ලංකාවේත්, ඇමරිකාවේත් රාජ්ය සුරැකුම්පත් ප්රාථමික වෙන්දේසි ක්රියාත්මක වන ආකාරය මම මේ ලිපි මාලාවේ මුලදීම පැහැදිලි කළෙමි. ඇමරිකාවේ වෙන්දේසියට ලන්සු තබන සියල්ලන්ටම රාජ්ය සුරැකුම්පත් නිකුත් කෙරෙන්නේ එකම මිලකටය. ඒ මිල වන්නේ අදාළ රාජ්ය සුරැකුම්පත් වර්ගය සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන ආන්තික මිලයි.
බොහෝ විට, එම රාජ්ය සුරැකුම්පත් වර්ගයේ ද්වීතියික වෙළඳපොළ මිල වන්නේද ආසන්න වශයෙන් ප්රාථමික වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම තුලනය කෙරෙන මේ මිලමය. තරඟකාරී වෙළඳපොලක එක සමාන භාණ්ඩයක් වෙනස් මිල ගණන් වලට අලෙවි විය නොහැකිය. ඕනෑම අයෙකුට ප්රාථමික වෙළඳපොළ වෙන්දේසියට සහභාගී වීමේ හැකියාව ඇති නිසා ඇමරිකාවේ ප්රාථමික ගණුදෙනුකරුවන්ට අනෙකුත් සාමාන්ය පුද්ගලයින්ට නොලැබෙන විශේෂ වාසියක් නොලැබේ. ඒ නිසා, එම ආයතන වලට ප්රාථමික වෙන්දේසියෙන් සුරැකුම්පත් අඩු මිලට ගෙන ද්වීතියික වෙළදපොළේ වැඩි මිලට විකිණීමේ හැකියාවක් නැත.
ඉහත කී පරිදි ඇමරිකාවේ ප්රාථමික ගණුදෙනුකරුවන්ට ලාබයක් තබාගෙන, ප්රාථමික වෙන්දේසියට ඉදිරිපත් වීමේ හිමිකමක් නැති අයට අනෙක් අතට සුරැකුම්පත් විකිණීමේ හැකියාවක් නොමැති නිසා ඔවුන්ට ලාබ උපයන්නට වෙන්නේ වෙනත් ක්රම වලිනි. බොහෝ විට මේ 'වෙනත් ක්රමය' වන්නේ වෙළෙඳපොළ සාධක වෙනස් වී මිල වැඩි වූ අවස්ථාවක් එළඹෙන තුරු බලා සිට තමන් සතු රාජ්ය සුරැකුම්පත් මුදල් කිරීමයි.
ලංකාවේ රාජ්ය සුරැකුම්පත් ප්රාථමික වෙන්දේසියෙන් සියළු ගැණුම්කරුවන්ට එකම මිලකට රාජ්ය සුරැකුම්පත් නොලැබේ. උදාහරණයක් ලෙස මා මෙම ලිපි මාලාවේ හත්වන කොටස සමඟ පළ කළ වගුව 2 බලන්න. එම ලිපියේ ලියූ පරිදි, 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී මහ බැංකුව විසින් පෙර දැනුම් දුන් පරිදි හරියටම රුපියල් බිලියනයක බැඳුම්කර නිකුත් කළේනම් සිදුවන්නේ මෙවැන්නකි.
"ඇමරිකානු ක්රමයේදී සියළුම ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ ආන්තික මිල වුවත්, ලංකාවේ ක්රමයේදී එක් එක් ගැනුම්කරුට තමන් තැබූ ලන්සුවේ මිල ගෙවන්නට සිදු වේ. ඒ අනුව, ලංකා බැංකුවට රුපියල් මිලියන 8ක මුහුණත වටිනාකමැති බැඳුම්කර වෙනුවෙන් රුපියල් 119.33ක ඉහළ මිලක්ද, ඉතිරි රුපියල් මිලියන 500 වෙනුවෙන් රුපියල් 109.39ක තරමක් අඩු මිලක්ද ගෙවන්නට සිදු වේ. ලංකා බැංකුව විසින් රුපියල් මිලියන 508ක බැඳුම්කර වෙනුවෙන් ගෙවන මුළු මුදල රුපියල් මිලියන 556.51ක් වන නිසා ලංකා බැංකුව විසින් ගෙවන බරිත සාමාන්ය මිල රුපියල් 109.23ක්ද, බරිත සාමාන්ය ඵලදා අනුපාතිකය 10.23%ක්ද වේ.
ඇකුයිටි සිකියුරිටීස් සමාගම රුපියල් 112.01 බැගින්ද, ෆස්ට් කැපිටල් ට්රෙෂරීස් සමාගම රුපියල් 110.95 බැගින්ද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගනිති. එන්ට්රස්ට් සිකියුරිටීස් සමාගම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල විසින් ආන්තික මිල වන රුපියල් 104.51 ගෙවති."
මෙහි පැහැදිලිව පෙනෙන පරිදි, එක සමාන බැඳුම්කර වෙනුවෙන් එක් එක් ලන්සුකරු ගෙවන්නේ වෙනස් මිල ගණන්ය. මෙය ඇමරිකාවෙන් ලංකාව වෙනස්වන එක් ආකාරයකි. ඇමරිකාවෙන් ලංකාව වෙනස්වන දෙවන ආකාරය වන්නේ ලංකාවේ රාජ්ය සුරැකුම්පත් ප්රාථමික වෙළදපොළට ලන්සු තැබීමේ අයිතිය ඇති ආයතන දහසයට එම අයිතිය නොමැති වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සුරැකුම්පත් අනෙක් අතට විකුණා ලාබයක් ලැබිය හැකි වීමයි. මේ කටයුත්තේදී කිසියම් තරඟකාරිත්වයක් ඇති වන නිසා ද්වීතියික වෙළදපොළේ තිබිය හැක්කේ (ආසන්න වශයෙන්) එක් ස්ථාවර මිලකි. මේ මිල කුමක්ද?
ප්රාථමික වෙන්දේසියේ බැඳුම්කර විකිණුනු අවම මිල රුපියල් 104.51 කි. ඒ නිසා ද්වීතියික වෙළඳපොළ මිල ඊට වඩා අඩු විය නොහැකිය. වෙන්දේසියට සහභාගී වී සුරැකුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සියල්ලෝම මීට වඩා ඉහළ මිලක් ඉල්ලා සිටි අයයි. ඒ නිසා, මේ සුරැකුම්පත් විකුණන්නට වෙන්නේ ප්රාථමික වෙළඳපොළට සහභාගී වීමේ හැකියාවක් නොතිබුණු පුද්ගලයෙකුට හෝ ආයතනයකටය.
රුපියල් 112.01 බැගින් බැඳුම්කර මිලදී ගත් ඇකුයිටි සිකියුරිටීස් සමාගම සතයක ලාබයක් තබාගෙන රුපියල් 112.02 කට කිසියම් ගැණුම්කරුවෙකුට බැඳුම්කර විකුණන්නට සැරසෙන්නේයැයි සිතමු. එන්ට්රස්ට් සිකියුරිටීස් සමාගමට ඒ මිලට වඩා ශත දෙකක් අඩුවෙන් රුපියල් 112.00 කට එම ගැනුම්කරුට බැඳුම්කර විකුණා රුපියල් 7.49ක ලාබයක් ලැබිය හැකිය. ඒ, ඔවුන් ගෙවා ඇති මිල රුපියල් 104.51ක් පමණක් බැවිනි. එවිට, ඇකුයිටි සිකියුරිටීස් සමාගමට කළ හැකි දෙයක් නැත.
ලංකාවේ ප්රාථමික වෙන්දේසියෙන් පසුව අඩු මිලට බැඳුම්කර ගත් අය කිසියම් ලාබයක් තබාගෙන මේ බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ තුළ විකුණන බැවින් ද්වීතියික වෙළඳපොළ මිල වැඩි මිලක් දී එම වෙන්දේසියෙන්ම බැඳුම්කර මිලදී ගත් අයට අවාසියක් සිදුවන මට්ටමකට පහත වැටේ. ද්වීතියික වෙළදපොළ මිල බොහෝ විට අදාළ වෙන්දේසියේ බරිත සාමාන්ය මිල වූ රුපියල් 108.08 මට්ටමට වැටෙන්නට ඉඩ තිබේ. එසේ වීමේදී, ප්රාථමික වෙන්දේසියෙන් බැඳුම්කර ලබාගත් ගැනුම්කරුවන්ගෙන් අඩකට ලාභයක් වන අතර අනෙක් අඩට පාඩුවක් සිදු වේ.
ඉහත උදාහරණයේදී, මේ සමතුලිත මිල රුපියල් 108.08 නම් රුපියල් 109.23ක සාමාන්ය මිලක් ගෙවූ ලංකා බැංකුවට රුපියල් 1.15ක අලාභයක්ද, ඇකුයිටි සිකියුරිටීස් සමාගමට රුපියල් 3.93ක අලාභයක්ද, ෆස්ට් කැපිටල් ට්රෙෂරීස් සමාගමට රුපියල් 1.87ක අලාභයක්ද සිදුවෙද්දී, එන්ට්රස්ට් සිකියුරිටීස් සමාගමට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් 3.57ක ලාබයක් ලැබේ. මේ අනුව, ප්රාථමික වෙන්දේසියෙන් රාජ්ය සුරැකුම්පත් මිලදී ගැනීම ලාභ මෙන්ම අලාභද සිදුවිය හැකි සූදුවකි.
වෙළදපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ රුපියල් 108.08 මට්ටමේදී නිසා ද්වීතියික වෙළඳපොළ මිල ඒ මට්ටමේ ස්ථාවර වීමට ඉඩ ඇති බව මා කීවත් එය හරියටම එසේම සිදු නොවනු ඇතැයි යමෙකුට කිව හැකිය. කෙසේ වුවද, වෙනත් හේතුවක් නිසා එසේම සිදු වෙයි.
පසුගිය 2015 මාර්තු පමණ දක්වා මහ බැංකුව අනුගමනය කළ ක්රමවේදය වූයේ ප්රාථමික වෙන්දේසි පැවැත්වෙන දින හැර අනෙකුත් දින වල සෘජු ක්රමයට භාණ්ඩාගාර සුරැකුම්පත් අලෙවි කිරීමයි. මෙසේ අලෙවි කළේ අවසන් වෙන්දේසියේ බරිත සාමාන්ය මිලටය. ඉහත උදාහරණයේ මේ මිල රුපියල් 108.08 කි. දැන් මහා බැංකුවෙන් රුපියල් 108.08 බැගින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමේ හැකියාව ඕනෑම ප්රාථමික ගැනුම්කරුවෙකුට තිබෙන නිසා, වෙනත් අයෙකුගෙන් ඊට වඩා වැඩි මිලකට මිල දී ගන්නට කිසිම උවමනාවක් නැත. ඒ නිසා, ප්රාථමික වෙළදපොලෙන් ඊට වඩා වැඩි මිලකට බැඳුම්කර මිලදී ගත් සියල්ලන්ටම පාඩු විඳින්නට සිදුවේ. රුපියල් 108.08 යනු වෙන්දේසියෙන් අලෙවි වූ බැඳුම්කර පරාසයේ මධ්යන්යය නිසා බැඳුම්කර වලින් හරි අඩක මිල මෙසේ පහත වැටේ.
ඉහත පැහැදිලි කළ පරිදි, ලංකාවේ ප්රාථමික වෙන්දේසියෙන් සුරැකුම්පත් මිලදී ගැනීම අවදානම් සහගත සූදුවකි. මේ සූදුව දිනන්නටනම් වෙන්දේසියේ ආන්තික මිල නිවැරදිව අනුමාන කළ යුතුය. එය හරියටම කළ හැකිනම් විශාල ලාභයක් ලැබිය හැකිය. කිසියම් අයුරකින් මහ බැංකුවෙන් ඒ ගැන ඉඟියක් ලැබේනම් ගොඩේ ගොඩය.
"ආවොත් අත තමයි!"
දැන් මෙතැනදී ලාබයක් ලබන ප්රාථමික ගනුදෙනුකරුවෙක් හෝ බැංකුවක් ඒ ලාබය ලබාගන්නේ වෙනත් ප්රාථමික ගනුදෙනුකරුවෙකුගේ හෝ බැංකුවක වියදමිනි. රජයට මෙයින් කිසිදු විශේෂ වාසියක් හෝ අවාසියක් සිදු නොවේ.
වැඩි ලාබයක් වෙනුවෙන් මේ අවදානම ගන්නට අකැමති, සුළු ආන්තික ලාබයක් තබාගෙන වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට බැඳුම්කර විකුණා සෑහීමකට පත්වෙන වෙනත් ප්රාථමික ගනුදෙනුකරුවෙකුට හෝ බැංකුවකට ප්රාථමික වෙන්දේසියට ලන්සු තබා මේ අවදානම ගන්නවාට වඩා වෙන්දේසිය අවසන් වීමෙන් පසු සෘජු ක්රමයට බැඳුම්කර මිලදී ගැනීම සුරක්ෂිත තීරණයකි.
ඉහත කරුණ නිසා බොහෝ ප්රාථමික ගනුදෙනුකරුවන් හා බැංකු වෙන්දේසියට ඉදිරිපත් කරන්නේ රුපියල් මිලියන සීයේ අවම ලන්සුව පමණි. එය කරන්නේ එම අවම ලන්සුව අනිවාර්යයයෙන්ම තැබිය යුතු නිසාය. ගනුදෙනුකරුවෙක් හෝ බැංකුවක් ඊට වඩා වැඩියෙන් ලන්සු තබන්නේ ඉතා සැලකිල්ලෙනි. එවැනි ලන්සු පිටුපස බොහෝ විට වෙනත් හේතුවක් තිබේ.
මෙහිදී මා 'වෙනත් හේතු' කීවද ඒවා නරක අභිලාෂ බව එයින් අදහස් නොවේ. උදාහරණයක් ලෙස සෑම වාණිජ බැංකුවකම සුරැකුම්පත් කළඹ (securities portfolio) ආයෝජන කළඹ (investment portfolio) හා වෙළඳාම් කළඹ (trading portfolio) ලෙස කොටස් දෙකකින් සමන්විතය. මා ඉහත විස්තර කළ තර්කය අදාළ වන්නේ වෙළඳාම් කළඹටය. ප්රාථමික ගනුදෙනුකරුවෙකුගේ සුරැකුම්පත් කළඹ බොහෝ විට වෙළඳාම් කළඹකි.
(මතු සම්බන්ධයි)
