Wednesday, April 27, 2016

ආර්ථික වර්ධනය හා පක්ෂ ප්‍රතිපත්ති


ඇමරිකාවේ ආර්ථික වර්ධනය හා බලයේ සිටින ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය පිළිබඳව ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ පළවූ පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරෙන් මම මසකට පෙර සටහනක් පළ කළෙමි. මේ සටහනට ප්‍රතිචාරයක් ලෙස පාඨකයෙකු විමසා සිටියේ ලංකාව හා අදාළවද මෙවැනි විශ්ලේෂණයක් කළ හැකිද යන්නයි. ඇමරිකාවේ මෙන් නිශ්චිත දිනයකට මැතිවරණ නොපැවැත්වෙන හා මැතිවරණ ක්‍රමය කිහිප වරක් සංශෝධනය වුනු ලංකාව හා අදාළව මෙවැන්නක් කිරීම තරමක් සංකීර්ණ කටයුත්තකි. මේ ඒ සඳහා කෙරෙන සරල උත්සාහයකි.

ඇමරිකාවේ මෙන්ම ලංකාවේද ඇත්තේ ද්විපක්ෂ ක්‍රමයකි. නිදහසින් පසු දිගටම ලංකාව පාලනය කලේ එජාප හෝ ශ්‍රීලනිප ඇතුළත් වූ සන්ධානයකි. 1977 වන තුරු ලංකාවේ රාජ්‍ය පාලනය මෙහෙයවුනේ අගමැතිවරයෙකුගේ ප්‍රධානත්වයෙනි. ඒ නිසා ඒ කාලය සැලකිල්ලට ගැනීමේදී සැලකිය යුත්තේ අගමැතිවරයා අයත් වූ දේශපාලන පක්ෂයයි. ඉන්පසුව, විධායක ජනාධිපතිවරයෙකු විසින් රාජ්‍යය මෙහෙයවුනද බොහෝ විට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත් වූයේ ජනාධිපතිවරයා අයත් වූ පක්ෂයෙන්මය. පළමු වරට මේ තත්ත්වයේ සුවිශේෂී වෙනසක් සිදුවූයේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් වූ කාල වකවානුවේදීය. කෙසේවුවද, මේ කාලය තුළ රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවූයේ එජාපය බව සැලකීමෙහි වරදක් නැත. ඉන්පසුව, පසුගිය වසරේ රාජ්‍ය පාලනය භාරගත් එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව සම්බන්ධවනම් ඇත්තේ තරමක් අපැහැදිලි තත්ත්වයකි.

පහත රූපසටහනේ ඇත්තේ එජාප හා ශ්‍රීලනිප ප්‍රමුඛ වූ සභාග අතර බලය මාරුවුනු විවිධ කාල වකවානු වල ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයයි. කිසියම් වසරක් තුළ වැඩිම කාලයක් රට පාලනය කළ පක්ෂය එම වසර තුළ රට පාලනය කළ බව සලකා තිබේ. ඒ නිසා 1960 ඩඩ්ලි සේනානායක අගමැතිව සිටි තුන්මස් එජාප ආණ්ඩුව ආණ්ඩු වෙනසක් ලෙස මෙහි නොපෙනේ. එකම පක්ෂයේ පුද්ගලයින් අතර සිදුවූ බල හුවමාරුද වෙන් වශයෙන් සලකා නැත.




රූපසටහන ලෙස බැලූ විට, නිදහසින් පසු සෑහෙන කලක් යනතුරුම එජාප ප්‍රධාන වූ ආණ්ඩු යටතේ ආර්ථික වර්ධනය ශ්‍රීලනිප ප්‍රධාන ආණ්ඩු යටතේ වූ වර්ධනයට සාපේක්ෂව කැපී පෙනේ. පසුගිය දශකය මුල පමණ දක්වා පිළිගැනුණු රටේ ආර්ථිකයට හොඳ එජාප ආණ්ඩු බවට වූ ජනප්‍රිය අදහස සමඟ මෙය ගැලපේ. මේ වෙනසට පදනමක් විය. මුල් කාලයේදී එජාප ආර්ථික ප්‍රතිපත්ති වඩා නිදහස් වූ අතර ශ්‍රීලනිප බොහෝ විට අනුගමනය කළේ ජාතිකවාදී, ආරක්ෂනවාදී ආර්ථික ප්‍රතිපත්තියකි. මුල්කාලීන එජාප රජයයන් යටතේ සිදුවී ඇති සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනය එම පක්ෂය අනුගමනය කළ නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන්හි ප්‍රතිඵලයකි.


කෙසේවුවද, පසුකාලීනව ශ්‍රීලනිප ප්‍රතිපත්තියද නිදහස් වෙළඳපොළ දෙසට යොමුවූවක් ලෙස වෙනස් වීමත් සමඟ පක්ෂ දෙක අතර කලක් තිස්සේ පැවති ආර්ථික ප්‍රතිපත්ති වෙනස මෙන්ම මේ එක් එක් පක්ෂ වල පාලනයන් යටතේ රටේ සාමාන්‍ය ආර්ථික වර්ධනයේ වෙනසද ක්ෂය විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ 2004-2014 කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය නිදහසින් පසු සියළු කාල වකවානු වල පැවති මට්ටම් ඉක්මවා කැපී පෙනේ.

වත්මන් රජයට මේ සාමාන්‍යය ඉක්මවීමට හැකියාවක් ඇත්දැයි තීරණය කිරීමට ගත වූ වසරක කාලය ප්‍රමාණවත් නැතත් එවැනි ශක්‍යතාවක් මේ වන තුරුනම් ප්‍රදර්ශනය කෙරී නැත. අනෙක් අතට දැන් පවතින්නේ එජාප රජයක්ද යන්නත් පැහැදිලි නැත.


(Image: sltoday.lk)

14 comments:

  1. // මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ 2004-2014 කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය නිදහසින් පසු සියළු කාල වකවානු වල පැවති මට්ටම් ඉක්මවා කැපී පෙනේ. //
    පෙනේ පෙනේ

    කිරුල පෙනේ!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සා රස

      මෙම ලිපිය ලංකා ඉතිහාසයේ ආර්ථික වර්ධනය සහ රජයන්වල ආර්‍ථික පිළිබඳව කෙරෙන විග්‍රහයකි. මෙය දල විමසුමක් වුවත් සිංහල බ්ලොග් අවකාශයේ ආර්ථිකය පිළිබඳව සුලභව පල කෙරෙන මිථ්‍යා මතවල නිරුවත හෙලිවන සංඛ්‍යාලේඛන, දත්ත, නිරීක්ෂණ මත පදනම් වූ වඩාත් වෘත්තීයමය විග්‍රහයකි. ඔබ යම් දේශපාලන කණ්ඩායමක බලය පෙන්වන රැස්වීමකට සහය පල කරන බැව් කමෙන්ටුවෙන් පෙනේ. කෙසේ නමුත් මෙවැනි වඩාත් ශාස්ත්‍රීය පෝස්ටුවලදී මෙබඳු දේශපාලන ඇඩ් නොදා සිටියානම් වඩා සුදුසු බව මගේ අදහසයි.

      පක්ෂ පාට උපැස්වලින් තොරව නිවහල්ව සහ ශාස්ත්‍රීයව සාක්ච්ඡා කිරීමට මා නම් කැමතියි. ස්තූතියි.

      Delete
    2. සාරස දතකට කිරුළක් දාන අතරේ දමපු කමෙන්ට් එකක්. :)

      Delete
  2. // මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ 2004-2014 කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය නිදහසින් පසු සියළු කාල වකවානු වල පැවති මට්ටම් ඉක්මවා කැපී පෙනේ. //

    නමුත් එක අපිට දැනුනේ නැත්තේ ඇයි.

    ReplyDelete
    Replies
    1. මා සිතන පරිදි එය නොදැනෙන්නට ඇත්තේ ඔබ එවක පැවති රජය පිළිකුල් කල නිසා හෝ පිටරටක සිටි නිසා විය හැකිය. රාජපක්ෂ රෙජීමය පැවති සමයේ රටේ නීතියේ ස්වාධීනත්වය, ප්‍රජාතන්තවාදය ආදිය සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල විය. නමුත් එසමයේ ලැබූ ආර්ථික දියුණුව සැලකියයුතු එකකි. විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ශේත්‍රය, සංචාරක ක්ශේත්‍රය, තොරතුරු තාක්ෂණය, නිවාස සහ ගොඩනැගිලි, කෘෂිකර්මාන්තය ඇතුළු ක්ශේත්‍ර ගණනාවක් සීඝ්‍රයෙන් වර්ධනය විය. ඉදිකිරීම් ක්ශේත්‍රයේ සුවිශේෂ වර්ධනයත් සමග රැකියා සුලභ වී ඉතා ඉහල වැටුප්, කොන්ත්‍රාත්කරුවන් සුලභවීම, වෘත්තිකයන් බහුලවීම සිදුවිය. කෙසේ නමුත් උද්ධමනයද වැඩිවූ අතර භාණ්ඩ මිලේද සෑහෙන වැඩිවීමක් සිදුවිය.

      Delete
    2. මනෝජ්: පළමුව, රටක ආදායම වර්ධනය වූ පලියට එය හැමෝටම දැනෙන්නේ නැහැ. ඇතැම් විට ආදායම් බෙදී යාමේ ලොකු විෂමතාවයන් තියෙන්න පුළුවන්. දෙවනුව, ආර්ථික වර්ධනය වැනි දේ ඇඟට දැනෙන අයුරින් මනින්න අමාරු නිසා තමයි සම්මත නිර්ණායක භාවිතා කළ යුත්තේ.
      ඇනෝ: රාජපක්ෂ පාලනයේ මුල් කාලයේදී උද්ධමනය ගොඩක් වැඩිවුනා. එහෙත් අවසාන කාලය වනවිට එය (හැත්තෑ හතෙන් පසු) වාර්තාගත මට්ටමකට අඩුවුණා.

      Delete
  3. පසුගිය පෝස්ටුවේ කොමෙන්ටුවකට ඉකොනො ලියා තිබ්බා උද්දමනය එන්නේ මුදල් සැපයුම වැඩි වී වසර දෙකකින් විතර කියා, එහෙම වෙන්නේ ඇයි කියා කියන්න පුළුවන්ද? මම ගොර්බචෝ්‍යෆ් / යෙල්සින් රුසියාවේ මුදල් අවප්‍රමා‍න වීම ඇසින් දුටු නිසා දැනට බැංකුවේ තියන තුට්ටු දෙකට සහ අර්ථසාදකේ තුට්ටුදෙකට බහීදැයි කියා භීතියක් හිතේ හොල්මන් කරනවා.

    ReplyDelete
    Replies
    1. මේ සම්බන්ධය පැහැදිලි කර වෙනම පෝස්ට් එකක් දමන්න හිතාගෙනයි පිළිතුරු නොදී හිටියේ. එය ප්‍රමාද විය හැකි නිසා තරමක් කෙටි පිළිතුරක් දෙන්නම්. උද්ධමනය කියන්නේ රටේ සාමාන්‍ය මිල මට්ටම වැඩිවීම. එයට අමතරව විවිධ සාධක නිසා භාණ්ඩ හා සේවා වල සාපේක්ෂ මිල වැඩි වනවා. සාපේක්ෂ කියන්නේ සාමාන්‍ය මිල මට්ටමට සාපේක්ෂව. උදාහරණයක් ලෙස තාක්ෂණ දියුණුව නිසා ජංගම දුරකථන හා දුරකථන සේවා ගාස්තු අඩුවීම, යහපත් කාලගුණය නිසා වී නිෂ්පාදනය වැඩි වී මිල අඩුවීම හෝ වැස්ස නිසා අස්වනු නරක් වී තක්කාලි මිල වැඩිවීම වැනි දෙයක් වෙන්නේ මුදල් සැපයුමේ බලපෑම නිසා නෙමෙයි. මුදල් සැපයුම වැඩි කළ විට ජනතාව අතර භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම වැඩි වුනත් නිෂ්පාදනයේ වෙනසක් නැත්නම් ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති වෙනවා. පවතින මිලට වැඩි දෙනෙකු භාණ්ඩයක් ඉල්ලන බව අවබෝධ වූ විට නිෂ්පාදකයින් මිල වැඩි කරනවා. ඔවුන් මෙය කරන්නේ මහ බැංකුව ඉදිරිපත් කරන මුදල් සැපයුම පිලිබඳ ගණන් හිලවු පරික්ෂා කරල නෙමෙයි. තමන්ට තේරෙන විදිහට මිල වැඩි කළත් විකුණන්න පුළුවන් නිසා. එහෙත් නිෂ්පාදකයන්ට (වෙළෙන්දන්ට) මෙසේ ඉල්ලුම වැඩි වී ඇති බව තේරෙන්න ටික කලක් යනවා. එසේ තේරුණත් අනෙත් තරඟකාරී නිෂ්පාදකයින් මිල වැඩි නොකළොත් පාරිභෝගිකයින් නැති විය හැකි නිසා එක පාරටම මිල වැඩි කරන්නේ නැහැ. කල් යාමේදී කවුරු හෝ මෙය කළ විට අනිත් අයත් කරනවා. මෙලෙස එක් භාණ්ඩයක මිල රටපුරාම වැඩි වූ විට ඒ භාණ්ඩය යොදා හදන භාණ්ඩ වල නිෂ්පාදන වියදම් වැඩි වී ඒවායේත් මිල වැඩි කරන්න වෙනවා. මෙය චක්‍රයක් ලෙස සිදුවෙනවා. නවතින්නේ රටේ සමස්ත මිල මට්ටම වැඩි වීමෙන්. දත්ත පරීක්ෂා කළ විට පෙනෙන්නේ මේ ක්‍රියාවලිය මුදල් සැපයුම වැඩිකර මාස 18-36 අතර සිදුවන බවයි. IMF පැකේජ් එක ලැබී ඇති නිසා දැනට රුසියාවේ වැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නැහැ. එහෙත්, එයින් වෙන්නේ කල්ගැනීමක් පමණයි. ප්රශ්නයෙන් ගැලවෙන්න දිගුකාලීන සැලසුම් අවශ්‍යයි.

      Delete
  4. මහේෂ්ගේ මඟ පෙන්වීමෙන් බ්ලොගට ආවේ...

    පෝස්ට් එකේ සියළු කාරණා, විග්‍රහ අවසන මහින්දගේ ආර්ථික වර්ධනය, හෙවත් ව්‍යාජ වාර්ථා ගැන ප්‍රකාශයෙන් කිරි කලයට ගොම බිඳුවක් වැටුනු බව පෙනේ ;)

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. //මහින්දගේ ආර්ථික වර්ධනය, හෙවත් ව්‍යාජ වාර්ථා ගැන ප්‍රකාශයෙන් //

      ඔබ පවසන්නේ මහබැංකුව විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් යුතුව 2014 සහ 2015 සඳහා ඉදිරිපත් කළ වාර්ෂික වාර්තා බොරු බවද? එසේනම් නිවැරැදි වාර්තා මොනවාද?

      //කිරි කලයට ගොම බිඳුවක්//

      පැහැදිලි මදි. කරුණාකර පැහැදිලි කරදෙන්න.

      Delete
    2. මේ සංඛ්‍යා සංශෝධිත අළුත් ඒවා. මහින්දගේ කාලයේ ඒවා නෙමෙයි. කමෙන්ට් වලට ස්තුතියි!

      Delete
  5. මෙහිදී ඉකොනොමැට්ටා පාටකණ්ණාඩිවලින් නොබලා ආර්ථික විද්‍යාත්මක ඇසකින් බලා කියා ඇත්තේ සත්‍යයයි. මෙය අර්ජුන් මහේන්ද්‍රන් මහතාද මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. මෙහිදී සාකච්ඡා වන්නේ සංඛ්යාලේඛන මත පදනම් වන කරුණු විනා පාටකන්ණාඩිවලින් බලන දේශපාලන පක්ශවල බතිමතුන් පිනවන කරුණු නොවේ. රාජපක්ශ යුගයේ නීතිය/ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැටලුද, පවුල්වාදය සහ අශීලාචාර ක්‍රියා රැසක් සිදුවූ බව සත්‍යක් නමුත් ආර්ථික වශයෙන් ඉතාම සාර්ථක මෙන්ම ලංකා ඉතිහාසයේ වඩාත්ම ස්ථාවර රජය පැවතියේ එම රෙජීමය පාලනය කරන කාලයේය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇනෝ! මමත් පෞද්ගලිකව හිතන විදිහ ඔබ හිතන විදිහට කිට්ටුයි. හැබැයි පසුගිය කාලයේ යොදාගත් ආර්ථික ආකෘතියේ ලොකු අවුලකුත් තිබුණා. එමඟින් අවදානමක් ගොඩනැඟුනා. සැලසුම් සහගතව ක්‍රියා නොකළොත් එහි ප්‍රතිඵල වලට ඉදිරියේදී මුහුණ දෙන්න වෙයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.