Showing posts with label ආදායම් විෂමතාවය. Show all posts
Showing posts with label ආදායම් විෂමතාවය. Show all posts

Sunday, May 21, 2017

ඔක්ස්ෆෑම් ධනවතුන්ගේ ප්‍රශ්නය

පසුගිය ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමාජ ජාල වල පුළුල් ලෙස සංසරණය විය. මේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමාන බවයි.

අදාළ වාර්තාව අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අටදෙනා හා ඔවුන්ගේ වත්කම් පිළිවෙලින් මෙසේය.

බිල් ගේට්ස් - ඩොලර් බිලියන 75
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 67
වොරන් බුෆේ - ඩොලර් බිලියන 60.8
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 50
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 45.2
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 44.6
ලැරී එලිසන් - ඩොලර් බිලියන 43.6
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 40

මේ ලැයිස්තුවේ සිටින්නන්ගෙන් ඇමන්සියෝ ඔටේගා හා කාලෝස් ස්ලිම් හෙලු දෙදෙනා හැරුණු විට ඉතිරි හය දෙනාම ඇමරිකානුවන් වීම විශේෂත්වයකි. අනෙක් අතට, ඉහත ඔක්ස්ෆෑම් වාර්තාව පිළියෙළ කිරීම සඳහා පදනම් කරගෙන ඇති ක්‍රෙඩිට් සුවිස් වාර්තාව අනුව, ලෝකයේ දුප්පත්ම බිලියන 3.6න් වැඩි දෙනෙකු ජීවත් වන්නේ ඉන්දියාව, චීනය, නයිජීරියාව, ඉතියෝපියාව, කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, බංග්ලා දේශය, පකිස්ථානය, ඉන්දුනීසියාව හා බ්‍රසීලය වැනි රටවලය. අදාළ වාර්තාව අනුව ඇමරිකා එක්සත් ජනපදයේද වත්කම් අතින් දුප්පත් සැලකිය යුතු පිරිසක් සිටිති.

බැලූ බැල්මටම මේ ආදායම් විෂමතාවය විශාල ප්‍රශ්නයක් බව පෙනේ. එහෙත්, එය සැබෑවටම ප්‍රශ්නයක් වන්නේ ඉහළ ලැයිස්තුවේ සිටින අටදෙනා ඔවුන්ගේ වත්කම් උපයා ගැනීමේදී අඩු වත්කම් සහිත අය සතු විය යුතුව තිබුණු වත්කම් ඔවුන්ගෙන් කිසියම් අයුරකින් සෘජුව හෝ වක්‍රව උදුරාගෙන ඇත්නම් පමණි.

මෙය විමසා බැලීමට පෙර අපි වත්කම් යනු මොනවාද යන්න පැහැදිලි කර ගත යුතුය. විශේෂයෙන්ම වත්කම් හා ආදායම් අතර ඇති වෙනසත්, වත්කම්, ආදායම් හා පරිභෝජනය අතර ඇති සම්බන්ධතාවයත් අප පැහැදිලිව අවබෝධ කරගත යුතුය.

වත්කමක් ලෙස හැඳින්වෙන්නේ අනාගතයේදී ආදායම් උපදවන කිසියම් දෙයකි. ඔබ සතු මුදල් බැංකුවක තැන්පත් කර පොලී ආදායම් ඉපදවිය හැකි නිසා එය වත්කමකි. ඔබට හිමි නිවසක් කුලියට දී ආදායම් ඉපදවිය හැකි නිසා එය වත්කමකි. එය කුලියට නොදී ඔබම එහි ජීවත් වූවද එසේ කිරීමෙන් ඔබට ඉතිරි වන ගෙවල් කුලී මුදල ඔබේ ආදායමකට සමාන නිසා ගෙයක් යනු බොහෝ විට කෙනෙකුගේ වත්කමකි. මේ අයුරින්ම ඔබ සතු ඉඩම්, යන්ත්‍ර සූත්‍ර වැනි ආයෝජනද වත්කම් ලෙස සැලකිය හැකිය.

අනෙක් අතට අනාගතයේදී ඔබට වියදම් හදන දේ ඔබේ බැරකම්ය. ඔබ නිවාස ණයක් හෝ වාහන ණයක් ලබාගෙන ඇත්නම් ඒ වෙනුවෙන් මාසිකව හෝ වාර්ෂිකව පොලී වියදමක් දැරිය යුතුය. ඒ නිසා, මේවා ඔබේ බැරකම්ය. වත්කම් අනුව කෙනෙකුගේ පොහොසත්කම මනින විට උපයෝගී කරගන්නා නිර්ණායකය වන්නේ වත්කම් වලින් බැරකම් අඩු කළ විට ශුද්ධ වත්කම්ය. යම් කෙනෙකුගේ වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් ශුද්ධ වත්කම් සෘණ අගයක් ගනී.

කෙනෙකුගේ ආදායම යනු වත්කම් වලට සෘජු ලෙස සම්බන්ධ දෙයක් නොවේ. ශුද්ධ වත්කම් සෘණ අගයක් ගන්නා බොහෝ දෙනෙකුට සැලකිය යුතු ආදායමක් තිබේ. එමෙන්ම, වැඩි ශුද්ධ වත්කම් ඇති අයෙකුගේ ආදායමට වඩා අඩු ශුද්ධ වත්කම් ඇති අයෙකුගේ ආදායම වැඩි වන්නට පුළුවන. එහෙත්, වත්කම් මත පදනම් නොවූ ආදායම් (උදාහරණයක් ලෙස රැකියාවෙන්) සමාන තරමට උපයන දෙදෙනෙකු අතරින් වැඩි වත්කම් හිමි අයෙකුගේ සමස්ත ආදායම වැඩි එකකි.

වත්කම්, ආදායම් හා පරිභෝජනය අතර ඇති සම්බන්ධතාවයද තරමක් සංකීර්ණය. ආදායම් හා පරිභෝජන වියදම් අතර වෙනස පුද්ගලයෙකුගේ වත්කම් වලට එකතු වේ. එවිට වත්කම් තවත් වැඩි වේ. ආදායමට වඩා පරිභෝජන වියදම් වැඩිනම් සිදුවන්නේ ශුද්ධ වත්කම් ක්‍රමයෙන් අඩු වී යාමයි. අනෙක් අතට පරිභෝජනය සීමා කරමින් උපයන ආදායම් වලට වඩා අඩු මට්ටමක තබා ගන්නා අයෙකුගේ වත්කම් ක්‍රමයෙන් ඉහළ යයි. මෙය ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි දෙයකි.

මේ අනුව පැහැදිලි වන්නේ අධි පරිභෝජනය කෙනෙකුගේ වත්කම් වැඩි කිරීමට නොව අඩු කිරීමට හේතු වන්නක් බවයි.

තමන් සතුව දෙමවුපිය උරුමයෙන් ලැබුණු වත්කම් නැති අයෙකුට වත්කම් ඒකරාශි කර ගත හැක්කේ සකසුරුවම් කමින් වියදම් කර තමන්ගේ ආදායමෙන් කොටසක් ඉතිරි කරගෙන ඒ ආදායම් අනාගතයේ තවත් ආදායම් උපදවන වත්කම් වල ආයෝජනය කිරීමෙනි. අනෙක් අතට, දෙමවුපිය උරුමයෙන් විශාල වත්කමක් ලැබී ඇති අයෙකු වුවද, ඒ වත්කම් ආයෝජනය කර හෝ වෙනත් ක්‍රමයකින් උපයන ආදායම් ඉක්මවා පරිභෝජනය කරයිනම් ඔහුගේ හෝ ඇයගේ ශුද්ධ වත්කම් ක්‍රමයෙන් ක්ෂය වී යයි.

මේ අනුව පැහැදිලි විය යුත්තේ වත්කම් යනු හැමවිටම පුද්ගලයෙකුගේ පරිභෝජන මට්ටම හෝ ජීවන තත්ත්වය පිළිබඳ නිර්ණායකයක් නොවන බවයි. 


මේ ලැයිස්තුවේ සිටින අය ගැනත් ඔවුන්ගේ වත්කම් ගැනත්, ආදායම් හා වියදම් ගැනත් ඉදිරියේදී කතා කරමු.
 

Friday, May 6, 2016

ජාතික ආදායමෙන් 68%ක් කොහේද?



පසුගිය වසර සඳහා වූ මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 533,398කි. එනම්, මසකට රුපියල් 44,450කි. ලංකාවේ සාමාන්‍ය පවුලක සාමාජිකයින් ගණන හතරකි. ඒ අනුව සාමාන්‍ය පවුලක මාසික ආදායම රුපියල් 177,799ක් විය යුතුය. මේ මුදල උපයන පවුල් කොපමණ ගණනක් ලංකාවේ ඉන්නවාද? මගේ ඇස්තමේන්තු අනුව මේ මට්ටම ඉක්මවා ආදායම් ලබන පවුල් ගණන 3%කට නොවැඩි විය යුතුය.

පසුගිය වසරේ දත්ත වලින් පමණක් මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය නොහැකිය. ඒ නිසා අපි 2012 වසරට යමු. එම වසරේ ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 427,559ක් විය. ඒ අනුව, 2012දී පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 142,520කි. එහෙත්, 2012/13 ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව ලංකාවේ පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878ක් පමණි. මේ මුදල ඉහත කී මුදලින් 32%ක් පමණි. වෙනත් අයුරකින් කිවහොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 68%ක් නිවාස ඒකක වෙත ළඟා වී නැත. එසේනම්, ජාතික ආදායමෙන් ඉතිරි 68%ට මොකද වෙන්නේ?

ඒක පුද්ගල ආදායම සහ ඒක පුද්ගල ගෘහස්ත ආදායම අතර පරතරයක් පැවතීම ලංකාවට පමණක් සුවිශේෂී සිදුවීමක් නොවේ. උදාහරණයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (2014 දත්ත අනුව) නිවාස ඒකක වෙත ලඟා වෙන්නේ 54%ක් පමණි. මේ වෙනසට එක් හේතුවක් විය හැක්කේ රට තුළ ඉපැයෙන ආදායම් රටින් පිටතට ගලා යාමයි. විදෙස් ආයෝජන වෙනුවෙන් ලැබෙන ලාභාංශ මෙසේ රටින් පිටතට යයි. එහෙත්, මේ මුදල විශාල මුදලක් නොවේ. වෙනසට ප්‍රධානම හේතුව සමාගම් වල ලාභයි.

දළ දේශීය නිෂ්පාදිතයට සමාගම් වල ලාභ ඇතුලත් වුවත් එම ලාභ නිවාස ඒකක වල ආදායමට එකතු වන්නේ ලාභාංශ ලෙස බෙදා හැරියොත් පමණි. එම ලාභ නැවත ප්‍රති-ආයෝජනය කළහොත් එසේ නිවාස ඒකක කරා ලඟා නොවේ. ලාභාංශ කොටස් හිමිකරුවන් වෙත බෙදා නොහරිමින් ප්‍රති-ආයෝජනය කිරීම සමාගම් විසින් බොහෝ විට කරන්නකි. එසේ කරන්නේ සමාගමේ කොටස් මිල වැඩි වීමේ වාසිය ලාභාංශ ලබා ගැනීමේ වාසියට වඩා වැඩි බැවිනි. ඒ නිසා අවසාන වශයෙන් මේ ලාභ පුද්ගලයින් සතු ප්‍රාග්ධනයයි.

ලංකාව ඇමරිකාවටත් වඩා ආදායම් විෂමතාවය වැඩි රටකි. ඉහත කී ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව නිවාස ඒකක වල මුළු ආදායමෙන් සියයට 30%ක්ම ඇත්තේ ඉහළම ආදායම් ලබන 10%ක කණ්ඩායම අතේය. ඇමරිකානුවන් අඩකට පමණ කිසිදු කොටස් ආයෝජනයක් නැතත් බොහෝ දෙනෙකු කොටස් වෙළඳපොළෙහි සෘජුව හෝ වක්‍රව කිසියම් ආයෝජනයක් සිදු කර තිබේ. එහෙත්, ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන්නේත්, කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කර නැති සමාගම් වල කොටස් අයිතිය දරන්නේත් ඉහළම ආදායම් ලබන 10% අතරින් කණ්ඩායමක් බව රහසක් නොවේ. මේ අනුව, සමාගම් වල ලාභාංශ ලෙස බෙදා හැර නැති ලාභ වලින් විදෙස් අයිතිකරුවන් සතු කොටස හැරුණු කොට ඉතිරි කොටසේ හිමිකරුවන් වන්නේද මේ කණ්ඩායමයි. මේ කරුණ සැලකිල්ලට ගත් විට ලංකාවේ ආදායම් විෂමතාවය පෙනෙන්නට තිබෙනවාට වඩා බොහෝ විශාලය.


(Image: www.nssp.info)

Saturday, January 9, 2016

ලංකාවේ ආදායම් විෂමතාවය

සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලංකාවේ ගෘහස්ත ආදායම් හා වියදම් පිලිබඳ සමීක්ෂණය දැන් තෙවසරකට වරක් පැවැත්වේ. අවසන් වරට 2012/13දී සිදු කළ මේ සමීක්ෂණයේ අවසන් වාර්තාව අනුව ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878කි. පෙර සමීක්ෂණය සිදුකළ 2009/10දී මෙය රුපියල් 36,451ක් විය.

ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍යයෙන් 3.9 දෙනෙකු වාසය කරයි. මේ අනුව, මේ සමීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව ගණනය කර ඇති ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819කි. 2009/10දී මෙය රුපියල් 9,104ක් විය.

බැලූ බැල්මට පෙනෙන්නේ ඒක පුද්ගල ගෘහස්ථ ආදායම 29.8%කින් වැඩි වී ඇති බවයි. එහෙත්, මේ වසර තුන තුල 22.9%කින් මිල මට්ටම වැඩිවීම නිසා රුපියලේ දේශීය වටිනාකමේ සිදුවූ පිරිහීම සැලකූ විට ආදායම සැබෑ ලෙසම වර්ධනය වී ඇත්තේ 5.6%කිනි.

මේ අයුරින්ම, 2006/07 සමීක්ෂණය අනුව ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 6,462ක් වූ නිසා 2009/10 දක්වා වසර තුන තුළ ආදායමේ සිදුවූ නාමික වර්ධනය 40.9%ක් වුවත්, මිල මට්ටමේ වැඩි වීම 42.4%ක් වූ නිසා සැබෑවටම සිදුවී ඇත්තේ ආදායමේ අඩු වීමකි.

වසර හය තුළම නාමික ආදායම 82.9%කින් වැඩි වී ඇතත් මිල මට්ටමද 75.0% කින් වැඩි වී ඇති නිසා, වසර හයටම මූර්ත ආදායම වර්ධනය වී ඇත්තේ 4.0%කින් පමණි. එනම් වසරකට 0.6%කින් පමණි.

සමස්තයක් ලෙස ගත් විට රටේ සාමාන්‍ය ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819ක් වුවත් ආදායම් විෂමතාවය ඉතා විශාලය. නාගරික ගෘහස්ථ ඒකක වල ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගය රුපියල් 17,262ක් වෙද්දී, ග්‍රාමීය ගෘහස්ථ ඒකක වල එය රුපියල් 10,843කි. වතු ගෘහස්ථ ඒකක වල මෙය රුපියල් 7,100ක් පමණි. කොළඹ දිස්ත්‍රික්කයේ මෙම සාමාන්‍යය රුපියල් 19,346ක් වුවත් මාතලේ, නුවරඑළිය, යාපනය, මන්නාරම, මුලතිවු, කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක එකොළහේ එම අගය කොළඹ අගයෙන් අඩකටත් අඩුය. මේ දිස්ත්‍රික්ක සියල්ලම වාගේ සුළුතර-බහුතර හෝ සැලකිය යුතු සුළුතර ජනගහනයක් සිටින දිස්ත්‍රික්ක වීම සැලකිල්ලට ගතයුතු කරුණකි.

රටේ ගෘහස්ථ ආදායමෙන් 52.9%ක් රැඳෙන්නේ වැඩිම ආදායම් ලබන 20% අතේය. ඉතා විශාල ආදායම් විෂමතාවක් ඇති ඇමරිකාවේද මේ ප්‍රතිශතය (2012දී) 49.9%ක් පමණි. පහළම ආදායම් ලබන 40% වෙත සම්ප්‍රේෂණය වන්නේ මුළු ආදායමින් 13.7%ක් පමණි. මැදි ආදායම් ලබන 40% වෙත 33.3%ක් රැඳේ.

නාගරික අංශය තුළ ආදායම් විෂමතාවය මෙයටත් වඩා වැඩිය. එහි ඉහළම 20% විසින් 71.2%ක් ලබා ගනිද්දී පහළම 40% වෙත ලැබෙන්නේ 5.9%ක් පමණි. මැද 40%ට 23.0%කි. ග්‍රාමීය අංශයේ ඉහළ 20%, මැද 40% හා පහළ 40% අතර 47.2%, 36.8% සහ 16.0% ලෙස ආදායම් බෙදේ. වතු අංශයේ මේ බෙදීම 28.5%, 44.1% සහ 27.5% ලෙසිනි. වතු අංශයේ ආදායම් විෂමතාව අඩුවෙන් ඇත්තේ එම අංශයේ ඉහළ ආදායම් ලාභීන්ගේ ආදායමද එතරම් ඉහළ නැති නිසාය.

මේ සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලි වන්නේ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය වන රටාවයි. ඉහළ යන ඒක පුද්ගල ආදායම නිසා මුලින්ම සිදුවන්නේ ඉහළ ආදායම් ලබන ස්ථර වල ආදායම තවත් වැඩි වීමයි. නාගරික මැදි ආදායම් ලබන කණ්ඩායම් සහ ඉහළ ආදායම් ලබන ග්‍රාමීය කොටස් වෙත දෙවනුව ආදායම සම්ප්‍රේෂණය වේ. වතු ගෘහස්ථ ඒකක වෙත මේ ආදායම් වර්ධනය දැනී ඇත්තේ ඉතා සුළුවෙනි.

රටක ආදායම් විෂමතාවය ප්‍රශ්නයකි. එයට විසඳුම් සෙවිය යුතුය. එහෙත්, එය කළ යුත්තේ වැඩි ආදායම් ලබන කොටස් පීඩාවට පත්කර ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත හෙලීමෙන් නොවේ. අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔවුන්ට අවස්ථා සැලසීමෙනි.

මෙය සිදු කළ හැක්කේ ව්‍යවසායකත්වයට දිරි දෙන මූල්‍ය පරිසරයක් සකස් කිරීමෙනි. කෙසේවුවද, පහලම සමාජ ස්ථර හා අදාළවනම් ආහාර සුරක්ෂිතතාව සහ මූලික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෑ පළමුව තහවුරු විය යුතු බව මේ සමීක්ෂණයේ අනෙකුත් තොරතුරු අනුව පෙනේ.

(Image: www.skai.gr)