Showing posts with label අතුරුදහන්වන නිෂ්පාදිතය. Show all posts
Showing posts with label අතුරුදහන්වන නිෂ්පාදිතය. Show all posts

Saturday, July 7, 2018

තෙල් අවුල


මේ මොහොත වෙද්දී ලංකාවේ තෙල් මිල ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර විචලනය වෙමින් පවතී. තෙල් සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලනය වීම මත නොව, ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර බල අරගලය සමතුලනය වන ආකාරය අනුව තවත් බොහෝ දේ මෙන්ම තෙල් මිලද තීරණය වනු ඇත.

ලංකාවේ ඉන්ධන බෙදා හැරීම තෙල් සංස්ථාව හා ලංකා අයිඕසී සමාගම අතර ද්වි-අධිකාරියක්ව පැවතුණත්, අයිඕසී සමාගමට තෙල් සංස්ථාව සමඟ මිල තරඟයකට යාමේ හැකියාවක් නැති නිසා මේ වෙළඳපොළ තවමත් රාජ්‍ය ඒකාධිකාරයෙන් මිදී නොමැති බව කීම බොරුවක් නොවේ.

මේ ආයතන දෙක අතරින් තෙල් සංස්ථාව වසර ගණනක සිට දිගින් දිගටම පාඩු ලබයි. එහෙත්,  ලංකා අයිඕසී සමාගම දිගින් දිගටම ලාබ ලබයි. ආයතන දෙකම එකම මිලකට ඉන්ධන අලෙවි කරද්දී එහෙම වෙන්නෙ ඇයි?

මේ ආයතන පිළිබඳ සංඛ්‍යාලේඛන එම ආයතන වල වාර්ෂික වාර්තා පිරික්සා හොයා ගන්නට පුළුවන. ලංකා අයිඕ සී සමාගමේ 2016/17 (2017 මාර්තු 31 දක්වා වසරක කාලය සඳහා වූ) වාර්ෂික වාර්තාව අන්තර්ජාලයෙන් ලබාගත හැකි වුවත් තෙල් සංස්ථා වෙබ් අඩවියේ දැකිය හැක්කේ 2014 වසර දක්වා පලකළ වාර්ෂික වාර්තා පමණි. කෙසේ වුවත්, තෙල් සංස්ථාවේ 2015 වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තිබේ.

ලංකා අයිඕසී වාර්ෂික වාර්තාව

තෙල් සංස්ථාවේ වාර්ෂික වාර්තාව

අදාළ කාල වෙනස් වුවත් සැසඳීමක් කිරීමට එය බාධාවක් නොවේ. මීට පෙර වසර වලදී වුවද මේ ආයතන වල ක්‍රියාකාරීත්වයන්හි ලොකු වෙනසක් නැති බැවිනි.

අදාළ කාලයන් අවසානයේදී ලංකා අයිඕසී සමාගම සතුව ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථාන 202ක්ද, තෙල් සංස්ථාව සතුව 1203ක්ද තිබුණේය. මේ ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථාන හරහා අයිඕසී සමාගම විසින් රුපියල් බිලියන 81.0ක ඉන්ධන විකුණද්දී, තෙල් සංස්ථාව විසින් රුපියල් බිලියන 376.7ක ඉන්ධන බෙදා හැර තිබේ. මේ අනුව දළ වශයෙන් තෙල් සංස්ථාව අයිඕසී සමාගම  මෙන් පස් ගුණයක් පමණ විශාලය. මේ එක් එක් ආයතනය විසින් ඉන්ධන විකුණා ලබා ඇති දළ ලාභ පහත පරිදිය.

තෙල් සංස්ථාව
ඉන්ධන විකුණා ලැබූ ආදායම (රුපියල් මිලියන) - 376,736
විකුණූ ඉන්ධන සඳහා පිරිවැය (රුපියල් මිලියන) - 337,119
දළ ලාභය (රුපියල් මිලියන) - 39,615

ලංකා අයිඕසී සමාගම 
ඉන්ධන විකුණා ලැබූ ආදායම (රුපියල් මිලියන) - 81,039
විකුණූ ඉන්ධන සඳහා පිරිවැය (රුපියල් මිලියන) - 73,982
දළ ලාභය (රුපියල් මිලියන) - 7,058

මේ අනුව, තෙල් සංස්ථාව විසින් ලංකා අයිඕසී සමාගම ඉපැයූ ලාභය මෙන් පස් ගුණයකට වඩා වැඩි ලාභයක් ලබා තිබේ. තෙල් සංස්ථාවේ ලාභ ආන්තිකය 10.5%ක් වෙද්දී, අයිඕ සී සමාගමේ ලාබ ආන්තිකය 8.7%ක් පමණි.

කෙසේ වුවද, මේ දළ ලාබයයි. ශුද්ධ ලාභය ගණනය කිරීම සඳහා සේවක වියදම්, පොලී වියදම් ආදී අනෙකුත් වක්‍ර වියදම් සියල්ලද අඩු කළ යුතුය. පහතින් ඇත්තේ එවිට තත්ත්වයයි.

ලංකා අයිඕසී සමාගම
දළ ලාභය (රුපියල් මිලියන) - 7,058
අනෙකුත් වියදම් (රුපියල් මිලියන) - 3,457
බදු ගෙවීමට පෙර ශුද්ධ ලාභය (රුපියල් මිලියන) - 3,148

තෙල් සංස්ථාව
දළ ලාභය (රුපියල් මිලියන) -  39,615
අනෙකුත් වියදම් (රුපියල් මිලියන) - 70,791
බදු ගෙවීමට පෙර ශුද්ධ ලාභය (රුපියල් මිලියන) - 27,418 ක අලාභයකි.

තෙල් සංස්ථාව පාඩු ලබන්නේ අයිඕසී සමාගමට නැති අමතර වියදම් නිසාය. අයිඕසී සමාගමේ අනෙකුත් වියදම් එහි දළ ලාභයෙන් අඩක්ව පවතිද්දී, තෙල් සංස්ථාවේ අනෙකුත් වියදම් එහි දළ ලාභය මෙන් දෙගුණයක් වී තිබෙන්නේ කොහොමද?

අයිඕසී සමාගමේ මුළු සේවක සංඛ්‍යාව 171ක් පමණි. තෙල් සංස්ථාවේ සේවක සංඛ්‍යාව 2,579කි. මේ සංඛ්‍යා දෙක සැසඳීමෙන් පමණක් වුවද කතාව සෑහෙන තරමින් තේරුම් ගත හැකිය.

මේ මිනිසුන් දවස පුරා මොනවා හෝ කාර්යයක නිරතව සිටිනවා විය හැකිය. එහෙත්, ඒ කාර්යයන් ඵලදායී කාර්යයන්නම් විය නොහැකිය.

පහත ඇත්තේ මේ හා අදාළ අජිත් පැරකුම් ජයසිංහගේ ලිපියකි.

තෙල් මිළ වැඩි වෙන ඇත්ත හේතුව මෙන්න



Wednesday, April 19, 2017

බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන්නේ කොහොමද?

මෙය බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන ආකාරය පිළිබඳ ඉතා සරල පැහැදිලි කිරීමකි. 

කිසියම් රටක නිෂ්පාදකයෝ හතර දෙනෙක් සිටිති.

අමල්: කිරි ගොවියෙකි. ප්‍රාග්ධනය ලෙස එළදෙනක් සිටී. එළදෙන ඔහුගේ වත්තේ තණකොළ කයි. අමල්ගේ ප්‍රාග්ධන හා ශ්‍රම වියදම් ගැන සලකා ඔහු කිරි බෝතලයක් රුපියල් සීයකට විකුණයි.

කමල්: මී කිරි නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් මී කිරි හට්ටියක් හදන්නට පුළුවන. මී කිරි හට්ටියක් රුපියල් 110කට අලෙවි කළ හැකිය.

බිමල්: යෝගට් නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් යෝගට් කෝප්පය දෙකක් සැදිය හැකිය. එක් කෝප්පයක් රුපියල් 60කට අලෙවි කළ හැකිය.

චමල්: කල්කිරි නිෂ්පාදනය කරන්නෙකි. ඔහුට අළුත් කිරි බෝතලයකින් කලකිරි බෝතලයක් සැදිය හැකිය. එහෙත්, පාරිභෝගිකයින් අළුත් කිරි වලට තරම් කල් කිරි වලට කැමති නැත. ඒ නිසා ඔහුට කල් කිරි බෝතලයක් විකිණිය හැක්කේ රුපියල් 90කටය.

රජයේ මැදිහත්වීමක් නැත්නම් අමල් කිරි නිපදවනු ඇත. කමල් මීකිරිද, බිමල් යෝගට්ද නිපදවනු ඇත. චමල් කල් කිරි නිපදවීමට යොමු නොවනු ඇත.

-අමල් නිපදවන කිරි බෝතලයකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 100ක දායකත්වයක් ලැබේ.
-කමල් නිපදවන මීකිරි හට්ටියකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 10ක දායකත්වයක් ලැබේ.
-බිමල් නිපදවන යෝගට් කෝප්ප දෙකකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 20ක දායකත්වයක් ලැබේ.
-චමල්ගෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වයක් නැත.

දැන් රජය විසින් කිරි බෝතලයකට රුපියල් 5ක බදු මුදලක් අය කළොත් (ඉල්ලුම වෙනස්වීම නොසලකා) වෙන්නේ කුමක්ද?
-අමල්ට කිරි බෝතලයකින් ලැබෙන්නේ රුපියල් 100කි. ඔහුගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය රුපියල් 5කට සීමා වේ.
-බිමල්ටද කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 15කට සීමා වේ.
-චමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-මී කිරි හා යෝගට් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අඩුවේ.
-එහෙත්, රජයට බදු ලෙස ලැබෙන මුදල් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නිසා සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට බලපෑමක් නැත.

කෙසේ වුවද, මෙය මෙසේ සිදුවීමටනම් රජය විසින් කිරිවලින් ලබාගත් මුදල් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් වැය කළ යුතුය.

උදාහරණයක් ලෙස, රජයට බදු මුදල් වැය කරමින් චමල්ට කිරි මිලදී ගැනීම සඳහා රුපියල් 10ක සහනාධාරයක් ලබා දිය හැකිය. දැන් ඔහුට කිරි බෝතලයක් මිලදී ගැනීමේදී වැය වන්නේ රුපියල් 90ක් පමණක් නිසා ඔහු කල් කිරි නිපදවන නමුත් විකුණුම් මිලද රුපියල් 90ක්ම නිසා ඔහු කිසිදු අගයක් එකතු නොකරයි. අවසාන වශයෙන් මෙහිදී දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙයි. ඒ රජය විසින් බදු ලෙස අයකරගත් මුදල් අකාර්යක්ෂම (අගය එකතු කිරීමක් නොකරන) කර්මාන්තයක් දිරිමත් කිරීම පිණිස වැය කර ඇති බැවිනි.

දැන් රජය මේ බදු මුදල කිරි බෝතලයකට රුපියල් 15 දක්වා වැඩි කළොත් වෙන්නේ කුමක්ද?

-අමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු මී කිරි නිෂ්පාදනය කිරීම නවත්වයි.
-බිමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 5කට සීමා වේ.
-චමල්ට වැඩි මුදලක් සහනාධාර ලෙස ලැබෙන නිසා ඔහු කිසියම් අගය එකතු කිරීමක් කරන බව දැකිය හැකි වනු ඇත. එහෙත්, සහනාධාරය ඉවත් කළ විට අගය එකතු කිරීම සෘණ අගයකි.

බදු වැඩි වීම නිසා කමල් නිෂ්පාදනයෙන් ඉවත් වී ඇත. මෙය හඳුන්වන්නේ බදු නිසා අතුරුදහන්වන නිෂ්පාදිතය (Deadweight Loss of Taxation) ලෙසය. ආණ්ඩුව බදු ලෙස එක් අයෙක්ගෙන් එකතු කර ගන්නා මුදල් අන්තිමේදී වෙනත් අයෙක් වියදම් කරන නිසා එසේ වියදම් කරන කොටස අවසානයේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක්ව පවතී. එහෙත්, මේ 'අතුරුදහන්වන නිෂ්පාදිතය' පාරිභෝගිකයාට හෝ නිෂ්පාදකයාට හෝ රජයට යන කිසිදු පාර්ශ්වයකට නොලැබී නැත්තටම නැති වී යයි, බදු වල ඇති ලොකුම ප්‍රශ්නය මේ  අතුරුදහන්වන නිෂ්පාදිතයයි.