Showing posts with label වෙළඳපොළ ආර්ථිකය. Show all posts
Showing posts with label වෙළඳපොළ ආර්ථිකය. Show all posts

Wednesday, October 9, 2019

පොහොර සහනාධාරය

වත්පොතේ සංසරණය වන, පොහොර සහනාධාරය හා අදාළ, හිටපු විගණකාධිපතිගේ කතාවක් අහන්න ලැබුණා. මේ වන විට හිටපු විගණකාධිපතිව සැලකිය හැක්කේ දේශපාලනඥයෙකු මිස වෘත්තීයවේදියෙකු හැටියට නෙමෙයි. අනෙක් අතට මේ වෙද්දී හිටපු විගණකාධිපති ඇතුළු වෘත්තීයවේදීන් කණ්ඩායමක්ම දේශපාලනයට අත ගසා තිබෙන නිසා මේ කණ්ඩායම් දෙක අතර වෙනස එතරම් වැදගත් එකකුත් නෙමෙයි. ඒ වගේම, වඩා පුළුල් ලෙස බැලුවොත් දේශපාලනඥයින් කියන්නෙත් වෘත්තීයවේදීන් කණ්ඩායමක්. කොහොම වුනත්, වෘත්තීයවේදීන් විසින් කියන දේවල් වඩා නිවැරදියි කියා හිතන අය ගොඩක් ඉන්න නිසා මේ කතාවේ සඳහන් ඇතැම් කරුණු ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි.

හිටපු විගණකාධිපති විසින් අවධාරණය කර කියන ආකාරයට ලංකාවේ නිපදවන සහල් ප්‍රමාණයේ මුළු වටිනාකම මේ වෙනුවෙන් ලබා දෙන සහනාධාරයේ වියදමට වඩා වැඩියි. මෙය සැබෑවක්ද කියා ඉතා පහසුවෙන් තහවුරු කර ගත හැකියි. මේ දත්ත සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හා මහ බැංකුවේ ප්‍රකාශන වල තිබෙනවා. පහත වගුව පිළියෙළ කර තිබෙන්නේ එම දත්ත ඇසුරෙනුයි.


ගාමිණි විජේසිංහගේ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව කාට වුවත් බැලූ බැල්මටම නොපෙනෙන්න හේතුවක් නැහැ. පසුගිය 2018 වසර ගත්තොත්, රටේ නිපදවූ සහල් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 203,015 ක්. නමුත්, පොහොර සහනාධාරය ලෙස ලබා දී ඇති මුදල රුපියල් මිලියන 32,000ක් පමණයි. පෙර වසරවල් සලකා බැලුවත්, රටේ හදන හාල් වල වටිනාකමට වඩා වැඩි මුදලක් පොහොර සහනාධාරය ලෙස ලබා දෙනවා කියන එක ගාමිණී විජේසිංහ විසින් හිතාමතාම හෝ කරුණු සොයා නොබලා කියන බොරුවක්. මා කරන්නේ පොහාර සහනාධාරය අනුමත කිරීමක් නෙමෙයි. කරුණු ඇති සැටියෙන් පෙන්වා දීමක් පමණයි.

නිපදවූ සහල් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම දෙස බලා කර්මාන්තයේ ලාබ පිළිබඳව නිගමනය කරන්න බැහැ. ඒ සඳහා, නිෂ්පාදන වියදම් අඩු කළ යුතුයි. සහල් කර්මාන්තයේ එකතු කළ අගය කියා කියන්නේ මෙසේ පිරිවැය ඉවත් කළ විට ඉතිරි වන ලාබයටයි. මේ එකතු කළ අගය පිළිබඳවත් සංඛ්‍යාලේඛන තිබෙනවා. 2018 වසරේදී කර්මාන්තයේ එකතු කළ අගය රුපියල් මිලියන 118,653ක්. ඒ මුදල වුවත්, පොහොර සහනාධාරයේ පිරිවැයට වඩා කිහිප ගුණයක් වැඩියි.

කර්මාන්තයේ සැබෑ ලාබය ගණනය කරන්න ඉහත එකතු කළ අගයෙන් සහනාධාර මුදල අඩු කර ගෙවූ බදු මුදල් එකතු කළ යුතුයි. සහල් නිපදවීමේ කර්මාන්තයේ බදු වියදම් කොපමණද කියා මා දන්නේ නැහැ. නමුත්, කිසියම් හෝ බදු මුදලක් මේ කර්මාන්තයේ නියැලෙන්නන් විසින් රජයට ගෙවා තිබෙන නිසා පොහොර සහනාධාරයේ වියදම මුළුමනින්ම ඉහත එකතු කළ අගයෙන් අඩු කිරීම නිවැරදි නැහැ. එසේ කළත්, සැලකිය යුතු එකතු කළ අගයක් පෙනෙන්නට තිබෙනවා.

පෙනෙන විදිහට ගාමිණි විජේසිංහ පෙනී සිටින්නේ රාජ්‍යමූලික, ආරක්ෂණවාදී ආර්ථිකයක් වෙනුවෙනුයි. ලංකාවේ බොහෝ වෘත්තිකයින් රාජ්‍යමූලික, ආරක්ෂණවාදී ආර්ථිකයකට කැමතියි. එවැනි ක්‍රමයක් යටතේ ඔවුන්ට රටේ අනෙකුත් අයගේ වියදමෙන් වාසි ලබා ගන්න ඉඩ තිබීම මෙයට හේතුවයි. ගාමිණි විජේසිංහ කතා කරන්නේ මේ පිරිසටයි.

ගාමිණි විජේසිංහ විසින් යෝජනා කරන්නේ වෙළඳපොළ යාන්ත්‍රනය අවහිර කර රජය විසින් භාණ්ඩ හා සේවා වල මිල තීරණය කරන ක්‍රමයකුයි. මේ පැරණි සමාජවාදී රටවල තිබුණු අසාර්ථක වූ ක්‍රමය මිස අලුත් එකක් නෙමෙයි. වත්පොත් වීඩියෝව ප්‍රචාරය කෙරෙන්නේ ජාතික ජනතා ව්‍යාපාරයේ ලේබලය සමඟ නිසා මෙය එම ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිපත්තිය කියා සිතිය හැකියි.

ඔහු කියන ආකාරයට වෙළඳපොළ යාන්ත්‍රනය යටතේ මිල තීරණය වීම අවහිර කරමින්, කිසියම් භාණ්ඩයක් රට ඇතුළේ හදන්න යන වියදමේ අනුපාතයක් ලෙස මිල තීරණය වන පරිදි හා මේ මිල සූත්‍රය වෙනස් කළ නොහැකි පරිදි නීති පැනවිය යුතුයි. වියදම ඇස්තමේන්තු කරන්නේ ඔහු විසින් හෝ වෙනත් පිරිසක් විසින්. නිෂ්පාදකයෙකු ලැබිය යුතු ලාබය තීරණය කරන්නේත් මේ කණ්ඩායම විසිනුයි. අනෙක් අයට තියෙන්නේ මේ වැඩේ කරන පිරිස නඩත්තු කරන එකයි.

ගාමිණි විජේසිංහ යෝජනා කරන ආකාරයට ලංකාවේ ඇපල් ගෙඩියක් හදන්න රුපියල් දහදාහක් යනවානම් ඔවුන් කරන්නේ ඇපල් ගෙඩියක මිල රුපියල් විසිදාහක් වන ආකාරයට සූත්‍රයක් හදා එය වෙනස් කළ නොහැකි සේ නීතිගත කරන එකයි. ඊට පස්සේ ඒ මිල ගෙවා කී දෙනෙක් ඇපල් මිල දී ගනීද කියන එක ගැන හිතන්න ඔහු මහන්සි වෙන්නේ නැහැ. මේ ආකාරයේ ආර්ථික ක්‍රමයකට කැමති අය රටේ කොපමණ ඉන්නවාද කියා ජනාධිපතිවරණයෙන් පසුව බලාගන්න පුළුවන් වෙයි.

https://www.facebook.com/apemedia.lk/videos/782026978918062/

Sunday, July 9, 2017

අධ්‍යාපන සේවා වෙළඳපොළ වඩා කාර්යක්ෂම කළ හැකිද?


පසුගිය ලිපියෙන් අපි වැඩිහිටි සිසුන් වෙනුවෙන් ඉංග්‍රීසි කතාව පුහුණු කිරීම සඳහා පන්ති පවත්වන වෙළඳපොළ ගැන කතා කළෙමු. මේ වෙළඳපොල නියාමනය නොවන්නකි. මෙහි පාරිභෝගිකයින් තමන්ගේ මුදල් හා කාලය ඇතුළු වෙනත් දේ කැප කරමින් ස්ව කැමැත්තෙන් ඉංග්‍රීසි කතාව ඉගෙන ගන්නා අයයි. ඔවුන් එසේ කරන්නේ ඒ වෙනුවෙන් තමන් දරන ආවස්ථික පිරිවැයට සරිලන ලාබයක් ඔවුන්ට ලැබෙන බැවිනි. එවැනි වාසියක් නැති අය ආවස්ථික පිරිවැයක් දරමින් ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට නොපෙළඹෙති.

මුදල් අයකර ඉංග්‍රීසි කතාව උගන්වන පන්තියක් පැවැත්වීමට නිශ්චිත අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැත. එහෙත්, මේ වෙළඳපොළේ ගුරුවරුන් ලෙස සිටින්නේ ඉංග්‍රීසි කතාව ඉගැන්වීමට නිපුණතාවයක් ඇති අයයි. එවැනි නිපුණතාවයක් නැති අය වෙළඳපොළ තුළ ස්වභාවිකවම ප්‍රතික්ෂේප වේ. රට පුරා ඉංග්‍රීසි කතාව උගන්වන පන්ති පැවැත්වෙන තැන්ද ස්වභාවික ලෙසම නිශ්චය වෙයි. එය සිදුවන්නේ පාරිභෝගික ඉල්ලුම අනුවය. ඇතැම් ගුරුවරු තමන්ගේ නගරයේ පමණක් පන්ති කරද්දී තවත් අය රටපුරා නගර ගණනක පන්ති කරති.

රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට උවමනාවක් නැත. මේ අයගෙන් කොටසක් පවුල් පසුබිම හෝ වෙනත් හේතුවක් නිසා ඉංග්‍රීසි කොහොමටත් කතා කළ හැකි අයයි. තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙනීමට යොමු නොවන්නේ ඒ සඳහා වැය කළ යුතු ආවස්ථික පිරිවැය එයින් ලැබෙන වාසි වලට වඩා අඩු බැවිනි. ආවස්ථික පිරිවැය අඩුනම් තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට යොමු වනු ඇත.

මෙවැනි අවස්ථාවක ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගැනීමට රටේ සියලු දෙනාටම ඉඩප්‍රස්ථා සැලසීම සඳහා රජයක් මැදිහත් වන්නට ඉඩ තිබේ. මෙහිදී, රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට කැමැත්තෙන් සිටින බොහෝ දෙනෙකුට ඒ සඳහා ඉඩප්‍රස්ථා නැති බැවින් නිදහස් වෙළඳපොළ තුළ සිදුවන "වැරැද්ද" හරි ගස්වා සමාජ සාධාරණත්වය ඇති කරන්නට තමන් දන්නා බව රජය සිතයි. දැන් මේ වෙළඳපොළෙහි සිදු වන්නේ කුමක්ද?

පළමුව රජයට මේ කටයුත්ත කිරීමට අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් ඇති කර නිලධාරීන් පිරිසක් පත් කරන්නට සිදු වේ. අදාළ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව සඳහා වෙනත් සම්පත්ද සම්පාදනය කර ගත යුතුය. ඉන්පසුව අවශ්‍ය ගුරුවරුන් බඳවා ගන්නට සිදුවේ. මෙය කරන්නට සිදු වන්නේ අධ්‍යාපන සුදුසුකම් හා කිසියම් තරඟ විභාගයක ප්‍රතිඵල වැනි දෙයක් දෙස බලමිනි. අවසාන වශයෙන් රජයට අවශ්‍ය සියලු දෙනාටම "නොමිලේ" ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට ඉඩප්‍රස්ථා සැලැස්වීමට හැකි වේ.

ඉහත කටයුතු සියල්ල සඳහා සැලකිය යුතු පිරිවැයක් දරන්නට රජයට සිදුවේ. ඒ සඳහා අරමුදල් අවශ්‍ය වෙයි. ලංකාවේ ක්‍රමයට සාමාන්‍යයෙන් රජය විසින් මේ අරමුදල් එකතු කර ගන්නේ වක්‍ර බදු හරහාය. වක්‍ර බදු ඉහළ යන විට රටේ ජනතාවට සිය පරිභෝජනය සීමා කරන්නට සිදු වේ. ඒ අනුව, නොමිලේ ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට ලැබීමේ ඉඩප්‍රස්ථාව සඳහා රටේ සියලුම අයට සිය පරිභෝජනයෙන් කොටසක් කැප කරන්නට සිදු වේ.

දැන් මේ "නොමිලේ" පැවැත්වෙන පන්ති වලින් යහපතක් සැලසෙන්නේ කාටද?

කලින් මුදල් ගෙවා ඉංග්‍රීසි ඉගෙනගත් අයට දැන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන. ඒ අයට කලින් මුදල් ගෙවීමෙන් පසුවද වාසියක් තිබුණේය. දැන් ඔවුන් ලබන වාසිය වැඩි වී තිබේ. එහෙත්, ඒ අතරම කලින් නොතිබුණු පිරිවැයක්ද දැන් ඔවුන්ට දරන්නට සිදු වේ. මෙහි ශුද්ධ ප්‍රතිඵලය කිසියම් වාසියක් විය හැකිය.

කලින් රැකියා නොතිබුණු පිරිසකට දැන් රැකියා ලැබී තිබෙනවා විය හැකිය. ඔවුන්ටද වාසියක් සිදු වී තිබේ. එය ඔවුන් ගෙවන අමතර බදු මුදලට වඩා වැඩි විය යුතුය.

කලින් මුදල් නොමැතිකම නිසා ඉංග්‍රීසි පන්ති යන්නට නොසිතූ පිරිසකට දැන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. ඔවුන්ගෙන් කොටසකට මේ දැනුම හේතුවෙන් රැකියා ලැබෙන්නටද ඉඩ තිබේ. එය වාසියකි.

කෙසේ වුවද, "නොමිලේ" ලැබෙන නිසා බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතාව ඉගෙන ගත්තත් ඒ සියල්ලන්ටම ඒ හේතුව නිසා රැකියා ලැබෙන්නේ නැත. ඔවුන්ට අවසාන වශයෙන් තමන් ගෙවූ බදු වලට සරිලන තරමේ වාසියක් නොලැබේ.

කලින් ටියුෂන් කළ ගුරුවරුන්ට දැන් ඉල්ලුමක් නැත. ඔවුන්ගෙන් ඇතැමෙක්ට රජයේ රැකියා ලැබී තිබෙන්නට ඉඩ ඇතත් එයින් ලැබෙන වේතනය පෙර ලැබූ ආදායමට වඩා අඩු විය හැකිය. මේ අයට ගෙවන්නට සිදුවන අමතර බදු හා අහිමි වූ ටියුෂන් ආදායම ලෙස අවාසි වර්ග දෙකකි.

ඉංග්‍රීසි පන්ති නොමිලේ පැවැත්වුනද ඉංග්‍රීසි ඉගෙනීම සඳහා ගත කළ යුතු කාලය ඇතුළු වෙනත් ආවස්ථික පිරිවැය නැති වන්නේ නැත. ඒ නිසා, රටේ බොහෝ දෙනෙකු තව දුරටත් මේ ඉංග්‍රීසි පන්ති වලට සහභාගී වන්නේ නැත. එහෙත්, ඒ අයටද බදු බරට කර ගහන්නට වේ. මෙය ඔවුන්ට සිදුවන අවාසියකි.

අවසාන වශයෙන් රජයේ මැදිහත්වීම නිසා සුළු පිරිසකට වාසියක් සැලසෙන නමුත් විශාල පිරිසකට සිදුවන්නේ අවාසියක් නිසා ශුද්ධ ලෙස සිදු වන්නේ සමාජ අතිරික්තය අඩු වීමකි.

නිදහස් වෙළඳපොළකට වෙනස් වන තත්වයන් හමුවේ හැඩගැසී අකාර්යක්ෂමතාවයන් ඉවත් කිරීමට ඇති හැකියාව සමඟ රජයකට අලගු තියන්නටවත් නුපුළුවන. ප්‍රවාහන ගාස්තු හා ප්‍රවාහනය සඳහා ගත වන කාලය මේ වෙළපොලෙහි කාර්යක්ෂමතාවයට බලපාන ස්වභාවික බාධාවකි. මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කර වෙළඳපොල යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්නේ තාක්ෂනය විසිනි. ස්කයිප් හරහා පැවැත්වෙන ඉංග්‍රීසි ටියුෂන් පන්ති වලින් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළකට මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කිරීමට ඇති ස්වභාවික හැකියාවයි.


නියාමනයක් නැති, අධ්‍යාපනය විකුණන වෙළඳපොලක පවතින තවත් ස්වභාවික බාධාවක් වන්නේ නිෂ්පාදකයා (ගුරුවරයා) හා පාරිභෝගිකයා (ශිෂ්‍යයා) අතර ඇති තොරතුරු අසමමිතියයි. තමන් මුදල් ගෙවා ලබා ගන්නා භාණ්ඩයේ ගුණාත්මක භාවය ගැන ශිෂ්‍යයා දැනගන්නේ මුදල් ගෙවීමෙන් පසුවය. ඒ වන විට භාණ්ඩය පරිභෝජනය කර අවසන් නිසා එය ආපසු දීමේ හැකියාවක් ශිෂ්‍යයා සතුව නැත. "පළමු දිනය නොමිලේ" ඉගෙන ගන්නට ලැබීම මෙයට විසඳුමක් ලෙස ස්වභාවිකව බිහි වී ඇති විසඳුමකි.


රජයක් කිසියම් හේතුවක් නිසා නිදහස් වෙළඳපොළක් නියාමනය කිරීමට යොමු වන්නේනම් එසේ කළ යුත්තේ නිදහස් වෙළඳපොල ක්‍රියාකාරීත්වයට ඉඩ නොසලසන ස්වභාවික බාධාවන් ඇත්නම් ඒවා හඳුනාගෙන ඉවත් කිරීම සඳහා මිස නැති අකාර්යක්ෂමතාවයන් ඇති කිරීම සඳහා නොවේ.

Friday, June 30, 2017

අධ්‍යාපනය විකිණීම වැරදිද?


ඇතැම් අය සිතා සිටින්නේ අධ්‍යාපනය යනු මිල කළ නොහැකි, විකිණිය නොයුතු, හා කිසියම් පිරිසක් (රජය) විසින් මධ්‍යගතව සැලසුම් කළ යුතු, වෙනත් භාණ්ඩ හා සේවා වලට වඩා වෙනස් දෙයක් බවයි. එසේ සිතන අයට කිසිදු සැලසුම්කරුවෙකු නැතිව අධ්‍යාපන සේවා වෙළදපොලක් කාර්යක්ෂමව පැවතිය හැකි බව සිතාගන්නට නොහැකිය. ඒ නිසා ඔවුහු අධ්‍යාපන සේවා සැපයීම "හරියට" සැලසුම් කිරීම සඳහා රජයට කැමැත්තෙන්ම මුදල් ගෙවති. ඉන් පසුව, තමන් අපේක්ෂා කළ අරමුණ ඉටු නොවන විට සැලසුම්කරුට චෝදනා කරති. 

එහෙත්, වැරැද්ද බොහෝ විට තිබෙන්නේ සැලසුමේ හෝ සැලසුම්කරුගේ නොව අධ්‍යපනය "හරියට" සැලසුම් කරන්නට යන ආකෘතියේ බව තේරුම් නොගනිති. අධ්‍යාපන සේවා සැපයීම මධ්‍යගතව සැලසුම් නොකර එය කාර්යක්ෂමව සිදු විය නොහැකි බවට වන අදහස කෙතරම් ජනගතව ඇත්දැයි විමසූ විට පෙනෙන්නේ කාලයක් තිස්සේ සැලසුම් සහගත ලෙස වැරදි න්‍යායයන් ප්‍රචලිත කිරීම සඳහා ගැනුණු සංවිධානාත්මක උත්සාහයන් හේතුවෙන් සිදුවී ඇති බලපෑමේ තරමයි.

අඩු වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ වන ඕනෑම ක්‍රියාවලියක් තුළ මිල සාධකය තිබේ. එය පැහැදිලිව පෙනෙන්නට නැත්නම් සැඟවී තිබේ.

ගුරුවරයෙකු විසින් සිසුවෙකුට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය එහි මූලික ලක්ෂණ අනුව වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොලෙහි විකිණීමේ අවස්ථාවකින් කිසිසේත්ම වෙනස් නොවේ. මෙහිදී ගුරුවරයා නිෂ්පාදකයාය. ඔහු පිරිවැයක් දරමින් අධ්‍යාපන සේවා නිෂ්පාදනය කරයි. සිසුවා වැඩිහිටියෙක්නම් ඔහු පාරිභෝගිකයාය. වැඩිහිටියෙක් නොවේනම් පාරිභෝගිකයා ඔහුගේ මව, පියා හෝ වෙනත් වැඩිහිටි භාරකරුවෙකු විය හැක.

දෙදෙනෙකු අතර ස්වේච්ඡා ගනුදෙනුවක් සිදුවන සෑම විටකම පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද සතුටු වෙති. දෙදෙනාටම වාසිද සැලසේ. නිෂ්පාදකයාට ලාභ ආන්තිකයක් ලැබෙන අතර පාරිභෝගිකයාට පාරිභෝගික අතිරික්තයක් හිමි වේ. අපි ගනුදෙනු කිහිපයකදී මෙය සිදුවන ආකාරය විමසා බලමු.

ආරම්භයක් ලෙස අපි පහත උදාහරණය දෙස බලමු.

වැඩිහිටි සිසුවෙකු ඉංග්‍රීසි කතාකිරීම ඉගෙන ගැනීමට පෞද්ගලික පන්තියකට යයි. මේ අවස්ථාවේදී, සිසුවා ගුරුවරයාට කිසියම් නිශ්චිත මුදලක් ගෙවයි. ගුරුවරයා එම මුදල ලබාගෙන සිසුවාට ඉංග්‍රීසි උගන්වයි. දැනට මේ සරල උදාහරණය ගන්නේ වඩා සංකීර්ණ උදාහරණ වෙත පසුව යන්නට ප්‍රවේශයක් වශයෙනි.

මෙහි සිසුවා පාරිභෝගිකයාය. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගැනීම වෙනුවෙන් පිරිවැයක් දරයි. ඔහු ගුරුවරයාට ගෙවන මුදල මේ පිරිවැයෙහි කොටසකි. එහෙත්, එම මුදල ඔහුගේ මුළු පිරිවැය නොවේ. පන්තියට යාමට ඔහුට වැය වන බස් ගාස්තුද එහි කොටසකි. පාඨමාලාවට අදාළ පොත් හා ලිපි ද්‍රව්‍ය වෙනුවෙන් තවත් මුදලක් වැය වේ. ගුරුවරයාට ගෙවන මුදලට අමතරව සිසුවා විසින් මේ වියදම්ද දැරිය යුතුය. මේ සියල්ලේ එකතුවද ඔහුගේ මුළු පිරිවැය නොවේ. අතින් මුදලක් නොගියත්, පන්තියට සහභාගී වීමට හා ගෙදරදී අභ්‍යාස කිරීමට ගතවන කාලයද ඔහුගේ ආවස්ථික පිරිවැයේ කොටසකි. එම කාලය තුළ ඔහුට වෙනත් යමක් කර කිසියම් මුදලක් ඉපැයීමේ ඉඩක් ඇත්නම් එයද පිරිවැයට එකතු විය යුතුය. ඒ කාලය තුළ ටෙලිනාට්‍යයක් බලන්නට තිබුණු අවස්ථාව මඟ හැරීමද එහිම කොටසකි. ඒ නිසා ඇති වන අසතුට කිසියම් නිශ්චිත මුදලක් නැති වූ විට ඇතිවන අසතුටට සමාන කළ හැකිය.

මේ සියලු පිරිවැය දරාගෙන සිසුවා ඉංග්‍රීසි ඉගෙන ගන්නේ එයින් ඔහුට ලැබෙන ලාභය වැය කරන පිරිවැයට වඩා වැඩි බැවිනි. ඉංග්‍රීසි කතා කරන්නට පුළුවන් වූ විට වඩා හොඳ රැකියාවක් කරන්නට ඉඩ සැලසේ. එවිට ආදායම ඉහළ යයි. මෙය ජීවිත කාලය පුරාවට දිගටම, එසේ නැත්නම් විශ්‍රාම යන තුරු ලැබෙන සෘජු මුදල් වාසියකි. ඊට අමතරව ඉංග්‍රීසි කතා කළ හැකි වූ විට සමාජයේ තැනක් ලැබේ. මේ හේතුවෙන් මුදල් නොලැබුනත් එමඟින් ලැබෙන සතුට කිසියම් මුදලකට සමාන කළ හැකිය.

ඉහතින් විස්තර කළ වාසි හා අවාසි සිසුවාගෙන් සිසුවාට වෙනස් වේ. අයෙකුගේ වාසි අවාසි වලට වඩා වැඩිය. ඔහු පන්තියට යයි. තවත් අයෙකුගේ වාසි වලට වඩා අවාසි වැඩිය. ඔහු පන්තියට නොයයි. අයෙකුගේ වාසි හා අවාසි සමානය. ඔහුට ගියත් එකයි නැතත් එකයි වගේය. ඒ නිසා යන්නත් පුළුවන. නොයන්නත් පුළුවන.

දැන් පන්ති ගාස්තු වැඩි වුනොත් වෙන්නේ කුමක්ද? සියලුම පාරිභෝගිකයින්ගේ එනම් ඉංග්‍රීසි කතා කරන්නට කැමැත්තෙන් සිටි අයගේ වියදම් කොටස ඉහළ යයි. වාසි කොටසේ වෙනසක් නොවේ. ඒ නිසා කලින් ශුද්ධ වාසියක් තිබුණු ඇතැම් අයට දැන් ශුද්ධ අවාසියක් සිදු වේ. ඒ නිසා පන්තියට එන සිසුන් ගණන අඩු වේ. මේ අයුරින්ම, පන්ති ගාස්තු අඩුවන විට පැමිණෙන සිසුන් ගණන වැඩි වේ.

පන්ති ගාස්තු වෙනස් නොවී බස් ගාස්තු වැඩි වූ විටද මේ අයුරින්ම පන්තියට ඇති ඉල්ලුම අඩු වේ. එහෙත් එහි බලපෑම පෙර මෙන් සියලු සිසුන්ට එකසේ ඇති එකක් නොවේ. මේ වෙලාවේ පන්තියට ආසන්නව සිටින, පයින් හෝ බයිසිකලයකින් එන සිසුන් පන්තියෙන් හැලෙන්නේ නැත. ඒ වෙනුවට පන්තියට වඩා දුරින් සිටින සිසුන් පිරිසක් හැලේ.

දැන් අපි මෙහි නිෂ්පාදකයා වන ගුරුවරයාගේ පැත්ත බලමු. පන්තිය වෙනුවෙන් ඔහුට තැනක් කුලියට ගන්නට සිදු වේ. ඒ සඳහා ඔහු මුදලක් ගෙවිය යුතුය. එහි පැමිණෙන්නට ප්‍රවාහන වියදම්ද දැරිය යුතුය. උගන්වන්නට සහ ඒ සඳහා සූදානම් වීමට ඔහු වැය කරන්නේ ඔහුට වෙනත් දෙයක් සඳහා වැය කළ හැකි කාලයයි. ඔහු ඉංග්‍රීසි පන්තිය කරන්නේ පන්ති ගාස්තු ලෙස එකතුවන මුදලින් මේ සියලු වියදම් පියවී ලාබයක් ඇත්තේනම් පමණි.

ගුරුවරයාට සිය ලාබ වැඩි කර ගැනීමට පන්ති ගාස්තු ඉහළ දැමිය හැකි වුවත් එය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ගාස්තු ඕනෑවට වඩා වැඩි කළොත්, එක් සිසුවෙකුගෙන් ලැබෙන මුදල ඉහළ ගියත් පැමිණෙන සිසුන් ගණන අඩු වීම නිසා ලැබෙන ආදායම පහළ යන්නට පුළුවන. බස් ගාස්තු ඉහළ ගිය විට ඇතැම් සිසුන් පන්තියෙන් ගිලිහෙන්නට පුළුවන. කෙසේවුවද, ඈතක තිබූ වෙනත් පන්තියකට ගිය සිසුන් මේ පන්තියට එන්නට වුවද ඉඩ තිබේ. එසේ වුවහොත් ඉල්ලුම ඉහළ යයි.

දැන් මේ පන්තියේ පන්ති ගාස්තු තීරණය වන්නේ එහි පැමිණෙන හෝ නොපැමිණෙන එක් එක් සිසුවාගේ අපේක්ෂිත වාසි හා ආවස්ථික පිරිවැය මෙන්ම ගුරුවරයාගේ ආවස්ථික පිරිවැයද මතය. මේ එක් දෙයක් හෝ වෙනස් වීමෙන් පන්ති ගාස්තු වෙනස් විය හැකිය. ඒ හැම විටකම සිදු වන්නේ සියලු දෙනාටම සතුටු විය හැකි ප්‍රසස්ථ මට්ටමකට මිල ස්වභාවිකවම වෙනස් වීමයි. එය ගුරුවරයා විසින් වෙනස් කරන බව පෙනෙන්නට තිබුණත් ඇත්තටම එය සමස්ත පද්ධතියේම අන්තර් සම්බන්ධතා මත සිදුවන්නකි.

වැඩිහිටි සිසුන්ට ඉංග්‍රීසි කතා කිරීම උගන්වන පංති කිසිවකුගේ නියාමනයකට ලක් නොවන නිසා මධ්‍යගත සැලසුම්කරුවෙකු නැතුවම මේ වෙලදපොල කාර්යක්ෂමව පවතී. ඒ කාර්යක්ෂමතාවය පවත්වා ගැනෙන්නේ මිල සාධකය හරහාය. කාමර කුලී වැඩි වන විට ගුරුවරුන්ගේ ලාභ අඩු වේ. එවිට, පන්ති ගාස්තු වැඩි කරන්නට සිදු වේ. පන්ති ගාස්තු වැඩි වන විට සිසුන්ගෙන් කොටසක් හැලේ. එවිට, දක්ෂ ගුරුවරයෙකුට වෙළඳපොළේ තවදුරටත් රැඳී සිටිය හැකි වුවත් සාපේක්ෂව අදක්ෂ ගුරුවරයෙකුට (වඩා අකාර්යක්ෂම නිෂ්පාදකයෙකුට) ප්‍රමාණවත් සිසුන් පිරිසක් නැති නිසා පන්තිය පවත්වාගෙන යාම අසීරු වේ. මිල සාධකය හරහා අදක්ෂ ගුරුවරුන් ස්වභාවිකම වෙළඳපොලෙන් ඉවත් කරයි. දක්ෂ ගුරුවරුන් ඉතුරු කරයි. මෙය කරන්නට රජයේ අමාත්‍යංශයක මහජන මුලින් යැපෙන නිලධාරීන් පිරිසක් බදු මුදලින් නඩත්තු කිරීමට අවශ්‍ය නැත.

කිසියම් නගරයක පන්තියක් කරන දක්ෂ ගුරුවරයෙකුට විශාල සිසුන් පිරිසක් ආකර්ශනය වෙයි.  ලාභ ඉහළ යයි. මෙය දකින තවත් අයට ඉංග්‍රීසි පන්ති පටන් ගන්නට හිතේ. නගරයේ දෙවන ඉංග්‍රීසි පන්තියක් ඇරඹේ. මේ ගුරුවරයා පළමු ගුරුවරයා තරම් දක්ෂ නැතත් පන්තියේ තදබදය අඩුය. ගුරුවරයා සමඟ පෞද්ගලිකව කතා කරන්නට වැඩි ඉඩක් ලැබේ.

දැන් සිසුන්ට තෝරා ගැනීමක් තිබේ. පළමු ගුරුවරයා ගුරුවරයෙකු ලෙස වඩා සාර්ථක වුවත් සිසුන් සිය ගණනක් සිටින පන්තියකට වඩා අඩු සිසුන් ගණනක් සිටින පන්තියකට කැමති සිසුන් දෙවන ගුරුවරයා වෙත යයි. පන්තියේ ප්‍රමාණය ප්‍රශ්නයක් ලෙස නොසිතන අය පළමු ගුරුවරයා ලෙස රැඳේ. සිසුන් වඩා කැමති කුඩා පන්තියකටද නැත්නම් ලොකු පන්තිකටද කියා පරීක්ෂා කර අදාළ පන්තියට සිසුන් යොමු කිරීම සඳහා බදු මුදලින් යැපෙන නිලධාරියෙකු අවශ්‍ය නැත.

අලුත් ආයතනයකට ඉංග්‍රීසි උගත් පිරිස් අවශ්‍ය වී රැකියා අවස්ථා වැඩි වන විට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ඇති වාසි වැඩි වේ. එවිට ඉංග්‍රීසි ඉගෙන ගන්නට ඇති ඉල්ලුම වැඩි වේ. රජයේ නිලධාරියෙකු සමීක්ෂණයක් කර මේ බව දැනගෙන අලුත් ඉංග්‍රීසි පන්තියක් පටන් ගත යුතු බව ඇමතිවරයාට යෝජනා කරන්නට අවශ්‍ය නැත. ඉල්ලුම වැඩි වන විට ස්වභාවිකවම අලුතින් ඉංග්‍රීසි පන්ති ඇති වේ. එය සිදු වන්නේ මිනිසුන්ට ස්වභාවිකමව ඇති ලාභ ලැබීමේ ආශාව තුලිනි. රජය විසින් බාධා නොකරන තාක් කල් සිසුන්ගේ අවශ්‍යතා වලට සරිලන තරමේ අධ්‍යාපනයක් ස්වභාවික ලෙසම ඔවුන්ට ලැබේ. නියාමකයෙකු නැතත් වෙළඳපොළ යාන්ත්‍රනය විසින් වෙළඳපොල නියාමනය කරයි.

අදක්ෂ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්නා සිසුවෙකුට කලක් පන්ති ගියත් හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැක. දක්ෂ ගුරුවරයාගේ පන්තියට යන අයට ඉතා ඉක්මනින් ඉංග්‍රීසි ප්‍රවීණතාවය ලැබේ. රැකියා සඳහා වන සම්මුඛ පරීක්ෂණයේදී වැඩි වශයෙන් තේරෙන්නේ දක්ෂ ගුරුවරයාගේ පන්තියේ අයයි. ඒ නිසා ඒ පන්තියට ස්වභාවික ලෙසම ඉල්ලුම වැඩි වේ. අදක්ෂ ගුරුවරයාගේ පන්තියට ඉල්ලුම අඩු වේ. ප්‍රමාණවත් සිසුන් ගණනක් නැති නිසා ඔහුගේ වියදම නොපියවේ. ඒ නිසා ඒ පන්තිය වැසී යයි. මෙසේ වැසී යන්නේ ගුණාත්මක භාවයෙන් අඩු සේවාවක් සපයන ගුරුවරයාගේ පන්තියයි.

කෙසේවුවද, වැසී ගිය පන්තියේ ගුරුවරයාට අනෙක් ගුරුවරයාට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් තිබෙන්නට පුළුවන. ගුරුවරයෙකුගේ අධ්‍යාපන සුදුසුකම් වලින් ඔහු ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන ඉඟි කරන නමුත් හැමවිටම වැඩි අධ්‍යාපන සුදුසුකම් වලින් වැඩි ගුණාත්මක භාවයක් අදහස් කෙරෙන්නේ නැත. නියාමනයක් නැති වෙළඳපොළ යාන්ත්‍රණය තුල ගුණාත්මක භාවයෙන් වැඩි අධ්‍යපනයක් ලබා දෙන ගුරුවරුන් ඉතිරි වී එසේ නොකරන අය ස්වභාවිකවම ඉවත් වේ. ගුණාත්මක භාවය එක් එක් (වැඩිහිටි) සිසුවා හෙවත් මුදල් ගෙවන පාරිභෝගිකයා විසින් තීරණය කරන්නක් මිස සියලු දෙනා පොදුවේ එකඟ වන දෙයක් නොවේ. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෙයක් සම්බන්ධව සියලු දෙනාට පොදුවේ එකඟ වීම අසීරුය. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා වෙනස් නිසා ගුණාත්මක භාවය පිළිබඳ සියලු දෙනාටම පොදු නිර්ණායක නැත.

එහෙත් මධ්‍යගත සැලසුම්කරුවෙකු ලෙස ක්‍රියාකරන රජයේ නිලධාරියෙකුට ප්‍රායෝගිකව සියලු සිසුන්ගෙන් ඔවුන් අපේක්ෂා කරන ගුණාත්මක භාවය කුමක්ද කියා විමසීමේ හැකියාවක් නැත. එසේ විමසුවද එය කාලය සමඟ නොවෙනස්ව තිබෙන දෙයක් නොවේ. ඒ නිසා ඔහුට කළ හැක්කේ අධ්‍යාපන සුදුසුකම් වැනි ගුණාත්මක භාවය ගැන ඉඟි කරන කිසියම් නිර්ණායකයක් යොදාගැනීමටය. මේ නිලධාරියා අපක්ෂපාතී හා අවංක (පගාවට වැඩ නොකරන) එමෙන්ම මහන්සි වී වැඩ කරන (කාලය අපතේ නොයවන) නිලධාරියෙක් වන්නට පුළුවන. එසේ වූ පමණින් ඔහු කාර්යක්ෂම නිලධාරියෙක් වන්නේ නැත. බදු මුදල් වැය කරමින් ඔහු මහන්සි වන්නේ වෙළදපොළ යාන්ත්‍රණයට ස්වභාවික ලෙසම කළ හැකි දෙයක් "වඩා හොඳින්" කරන්නටය.

තනි පුද්ගලයෙකු වන රජයේ නිලධාරියෙකු (හෝ කණ්ඩායමක්) කොයි තරම් දක්ෂ සැලසුම්කරුවෙකු (හෝ සැලසුම්කරුවන්) වුවත් ඔහුට (ඔවුන්ට) එය කළ නොහැකිය. ලක්ෂ ගණනක් සිතන පතන ආකාරය පිළිබඳ දත්ත හා ඒ සිතන ආකාරය අනාගතයේ වෙනස්වන ආකාරය නිවැරදිව පුරෝකථනය කළ හැකි ආකෘති ඔහු සතුව නැත. ඒ නිසා, ඔහුට සැලසුම් හදන්නට වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ලෙස ඔහු අදහස් කරන දෙය මත පදනම්වය. මෙය රටේ සිසුන් හා ගුරුවරුන් බොහෝ දෙනෙක් ගුණාත්මක භාවය ලෙස දකින දෙයම නොවේ. ඔහුට වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකු ගුරු තනතුරකට තෝරා ගත හැකි වුවත්, වැඩි ඉගෙන්වීමේ හැකියාවක් ඇති අයෙකු තෝරා ගැනීම අසීරුය.

දැන් අපි අවසානයට කතා කළ නගරයට නැවත ගියහොත් ඒ නගරයේදී වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති එහෙත් අදක්ෂ ගුරුවරයාගේ පන්තිය වැසී ගොස් අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති දක්ෂ ගුරුවරයාගේ පන්තිය ඉතිරි විය. මේ හේතුවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුවන බව රජය විසින් හඳුනා ගන්නට පුළුවන. එයට පිළියමක් ලෙස රජය විසින් ඉංග්‍රීසි කතා කිරීම උගන්වන ගුරුවරුන් සඳහා අවශ්‍ය වන මූලික අධ්‍යාපන සුදුසුකම් නියම කරන්නට පුළුවන. එසේ කළ විට, දක්ෂ ගුරුවරයාට ඉංග්‍රීසි පන්ති කිරීමේ හැකියාව නැති වේ.

දැන් දක්ෂ ගුරුවරයා නැති නිසා අදක්ෂ ගුරුවරයාට සිසුන් පිරිසක් සිටී. ඒ නිසා, ඔහුට පන්තිය පවත්වාගෙන යා හැකිය. පන්තියට පැමිණෙන සිසුන් අතරින් ඉගෙන ගැනීමේ දක්ෂතාවය වැඩි සිසුහු ගුරුවරයා අදක්ෂ වුවත් කෙසේ හෝ ඉගෙන ගනිති. එහෙත් අදක්ෂ සිසුන්ට අනෙක් ගුරුවරයා මෙන් "ඉංග්‍රීසි පෙවීමේ" හැකියාවක් ඔහුට නැත. ඒ නිසා අන්තිමේදී පන්තියේ ඉතිරි වන්නේ සාපේක්ෂව දක්ෂ සිසුන් පමණි. රජයේ නියාමනය හේතුවෙන් අනෙක් සිසුන්ට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගැනීමට තිබුණු අවස්ථාව නැති වේ.

අලුතින් ඇරඹුණු ආයතනයට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි කතා කිරීමට මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදනයට අදාළ වෙනත් කුසලතාවයක් හෝ ගුණාංගයක් (උදාහරණයක් ලෙස වඩු කර්මාන්තය පිළිබඳ දක්ෂතාවය හෝ උස අඩි හයක් වීම) ඇති අයයි. ඉංග්‍රීසි උගත් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට එන විට ඒ අය අතරින් තමන්ට අවශ්‍ය අනෙක් කුසලතාවන් ඇති අය ප්‍රමාණවත් පිරිසක් හඳුනා ගන්නට ආයතනයට හැකි වුවත් දැන් එන ඉංග්‍රීසි කතා කළ හැකි සීමිත පිරිස අතර ඒ කුසලතාව ඇති අය නැත. ඒ නිසා, ඉංග්‍රීසි කතා කළ හැකි වුවත් මේ අයට රැකියා නොලැබේ. රැකියා නොලැබෙන නිසා ඉංග්‍රීසි පංතියට ඇති ඉල්ලුමද අඩු වී එය පවත්වා ගැනීම අසීරු වී වැසී යයි. අවශ්‍ය සේවකයින් සොයාගත නොහැකි නිසා අලුතින් ඇරැඹු ආයතනයද උපන්ගෙයිම මිය යයි.

කිසියම් නගරයක කොයි තරම් දක්ෂ ගුරුවරයෙකුගේ ඉංග්‍රීසි පන්තියක් තිබුනත් ඒ පන්තියට රටේම සිටින සිසුන් පැමිණෙන්නේ නැත. ඒ ප්‍රවාහනය සඳහා වැය වන මුදලේ හා කාලයේ ආවස්ථික පිරිවැය පන්තියට ඇති දුර සමඟ වැඩි වන බැවිනි. නියාමනයක් නැති වෙළදපොළ යාන්ත්‍රණයට මේ ප්‍රශ්නයටද විසඳුම් තිබේ. සිසුන්ගේ ප්‍රවාහන වියදම වැඩි වන විට සිසුන් ගුරුවරයා වෙත යනු වෙනුවට ගුරුවරයා සිසුන් වෙත යයි. දක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන් නගර ගණනක පන්ති කරන්නේ ඒ නිසාය.

ගුරුවරයෙකුට වෙනත් නගරයකට ගොස් පන්තියක් කිරීමට වැඩි ආවස්ථික පිරිවැයක් දරන්නට සිදු වේ. එක පැත්තකින් ප්‍රවාහන වියදම්ය. අනෙක් පැත්තෙන් ප්‍රවාහනය වෙනුවෙන් ගත වන කාලය තුළ තමන් සිටින නගරයේ තවත් පන්තියක් කිරීමට ඇති අවස්ථාවයි. මේ නිසා ගුරුවරයකු වෙනත් නගරයක පන්ති කරන්නේ විශාල ඉල්ලුමක් ඇත්නම් පමණි. ඒ නගරයේම සිටින ගුරුවරයෙකුට සංසන්දනාත්මක වාසියක් ඇති නිසා සිසුන් ගණන අඩු වුවත් පන්තියක් පවත්වාගෙන යන්නට පුළුවන.

ඉහත පැහැදිලි කිරීම අනුව ගුරුවරයෙකුට වැඩිපුර සිසුන් සිටීම යනු හැමවිටම වැඩිපුර ලාබ තිබීම නොවේ. අඩු සිසුන් ගණනක් සිටින ගමේ ගුරුවරයාගේ පන්තියෙන් හා වැඩි සිසුන් පිරිසක් සිටින පිටින් එන ගුරුවරයාගේ පන්තියෙන් ලැබෙන ලාබ සමාන වන්නට පුළුවන. ගුරුවරයෙකු වෙනත් නගරයක පන්තියක් කිරීම ගැන හිතන්නේ තමන් සිටින නගරයේ දෙවන (හෝ තවත් අමතර) පන්තියක් වෙනුවෙන් ඇති ඉල්ලුම විශාල ලෙස අඩුනම් පමණි. මේ යාන්ත්‍රණය තුල රටේ සිටින දක්ෂම ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව බොහෝ නගර වල සිසුන්ට හිමි වේ. එවැනි ගුරුවරයෙකු විශාල පැය ගණනක් මහන්සි නොබලා වැඩ කරන්නේ තමන්ගේ මහන්සියට සරිලන ලාබයක් ඇති බැවිනි. එහෙත්, අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම වෙනුවෙන් කියා රජය විසින් ගුරුවරයෙකුට සිටිය යුතු උපරිම සිසුන් ගණන සීමා කළහොත් දක්ෂ ගුරුවරයෙකු වෙනත් නගර වලට ගොස් පන්ති කිරීම නවතී.

වෙළඳපොළ යාන්ත්‍රණයට රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට අවශ්‍ය සිසුන් සිටින තැන් වලට ගුරුවරුන් යොමු කිරීමේ ස්වභාවික හැකියාවක් තිබේ. එය සිදුවන්නේ ස්වාභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කිරීමට වැඩිහිටි සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ඇති හැකියාව මත මිල යාන්ත්‍රනය හරහාය. රජය මැදිහත් නොවන තුරු මෙය කාර්යක්ෂම ලෙස සිදු වේ.

කිසියම් නගරයක අලුතින් ආයතනයක් ඇරැඹී ඉංග්‍රීසි කතා කළ අය හැකි අයට ඇති ඉල්ලුම වැඩි වන විට එම නගරයේ පන්ති වලට සිසුන් වැඩි වේ. එවිට එම නගරය රටේ සිටින දක්ෂ ගුරුවරුන්ට ආකර්ශනීය වී ස්වභාවික ලෙසම ඔවුන් එහි ඇදේ. ආයතනය අලුතින් පටන් ගැනෙන බව දැනගෙන ගුරුවරුන් එහි යොමු කිරීම සඳහා බදු මුදලින් නඩත්තු වන නිලධාරීන් අවශ්‍ය නැත. මධ්‍යගත සැලසුම්කරුවෙකුට දක්ෂ ගුරුවරුන් තෝරාගැනීමේ හැකියාවක් නැතුවාට අමතරව ඒ ඒ නගරයට අවශ්‍ය ප්‍රමාණයට හා වඩාත්ම සුදුසු ගුරුවරුන් යොමු කිරීමේ හැකියාවක්ද නැත.

නැවතත් කියනවානම්, මධ්‍යගත සැලසුම්කරුවෙකුට වඩාත්ම කාර්යක්ෂම ගුරුවරුන් හරියටම තෝරා ගැනීමේ හැකියාවක් නැතිවා පමණක් නොව, නිදහස් වෙළඳපොළක ස්වභාවිකව සිදුවන අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් යොමු කිරීම හෝ අවශ්‍ය පුද්ගලයින් යොමුකිරීමේ හැකියාවද නැත. මෙය සැලසුම්කරු වෙනස් කිරීමෙන් විසඳිය නොහැකි ක්‍රමයේ ප්‍රශ්නයකි. වඩා හොඳ සැලසුම්කරුවන් සිටින්නට පුළුවන් වුවත්, ඉතා සුවිශේෂී තත්ත්වයන් යටතේ හැර සැලසුම්කරුවෙකුට නිදහස් වෙළඳපොළක ස්වභාවිකව සිදුවන දෙයට වඩා හොඳින් සැලසුම් කළ නොහැකිය.

එහෙත්, රජයයන් විසින් හැමවිටම පෙන්වන්නේ රජයකට නිදහස් වෙළඳපොළට වඩා හොඳින් සම්පත් කළමනාකරණය කළ හැකි බවයි. මෙය පෙන්වමින් රජයයන් විසින් ඒ වෙනුවෙන් බදු මුදල් එකතු කරයි. එහෙත්, එය එසේ සිදු නොවන විට බදු ගෙවන්නන් හා රජය අතර ප්‍රශ්න ඇති වේ. රජයයන් වෙනස් වීමෙන් මෙවැනි ප්‍රශ්න කෙළවර වේ. හිටපු සැලසුම්කරුවන් වෙනුවට අලුත් සැලසුම්කරුවෝ පැමිණෙති. එහෙත් ප්‍රශ්නය වන්නේ සැලසුම්කරුවන් කවුද යන්න නොව සැලසුම්කරුවන් සිටීම නිසා ප්‍රශ්නය එයින් නො විසඳේ.

මෙය වෙනස් වන්නටනම් නිදහස් වෙළඳපොළකට වඩා හොඳින් මධ්‍යගත සැලසුම් කරන රජයකට සම්පත් කළමනාකරණය කළ හැකි බවට සමාජයේ ඇති විශ්වාසය නැති විය යුතුය. එහෙත්, කාලයක් තිස්සේ රජයයන් විසින් ප්‍රචලිත කර ඇති මේ මතය සමාජයෙන් ඉවත් කිරීම පහසු නොවනවා පමණක් නොව කිසිදු රජයක් එයට කැමති වන්නේද නැත. මේ මතය ප්‍රචලිත කිරීම සඳහා රජයයන් විසින් යොදාගන්නා ප්‍රමුඛ උපාංගය "නිදහස් අධ්‍යපනය" ලෙස හඳුන්වන නිදහස නැති කරන අධ්‍යාපනය වීම මෙහි ඇති උත්ප්‍රාසයයි.

සාමාන්‍ය තත්ත්වය වන්නේ මධ්‍යගත සැලසුම් නොතිබීම නිසා එවැන්නක් අවශ්‍ය වන හැම විටකම අදාළ සැලසුම හේතුවෙන් නිදහස් වෙළඳපොලක සිදුවනවාට වඩා කාර්යක්ෂම ලෙස සම්පත් කළමනාකරණය සිදුවන්නේ කෙසේද යන්න පෙන්වීම සැලසුම්කරුවන් විසින් කළ යුතු දෙයකි. එසේ අවශ්‍ය වන සුවිශේෂී තත්ත්වයන් තිබෙන්නට පුළුවන. මේ ලිපියේ උදාහරණයේ පාරිභෝගිකයා ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට අපේක්ෂා කරන වැඩිහිටි සිසුවෙකි. ඔහු වැය කරන්නේ තමන්ගේම මුදල්ය. ගනුදෙනුවට තෙවන පාර්ශ්වයන් සම්බන්ධ වන තරමට විශ්ලේෂණය වඩා සංකීර්ණ වේ. එවැනි, වඩා සංකීර්ණ අධ්‍යාපන සේවා වෙළඳපොළවල් ගැන ඉදිරියේදී කතා කරමු.

Wednesday, June 1, 2016

වෙළඳපොළ ආර්ථිකයක් යනු කුමක්ද?


මේ ලිපියෙන් කරන්නේ තරමක් මුලටම ගොස් සරල ආකෘතියක් මඟින් වෙළඳපොළ ආර්ථිකයක් යනු කුමක්දැයි පැහැදිලි කිරීමකි. වෙළඳපොළ ආර්ථිකයක් තුළ නිෂ්පාදනය සිදුවන ආකාරය විස්තර කරන මේ සරල ආකෘතිය චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ලෙස හැඳින්වේ.

චක්‍රීය ප්‍රවාහ ආකෘතිය තුළදී හඳුනාගන්නා මූලික ඒකක වර්ග දෙකකි. ඒ ගෘහස්ථ ඒකක හා ව්‍යාපාර ඒකකයි. ගෘහස්ථ ඒකක  පුද්ගලයින්ගෙන් සමන්විත වන අතර මේ පුද්ගලයෝ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරති. එසේ කිරීමෙන් ඔවුහු තෘප්තියට පත්වෙති. මේ තෘප්තිය පෞද්ගලික අත්දැකීමකි. එකම භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කිරීමෙන් විවිධ පුද්ගලයින් විසින් ලබන තෘප්තිය සමාන නැත.

සමාගමක් හෝ ව්‍යාපාර ඒකකයක් යනු පුද්ගලයින්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය තුළින් බිහි කරගත් සංකල්පයකි. සමාගමක් සතු වත්කම්, වගකීම්, ඉලක්ක ආදිය තිබේ. උපතක්, මරණයක් හා ජීවිත කාලයක්ද තිබේ. මේ ජීවිත කාලය මිනිසෙකුගේ සාමාන්‍ය ජීවිත කාලයට වඩා බොහෝ වැඩි විය හැකිය. 


සමාගම් සමඟ පුද්ගලයෝ විවිධ අන්තර්ක්‍රියාවන් කරති. සංකල්පීය ලෙස සමාගමක් යනු අථත්‍ය  පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි වුවත් එය මනසේ ඇති සංකල්පයක්ම පමණි. මේස, පුටු, පරිගණක, යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි ආදිය මිස සමාගමක් නම් වූ භෞතික දෙයක් නැත. ඒ නිසා සමාගමකට පරිභෝජනය කිරීමට නොහැකිය. 

කෙසේවුවද, ගෘහස්ථ ඒකක වලට අයත් පුද්ගලයින්ට සමාගම් සමඟ සංකීර්ණ අන්තර් ක්‍රියාවන්හි යෙදීමට එය බාධාවක් නොවේ. එමෙන්ම, කිසියම් පුද්ගලයෙකු විසින් තනිව මෙහෙයවන ව්‍යාපාරයක් වුවද එම පුද්ගලයාගෙන් බාහිර අථත්‍ය පුද්ගලයෙකු සමඟ කරන අන්තර්ක්‍රියාවක් ලෙස සංකල්පීය ලෙස සිතීමටද පුළුවන.

සමාගමක කාර්යය වනුයේ භාණ්ඩ හා/හෝ සේවා නිෂ්පාදනය කිරීමයි. භාණ්ඩ සේවා වලින් වෙනස් වන්නේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් පසුව පරිභෝජනය කරන තුරු ගබඩා කර තබාගත හැකිවීමත්, සේවාවන් එසේ ගබඩා කර තබාගත නොහැකි වීමත් නිසා පමණි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිෂ්පාදන සාධක ප්‍රාග්ධන සම්පත්, ශ්‍රම සම්පත් හා ස්වභාවික සම්පත් ලෙස වර්ග කළ හැකිය. කිසියම් නිෂ්පාදනයක් සිදුකිරීම සඳහා මේ එක් එක් වර්ගයේ සම්පත් අවශ්‍ය වන අනුපාතය සමාගමක් විසින් උපයෝගී කරගන්නා නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව වෙනස් වේ.

නිෂ්පාදන ඒකක ඇත්තේ ගෘහස්ථ ඒකක සතුවය. සමාගම් වලට නිෂ්පාදන සාධක වෙළඳපොළ හරහා ගෘහස්ථ ඒකක වලින් මේ සාධක සොයා ගැනීමට සිදුවේ. නිෂ්පාදන සාධක වෙළඳපොළ තරඟකාරී වෙළඳපොළකි. එහිදී, සමාගම් වලට හැකි අවම මිලකට ශ්‍රමය, ප්‍රාග්ධනය හා ස්වභාවික සම්පත් ලබා ගැනීමට හැකිවන අතරම ගෘහස්ථ ඒකක වලට හැකි උපරිම මිලට මේ නිෂ්පාදන සාධක විකිණීමට ඉඩකඩ ලැබේ. සමාගම් නිෂ්පාදන සාධක වෙනුවෙන් පිරිවැයක් දරද්දී ගෘහස්ථ ඒකක වලට ශ්‍රමය වෙනුවෙන් වැටුප්ද, ප්‍රාග්ධනය වෙනුවෙන් පොලී හා/හෝ ලාභාංශද, ස්වභාවික සම්පත් වෙනුවෙන් කුලියද මුදල් ලෙස ලැබේ.

සමාගම් විසින් නිපදවන භාණ්ඩ හා සේවාවන් නැවතත් ගෘහස්ථ ඒකක වලටම විකිණේ. මෙය සිදුවන්නේ භාණ්ඩ හා සේවා වෙළදපොල හරහාය. ගෘහස්ථ ඒකක සතු මුදල් මේ වෙනුවෙන් වැය කෙරේ. එය සමාගමේ ආදායමයි. සමාගමේ ආදායම හා වියදම අතර වෙනස එහි ලාභයයි. මේ ලාභ ලාභාංශ ලෙස සම්පූර්ණයෙන් බෙදා නොදුන්නොත් සමාගම තුළ ඉතිරි වේ. එවිට සමාගමේ වටිනාකම ඉහළ යයි. මෙහි වාසියද සමාගමේ කොටස් හිමිකරුවන් වන ගෘහස්ථ ඒකක වලට ලැබේ. කොටස් විකිණීමෙන් මේ වාසිය මුදල් කළ හැකිය.

සාමාන්‍යයෙන් නිෂ්පාදන සාධක වල අගයට වඩා නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවන් වල අගය වැඩිය. මෙසේ එකතු කෙරෙන අගය තීරණය වන්නේ සමාගමක් සතු නිෂ්පාදන තාක්ෂනය අනුවය. එකතු වන අගයේ වාසිය අවසාන වශයෙන් ගෘහස්ථ ඒකක වෙත ලැබේ. එය පරිභෝජනය වැඩි කර ගැනීමට හෝ අනාගත පරිභෝජනය වෙනුවෙන් ආයෝජනය කිරීමට පුළුවන.


මේ ආකෘතිය තුළ ශ්‍රමිකයෙක්, ආයෝජකයෙක්, ස්වභාවික සම්පත් හිමිකරුවෙක් හා පාරිභෝගිකයෙක් ලෙස විවිධ කාර්යයන්හි යෙදෙන්නේ ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින්ය. සමාගමක කාර්යය අවසාන වශයෙන් නිෂ්ක්‍රීය එකකි.

ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින්ට කළ හැකි තවත් කාර්යයක් තිබේ. ඒ ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමයි. මේ සඳහා පවතින මිල ගණන් යටතේ හෝ වැඩි මිලක් ගෙවා නිෂ්පාදන සාධක මිල දී ගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර පවතින මිලගණන් යටතේම හෝ අඩු මිලකට විකුණා තමන්ටද ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් ගැන සිතන්නට සිදුවේ. මෙය පහසු නැත. ව්‍යවසායකයින් දුලබ හා වටිනා පුද්ගලයින් ලෙස සැලකෙන්නේ ඒ නිසාය.