Showing posts with label විණිමය අනුපාතික. Show all posts
Showing posts with label විණිමය අනුපාතික. Show all posts

Monday, June 19, 2023

පසුගිය සතියේ ඩොලරයේ හැසිරීම


පසුගිය සතියේ තරමක් උඩට ගිය ඩොලරයක මිල ඉහළ යාම නවත්වා හෝ පහළ යමින් තිබෙනවා. මේ වගේ අඩුවැඩි වීම් ගැන මම අනාවැකි කියන්න යන්නේ නැහැ. ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ තීරණය වන මිලක් ඔය විදිහට වරින් වර ඉහළ පහළ යන්න පුළුවන්. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. 

ඩොලරයක මිල රුපියල් විස්සකින් තිහකින් ඉහළ යාම රුපියල කඩා වැටීමක් නෙමෙයි. ඒ වගේම ඩොලරයක මිල රුපියල් විස්සකින් තිහකින් පහළ යාම ඩොලරය කඩා වැටීමකුත් නෙමෙයි. ඔය වගේ විචලනයන් පස්සේ ඕනෑවට වඩා පන්නන අයට ටික දවසක් යද්දී හති වැටෙයි. ඊට පස්සේ වෙළඳපොළක ස්වභාවය කියන්නේ මේක තමයි කියලා අවබෝධ වෙයි.

වසර අවසානය වෙද්දී ඩොලරයක මිල කීයක් වෙයිද වගේ ප්‍රශ්න ගොඩක් අයට තිබෙනවා. ලංකාවේ දැනට පවතින තත්ත්වයන් තුළ ඒ ගැන හරියටම කිව හැකි මූලධර්මයක් නැහැ. නිකම් අනුමානයක් පමණක් කරන්න පුළුවන්. එවැනි අනුමානයක් අහම්බෙන් වගේ හරියන්නත් පුළුවන්. මිල විචලනය විය හැකි පරාසය ගැන පමණක් යම් තරමකින් නිවැරදිව අනුමාන කරන්න පුළුවන්.

වසර දහයක් වැනි ඉතා දිගුකාලයක් ගත්තොත්, ලංකාවේ ඉලක්කය උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න එක. ඇමරිකාවේ ඉලක්කය උද්ධමනය 2% මට්ටමේ තියා ගන්න එක. ඒ නිසා, දිගුකාලීනව ඩොලරයක මිල වසරකට 3%කින් පමණ ඉහළ යා යුතුයි. ඒ අතර, කෙටිකාලීන විචලනයන් වෙන්න පුළුවන්. ඉල්ලුම හා සැපයුම තුලනය කරන්න එවැනි විචලනයන් අවශ්‍යයි.

ඔය දිගුකාලීන සමතුලිතතාව ඇති වෙන්නේ මුලින්ම කෙටිකාලීන අවිනිශ්චිතතා අවසන් වෙලා මිල යම් මට්ටමක ස්ථාවර වුනාට පස්සේ. මෙහිදී ස්ථාවර වෙනවා කියන්නේ විචලනයන් නවතිනවා කියන එක නෙමෙයි. විචලනයන් සැලකිය යුතු තරමින් සමමිතික වෙනවා කියන එක. 

දැනටත් විදේශ විණිමය ඉල්ලුම කෙරෙහි බලපාන සීමාවන් සියල්ල ඉවත් වී නැහැ. වාහන ආනයන තහනම හා ප්‍රාග්ධන සංචලන සීමා ඇතුළු සීමාවන් ගණනක් තවමත් ක්‍රියාත්මකයි. ඒ සීමා ඉවත් වෙද්දී ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, ඩොලරයක මිල ඉහළ යාමේ නැඹුරුව පහළ යාමේ නැඹුරුවට වඩා වැඩියි. හැබැයි මහා විශාල වැඩිවීමක් වීමේ ඉඩක්නම් පෙනෙන්න නැහැ.

පසුගිය සතියේ ඩොලරයක මිල ඉහළ යාමට ආනයන සීමා ඉවත් කිරීම බලපෑවා. ඒ බව කලින්ම පෙනෙන්න තිබුණු දෙයක්. මේ ඉල්ලුම සැපිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය බැංකු පද්ධතිය ඇතුළේ තිබුණා කියා මම හිතනවා. එහෙත්, ආනයන සීමා ඉවත් වෙද්දී ඩොලරයක මිල ඉහළ යයි කියා යම් පිරිසක් විශ්වාස කිරීම නිසාම වුවද ඉතා කෙටිකාලීනව යම් තරමකින් මිල ඉහළ යනවා. 

දැන් පැහැදිලිව පෙනෙන පරිදි පසුගිය සතියේ සිදු කළ ආනයන සීමා ඉවත් කිරීම් නිසා ආර්ථිකයට දරා ගත නොහැකි පරිදි ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් නැහැ. මගේ පෞද්ගලික අදහසනම් වඩා සුදුසු වන්නේ ඩොලරයක මිල තවත් ටිකක් ඉහළින් පැවතීම කියන එකයි. 

පසුගිය සතියේ ආනයන සීමා ඉවත් කරන්න පෙර ප්‍රතිපත්ති සම්පාදකයින්ට වගේම වෙළඳපොළ පාර්ශ්වකරුවන්ටත් එහි අවසන් ප්‍රතිඵලය පිළිබඳ යම් සැක සංකා තියෙන්න ඇති. එය එසේ නොවෙන්න හේතුවක් නැහැ. නමුත් මේ වෙද්දී ආනයන සීමා ඉවත් කළත්, එයින් ලොකු බලපෑමක් නොවන බව ඒ බොහෝ දෙනෙක්ට තේරුම් ගිහින් ඇති. ඒ නිසා, මගේ අදහසනම්, වාහන ආනයන සීමා හැර තව තිබෙන මොනවා හෝ සීමාවන් ඇත්නම් ඒ සීමාවන්ද ඉවත් කර දමන්න දැන් කාලය හරි කියන එකයි. එයින් ඩොලරයක මිලේ විශාල වෙනසක් සිදු වෙන එකක් නැහැ. ඊට පස්සේ වාහන ආනයන ගැනත් හිතා බලන්න ඉඩක් ලැබෙනවා. 

ඔය තහනම් සියල්ල ඉවත් කළාට පස්සේ වුනත් ඩොලරයක මිලෙහි විශාල වැඩිවීමක් වනු ඇතැයි මම හිතන්නේ නැහැ. එහෙත්, මෙය අනුමානයක් පමණයි. වෙළඳපොළ හැසිරීම පරීක්ෂා කරමින් සීමා එකින් එක ඉවත් කරන එකයි සුදුසු. හැබැයි ඩොලරයක මිල පහත වැටෙන්න හේතුත් නැහැ. ඒ වගේම, එහෙම ලොකුවට ඩොලරයක මිල පහත වැටෙනවානම් බොහෝ විට එහි සැඟවුණු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.

රටට එන විදේශ විණිමය ටික ආනයන ඇතුළු විණිමය අවශ්‍යතා සඳහා යොදා ගන්න ඉඩ ඇරීමෙන් පසුව මහ බැංකුවේ ඉතිරි සංචිත ඉලක්ක සපුරා ගැනීම සඳහාත් ප්‍රමාණවත් වුනත් ඩොලරයක මිල පහළට තල්ලු කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. පසුගිය මාස දෙක තුන තුළ ඩොලරය පහළට තල්ලු කර තිබෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ලෙස පැමිණි ඩොලර්. 

පසුගිය සතියේ මේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ප්‍රවාහ නැවතී තිබෙනවා. ඇතැම් විට එය තාවකලික තත්ත්වයක් වෙන්න පුළුවන්. මේ විදිහට එන ඩොලර් රටේ කිසිවෙකු විසින් ඉපැයූ ඩොලර් නොවන නිසා යම් අවස්ථාවක පොලියත් එක්කම ආපහු රටින් යනවා. එවිට විණිමය අනුපාතය මත දැනෙන තරමේ පීඩනයක් ඇති වෙන්න පුළුවන්. එයට මුහුණ දීම සඳහා ඒ විදිහට එන ඩොලර් වගේම ඒ ඩොලර් ආපසු ගෙනයාමේදී පොලී ලෙස එකතු කරගෙන යන කොටසත් සංචිත වලට එකතු කරගෙන තබා ගත යුතුයි. 

කොහොම වුනත්, පසුගිය සතියේ උදාහරණයෙන් පෙනෙන්නේ රුපියලේ බාහිර අගය මේ වන විට යම් තරමක කම්පනයකට මුහුණ දිය හැකි තරමට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩ නගාගෙන (resilient) ඇති බවයි. ඒ මේ වන විට ගොඩ නගා ගෙන තිබෙන නිල විදේශ සංචිත වල ශක්තියයි. 

Friday, May 19, 2023

ඩොලරයක මිල කීයක් වෙයිද?

ඉහත ප්‍රශ්නය ගොඩක් අය නැවත නැවත අහන ප්‍රශ්නයක්. ප්‍රශ්නය අහන අයට මේ ප්‍රශ්නය අහන්න ඕනෑ තරම් හේතු තිබෙනවා. නමුත්, විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙන්න ඉඩ දෙනවානම්, කෙටිකාලීනව එය කීයක් වෙයිද කියලා කිසිම කෙනෙකුට කියන්න බැහැ. ඒ නිසා, ඔය ප්‍රශ්නයට පිළිතුරු හොයන්න ඕනෑවට වඩා මහන්සි වෙන එකේ තේරුමක් නැහැ. ඒක හරියට මාස හයකට පස්සේ දවසක වහියිද පායයිද කියලා දැන් හිතනවා වගේ දෙයක්. 

මෙය කාසියක් උඩ දැමූ විට වැටිය හැකි පැත්ත හෝ ලොතරැයියක දිනුම් අංකය කියනවා වගේ දෙයකට සමාන නොකර ඉහත උදාහරණය ගත්තේ හිතාමතාමයි. අදාළ මාසයේ සාමාන්‍ය කාලගුණ තත්ත්වය වගේ දේවල් ගැන හිතලා මාස හයකට පස්සේ දවසක වහියිද පායයිද කියන එක ගැන යම් අදහසක් ගන්න පුළුවන්. නමුත් හරියටම කියන්න බැහැ. තව ඕනෑනම් ක්‍රිකට් තරඟයකදී කණ්ඩායමක් විසින් ලබා ගන්න ඉඩ තිබෙන මුළු ලකුණු ප්‍රමාණය වගේ දෙයකට වුනත් සමාන කරන්න පුළුවන්. 

පහත ප්‍රස්ථාරයේ තිබෙන්නේ කැනේඩියන් ඩොලරය සහ ඇමරිකන් ඩොලරය අතර විණිමය අනුපාතය. කොයි තරම් අඩු වැඩි වීම් වුනත්, අවුරුදු හතර පහක කාලයක් සැලකුවොත් ඔය අනුපාතය ස්ථිරව තිබෙන බව ප්‍රස්ථාරය දිහා බැලුවහම පැහැදිලිව පේනවා. ඒකට හේතුව දිගුකාලීනව රටවල් දෙක අතර ක්‍රය ශක්ති සාම්‍යය වෙනස් නොවීම. 

ඇමරිකාව මුදල් ප්‍රතිපත්ති සැලසුම් හදන්නේ රටේ උද්ධමනය 2% මට්ටමේ තියාගන්න. ඒ නිසා, ඇමරිකන් ඩොලරයක අගය සාමාන්‍ය වශයෙන් වසරකට 2%කින් පිරිහෙනවා. කැනඩාව විසින් කැනඩාවේ උද්ධමනයත් 2% මට්ටමේම තියා ගන්න නිසා කැනේඩියන් ඩොලරයත් සාමාන්‍ය වශයෙන් වසරකට 2%කින් පිරිහෙනවා. ඒ නිසා, දිගුකාලීනව ඔය මුදල් ඒකක දෙකේ වටිනාකම් අඩු වෙන්නේ එකම අනුපාතයකින්. එක මුදලක් අනෙක් මුදලට වඩා වැඩියෙන් බාල්දු වෙන්නේ නැහැ. දිගුකාලීනව විණිමය අනුපාතය වෙනස් වෙන්නෙත් නැහැ. 

නමුත් කෙටිකාලීනව විණිමය අනුපාතය විශාල ලෙස විචලනය වෙනවා. එම විචලනය වීම් වලට දෙරටෙන් එක් රටක්වත් මැදිහත්වීම් කරන්නේ නැහැ. එක රටක බඩු සාපේක්ෂව ලාබ වෙද්දී අනෙක් රට ඒ රටෙන් වැඩියෙන් ආනයන කරනවා. ඒ වෙනුවෙන් ගෙවන්න අනෙක් රටේ මුදල් වැඩියෙන් අවශ්‍ය වන නිසා එම මුදලට තිබෙන ඉල්ලුම ඉහළ ගිහින් විණිමය අනුපාතය වෙනස් වෙලා නැවතත් රටවල් දෙකේ බඩු මිල සමාන වෙනවා. ඇමරිකාව හා කැනඩාව අතර වෙළඳාම නිදහසේ සිදුවන නිසා මේ නිවැරදි වීම ඉතා ඉක්මණින් සිදු වෙනවා. 

හැබැයි ඔය විදිහේ නිවැරදි වීම් සිදු වෙද්දී විණිමය අනුපාතය විචලනය වෙනවා. මේ විචලනය වීම් ඇතුළේම තමයි දිගුකාලීනව ක්‍රය ශක්ති සාම්‍යය ඇති වී විණිමය අනුපාත නියම මට්ටමට එන යාන්ත්‍රනය තියෙන්නේ. විචලනය වීම් වලට බාධා කළොත් වෙන්නේ ඔය නිවැරදි වීම සිදුවෙන්න කල් යන එක. 

යම් හෙයකින් කැනේඩියන් ඩොලරයක මිල සාමාන්‍ය අගයට වඩා ගොඩක් ඉහළ ගියොත් එය කාලයත් එක්ක අඩුවෙයි කියලා පහසුවෙන් පුරෝකථනය කරන්න පුළුවන්. මිල ගොඩක් පහළ ගියොත් කාලයත් එක්ක එය වැඩි වෙන බව හිතාගන්නත් අමාරු නැහැ. නමුත් කෙටිකාලීන විචලනයන් කාටවත්ම නිවැරදිව පුරෝකථනය කරන්න බැහැ.

ඔය කතාව අදාළ විණිමය අනුපාතය නිදහසේ පාවෙන විට පමණයි. ඕකේ අනෙක් අන්තය වන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයේදී විණිමය අනුපාතය ගැන අවිනිශ්චිතතාවය ඉතාම අඩුයි. වෙනසක් වෙන්නේ අදාළ බලධාරීන් විසින් එය වෙනස් කළොත් පමණයි. මෙහිදී පුරෝකථනය කරන්න තියෙන්නේ බලධාරීන් විසින් කුමක් කරයිද කියන එක. විශාල පිරිසක් විසින් තනි තනිව ස්වාධීනව ගන්නා තීරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල පුරෝකථනය කරන්න බැරි වුනත්, බලධාරියෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ තීරණ පුරෝකථනය කරන්න උත්සාහයක් දරන්න පුළුවන්. ගොඩක් අය තීරණ ගන්නේ ඔවුන් ඊට කලින් තීරණ අරන් තිබෙන ආකාරයට. 

ලංකාවේ විණිමය අනුපාතය පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් කියා කිවුවත් එය කවදාවත්ම නිදහසේ පාවෙලා නැහැ. මහ බැංකුව හැමදාම අඩු වැඩි වශයෙන් මැදිහත් වුනා. දැනටත් මැදිහත් වෙනවා. ඒ නිසා, යම් තරමකින් වෙන්න යන දේ පුරෝකථනය කරන්න පුළුවන්. මෙහිදී පුරෝකථනය කරන්න වෙන්නේ මහ බැංකුවේ අදාළ බලධාරීන් කුමක් කරයිද කියන එක. මේක ලංකාව කරපු "වැරද්දක්" හෝ "හොර වැඩක්" නෙමෙයි. ලංකාව භාවිතා කළ විණිමය අනුපාත ක්‍රමය "පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමය". වැඩේ අවුල් වුනේ ඔය "පාලිත" කෑල්ලේ සීමාව ඉක්මවන්න යාමෙන්.

සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළ දැන් ලංකාව සඳහා යෝජනා වී තිබෙන්නේත් කලින් තිබුණු පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයම තමයි. නමුත් මේ "පාලිත" කොටස සීමාව ඉක්මවන එක වලක්වන්න වැඩපිළිවෙල තුළ සීමාවන් නියම කර තිබෙනවා. ඒ නිසා, සෑහෙන දුරකට විණිමය අනුපාතය තීරණය වෙන්නේ නිදහසේ. මහ බැංකුවට මැදිහත්වීම් කරන්න ඉඩ තිබුණත් එම මැදිහත්වීම් වල සීමාව කලින්ම තීරණය කරලයි තියෙන්නේ. සීමාව පනින්න බැහැ. ඉතුරු ටික වෙන්නේ වෙළඳපොළට අවශ්‍ය විදිහට. 

මේ වැඩේ හරියට වෙයි කියන උපකල්පනය යටතේ, මේක ලංකාවේ ගොඩක් අයට ටිකක් අළුත් අත්දැකීමක් වෙයි. මොකද විණිමය අනුපාතයේ කෙටිකාලීන විචලනය වීම් ලංකාවට පුරුදු දෙයක් නෙමෙයි. ඒ නිසාම, මේ වගේ කෙටිකාලීන විචලනයන් දිහා බලලා ඇතැම් අය රටේ ආර්ථිකය ගැන ලොකු නිගමන වලට එනවා.

මේ දවස් වල ඩොලරයක මිල පහත වැටෙද්දී සමහර අය සතුටු වෙනවා. හුරේ දානවා. තව ටික දවසකින් ඩොලරයක මිල නැවත ඉහළ ගියොත් වෙන කණ්ඩායමක් සතුටු වෙයි. නමුත් ඩොලරයක මිල කියා කියන්නේ සතුටු විය යුතු හෝ දුක් විය යුතු දෙයක් නෙමෙයි. විණිමය අනුපාතය ඕනෑවට වඩා අවප්‍රමාණය වීමෙන් වගේම අධිප්‍රමාණය වීමෙනුත් වෙන්නේ අයහපතක්. එය නියම තැන තිබිය යුතුයි. මේ නියම තැන කාටවත් හරියටම තීරණය කරන්න බැහැ. අඩු වශයෙන් මහ බැංකුවටවත් බැහැ. 

ඩොලරයක නියම මිල තීරණය කරන්නේ වෙළදපොළ විසින්. මහ බැංකුවට වුනත් ඒ නියම මිල කීයද කියලා දැන ගන්න වෙන්නේ වෙළඳපොළ දිහා බලලා. වෙළඳපොළ ඒ නියම මිල හොයා ගන්නේ නිදහසේ උච්ඡාවචනය වීම මගින්. කැනේඩියානු හා ඇමරිකානු ඩොලර් අතර විණිමය අනුපාතයේ කෙටිකාලීන විචලනයන් දිහා බලපුවහම මේ උච්ඡාවචනය වීම් පැහැදිලිව පේනවා. ඒ වගේ, උච්ඡාවචනය වීම් කලින් අනුමාන කරන්න බැහැ.

මෙයින් කියන්නේ විණිමය අනුපාතයේ කෙටිකාලීන උච්ඡාවචනය වීම් කාටවත්ම, කිසිම ආකාරයකින් පුරෝකථනය කරන්න බැහැ කියන එක නෙමෙයි. ඒ වැඩේ කරන අය ඉන්නවා. නමුත් මෙය සෑහෙන දුරකට සූදුවක් සහ යම් තරමකට කුසලතාවයක්. වැඩේට විශේෂ කුසලතාවයක් තිබෙන කෙනෙකුට ඔය සූදුවෙන් වාසි ගන්න පුළුවන්. නමුත් හැමෝටම බැහැ. වෙන විදිහකට කිවුවොත් සාමාන්‍ය පුද්ගලයෙකුට ඔය වාසිය ගන්න අමාරුයි. ඒකට හේතුව, විණිමය ගනුදෙනුවකින් වාසියක් ලබා ගත හැකි අවස්ථාවක් කවුරු හෝ විසින් දැකලා එම වාසිය ගත්ත ගමන්ම ඒ හේතුව නිසාම වාසි ගැනීමේ අවස්ථාවද නැති වී යාම. 

කොටස් වෙළඳපොළ කෙටිකාලීන ආයෝජන වලින් වාසි ගැනීමත් ඔය වගේම දෙයක්. සමහර අයට වාසි ගත හැකි වුවත් පොදුවේ හැමෝටම මේ වැඩේ කරන්න බැහැ. මොකද හැම විටම වෙළඳපොළ මිල සකස් වෙන්නේ කාටවත් විශේෂ වාසියක් ගන්න බැරි විදිහට. වාසියක් ගන්න ඉඩක් තියෙන්නේ මිල එම මිලෙන් පොඩ්ඩක් එහා මෙහා වුනොත් පමණයි. නමුත් කවුරු හෝ කෙනෙක් ඒ වෙනසේ වාසිය ගත්ත ගමන් නැවත මිල නියම තැනට එනවා. 

විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම කෙරෙහි බලපාන්නේ ආනයන අපනයන ඉල්ලුම පමණක් නෙමෙයි. ප්‍රාග්ධන වෙළඳපොළ තුළ සිදුවන දේවලුත් ඒ කෙරෙහි බලපානවා. ඇතැම් ආනයන සීමා තවදුරටත් පවතින තත්ත්වයක් යටතේ වුවත් මේ වෙලාවේ වාණිජ බැංකු ඇතුළේ තිබෙන්නේ ඩොලර් අතිරික්තයක්. කාලයක් තිස්සේ තිබුණු ලොකු "වල" (ශුද්ධ ඩොලර් හිඟය) දැන් වැහිලා. නමුත් මහ බැංකුවේ වල තවම වැහිලා නැති නිසා සමස්තයක් ලෙස තවමත් බැංකු පද්ධතියේ ඩොලර් හිඟයක් තිබෙනවා. ඒ වලත් ක්‍රමයෙන් වැහෙමින් තිබෙනවා. 

අපනයන ආදායම් වලට අමතරව බැංකු පද්ධතිය ඇතුළට එන ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් වගේ දේවල් ගැන අපි කතා කරලා තිබෙනවා. මේ සියලුම විදේශ විණිමය ලැබීම් ගත්තහම මේ වෙද්දී ආනයන වියදම් වලට වඩා වැඩියි. ඊට අමතරව මේ වෙද්දී නැවතත් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ආයෝජන විදිහට එහෙමත් ටික ටික ඩොලර් එන්න පටන් අරගෙන තිබෙනවා. මෙයින් පෙනෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණ අවදානමක් ලොකුවට නැති බව වගේම ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාමේ අවදානමක්ද නැති බවයි. එවැනි අවදානම් පෙනෙන්න ඇත්නම් කවුරුවත් ඩොලර් රුපියල් කරන්නේ නැහැ. 

විදේශ විණිමය වෙළඳපොළ ගනුදෙනු සියල්ල සිදු වෙන්නේ එතැන් ගනුදෙනු ලෙස නෙමෙයි. බොහෝ දෙනෙකු විසින් අවදානම අඩු කරගැනීම සඳහා ඉදිරි සුරැකුම් ගනුදෙනු වල නිරත වෙනවා. ඒ කියන්නේ ඉදිරි දිනකදී අවශ්‍ය වන ඩොලර් කලින්ම මිල දී ගන්නවා. ඉදිරි දිනක ලැබෙන්න තිබෙන ඩොලර් කලින්ම විකුණනවා. මේ වගේ ගනුදෙනු සිදු වෙන්නේ අදාළ දිනය වන විට පවතිනු ඇතැයි දෙපාර්ශ්වය විසින් විශ්වාස කරන විණිමය අනුපාතය මතයි. ඉදිරි සුරැකුම් විණිමය අනුපාතය අනාගතයේ අදාළ දිනයේ එතැන් විණිමය අනුපාතය පිලිබඳව අද කළ හැකි හොඳම පුරෝකථනය සේ සැලකෙනවා.

පහත තිබෙන්නේ මේ වන විට (මැයි 19) වෙළඳපොළේ ඉදිරි සුරැකුම් ගනුදෙනු සිදුවන විණිමය අනුපාත.

මාසයකට පසු විණිමය අනුපාතය - රුපියල් 312.67

මාස තුනකට පසු විණිමය අනුපාතය - රුපියල් 321.31

මෙම පුරෝකථන නිවැරදි බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. මෙම ගණන් වලින් පෙන්වන්නේ වෙළඳපොළ ඩොලර් ගනුදෙනු කරන්නන් අදාළ දිනයේ සිතූ ආකාරයයි. පසුගියේ සතියේ (මැයි 12) මෙම ගනුදෙනු සිදු වුයේ මීට වඩා තරමක් වැඩි මිලකටයි. 

මාසයකට පසු විණිමය අනුපාතය - රුපියල් 320.88

මාස තුනකට පසු විණිමය අනුපාතය - රුපියල් 327.48

හරියටම නිවැරදි නැති වුවත්, ඉදිරි සුරැකුම් ගනුදෙනු වල නියැලෙන්නන් සාමාන්‍ය පුද්ගලයින්ට වඩා විණිමය අනුපාතයේ හැසිරීම ගැන වැඩි අවබෝධයක් ඇති සහ විණිමය ගනුදෙනු පිළිබඳ පළපුරුද්දක් ඇති අයයි.

Thursday, May 18, 2023

ඩොලරය 300 සීමාවෙන් පහළට?


මහ බැංකු දත්ත අනුව අද (මැයි 18) ඩොලරයක සාමාන්‍ය ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා (රුපියල් 299.2144). ලංකාවේ විණිමය වෙළඳපොළ කුඩා වෙළඳපොළක්. සුළු හිඟයක් නිසා මිල සැලකිය යුතු ලෙස ඉහළ යනවා වගේම සුළු අතිරික්තයක් නිසා මිල සැලකිය යුතු ලෙස පහළ යන්නත් පුළුවන්. 

මිල පහළ යාමෙන් පෙනෙන්නේ වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගැනීමට වඩා විකිණීමට උනන්දු වන බවයි. මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට අනවශ්‍ය අතිරික්ත ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගන්නවා විය යුතුයි.

බැංකු පද්ධතිය ඇතුළේ කලක සිටම තිබුණේ බැංකුවක් බංකොලොත් කළ හැකි තරමේ ශුද්ධ විදේශ විණිමය හිඟයක්. වත්මන් මහ බැංකු අධිපතිවරයා වැඩ භාරගත් පසුගිය (2022) අප්‍රේල් මාසයේ සිට මෙම (2023) ජනවාරි මාසය තෙක් ක්‍රමයෙන් අඩු වූ මෙම ශුද්ධ විදේශ විණිමය හිඟය පසුගිය පෙබරවාරි මාසයේදී ශුද්ධ විදේශ විණිමය අතිරික්තයක් බවට පත් වුනා. ඒ නිසා, මේ වෙද්දී වාණිජ බැංකු වල විදේශ විණිමය අවදානම මුළුමනින්ම නොවේනම් බොහෝ දුරට පහ වෙලා. 

ඉහත ගණනයේදී ස්වෛරිත්ව බැඳුම්කර වල සහ සංවර්ධන බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ඩොලර් පිළිබඳව කෙසේ සලකා ඇත්දැයි මා හරියටම දන්නේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය බැංකු වලද ඩොලර් වත්කම් අහිමි වීමක් සිදු විය හැකියි. එම පාඩුව දරා ගත හැකි එකක් වනු ඇති බව මගේ විශ්වාසයයි.

තමන්ට අනාගතයේදී ඩොලර් අවශ්‍ය වෙන්නේ නැත්නම්, වෙළඳපොළේ ඩොලර් විකුණන්නත් බැරිනම්, වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගන්න පෙළඹෙන්නේ ආයෝජනයක් ලෙස වාසියක් ඇත්නම් පමණයි. නමුත් මේ වෙලාවේ එවැනි වාසියක් නැහැ. රුපියල් ඩොලර් නොකර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක ඊට වඩා වාසියි. ඒ නිසා, වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගෙන සංචිත පවත්වා ගන්න උනන්දු වන්නේ නැහැ. 

මහ බැංකුවට අඩු මිලකට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත හැකිනම් වැඩි මිලකට ඩොලර් මිල දී ගත යුතුයි කියා යෝජනා කරන්න බැහැ. පවතින තත්ත්වය තුළ ආනයන සීමාවන් ඉවත් කිරීම සුදුසු වුවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු ඒ සඳහා කල් ගන්නවා වෙන්න පුළුවන්. එය නරක ප්‍රවේශයක් නෙමෙයි. මොන අයුරකින් හෝ වැඩේ ගැස්සුනොත් සිදු වන දේ ගැනත් සිතිය යුතු නිසා හදිස්සි නොවී ඔය මාස කිහිපයත් බලන එක නරක නැහැ. 

Thursday, March 14, 2019

ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල

රුපියල නියම මට්ටම දක්වා අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියොත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තව දුරටත් නොපවතින බව අප විසින් දිගින් දිගටම පෙන්වා දී ඇති කරුණක්. එහෙත්, බොහෝ දෙනෙක් හිතන්නේ ඩොලරයක මිල කොපමණ ඉහළ ගියත් ආනයන ඉල්ලුම එසේම පවතිනු ඇති බවයි. 

පසුගිය 2018 වසර, අවශ්‍ය පමණට නොවූවත්, රුපියල සැලකිය යුතු තරමකින් අවප්‍රමාණය වූ වසරක්. වසර තුළදී රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 16.4% කින් අවප්‍රමාණය වුනා. මෙයින් 4.9%ක් ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීම මත සිදු වූ ලෙස සැලකිය යුතු වුවත්, ඉතිරි 11.5% දේශීය තත්ත්වයන්ගේ බලපෑමෙන් සිදු වූ සේ සැලකිය හැකියි. එසේ වුවත්, මේ වසර තුළ රුපියල නැවත ශක්තිමත් වෙමින් පවතිනවා. 


පසුගිය වසර තුළ රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම ගෙවුම් ශේෂය මත වාසිදායක ලෙස බලපා ඇති බව පැහැදිලිව පෙනෙනවා. පහත රූප සටහනෙන් පෙනෙන්නේ පසුගිය වසර ඇතුළත ආනයන වියදම මසින් මස ක්‍රමයෙන් පහළ ගොස් ඇති ආකාරයයි. අපනයන වියදම් එසේ ඉහළ ගොස් නැති නිසා ගෙවුම් ශේෂ හිඟය ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. 


පසුගිය වසර තුළ ආනයන වෙනුවෙන් වැය වී ඇති මුළු මුදල ඇමරිකන් ඩොලර් මිලියන 22,232.7ක්. ඊට පෙර 2017 වසර තුළ මේ වියදම ඇමරිකන් ඩොලර් 20,979.8ක් පමණයි. මේ අනුව, බැලූ බැල්මටම පෙනෙන්නේ ඩොලරය අවප්‍රමාණය වුවත් ඇමරිකන් ඩොලර් 1,252.9කින් අපනයන වියදම් ඉහළ ගොස් ඇති බවයි.

ඉහත නිරීක්ෂණය නිවැරදි වුවත්, එළෙස අපනයන වියදම් ඉහළ යාමට මුළුමනින්ම හේතු වී තිබෙන්නේ වාහන ආනයන වියදම් හා ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමයි. ඉතිරි සියළුම ආනයන වියදම් එක්ව ගත් විට දැකිය හැක්කේ ආනයන වියදම් අඩු වීමකුයි.


වසර තුළ සිදුව ඇති 103.6%ක අති විශාල වාහන ආනයන වියදම් ඉහළ යාම හා එයට අනුරූපව ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම නොවන්නට ආනයන වියදම් වල සැලකිය යුතු අඩුවක් දකින්නට ලැබිය හැකිව තිබුණු බව ඉතා පැහැදිලි කරුණක්. එසේ වීනම්, අපනයන ආදායම් 4.7%කින් ඉහළ ගොස් ඇති පසුබිමක වෙළඳ ශේෂ හිඟය විශාල සේ අඩුවිය හැකිව තිබුණු බවත් පැහැදිලියි.

අනෙක් සියලුම ආනයන වියදම් අඩුවෙද්දී වාහන ආනයන වියදම් පමණක් දෙගුණයකටත් වඩා වැඩියෙන් ඉහළ ගියේ කොහොමද?

පෞද්ගලික වාහන කියා කිවුවත් ඇත්තටම මේ විදිහට ඉහළ ගිහින් තිබෙන්නේ පෞද්ගලික මෝටර් රථ ආනයන වියදම් පමණයි. වසර තුළ අලුත් වාහන ලියාපදිංචිය ලෙස බැලූ විට අනෙකුත් සියළුම කාණ්ඩ වලට අයත් වාහන ආනයන පහළ ගොස් ඇති බව පෙනෙනවා. 

2017 වසරට සාපේක්ෂව 2018 වසර තුළ අලුතින් ලියාපදිංචි කර ඇති බස්රථ ප්‍රමාණය 11.2%කිනුත්, යතුරු පැදි ප්‍රමාණය 1.3%කිනුත්, භාණ්ඩ ප්‍රවාහන වාහන ප්‍රමාණය 18.0%කිනුත්, ඉඩම් වාහන ප්‍රමාණය 21.2%කිනුත්, ගොඩක් අයට හිසරදයක් වී තිබෙන ත්‍රිරෝද රථ ප්‍රමාණය 14.8%කිනුත් පහළ ගොස් තිබෙන්නේ ඩොලරයක හා අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකක වල මිල ඉහළ යාම නිසා බව පැහැදිලියි. එසේ තිබියදී පෞද්ගලික මෝටර්රථ ලියාපදිංචිය 39,182 සිට 80,776 දක්වා 106.2%කින් ඉහළ ගොස් තිබෙනවා. ද්විත්ව කාර්ය වාහන කාණ්ඩයේත් 1.1%ක සුළු වැඩිවීමක් දැකිය හැකියි. මේ වෙනසට හේතුව කුමක්ද?

මෝටර්රථ ආනයනය පමණක් මෙලෙස විශාල සේ ඉහළ යාමට බදු රහිතව හෝ බදු සහන සහිතව වාහන ආනයනය කිරීම සඳහා ලබාදුන් බලපත් වලින් විශාල දායකත්වයක් ලැබී තිබෙන බව පැහැදිලියි. වසර මුලදී බදු සහන වාහන බලපත් ලබාදීමත් සමඟම මාසික වාහන ආනයන වියදම් මෙන්ම මෝටර්රථ ලියාපදිංචියද එකවරම විශාල ලෙස ඉහළ ගියා. සැප්තැම්බර් අගදී ගෙවුම් ශේෂ පීඩනය හමුවේ බදු සහන වාහන බලපත් භාවිතය තාවකාලිකව අත්හිටවීමෙන් පසුව වාහන ආනයන වියදම් හා වාහන ලියාපදිංචිය එකවර විශාල ලෙස අඩුවී විණිමය අනුපාතය මත වූ පීඩනය බැහැර වී ඇති බව පෙනෙනවා.


මේ වසරේ ඊයේ (මාර්තු 13) දක්වා කාලය තුළ රුපියල ඩොලරයට සාපේක්ෂව 2.2%කින් අධිප්‍රමාණය වී තිබෙනවා. එහෙත් එසේ රුපියල ශක්තිමත් වී තිබෙන්නේ ආර්ථිකයේ විදේශ අංශය එපමණටම ශක්තිමත් වීම නිසා නෙමෙයි. වෙළඳ ශේෂ හිඟය යම් පමණකින් අඩු වී ඇතත් තවමත් ලංකාවේ අපනයන ආදායම් ආනයන වියදම් වලට කිට්ටුවෙන්වත් යන්නේ නැහැ.

රුපියල ශක්තිමත්ව තිබෙන්නේ පසුගිය සතියේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරමින් ඩොලර් බිලියන 2.4ක ණය ගැනීම නිසයි. මෙසේ ලබාගත් ඩොලර් බිලියන 1.4ක පස් අවුරුදු බැඳුම්කරය වෙනුවෙන් 6.85%ක වාර්ෂික පොලියකුත්, ඩොලර් බිලියන 1.0ක දස අවුරුදු බැඳුම්කරය වෙනුවෙන් 7.85%ක වාර්ෂික පොලියකුත් ගෙවිය යුතුයි. 7.85%ක පොලියකට දස අවුරුදු ණයක් ගන්නවා කියන්නේ පොලිය සේ ගත් මුදල මෙන් 112.9%ක මුදලක්, එනම් ගත් මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවිය යුතු බවයි. මෙසේ ගෙවිය යුත්තේ ඩොලර් වලින්ම මිස රුපියල් වලින් නෙමෙයි. වසර දහයකට පසු ඩොලරයක මිල කොහේ තියෙයිද කියා මම කියන්න අවශ්‍ය නැහැනේ.

ඉදිරි මැතිවරණ හමුවේ වත්මන් ආණ්ඩුව විසින් අවසාන වශයෙන් අනුගමනය කරමින් ඉන්නේ විදේශ ණය වල උදවුවෙන් රුපියල ස්ථාවර කරගෙන ආර්ථිකය තාවකාලිකව ස්ථාවර කර ගැනීමේ පැරණි රාජපක්ෂ ආණ්ඩුවේ උපාය මාර්ගයයි. මෙයින් සිදුවන්නේ අනාගතයේදී ගෙවුම් ශේෂ ප්‍රශ්නය තවත් උග්‍ර වීම පමණයි. පොදුජන පෙරමුණේ ආර්ථික විශේෂඥයින් ආණ්ඩුවේ අයවැය විවේචනය කරන නමුත් මේ කරුණ ගැන කතා කරන්නේ නැහැ. ඒ, ඔවුන්ගේ ආර්ථික දැක්ම තනිකරම රඳා පවතින්නේ වැඩි වැඩියෙන් විදේශ ණය ගනිමින් කෘතීම ලෙස රුපියල පහළින් තබා ගැනීම මත නිසයි. 

මුලින් දිගුකාලීනව රටට හිතකර විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කළ එජාප ආණ්ඩුවත් අවසානයේදී මේ පහසු හා දේශපාලනිකව වාසිදායක මාර්ගයටම අවතීර්ණ වී සිටිනවා. රටේ යහපත ගැන හිතනවානම් කළ යුත්තේ මේ ඩොලර් බැඳුම්කර වලින් ලැබෙන මුදල් විදේශ සංචිත වලට එකතු කරගෙන හා අවශ්‍යනම් තවත් යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන රුපියල අධිප්‍රමාණය වීම වලක්වා ක්‍රමයෙන් අවශ්‍ය මට්ටම දක්වා අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීමයි. එහෙත් එය හිතකර දෙයක් සේ දකින අය එතරම් නැති නිසා එවැන්නක් වෙන්න තිබෙන ඉඩකඩ බොහෝ අඩුයි.

අප පෙන්වා දෙන්නේ රටක විණිමය අනුපාතිකය දිගින් දිගටම අවප්‍රමාණය වීම හොඳ දෙයක් කියන එක නෙමෙයි. එයින් පෙනෙන්නේ ආර්ථිකයේ දුර්වල කමයි. නමුත්, ආර්ථිකය දුර්වලව තිබීම හමුවේ විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට පිළියම වන්නේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන ක්‍රියාමාර්ග ගැනීම මිස, දිගුකාලීනව ආර්ථිකය තවත් දුර්වල වෙන්නට ඉඩ සලසමින් තාවකාලිකව කෘතීම ලෙස විණිමය අනුපාතිකය පහළින් තබා ගැනීම නෙමෙයි. ණය ගනිමින් රුපියල ශක්තිමත්ව තබා ගැනීමේදී වෙන්නේ එයයි.


Tuesday, October 16, 2018

රාජපක්ෂ ණය


අද දිනයේ (ඔක්තෝබර් 15) රුපියල තරමක් අධිප්‍රමාණය වී තිබෙනවා. පසුගිය සති කිහිපය මුළුල්ලේ සිදුවුනේ රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමයි. එය වැළැක්වීමට රජය වගේම මහ බැංකුවත් විවිධ පියවර ගත්තා. අද සිදු වූ වෙනසට හේතුව වෙළඳපොල සාධක වල ප්‍රතිඵලයක්ද, මහ බැංකු මැදිහත්වීමක්ද, රජය විසින් විදේශ ණයක් ලබා ගැනීමේ ප්‍රතිඵලයක්ද කියා මා දන්නේ නැහැ.

ලංකාව මේ වන විට මුහුණ දෙන ගෙවුම් ශේෂ අර්බුදයට පාර කැපුණේ පසුගිය ආණ්ඩුව කාලයේ බව මා කියා තිබෙනවා. එයට හේතු වුණේ විදේශ ණය අරගෙන වෙළඳපොළට ඩොලර් මුදාහැරීම හරහා රුපියල ඕනෑවට වඩා ශක්තිමත් මට්ටමක තැබීම හේතුවෙන් රටේ අපනයන ආර්ථිකයට වර්ධනය වීමට තිබුණු ඉඩ වසරක් ගණනාවක් තිස්සේ අහුරා දැමීමයි. මේ තත්ත්වය යටතේ ඉන්දියානු හා චීන ආනයන වලින් ලංකාවේ කඩවල රාක්ක පිරෙන්න ගත්තා. රට පුරා දිලිසුණේ ණයට ගත් සමෘද්ධියයි.

ඒ එක්කම පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2004-2014 කාලයේ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 102.3% සිට 71.3% දක්වා අඩු වුන බවත් අපි දන්නවනේ. එහෙමනම් මේ කතා දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද?

සීසර්ගේ දේ සීසර්ට දිය යුතුයි කියනවනේ. ඒ වගේ රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වුනු දේ වල හොඳ වගේම නරකත් තිබෙනවා. රටේ ආර්ථිකය හා අදාළව ගත්තොත් හැම හොඳ දෙයක්ම කළේ රාජපක්ෂ ආණ්ඩුව නොවනවාක් වගේම හැම නරක දෙයක්ම කළේත් රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයි.

ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය දැන් තියෙන අදියරට ගෙන ගියේ පහුගිය ආණ්ඩුව වුවත්, ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයට වගකිවයුත්තේ රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයි. රාජ්‍ය ණය අර්බුදය රාජපක්ෂ ආණ්ඩුවට ඊට පෙර ආණ්ඩු වලින් උරුම වූවක්. පහුගිය ආණ්ඩුව ලංකාවේ වෙනත් ආණ්ඩු වලට වඩා විශාල ලෙස වැඩි වේගයකින් රාජ්‍ය ණය ප්‍රමාණය වර්ධනය වෙන්න ඉඩ දී නැති බව මම මීට පෙරත් පෙන්වා දී තිබෙන කරුණක්.

රාජපක්ෂ ණය ගැන තවත් විවේචන තිබෙනවා. ලබාගත් ණය ඵලදායී කටයුතු වෙනුවෙන් වැය නොකෙරුණු බව එක් විවේචනයක්. මේ විවේචනය අඩු වැඩි වශයෙන් අනෙක් ආණ්ඩු වලටත් කළ හැකි එකක්. රජයේ ආයෝජන වල ඵලදායීතාව හොයන එක පහසු කටයුත්තක් නෙමෙයි.

ඒ වගේම, රාජපක්ෂ ආණ්ඩුවේ විවේචකයින් විසින් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ සහනදායී ණය වෙනුවට වැඩි පොලියට වානිජ ණය ලබාගත් බවයි. කතාවනම් සම්පූර්ණ ඇත්ත. නමුත්, මගේ අදහස ඔය කාලයේ කවර ආණ්ඩුවක් බලයේ සිටියත් ඔයිට වඩා වෙනස් දෙයක් කරන්න ඉඩ නොතිබුණු බවයි. ලංකාව මැදි ආදායම් තත්ත්වයට ගියාට පස්සේ සහනදායී ණය ලබා ගැනීම අමාරු වීමෙන් පසුව වාණිජ ණය වලට නොයා සිටීම පහසු කටයුත්තක් වුණේ නැහැ.

රාජපක්ෂ ආණ්ඩුව රට ආර්ථික අර්බුදයකට තල්ලු කළේ වැඩිපුර විදේශ ණය ගැනීම හරහා නෙමෙයි. එසේ ගත් ණය යොදාගෙන රුපියල කෘතිමව පහළින් තබා ගැනීම හරහායි. ඔවුන් එසේ කළ බව ඒ කාලයේ ආර්ථිකය මෙහෙයවූ අය දැනටත් පාරම්බාන කරුණක්.

පහුගිය ආණ්ඩු කාලයේ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය වැඩි වුනේ නැතත්, මේ සංඛ්‍යාලේඛණය පෙන්වන තරම් පහළට වැටුනේනම් රුපියල කෘතිමව පහළින් තබා ගැනීම නිසයි. මෙය මම සංඛ්‍යාලේඛණ ඇසුරෙන්ම පැහැදිලි කරන්නම්.

දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය අඩු වෙන එක හේතු දෙකක් මත සිදු විය හැකියි. රාජ්‍ය ණය අඩුවීම නිසා හෝ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වීම නිසා. 2004-2014 කාලය තුළ රාජ්‍ය ණය අඩු වුනේ නැහැ.

ඇත්තටම සිදු වුනේ 2004-2014 කාලය තුළ රුපියල් බිලියන 2,140 සිට 7,391 දක්වා 3.45 ගුණයකින් රාජ්‍ය ණය ඉහළ යාමයි. නමුත්, ඔය කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2,091 සිට 10,361 දක්වා 4.96 ගුණයකින් ඉහළ ගියා. වසරකට 13.20%ක සාමාන්‍ය වේගයකින් රාජ්‍ය ණය වැඩි වෙද්දී, 17.36%ක වාර්ෂික වේගයකින් නාමික ද.දේ.නි. ඉහළ ගිය නිසා ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස ගත්තහම රාජ්‍ය ණය 102.3% සිට 71.3% දක්වා පහළ ගියා.

සංඛ්‍යාලේඛණ දිහා බැලුවහම ඉහත කී අඩුවීම දේශීය ණය වලින් වගේම විදේශීය ණය වලිනුත් පෙන්වනවා. දේශීය ණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 54.7% සිට 41.3% දක්වා ප්‍රතිශතාංක 13.4%කින් පහළ යන කොට විදේශ ණය ප්‍රමාණය 47.6% සිට 30.0% දක්වා 17.6%කින්ම පහළ ගියා. නමුත්, ඔය දෙවනු කී පහළ යාම දිහා අපි වඩා සැලකිල්ලෙන් බැලිය යුතුයි. මොකද මේ ණය රුපියල් ණය නෙමෙයි. සැසඳීම කරන්නේ ඩොලර් ණය පවතින විනිමය අනුපාතිකය යටතේ රුපියල් වලට හරවලා.

අප විසින් සංසන්දනයට ලක් කළ 2004 හා 2014 වසර වලදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් වලින් බැලුවොත් මිලියන 9,522 සිට මිලියන 23,755 දක්වා 2.49 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. මෙය 9.57%ක වාර්ෂික වර්ධනයක්. ඔය කාලයේ ඩොලරයේ මිල රුපියල් 104.61 සිට 131.05 දක්වා 1.25 ගුණයකින් ඉහළ ගිහින් තිබෙනවා. ලංකාවේ විදේශ ණය රුපියල් වලින් බැලුවහම 3.13 ගුණයකින් වැඩි වී තිබෙන්නේ මේ කරුණු දෙකේම එකතුවක් ලෙසයි. මෙයින් පැහැදිලි වන පරිදි, ඩොලරයක රුපියල් මිල මීට වඩා වැඩි වුනානම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ලංකාවේ රාජ්‍ය ණය මීට වඩා වැඩි වෙනවා.

ඉහත සංඛ්‍යාලේඛණ සියල්ලම ගත්තේ මහ බැංකු වාර්තා වලින්. මේ ලිපියේ මතුකර පෙන්වන කරුණට යන්න කලින් රාජ්‍ය ණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස බැලීමේ පදනම කුමක්ද කියා අප විමසිය යුතුයි.

සරලව කියනවානම් ද.දේ.නි. කියන්නේ රටක සමස්ත ආදායම. බදු අනුපාතික නියතව තිබුණොත් රටේ ආදායම වැඩි වන විට රජයේ ආදායමත් ඉහළ යනවා. රජයේ ආදායම වැඩිවන විට ණය ගෙවීමේ හැකියාවත් ඉහළ යනවා. ඒ නිසා, රටේ (හා රජයේ) ආදායම වැඩි වන අනුපාතයට හෝ අඩු අනුපාතයකින් රාජ්‍ය ණය ඉහළ යාමේ ලොකු අවදානමක් නැහැ.

කොහොම වුනත්, ඉහත තර්කයේ අඩුපාඩු තියෙනවා. රටක ජාතික ආදායම උපයන්නේ වගේම රජය බදු එකතු කරන්නෙත් රටේ ව්‍යවහාර මුදලින්. නමුත්, ලංකාවේ විදේශ ණය රුපියල් ණය නෙමෙයි. ලංකාවේ මහ බැංකුවට රුපියල් මුද්‍රණය කරන්න පුළුවන් වුනත් ඩොලර් මුද්‍රණය කරන්න බැහැ. ඒ නිසා, රජයේ ආදායම් ඉහළ ගියත් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගැනීමේ අමතර ප්‍රශ්නයටත් මුහුණ දෙන්න වෙනවා.

ඇමරිකාවත් චීනය ජපානය වගේ රටවල් වලින් ණය අරගෙන තියෙනවා. නමුත්, ඒ ණය යෙන් ණය හෝ යුවාන් ණය නෙමෙයි. ඩොලර් ණය. ඒ නිසා, ඇමරිකාවට මේ ණය ආපසු ගෙවන්න අමාරුම වුනොත් ඩොලර් මුද්‍රණය කරලා ණය ගෙවන්න පුළුවන්. එහෙම කළොත් ඩොලර් එකේ වටිනාකම අඩු වෙනවා තමයි. ඒ වුණත්, එයින් අන්තිමේදී අමාරුවේ වැටෙන්නෙත් ණය දුන් අයමයි. ඒ අයට ආපසු ලැබෙන ඩොලර් වල යෙන් වටිනාකම නැත්නම් යුවාන් වටිනාකම අඩු වුනොත් ණය දී කළ ආයෝජනයේ පලක් නැති වෙනවා.

ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාවේ රුපියල අවප්‍රමාණය වන විට වෙන්නේ ණය ආපසු ගෙවන්න ඩොලර් හොයා ගැනීම වඩා වියදම් අධික දෙයක් වීමයි. ඩොලර් වලින් හෝ යෙන් වලින් ණය දුන් අයට ඒ මුදල් වලින්ම ණය එක්කම පොලියත් ආපසු ලැබෙන නිසා අවදානමක් නැහැ.

දැන් අපි ආපහු අප මුලින්ම ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ වලට ගියොත්, 2004-2014 අතර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.96 ගුණයකින් ඉහළ ගියා. මෙය 17.36%ක වාර්ෂික වර්ධන වේගයක්.

මතක තියාගන්න අපි මේ කතා කරන්නේ ලංකාවේ නාමික ද.දේ.නි. ගැන. නාමික ද.දේ.නි. කියන්නේ කිසියම් රටක කිසියම් වසරක් තුළ නිපදවන භාණ්ඩ හා සේවාවන් සියල්ලේ වටිනාකම. එය ගණනය කරන්නේ පවතින වෙළඳපොල මිල ගණන් අනුව.

නාමික ද.දේ.නි. හේතු දෙකක් මත වැඩිවන බව මා මීට පෙර පැහැදිලි කර තිබෙන දෙයක්. පළමුවැන්න රටේ නිපදවන භාණ්ඩ හා සේවාවන් ප්‍රමාණය ඉහළ යාම. එයට අපි රටේ මූර්ත ද.දේ.නි. වැඩිවීම එහෙමත් නැත්නම් සරලව ආර්ථික වර්ධනය කියා කියනවා. දෙවැන්න ඒ විදිහට නිපදවන භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළ යාම. මෙයට කියන්නේ උද්ධමනය කියලයි. උද්ධමනය නිසාත් රටක නාමික ද.දේ.නි. වැඩි වෙනවා. 

රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ලංකාවේ ආර්ථිකය පිම්මක් පැන්නා. එයට හේතු වුනේ ඒ කාලය තුළ වසර 26ක් පැවති යුද්ධය අවසන් වීම. මේ ගැන විස්තර කර ලියන්න හිටි දේවල් ලියන්න තවමත් වෙලාවක් ලැබුණේ නැහැ.

යුද්ධය අවසන් කරන්න දේශපාලන නායකත්වය සැපයූවේ රාජපක්ෂ ආණ්ඩුවයි. ඒ නිසා, ඒ හේතුවෙන් ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය වීමේ ගෞරවයත් ඒ ආණ්ඩුවට හිමි විය යුතුයි. නමුත්, ඒ හැර ඒ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ද.දේ.නි. කොයි තරම් ඉහළ ගියාද කියන එක විවාදාත්මක කරුණක්. ඒ ගැන කතා කිරීමත් අපි පස්සට තියමු.

රාජපක්ෂ දශකයේදී ලංකාවේ මූර්ත ද.දේ.නි. 1.86 ගුණයකින් ඉහළ ගියා. මෙය 6.39%ක වාර්ෂික වර්ධනයක්. 1977 සිට රාජපක්ෂ යුගය දක්වා ලංකාව පවත්වාගත් සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 5%කට වඩා වැඩි නැති බව මා කලින් පෙන්වා දී ඇති දෙයක්. 

රටේ මූර්ත ද.දේ.නි. ඉහළ යන විට රජයේ බදු ආදායම් ඉහළ ගිහින් ණය ගෙවීමේ හැකියාව ඉහළ යාම අපේක්ෂා කළ හැකි දෙයක්. රාජපක්ෂ දශකයේදී රජයේ බදු ආදායම් ඒ ආකාරයටම ඉහළ නොගිය නමුත් ඒ ගැන කතා කිරීමත් අපි පසුවට තියමු.

ඉහත ආකාරයෙන් ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දශකයක් තුළ 1.86 ගුණයකින් ඉහළ යද්දී ඒ භාණ්ඩ හා සේවාවන් වල මිල 2.67 ගුණයකින් ඉහළ ගියා. ඒ කියන්නේ 10.31%ක සාමාන්‍ය උද්ධමන වේගයක් මේ කාලයේදී පැවතුණා. නාමික දදේනි වර්ධනය කියන්නේ ආර්ථික වර්ධනයේත් උද්ධමනයේත් සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය. නාමික දදේනි 4.96 ගුණයකින් ඉහළ ගියේ ඔය විදිහටයි.

දැන් මෙයින් පෙනෙනවා ඇති රටක උද්ධමනය ඉහළ යන තරමට දදේනි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය පහළ යන බව. ඒ වගේම අලුතින් මුදල් මුද්‍රණය කරන තරමට රටක උද්ධමනය ඉහළ යනවා කියන එකත්  මෙහි පළවන ලිපි දිගටම කියවන අය නොදැන ඉන්න විදිහක් නැහැනේ. රාජපක්ෂ දශකයේදී රාජ්‍ය ණය ප්‍රමාණය දදේනි ප්‍රතිශතයක් ලෙස 71.3% දක්වා අඩු වූ බව නිරීක්ෂණය කරන්නෙකුට මේ කරුණ බැහැර කරන්න බැහැ.

උද්ධමනය හේතුවෙනුත් නාමික දදේනි වැඩි වනවානම් දදේනි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ගණනය කිරීමේ අවුලක් නැද්ද?

ඇත්තටම නැහැ. රටේ ආර්ථිකය වර්ධනය නොවී මිල ගණන් පමණක් වැඩි වුනත් රජයට ලැබෙන බදු මුදල් ප්‍රමාණය ඉහළ යනවා. මොකද බදු අය කරන්නේ පවතින මිල ගණන් යටතේ ප්‍රතිශතයක් ලෙස නිසා. ඒ නිසා, රජයේ ණය ගෙවීමේ හැකියාවත් ඉහළ යනවා. එහෙම බලද්දී රටේ උද්ධමනය වැඩි වීමට අනුපාතිකව රාජ්‍ය ණය ඉහළ යාමේ විශාල අවුලක් නැහැ. (මෙහිත් අවුල් නැත්තේ නැහැ. ඒවා ගැන දැනට කතා නොකර ඉමු.) හැබැයි ඉතින් ඔය කොයි ආකාරයෙන් රජයේ ආදායම් ඉහළ ගියත් මේ සියලු ආදායම් රුපියල් ආදායම් නිසා රට ඇතුළේ ඩොලර් නැත්නම් ප්‍රශ්නයක් වෙනවා.

උද්ධමනය නිසා රුපියලේ වටිනාකම එන්න එන්නම අඩු වෙනවා. 2004දී රුපියල් 100ක් ගෙවා මිල දී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිල දී ගන්න 2014 දී රුපියල් 266.83ක් ගෙවිය යුතු තරමටම ඒ කාලයේදී උද්ධමනය හේතුවෙන් රුපියල පිරිහුණා. ඒ නිසා, 2004 රුපියල් හා 2014 රුපියල් සමාන සේ සැලකීම නිවැරදි නැහැ.

අප කලින් පෙන්වා දුන් පරිදි 2004දී ලංකාවේ දදේනි රුපියල් බිලියන 2,091ක්. 2014දී රුපියල් බිලියන 10,361ක්. නමුත්, 2004 රුපියල් වලින් බැලුවොත් 2014 ලංකාවේ දදේනි රුපියල් බිලියන 3,883ක් පමණයි. එය 10,361ක් සේ පෙනෙන්නේ මිල ගණන් 2.67 ගුණයකින් වැඩි වූ නිසයි.

මේ විදිහටම බැලුවොත් ලංකාවේ රජයේ දේශීය ණය ප්‍රමාණය 2014දී රුපියල් බිලියන 4,278ක් වුවත්, 2004 රුපියල් වලින් බැලුවොත් 1,603ක් පමණයි. ඒ කියන්නේ 1.40 ගුණයක වැඩි වීමක්. මෙය ඒ කාලයේදී ලංකාවේ මූර්ත දදේනි වර්ධනය වූ 1.86 අනුපාතයට වඩා අඩුයි. ඒ නිසා, රාජපක්ෂ දශකය තුළ ලංකාවේ රජයේ දේශීය ණය ප්‍රමාණය දදේනි ප්‍රතිශතයක් ලෙස 54.7% සිට 41.3% දක්වා අඩු වුණා කියන එක පැහැදිලි කරුණක්.

විදේශීය ණය දිහා මේ විදිහටම බලන්න බැහැ. ඒ ණය රුපියල් ණය නොවන නිසා උද්ධමනය හේතුවෙන් රජයේ බදු ආදායම් ඉහළ ගියා කියා ණය ගෙවීම පහසු වෙන්නේ නැහැ. 2004දී ලංකාවේ විදේශ ණය ඩොලර් මිලියන 9,522ක්. 2014 වෙද්දී 23,755ක්. 

ලංකාවේ තරමටම නැතත් ඇමරිකාවේත් උද්ධමනය තිබෙනවා. ඒ නිසා, 2004දී ඇමරිකන් ඩොලර් 100කින් මිලදී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිලදී ගන්න 2014දී ඇමරිකන් ඩොලර් 123.39ක් අවශ්‍ය වුනා. මේ අනුව බැලුවහම 2004 සිට 2014 දක්වා ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 9,522 සිට 23,755 දක්වා ඉහළ ගොස් තිබුණත් 2004 ඩොලර් වලින් බැලුවොත් 2014 විදේශ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 19,252ක් පමණයි. වැඩිවීම 2.02 ගුණයක්. එය 7.29% ක වාර්ෂික වර්ධන වේගයක්.

රාජපක්ෂ දශකයේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6.39%ක් වූ බව අප කලින් කිවුවනේ. උද්ධමනයේ බලපෑම ඉවත් කළොත් ඒ කාලයේ දේශීය ණය වර්ධනය වුණේ 3.44%ක වේගයකින්. දදේනි ප්‍රතිශතයක් ලෙස දේශීය ණය පහළ ගියේ ඒ නිසයි. නමුත්, උද්ධමන බලපෑම ඉවත් කිරීමෙන් පසුවත් සාමාන්‍ය විදේශ ණය වර්ධන වේගය ආර්ථික වර්ධන වේගයට වඩා වැඩියි. එයින් පැහැදිලිව පෙනෙන්නේ දදේනි ප්‍රතිශතයක් ලෙස විදේශ ණය අඩුවීම විණිමය අනුපාතිකය පහළින් තබාගැනීම නිසා පෙනෙන මායාවක් පමණක් බවයි. මූර්ත ඩොලර් වලින් බැලුවොත් රාජපක්ෂ දශකය තුළ ලංකාවේ විදේශ ණය දදේනි ප්‍රතිශතයක් ලෙස 47.6% සිට 51.9% දක්වා 4.3%කින් ඉහළ ගිහින්.

විදේශ ණය මේ විදිහට දදේනි ප්‍රතිශතයක් ලෙස 4.3%කින් ඉහළ ගියත් ඔය කාලය තුළ දේශීය ණය ප්‍රමාණය 13.4කින් පහළ ගියානේ. ඒ නිසා, විණිමය අනුපාතිකය පහළින් තබාගැනීමේ බලපෑම ඉවත් කළොත් දදේනි ප්‍රතිශතයක් ලෙස 2014 දී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙන්වන 71.3% සිට 93.2% දක්වා ඉහළ යනවා. නමුත්, එය වුවත් 2004දී වූ 102.3% ප්‍රතිශතයට වඩා අඩුයි. 

මේ කරුණු හරහා මා නැවතත් පෙන්වා දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළේ ණය අර්බුදයක් නොවන බවයි. වත්මන් ආණ්ඩුව දැන් මුහුණ දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ ගෙවුම් ශේෂ අර්බුදයටයි. ඩොලරයක මිල අවශ්‍ය පමණට ඉහළ යන්න දුන්නොත් වසර දෙක තුනකින් ඒ අර්බුදයෙන් මිදෙන්න බැරිකමක් නැහැ. 

Wednesday, October 3, 2018

ඩොලර් එක ඇත්තටම ශක්තිමත් වෙලාද?

පහුගිය දවස්වල රුපියලට වෙච්චි ඇබැද්දිය ගැන නැවත විස්තර කරන්න ඕනෑ නෑනේ. අගෝස්තු 31 සිට සැප්තැම්බර් 28 දක්වා කාලය තුළ පමණක් ඇමරිකන් ඩොලරයක රුපියල් අගය 161.47 සිට 169.24 දක්වා 4.8%කින් ඉහළ ගියා. පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා වෙද්දී ඇමරිකන් ඩොලරයක මිල 152.85ක් පමණයි. එදා ඉඳලා බැලුවොත් පහුගිය මාස නවයක කාලයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව 10.72% කින් අවප්‍රමාණය වෙලා.

මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත දත්ත අනුව මේ කාලය ඇතුළත රුපියල ඩොලරයට සාපේක්ෂව 10.17% කින් අවප්‍රමාණය වෙලා. දත්ත කොයි පැත්තෙන් අරගෙන බැලුවත් රුපියල ඩොලරයට සාපේක්ෂව දුර්වල වී තිබීම පැහැදිලිව පෙනෙන කරුණක්.

මෙයට හේතුව පහුගිය කාලයේ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීම බව අපට අහන්න ලැබුණු කතාවක්. කොහොමටත් ඉතින් රුපියල ඩොලරයට සාපේක්ෂව දුර්වල වෙනවා කියන්නේ ඩොලරය රුපියලට සාපේක්ෂව ශක්තිමත් වෙනවා කියන එකයි. ඒකනම් අමුතුවෙන් කියන්න තරම් විශේෂ දෙයක් නෙමෙයි. නමුත්, මේ කතාව කියන අයට අනුව රුපියල පැත්තකින් තියලා වෙන නිර්ණායක අනුව බැලුවත් ඇමරිකන් ඩොලරය ශක්තිමත් වෙලා. ඇත්තටම එහෙම වෙලාද?

ඇමරිකන් ඩොලරය රුපියල හෝ වෙනත් එවැනි ව්‍යවහාර මුදලක් ශක්තිමත් වෙලාද නැත්නම් දුර්වල වෙලාද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ වෙනත් නිර්ණායකයකට සාපේක්ෂව පමණයි. එහෙම නැතුව ඩොලරයක නිරපේක්ෂ වටිනාකමක් ගැන කතා කරන්න බැහැ. නිරපේක්ෂ පදනමකින් බලනවානම් ඩොලර් එකට එදත් ඩොලර් ශත සීයයි. අදත් ඩොලර් ශත සීයයි.

ඩොලර් එකක වටිනාකම රැඳී තිබෙන්නේ එහි හුවමාරු අගය මතයි. එහෙම නැත්නම් ඩොලර් එකක් කියන්නේ කියන්න තරම් ප්‍රයෝජනයක් නැති නිකම්ම නිකම් කොළ කෑල්ලක් විතරයි. වෙනත් ඕනෑම ෆියට් මුදලක් ගත්තත් ඒවායේ වටිනාකම රැඳී තිබෙන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය මතයි. 

ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ නොවැටී තිබෙන තාක් කල් මිනිස්සු තමන්ට හා වෙනත් අයට වැඩක් තිබෙන භාණ්ඩ හා සේවා ආදිය මේ නොවටිනා කොළ කෑලි සමඟ හුවමාරු කරන්න පැකිළෙන්නේ නැහැ. නමුත්, ඒ විශ්වාසය යම් විදිහකින් නැති වුනොත් ව්‍යවහාර මුදල් ඒකක බිලියන ගණනක් තිබුණත් පාන් ගෙඩියක් තරම් දෙයක්වත් මිලදී ගන්න බැරි වෙන්න පුළුවන්. කලකට පෙර සිම්බාබ්වේ මුදල් ඒකකයට වුණේ එවැනි දෙයක්.

ව්‍යවහාර මුදලක වටිනාකම නිර්ණය කළ හැකි හොඳම නිර්ණායකය වන්නේ යම් මුදලකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොපමණද යන්නයි. ක්‍රය ශක්තිය කියන්නේත් මෙයටමයි.

සාමාන්‍යයෙන් රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය කාලයත් එක්ක ඉහළ යනවා. ආර්ථික වර්ධනය කියා කියන්නේ මෙයටයි. රටේ නිපදවන හා හුවමාරු වන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගය හා අලුත් මුදල් සංසරණයට එකතු වන වේගය සමානනම් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදලේ අගය නොවෙනස්ව තිබෙනවා. උද්ධමනයක් කියා එකක් නැහැ. රටක නිපදවන භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව කිසියම් ව්‍යවහාර මුදලක අගයට අදාළ මුදලේ දේශීය අගය කියලත් කියන්න පුළුවන්.

කිසියම් රටක සංසරණයට අලුතින් එකතු කෙරෙන මුදල් ප්‍රමාණය දැනට තිබෙන මුදල් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා අඩුනම් මේ භාණ්ඩ හා සේවා මිල දී ගන්න අවශ්‍ය පමණ මුදල් රටේ නැති නිසා ඒ භාණ්ඩ හා සේවා විකිණීම අසීරු වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ භාණ්ඩ මිල පහළ යාමයි. මෙහිදී මුදල් ඒකකයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යනවා. ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදල ශක්තිමත් වෙනවා.

නමුත්, බොහෝ රටවල් වල බොහෝ විට වෙන්නේ මෙහි අනිත් පැත්තයි. ඒ කියන්නේ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් මුදල් සැපයුම ඉහළ යනවා. එහෙම වෙන්නේ එසේ කිරීම රජයයන්ට වාසිදායක නිසයි. වෙනත් අයෙක් ඉතා මහන්සියෙන් වැඩ කරලා ඩොලරයක් උපයන විට රජය මහන්සියක් නැතිව පහසුවෙන් ඩොලරයක් මුද්‍රණය කරගන්නවා. මේ ඩොලර් දෙකේම මිල දී ගැනීමේ හැකියාව සමානයි.

භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩිවන වේගයට වඩා වේගයෙන් රටේ මුදල් ප්‍රමාණය ඉහළ ගියාම භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම වැඩි වෙලා මිල ඉහළ යනවා. එවිට ඩොලරයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය, එනම් එහි ක්‍රය ශක්තිය පහළ යනවා. භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදල දුර්වල වෙනවා.

වෙනත් රටවල වගේම ඇමරිකාවෙත් ආර්ථිකය වර්ධනය වන වේගයට වඩා වැඩියෙන් අලුත් මුදල් සංසරණයට එකතු කෙරෙනවා. ඒ නිසා ඇමරිකාවේ වුවත් භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් වසරින් වසර ඉහළ යනවා. ඇමරිකන් ඩොලරයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය වසරින් වසර පහළ යනවා. වෙනත් විදිහකින් කිවුවොත් ඇමරිකන් ඩොලරය ඇමරිකාවේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව වසරින් වසර දුර්වල වෙනවා. එය ශක්තිමත් වෙන්නේ ඉතාම කලාතුරකින්.

පහත පළමු වගුවේ තිබෙන්නේ 2001 මුලදී ඇමරිකාවේ සංසරණය වූ ඩොලරයක දේශීය වටිනාකම වසරින් වසර පහල ගිය ආකාරයයි. දත්ත සියල්ල ඇමරිකාවේ කම්කරු සංඛ්‍යාලේඛණ කාර්යාංශයෙන්. ඇමරිකන් ඩොලරය රටේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව ශක්තිමත් වී තිබෙන්නේ 2014 වසරේදී පමණයි. අනෙක් සෑම අවුරුද්දකම වෙලා තියෙන්නේ ඇමරිකන් ඩොලරය දුර්වල වෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2001 ඇමරිකන් ඩොලරයක දැන් (2018 අගෝස්තු) වටිනාකම ඩොලර් ශත 68 කටත් වඩා අඩුයි. 2001දී ඩොලරයකින් ගත් බඩු ප්‍රමාණය ගන්න දැන් ඩොලර් 1.48ක් අවශ්‍යයි.



කොහොම වුනත් ඔය පහුගිය කාලයේ ඩොලරය ශක්තිමත් වුනා කියා කියන අය කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. ඒ අය කියන්නේ වෙනත් විදේශ මුදල් වලට සාපේක්ෂව මේ අවුරුද්දේදී ඩොලරය ශක්තිමත් වුනා කියන එකයි. ඩොලරය රට ඇතුළේ දුර්වල වෙද්දී එහෙම වෙන්න පුලුවන්ද?

බැරිකමක් නැහැ. මේ අවුරුද්දේ මුල සිට ගත වුනු මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයේ දේශීය අගය 1.70%කින් අඩු වෙලා තිබෙනවා. නමුත්, ඊට වඩා වේගයකින් වෙනත් රටක ව්‍යවහාර මුදලක දේශීය අගය අඩු වුනොත් එවැනි මුදලකට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙන්න පුළුවන්. ප්‍රාග්ධන ගලායෑම්, මහ බැංකු මැදිහත්වීම් වැනි වෙනත් හේතු මතත් එය වෙන්න පුළුවන්.

හරි. වෙන්න පුළුවන් කියා කියමුකෝ. එහෙමනං ඇත්තටම එහෙම වෙලාද?

පහත දෙවන වගුවේ තිබෙන්නේ වෙනත් මුදල් ඒකක ගණනාවකින් ඇමරිකන් ඩොලරයක මිල. දත්ත සියල්ල ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවෙන්. වසර මුල සිට ගත වූ මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයක බාහිර අගය වෙනස් වූ ආකාරය මේ වගුවේ පෙන්වා තිබෙනවා.



වගුවේ දත්ත වලින් පෙනෙන පරිදි යුරෝ, චීන යුවාන්, ජපන් යෙන්, කැනේඩියානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර්, නවසීලන්ත ඩොලර් ආදී මුදල් ඒකක ගණනාවකට සාපේක්ෂව පහුගිය කාලයේ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වී තිබෙනවා. නමුත්, මෙක්සිකන් පෙසෝ, නෝර්වීජියානු ක්‍රෝනර්, තායි බාත් ආදියට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය සුළුවෙන් හෝ දුර්වල වෙලාත් තිබෙනවා. එහෙමනම් ඇත්තටම ඇමරිකන් ඩොලරයේ බාහිර අගයට මොකද වෙලා තිබෙන්නේ.

ඇතැම් මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයේ බාහිර අගය ශක්තිමත් වෙද්දී වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව එම බාහිර අගය දුර්වල වන විට සමස්තයක් ලෙස සිදුවුණේ කුමක්ද කියා තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඇමරිකාවේ ප්‍රධාන වෙළඳපාර්ශ්වකාර රටවල් වල මුදල් ඒකක වලට සාපේක්ෂව එහි බාහිර අගය බරිත සාමාන්‍ය අගයක් ලෙස ගණනය කරලා ප්‍රසිද්ධ කරනවා. ඒ අනුව, පහුගිය මාස නවය ඇතුළත ඇමරිකන් ඩොලරයේ බාහිර අගය සමස්තයක් ලෙස 5.62%කින් ඉහළ ගිහින් තිබෙනවා.

කොහොම වුනත් ලංකාවේ ඩොලරය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 10.17% කින්ම (ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 10.72% කින්ම) දුර්වල වෙලා තිබෙන නිසා එයට හේතුව ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීමම කියා කියන්න බැහැ. ඇමරිකන් ඩොලරය වෙනත් රටවල් වලට සාපේක්ෂව ශක්තිමත් වීම හා රුපියල දුර්වල වීම අතර සම්බන්ධයක් නැතැයි කිව නොහැකි වුවත් එය ඉතා දුර්වල සම්බන්ධයක්.

රුපියල පාවෙන්නට ඉඩ ඇරපු 2001 වසරේ සිට එය දිගින් දිගටම දුර්වල වුවත් එහෙම වුණේ ඇමරිකන් ඩොලරය දිගින් දිගටම ශක්තිමත් වූ නිසා නොවෙයි. ඇමරිකන් ඩොලරයේ බාහිර අගය ඇතැම් කාලවල් වලදී දුර්වල වෙනවා වගේම නැවත ශක්තිමත් වෙනවා. එය නිතර සිදුවන ඉතා සාමාන්‍ය දෙයක්. ඇමරිකන් ඩොලරය ශක්තිමත් වන බොහෝ අවස්ථා වලදී රුපියල දුර්වල වුවත් ඇමරිකන් ඩොලරය දුර්වල වන විට රුපියල ශක්තිමත් වන බවක් බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ. එවැනි වකවානු වලදීත් වෙන්නේ රුපියල දුර්වල වන එකමයි.

පහත තෙවන වගුවෙන් පෙන්වා තිබෙන පරිදි රුපියලේ අගය තීරණය වන්නේ ඇමරිකන් ඩොලරයේ බාහිර අගය මතනම් මේ වන විට ඇමරිකන් ඩොලරයක මිල තිබිය යුත්තේ 2001දී තිබුණු මට්ටමේමයි. නමුත්, මේ වන විට ඩොලරයක රුපියල් මිල එමෙන් දෙගුණයක් පමණ වෙලා.



දිගින් දිගටම කියා තිබෙන පරිදි ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සිදුවිය යුතු දෙයක් ලෙසයි මම සලකන්නේ. නමුත් ඒ ඩොලරය පහුගිය කාලය තුළ විශාල ලෙස ශක්තිමත් වෙලා තිබෙන නිසා නෙමෙයි. රුපියල මේ වන විටත් පවතින විණිමය අනුපාතිකයෙන් පෙන්වනවාට වඩා දුර්වල වෙලා තිබෙන නිසා. අවප්‍රමාණය වීම හරහා සිදුවෙන්නේ ඒ දුර්වලකම පෙනෙන්න ගැනීමයි. සිදුවිය යුත්තේ මූලිකාංග අනුව රුපියල ශක්තිමත් වෙන්න ඉඩහැරීම මිසක් දැනටමත් දුර්වල වී අවසන්ව තිබෙන රුපියල ශක්තිමත්ව තිබෙන බව පෙන්වන්න අමාරුවෙන් උත්සාහ ගැනීම නෙමෙයි. එසේ කිරීමෙන් වෙන්නේ රුපියල තවතවත් දුර්වල වෙන්න ඉඩ සැලසීමක් පමණයි.

ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියල අවප්‍රමාණය වනවා කියන එක වැඩිම වුණොත් අර්ධ සත්‍යයක් පමණයි.

Sunday, September 23, 2018

රටේ ණය හා රජයේ විදේශ ණය

පසුගිය ආණ්ඩුව කාලයේ විශාල ලෙස ණය ගත් නිසා රට ආර්ථික අර්බුදයකට ගිය බව අහල ඇති වෙලා තියෙන කතාවක්. නමුත්, සංඛ්‍යාලේඛණ බැලුවහම පෙනෙන්නේ ඒ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අඩු වී ඇති බවයි. රාජ්‍ය ණය වර්ධනය වීමේ වේගය දිහා බැලුවත් පහුගිය ආණ්ඩුව කාලයේදී පැවතුනු වේගය නිදහසෙන් පසු බලයේ සිටි වෙනත් ආණ්ඩු යටතේ පැවතුණු වේගයන්ට වඩා ලොකු වෙනසක් පෙනෙන්නට නැහැ. 

ඒ වුණත්, පහුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී ලංකාවේ ආර්ථික අර්බුදය වඩා භයානක අදියරකට අවතීර්ණ වූ බව බොරුවක් නෙමෙයි. මෙයට මූලික වශයෙන් හේතු වුණේ විදේශ ණය ගනිමින්, එසේ ලබාගත් විදේශ විණිමය වෙළඳපොළට මුදාහරිමින්, විණිමය අනුපාතිකය අවප්‍රමාණය වෙන්න නොදී තියා ගැනීම හා එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාමයි. 

ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයට පහුගිය ආණ්ඩු කාලයට වඩා ගොඩක් පැරණි ඉතිහාසයක් තිබෙනවා. රාජ්‍ය ණය බර මේ වන විට තිබෙනවාට වඩා බරපතල ප්‍රශ්නයක් වූ කාලවල් තිබුණු බව සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන දෙයක්. නමුත්, රටේ විදේශ අංශය මීට පෙර යුග වලදී කවදාවත් අද තිබෙන භයානක අදියරට පිවිසිලා නැහැ. 2001 වසරේදී විනිමය අනුපාතිකය පාවෙන්න හැරීමෙන් පසුව ටික කලකට වුවත් රටේ ආර්ථිකයේ විදේශ අංශය ප්‍රශ්නයක් නැතිව ඉදිරියට ගියා. මෙය විශාල ප්‍රශ්නයක් බවට පත් වුණේ යුද්ධය අවසන් වුනාටත් පසුව පසුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී විණිමය අනුපාතිකය පහළින් තබාගැනීම රටේ ආර්ථිකය සැලසුම් කිරීමේ ප්‍රමුඛ උපායමාර්ගයක් බවට පත් වීමෙන් අනතුරුවයි. එසේ වීමේ පසුබිම ගැන විස්තර වෙන වෙලාවක ලියන්නම්.

රටේ විදේශ ණය කියන්නේ මධ්‍යම රජයේ විදේශ ණය පමණක් නෙමෙයි. මධ්‍යම රජයේ කොටසක් ලෙස නොසැලකෙන රජයේ සංස්ථා ආදිය විසින් ලබාගන්නා විදේශ ණය වල සිට පෞද්ගලික සමාගමක් හෝ තනි පුද්ගලයෙක් ලබා ගන්නා විදේශ ණය ඇතුළු සියලුම විදේශ ණය රටේ විදේශ ණය වලට ඇතුළත්.

මධ්‍යම රජය විසින් වගකිව යුත්තේ රජයේ ණය වලට පමණක් බව කාට හෝ කිව හැකියි. රජය විසින් ඇප වී තිබෙන රජයේ සංස්ථා වල ණය යම්කිසි ප්‍රමාණයක් හැර ඉතිරි ණය වලට රජය වගකිවයුතු නැති බව ඇත්ත. ඒ නිසා, එවැනි ණය රාජ්‍ය ණය ප්‍රශ්නයේ කොටසක් නෙමෙයි. නමුත්, රටේ කවුරු හෝ ලබාගත් විදේශ ණයක් ඇත්නම් එය ලංකාව මුහුණ දෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නයේ කොටසක්.

උදාහරණයක් විදිහට ශ්‍රී ලන්කන් එයාලයින්ස් විසින් 2014 ජූනි 27 වෙනිදා නිකුත් කරපු ඩොලර් මිලියන 175ක පස් අවුරුදු බැඳුම්කරය ගනිමු. මේ වෙනුවෙන් සමසකට වරක් බැගින් කූපන් පොලියක් (වාර්ෂිකව 5.3%ක් වන) ගෙවිය යුතුයි. ලබන වසරේ කල් පිරීමෙන් පසුව ගත් මුදල ආපසු ගෙවිය යුතුයි.

දැන් මේ මුදල ආපසු ගෙවන එක කරන්නේ  ශ්‍රී ලන්කන් එයාලයින්ස් විසින්නම් මධ්‍යම රජයේ අයවැයට එයින් බරක් නැහැ. එහෙත්, ඔවුන් මේ මුදල් ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිස රුපියල් වලින් නොවන නිසා අතේ ඩොලර් නැත්නම් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත යුතුයි. එහෙම මිල දී ගන්න රට ඇතුළේ කාගේ හෝ අතේ ඩොලර් තිබිය යුතුයි. 

ලංකාව දැන් මුහුණ දී සිටින ප්‍රශ්නය ඩොලර් බිලියන 50 ඉක්මවන විදේශ ණය ගොඩක් තිබුණත් ඒ ණය ගෙවන්න රට ඇතුළේ තිබෙන ඩොලර් ප්‍රමාණය බිලියන 10කට කිට්ටු ප්‍රමාණයක් පමණක් වීමයි. රට ඇතුළට ඩොලර් එන විට ඒ ඩොලර් රටේ ඉතිරි කරගත්තානම් මේ ප්‍රශ්නය නැහැ. නමුත්, විණිමය අනුපාතිකය පහළින් තබා ගැනීම පස්සේ පැන්නීම නිසා අන්තිමට රටේ ඩොලරුත් නැහැ. විණිමය අනුපාතිකය අවශ්‍ය විදිහට තබාගන්න පුළුවන් වෙලත් නැහැ. 

පහුගිය කාලයේ දිගින් දිගටම වෙලා තියෙන්නෙත්, ඉදිරි මාස වල නැවත වෙන්න ඉඩ තියෙන බව පෙනෙන්නෙත් මහදැනමුත්තා කළා වගේ එළුවගේ බෙල්ලත් කපලා පස්සේ ඔළුව එළියට ගන්න මුට්ටිය බිඳින ක්‍රමය. ඉස්සෙල්ලා විණිමය අනුපාතිකය රැකගන්න රටේ විදේශ විණිමය එළියට යන්න අරිනවා. එහෙම කරලත් බැරි වෙනකොට වැඩේ අත ඇරලා නැවත විණිමය අනුපාතිකය වැටෙන්න අරිනවා.

මේ කරුණ හා අදාළව මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්නය මේ ආණ්ඩුව ඇති කළ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් පවතින තත්ත්වය අනුව විණිමය අනුපාතිකය පාලනය කිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. රුපියල වැටෙන්නේ ඉඩ ඇරිය යුතු වුවත්, ඒ නිසා ඇතිවන අතුරු විපාක ගැනත් හිතමිනුයි එය කරන්න වෙලා තියෙන්නේ. 

මුළු ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන පණහම එකවර ගෙවිය යුතු නැති බව කාට හෝ මතක් කර දෙන්න පුළුවන්. ඇත්ත. නමුත්, කවදා හෝ ගෙවන්නේ ඕනැනේ. අනාගතයේදී රටට කොහෙන් හෝ ඩොලර් එන විදිහක් පේන්න තියෙනවානම් ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්. නමුත්, පේන්න තිබෙන්නේ ඉදිරි අවුරුදු වල තව තවත් ඩොලර් එළියට යන්න නියමිත බවයි.

ඩොලර් බිලියන පණහට පොලිය 6%ක් කියා සැලකුවොත් අවුරුද්දකට පොලිය විදිහට පමණක් ඩොලර් බිලියන 3ක් ගෙවන්න වෙනවා. මේ ප්‍රමාණය වුවත් වෙළඳපොළෙන් මිල දී ගන්න එක ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. දැන් සිදුවන ආකාරයට උද්ධමන වෙනසට අමතරව අවුරුද්දකට 10%කින් පමණ රුපියල අවප්‍රමාණය වෙන්න ඇරියොත් වැඩිම වුනොත් රුපියල් බිලියනයක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉතිරි පොලී මුදල හා ණය වාරික ගෙවන්න වෙන්නේ අලුත් ණය අරගෙනයි. ඊට අමතරව ජංගම ගිණුමේ තිබෙන ඩොලර් බිලියන දෙකක විතර හිඟයත් පියවන්න ක්‍රමයක් තියෙන්න ඕනෑ.

මේ යන විදිහට රුපියල අවප්‍රමාණය කරලා වුනත් අවුරුද්දකට රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන දෙක තුනකින් වැඩි වන එක නවත්වන්න බැහැ. අඩුම වශයෙන් විදේශ ණය ප්‍රමාණය ස්ථාවරව තබා ගන්න වුනත් අවුරුදු දෙකතුනක් යනකම් රුපියල අවුරුද්දකට 20%කින් පමණ බැගින් අවප්‍රමාණය වෙන්න අරින්න වෙයි. එය කිරීම දේශපාලනික සිය දිවි නසාගැනීමක් නිසා ආණ්ඩුව එය කරයි කියා හිතන්න බැහැ. 

තව ටික දවසකින් නැවතත් මහ බැංකුව විණිමය අනුපාතිකයට අත ගහලා එය ස්ථාවර කරයි. ආණ්ඩුව තව බිලියන දෙක තුනක් ණය ගනියි. ණය තව වැඩිවෙයි. ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුව වෙනස් වුණොත් අලුතෙන් පත්වන ආණ්ඩුව මේ ආණ්ඩුවට බැණ බැණ ඔය ටිකම කරයි. සමහර විට එහෙම කරල නොනැවතී මේ ආණ්ඩුව වගේ නැතිව "බය නැතුව" තව ණය අරගෙන ඒ මුදල් වෙළඳපොළට දාලා විණිමය අනුපාතිකය ස්ථාවර කරලා ඒ මඟින් රටේ අනාගතය අස්ථාවර කරයි.

පහත වගුවේ තියෙන්නේ 2000 වසරේ ඉඳලා රජයේ හා රටේ විදේශ ණය වැඩි වූ ආකාරය, විදේශ සම්පත් වැඩි වූ ආකාරය හා විදේශ ණය හා විදේශ සම්පත් අතර පරතරය ඉහළ ගිය ආකාරයයි.




Saturday, September 22, 2018

රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?


කිසියම් රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යාමට සාපේක්ෂව සංසරණයට එකතු කරන මුදල් ප්‍රමාණය වැඩි වුනොත් දේශීය ව්‍යවහාර මුදලේ දේශීය අගය පහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකටයි. ලංකාවේ වෙළඳපොළේ ගොඩක් භාණ්ඩ වල මිල දිගින් දිගටම ඉහළ යන්නේ උද්ධමනය නිසයි.

උද්ධමනයට අමතරව වෙනත් සාධක හේතුවෙනුත් භාණ්ඩ මිල ඉහළ යනවා. උදාහරණයක් විදිහට කලින් කලට කාලගුණ ප්‍රශ්න නිසා ලංකාවේ හාල්, පොල් මිල ගණන් ඉහළ යාම පෙන්වා දෙන්න පුළුවන්. මේ විදිහට සැපයුම් සාධක මත මිල ඉහළ ගිය විට, ඒ සාධක වල බලපෑම ඉවත් වූ වහාම නැවතත් මිල අඩු වෙනවා. නමුත්, රටේ මුදල් සැපයුම වැඩිවීම නිසා සිදුවන මිල වැඩිවීම් ඒ  විදිහට ආපසු හැරෙන්නේ නැහැ.

ඔය අලුතින් මුදල් සංසරණයට එකතු කර ලාබයක් ලැබීම, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැසීම, ලංකාව විතරක් කරන වැඩක් නෙමෙයි. ඇමරිකාව ඇතුළු හැම රටක්ම වගේ ඔය වැඩේ කරනවා. ඒ නිසා, ඇමරිකන් ඩොලරය ඇතුළු සෑම මුදල් ඒකකයකම දේශීය අගය කාලයත් එක්ක පහත වැටෙනවා. මතක තියා ගන්න ව්‍යවහාර මුදලක දේශීය අගයයි මේ විදිහට පහත වැටෙන්නේ.

ඇමරිකන් ඩොලරයේ දේශීය අගය කාලයත් එක්ක පහත වැටීම නිසා ඇමරිකාව ඇතුළේ ඩොලරයක් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. පසුගිය ජනවාරි මාසයේ ඩොලර් 100කට මිල දී ගත් බඩු ප්‍රමාණය මිලදී ගන්න අගෝස්තු වෙද්දී ඩොලර් 102.26ක් අවශ්‍යව තිබුණා. ඒ කියන්නේ පොදුවේ ඇමරිකාවේ මිල මට්ටම මේ මාස අටට 2.36%කින් ඉහළ ගියා. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ඇමරිකාවට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වෙලා.

කොහොම වුනත් පසුගිය මාස අටක කාලය තුළ ලංකාවේ සිදු වී තිබෙන්නේ මෙහි අනිත් පැත්තයි. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය දෙසැම්බරයේදී රුපියල් 100කින් මිල දී ගත් භාණ්ඩ හා සේවා මිල දී ගන්න අගෝස්තුවේදී ඕනෑ වුනේ රුපියල් 99.05ක් පමණයි. ඒ කියන්නේ ඔය මාස අටක කාලය තුළ රුපියලේ දේශීය අගය 1%කින් පමණ ඉහළ ගිහින්. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ලංකාවට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙලා.

විණිමය අනුපාතිකය කියන්නේ එක රටක ව්‍යවහාර මුදලක් තවත් රටක ව්‍යවහාර මුදලක් සමඟ වෙළඳපොළේ ගනුදෙනු වන අනුපාතය. මේ අනුපාතයෙන් කිසියම් ව්‍යවහාර මුදල් ඒකකයක බාහිර අගය පිළිබිඹු වෙනවා. පසුගිය මාස අටක කාලය තුළ ඩොලරය ඇමරිකාවට සාපේක්ෂව දුර්වල වෙද්දී රුපියල ලංකාවට සාපේක්ෂව ශක්තිමත් වුනත්, එකිනෙකට සාපේක්ෂව ගත්තහම වෙලා තියෙන්නේ රුපියල දුර්වල වෙලා ඩොලරය ශක්තිමත් වෙන එකයි. ඒ කියන්නේ ඩොලරයේ බාහිර අගය ඉහළ ගිහින්. රුපියලේ බාහිර අගය පහළ ගිහින්.

සාමාන්‍යයෙන් විය යුත්තේ කිසියම් ව්‍යවහාර මුදලක් රට ඇතුළේ ශක්තිමත් වෙන කොට එයට රටින් පිටත තියෙන ඉල්ලුමත් ඉහළ ගිහින් එහි බාහිර අගය ඉහළ යන එකයි. නමුත්, පසුගිය කාලයේ ලංකාවේ සිදු වී තිබෙන්නේ එය නෙමෙයි. එහෙම වුනේ කොහොමද?

ඩොලරයේ දේශීය අගය 2.3%කින් අඩු වී රුපියලේ දේශීය අගය 0.9%කින් ඉහළ යනවා කියන්නේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 3.2%කින් ඉහළ යා යුතු බවයි. එසේ නොවුනොත් ලංකාවේ භාණ්ඩ ඇමරිකාවට සාපේක්ෂව 3.2%කින් මිල අඩු වෙනවා. මේ විදිහට රටවල් දෙකක ව්‍යවහාර මුදල් වල දේශීය අගය අඩු වැඩි වීමට සමානුපාතිකව ඒවායේ බාහිර අගයත් වෙනස් වෙනවානම් ඒ දෙරට අතර ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගැනෙන බව අපට කියන්න පුළුවන්.

නමුත්, මෙය මේ ආකාරයට සිදු නොවුණේ පසුගිය දෙසැම්බරය වන විට පැවති රුපියලේ බාහිර අගය ඒ මට්ටමේ පවත්වාගෙන තිබුණේ වසර ගණනාවක් තිස්සේ ඇති දැවැන්ත විදේශ ණය ප්‍රමාණයක් ගනිමින් ඒ මුදල් උපයෝගී කරගෙන රුපියලේ බාහිර අගය තිබිය යුතු තරමට වඩා ගොඩක් උඩින් තබාගෙන සිටි නිසයි. 2001 වසරේදී ඩොලරයක රුපියල් මිල "නියම මිල" කියා උපකල්පනය කළොත්, ඒ වසරේ සිට රුපියලේ හා ඩොලරයේ දේශීය අගය වෙනස් වීම සැලකූ විට 2017 දෙසැම්බර් වෙද්දී ඩොලරයක මිල රුපියල් 229.92ක් විය යුතුව තිබුණා.

කෙසේ වුවත්, පසුගිය මාස අට තුළ මේ තත්ත්වය රුපියලට වාසිදායක ලෙස ආපසු හැරී ඇති නිසා දැන් මේ ගණන ඩොලරයට රුපියල් 222.66ක්. රුපියල තවමත් තියෙන්නේ ඊට වඩා ගොඩක් පහළින්. ඒ නිසා, තවමත් ලංකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්න වලින් බේරී සිටින්න ඉඩක් නැහැ.

විදේශ ණය ගනිමින් රුපියල වසර ගණනාවක් තිස්සේම තිබිය යුතු මට්ටමට වඩා පහළින් තියා ගැනීම නිසා ලංකාවේ ආනයන අපනයන පරතරය පසුගිය කාලයේදී විශාල ලෙස පුළුල් වුණා. ඩොලරයක මිල රුපියල් 222ක් වුනොත් මේ ආනයන අපනයන පරතරය නැවතත් 2001 මට්ටමට අඩු වෙයි. නමුත්, එය නැති වන එකක් නැහැ. ඒ 2001 අවුරුද්දෙත් ආනයන අපනයන පරතරයක් තිබුනු නිසා.

කොහොම වුනත් 2001 අවුරුද්දේදී ලංකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ අවුරුද්දේ තිබුණු ආනයන අපනයන පරතරය පියවන්න ශ්‍රමික ප්‍රේෂණ සෑහෙන දුරට ප්‍රමාණවත් වූ නිසා, ජංගම ගිණුමේ තිබුණේ ඉතා අඩු හිඟයක්. 2001දීත් ලංකාවේ විදේශ ණය ඉහළ ගියත් ඒ ඉතා සුළුවෙන්. ඊට වඩා වැඩියෙන් විදේශ වත්කම් ඉහළ ගිය නිසා 2001දී රටේ ශුද්ධ විදේශ බැරකම් ඇමරිකන් ඩොලර් බිලියන 6.1 දක්වා අඩු වුණා. එවැනි තැනකට එන්න පුළුවන් වුණේ රුපියල ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීම මඟිනුයි.

අවාසනාවට 2001න් පසුව කතාව එතරම් සුන්දර නැහැ. වැඩි වැඩියෙන් අලුතින් මුදල් සංසරණයට එක් කිරීම නිසා වසරින් වසරම රුපියලේ දේශීය අගය පිරිහෙද්දී එයට සමාන්තරව විදේශ අගය පිරිහෙන්න නොදී කෘතිමව රුපියල ශක්තිමත්ව තබා ගත්තේ විදේශ ණය අරගෙන විණිමය වෙළඳපොළට මුදා හැරීම මඟිනුයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2017 අවසානය වෙද්දී ඩොලර් බිලියන 51.8ක් දක්වා විදේශ ණය ඉහළ ගොස් තිබුණත් විදේශ වත්කම් තිබුණේ ඩොලර් බිලියන 10.4ක් පමණයි. හිඟය ඩොලර් බිලියන 41.4ක්.

දැනට අරගෙන තිබෙන විදේශ ණය ආපසු ගෙවන්නනම් රටේ තිබෙන විදේශ සංචිත සියල්ල වැය කිරීමෙන් පසුව තවත් ඩොලර් බිලියන 41.4ක් හොයන්න වෙනවා. මේ මුදල රටේ වාර්ෂික අපනයන ආදායම මෙන් හතර ගුණයක මුදලක්. පසුගිය වසර දෙක තුන තුළ ඩොලරයට යම් තරමකින් ඉහළ යන්න දුන් නිසා ජංගම ගිණුමේ හිඟය යාන්තමින් අඩු වී ඇතත් තවමත් වසරකට ඩොලර් බිලියන 2ක පමණ හිඟයක් තිබෙන නිසා කලින් කී ඩොලර් බිලියන 41.4ක ශුද්ධ විදේශ බැරකම වසරින් වසර ඉහළ යාමයි වෙමින් තියෙන්නේ. රුපියල පාලනයක් ඇතුව සැලකිය යුතු තරමින් අවප්‍රමාණය වෙන්න ඉඩ නොදී, ඔය ඩොලර් බිලියන 41.4ක මුදලට තවත් ඩොලර් බිලියන ගාණක් එකතු වෙලා එක පාරටම ලොකු මුදලක් ආපසු ගියොත්, ඒ මුදල නැවත ණය ලෙස ලබාගෙන රෝල ගෙනියන එක අපහසු වී හිර වුණොත්, ඩොලරයක රුපියල් මිල කොහේ නතර වෙයිද කියා කියන්න බැහැ.

ආසියානු අර්බුදය වෙලාවේ 1997 අප්‍රේල් සිට 1998 ජනවාරි දක්වා කාලය තුළ ඇමරිකන් ඩොලරයක තායි භාත් මිල 25 සිට 53 දක්වා ඉහළ ගියා. ඉන්දුනීසියන් රුපියා මිල 2,900 ඉඳලා 10,000 මට්ටමට ගියා. ඒ වගේ දෙයක් එක වර වුනොත් එය දරාගන්න අමාරුයි. පාලනයක් ඇතුව ක්‍රමයෙන් රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දිය යුත්තේ ඒ නිසයි.

(Image: https://blog.oureducation.in/impact-rupee-depreciation-indian-economy/)

Thursday, April 26, 2018

එකසිය හැටයි! ලාබයි!!

අවශ්‍ය තරමට වඩා බොහෝ අඩුවෙන් වුවත්, පසුගිය දින කිහිපය තුළ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල තරමක් අවප්‍රමාණය වී ඇති අතර ඩොලරයක විකුණුම් මිල පළමු වරට රුපියල් 159 ඉක්මවා තිබේ. මේ ගැන බොහෝ විවේචනද අහන්නට ලැබේ.

පසුගිය වසරේ මාර්තු 30 දින එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල පළමු වරට ශ්‍රී ලංකා රුපියල් 150 මට්ටම ඉක්මවූ අතර ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව කෙටි විමසුමක් කරමින් ලිපියක් මේ වියුණුවෙහි පල කෙරුණේය. පහතින් ඇත්තේ ඒ ලිපියට සබැඳියකි.

එකසිය පණහයි! ලාබයි!!



ඒ අවස්ථාවේදී මා පෙන්වා දුන් පරිදි 2015 අවසානයේදී ඩොලරයක "සැබෑ" මිල (2001 වසරේදී ක්‍රය ශක්ති සාම්‍යය පැවතුණු සේ සලකමින්) රුපියල් 213ක් පමණ විය. එම ලිපිය සමඟ පළ කළ වගුව අලුත් දත්ත ඇතුළු කොට යාවත්කාලීන කර පහත පළ කර තිබේ.


ඉහත වගුවෙන් පෙන්වා ඇති පරිදි, ලංකාවේ අපනයන තරඟකාරිත්වය 2001 මට්ටමේවත් තබාගනිමින් ගෙවුම් ශේෂ අර්බුදයෙන් යම් තරමකින් හෝ ගොඩ යන්නටනම් රුපියල ඩොලරයට සාපේක්ෂව අඩු වශයෙන් තවත් 45-50%කින් පමණවත් අවප්‍රමාණය විය යුතුය. ජාතික ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන බව හා ඉන්දියානු විරෝධයක් මතුපිටින් පෙන්වන ඇතැම් අය ඒ අතරම එයට තනිකරම ප්‍රතිවිරුද්ධව ජාතික ආර්ථිකය බිඳ දමමින් ඉන්දියාවට හා චීනයට වාසි සැලසෙන පරිදි විණිමය අනුපාතිකය පවතින මට්ටමේම තබාගැනීම වෙනුවෙන්ද හඬ නැඟීම තරම් විහිළුවක් තවත් නැත.

මෙහි උද්ධමනය සේ සලකා තිබෙන්නේ එක් එක් රටෙහි දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකයයි. ඒ වෙනුවට, පාරිභෝගික මිල දර්ශකයන්හි වෙනස්වීම් සලකමින් ගණනය කළහොත් ලැබෙන ඇමරිකන් ඩොලරයේ අගය මීටත් වඩා ඉහළ එකකි.

Friday, December 8, 2017

පොල් හා ඩොලර්


ඊයේ ලංකාවට කතා කළ විට අපේ ගෙදර අය මැසිවිලි නැඟුවේ පොල් ගෙඩිය රුපියල් 120ට ගොස් ඇති බව කියමිනි. අපේ ගෙදර වත්තේ පොල් ගස් සෑහෙන ගණනක් තිබුණත්, පොල් පරිභෝජනයද සැලකිය යුතු ඉහළ මට්ටමක තිබෙන නිසා හමස් වලු කාලයට ඇතැම් විට කඩෙන් පොල් මිල දී ගන්නට සිදුවේ. මෙය වැඩිපුරම සිදුවන්නේ කිසියම් කාලගුණික හේතුවක් නිසා පොල් පලදාව පහළ යන අවුරුදු වලදීය. සාමාන්‍යයෙන් ලංකාවේ පොල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේද අපේ ගෙදර අයට පොල් කඩෙන් මිල දී ගන්නට අවශ්‍ය වන දවස් වලටමය.

ඉහත සිදු වීම අහම්බයක් නොවේ. ලංකාවේ බොහෝ ගෙවල් වල, නාගරික ගෙවල් වල පවා, අඩු ගානේ පොල් ගහක් හෝ තිබේ. ගෙවල් සෑහෙන ගණනක නිවසේ පරිභෝජනයට ප්‍රමාණවත් පොල් නිෂ්පාදනයක් සාමාන්‍යයෙන් සිදුවන නිසා ඒ ගෙවල් වල අයට සාමාන්‍යයෙන් කඩෙන් පොල් මිල දී ගන්නට අවශ්‍ය වන්නේ නැත. එහෙත්, කිසියම් හේතුවක් නිසා පොල් පලදාව පහළ යන අවස්ථා වලදී මෙවැනි නිවෙස් බොහොමයක පදිංචිකරුවන්ට තමන්ගේ පොල් පරිභෝජන අවශ්‍යතාවයෙන් කොටසක් මිල දී ගන්නට සිදු වේ. 

රටේ බොහෝ දෙනෙක් මෙසේ කරන විට ලංකාවේ වෙළඳපොළේ සමස්ත පොල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යයි. මේ ඉල්ලුම සපුරාලන්නට වෙන්නේ මහා පරිමාණ පොල් නිෂ්පාදකයන්ටය. මහා පරිමාණ කියා කිවුවත් ලංකාවේ ලොකුම පොල් වතු පවා ඒ තරම්ම ලොකු නැත.

කාලගුණය නිසා පොල් පලදාව පහත වැටීම මහා පරිමාණ පොල් නිෂ්පාදකයින්ටද බලපායි. ඒ නිසා, ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළේ පොල් ඉල්ලුම ඉහළ යාමත්, පොල් සැපයුම පහත යාමත් බොහෝ විට සිදුවන්නේ එකවරය. මෙහි ප්‍රතිඵලය වන්නේ වෙළඳපොළේ පොල් මිල ඉල්ලුම් හා සැපයුම් සාධක දෙකම මත විශාල ලෙස ඉහළ යාමයි.

මෙය තරමක් දුරට සුවිශේෂී තත්ත්වයකි. සාමාන්‍යයෙන් පරිභෝජනය පහළ යන විට භාණ්ඩයක් සඳහා වන සමස්ත ඉල්ලුම පහළ යයි. එහෙත්, පොල් සැලකූ විට මිල ඉහළ යාම හා ගෙදර වත්තේ පොල් පලදාව අඩුවීම නිසා ගෘහස්ථ පොල් පරිභෝජනය අඩු වෙද්දී පවා, වෙළඳපොළට විශාල පාරිභෝගික පිරිසක් අලුතින් එකතු වීම හේතුවෙන් සමස්ත වෙළඳපොළ ඉල්ලුම ඉහළ යා හැකිය. මේ අයුරින්ම, පොල් පලදාව ඉහළ යන කාල වලදී බොහෝ නිවැසියන්ට කඩෙන් පොල් මිල දී ගන්නට අවශ්‍ය නොවන නිසා සමස්ත වෙළඳපොළ ඉල්ලුම විශාල ලෙස පහත වැටේ. එහෙත්, එයින් අදහස් වන්නේ රටේ නිවාස ඒකක වල පොල් පරිභෝජනය පහළ ගොස් ඇති බව නොවේ. 



පසුගිය දවස් වල ඇතැම් අය පොල් මිල හා ඇමරිකන් ඩොලරයක මිල සමාන වී ඇති බව පවසමින් වත්පොතේ ප්‍රතිචාර දක්වා තිබෙනු දකින්නට හැකි විය. පොල් හා ඇමරිකන් ඩොලර් යනු මීකිරි හා තක්කාලි සෝස් වැනි එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු දෙකකි. එසේනම්, මෙවැනි සැසඳීමක අරමුණ කුමක්ද?

ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ මේ වන විට තනිකරම වාගේ දේශීය වෙළඳපොළකි. ලංකාවේ ප්‍රධාන අපනයන තේ, රබර් හා පොල් බව අප ඉගෙනගෙන මේ වන විට දශක ගණනාවක් අවසන්ව ඇති අතර පොල් තවදුරටත් ලංකාවේ ප්‍රධානම අපනයන භෝගයක් නොවේ. ලංකාවේ පොල් නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම යොදාගැනෙන්නේ ලංකාව තුළ කෙරෙන පරිභෝජනය සඳහාය. එමෙන්ම, ලංකාවට පොල් ආනයනය කිරීමක් සිදුවන්නේද නැති තරම්ය. ස්ථිරවම නොදන්නා නමුත් වෘක්ෂලතා ආරක්ෂණ පණත (1999 අංක 35) අනුව ලංකාවට පොල් ආනයනය කිරීමට නීතිමය බාධාවන්ද පවතින බව මගේ අදහසයි. සරල ලෙස කියනවානම් ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ බොහෝදුරට සංවෘත වෙළඳපොළකි. පොල් මිල කලින් කලට විශාල ලෙස උච්චාවචනය වීමට හේතු වන්නේ වෙළඳපොළේ මේ සංවෘත ස්වභාවයයි.

කෙසේවුවත්, ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ සංවෘත වෙළඳපොළක් වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමට ඇති කෘතීම බාධාවන් නොවේ. එය ස්වභාවික, වඩාත් පැහැදිලිව කියනවානම් සංස්කෘතික හා පාරිසරික, හේතු මත සිදු වී ඇති දෙයකි. ලංකාවේ පාරිභෝගිකයන්ගේ ආහාර රුචිකත්වයේ ඇති සුවිශේෂිතාවයන් නිසා ලංකාවේ සිල්ලර සහල් වෙළඳපොළෙහිද මීට ආසන්න තත්ත්වයක් දැකිය හැකිය.

ලංකාවේ කිසිවෙකුත් රුපියල් මිස ඇමරිකන් ඩොලර් ගෙවා පොල් මිල දී ගන්නේ නැත. පොල් ආනයනය කිරීමක් සිදු නොවන නිසා මෙය වක්‍ර ආකාරයකින් සිදුවන්නේද නැත. එසේනම්, පොල් මිල හා ඇමරිකන් ඩොලරයක මිල සැසඳීමේ අරමුණ කුමක්ද?

ඇමරිකන් ඩොලර් කියන්නේ (ඇමරිකාවේදී කෙසේවුවත්) ලංකාවේදී වටිනාකමේ සංකේතයකි. ඇමරිකන් ඩොලරයක් මිලදී ගැනීමට ලාංකිකයෙකු විසින් ගෙවිය යුතු රුපියල් ගණන දිගින් දිගටම ඉහළ යයි. රුපියල අවප්‍රමාණය වීම ලෙස හැඳින්වෙන මෙයට හේතුව ශ්‍රී ලංකා රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම දිගින් දිගටම අඩු වීමයි.

ශ්‍රී ලංකා රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම මෙන්ම එහි අභ්‍යන්තර (දේශීය) වටිනාකමද දිගින් දිගටම අඩු වේ. මෙය හැඳින්වෙන්නේ උද්ධමනය යනුවෙනි. උද්ධමනය හේතුවෙන් කිසියම් භාණ්ඩයක් මිල දී ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු විසින් ගෙවිය යුතු රුපියල් ගණන "සාමාන්‍ය වශයෙන්" දිගින් දිගටම ඉහළ යයි. එහෙත්, මේ අයුරින් කිසියම් නිශ්චිත භාණ්ඩයක මිල උද්ධමනය නිසා ඉහළ යන අතරම, ඉල්ලුම් සැපයුම් සාධක මත එහි මිල උච්චාවචනය වීමද සිදුවන බැවින් උද්ධමනයේ බලපෑම කෙටිකාලීනව නොපෙනෙන්නටද පුළුවන.

පොල් ගෙඩියක් වැනි නිශ්චිත භාණ්ඩයක මිල උච්චාවචනය වීමට එකම හේතුව උද්ධමනය නොවේ. එහෙත්, කාලයත් සමඟ පොල් ගෙඩියක මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ඇත්නම් හා ඒ ප්‍රවණතාවය වෙනත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමට අනුරූපනම්, එයට හේතුව උද්ධමනයි. එසේත් නැත්නම්, රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම දිගින් දිගටම අඩුවීමයි.

ශ්‍රී ලංකා රුපියල වැනි කිසියම් දේශීය ව්‍යවහාර මුදලක බාහිර (විදේශීය) වටිනාකම හා එහි අභ්‍යන්තර (දේශීය) වටිනාකම වෙනස්වන්නේ එකිනෙකින් වියුක්තව නොවේ. රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම අඩුවීම දිගුකාලීනව එහි බාහිර (විදේශීය) වටිනාකම තුළද පිළිබිඹු විය යුතුය. එහෙත්, විවිධ හේතු නිසා කෙටිකාලීනව එය එසේ සිදු නොවන්නට පුළුවන.

රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම අඩුවීම නිසා ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීමට ගෙවිය යුතු රුපියල් ගණන දිනෙන් දිනම ඉහළ යයි. රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම අඩුවීම නිසා පොල් ගෙඩියක් මිල දී ගැනීමට ගෙවිය යුතු රුපියල් ගණනත් දිනෙන් දිනම ඉහළ යයි. මේ දෙකම සමානුපාතික ලෙස සිදු වේනම් පොල් ගෙඩියක ඩොලර් මිල වෙනස් වන්නට හේතුවක් නැත.

යම් හෙයකින් පොල් ගෙඩියක ඩොලර් මිල විශාල ලෙස වෙනස් වී ඇති බව පෙනේනම් එයින් අදහස් වන්නේ එක්කෝ මෙය උද්ධමනයට සම්බන්ධයක් නැති තාවකාලික තත්ත්වයක් බවයි. එසේ නැත්නම්, පවතින විණිමය අනුපාතිකයේ කිසියම් වැරැද්දක් ඇති බවයි. එසේත් නැත්නම්, ලංකාවේ පොල් නිෂ්පාදන කර්මාන්තයේ කිසියම් ආකෘතිමය ප්‍රශ්නයක් ඇති බවයි.

මහා බැංකු දත්ත අනුව, අද (දෙසැම්බර් 08) වන විට ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීමට ගෙවිය යුතු සාමාන්‍ය මිල රුපියල් 155.07කි. ඇතැම් වාර්තා අනුව, ඇතැම් තැන්වල පොල් ගෙඩියක් රුපියල් 150ක් තරම් ඉහළ මිලකට විකිණේ. මෙය ඇමරිකන් ඩොලරයක මිලට ආසන්න අගයකි. කෙසේ වුවද, නිවැරදි සැසඳීමක් කිරීම සඳහා එකම තැනකින් සංසන්දනාත්මක දත්ත ලබාගත යුතුය. පොල් ගෙඩියක සිල්ලර මිල හා අදාළව එවැනි දත්ත ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකිය.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, නොවැම්බර් අවසාන සතියේදී එම දෙපාර්තමේන්තුව විසින් දත්ත එකතු කරන වෙළඳසැල් වල පොල් ගෙඩියක් විකිණුනු සිල්ලර මිලගණන් රුපියල් 65-110 අතර පරාසයේ තිබී ඇති අතර සාමාන්‍ය අගය රුපියල් 86.02කි. මෙය ඇමරිකන් ඩොලරයක රුපියල් මිලෙන් අඩකට වඩා මඳක් වැඩි, ඩොලරයක රුපියල් අගයට බොහෝ අඩු මිලක් වුවත් පසුගිය කාලයේ පොල් ගෙඩියක් විකිණුනු සිල්ලර මිලට වඩා බොහෝ වැඩි මිලකි.

පහත වගුවේ ඇත්තේ පසුගිය වසර 13ක පමණ කාලය තුළ මැයි හා නොවැම්බර් අවසාන සති වලදී සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වූ  සාමාන්‍ය සිල්ලර මිල හා අදාළ මාස අවසානයේදී ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු වූ සාමාන්‍ය මිලයි.



වගුවේ දත්ත පරීක්ෂා කළ විට පැහැදිලිව පෙනෙන්නේ පසුගිය වසර 13ක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරයක මිල ඉහළ යනවාට වඩා ඉතා විශාල අනුපාතිකයකින් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි. ඇමරිකන් ඩොලරයක මිල 55.6%කින් ඉහළ යද්දී, පොල් ගෙඩියක මිල 413.6%කින් ඉහළ ගොස් ඇත! 

වගුවේ දත්ත වලින් පෙනෙන පරිදි, 2007 මැයි මාසයට පෙර ලංකාවේදී ඇමරිකන් ඩොලරයක් මාරු කර පොල් ගෙඩි 6ක් ගන්නට පුළුවන්කම තිබුණත් දැන් එසේ ලැබෙන මුදල පොල් ගෙඩි දෙකක් ගන්නටවත් ප්‍රමාණවත් නැත. මේ අනුව පෙනෙන්නේ පොල් වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයද බාල්දු වී ඇති බවයි.

ශ්‍රී ලංකා රුපියල මෙන්ම ඇමරිකන් ඩොලරයද එන්න එන්නම බාල්දු වේ. ඒ ලංකාවේ මහ බැංකුව මෙන්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවද දිනපතාම වාගේ අලුත් මුදල් සංසරණයට එකතු කරන බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලරයේ දේශීය වටිනාකමද එන්න එන්නම අඩු වේ. එසේ තිබියදී, ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරය හමුවේ එන්න එන්නම බාල්දු වන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වෙනවාට වඩා වැඩි වේගයකින් රුපියල බාල්දු වන බැවිනි.

අපගේ සංසන්දනය සඳහා යොදාගත් 2005 මැයි සිට 2017 නොවැම්බර් අතර කාලය තුළ ඇමරිකන් ඩොලරයක දේශීය අගය 21.11%කින් අඩු වී තිබේ. එසේ වෙද්දී රුපියලේ දේශීය අගය 60.04%කින් අඩු වී තිබේ. වෙනත් අයුරකින් කියනවානම්, 2005 මැයි මාසයේදී ඇමරිකන් ඩොලරයකින් මිල දී ගත් බඩු මිල දී ගන්නට දැන් ඇමරිකන් ඩොලර් 1.26ක් අවශ්‍ය වන අතර  2005 මැයි මාසයේදී රුපියලකින් මිල දී ගත් බඩු මිල දී ගන්නට දැන් රුපියල් 2.50ක් අවශ්‍ය වේ.

වගුව අනුව 2005 මැයි මාසයේදී පොල් ගෙඩියක මිල රුපියල් 16.75ක් වූ අතර නාමික විණිමය අනුපාතිකය අනුව එය ඇමරිකන් ඩොලර් 0.1676ක පමණ මිලකි. එක් එක් ව්‍යවහාර මුදලේ දේශීය අගය පිරිහීම සැලකූ විට 2017 නොවැම්බර් අවසානයේදී මේ මිල සමාන කළ හැක්කේ රුපියල් 41.92ක මිලකට හා ඇමරිකන් ඩොලර් 0.2124ක මිලකටය. මේ පදනම මත, 2017 නොවැම්බර් වන විට ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 197.32ක් විය යුතුය. එහෙත්, අදාළ කාලය තුළ රුපියලේ අභ්‍යන්තර අගය පිරිහීමට සාපේක්ෂව එහි බාහිර අගය පිරිහී නැති නිසා 2017 නොවැම්බර් අවසානයේදී රුපියල් 155.48ක් ගෙවා ඇමරිකන් ඩොලරයක් මිල දී ගත හැකිව තිබුණේය. මේ අනුව, අදාළ කාලය තුළ රුපියල පිරිහී ඇත්තේ ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන මට්ටමට වඩා 26.9%ක් අඩුවෙනි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද? 

ඇමරිකන් ඩොලරයක් ගෙවා 2005 මැයි මාසයේදී ලංකාවේ නිපදවන භාණ්ඩයක් මිල දී ගත් විදේශිකයෙකු දැන් එම භාණ්ඩයම මිලදී ගැනීම සඳහා ඩොලර් 1.27ක් ගෙවිය යුතුය. අනෙක් අතට, 2005 මැයි මාසයේදී රුපියල් 197.32ක් ගෙවා ආනයනික භාණ්ඩයක් මිලදී ගත් ලාංකිකයෙකුට දැන් එම භාණ්ඩයම රුපියල් 155.48ක් ගෙවා මිල දී ගත හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආනයන ඉහළ යාමත්, අපනයන පහළ යාමත්, අඩු මිලට විකිණෙන ආනයන හමුවේ දේශීය නිෂ්පාදන කර්මාන්ත බිඳ වැටීමත්, වෙළඳ ශේෂ හිඟය ඉහළ යාමත් තේරුම් ගැනීමට අපහසු නැත.

අප විසින් සලකා බැලූ කාලය තුළ පොල් ගෙඩියක රුපියල් මිල 413.6%කින්ද, ඩොලර් මිල 230.1%කින්ද ඉහළ ගොස් තිබේ. එහෙත්, රුපියලේ හා ඩොලරයේ දේශීය වටිනාකම් අඩුවීම සැලකූ විට පොල් මිල ඉහළ යා යුතුව තිබුණේ රුපියල් වලින්නම් 150%කින් හා ඩොලර් වලින්නම් 26%කින් පමණි. ඒ අනුව, රටේ අනෙකුත් භාණ්ඩ හා සේවාවන් වලට සාපේක්ෂවද පොල් මිල සැලකිය යුතු තරමින් ඉහළ ගොස් ඇති බව පැහැදිලිය. උද්ධමනයේ බලපෑම මත පොල් ගෙඩියක මිල රුපියල් 42 ඉක්මවන්නට හේතුවක් නැතත්, වෙළඳපොළේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල එමෙන් දෙගුණයකටත් අධිකය. මෙයට ප්‍රධාන හේතුව සැපයුමේ තාවකාලික පහත වැටීමක් බව පෙනෙන්නට ඇතත්, දත්ත පරීක්ෂා කළ විට පෙනෙන්නේ එය එකම හේතුව විය නොහැකි බවයි. 

සලකා බැලුණු පසුගිය කාලය තුළ ලංකාවේ පහළ ආදායම් ස්ථර වල ආදායම් සැලකිය යුතු තරමින් ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් පොල් සඳහා ඇති වෙළඳපොල ඉල්ලුමද ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතැයි සිතන්නට පුළුවන. එහෙත්, එසේ වැඩිවන ඉල්ලුමට සාපේක්ෂව දේශීය පොල් සැපයුම ඉහළ ගොස් තිබීමට හේතුවක් නොපෙනේ. මෙය ඉදිරි කාලයේදීද දකින්නට ලැබෙනු ඇතැයි සිතිය හැකි ප්‍රවණතාවයකි. ඒ නිසා, වෙනත් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව පොල් මිල ක්‍රමයෙන් ඉහළ යන්නට ඇති ඉඩකඩ අපට තේරුම් ගත හැකිය. ඒ නිසා, වත්මන් ඉහළ මිල තාවකාලික සැපයුම් කම්පන තත්ත්වයක් වුවත්, එම තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු පසුවද පොල් ගෙඩියක මිල රුපියල් 42කට වඩා අඩු මට්ටමකට නොපැමිණෙන්නට ඉඩ තිබේ.

අනෙක් අතට, ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ හා පසුගිය කාලයේ යම් අඩුවීමක් දකින්නට ලැබුණත් තවමත් දිගින් දිගටම ලබා ගන්නා විදේශ ණය නිසා ඉදිරි කාලයේදීද විණිමය අනුපාතිකය ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගත හැකි තරමට පිරිහේයැයි සිතිය නොහැකිය. එහි ප්‍රතිඵලය වන්නේ පොල් ගෙඩියක ඩොලර් මිල ක්‍රමයෙන් ඉහළ යාමයි. මේ නිසා, මෙවර නැතත් සැපයුම් කම්පනයක් නිසා පොල් මිල ඉහළ යන ඊළඟ අවස්ථාවේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල ඇමරිකන් ඩොලරයක මිල ඉක්මවන්නට ඉඩ තිබේ.

Thursday, May 18, 2017

අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම

"යහපාලන ආර්ථික දර්ශණය" නම් වූ ලිපියක් ඊයේ වෙනත් බ්ලොග් අඩවියක (ඉයන්ගේ අඩවිය) පළ වී තිබුණේය. මෙය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඌව පරණගම-යාලගම දී පවත්වා ඇති කතාවක සංක්ෂිප්තයක් බව පෙනේ. පහතින් ඇත්තේ අදාළ ලිපියෙන් උපුටාගත් කොටස් කිහිපයකි. මෙහි නැවත පළ කරන්නේ තෝරාගත් කොටස් කිහිපයක් පමණක් නිසා අවශ්‍ය අයෙකුට අදාළ අඩවියෙන් මුළු ලිපියම කියවීමේ අවස්ථාව තිබේ.

"ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.

ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.

බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා."

"පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා."

"අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා."


ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා විසින් හඳුනාගෙන සිටින බව මේ කතාවෙන් පැහැදිලිය. මේ කරුණට අදාළ විශේෂ සටහනක් මෙවර මහ බැංකු වාර්තාවේ පළ වී තිබුණේය. "අපනයන ප්‍රවර්ධනය සඳහා ජාතික උපාය මාර්ගය" මාතෘකාව යටතේ පළකර තිබුණු එම ලිපියේ මූලික අදහස මෙවැන්නකි.

-ආර්ථිකය වර්ධනය වන විට අපනයනද වර්ධනය විය යුතු බවට පොදු මතයක් තිබුණත් ලංකාවේ එය එසේ වී නැත.
-පසුගිය වසර 16ක කාලය තුළ මේ තත්ත්වය කැපී පෙනේ. 2000-2016 අතර කාලයේදී රටේ දදේනි 10.4%ක සංයුක්ත (compound) වාර්ෂික වර්ධනයක් පෙන්නුවත්, අපනයන වල සංයුක්ත වාර්ෂික වර්ධනය 4%ක් පමණි.
-2005-2012 කාලය අතරතුළ දේශීය ඉල්ලුම වර්ධනය වීම නිසා ආර්ථිකය වර්ධනය වුනත්, බාහිර ඉල්ලුමක් නැති නිසා දේශීය ඉල්ලුම අඩුවීමට සමගාමීව ආර්ථික වර්ධනය බාල වී ඇත.
-ලංකාව කලාපයේ අනෙක් රටවලට වඩා කලින් 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1977දී දදේනි ප්‍රතිශතයක් ලෙස 18.7%ක් වූ අපනයන 1979 වන විට 29.2% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
-1977දී ඇමරිකන් ඩොලර් මිලියන 767ක් වූ අපනයන ආදායම 2000 වන විට ඇමරිකන් ඩොලර් මිලියන 5,522 දක්වා ඉහළ ගියේය. එහෙත්, 2000 සිට අපනයන වර්ධනය සතුටුදායක මට්ටමක නැත.
-මේ වන විට (2016) අපනයන දදේනි ප්‍රතිශතයක් ලෙස 12.7% මට්ටමට පහත වැටී තිබේ. මෙය 1977 දී ආර්ථිකය විවෘත කිරීමට පෙර පැවති මට්ටමටත් වඩා පහත් මට්ටමකි.
-2015දී මැලේසියාවේ අපනයන දදේනි ප්‍රතිශතයක් ලෙස 67.5%ක්ද, තායිලන්තයේ 54.2%ක්ද, වියට්නාමයේ 83.7%ක්ද විය.
-2000-2015 කාලය තුල ලංකාවේ අපනයන 1.9 ගුණයකින් පමණක් වර්ධනය වෙද්දී, වියට්නාමය 11.2 ගුණයකින්ද, බංග්ලාදේශය 5.1 ගුණයකින්ද, දකුණු කොරියාව හා තායිලන්තය 3.1 ගුණයකින්ද වර්ධනය කරගෙන තිබේ.




මේ කරුණු අනුව, අග්‍රාමාත්‍යවරයා විසින්ද හඳුනාගෙන ඇති පරිදි, කලාපීය රටවල් ඔවුන්ගේ අපනයන ආර්ථිකයන් වර්ධනය කරගනිද්දී, මේ සහස්‍රයේ ආරම්භයේ සිට ලංකාවේ අපනයන ආර්ථිකය සීඝ්‍රයෙන් පල්ලම් බැස ඇති බව ඉතාම පැහැදිලිය. මහ බැංකු වාර්තාවේ අදාළ ලිපිය අනුව, මේ වන විට ලංකාව 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් පසුව අපනයන ක්ෂේත්‍රයෙහි ලබාගත් ජයග්‍රහණ සියල්ලම ආපසු හැරවී අවසන්ය.

රනිල් වික්‍රමසිංහට අනුව මෙයට හේතුව යුද්ධය නිසා ඇති වූ ආර්ථික පසුබෑම හා 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් නොකිරීමයි. ඔහුගේ කතාව අනුව, ඔහු මෙය දකින්නේ විදේශ ප්‍රතිපත්තියේ වරදක් ලෙසිනි. ඒ අනුව, "යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට" පත්වීම අපනයන වර්ධනයට හේතු වනු ඇත.

රනිල් වික්‍රමසිංහගේ කතාව අනුව, අපනයන වර්ධනය අවශ්‍ය දෙයක් බව ඔහු හඳුනාගෙන සිටියත් "රටේ ආදායම" වැඩි කරගන්නා තුරු ඔහුට මේ වැඩේ කල් දාන්නට සිදුවී තිබේ. මේ වන විට, වැට් ආදී බදු වැඩිකර ආදායම වැඩි කරගෙන තිබෙන නිසා ඔහුට අපනයන වර්ධනය කිරීම ගැන හිතන්නට ඉඩ ලැබී ඇත.

රනිල් වික්‍රමසිංහ රටේ ආදායම කියා කිවුවත් ඇත්තටම ඔහු මේ කියන්නේ රජයේ ආදායම ගැනය. රජයේ ආදායම හා රටේ ආදායම කියන්නේ එකක් නොව දෙකකි. රජයේ ආදායම කියන්නේ රටේ ආදායමෙන් රජයේ නඩත්තුව සඳහා බදු ලෙස බලහත්කාරයෙන් උදුරා ගන්නා කොටසයි. බදු වැඩි කිරීමෙන් රටේ ආදායම වැඩි නොවනවා පමණක් නොව නිෂ්පාදන අධෛර්යමත් වීමෙන් රටේ ආදායම අඩු වීමට එය හේතුවකි. මෙය අපනයන නිෂ්පාදන වලටද අදාලය. බදු වැඩිවීම හරහා නිෂ්පාදන වියදම් ඉහළයාම යනු අපනයන වර්ධනය තවදුරටත් අඩාල වීමට හේතුවකි.

රනිල් වික්‍රමසිංහ විසින්ම කියන පරිදි මෙන්ම මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි රටේ අපනයන ආර්ථිකය එන්න එන්නම පල්ලම් බැසීමෙන් පෙනෙන්නේ ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අකාර්යක්ෂමතාවයයි. මහ බැංකු වාර්තාවේ විශේෂ ලිපියට පාදක වන 2000-2016 කාලය තුළ යහපාලන ආණ්ඩුවේ අවුරුදු දෙකක්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටි වසර 10ක් මෙන්ම, ඊට පෙර රනිල් හා චන්ද්‍රිකා ආණ්ඩු කළ කාලයද ඇතුළත් බවත් මෙය එක් දේශපාලනික පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ වැරැද්දකට වඩා රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් බවත් මෙහිදී විශේෂයෙන් තේරුම් ගත යුතුය. එමෙන්ම, ලංකාවේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසු මුල් දශක දෙකක පමණ කාලය තුළ තත්ත්වය මෙයට වෙනස් වූ බවද අමතක නොකළ යුතුය.

රටේ ආදායම් වර්ධනය අවදානමේ හෙළමින් රජයේ බදු ආදායම් වැඩි කර ගන්නේ රටේ ආර්ථික වර්ධනය උදෙසා අගය එකතු කිරීමක් කරන බවක් පෙනෙන්නට නැති  අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීම සඳහාය. පරණ ණය ගැන කතා කළත්, සමස්තයක් ලෙස රජයේ ණය අඩුවී නැත. කෙසේවුවද, රජයේ බදු ආදායම් වැඩි කර නොගත්තේනම් සිදු විය හැකිව තිබුණේ රජය අලුතින් ලබාගන්නා ණය ප්‍රමාණය තවත් ඉහළ යාමයි. එයට සාපේක්ෂව බදු වැඩි කර රජයේ ආදායම වැඩි කර ගැනීම සාධනීය දෙයකි.

රජය කුඩා කිරීම දේශපාලනික කරුණකි. රටේ ඉල්ලුම තිබෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය තවත් පුළුල් කිරීමටනම් ආණ්ඩුවට එය නොසලකා කටයුතු කිරීම අසීරුය. ආණ්ඩුවට පිටින් සිටින බොහෝ කණ්ඩායම් උද්ඝෝෂණය කරන්නේ පවතින අවාසිදායක තත්ත්වයන් යටතේ වුවද අමාරුවෙන් ඇදගෙන යන පෞද්ගලික ව්‍යවසායයන් පවා රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ කරන ලෙස ඉල්ලමිනි. එවැන්නක අවසන් ප්‍රතිඵලය වන්නේ බදු බර තවත් ඉහළ යාම හා අදාළ සේවාවන්ගේ ගුණාත්මක භාවය තව දුරටත් පහත වැටීමයි.

ඇතැම් විට රනිල් වික්‍රමසිංහ විසින් ඉඟි කරන්නේ රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමෙන් පසු අපනයන සංවර්ධනය දිරිමත් කිරීම සඳහා සහනාධාර ලබාදීමට රජයට ඉඩක් ලැබෙන බව වන්නට පුළුවන. රජය විසින් සහනාධාර හරහා අපනයන දිරිමත් කිරීම ප්‍රායෝගිකව සිදුවන්නට විශාල ඉඩකඩක් නැතිවා පමණක් නොව එය රජය විසින් මේ අවස්ථාවේදී ගත යුතු ප්‍රශස්තම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයද නොවේ.

එමෙන්ම, "යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව" ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල් සමඟ "යාළු වූ" පමණින් ලංකාවේ අපනයන වර්ධනය වෙන්නේ නැත. මෙයින් කියන්නේ යහපත් විදේශ සම්බන්ධතා පවත්වා ගැනීම නොවැදගත් බව නොවේ. ලංකාව වැනි, කුඩා, දියුණු වෙමින් පවතින, ආර්ථිකයකට විදේශ සම්බන්ධතා නොසලකා හැර ආර්ථික වර්ධනය ගැන හිතන්නට නුපුළුවන. ලංකාවේ කළඹේ තිබෙන්නේ ආදේශක කිසිවක් නොමැති, වෙනත් රටවල් විසින් "පස්සෙන් ඇවිත්" මිලදී ගතයුතු දේවල්නම් විදේශ සම්බන්ධතා ලොකු ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලංකාවට එවැනි අපනයන නිෂ්පාදන නැත. ඒ නිසා, අපේ අපනයන මිලදී ගන්නා රටකට දේශපාලනික හේතු මත අපේ අපනයන ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබේ.

කෙසේ වුවද, එහි අනික් පැත්ත ඒ අයුරින්ම සිදුවන්නේ නැත. කොයි තරම් යහපත් දේශපාලන සම්බන්ධතා පවත්වාගෙන සිටියත් කිසිදු රටක් අපේ අපනයන "පාඩුවට" මිල දී ගන්නේ නැත. ලංකාවේ අපනයන වර්ධනය කර ගැනීමටනම් ලංකාවේ අපනයන නිෂ්පාදන සමාන ගුණාත්මක භාවයක් ඇති වෙනත් රටවල නිෂ්පාදන වලට සාපේක්ෂව මිලෙන් අඩුවිය යුතුය.

රජය මඟින් සහනාධාර ලබාදීම හරහා නිෂ්පාදන පිරිවැය අඩුකර අපනයන මිල ගණන් තරඟකාරී මට්ටමකට පහත හෙළිය හැකි වුවත්, ඒ සහනාධාර පිරිවැය බදු ලෙස නැවත එකතු කර ගැනීමේදී නිෂ්පාදන පිරිවැය නැවතත් ඉහළ යන බැවින් මේ උපාය මාර්ගය  තිරසාර එකක් නොවේ. 


එසේනම් කළ යුත්තේ කුමක්ද? ප්‍රශ්නයේ මුලට ගිය විට විසඳුමද හමුවේ.

ජේ ආර් ජයවර්ධන විසින් 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමට සමගාමීව විණිමය අනුපාතිකද ඉතා විශාල ලෙස අවප්‍රමාණය කෙරුණු බව අප අමතක නොකළ යුතුය. 1978 වසර තුළදී පමණක් ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 8.87 සිට 15.61 දක්වා 76%කින් ඉහළ ගියේය. ඒ සමඟම ලෝක වෙළඳපොළෙහි ලංකාවේ නිෂ්පාදන වල මිලද ඉතා විශාල ලෙස අඩුවී ලංකාවේ අපනයන තරඟකාරිත්වයද විශාල ලෙස ඉහළ ගියේය. ලංකාවේ අපනයන දෙවසරක් තුළ ඉතා විශාල ලෙස වර්ධනය වීමට හේතු වුනේ විදේශ විණිමය අනුපාතිකයෙහි සිදුවුණු මේ නිවැරදි කිරීමයි.

ඉහත විදේශ විණිමය ප්‍රතිපත්තිය 2000 වසරේදී පමණ සිට ඒ අයුරින්ම ක්‍රියාත්මක වුනේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ අපනයන වල මිල අනෙකුත් තරඟකාරී රටවල අපනයන මිලට සාපේක්ෂව විශාල ලෙස ඉහළ යද්දී විදේශ නිෂ්පාදන වල දේශීය මිල නියම මට්ටමට වඩා පහළින් පවත්වා ගැනුණේය. මේ අනුව, පසුගිය වසර පහළොවක පමණ කාලය තුළ සිදුවුණේත්, තවමත් සිදුවන්නේත් ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් වෙනත් රටවල නිෂ්පාදකයින්ට "සහනාධාර" ලැබීමයි.

මේ වාසිය වැඩිපුරම ලබාගත්තේ චීනය හා ඉන්දියාවයි. ඒ තත්ත්වය තවමත් වෙනස් වී නැත. විණිමය ප්‍රතිපත්තියේ වරද නිසා වසරින් වසර ලංකාවේ
අපනයන වර්ධනය පහළ යද්දී ආනයන ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. මේ නිසා ඇති වුනු ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇතැම් ආණ්ඩු විසින් රාජ්‍ය දේපොළ විකුණා දැමීමෙන් පියවා ගැනීමට උත්සාහ ගත් අතර, සියළුම ආණ්ඩු විසින් විශාල ලෙස විදේශ ණය ලබා ගැනීමට යොමු විය. මෙයින් ලැබුණේ තුවාලයක් කසන විට ලැබෙන ආකාරයේ සනීපයක් පමණි. දැන් තුවාලය ඔඩු දුවා තිබේ. අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම කෙසේවෙතත් ලංකාවේ ආර්ථිකය තියෙන මට්ටමින් අල්ලාගෙන සිටීම පවා දැන් පහසු වැඩක් නොවේ.

තුවාලය නිට්ටාවට සනීප කර ගැනීමටනම් විණිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වෙන්නට ඉඩ හැරිය යුතුය. ලංකාවේ අපනයන වර්ධනය කරගැනීමට අවශ්‍යනම් ඒ මඟ මිස වෙනත් මඟක් නැත!

Wednesday, March 8, 2017

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටෙන්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම විසින් ලංකාවට විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමෙන් පසුව සිදුකරන දෙවන සමාලෝචනය මේ වන විට අවසන් කර තිබේ. පසුගිය දෙසතියක පමණ කාලය පුරා සිදු කළ මේ සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව දූත කණ්ඩායම විසින් ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය වසරේ මැද වන විට ඉතා දරුණු තත්ත්වයකට පත්ව තිබුණු ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ ආර්ථිකය, විශේෂයෙන්ම විදේශ අංශය, ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2016 ජූනි සිට තෙවසරක කාලයක් තුළ ලංකාවට ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියන 1.5ක පමණ විස්තීර්ණ ණය පහසුකම හේතුවෙනි. මෙම ණය මුදලින් ඩොලර් මිලියන 168ක් පමණ වූ පළමු වාරිකය ආරම්භයේදීම ලබාදුන් අතර ඉතිරි මුදල් තවත් වාරික පහකින් ලබා දීමට නියමිතව පැවතිණි. පසුගිය නොවැම්බර් මාසයේදී සිදු කෙරුණු පළමු සමාලෝචනයෙන් අනතුරුව ඩොලර් මිලියන 162ක් පමණ වූ දෙවන වාරිකයද මුදා හැරුණේය. තෙවන වාරිකය මුදා හැරීමට පෙර මේ දෙවන සමාලෝචනය සිදු කෙරේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන වාර්තාව සමස්තයක් ලෙස මිශ්‍ර එකක් වුවත්, ආර්ථිකයේ ඇතැම් අංශ හා අදාළ ප්‍රගතිය පිළිබඳව අරමුදලේ නිලධාරීන් සෑහීමට පත්ව ඇති බවක් නොපෙනේ.

විණිමය අනුපාතිකය කෘතීම ලෙස ඕනෑවට වඩා පහළින් තබා ගැනීමට උත්සාහ කිරීම නිසා ලංකාවට වරින් වර ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දීමට සිදුවේ. පසුගිය දශක දෙක තුන තුළ ලංකාවට මුහුණ දුන් ගෙවුම් ශේෂ අර්බුද ගණනාවකින්ම ආර්ථිකය කඩා නොවැටී බේරුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම් හා සමගාමීව සිදුවුණු ආර්ථික ප්‍රතිසංස්කරණ වල උදවුවෙනි. මේ හැම විටෙකම සිදුවුණු ප්‍රධානම ප්‍රතිපත්ති වෙනස වූයේ රුපියල අවශ්‍ය මට්ටමට පිරිහෙන්නට හැර විදේශ අංශය නිවැරදි කරනු ලැබීමයි. පෙර අවස්ථා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුවද රාජ්‍ය මූල අංශය සැලකිය යුතු ප්‍රගතියක් නොපෙන්වුවත්, මහ බැංකුවේ විෂය පථයට අයත් මුදල් හා විදේශ අංශ නිසි ලෙස කළමනාකරණය කිරීම නිසා සමස්තයක් ලෙස ආර්ථිකයේ ප්‍රගතියක් දකින්නට හැකිවිය. මෙවර මේ තත්ත්වයේ කිසියම් වෙනසක් පෙනේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන වාර්තාව මෙවර විශේෂ අවධානය යොමු කරන්නේ මහ බැංකුවේ විෂය පථය යටතේ ඇති මුදල් හා විදේශ අංශ වෙතටය. එක් අතෙකින් නැඟී එන උද්ධමන අවදානම් පෙනෙන්නට තිබෙන අතර, දැකිය හැකි ප්‍රවණතාව නියඟයේ බලපෑම හා එකතු කළ අගය මත බදු (වැට්) වැඩි කිරීම වැනි සැපයුම් සාධක වලටම ලඝු කළ නොහැකිය. උද්ධමන පීඩන පිළිබඳව සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කර, උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් නොවන්නේනම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස විසින් මහ බැංකුව දිරිමත් කරන්නේ එබැවිනි.

තවදුරටත්, වඩාත්ම ගැටළුකාරී හා අවදානම් සහගත තත්ත්වයක පවතින්නේ විදේශ අංශයයි. මහ බැංකුව විසින් තවමත් විණිමය අනුපාතිකය පහළ වැටීම සීමා කරමින් සිටින බව පෙනෙන්නට ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ විදෙස් සංචිත ක්‍රමයෙන් පහළ යයි. විදේශ විණිමය අනුපාතිකයෙහි නම්‍යශීලිත්වය පවත්වා ගැනීම පිණිස මහ බැංකුව විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි දූත පිරිස අදහස් කරන්නේ එබැවිනි.

'නියම' මට්ටමට එන්නටනම් රුපියලේ විදේශ අගය තවදුරටත් විශාල ලෙස පිරිහිය යුතුය. මෙය ක්ෂණිකව සිදුවන්නට ඉඩ නොහැර පමා කිරීමෙන් සිදුවන්නේ අර්බුදය තවත් උග්‍ර වීම පමණි. රජයට කෙටිකාලීනව විදේශ ණය වාරික ගෙවන්නට ඇත්නම් මහ බැංකුව විසින් කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය වන ඩොලර් හැකිතාක් වෙළඳපොළෙන් මිලදී ගැනීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියලේ විදේශ අගය පිරිහෙනු ඇතත්, එයින් දිගුකාලීනව සැලසෙනු ඇත්තේ යහපතකි.

පසුගිය රජය විසින් ලබාගත් ණය ගැන ඕනෑවටත් වඩා කතා කෙරී ඇතත් පසුගිය රජය වත්මන් ආර්ථික අර්බුදයට පාර කැපුවේ වැඩිපුර ණය ගැනීම හේතුවෙන්ම නොවේ. ණය ගැනීම පැත්තෙන් පසුගිය රජය කළේ පෙර රජයයන් අනුගමනය කළ ක්‍රියාමාර්ගයම ඉදිරියට ගෙනයාමයි. පසුගිය රජය විසින් ආර්ථිකයට සිදුකළ දැවැන්තම හානිය සිදුකළේ විදේශ විණිමය ප්‍රතිපත්තිය හරහාය. ජාතික ආර්ථිකයක් ගැන ප්‍රසිද්ධියේ කතා කළත්, පසුගිය රජයේ විදේශ විණිමය ප්‍රතිපත්තිය හරහා සිදුකළේ ජාතික ආර්ථිකය ක්‍රමයෙන් විනාශ කර දැමීමයි. මෙහි වාසිය වැඩියෙන්ම ගත්තේ ඉන්දියාව වූ අතර ඉන්දියාව සමඟ පැවති වෙළඳ ගිවිසුම් වලින් ලංකාවට වාසියක් ගැනීමට නොහැකි වූයේද පැවති විදේශ විණිමය ප්‍රතිපත්තිය හේතුවෙනි.

ආණ්ඩු මාරුවෙන් පසු රුපියල කිසියම් ප්‍රමාණයකින් වැටෙන්නට ඉඩහැර ඇතත් එසේ සිදුවූ අවප්‍රමාණය වීම අවශ්‍ය නිවැරදි වීමට වඩා බෙහෙවින්ම අඩුය.

රුපියල අවප්‍රමාණය වන විට රුපියල් වලින් සිදු කෙරෙන විදෙස් ආයෝජන හේතුවෙන් සිදුවන ප්‍රාග්ධන ප්‍රවාහ වල දිශානතිය  ආපසු හැරෙනු ඇති නමුත් එය මේ වන විටත් සෑහෙන දුරකට සිදුවී අවසන් බැවින් තවත් හානි වෙන්නට දෙයක් නැත. නියම මට්ටමට පැමිණ රුපියල ස්ථාවර වූ පසු නැවතත් කෙටිකාලීන ප්‍රාග්ධන ආයෝජන සිදුවනු ඇත. එමෙන්ම, රුපියල අවප්‍රමාණය වන විට රජය විසින් පෙර ලබාගෙන ඇති විදේශ ණය වල රුපියල් අගය ඉහළ යන නිසා ණය වැඩිවන බව පෙනුණත්, මේ ණය ආපසු ගෙවන්නට වෙන්නේ ඩොලර් වලින් නිසා එයින් එතරම් හානියක් සිදු නොවේ. විණිමය අනුපාතිකය නිවැරදි වීම නිසා ජංගම ගිණුම් ශේෂය කෙරෙහි ඇතිවිය හැකි හිතකර බලපෑම දිගුකාලීනව විදෙස් ණය වාරික ගෙවීමට පිටිවහලක් වනු ඇත.