesday, April 26, 2016

2015 මහ බැංකු වාර්තාව එළි දකී!


පසුගිය 2015 වසර සඳහා වූ මහ බැංකු වාර්ෂික වාර්තාව එළි දක්වා තිබේ. 2015 යනු පැවති රජය මෙන්ම මහ බැංකුවේ අධිපතිවරයාද වෙනස් වීමෙන් පසුව ගෙවුණු පළමු වසරයි.

මේ ලිපියෙන් මහ බැංකු වාර්තාවේ ඇති කරුණු පිළිබඳව පුළුල් විග්‍රහයක් කිරීමට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එහි බොහෝ දෙනෙකු බලා සිටින ප්‍රධානම කරුණු අතරින් ආර්ථික වර්ධනය දෙස පළමුව බැලූ විට පසුගිය වසරේ ලංකාවේ ආර්ථිකය 4.8%කින් වර්ධනය වී තිබේ. මෙය 1977දී ලංකාවට නිදහස් ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පවත්වාගත් සාමාන්‍ය වර්ධන වේගයට වඩා අඩු අගයකි.

මහ බැංකුවේ ප්‍රවෘත්ති නිවේදනය අනුව "රාජ්‍ය අයවැයෙහි වියදම් විශාල ලෙස ඉහළ යාම, ද.දේ.නි.හි ප්‍රතිශතයක් ලෙස 4.4%ක් වූ ඉලක්කගත අයවැය හිඟය 7.4% දක්වා ඉහළ යෑමට" හා "මධ්‍යම රජයේ ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 76.0% දක්වා ඉහළ යෑමට" හේතු වී තිබේ. 2014 අවසාන වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9ක් වූ අතර වසර අවසානය වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503.2ක් දක්වා 15%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. 2014 අවසානයේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රජයේ ණය ප්‍රමාණය 70.7% මට්ටමේ පැවතුණි. වෙනත් අයුරකින් කිවහොත් රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වසර මුල වූ රුපියල් 355,799 සිට රුපියල් 405,571 දක්වා ඉහළ ගොස් ඇත.

2015 මුලදී ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය කළමණාකරන වාර්තාවෙන් අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 4.4% දක්වා අඩුකර ගැනීමටද රාජ්‍ය ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 72% මට්ටමේ පවත්වා ගැනීමටත් සැලසුම් කර තිබුනද රජය මේ ඉලක්ක සපුරාගැනීමට අසමත්ව ඇති බව මහ බැංකු පුවත් නිවේදනය පෙන්වා දෙයි. පොලී ගෙවීමේ වියදම් ඉවත් කර හදන ප්‍රාථමික ගිණුමේ හිඟයද 2014දී පැවති 1.5% සිට 2.9% දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම, වසර තුළ ගෙවුම් තුලනය ඩොලර් මිලියන 1,489කින් "පිරිහීමත් සමඟ රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය 2014 වසරේ තිබූ ඩොලර් බිලියන 8.2හි සිට 2015 වසර අවසානය වන විට ඩොලර් බිලියන 7.3ක් දක්වා" අඩු වී තිබේ.

බැංකු අංශයෙන් රජයට ලබා දෙන ණය මුලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණය ඉක්මවා "රුපියල් බිලියන 326කින් සැලකිය යුතු ලෙස" වැඩි වී ඇති අතර වසර තුල මහ බැංකුව විසින් රටේ ආර්ථිකයට අළුතින් සංචිත මුදල් රුපියල් බිලියන 95.5ක පමණ මුදලක් පොම්ප කර තිබේ. මේ අනුව, රටේ පුළුල් මුදල් සැපයුම පෙර වසරේ පැවති 13.4% වර්ධනය සැලකිය යුතු ලෙස ඉක්මවමින් 17.8%කින් වර්ධනය වී තිබේ.

සමස්තයක් වශයෙන් පසුගිය වසරේ ආර්ථික වර්ධනයන් පිළිබඳව මහ බැංකු වාර්තාවෙන් පෙන්වන චිත්‍රය එතරම් හොඳ නැති බව කිව යුතු නොවේ.

(Image: www.cbsl.lk)

Monday, January 25, 2016

ලංකාතිලකගේ වික්‍රම

පසුගිය 2015 අවුරුද්දේ ලංකාතිලකගේ සම්පූර්ණ ආදායම රුපියල් 71,157කි. ඒ කියන්නේ මාසයකට රුපියල් 5,930කි. මේ ආදායමට ලංකාතිලක වැඩකර උපයන මුදල වගේම, ඔහුගේ ඉඩකඩම් වල ආදායමත්, ලංකාතිලක ගැන අනුකම්පා කර ඇතැම් අය නොමිලේ දෙන සුළු මුදලක්ද ඇතුළත්ය.

ලංකාතිලකගේ ආදායම හැම අවුරුද්දකම කීයකින් හෝ වැඩි වේ. එහෙත්, ඔහුගේ වියදම ඊට වඩා වේගයෙන් වැඩිවේ. ලංකාතිලක ජීවත්වන රටේ ඇමති වරයෙක්ගේ පවුලටම ජීවත් වීමට මසකට රුපියල් 2,500ක මුදලක් ප්‍රමාණවත් වුවත් ලංකාතිලකට එමෙන් දෙගුණයකටත් වැඩි රුපියල් 5,930ක මුදලද ප්‍රමාණවත් නැත. ඒ නිසා ලංකාතිලක හැම අවුරුද්දකම කීයක් හෝ ණය වේ. ඒ ණය පොලියත් සමඟ ගෙවන්නට ලංකාතිලක තවත් ණය ගනී. වැඩිපුර මහන්සි වී වැඩ කර ආදායම වැඩි කර ගන්නවාට හෝ ලැබෙන ආදායමට හරියන විදිහට ජීවත් වනවාට වඩා මේ ක්‍රමය හොඳය. ලංකාතිලකගේ පවුලේ උදවිය වැඩිපුර මහන්සි වෙන්නට කැමති නැත. අඩුවෙන් වියදම් කරන්නත් කැමති නැත.

ලංකාතිලකගේ ණය දිනෙන් දින ඉහළ යයි. ඒ ගැන ලංකාතිලකගේ පවුලේ කාටවත් ගාණක්වත් නැත. පසුගිය 2015 වසර මුලදී ලංකාතිලක ණය වී සිටි මුදල රුපියල් 351,928කි. මේ මුදල ඔහුගේ මාසික ආදායම මෙන් 59 ගුණයකටත් වඩා වැඩි වුවත් ලංකාතිලක එය ප්‍රශ්නයක් ලෙස සිතුවේ නැත. ලංකාතිලක කියන්නේ එවැනි එළ කොල්ලෙකි.

පොඩි අවුලකට තියෙන්නේ ගත් ණයට පොලිය සමඟ ණය වාරික නොවරදවා ගෙවිය යුතු වීමයි. එය පැහැර හැරියොත් අළුතින් ණය ගැනීම අමාරු වේ. ලංකාතිලක මේ තරම් ණය වී හිටියත් ඔහුට තවතවත් ණය ගැනීමේ හැකියාව ඇත්තේ ඔහු කවදාවත් ණය ගෙවීම පැහැර හැර නැති නිසාය. එහෙත්, අළුතින් ගන්නා ණය වලට ගෙවිය යුතු පොලියනම් එන්න එන්නම වැඩිවේ.

පසුගිය 2015 වසර තුළදී ලංකාතිලක විසින් පොලිය ලෙස රුපියල් 25,055ක්ද ණය වාරික ලෙස තවත් රුපියල් 31,238ක්ද ගෙවා තිබේ. ඒ කියන්නේ මාසයකට රුපියල් 1,705ක පොලී මුදල් සහ 3,370ක ණය වාරික මුදලකි. ණයවාරික සහ පොලිය ගෙවීමෙන් පසු ලංකාතිලක අතේ ඉතිරි වුනේ ඔහුගේ ආදායමින් 14.4%ක් හෙවත් මසකට රුපියල් 855ක් පමණි. මෙයින් මාසයේ සියළු වියහියදම් පියවාගන්නට බැරි බවත්, එමෙන් තුන්ගුණයක් පමණ වූ (ලංකාතිලකගේ ස්ථිර සේවකයින් වන) ලංකාතිලක ජූනියර්ලාගේ පඩිනඩි ඇතුළු අනිත් හැම කෙහෙම්මලම කරන්නට වෙන්නේ අළුතින් ණය ගැනීමෙන් බවත් තේරුම් ගන්නට ඉකොනොමික්ස් දැනගත යුතු නැත.

ලංකාතිලකගේ අයියණ්ඩිලා, අපුච්චලා සහ නැන්දලා මෙන්ම ලංකාතිලකද ණය ගන්නට කිසි බයක් හෝ ලැජ්ජාවක් නැත. මේ වන විට ලංකාතිලක කොපමණ ණය වී ඇත්දැයි ඔහුවත් හරියටම නොදනී. පසුගිය ජූලි මාසය අවසන් වන විට ඔහුගේ ණය රුපියල් 384,709 දක්වා ඉහළ ගොස් තිබුණේය.

ලංකාතිලක ජීවත්වන රටේ ජනගහනය මිලියන 20.771ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ලංකාතිලක වැනි පුද්ගලයින් මිලියන 20.771කගේ පෞද්ගලික අයවැය විස්තර එකතු කළ විට ලංකාතිලක ජීවත්වන රටේ ආණ්ඩුව දැන් සිටින තත්ත්වය තේරුම් ගැනීමට පුළුවන.

***
"නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය, 2014 වසරේ දෙසැම්බර් මස අවසානයට පැවති රුපියල් බිලියන 7,309.9 සිට 2015 වසරේ ජූලි මස අවසානයට රුපියල් බිලියන 7,990.8 දක්වා රුපියල් බිලියන 599.9කින් වැඩි විය."

(උපුටාගැනීම: පිටුව 84, මෑතකාලීන ආර්ථික ප්‍රවණතා, ශ්‍රී ලංකා මහ බැංකුව)


(Image: www.sundaytimes.lk)

Wednesday, January 20, 2016

ඇමරිකන් ඩොලරයද බාල්දු වේ!

පසුගිය වසර 153ක කාලය තුළ ලංකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල වැඩි වී ඇති ආකාරය අපි පසුගිය ලිපියකින් විමසා බැලුවෙමු. එහිදී, අපට පෙනී ගියේ බොහොමයක් ආහාර ද්‍රව්‍ය වල මිල මේ කාලය තුළ දහස් ගුණයකටත් වැඩියෙන් ඉහළ ගොස් ඇති බවයි.

ආහාර ද්‍රව්‍ය වල මිල දහස් ගුණයකටත් වැඩියෙන් වැඩිවීම යනු රුපියලේ අගය දහස් ගුණයකටත් වැඩියෙන් අඩුවීමයි. වෙනත් විදිහකින් කිවහොත් අද රුපියල් පණහක් ඒ කාලයේ සතපහක් තරම්වත් නොවටිනා බවයි. රුපියල හොඳටම බාල්දු වී ඇති බවයි.

රුපියල මෙසේ දිගින් දිගටම බාල්දු වෙන්නේ උද්ධමනය නිසාය. උද්ධමනයට හේතුව රටේ නිෂ්පාදනය වැඩිවන ප්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් සැපයුම වැඩි වීමයි. මෙසේ දිගින් දිගටම ඕනෑවට වැඩියෙන් මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කරන්නේ රජයේ අයවැය හිඟය පියවා ගැනීමටය. රජයේ අයවැය හිඟය පියවා ගැනීමට මුදල් අළුතින් මුද්‍රණය කිරීමට සිදුවන්නේ රජයේ වියදම ආදායම ඉක්මවද්දී  මේ අඩුව පිරවීමට ණය ගැනීමට මහ බැංකුව වෙත හැරෙනු හැර වෙනත් මාර්ගයක් නැති වූ විටය.

රුපියල මෙසේ එන්න එන්නම බාල්දු වෙද්දී ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු මිල හෙවත් විණිමය අනුපාතිකය එන්න එන්නම වැඩිවේ. ඒ කියන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වන බවයි. එහෙමනම් රුපියල වගේ ඩොලරය බාල්දු වෙන්නේ නැද්ද? ඇමරිකාවේ ඔය කියන උද්ධමන, අයවැය හිඟ නැද්ද?

ඇත්තටම රුපියල වගේම ඩොලරයද බාල්දු වේ. ඇමරිකාව වගේම ලෝකයේ තවත් බොහොමයක් රටවල අයවැය හිඟයන් පවතී. ඒ වගේම උද්ධමනයද පවතී. ඒ නිසා රුපියල වගේම අනෙකුත් මුදල් ඒකකත් බාල්දු වේ. මෙය පැහැදිලි වන්නේ කාලයත් සමඟ ඩොලරයකින් මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණයට සිදුවූ දෙය, එහෙමත් නැත්නම් ඇමරිකාවේ බඩුමිල ඉහළ ගිය ආකාරය විමසා බැලූ විටය.

ලංකාවේ ලක්මිණිපහණ පුවත්පත ඇරඹුණු කාලයට කිට්ටුව 1860දී ඇමරිකාවේ බඩුමිල මෙහි තිබේ. පසුගිය නොවැම්බරයේදී ඇමරිකාවේ බඩුමිල මෙහි තිබේ. පහත වගුවේ ඇත්තේ මේ වසර 155 තුළ ඇමරිකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල සංසන්දනයකි.



මේ අනුව පෙනී යන්නේ අදාළ කාලය තුළ ඇමරිකාවේ බඩුමිල සාමාන්‍ය වශයෙන් 26 ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි. මේ බඩු මල්ලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය 26 ගුණයකින් බාල්දු වී ඇති බවයි. අද ඩොලරයක් එදා නිකල් එකක් තරම්වත් නොවටිනා බවයි.

ඇමරිකානු ඩොලරයත් මෙසේ බාල්දු වී ඇත්නම් මේ නිකලයක් නොවටින ඩොලරය හමුවේ අපේ රුපියලට ඔළුව නමන්නට වී ඇත්තේ ඇයි?

ඩොලරය බාල්දු වී ඇතත් රුපියල තරමට බාල්දු වී නැත. රුපියලේ වටිනාකම 1066 ගුණයකින් අඩුවන විට ඩොලරයේ වටිනාකම අඩුවී ඇත්තේ 26 ගුණයකින් පමණි. ඒ කියන්නේ රුපියල ඩොලරයට වඩා 40 ගුණයකින් පමණ (1066/26) වැඩිපුර බාල්දු වී තිබේ.

රුපියල ඩොලරයට වඩා 40 ගුණයකින් බාල්දුවන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම 40 ගුණයකින් අඩුවේ. එවිට විණිමය අනුපාතිකය 40 ගුණයකින් වැඩිවේ.

රුපියල බාල්දු වුණත්, එසේ බාල්දු වෙන්නේ ඩොලරය බාල්දු වන තරමටමනම් විණිමය අනුපාතිකය වෙනස් නොවේ. ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරයට, බ්‍රිතාන්‍ය පවුමට හා ජපන් යෙන් එකට සාපේක්ෂව බොහෝ සේ බාල්දු වී තිබුණත් ඉන්දියානු, පකිස්තානු හා බංග්ලාදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව ඒ තරම්ම බාල්දුවී නැත්තේ මේ කාලය තුළ ඒ රටවල මුදල් ඒකකද ලංකාවේ රුපියල තරමටම නැතත් ඒ කිට්ටුවට බාල්දු වී ඇති නිසාය.