Showing posts with label උපාය මාර්ගික ප්‍රතිචාර. Show all posts
Showing posts with label උපාය මාර්ගික ප්‍රතිචාර. Show all posts

Saturday, December 1, 2018

කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රාතිහාර්ය සිදුවන හැටි!

නොවැම්බර් 30න් අවසන් වූ සති 5 තුළ කොටස් වෙළඳපොළෙහි වූ විදේශ ආයෝජන වලින් රුපියල් බිලියන 8.6ක් ඉවත් කරගෙන තිබෙනවා. නමුත් මේ සති පහ ඇතුළත සියළු කොටස් මිල දර්ශකය ඒකක 187.37කින් එනම් 3.21%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය පැහැදිලි කරන්නේ කොහොමද?

පළමුවෙන්ම අපි සියළු කොටස් මිල දර්ශකය කියන්නේ කුමක්ද කියා හදුනාගත යුතුයි. මෙයින් නිරූපණය වන්නේ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් සියල්ලේම වෙළඳපොළ අගයයි. මේ අගය මේ වන විට රුපියල් බිලියන 2,823.9ක්. සියළු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ පහළ යන්නේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය සේ හැඳින්වෙන ඉහත අගය අඩු වැඩි වන විටයි.

සියළු කොටස් මිල දර්ශකයේ අගයේ එක් ඒකකයකින් රුපියල් මිලියන 469.15ක පමණ මුදලක් නිරූපණය වෙනවා. එය ඒකක 187.37කින් ඉහළ යාමෙන් අදහස් වෙන්නේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් සියල්ලේ වෙළඳපොළ අගය රුපියල් බිලියන 87.9කින් වැඩි වී ඇති බවයි.

කොළඹ කොටස් වෙළඳපොළේ සමාගම් 297ක් ලැයිස්තුගත කර තිබෙනවා. මේ සමාගම් අතරින් ඇතැම් සමාගම් වල කොටස් වල මුළු වටිනාකම කොටස් වෙළඳපොළේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයට සාපේක්ෂව ගොඩක් වැඩියි. ඒ නිසා, ඒ සමාගමක කොටස් මිලේ සුළු වෙනසක් වුවත් මිල දර්ශකයට ලොකුවට දැනෙනවා. නමුත්, වෙනත් ඇතැම් සමාගම් වල මිල විශාල ලෙස වෙනස් වුවත් එය මිල දර්ශකයට දැනෙන්නේ නැහැ.

උදාහරණයක් විදිහට ලංකා දුම්කොල සමාගමේ කොටස් වල වටිනාකම කොළඹ කොටස් වෙළඳපොළේ කොටස් සියල්ලේ වටිනාකමින් 10%කටත් වඩා වැඩියි. ඒ නිසා දුම්කොල සමාගමේ කොටසක මිල 1% කින් ඉහළ ගියොත් සියළු කොටස් මිල දර්ශකය ඒකක 6 කින් පමණ ඉහළ යනවා. නමුත්, අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ කොටසක් 100%කින් වැඩි වුනත් සියළු කොටස් මිල දර්ශකය ඉහළ යන්නේ ඒකක 0.6 කින් පමණයි.

වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ ගොඩක් තැන් වල වගේම කොළඹ කොටස් වෙළඳපොළේ සමාගම් අතරත් "ලොක්කෝ'" සීමිත පිරිසක් ඉන්නවා. සියළු කොටස් මිල දර්ශකය හසුරවන්නේ ඒ සමාගම් කිහිපයේ කොටස් හිමියන් විසින්. 

සියළු කොටස් මිල දර්ශකයේ වෙනස්වීම් වලින් 33%ක්ම තීරණය වෙන්නේ සමාගම් හයක මිල ගණන් මතයි. 50%කටත් වඩා  තීරණය වෙන්නේ සමාගම් 14ක් මතයි. 67%කටත් වඩා  තීරණය වෙන්නේ සමාගම් 30 ක් මතයි. ඉතිරි සමාගම් 267 හිම බලපෑම 33%කට ආසන්නයි. 

පහත වගුවේ පෙන්වා තිබෙන්නේ කොළඹ කොටස් වෙළඳපොළේ ලොකුම සමාගම් 30 සහ ඒ එක් එක් සමාගම සියළු කොටස් මිල දර්ශකයෙන් කොපමණ ප්‍රතිශතයක් නියෝජනය කරනවද කියන එකයි.



හරි. දැන් එක දෙයක් පැහැදිලි ඇතිනේ. කොළඹ කොටස් වෙළඳපොළේ සමහර සමාගම් වල කොටස් මිලේ පොඩි වෙනසක් වුනත් සියළු කොටස් මිල දර්ශකය සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. නමුත්, වෙනත් ඇතැම් සමාගම් වල මිල කොයි තරම් විචලනය වුනත් සියළු කොටස් මිල දර්ශකයට දැනෙන්නේ නැහැ.

ඒ නිසා දැන් අපි මේ ලොක්කෝ දිහාවට අවධානය යොදවමු. මේ සමාගම් වල මිල ගණන් වෙනස් වෙන්නේ ආර්ථික විද්‍යා මූලධර්ම අනුවමද?

ආර්ථික විද්‍යා මූලධර්ම අනුවනම් කොටස් මිල විචලනය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. විශාල ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් ගොඩක් ඉන්න විට ඒ එක් අයෙකුට මිල මත බලපෑම් කරන්න බැහැ. නමුත්, කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ ඔය වගේ තැනක්ද?

කොළඹ කොටස් වෙළඳපොළ ඔය වගේ තැනක් නෙමෙයි. එය කොටස් වෙළඳපොළකට වඩා සූදු පිටියක් බව මම බය නැතුව කියනවා. මෙතැන වැඩිපුරම තියෙන්නේ ගේම්. ඒ නිසා, එහි මිල ගණන් ඉහළ පහළ යන්නේ අදාළ සමාගම් වල ලාභ අපේක්ෂා වෙනස් වන රටාව අනුව පමණක් නෙමෙයි. ගේම් කාරයෝ ටික දෙනෙක් තමන්ගේ වාසියට මේ මිල ගණන් හසුරුවනවා. හොඳ ගේම් කාරයෙක්ට කොළඹ කොටස් වෙළඳපොළ හරහා ලොකු පෝසතෙක් වෙන්න පුළුවන්. එහෙම පෝසත් වූ අය ඉන්නවා.හැබැයි මෙය නීති විරෝධී වැඩක් නොවන බවත් කියන්න ඕනෑ.

කොටස් වෙළඳපොළේ දවසකට ගනුදෙනු කොපමණ වෙනවද? මේ ගණන බොහෝ විට තුන් දාහකට අඩුයි. ඒ කියන්නේ එක සමාගම් කොටසක් හා අදාළව සාමාන්‍යයෙන් දවසකට ගනුදෙනු දහයක්වත් වෙන්නේ නැහැ. ඒ ගනුදෙනු වලිනුත් යම් ප්‍රමාණයක් බොරු ගනුදෙනු. මේ බොරු ගනුදෙනු මොනවාද කියලා මම නිශ්චිත තොරතුරු එක්ක පැහැදිලි කරන්නම්.

ඊයේ දිනයේ කොටස් වෙළඳපොළ ගණුදෙනු 4,127ක් සිදු වී තිබෙනවා.මේ ගණුදෙනු වලින් අවම වශයෙන් 97කදීම හුවමාරු වී තිබෙන්නේ එක් කොටසක් පමණයි. මේ ඇතැම් ගනුදෙනුවක වටිනාකම ශත ගණනක්. කොටස් 2,3 ආදී ගනුදෙනුත් සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. මේ විදිහට සතගාණක නැත්නම් රුපියලක දෙකක ගනුදෙනුවක් කරන්න කවුරු හෝ මහන්සි වෙන්නේ ඇයි? 

මේවා ඔක්කොම බොරු ගනුදෙනු. ඒ කියන්නේ නීත්‍යානුකූල නොවන ගනුදෙනු කියන එක නෙමෙයි. මේක තමයි කොළඹ කොටස් වෙළඳපොළේ සූදුව. 

අපි හිතමු කාට හරි (අපි පෙරේරා කියමු) සම්පත් බැංකුවේ කොටස් වලින් 30%ක් තියෙනවා කියලා. මෙය රුපියල් බිලියන 20ක පමණ ආයෝජනයක්. දැන්  අවශ්‍ය වෙනවා තව කොටස් 21%ක් මිල දී ගෙන සම්පත් බැංකුවේ සභාපති වෙන්න. ඉතිරි කොටස් 21% කුණු කොල්ලෙට ගන්න ඔහු සැලසුම් කරන්නේ මේ විදිහටයි.

සම්පත් බැංකුවේ කොටසක් රුපියල් 240යි. දැන් පෙරේරා කරන්නේ උදේ පාන්දරම තමන්ගේ කොටස් වලින් එකක් රුපියල් 230කට විකුණනවා. රුපියල් 10ක් පාඩුයි. නමුත් ඕක මොකක්ද? ඉන්පසු වරින් වර රුපියල් 225 හා 220 මිල ගණන් වලට නැවතත් එක් කොටස බැගින් විකුණනවා.

මේ ප්‍රවණතාව දෙස බලා සිට සම්පත් කොටස් මිල වැටෙන බව තේරුම් ගන්නා සුළු ආයෝජකයෙක් තමන්ගේ කොටස් 100ක් රුපියල් 220 ගානේ විකුණනවා. පෙරේරා මේ කොටස් 100 මිල දී අරගෙන තවත් කොටසක් රුපියල් 215 ගානේ විකුණනවා. එවිට තවත් අය සම්පත් කොටස් විකුණන්න පෙළඹෙනවා. මේ විදිහට තමන්ට අවශ්‍ය කොටස් ප්‍රමාණය මිල දී ගත්තට පස්සේ පෙරේරා මේ වැඩේම අනිත් පැත්තට කරනවා. එහෙම කරලා මිල ඉහළ දමනවා. ඉන්පසුව හැකිනම් විදේශ ආයෝජකයෙක් හොයාගෙන ගෙඩිය පිටින්ම විකුණලා දමනවා.

උඩ ඡේද දෙකේ තිබෙන්නේ ඇත්තටම සිදු වූ දෙයක් නොවුණත්, ඇත්තටම සිදුවන දෙයට ආසන්නව සමාන දෙයක්. දැන් අපි සැබෑ ගනුදෙනු දෙසම බැලුවොත් ඊයේ දිනයේ ලංකා දුම්කොළ සමාගමේ කොටස් ගනුදෙනු 8ක් සිදු වී තිබෙනවා. ගනුදෙනු වූ කොටස් ගණන 1,751ක්. එක් එක් ගනුදෙනුවේ කොටස් ප්‍රමාණය පහත ආකාරයටයි.

1
100
33
2
14
1
100
1500

මේ ගනුදෙනු 8න් අඩු වශයෙන් 3ක්ම බොරු ගනුදෙනු බව පැහැදිලියි. ඇතැම් විට මුල හතම වුවත් බොරු ගනුදෙනු විය හැකියි. ඒ ගනුදෙනු වල ඉලක්කය අවසන් ගනුදෙනුව වෙන්න පුළුවන්.

මේ අතරින් පළමු ගනුදෙනුව නිසා දුම්කොළ සමාගමේ කොටසක මිල රුපියල් 19.90කින් ඉහළ යනවා. කවුරු හෝ විසින් හිතාමතාම වැඩි මිලකට මේ කොටස මිල දී ගත්තා වෙන්න පුළුවන්. පාඩුව රුපියල් 20ක්වත් නැහැනේ. නමුත්, මේ රුපියල් විස්ස පාඩු කරගෙන කරපු ගනුදෙනුව නිසා කොළඹ කොටස් වෙළඳපොළේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,727.7කින් ඉහළ යනවා. සියළු කොටස් මිල දර්ශකය ඒකක 7.9කින් ඉහළ යනවා. 

පහුගිය ඔක්තෝබර් 26 ඉඳලා සියළු කොටස් මිල දර්ශකය ඉහළ ගිහින් තියෙන්නේ ඒකක 187.37 කින්. ඔය වගේ ප්‍රතිඵලයක් ගන්න රුපියල් 20 ගානේ කී පාරක් පාඩු විඳින්න ඕනෑද කියලා ගණන් හදාගන්න.

සියළු කොටස් මිල දර්ශකය හැම වෙලාවෙම ඉහළ පහළ යන්නේ ඔය විදිහට කියා මම කියන්නේ නැහැ. හොර ගනුදෙනු වලින් පමණක්ම කොටස් වෙළඳපොළ පාලනය කරන්න බැහැ. නමුත්, කොළඹ කොටස් වෙළඳපොළ තියෙන්නේ එක කල්ලියක් අතේ නිසා ඔය වගේ වැඩ බොහොම සාමාන්‍යයි.

රුපියල අවප්‍රමාණය වීම පෙනෙද්දී විදේශිකයෝ තමන්ගේ කොටස් හදිසියේ විකුණලා යන කොට හැකි ඉක්මණින් විකුණන්න හදනවා මිසක් මිල ගැන එතරම් තකන්නේ නැහැ, වඩා වැදගත් වන්නේ රුපියල තවත් වැටෙන්න පෙර රුපියල් ඩොලර් කිරීම බව ඔවුන් දන්නවා. ඒ නිසා, විදේශ ආයෝජන ඉවත් වන විට කොටස් මිල ඉහළ යන්න හේතුවක් නැහැ. 

නමුත්, සැලසුම්  සහගත ලෙස ඉහත කී ආකාරයේ හොර ගනුදෙනු කරලා කොටස් වෙළඳපොළ දර්ශක ඉහළ යන බව පෙන්වන එක ඒ තරම් අමාරු නැහැ. අපි හිතමු විදේශිකයෙක් රුපියල් 20ක් අඩුවෙන් කොටස් මිලියන 10ක් විකිණුවා කියලා. දවස ඉවර වෙන්න කලින් රුපියල් 20ක් වැඩියෙන් (පෙර කී ගනුදෙනුව සිදු වෙන්න කලින් මිලට) එක කොටසක් මිල දී ගත්තහම සියළු කොටස් මිල දර්ශකය නැවත තිබුණු තැන. තව රුපියල් 10ක් වැඩියෙන් ගෙවලම ඒ කොටස ගත්තනම් සියළු කොටස් මිල දර්ශකය ඉහළ ගිහින්. ඔන්න ඔහොමයි පත්තරේ විස්තරේ.

ඇතැම් දේශපාලනික වෙනස්කම් වෙද්දී කොළඹ කොටස් වෙළඳපොළ දර්ශක වල හිතාගන්න අමාරු ප්‍රාතිහාර්ය වෙන්නේ අහම්බෙන් නෙමෙයි.

Tuesday, December 20, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහඅටවන කොටස)

අපේ ලිපි මාලාවේ දහවන කොටසින් පැහැදිලි කළ පරිදි ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියකට ලන්සු තබන ආයතන විසින් උත්සාහ කළ යුත්තේ අදාළ වෙන්දේසියේ ආන්තික මිලට වඩා වැඩි, එහෙත් බරිත සාමාන්‍ය මිලට වඩා අඩු ලන්සුවක් තැබීමටය. මේ ලන්සුව ආන්තික මිලට ආසන්න වන තරමට ලැබිය හැකි ක්ෂණික ලාභය ඉහළ යයි.

කෙසේ වුවද, වෙන්දේසියට ලන්සු තබන ආයතනයක් එය කරන විට වෙන්දේසියේ ආන්තික මිල හෝ බරිත සාමාන්‍ය මිල නොදන්නා බැවින් තමන් සතු තොරතුරු විශ්ලේෂණය කරමින් මේ මිල ගණන් අනුමාන කළ යුතුය. පසුගිය කොටස් දෙකෙන් එනම් ලිපි මාලාවේ දහසයවන හා දහහත්වන කොටස් වලින් අප පෙන්වා දුන්නේ මේ මිල පරාසය අවසාන වශයෙන් තීරණය වන්නේ මහ බැංකුවට අවශ්‍ය පරිදි බවයි. ඒ නිසා, කිසියම් ආයතනයකට ලන්සු තැබීමට පෙර මහ බැංකුව විසින් එදින පවත්වා ගැනීමට අපේක්ෂා කරන්නේයැයි සිතිය හැකි මිල පරාසය අනුමාන කිරීමට සිදුවේ.

ඉහත අනුමාන සඳහා ලන්සුකරුවන්ට වෙන්දේසිය නිවේදනය කිරීමේදී ලබා දී ඇති තොරතුරු සහ වෙනත් බාහිර වෙළඳපොළ සාධක සැලකිල්ලට ගන්නට සිදුවේ. අප මෙතෙක් කතාකළ කරුණු අනුව, 2015 පෙබරවාරි 27 වෙන්දේසියේදී විවිධ ආයතන විසින් මේ මිල පරාසය අනුමාන කර ඇති විවිධ ආකාර පිළිබඳව අපට ප්‍රවාදගොඩ නැඟිය හැකිය.
 

1. මහ බැංකුව විසින් මේ වන විට සෘජු ක්‍රමයට බැඳුම්කර විකිණීමේදී පවත්වාගෙන යන 9.48% ඵලදා අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට අදහස් කරන්නේනම් එයට අනුරූප බරිත සාමාන්‍ය මිල වන රුපියල් 117.75 ඉලක්ක කරනු ඇත. ඒ අනුව, වෙළඳපොළ ඉල්ලුම් සාධක අනුව ඊට වඩා තරමක් පහළ ආන්තික මිලක් තීරණය කෙරෙනු ඇත. (ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම හා ලංකා බැංකුව මෙසේ අනුමාන කර ඇති ආයතනයි.)

2. මේ බැඳුම්කර නිකුතුවේ කූපන් පොලිය 12.5%කි. එම මිලට අනුරූප මිල රුපියල් 90.20 කි. මහ බැංකුව බොහෝ විට මෙම රුපියල් 90.20 වෙන්දේසියේ ආන්තික මිල ලෙස තෝරා ගන්නට ඉඩ තිබේ. (කැපිටල් ට්‍රස්ට්, එච්එස්බීසී හා වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම ලන්සු තබා ඇත්තේ මේ පදනමිනි.)

3. මේ බැඳුම්කර නිකුතුවේ කූපන් පොලිය 12.5%කි. එම මිලට අනුරූප මිල රුපියල් 90.20 කි. මහ බැංකුව බොහෝ විට මෙම රුපියල් 90.20 බරිත සාමාන්‍යය වන පරිදි ඊට වඩා තරමක් පහළ මිලක් ආන්තික මිල ලෙස තෝරා ගන්නට ඉඩ තිබේ. (කොමර්ෂල් බැංකුවේ, පෑන් ඒෂියා බැංකුවේ හා පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ ලන්සු මිල ගණන් මේ ප්‍රවාදයෙන් පැහැදිලි කළ හැකිය.)

4. මහ බැංකුවේ තීරණය ඉහත සලකා බැලුනු 9.48% හා 12.5% ඵලදා අනුපාතික අතර දෝලනය වනු ඇත. මේ ඵලදා අනුපාතික දෙකේ සාමාන්‍යය 10.99% වන අතර එයට අනුරූප මිල රුපියල් 102.29කි. ඒ අනුව, රුපියල් 102.29 පමණ වන මේ අතරමැදි මිල ආසන්නව මිල තීරණය වීමට ඉඩ තිබේ. (මහජන බැංකුවේ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ, නැට්වෙස්ට් සිකියුරිටීස් සමාගමේ, සේවක අර්ථසාධක අරමුදලේ හා එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ලන්සු මිල ගණන් මේ ප්‍රවාදයෙන් පැහැදිලි කළ හැකිය.)
   
මේ ප්‍රවාද පරිපූර්ණ ප්‍රවාද නොවේ. එහෙත්, පහළොස්වන කොටස සමඟ පළකර ඇති පළමු රූප සටහනෙන් පෙන්වන 2015 පෙබරවාරි 27 වෙන්දේසියේ මිල පරාසය මෙවැනි ප්‍රවාද ඇසුරෙන් පැහැදිලි කළ හැකි නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඇතුළු කිසිදු ලන්සුකරුවෙකුගේ මිල ගණන් අසාමාන්‍ය ලෙස සැලකිය නොහැකිය. කෙසේ වුවද, ලන්සු මිල ගණන් අසාමාන්‍ය නොවූවත් පෙර දහහතරවන කොටසින් විස්තර කළ පරිදි ඇතැම් ආයතන වල ලන්සු ප්‍රමාණ පැහැදිලිවම අසාමාන්‍යය.

මේ වෙන්දේසියේදී ඇතැම් ආයතන වලට අභ්‍යන්තර තොරතුරු ලැබීම නිසා රජයට අලාභයක් වූයේද යන්න විමසීමට දැන් අපට මේ පදනම උපයෝගී කර ගත හැකිය. එය අපි ඉදිරියට තබමු.

Monday, December 19, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහහත්වන කොටස)

පසුගිය ලිපිය (ලිපිමාලාවේ දහසයවන කොටස) තරමක් තාක්ෂණික වැඩි බව පෙනේ. එම ලිපියේ තාක්ෂණික කරුණු ගණනාවක් උඩින් පල්ලෙන් ස්පර්ශ කර තිබේ. මා මෙය ප්‍රශ්නයක් ලෙස නොසැලකුවේ මේ තාක්ෂනික කරුණු බොහොමයක් එකිනෙක වෙන් වෙන්ව ගෙන පෙර කොටස් වල විස්තරාත්මක ලෙස පැහැදිලි කර ඇති බැවිනි. එසේ වුවද, මේ කරුණු එකතු කළ විට එය බර වැඩි බව පෙනෙන නිසා මා මේ කොටසින් උත්සාහ කරන්නේ පසුගිය ලිපියේ ඇති කරුණුම වඩා සරල ලෙස පැහැදිලි කිරීමටය. එයද අපැහැදිලිනම් නැවතත්, තවත් සරලව, විස්තර කිරීමට වුවද පුළුවන.

මුලින්ම අපි පසුගිය ලිපියේ (ලිපිමාලාවේ දහසයවන කොටසේ) සාරාංශය ගනිමු. තරමක් දිග මේ 'සාරාංශය' අංක වශයෙන් පිළිවෙලින් දමන්නේ යමෙකුට මේ කොටසත් අපැහැදිලිනම් මුළු කොටසම නැවත විස්තර නොකර වඩා අපැහැදිලි අංකිත අනු කොටස් නැවත පැහැදිලි කිරීමට ඉඩ තබා ගනිමිනි.

1. ලංකාවේ පවතින අසමමිල වෙන්දේසි ක්‍රමය (non-unitary price auction system) යටතේ වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලට (weighted average price) වඩා වැඩි මිලක් ලන්සු තබා සුරැකුම්පතක් හිමිකරගන්නා ලන්සුකරුවෙකුට (bidder) ක්ෂණික අවාසියක් සිදුවේ. සමමිල වෙන්දේසි ක්‍රමය (unitary price auction system) යටතේ මෙවැනි තත්ත්වයක් ඇති නොවේ.

2. ඉහත තත්ත්වයට උපාය මාර්ගික ප්‍රතිචාර (strategic response) දක්වන ලන්සුකරුවෝ තමන්ගේ අරමුදල් වල ආවස්ථික පිරිවැය (opportunity cost of funds) මත පදනම්ව තැබිය හැකි උපරිම ලන්සුව, එනම් තමන් ගෙවීමට කැමති මුදල (willingness-to-pay) වෙනුවට ඊට වඩා අඩු මිලක් ලන්සු තැබීමට පෙළඹෙති. මෙහි ප්‍රතිඵලයක් ලෙස (වෙනත් කරුණු නොවෙනස්ව ඇත්නම්) වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල සමමිල වෙන්දේසියක ආන්තික ලන්සු මිල (marginal bid price of a unitary price auction) දක්වා පහළ යයි. ඒ නිසා, අසමමිල වෙන්දේසියක් පැවැත්වීමෙන් වෙන්දේසිකරුට (auctioneer) විශේෂ වාසියක් ලැබිය නොහැකිය.

3. රජයේ ණය අවශ්‍යතාවන් වැඩිවී වෙන්දේසියේ නිකුතුවේ ප්‍රමාණය වැඩි වන තරමට ලන්සුකරුවන් මුහුණදෙන තොරතුරු අසමමිතිය (information asymmetry) වැඩි වන නිසා ලන්සු මිලත් (bid price) තමන් ගෙවීමට කැමති මුදලත් (willingness-to-pay) අතර පරතරය වැඩි වී බරිත සාමාන්‍ය මිල සාමාන්‍ය මට්ටමටත් වඩා පහළ යා හැකිය.

4. ඉහත න්‍යායාත්මක හේතුවට අමතරව ලන්සුකරුවන් කාටලයක් ලෙස ක්‍රියාකිරීම නිසාද ලන්සු මිල පහළ ගොස් බරිත සාමාන්‍ය මිල සාමාන්‍ය මට්ටමට වඩා පහළ යා හැකිය. (පෙර විස්තර කළ න්‍යායාත්මක පදනම නිවැරදිව අවබෝධ කර නොගැනීම නිසා වෙන්දේසිකරු මෙවැනි මිල පහළ යාමක් මුළුමනින්ම මේ දෙවන කරුණට බැර කරන්නට ඉඩ තිබේ.)

5. ඉහත තත්ත්වය වෙන්දේසිකරුට අවාසිදායකය. ඒ නිසා වෙන්දේසිකරු උපාය මාර්ගික ප්‍රතිචාරයක් ලෙස මිල 'අපේක්ෂිත මිලට වඩා' අඩු වූ විට වෙන්දේසිය අවලංගු කිරීම හෝ ප්‍රකාශිත ප්‍රමාණයට වඩා අඩු ලන්සු ප්‍රමාණයක් භාර ගැනීම සිදු කරයි. (වෙන්දේසිය අවලංගු කිරීම යනු නිකුතුව ශුන්‍ය මට්ටම දක්වා අඩුකිරීමක් බැවින් මේ කරුණු දෙකම එකකි.) මෙහිදී, අවශ්‍ය මුළු සුරැකුම්පත් ප්‍රමාණයම වෙන්දේසිය හරහා විකුණා ගැනීමට නොහැකි වේ.

6. ඉහත (5) තත්ත්වය ඇතිවන්නේ ඇතැම් ලන්සුකරුවන්ගේ ලන්සු මිල ඔවුන්ගේ ගෙවීමට කැමති මුදලට (willingness-to-pay) වඩා අඩු වූ විට බැවින් වෙන්දේසිකරුට පසුව සෘජු ක්‍රමය යටතේ වැඩි මිලකට ඉතිරි වූ සුරැකුම්පත් විකුණා ගැනීමට පුළුවන. සියළුම ලන්සුකරුවන් කාටලයක් ලෙස දිගින් දිගටම කටයුතු කරන්නේනම් මෙය කළ නොහැකි වුවත්, ඇතැම් ලන්සුකරුවන් කාටලයෙන් බැහැරව පමණක් නොව වෙන්දේසිකරුගේ පැත්තේ ඉන්නා නිසා (සේවක අර්ථසාධක අරමුදල හා රාජ්‍ය බැංකු) වෙන්දේසිකරුට අපහසුවකින් තොරව මෙය කළ හැකිය. මෙසේ සෘජු ක්‍රමයට ඉතිරි බැඳුම්කර විකුණා ගැනීමේ ඉඩක් පැවතිය හැක්කේ වෙන්දේසියේදී වෙළඳපොළ සැබෑ ඉල්ලුම පිළිබිඹු වී නැත්නම් පමණි. 

7. වෙන්දේසිකරුගේ ප්‍රති-ප්‍රතිචාරය (සෘජු ක්‍රමයට විකුණා අඩුව පුරවා ගැනීම) හමුවේ දිගින් දිගටම අඩු ලන්සු තැබීම තේරුමක් නැති දෙයක් බවට පත්වන නිසා ලන්සුකරුවෝ වෙන්දේසිකරුගේ  'අපේක්ෂිත මිල' අනුමාන කර ඒ ආසන්නව එයට පොඩ්ඩක් අඩුවෙන් ලන්සු තැබීමට උත්සාහ කරති. මේ උත්සාහයේදී (මිශ්‍ර ක්‍රමය ක්‍රියාත්මක වන විට) ඇතැම් විට වෙන්දේසියේ මිල පෙර කී අපේක්ෂිත මිලට වඩා ඉහළ යන්නට වුවද පුළුවන. එවිට මහ බැංකුවට ප්‍රකාශිත නිකුතු ප්‍රමාණයට වඩා වැඩි සුරැකුම්පත් ප්‍රමාණයක් වෙන්දේසිය හරහා මිල දී ගැනීමට ඉඩ සැලසේ.

8. නිකුතුවේ ප්‍රමාණය අඩුවැඩි කිරීම මඟින් මහ බැංකුව එක් එක් වෙන්දේසිය අවසානයේදී ඵලදා අනුපාතිකය තමන්ට අවශ්‍ය 'අපේක්ෂිත මට්ටමේ' තබා ගනී. ඒ නිසා ලන්සුකරුවන්ට කාටලයක් ලෙස ක්‍රියා කර වැඩි ලාභයක් ලැබීමේ අවස්ථාවන් සීමා වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සාමාන්‍ය වශයෙන් (on average) වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලෙන් ලන්සුකරුවන්ගේ ගෙවීමට කැමති මිල පිළිබිඹු වේ.

9. ඉහත සමතුලිතතාවය පැවතීමට සෘජු ක්‍රමයද පැවතිය යුතු නිසාත්, සෘජු ක්‍රමයට කිසියම් ආයතනයක ගෙවීමට කැමති මිල (willingness to pay) ඉක්මවන මිලකට විකිණිය නොහැකි නිසාත් මහ බැංකුවට විශේෂ ලාභයක් ලබා ගැනීමටද නොහැකිය. අවසාන වශයෙන් වෙන්නේ සාමාන්‍ය වශයෙන් (on average) මේ වෙළඳපොළේ මිල සමමිල වෙන්දේසියක සමතුලිතතාවය ඇතිවන මට්ටමේම සමතුලිත වීමයි.

10. අවදානම් ප්‍රිය නොකරන (risk averse) ආයතන සෘජු ක්‍රමයට වැඩි කැමැත්තක් දක්වන අතර අවදානම ප්‍රිය කරන්නෝ (risk lovers) වැඩි වාසි සොයමින් වෙන්දේසියට සහභාගී වී අවදානමක් ගනිති.

සාරාංශයක් කියා කීවද මේ සාරාංශය ලිපියටද වඩා දිග බව පෙනේ! එසේ වී ඇත්තේ මා පෙර ලිපිය ලෙස ගෙන ඇත්තේ පසුගිය කොටසේ අඩංගු දේ පමණක් නොව එහි සබැඳි දමා ඇති පෙර කොටස් වල ඇති දේද වීමයි. මේ කරුණු දැන් නැවතත් වඩා විස්තරාත්මකව පැහැදිලි කළ යුතුය.

දැන් අපි සුරැකුම්පත් වෙන්දේසියක් පළමුවෙන්ම ඇරඹුණු දිනය ගැන හිතමු. මේ සඳහා සහභාගී වන ලන්සුකරුවන් තබන ලන්සු A, B, C... ආදී ලෙස නම් කරමු. පහසුව තකා මොවුන් සියල්ලන්ම තබන්නේ රුපියල් මිලියන 100 බැගින් වූ ලන්සුයැයි සිතමු. රුපියල් මිලියන 200ක ලන්සුවක් රුපියල් මිලියන 100 බැගින් වූ ලන්සු දෙකක් ලෙසත්, රුපියල් මිලියන 500ක ලන්සුවක් රුපියල් මිලියන 100 බැගින් වූ ලන්සු පහක් ලෙසත් සැලකිය හැකි බැවින් මේ උපකල්පනයේ වරදක් නැත.

මේ පළමු ලන්දේසියෙදී එක් එක් ලන්සුකරු ඉදිරිපත් කරන මිල වන්නේ එම ලන්සුකරුගේ අරමුදල් වල ආවස්ථික පිරිවැය මත පදනම් වූ ගෙවීමට සූදානම් උපරිම මිලයි (willingness to pay). එම මිල රුපියල් වලින් පහත පරිදියැයි සිතමු.

A  110
B  105
C 100
D 95
E 90
F 85
G 80
...
...

ප්‍රකාශිත නිකුතු ප්‍රමාණය රුපියල් මිලියන 500ක් යි සිතමු. එසේනම්, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන 'ආන්තික මිල' රුපියල් 90කි. මෙය පැහැදිලි මදිනම්, එක් එක් මිලට විකිණිය හැකි සුරැකුම්පත් ප්‍රමාණය හා එම මිලට සුරැකුම්පත් ගන්නට කැමැති ගැණුම්කරුවන් මෙසේය.

110- 100 A
105- 200 A, B
100- 300 A, B, C
95- 400 A, B, C, D
90- 500 A, B, C, D, E
85- 600 A, B, C, D, E, F
80- 700 A, B, C, D, E, F, G


ආන්තික මිල පහත හෙලීමෙන් වැඩි සුරැකුම්පත් ප්‍රමාණයක් විකිණිය හැකිය. ආන්තික මිල ඉහළින් තබා ගත යුතුනම් විකුණන ප්‍රමාණය අඩු කළ යුතුය. හරියටම රුපියල් බිලියන 500ක සුරැකුම්පත් විකිනීමටනම් රුපියල් 90 දක්වා මිල පහත හෙළිය යුතුය.

සමමිල වෙන්දේසි ක්‍රමයේදී සියළුම ගැණුම්කරුවන්ට සුරැකුම්පත් ලැබෙන්නේ වෙන්දේසියේ ආන්තික මිල වන රුපියල් 90 බැගිනි. ඒ නිසා ද්වීතියික වෙළඳපොළ මිල වන්නේද එම මිලයි. එමෙන්ම රජයට ලැබෙන සාමාන්‍ය මිල වන්නේද එම මිලයි. ඒ නිසා, කල් යාමේදී වෙනත් සාධක මත මේ ද්වීතියික වෙළඳපොළ මිල වෙනස් වන තුරු ගැණුම්කරුවන්ට ක්ෂණිකව සිදුවන වාසියක් හෝ අවාසියක් නැත.

ලංකාවේ පවතින අසමමිල වෙන්දේසි ක්‍රමයේදී සියළුම ගැණුම්කරුවන්ට සුරැකුම්පත් ලැබෙන්නේ වෙන්දේසියේ ආන්තික මිල වන රුපියල් 90 බැගින් නොවේ. තමන් ලන්සු තැබූ මිලටය. එක සමාන භාණ්ඩයකට වෙළෙඳපොළේ වෙනස් මිලවල් තිබිය නොහැකිය. ඒ නිසා ද්වීතියික වෙළඳපොළ මිල වන්නේ මේ මිල ගණන් වල බරිත සාමාන්‍යය වන රුපියල් 100යි. (මේ උදාහරණයේදී සියළුම ලන්සු රුපියල් මිලියන සීයේ ලන්සු ලෙස සලකා ඇති නිසා බරිත සාමාන්‍ය මිල 'සාමාන්‍ය සාමාන්‍ය මිලෙන්' වෙනස් නොවේ.) එමෙන්ම රජයට ලැබෙන සාමාන්‍ය මිල වන්නේ පෙර මෙන් ආන්තික මිල නොව මේ බරිත සාමාන්‍ය මිලයි. ඒ අනුව. මේ අවස්ථාවේදී සම්මිල වෙන්දේසි ක්‍රමයට සාපේක්ෂව රජයට වාසියක් සැලසේ. (මතක තබා ගන්න- මේ අප කතා කරන්නේ වෙන්දේසි ක්‍රමය ඇරඹුණු පසු පැවැත්වෙන පළමු වෙන්දේසිය ගැනයි. මා පසුව පැහැදිලි කරන පරිදි මේ තත්ත්වය දිගටම පැවතෙන්නේ නැත.).

අසමමිල වෙන්දේසි ක්‍රමයේදී ද්වීතියික වෙළඳපොළ මිල එක් එක් ගැනුම්කරු විසින් ගෙවූ මිලට අඩු, වැඩි හෝ සමාන වීම මත එම ගැණුම්කරුවන්ට ක්ෂණිකවම වාසියක් හෝ අවාසියක් සැලසෙන්නට පුළුවන.

ඉහත උදාහරණයේ එක් එක් ගැනුම්කරු විසින් සුරැකුම්පත් සඳහා ගෙවූ මිල, වෙන්දේසියෙන් පසු සුරැකුම්පතේ වෙළඳපොළ වටිනාකම හා මේ දෙක අතර ඇති වෙනස නිසා ක්ෂණිකව සිදුවූ වාසිය හෝ අවාසිය මෙසේය.

A 100-110 = -10
B 100- 105= -5
C 100-100= 0
D 100- 95= 5
E 100- 90= 10

මේ පළමු වෙන්දේසිය අවසානයේදී තමන් ගෙවන්නට කැමතිව සිටි උපරිම මිල එලෙසම ලන්සු තැබීමෙන් අවාසියක් වූ බව A සහ B තේරුම් ගනිති. එමෙන්ම, ඔවුන්ට සාපේක්ෂව වැඩි ලන්සු තැබූ D සහ C ක්ෂණිකව සැලකිය යුතු ලාබයක් ලබා ඇති බවද ඔවුන්ට පෙනේ. ඒ නිසා දෙවන වරට වෙන්දේසිය පැවැත්වෙන විට ඔවුන් කරන්නේ තමන් විසින් ගෙවන්නට කැමති මිල එලෙසම ලන්සු නොතබා වෙන්දේසියේ ආන්තික මිල අනුමාන කළ හැකිනම් එම මිල වන රුපියල් 90 ලන්සු තැබීමටය.

එපමණක් නොවේ. තව ටිකක් අඩුවෙන් ලන්සු තැබුවානම් තමන්ටද ලාබයක් ලැබිය හැකිව තිබුණු බව C ද, වැඩි ලාබයක් ලැබිය හැකිව තිබුණු බව D ද තේරුම් ගන්නා නිසා දෙවන වෙන්දේසියට ඔවුන් ලන්සු තබන්නේද රුපියල් 90 මිලයි. මේ නිසා දෙවන වෙන්දේසියේ සිට ඉදිරියට සෛද්ධාන්තිකව සිදුවන්නේ ආන්තික මිල වන රුපියල් 90ට වඩා වැඩි මිලක් ගෙවන්නට සූදානම් අයත් එම ආන්තික මිල අනුමාන කර ලන්සු තැබීමයි. ඒ නිසා අසමමිල වෙන්දේසියක් පැවැත්වීම මඟින් රජයට පළමු වෙන්දේසියේදී ලබාගත හැකි වූ වාසිය ඉන්පසුව නොලැබී යයි.

තවමත් සෘජු විකිණීම් ක්‍රමය මහ බැංකුවට විකල්පයක් වන්නේ නැත. මෙය පැහැදිලි කිරීම සඳහා දෙවන වෙන්දේසියේ ලන්සු ඉදිරිපත් වීමෙන් පසුව, තමන් අපේක්ෂා කළ මිල නොලැබෙන බව පෙනෙන නිසා මහ බැංකුව විසින් එම වෙන්දේසිය අවලංගු කර පෙර වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල වූ රුපියල් 100 බැගින් සෘජු ක්‍රමයට සුරැකුම්පත් විකුණන්නට උත්සාහ කළේයැයි සිතමු. තමන්ගේ ගෙවන්නට කැමති මිල හෝ වැඩිමිලක් ලැබෙන නිසා A, B සහ C එම මිලට සෘජු ක්‍රමයට සුරැකුම්පත් මිල දී ගනු ඇතිමුත් D සහ E එසේ නොකරනු ඇත. ඒ නිසා මහ බැංකුවට රජයේ අරමුදල් අවශ්‍යතාවය වූ රුපියල් මිලියන 500ම සෘජු ක්‍රමයට සොයාගත නොහැකිය. එසේ සොයාගත හැක්කේ උපරිම වශයෙන් රුපියල් මිලියන 300ක අරමුදල් ප්‍රමාණයක් පමණි. ඒ නිසා, පළමු දිනයේ රජයට ලැබුණු වාසිය නැති වී ගියත් දෙවන දිනද මහ බැංකුව වෙන්දේසිය අවලංගු කරන්නේ නැත.

කෙසේවුවද, වෙනත් තත්ත්වයන් යටතේ සෘජු ක්‍රමය සාර්ථක විකල්පයක් විය හැකිය. ඒ ගැණුම්කරුවන් කාටලයක් ලෙස ක්‍රියාකර වෙන්දේසියේ ආන්තික මිල 'නියම මිලට වඩා' ඉහළ දැමූ විටය. දැන් අපි මේ තත්ත්වය උදාහරණයක් ඇසුරෙන් විමසා බලමු.

දෙවන දිනයේ සාර්ථකත්වය මත උද්දාමයට පත්වන A, B, C, D හා E කාටලයක් ලෙස ක්‍රියාත්මක වෙමින් තමන්ගේ ලාභ තවත් වැඩි කර ගැනීමේ අරමුණින් තෙවන වෙන්දේසියේදී ලන්සු මිල රුපියල් 86 දක්වා පහත හෙළයි. දැන් වෙන්දේසියේ ආන්තික මිල වෙන්නේත්, රජයට ලැබෙන සාමාන්‍ය මිල වෙන්නේත් මේ මිලයි. මේ මිල අවශ්‍ය පමණට වඩා අඩුයැයි සිතන මහ බැංකුව වෙන්දේසිය අවලංගු කර අපේ උදාහරණයේ දෙවන දින බරිත සාමාන්‍ය මිල (මෙන්ම ආන්තික මිලද) වූ රුපියල් 90 බැගින් සෘජු ක්‍රමයට සුරැකුම්පත් විකිණීමට උත්සාහ දරයි. මේ අවස්ථාවේදී මහ බැංකුවට එය කළ හැකිය.

මහ බැංකුව විසින් ලන්සු මිල ඕනෑවට වඩා අඩුවීමේ පදනම මත තෙවන දින වෙන්දේසිය අවලංගු කිරීමෙන් පසුව, මිල කෘතීම ලෙස පහත හෙලීම පාලනය වෙයි. එහෙත්, වෙන්දේසි ක්‍රමය වෙනස් වී නැති නිසා පළමු දින අත්දැකීම අනුව ලන්සුකරුවන් තවදුරටත් ලන්සු තබන්නේ පළමු දිනයේදී කළාක් මෙන් තමන්ගේ ආවස්ථික පිරිවැය මත පදම්නම්ව තමන් ගෙවන්නට කැමති ඉහළම මිල (willingness-to-pay) ලන්සුවක් ලෙස ඉදිරිපත් කරමින් නොවේ. දෙවන දින කළාක් මෙන් වෙන්දේසියේ ආන්තික මිල ලෙස මහ බැංකුව පිළිගනු ඇතැයි සිතන මිල අනුමාන කරමිනි. (මෙහි මා පළමු දින, දෙවන දින ආදී ලෙස විස්තර කළත්, ප්‍රායෝගිකව මෙහි විස්තර කර ඇති අදියරක් සම්පූර්ණ වීමට සති හෝ මාස ගණනාවක් ගතවිය හැකි අතර මේ එක් එක් අදියර කරා එක් වරම නොව ටිකින් ටික ළඟා වී අවසානයේ මෙහි 'දිනයක්' ලෙස විස්තර කෙරෙන සමතුලිතතාව කරා පැමිණෙනු ඇත.)

උදාහරණයක් ලෙස ඉහත උදාහරණයේ මහ බැංකුව 'කැමති' ආන්තික මිල රුපියල් 90 ලෙස සලකමු. පළමු දිනයේදී ඉදිරිපත් කෙරුණු, ලන්සුකරුවන්ගේ අරමුදල් වල ආවස්ථික පිරිවැය මත පදනම් වූ ඔවුන්ගේ ගෙවීමට සූදානම් උපරිම මිල (willingness to pay) පහත පරිදිය.

A  110
B  105
C 100
D 95
E 90
F 85
G 80
...
...

වෙන්දේසියේ සුරැකුම්පත් සැපයුමහෙවත් රජයේ ණය ඉල්ලුම රුපියල් මිලියන 500ක්නම් සහ එම ප්‍රමාණය වෙනස් නොවේනම් ආන්තික මිල තීරණය කරන්නේ E විසිනි. යම් හෙයකින් සියළුම ආයතන විසින් තමන් ගෙවීමට කැමති උපරිම මිල ඉදිරිපත් කරද්දී E විසින් එසේ නොකර රුපියල් 86 ක් ලන්සු තැබුවොත් ආන්තික මිල වන්නේ එම රුපියල් 86ක මුදලයි. තමන්ට අවශ්‍ය වූ රුපියල් මිලියන 500ක මුළු අරමුදල් ප්‍රමාණයම සොයාගැනීමට අවශ්‍යනම් මහ බැංකුවට වෙන්දේසියේ මිල 'නියම මිල' වූ රුපියල් 90 සිට රුපියල් 86 දක්වා පහත හෙලන්නට සිදුවේ. එහෙත් සෘජු/වෙන්දේසි මිශ්‍ර ක්‍රමය යටතේ මහ බැංකුව එසේ නොකරයි. ලැබී ඇති ලන්සු අනුව, මහ බැංකුවට අවශ්‍ය මිල වන රුපියල් 90 ට රුපියල් මිලියන 500ක සුරැකුම්පත් විකිණිය නොහැකිනම් මහ බැංකුව විසින් කරන්නේ මිල පහත හෙලීම වෙනුවට නිකුත් කරන සුරැකුම්පත් ප්‍රමාණය රුපියල් මිලියන 400 දක්වා සීමා කර මිල තමන්ට අවශ්‍ය මට්ටමේම පවත්වා ගැනීමයි.

මෙසේ කළ විට රජයට ලැබෙන අරමුදල් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා රුපියල් මිලියන 100ක් අඩු වුවත් සෘජු ක්‍රමයෙන් ඒ අඩුව පුරවාගත හැකිය. යම් හෙයකින් එසේ කළ නොහැකිනම් වෙන්දේසියේ ලන්සු එදින වෙළඳපොළ ඉල්ලුම නිවැරදිව පෙන්නුම් කරන 'නියම ලන්සු' බව මහ බැංකුව විසින් තේරුම් ගෙන තමන්ගේ අපේක්ෂිත මිල අවශ්‍ය පරිදි සීරුමාරු කරගනී.

යම්හෙයකින් මෙතෙක් විස්තර කළ කරුණු අනුව පැහැදිලි කළ නොහැකි හේතුවකට අනෙක් ලන්සුකරුවන් තමන්ගේ සැබෑ මිල ලන්සු තබද්දී G විසින් තමන්ගේ සැබෑ මිල වන රුපියල් 85 වෙනුවට රුපියල් 95ක වැඩි මිලක් ලන්සු තැබුවේයැයි සිතමු. දැන් මහ බැංකුව විසින් හරියටම රුපියල් මිලියන 100ක සුරැකුම්පත් නිකුත් කළොත් රජයට බලාපොරොත්තු වූ මුදලට වඩා වැඩි මුදලක් ලැබේ. ආන්තික මිල මහ බැංකුවේ අපේක්ෂිත මිල වූ රුපියල් 90 ඉක්මවා රුපියල් 95 දක්වා ඉහළ යයි. මෙය රජයට වාසිදායක වුවත් ඵලදා අනුපාතික මෙපමණ පහත වැටීම මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සමඟ ගැටෙන්නට පුළුවන. එමෙන්ම,  වෙන්දේසියේ ඵලදා අනුපාතික අඩු වී ඇති අවස්ථාවේ වැඩි අරමුදල් ප්‍රමාණයක් 'අනාගතය වෙනුවෙන්' හොයාගෙන තිබීම රජයටද උපක්‍රමික වශයෙන් වාසිදායකය. මෙහි කියන 'අනාගතය' ඊළඟ වෙන්දේසිය වැනි කෙටිකාලීන අනාගතයක් මිස දිගුකාලීන අනාගතයක් නොවේ. මේ හේතු නිසා මෙවැනි විටක මහ බැංකුව විසින් කරන්නේ නිකුතුව රුපියල් මිලියන 600 දක්වා 20%කින් ඉහළ දමා මිල තමන්ට අවශ්‍ය මට්ටමේ පවත්වා ගැනීමයි.

මේ උදාහරණ වලින් පෙනෙන පරිදි වෙන්දේසි/සෘජු මිශ්‍ර ක්‍රමයක් පවතින විට එක් එක් වෙන්දේසියේ ආන්තික මිල තීරණය වන්නේ ලන්සුකරුවන් අතර ඇති වන තරඟය මඟින් නොවේ. මහ බැංකුවේ අපේක්ෂිත මිල අනුවය. ඉල්ලුම වෙනස් වන විට මහ බැංකුව විසින් සැපයුම වෙනස් කරමින් මිල තමන්ට අපේක්ෂිත මට්ටමේ පවත්වාගනී. මෙසේ කිරීමේදී, හරියටම මහ බැංකුවේ අපේක්ෂිත මිල මට්ටමේදී ඉල්ලුම හා සැපයුම සමාන නොවන නිසා රජයට අරමුදල් හිඟයක් හෝ අතිරික්තයක් ඇතිවේ. බොහෝ විට ඇතිවන්නේ හිඟයකි. මහ බැංකුව විසින් තාවකාලිකව රාජ්‍ය සුරැකුම්පත් විකිණීමෙන්/මිලදී ගැනීමෙන් හෝ තමන්ගේ පාලනය යටතේ ඇති සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයක් ඒ සඳහා යොදාගැනීමෙන් මේ වෙනස නිශේධනය කර ගත හැකිය. කෙසේ වුවද, දිගුකාලීනව මහ බැංකුවට වෙළදපොළ ඉල්ලුම නොසලකා තමන්ගේ අපේක්ෂිත මිල නියම කළ නොහැකිය. මහ බැංකුවට කළ හැක්කේ එක් එක් වෙන්දේසියේදී මේ මිල 'අනවශ්‍ය මට්ටමට' උච්ඡාවචනය වීම වලකා පොලී අනුපාතික වල කාලයත් සමඟ සිදුවන වෙනස්වීම් සුමට කිරීම පමණි.

දැන් ඉහත විස්තර කළ පරිදි නිශ්චිත දිනයක වෙන්දේසියේ ආන්තික මිල අවසාන වශයෙන් තීරණය කරන්නේ මහ බැංකුව විසිනි. මේ ආන්තික මිල ආසන්නයේම ඊට වඩා යාන්තමින් වැඩි ලන්සු තබන ආයතන වලට විශාල ලාභයක් ක්ෂණිකවම ලැබෙන අතර මිල ඕනෑවට වඩා වැඩි වුනොත් ක්ෂණිකවම විශාල අලාභයක් සිදු වේ. ලන්සුව ආන්තික මිලට ආසන්න කිරීමට ගොස් එය ආන්තික මිලට වඩා යාන්තමින් වැඩිවුවහොත් සුරැකුම්පත් කිසිවක් හිමි නොවන නිසා ලාබ හෝ පාඩු කිසිවක් නොමැත.

මේ තත්ත්වය යටතේ රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියට ලන්සු තබන ආයතනකට මහ බැංකුව විසින් අපේක්ෂා කරන ආන්තික මිල අනුමාන කරන්නට සිදුවේ. සෑම ලන්සුකරුවෙකුටම මෙය නිවැරදිව කළ නොහැකිය. ඒ නිසා ලන්සු සියල්ල ඉහත උදාහරණයේ දෙවන දිනයේ මෙන් හරියටම මහ බැංකුවේ අපේක්ෂිත මිල මට්ටමේ නවතිනු වෙනුවට ඒ වටා කිසියම් පරාසයක පැතිර පවතී. 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී සිදුවී ඇත්තේද මෙවැන්නකි. ඒ ගැන වැඩි විග්‍රහයක් අපි පසුවට තබමු.