Wednesday, May 18, 2016

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (පළමු කොටස)

පසුගිය ලිපියෙන් මා පෙන්වා දුන්නේ ලංකාවේ ණය අර්බුදය නිදහස ලැබූ කාලයේ සිටම ක්‍රමයෙන් වර්ධනය වූවක් බවයි. ජයවර්ධන යුගයේදී ප්‍රථම වරට ලංකාවේ රාජ්‍ය ණය තොගය රටේ දළ දේශීය නිෂ්පාදිතයද ඉක්මවූ අතර 2004 වසර වන විටත් ණය තොගය ජාතික ආදායමට ඉහළින් පැවතුණේය.

රටක ණය තොගය ජාතික ආදායම ඉක්මවූ පමණින් ආර්ථිකයක් ක්ෂණික කඩාවැටීමකට ලක්වන්නේ නැත. ජපානයේ රාජ්‍ය ණය තොගය රටේ ජාතික ආදායම මෙන් දෙගුණයකටත් වැඩිය. ඇමරිකාව හා සිංගප්පූරුව වැනි රට වල රාජ්‍ය ණය තොගයද  එම රටවල ජාතික ආදායමට වඩා වැඩිය. මෙවැනි තත්ත්වයක සිට පසුව ණය ප්‍රමාණය බරක් නොවන මට්ටමට අඩු කරගත් රටවල් ඕනෑ තරම් තිබේ.

රටක් හෝ පුද්ගලයෙකු ණය ගැනීම හැම විටම නරක දෙයක් නොවේ. කිසියම් ආයෝජනයකින් ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළනම් ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ලබාගෙන මුල් මුදල හා පොලිය ගෙවීමන් අනතුරුවද ලාභයක් ලැබිය හැකිය. පසුගිය දශකයක පමණ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය අඩුවීම මඟින් වුවද පෙනෙන්නේ ජාතික ආදායම වැඩි වේගයකින් වර්ධනය වේනම් ණය ආපසු ගෙවීම නොකළ හැකි දෙයක් නොවන බවයි.

පසුගිය 2004-14 කාලය තුළ ලංකාවේ ආර්ථික වර්ධනය නිදහසින් පසු එක දිගට පැවති ඉහළම ආර්ථික වර්ධනයයි. ඒ කාලය තුළ රටේ ණය ඉහළ ගොස් ඇතත් එය සිදු වී ඇත්තේ වෙනත් කාල වලදී සිදු වූවාට වඩා වැඩි වේගයකින් නොවේ. මේ කාලය තුල උද්ධමනය අඩු මට්ටමක පැවති අතර, විණිමය අනුපාතිකයද ස්ථාවරව පැවතුණේය. රටේ විදෙස් සංචිත ඉහළ ගියේය. විරැකියා අනුපාතිකය හා දරිද්‍රතාව අඩු විය. එසේනම්, මේ ආර්ථික අර්බුදයක් ගැන කියන කතාව බොරුවක්ද?

ජෙන්ගා නම් වූ ක්‍රීඩාවක් තිබේ. මේ ක්‍රීඩාවේදී පළමුව දිගටි ලී කැබලි එක මත එක තබමින් කුළුණක් සාදනු ලබයි. ඉන් පසුව ක්‍රීඩාව ඇරඹේ. තමන්ගේ වාරය පැමිණි විට ක්‍රීඩකයෙකු කළ යුත්තේ මේ කුළුණින් එක් ලී කැබැල්ලක් ඉවත් කිරීමයි. කුළුණ කඩා වැටුනහොත් ක්‍රීඩකයා පරාජයට පත් වේ. ලී කැබලි එකින් එක ඉවත් වෙද්දී කුළුන බිඳ නොවැටී ලී කැබැල්ලක් ඉවත් කිරීම එන්න එන්නම අමාරු වෙයි.

රටක ආර්ථිකය මෙහෙයවීමද ජෙන්ගා ක්‍රීඩාවකි. එහෙත්, මේ ක්‍රීඩාවේ නීති වඩා සංකීර්ණය. මේ වෙනස් ජෙන්ගා ක්‍රීඩාවේදී ක්‍රීඩකයෙකුට එක දිගට වාර ගණනක් ක්‍රීඩා කිරීමට ලැබේ. එසේ ක්‍රීඩා කරද්දී ක්‍රීඩා කිරීමේ වාරය ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු විසින් ලබා ගැනීම වැලැක්වීම සඳහා   ඉවත් කර ගන්නා ලී කැබලි යොදා ගෙන කුළුණ තවත් උස් කළ යුතුය. ඒ අතරම ලී කුළුණ ස්ථාවරව පවතින බවටද වග බලාගන්නට සිදු වේ. 

මේ ක්‍රීඩාවේදී ලකුණු ලැබෙන්නේ ක්‍රීඩා කරන වාර ගණනටය. එය කඩා වැටෙන්නට එන බව පෙනේනම් විනිශ්චයකරු විසින් අනෙක් ක්‍රීඩකයාට වාරය ලබා දෙනු ඇත. එමෙන්ම, කුළුණ ගොඩ නංවන බවක් නොපෙනේනම් එවිටද විනිශ්චයකරු විසින් අනෙක් ක්‍රීඩකයාට වාරය ලබා දෙනු ඇත.

කෙසේ වුවද, මේ ක්‍රීඩාවේදී කුළුන සාදන්නේ දැඩි සුළං ඇති තැනකය. ඒ නිසා සමබරතාවය බිඳුනොත්  සුළඟට කුළුණ කඩා වැටෙන්නට පුළුවන. එසේ කඩා වැටෙන්නට යන විට ක්‍රීඩකයෙකුට කලින් ඉවත් කළ ලී කැබලි නැවත ඒවා පැවති තැන් වලට එකතු කරන්නටද පුළුවන.  සුළං දැඩි විට කුළුණ කඩා නොවැටී තබා ගැනීම එහි උස වැඩි කරනවාට වඩා වැදගත්ය.

පසුගිය කාලයේ ඉහළ ආර්ථික වර්ධනයක් ලැබූ ලංකාවේ ආර්ථිකයද මෙසේ උසට හැදූ ජෙන්ගා කුළුණක් විය. කුළුණ උස ගියේ එහි පැවති අසමතුලිතාවයන් බොහොමයක් පිටතට නොපෙන්වමිනි. ඒ නිසා, මේ දුර්වලතා හඳුනා ගැනීම අපහසු වුවත් එය අමාරුවෙන් හෝ කිරීම ඉතා වැදගත් කරුණකි.

රජයකට ණය ආපසු ගෙවීමට විවිධ ක්‍රම තිබේ. පළමු හා පහසුම ක්‍රමය ජනතාවගෙන් බදු අය කර ගැනීමයි. බදු ආදායම ප්‍රමාණවත් නැත්නම් බදු වැඩි කළ හැකිය. එහෙත්, යම් මට්ටමක් දක්වා බදු වැඩි කිරීමෙන් පසු තව දුරටත් බදු ඉහළ දමා ආදායම වැඩි කර ගත නොහැකි වේ. (කියවන්න: වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද? ) එවිට, දෙවන විකල්පය වන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීමයි. ඒ මඟින් රටේ ජනතාව හා සමාගම් අත ඇති මුදල් ණයට ගන්නට පුළුවන. 

මෙයටද සීමාවක් තිබේ. රටේ පෞද්ගලික ඉතිරි කිරීම් අඩුවනවිට පෞද්ගලික ආයෝජන අඩුවී ආර්ථික වර්ධනය අඩුවීම නිසා රජයේ බදු ආදායම්ද අඩු වන්නට පටන් ගනී. එමෙන්ම, වාණිජ බැංකු වලටද භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණිය හැකිය. එසේ කළ විටද, රටේ බැංකු පද්ධතියේ අරමුදල් ක්ෂය වී පෞද්ගලික අංශයට ණය ලබා දීම සීමා වීම නිසා ආර්ථික වර්ධනය අඩාල වී රජයේ බදු ආදායම් අඩුවීමේ අනතුර තිබේ. 

අවසාන වශයෙන්, වෙනත් විකල්පයක් නැති වන විට රජයේ සුරැකුම්පත් මහ බැංකුවට විකුණන්නට පුළුවන. මෙහි අවසාන ප්‍රතිඵලය පළමුව උද්ධමනය හා පසුව අධි-උද්ධමනයයි. මෙවැනි සීමාවන් පවතින නමුත්, අධි-උද්ධමනයට මුහුණ දීමට සිදුවීමේ අවදානම පෙනෙන තුරු රජයකට ණය ආපසු ගෙවන්නට විවිධ ක්‍රම ගණනක් තිබේ.

පෙර කී පරිදි ඇමරිකාවේ, ජපානයේ මෙන්ම සිංගප්පූරුවේද රාජ්‍ය ණය තොගය එම රට වල ජාතික ආදායමට වඩා වැඩිය. ජපානයේ එය දෙගුණයකටත් වැඩිය. එහෙත්, මේ රටවල් වල ණය අර්බුද ගැන එතරම් ලොකු කතාබහක් සිදු නොවේ. ඒ කියන්නේ ලංකාවේ ඔය කියන විදිහේ ණය අර්බුදයක් නැද්ද?

ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තනි අංකයකින් විස්තර කළ හැකි තරමට සරල එකක් නොවේ. රටක රාජ්‍ය ණය කිසියම් හේතුවකින් ඉහළ ගිය විට (කිසියම් පැහැදිලි සීමාවක් තුළ වුවත්) බදු ඉහළ නැංවීමේ සිට අළුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම (එනම් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවි කිරීම) දක්වා විවිධ ක්‍රම වලින් අරමුදල් රැස් කරගෙන ඒ ණය කෙසේ හෝ ගෙවා දැමීමේ හැකියාව තිබේ. (එසේ කිරීමේ අහිතකර ප්‍රතිඵල වලට පසුව මුහුණ දෙන්නට වීම වෙනම කරුණකි.) මේ මොහොතේ වත්මන් රජය කරමින් සිටින්නේද එයයි.

කෙසේ වුවද, ඉහත ආකාරයෙන් බදු මුදල් හෝ අළුතින් සංසරණයට එකතු කළ මුදල් යොදාගෙන පියවීමේ හැකියාව ඇත්තේ රුපියල් වලින් ගෙවන්නට ඇති දේශීය ණය පමණි. විදේශ ණය ගෙවීමේදී මේ රුපියල් ඩොලර් වලට (හෝ වෙනත් පිළිගත් ව්‍යවහාර මුදලකට) මාරු කළ යුතුය. රජයට බදු ලෙස ඩොලර් අය කර ගැනීමේ හෝ ඩොලර් මුද්‍රණය කිරීමේ හැකියාවක් නැත!


රජය සතුව ණය ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් තිබියදී වුවත්, රට තුළ ප්‍රමාණවත් විදෙස් සංචිත නැත්නම් විදෙස් ණය පියවීමේ හැකියාවක් නැති වේ. ගෙවුම් ශේෂ අර්බුදයක් යනු මෙයයි.

ගෙවුම් ශේෂ අර්බුද වලට එකම හේතුව රාජ්‍ය ණය වැඩිවීම නොවේ. කවර හේතුවක් නිසා හෝ කිසියම් රටක ආනයන වියදම් පියවීමට ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති වුවහොත් එම රටට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දීමට සිදු වේ. සමඟි පෙරමුණු යුගයේදී රට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන්නේත්, වෙනිසියුලාවේ අද ඇති ප්‍රශ්නය ඇති වී තිබෙන්නේත් රාජ්‍ය ණය වැඩි වූ නිසාම නොවේ. කෙසේ වුවද, රාජ්‍ය ණය, විශේෂයෙන්ම විදෙස් ව්‍යවහාර මුදලින් ලබාගත් විදෙස් ණය, බොහෝ විට  ගෙවුම් ශේෂ අර්බුද වලට හේතු වේ. එවිට, ගෙවුම් ශේෂ අර්බුදය නිසා රාජ්‍ය ණය අර්බුදයත්, රාජ්‍ය ණය අර්බුදය නිසා ගෙවුම් ශේෂ අර්බුදයත් එකිනෙක පෝෂණය කිරීම සාමාන්‍යයෙන් අවසන් වන්නේ විශාල ආර්ථික කඩා වැටීමකිනි.




(මතු සම්බන්ධයි.)

(Image: www.vat19.com)

26 comments:

  1. අන්තිම වාක්‍ය කියෙව්වම ඇඩෙනවා.

    ඉකොනොමැට්ටො.... මේ වගේ ලිපි වැඩි දෙනෙක් අතරට යායුතුයි බොජුන් වලට වඩා. මේක වැඩි පිරිසක් අතර ගෙනියන්න ඔබ ළග ක්‍රම ඇති. ඒත් මාත් මේක වත් පොතේ බෙදාගත්තට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. උඩින් ඇති "f" ක්ලික් කර එය කළ හැකියි. (පෙර ලිපිය දැනට 15,000ක් පමණ කියවා තිබෙනවා. මෙය ඉතා විශාල ගණනක්. එහෙත් හැමවිටම එය එසේම වෙන්නේ නැහැ. )

      Delete
    2. අහන්නත් සන්තෝසයි ඒ තරම් ප්‍රමාණයක් ඒ වගේ වටින ලිපියක් කියෙව්වා කිව්වම. ඒක ඔබ වැය කරන කාලෙට ලැබෙන ලොකු වටිනාකමක්.

      මේවා තමයි බ්ලොග් අවකාශයේ ලියවෙන මිනිස්සුන්ගෙ ඇහැ ගැටිය යුතුම ලිපි. මොකද ආර්ථික විද්‍යාත්මක කරුණු මේ වගේ සරලව පක්ෂග්‍රාහී නොවන ලෙස ලියවුන තැනක් මගේ දැනුමෙ හැටියට නෑ.

      " f" අකුර....හි හි..Shrare කරන හැටි දන්නවා.කළාට කමක් නැති බවත් දන්නවා. ඒත් අනවසරෙන් එහෙම දෙයක් කිරීම යුතු නැති නිසයි ඇහුවෙ. ස්තූතියි!

      Delete
    3. එය ලිවුවේ කියවන අනිත් අයටත් එක්කයි. ඉඳහිට ලිපියක් වත්පොතේ ශෙයා වීම නිසා ඒ තරමට කියවනු ලැබුවත් මෙහි ලිපියක් බොහෝ විට කියවන්නේ 200කට අඩු පිරිසක්. ලිපියක් යලට මහට කියවන අයගෙන් සිදුවන්නේ අවශ්‍ය දෙය නෙමෙයි. එවැනි අය බොහෝවිට කියවන්නේ තමන්ට අවශ්‍ය දෙයක් මිස මා ලියා ඇති දෙය නෙමෙයි. මම කැමති තමන්ගේ කැමැත්තෙන් එක දිගට කියවන පිරිස සුළුවෙන් හෝ වැඩි කරගන්නයි. එවැනි අය මා ලියූ දෙය තේරුම් ගන්නා අයයි.

      Delete
  2. මේ ආරථික අර්බුදයෙන් ගැලවෙන්න අපි කුමක් කල යුතුද ?

    ReplyDelete
    Replies
    1. IMF උදවු ආදිය නිසා බොහෝවිට එවැනි අර්බුදයක් ළඟදී ඇති වන එකක් නැහැ. එහෙත්, දීර්ඝකාලීනව ප්‍රශ්නය පවතින තුරු මේ දෙය නැවත නැවත සිදුවනවා. ඔබ රටේ ජීවත්වන සාමාන්‍ය පුද්ගලයෙක්නම් ඔබට කළ හැක්කේ ඔබ පරිභෝජනය කරන දෙයට වඩා යමක් ආර්ථිකයට එකතු කිරීම වැනි සරල දෙයක් පමණයි.

      Delete
  3. මට තේරෙන විදිහට මේ වගෙ කඩා වැටිම් තියන තැනකට එක පාරට විසඳුම් නැහැ.. පලවෙනිම දෙ හොදින් දැනුවත් විම. මෙ වගෙ සරලව ලියු ලිපි කිසිම වෙන් කිරිමක් නැතුව කියවන්නට හැම තරාතිරමකම අයට ඉඩ සැලස්විම. අනිත් වැදගත් පියවර යැපුම් මානසිකත්වයෙන් මිදිම සඳහා තම් තමන් ස්වාධින වෙන ගමන් ඉදිරි පරම්පරාව සවාධින කිරිමට පාසල් අධායපනයත් දෙමාපිය වැඩිහිටියන් දරුවන් හදන විදිහෙත් ඇති විය යුතු ආකල්පමය වෙනස. අපෙ ජිවිත වල අරමුණු හරියටම අංශක 360 කින් හැරෙන්න ඕන කියලා මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඔබ ලියා ඇති දේ සමඟ එකඟයි. 360කින් හැරීම හැර. :)

      Delete
    2. මන් එහෙම කිව්වෙ සරලව තමන්ගෙ බොහෝ මුලික අවශයතා තමන්ටම කර ගන්න පුලුවන්කම තියෙද්දිත් නොකරන කොහෙන් හරි පිනට ලැබෙනව නම් ඔන නැති උනත් බාර ගන්න ක්‍රමය ගැනයි. අපිට ජිවත් වෙන්න මහ ගොඩක් දෙවල් ඔන වෙන්නෙ නැහැ කියලයි මම හිතන්නේ :) :)

      Delete
    3. ඇයි දරුවෝ අංශක 360කින් හැරුණහම ආපහු හිටපු විදිහමනේ! :)(ඔබ කියන දේ මට තේරෙනවා.)

      Delete
    4. ඔව්.. ආපහු කාලය හරහා හිටපු තැනටම එන්න ඔන කියන එක තමා මට කියන්න ඔන උනෙ සැහෙන අතිතයෙ හිටියා වගෙ . මං කිව්ව දේ ඒ තරන් පැහැදිලි වෙන්නෙ නැ තමා. :)

      Delete
    5. මේ විදිහට ලොකෙ හැමොම එකිනෙකා පරයා දැනට තියන ඉල්ලුමට වඩා එක දෙය ගානෙ හරි එකතු කරගෙන ගිහාම අන්තිමෙ වැඩිවෙන ජනගහනය සහ සීමිත සම්පත් එක්ක අපි කොහෙද නතර වෙන්නෙ කියල මට හිතෙනව..

      Delete
    6. දැන්නේ තේරුණේ...ටියුබ් ලයිට් එක පත්තු වෙන්න ටිකක් වෙලා ගියා.

      Delete
  4. ඉකොනමැට්ටා..මට ඔබට කියන්න හිතුන අපි කොහොම මොන විදිහෙන් මේ කඩාවැටිම්, විසඳුම්, වෙන්න තියන අවදානම් මොන තරන් සරලව පෙන්නව දුන්නත් ඒ ලිපි කියෙව්වත් එදිනෙදා ජීවිතෙයෙ දැනෙන බඩගින්න සහ අනිකුත් මුලික අවශයතා එක්ක හැම කෙනෙක්ම ආපහු ලිපිය කියවා ඇති උනු වෙනස මඳකට පසෙකින් තියල පරන පුරුදු රටාවටම වැටෙනව ජිවත් වෙන්න. මට හිතෙනව අපි කල යුත්තෙ දිගින් දිගට අත් නොහැර ටිකෙන් ටිකෙන් ඒ ආපසු හැරෙන මානසික මට්ටම අඩු කිරිම හැකිතාක් දැනුවත් කිරිම.. විවිධාකරයෙන් විවිධ සමාජ පැතිකඩ වලින්. ඒ නිසා ලිවිම බෙදා හැරිම කිසිම විටක නතර කරන්න එපා වගේම ඕනම තරාතිරකම කෙනෙකුට උනත් ලිපියෙ මුලික කරුණු වැටහෙන විදිහට අඩුම ගානෙ රුප රාමු භාවිත කර හෝ පැහැදිලි කර දෙන්න.මට දැනෙන විදිහට අපේ දරුවන්ට මෙහෙම ගියොත් ජීවත් වෙන්න ලංකාවක් ඉතුරු වෙන්නෙ නැ...

    ReplyDelete
    Replies
    1. මෙයට එක හේතුවක් වන්නේ ලංකාව කවදාවත් එවැනි දරුණු කඩා වැටීමක් දැක නොතිබීම. ජපානය හා ජර්මනිය ගොඩ නැගුනේ එවැනි කඩාවැටීම් වලින් පසුවයි.

      Delete
  5. මට තේරෙන විදිහට මේ වගෙ කඩා වැටිම් තියන තැනකට එක පාරට විසඳුම් නැහැ.. පලවෙනිම දෙ හොදින් දැනුවත් විම. මෙ වගෙ සරලව ලියු ලිපි කිසිම වෙන් කිරිමක් නැතුව කියවන්නට හැම තරාතිරමකම අයට ඉඩ සැලස්විම. අනිත් වැදගත් පියවර යැපුම් මානසිකත්වයෙන් මිදිම සඳහා තම් තමන් ස්වාධින වෙන ගමන් ඉදිරි පරම්පරාව සවාධින කිරිමට පාසල් අධායපනයත් දෙමාපිය වැඩිහිටියන් දරුවන් හදන විදිහෙත් ඇති විය යුතු ආකල්පමය වෙනස. අපෙ ජිවිත වල අරමුණු හරියටම අංශක 360 කින් හැරෙන්න ඕන කියලා මට හිතෙනව.

    ReplyDelete
  6. EM, better to include foreign remittance received /aids also with export income to get a better view of balance payment issue( in the 1st graph )

    ReplyDelete
    Replies
    1. I want to add it to the story as I move on. Decomposing the current a/c deficit to trade deficit, net services income and net remittances is an important part of my analysis of the problem.

      Delete
  7. මම නම් වැඩිය කැමති ආගිය කතා කියවනවට වැඩිය මේ වගේ ශාස්ත්‍රීය ලියවිල්ලක් කියවන්න. එහෙය මම කැමතිය දේ අනිත් අය කරන්න ඕනේ කියල මම හිතන්නෙත් නෑ.

    ලිපිය කියෙව්වා. ජපානයේ ආර්ථිකය ගැනත් යම් සදහනක් තිබුණා දැක්ක. ඒ ගැන මට යම් උනන්දුවක් තිබෙනවා. අහන්නන් වාලේ ප්‍රශ්න අහන්නේ නැතුව මේ තොරතුරු ගැන ඊට සුදුසුම මහාචාර්යතුමෙක් එක්ක එක්ක ටිකක් කතා කරලා පැහැදිලි කරගෙන ඒ ගැන යමක් කතා කරන්න කැමතියි.

    මිනිස්සු විද්‍යාව නොදන්නා විට කපටියන් ඔවුන් මුලාකොට අවිද්‍යාවට සහ මිත්‍යාවට තල්ලු කරනවා. මිනිස්සු ආර්ථික විද්‍යාව නොදන්නවිට දේශපාලකයන් ඔවුන් අතිශයින් මුලාකොට බලය අල්ලාගන්නවා. කේෂ්ත්‍රයේ නොවන අපිත් ආර්ථිකවිද්‍යාවේ හරයවත් ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි කියල මම හිතන්නේ. ඔබේ ලියවිල්ල ඒ හිඩැස පුරවන්න ඉතා වටිනවා. ආර්ථිකය මට ඉතා ආකර්ශනීය විෂයක් වෙන්නේ මම ඒ ගැන නොදන්නා කම නිසාමයි.

    ReplyDelete
    Replies
    1. ජපානය ගැන මම සඳහන් කළේ සරල දෙයක්. යුද්ධයෙන් පසු බිඳ වැටීමෙන් පසු නැවත ඉහළට ආ ආකාරය. මෑතකාලයේ ජපානයත් හොඳ 'කේස් ස්ටඩි' එකක්. ඒ තමයි සියවසකට පමණ පෙර න්‍යායාත්මකව පෙන්වා දුන් තත්ත්වයක් වන ද්‍රවශීලතා උගුලක (liquidity trap) පැටලීම. මේ හේතුවෙන් සෑහෙන කාලයක සිට ආර්ථිකය තියෙන්නේ එකම තැන. පොලී අනුපාතික බින්දුවේ. ජපානයේ රාජ්‍ය ණය වැඩි කළේ මේ තත්ත්වයෙන් ගොඩයාමේ උත්සාහයක් ලෙසයි. ජපානය ගැන තොරතුරු දන්නේනම් අඩුවෙන්. ඒ වුණත් ඔබේ ප්‍රශ්නය ඇහුවොත් අඩු වශයෙන් න්‍යායාත්මක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙයි. ඇතැම් දේවල් ගැන පැහැදිලි කරන්නනම් මූලික සංකල්ප ගැන කලින් කියල ඉන්න වෙනවා. ඇතැම් විට එසේ නැතිව දළ පිළිතුරක් දෙන්නත් පුළුවන්. ලංකාවේ ගොඩක් අය මූලික ආර්ථික විද්‍යා සංකල්ප දැන නොගැනීමට හේතුව (මා ඇතුළු) ගණිත හා ජීව විද්‍යා අංශ වලින් ඉගෙන ගත් අයට ඒ සඳහා අවස්ථාවක් නොලැබීම.

      Delete
    2. ///මූලික ආර්ථික විද්‍යා සංකල්ප දැන නොගැනීමට හේතුව (මා ඇතුළු) ගණිත හා ජීව විද්‍යා අංශ වලින් ඉගෙන ගත් අයට ඒ සඳහා අවස්ථාවක් නොලැබීම.///

      Me too.. :) later in my life I got a chance to learn basics.

      Delete
    3. //The liquidity trap is the situation in which prevailing interest rates are low and savings rates are high, making monetary policy ineffective.// කියා Investopedeia වෙබ් පිටුවේ කියා තිබෙනවා.

      පොලී අනුපාතය අඩුවීමත් තැන්පතු අනුපාතය වැඩි වීමත් කොහොමද මුදල් ප්‍රතිපත්තිය උදාසීන කරන්නේ ? ඒක ආර්ථිකයට නරක දෙයක් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරනවා නම් කෘතඥ වෙමි. (මම වැරදියි කියල කියල මමත් දන්නවා) එත් පොලී අනුපාතය අඩුවීමත් තැන්පතු අනුපාතය වැඩි වීමත් මට දැනෙන්නෙම ඒක හොද දෙයක් කියලයි.

      ජපානයේ උද්ධමනය බින්දුවයි අවුරුදු ගණනක සිටම. මම අහල තිබෙන විදියට නම් අඩුම තරමේ අවුරුදු 20 ක් වත් තිස්සේ එහෙමයි. අනෙක් අතට, අවුරුදු 10ක කාලසීමාව සමග බලන විට ආපනශාලවල නුඩ්ල්ස් සුප් වැනි අහාර වල මිල 5-10% පමණ අඩුවෙලා කියල වයසක ජපන් ජාතිකයෝ මා සමග කියා තිබෙනවා. ඉතින් උද්දමනය ශුන්‍ය නම් පොලී අනුපාත බින්දුව වීම ගැටළුවක් නොවෙයි නේද ? මේ ළඟදී මම ඇහුවා පොලී අනුපාත ඍන අගයන් බවට පත්කලයුතුයි කියල කිව්වා රූපවාහිනී සාකච්චාවකට ආපු දේශපාලකයෙක් (මම ඔහු වගකිවයුතුත්තෙක් ද කියල හරියටම දන්නේ නම් නෑ).

      මගේ ප්‍රශ්නය, යෙන් එකේ අගය විචලනය වීම ජපානය තුල දී අපි වැනි සාමාන්‍ය මිනිසුන්ට සැලකිය යුතු ප්‍රමාණයකට නොදැනී තිබෙන්නේ කොහොමද ? බඩු මිල වෙනස් වෙන්නේ නෑ එහෙමකට. මිලසූත්‍රයක් ඇති පෙට්‍රෝලියම් සහ සමහරවිට විදුලිය වෙනස් වුනත් පිසින ලද අහාර පාන දුම්රිය ගාස්තු වෙනස් වෙන්නේ ඉතාම කලාතුරකින්. දැනට වසර දෙකකින් පමණ ප්‍රවාහන ගාස්තු වෙනස් වුනේ නෑ. චීනයෙන් වියට්නාමයෙන් එන ලාභ ඇදුම් වල පවා මිලෙහි ලොකු වෙනසක් වෙන්නේ නෑ. ජ්‍යාත්‍යන්තර වෙළන්දමේ සහ මිලදීගැනීමේ ලොකු පංගු කරුවෙක් වෙන ජපානය තුල යෙන් එකේ වෙනස නොදැනීමට හේතු මොනවා වෙන්න පුළුවන් ද ?

      අපේ අධ්‍යාපනය ගැන කියනවා නම්, ජීව විද්‍යාව සහ ගණිතය ඉතා දුරස්ථ වන ලෙස බෙදීම පවා මම දකින්නේ ක්ෂේස්ත්රයේ තරමක ගැටළුවක් ලෙස. ඉතින් ආර්ථික විද්‍යාව ගැන අපි නොදන්නා එක ඊටත් එහා ගිය බෙදීමක ප්‍රතිපලයක්.

      Delete
    4. කෙන්කියුෂා: ජපානයේ තියෙන්නේ සුවිශේෂී තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පසුගිය සියවස මුලදී පෙන්වා දී තිබුණත් එවැනි තත්ත්වයක් මුල් වරට දකින්නට ලැබුණේ අනූව දශකයේදී ජපානයෙනුයි. එයට හේතු වූ ප්ලාසා සම්මුතිය වැනි සාධක ගැන කතා කරන්න ගියොත් කමෙන්ටුව තවත් දීර්ඝ වෙනවා. ඒ වගේම, මම දැනට ඉදිරිපත් කරන්නේ ඔබට තේරුම් ගත හැකි මූලික අදහසක් පමණයි. වෙනත් මූලික කරුණු ලිවීමෙන් පසු යම් දිනක මේ ගැන වඩා හොඳ පැහැදිලි කිරීමක් කරන්නම්. ඔබ හිතනවා වගේම අඩු උද්ධමනය, අඩු පොලී අනුපාතික ආදිය සාමාන්‍යයයෙන් හොඳයි තමයි. ඒ නිසා මා මේ කියන කරුණු කිසිවෙකු විසින් ලංකාවට අදාළ කළ ගත යුතු නැහැ. ඔබට හා ජපානයේ ජීවත්වන වෙනත් අයටයි මේ කමෙන්ටුව වැදගත් වන්නේ. ඔබේ ආදායම නියතව තිබියදී බඩු මිල නියතව තිබෙනවානම් හෝ එන්න එන්නම අඩු වෙනවනම් ඔබ කරන්නේ කුමක්ද? හැකිතාක් මුදල් ඉතිරි කිරීමයි. එක අතකින් ඔබේ වියදම අඩුයි. අනෙක් අතින් බඩු මිලදී ගෙන ගබඩා කර ගැනීම පාඩුයි. අද යෙන් 1000කට ගන්නා දේ හෙට අනිවාර්යයයෙන්ම යෙන් 950ක් වෙනවනම් ඔබ කරන්නේ අදට පරිභෝජනය කළ යුතු ප්‍රමාණය පමණක් මිල දී ගැනීමයි. මෙසේ ඉතිරි කිරීම් වැඩි වනවා කියන්නේ ආයෝජන දිරිමත් වී නිෂ්පාදනය වැඩි වනවා කියන එක. එය හොඳ බව අප දන්නවනේ. හැබැයි මෙහි තවත් පැත්තක් තියෙනවා. නිෂ්පාදනය වැඩි වන විට ඒ හා සමානව ඉල්ලුම වැඩි නොවුණොත් මිල අඩු වෙනවා. මිල අඩුවන විට මිනිස්සු පරිභෝජනය අඩු කර තවත් ඉතිරි කිරීමට පෙළඹෙනවා. ඒ නිසා නිෂ්පාදනය වැඩි කළාට එය විකිණිය නොහැකියි. ඒ වගේම අනික් අතට තවත් දෙයක් වෙනවා. නිෂ්පාදකයෝ අද අමුද්‍රව්‍ය මිල දී ගන්නේ අද මිල ගැන හිතලා. හිතන්න තිරිඟු පිටි කිලෝ එකක් යෙන් 200යි හා පාන් රාත්තලක් යෙන් 150යි කියා. සියළු පිරිවැය ලෙස යෙන් 145ක් ඉවත් කිරීමෙන් පසු පාන් රාත්තලක් විකිණීමෙන් ලැබෙන ලාභය යෙන් 5ක් කියා සිතමු. දැන් පාන් හදා අවසන් වන විට මිල යෙන් 140 දක්වා අඩු වුණොත් මේ නිෂ්පාදකයාට යෙන් 5ක පාඩුවකුයි වෙන්නේ. භාණ්ඩ මිල එක දිගටම අඩු වන විට වෙන්නේ මෙවැනි දෙයකුයි. නිෂ්පාදකයින් අධෛර්යමත් වීම නිසා නිෂ්පාදනය අඩු වෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයින් උද්ධමනය ශුන්‍ය වෙන්න ඉඩ නොහැර ඉතා සුළු උද්ධමනයක් පවත්වා ගන්නේ මේ හේතුව නිසා. මෙසේ මිල අඩු වීම, පරිභෝජනය අඩු වීම, නිෂ්පාදනය අඩු වීම, ඒ නිසා ආදායම් අඩු වීම, එවිට පරිභෝජනය තවත් අඩුවීම, නිෂ්පාදනය තවත් අඩු වීම, ආදායම තවත් අඩු වීම විෂම චක්‍රයක් ලෙස ක්‍රියා කරන්න ගත්තොත් ආර්ථිකයක් එක තැන හිරවෙනවා. මෙවැනි තත්ත්වයකින් ගැලවෙන්න ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කරන එක් දෙයක් තමයි පොලී අනුපාතික පහළ දැමීම. එය කරන්නේ මුදල් ප්‍රතිපත්තියේ අංගයක් ලෙස. එවිට ඉතිරි කිරීම් අධෛර්යමත් වී (පොලිය සුළු නිසා) පරිභෝජනය වැඩි වීම නිසා චක්‍රයෙන් ගැලවෙන්න උදවුවක් ලැබෙනවා. මෙසේ පොලී අනුපාතික බිංදුවටම අඩු කිරීමෙන් පසුවත් පරිභෝජනය ප්‍රමාණවත් තරම් වැඩි නොවුණොත් මොකද කරන්නේ? ද්‍රවශීලතා උගුල කියන්නේ සරලව මේකයි. දැන් පොලිය අඩු කළ හැකි ආන්තික සීමාවට ගෙනත් ඇති නිසා මහ බැංකුවේ ආයුධ පෙට්ටියේ ආයුධ ඉවරයි. මුදල් ප්‍රතිපත්තියට තවදුරටත් කළ හැකි දෙයක් නැහැ. පොලිය සෘණ කරනවා කියන්නේ ඔබ යෙන් 100ක් බැංකුවේ දැම්මොත් ආපසු ලැබෙන්නේ 95ක් පමණයි. එවැන්නකට කිසිවෙකු ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඔබට යෙන් 5ක් පාඩු කර නොගෙන යෙන් 100 ගෙදර තියාගෙන ඉන්න පුළුවන්. මෙසේ මුදල් ප්‍රතිපත්තියේ බලය ගිලිහුණු විට ගෘහස්ථ හා පෞද්ගලික සමාගම් වල පරිභෝජනය වැඩි කළ නොහැකි නිසා විසඳුමක් ලෙස රජය මුල් වී වියදම් කරන්න පටන් ගැනීම තමයි ජපානය අත්හදා බැලුවේ. මෙය හැම කරුණක්ම සාකච්ඡා කළ විස්තරාත්මක පිළිතුරක් නෙමෙයි. ඒ වගේම, ලංකාව සඳහා අදාළ කර ගතයුතු දෙයකුත් නෙමෙයි. ඔබ අන්තිමට අසා ඇති දෙයට පිළිතුර ප්‍රශ්නය තුළම තියෙනවා. ජපානයට බාහිර කම්පන නොදැනෙන්නේ එසේ විණිමය අනුපාතිකය වෙනස් වෙන්න ඉඩ දෙන නිසාම තමයි. ඒ නිසා දේශීය නිෂ්පාදන සහ ආනයන තරඟකාරිත්වය අතින් සමානයි. ලංකාවේ ප්‍රශ්නය එය නොකිරීමයි. ඒ නිසා ලංකාවේ දේශීය නිෂ්පාදන ආනයන තරම් තරඟකාරී නැහැ. මේ කරුණනම් ලංකාවට අදාලයි. එය මම ඉදිරි ලිපි වල කොහොමටත් විස්තර කරන්න ඉන්න දෙයක්.

      Delete
  8. මට නම් හිතෙන්නෙ බහුතරයකට බොහොම සරල දෙවල් පවා නොතේරෙන්න එක හේතුවක් සාමාන්‍ය ජිවිතෙට එකතු නොවෙන දැනුම එක්ක පමණක් බැඳුනු ලියවිලි. මොකද එවා වලින් යමක් තේරුන් ගන්න පුලුවන් දෙයක් දන්න සුලුතරයකට පමණයි.. එකේ අනිත් පැත්තත් එහෙම්ම තමයි. බහුතරයකට නොයන දැනුම කිසිම විටක සාර්ථක විමක් නැ. ඒ නිසාම නේද බහුතරයක් දෙනාව බිලීබාගන්නෙත්, රැවටිම්වලට ලක්වන්නෙත්. මහජනයාට තියන බලය ඔවුනට නොදැනිමටත් මෙය එක හේතුවක් කියලයි මට හිතෙන්නෙ. මේ ලොකෙ තියන අසමතුලිතතාවය නැති කරන්න අපිට බැ. කරන්න ඔන මොන විදිහෙන් හරි තුලිත වෙන විදි වැඩි වැඩියෙන් හොයා ගන්න එකයි නිර්මාණාත්මකව අලුතින් හිතල. අපි මේ දෙවල් ලියන්නෙ කියවන්නෙ ඇයි කියන කාරණය එලියට අරන් බැලුවම හිතුනු දේ තමයි මං ඒ කිව්වෙ. ඒකයි මං මුලිනුත් කිව්වෙ මෙ වගෙ සරල ලිපි වැඩි දෙනෙක් කියවන්න ඕන කියල.

    ReplyDelete
  9. ලංකාවේ මේ කඩාවැටිමට හෙතුව පිලිබද දැනිමක් ගැනිමට නම් 60 ද්ශකයේ සිට කරුනු අධ්යයන කළ යුතුයි. එසේ අධ්යයන කර එවාට පිලිතුරු සෙවිය යුතුයි. 80 දශකය වනතුරු ජපානයේ යෙන් එක්ක අගය වුයේ සත 60ක් පමනියි. නමුත් අද එය රුපියල් 100 අභිබවගොස්ය එසේ වුයේ රු අගය පහතවැටිම නිසා යැයි නිලධාරින් කියයි. එය කිව යුත්තක් නොවේ එකක් පහළගිය විට අනෙක් ඉහල යන සිසො නියාය ඔනෙම අයෙක් දන්නවා
    නමුත් මේ නිළධාරීන්ට එ උත්තරය හැර වෙන යමක් දිමට නෑ 70 80 දශක වල විවිධ ක්ෂේත්ර වල බුද්ධිමතුන් ලංකාවෙ විශාල වශයෙන් සිටියා ඔවුන් ගේ දැනුමෙන් නව කර්මාන්ත ශළා ඇතිකලා වෛද්යවරු ඉංජිනේරුවන් ඔවුනට ලැබෙන වැටුපෙන් සැහිමකට පත්වි සේවය උපරිමව ඉටුකළා මේ තත්වය 77 පසුව වෙනස් වුවා 77 ඇතිවු කඩිනම් සංවර්ධනයට අපේ වෘතිකයින්ගේ සංඛ්යාව ප්රමාණවත් වුයේ නෑ මේ නිසා පරිපාළනනිළධාරි රජයට යොජනා කලේ එ සදහා විදේශ වෘතිකයින්ගේ සහාය ලබාගන්නා ලෙසයි. පරිපාලන නිළධාරින්ට මේකාලය වනවිට ලැබි තිබුනේ වෘතිකයින්ට වඩා අඩු තැනකී ඒ නිසාඔවුන් කුමන්ත්රණ කාරිව මේ තත්ත්වය නිර්මාණය කළා.සමහර ලංකාවේ ඉංජිනේරුවන් විදේශ සමාගම් වලට බැදි ලංකාවේ සෙවයට ආවා ඒ එම සාමාගම් වල වයිකෘති සදහායි.ව්යාකෘතිය අවසන් වු පසුව ඔවුන් අපසු විදේශගතවිය. එවිට පරිපාලන නිළදාරින්ගේ දේශප්රෙමය මතුවී ඔවුන්ට දෙස්දොවොල් තිබිමට උත්සුකවිය.

    අද වන විට ලංකාවේ පරිපාලන නිළධාරි හැම ක්ශ්ත්රයකම අඩු විහිදා අවසන්ය සෞකිය වැනි වුර්තින් හැර අනිකුත් සියලුම ආයතනවල තත්වය මෙබදුය.නව නිපයුමක් කිරිමට පවතිනතත්ත්වය පවත්වාගැනිමට හෝ මොවුන්ට දැනුමක් නැත අවසානය ආයතන පාඩු ලබයි පසුව ඔවුන් එවා විකිනිමට දේශපාල බලධාරීන්ට උපදෙස් දෙනු ලබයි.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.