Showing posts with label ඖෂධ සමාගම්. Show all posts
Showing posts with label ඖෂධ සමාගම්. Show all posts

Thursday, February 18, 2016

සමාගම් වල ලාභ: වෙනත් අයෙකුගේ අදහස්...


යම් තැනක සංඛ්‍යාලේඛණ අනුව හෝ බොහෝ දෙනෙකු පිළිගන්නා සම්මත අනුව න්‍යායාත්මකව නිවැරදි නොවන දෙයක් ඇති විට මා එය පෙන්වා දෙන නමුත් මා සිතන ආකාරය සමඟ සම්පාත නොවූ පමණින් පුද්ගලයින් සිතන ආකාරය පිළිබඳව මා සාමාන්‍යයෙන් විරුද්ධ වන්නේ නැත. අප එකිනෙකා සිතන ආකාරයන් අනන්‍යය. පහතින් ඇත්තේ මගේ පසුගිය ලිපියේ ඇති කරුණු ගැන වෙනත් අයෙකු සිතන කරුණුය. ඔහුගේ අදහස් මගේ අදහස් සමඟ හරියටම නොගැලපුනත්, ඔහු සිතන දේ ඔහු නිරවුල්ව සටහන් කර ඇති නිසාත්, ඒ වෙනුවෙන් ඔහු මහන්සි වී ඇති නිසාත්, මා දන්නා තරමින් ඔහුට ඔහුගේම වියුණුවක් නොමැති නිසාත් ඔහුගේ අදහස් වලට වැඩි ඉඩක් දිය යුතුයැයි සිතේ. මේ ගැන මගේ ප්‍රතිචාර පසුව පළ කරමි.

පහතින් ඇති අදහස් ප්‍රදීප් මංගලගේය. ඉදිරියේදීත් වැඩිදෙනෙකුට යම් අයුරකින් බලපාන කරුණක් ගැන වෙනත් අයෙකුගේ අදහස් වලට වුවද මගේ වියුණු වල ප්‍රමුඛ තැනක් දීමට මා සූදානම්ය.

***

සමාගම් මගින් අධික ලාභය ලැබීම පිලිබදව සහ ඒ වෙනුවෙන් දරන අවධානම පිලිබදව කරුණු දක්වා ඇති ලිපිය පිලිබදව වෙනත් මානයකින් බලනවිට දක්නට ලැබෙන කරුණු කිහිපයක් පැවසීම සුදුසුයැයි සිතුනි.

සමාජය තුල යම් තරගකාරිත්වයක් තිබිම මගින් නව නිපැයුම් සිදුවන බවත් එවැනි නව නිපයුම් සිදුකිරිම මගින් පවතින තත්වයන් තුල වැඩි ලාභයක් ලබා ගැනීම සදහා සමාගම්වලට වැඩි ඉඩක් ඇතිබවත් ඔබ විසින් සදහන්කර ඇත.සමහර අවස්ථාවලදි පරික්ෂණ වල ප්‍රතිඵල අනුව අපේක්ෂිත ලාභය ලැබිය නොහැකි බවත් මෙහි පැහැදිලිකර දක්වා ඇත. මෙම ලිපිය මගින් ඔබ පැහැදිලිකර ඇත්තේ දැනට පවතින ආර්ථික තත්වයන් අනුව වැඩිම පිරිසකට ලාභයක් ලැබෙන පරිදි හෝ අලාභයක් සිදුනොවන පරිදි ආර්ථික තත්වයන් ක්‍රියාත්මකවන ආකාරයයි.

සාමාන්‍යයෙන් යම් සමාගමක් නව නිශ්පාදනයක් පිලිබදව අධ්‍යනය කිරීමේදි ඒ වෙනුවෙන් යෙදවෙන දැනුම ඉතිහාසය විසින් නිර්මාණය කරන ලද හා ගොඩ නංවන ලද දැනුමක්ය. (ඖෂධ සමාගම් නව නිශ්පාදන සිදුකිරිමේදි ඩොල්ටන්ගේ සොයාගැනිම් වෙනුවෙන් යොදවන ලද ශ්‍රමයද,ප්‍රසන්න බද්දේවිතාන විසින් එම කරුණු පැහැදිලි කිරිමට දරන මහන්සියද,විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ මහන්සියද,අනෙකුත් දැනුම පොත්වල පලකර ඇති පිරිස්වල ශ්‍රමයද, එවැනි පර්යේෂකයින් ඇතිකිරීම සදහා සහ පර්යේෂණ කිරීම සදහා සමාජය දක්වන ලද සමාජීය කැපකිරීමද,...... ආදී ලෙස සමස්ථ සමාජයම අදාල වේ) ඒ සියලු දැනුම එකතු කරමින් විශ්ලේෂණය කර සිදුකරනු ලබන පරික්ෂණයක ප්‍රතිඵලයක් මත නව දැනුමක් නිර්මාණය විය හැකිය. මෙම නිර්මාණය වන නව දැනුම යම් නිශ්චිත කාලයක් දක්වා සමාජයට ලබාදීම ප්‍රමාද කරමින් සිටින්නේ එම දැනුම සොයා ගැනිම වෙනුවෙන් එම ආයතනය විසින් සිදුකරන ලද වියදම පියවා ගැනිම සදහාය. ඒ මගින් එම ක්ෂෙත්‍රයේ සිදුවිය හැකි වර්ධනයට යම් බාධාවක් ඇතිවිය හැකි බව මම සිතමි.

මෙවැනි තත්වයක් මෙම වෙළද පොලතුල ඇතිකිරීමට සිදුවී ඇත්තේ සමාගම් සහ බහුතරයක් මිනිසුන් ලාභය ලැබිමේ අපේක්ෂාවෙන් පමණක් කටයුතු කිරීම නිසාය.

අපි මොහොතකට මිනිසුන් ලාභය පිලිබදව අපේක්ෂා නොකර මිනිසුන්ගේ යහපත පිලිබදව සිතන්නේයැයි සිතමු. එවිට සිදුවනු ඇත්තේ නව නිශ්පාදනයන් සිදුවීම සදහාවන පෙළඹිම අඩුවීමක්ද නැතහොත් නව නීශ්පාදනයන් වෙගවත් වීමක්ද?

නව නිශ්පාදන සදහාවන පෙළඹවීම අඩුවීය හැක්කේ ඒ සදහා යෙදෙන ආයෝජනය අඩුවීමෙන්ය. මෙම සමාජ හා වෙළදපොළ තත්වයන්තුල ආයෝජනයන් අඩුවන්නේ සිදුකරනු ලබන නව නිශ්පාදනයෙන් මගින් අපේක්ෂිත ලාභය වැඩි නව නිපැයුම් සදහා වැඩි ආයෝජනයක් යෙදවෙන බැවිනි. එවිට අඩු ලාභයක් හෝ සමස්ත අලාභයක් (පවතින සමාජ හා ආර්ථික අර්ථ දැක්වීම් අනුව සිදුවන) සිදුවිය හැකි නව නිපැයුම් සදහාවන අවධානය සහ ආයෝජනය සිමා සහිත වන්නේය.

ඹෟෂධ (හෝ වෙනත් ඕනෑම ක්ෂෙත්‍රයක)සමාගම් තමන් අතර දැනුම හුවමාරු කරගනු ලබන ක්‍රමවේදයක් හෝ සියලු සමාගම් වෙනුවෙන් පරියේෂණ සිදුකරනු ලබන ආයතන කිහිපයක් නිර්මාණය කරවා ගැනීම මගින් බහුතරයක්වන ජනතාවට ලබාගතහැකි ලාභය වැඩිකල හැකියැයි මම දකිමි. මෙහිදි තමන් සිදුකරනු ලබන නිශ්පාදනයේ අනුපාතයට හෝ තමන්ගේ ලාභයේ යම් අනුපාතයක් මෙවැනි පරියේෂණ සදහා යොදවන ක්‍රමවේදයක් සකස්කල හැකිය. එවිට යම් පරික්ෂණයක් සිදුකිරීම මගින් සිදුවිය හැකි සමස්ථ අලාභයේ මට්ටම ඉතාමත් අල්ප වනු ඇත. (යම් පරියේෂණයක් සිදුකිරීම මගින් සමස්ථ අලාභයක් සිදුවේයැයි මම නොසිතමි. සිදුවිය හැක්කේ යම් නිශ්චිත ආයතනයක පමණක් තාවකාලික අලාභයක් ලැබිම සිදුවිමය)

-ප්‍රදීප් මංගල 


(Image: www.123rf.com)

Tuesday, February 16, 2016

ඔසු සමාගම් වල ඒකාධිකාරය බිඳහෙළිය යුතුද?


මිනිස් ජීවිතයක වටිනාකම අසීමිත නැතත් ඉතා විශාලය. ලිපිටෝර් වැනි රෝගයක් සෑදීමේ ඉඩකඩ අඩුකර ගැනීමට උදවු කරන (එහෙත් ඇතැම් එන්නත් මෙන් ඉතා ඉහල සම්භාවිතාවකින් රෝග නිවාරණය නොකරන) ඔසුවක් භාවිතා කිරීම වාසිදායක වන්නේ එසේ කිරීම නිසා වැඩි වන අපේක්ෂිත ආයු කාලයේ වටිනාකම ඔසුවේ මිලට වඩා වැඩිනම් පමණි. ඔසුවේ මිල ඉතා අධිකනම් සහ එහි ඵලදායීතාව සීමිතනම්, ඔසුව මිලදී ගැනීමට මුදල් වැය කරනවාට වඩා හෘදයාබාධයක් සෑදීමේ අවදානම ගැනීම වඩා වාසිදායකය.

රුධිරයේ LDL කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ලෙස අඩු කරන, හෘදයාබාධ සැදීමේ අවදානම 25-45% පමණ මට්ටමකින් අඩු කරන 'ලිපිටෝර්' නම් ජනප්‍රිය වෙළඳනාමය යටතේ දශක දෙකක පමණ කාලයක් තිස්සේ අලෙවිවන, ඇටෝර්වැස්ටටීන් කැල්සියම් ලොව එතෙක් මෙතෙක් අලෙවි වූ ජනප්‍රියම ඔසුවකි. ෆයිසර් සමාගම පේටන්ට් බලපත්‍රය මඟින් ලැබුණු ඒකාධිකාරය අහෝසි වීමෙන් පසුව ලිපිටෝර් මිල කලින් පැවති මිලෙන් හතරෙන් එකක් පමණ දක්වා පහත වැටී ඇත. වෙනත් විදිහකින් කියනවානම්, ෆයිසර් සමාගම පේටන්ට් බලපත්‍රය මඟින් එම සමාගමට ලැබුණු ඒකාධිකාරය නිසා පසුගිය කාලයේ විශාල ලාභයක් ලබා තිබේ. 

එසේනම්, මේ ලාභය අසාධාරණද?

ලිපිටෝර් මිල මුල සිටම අද පවතින මිලට පැවතියේනම්, තවත් බොහෝ දෙනෙකු මේ ඔසුව භාවිතා කර වැඩි කලක් ජීවත් විය හැකිව තිබිණි. එය වැළකුණේ ෆයිසර් සමාගමට වැඩි ලාභයක් උපයා ගැනීමට අවශ්‍ය වූ නිසාය. කෙසේවුවද, වැඩි මිල ගෙවමින් වුවද බොහෝදෙනෙකු ලිපිටෝර් මිලදී ගනිමින් සිය අපේක්ෂිත ආයුකාලය වැඩිකරගෙන තිබේ. ෆයිසර් සමාගම විසින් ලිපිටෝර් නිෂ්පාදනය කර නොතිබුණානම් අද ජීවත් වන බොහෝ දෙනෙකු මේ වන විට ජීවතුන් අතර නැත.

වැඩි මිල ගෙවා ලිපිටෝර් මිල දී ගත් සැම කෙනෙක්ම එසේ කර ඇත්තේ එමඟින් වැඩිවන තමන්ගේ අපේක්ෂිත ආයුකාලයේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩි නිසාය. ඒ නිසා ලිපිටෝර් මිලදී ගත් සියල්ලන්ටම සිදුවී ඇත්තේ වාසියකි.

ලිපිටෝර් මිලදී නොගත් අය එසේ කර ඇත්තේ එමඟින් වැඩිවන තමන්ගේ අපේක්ෂිත ආයුකාලය ගෙවන මිලට වඩා අඩු නිසාය. ඔවුහු යම් හෙයකින් පැවති වැඩි මිල ගෙවා ලිපිටෝර් මිල දී ගත්තෝනම් වන්නේ අවාසියකි. එහෙත්, ඔවුන් එසේ වැඩි මිල ගෙවා මිලදී ගෙන නොමැති නිසා ඔවුන්ට වාසියක් හෝ අවාසියක් වී නැත. ෆයිසර් සමාගම ලාභයක් ලබා තිබේ. සමස්තයක් වශයෙන් ලිපිටෝර් මිල දී ගත් පාරිභෝගිකයින්ටත්, ෆයිසර් සමාගමටත් වාසියක් වී ඇති අතර ලිපිටෝර් මිල දී නොගත් පාරිභෝගිකයින්ට වාසියක් හෝ අවාසියක් වී නොමැති නිසා සමස්තයක් වශයෙන් සිදුවී ඇත්තේ වාසියකි.

පර්යේෂණ කර ඔසුවක් අළුතින් වෙළඳපොළට ඉදිරිපත් කිරීම ඉතාම වියදම් අධික එමෙන්ම අවදානම් සහගත කටයුත්තකි. විශාල මුදලක් සහ කාලයක් වැයකර නිපදවන බොහෝ බෙහෙත් වර්ග වලින් අවශ්‍ය ප්‍රතිඵලය නොලැබෙන බව අන්තිමේදී පෙනීයයි. සඵලදායී බෙහෙතක් නිපදවීම ඉතා අසීරු කාර්යයකි.

යම් සමාගමක් විසින් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් සඳහා විශාල පිරිවැයක් දරා සඵලදායී ඔසුවක් කෙසේ හෝ නිපදවා ගැනීමෙන් පසු වෙනත් අයෙකු විසින් එය නිෂ්පාදනය කිරීම සාපේක්ෂව අඩු පිරිවැය කාර්යයකි. මෙසේ එක් සමාගමක් විසින් නිපදවූ ඔසුවක් වෙනත් බොහෝ සමාගම් විසින්ද තරඟකාරී ලෙස නිපදවන විට එහි මිල එහි ආන්තික පිරිවැය දක්වා පහත වැටිය හැකිය. එවිට, ඔසුව වැඩි දියුණු කළ මුල් සමාගමට තමන් මුලින් කළ ආයෝජනය පියවා ගැනීමට නොහැකි වේ.

මෙය වෙනත්, උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්නේනම්, සංගීත තැටියක් එළිදැක්වීම රුපියල් ලක්ෂ ගණනක් වැය වන කරුණකි. බාහිර නිෂ්පාදකයෙකු විසින් ලාබයක් ලැබීමේ අරමුණින් මෙය කරන්නේයැයි සැලකුවහොත් නිෂ්පාදකයා විසින් ගීත රචකයාට, ගායකයාට මෙන්ම සංගීත කණ්ඩායමට මුදල් ගෙවිය යුතුය. දෘශ්‍ය රූප එකතු කිරීම සඳහා නළු නිලියන් ඇතුළු තවත් පිරිසකට මුදල් ගෙවිය යුතුය. කාර්මික ශිල්පීන්ට, සංගීත භාණ්ඩ, චිත්‍රාගාර පහසුකම් ආදියේ පිරිවැයද දැරිය යුතුය. එමෙන්ම, මේ සංගීත තැටිය ජනප්‍රිය නොවුනහොත් මේ වියදම පියවා ගත නොහැකි වීමේ අවදානමද ගත යුතුය.

කෙසේවුවද, මේ සංගීත තැටිය එක රැයින් ජනප්‍රිය වුවහොත්, වෙනත් අයෙකුට එහි අමතර පිටපතක් නිපදවීමට නිපදවීමට යන්නේ ඉතා සුළු මුදලකි. හිස් තැටියක් ගත් විට මුල් තැටිය පහසුවෙන් පිටපත් කර ගත හැකිය. ඒ නිසා, පිටපතක් ඉතා සුළු මුදලකට අලෙවි කළ හැකිය. බොහෝ දෙනෙකු එසේ කරන්නේනම්, මුල් නිෂ්පාදකයාට එය වැඩි මිලකට විකිණිය නොහැක. ඒ නිසා, ඔහු ආයෝජනය කළ මුදල පියවා ගැනීමටද නොහැකි වේ.

ඖෂධ සමාගම් සම්බන්ධවද තත්ත්වය මෙසේය. තමන් විසින් පර්යේෂණ කර ඔසුවක් නිපදනවාට වඩා පැත්තකට වී බලා සිට වෙනත් අයෙකු වැඩි දියුණු කරන, වෙළඳපොළ ඉල්ලුමක් ඇති ඔසුවක් ඒ අයුරින්ම නිපදවීම වඩා වාසිදායක නිසා කිසිවෙකු අළුත් ඔසු නිපදවනු පිණිස පර්යේෂණ කරන්නට නොපෙළඹේ. ඒ නිසා, ආඬි හත් දෙනාගේ කැඳ හැලිය මෙන් අන්තිමේදී අළුත් නිෂ්පාදනයක් බිහි නොවේ. මෙය නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ ස්වයංක්‍රීයව විසඳුමක් නොලැබෙන ප්‍රශ්නයකි. පේටන්ට් බලපත්‍ර ලබාදීම මඟින් කරන්නේ නිදහස් වෙළඳපොළ ක්‍රමයක ඇති මේ අඩුපාඩුවට විසඳුමක් දීමයි.

අළුත් නිෂ්පාදනයක් පේටන්ට් කළ විට වසර විස්සක් යන තුරු (දැනට ඇති ජාත්‍යන්තර සම්මතය අනුව) එම නිෂ්පාදනය වෙනත් අයෙකුට නිපදවිය නොහැකිය. මේ නිසා තරඟකාරී මිලකට වඩා වැඩි ඒකාධිකාරී මිලක් අය කරමින් වැඩි ලාභයක් උපයා ගැනීමේ අවස්ථාව නිෂ්පාදකයෙකුට තිබේ. මේ වැඩි ලාභය නව නිපැයුමක් වෙනුවෙන් මුදල් යෙදවීමට පර්යේෂකයෙකුව දිරිමත් කරයි. කෙසේවුවද, වසර විස්සකට ඒකාධිකාරයක් පවත්වා ගත හැකි වූ පමණින් ලාභය අනිවාර්ය වන්නේ නැත. මෙවැනි ආයෝජනයක ඇති අවදානම ඉතා විශාලය. සඵලදායී ඔසුවක් නිපදවීම ලොතරැයි දිනුමක් වැන්නකි.

ලිපිටෝර් වලට ලැබුණු වෙළඳපොළ සාර්ථකත්වය නිසා තවත් බොහෝ නව නිපැයුම් දිරි ගැන්වුනේය. මේ ඇතැම් ඒවා සාර්ථක විය. බොහොමයක් ඒවා අසාර්ථක විය.

ලිපිටෝර් මඟින් හෘදයාබාධ සැදීමේ අවදානම අඩුකළත් මේ අවදානම දැනටත් ඉතා විශාලය. බොහෝ රටවල වැඩිම මරණ ගණනකට හේතුව හෘදයාබාධයි. ඒ නිසා වඩා හොඳ ඔසුවකට තවමත් හොඳ වෙළඳපොළ අවස්ථාවක් තිබේ. ලිපිටෝර් මඟින් LDL සැලකිය යුතු ලෙස අඩු කළත් HDL වැඩි කරන්නේ සුළු වශයෙනි. ඒ අනුව, HDL මට්ටම ඉහළ දැමීම මඟින් හෘදයාබාධ අඩු කිරීම අරමුණු කරගත් ඔසුවක් වැඩි දියුණු කිරීමට සමාගම් රැසක්ම මුල පිරුවේය.

ඉලයි-ලිලී සමාගම ඒ අතරින් එක් සමාගමකි. ඉතා විශාල මුදලක් ආයෝජනය කර, කාලයක් පර්යේෂණ කරමින් ඔවුන් නිපදවූ 'එවස්ට්‍රපිබ්' මේ අරමුණ ඔස්සේ සෑහෙන දුරක් ගමන් කළේය. මූලික මට්ටමේ පිරික්සුම් වලදී පෙනී ගියේ එමඟින් HDL කොලෙස්ටරෝල් ප්‍රමාණය දෙගුණයක් පමණ දක්වා වැඩි කළ හැකි බවයි. ඔසුව අනුමත කර ගැනීමේ අසීරු අදියර රැසක්ම එය පසු කළේය.

කෙසේවුවද, ඔසුව සඵලදායී එකක් ලෙස සැලකිය හැක්කේ එමඟින් හෘදයාබාධ වැළඳීමේ සම්භාවිතාව අඩු කළ හැකිනම් පමණි. මෙය පරීක්ෂා කළ හැකි හොඳම ක්‍රමය සසම්භාවී පාලිත පරීක්ෂණයක් සිදු කිරීමයි. මෙහිදී, මේ පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන, හෘදයාබාධ වැළඳීමේ ඉහළ අවදානමක් ඇති හෝ වරක් වැළඳුන විශාල පිරිසක් තෝරාගෙන ඔවුන්ව අහඹු ලෙස කණ්ඩායම් දෙකකට බෙදනු ලැබේ. තමන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන්න ඔවුහු නොදනිති. මෙයින් එක් කණ්ඩායමකට අයත් පිරිසට අදාළ ඔසුව ලබා දෙන අතර අනෙත් කණ්ඩායමට ලබාදෙන්නේ ඒ ඔසුවටම සමාන බොරු ඔසුවකි. තමන් භාවිතා කරන්නේ ඇත්ත ඔසුවද නැත්නම් බොරු ඔසුවද යන්න කිසිවෙකු නොදනිති.


නියමිත කාලයකට පසු කණ්ඩායම් දෙකෙහි හෘදයාබාධ සැදීමේ ප්‍රතිශත වල සැලකිය යුතු වෙනස්කමක් ඇත්නම් ඒ මේ ඔසුව නිසා විය යුතුය. කණ්ඩායම් දෙකට පුද්ගලයින් බෙදන්නේ අහඹු ලෙස නිසා, මේ කණ්ඩායම් ප්‍රමාණවත් ලෙස විශාලනම්, අනෙකුත් සියළු සාධක වල තිබිය හැකි බලපෑම් සමාන විය යුතුය.

ඉලයි-ලිලී සමාගම විසින් රටවල් 37ක රෝගීන් 12,095 ක් යොදාගෙන විශාල මුදලක් වැය කර සිදු කර සසම්භාවී පාලිත පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව පෙනීගිය පරිදි මේ නව ඔසුව මඟින් HDL ප්‍රමාණය 129%කින් ඉහළ නැංවීමටත්, LDL ප්‍රමාණය 36%කින් පහත හෙලීමටත් සමත් විය. එය වැඩි දියුණු කිරීමෙන් බලාපොරොත්තු වූ මූලික කාර්යය මෙසේ ඉතා සාර්ථකව සිදුවුණත් එමඟින් අපේක්ෂා කළ අවසන් කාර්යය ඉටුවී තිබුණේ නැත. 'එවස්ට්‍රපිබ්' මඟින් අවශ්‍ය පරිදි කොලෙස්ටරෝල් පාලනය කළද එමඟින් හෘදයාබාධ අඩුකිරීමක් සිදුවී නැත.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉලයි-ලිලී සමාගමට 'එවස්ට්‍රපිබ්' ව්‍යාපෘතිය අතහැර දැමීමේ දුෂ්කර එහෙත් ගත යුතුම තීරණය ගන්නට විය. සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන හත අටකින්ම පහළ වැටුණේය. මේ ඔසු සමාගම් ඔවුන්ට ලබා ගත හැකි ඉහළ ලාභ වෙනුවෙන් ගන්නා අවදානමයි.

මේ ව්‍යාපෘතිය නිසා ඉලයි-ලිලී සමාගම විශාල අලාභයක් ලැබුවත් එමඟින් හෘදයාබාධ පිළිබඳ අපේ දැනුමට වැදගත් දෙයක් එකතු වී තිබේ. දැන් පෙනී යන පරිදි HDL මට්ටම ඉහළ නැංවීමෙන් හෘදයාබාධ අඩු කළ නොහැක. HDL සහ හෘදයාබාධ අතර ඇති සම්බන්ධතාව නිවැරදිව අවබෝධ කරගැනීම අනාගතයට භාර, ඇතැම් විට තවත් ඩොලර් මිලියන ගණනක් වැය කළ යුතු, කටයුත්තකි.



පේටන්ට් හිමිකම් හේතුවෙන් ඇතැම් සමාගම් වලට ලැබෙන ඒකාධිකාරය නිසා ඔවුන්ට තරඟකාරී වෙළඳපොලක ලබනවාට වඩා වැඩි ලාභයක් ලැබීමට ඉඩ සැලසී තිබේ. මේ වැඩි ලාභය ඔවුන් ලබන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළ ක්‍රමයක් පැවතීම නිසා නොවේ. තරඟකාරී වෙළඳපොළක් ඇති වීම කෘතීම ලෙස වලක්වා ඇති නිසාය. එසේ කිරීමට සිදුවී ඇත්තේ නිදහස් වෙළඳපොළ ක්‍රමයක පවතීයැයි අප විශ්වාස කරන අඩුපාඩුවකට විසඳුමක් වශයෙනි.

මෙයට විකල්ප විසඳුමක් වන්නේ මෙවැනි ඔසු වැඩි දියුණු කිරීම, නිෂ්පාදනය සහ වෙළඳාම රජය මඟින් සිදු කිරීමයි. එසේ කළ පමණින් නිෂ්පාදන පිරිවැය අඩුවීමක් සිදුනොවේ. රජය පෞද්ගලික අංශය තරමටම කාර්යක්ෂමනම් (සාමාන්‍යයෙන් එය එසේ නැත.) නිෂ්පාදන පිරිවැය සමාන වනු ඇත. රජය මඟින් මෙවැනි කටයුත්තක් කිරීමේදී බොහෝ විට අවසන් නිෂ්පාදනය එහි ආන්තික පිරිවැය පමණක් පියවෙන අඩු මිලකට අලෙවි කෙරෙනු ඇති අතර වැඩිදියුණු කිරීම් සඳහා වැයවන මූලික ස්ථිර පිරිවැය මහජන මුදලින් පියවෙනු ඇත. පෞද්ගලික අංශයේ දායකත්වයෙන් දැන් සිදුවන දෙයට සාපේක්ෂව මෙහි ඇති ප්‍රධානම වෙනස වන්නේ ඔසුවක් භාවිතා කරන අය විසින් ගෙවිය යුතු එහි සැබෑ මිලෙන් කොටසක් රජය විසින් එය භාවිතා නොකරන අයගෙන් අය කර ගෙන රජය විසින් දැරූ ඔසුවේ සමස්ත නිෂ්පාදන වියදමේ අඩුව පියවා ගනු ලැබීමයි.

(Image: http://usatoday30.usatoday.com/)