Showing posts with label ප්‍රාග්ධනය. Show all posts
Showing posts with label ප්‍රාග්ධනය. Show all posts

Monday, August 22, 2016

නැති සල්ලි වියදම් කරන්නේ කොහොමද?


 
වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරය ගැන අපි පෙර ලිපි දෙකකින් කතා කළෙමු. එහිදී, මම තා සරල ආකෘතියක් වන චක්‍රීය ප්‍රවාහ ආකෘතිය හඳුන්වා දුන්නෙමි. මේ ආකෘතිය අනුව, පුද්ගලයකුට තමන් සතු නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය 'කුලියට දී' ආදායමක් ලබා ගත හැකිය. ඒ අනුව, ව්‍යාපාර අංශයේ කාර්යක්ෂමතාව වෙනස් නොවේනම්, පුද්ගලයෙකුට  සිය ආදායම වැඩි කර ගත හැක්කේ තමන් සතු නිෂ්පාදන සාධක වැඩි කර ගැනීමෙනි.

කෙසේවුවද, ශ්‍රම සාධකය ප්‍රමාණාත්මකව වැඩි කර ගැනීම අපහසුය. මිනිසෙකුට වැය කළ හැකි භෞතික ශ්‍රමය වැඩි කළ හැක්කේ ඉතා සීමිතවය. එවිට ඉතිරි වන්නේ ප්‍රාග්ධනයයි. ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ කෙසේද?

පුද්ගලයෙකුට සිය ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ ලැබෙන ආදායමෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කිරීම මඟිනි. පුද්ගල ඒකක රැසක එකතුවක් ලෙස සැලකිය හැකි රටකටද මේ කරුණ අදාළය. මෙසේ ඉතිරි කළ යුත්තේ පුද්ගලයෙකුගේ හෝ රටක ආදායමෙන් කොපමණ කොටසක්ද?

යමෙකුගේ ආදායමෙන් වැඩි කොටසක් ඉතිරි කිරීම යනු වත්මන් පරිභෝජනය දැඩි ලෙස සීමා කිරීමකි. යමෙකු එසේ කිරීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් අනාගත පරිභෝජනය වැඩි කර ගැනීමේ අරමුණෙනි. කෙසේවුවද, පුද්ගලයෙකු මෙය කරන්නේ සිය වත්මන් පරිභෝජනය හා අනාගත පරිභෝජනය කිසියම් අයුරකින් සමතුලිත වන ලෙසිනි. වැඩිපුර ඉතිරිකර, වැඩිපුර ආයෝජනය කිරීමෙන් අනාගත ආදායම් ඉහළ නංවාගෙන අනාගත පරිභෝජනය වැඩි කර ගත හැකිය. එහෙත්, අද ඉතිරි කළ පමණින්ම අනාගත ආදායම් වැඩි වෙනවාද?

මෙය තීරණය වන්නේ ඉතිරි කරන ප්‍රමාණය අනුවය. පුද්ගලයෙකු හෝ රටක් සතු ප්‍රාග්ධනය සදාකාලිකවම එලෙසම පවතින්නේ නැත. කාලයත් සමඟ ප්‍රාග්ධන සම්පත් ක්ෂය වී යයි. මෙය භෞතික සම්පත් වලට මෙන්ම මානව සම්පත් වලටද පොදුය. ඒ නිසා, එසේ අඩුවන ප්‍රාග්ධන සම්පත් නැවත ප්‍රතිස්ථාපනය නොකළහොත් පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් තත්ත්වයද කාලයත් සමඟ ක්ෂය වෙයි. මෙය වලක්වා ගැනීමටනම් අඩුම වශයෙන් එසේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත ප්‍රතිස්ථාපනය කළ හැකි මට්ටමටවත් ඉතිරි කිරීම් අවශ්‍ය වේ. ආයෝජන වැඩි කිරීමෙන් ආදායම් ඉහළ නංවා ගත හැක්කේ මේ මට්ටම ඉක්මවා ඉතිරි කර ආයෝජනය කිරීමෙනි. එහෙත්, ඒ සඳහා වත්මන් පරිභෝජනය කැප කළ යුතුය.

ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?

පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?

අනෙක් පැත්තෙන් මෙයින් පෙනෙන්නේ අපේ ආනයන අපනයන පරතරයයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.4කි. අප නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා පරිභෝජනය (හෝ ආයෝජනය) කරනවානම් එසේ කිරීමට හැකි වන පරිදි භාණ්ඩ හා සේවා රට තුළට පැමිණිය යුතුය. ආනයන අපනයන අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින්නේ අපේ නිෂ්පාදනය (ආදායම්) හා වියදම් අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින බැවිනි. මේ පරතරය තිබෙන තුරු අපට කොහෙන් හෝ විදේශ විණිමය හොයන්නට සිදුවේ. විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වලින් එයින් කොටසක් පියවේ. ඉතිරිය පියවෙන්නේ දිගින් දිගටම වැඩි වන විදෙස් ණය වලිනි.

ආයෝජන අඩුකිරීම යනු අනාගත ආර්ථික වර්ධනයට රිදවීමකි. පරිභෝජනය අඩු කරන්නට සමාජය සූදානම් නැත. එසේනම්, පවතින තත්ත්වය තුළ, පරිභෝජනය අඩු නොකර ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා රජයන් විසින් දිගින් දිගටම විදෙස් ණය ගැනීමේ වරදක් තිබේද? වෙනත් විදිහකට කියනවානම්, ලංකාවේ රජයන්ට දිගින් දිගටම විදෙස් ණය ගන්නට වී තිබෙන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය මට්ටමට ආයෝජන කිරීමට තරම් දේශීය ඉතිරි කිරීම් නැති නිසාද?

මේ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු. 


(Image: www.financialexpress.com)

Tuesday, June 28, 2016

චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ගැන තව දුරටත්...


වෙළඳපොළ ආර්ථිකයක් විස්තර කෙරෙන ඉතා සරල ආකෘතියක් වන චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ගැන අපි පසුගිය ලිපියෙන් කතා කළෙමු. එම ආකෘතිය අනුව, ගෘහස්ථ ඒකක හා සමාගම් ලෙස එකිනෙකට වෙනස් ඒකක වර්ග දෙකකි. මේ ඒකක වර්ග දෙකෙන් සමාගම් වල කාර්යභාරය සංකල්පීය එකක් වන අතර ගෘහස්ථ ඒකක වල කාර්ය භාරය ඊට වඩා සක්‍රිය එකකි.

සමාගමකට නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය ලැබෙන්නේ ගෘහස්ථ ඒකක වලිනි. එම නිෂ්පාදන සාධක උපයෝගී කරගෙන ලබාගන්නා ලාභයද අවසාන වශයෙන් ගෘහස්ථ ඒකක කරා සම්ප්‍රේෂණය වේ.

නිෂ්පාදන සාධක ඇත්තේ ගෘහස්ථ ඒකක වලය. එහෙත්, නිෂ්පාදනයක් සිදුක
ලාභයක් ලැබිය හැක්කේ සමාගමකට හෝ වෙළඳ ව්‍යාපාරයකටය. මේ බෙදීම සංකල්පීය බෙදීමක් නිසා කිසියම් වෙළඳ ව්‍යාපාරයක් භෞතිකව ක්‍රියාත්මක වන්නේ ගෘහස්ථ ඒකකයක් තුළම වුවද මේ ආකෘතිය වලංගුය.

ගෘහස්ථ ඒකකයක් සතු ශ්‍රමය හා ප්‍රාග්ධනය තරඟකාරී වෙළඳපො
ක ආයෝජනය කරද්දී එය කරන්නේ වැඩිම ප්‍රතිලාභ ලැබෙන අයුරිනි. ඒ නිසා, කිසියම් සමාගමකින් ඔබේ ශ්‍රමය හෝ ප්‍රාග්ධනය (හෝ ඔබට අයිති ස්වභාවික සම්පත්) වෙනුවෙන් ගෙවන 'කුලිය' එවැනි වෙනත් සමාගමකින් ගෙවන කුලියට වඩා අඩුනම් ඔබ විසින් ඔබට හිමි නිෂ්පාදන සාධක ඒ 'වෙනත් තැනට' විතැන් කරනු ඇත. මේ නිසා, සමාගමකට හෝ වෙළඳ ව්‍යාපාරයකට එමඟින් 'කුලියට' ලබාගන්නා නිෂ්පාදන සාධක වෙනුවෙන් ගෙවිය යුතු වැඩිම මිල ගෙවන්නට සිදුවේ. ශ්‍රමය හා අදාළව මේ කුලිය යනු වැටුප්, වේතන ආදියයි. ප්‍රාග්ධනය හා අදාළව පොලියයි. අවසාන වශයෙන් සමාගම් විසින් ලබන ලාභ වල ප්‍රතිලාභ භුක්ති විඳින්නේ ගෘහස්ථ ඒකක වල වෙසෙන සැබෑ පුද්ගලයින්මය.

ආරම්භයේදී පුද්ගලයෙකුට ප්‍රාග්ධනය හෝ ඉඩම් වැනි ස්වභාවික සම්පත් හිමි කරගත හැක්කේ දෙමවුපිය උරුමයෙනි. එහෙත්, මේ වාසිය සියල්ලන්ටම එකසේ නොලැබේ. ඒ නිසා, ප්‍රාග්ධනය හා/හෝ ස්වභාවික සම්පත් හිමිකම 'වාසනාවට' ලැබෙන පුද්ගලයෙකුට එසේ නොලැබෙන කෙනෙකුට වඩා වැඩි ආරම්භක වාසියක් තිබේ. ප්‍රාග්ධන හිමිකම් නොමැති අයෙකුට ප්‍රාග්ධනය හිමි කර ගත හැකි වන්නේ තමන් සතු ශ්‍රම සම්පත් සඳහා ලබා ගත හැකි ප්‍රතිලාභ සම්පූර්ණයෙන්ම පරිභෝජනය නොකර කොටසක් ඉතිරි කර ගැනීම මඟිනි.

ශ්‍රම සම්පත භෞතික ශ්‍රමය හා මානව සම්පත් ලෙස වර්ග කළ හැකිය. අද වන විට, මේ දෙකෙන් වඩා වැදගත් වන්නේ මානව සම්පතයි. බොහෝවිට භෞතික ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වලින් මූලික පරිභෝජන අවශ්‍යතා ඉටු කරගැනීමෙන් පසු කොටසක් ඉතිරි කර ගැනීම පහසු නැත.

මානව සම්පත යනු ප්‍රාග්ධන සම්පත මෙන්ම ආයෝජනය කිරීමෙන් වර්ධනය කර ගත යුතු දෙයකි. අද වන විට, ලෝකයේ බොහෝ රටවල සියල්ලන්ටම නොමිලේ මූලික අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ඇති නිසා උරුමයේ වාසනාව නැති අයෙකුට වුවද තමන් සතු මානව සම්පත වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබී තිබේ. මේ නිසා, සුවිශේෂී ව්‍යවසායකත්ව දක්ෂතා නැති, ප්‍රාග්ධනය අහිමි අයෙකුගේ දරුවෙකුට ප්‍රාග්ධනයේ හිමිකරුවෙකු වීමට ඉඩ සැලසීම මඟින් ආදායම් විෂමතා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා නොමිලේ ලබාදෙන අධ්‍යාපනය මඟින් ඉඩකඩ සලසයි.


තරමක් සංකීර්ණ චක්‍රීය ප්‍රවාහ ආකෘතියකට තවත් වැදගත් ඒකක වර්ග දෙකක් ඇතුළත්ය. ඒ රජය හා බැංකු ඒකකයි. ගෘහස්ථ ඒකක සතු ප්‍රාග්ධනය නිෂ්පාදන ඒකක කරා සම්ප්‍රේෂණය කිරීමේදී බැංකු මඟින් අතරමැදි කාර්යයක් සිදු කරයි. මෙසේ ගෘහස්ථ ඒකක හා නිෂ්පාදන ඒකක අතර සිදුවන සෘජු මූල්‍යකරණය වෙනුවට බැංකු හරහා සිදුවන වක්‍ර මූල්‍යකරණය ජනප්‍රිය වී ඇත්තේ ඇයිද යන්න මේ ලිපියෙන් කතා කරන්නේ නැත.

රජය මඟින් කරන්නේ නිෂ්පාදන ඒකක සඳහා ගෘහස්ථ ඒකක වෙත ලැබෙන ප්‍රතිලාභ වලින් කොටසක් ලබාගෙන ගෘහස්ථ ඒකක වෙතම වෙනත් ක්‍රමයකට නැවත බෙදාහැරීමයි. මෙහි අරමුණ සමානාත්මතාවය, නිදහස් වෙළඳපොළ ක්‍රමයේ ඇතැම් අඩුපාඩු මඟ හරවා ගැනීම හෝ රටක ජනතාව එකඟ වන වෙනත් හේතුවක් විය හැකිය. මේ නිසා, කිසියම් ගෘහස්ථ ඒකකයකට අවසාන වශයෙන් සම්ප්‍රේෂණය වන (පරිභෝජනය හා ආයෝජනය සඳහා යොදාගත හැකි) ශුද්ධ ප්‍රතිලාභ ප්‍රමාණය එම ඒකකයෙන් සමාගම් වෙත ලබාදී ඇති නිෂ්පාදන සාධක වෙනුවෙන් ලැබිය යුතු ප්‍රශස්ථ ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි විය හැකිය. (නිෂ්පාදන සාධක මත පනවන බදු වලට අමතරව රජයයන් විසින් බොහෝ විට පරිභෝජනය මතද බදු පනවයි. ලංකාවේ බදු වලින් වැඩි ප්‍රමාණයක් මෙවැනි වක්‍ර බදුය.)

ලංකාවේදී ශ්‍රමය සඳහා ලැබෙන ප්‍රතිලාභ මත පනවන බද්දක් ලෙස උපයන විට ගෙවීමේ බද්ද සඳහන් කළ හැකිය. ඇතැම් ආයෝජන සඳහා ලැබෙන පොලිය මත පනවන රඳවා ගැනීමේ බද්ද හා ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ප්‍රාග්ධන බද්ද ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ මත පනවන බදු ලෙස හැඳින්විය හැකිය. ආදායම් බදු යනු මේ දෙයාකාරයේම ප්‍රතිලාභ මත පොදුවේ පැනවෙන බද්දකි.  


අවසාන වශයෙන් මේ ආකෘතියට විදේශ අංශයද එකතු කළ යුතුය.

(Image: wp.lps.org)

Wednesday, June 1, 2016

වෙළඳපොළ ආර්ථිකයක් යනු කුමක්ද?


මේ ලිපියෙන් කරන්නේ තරමක් මුලටම ගොස් සරල ආකෘතියක් මඟින් වෙළඳපොළ ආර්ථිකයක් යනු කුමක්දැයි පැහැදිලි කිරීමකි. වෙළඳපොළ ආර්ථිකයක් තුළ නිෂ්පාදනය සිදුවන ආකාරය විස්තර කරන මේ සරල ආකෘතිය චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ලෙස හැඳින්වේ.

චක්‍රීය ප්‍රවාහ ආකෘතිය තුළදී හඳුනාගන්නා මූලික ඒකක වර්ග දෙකකි. ඒ ගෘහස්ථ ඒකක හා ව්‍යාපාර ඒකකයි. ගෘහස්ථ ඒකක  පුද්ගලයින්ගෙන් සමන්විත වන අතර මේ පුද්ගලයෝ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරති. එසේ කිරීමෙන් ඔවුහු තෘප්තියට පත්වෙති. මේ තෘප්තිය පෞද්ගලික අත්දැකීමකි. එකම භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කිරීමෙන් විවිධ පුද්ගලයින් විසින් ලබන තෘප්තිය සමාන නැත.

සමාගමක් හෝ ව්‍යාපාර ඒකකයක් යනු පුද්ගලයින්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය තුළින් බිහි කරගත් සංකල්පයකි. සමාගමක් සතු වත්කම්, වගකීම්, ඉලක්ක ආදිය තිබේ. උපතක්, මරණයක් හා ජීවිත කාලයක්ද තිබේ. මේ ජීවිත කාලය මිනිසෙකුගේ සාමාන්‍ය ජීවිත කාලයට වඩා බොහෝ වැඩි විය හැකිය. 


සමාගම් සමඟ පුද්ගලයෝ විවිධ අන්තර්ක්‍රියාවන් කරති. සංකල්පීය ලෙස සමාගමක් යනු අථත්‍ය  පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි වුවත් එය මනසේ ඇති සංකල්පයක්ම පමණි. මේස, පුටු, පරිගණක, යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි ආදිය මිස සමාගමක් නම් වූ භෞතික දෙයක් නැත. ඒ නිසා සමාගමකට පරිභෝජනය කිරීමට නොහැකිය. 

කෙසේවුවද, ගෘහස්ථ ඒකක වලට අයත් පුද්ගලයින්ට සමාගම් සමඟ සංකීර්ණ අන්තර් ක්‍රියාවන්හි යෙදීමට එය බාධාවක් නොවේ. එමෙන්ම, කිසියම් පුද්ගලයෙකු විසින් තනිව මෙහෙයවන ව්‍යාපාරයක් වුවද එම පුද්ගලයාගෙන් බාහිර අථත්‍ය පුද්ගලයෙකු සමඟ කරන අන්තර්ක්‍රියාවක් ලෙස සංකල්පීය ලෙස සිතීමටද පුළුවන.

සමාගමක කාර්යය වනුයේ භාණ්ඩ හා/හෝ සේවා නිෂ්පාදනය කිරීමයි. භාණ්ඩ සේවා වලින් වෙනස් වන්නේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් පසුව පරිභෝජනය කරන තුරු ගබඩා කර තබාගත හැකිවීමත්, සේවාවන් එසේ ගබඩා කර තබාගත නොහැකි වීමත් නිසා පමණි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිෂ්පාදන සාධක ප්‍රාග්ධන සම්පත්, ශ්‍රම සම්පත් හා ස්වභාවික සම්පත් ලෙස වර්ග කළ හැකිය. කිසියම් නිෂ්පාදනයක් සිදුකිරීම සඳහා මේ එක් එක් වර්ගයේ සම්පත් අවශ්‍ය වන අනුපාතය සමාගමක් විසින් උපයෝගී කරගන්නා නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව වෙනස් වේ.

නිෂ්පාදන ඒකක ඇත්තේ ගෘහස්ථ ඒකක සතුවය. සමාගම් වලට නිෂ්පාදන සාධක වෙළඳපොළ හරහා ගෘහස්ථ ඒකක වලින් මේ සාධක සොයා ගැනීමට සිදුවේ. නිෂ්පාදන සාධක වෙළඳපොළ තරඟකාරී වෙළඳපොළකි. එහිදී, සමාගම් වලට හැකි අවම මිලකට ශ්‍රමය, ප්‍රාග්ධනය හා ස්වභාවික සම්පත් ලබා ගැනීමට හැකිවන අතරම ගෘහස්ථ ඒකක වලට හැකි උපරිම මිලට මේ නිෂ්පාදන සාධක විකිණීමට ඉඩකඩ ලැබේ. සමාගම් නිෂ්පාදන සාධක වෙනුවෙන් පිරිවැයක් දරද්දී ගෘහස්ථ ඒකක වලට ශ්‍රමය වෙනුවෙන් වැටුප්ද, ප්‍රාග්ධනය වෙනුවෙන් පොලී හා/හෝ ලාභාංශද, ස්වභාවික සම්පත් වෙනුවෙන් කුලියද මුදල් ලෙස ලැබේ.

සමාගම් විසින් නිපදවන භාණ්ඩ හා සේවාවන් නැවතත් ගෘහස්ථ ඒකක වලටම විකිණේ. මෙය සිදුවන්නේ භාණ්ඩ හා සේවා වෙළදපොල හරහාය. ගෘහස්ථ ඒකක සතු මුදල් මේ වෙනුවෙන් වැය කෙරේ. එය සමාගමේ ආදායමයි. සමාගමේ ආදායම හා වියදම අතර වෙනස එහි ලාභයයි. මේ ලාභ ලාභාංශ ලෙස සම්පූර්ණයෙන් බෙදා නොදුන්නොත් සමාගම තුළ ඉතිරි වේ. එවිට සමාගමේ වටිනාකම ඉහළ යයි. මෙහි වාසියද සමාගමේ කොටස් හිමිකරුවන් වන ගෘහස්ථ ඒකක වලට ලැබේ. කොටස් විකිණීමෙන් මේ වාසිය මුදල් කළ හැකිය.

සාමාන්‍යයෙන් නිෂ්පාදන සාධක වල අගයට වඩා නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවන් වල අගය වැඩිය. මෙසේ එකතු කෙරෙන අගය තීරණය වන්නේ සමාගමක් සතු නිෂ්පාදන තාක්ෂනය අනුවය. එකතු වන අගයේ වාසිය අවසාන වශයෙන් ගෘහස්ථ ඒකක වෙත ලැබේ. එය පරිභෝජනය වැඩි කර ගැනීමට හෝ අනාගත පරිභෝජනය වෙනුවෙන් ආයෝජනය කිරීමට පුළුවන.


මේ ආකෘතිය තුළ ශ්‍රමිකයෙක්, ආයෝජකයෙක්, ස්වභාවික සම්පත් හිමිකරුවෙක් හා පාරිභෝගිකයෙක් ලෙස විවිධ කාර්යයන්හි යෙදෙන්නේ ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින්ය. සමාගමක කාර්යය අවසාන වශයෙන් නිෂ්ක්‍රීය එකකි.

ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින්ට කළ හැකි තවත් කාර්යයක් තිබේ. ඒ ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමයි. මේ සඳහා පවතින මිල ගණන් යටතේ හෝ වැඩි මිලක් ගෙවා නිෂ්පාදන සාධක මිල දී ගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර පවතින මිලගණන් යටතේම හෝ අඩු මිලකට විකුණා තමන්ටද ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් ගැන සිතන්නට සිදුවේ. මෙය පහසු නැත. ව්‍යවසායකයින් දුලබ හා වටිනා පුද්ගලයින් ලෙස සැලකෙන්නේ ඒ නිසාය.

Wednesday, May 25, 2016

ප්‍රශ්නය ප්‍රාග්ධන හිඟය නොවේ!


මාතෘකාව වෙනස් වුවද මේ ලිපියද පෙර ලිපි වලට සම්බන්ධය.

ලංකාවට වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ඇති බාධාව ප්‍රාග්ධන හිඟය බව මෙම ලිපිය කියවන ඇතැම් අය සිතනවා විය හැකිය. මෙය නිවැරදි අදහසක් නොවේ. ප්‍රාග්ධනය වැඩි කර ගැනීම මඟින් ආර්ථිකයක් ඉදිරියට තල්ලු කළ හැකි වුවත් ඒ යම් පටු සීමාවක් ඇතුළත පමණි. ප්‍රාග්ධනය නිසා ආර්ථිකයන් වර්ධනය වේනම් වැඩිම ආර්ථික වර්ධනයක් පැවතිය යුත්තේ ඇමරිකාව හා ජපානය වැනි රටවලය. එහෙත්, එය එසේ සිදු නොවන්නේ ප්‍රාග්ධනය විසින් ආර්ථික වර්ධනය සඳහා ලබා දෙන දායකත්වයෙහි ඇති නෛසර්ගික සීමාවන් නිසාය.


මෙය තේරුම් ගැනීම සඳහා අපි ඉතා සරල මූලික ආර්ථික විද්‍යා ආකෘතියකට යමු. මා මෙවැනි තැනකින් පටන් ගන්නේ මේ ලිපි කියවන වැඩි දෙනෙකු ආර්ථික විද්‍යාව විධිමත් ලෙස හදාරා නැති නිසාය.

මේ ආකෘතිය අනුව, ප්‍රධාන නිෂ්පාදන සාධක දෙකකි. ඒ, ශ්‍රමය හා ප්‍රාග්ධනයයි. කිසියම් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා මේ නිෂ්පාදන සාධක දෙකම අවශ්‍ය වේ. එයට අමතරව මේ නිෂ්පාදන සාධක කාර්යක්ෂම ලෙස පරිභෝජනය කළ හැකි (එසේ නැත්නම් අනාගත පරිභෝජනය සඳහා ගබඩා කර හෝ ආයෝජනය කර තබා ගත හැකි) භාණ්ඩ හා සේවාවන් බවට පරිවර්තනය කිරීමට තාක්ෂණයද අවශ්‍ය වේ.

ශ්‍රමය හා ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක දෙකෙන් කවර එකක් වැඩි කළද නිෂ්පාදනය වැඩි වේ. එහෙත්, මේ නිෂ්පාදන සාධක වැඩි කරගෙන යනවිට එසේ වැඩි වන නිෂ්පාදිත ප්‍රමාණය එන්න එන්නම අඩුවේ.

උදාහරණයක් ලෙස ප්‍රාග්ධනය ලෙස එකතු කරන පළමු රුපියල් දහසෙන් කිසියම් නිෂ්පාදනයක (උදාහරණයක් ලෙස බිත්තර) ඒකක සියයක් නිපදවිය හැකිනම්, මෙසේ යොදවන දෙවන රුපියල් දහසෙන් නිපදවිය හැක්කේ ඒකක සියයකට අඩු ගණනකි (උදාහරණයක් ලෙස අසූවක්). තෙවන රුපියල් දහසෙන් නිපදවිය හැක්කේ ඒකක හැට පහක් වැනි දෙවන රුපියල් දහසෙන් නිපදවූ ගණනට වඩා අඩු ඒකක ගණනකි. මෙය මෙසේ දිගටම සිදුවන බැවින් යම් සීමාවක් ඉක්මවූ පසු තවදුරටත් ප්‍රාග්ධනය යෙදවීම වාසිදායක නොවී යයි.

මේ කරුණ අනෙක් නිෂ්පාදන සාධකය වන ශ්‍රමයටද අදාළය. පරිගණක ක්‍රමලේඛණ ලියන සමාගමක් ගැන සිතූ විට මෙය තේරුම් ගත හැකිය. ක්‍රමලේඛකයින් වැඩි නොකර පරිගණක ප්‍රමාණය වැඩි කිරීමෙන් මෙන්ම, පරිගණක නොමැතිව ක්‍රමලේඛකයින් වැඩි කිරීමෙන්ද නිෂ්පාදනය වැඩි කර ගත නොහැකිය. කිසියම් කර්මාන්තයක් හා අදාළව ශ්‍රමය හා ප්‍රාග්ධනය යෙදවිය යුතු ප්‍රශස්ත අනුපාතයක් තිබේ.

දැන් අපි ලෝකයට විවෘත නොවූ ආර්ථිකයක් ඇති මනඃකල්පිත රටකට යමු. මේ රටේ ජනගහණය වර්ධනය වීම හා දැනට සිටින ශ්‍රමිකයන්ගේ මානව සම්පත් (කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගතහැකි දැනුම හා පුහුණුව) වර්ධනය වීම හේතුවෙන් ශ්‍රම සම්පත් ඉහළ යයි. දැනට සිදු කරන නිෂ්පාදනයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කර නැවත ආයෝජනය කිරීම නිසා ප්‍රාග්ධන සම්පත්ද වැඩි වේ.

රටේ ඉතිරිකිරීම් අනුපාතය හා ඒ නිසාම ආයෝජන අනුපාතය මුළු නිෂ්පාදනයෙන් 20% යැයි අපි සිතමු. දැන් මේ රටේ ප්‍රාග්ධන සංචිත වාර්ෂිකව මේ අනුපාතයෙන් වැඩි විය යුතුය. එහෙත්, එය එසේම සිදු නොවේ. ඒ ප්‍රාග්ධනය නිරන්තරයෙන් ක්ෂය වී යන බැවිනි. පෙර කී පරිගණක උදාහරණය ගතහොත් සෑම වසර හතරකට පමණ වරක් පැරණි පරිගණක ඉවත් කර අළුත් ඒවා ගන්නට සිදුවේ. වෙනත් යන්ත්‍ර සූත්‍ර, වාහන ආදියේ කොටස් ගෙවේ. මෙසේ ප්‍රාග්ධන සම්පත් ක්ෂයවීම සිදුවන්නේ පවතින සම්පත් තොගයට අනුපාතිකවය. මේ අනුපාතය අපි 5% ලෙස සලකමු.

වසරක් තුළ යම් රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක්
ඉතිරි කෙරේනම් හා ප්‍රාග්ධන සම්පත් වලින් 5%ක් ක්ෂය වේනම් වසර අවසානය වන විට එම රටේ ප්‍රාග්ධන සම්පත් 15% කින් වැඩි විය යුතුය. මෙසේ වසර ගණනක් ප්‍රාග්ධන සම්පත් වැඩි වී ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය දළ දළ දේශීය නිෂ්පාදිතය මෙන් සිවු ගුණයක් දක්වා වැඩි වුනේයැයි සිතමු. ඒ සමඟම වසරකට ක්ෂයවන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද සිවු ගුණයකින්, එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් දක්වා වැඩි වේ. දැන් සිදුවන්නේ කුමක්ද?

රටේ ඉතිරි කිරීම් (හා ආයෝජන) දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කි. මේ ප්‍රමාණය රටේ ප්‍රාග්ධන සම්පත් තොගයට එකතු වෙද්දී එයට සමාන ප්‍රමාණයක් ක්ෂය වේ. ඒ නිසා ප්‍රාග්ධන සංචිත තවදුරටත් වර්ධනය නොවේ. ඒ නිසා ප්‍රාග්ධන සම්පත් වලින් ආර්ථික වර්ධනයට තව දුරටත් උත්තේජනයන් ලබාගත නොහැකිය.

යම් හෙයකින් රටේ ඉතිරි කිරීම් අනුපාතය එක් වරම 30% දක්වා වැඩි වුනොත් හෝ කිසියම් ස්වභාවික සම්පතක් සොයාගනු ලැබුණොත් ප්‍රාග්ධන සම්පත්ද වැඩි වනු ඇත. ඒ නිසා ආර්ථික වර්ධනයද වැඩි වනු ඇත. එහෙත්, මේ අයුරින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගත හැක්කේ සීමිත කාලයකට පමණි. රටේ ප්‍රාග්ධන සම්පත් වැඩි වන තරමටම එම සම්පත් ක්ෂය වන සීමාවට පැමිණි වහාම මෙසේ ප්‍රාග්ධනය නිසා සිදුවූ ආර්ථික වර්ධනය නවතිනු ඇත.


යම් රටක ප්‍රාග්ධන සම්පත් තොගය වැඩි වන තරමට වාර්ෂිකව එම සම්පත් ක්ෂය වන ප්‍රමාණයද වැඩි වේ. ඒ නිසා ප්‍රාග්ධන සම්පත් වැඩි කිරීමෙන් ලැබෙන්නේ තාවකාලික වාසියක් පමණි. වැඩි වූ සම්පත් ඒ මට්ටමේම පවත්වා ගැනීමට දීර්ඝකාලීනව දිගටම මහන්සි වීමට සිදුවූවත් ඒ හේතුවෙන් ආර්ථික වර්ධනයට ලැබෙන විශේෂ වාසියක් නැත. වෙනත් අයුරකින් කිවහොත් සමස්ත නිෂ්පාදිතයෙන් 40%ක් ඉතිරි කරන රටකට දීර්ඝකාලීනව වර්ධනය විය හැක්කේද සමස්ත නිෂ්පාදිතයෙන් 20%ක් ඉතිරි කරන රටක් වර්ධනය වන වේගයෙන්මය. එහෙත්, අඩුවෙන් ඉතිරි කරන රටේ වැසියෝ වැඩියෙන් පරිභෝජනය කරති. ඒ නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත්ය.

එසේනම්, ඉතිරි කිරීම් අඩු කිරීම ප්‍රශ්නයක් නොවේද? උතුරේ යුදමය තත්ත්වය පැවති වසර 26 තුළද ලංකාවේ ආර්ථික වර්ධනය හොඳ මට්ටමක පැවතීම මඟින් පෙනෙන්නේ මේ කරුණයි. මා ඉදිරිපත් කළ සරල ආකෘතිය තුළ යුදමය වාතාවරණය ලංකාවේ ආර්ථිකයට දෙයාකාරයක බලපෑමක් කළේය. පළමුව, රටේ ඉතිරි කිරීම් වලින් කොටසක් ආයෝජන වෙනුවෙන් නොයොදවා යුද වියදම් වෙනුවෙන් යෙදෙවීමට සිදුවීම හේතුවෙන් ප්‍රාග්ධන තොගයට වාර්ෂිකව සිදුවන එකතු වීම් සීමා විය. දෙවනුව, ප්‍රාග්ධන සම්පත් ක්ෂය වන වේගය වැඩි විය.

මේ කරුණු දෙකේ සමස්ත ප්‍රතිඵලය වූයේ රටේ ප්‍රාග්ධන සම්පත් තොගය ක්‍රමයෙන් ක්ෂය වීම හා ඒ හේතුවෙන් ආර්ථික වර්ධනය සීමා වීමයි. ජයවර්ධන පාලනයේ පළමු වසර හය තුළදී පවත්වාගත් ආර්ථික වර්ධන වේගය ඉන්පසු වසර වලදී පවත්වා ගත නොහැකි විය. කෙසේ වුවද, ප්‍රාග්ධන සම්පත් තොගය මෙසේ ක්‍රමයෙන් පහත වැටීමට සමාන්තරව වාර්ෂිකව ක්ෂය වන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද ක්ෂය වන නිසා වසර කිහිපයකින් පසු තව දුරටත් ප්‍රාග්ධන සම්පත් ක්ෂය නොවේ. ඒ නිසා, යුද්ධය ඇරඹී වසර කිහිපයකයට පසු පැවති යුදමය තත්ත්වය නිසා ප්‍රාග්ධන සම්පත් විනාශය හේතුවෙන් සිදුවූ අවාසියද ක්‍රමයෙන් ක්ෂය වී ගියේය. එම කාලය තුළ ආර්ථික වර්ධනය විශාල ලෙස අඩුවුණේ ජවිපෙ විසින් විශාල සම්පත් හානියක් සිදු කළ 1987-89 කාලයේ සහ එල්ටීටීඊ සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළට පහර දුන් 2001දී පමණි.

මේ අයුරින්ම 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු නැවතත් වාර්ෂිකව ප්‍රාග්ධන සම්පත් එකතු වන ප්‍රමාණය වැඩි වීම නිසා තාවකාලිකව ආර්ථික වර්ධනය වැඩි වුවත්, සෛද්ධාන්තිකව මෙන්ම අනුභාවික දත්ත අනුව පෙනෙන පරිදි එවැනි වාසියක් වැඩි කල් නොපවතී.


දැන් අපට අපේ මුල් ආකෘතියෙන් බැහැර වී විවෘත ආර්ථිකයක් ගැන සිතන්නට පුළුවන. විවෘත ආර්ථිකයක් තුළට දේශීය ඉතිරි කිරීම් වලට අමතරව සෘජු විදේශ ආයෝජන හා විදෙස් ණය ආදී ලෙසද ප්‍රාග්ධනය පැමිණිය හැකිය. මෙසේ පැමිණෙන ප්‍රාග්ධන ප්‍රවාහ නිසාද රටේ ප්‍රාග්ධන සංචිතය ඉහළ යයි. ඒ සමඟම වාර්ෂිකව ක්ෂය වී යන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද ඉහළ යයි. අවසාන අවසාන වශයෙන් ආර්ථිකය පවතින මට්ටමේම තබාගන්නට වුවද සෘජු විදේශ ආයෝජන හා විදෙස් ණය ප්‍රවාහ නිශ්චිත ප්‍රමාණයක් වාර්ෂිකව රට තුළට පැමිණීම අවශ්‍ය වේ. 

ප්‍රාග්ධනය වැඩි කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමටනම් වසරින් වසර මෙසේ රට තුළට පැමිණෙන ප්‍රාග්ධන ප්‍රවාහ වැඩි විය යුතුය. එවැන්නක් ප්‍රායෝගිකව සිදු විය නොහැකිය. ඒ නිසා සෘජු විදෙස් ආයෝජන හෝ විදෙස් ණය මඟින් ලබා ගන්නා ප්‍රාග්ධනය යොදාගෙන ආර්ථික වර්ධන වේගය දිගුකාලීනව වැඩි කර ගැනීමේ හැකියාවක් නැත. කෙසේ වුවද, මා පෙර ලිපියක සඳහන් කළ විසරණය වීම් (spillover effects) නිසා ඇති වන වාසිය ගැන මා මෙහි කතා කර නැත. එමෙන්ම, සම්පත් ක්ෂයවීම තුලනය කිරීමට හා වරින් වර අහඹු ලෙස සිදුවන ස්වභාවික හානි ආදියෙන් පසු සිදුවන ප්‍රාග්ධන සම්පත් හානි ප්‍රතිපූරණය කර ගැනීම සඳහා කිසියම් අවම ඉතුරුම් අනුපාතයක් පවත්වා ගැනීමද අවශ්‍ය වන බැවින් ඉතුරුම් අසීමිත ලෙස අඩු කිරීමේ හැකියාවක්ද රටකට නැත.

(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)
 

(Image: www.dougsguides.com)

Monday, May 23, 2016

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (සිවුවන කොටස)


ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන කරන කතිකාවකදී ජයවර්ධන රජයේ ආර්ථික ප්‍රතිපත්ති මඟ හැර යා නොහැකිය. එක් අතෙකින්, නිදහසින් පසු ආර්ථික ප්‍රතිපත්තියේ දැනෙන වෙනසක් කළේ ජයවර්ධන රජයයි. අනෙක් අතින්, එතැන් සිට අද දක්වා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් මේ ආර්ථික ආකෘතියෙන් බැහැර වී නැත. සිදු වී ඇත්තේ සුළු අපගමනයන් පමණි.

ජයවර්ධන රජය විසින් ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේය යන්න ජනප්‍රිය අදහසකි. ඇත්තටම ඉතිහාසය පුරා ලංකාවේ තිබුණේ විවෘත ආර්ථිකයකි. මේ විවෘත ආර්ථිකය සංවෘත ආර්ථිකයක් බවට පත් කිරීමට නිදහසින් පසු ලංකාව පාලනය කළ ඇතැම් පාලකයින් කටයුතු කර තිබුණේය. එමෙන්ම, ජේආර් ජයවර්ධනට රාජ්‍ය බලය ලැබෙන විට රටේ ජනතාවට හොඳ දෙය ඒ ජනතාවට වඩා හොඳින් දන්නේයැයි සිතා සිටි ටික දෙනෙකු විසින් මධ්‍යගත ලෙස සැලසුම් කිරීම කරාද රට යොමු වෙමින් පැවතුණේය.

ජේආර් ජයවර්ධන විසින් ආනයන හා අපනයන සීමාවන් බොහෝ දුරට ඉවත් කරමින් හා ප්‍රාග්ධන ගලායෑම් සඳහා පැවති සීමාවන්ද තරමක් දුරට ඉවත් කරමින් ආර්ථිකය ලෝකයට විවෘත කළේය. මේ කටයුත්ත ඉතා කෙටි කලක් තුළ කිරීම නිසා දේශීය නිෂ්පාදන වලට වඩා කාර්යක්ෂම ලෙස නිපදවුණු විදෙස් නිපැයුම් සමඟ තරඟ කිරීමට පහසු වන පරිදි විණිමය අනුපාතිකයද අවප්‍රමාණය කෙරුණි.

අපේක්ෂිත පරිදිම ආනයන සඳහා දේශීය වෙළඳපොල විවෘත කෙරුණු වහාම, විශේෂයෙන්ම මුල් අවුරුදු දෙක තුන තුළ, ආනයනික භාණ්ඩ වලින් වෙළඳසැල් පිරුණේය. වෙළඳ ශේෂය තව දුරටත් පුළුල් වුණේය. එහෙත්, මෙයට හේතුව වූයේ වෙළඳපොළ විවෘත කිරීම නොවේ. පෙර දශක කිහිපය තුල ආරක්ෂණවාදී ප්‍රතිපත්ති සම්පාදකයින් විසින්  දේශීය නිෂ්පාදකයින්ගේ තරඟකාරී නිෂ්පාදන හැකියාවන් බිඳ දමනු ලැබ තිබීමයි.

රට තුළට ආනයන ගලා එද්දී අකාර්යක්ෂම කර්මාන්ත බිඳ වැටුණු අතර එම කර්මාන්ත සඳහා යොදාගැනුණු නිෂ්පාදන සාධක, විශේෂයන්ම ශ්‍රම සම්පත්, වඩා කාර්යක්ෂම කර්මාන්ත වෙත විතැන් විය. 1982 පමණ සිට 1998 පමණ දක්වා කාලය තුළ දේශීය නිපැයුම් වල තරඟකාරීත්වය යලි වර්ධනය වීමට සමාන්තරව වෙළඳ හිඟය ක්‍රමයෙන් අඩු වන්නට විය. කෙසේවුවද, මේ කාලය තුළද වෙළඳ ශේෂය දිගටම පැවතුණේ හිඟයක් වශයෙනි.

පෙර ලිපියකින් පෙන්වා දුන් පරිදි ලංකාව ගොඩ යන්නට අමාරු පරිදි ණය උගුලක පැටළුනේද ජයවර්ධන යුගයේදීය. මෙයට හේතුව ජයවර්ධන රජයේ නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්තිය බව සිතන අය සිටින්නට පුළුවන. එහෙත්, ඇත්තටම ලංකාව මෙසේ ණය උගුලක පැටලීමට හේතුව ජයවර්ධන රජයේ විවෘත නොවූ, මධ්‍යගත ආර්ථික ප්‍රතිපත්තීන්ය.

ජයවර්ධන පාලනය බොහෝ භාණ්ඩ හා සේවාවන් විවෘත වෙළඳපොළ තරඟයට (නැවතත්) නිරාවරණය කළ බව ඇත්තකි. එහෙත්, ඒ අතරම එම පාලනය පෙර රජයයන් විසින් අනුගමනය කළ මධ්‍යගත සැලසුම් සහිත රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකයද තවදුරටත් පවත්වා ගත්තේය. වඩා නිවැරදිව කියනවානම්, ජයවර්ධන පාලන කාලය තුල රාජ්‍යය තව දුරටත් විශාල විය. පෞද්ගලීකරණය කිරීම් ඇරඹුණේ එජාප පාලනය යටතේ වුවත් ජයවර්ධන යුගයෙන් පසුවය. සමඟි පෙරමුණු පාලනය මෙන්ම ජයවර්ධන පාලනයද සිතුවේ රටේ සියල්ලන්ටම හොඳ දේ දන්නේ තමන් ඇතුළු කණ්ඩායමක් බවයි.

අද දක්වාත්, රාජ්‍ය බලය වරින් වර මාරු වුණත්, මේ මධ්‍යගත ආකෘතිය සැලකිය යුතු ලෙස වෙනස් වී නැත. එක් අතකින් එය එසේ වන්නේ එය රටේ ජනතාවගේ ඉල්ලීම බැවිනි. තමන්ට හොඳ දෙය තමන්ගේ නියෝජිතයින් තමන්ට වඩා හොඳින් දන්නේයැයි සිතන ජනතාවක් සිටින තාක් මේ තත්ත්වය වෙනස් නොවනු ඇත. මෙසේ යම් නියෝජිත පිරිසක් කෙරෙහි විශ්වාසය තබා එම විශ්වාසය බිඳුණු පසු ලංකාවේ ජනතාව මෙතෙක් කර ඇත්තේ එම නියෝජිත පිරිස මාරු කිරීමයි.

සමඟි පෙරමුණු රජය රටේ පොදු ජනතාවගේ මුදලින් මහවැලි ව්‍යාපෘතිය වසර තිහක් තුළ නිම කිරීමට සැලසුම් කළේය. ඔවුන් සිතා සිටි පරිදි රටේ ජනතාවට එයින් යහපතක් සැලසිය හැකිව තිබුණි. ජයවර්ධන රජයේ සැලසුම්කරුවන් සිතුවේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සමඟි පෙරමුණු සැලසුම්කරුවන්ට වඩා හොඳින් ඔවුන් දන්නා බවයි. ඒ අනුව, වසර හයක කාලයකට සීමා වූ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ආදේශ විය. 


මේ තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ජයවර්ධන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ වෙළඳපොළ සංකල්පය හෝ ධනවාදය නොවේ. සෝවියට් දේශයේ පස් අවුරුදු සැලසුම් ආකාරයේ, සීමිත පිරිසක් විසින් ආර්ථිකය මධ්‍යගත ලෙස සැලසුම් කිරීමකි. රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ එවැනි සැලසුම් ක්‍රියාත්මක වන විට දූෂණයට හා නාස්තියට ඉඩකඩ විවර වීම වැළැක්වීම අසීරු කරුණකි. 

මේ ව්‍යාපෘති හරහා රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ වී සිටි පිරිසකට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබුණේය. මෙහිදී මා මතු කරන කරුණ මේ ව්‍යාපෘති නොකළ යුතුව තිබුණු ව්‍යාපෘති බව නොවේ. කවර ආකාරයේ හෝ ඒකාධිකාරයන් විසින් නාස්තියට හා දූෂණයට ඉඩ සලස්වන බවයි.

එහෙත්, බොහෝ දෙනෙකු විසින් තවමත් කරන්නේ නාස්තියට හා දූෂණයට එරෙහිව කෑගසන අතරම රාජ්‍යය තවතවත් විශාල කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. මේ නාස්ති හා දූෂණ වැළැක්වීමට කොමිෂන් සභා සහ කොමසාරිස්වරුන් පත් කරමින් රාජ්‍යය තවදුරටත් අකාර්යක්ෂම කළ හැකිය. අන්තිමේදී අල්ලස් කොමසාරිස්වරුත් අල්ලස් ගනිති. ඒ අයව අල්ලන්නට තවත් අය අවශ්‍ය වේ.

ජයවර්ධන යුගයේ ආනයන වියදම් වැඩි වීමට මහවැලි ව්‍යාපෘතිය ආදී මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් සිදුකළ ප්‍රාග්ධන ආයෝජනද හේතු විය. මහවැලි ව්‍යාපෘතියේ ශුද්ධ ප්‍රතිලාභ ගණනය කිරීමේදී මේ හේතුවෙන් වෙළඳ ශේෂයට සිදුවූ බලපෑම සහ රාජ්‍ය ණය ඉහළ යාම නිසා සිදුවූ අවාසියද සැලකිල්ලට ගත යුතුය.

කෙසේ වුවද, මේ අයුරින් ජයවර්ධන රජය විසින් රාජ්‍ය ආයෝජන වලට බර තබන අතර සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීම සඳහාද සැලකිය යුතු බරක් තැබුවේය. ජයවර්ධන රජයේ මේ සෘජු විදේශ ආයෝජන ඇද ගැනීමේ උත්සාහය ගැන තවදුරටත් කතා කළ යුත්තේ එදා මෙදාතුර ලංකාවේ සියළු රජයයන් සිය ආර්ථික ප්‍රතිපත්ති තුළ සෘජු විදේශ ආයෝජන වලට විශාල බරක් තැබූ බැවිනි. පවතින රජය උත්සාහ කරන්නේද සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීමටය.

නිදහසින් පසු හැත්තෑ හත දක්වා කාලය තුළ සමස්තයක් වශයෙන් සිදු වූයේ රට තුළ පැවති ප්‍රාග්ධනය රටින් පිටතට ඇදී යාමයි. මෙය පහත රූප සටහන දෙස බැලූ විට පැහැදිලි විය යුතුය. පෙර රජයන්හි පෞද්ගලික දේපල රජය සතු කිරීමේ ප්‍රතිපත්තිය මෙයට හේතුවිය.



තීරණාත්මක ලෙස ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට ජයවර්ධන පාලනය සමත්වූ බව 1979 පමණ සිට සෘජු විදෙස් ආයෝජන ලංකාවට ගලා ඒම ඇරඹීමෙන් පෙනීයයි. එතැන් සිට අද දක්වාම සෑම වසරකදීම ලංකාවට යම් සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් පැමිණේ.

කෙසේ වුවද, ප්‍රාග්ධන ප්‍රභවයක් ලෙස හෝ වෙළඳ හිඟය ආවරණය කර ගත හැකි මෙවලමක් ලෙස සෘජු විදෙස් ආයෝජන කිසි විටෙකත් විශාල කාර්ය භාරයක් ඉටුකළේ නැත. සෘජු විදෙස් ආයෝජන ලෙස පැමිණි ප්‍රාග්ධන ප්‍රවාහ සංඛ්‍යාත්මකව ආනයන වියදමෙන් 5% ඉක්මවූයේ 1997 වසරේදී පමණි. (එම වසරේ මේ වැඩි වීම සිදු වුණේ එන්ටීටී සමාගම විසින් ටෙලිකොම්හි කළ විශාල ආයෝජනය  නිසායැයි සිතමි.) මෑත වසර වලදී වසරක් තුළ විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ හරහා ලැබුණු අරමුදල් සෘජු විදෙස් ආයෝජන වලින් ලැබුණු මුදල මෙන් දහ ගුණයකටත් වඩා වැඩිය.


සෘජු විදෙස් ආයෝජන රටට ලැබෙන්නේ රට තුළ ඇති සමාගම් වල අයිතියද විදේශිකයන්ට හිමි කර දෙමිනි. ඒ නිසා, මේ සමාගම් ලාභ ලබන විට එම ලාභයන්හි හිමිකරුවන් වන්නේද ඔවුන්ය. වෙනත් විදිහකින් කිවහොත්, රට තුළට සෘජු විදෙස් ආයෝජන නිසා ගලා එන ප්‍රාග්ධනය හේතුවෙන් අළුතෙන් නිර්මාණය වන සම්පත් වලින් සැලකිය යුතු කොටසක් නැවතත් රටින් පිටතට ප්‍රාග්ධනය ලෙස ගලා යයි. මෙසේ එකතුවන අගය රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නමුත් ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය නොවේ. ඒ නිසා එවැනි ආයෝජන හරහා සිදුවන ආර්ථික වර්ධනය රටවැසියන්ගේ 'ඇඟට නොදැනෙන්නට' පුළුවන.

මා මෙහිදී කියන්නේ සෘජු විදෙස් ආයෝජන නොවැදගත් බව නොවේ. ප්‍රාග්ධන ප්‍රභවයක් ලෙස සෘජු විදෙස් ආයෝජන මත වැඩිපුර විශ්වාසය තැබීම නුවණට හුරු නැති බවයි. සෘජු විදෙස් ආයෝජන නිසා රටකට ලබා ගත හැකි වෙනත් ප්‍රතිලාභ රැසක් තිබේ.

මේ වන විට ලෝකයේ බොහෝ ආර්ථිකයන් වර්ධනය වන්නේ ප්‍රාග්ධනය හේතුවෙන් නොවේ. ප්‍රාග්ධනය හේතුවෙන් ආර්ථිකයක් එක දිගට වර්ධනය වීමටනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය ගලා ආ යුතුය. එය ප්‍රායෝගිකව සිදුවිය හැක්කක් නොවේ. දිගුකාලීනව ස්ථාවර ලෙස ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත හැක්කේ ඵලදායීතාව ඉහළ නැංවීම මඟිනි. මෙය කළ හැක්කේ දිගින් දිගටම තාක්ෂනය අළුත් කිරීමෙනි. ඒ සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කළ යුතුය.

කෙසේ වුවද, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින, තාක්ෂනය අතින් පිටුපසින් සිටින රටකට ඇමරිකාවට හෝ ජපානය වැනි රටකට නැති වාසියක් තිබේ. ඒ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැඩි වියදමක් නොදරා සංවර්ධිත රටවල් සතු තාක්ෂණය ප්‍රයෝජනයට ගත හැකි වීමයි. අනෙකුත් ප්‍රධාන නිෂ්පාදන සාධක දෙක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය එක් රටකින් තවත් රටකට ගලා යන විට මුල් රටෙහි එම සාධක අඩුවන නමුත් තාක්ෂනය හා අදාලව එවැන්නක් සිදු නොවේ. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටකට තාක්ෂනය ලබා ගැනීම ශ්‍රමය හා ප්‍රාග්ධනය ලබා ගැනීම තරම් අසීරු කටයුත්තක් නොවේ.


කෙසේ වුවද, සංවර්ධිත රටවල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් කරා නවීන තාක්ෂනය පියඹා එන්නේ නැත. ඒ සඳහා තාක්ෂණ ඥානය සම්ප්‍රේෂණය විය හැකි යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. සෘජු විදේශ ආයෝජන සමඟ පහසුවෙන් නවීන තාක්ෂනය සම්ප්‍රේෂණය වේ.

(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)

(Image: flickriver.com)

Wednesday, January 13, 2016

ආර්ථිකය වර්ධනය වන්නේ කොහොමද?

රටක ආර්ථිකයක් ඉදිරියට යන ආකාරය ඉතා සරල ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කළ හැකිය. සරල වුවත්, මෙය ආර්ථික විද්‍යාවේදී බොහෝ විට භාවිතා කරන, ආර්ථික වර්ධනය සිදුවන ආකාරය පැහැදිලි කිරීමට ප්‍රමාණවත් ආකෘතියකි.

යම් කාලයක් තුළ රටක සිදුවන සමස්ත නිෂ්පාදනය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතය මඟිනි. මෙහි නිෂ්පාදනය යන්නට භාණ්ඩ මෙන්ම සේවාවන්ද ඇතුළත්ය. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික සාධක සියල්ල කොටස් තුනක් යටතේ වර්ග කළ හැකිය.

-ශ්‍රමය,
-ප්‍රාග්ධනය, හා
-තාක්ෂණය වශයෙනි.

භූමිය, උපකරණ, යන්ත්‍ර සූත්‍ර ආදී සියල්ල ඇතුළත් වන්නේ ප්‍රාග්ධනය යන්නටය.

ප්‍රාග්ධනය හෝ ශ්‍රමය යන දෙකෙන් ඕනෑම එකක් වැඩියෙන් ඇති විට නිෂ්පාදනය වැඩි වේ. එහෙත්, මෙසේ වැඩි වන ප්‍රමාණය එන්න එන්නම අඩුවේ. ඒ නිසා මේ දෙක අතර සමතුලිතතාවක් තිබීම වැදගත්ය. එවැනි සමතුලිතතාවක් ආරම්භයේදී නොපැවතියද කල්යාමේදී ස්වභාවිකවම එවැනි සමතුලිතතාවක් ඇති වේ.

හේනක් හෝ කුඹුරක් කොටන්නට අත් හතරක් එකතු වූ විට අත් දෙකකින් කෙරෙනවාට වඩා වැඩක් කෙරෙන බව පැහැදිලිය. තවත් දෑතක් එකතු වූ විට නිෂ්පාදනය තවත් වැඩිවේ. වෙනත් නිෂ්පාදනයක් හා අදාළවද මෙය සත්‍යයකි. ශ්‍රමය වැඩි වන විට නිෂ්පාදනය වැඩි වේ. ප්‍රාග්ධනය හා තාක්ෂණය නොවෙනස්ව තිබියදී ශ්‍රමය වැඩියෙන් යෙදවීමෙන් නිෂ්පාදනය වැඩි කළ හැකි වුවත් මෙය කාර්යක්ෂමව සිදුවන්නේ එක් සීමාවක් දක්වා පමණි.

වී වගා කළ හැකි කුඹුරු කෑල්ලක් වගේම කුඹුරක් සකස් කිරීමේදී උපකාරී කරගන්නා උදැල්ලක් වැනි උපකරණයක්ද ප්‍රාග්ධනයේ කොටසකි. තියෙන්නේ පොඩි කුඹුරු කෑල්ලක් සහ එක් උදැල්ලක් පමණක්නම් දෙවැනියෙකුට කුඹුරු කෙටිල්ලට උදවු වීමට සිදුවන්නේ පළමුවෙනියා විවේක ගන්නා වෙලාවට පමණි. එහෙත්, එසේ උදවු වීමෙන්ද නිෂ්පාදනයට යම් දායකත්වයක් දෙන්නට පුළුවන. නමුත්, මේ දායකත්වය පළමුවැන්නාගේ දායකත්වයට වඩා අඩුය.

ශ්‍රමය සහ තාක්ෂණය නොවෙනස්ව තිබියදී ප්‍රාග්ධනය වැඩි කළ විට සිදුවන්නේද මෙයයි. දෙදෙනෙකු වැඩ කරන තැනක උදළු තුනක් ඇත්නම් තෙවන උදැල්ලෙන්ද නිෂ්පාදනයට යම් වාසියක් සැලසේ. පළමු උදළු දෙකෙන් එකක මිට ගැලවුණු විට එය හදා හදා කාලය ගත නොකර තෙවන උදැල්ල ගෙන වැඩේ කරගෙන යන්නට පුළුවන් නිසා නිෂ්පාදනය යම් තරමකින් හෝ වැඩි වේ. එහෙත්, තෙවන උදැල්ල නිසා එකතු වන වැඩිපුර නිෂ්පාදනය දෙවන උදැල්ලෙන් එකතු වූ ප්‍රමාණයට වඩා අඩුය.

පරිගණක මෘදුකාංග වැඩිදියුණු කිරීම වැනි නිෂ්පාදනයක් හා අදාළවද මෙය මෙසේම බලපායි. මෘදුකාංග ඉංජිනේරුවන් මෙන්ම අළුත් පරිගණක එකතු කිරීමෙන් නිෂ්පාදනය වැඩි කළ හැකි වුවත් මේ සාධක දෙක අතර නිසි සමතුලිතතාවක් නැත්නම් නිෂ්පාදනය වැඩිවන්නේ ඉතා කුඩා ප්‍රමාණයකිනි. ඇතැම් රජයේ ආයතන වල ඇතැම් පුරප්පාඩු සඳහා සුදුසුම අය විෂය භාර ඇමති වරයාගේ ගම් පළාතෙන්ම බිහිවීමට හේතුව තවමත් කිසිවෙකු න්‍යායාත්මකව පැහැදිලි කර නැතත් මෙය ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. මෙසේ සුදුසුකම් ඇති බොහෝ දෙනෙකුට එකවර අහම්බයෙන් පත්වීම් ලැබෙන ඇතැම් අවස්ථා වල අළුතින් බඳවාගන්නා අයට පුටු මේසවත් නැත. එවැනි බඳවාගැනීම් වලින් නිෂ්පාදනය ඉහළ නොයන බව කිවයුතු නැත.

වාෂ්ප එන්ජිම සොයාගන්නා කාලය දක්වා දීර්ඝ ඉතිහාසය තුළ ලෝකයේ කොයි කොටසේත් හෝමෝ සේපියන්ස්ලාගේ ජීවන තත්ත්වය තිබුණේ අද තත්ත්වයට සාපේක්ෂව ඉතා පහත් මට්ටමකය. මේ කාලයේ ශ්‍රමය වුණේ අතපයේ ශක්තියයි. මේ මූලික ශ්‍රමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුනත් ශක්තිමත්ම පුද්ගලයෙකුට වුවද නිෂ්පාදන කාර්යයක් සඳහා යෙදවිය හැකිව තිබුණු උපරිම ශක්තිය අද ඇති මූලික මට්ටමේ යන්ත්‍රයකට යෙදවිය හැකි ශ්‍රමයට වඩා අඩුය. එමෙන්ම, ප්‍රාග්ධන සම්පත් හා තාක්ෂණය පැවතියේද මූලික මට්ටමකය.

කාර්මික පුනරුදයට පෙර ඉතිහාසයේත් සාපේක්ෂව ආර්ථික දියුණුවක් ලැබූ රටවල් තිබුණේය. ඒ කාලයේ වැඩිම දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කළේ වැඩිම ජනගහනයක් සිටි, වැඩිම ශ්‍රමයක් යෙදවිය හැකිව තිබුණු රටවල්ය. ඉන්දියාව හා චීනය උදාහරණයි. මෙවැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය ඒ කාලයේ වෙනත් රටවල එම නිෂ්පාදිතයට වඩා වැඩි වුවත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය තව දුරටත් අඩු මට්ටමක පැවති නිසා රටේ සාමාන්‍ය වැසියෙකුගේ ජීවන තත්ත්වය එතරම් ඉහළ ගියේ නැත.

රටක ජනගහනය වැඩිවන විට සමස්ත නිෂ්පාදිතය වැඩි වුවත් එය බෙදිය යුතු කටවල් ගණනද වැඩි වේ. මේ වන විට, මිල දී ගැනීමේ හැකියාව අනුව චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාවේ එම අගයට ආසන්නව සමානය. එහෙත්, චීනයේ ජනගහණය ඇමරිකාවේ ජනගහණය මෙන් සිවු ගුණයකටත් වඩා වැඩි නිසා චීනෙකුගේ සාමාන්‍ය ආදායම ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය ආදායමෙන් හතරෙන් එකකටත් වඩා අඩුය.

ඉතිහාසයේ වැඩි කාලයක් වුනේත් මෙවැන්නකි. වැඩි ජනගහණයක් සිටි රටවල පාලකයාට සහ පාලකයාගේ සමීපතම පිරිසකට තමන්ගේ ජීවන තත්ත්වය හොඳ මට්ටමකින් පවත්වා ගැනීමට මෙන්ම අදාළ කාලයට සාපේක්ෂව දැවැන්ත නිර්මාණ ඉදි කිරීමටත් හැකියාව ලැබුණත් රටේ සාමාන්‍ය වැසියන් ගෙවුවේ අදට සාපේක්ෂව දුක්ඛිත ජීවිතයකි.

ශ්‍රමය වැඩිපුර යෙදවීමෙන් ආර්ථිකයක් දියුණු කිරීමටනම් ජනගහණයද වැඩිවිය යුතුය. එවිට, සමස්ත නිෂ්පාදනය ඉහළ ගියත් එය බෙදාගැනීමට සිටින පිරිසද ඉහළ යන නිසා තනි පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ඉහළ නොයයි.

මේ තත්ත්වය වෙනස් කළේ තාක්ෂණ දියුණුවයි. තාක්ෂණය මඟින් ශ්‍රමය සහ ප්‍රාග්ධනය නොවෙනස්ව තිබියදීම සමස්ත නිෂ්පාදිතය ඉහළ දමා ගැනීමට ඉඩ සලසයි. මෙහිදී, ජනගහණය වැඩිවීමක් අවශ්‍ය නොවන නිසා සමස්ත නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායමද ඉහළ යයි. අදත්, ලෝක ආර්ථිකය ඉදිරියට යන්නේ ප්‍රධාන වශයෙන්ම තාක්ෂණය නිසාය.

(Image: http://hallingblog.com/2010/05/11/source-of-economic-growth/)