Friday, January 1, 2016

සතපහක උපත

සමහර දේවල් වල සතපහක වටිනාකමක් නැත. ලංකාවේ සතපහත් එවැනි දෙයකි. ලංකාවේ සතපහ මේ වන විට පත් වී ඇති තත්ත්වය එසේ වුවද, මේ සතපහට උජාරු අතීතයක් තිබේ. සතපහ බිහි වූ කාලයේදී තුට්ටුවක් නොවටිනා දේවල් අතර සතපහක් හෝ වටිනා දෙයක් යනු වටිනා දෙයකි.

ඉකොනොමැට්ටාගේ යාළුවෙකුට ඒ යාළුවාගේ පාසැල් යාළුවන් ආදරයට ඇමතුවේ සතපහ යනුවෙනි. ඒ, ඉකොනොමැට්ටාගේ යාළුවාගේ වටිනාකම ඒ දිනවල සතපහක වටිනාකමට සමාන වූ නිසා නොවේ. හදිසියේවත් රවුමට තිබුණානම් දෙවරක් නොසිතා හතරැස් කරන්නට හිතෙන ඔහුගේ හතරැස් මූණේ ඒ තරම් වටිනාකමක් පසුකාලීනව හඳුනාගත් අප ඇතුළු කාටවත් පෙනුණේ නැත. ඔහුට මෙසේ ආදරයට ඇමතුවේ සතපහක ලෝහ වටිනාකම සතපහකට වැඩි වූ නිසා සතපහේ කාසි උණුකර ඇණ හැදීම ප්‍රශ්නයක් වී තිබුණු මේ කාලයේ අපේ පොර ලාබෙට හදා ගත හැකිව තිබුණු හොඳම ඇණයක් වී සිටි නිසාද නොවේ. යාළුවාගේ ජපන් පැණි කොමඩු ගෙඩියක් වැනි පැණි බේරෙන හතරැස් මූණ නිසාය.

(Image: http://www.kcci.com/news/check-out-this-hot-food-trend-square-watermelons/26695364)

සතපහේ විශේෂත්වය වුණේම මේ හතරැස් හැඩයයි. ලංකාවේ මෑත කාලයේදී නිකුත් කෙරුණු එකම හතරැස් කාසිය සතපහයි. සතපහේ ලෝහයත්, ඒ නිසාම වර්ණයත්, රාජ්‍ය මුද්‍රාව වගේම රටේ නමත් වෙනස් වෙද්දී මේ හතරැස් හැඩය පමණක් සෑහෙන කාලයක් වෙනස් නොවී තිබුණේ අපේ පොර පහු වී හරහට උස යනවිට ඔහුගේ සුන්දර හතරැස් මූණ රවුම් නොවී තිබුණු ආකාරයටමය. දවාලෙ පායන චන්ද්‍රයා රෑට බැසයන්නට පෙර හතරැස් කිරීමට වුවත් හැකියාවක් තිබුණු ඔහුගේ යාළුවන් කිසිවෙකුටත් පොරගේ හතරැස් මූණේ හතරැසනම් එක අංශකයකින් හෝ වෙනස් කරන්නට බැරි විය.

(Image: http://dawgama.deviantart.com/art/Square-Moon-119094851)

අපේ පොරගේ හතරැස් මුහුණට රවුම් මුහුණක් තිබුණු ඔහුගේ පෙම්වතිය පුරුදු වී සිටියාක් මෙන් සතපහේ කාසියේ හතරැසටද අප හුරු වී සිටියත් අපේ සතපහ උපත ලැබුවේ මේ හතරැස අත මිට මොලවාගෙන නොවේ. මුලින්ම, මෙලොව එළිය දුටු සතපහේ කාසියට තිබුණේ ඉකොනොමැට්ටාගේ අළුත් ප්‍රොෆයිල් මූණ වැනි රවුම් මූණකි. සතපහ මූණ හතරැස් කරගත්තේ වයස විසිඑකක් වී වැඩිහිටියෙකු වෙන කාලයේදීය.

සතපහේ කාසියේ ඉතිහාසය ලංකාවේ රුපියල් සත භාවිතයේ ඉතිහාසය තරමටම පැරණිය. සතපහේ කාසියක් මුලින්ම නිකුත් කෙරුණේ 1870 වසරේදීය. ඒ සමඟ නිකුත් කෙරුණු කාසි කිහිපය අතරින් වටිනාම කාසිය වූයේ සතපහයි.


මේ තියෙන්නේ 1870දී එසේ නිකුත් කළ සතපහේ කාසියයි. මේ කාසිය ඇතුළු කාසි කිහිපයක් මුලින්ම නිකුත් වන්නේ 1869 ජූනි මස 18 දාතමැති ඉංග්‍රීසි රජයේ ප්‍රකාශනයක් (proclamation) අනුවය. එහෙත්, මේ ප්‍රකාශනය මඟින් රුපියල් හා සත ලංකාවේ වලංගු නිත්‍යානුකූල මුදල් ඒකකය බවට පත් වන්නේ නැත. එය සිදුවන්නේ 1871 මැයි මස 23 දාතමැති ප්‍රකාශනයක් අනුවය. මෙමඟින් රුපියල් හා සත 1872 ජනවාරි මස පළමු දින සිට ලංකාවේ වලංගු මුදල් ඒකක බවට පත් විය.

එදා මෙදාතුර ගතවුණු හරියටම වසර 144ක කාලය තුළ, කාසි හා නෝට්ටු වල බාහිර ස්වභාවයේත්, දේශීය හා බාහිර වටිනාකම් වලත් සිදුවුණු වෙනස්වීම් හැරුණු විට, මුදල් ඒකකයේ මූලික ආකෘතියේ වෙනස්කම් රහිතව රුපියල් හා සත ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස පැවතී ඇත. එය තවත් වසර ගණනාවක් එලෙසම පවතිනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු!

8 comments:

  1. ඉකොනොමැට්ටාගේ සත පහට උණුසුම් සුබ පැතුම්!

    නව වසරේ උපතත් සමග සත පහකට වඩා වටින සත පහක උපතක්.

    ReplyDelete
  2. උඹේ මේ අමුතු හැඩයේ සතපහ අලුත් වෙනසක් කරාවි යැයි හිතනවා . සුබ පැතුම් ඉකෝ

    ReplyDelete
    Replies
    1. එක පාරටම ලොකු වෙනසක් කරන්න අදහසක් නෑ, තිලක්. මෙතැන ආර්ථික විද්‍යාවට අදාළ දේවල් විතරක් කතා කරන්නයි ඉන්නේ, අනිත් වැල්වටාරම් ඔක්කොම බොජුන්හලේ තියලා. ටිකක් කල් යනකම් අතරින් පතර ඒවාම බොජුන්හලෙත් පෝස්ට් කරනවා.

      Delete
  3. සත පහේ ඒවා බර ගානක් වටිනා ලියවිල්ලක්.. සුභ පැතුම් ..

    ReplyDelete
  4. මේ වෙනත් බ්ලොගයක් නේද?
    ඇයි මේ දෙකක්?
    තේරුමක් නෑනේ?

    ReplyDelete
  5. ශත පහ වගේ මූණු ඇති අය ඉන්නේ බදුල්ල බණ්ඩාරවෙල පැත්තේ ද?
    http://kathandara.blogspot.com/2011/02/blog-post.html

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.