Showing posts with label විභව දළ දේශීය නිෂ්පාදිතය. Show all posts
Showing posts with label විභව දළ දේශීය නිෂ්පාදිතය. Show all posts

Sunday, February 24, 2019

සංචිත අනුපාතය තවත් පහළට...


පසුගිය සතියේ පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රැස්වීමේදී, මාර්තු 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වාණිජ බැංකු වල තැන්පතු මත වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5% දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මීට පෙර පසුගිය වසර අවසානයේදී මේ අනුපාතය 7.5% මට්ටමේ සිට 6% මට්ටම දක්වා අඩු කළා. මා හිතන විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉතිහාසයේ කිසි දිනක 5% මට්ටමට අඩු කර නැහැ.

වාණිජ බැංකු වල තිබෙන තැන්පතුකරුවන්ගේ මුදල් වලින් යම් අවම ප්‍රතිශතයක් ණය සේ නැවත නිකුත් නොකර මහ බැංකුවේ රඳවා තැබිය යුතුයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියා කියන්නේ එයටයි. මේ අනුපාතය පාලනය කිරීම මගින් රටේ මුදල් සැපයුම පාලනය කළ හැකියි.

බැංකු වලින් ණය සේ නිකුත් කරන මුදල් වලින් වැඩි ප්‍රමාණයක් කවුරු හෝ විසින් වියදම් කරන නිසා නැවතත් බැංකු පද්ධතිය තුළටම ආපසු එනවා. එවිට බැංකුවකට එම මුදල් නැවතත් ණය සේ නිකුත් කළ හැකියි. මේ අනුව, එකම රුපියල බැංකු විසින් කිහිප වරක්ම ණය සේ නිකුත් කරනවා. මෙය හඳුන්වන්නේ මුදල් ගුණනය කිරීම ලෙසයි. මහ බැංකුව විසින් නිකුත් කරන රුපියලක් හේතුවෙන් රටේ මුදල් සැපයුම කොපමණ ඉහළ යනවාද කියන එක තීරණය වන්නේ මේ ආකාරයට මුදල් ගුණනය වන අනුපාතය හෙවත් මුදල් ගුණකය මතයි. මුදල් ගුණකය තීරණය වන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මතයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ මුල් කාලයේදී මහ බැංකුවට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමිය හැකි අවම සීමාවක් තිබුණා. ඒ අනුව, මුල් කාලයේදී, බැංකු ජංගම ගිණුම් ශේෂයෙන් 10%ක් හා ඉතිරි කිරීම් ගිණුම් ශේෂයෙන් 5%ක් හෝ මහ බැංකුව විසින් නියම කරන ඊට වඩා වැඩි අනුපාතයක් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාපිත තැන්පතු සේ රඳවන්න වාණිජ බැංකු වලට සිදු වුනා.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක් කියන එකෙන් අදහස් වෙන්නේ වාණිජ බැංකුවක් වෙත තැන්පතු සේ පැමිණෙන රුපියල් 100කින් ණය සේ නිකුත් කළ හැක්කේ රුපියල් 90ක් පමණක් බවයි. මේ ණය නැවතත් තැන්පතුවක් සේ බැංකු පද්ධතිය තුළට පැමිණි විට එයින් 90% එනම් රුපියල් 81ක් නැවතත් ණය සේ නිකුත් කළ හැකියි. මේ ක්‍රියාවලිය කෙළවර වෙන්නේ රුපියල් 100 මෙන් කිහිප ගුණයක් ණය සේ නිකුත් කිරීමෙන් පසුවයි.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10% සිට 5% දක්වා පහත හෙළූ විට පළමු වටයේ නිකුත් කරන ණය ප්‍රමාණය රුපියල් 95 දක්වාත්, දෙවන වටයේදී රුපියල් 90.25 දක්වාත් ආදී වශයෙන් ඉහළ යනවා. ඒ කියන්නේ මුදල් ගුණකය ඉහළ යනවා.

රටක ආර්ථිකයට අළුත් මුදල් නිකුත් කිරීමේ හැකියාව තිබෙන්නේ මහ බැංකුවටයි. එය අපි සල්ලි අච්චු ගැහීම කියා හඳුන්වනවා. ඒ ක්‍රියාවලිය ගැන මා වරින් වර විස්තර කර තිබෙනවා. මේ විදිහට මහ බැංකුව විසින් අලුතින් නිකුත් කරන මුදල් රටේ බැංකු පද්ධතිය විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා ගුණනය කරන නිසා, මහ බැංකුව අච්චු ගහන සෑම රුපියලකින්ම මුදල් සැපයුම රුපියල් ගණනාවකින් ඉහළ යවනවා. උදාහරණයක් විදිහට මුදල් ගුණකය 5නම් මහ බැංකුව රුපියල් බිලියනයක් අච්චු ගැසූ විට මුදල් සැපයුම රුපියල් බිලියන 5කින් ඉහළ යනවා. මුදල් ගුණකය 7නම් මහ බැංකුව රුපියල් බිලියනයක් අච්චු ගැසූ විට මුදල් සැපයුම රුපියල් බිලියන 7කින් ඉහළ යනවා.

මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළූ විට වාණිජ බැංකු වලට මහ බැංකුවේ සංචිත සේ රඳවා තිබුණු මුදල් බිලියන ගණනක් නිදහස් කරගන්න ලැබෙනවා. ඉන් පසු එම මුදල් ණය සේ නිකුත් කිරීමත්, ඒ ණය නැවත බැංකු පද්ධතියට ආපසු පැමිණි විට නැවත නැවතත් නිකුත් කිරීමත් හරහා රටේ මුදල් සැපයුම ඉහළ යනවා. මෙහිදී මහ බැංකුව විසින් අළුතින් මුදල් අච්චු ගැහීමක් සිදු නොවුනත්, දැනට නිකුත් කර තිබෙන මුදල් ප්‍රමාණය ඉහළ අනුපාතයකින් ගුණනය වීම නිසා මුදල් සැපයුම ඉහළ යනවා. එහි බලපෑම උද්ධමනකාරී එකක්.

මේ වෙලාවේ මේ ආකාරයට මුදල් සැපයුම ඉහළ යවන්න මහ බැංකුව පෙළැඹී තියෙන්නේ රටේ දළ ජාතික නිෂ්පාදිතය එහි විභව මට්ටමෙන් පහළට වැටී තිබීම මත පදනම්වයි. 2009දී සිවිල් යුද්ධය අවසන් වීමට ආසන්න කාලයේ හා එයින් පසුව ලංකාවේ ආර්ථික වර්ධනය එහි විභව මට්ටම ඉක්මවා ඉහළ ගියා. එවිට, එය ස්වභාවිකවම නැවත නියම පථයට වැටිය යුතුයි. 2013 පමණ සිට එය සිදු වුණා. නමුත්, මේ වන විට එම ස්වභාවික නිවැරැදි වීමෙන් නොනැවතී ආර්ථික වර්ධනය එහි විභව මට්ටමද ඉක්මවා පහත වැටී තිබෙනවා.

(Image: https://www.peakprosperity.com/blog/86445/money-creation-banks-crash-course-chapter-7)

Tuesday, August 14, 2018

ව්‍යාපාර චක්‍ර (පළමු කොටස)

ධනවාදී ආර්ථිකයක් දිගුකාලීනව කිසියම් නියත වේගයකින් (එහි ශක්‍ය වර්ධන වේගයෙන්) වර්ධනය වන අතරතුරේදී වරින් වර, චක්‍රීය ලෙසට මේ රේඛීය වර්ධන පථයෙන් අපගමනය වන බවත්, එසේ අපගමනය වීමෙන් අනතුරුව නැවතත් ස්වභාවිකවම පුරුදු පාරට ආර්ථිකය වැටෙන යාන්ත්‍රණයක් තිබෙන බවත් සියවසකට පමණ පෙර සිටම නිරීක්ෂණ ඇසුරින් දැන සිටි හා ප්‍රවාදගත කළ දෙයක්. මේ චක්‍රීය අපගමනය වීම හඳුන්වන්නේ ව්‍යාපාර චක්‍ර වශයෙනුයි. මෙය පැහැදිලි කෙරෙන රූප සටහනක් පහත තිබෙනවා.


ඉහත රූප සටහනේ නිල් පාට ඊතලයකින් ලකුණු කර තිබෙන ඉහළට යොමු වුණු ප්‍රවණතාවයෙන් පෙන්වන්නේ ආර්ථිකයේ දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගයයි. විභව වර්ධන වේගය කියා කියන්නේ මෙයටයි. 

කෙසේ වුවත්, රූප සටහන දෙස බැලූ විට පැහැදිලි වන පරිදි මේ විභව ආර්ථික වර්ධන වේගයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් වර්ධනය වන අවස්ථා මිස හරියටම ඒ වේගයෙන් වර්ධනය වන අවස්ථා නැති තරම්. ඒ නිසා, කිසියම් මොහොතක රටක "තිබිය යුතු දළ දේශීය නිෂ්පාදිතය", එහෙමත් නැත්නම් විභව දළ දේශීය නිෂ්පාදිතය හා ඇත්තටම තිබෙන දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනසක් තිබෙනවා. මේ වෙනස නැත්නම් පරතරය නිපැයුම් පරතරය ලෙස හඳුන්වන්න පුළුවන්. 

අර්ථදැක්වීම අනුවම විභව දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ සාමාන්‍ය අගයක් නිසා නිපැයුම් පරතරයේ ධන හා සෘණ අපගමනයන් දිගුකාලීනව සමතුලිත විය යුතුයි. ඒ කියන්නේ ධන පැත්තට හෝ සෘණ පැත්තට අපගමනය වීමෙන් පසුව එහි අනිත් පැත්තත් සිදු වී නැවත කලින් පාරටම වැටිය යුතුයි. එහෙම වෙන්නේ නැත්නම්, අප විභව දළ දේශීය නිෂ්පාදිතය ගණනය කළ විදිහ නිවැරදි වෙන්න බැහැ. 

ඒ වගේම ව්‍යාපාර චක්‍රයක එක කොටසකදී ආර්ථිකය සාමාන්‍ය වේගයට වඩා වේගයෙන් වර්ධනය වෙනවා. තවත් කොටසකදී ආර්ථිකය හැකිලෙනවා. එසේ නැත්නම් සාමාන්‍ය වේගයට වඩා අඩු වේගයකින් වර්ධනය වෙනවා. 

වර්ධන වේගය කියන්නේ මේ වගේ ප්‍රස්ථාරයක පෙන්වන රූප සටහනේ බෑවුම. සරල රේඛීය ප්‍රස්ථාරයක බෑවුම නියත බව අප දන්නා දෙයක්. ඒ නිසා, මේ රූප සටහනේ පෙන්වන විභව ආර්ථික වර්ධන වේගය නියතයක්. නමුත්,  උඩ රූප සටහනේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය නිරූපණය කරන ආකාරයේ නිර්-රේඛීය වක්‍රයක බෑවුම නියත නැහැ. එයත් චක්‍රීය ලෙස වෙනස් වෙනවා. A සිට C දක්වා කොටසේදී බෑවුම තිබෙන්නේ පහළටයි. C සිට A දක්වා බෑවුම ඉහළටයි. 

වැඩිමනත් දෙයක් ලෙස, ගණිතය තරමක් ඉහළට හැදෑරූ අය දන්නා පරිදි මේ වගේ වක්‍රයක ශ්‍රිතය අවකලනය කළාම එහි බෑවුමේ ශ්‍රිතය ලැබෙනවා. සයින් වක්‍රයක් අවකලනය කළාම ලැබෙන්නේ කෝසයින් (කොස්) වක්‍රයක්. කෝසයින් වක්‍රයක් කියන්නේ කාල පමාවක් සහිතව පුනරාවර්තනය වන සයින් වක්‍රයක් වගේම එකක්. මේ කොටස බර වැඩිනම් අමතක කරලා දමන්න. කතාව තේරුම් ගන්න මේ කොටස අවශ්‍ය නැහැ.

කොහොම හරි මෙහි වැදගත් කරුණ වන්නේ වක්‍රය සෘණ හෝ ධන වීමත්, වක්‍රයේ බෑවුම සෘණ හෝ ධන වීමත් කියන්නේ දෙකක් බවයි. ඒ අනුව, අපට මේ රූප සටහනේ දැකිය හැකි චක්‍රීය රටාවේ කොටස් හතරක් හඳුනාගත හැකියි.

අදියර 1: A සිට B දක්වා: වක්‍රය ධන බෑවුම (අවකල ශ්‍රිතය) සෘණ 
අදියර 2: B සිට C දක්වා: වක්‍රය සෘණ බෑවුමත් සෘණ
අදියර 3: C සිට D දක්වා: වක්‍රය සෘණ එහෙත් බෑවුම ධන
අදියර 4: D සිට A දක්වා: වක්‍රය සෘණ බෑවුමත් සෘණ

දැන් මෙහි තිබෙන්නේ ගණිතමය පැහැදිලි කිරීමක්. මේ වගේ කතාවක් ඔය හැඩයේ ඕනෑම වක්‍රයක් හා අදාළව කියන්න පුළුවන්. නමුත්, අපිට වැදගත් වෙන්නේ මේ කතාව ආර්ථික වර්ධනයට අදාළ වන ආකාරයයි. මෙහි වක්‍රයේ උසෙන් පෙන්වන්නේ කිසියම් අවස්ථාවක රටේ දළ දේශීය නිෂ්පාදිතය. එහි බෑවුමෙන් පෙන්වන්නේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන වේගය. මේ දෙක එකිනෙකට සම්බන්ධ වුවත් වෙනස් කරුණු දෙකක්. 

අදියර 1: A සිට B දක්වා: ආර්ථිකය පසු බෑමකට ලක් වෙමින් තිබුණත්, නිමැවුම් පරතරය ධන එකක්. ඒ ධන පරතරය අඩු වෙන එකයි වෙමින් තියෙන්නේ. මේ වෙලාවේ සිදුවෙමින් තිබෙන්නේ සිදු විය යුතු නිවැරදි වීමක් නිසා ආර්ථික වර්ධනය අඩු වුණත් කලබල වෙන්න දෙයක් නැහැ. මේ නිවැරදි වීමෙන් දිගුකාලීනව සිදුවන්නේ යහපතක්.

අදියර 2: B සිට C දක්වා: ආර්ථිකය පසු බෑමකට ලක් වෙමින් තිබෙන අතරම, සෘණ නිමැවුම් පරතරයක් වර්ධනය වෙමින් තිබෙනවා. දැන් සිදු වෙමින් තිබෙන්නේ සමතුලිතතාවයෙන් ඈතට ආර්ථිකය ගමන් කිරීමයි. මෙය සැලකිලිමත් විය යුතු කරුණක්.

අදියර 3: C සිට D දක්වා: ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන නමුත් තවමත් තිබෙන්නේ සෘණ නිමැවුම් පරතරයක්. ඒ සෘණ පරතරය අඩු වෙන එකයි වෙමින් තියෙන්නේ. දැන් සිදු වෙමින් තිබෙන්නේ සමතුලිතතාවය දෙසට ආර්ථිකය ගමන් කිරීමයි. හොඳ තත්ත්වයක්.

අදියර 4: D සිට A දක්වා: ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර සමතුලිත මට්ටම ඉක්මවා ධන නිමැවුම් පරතරයක් ගොඩ නැගෙමින් තිබෙනවා. ආර්ථික දර්ශක බොහොමයක් ඉතා හොඳ තත්ත්වයක් පිළිබිඹු කළත් මේ තියෙන තත්ත්වය ස්ථාවර එකක් නෙමෙයි. නිමැවුම් පරතරය ඉහළ ගිය තරමට එය ස්වභාවිකව නිවැරදි වන විට සිදුවිය හැකි හානියත් වැඩියි.

පැහැදිලි කිරීමේ පහසුවට උඩ පළමු රූප සටහනේ සුමට සයින් වක්‍රයක් වගේ එකක් ඇඳල තිබුණත් සැබෑ දත්ත දෙස බැලුවහම ඔය වගේ සුමට වක්‍රයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔය සයින් වක්‍රය වගේ එක මේ සංකල්පය පැහැදිලි කිරීමේ පහසුවට ගොඩක් අය යොදාගන්න එකක් පමණයි. විභාගයකට පිළිතුරු ලිවීමේදී එවැන්නක් යොදා ගැනීම ප්‍රශ්නයක් නොවූවත්, ආර්ථිකය කළමණාකරණය කරන කෙනෙක් එයින් ඔබ්බට ගිහින් මේ වක්‍රයේ හැසිරීම වඩා හොඳින් තේරුම් ගත යුතුයි.

සැබෑ වක්‍රය කරුණු කිහිපයක් නිසාම ඉහත වක්‍රයෙන් වෙනස් වෙනවා. පළමුව, මේ වක්‍රයේ සංඛ්‍යාතය එහෙමත් නැත්නම් වක්‍රයක් සම්පූර්ණ වීමට යන කාලය හරියටම නියතයක් නෙමෙයි. එය විශාල ලෙස අඩු වැඩි වෙනවා. දෙවනුව, ආර්ථිකයක් වර්ධනය වන වේගය වගේ හතරපස් ගුණයක වේගයෙන් එය කඩා වැටෙනවා. ඒ නිසා, දිගුකාලීනව ආර්ථිකයක් A සහ C අතර, එනම් පළමු හා දෙවන අදියර වල සිටිනවා වගේ හතර ගුණයක පමණ කාලයක් C සහ A අතර, එනම් තෙවන හා සිවුවන අදියර වල සිටිනවා. තෙවනුව, මේ වෙනස් වීම් උඩ රූපසටහනේ වගේ සුමටව සිදු නොවන නිසා බොහෝ අවස්ථා වලදී අප සිටින්නේ කුමන අදියරේද කියන එක නිර්ණය කරන්න අපහසුයි. ඒ නිසා, මේ කියපු කතා සියල්ල දන්න අය අතර වුවත් ආර්ථිකයේ පවතින තත්ත්වය පිළිබඳව එකඟ නොවීම් තිබෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 1961-2005 අතර කාලය තුළ විචලනය වූ ආකාරය ඇසුරෙන්, විභව ආර්ථික වර්ධන වේගය 4.5%ක් ලෙස සලකමින් පිළියෙල කර තිබෙන පහත රූප සටහන දිහා බැලුවහම මුලින් විස්තර කිරීම සඳහා යොදාගත් රූප සටහනේත්, සැබෑ දත්ත මත පදනම් වූ රූප සටහනකත් වෙනස දැක ගත හැකියි. ඒ වුණත්, මේ වෙනස නිසා ඉහතින් කී කරුණු කිසිවක් වෙනස් වන්නේ නැහැ.



ධනවාදී ආර්ථිකයක් කවර හෝ හේතුවක් නිසා එහි දිගුකාලීන පථයෙන් ඔබ්බට අපගමනය වුනාම නැවත ස්වභාවිකවම නිවැරදි පථයට ආපසු පැමිණෙන යාන්ත්‍රනය කුමක්ද? මේ වගේ වෙලාවක මුදල් ප්‍රතිපත්ති වලින් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලින් සිදුවන කාර්ය භාරය කුමක්ද? මේ කරුණු අපි දෙවන කොටසකට ඉතිරි කරමු.