Saturday, December 3, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහහතරවන කොටස)

පසුගිය කොටස අවසන් වෙද්දී මා කියා සිටියේ 2015 පෙබරවාරි 27 බැඳුම්කර වෙන්දේසියට ලන්සු තැබූ ආයතන දහසයෙන් නවයක්ම සිදු කර ඇත්තේ ඔවුන් විසින් අනිවාර්යයෙන්ම කළ යුතු මිලියන සියයේ ලන්සුව තැබීම පමණක් වන බවයි. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ එදින බැඳුම්කර ඉල්ලුම රුපියල් මිලියන සියයකට නොවැඩි වූ බවයි. මේ ඇතැම් අයට එදින වෙන්දේසියෙන් බැඳුම්කර මිල දී ගන්නට කිසිම උවමනාවක් නොතිබෙන්නට ඇත.

කෙසේවුවද, රුපියල් බිලියන 10ක බැඳුම්කර වෙළඳපොලට අළුතින් එකතු වූ විට එමඟින් ද්වීතියික වෙළඳපොළ පොලී අනුපාතික මත වන බලපෑම සහ රුපියල් බිලියනයකින් වන එම බලපෑම සමාන නැත. ඒ නිසා, රුපියල් බිලියනයක බැඳුම්කර වෙන්දේසියකින් බැඳුම්කර ගන්නට ඉදිරිපත් නොවූ පමණින්, වෙන්දේසිය බිලියන දහයක් වීනම් ඉල්ලුමද එසේම පවතීයැයි උපකල්පනය කිරීම තරමක් දැඩි උපකල්පනයකි. ඒ නිසා අපි මෙහි වෙනත් පැතිද සලකා බැලිය යුත්තෙමු.



මුළු ලන්සු ප්‍රමාණය අවමය නොඉක්මවූවන්ගේ ලන්සු වල මිල දෙසද අප විසින් අවධානය යොමු කළ යුතුය. ලන්සු ප්‍රමාණය අවමය වීමට අමතරව මේ අවම රුපියල් මිලියන සියයට බැඳුම්කර ඉල්ලන්නේද ඉතාම අඩු මිලකට 'කුණු කොල්ලයටනම්' එයින් පැහැදිලිවම පෙනෙන්නේ මේ ලන්සු බැඳුම්කර ගන්නට නොව නොගන්නට තැබූ ලන්සු බවයි. කොමර්ෂල් බැංකුව හා යුනියන් බැංකුව වැනි ආයතන හා අදාළව මේ තත්ත්වය ඉතා පැහැදිලිය. ඔවුන්ගේ ලන්සු බැඳුම්කර නොගන්නට 'නමට තැබූ' ලන්සු වන අතර ඔවුන් ඉදිරිපත් කළ ඉහළම මිල ගණන් පවා කෙතරම් අඩුද යත් බැඳුම්කර ප්‍රමාණය දහගුණයකින් ඉහළ දමනු ලැබුවද (ඔවුන් අපේක්ෂා කළ පරිදිම) ඔවුන්ගේ ලන්සු පිළිගැනී නැත. යම් හෙයකින් බැඳුම්කර ප්‍රමාණය බිලියන දහයක් බව දැන සිටියේ වුවද මේ ආයතන මීට වඩා ඉහළ මිලකට ලන්සු තැබීමේ ඉඩක් නොපෙනේ.

ඉහත තර්කය මිලියන සියයේ කුඩාම ලන්සුව තැබූ සෑම ආයතනයක්ම හා අදාළව එකසේ යෙදිය නොහැක්කකි. මිලියන සියයේ ලන්සු තැබූ අනෙකුත් ආයතන අතර සාපේක්ෂව වැඩි ලන්සු තැබූ අයද, අතරමැද ලන්සු තැබූ අයද සිටිති. වෙන්දේසිය අවසන් වීමට නියමිත වේලාවෙන්ද විනාඩි කිහිපයකට පසුව රුපියල් මිලියන සියයේ අනිවාර්යය ලන්සුව 90.18ක අතරමැදි මිලකට තබන එච්එස්බීසී (හොංකොං ෂැන්හයි බැංකුව) ලන්සු තබා ඇත්තේ මෙවැනි 'අතරමැදි' මිලකි. [මෙයින් පැහැදිලි වන තවත් කරුණක් වන්නේ වෙන්දේසිය විනාඩි ගණනකින් කල් තැබීම එච්එස්බීසී ආයතනය විසින් මහ බැංකුවේ රෙගුලාසි අනුව තැබිය යුතු අවම ලන්සුව ලබා ගැනීමේ අරමුණින් කළ දෙයක් බවයි. ඒ සඳහා ඉඩ නොදුන්නේනම් එවැන්නක් 'සිස්ටම් එකේ අවුලක්' ඇති කිරීමට ඉඩ තිබේ. රථවාහන පොලීසියේ නිලධාරීන් කරනවාක් මෙන් වැරදි වෙන්නට ඉඩ හැර දඩ කොළ ලිවීම වෙනුවට වැරැද්ද සිදුවන්නට නොදී වලක්වා ගැනීමට හැකිනම් එය කළ යුතුය. මහ බැංකුව විසින් කර ඇත්තේ එයයි. මෙය එදින  පමණක් සිදු වූ අසාමාන්‍ය දෙයක්ද නොවේ.]

වෙන්දේසියේ පිළිගැනෙන බැඳුම්කර ප්‍රමාණය දහගුණයකින් වැඩි වී එහි ආන්තික (cutoff) මිල හරියටම 90.18 මට්ටමට පැමිණීම නිසා එච්එස්බීසී ආයතනයේ එකම ලන්සුව 'යාන්තමින්' පිළිගැනිණි. ඒ නිසා එච්එස්බීසී ආයතනයට ක්‍ෂණිකව විශාල  වාසියක් සැලසුණේය. දහවන කොටස සමඟ පළකර ඇති පස්වන වගුව අනුව එම ආයතනයට ක්ෂණිකව සැලසුණු වාසිය රුපියල් මිලියන 5.8කි. එනම්, දිනකට 5.8%ක ප්‍රතිලාභ අනුපාතිකයකි. මෙය ඉතාම ඉහළ ප්‍රතිලාභ අනුපාතිකයක් බව නොකිවමනාය.  එම මිලටම රුපියල් මිලියන සියයක් ලන්සු තැබූ කැපිටල් එලායන්ස් සමාගමටද ඊට සමාන ලාභයක් හා ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබුණේය. [ඒ මිලට රුපියල් මිලියන 250ක් ලන්සු තැබූ පෑන් ඒෂියා බැංකුවට ඉහත ආයතන දෙක ලැබූ ලාභය මෙන් 2.5 ගුණයක ක්ෂණික ලාභයක් ලැබුණේය. ප්‍රතිලාභ අනුපාතිකය සමානය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ක්ෂණික ලාභය මීට වඩා බොහෝ වැඩි වුවත්, එම ආයතනයේ ප්‍රතිලාභ අනුපාතිකය ඉහත ආයතන තුනේ එම අනුපාතයට වඩා අඩුය.]

එච්එස්බීසී හා කැපිටල් එලායන්ස් ආයතන වලට මෙවැනි ලාභයක් ලැබුණේ ඔවුන් වෙන්දේසියේ තීරණාත්මක මිල හරියටම අනුමාන කළ නිසාද? එය එසේයැයි මා සිතන්නේ නැත. එවැනි දැනුමක් තිබුණේනම් ඔවුන් මීට වඩා වැඩි මුදලක් ලන්සු තබන්නට උත්සාහ දරන්නට ඉඩ තිබේ. ඒ නිසා මා හිතන්නේ මේ ලන්සුද, තීරණාත්මක මිල මෙතරම් පහතට නොවැටෙනු ඇතැයි යන විශ්වාසයෙන් 'නොගන්නට' තැබූ
අඩු ලන්සු බවයි. එසේනම්, බැඳුම්කර නිකුතුව වඩා විශාල වූ විකල්පයකදී ඔවුන් ඉදිරිපත් කරනු ඇත්තේ මීටත් වඩා අඩු මිල ලන්සු විය හැකිය. අනෙක් අතට, වෙන්දේසියෙන් ලාභ ලැබිය හැකි බව දැන සිටියේනම් එසේ නොකළේ ඔවුන්ට එදින මීට වඩා අරමුදල් සොයාගැනීමේ කිසිදු හැකියාවක් නොතිබුණු නිසා වන්නටද පුළුවන. පිළිතුර මේ දෙකෙන් කුමක් වුවද, බිලියන දහයක බැඳුම්කර විකුණන බව දැන සිටි තත්ත්වයක් යටතේ වුවද මේ ආයතන එදින මීට වඩා වැඩි මිලකට, වැඩි ලන්සු ප්‍රමාණයක් තැබීමේ ඉඩකඩක් නොපෙනේ. ඔවුන් කිසියම් හෙයකින් තවත් ලන්සු තැබුවේනම් එසේ තබනු ඇත්තේ වඩාත් පහළ මිලකටය.

කෙසේ වුවද, රුපියල් 110.95ක මිලට රුපියල් මිලියන සියයක බැඳුම්කර ඉල්ලා සිටි ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම කටයුතු කර ඇති ආකාරය බැලූ විට එම ආයතනය ලන්සු තබා ඇත්තේ 'නොගන්නට' බව කිව නොහැකිය.

කොමර්ෂල් බැංකුව හා යුනියන් බැංකුව විසින් කර ඇති පරිදි 'නොගන්නට' ලන්සු තැබීම හොඳ ක්‍රමෝපායයක් වුවත් මෙවැන්නක් දිගින් දිගටම කිරීම මහ බැංකුවේ 'උදහසට ලක් වීමට' හේතුවක් විය හැකිය. එවැනි තත්ත්වයකදී මේ ආයතන වලට 'දඬුවම් කිරීමට' සෘජු හා වක්‍ර ක්‍රම රැසක් මහ බැංකුව සතුව තිබේ. ඒ නිසා, මේ ආයතන කිසිවක් මහ බැංකුව හමුවේ 'නරක ළමයා' හංවඩුව ගසා ගන්නට කැමති නැත. අතරින් පතර නෝටි වීම හා දිගටම නෝටි වී කාඩ් කුඩු කර ගැනීම එකම නොවේ. ඒ නිසා, අතරින් පතර දවසක කොහෙන් හෝ සල්ලි හොයාගෙන අඩුම ගානේ මිලියන සීයකවත් සුරැකුම්පත් ගන්නට හෝ එසේ ගන්නට අවංකවම උත්සාහ කරන බව පෙන්වන්නට මේ ආයතන වලට අවශ්‍යය.

ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම කටයුතු කර ඇති ආකාරය තේරුම් ගත යුත්තේ ඉහත පදනමිනි. ඒ අනුව, රුපියල් 110.95 ක ඉහළ ලන්සුවක් තබා ඇති ඔවුන් දවස අවසාන වන විට ආයෝජනය කළ රුපියල් මිලියන සීයෙන් රුපියල් මිලියන 15ක් පමණ නැති කර ගෙන තිබේ!

ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම මෙසේ විශාල අලාභයක් ලැබෙන තීරණයක් ගෙන ඇත්තේ ඇයි? ඔවුන් සතු තොරතුරු හා ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාව අනුව ඔවුන් ඇස්තමේන්තු කරන්නට ඇත්තේ වෙන්දේසියේ ආන්තික මිල මේ මට්ටමේ නවතිනු ඇති බවයි. එම ආයතනයට අමතරව තවත් ආයතන කිහිපයක්ම ලන්සු තබා ඇත්තේ ආන්තික මිල රුපියල් 102-104 මට්ටමේ පවතිනු ඇතැයි සිතමිනි. මහ බැංකුව විසින් කලින් දැනුම් දුන් පරිදි රුපියල් බිලියනයක බැඳුම්කර පමණක් නිකුත් කළේනම් හෝ පෙර කර ඇති පරිදි එමෙන් දෙගුණයකට නොවැඩි ප්‍රමාණයක් නිකුත් කළේනම් ඇත්තටම ආන්තික මිල පවතින්නේ මේ පරාසයේය. එහෙත්, මහ බැංකුව බිලියන දහයක් දක්වා ගිය නිසා ආන්තික මිල රුපියල් 90.17 මට්ටමට පහත වැටුණු අතර අධිමිල හෝ සමමිල ලන්සු තැබූ ආයතන වලට ක්ෂණික අලාභයක් විඳින්නට සිදුවිය.

යම් හෙයකින් නිකුතුව රුපියල් බිලියන 10ක් බව දැන සිටියේනම් ඉහත ආයතන වැඩි ගණනක් මෙවැනි ඉහළ ලන්සු නොතබනු ඇත. එසේ වී නම්, රජය වෙත ලැබෙන මුදල තවත් අඩු වනු ඇත!

මේ තර්කයම රුපියල් මිලියන සියයට වඩා වැඩි, එහෙත් රුපියල් බිලියනය නොඉක්මවූ ලන්සු තැබූ ආයතන කරාද දිගු කළ හැකිය. මේ ආයතන රුපියල් මිලියන සියයේ අවමය ඉක්මවා ලන්සු තබා ඇති බැවින් ඔවුන්ට ඔවුන් ලන්සු තැබූ මිලට ලැබේනම් අදාළ බැඳුම්කර ප්‍රමාණ මිල දී ගන්නට ඇත්තටම උවමනාවක් තිබී ඇත. එමෙන්ම, ඔවුන්ගේ මුළු ලන්සු ප්‍රමාණය රුපියල් බිලියනයට අඩු බැවින් ඊට වඩා ඉල්ලුමක් (අතිරික්ත අරමුදල්) තිබී ඇති බවක්ද නොපෙනේ. ඒ නිසා රුපියල් බිලියන දහයක් විකුණන බව දැනුම් දුන්නද බොහෝ විට ඔවුන් වැඩි බැඳුම්කර ප්‍රමාණයක් නොඉල්ලනු ඇත. එමෙන්ම, මේ ආයතන අතරින් දැනටත් අඩු මිල ලන්සු තබා ඇති පෑන් ඒෂියා බැංකුවට අමතරව වැඩි මිල ලන්සු තබා ඇති අනෙකුත් ආයතනද බොහෝ විට වඩා වැඩි ලන්සු තබනු ඇත.

දැන් අපට සලකා බලන්නට ඇත්තේ තවත් ආයතන තුනක් පමණි. ඒ ප්‍රශ්නයට මුල් වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, සේවක අර්ථසාධක අරමුදල සහ සෙලාන් බැංකුවයි. මේ ආයතන ක්‍රියා කර ඇති ආකාරය ගැන ඊළඟ කොටසින් කතා කරමු.

1 comment:

  1. නොහිතපු වෙනම මානයක්.. බොහොම හොඳයි

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.