Friday, December 20, 2019

ණය ගැනිල්ල තවත් අමාරු වෙයිද?


ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා (දෙසැම්බර් 18) ලංකාවේ රජයේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම ස්ථායී තත්ත්වයේ සිට සෘණ තත්ත්වය දක්වා පහත හෙළා තිබෙනවා. මෙයින් අදහස් වන්නේ දැනටමත් B මට්ටමට වැටී තිබෙන ණය ශ්‍රේණිය ඉදිරියේදී තවත් පහළට වැටීමේ අවදානමක් තිබෙන බවයි.

ණය ශ්‍රේණිගත කරන ප්‍රධාන ආයතන තුන වන්නේ එස්ඇන්ඩ්පී, මූඩීස් හා ෆිච් රේටින් යන සමාගම් තුනයි. මූඩීස් සමාගමේ B2 ශ්‍රේණියත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් වල B ශ්‍රේණියත් සමාන සේ සැලකෙනවා. පසුගිය 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිදු වූ බල පෙරළියෙන් පසුව ලංකාවේ  ස්වෛරීත්ව බැඳුම්කර වල අවදානම් ශ්‍රේණිය මූඩීස් සමාගම විසින් B2 මට්ටම දක්වාත්, එස්ඇන්ඩ්පී හා ෆිච් රේටින් සමාගම් විසින් B මට්ටම දක්වාත් පහත හෙලනු ලැබුවා. ඒ මෙතෙක් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කෙරුණු පහළම මට්ටමයි. මේ වන තුරුත් ශ්‍රේණිගත කිරීම් තිබෙන්නේ ඒ මට්ටම් වල. ෆිච් රේටින් සමාගම විසින් පසුගිය බදාදා ඉඟි කර තිබෙන්නේ ණය ශ්‍රේණිය තවත් පහළට වැටෙන්නට ඉඩ තිබෙන බවයි. ණය ශ්‍රේණිගත කිරීම් පහළ යන තරමට ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික ඉහළ යනවා.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, ආයෝජනය සඳහා සුදුසු කාණ්ඩ දහයක් තිබෙනවා. ඒවානම් AAA, AA+, AA, AA-, A+, A, A-, BBB+, BBB, BBB- යන කාණ්ඩයි. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ආදී රවවල් වලට අඩුම පොලියක් ගෙවා බැඳුම්කර නිකුත් කළ හැකිව තිබෙන්නේ එම රටවල් ඉහළින්ම තිබෙන AAA කාණ්ඩය යටතේ ශ්‍රේණිගත වී සිටින නිසයි. අසල්වැසි ඉන්දියාව ආයෝජනයට සුදුසු අවසන් කාණ්ඩය වන BBB- මට්ටමේ සිටිනවා. ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් ඊට කට්ටයක් ඉහළින් BBB මට්ටමේ ඉන්නවා. ලංකාව විසින් 2006දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට පටන් ගැනීමෙන් පසුව කිසි විටෙක මේ ආයෝජන කාණ්ඩයකට ඇතුළත් වීමට හැකි තරමට ණය ආපසු ගෙවීමේ අවදානම අඩු කර ගත හැකි වුනේ නැහැ.

ෆිච් රේටින් සමාගමේ ශ්‍රේණිගත කිරීම් අනුව, BBB- මට්ටමට පහළින් තිබෙන කාණ්ඩ සැලකෙන්නේ ලැබෙන පොලිය දෙස බලාගෙන අවදානමක් ගෙන කළ යුතු ආයෝජන ලෙසයි. මේ ආයෝජන නොවන කාණ්ඩ අතරින්ද ලංකාව දැනට වැටී සිටින B කාණ්ඩයට ඉහළින් BB+, BB, BB-, B+ යන කාණ්ඩ තිබෙනවා. B කාණ්ඩය සැලකෙන්නේ ඉතා සීමිත සුරක්ෂිතතාවක් ඇති ආයෝජනයක් ලෙසයි. දැනට ගත් ණය ගෙවාගෙන යන නමුත් කොයි වෙලාවක හෝ තත්ත්වය වෙනස් විය හැකි බව B කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමකින් අදහස් වෙනවා.

B: Highly speculative.
‘B’ ratings indicate that material default risk is present, but a limited margin of safety remains. Financial commitments are currently being met; however, capacity for continued payment is vulnerable to deterioration in the business and economic environment.

ලංකාව විශාල පාඩුවක් කරගත් ග්‍රීක බැඳුම්කර මිල දී ගන්නා විට එම බැඳුම්කර ශ්‍රේණිගත කර තිබුණේ BB+ මට්ටමේ වුවත් එම බැඳුම්කර මිල දී ගෙන දෙතුන් මාසයක් යද්දී වේගයෙන් දිගින් දිගටම පහළට වැටී CCC මට්ටමට වැටුණා. ඉන් පසුව, එම බැඳුම්කර වල මිල විශාල ලෙස පහත වැටුණා. එයින් පසුව, ග්‍රීසියට අලුතින් බැඳුම්කර විකිණීම අපහසු වී ණය වාරික නිසි පරිදි ගෙවන්න බැරි වුනා.

දැනට පවතින තත්ත්වය අනුව ලංකාවේ ණය ශ්‍රේණිය B කාණ්ඩයෙන්ද පහළට වැටීමේ අවදානමක් තිබෙනවා. ලංකාවේ ණය අවදානම හදිසියේම තවත් වැඩි වී ඇති බව ෆිච් රේටින් සමාගම විසින් තීරණය කර තිබෙන්නේ රජය විසින් කළ බදු කප්පාදුව නිසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශතාංක දෙකකින් පමණ අඩු විය හැකි බව ෆිච් රේටින් සමාගමේ ගණන් බැලීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ අයවැය හිඟය දදේනි ප්‍රතිශතයක් ලෙස කලින් ඇස්තමේන්තුවට වඩා 1.5%කින් ඉහළ ගොස් 2020දී 6.5% මට්ටමටත්, 2021දී 6.2% මට්ටමටත් යනු ඇතැයි එම සමාගම විසින් ඇස්තමේන්තු කර තිබෙනවා.

"Sri Lanka's external balance sheet is weak, with external debt obligations totalling approximately USD19.0 billion coming due between 2020-2023, compared with foreign-exchange reserves of around USD7.5 billion as of end-November 2019. We expect the current account deficit to widen to about 3.0% of GDP in 2020 and 2021, from an estimated 2.2% in 2019, as domestic demand strengthens."

ෆිච් රේටින් සමාගමේ නිවේදනය අනුව, ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 19ක විදේශ ණය ආපසු ගෙවන්න තිබුණත් විදේශ සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 7.5ක් පමණයි. මෑතකාලීන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස දේශීය ඉල්ලුම ඉහළ යාම නිසා ආනයන අපනයන පරතරය තවත් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක්. මෙහි සමස්ත ප්‍රතිඵලය ණය ආපසු ගෙවන්න ඩොලර් හොයා ගැනීම එන්න එන්නම අමාරු වන බවයි.

බදු කප්පාදුව නිසා දැනටමත් රජයේ අයවැය හිඟය විශාල ලෙස පුළුල් වීමට නියමිතව තිබියදී විශාල පිරිසකට රජයේ රැකියා ලබා දෙමින් රජයේ වියදම් තවත් වැඩි කර ගැනීමට රජය පෙළඹුනොත් එය බූරුවාගේ කොන්ද කඩන අන්තිම පිදුරු මිටිය වෙන්න පුළුවන්.

Tuesday, December 17, 2019

බෝංචි ගණන් වැඩිද?


මේ දවස් වල ලංකාවේ ඇතැම් එළවළු වර්ග වල මිල ගණන් ගොඩක් ඉහළ ගිහින්. මහ බැංකුවේ දත්ත අනුව අද (දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 390ක්. එම දත්තම අනුව, හරියටම වසරකට පෙර (2018 දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 210ක් පමණයි. බෝංචි කිලෝවක් හිටිවනම මේ තරම් ගණන් ගිහින් තියෙන්නේ ඇයි?

බෝංචි කිලෝවක මිල තීරණය කරන්නේ රජය විසින් නෙමෙයි. රජය විසින් කරන දේවල් වල වක්‍ර බලපෑමක් බෝංචි මිලටත් තිබෙන එක වෙනම කරුණක්. බෝංචි කිලෝවක සිල්ලර මිල තීරණය වන්නේ බෝංචි වලට තිබෙන ඉල්ලුම හා සැපයුම මතයි.

බෝංචි වැනි එළවළු ලංකාවට පිටරටින් ආනයනය කරන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ හදන බෝංචි වැනි එළවළු සුරක්ෂිතව කාලයක් ගබඩා කර තබා ගෙන අවශ්‍ය අවස්ථාවක වෙළඳපොලට නිකුත් කළ හැකි තාක්ෂණයක්ද රටේ නැහැ. ඒ නිසා, අස්වනු නෙලන කාල හා කාලගුණ සාධක වැනි කරුණු මත වෙළඳපොළට සැපයෙන බෝංචි ප්‍රමාණය සතියෙන් සතියට වගේ වෙනස් වෙනවා. ඒ විදිහට සැපයුම වෙනස් වුවත්, බෝංචි වලට රටේ තිබෙන ඉල්ලුම සතියෙන් සතියට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලත් සතියෙන් සතියට වගේ වෙනස් වෙනවා. මේක සිදු වෙන්නේ කොහොමද කියලා අපි හරියටම පැහැදිලි කර ගනිමු.

අපි එක් එක් කෙනාගේ බෝංචි වලට තියෙන කැමැත්ත වෙනස්. බෝංචි එක් අයෙකුගේ ප්‍රියතම එළවලුව වෙද්දී තවත් අයෙකුට බෝංචි පෙන්නන්න බැරි වෙන්න පුළුවන්. බෝංචි වලට ලොකු කැමැත්තක් නැති අකැමැත්තකුත් නැති අය වගේම වෙන කන්නම දෙයක් නැත්නම් පමණක් බෝංචි කන අයත් ඉන්නවා. මේ ආකාරයට බෝංචි වලට තිබෙන කැමැත්ත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙද්දී ඔවුන් බෝංචි කිලෝවක් වෙනුවෙන් ගෙවන්න කැමති උපරිම මිලත් වෙනස් වෙනවා.

අපි පුද්ගලයින් පහළොස් දෙනෙක් ගනිමු. පහතින් තියෙන්නේ මේ පහළොස් දෙනා බෝංචි කිලෝවකට ගෙවන්න කැමැත්තෙන් සිටින උපරිම මිලයි. සියලුම ගණන් රුපියල් වලින්.

අමල් - 1000
බිමල් - 700
චමල් - 550
දයාල් - 500
එමිල් - 450
ෆසල් - 420
ගයාන් - 400
හසන් - 390
ඉයන් - 375
ජෙයන් - 350
කෙවින් - 320
ලොහාන් - 300
මෝහන් - 280
නුවන් - 250
ඔෂාන් - 220

දැන් කිසියම් සතියක බෝංචි සැපයුම කිලෝ 10ක් පමණක්නම් මේ 15 දෙනාටම බෝංචි මිල දී ගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඉල්ලුම හා සැපයුම සමාන විය යුතුයි. නිදහස් වෙළඳපොළක මේ බෝංචි කිලෝ 10 අයිති කර ගන්න ඉඩ ලැබෙන්නේ බෝංචි වලට වැඩිම වටිනාකමක් ලබා දෙන දහ දෙනාටයි. ඒ කියන්නේ ලැයිස්තුවේ ජෙයන්ගේ සිට උඩින් සිටින අයටයි. බෝංචි කිලෝවක සමතුලිත වෙළඳපොළ මිල වෙන්නේ ජෙයන් බෝංචි කිලෝවකට ගෙවන්න කැමති උපරිම මිල වන රුපියල් 350ක මිලයි.

ලැයිස්තුවේ ජෙයන්ට වඩා පහළින් සිටින අයට බෝංචි කිලෝවක් රුපියල් 350ක් වටින්නේ නැහැ. ඒ නිසා, ඔවුන් තමන්ගේ අතේ මුදල් තිබුණත් මිල දැක්ක හැටියේම ආපසු හැරී එනවා. මේ අය ලැයිස්තුවේ උඩින් සිටින අය තරමට බෝංචි වලට කැමැති නැති අය. ජෙයන්ගේ සිට උඩින් සිටින අයට රුපියල් 350ක මිල ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඔවුන්ට බෝංචි කිලෝවක් අඩුම වශයෙන් රුපියල් 350ක්වත් වටිනවා. ජෙයන් හැර ඉතිරි නව දෙනාට ඊටත් වඩා කීයක් හෝ වටිනවා. ඒ නිසා, රුපියල් 350 වුවත් ඒ අය දකින ආකාරයට වාසිදායක මිලක්.

ඉල්ලුම සැපයුම සමතුලිත වන මිල කාටත් සාධාරණ මිලයි. බෝංචි මිල දී ගන්නා සියලු දෙනාටම බෝංචි කිලෝවක වටිනාකම ගෙවූ මිලට වඩා වැඩියි. බෝංචි කිලෝවක වටිනාකම මිලට වඩා අඩුයි කියා හිතන අය බෝංචි මිල දී නොගෙන තමන් වඩා කැමති වෙනත් දෙයක් මිල දී ගන්නවා. වෙළඳපොළට බෝංචි සපයන අයට ලැබිය හැකි ඉහළම මිල ලැබෙනවා. බෝංචි නොවිකිණී ඉතිරි වෙන්නෙත් නැහැ. රුපියල් 350ක මිල ගෙවා බෝංචි මිල දී ගන්න කැමති අයට බෝංචි නොලැබී යන්නේත් නැහැ. එහෙත්, මේ දේවල් මේ ආකාරයට සැලසුම් කරන්නට කිසිවෙකු අවශ්‍ය වෙන්නේත් නැහැ. නිදහස් වෙළඳපොලක අපූර්වත්වය මෙයයි.

දැන් ඊළඟ සතියේ බෝංචි සැපයුම කිලෝ 12ක් දක්වා වැඩි වුනොත් වෙන්නේ මොකක්ද? පසුගිය සතියේ මිල තව දුරටත් හරියන්නේ නැහැ. බෝංචි කිලෝවක මිල රුපියල් 350 මට්ටමේම තිබුණොත් බෝංචි මිල දී ගන්නේ පෙර සතියේත් බෝංචි මිල දී ගත් ජෙයන්ගෙන් උඩ දහ දෙනා පමණයි. එහෙම වුනොත්, බෝංචි කිලෝ දෙකක් නොවිකිණී ඉතුරු වෙනවා. ඒ කිලෝ දෙකත් විකුණගන්න හැකි වෙන්නේ රුපියල් 300 දක්වා මිල අඩු වුනොත් පමණයි. කෙවින් හා ලොහාන් දෙන්නා රුපියල් 350ක් ගෙවා බෝංචි මිල දී ගන්නේ නැති වුනත්, රුපියල් 300කට බෝංචි මිල දී ගන්නවා. ඒ නිසා, මිල රුපියල් 300 දක්වා අඩු වූ විට ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා.

බෝංචි සැපයුම කිලෝ 8ක් දක්වා අඩු වුනොත් වෙන්නේ මොකක්ද? මිල 350නම් බෝංචි කිලෝ 8 පහසුවෙන්ම විකිණෙනවා. නමුත්, ඒ මිලට බෝංචි මිල දී ගන්න කැමති 10 දෙනෙක්ම ඉන්න නිසා එයින් දෙදෙනෙක්ටම බෝංචි මිල දී ගැනීමේ අවස්ථාව නැති වෙනවා. එසේ අවස්ථාව නැති වුනේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. අමල් බෝංචි කිලෝවකට රුපියල් 1000ක් වුවත් ගෙවන්න කැමතියි. එහෙත් වෙළඳපොළේ බෝංචි නැහැ. ඒ නිසා ඔහු ඉන්නේ සතුටෙන් නෙමෙයි. බෝංචි සැපයුම්කරු ඉන්නේත් සතුටෙන් නෙමෙයි. ඔහුට ලැබිය හැකිව තිබුණු උපරිම ලාබය ලැබී නැහැ. නමුත්, මිල රුපියල් 390 දක්වා ඉහළ ගිය විට මේ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ. හසන් සහ ජෙයන් රුපියල් 390ක් ගෙවා බෝංචි කිලෝවක් මිල දී නොගන්නා නිසා ඒ මිලට බෝංචි ඉල්ලා සිටින්නේ පාරිභෝගිකයින් අට දෙනෙක් පමණයි. ඔවුන් සියලු දෙනාටම බෝංචි ලැබෙනවා.

පසුගිය දිනක දේශපාලනඥයෙක් විසින් උපදෙස් දී ඇති පරිදි පාරිභෝගිකයින් විසින් මිල වැඩි එළවලු මිල දී නොගෙන ප්‍රතික්ෂේප කළොත් එළවලු මිල අඩු වෙයිද? අපි මේ උදාහරණයම බලමු. දැන් බෝංචි කිලෝවක මිල රුපියල් 390යි. හසන්ගේ සිට උඩට ඉන්න අයට සාපේක්ෂව මේ රුපියල් 390ක මිල වැඩි මිලක් නෙමෙයි. ඔවුන්ට බෝංචි ඊට වඩා වටිනවා. ඒ නිසා, ඔවුන් කොහොමටත් බෝංචි මිල දී ගන්නවා. රුපියල් 390 වැඩි මිලක් කියා හිතන හසන්ට පහළින් සිටින හත් දෙනා කොහොමටත් රුපියල් 390ක් ගෙවා බෝංචි මිල දී ගන්නේ නැහැ. ඒ නිසා, ඔවුන්ට අමුතුවෙන් බෝංචි ප්‍රතික්ෂේප කරන්න දෙයක් නැහැ. කිසිවකුගේ මිල දී ගැනීමේ තීරණ වෙනස් නොවන නිසා, බෝංචි කිලෝවක සමතුලිත මිල වෙනස් වෙන්නේත් නැහැ.

Wednesday, October 9, 2019

පොහොර සහනාධාරය

වත්පොතේ සංසරණය වන, පොහොර සහනාධාරය හා අදාළ, හිටපු විගණකාධිපතිගේ කතාවක් අහන්න ලැබුණා. මේ වන විට හිටපු විගණකාධිපතිව සැලකිය හැක්කේ දේශපාලනඥයෙකු මිස වෘත්තීයවේදියෙකු හැටියට නෙමෙයි. අනෙක් අතට මේ වෙද්දී හිටපු විගණකාධිපති ඇතුළු වෘත්තීයවේදීන් කණ්ඩායමක්ම දේශපාලනයට අත ගසා තිබෙන නිසා මේ කණ්ඩායම් දෙක අතර වෙනස එතරම් වැදගත් එකකුත් නෙමෙයි. ඒ වගේම, වඩා පුළුල් ලෙස බැලුවොත් දේශපාලනඥයින් කියන්නෙත් වෘත්තීයවේදීන් කණ්ඩායමක්. කොහොම වුනත්, වෘත්තීයවේදීන් විසින් කියන දේවල් වඩා නිවැරදියි කියා හිතන අය ගොඩක් ඉන්න නිසා මේ කතාවේ සඳහන් ඇතැම් කරුණු ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි.

හිටපු විගණකාධිපති විසින් අවධාරණය කර කියන ආකාරයට ලංකාවේ නිපදවන සහල් ප්‍රමාණයේ මුළු වටිනාකම මේ වෙනුවෙන් ලබා දෙන සහනාධාරයේ වියදමට වඩා වැඩියි. මෙය සැබෑවක්ද කියා ඉතා පහසුවෙන් තහවුරු කර ගත හැකියි. මේ දත්ත සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හා මහ බැංකුවේ ප්‍රකාශන වල තිබෙනවා. පහත වගුව පිළියෙළ කර තිබෙන්නේ එම දත්ත ඇසුරෙනුයි.


ගාමිණි විජේසිංහගේ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව කාට වුවත් බැලූ බැල්මටම නොපෙනෙන්න හේතුවක් නැහැ. පසුගිය 2018 වසර ගත්තොත්, රටේ නිපදවූ සහල් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 203,015 ක්. නමුත්, පොහොර සහනාධාරය ලෙස ලබා දී ඇති මුදල රුපියල් මිලියන 32,000ක් පමණයි. පෙර වසරවල් සලකා බැලුවත්, රටේ හදන හාල් වල වටිනාකමට වඩා වැඩි මුදලක් පොහොර සහනාධාරය ලෙස ලබා දෙනවා කියන එක ගාමිණී විජේසිංහ විසින් හිතාමතාම හෝ කරුණු සොයා නොබලා කියන බොරුවක්. මා කරන්නේ පොහාර සහනාධාරය අනුමත කිරීමක් නෙමෙයි. කරුණු ඇති සැටියෙන් පෙන්වා දීමක් පමණයි.

නිපදවූ සහල් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම දෙස බලා කර්මාන්තයේ ලාබ පිළිබඳව නිගමනය කරන්න බැහැ. ඒ සඳහා, නිෂ්පාදන වියදම් අඩු කළ යුතුයි. සහල් කර්මාන්තයේ එකතු කළ අගය කියා කියන්නේ මෙසේ පිරිවැය ඉවත් කළ විට ඉතිරි වන ලාබයටයි. මේ එකතු කළ අගය පිළිබඳවත් සංඛ්‍යාලේඛන තිබෙනවා. 2018 වසරේදී කර්මාන්තයේ එකතු කළ අගය රුපියල් මිලියන 118,653ක්. ඒ මුදල වුවත්, පොහොර සහනාධාරයේ පිරිවැයට වඩා කිහිප ගුණයක් වැඩියි.

කර්මාන්තයේ සැබෑ ලාබය ගණනය කරන්න ඉහත එකතු කළ අගයෙන් සහනාධාර මුදල අඩු කර ගෙවූ බදු මුදල් එකතු කළ යුතුයි. සහල් නිපදවීමේ කර්මාන්තයේ බදු වියදම් කොපමණද කියා මා දන්නේ නැහැ. නමුත්, කිසියම් හෝ බදු මුදලක් මේ කර්මාන්තයේ නියැලෙන්නන් විසින් රජයට ගෙවා තිබෙන නිසා පොහොර සහනාධාරයේ වියදම මුළුමනින්ම ඉහත එකතු කළ අගයෙන් අඩු කිරීම නිවැරදි නැහැ. එසේ කළත්, සැලකිය යුතු එකතු කළ අගයක් පෙනෙන්නට තිබෙනවා.

පෙනෙන විදිහට ගාමිණි විජේසිංහ පෙනී සිටින්නේ රාජ්‍යමූලික, ආරක්ෂණවාදී ආර්ථිකයක් වෙනුවෙනුයි. ලංකාවේ බොහෝ වෘත්තිකයින් රාජ්‍යමූලික, ආරක්ෂණවාදී ආර්ථිකයකට කැමතියි. එවැනි ක්‍රමයක් යටතේ ඔවුන්ට රටේ අනෙකුත් අයගේ වියදමෙන් වාසි ලබා ගන්න ඉඩ තිබීම මෙයට හේතුවයි. ගාමිණි විජේසිංහ කතා කරන්නේ මේ පිරිසටයි.

ගාමිණි විජේසිංහ විසින් යෝජනා කරන්නේ වෙළඳපොළ යාන්ත්‍රනය අවහිර කර රජය විසින් භාණ්ඩ හා සේවා වල මිල තීරණය කරන ක්‍රමයකුයි. මේ පැරණි සමාජවාදී රටවල තිබුණු අසාර්ථක වූ ක්‍රමය මිස අලුත් එකක් නෙමෙයි. වත්පොත් වීඩියෝව ප්‍රචාරය කෙරෙන්නේ ජාතික ජනතා ව්‍යාපාරයේ ලේබලය සමඟ නිසා මෙය එම ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිපත්තිය කියා සිතිය හැකියි.

ඔහු කියන ආකාරයට වෙළඳපොළ යාන්ත්‍රනය යටතේ මිල තීරණය වීම අවහිර කරමින්, කිසියම් භාණ්ඩයක් රට ඇතුළේ හදන්න යන වියදමේ අනුපාතයක් ලෙස මිල තීරණය වන පරිදි හා මේ මිල සූත්‍රය වෙනස් කළ නොහැකි පරිදි නීති පැනවිය යුතුයි. වියදම ඇස්තමේන්තු කරන්නේ ඔහු විසින් හෝ වෙනත් පිරිසක් විසින්. නිෂ්පාදකයෙකු ලැබිය යුතු ලාබය තීරණය කරන්නේත් මේ කණ්ඩායම විසිනුයි. අනෙක් අයට තියෙන්නේ මේ වැඩේ කරන පිරිස නඩත්තු කරන එකයි.

ගාමිණි විජේසිංහ යෝජනා කරන ආකාරයට ලංකාවේ ඇපල් ගෙඩියක් හදන්න රුපියල් දහදාහක් යනවානම් ඔවුන් කරන්නේ ඇපල් ගෙඩියක මිල රුපියල් විසිදාහක් වන ආකාරයට සූත්‍රයක් හදා එය වෙනස් කළ නොහැකි සේ නීතිගත කරන එකයි. ඊට පස්සේ ඒ මිල ගෙවා කී දෙනෙක් ඇපල් මිල දී ගනීද කියන එක ගැන හිතන්න ඔහු මහන්සි වෙන්නේ නැහැ. මේ ආකාරයේ ආර්ථික ක්‍රමයකට කැමති අය රටේ කොපමණ ඉන්නවාද කියා ජනාධිපතිවරණයෙන් පසුව බලාගන්න පුළුවන් වෙයි.

https://www.facebook.com/apemedia.lk/videos/782026978918062/

Thursday, March 14, 2019

ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල

රුපියල නියම මට්ටම දක්වා අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියොත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තව දුරටත් නොපවතින බව අප විසින් දිගින් දිගටම පෙන්වා දී ඇති කරුණක්. එහෙත්, බොහෝ දෙනෙක් හිතන්නේ ඩොලරයක මිල කොපමණ ඉහළ ගියත් ආනයන ඉල්ලුම එසේම පවතිනු ඇති බවයි. 

පසුගිය 2018 වසර, අවශ්‍ය පමණට නොවූවත්, රුපියල සැලකිය යුතු තරමකින් අවප්‍රමාණය වූ වසරක්. වසර තුළදී රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 16.4% කින් අවප්‍රමාණය වුනා. මෙයින් 4.9%ක් ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීම මත සිදු වූ ලෙස සැලකිය යුතු වුවත්, ඉතිරි 11.5% දේශීය තත්ත්වයන්ගේ බලපෑමෙන් සිදු වූ සේ සැලකිය හැකියි. එසේ වුවත්, මේ වසර තුළ රුපියල නැවත ශක්තිමත් වෙමින් පවතිනවා. 


පසුගිය වසර තුළ රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම ගෙවුම් ශේෂය මත වාසිදායක ලෙස බලපා ඇති බව පැහැදිලිව පෙනෙනවා. පහත රූප සටහනෙන් පෙනෙන්නේ පසුගිය වසර ඇතුළත ආනයන වියදම මසින් මස ක්‍රමයෙන් පහළ ගොස් ඇති ආකාරයයි. අපනයන වියදම් එසේ ඉහළ ගොස් නැති නිසා ගෙවුම් ශේෂ හිඟය ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. 


පසුගිය වසර තුළ ආනයන වෙනුවෙන් වැය වී ඇති මුළු මුදල ඇමරිකන් ඩොලර් මිලියන 22,232.7ක්. ඊට පෙර 2017 වසර තුළ මේ වියදම ඇමරිකන් ඩොලර් 20,979.8ක් පමණයි. මේ අනුව, බැලූ බැල්මටම පෙනෙන්නේ ඩොලරය අවප්‍රමාණය වුවත් ඇමරිකන් ඩොලර් 1,252.9කින් අපනයන වියදම් ඉහළ ගොස් ඇති බවයි.

ඉහත නිරීක්ෂණය නිවැරදි වුවත්, එළෙස අපනයන වියදම් ඉහළ යාමට මුළුමනින්ම හේතු වී තිබෙන්නේ වාහන ආනයන වියදම් හා ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමයි. ඉතිරි සියළුම ආනයන වියදම් එක්ව ගත් විට දැකිය හැක්කේ ආනයන වියදම් අඩු වීමකුයි.


වසර තුළ සිදුව ඇති 103.6%ක අති විශාල වාහන ආනයන වියදම් ඉහළ යාම හා එයට අනුරූපව ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම නොවන්නට ආනයන වියදම් වල සැලකිය යුතු අඩුවක් දකින්නට ලැබිය හැකිව තිබුණු බව ඉතා පැහැදිලි කරුණක්. එසේ වීනම්, අපනයන ආදායම් 4.7%කින් ඉහළ ගොස් ඇති පසුබිමක වෙළඳ ශේෂ හිඟය විශාල සේ අඩුවිය හැකිව තිබුණු බවත් පැහැදිලියි.

අනෙක් සියලුම ආනයන වියදම් අඩුවෙද්දී වාහන ආනයන වියදම් පමණක් දෙගුණයකටත් වඩා වැඩියෙන් ඉහළ ගියේ කොහොමද?

පෞද්ගලික වාහන කියා කිවුවත් ඇත්තටම මේ විදිහට ඉහළ ගිහින් තිබෙන්නේ පෞද්ගලික මෝටර් රථ ආනයන වියදම් පමණයි. වසර තුළ අලුත් වාහන ලියාපදිංචිය ලෙස බැලූ විට අනෙකුත් සියළුම කාණ්ඩ වලට අයත් වාහන ආනයන පහළ ගොස් ඇති බව පෙනෙනවා. 

2017 වසරට සාපේක්ෂව 2018 වසර තුළ අලුතින් ලියාපදිංචි කර ඇති බස්රථ ප්‍රමාණය 11.2%කිනුත්, යතුරු පැදි ප්‍රමාණය 1.3%කිනුත්, භාණ්ඩ ප්‍රවාහන වාහන ප්‍රමාණය 18.0%කිනුත්, ඉඩම් වාහන ප්‍රමාණය 21.2%කිනුත්, ගොඩක් අයට හිසරදයක් වී තිබෙන ත්‍රිරෝද රථ ප්‍රමාණය 14.8%කිනුත් පහළ ගොස් තිබෙන්නේ ඩොලරයක හා අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකක වල මිල ඉහළ යාම නිසා බව පැහැදිලියි. එසේ තිබියදී පෞද්ගලික මෝටර්රථ ලියාපදිංචිය 39,182 සිට 80,776 දක්වා 106.2%කින් ඉහළ ගොස් තිබෙනවා. ද්විත්ව කාර්ය වාහන කාණ්ඩයේත් 1.1%ක සුළු වැඩිවීමක් දැකිය හැකියි. මේ වෙනසට හේතුව කුමක්ද?

මෝටර්රථ ආනයනය පමණක් මෙලෙස විශාල සේ ඉහළ යාමට බදු රහිතව හෝ බදු සහන සහිතව වාහන ආනයනය කිරීම සඳහා ලබාදුන් බලපත් වලින් විශාල දායකත්වයක් ලැබී තිබෙන බව පැහැදිලියි. වසර මුලදී බදු සහන වාහන බලපත් ලබාදීමත් සමඟම මාසික වාහන ආනයන වියදම් මෙන්ම මෝටර්රථ ලියාපදිංචියද එකවරම විශාල ලෙස ඉහළ ගියා. සැප්තැම්බර් අගදී ගෙවුම් ශේෂ පීඩනය හමුවේ බදු සහන වාහන බලපත් භාවිතය තාවකාලිකව අත්හිටවීමෙන් පසුව වාහන ආනයන වියදම් හා වාහන ලියාපදිංචිය එකවර විශාල ලෙස අඩුවී විණිමය අනුපාතය මත වූ පීඩනය බැහැර වී ඇති බව පෙනෙනවා.


මේ වසරේ ඊයේ (මාර්තු 13) දක්වා කාලය තුළ රුපියල ඩොලරයට සාපේක්ෂව 2.2%කින් අධිප්‍රමාණය වී තිබෙනවා. එහෙත් එසේ රුපියල ශක්තිමත් වී තිබෙන්නේ ආර්ථිකයේ විදේශ අංශය එපමණටම ශක්තිමත් වීම නිසා නෙමෙයි. වෙළඳ ශේෂ හිඟය යම් පමණකින් අඩු වී ඇතත් තවමත් ලංකාවේ අපනයන ආදායම් ආනයන වියදම් වලට කිට්ටුවෙන්වත් යන්නේ නැහැ.

රුපියල ශක්තිමත්ව තිබෙන්නේ පසුගිය සතියේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරමින් ඩොලර් බිලියන 2.4ක ණය ගැනීම නිසයි. මෙසේ ලබාගත් ඩොලර් බිලියන 1.4ක පස් අවුරුදු බැඳුම්කරය වෙනුවෙන් 6.85%ක වාර්ෂික පොලියකුත්, ඩොලර් බිලියන 1.0ක දස අවුරුදු බැඳුම්කරය වෙනුවෙන් 7.85%ක වාර්ෂික පොලියකුත් ගෙවිය යුතුයි. 7.85%ක පොලියකට දස අවුරුදු ණයක් ගන්නවා කියන්නේ පොලිය සේ ගත් මුදල මෙන් 112.9%ක මුදලක්, එනම් ගත් මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවිය යුතු බවයි. මෙසේ ගෙවිය යුත්තේ ඩොලර් වලින්ම මිස රුපියල් වලින් නෙමෙයි. වසර දහයකට පසු ඩොලරයක මිල කොහේ තියෙයිද කියා මම කියන්න අවශ්‍ය නැහැනේ.

ඉදිරි මැතිවරණ හමුවේ වත්මන් ආණ්ඩුව විසින් අවසාන වශයෙන් අනුගමනය කරමින් ඉන්නේ විදේශ ණය වල උදවුවෙන් රුපියල ස්ථාවර කරගෙන ආර්ථිකය තාවකාලිකව ස්ථාවර කර ගැනීමේ පැරණි රාජපක්ෂ ආණ්ඩුවේ උපාය මාර්ගයයි. මෙයින් සිදුවන්නේ අනාගතයේදී ගෙවුම් ශේෂ ප්‍රශ්නය තවත් උග්‍ර වීම පමණයි. පොදුජන පෙරමුණේ ආර්ථික විශේෂඥයින් ආණ්ඩුවේ අයවැය විවේචනය කරන නමුත් මේ කරුණ ගැන කතා කරන්නේ නැහැ. ඒ, ඔවුන්ගේ ආර්ථික දැක්ම තනිකරම රඳා පවතින්නේ වැඩි වැඩියෙන් විදේශ ණය ගනිමින් කෘතීම ලෙස රුපියල පහළින් තබා ගැනීම මත නිසයි. 

මුලින් දිගුකාලීනව රටට හිතකර විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කළ එජාප ආණ්ඩුවත් අවසානයේදී මේ පහසු හා දේශපාලනිකව වාසිදායක මාර්ගයටම අවතීර්ණ වී සිටිනවා. රටේ යහපත ගැන හිතනවානම් කළ යුත්තේ මේ ඩොලර් බැඳුම්කර වලින් ලැබෙන මුදල් විදේශ සංචිත වලට එකතු කරගෙන හා අවශ්‍යනම් තවත් යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන රුපියල අධිප්‍රමාණය වීම වලක්වා ක්‍රමයෙන් අවශ්‍ය මට්ටම දක්වා අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීමයි. එහෙත් එය හිතකර දෙයක් සේ දකින අය එතරම් නැති නිසා එවැන්නක් වෙන්න තිබෙන ඉඩකඩ බොහෝ අඩුයි.

අප පෙන්වා දෙන්නේ රටක විණිමය අනුපාතිකය දිගින් දිගටම අවප්‍රමාණය වීම හොඳ දෙයක් කියන එක නෙමෙයි. එයින් පෙනෙන්නේ ආර්ථිකයේ දුර්වල කමයි. නමුත්, ආර්ථිකය දුර්වලව තිබීම හමුවේ විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට පිළියම වන්නේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන ක්‍රියාමාර්ග ගැනීම මිස, දිගුකාලීනව ආර්ථිකය තවත් දුර්වල වෙන්නට ඉඩ සලසමින් තාවකාලිකව කෘතීම ලෙස විණිමය අනුපාතිකය පහළින් තබා ගැනීම නෙමෙයි. ණය ගනිමින් රුපියල ශක්තිමත්ව තබා ගැනීමේදී වෙන්නේ එයයි.


Sunday, February 24, 2019

සංචිත අනුපාතය තවත් පහළට...


පසුගිය සතියේ පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රැස්වීමේදී, මාර්තු 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වාණිජ බැංකු වල තැන්පතු මත වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5% දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මීට පෙර පසුගිය වසර අවසානයේදී මේ අනුපාතය 7.5% මට්ටමේ සිට 6% මට්ටම දක්වා අඩු කළා. මා හිතන විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉතිහාසයේ කිසි දිනක 5% මට්ටමට අඩු කර නැහැ.

වාණිජ බැංකු වල තිබෙන තැන්පතුකරුවන්ගේ මුදල් වලින් යම් අවම ප්‍රතිශතයක් ණය සේ නැවත නිකුත් නොකර මහ බැංකුවේ රඳවා තැබිය යුතුයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියා කියන්නේ එයටයි. මේ අනුපාතය පාලනය කිරීම මගින් රටේ මුදල් සැපයුම පාලනය කළ හැකියි.

බැංකු වලින් ණය සේ නිකුත් කරන මුදල් වලින් වැඩි ප්‍රමාණයක් කවුරු හෝ විසින් වියදම් කරන නිසා නැවතත් බැංකු පද්ධතිය තුළටම ආපසු එනවා. එවිට බැංකුවකට එම මුදල් නැවතත් ණය සේ නිකුත් කළ හැකියි. මේ අනුව, එකම රුපියල බැංකු විසින් කිහිප වරක්ම ණය සේ නිකුත් කරනවා. මෙය හඳුන්වන්නේ මුදල් ගුණනය කිරීම ලෙසයි. මහ බැංකුව විසින් නිකුත් කරන රුපියලක් හේතුවෙන් රටේ මුදල් සැපයුම කොපමණ ඉහළ යනවාද කියන එක තීරණය වන්නේ මේ ආකාරයට මුදල් ගුණනය වන අනුපාතය හෙවත් මුදල් ගුණකය මතයි. මුදල් ගුණකය තීරණය වන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මතයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ මුල් කාලයේදී මහ බැංකුවට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමිය හැකි අවම සීමාවක් තිබුණා. ඒ අනුව, මුල් කාලයේදී, බැංකු ජංගම ගිණුම් ශේෂයෙන් 10%ක් හා ඉතිරි කිරීම් ගිණුම් ශේෂයෙන් 5%ක් හෝ මහ බැංකුව විසින් නියම කරන ඊට වඩා වැඩි අනුපාතයක් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාපිත තැන්පතු සේ රඳවන්න වාණිජ බැංකු වලට සිදු වුනා.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක් කියන එකෙන් අදහස් වෙන්නේ වාණිජ බැංකුවක් වෙත තැන්පතු සේ පැමිණෙන රුපියල් 100කින් ණය සේ නිකුත් කළ හැක්කේ රුපියල් 90ක් පමණක් බවයි. මේ ණය නැවතත් තැන්පතුවක් සේ බැංකු පද්ධතිය තුළට පැමිණි විට එයින් 90% එනම් රුපියල් 81ක් නැවතත් ණය සේ නිකුත් කළ හැකියි. මේ ක්‍රියාවලිය කෙළවර වෙන්නේ රුපියල් 100 මෙන් කිහිප ගුණයක් ණය සේ නිකුත් කිරීමෙන් පසුවයි.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10% සිට 5% දක්වා පහත හෙළූ විට පළමු වටයේ නිකුත් කරන ණය ප්‍රමාණය රුපියල් 95 දක්වාත්, දෙවන වටයේදී රුපියල් 90.25 දක්වාත් ආදී වශයෙන් ඉහළ යනවා. ඒ කියන්නේ මුදල් ගුණකය ඉහළ යනවා.

රටක ආර්ථිකයට අළුත් මුදල් නිකුත් කිරීමේ හැකියාව තිබෙන්නේ මහ බැංකුවටයි. එය අපි සල්ලි අච්චු ගැහීම කියා හඳුන්වනවා. ඒ ක්‍රියාවලිය ගැන මා වරින් වර විස්තර කර තිබෙනවා. මේ විදිහට මහ බැංකුව විසින් අලුතින් නිකුත් කරන මුදල් රටේ බැංකු පද්ධතිය විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා ගුණනය කරන නිසා, මහ බැංකුව අච්චු ගහන සෑම රුපියලකින්ම මුදල් සැපයුම රුපියල් ගණනාවකින් ඉහළ යවනවා. උදාහරණයක් විදිහට මුදල් ගුණකය 5නම් මහ බැංකුව රුපියල් බිලියනයක් අච්චු ගැසූ විට මුදල් සැපයුම රුපියල් බිලියන 5කින් ඉහළ යනවා. මුදල් ගුණකය 7නම් මහ බැංකුව රුපියල් බිලියනයක් අච්චු ගැසූ විට මුදල් සැපයුම රුපියල් බිලියන 7කින් ඉහළ යනවා.

මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළූ විට වාණිජ බැංකු වලට මහ බැංකුවේ සංචිත සේ රඳවා තිබුණු මුදල් බිලියන ගණනක් නිදහස් කරගන්න ලැබෙනවා. ඉන් පසු එම මුදල් ණය සේ නිකුත් කිරීමත්, ඒ ණය නැවත බැංකු පද්ධතියට ආපසු පැමිණි විට නැවත නැවතත් නිකුත් කිරීමත් හරහා රටේ මුදල් සැපයුම ඉහළ යනවා. මෙහිදී මහ බැංකුව විසින් අළුතින් මුදල් අච්චු ගැහීමක් සිදු නොවුනත්, දැනට නිකුත් කර තිබෙන මුදල් ප්‍රමාණය ඉහළ අනුපාතයකින් ගුණනය වීම නිසා මුදල් සැපයුම ඉහළ යනවා. එහි බලපෑම උද්ධමනකාරී එකක්.

මේ වෙලාවේ මේ ආකාරයට මුදල් සැපයුම ඉහළ යවන්න මහ බැංකුව පෙළැඹී තියෙන්නේ රටේ දළ ජාතික නිෂ්පාදිතය එහි විභව මට්ටමෙන් පහළට වැටී තිබීම මත පදනම්වයි. 2009දී සිවිල් යුද්ධය අවසන් වීමට ආසන්න කාලයේ හා එයින් පසුව ලංකාවේ ආර්ථික වර්ධනය එහි විභව මට්ටම ඉක්මවා ඉහළ ගියා. එවිට, එය ස්වභාවිකවම නැවත නියම පථයට වැටිය යුතුයි. 2013 පමණ සිට එය සිදු වුණා. නමුත්, මේ වන විට එම ස්වභාවික නිවැරැදි වීමෙන් නොනැවතී ආර්ථික වර්ධනය එහි විභව මට්ටමද ඉක්මවා පහත වැටී තිබෙනවා.

(Image: https://www.peakprosperity.com/blog/86445/money-creation-banks-crash-course-chapter-7)

Thursday, January 17, 2019

මහබැංකුව කෝටි නමදාහක් සල්ලි අච්චු ගහයි!


ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන පරිදි "2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා" මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. "ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා" මහා භාණ්ඩාගාරය විසින් කර ඇති මෙම ඉල්ලීම සඳහා මුදල් මණ්ඩලය විසින් එකඟතාව පළ කළ බවයි එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.

සාමාන්‍යයෙන් මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම කියන එකෙන් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමයි. එසේ නැතිව, පැරණි මුදල් නෝට්ටු වෙනුවට අළුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ නැහැ. රටේ මුදල් ඉල්ලුම සපුරමින් සැලසුම් සහගතව බැංකු පද්ධතිය හරහා ක්‍රමිකව අලුත් මුදල් සංසරණයට එකතු කිරීමත් මුදල් අච්චු ගැහීමක් වුවත් එය පාලනයක් ඇතිව සිදුවන්නක්. මේ නිවේදනය අනුව පෙනෙන පරිදි මේ රුපියල් බිලියන 90 මහ බැංකුවේ මුදල් ප්‍රසාරණ සැලසුමක කොටසක් නෙමෙයි. රජයේ ඉල්ලීම මත "නොකර බැරි නිසා" කරන්නක්. ඔය සල්ලි අච්චු ගැහිල්ල මැතිවරණයකට යන්න බලාගෙන කරන වැඩක් වෙන්නත් පුළුවන්. 

මහ බැංකුව විසින් මේ ආකාරයට  මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම හෝ බලකිරීම මත මුදල් අච්චු ගැසීම අලුත් දෙයක් නෙමෙයි. පසුගිය ආණ්ඩුව බලයට පත් වූ මුල් දෙවසරක පමණ කාලය තුළත් මේ වැඩේ ජයටම සිදුවුණා. එහි ප්‍රතිඵලයක් විදිහට 2006 පමණ වන විට රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගියා. රාජපක්ෂ ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීම සීමා කර විශාල ලෙස විදේශ ණය ගන්න පෙළඹුනේ එයින් පසුවයි.

ආණ්ඩුවක් ආදායමට වඩා වියදම් කරන තාක් කල් ඒ අඩුව කොහෙන් හෝ පියවා ගන්නත් වෙනවා. එසේ කිරීමේදී දේශීය වෙළඳපොළෙන් හෝ විදේශීය වෙළඳපොළෙන් ණය ගන්න සිදු වෙනවා. දේශීය ණය වැඩි වැඩියෙන් ගනිද්දී ඒ විදිහට ණය ගැනීම වඩ වඩා අසීරු වෙනවා. එවිට පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ අරින්න වෙනවා. පොලී අනුපාතික ඉහළ යන විට රජයේ වියදම් තවත් ඉහළ ගිහින් අයවැය හිඟය තවත් පුළුල් වෙනවා.

මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධනය සාමාන්‍ය මට්ටමට වඩා පහත වැටිලයි තිබෙන්නේ. පහුගිය කාලයේ ආර්ථික වර්ධනය රටට දරා ගත නොහැකි මට්ටමකට ඉහළ ගිහින් තිබුණු නිසා යම් නිවැරදි වීමක් අවශ්‍යව තිබුණත් දැන් ඒ නිවැරදි වීම සිදු වෙලා ඉවරයි. ආර්ථිකය මේ වන විට තිබිය යුතු මට්ටමෙන් පහළට වැටී තිබෙන බව පැහැදිලියි. එහෙම වෙලාවක පොලී අනුපාතික ඉහළ යාමෙන් වෙන්නේ ආර්ථික වර්ධනය තවත් පහළ වැටීමයි. පොලී අනුපාතික ගොඩක් ඉහළ ගියොත් ඇතැම් විට ආර්ථිකය හැකිලෙන්න වුවත් බැරි කමක් නැහැ.

සල්ලි අච්චු ගැහීම මෙයට තාවකාලික "විසඳුමක්". හැබැයි එය තුවාලයක් කහනවා වගේ විසඳුමක්.

භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ සම්ප්‍රදායික අර්ථයෙන් නිකම්ම නිකම් කඩදාසියක්. දැන්නම් කඩදාසියක්වත් නැහැ. ඩේටා බේස් එකක රෙකෝඩ් එකක් විතරයි. මේ කඩදාසියේ නැත්නම් රෙකෝඩ් එකේ ආණ්ඩුව විසින් අනාගතයේ පොලියක් එක්ක කිසියම් මුදලක් ආපහු දෙන බවට වන පොරොන්දුවක් තිබෙනවා. ඒ පොරොන්දුව මත ආණ්ඩුව කාගෙන් හෝ මුදල් අරගෙන ඒ විදිහට ගත්ත මුදල් රටේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට වියදම් කරනවා. 

අපි හිතමු මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තේ රටේ සමාගමක් හෝ පුද්ගලයෙක් විසින් කියලා. ඒ පුද්ගලයා හෝ සමාගම ඒ මුදල උපයාගෙන තියෙන්නේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලයි. ඒ නිසා, රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් නිකම්ම කඩදාසි වුවත්, ඒ කඩදාසි සමඟ හුවමාරු කරගෙන රජයට මුදල් දෙන පුද්ගලයා හෝ සමාගම විසින් ඒ මුදලට සමාන කිසියම් නිෂ්පාදනයක් කරලා තියෙනවා. ඒ නිසා, එවැනි භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් උද්ධමනකාරී වෙන්නේ නැහැ. 

නමුත්, මහ බැංකුව රටේ අනෙක් පුද්ගලයින් හෝ සමාගම් මෙන් මුදල් උපයන්නේ නැහැ. මහ බැංකුව කරන්නේ කිසිදු සැබෑ නිෂ්පාදනයකට දායක නොවී මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට යොදවන්නේ මේ මුදල්. මේ වැඩේ ඕනෑ තරම් ලොකුවට කළ හැකියි. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම වගේම මහ බැංකුව විසින් අලුත් මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීමත් ඉතා පහසුවෙන් කළ හැකි දේවල්. එය පුද්ගලයෙක් හෝ සමාගමක් විසින් කිසියම් නිෂ්පාදනයක් කර ආදායම් උපදනවා වගේ අමාරු නැහැ. 

මේ ආකාරයට අච්චු ගැසූ සල්ලි ආණ්ඩුව විසින් අත දිග හැර වියදම් කිරීමේ ප්‍රතිඵලය වන්නේ රටේ සංසරණය වන මුදල් ප්‍රමාණයේ තරමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් නොමැති නිසා මිල මට්ටම් ඉහළ යාමයි. නමුත්, රටේ මුදල් ප්‍රමාණය ඉහළ ගොස් මුදලේ වටිනාකම අඩු වී ඇති බව මිනිස්සුන්ට තේරෙන්න කලක් යන නිසා සාමාන්‍යයෙන් උද්ධමනය ඉහළ යන්නේ මුදල් අච්චු ගසා අවුරුදු දෙකකට පමණ පසුවයි. 2004 හා 2005 වසර වල සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස 2006දී ලංකාවේ උද්ධමනය 30% පමණ දක්වා ඉහළ ගියා. ඉන්පසුව, පසුගිය ආණ්ඩුව සල්ලි අච්චු ගැසීම නවත්වා විදේශ ණය වැඩි වැඩියෙන් ගන්න පෙළඹුණා.

විදේශ ණය ගත්තත්, ඒ විදිහට ණය ලෙස ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් රටේ සංචිත වලට එකතු කර ගත්තොත් මිල මට්ටම් ඉහළ යාම හෙවත් උද්ධමනය වහ ගන්න බැහැ. මහ බැංකුව විදේශ ව්‍යවහාර මුදල් මිල දී ගන්නා විට රුපියල් එළියට ඇවිත් මුදල් සංසරණය ඉහළ යනවා. එවිට මිල මට්ටම් වැඩි වෙනවා.

නමුත් විදේශ ණය සේ ලබා ගත් මුදල් සංචිත වලට එකතු කර නොගත්තොත් රටේ සංසරණය වන විදේශ මුදල් ඉහළ යාම නිසා රුපියල ශක්තිමත් වෙනවා. විදේශ ආනයන වඩා ලාබදායී වෙනවා. එවිට ආනයන ඉහළ ගිහින් ආනයන හා අපනයන අතර පරතරයක් හැදෙනවා. සංසරණයේ තිබුණු විදේශ මුදල් ආනයන වෙනුවෙන් එළියට යනවා. විදේශ ආනයන වඩා ලාබ නිසා දේශීය නිෂ්පාදන වැටෙනවා. නමුත්, භාණ්ඩ හා සේවා පිටරටින් එන නිසා රටේ භාණ්ඩ හා සේවා ඉල්ලුම සැපිරෙනවා. තවත් විදිහකින් කිවුවොත් මහ බැංකුව මුදල් අච්චු ගසා නැති නිසා මුදල් සැපයුම වැඩි වෙලා නැතත්, විදේශ ණය ලෙස ගත් මුදලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නිසා රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම් පහළ යනවා. ඔන්න ඕක තමයි සරලව පහුගිය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වුනේ.

පහුගිය ආණ්ඩුව කාලයේ රටේ විදේශ සංචිත ඉහළ ගිය බව කාට හෝ පෙන්වා දෙන්න පුළුවන්. ඇත්ත. නමුත්, ඒ කාලයේ ලබාගත් විදේශ ණය ප්‍රමාණය ඊට වඩා ගොඩක්ම වැඩියි. සංචිත වලට එකතු නොවූ ඒ ණය හරහා වක්‍ර ලෙස සිදුවුනේ කිසිදු වියදමක් හෝ මහන්සියක් නැතිව, නිෂ්පාදනයක්ද නැතිව, රටේ භාණ්ඩ හා සේවා පරිභෝජනය ඉහළ දමන්න හැකි වීමයි. ඒ දවස් වල පෙනෙන්නට තිබුණු සෞභාග්‍යයේ රහස එයයි. ප්‍රශ්නය වන්නේ මේ විදිහට ණයට ගෙන පරිභෝජනය කළ විට එහි වියදම පොලියත් සමඟ පසුව ගෙවන්නට සිදු වීමයි.

පොඩි පොඩි සාධනීය වෙනස්කම් ටිකක් සිදුවුනත් මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුවත් ඔය සෙල්ලම ලොකුවට වෙනස් වුනේ නැහැ. මේ ආණ්ඩුව රජයේ වියදම් යම් තරමකින් අඩු කළා. ආදායම් යම් තරමකින් වැඩි කරගත්තා. ඒත් මේ ආණ්ඩුව දිගටම දිවුවේත් හිඟයක් පවත්වා ගනිමිනුයි. අයවැය හිඟයක් සමඟ දුවන සෑම වසරකදීම රටේ ණය තවතවත් ඉහළ යනවා. ඒ අනුව, මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවත් වසරින් වසර ණය වැඩි වෙන එක දිගටම සිදු වුණා. ඒ වගේම මේ ආණ්ඩුවත් දේශපාලනික හේතු මත ආණ්ඩුවේ වියදම් තවත් ඉහළ නංවන ඇතැම් තීරණ ගත්තා.

අනෙක් පැත්තෙන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් ගොඩයාම සඳහා වුවත් මේ ආණ්ඩුවෙන් ප්‍රමාණවත් දෙයක් සිදුවුණේ නැහැ. රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියත් එය කළේ නොකරම බැරිවෙන වෙලාවල් වලදී පමණයි. මේ ආණ්ඩුව යටතේත් බොහෝ විට සිදු වී තිබෙන්නේ තවත් විදේශ ණය අරගෙන රුපියල අවප්‍රමාණය වීම යම් තරමකින් හෝ පාලනය කරගන්න උත්සාහ කරන එකයි. ඒ වෙනුවෙන් විදේශ සංචිත වැය කිරීම පවා සිදු වෙලා තිබෙනවා. අවසාන වශයෙන් පසුගිය වසර හතරක කාලය ඇතුළත වෙලා තියෙන්නෙත් විදේශ ණය ප්‍රමාණය වගේම දේශීය ණය ප්‍රමාණයත් ඉහළ යාමයි. පසුගිය ආණ්ඩුවේ කාලයට සාපේක්ෂව ණය වර්ධන වේගයේ යම් අඩුවක් පමණයි වෙනසකට කියලා පේන්න තියෙන්නේ.

දැන් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න වෙලා තියෙන්නේ ඇයි?

ආණ්ඩුවට ණය ලෙස ගන්න තරම් මුදල් රටේ දේශීය වෙළඳපොළේ නැහැ. එහෙමනං තිබුණු සල්ලි වලට මොකද වුනේ?

පහුගිය මාස ගණන තිස්සේම මහ බැංකුව විසින් කළේ සංචිත විකුණන එකයි. දේශපාලන අර්බුදය තිබුණු දින පණහ ඇතුළත පමණක් ඩොලර් බිලියනයකට කිට්ටුව විකුණලා තිබුණනේ. කොහොම වුවත් සංචිත විකිණීම පටන් ගත්තේ ඊටත් කලින්. ඔය විදිහට සංචිත විකුණමින් රුපියල කෘතිමව රැකගන්න දැඟලීම තමයි ගොඩක් අවුල් වලට මුල.

මහ බැංකුව විසින් ඩොලර් එකක් එළියට දමන හැම වෙලාවෙම රුපියල් 180ක් විතර ඇතුළට ගන්නවනේ. එතකොට ඩොලර් බිලියනයක් එළියට දමන කොටස රටේ රුපියල් බිලියන 180ක හිඟයක් ඇති වෙනවා. ඉතිං කොහෙද ආණ්ඩුවට ණය ගන්න සල්ලි ඉතුරු වෙන්නේ. අන්තිමට ආණ්ඩුවට ණය දෙන එක මහ බැංකුවටම කරන්න වෙලා. 

ඉදිරි මාස කිහිපය ඇතුළත රෝලක් ගහලා ආණ්ඩුව මහ බැංකුවේ ණය පියවන කතාවකුයි මහ බැංකුවේ නිවේදනයේ තියෙන්නේ. ඒ කොටස පහළ තියෙනවා. 

"ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීම තුළින් ඇති විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිවිපාකයන් සලකා බැලීමෙන් පසු, රජයේ ණය ලබා ගැනීමේ වැඩසටහනේ අපේක්ෂිත මූල්‍යයන ක්‍රියාමාර්ගයන් සාක්ෂාත් කර ගැනීමට හැකිවීමත් සමග පෙබ‍රවාරි මාසයේ දී මෙම ගනුදෙනුවේ කොටසක් ආපසු ගෙවීමටත් ඉතිරි කොටස 2019 පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් රජය විසින් එකඟ වී ඇත."