Showing posts with label සෘජු විදෙස් ආයෝජන. Show all posts
Showing posts with label සෘජු විදෙස් ආයෝජන. Show all posts
Wednesday, September 14, 2016
ඩයලොග් සමාගමත් යන්නද යන්නේ?
පහතින් තියෙන්නේ අද දින ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රවෘත්තියකි.
"ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකතන හිමි සමාගම වන ඩයලොග් ඇක්ශිටා සමාගම තම ශ්‍රීලංකා ඩයලොග් සමාගමේ අයිතිය අතහැර නේපාලය තුල ආයෝජනනය කිරීම ආරම්භ කර ඇත.
අසියාවේ ප්‍රධානතම දුරකතන ක්‍රියාකාර සමාගමක් වන මැලේසියා ඩයලොග් ඇක්ශිටා සමාගම ඉන්දීයවා පකිස්තානය බoගලිදේශය ශ්‍රීලංකාව ඇතුළු රටවල් 10ක පමණ ඉතා සාර්තථකව තම වියාපාර කටයුතු කරගෙන යන අතර එම සමාගම මේ වන විට නේපාලය තුල පවත්වාගෙන යන ප්‍රධානතම ජංගම දුරකතන සමාගමක් වන නේපාල නේසෙල් පුද්ගලික සමාගම මිලදීගෙන ඇත.
ඒ අනුව දැනට 85% හිමිකාරිත්වය ඇති ශ්‍රීලංකාවේ ඩයලොග් සමාගම තම අයිතිය අඩුකිරීම සඳහා එහි කොටස් අලෙවි කිරීමට මැලේසියානු ඩයලොග් ඇක්ශිටා සමාගම තීරණය කොට ඇත.
ශ්‍රීලංකාවේ ජංගම දුරකතන පාරිභෝගිකයන්ට නව තාක්ෂණයමෙන්ම විශිෂ්ට සේවාවක් සපයමින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කල ඩයලොග් සමාගමේ මෙම තීරණය නිසා රටතුල තිබෙන තරගකාරීත්වය බොහෝ දුරට අහිමිවීමට මෙම සමාගමේ තීරණය බලපෑම් කිරීමට අවකාශ ඇත."
මේ ප්‍රවෘත්තිය කියවූ විට පාඨකයෙකුට ඇති වන අදහස එම ප්‍රවෘත්තිය සඳහා පාදක කරගෙන ඇති මුල් පුවත කියවූ විට ඇති වන අදහසම නොවේ. මේ ලිපියෙන් මතුවන්නේ ඇක්ශිටා සමාගම තුළ ලංකාව කෙරෙහි ඇතිවී ඇති සෘණාත්මක ආකල්පයකි. එහෙත්, මුල් පුවත අනුව එය එවැන්නක් නොවේ.
ඕනෑම ආයෝජකයෙකු සිය ප්‍රාග්ධනය ප්‍රශස්ත ලෙස ආයෝජනය කිරීමේදී අපේක්ෂා කරන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න ප්‍රතිලාභ අනුපාතිකය වැඩි කර ගැනීමයි. දෙවැන්න අවදානම අඩු කර ගැනීමයි. මේ අරමුණු දෙක බොහෝ විට එකිනෙක ගැටෙන නිසා ඒ දෙක අතර කිසියම් සමතුලිතතාවයක් පවත්වා ගත යුතුය. අවදානම අඩු කර ගන්නා ප්‍රධාන ක්‍රමයක් වන්නේ ආයෝජන විවිධාංගීකරණය කිරීමයි.
තමන් සතු බිත්තර සියල්ල එකම කූඩයේ දැමීම හොඳ තීරණයක් නොවේ. යම් හෙයකින් කූඩය බිම වැටුණොත් බිත්තර කිසිවක් ඉතිරි නොවේ. මැලේසියානු සමාගමක් වන ඇක්ශියාටා සමාගම ලංකාවේ ඩයලොග් සමාගමේ කොටස් මිලදී ගෙන ඇත්තේද මෙසේ සිය ආයෝජන විවිධාංගීකරණය කිරීමේ අරමුණිනි.
ඇක්ශියාටා මවු සමාගමට මැලේසියාවේ සෙල්කොම් සමාගමේ මුළු කොටස් අයිතියට අමතරව, ඉන්දුනීසියාවේ ඇක්ශියාටා සමාගමේ 66.4%ක කොටස් අයිතියක්ද, ලංකාවේ ඩයලොග් සමාගමේ 83.3%ක කොටස් අයිතියක්ද, බංග්ලාදේශයේ රෝබි සමාගමේ 91.6%ක කොටස් අයිතියක්ද, කාම්බෝජයේ ස්මාර්ට් ඇක්ශියාටා සමාගමේ 95.3%ක කොටස් හිමිකම්ද, නේපාලයේ එන්සෙල් සමාගමේ 80.0%ක කොටසක් හිම්කම්ද, පකිස්ථානයේ මල්ටිනෙට් සමාගමේ 89.0%ක කොටස් හිමිකාරිත්වය ඇතුළු ආසියාවේ ජංගම දුරකථන සමාගම් රැසක කොටස් අයිතිය හිමිය. මේ අතරින් නේපාලයේ එන්සෙල් සමාගමේ කොටස් මිලදී ගැනීම සිදු වුනේ මේ වසරේදීය.
කෙසේ වුවද, පසුගිය කාලය තුළ ඇක්ශියාටා සමාගමේ ණය බර සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බැවින් ඉන්දුනීසියාවේ, ලංකාවේ හා කාම්බෝජයේ සමාගම් වල ඇක්ශියාටා මවු සමාගමට අයත් කොටස් වලින් යම් ප්‍රමාණයක් විකුණන්නට සූදානම් වන බවට ආරංචි පැතිර ගොස් තිබේ. මේ අනුව, ඉන්දුනීසියාවේ ඇක්ශියාටා සමාගමේ කොටස් අයිතිය 55.4% දක්වාත්, ලංකාවේ ඩයලොග් සමාගමේ කොටස් අයිතිය 53.3% දක්වාත්, කාම්බෝජයේ ස්මාර්ට් ඇක්ශියාටා සමාගමේ කොටස් අයිතිය 65.3% දක්වාත් අඩු කරන්නට අපේක්ෂා කරන බව කියැවේ.
වැදගත් කරුණනම් ඇක්ශියාටා සමාගම මේ සමාගම් එකකවත් කොටස් හිමිකම 50% මට්ටමට වඩා අඩු කිරීමට නොසිතන බවයි. වෙනත් අයුරකින් කිවහොත් ඔවුන් එම සමාගම් වල කළමණාකාරීත්වය ගිලිහෙන්නට ඉඩ හරින්නට සූදානම් නැත.
මේ පුවත ඇත්තක්නම් බොහෝ විට ඇක්ශියාටා මවු සමාගම විසින් ලංකාවේ ඩයලොග් සමාගමේ කොටස් වලින් 30%ක් මිල දී ගැනීමට කැමති දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු සොයාගෙන පෞද්ගලික ගණුදෙනුවක් ලෙස මේ කොටස් හුවමාරුව සිදු කිරීමට ඉඩ තිබේ. එම කොටස් මිල දී ගන්නේ දේශීය ආයෝජකයෙකුනම් කිසියම් ප්‍රමාණයක ප්‍රාග්ධනයක් රටින් පිටවනු ඇත. ඇතැම් විට ඩයලොග් සමාගමේ කොටස් මිල කෙටිකාලීනව තරමක් පහත වැටෙන්නටත් පුළුවන. ඒ හැරුණු විට 'රටතුල තිබෙන තරගකාරීත්වය බොහෝ දුරට අහිමිවීමට' හෝ වෙනත් ලොකු අහිතකර බලපෑමක් ඇති වීමට ඉඩක් නැත.
(Image: http://www.dialog.lk/)
Wednesday, May 25, 2016
ප්‍රශ්නය ප්‍රාග්ධන හිඟය නොවේ!
මාතෘකාව වෙනස් වුවද මේ ලිපියද පෙර ලිපි වලට සම්බන්ධය.
ලංකාවට වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ඇති බාධාව ප්‍රාග්ධන හිඟය බව මෙම ලිපිය කියවන ඇතැම් අය සිතනවා විය හැකිය. මෙය නිවැරදි අදහසක් නොවේ. ප්‍රාග්ධනය වැඩි කර ගැනීම මඟින් ආර්ථිකයක් ඉදිරියට තල්ලු කළ හැකි වුවත් ඒ යම් පටු සීමාවක් ඇතුළත පමණි. ප්‍රාග්ධනය නිසා ආර්ථිකයන් වර්ධනය වේනම් වැඩිම ආර්ථික වර්ධනයක් පැවතිය යුත්තේ ඇමරිකාව හා ජපානය වැනි රටවලය. එහෙත්, එය එසේ සිදු නොවන්නේ ප්‍රාග්ධනය විසින් ආර්ථික වර්ධනය සඳහා ලබා දෙන දායකත්වයෙහි ඇති නෛසර්ගික සීමාවන් නිසාය.
මෙය තේරුම් ගැනීම සඳහා අපි ඉතා සරල මූලික ආර්ථික විද්‍යා ආකෘතියකට යමු. මා මෙවැනි තැනකින් පටන් ගන්නේ මේ ලිපි කියවන වැඩි දෙනෙකු ආර්ථික විද්‍යාව විධිමත් ලෙස හදාරා නැති නිසාය.
මේ ආකෘතිය අනුව, ප්‍රධාන නිෂ්පාදන සාධක දෙකකි. ඒ, ශ්‍රමය හා ප්‍රාග්ධනයයි. කිසියම් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා මේ නිෂ්පාදන සාධක දෙකම අවශ්‍ය වේ. එයට අමතරව මේ නිෂ්පාදන සාධක කාර්යක්ෂම ලෙස පරිභෝජනය කළ හැකි (එසේ නැත්නම් අනාගත පරිභෝජනය සඳහා ගබඩා කර හෝ ආයෝජනය කර තබා ගත හැකි) භාණ්ඩ හා සේවාවන් බවට පරිවර්තනය කිරීමට තාක්ෂණයද අවශ්‍ය වේ.
ශ්‍රමය හා ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක දෙකෙන් කවර එකක් වැඩි කළද නිෂ්පාදනය වැඩි වේ. එහෙත්, මේ නිෂ්පාදන සාධක වැඩි කරගෙන යනවිට එසේ වැඩි වන නිෂ්පාදිත ප්‍රමාණය එන්න එන්නම අඩුවේ.
උදාහරණයක් ලෙස ප්‍රාග්ධනය ලෙස එකතු කරන පළමු රුපියල් දහසෙන් කිසියම් නිෂ්පාදනයක (උදාහරණයක් ලෙස බිත්තර) ඒකක සියයක් නිපදවිය හැකිනම්, මෙසේ යොදවන දෙවන රුපියල් දහසෙන් නිපදවිය හැක්කේ ඒකක සියයකට අඩු ගණනකි (උදාහරණයක් ලෙස අසූවක්). තෙවන රුපියල් දහසෙන් නිපදවිය හැක්කේ ඒකක හැට පහක් වැනි දෙවන රුපියල් දහසෙන් නිපදවූ ගණනට වඩා අඩු ඒකක ගණනකි. මෙය මෙසේ දිගටම සිදුවන බැවින් යම් සීමාවක් ඉක්මවූ පසු තවදුරටත් ප්‍රාග්ධනය යෙදවීම වාසිදායක නොවී යයි.
මේ කරුණ අනෙක් නිෂ්පාදන සාධකය වන ශ්‍රමයටද අදාළය. පරිගණක ක්‍රමලේඛණ ලියන සමාගමක් ගැන සිතූ විට මෙය තේරුම් ගත හැකිය. ක්‍රමලේඛකයින් වැඩි නොකර පරිගණක ප්‍රමාණය වැඩි කිරීමෙන් මෙන්ම, පරිගණක නොමැතිව ක්‍රමලේඛකයින් වැඩි කිරීමෙන්ද නිෂ්පාදනය වැඩි කර ගත නොහැකිය. කිසියම් කර්මාන්තයක් හා අදාළව ශ්‍රමය හා ප්‍රාග්ධනය යෙදවිය යුතු ප්‍රශස්ත අනුපාතයක් තිබේ.
දැන් අපි ලෝකයට විවෘත නොවූ ආර්ථිකයක් ඇති මනඃකල්පිත රටකට යමු. මේ රටේ ජනගහණය වර්ධනය වීම හා දැනට සිටින ශ්‍රමිකයන්ගේ මානව සම්පත් (කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගතහැකි දැනුම හා පුහුණුව) වර්ධනය වීම හේතුවෙන් ශ්‍රම සම්පත් ඉහළ යයි. දැනට සිදු කරන නිෂ්පාදනයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කර නැවත ආයෝජනය කිරීම නිසා ප්‍රාග්ධන සම්පත්ද වැඩි වේ.
රටේ ඉතිරිකිරීම් අනුපාතය හා ඒ නිසාම ආයෝජන අනුපාතය මුළු නිෂ්පාදනයෙන් 20% යැයි අපි සිතමු. දැන් මේ රටේ ප්‍රාග්ධන සංචිත වාර්ෂිකව මේ අනුපාතයෙන් වැඩි විය යුතුය. එහෙත්, එය එසේම සිදු නොවේ. ඒ ප්‍රාග්ධනය නිරන්තරයෙන් ක්ෂය වී යන බැවිනි. පෙර කී පරිගණක උදාහරණය ගතහොත් සෑම වසර හතරකට පමණ වරක් පැරණි පරිගණක ඉවත් කර අළුත් ඒවා ගන්නට සිදුවේ. වෙනත් යන්ත්‍ර සූත්‍ර, වාහන ආදියේ කොටස් ගෙවේ. මෙසේ ප්‍රාග්ධන සම්පත් ක්ෂයවීම සිදුවන්නේ පවතින සම්පත් තොගයට අනුපාතිකවය. මේ අනුපාතය අපි 5% ලෙස සලකමු.
වසරක් තුළ යම් රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් ඉතිරි කෙරේනම් හා ප්‍රාග්ධන සම්පත් වලින් 5%ක් ක්ෂය වේනම් වසර අවසානය වන විට එම රටේ ප්‍රාග්ධන සම්පත් 15% කින් වැඩි විය යුතුය. මෙසේ වසර ගණනක් ප්‍රාග්ධන සම්පත් වැඩි වී ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය දළ දළ දේශීය නිෂ්පාදිතය මෙන් සිවු ගුණයක් දක්වා වැඩි වුනේයැයි සිතමු. ඒ සමඟම වසරකට ක්ෂයවන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද සිවු ගුණයකින්, එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් දක්වා වැඩි වේ. දැන් සිදුවන්නේ කුමක්ද?
රටේ ඉතිරි කිරීම් (හා ආයෝජන) දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කි. මේ ප්‍රමාණය රටේ ප්‍රාග්ධන සම්පත් තොගයට එකතු වෙද්දී එයට සමාන ප්‍රමාණයක් ක්ෂය වේ. ඒ නිසා ප්‍රාග්ධන සංචිත තවදුරටත් වර්ධනය නොවේ. ඒ නිසා ප්‍රාග්ධන සම්පත් වලින් ආර්ථික වර්ධනයට තව දුරටත් උත්තේජනයන් ලබාගත නොහැකිය.
යම් හෙයකින් රටේ ඉතිරි කිරීම් අනුපාතය එක් වරම 30% දක්වා වැඩි වුනොත් හෝ කිසියම් ස්වභාවික සම්පතක් සොයාගනු ලැබුණොත් ප්‍රාග්ධන සම්පත්ද වැඩි වනු ඇත. ඒ නිසා ආර්ථික වර්ධනයද වැඩි වනු ඇත. එහෙත්, මේ අයුරින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගත හැක්කේ සීමිත කාලයකට පමණි. රටේ ප්‍රාග්ධන සම්පත් වැඩි වන තරමටම එම සම්පත් ක්ෂය වන සීමාවට පැමිණි වහාම මෙසේ ප්‍රාග්ධනය නිසා සිදුවූ ආර්ථික වර්ධනය නවතිනු ඇත.
යම් රටක ප්‍රාග්ධන සම්පත් තොගය වැඩි වන තරමට වාර්ෂිකව එම සම්පත් ක්ෂය වන ප්‍රමාණයද වැඩි වේ. ඒ නිසා ප්‍රාග්ධන සම්පත් වැඩි කිරීමෙන් ලැබෙන්නේ තාවකාලික වාසියක් පමණි. වැඩි වූ සම්පත් ඒ මට්ටමේම පවත්වා ගැනීමට දීර්ඝකාලීනව දිගටම මහන්සි වීමට සිදුවූවත් ඒ හේතුවෙන් ආර්ථික වර්ධනයට ලැබෙන විශේෂ වාසියක් නැත. වෙනත් අයුරකින් කිවහොත් සමස්ත නිෂ්පාදිතයෙන් 40%ක් ඉතිරි කරන රටකට දීර්ඝකාලීනව වර්ධනය විය හැක්කේද සමස්ත නිෂ්පාදිතයෙන් 20%ක් ඉතිරි කරන රටක් වර්ධනය වන වේගයෙන්මය. එහෙත්, අඩුවෙන් ඉතිරි කරන රටේ වැසියෝ වැඩියෙන් පරිභෝජනය කරති. ඒ නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත්ය.
එසේනම්, ඉතිරි කිරීම් අඩු කිරීම ප්‍රශ්නයක් නොවේද? උතුරේ යුදමය තත්ත්වය පැවති වසර 26 තුළද ලංකාවේ ආර්ථික වර්ධනය හොඳ මට්ටමක පැවතීම මඟින් පෙනෙන්නේ මේ කරුණයි. මා ඉදිරිපත් කළ සරල ආකෘතිය තුළ යුදමය වාතාවරණය ලංකාවේ ආර්ථිකයට දෙයාකාරයක බලපෑමක් කළේය. පළමුව, රටේ ඉතිරි කිරීම් වලින් කොටසක් ආයෝජන වෙනුවෙන් නොයොදවා යුද වියදම් වෙනුවෙන් යෙදෙවීමට සිදුවීම හේතුවෙන් ප්‍රාග්ධන තොගයට වාර්ෂිකව සිදුවන එකතු වීම් සීමා විය. දෙවනුව, ප්‍රාග්ධන සම්පත් ක්ෂය වන වේගය වැඩි විය.
මේ කරුණු දෙකේ සමස්ත ප්‍රතිඵලය වූයේ රටේ ප්‍රාග්ධන සම්පත් තොගය ක්‍රමයෙන් ක්ෂය වීම හා ඒ හේතුවෙන් ආර්ථික වර්ධනය සීමා වීමයි. ජයවර්ධන පාලනයේ පළමු වසර හය තුළදී පවත්වාගත් ආර්ථික වර්ධන වේගය ඉන්පසු වසර වලදී පවත්වා ගත නොහැකි විය. කෙසේ වුවද, ප්‍රාග්ධන සම්පත් තොගය මෙසේ ක්‍රමයෙන් පහත වැටීමට සමාන්තරව වාර්ෂිකව ක්ෂය වන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද ක්ෂය වන නිසා වසර කිහිපයකින් පසු තව දුරටත් ප්‍රාග්ධන සම්පත් ක්ෂය නොවේ. ඒ නිසා, යුද්ධය ඇරඹී වසර කිහිපයකයට පසු පැවති යුදමය තත්ත්වය නිසා ප්‍රාග්ධන සම්පත් විනාශය හේතුවෙන් සිදුවූ අවාසියද ක්‍රමයෙන් ක්ෂය වී ගියේය. එම කාලය තුළ ආර්ථික වර්ධනය විශාල ලෙස අඩුවුණේ ජවිපෙ විසින් විශාල සම්පත් හානියක් සිදු කළ 1987-89 කාලයේ සහ එල්ටීටීඊ සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළට පහර දුන් 2001දී පමණි.
මේ අයුරින්ම 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු නැවතත් වාර්ෂිකව ප්‍රාග්ධන සම්පත් එකතු වන ප්‍රමාණය වැඩි වීම නිසා තාවකාලිකව ආර්ථික වර්ධනය වැඩි වුවත්, සෛද්ධාන්තිකව මෙන්ම අනුභාවික දත්ත අනුව පෙනෙන පරිදි එවැනි වාසියක් වැඩි කල් නොපවතී.
දැන් අපට අපේ මුල් ආකෘතියෙන් බැහැර වී විවෘත ආර්ථිකයක් ගැන සිතන්නට පුළුවන. විවෘත ආර්ථිකයක් තුළට දේශීය ඉතිරි කිරීම් වලට අමතරව සෘජු විදේශ ආයෝජන හා විදෙස් ණය ආදී ලෙසද ප්‍රාග්ධනය පැමිණිය හැකිය. මෙසේ පැමිණෙන ප්‍රාග්ධන ප්‍රවාහ නිසාද රටේ ප්‍රාග්ධන සංචිතය ඉහළ යයි. ඒ සමඟම වාර්ෂිකව ක්ෂය වී යන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද ඉහළ යයි. අවසාන අවසාන වශයෙන් ආර්ථිකය පවතින මට්ටමේම තබාගන්නට වුවද සෘජු විදේශ ආයෝජන හා විදෙස් ණය ප්‍රවාහ නිශ්චිත ප්‍රමාණයක් වාර්ෂිකව රට තුළට පැමිණීම අවශ්‍ය වේ.
ප්‍රාග්ධනය වැඩි කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමටනම් වසරින් වසර මෙසේ රට තුළට පැමිණෙන ප්‍රාග්ධන ප්‍රවාහ වැඩි විය යුතුය. එවැන්නක් ප්‍රායෝගිකව සිදු විය නොහැකිය. ඒ නිසා සෘජු විදෙස් ආයෝජන හෝ විදෙස් ණය මඟින් ලබා ගන්නා ප්‍රාග්ධනය යොදාගෙන ආර්ථික වර්ධන වේගය දිගුකාලීනව වැඩි කර ගැනීමේ හැකියාවක් නැත. කෙසේ වුවද, මා පෙර ලිපියක සඳහන් කළ විසරණය වීම් (spillover effects) නිසා ඇති වන වාසිය ගැන මා මෙහි කතා කර නැත. එමෙන්ම, සම්පත් ක්ෂයවීම තුලනය කිරීමට හා වරින් වර අහඹු ලෙස සිදුවන ස්වභාවික හානි ආදියෙන් පසු සිදුවන ප්‍රාග්ධන සම්පත් හානි ප්‍රතිපූරණය කර ගැනීම සඳහා කිසියම් අවම ඉතුරුම් අනුපාතයක් පවත්වා ගැනීමද අවශ්‍ය වන බැවින් ඉතුරුම් අසීමිත ලෙස අඩු කිරීමේ හැකියාවක්ද රටකට නැත.
(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)
(Image: www.dougsguides.com)
Labels:
ආර්ථික වර්ධනය,
ප්‍රාග්ධනය,
විදේශ ණය,
ශ්‍රමය,
සෘජු විදෙස් ආයෝජන
Tuesday, May 24, 2016
ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (පස්වන කොටස)
පෙර කොටසින් සාකච්ඡා කළ පරිදි, වෙනත් මාර්ග වලින් ලැබෙන ප්‍රාග්ධනය හා විදෙස් විණිමය ප්‍රවාහ සමඟ සැසඳූ විට සෘජු විදෙස් ආයෝජන වලින් රට තුළට විශාල ප්‍රාග්ධනයක් හෝ විදේශ විණිමය ප්‍රවාහ ගලාඑන්නේ නැත. කිසියම් ආයෝජකයෙකු ලංකාවේ ආයෝජනය කරන්නේ සිය ප්‍රාග්ධනයට වැඩි ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් මිස ලංකාවට යහපතක් කිරීමේ අරමුණින් නොවේ. ඒ නිසා, එවැනි ආයෝජකයෙකු සිය ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභ නැවත රටින් පිටතට ගෙනයනු ඇත. එසේනම්, සෘජු විදෙස් ආයෝජන ලබාගැනීමේ වැදගත්කම කුමක්ද?
සෘජු විදෙස් ආයෝජන හරහා රටකට වාසි ලැබෙන ප්‍රධාන නාලිකා දෙකක් තිබේ. පළමුව, එමඟින් රටේ සේවා වියුක්තව ඇති හෝ අඩු කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගැනෙන ශ්‍රමයට වටිනාකමක් ලැබේ. දෙවනුව, එමඟින් රට තුළට නවීන තාක්ෂනය පොම්ප කරයි (spillover effect). එහෙත්, හැම විටම මේ දේවල් මේ අයුරින්ම සිදුවේද?
සෘජු විදෙස් ආයෝජන වලින් ලැබෙන වාසි තීරණය වන්නේ එම ආයෝජන සිදුවන කර්මාන්තය කුමක්ද යන්න මතය. කර්මාන්තය ශ්‍රමමූලික වූ තරමට හා ලැබෙන තාක්ෂනය අවශෝෂණය කරගත හැකි වූ තරමට මේ වාසි වැඩිය. ජයවර්ධන රජයේ ජනප්‍රිය තෝරාගැනීම වූ ඇඟළුම් කර්මාන්තය මේ කරුණු දෙකම අනුව ඉතා හොඳ තෝරාගැනීමක් විය.
ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා වලට ගිය බොහෝ කාන්තාවන් එවකට වෙනත් රැකියාවක් නොකළ, සාපේක්ෂව අඩු අධ්‍යාපනයක් ලබා තිබූ කණ්ඩායමකි. ඇඟළුම් කර්මාන්තය දියුණු වෙද්දී ඔවුන්ගේ ශ්‍රම සම්පත් ඵලදායී ලෙස ආයෝජනය කෙරුණු අතර ඒ ශ්‍රම සම්පත් වෙනුවෙන් ලැබුණු ප්‍රතිලාභ රට තුළ ඉතිරි විය. එමෙන්ම, ඇඟළුම් තාක්ෂනය ලංකාවට අවශෝෂණය කරගැනීමට අසීරු තාක්ෂණයක් නොවූ බැවින් වැඩි කල් නොයා දේශීය ආයෝජකයින්ටද ඇඟළුම් කම්හල් ඇරඹීමට හැකි විය.
ඉතා කෙටි කාලයකින් එවකට ලංකාවේ සම්ප්‍රදායික අපනයන වූ තේ, රබර්, පොල් සහ කුළුබඩු ආදිය අභිබවමින් ඇඟළුම් නිෂ්පාදන ලංකාවේ ප්‍රධානම අපනයන භාණ්ඩය බවට පත් විය. මේ තත්ත්වය තවමත් එසේම පවතී. පසුගිය 2015 වසර තුළදී ඇඟළුම් නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලංකාව ඩොලර් මිලියන 4,820 ක් ඉපැයූ අතර එය රටේ මුළු අපනයන ආදායමෙන් 45.9% කි.
ඇඟළුම් ක්ෂේත්‍රයේ සිදුවූ සෘජු විදෙස් ආයෝජන වලින් මෙවැනි වාසියක් ලැබුණත් වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක සිදුවන ආයෝජන වලින් එවැනි වාසියක් ලබා ගත නොහැකිය. උදාහරණයක් ලෙස දුරකථන සේවා සපයන සමාගමක් බොහෝ දුරට පදනම් වන්නේ ප්‍රාග්ධනය මතය. ඒ නිසා එවැනි සමාගමකට විශාල පිරිසකට රැකියා සැපයීමට අවශ්‍ය නොවන අතර ඒ නිසා ලාභ වලින් ශ්‍රමය වෙනුවෙන් වෙන්වන ප්‍රතිලාභද විශාල නැත. ඇතැම් විට විදෙස් ශ්‍රමය ප්‍රයෝජනයට ගැනීම නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙසද ලාභ වලින් කොටසක් රටින් පිටතට ආපසු යා හැකිය. එමෙන්ම, මෙවැනි සමාගම් සිය ගණනකට රට තුළ ඉඩක් නැති නිසා තාක්ෂනය රටතුළට ගලා ඒමේ වාසියද විශාල නැත.
වෙනත් උදාහරණයක් ලෙස සංචාරක හෝටලයක් වැනි ආයෝජනයක් සැලකුවහොත් මෙය සැලකිය යුතු ලෙස විශාලනය කළ හැකි (scalable) කර්මාන්තයක් වුවත් එම කර්මාන්තයේ අමුතුවෙන් පිටතින් ලබාගන්නට තරම් විශාල තාක්ෂණ පරතරයක් නැත. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන හඹා යාමේදී රටට වැඩිම ප්‍රතිලාභ ලැබෙන කර්මාන්ත ක්ෂේත්‍ර තෝරාගැනීම වැදගත්ය. එසේ නොකළහොත් අවසාන වශයෙන් එවැනි කර්මාන්ත වලට ලබා දෙන බදුසහන ආදියෙන් සැලසෙන්නේ අවාසියක් විය හැකිය.
අවාසනාවකට ජයවර්ධන රජය විසින් සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගනිමින් රට තුළ ඇඟළුම් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් පසු ගතවූ දශක හතර තුළ තවමත් ලංකාවට එවැනි වෙනත් වාසිදායක කර්මාන්තයක් සොයා ගැනීමට හැකි වී නැත.
පසුගිය වසර තුළ සිදුවූ සෘජු විදෙස් ආයෝජන වලින් 55% ක්ම සිදුවී ඇත්තේ දේපල සංවර්ධන, සංචාරක හා විදුලි සංදේශ ක්ෂේත්‍ර වලය. බොහෝදුරට මේ ආයෝජන වලින් සිදුවන අයහපතක් නැතත් එම කර්මාන්ත වල සිදුවන ආයෝජන වලින් රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට තාවකාලිකව ලැබෙන සුළු වාසිය හැරුණු විට දිගුකාලීනව ඇති ආර්ථික වාසියක් ඇත්නම් එය එතරම් විශාල විය නොහැකිය.
(Image: ctmil.com)
Labels:
අපනයන,
ජයවර්ධන රජය,
ශ්‍රම වෙළඳපොළ,
ශ්‍රමය,
සෘජු විදෙස් ආයෝජන
Monday, May 23, 2016
ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (සිවුවන කොටස)
ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන කරන කතිකාවකදී ජයවර්ධන රජයේ ආර්ථික ප්‍රතිපත්ති මඟ හැර යා නොහැකිය. එක් අතෙකින්, නිදහසින් පසු ආර්ථික ප්‍රතිපත්තියේ දැනෙන වෙනසක් කළේ ජයවර්ධන රජයයි. අනෙක් අතින්, එතැන් සිට අද දක්වා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් මේ ආර්ථික ආකෘතියෙන් බැහැර වී නැත. සිදු වී ඇත්තේ සුළු අපගමනයන් පමණි.
ජයවර්ධන රජය විසින් ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේය යන්න ජනප්‍රිය අදහසකි. ඇත්තටම ඉතිහාසය පුරා ලංකාවේ තිබුණේ විවෘත ආර්ථිකයකි. මේ විවෘත ආර්ථිකය සංවෘත ආර්ථිකයක් බවට පත් කිරීමට නිදහසින් පසු ලංකාව පාලනය කළ ඇතැම් පාලකයින් කටයුතු කර තිබුණේය. එමෙන්ම, ජේආර් ජයවර්ධනට රාජ්‍ය බලය ලැබෙන විට රටේ ජනතාවට හොඳ දෙය ඒ ජනතාවට වඩා හොඳින් දන්නේයැයි සිතා සිටි ටික දෙනෙකු විසින් මධ්‍යගත ලෙස සැලසුම් කිරීම කරාද රට යොමු වෙමින් පැවතුණේය.
ජේආර් ජයවර්ධන විසින් ආනයන හා අපනයන සීමාවන් බොහෝ දුරට ඉවත් කරමින් හා ප්‍රාග්ධන ගලායෑම් සඳහා පැවති සීමාවන්ද තරමක් දුරට ඉවත් කරමින් ආර්ථිකය ලෝකයට විවෘත කළේය. මේ කටයුත්ත ඉතා කෙටි කලක් තුළ කිරීම නිසා දේශීය නිෂ්පාදන වලට වඩා කාර්යක්ෂම ලෙස නිපදවුණු විදෙස් නිපැයුම් සමඟ තරඟ කිරීමට පහසු වන පරිදි විණිමය අනුපාතිකයද අවප්‍රමාණය කෙරුණි.
අපේක්ෂිත පරිදිම ආනයන සඳහා දේශීය වෙළඳපොල විවෘත කෙරුණු වහාම, විශේෂයෙන්ම මුල් අවුරුදු දෙක තුන තුළ, ආනයනික භාණ්ඩ වලින් වෙළඳසැල් පිරුණේය. වෙළඳ ශේෂය තව දුරටත් පුළුල් වුණේය. එහෙත්, මෙයට හේතුව වූයේ වෙළඳපොළ විවෘත කිරීම නොවේ. පෙර දශක කිහිපය තුල ආරක්ෂණවාදී ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් දේශීය නිෂ්පාදකයින්ගේ තරඟකාරී නිෂ්පාදන හැකියාවන් බිඳ දමනු ලැබ තිබීමයි.
රට තුළට ආනයන ගලා එද්දී අකාර්යක්ෂම කර්මාන්ත බිඳ වැටුණු අතර එම කර්මාන්ත සඳහා යොදාගැනුණු නිෂ්පාදන සාධක, විශේෂයන්ම ශ්‍රම සම්පත්, වඩා කාර්යක්ෂම කර්මාන්ත වෙත විතැන් විය. 1982 පමණ සිට 1998 පමණ දක්වා කාලය තුළ දේශීය නිපැයුම් වල තරඟකාරීත්වය යලි වර්ධනය වීමට සමාන්තරව වෙළඳ හිඟය ක්‍රමයෙන් අඩු වන්නට විය. කෙසේවුවද, මේ කාලය තුළද වෙළඳ ශේෂය දිගටම පැවතුණේ හිඟයක් වශයෙනි.
පෙර ලිපියකින් පෙන්වා දුන් පරිදි ලංකාව ගොඩ යන්නට අමාරු පරිදි ණය උගුලක පැටළුනේද ජයවර්ධන යුගයේදීය. මෙයට හේතුව ජයවර්ධන රජයේ නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්තිය බව සිතන අය සිටින්නට පුළුවන. එහෙත්, ඇත්තටම ලංකාව මෙසේ ණය උගුලක පැටලීමට හේතුව ජයවර්ධන රජයේ විවෘත නොවූ, මධ්‍යගත ආර්ථික ප්‍රතිපත්තීන්ය.
ජයවර්ධන පාලනය බොහෝ භාණ්ඩ හා සේවාවන් විවෘත වෙළඳපොළ තරඟයට (නැවතත්) නිරාවරණය කළ බව ඇත්තකි. එහෙත්, ඒ අතරම එම පාලනය පෙර රජයයන් විසින් අනුගමනය කළ මධ්‍යගත සැලසුම් සහිත රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකයද තවදුරටත් පවත්වා ගත්තේය. වඩා නිවැරදිව කියනවානම්, ජයවර්ධන පාලන කාලය තුල රාජ්‍යය තව දුරටත් විශාල විය. පෞද්ගලීකරණය කිරීම් ඇරඹුණේ එජාප පාලනය යටතේ වුවත් ජයවර්ධන යුගයෙන් පසුවය. සමඟි පෙරමුණු පාලනය මෙන්ම ජයවර්ධන පාලනයද සිතුවේ රටේ සියල්ලන්ටම හොඳ දේ දන්නේ තමන් ඇතුළු කණ්ඩායමක් බවයි.
අද දක්වාත්, රාජ්‍ය බලය වරින් වර මාරු වුණත්, මේ මධ්‍යගත ආකෘතිය සැලකිය යුතු ලෙස වෙනස් වී නැත. එක් අතකින් එය එසේ වන්නේ එය රටේ ජනතාවගේ ඉල්ලීම බැවිනි. තමන්ට හොඳ දෙය තමන්ගේ නියෝජිතයින් තමන්ට වඩා හොඳින් දන්නේයැයි සිතන ජනතාවක් සිටින තාක් මේ තත්ත්වය වෙනස් නොවනු ඇත. මෙසේ යම් නියෝජිත පිරිසක් කෙරෙහි විශ්වාසය තබා එම විශ්වාසය බිඳුණු පසු ලංකාවේ ජනතාව මෙතෙක් කර ඇත්තේ එම නියෝජිත පිරිස මාරු කිරීමයි.
සමඟි පෙරමුණු රජය රටේ පොදු ජනතාවගේ මුදලින් මහවැලි ව්‍යාපෘතිය වසර තිහක් තුළ නිම කිරීමට සැලසුම් කළේය. ඔවුන් සිතා සිටි පරිදි රටේ ජනතාවට එයින් යහපතක් සැලසිය හැකිව තිබුණි. ජයවර්ධන රජයේ සැලසුම්කරුවන් සිතුවේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සමඟි පෙරමුණු සැලසුම්කරුවන්ට වඩා හොඳින් ඔවුන් දන්නා බවයි. ඒ අනුව, වසර හයක කාලයකට සීමා වූ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ආදේශ විය.
මේ තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ජයවර්ධන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ වෙළඳපොළ සංකල්පය හෝ ධනවාදය නොවේ. සෝවියට් දේශයේ පස් අවුරුදු සැලසුම් ආකාරයේ, සීමිත පිරිසක් විසින් ආර්ථිකය මධ්‍යගත ලෙස සැලසුම් කිරීමකි. රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ එවැනි සැලසුම් ක්‍රියාත්මක වන විට දූෂණයට හා නාස්තියට ඉඩකඩ විවර වීම වැළැක්වීම අසීරු කරුණකි.
මේ ව්‍යාපෘති හරහා රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ වී සිටි පිරිසකට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබුණේය. මෙහිදී මා මතු කරන කරුණ මේ ව්‍යාපෘති නොකළ යුතුව තිබුණු ව්‍යාපෘති බව නොවේ. කවර ආකාරයේ හෝ ඒකාධිකාරයන් විසින් නාස්තියට හා දූෂණයට ඉඩ සලස්වන බවයි.
එහෙත්, බොහෝ දෙනෙකු විසින් තවමත් කරන්නේ නාස්තියට හා දූෂණයට එරෙහිව කෑගසන අතරම රාජ්‍යය තවතවත් විශාල කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. මේ නාස්ති හා දූෂණ වැළැක්වීමට කොමිෂන් සභා සහ කොමසාරිස්වරුන් පත් කරමින් රාජ්‍යය තවදුරටත් අකාර්යක්ෂම කළ හැකිය. අන්තිමේදී අල්ලස් කොමසාරිස්වරුත් අල්ලස් ගනිති. ඒ අයව අල්ලන්නට තවත් අය අවශ්‍ය වේ.
ජයවර්ධන යුගයේ ආනයන වියදම් වැඩි වීමට මහවැලි ව්‍යාපෘතිය ආදී මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් සිදුකළ ප්‍රාග්ධන ආයෝජනද හේතු විය. මහවැලි ව්‍යාපෘතියේ ශුද්ධ ප්‍රතිලාභ ගණනය කිරීමේදී මේ හේතුවෙන් වෙළඳ ශේෂයට සිදුවූ බලපෑම සහ රාජ්‍ය ණය ඉහළ යාම නිසා සිදුවූ අවාසියද සැලකිල්ලට ගත යුතුය.
කෙසේ වුවද, මේ අයුරින් ජයවර්ධන රජය විසින් රාජ්‍ය ආයෝජන වලට බර තබන අතර සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීම සඳහාද සැලකිය යුතු බරක් තැබුවේය. ජයවර්ධන රජයේ මේ සෘජු විදේශ ආයෝජන ඇද ගැනීමේ උත්සාහය ගැන තවදුරටත් කතා කළ යුත්තේ එදා මෙදාතුර ලංකාවේ සියළු රජයයන් සිය ආර්ථික ප්‍රතිපත්ති තුළ සෘජු විදේශ ආයෝජන වලට විශාල බරක් තැබූ බැවිනි. පවතින රජය උත්සාහ කරන්නේද සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීමටය.
නිදහසින් පසු හැත්තෑ හත දක්වා කාලය තුළ සමස්තයක් වශයෙන් සිදු වූයේ රට තුළ පැවති ප්‍රාග්ධනය රටින් පිටතට ඇදී යාමයි. මෙය පහත රූප සටහන දෙස බැලූ විට පැහැදිලි විය යුතුය. පෙර රජයන්හි පෞද්ගලික දේපල රජය සතු කිරීමේ ප්‍රතිපත්තිය මෙයට හේතුවිය.
තීරණාත්මක ලෙස ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට ජයවර්ධන පාලනය සමත්වූ බව 1979 පමණ සිට සෘජු විදෙස් ආයෝජන ලංකාවට ගලා ඒම ඇරඹීමෙන් පෙනීයයි. එතැන් සිට අද දක්වාම සෑම වසරකදීම ලංකාවට යම් සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් පැමිණේ.
කෙසේ වුවද, ප්‍රාග්ධන ප්‍රභවයක් ලෙස හෝ වෙළඳ හිඟය ආවරණය කර ගත හැකි මෙවලමක් ලෙස සෘජු විදෙස් ආයෝජන කිසි විටෙකත් විශාල කාර්ය භාරයක් ඉටුකළේ නැත. සෘජු විදෙස් ආයෝජන ලෙස පැමිණි ප්‍රාග්ධන ප්‍රවාහ සංඛ්‍යාත්මකව ආනයන වියදමෙන් 5% ඉක්මවූයේ 1997 වසරේදී පමණි. (එම වසරේ මේ වැඩි වීම සිදු වුණේ එන්ටීටී සමාගම විසින් ටෙලිකොම්හි කළ විශාල ආයෝජනය නිසායැයි සිතමි.) මෑත වසර වලදී වසරක් තුළ විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ හරහා ලැබුණු අරමුදල් සෘජු විදෙස් ආයෝජන වලින් ලැබුණු මුදල මෙන් දහ ගුණයකටත් වඩා වැඩිය.
සෘජු විදෙස් ආයෝජන රටට ලැබෙන්නේ රට තුළ ඇති සමාගම් වල අයිතියද විදේශිකයන්ට හිමි කර දෙමිනි. ඒ නිසා, මේ සමාගම් ලාභ ලබන විට එම ලාභයන්හි හිමිකරුවන් වන්නේද ඔවුන්ය. වෙනත් විදිහකින් කිවහොත්, රට තුළට සෘජු විදෙස් ආයෝජන නිසා ගලා එන ප්‍රාග්ධනය හේතුවෙන් අළුතෙන් නිර්මාණය වන සම්පත් වලින් සැලකිය යුතු කොටසක් නැවතත් රටින් පිටතට ප්‍රාග්ධනය ලෙස ගලා යයි. මෙසේ එකතුවන අගය රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නමුත් ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය නොවේ. ඒ නිසා එවැනි ආයෝජන හරහා සිදුවන ආර්ථික වර්ධනය රටවැසියන්ගේ 'ඇඟට නොදැනෙන්නට' පුළුවන.
මා මෙහිදී කියන්නේ සෘජු විදෙස් ආයෝජන නොවැදගත් බව නොවේ. ප්‍රාග්ධන ප්‍රභවයක් ලෙස සෘජු විදෙස් ආයෝජන මත වැඩිපුර විශ්වාසය තැබීම නුවණට හුරු නැති බවයි. සෘජු විදෙස් ආයෝජන නිසා රටකට ලබා ගත හැකි වෙනත් ප්‍රතිලාභ රැසක් තිබේ.
මේ වන විට ලෝකයේ බොහෝ ආර්ථිකයන් වර්ධනය වන්නේ ප්‍රාග්ධනය හේතුවෙන් නොවේ. ප්‍රාග්ධනය හේතුවෙන් ආර්ථිකයක් එක දිගට වර්ධනය වීමටනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය ගලා ආ යුතුය. එය ප්‍රායෝගිකව සිදුවිය හැක්කක් නොවේ. දිගුකාලීනව ස්ථාවර ලෙස ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත හැක්කේ ඵලදායීතාව ඉහළ නැංවීම මඟිනි. මෙය කළ හැක්කේ දිගින් දිගටම තාක්ෂනය අළුත් කිරීමෙනි. ඒ සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කළ යුතුය.
කෙසේ වුවද, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින, තාක්ෂනය අතින් පිටුපසින් සිටින රටකට ඇමරිකාවට හෝ ජපානය වැනි රටකට නැති වාසියක් තිබේ. ඒ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැඩි වියදමක් නොදරා සංවර්ධිත රටවල් සතු තාක්ෂණය ප්‍රයෝජනයට ගත හැකි වීමයි. අනෙකුත් ප්‍රධාන නිෂ්පාදන සාධක දෙක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය එක් රටකින් තවත් රටකට ගලා යන විට මුල් රටෙහි එම සාධක අඩුවන නමුත් තාක්ෂනය හා අදාලව එවැන්නක් සිදු නොවේ. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටකට තාක්ෂනය ලබා ගැනීම ශ්‍රමය හා ප්‍රාග්ධනය ලබා ගැනීම තරම් අසීරු කටයුත්තක් නොවේ.
කෙසේ වුවද, සංවර්ධිත රටවල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් කරා නවීන තාක්ෂනය පියඹා එන්නේ නැත. ඒ සඳහා තාක්ෂණ ඥානය සම්ප්‍රේෂණය විය හැකි යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. සෘජු විදේශ ආයෝජන සමඟ පහසුවෙන් නවීන තාක්ෂනය සම්ප්‍රේෂණය වේ.
(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)
(Image: flickriver.com)
Subscribe to:
Posts (Atom)




