Showing posts with label රන් සංචිත. Show all posts
Showing posts with label රන් සංචිත. Show all posts

Friday, January 7, 2022

රන් සංචිත වලින් බාගයක්ම විකුණලා!


පසුගිය දෙසැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඉතිරිව තිබුණු රන් සංචිත වලින් 54%ක්ම විකුණා දමා තිබෙනවා. මේ අනුව, මේ වන විට ලංකාව සතු රන් සංචිත ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 175.4ක් පමණයි.

මේ ආණ්ඩුව බලයට පත් වන විට (2019 වසර අවසානයේදී) ලංකාව සතුව තිබුණු රන් සංචිත වල වටිනාකම ඩොලර් මිලියන 954.9ක්. එම සංචිත වලින් විශාල ප්‍රමාණයක් 2019 වසර තුළ විකුණා දැමීමෙන් පසුව 2020 වසර අවසානයේදී ඉතිරිව තිබුණු රන් සංචිත වල වටිනාකම ඩොලර් මිලියන 408.9 දක්වා පහත වැටුනා. පසුගිය (2021) නොවැම්බර් මාසය අවසාන වන විටද මහ බැංකුව සතුව ඩොලර් මිලියන 382.2ක් වටිනා රන් සංචිත තිබුණා. පසුගිය මාසය තුළ එම සංචිත වලින්ද බාගයකටත් වඩා විකුණා දමා තිබෙනවා.

නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 1,588ක් වූ මුළු සංචිත ප්‍රමාණය වසර අවසානය වෙද්දී ඩොලර් බිලියන 3,138 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් වාර්තා කර ඇතත් එසේ සංචිත ඉහළ ගියේ කෙසේදැයි පැහැදිලි කර නැහැ. ඇතැම් විශ්ලේෂකයන් විසින් අනුමාන කර තිබුණේ මාස ගණනාවකට පෙර චීනය සමඟ අත්සන් කළ විණිමය හුවමාරු ගිවිසුම හරහා ලබා ගත හැකි යුවාන් බිලියන දහයේ ඩොලර් වටිනාකම සංචිත වලට එකතු කර මේ ගණන පෙන්වා ඇති බවයි.

චීන යුවාන් පහසුවෙන් ඩොලර් ගෙවීම් සඳහා යොදා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, එම මුදල් ලැබුණත් ඩොලර් ගෙවීම් කිරීම තව දුරටත් ප්‍රශ්නයක් වෙනවා. තවත් සතියකින් පමණ ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 500ක පමණ ස්වෛරිත්ව බැඳුම්කරයක් පියවිය යුතුව තිබෙනවා. යම් හෙයකින් වෙනත් මාර්ගයකින් ද්‍රවශීල ඩොලර් සංචිත බිලියන 1.5ක් ලැබී සංචිත ඉහළ ගියේනම් මහ බැංකුව විසින් ඉතිරිව තිබුණු සොච්චම් රන් සංචිත වලින්ද අඩකට වැඩි ප්‍රමාණයක් මුදල් කළේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මේ අනුව පෙනෙන්නේ ඩොලර් සංචිත ඉහළ යාම සම්බන්ධව ඇතැම් විශ්ලේෂකයන්ගේ අනුමානය නිවැරදි විය හැකි බවයි.