Saturday, November 13, 2021

අයවැය වැය-අයක් වූ හැටි...

වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරිකද සමඟ, ඉදිරි වසර සඳහා ඉදිරිපත් කර ඇති ලංකාවේ රාජ්‍ය අයවැයෙහි වියදම් පැත්ත ආදායම් පැත්ත මෙන් දෙගුණයකටත් වඩා බරයි. මේ අයවැය පැත්තකින් තියා මතක ඇති කාලයක ඉදිරිපත් කරනු ලැබූ ලංකාවේ කොයි අයවැයක් ගත්තත් අයවැය හිඟයක් මිස අයවැය අතිරික්තයක් දකින්න ලැබී නැහැ. මෙය රාජ්‍ය අයවැයක් පිළිබඳ සාමාන්‍ය තත්ත්වයක්ද?

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ආදායම් වියදම් කරන ආකාරය පිළිබඳ සැලසුමක්. වැය කෙරෙන්නේ අය කර ගන්නා දෙයයි. මෙය අනාදිමත් කාලයක සිට සිදු වූ දෙයක්. රජෙකු වැය කළේ රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු වූ දෙයින් කොටසක්. වැය කර ඉතිරි වූ කොටස භාණ්ඩාගාරයේ ඉතිරි වුණා. වැය අය ඉක්මවා යන කාල වකවානු වලදී ප්‍රයෝජනයට ගැනුනේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. මුල් කාලයේදී රජයක් ණය වීම දුලබ සිදු වීමක්. 

ලංකාවේද කාලයක්ම දැකිය හැකි වූයේත්, ලෝකයේ රටවල් ගණනාවකම තවමත් දැකිය හැකි මේ ක්‍රමයයි. එනම් අය කර ගන්නා දෙය පසුව වැය කරන ක්‍රමයයි. එහෙත්, ලංකාවේ දැන් ක්‍රමය මෙය නොවෙයි. දැන් සිදු වන්නේ කලින් වැය කර පසුව අය කර ගැනීමයි. ඒ කියන්නේ අයවැය ක්‍රමයක් වෙනුවට වැය-අය ක්‍රමයක්!

ලංකාවේ අයවැය ක්‍රමය වැය-අය ක්‍රමයක් වුනේ කොයි කාලයේද?


ඉංග්‍රීසින් ලංකාවේ රාජ්‍ය පාලනය භාරගෙන ඉතා කෙටි කලක් ඇතුළත ලංකා කොලනිය ලාබ ලබන තැනක් බවට පත් කළා. ඉන් පසුව, බොහෝ වසරකදී ආදායමෙන් යම් කොටසක් වැය නොකර ඉතිරි කර ගත්තා. එම ඉතිරිය ආයෝජනය කර පොලී ආදායමක්ද ලැබුවා. ආදායම් අඩු වී, වියදම් ඉහළ ගිය වසර වලදී ප්‍රයෝජනයට ගත්තේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. සමස්තයක් ලෙස දිගුකාලීනව රජයේ අයවැය සමතුලිතව තිබුණා.


නිදහස ලබන කාලය දක්වාම මේ තත්ත්වය මෙලෙසම පැවතුනා. තත්ත්වය වෙනස් වුනේ නිදහස ලැබීමත් සමඟයි. ඉන් පසුව, ආදායම් ඉපැයීම වෙනුවට වියදම් කිරීමට මුල් තැන ලැබුණා. එසේ නොවුනේ 1954 හා 1955 දෙවසර තුළදී පමණයි. අනෙක් සෑම වසරකම පැවතුනේ අයවැය හිඟයක්. 


දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරද්දී ඉතිරි කරගෙන තිබුණු සංචිත ක්ෂය වී ගියා. ඉන් පසුව, අයවැය හිඟය පියවන්න වුනේ ණය වලින්. ඒ ණය වලට පොලිය එකතු වෙද්දී රජයේ වියදම් තවත් වැඩි වුනා. අයවැය හිඟය ටිකෙන් ටික පුළුල් වුනා. අයවැය වැය-අයක් වුනේ ඔය විදිහටයි.

4 comments:

  1. අයවැය හිඟයක් පවත්වා ගැනීම දියුණු වෙන ආර්‍ථිකයක් ලක්ෂණයක් කියලා ඒ කාලේ කියනවා...මේක ඇත්තක්ද

    ReplyDelete
    Replies
    1. නැහැ. දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගෙන ගියහොත් කිසියම් අවස්ථාවක අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. එතෙක් වුවද, හානි වැඩියි.

      Delete
  2. ඇමෙරිකාවේත් තියෙන්නේ අයවැය හිඟයක් නේද?

    කොරෝනා වගේ වසංගතයක් ඇවිත් තියෙන මේ වගේ වෙලාවක, ඇග්‍රිගේට් ඩිමානඩ් ශොක් තියෙන මේ වගේ කාලේක රජය විසින් වෙලදපොලට ලොකු මැදිහත් වීමක් කිරීම සාධාරණයි නේද? ඒ වගේ වෙලාවක අය වැය හිඟය කියන එක බලාපොරොත්තු වෙන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. //ඇග්‍රිගේට් ඩිමානඩ් ශොක් තියෙන මේ වගේ කාලේක රජය විසින් වෙලදපොලට ලොකු මැදිහත් වීමක් කිරීම සාධාරණයි නේද?//

      හොඳ ප්‍රශ්නයක්. ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එකක් තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද? රටේ විශාල නිෂ්පාදන විභවයක් තිබුණත් එම විභවයට සමාන නිෂ්පාදනයක් කරලා විකුණාගත හැකි තරම් සමස්ත ඉල්ලුමක් රටේ නැහැ. ඒ නිසා, නිෂ්පාදකයෝ නිෂ්පාදනය කරන්නේ විභවයට වඩා අඩුවෙන්. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අඩු වෙනවා. ඇතැම් විට ආර්ථිකය හැකිලෙනවා.

      මේ වගේ අවස්ථාවක රජය විසින් බදු අඩු කරනවා. එවිට මිනිස්සු අතේ ඉතිරි වන වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ඉහළ ගොස් ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙද්දී සැපයුමද විභව මට්ටම දක්වා වැඩි වෙනවා. (ඉන් පසුව, නැවත රජය විසින් බදු වැඩි කරනවා). මෙසේ බදු අඩු කරද්දී රජයේ ආදායම් අඩු වෙනවා.

      ඒ වගේම රජය විසින් කලින්ට වඩා වැඩියෙන් සෘජුව භාණ්ඩ හා සේවා මිල දී ගන්නවා. එහිදීද ඉල්ලුම වැඩි වී ඒ හේතුව මත නිෂ්පාදනය වැඩි වෙනවා. (ඉන් පසුව වියදම් කපනවා) මෙසේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වැඩි කරන විට රජයේ වියදම් ඉහළ යනවා.

      ඉහත හේතු දෙක නිසාම ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එකකට ප්‍රතිචාර දැක්වීමේදී අයවැය හිඟය ඉහළ යනවා. එසේ නැත්නම් අයවැය අතිරික්තය පහළ යනවා. දිගුකාලීනව රජයට අයවැය කළමනාකරණය කර ගත හැකිනම් මෙවැනි මැදිහත්වීමක් සාධනීයයි.

      කෝවිඩ් නිසා ඇමරිකාවේ (හා තවත් රටවල) ඇති වුනේ මේ ක්‍රමයට විසඳිය හැකි හෝ විසඳිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි. වසංගතය නිසා පෙර අවස්ථා වල ඇති වූ ආකාරයේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එකක් ඇති වුනේ නැහැ. ඇති වුනේ තරමක් වෙනස් තත්ත්වයක්. භාණ්ඩ සඳහා ඉල්ලුම කලින් තරමටම වගේ තිබුණා. ඇතැම් විට වැඩි වුනා. වසංගතය නිසා සේවා ඉල්ලුම යම් තරමකින් අඩු වුනා. එසේ ස්වභාවිකව අඩු වුනාට වඩා විශාල ලෙස සේවා ඉල්ලුම අඩු වුනේ ආණ්ඩු විසින් ගත් විවිධ කෝවිඩ් මර්දන ක්‍රියාමාර්ග නිසා.

      වෙනත් විදිහකින් කිවුවොත් මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එක බොහෝ දුරට ආණ්ඩු විසින් හදපු කෘතීම එකක්. එවැන්නක නරක ප්‍රතිඵල ආපසු හරවන්න බදු අඩු කරන්න හෝ වෙළඳපොළට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඉල්ලුම එලෙසම තියෙනවා. එය කෘතීම ලෙස යටපත් කරලයි තියෙන්නේ. කෝවිඩ් මර්දන රෙගුලාසි ඉවත් කළ ගමන් යටපත් කරනු ලැබ තිබුණු ඉල්ලුම නැවත මතු වෙනවා.

      අනෙක් පැත්තෙන් රජයේ වියදම් වැඩි කරලා, බදු අඩු කරලා හෝ සල්ලි අච්චු ගහලා ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩි කිරීමේ හැකියාවක් මේ අවස්ථාවේදී තිබුණේ නැහැ. කලින් ආර්ථික අවපාත වලදී එසේ කිරීමේ හැකියාවක් තිබුණා. ගොඩක්ම කඩා වැටී තිබුණේ සංචාරක, ගුවන් සේවා වැනි අංශ. නමුත් ආණ්ඩුවට මිනිස්සුන්ට සල්ලි දීලා පුළුවන් තරම් සංචාරය කරන්න පොළඹවන්න පුළුවන්ද? ආණ්ඩුවට කරන්න අවශ්‍යව තිබුණේ එහි අනෙක් පැත්තයි.

      වසංගතය හමුවේ ඇමරිකාව අයවැය හිඟය වැඩි කරගෙන සල්ලි බෙදුවේ වෙනදා මෙන් ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩි කිරීමේ අරමුණින් නෙමෙයි. එහි අරමුණ වුනේ වෙනත් දෙයක්. (මාතෘකාවෙන් පිට යන නිසා විස්තර කරන්න යන්නේ නැහැ.) ඒ වගේම ඇමරිකාවේ ආණ්ඩුවට එසේ කිරීමේ හැකියාවක් තිබුණා.

      ඇමරිකාව හා අදාළ ඇතැම් කරුණු ලංකාවටද අදාළ වුවත් හැම තත්ත්වයක්ම සමානව පැවතුනේ නැහැ. ලංකාවට රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩි කළ හැකි වුවත් එසේ කරන්න අවශ්‍ය වන ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එකක් ලංකාවේ තිබුණේ නැහැ. ඒ අතින් ඇමරිකාවට සමානයි. නමුත් ඇමරිකාවෙන් වෙනස්ව ලංකාවේ නිෂ්පාදනය වැඩි කිරීමේ විභවයක් තිබුණේත් නැහැ. එවැනි තත්ත්වයකදී ඇති කරන පොසිටිව් ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ශොක් එකකින් වෙන්නේ ආනයන ඉල්ලුම වැඩි වෙන එක පමණයි. ඒ වගේම ලංකාව මෙවැන්නක් කළේ වසංගතය ඇති වූ පසුව නෙමෙයි. ඊට කලින්. ඒ වෙලාවේ එසේ කිරීම අන්තිම මෝඩ වැඩක්. ඒ නිසා, වසංගතය වෙලාවේ යමක් කරන්න තිබුණු අවකාශය හොඳටම සීමා වුනා.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.