Thursday, November 17, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහවන කොටස)


මා පෙර කොටසේ විස්තර කළ පරිදි, මහ බැංකුව විසින් පෙර දැනුම් දුන් ආකාරයට හරියටම රුපියල් බිලියනයක ලන්සු භාර ගත්තේයැයි සිතමු. එසේනම්, රුපියල් 100ක මුහුණත වටිනාකමක් සඳහා බරිත සාමාන්‍ය මිල වන්නේ රුපියල් 108.09කි. වෙන්දේසියෙන් පසුව, ද්වීතියික වෙළඳපොළ මිල මේ මට්ටමේ හෝ ඉතා ආසන්න මට්ටමක ස්ථාවර වීමේ විශාල ඉඩකඩක් පවතී. එසේ වූ විට මේ මිලට වඩා වැඩි මිලක් ගෙවූ ගැණුම්කරුවන්ට අවාසියක්ද, අඩුවෙන් ගෙවූ අයට ක්ෂණික වාසියක්ද ලැබේ. මේ වාසිය හෝ අවාසිය ලාභ අලාභ ගිණුමට යන සැබෑ (realized) වාසියක් හෝ අවාසියක් වන්නේ ද්වීතියික වෙළඳපොළ මිලට තමන් සතු බැඳුම්කර විකුණුවහොත් පමණි. එසේ විකිණුවේ නැත්නම්, මෙය බැඳුම්කරය විකිණීමේදී සිදුව හැකි (unrealized) වාසියක් හෝ අවාසියකි.

පහත වගුවේ ඇත්තේ මෙසේ හරියටම බිලියනයක ලන්සු භාර ගත්තේනම් එක් එක් ආයතනයට ලංකාවේ වෙන්දේසි ක්‍රමය නිසා ක්ෂණිකව සිදුවන වාසිය හෝ අවාසියයි.



එසේ නොවී, යම් හෙයකින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ විකල්ප යෝජනාව ක්‍රියාත්මක කර බිලියන 2.608ක බැඳුම්කර නිකුත් කළේනම් ඇති විය හැකි තත්ත්වය පහත ඇති සිවු වන වගුවේ තිබේ. එසේ කළේනම් ආන්තික මිල රුපියල් 104.51 සිට 102.21 දක්වාත්, බරිත සාමාන්‍ය මිල රුපියල් 108.09 සිට 104.75 දක්වාත් පහත වැටේ. මා මේ කොටසින් කතා කරන්නේ මෙසේ නිකුත් කරන බැඳුම්කර ප්‍රමාණය වෙනස් කළ විට රජයට සිදුවන අලාභය (හෝ ලාභය) ගැන නොවේ. එවැනි විමසුමක් අපි පසුවට තබමු. මා මේ කොටසින් කතා කරන්නේ වෙන්දේසියට ලන්සු තබන ආයතන වලට එයින් සිදුවන බලපෑම ගැනයි.



දැන් ඉහත තෙවන හා සිවුවන වගු සැසඳීමෙන් අපට මහ බැංකුව නිකුත් කරන බැඳුම්කර ප්‍රමාණය බිලියනයේ සිට බිලියන 2.608 දක්වා වැඩි කළ විට එක් එක් ලන්සුකරුට සිදුවන බලපෑම පෙනේ.

-ලංකා බැංකුවේ අලාභය රුපියල් මිලියන 7.4 සිට මිලියන 24.4 දක්වා තෙගුණය ඉක්මවා වැඩි වේ.
-ඇකුයිටි සිකියුරිටීස් සමාගමේ අලාභය රුපියල් මිලියන 1.96 සිට මිලියන 3.63 දක්වා 85%කින් වැඩි වේ.
-ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගමේ අලාභය රුපියල් මිලියන 2.9 සිට මිලියන 6.2 දක්වා දෙගුණය ඉක්මවා වැඩි වේ.
-එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ලාභය ඉතාම සුළු ලෙස 0.9% කින් වැඩි වේ.
-ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ලාභය රුපියල් මිලියන 1.9 සිට මිලියන 2.8 දක්වා 47%කින් වැඩි වේ.
-සේවක අර්ථසාධක අරමුදලේ ලාභය රුපියල් මිලියන 9.4 සිට මිලියන 26.6 දක්වා තෙගුණයකට ආසන්නව වැඩි වේ.
-කලින් කිසිදු ලාභයක් නොලැබූ මහජන බැංකුවට රුපියල් මිලියන 2.5ක ලාභයක්ද, නැට්වෙස්ට් සිකියුරිටීස් සමාගමට රුපියල් මිලියන 1.3ක ලාභයක්ද ලැබේ.
-අනෙක් ආයතන වල තත්ත්වයේ වෙනසක් නොවේ.

මෙයින් මා පෙන්වන්නට උත්සාහ කරන්නේ ප්‍රාථමික වෙන්දේසියෙන් පසු භාර ගන්නා ලන්සු ප්‍රමාණය අනුව, ලන්සු තැබූ ආයතන වල ලාභ හෝ අලාභ කිහිප ගුණයකින් වෙනස් විය හැකි බවයි. මේ උදාහරණයේ නොපෙනුණත්, මෙසේ ප්‍රමාණය වෙනස් කිරීමෙන් ඇතැම් විට කිසියම් ආයතනයක ලාභයක් අලාභයකට හැරවෙන්නටද පුළුවන. ඒ අනුව, මහ බැංකුව විසින් සිය අභිමතය පරිදි ප්‍රාථමික වෙන්දේසියේ නිකුතුවේ ප්‍රමාණය තීරණය කිරීම තුළ එය කරන අයට අවශ්‍යනම් කිසියම් ආයතනයකට වැඩි වාසියක් හෝ අවාසියක් සිදුවන පරිදි එය කිරීමේ හැකියාවක් තිබේ.

මෙය මහ බැංකුව විසින් එසේ කරන බවට චෝදනාවක් නොවේ. මගේ උත්සාහය වන්නේ මේ ක්‍රමය පාරදෘශ්‍ය නොවන ක්‍රමයක් බව පෙන්වීමයි.

අපේ සාකච්ඡාවට මුල් වූ 2015 පෙබරවාරි වෙන්දේසියේදී රුපියල් බිලියන 10.058ක බැඳුම්කර නිකුත් කෙරිණි. මෙසේ කිරීමේදී ආන්තික මිල රුපියල් 90.17 දක්වාත්, බරිත සාමාන්‍ය මිල රුපියල් 96.02 දක්වාත් පහත වැටුණි. මෙය එක් එක් ලන්සුකරුට බලපෑ ආකාරය පහත (පස්වන) වගුවේ පෙන්වා තිබේ.



බැඳුම්කර නිකුතු ප්‍රමාණය රුපියල් බිලියනයේ සිට රුපියල් බිලියන 10.058 දක්වා ඉහළ නැංවීම නිසා සිදු වූ ප්‍රතිඵල සමහරක් මෙසේය.
-පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට රුපියල් මිලියන 222.3ක ලාභයක් ලැබීමේ හැකියාවක් ඇති විය.
-සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 9.4ක ලාභය රුපියල් මිලියන 124.2ක අලාභයකට හැරවිණි.
-රුපියල් මිලියන 7.4ක් වූ ලංකා බැංකුවේ අලාභය රුපියල් මිලියන 68.7 දක්වා වැඩි වේ.
-රුපියල් මිලියනයකට ආසන්න ලාභයක් ලබන්නට සිටි එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ලාභය රුපියල් මිලියන 7.8 ක අලාභයකට හැරවිණි.
-රුපියල් මිලියන 1.9ක ලාභයක් ලබන්නට සිටි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ලාභය රුපියල් මිලියන 11.9 ක අලාභයකට හැරවිණි.
-පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අමතරව වැඩි ලන්සු තැබූ කැපිටල් එලායන්ස්, එච්එස්බීසී, වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස්, සෙලාන් බැංකුව හා පෑන් ඒෂියා බැංකුව යන ආයතනද කිසියම් ලාභයක් ලබයි.
-අඩු ලන්සු තැබූ මහජන බැංකුව හා නැට්වෙස්ට් සිකියුරිටීස් ආයතන වලටද අලාභයකට මුහුණ දීමට සිදු වේ.

මේ අනුව, අප මෙතෙක් විශ්ලේෂණය සඳහා යොදාගත් පදනම පමණක් සැලකූ විට නිකුතු ප්‍රමාණය ඉහළ යාමේ ශුද්ධ වාසියෙන් වැඩිම කොටස පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලැබෙද්දී එහි බරපැනෙන් විශාල කොටසක් දරන්නට වෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට හා රාජ්‍ය බැංකු තුනටය.

12 comments:

  1. කල්පනා නොකලම පැත්තක්.
    වෙළඳපොලේ සාමාන්‍ය මිල තීරණය වෙන්නේ එදින නිකුත් කල නිකුතුවේ විකුණුම් මිල මත පමණද. ඊට පෙර වෙළඳපොළට නිකුත් කල නිකුතු වල බලපෑමත් සලකන්න වෙනවා නේද? එතකොට ඒ දත්ත මේ සමීකරණයට යොදාගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඉතා පැහැදිලිවම ද්වීතියික වෙළදපොළේ මිලට ඊට පෙර වෙළඳපොළට නිකුත් කල නිකුතු වල බලපෑමක් තියෙන නිසා එය සලකන්න වෙනවා. සමාන බැඳුම්කර විශාල ප්‍රමාණයක් වෙළඳපොළේ තියෙනවනම් සහ වෙන්දේසියේ නිකුතුව ඉතා සුළුනම් ද්වීතියික වෙළදපොළ මිලට වෙන්දේසියේ බලපෑම ඉතාම අඩුයි. එවිට වෙන්දේසියෙන් බැඳුම්කර ගන්න අයට පවතින ද්වීතියික වෙළදපොල මිල පිළිගන්න වෙනවා. මෙහි අනිත් පැත්ත, එනම් දැනට වෙළඳපොළේ තියෙන සමාන බැඳුම්කර ප්‍රමාණයට සාපේක්ෂව වෙන්දේසියේ නිකුතුව විශාලනම්, ද්වීතියික වෙළදපොළ මිල තීරණය වෙන්නේ වෙන්දේසියේ මිල අනුව මෙහි විස්තර කර ඇති ආකාරයට හෝ කිට්ටු ආකාරකට. මේ දෙකම සැලකිය යුතු මට්ටමක ඇති විට ද්වීතියික වෙළදපොල මිල මේ ගොඩවල් දෙකේ බරිත සාමාන්‍ය මිලට ආසන්නව ස්ථාවර විය යුතුයි. මේ හේතුව නිසා ඇමරිකාවේ සුරැකුම්පත් වෙන්දේසියක් නිවේදනය කරන හැම විටකම වෙළඳපොළේ දැනට තියෙන එම වර්ගයේ සුරැකුම්පත් ප්‍රමාණයත් නිවේදනයේ පෙන්වනවා. ලංකාවේ එය කරන්නේ නැහැ.

      අනිවාර්යයයෙන්ම සලකා බැලිය යුතු වුවත් හේතු කිහිපයක්ම නිසා මම මේ කොටසේ දැනට පැවති බැඳුම්කර සලකා බලා නැහැ.

      1. ලංකාවේ කිසියම් අවස්ථාවක තිස් අවුරුදු බැඳුම්කර අළුතින් නිකුත් කරන විට ඒවාට පරිපූර්ණ ආදේශක වෙළදපොළේ නැහැ. අවුරුදු තිහ කියන්නේ ලංකා රජය විසින් නිකුත් කරන වැඩිම කල් පිරීමේ කාලය. ඒ නිසා, ඊට වඩා වැඩි පරිණත කාලයක් ඇති රාජ්‍ය සුරැකුම්පත් වෙළදපොළේ නැහැ. වසරකට පෙර නිකුත් කළ තිස් අවුරුදු බැඳුම්කර දැන් සැලකිය හැක්කේ 29 අවුරුදු බැඳුම්කර ලෙසයි. ඒ වගේම එවැනි පෙර නිකුතු වල කූපන් පොලී අනුපාතිකත් වෙනස්.

      මෙය තර්කයක් ලෙස ඉදිරිපත් කළ හැකි වුවත් එතරම් හොඳ පැහැදිලි කිරීමක් නෙමෙයි. පරිපූර්ණ ආදේශක නැතත් ආසන්න ආදේශක විශාල ප්‍රමාණයක් වෙළදපොළේ තියෙන නිසා ඒවායින් ද්වීතියික වෙලදපොල මිලට සැලකිය යුතු බලපෑමක් වෙනවා. ඇත්තටම මෙතන ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේ දත්ත පහසුවෙන් ලබා ගැනීමේ ක්‍රමයක් මට නැහැ. හොයා ගත්තත් විවිධ කල්පිරීම් ඵලදා අතර ඇති අන්තර් සම්බන්ධතා (ඵලදා වක්‍රයේ වෙනස්වීම්) විශ්ලේෂණය කිරීම ඉතාම සංකීර්ණ කටයුත්තක්.

      2. අදාළ නිකුතුව සාපේක්ෂව විශාල එකක් නිසා එයින් වෙළදපොලට විශාල බලපෑමක් වන බව සැලකිය හැකියි. නමුත්, වඩා වැදගත් කරුණ වන්නේ මහ බැංකුව විසින් මේ කාලයේ සමාන්තර ලෙස සෘජු විකිණීම් ක්‍රමයත් පවත්වා ගැනීමයි. ප්‍රයෝගිකව බොහෝ විට සෘජු විකිණීම් ක්‍රමය යටතේ මිලක් නියම කිරීමෙන් පසුව ඒ මිලට විකිණිය හැකි මුළු ප්‍රමාණයම විකුණන නිසා එහි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයක් ඇති වී සෘජු විකිණීම් මිල ද්වීතියික වෙළදපොළ මිලට සමාන විය යුතුයි. මහ බැංකුව විසින් සෘජු විකිණීම් මිල තීරණය කරන එක් ක්‍රමයක් වන්නේ ද්වීතියික වෙළදපොළ මිල අනුව යාමයි. එවිට කොහොමටත් මිල වෙනස් වීමක් නැහැ. අනෙක් ක්‍රමය වන්නේ අවසන් වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලට විකිණීම. ඒ නිසා, මේ බරිත සාමාන්‍ය මිල යම් හෙයකින් ද්වීතියික වෙළදපොළේ මිලෙන් වෙනස්ව තිබුණත් ඒ දෙක නැවත සමාන වෙනවා. ඒ නිසා, මේ තත්ත්වයන් යටතේ දැනට ඇති නිකුතු නොසලකා හැරීම විශාල ප්‍රශ්නයක් නෙමෙයි.

      3. ඉහත කරුණු දෙකටමත් වඩා මෙය පැහැදිලි කිරීමේ පහසුවට කළ දෙයක්. දැනට ඇති නිකුතු වල බලපෑම පසුව එකතු කරන්න මම කැමැත්තෙන් හිටියත් අවශ්‍ය දත්ත සොයාගැනීමේ අපහසුව නිසා එය කළ හැකි වේදැයි සැකයි.

      Delete
    2. පැහැදිලියි.

      Delete
  2. ආර්ථික විද්‍යාවට අනුව රජය බැඳුම්කර විකිනීමෙදී එය සැලකිය යුත්තේ රජය කාගෙන් හරි පොලියට ණයක් ගන්නවා කියලද? නැතිනම් රජයට අයත් දේපලක් (භාණ්ඩයක්) විකුනනවා කියලද?
    මම මේ ප්‍රශ්නේ අහන්නේ විගණකාධිපති ඉදිරිපත් කල, ජේවීපී එක තව දුරටත් ප්‍රවර්ද්ධනය කරන රජයට වූ අලාබය ගණනය කිරීමේ ක්‍රමවේදයේ හරි වැරැද්ද දැනගන්න. (104.5703ට ගන්න පුළුවන් කියල උපකල්පනය කරපු එක නෙමෙයි).

    ReplyDelete
    Replies
    1. ඉතා පැහැදිලිවම මෙය සැලකෙන්නේ රජය විසින් නිශ්චිත කාලයකින් පසු ආපසු ගෙවීමේ පොරොන්දුව පිට ලබා ගන්නා ණයක් ලෙසයි. රජය සතු වත්කමක් විකිණීමක් ලෙස නෙමෙයි. බැඳුම්කරයක් යනු කිසිදු අයුරකින් රජය සතු වත්කමක් (දේපලක්) නෙමෙයි. සම්ප්‍රදායික අර්ථයෙන් ගත්තොත් ආපසු ගෙවන බවට පොරොන්දුවක් සටහන් කළ, වෙනත් කිසිදු නෛසර්ගික වටිනාකමක් නැති කඩදාසියක්. මේ වන විට මේ කඩදාසිය විද්‍යුත් ලේඛණයක් වී තිබෙනවා. එවැනි වටිනාකමක් නැති කඩදාසියක් වෙනුවෙන් කෙනෙක් තමන් සතු සැබෑ වත්කමක් හුවමාරු කරන්නේ රජය විසින් මේ පොරොන්දුව අනාගතයේ ඉටුකරනු ඇතැයි යන විශ්වාසය මතයි. එහිදී, ආයෝජකයෙකු අවදානමක් ගන්නවා. තමන් ගන්නා අවදානම (හා ගෙවන මුදලේ තමන්ට ඇති ආවස්ථික පිරිවැය) තීරණය කරන්නේ එක් එක් පුද්ගලයා විසින් ස්වාධීනව නිසා එක් එක් පුද්ගලයා අපේක්ෂා කරන ඵලදා අනුපාතික වෙනස්. කොහොම වුණත්, දේපලක් විකිණීමේදී හා ණයක් ගැනීමේදී යන අවස්ථා දෙකේදීම මිල තීරණය වන්නේ ඉල්ලුම් සැපයුම් සාධක මතයි. මේ දෙක අතර ඔබ දකින වෙනස මට පැහැදිලි නැහැ.

      Delete
    2. මෙය මගේ ඊමේල් එකේ තිබුණත් කිසියම් හේතුවක් නිසා අනුමත කළ විට පළ නොවන නිසා මෙසේ කොපි පේස්ට් කරනවා. සමහර විට මගේ අතින් වැරදීමකින් ඩිලීට් ප්‍රෙස් වෙන්න ඇති.

      Anonymous has left a new comment on your post "භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහවන කොටස)":

      ඒක තමයි මාත් හිතුවේ. මෙය සරලවම ණය ගැනීමක් ලෙස සැලකිය යුතු වුවත් විගනකාදිපති තමන්ගේ ගණනය කිරීමට මෙය යොදාගෙන තියෙන්නේ භාණ්ඩයක් විකිණීම යන සංකල්පයෙන්. අපරාදේ 104.5703 ට විකුණගන්න පුළුවන් එක ඊට අඩු ගණන් වලට විකුණලා කියල හිතීමක් නෙමෙයිද මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඒක ඒ මොහොතේ නිශ්චිත අලාභය ලෙස අර්ථ දක්වල, වැඩි පොලිය ගෙවීම නිසා වන පාඩුව වෙනම ගණනය කිරීමට ඉඩක් තබාගෙන.

      කෝප් වාර්තාවේ 41 පිටුවේ මෙහෙම තියෙනවා
      //ඉහතින් දක්වා ඇති ඇස්තමේන්තුගත අවාසි එම දිනට ක්ෂණිකව ඇතිවූ / ඇතිවිය හැකි තත්වය පමණක් වන අතර එමගින් දීර්ඝකාලීනව ඇතිවන බලපෑමද සලකා බැලුවහොත් එම විකල්ප අවාසි තවත් ඉහල යාමට ඇති ඉඩකඩද බැහැර කල නොහකේ වන බව විගනකාදිපති වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දෙනු ලබයි.//

      නමුත් ලාබය/අලාබය ගණනය කිරීමේදී සැලකිය යුත්තේ පහත සඳහන් ආකාරයට නොවේද?

      රජය පෙබරවාරි 27 ලබාගෙන තිබෙන මුළු ණය ප්‍රමාණය 9,657,799,886/= අවුරුදු 30කින් ආපසු ගෙවීමට පොලිය 11.727%. (පොලිය 11.727% ලැබෙන අවුරුදු 30ක ෆික්ස්ඩ් ඩිපොසිට් එකක සල්ලි ටික දැම්ම කියල හිතුවනම් හරි).

      නමුත් (104.5703 ට ඉතිරි සියල්ල විකුනන්න පුලුවන්ද බැරිද කියන එක මොහොතකට අමතක කොට) ඉතිරි සියල්ල 104.5703 ගානේ විකුනන්න පුළුවන් කියන විගනකාධිපතිගේ උපකල්පනය පිළිගත්තොත් ඉහත මුදලම ණයට ගන්න (එවිට විකිණිය යුතු බැඳුම්කර ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා) 10.71% විතර පොලියක් තමයි රජයට ගෙවන්න වෙන්නේ.

      එවිට අලාභය විය යුත්තේ මේ පොලී අනුපාතය නිසා සිදුවන වෙනස නේද? නිශ්චිත මොහොතේ පාඩුවක් ගැන කතා කරලා ඉතිරි ටික පස්සට තියන්න වෙන්නේ නැහැනේද එතකොට?

      Delete
    3. //අපරාදේ 104.5703 ට විකුණගන්න පුළුවන් එක ඊට අඩු ගණන් වලට විකුණලා කියල හිතීමක් නෙමෙයිද මෙතන තියෙන්නේ.//
      මෙය ණය ගැනීමක් නොවී භාණ්ඩයක් විකිණීමක් වුනත් මමනම් මෙය දකින්නේ එකම විදිහටයි. බැඳුම්කරයක් කියන්නේ ණයක් වුණත් රජය විසින් කළ යුත්තේ වඩාත්ම ලාභදායී ලෙසට ගණුදෙනුව අවසන් කිරීමයි. ඒ නිසා, කිසියම් හෙයකින් 104.5703 ට විකුණගන්න පුළුවන් කමක් තිබුණානම් අඩුවෙන් විකිණීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා, ඒ ගණනට විකිණිය හැකිව තිබුණද නැද්ද කියන එක වැදගත් කරුණක්.

      //ඉහතින් දක්වා ඇති ඇස්තමේන්තුගත අවාසි එම දිනට ක්ෂණිකව ඇතිවූ / ඇතිවිය හැකි තත්වය පමණක් වන අතර එමගින් දීර්ඝකාලීනව ඇතිවන බලපෑම// මේ ගැන එක එක දේශපාලනඥයෝ කියන දේවල් බලන්න වෙලාවක් නැතත් වාසුදේවගේ පාර්ලිමේන්තු කතාවක වීඩියෝ ක්ලිප් එකක් මම අහම්බෙන් දැක්කා. ඔහු මෙසේ දීර්ඝකාලීනව රජයට වුණු අලාභයක් ලෙස නිශ්චිත හා විශාල මුදලක් පෙන්වනු මා එහි දැක්කා. මේ තර්කයේ පදනම වන්නේ මේ අවස්ථාවේදී සිදුවුණායයි සැලකෙන වැරැද්ද නිසා ඉන්පසුව නිකුත් කළ සුරැකුම්පත් සියල්ලටම ආණ්ඩුවට වැඩි මුදලක් ගෙවන්නට සිදුවූ බවයි. එතනදීත්, මේ කියන ගණන් විශ්වසනීය පදනමක් නැති ගණන් වුවත් එවැනි යම් බලපෑමක් වුනාද නැද්ද කියන එක හැදෑරීමක් නොකර එක වර කියන්න අමාරු දෙයක්. ඇතැම් විට මේ කියන ගණන් නොවුවත් යම් බලපෑමක් සිදුවී තිබීමේ ඉඩක් තිබෙනවා. අපි ඉදිරියේදී එයත් විමසා බලමු.

      //එවිට අලාභය විය යුත්තේ මේ පොලී අනුපාතය නිසා සිදුවන වෙනස නේද? නිශ්චිත මොහොතේ පාඩුවක් ගැන කතා කරලා ඉතිරි ටික පස්සට තියන්න වෙන්නේ නැහැනේද එතකොට?//
      ඔව්. වැඩි මිලකට විකිණීමේ හැකියාවක් තිබුණානම් මිල (ඵලදා අනුපාත) වෙනසින් මුළු අලාභයම පෙන්වනවා. එම නිකුතුව හා අදාළව පස්සට තියන්න දෙයක් නැහැ. නමුත්, මෙහි තියෙන තර්කය වන්නේ එම නිකුතුවට අමතරව පසුකාලීන නිකුතු වල මිලටත් එයින් බලපෑමක් වන බවයි.

      Delete
    4. //නමුත්, මෙහි තියෙන තර්කය වන්නේ එම නිකුතුවට අමතරව පසුකාලීන නිකුතු වල මිලටත් එයින් බලපෑමක් වන බවයි.//
      මට නම් හිතෙන්නේ මේ අය කියන්නේ පසුකාලීන ගනුදෙනු ගැන නෙමෙයි. මේ ගනුදෙනුව නිසා ඒ මොහොතේ වුන පාඩුව සහ ඉදිරියට මේ ගත්තු මුදල් වලට වැඩි පොලියක් ගෙවීමට නිසා සිදුවන පාඩුව ගැන වෙනවෙනම කතා කරන බවක් තමයි පෙන්නේ. මම වැරදිද දන්නේ නැහැ.

      Delete
    5. මෙවැනි කතා මම බලලම නැති තරම් නිසා හරියටම කියන්න බැහැ. හිටපු අධිපතිවරයාගේ වීඩියෝ එකකනම් ඔහු අදහස් කළේ මා කියූ දෙයයි. ගොඩක් අය කතා කරන්නේ ඔවුන් කියන දේ ඔවුන්වත් නොදැන නිසා එවැනි දේ ගැන වදවෙන එකත් තේරුමක් නැහැ.

      Delete
    6. ඒකත් ඇත්ත

      Delete
  3. 100ට වැඩි ලංසුවක් තිබීම මට පැහැදිලි නෑ.

    ReplyDelete
    Replies
    1. සෙරන්ඩිපිටි,

      මම මේ ලිපි මාලාව මුල සිටම සරල තැනකින් පටන්ගෙන ඉදිරියට ගෙනයන්නේ මෙවැනි සංකීර්ණ කරුණක් කෙටියෙන් කියන්න ගිය විට ඔය වගේ මූලික ප්‍රශ්න අනිවාර්යයෙන්ම අතරමැදදී මතුවන නිසයි. කරුණාකර වෙලාව තියෙනවනම් මුල සිට ලිපි කියවන්න. සිවුවන කොටසේ මම මේ කරුණ විස්තර කර තිබෙනවා. යම් හෙයකින් එය පැහැදිලි මදිනම් නැවත අසන්න.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.